Thursday, June 9, 2022

234. මව්බිම වටා සයිකලයෙන් . . . 2

2022/05/20
පැලවත්ත පාලං තුන අසල  Decathlon කඩේ ඉදිරිපිට!

සමීරගෙන් ගෙන ආ සයිකලය; මුල් දින කිහිපයේ ප්‍රශස්ථ මට්ටමක පැවතුනි. සෑම දිනෙකම නැතත් හැකි සෑම දිනෙකම කිලෝමීටර 40 ක පුහුණු සැසියක් පැදීම මා කලෙමි. ඒ කාලය තුල දෙවතාවක් නිශාන්ත මා සමග පැද්දේය. දෙවෙනි වර  කඩවතින් වැලිවේරියටද එතැනින් බ්ලොග් ලියන සජ්ජාගේ නිවස ඉදිරියෙන් ගොස් නිට්ටඹුවට වැටී ආපසු ආවෙමු. එම ගමනේදී යක්කලදී නිශාන්ගේ කෙන්ඩ පෙරළීම මාගේ සිත සසල කල සිද්ධියක් විය. ඔහුට මෙතරම් දුරක් පැදගත හැකි වේවිදැයි මාහට සිතුනි. අවසන ඔහුව ගෙදරටම ඇරළවා මා ආපසු ගෙදර පැමිණියේ ඔහුව තනිව යැවීමට මාහට සිත නුදුන් නිසාය.

ඒ ගමනේදී සිදුවූ තවත් අකරතැබ්බයක් වූයේ මාගේ සයිකලයේ බොටම් බ්‍රැකට් එක (සෙන්ටර් ඇක්සලයෙන්) සිහින් හඬින් කෙඳිරි ගෑමට පටන් ගැනීමයි. කෙඳිරිය හීන් කෙඳිරියෙන් පටන් ගෙන මහ කෙඳිරියක් වන විට සයිකලයේ "ගමන" ද සැළකිය යුතු ප්‍රමානයකින් අඩුව තිබුණි. ආපසු ගෙදරට එන විට කෙඳිරිය බොහෝ සෙයින් වැඩිවී තිබු අතර එදින හෝ පසු දින නැවත සයිකලය ඩොක්ටර් සමීර වෙත ගෙන ගියෙමි! සමීර ගේ ගෙවන වාට්ටුවේ සයිකලයක් ඇඩ්මිට් කල සැණින් එයට ප්‍රථිකාර නොලැබේ. එයට දිනක් දෙකක් ගතවේ! ඒ සඳහා දුරකථන ඇමතුම් දෙකක් තුනක් ලබා දීමද අප වෙතින් අනිවාර්‍යයෙන් සිදුවිය යුතුය! ඒවන විටත් මීට මාස ගනනාවකට පෙර ඇඩ්මිට් කල මාගේ ජයන්ට් XCR 1 ඩ්‍රොප් හැන්ඩලයද; කාබන් ෆයිබර් සයිකල් දෙකක් අතර කිසිදු අවුලකින් තොරව; තවමත් වහලේ එල්වා තිබුනි.

දෙල්ගොඩ සමීරගේ ගෙවන වාට්ටුව! 

දින දෙකක් ඇවෑමෙන් සමීර රෝග නිධානය සොයා ගෙන තිබුනි.  සයිකලයේ පසුපස රෝදයේ හබ් එක හෙවත් ඇක්සලය වටා ඇති  යකඩ බෝල දිවැවෙන හවුසිම කැපී ඇති බවය.

ගමනට  ඔන්න මෙන්න කියා සිදුවූ මේ අකරතැබ්බය සිදුවන විට මුළු ගමන සඳහා බර පැන සැපයීමට වසික සූදානම්ව ඒ සඳහා රුපියල් 50,000 ක මුදලක් මාගේ බැංකු ගිණුමට බැර කොට තිබුනි. සල්ලි අතේ ඇති විට අපි කවුරුත් සුද්දන්ය! අප එක් එක් අය ලෝභ නැතිව මුදල් වියදම් කරන කාරණා  විවිධාකාරය. සමහරුන් කෑමටය! තවත් අය බීමටය!! තවත් සමහරු අඳින්නටය!!! බොහෝ පිරිමි; තමන්ගේ යන්තර සඳහා නිර්ලෝභීව වියදම් කරති. මම ඉන්නේ හතර වැන්නේය. යන්තර සඳහා වියදම් කිරීමට ලෝභ නැත! 

