මම යුනයිටඩ් මෝටර්ස් ආයතනයට සේවයට ගියේ අදින් වසර 13 කට පමණ පෙර යැයි මාහට සිතේ . ඊට වැඩි මිසක් අඩුවක් නම් වන්නට ඉඩක් නැත. පලමු සම්මුඛ පරීක්ෂණය පැවැත්වුනේ කුමාර් එදිරිසිංහ මහත්තයයි චන්දිම කුරුප්පු හෙවත් චන්දිම අයියයි ඉදිරියේ. ඥානරත්න මහත්තයත් හිටියාද මංදා! ඒ කාලේ කුමාර් එදිරිසිංහ මහත්තයයි ඥාන රත්න මහත්තයයි දෙන්නා නියෝජ්‍ය සාමාන්‍යධිකාරි වරුන් හෙවත් තේරෙණ සිංහලෙන් කියනවා නම් AGM ලා, චන්දිම අයියා ට්‍රක් ඇන්ඩ් බස් සෙක්ශන් එකේ බොස්! චන්දිම අයියානම් ඉන්ටර්වීව් එකේදී කෙළ කරණ්න ප්‍රශ්ණ ඇහුවේ නැති බව නම් මතකයි. නමුත් අවසාන පරීක්ෂණයට මුහුණ දුන්නේ එවකට වැඩහලේ සාමාන්‍යධිකාරී හෙවත් GM Workshop පද්මන් වන්නිආරච්චි මහත්තයා සමග. වැඩහලේ සාමාන්‍යාධිකාරී හෙවත් GM කිව්වාම මගේ හිතේ ඇඳිලා තිබ්බේ හයේ හතරෙ ඩයල් එකක්. ඥානරත්න මහත්තයත් හෙන කඳයා වගේ හිටපු නිසා මට එහෙම හිතුනු එකේ ලොකු වැරැද්දකුත් නැහැ. ඒත් එතුමාගේ කුටියට ගියාමයි වැඩේ හරියටම තේරුණේ.
ඔහු සිරිරෙන් ඉතා කුඩා මිනිසෙක්. මුහුන පුරා නැතත් යට දාරයට වෙන්න එහෙන් මෙහෙන් සුදු වුනු රැවුලක් තිබුනා. හරියටම ඉස්සර ගෝල් ලීෆ් පැකට් එකේ ජෝන් ප්ලේයර් ලොක්කා වගේ. ඒ කිව්වාමයි මතක් උනේ පද්මන් මහත්තයා නාවුක හමුදාවේ කලකට පෙර සේවය කරපු ගිණි සීනියර් පොරක්. ඔය වග මට කිව්වේ පසු කලෙක අපි එක්ක වැඩ කරපු නානායක්කාර මහත්තයා.
පද්මන් මහත්තයාගේ මුල් ගම් වේයන්ගොඩ පැත්තේ. පද්මන් මහත්තයාගේ වැඩක් තිබ්බා කතා කරණ්නේ අමු සිංහලෙන් . ඉංග්‍රීසියෙන් නම් ඒත් එහෙමයි. එතුමාගේ දින චරියාව උනේ උදේ 6.00 විතර වෙන කොට වැඩට ඇවිත් පලවෙනියෙම්ම මුළු වැඩහල පුරා විදුලි වේගයෙන් ගමන් කිරීම. ඒ ගමනේදී මුළු අක්කර හත පුරාවට තියෙන තිබුනු සියළුම වාහන වල විස්තර ටික ස්කෑන් කර ගන්නවා. දොරවල් ඇරලා තිබුනු ඒවා, යතුරු කටේ තියලා හවසට ගෙදර ගිය වාහන, වැරදි තැනක නවත්තලා තිබ්බ ඒවා මේ හැම එකක්ම ස්කෑන් කරගෙන ඇවිත් තමයි තමංගෙ කාමරේට රිංග ගෙන දත් කූරු කන ගමං බත් එක කන්නේ. එක කාලා ඉවර වෙලා සිස්ටම් එක ඔන් කරගෙන රාජකාරි පටං ගන්නවා.