"දාන්න මල්ලි හබ් එක අලුතෙන්!" කීයද ගාන කියලාවත් නොඅසා  අනුමැතිය දුනිමි.

පසුදින සයිකලය ලැබුනු අතර එය සිනිදු පැදීමක් සහිත විය.

"අයියේ මම නිල් පාට ග්‍රීස් දාලා තියෙන්නේ! ආයෙ මුකුත් බලන්න ඕනෙ නෑ ගමන ගිහින්ම එන්න!" සයිකලයේ ටිකට් කපද්දී දොස්තර සමීර පැවසූ වචනයි ඒ!

අප්‍රේල් 10  වනදාට කිට්ටු වන විට බෙංගාල බොක්ක හිල්වී අධික වර්ෂාපතනයක් ලැබෙමින් විය! ඒ අතර කිහිප වතාවක් නිශාන් මා සමග දුරකථනයෙන් එක්වුනු අතර ඒ වන විට අපගෙනයන අඩුවැඩිය පිළිබඳ තීරණයකට එළඹ සිටියෙමු. විසඳා ගැනීමට කල්ගිය පරස්පරය වූයේ පැනියරය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවය.

පැනියර් යනු සයිකල් පසුපස සවිකරණ ලගේජයට අමුණන රෙක්සීන් නො එසේනම් PVC බෑගය හෙවත් මල්ලය.  මා සතුව එවන් මළු දෙකක් විය. මා සතුව තිබූ පැනියර කොටස් තුනකට ගැලවිය හැක. එනම් පසුපස රෝදය දෙපස ඇති කොටස් වෙන වෙනම ගැලවීමට හැකි වීමය. එසේ ගැලවූ පසු ඉතිරි වන්නේ ලගේජය මත පිහිටි කුඩා කොටස පමනකි. 

ගමන සඳහා අප ආරම්භයේ සිටම මමත් නිශාන්තත් අතර; අප ගෙන යා යුතු බඩු භාහිරාදිය පිළිබඳව සම්මුතියක් පැවතුනි. 

දිනපතා භාවිතා කරණු ලබන බෙහෙත් හේත්

හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්නා ප්‍රථමාධාර එකතුවක්. ( ගෝස්, පුළුන්, බැන්ඩේජ්, ක්‍රෙප් බැන්ඩේජ්, තුවාල බෙහෙත්, පාචනය/වමනය/හිසේ රුදාව සඳහා බෙහෙත් පෙති.)

විටමින්, ඛණිජ ආදිය (විටමින් D, E. මත්ස්‍ය තෙල්, මැග්නීසියම් හා සින්ක්)

සයිකලයේ හදිසි අලුත්වැඩියාවන් සඳහා මෙවලම් කට්ටලයක් (සයිකල් සඳහා විශේෂිත ඇලන් කී කට්ටලයක්, ලෙදර්මන් ටූල් එකක් වන් ආයුධයක්, ටියුබ් දෙකක්, සයිකල් පොම්පයක් හා ටියුබය සිදුවිය හැකි සිදුරක් හෙවත් පැච් එකක් යථා තත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය මැලියම් හා අලවන ආදිය මීට ඇතුලත්විය.)

ඇඳුම් පැලදුම් (සයික්ලිං ෂොර්ට්ස් දෙකක්, සයික්ලිං ජර්සි දෙකක් නිදන ඇඳුම් හා යට ඇඳුම්)

වතුර හා ජීවනී

අමතරව:- දත් බුරුසු, දත් බෙහෙත් යනාදිය.

මුදල්, නය පත්, හැඳුනුම් පත

මෙහිදී මා හැකි උපරිමයෙන් උත්සාහ කලේ අප ගෙන යන ද්‍රව්‍ය හැකි පමණ අවම කිරීමටය. ම්ම නිශාන්ත වෙත මා සතු පැනියරයක් ලබා දීමට කැමැත්ත පල කලත් ඔහු වඩාත් කැමති වූයේ ඔහුගේ පුත්‍රයා සතු රවුම් බෑගයකට ඔහුගේ අඩුම කුඩුම අහුරාගෙන එය බයිසිකලයේ පසුපස ලගේජයේ ගැට ගසාගෙන පැමිණීමටය. මේ පිළිබඳව කිහිප වතාවක් ඔහුට හේතු කාරණා සපයා අවසානයේදී මා හටන් ඔහුව එකඟ කර ගැනීමට හැකිවිය.

පැණි බේරෙන පැනියරයක්!

මෙවන් ගමනක් හෝ වෙනයම් කාර්‍යයක් ඉටු කිරීමේදී එය කිසියම් ප්‍රමිතියකින් ඉටු කිරීමට මා හට ඇවැසිය.

එම ආකල්පය; මාගේ බොහෝ එදිනෙදා කටයුතු කරගෙන යාමේදී බාධාවක් වී ඇති මුත් එය වෙනස් කර ගැනීමට මාහට බොහෝ සෙයින් අසීරු වී ඇත! මාහට  සයිකල් පැදීමට නම්; සයික්ලිං ෂෝර්ට් එකක්ද, අත් වැසුම්ද, හෙල්මටයද, පාවහන් හෝ සැන්ඩ්ල්ස් කූට්ටමක්ද, මොබයිලය දමා ගැනීමට අදාල - නියමිත පසුම්බියක් හෙවත් පවුචයක් සමග  හොඳ සයිකලයක්ද අවශ්‍යවේ. මේවා එකක් හෝ අඩුපාඩු වේ නම් එදාට මා සයිකල් පදින්නේ නැත! මීට කලකට පෙර; සතියේ  සඳුදා සිට  සේවයට යෑමට සඳහා මා සූදානම් වන්නේ පෙරදින සති අන්තයේය. ඉහත කී අඩුම කුඩුම සියල්ල සමග සයිකලය ඩීසල් වලින් හා ජලයෙන් සෝදා වේලා ලිහිසනය කර ගැනීම සිදුවන්නේ ඉරිදා හවස වන විටය! මින් එක් අංගෝපාංගයක හෝ අඩුවක් වුවහොත් මා සඳුදට සයිකල් පදින්නේ නැත! මේ මානසිකත්වය තුල නියමිත පැනියරයක් වෙනුවට බෑග් මල්ලක් ගැටගසාගෙන යෑමට මා කිසිලෙසකින් කැමති නොවුනි. 

අවසානයේ බොහෝ දෙබස් වලින් පසුව නිශාන් මාගේ පැනියරය පාවිච්චි කිරීමට කැමති විය. මේ අතර නිශාන් වෙතින් මාහට අනර්ඝ ත්‍යාගයක් ලැබුනි. ඒ ස්පීඩෝ මීටරයකි. ස්පීඩෝ මීටරයක් කීවාට එය ප්‍රාථමික සයිකල් කම්පියුටරයකි. එහි සයිකලයේ වේගය, වෙලාව, සයිකලය පැදීමේදී ලංවූ වැඩිම වේගය, සාමාන්‍යය වේගය, ගතවූ කාලය හා දැවුනු කැලරි ප්‍රමාණය වැනි කාරණා සියල්ල එයින් කියැවුනි. සයිකලයේ ඉදිරිපස රෝදයේ ස්පෝක් කම්බියක රැඳවුනු කාන්දම් කැබැල්ල; සයිකලය පැදීම සමග භ්‍රමණය වන වේගය; සයිකලයේ ඉදිරිපස පෝක් අතෙහි සවි කොටඇති සෙන්සරයක් මගින් ලබා ගන්නා දත්ත මගින් මෙම කම්පියුටරය ඉහත කී කියැවීම කියනු ලබයි!

නොමිලේම ලැබුණු ත්‍යාගය සයිකලය මත සවි කලේ සමීර විසිනි.