අපේ රැකියාව පටං ගන්නේ උදේ 8.30ට. කැන්ටිමට ගිහිං පරටා තුනක් කාලා හොරෙං ගෙනාපු සිගරට් එකක් තියේ නම් ඒකත් බෝ ගහ අයිනෙ ඉඳන් ගහලා ඩෙමාලා එක්ක පොඩි වච වචයක් දාලා තමයි සෙක්ශන් එකට එන්නේ. ඔය එන ගමනේදී තමයි යම රජ්ජුරුවන්ගෙන් කෝල් එක එන්නේ. මොබයිලයේ තිරේ මත "GM" කියලා දකින කොටම කාපු බීපුවා පිච්චිලා ගිහිං ඉවරයි.
"ගූඩ් මෝනිං සර්" අපි කතාව එහෙම පට ගන්න ඉස්සෙල්ලම පදමන් මහත්තයා හෙමිං ඇහෙන නෑහෙන ගානට "පද්මන්!" කියලා තමංව හඳුන්වා දෙනවාත් මට මතකයි. එතැණ් පටන් එක දිගට පෙර වැරදිවලට පද්මන් මහත්ත්යා වචන දමා වෙඩි තැබීම අරඹනවා! ඒත් එයාගේ තිබුනා හොඳ ගතියක්. මොන තරං කේස් එකකට කතා කලත් එයා අහන පලමු ප්‍රශ්ණය උනේ "කතා කරන්න පුළුවං තැනකද ඉන්නේ?" කියන එක! අපිට ඉඩක් තිබුනා පසුව කතා කරණ්න තැන අවුල් නම්.
ඒ කාලේ යුනයිටඩ් මෝටර්ස් වැඩහලේ ඔහුගෙන් බැනුම් අහපු නැති කෙනෙක් හිටියා නම් මං හිතන්නේ ඒ බෝතලේ ජයවර්ධන මහත්තයා විතර වෙන්න ඇති. මේක දැක්කම ජයවර්ධන මහත්තයා ඒ ගැන හරියටම කියයි. ඒ වගේම ඔහුගෙන් තරම්; අම්ම තාත්තගෙන්වත් බැනුම් ඇහුව බවක් මටනම් මතක නැහැ. හැබැයි එකක් මොකක් හරි අවුලක් උන ගමන් එයාගේ කාමරේට අඬ ගහලා එක දිගට ප්‍රශ්ණ කිරීම පටන් ගන්නවා. දෙයියනේ කියලා එයා අහන අහන එකට "ඔව් සර් කිව්වා!", "ඔව් සර් කලා!", "ඔව් සර් ඇහුවා!" කියන්න පුළුවන්නම් ඒ කියන්නේ අපේ පැත්තෙන් අපි පිළිවෙලටම වැඩේ කරලා. ඒක එහෙම උනෝතින් "අනේ එයාට සරුංගලයක් ඇරගන්න කියන්න!" කියලා වැඩේ භාර දෙනවා අදාල අංශයේ AGM ට. බොහෝ විට ඕකට අහුවෙන්නේ කුමාර් එදිරිසිංහ මහත්තයා. "කුමා අනේ පොඩ්ඩක් බලන්න අර කොහෙද යන පිස්සෙක් මෙයාට කම්ප්ලේන් එකක් කරලා!" එහෙමයි වැඩේ කෙළවර වෙන්නේ.
කරුමෙටවත් අපි පොටක් වරද්දගෙන තිබ්බොත් දෙයියන්ගේම පිහිටයි. ඒ කාලයේ අපට වාහනයක් රෙපයාර් එකට ආවාම ඒක හදන්න කලින් ඇස්ටිමේට් එකක් වාහනේ අයිතිකරුට ඉදිරිපත් කොට ඊට අදාල අනුමැතිය ලැබුණු පසුවයි වැඩේ පටන් ගන්නට පුළුවන් වෙන්නේ. සමහර අවස්ථාවලදී වැඩහලට වාහනය ගෙනෙන රියැදුරුගෙන් අප විමසා වැඩේ පටන් ගන්නවා. ඒ අයිතිකරු සම්බන්න්ධ කර ගැනීමට අපහසුව හෝ අතපසු වීම නිසා වෙන්න ඕන! සීයට අනූවක්ම කිසි අවුලකින් තොරව වැඩේ කෙරුනත් සමහර අයිති කරුවන් සමහර වෙලාවට ඒකට ලෙඩේ ඇදීම වෙලාත් තියෙනවා. බොහෝ වේලාවට රියැදුරු; තමන් අනුමැතිය දුන් බවක් කියන්නෙත් නෑ අපි කීවාට පිළිගන්නෙත් නෑ. එයාලා ඒ අයගේ පශ්චාත් භාගය බේරා ගන්නවා "මට කිව්වේ නෑ!" කියලා. මෙවැනි අවස්ථාවලදී පද්මන් මහත්තයා ප්‍රශ්ණ කරණ්නේ ඔහුගේ සුපුරුදු වාග් ශෛලියෙන් මෙන්න මේ විදියටයි.
"දැන් ඔයා මේ අලුත්වැඩියාවට මේ තරම් මුදලක් යනවා කියල්ලා පැහැදිලිව කිව්වාද?"
"කිව්වා සර්!"
"එහෙනම් මේ අයිතිකරු කියන්නේ එයා දන්නේ නෑ කියලා!"
"සර් මම කස්ටමර්ව කන්ටෑක්ට් කරණ්න දෙතුන් පාරක් ට්‍රයි කලා. එයාව කන්ටෑක්ට් කරගන්න බැරි උනාම ඩ්‍රැයිවර්ට කියලා . . . . "
"රියැදුරන්ට කියලා වැඩක් නෑ කියලා මම කී වතාවක් කියලා තියෙනවාද? ඔයාද මේකෙ CEO? ඔයාටයි මටයි මේ කර්මාන්තෙ කරණ්න බෑ. . . . . . . .!" එතැනින් එහාට කතා කොට පලක් නැත. බලු බැනුංය! නමුත් එක දෙයක් - ඔහු බැන වැදුනාට පසු වෙන කිසිවෙකුහට ඉන් පසුව අපට බැනුම් අහන්නට ඔහු ඉඩ නොතබයි! අහුවුනු හොරාට ගසා පොලීසියට භාර දීම ඔහුගේ ක්‍රමය නොවේ. ඔහු ගැහුවාට පසු පොලීසියට අත තියන්නට ඔහු ඉඩ නොදේ. ඔහු ඊට පිට දේ!
අපගේ වැඩහල පුරා ගැවසෙන දඩාවතේ යන බල්ලන් කිහිප දෙනෙකු සිටියේය. ඔවුන්ගේ ප්‍රථම රාජකාරිය වූයේ උදෑසන 8.30ට යකඩ කටින් කෑගසන ජාතික ගීයට; තගයට උඩු බුරලීමයි! වරක් වැඩහලට පැමිණි පාරිභෝගිකයෙකු අතින් එක් බල්ලෙකු යටවිය.
පදමන් මහත්තයාහට මෙය ඇසුණු සැණින් ක්‍රියාත්මක විය. පාරිභෝගිකයාව වහාම මුණ ගැසුණු ඔහු පාරිභෝගිකයා ඇමතීය!
"කරුණාකරලා ඔය මහත්තයා තමංගෙ වාහනේ අරං ඉක්මණින්ම පිටවෙන්න. බල්ලෙක්ව බේරගෙන වාහනේ එළවන්න බැරි ඔබතුමා මෙතන වැඩ කරණ මිනිහෙක්වත් යට කරයි!" ඔහු පාරිභෝගිකයාව වැඩහල් පරිශ්‍රයෙන් ඉවත් කලේ එසේය!