අප්‍රේල්  9 වන දින වන විටත් වැස්සේ අඩුවක් නොවුනි. මීට පෙරදී අප කල සෑම සයිකල් සංචාරයක්ම පිටත් වූයේ පාන්දර 4.00 ට පෙරය. එහෙත් පෙර දින වට වැස්ස; පසුදින පාන්දර ගමනක් පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් ඇති කරවූයේ නැත. 9 වන දින රාත්‍රියේ 10.00 පමණ වන විටත් මා සයිකලය සූදානම් කරමින් විය! එයට ප්‍රධාන හේතුව වූයේ; පැනියරයේ දෙපස කොටස් දෙක ඉවත් කොට ලගේජය මත තැබෙන කොටස පමනක් ගමන සඳහා භාවිතා කිරීමට අප ගත් පොදු එකඟ තාවයයි.

එදින රාත්‍රිය මාහට නින්දක් නොවීය! ඒ පසුදින ගමන පිළිබඳව තිබුනු කැළඹිළි සහගත් සිතුවිළි ය! මා කලින් පෝස්ටුවේ ලීවා සේ මෙවන් ගමනක් යෑම සඳහා විශාල පසුබිම් සහයක් අවශ්‍යය. මේ ගමනේදී අපහට සිටින්නේ අප දෙදෙනා පමණය! මධුශාන් නොමැති වීමද මාහට තදින් දැනුනු අඩුපාඩුවක් විය. එහෙත් ඒ පිළිබඳව කිසිවෙකුට හෝ නොකීමට මා පරිස්සම් උනෙමි.ගමන යෑමට සතියකට දින පහකට පමණ පෙරදීද මා ඒ පිළිබඳව මධූගෙන් නැවත විමසීමක් කලෙමි. එහෙත් ඔහුගේ අවසාන වැකිය වූයේ "බාප්පිලා යන්න! මට එන්නම විදියක් නෑ !" කියාය. 9 වන දින හෝ 8 වන දින මධූ මා හමුවීමට පැමිණි අතර ඔහුගේ ටේල් ලාම්පුව හා ඉදිරි පස පහන ගෙන යන මෙන් පැවසූවද එය 10 වන දින වන විටත් ලබා ගැනීමට නොහැකි විය.

10 වන දිනට එළිවුනි. ජීවිතයේ බකට් ලිස්ට් එකේ තවත් එක් ඉලක්කයක් සපුරා ගැනීමට අද මම පිටත් වීමට නියමිතය. දින දහයක්  හෝ දොලහක් පුරාවට; දිනකට කිලෝමීටර 140 - 150ක් බැගින්  නොනවත්වා පැද යා යුතුය. ගාල්ල - මාතර නොව පානදුර පසුවූ මොහොතේ පටන් අලුත් පරිසරයකට අප අවතීර්ණ වේ. ගාල්ල  මාතර තිස්ස කතරගම පසු  කිරීමෙන් පසු අප දන්නා කිසිවෙකු නොමැත!  කතරගමෙන් පසු ගමනේදී අපගෙ සයිකලයක් අබලන්වූවද,  අනතුරකට මුහුන පෑවද, සෞඛ්‍යමය ගැටළුවක් මතුවූවද, හොර හතුරු උවදුරක් හෝ සතා සීපාවෙකුගෙන් සිදුවිය හැකි ආපදා තත්වයක් ඇති වුවද අපට කිසිදු හව් හරණක් නොමැත! ජීවිතයේ ඉන් පෙර කිසිදු දිනෙක; නිශාන්වත් මම වත් ලක්දිව වටා වන්දනා බසයකින් වත් ගමන් කොට නොමැත! එසේ ගිය එකෙක් දන්නෙත් නැත! (මෙහිදී රෝද දෙකේ රස්තියාදුවේ "මද්දා"ව මෙහිදී අකාරුණික ලෙස මග ඇරී ගියේය!) කොටින්ම ගූගල් ස්ට්‍රීට් ඇප් එකෙන් වත් එමග මංගච්චා නොතිබුනි. එසේම නවාතැන් ගැනීම සඳහා සුදුසු ස්ථාන, හෝටල් කාමර සඳහා කිසිදු වෙන් කිරීමක්ද සිදුකොට තිබුනේ නැත. කොටින්ම මෙය දින දහයක අකීකරු රස්තියාදුවක්ම විය! 