අපගේ ප්‍රධාන කාර්‍යාලයේ දිසානායක නම්වූ ඉහල රැකියාවක් කල පඬිතුමෙක් වාසය කලේය. ඔහු පාසල් කලේ ආනන්දයේය. එකල ඔහුව ඇමතූවේ "කටා" යන නමිනි. ඒතරම්ම අනගිභවනීය කටකට ඔහු හිමිකම් කීය. ඔහු සේවය කලේ වාහන විකුණුම් අංශයේ වන අතර දිනක් පැවැත්වූ සේල්ස් මීටිමකදී ඔහුගේ විකුණුම් පහත වැටීමට හේතුව ලෙස දක්වා තිබුනේ වැඩහලේ වැඩ කටයුතු වල දුභල තාවය නිසා පාරිභෝගිකයින් අපගේ වාහන මිළදී ගැණීමට පැකිළෙන භවයි.
මීටිම ඉවර වීමටත් ප්‍රථම පද්මන් මහතාට මේ බව ආරංචි විය.ඔහු වහාම වැඩහලේ ආරක්ෂක ප්‍රධානි ඇමතුවේය.
"අර . . . . . දිසානායක ගේ වාහනේ කිසිම ගේට්ටුවකින් ඇතුලට ගන්න එපා! එයාට කියන්න එයාගේ වාහනේ හොඳ තැනකින් හදා ගන්න කියලා!" එවකට දිසානායකට ආයතනයෙන් වාහනයක් ලබා දී තිබුනෙය. එහි ලිහිසි සේවා හා අලුත්වැඩියාවන් සිදුවන්නේ අප වෙතිනි. පුරා වසරකට ආසන්න කාලයක් දිසානායකගේ වාහනයට අපගේ වැඩහල තහනම් ප්‍රදේශයක් විය. පසුව පද්මන් මහත්තයාගෙන් සමාවගත් පසුව යලිත් දිසානායකට වැඩහල විවරවිය!
එකල මසකට හෝ දෙකකට වරක් වැඩහල් අංශයේ අප පද්මන් මහතා සමග කොහේ හෝ ගියෙමු. ශ්‍රමධානයක්ද මළ දානයක්ද පාටියක්ද මලගෙයක්ද කුමක් හෝ අවස්ථාවක් අප එක්වීමට යොදා ගත්හ. එවන් අවස්ථාවලදී අප සියල්ලන්ම එක් පවුලක් සේ එකට කාබී සුපිරි ආතල් එකක් ගත්තෙමු. පෙර දිනයේ බැනුම් අහපු කථා එදිනට අප සිහි කරණ්නේ ඉල අල්ලාගෙනය. රඟ පාමින්ය! දිනක් එවන් අවස්ථාවකදී මා පද්මන් මහතාට කිට්ටුවී "සර් අපි වැරැද්දක් කලාම එකසිය ගානට බණිනවා. ඒත් හොඳක් කලාට ඒකට කිසිම හොඳක් කියන්නේ නෑනේ!?" ඔහුගේ පිළිතුර ඉතා කෙටි විය. "ඒකට තමයි පඩි දෙන්නේ!?"
පසු ගිය ඉරිදා දිනයේ යුනයිටඩ් මෝටර්ස් ආයතනයෙන් ඉවත්ව ගිය පිරිස එක් රැස් විය. එදින කලකට පසුව පද්මන් මහත්තයා හමුවීමට අවස්ථාවක් ලදිමි.
"සර්ට මතකද ඒ කාලේ සර් අපෙන් ඇහුවාම ඔයා හෙට යනවද කියලා ඒකට අපි හෙට නම් යැවෙන්නේ නෑ කිව්වාම; යැවෙන්නේ නෑ? යැවෙන්නේ නෑ තමයි! යන්නෝන! කියලා කෑ ගහනවා. මම මේ ඊයේ පෙරේදා අපේ දුවත් මොකද්ද ඔය වගේ අනියමාර්තෙ උත්තරයක් දුන්නාම මළ පැනලා කිව්වා ඔයා වැඩ කලා නම් වන්නො ආරච්චි මහත්තයත් එක්ක ඔයාව ගෙදර එළවලා කියලා කිව්වා"
"ඒ ගොල්ලො කොහොමද මාව දන්නේ?"
"ඇයි සර් සර් අපිට බැන්නාම අපි ගෙදර ගිහිං කියනවානේ?"
පද්මන් මහත්තයාට හිනාය!
මා යුනයිටඩ් මෝටර්ස් ආයතනයෙන් ඉවත්ව ඔටෝ මිරාජ් ආයතනයට එක්වී; ඔටෝ මිරාජ් ආයතනයේ විශාලතම මුදල් ඉපැදවීම කල ශාඛාව කළමණාකරණය කරද්දී පද්මන් මහතාගෙන් උගත්දෑ අත්දුටු දේ බොහෝ සේ උපකාරී වුනු බව මා ඔහුට එහිදී පැවසීය.
එකල භාවිතයේ පැවති මිට්සුබිෂි පමනක් නොව නිසාන් ටොයෝටා හා වෙනත් ඕනෑම වාහනයක එන්ජින් මොඩලය, හා වාහනයේ සියළුම තාක්ෂ්ණික කාරණා අතැඹුලක්සේ හේ දැන සිටියේය. මා දැනට පාවිච්චි කරණ අවුරුදු පණහකට ආසන්න ටොයෝටා HJ45 රථය පිළිබඳව පැවසූ සැනින් හේ පෙරළා මගෙන් විමසූවේ "ඕකෙ තියෙන්නේ H හරි 2H හරි එන්ජිමක් නේදැයි කියාය!
කාලය විසින් යුනයිටඩ් මෝටර්ස් ආයතන්යෙන් ඔහුට සමුගැනීමට සිදුවී පැවැත්වූ අවසාන හමුව මට අද වාගේ මතකය. ඔහුගේ අවසාන වදන් පසු ගිය ඉරිදා මා ඔහුටම පැවසූ විට ඔහු නිහඬව සිටියේ එය අනුමත කරමිණි.
"මේ මගේ තාත්තාගේ වියෝවෙන් පස්සෙ වැඩියෙන්ම දුක් වෙන දවස!"මේ එතුමන්ගේ වචන. දැන් ඒ වචන අවුරුදු 5ක 6ක අතීතයක්.
ඒත්;
ඔව් සර්! අපිටත් ඒ දවස අමතක නොවේවි කවදාවත්ම!
බොහොං කණගාටුයි. ඔහුට සුභ ගමන්. එහම අය එක්ක වැඩ කරන්න ලෙහෙසියි. කියන දේ මුණට කියනවා. එතනිං ඉවරයි.
ReplyDeleteඔව් අජිත් අයියේ ඒක බොහොම වේදනාත්මක සමුගැනීමක් උනා!
Deleteයකඩ එක්ක හැප්පුණු යකඩයෙකු ගැන
ReplyDeleteපරමාදර්ශයක් වෙන මහතෙකුගෙ ගැන
පද්මයක්ම වූ පද්මන් කෙනෙකු ගැන
කියෙව්වෙමි තුටින්, ලිව්වට මෙන්න පින!
ඔව් නිදි මහත්තයා! එතුමා නම් යකඩයෙක්ම තමයි. "තමා නිවැරදි දේ කරණවානම් මොකටද බය වෙන්නේ?" ඔය එතුමන්ගේ කටේම තිබුනු වචන!