අප්‍රේල් 10 වන ඉරිදා උදේ පාන්දර 5.00 ට පමණ මා පිබිදුනෙමි.  පෙරදින කඩින් කඩ වට වැස්ස මේවන විට ඒකාකාරව ක්‍රියාත්මකවී ඇති සෙයකි. තවත් මොහොතක් සයනයේම ගත කොට සූදානම් වීම ඇරඹූවෙමි. පෙරදින කථිකා කරගත් පරිදි නිශාන් මාහට ඇමතුමක් ලබා දුන්නද ඒවන විට මා සූදානම්ව අවසන් වීමට ආසන්නව සිටියෙමි. 

"අයියේ කීයටද යන්න පිටත් වෙන්නේ?"

"6.00 ට  කඩවත කැන්ඩි එක ලඟට සෙට් වෙමු!"

"හරි!" 

එදින උදේ උදෑසන 6.00 විනාඩි 20 කට පමණ තබා නිවසෙන් පිටත් උනෙමි. "අන්තිම පිදුරු ගහ ඇති ඔටුවා මැරෙන්න!" කියා පැරණි කියමනක් මා අසා ඇත. ගමනට අවශ්‍ය කුඩා කුඩා දේ එකතු කිරීමෙන් සයිකලයේ බර සිතුවාට වඩා වැඩිවී තිබුනි. මාගේ නිවෙසන් පිටත්වී කාපට් යෙදූ ගම්බද පාරකට අවතීර්ණ වනතුරු මීටර 25 - 50  ක දුරක් එන්නට ඇත්තේ පස් පාරකය. පසුගිය කාලය පුරා වට වැස්සෙන් තෙත බරිත වී පෙඟුණු පාන් රාත්තලක් වැනිවූ පාරේ සයිකලයේ රෝද එරී යමින් විය.

පලමු පෝස්ටුවේ ලියා ඇති පරිදිම මාගේ සයිකලයේ චෙන්, වේග තුනේ කොග් සෙට් එක  හා වේග හතේ ෆ්‍රී වීලයද අළුතින් යෙදූවෙමි. මේ ෆ්‍රී වීලය පිළිබඳව කියන්නට කථාවක් ඇත.  සාමාන්‍ය හයිබ්‍රිඩ් සයිකලයක ෆ්‍රී වීලය සමන් විත වන්නේ දැති  සංඛ්‍යාව 14,16,18,20,22,24,28  ලෙස සමාන්තර ශ්‍රේණියක් වූ එකලසකටය. එහෙත් මාහට අවශ්‍ය වූවේ සුපර් ලෝ ගියරයක් හෙවත් මෙගා වීලයක් සහිත ෆ්‍රී වීලයකි. සුපර් ලෝ ගියරයේ එනම් අවසන් රෝදයේ දැති 34 කි! මේ පිළිබඳව සවිස්තරව;  104. සයිකලයෙන් තල් අරණට 6   පෝස්ටුවෙන් කියවන්න!

සාමාන්‍ය හයිබ්‍රිඩ් සයිකලයක ෆ්‍රී වීලය

The Good, The Bad and The Ugly චිත්‍රපටය ඔබ නරඹා ඇත්නම් එහි අග්ලි හෙවත් ටූකෝ වරක් තුවක්කු, පතරොම් හා පුපුරන ද්‍රව්‍ය වෙළෙඳ සලකට ගොඩ වැදී එහි වූ රිවෝල්වර කිහිපයක කොටස් එක් කොට; ඔහුට අවශ්‍ය ආකාරයේ රිවෝල්වරයක් සාදා ගන්නා අයුරු මතක ඇත! ඒ සීන් එකත් මෙතැනින් බලලාම ඉස්සරහට කියවගෙන යමු! එසේම ගමනට සූදානම් වූවේම එතෙක් සයිකලයේ පැවති ෆ්‍රී වීලය කොටස් කොට එයට වෙනත් ෆ්‍රී වීල් තුනක කොටස් එක් කොට  අවශ්‍ය ආකාරයේ ෆ්‍රීවීලයක් සකස් කොට සයිකලයට සවි කර ගැනීමෙන් පසුය! එයට මා මෙගා වීලයක් එක් කර ගතිමි. 
සුපර් ලෝ ගියරයක් හෙවත් මෙගා වීලයක් සහිත ෆ්‍රී වීලය

මේ සියල්ලෙන්ම සන්නද්ධ වූ සයිකලයට යාන්තමින් එරුණු මාර්ගයේ ගමනා ගමනය ගැටළුවක් නොවීය. මහ වැස්සේම සයිකලය කඩවත නගරයට සේන්දුවිය.