Deleteආයතනයක් දියුණු වෙන්නනං ඔය වගේ කෙලින් වැඩකරන මිනිස්සු ඉන්න ඕන. කියන්න ඕන දේ තමංගෙ ආයතනේ අයට විතරක් නෙමෙයි අර බල්ල යටකරපු පාරිභෝගිකය වගේ අයටත් කෙලිංම කියල දාන එකයි වැදගත්.
ReplyDeleteසත්තකින්ම ඔහු ආයතනයේ පාලකයින්ටවත් ඇඹරුණු කෙනෙක් නම් නෙවෙයි කවදාවත්ම.
Deleteපද්මන් වන්නිආරච්චි කියන්නේ මහාචාර්ය ඩෙස්මන් වන්නිඅරච්චිගේ සහෝදරයෙක්ද?
ReplyDeleteමම දන්නා තරමින් නැහැ!
DeleteMe siyalla sahatika Atta etumagen igenagat bohomai mage aw42 ka Sewa kalayedi mama vadiyenma garu karanna charitaya
ReplyDeleteඔබගේ නම ලියන්නට පුළුවන්නම් ඔබේ කමෙන්ටුවට ලොකු වටිනාකමක් ලැබේවි!
Deleteඅනගි අතීතාවර්ජනයk.
ReplyDeleteස්තූතියි කුමා එදිරිසිංහ සර්!
Deleteයම් යම් අඩුපාඩු තිබුනත් පද්මන් ගෙන් ඉගෙන ගතහැකි දේවල් තිබුනා. ඩුප්ලිකේෂන් සිදුවීමේදී ඔහුගේ සිදු වූ අතපසුවීම තමයි මතක් වෙන්නේ.
ReplyDeleteග්ලිට්ස්පාර්ක් එකෙන් කරපු දෙයක් කියනවානේ.
කාගෙද අඩුපාඩු නැත්තේ? මම ඒ ඩුප්ලිකේශන් සිදුවීම පිළිබඳව නොදනිමි!
Delete🤓🤞😇
ReplyDeleteස්තූතියි!
Deleteහරිම අපූරුයි. හතර පාරක් කියෙවි වා ඔබට තුති.
ReplyDeleteස්තූතියි බොහොම!
Deleteලස්සන මතක සටහනක් . ඔබේ කෙටිකථා වැඩි දෙනෙකුගේ කියැවීම පිණිස සිසිල සගරාවට යවන්න. කවි ලන්ඩන් කවියට යවන්න. කැමැති නම් විශාල පිරිසක් කියවන මුහුණු පොත් පිටු වන අඩයාලම සහ විදිල්ලේ පල කරන්න.sisila.sangarawa@gmail.com, https://londonkavi.com/contact/,https://www.facebook.com/groups/atampahiya
ReplyDeleteඅනුරුද්ධ ඔබ අප වැනි දුහුනන්හට බොහෝ අවස්ථා සැලසූ කෙනෙක්! ස්තූතියි ඔත්තුවට!
Deleteමේ වගේ චරිත වලින් අපේ ජීවිත වලට එකතු කර ගතහැකි දේ බොහෝමයි. ස්තුතියි අකුරු ඇමුනුමට......
ReplyDelete-වීරසිරි බන්ඩාර-
ස්තූතියි වීරසිරි බණ්ඩාර මහතා. ඔබත් ඔහු සමග සේවය කොට ඇත්ද?
Deleteනැහැ , ඒත් මේ වගේ සදා නොමියෙන චරිත සමග රැකියාවේදී ගනු දෙනු කර තියෙනවා..... මේ වගේ අකුරු ඇමුනුම් තුළින් ඒ සුන්දර මතකය හදිස්සියේම අලුත් වෙනවා.... ස්තුතියි....
DeleteHarima lassanai,niyameta liyalaa thiyenawaa.
ReplyDeleteස්තූතියි!
Deleteපැමිණියෙමි... කියවීමි.....❤👍
ReplyDeleteඑළ! එළ!!
Delete