"ඔව්! වැහි පිට වැහි දාහක් වැටුනත් මම මේ ගමන දැන් පිටත් වෙනවා" මම මගේ හදවත අමතා කීවෙමි!

38 comments:

  1. තාම කඩවතනෙ. ඊගාව කෑල්ල තවත් රසවත් වෙයි.

    ReplyDelete
  2. EElanga kotasa enakan inne,jaywewaa.

    ReplyDelete
  3. Sancharaye kathawa pankaduyi.Upaharanath sahithawa deela thiyana nisa harima rasawath.E langa kotasa kiyawanna asawen innawa.

    ReplyDelete
  4. Sancharaye kathawa pankaduyi.Upaharanath sahithawa deela thiyana nisa harima rasawath.E langa kotasa kiyawanna asawen innawa.

    ReplyDelete
  5. මේක 2, මට 1 මග ඇරුනද?
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එකකුත් දාල තියෙන්නෙ.

      https://thattayagekolama.blogspot.com/2022/03/231.html?showComment=1647592087833#c6220697459906537999

      Delete
    2. ඔව්නෙ! 1 තිබ්බා! ඒකත් බලානම යමු!

      Delete
    3. තැන්කු ප්‍රසා. ඔව්නේ, මට ටපැලිලිලානේ, එක ගමනට කලින් එකනේ

      Delete
  6. ගමන සාර්ථකව නිම කලාට සුබ පැතුම්!

    මේ වාගේ පහසුකම් තියන බයිසිකල් නම් පදින්නත් ආසයි.

    ඊළඟ කොටස එනතුරු බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කියවගෙන යමු සෑම් මහත්තයා!

      Delete
  7. අම්මප සමුසේ නං පිස්සෙක් ඕයි.. කියව්ලා ඇඟ රිදෙනවා මගේ.. :))))))

    ජය්වේවා! ඉක්මනට දාමු ගමනේ විස්තර

    ReplyDelete
    Replies
    1. ඔයා අහලා නැද්ද "සබ්බේ පෘථග්ජනා උම්මත්තකා" කියන බුද්ධ භාෂිතය!?

      Delete
  8. අපි මොන අටමගලක් අටවන්ට ගියත් බාධා එමටයි. ඒ වුනත් පහු බහින්ට නාකයි........ඉතුරු ටිකත් කියවන්ට බලාන ඉන්නවා....... -මම වීරසිරි බන්ඩාර-

    ReplyDelete
  9. ෂා. අපූරුවට ලියලා තියනවා. හා, හා ඊළඟ?

    ReplyDelete
  10. පටන් ගත්තා විතරයි, තව ගොඩක් දුර යන්න තියෙනවා.

    ReplyDelete
  11. ගමන පටන් ගත්තට සුභ පැතුම්. මම හිතන්නේ මේ ඔක්කොම ඉවර වෙලා ලියනවා කියල. ///සයිකලයේ ටිකට් කපද්දී දොස්තර සමීර පැවසූ වචනයි ඒ// ඒක මරු

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අජිත් අයියා! උං ඒ දෙන සහතිකය දෙවෙනි වෙන්නේ උප්පැන්නෙට විතරයි. ඒ වචන ටිකෙන් හිතේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කෙරෙණවා!

      Delete
  12. සිරවී සිටිමි, කඩවත ඔබ සමඟ මම
    ඉක්මන් කළ යුතුය අරඹා ගමන මෙම
    ඉටු දෙවියන් පුදා හිමිදිරි උදයේම
    පිටත් වුණු හැටිත් ලියමුකො ලහියේම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදී! මේ ගමන නොතිබෙන්න අපි හමුවෙන්න තිබුනේ වෙනත් තැනක!

      Delete
  13. දැන් නං පාපැදිවල මිල ඉතාම ඉහලයි නේද?

    වර්ෂාව නිසා පාපැදියේ දැති රෝද, රේසර්, හබ් ආදියට ජලය ගොස් කුඩා දුවිලි අංශු, වැලි ආදිය සමග එකතුව හානි වන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් සයිකල් වල මිල කෘථිමව ඉතා ඉහලට ගිහින් තියෙනවා. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. එකක් සයිකල් පැදීමේ රැල්ලක් මේ දිනවල ඇතිවී තියෙනවා. ඒ වගේම ඒ පදින අය හොයන්නෙම බ්‍රෑන්ඩඩ් එහෙම නැතිනම් නමක් ඇති සයිකල්. ඒ නිසාම ඒවාට ඉහල මිලක් කියන්න වෙළෙන්දෝ පුරුදු වෙලා.
      ඔබ දෙවැනිව මතුකල කාරණය ඉතා වටිනා එකක්. ඇත්තටම සයිකල් වලට අප යොදන්නේ තෙල් වෙනුවට ඩ්‍රයි ලුබ්‍රිකන්ට් එහෙම නැතිනම් චේන් ලුබ්‍රිකන්ට්. එහෙත් දීර්ඝ ගමන් වලදී අපි තුනී ලිහිසි තෙල් හෝ මහන මැෂින් තෙල් භාවිතා කරණවා. තෙල් භාවිතා නොකිරීමට ඇති ප්‍රධාන හේතුව එම තෙල් වල ඇලෙන දූවිලි අංශු වලින් චේන් ස්ප්‍රොකට්ස් කැපීම. ඇත්තෙන්ම වැස්සේ පදින විට මේ තෙල් හේදී යාම නිසා ලිහිසනයේ අඩුවක් දැනෙනවා. එහෙත් ඊට කල හැකි පිළියමක් නැහැ. හබ් ඇතුලට වතුර යන්නට නම් ගැඹුරු වතුරක සයිකලය ගෙන යෑම හෝ අධික වේගයෙන් රෝද වලට තිරස්ව වතුර ප්‍රහාරයක් වදින්නම ඕන. මෙයට ප්‍රධාන හේතුව හබ් දූවිලි වැස්මකින් වැසී තිබීම. හබ් ඇතුලට වතුර යෑම දුර්ලභ එකක් සේම එහෙම වතුර ගියහොත් සිදුවන හානියත් වැඩියි. වතුර වලට හබ් ඇතුලේ ඇති ග්‍රීස් ගල් වී ඒවා ඇතුලේ ඇති වානේ බෝල එකිනෙක එකට ඇඹරීමට පටන් ගන්නවා. හබ් එක අළුතින් යොදන්නට පවා සිදුවේවි.
      සයිකල් හෝදද්දීද මේ විදියට හබ් ඇතුලට වතුර යෑමට පුළුවන. ඒ නිසා අප සයිකල් හේදීමේදී ඩීසල් වලින් සියළු කොටස් පින්සලක මාර්ගයෙන් සෝදා අතුල්ලා පසුව වතුර සයිකලය මතට සිරස්ව වැටෙන්නට සලස්වමි.
      වැස්සක ගොසින් චෙන් ස්ප්‍රොකට්ස් ආදියේ ඇති ලිහිසන ද්‍රව්‍ය මත දූවිලි වැටී බොහෝ සෙයින් අපවිත්‍රව ඇත්නම්; ඩීසල් හෝ වෙනත් ද්‍රව්‍යයකින් සෝදා හැර ජලයෙන් පිරිසිදු කර සයිකලය පෙරලා තැබීමයි කල යුත්තේ.
      තවත් එකක් ඩීසල් වලින් සෝදා හැරිය පසු එය තරමක ලිහිසන ද්‍රව්‍යයක්ද වෙනවා!
      කියන්නට බැරිවූ තව දෙයක් මතක් උනා. බොහෝ විට මෙවන් ගමනක් ගොස් ආපසු චෙන් ස්ප්‍රොකට්ස් ආදිය අළුතින් යොදන්නට හත හදා ගන්නම වෙනවා!

      Delete
  14. ලoකාවට වටා යනවිට හුග වෙලාවකට තැන්න ( කදු නැතිම තරම් ) අහුවෙන කොට ඇයි ඔබ super low free wheel එකක් දාන්න හිතුවේ ....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙහිදී විශාල කඳු නැතිබව ඇත්ත! නමුත් වෙහෙස වී ඇති විටෙක කුඩා අනුක්‍රමණයක් පැද යාමේදී වුවත් මෙගා වීලයේ පිහිට පැතීමට සිදු වෙනවා!

      Delete
  15. සෑහෙන කාලයක් බලා හිටපු සංචාරක විස්තරය. ගමන නිමා කරල නිසා ආරම්භයට ශුභ පතන්නේ...ආ මම ගමනට පෙර ශුභ පැතුවනේ. දැන් අපිත් උබ සමග ලංකාව වටේ.යමු යමු.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ඔබගේ සුභ පැතුම අපට මහත් සවියක් උනා!

      Delete
  16. විස්තරේ ලාස්සනට ලියල තියේ... තට්ටයතුමෝ. අර sam කිව්වා වගේ පහසුකං තියෙන බයිසිකලයක් පදින්ටත් ආසයි. ඒ වීරියට... මාගේ බලවත් ප්‍රණාමය

    ReplyDelete
  17. ඔව් සයිකලය හොඳට තියේනම් සයිකල් පැදීම විනෝදයක්! මෙවන් ගමන් අතහැර දැමිය යුතු අභියෝග නෙවෙයි!

    ReplyDelete
  18. මෙය මට මගහැරුණු එක ගැන ඇත්තටම දුකයි. දැන් ඉතින් කියවලා තමා රසවිදින්න වෙන්නේ.
    ඇත්තටම යාපනේ ගමන වගේ හොඳ සැලසුමකින් නෙමෙයිද ගියේ? සමහර විට රටේ පවතින වාතාවරණය නිසා වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම කිසිම සැලසුමක් ඇතිව නොවේ ගියේ. ඒකට හේතු ගනනාවක් තිබ්බා. යාපනේ ගමනේදී ඒක සැලසුම් කරණ්නට මධූ හිටියා. අනෙක අපිට නවාතැන් පොලවල් එහෙම; ගමනට කලින් හොයා ගන්න එකත් අසීරු උනා. තවත් එකක් අපිටත් අවනිශ්චිතවයි තිබුනේ අපේ හැකියාව ගැන! ඒ නිසා "එදින" නවතින දුර අප තීරණය කලේ එදා පදින ගමන්මයි. කලින් සැලසුම් කලානම් අඔඉ මොන විදියෙන්; මොන මහන්සිය තිබුනත් අදාල දිනට අදාල දුර පදින්නම ඕන පුළුවං
      උනත් බැරි උනත්!

      Delete
    2. දැන් තේරුණා හේතුව. ඔය වගේ ඉසව් සංවිදානය කරන ආයතන වලට හොන්දින් සැලසුම් කරන්න පුළුවන්. මොකද විශාල පිරිසක් සහබාගි වෙනවා. අනික ගොඩක් අය ධනවත් උදවිය. ලක්ෂ 3-4 ක් වියදම් කරන එක ඒ අයට සුළු දෙයක්. අනික කණ්ඩායමක් එක්ක යද්දී මහන්සිය ගොඩක් අඩුයි. හුලන් ප්‍රතිරෝදය අවම නිසා.එත් මේ වගේ යන එකට තමා මමත් කැමති. සයිකලය සහ තමන්ගේ ආත්ම විස්වාසය ගැන පමණක් විස්වාස කරලා මේ වගේ ගමන් යන්නේ බොහොම ටික දෙනයි.

      Delete
  19. Chaminda DissanayakeJune 13, 2022 at 2:27 PM

    ලයිවු සීන් එකේ ඉන්න ඕන හින්දා දැනට "bon voyage" කියලා ලියන්නම්

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...