Monday, May 16, 2022

233. මගේ මතක පොත!

මොනවා උනත් මම සෑහෙන්න වාසනාවන්ත (අවාසනාවන්ත) පොරක්ය!~

1970 සමගි පෙරමුණු ආණ්ඩුව දිනා ලොරිවල පිටුපස නැග පෙළපාලි යන පිරිස් පිළිබඳ මාගේ යන්තම් මතකයක් ඇත! එවකට අපගේ පියාගේ රැකියාව කරණ කොටගෙන  අප ජීවත් වූයේ දැරණියගලටත් එහා පොල්ගස්වත්ත  නමැති අති දුෂ්කර පලාතකය. එවකට අවිස්සාවෙල්ලේ සිට බස් ධාවනය වූයේ නූරිය තෙක් පමණි.

එතැන් සිට පොල්ගස්වත්තට බොහෝදුරක් පයිංම ගමනක් විය. එම මාර්ගය දිවුනේ ගෝවල නමැති ගමකටය. එතැනින් ලක්ෂපානට ඉතා කිට්ටු පාරක් ඇත. මා මුලදී සඳහන් කල 1970 සමගි පෙරමුණු රජයේ පෙලපාලි ගිය ලොරියට ගොඩ වීමට සිදුවූයේ මෙම පා ගමන කෙටි කරගනු වස්ය.

1971 අප සිටියේ යටියන්තොට හක්බෙල්ලාවකය. කොළඹ හැටන් මාර්ගයෙන් දකුණු පස එනම් පාරෙන් පහළ අපගේ ආච්චි හා සීයාගේ පාරම්පරික නිවස පිහිටා තිබුණු අතර අපගේ නිවස මාර්ගයෙන් වම්පස එනම් ඉහලින් පිහිටා තිබුනි. 1971 අප්‍රේල් කැරැල්ල පටන් ගත්තු දිනය පිළිබඳව මතකයක් හරියට නැතත් ඒ වසරේ සිංහල හිංදු අලුත් අවුරුද්ද තියෙන දවස් වන විට වැඩේ පීක් එකේ තිබුනා කියලයි මට මතක. අලුත් අවුරුද්දට අපේ ආච්චිලාගේ ගෙදරට සියල්ල ඒක රාශි වී සිටිට දහවලක සිදුවූ සිදුවීමක් මට අද වාගේ මතකය. අපගේ තාත්තාගේ පවුලේ නව දෙනෙක් වූ බව මා වෙති අපගේ තාත්තා පිළිබඳ ලියැවුනු  "තාත්තා නොම්මර 1" ලිපි මාලාවේ ලියැවී ඇත.  එසේම එහිම අපගේ සීයා පිළිබඳවද ලියා තබා ඇත. ඔහු නොම්මර එකටම ඉංග්‍රීසි කථාකල නීතියට වැඩකල අයෙකි.  මම මේ ලියන සිද්ධිය සිදුවූ දිනයේ අප සැවොම දිවා ආහාරය ගෙන අවසන් වූවා පමණි. සෑම අලුත් අවුරුද්දකදී මෙන්ම එදිනද අප වෙනුවෙන් ගං කුකුලෙකු ජීවිතය පූජා කොට තිබූ අතර තාත්තා ඇතුලු බාප්පලා සහ සීයාද මධුවිත යම් පමණකට සප්පායම් වෙලා සිටින්නට ඇතැයි සිතමි. වෙලාව හවස 3.00 ට පමණ ඇති. එක වරම අප සියල්ලෝම සිටියේ ආච්චිලාගේ ගෙදරය. එකවරම කුමක් හෝ රථයක් වේගයෙන් පැමිණ මහපාරේ නැවැත්විය. එය ලෑන්ඩ් රෝවර් සීරිස් 1 රථයක් බව අද එම සිද්ධිය මෙනෙහි කිරීමේදී සිතේ. රිය අළු පැහැයට හුරු කොල පැහැයකි. එහි වහලක් පිහිටා නොතිබුනු අතර ඉදිරිපස වීදුරුවද පහත හෙලා තිබුනේය. එහි ඉදිරිපස ආසන දෙකේ දෙදෙනෙක්ද පසුපස හතර දෙනෙක්ද හමුදා සෙබලුන් අසුන් ගෙන සිටියෝය. ඔවුන් සියල්ල ගල් තොප්පි පැලැඳ සිටියෝය. ඒවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගල් තොප්පි විය. හරියටම අප ගොනුවී සිටි නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරියේ නවතා ලූ රථයේ සිටි සෙබලුන් වෙතින් කිහිප දෙනෙකු "දොරවල් වහපල්ලා! ඇතුලට පලයල්ලා!!" යැයි කෑගැසුවෝය. පොතේ පතේ දැනීමක් ඇති අපගේ සීයාට එය ඇල්ලුවේ නැත. කොළඹට ජපනා බෝම්බදාද්දී මාෂල් ලෝ කියවා විඳ තිබුනු සීයා එක වරම මිදුලට බැස වාහනය දෙසට ඉක්මන් ගමණින ගමන් කලේය. ඒ ගියේද නිකංම නොවේ! මාෂල් ලෝ හෙවත් යුධ නීතිය පිළිබඳ පාඩමක් කියා දෙමින්ය. එකවරම රථයේ සිටි සෙබලෙක් තමා අත තිබූ රයිෆලය සීයා දෙසට මානා එය වෙඩි තැබීමට සූදානම් කලේය. එකවරම මිදුලට පැනගත් අපේ අම්මාත් නැන්දාත් තව කවුරුන් කවුරුන් හෝ; සීයාව ගේ ඇතුලට ඇදගත්තෝය. "ඇඳිරි නීතිය" දාලාලු! කවුදෝ කියනු ඇසිනි. එය මාගේ කනේ වැකුනේ "අඳුනන නීතිය" ලෙසින්ය. එවකට කුඩා අවධියක සිටි මාහට එය ඒත්තු ගියේ අඳුනන්නේ නැති අයව අල්ලාගෙන යන නීතියක් ලෙසින්ය. තවත් මොහොතකින් කුහුඹුවන් මෙන් සියල්ලෝම කෑමට යම් යම් දේ එකතු කරණු මාහට මතකය. දැන් වාගේ ජල සැපයීම් යෝජනා ක්‍රම නොතිබූ ඒ අවධියේ ලොකු බාල්දි කිහිපයකට වතුර එකතු කරණු හා ළඟම වූ කඩයෙන් හෝ සමූපාකාරයෙන් සහල් විශාල ප්‍රමානයක් ගෙනැවිත් ගබඩා කරණු මතකය. ඊට යාබද දින ගෙවී ගියේ දොරගුළු වසා ගෙනමය. තාත්තා ගෙදර තිබුණු ඩ්‍රයි බැටරි ෆිලිප්ස් රේඩියෝව ක්‍රියාත්මක කලේ උදේ දවල් හවස යන තුන් වරු වලට පමණය! ඒ ප්‍රවෘථි වලට සවන් දීමටය. සිරිල් රාජපක්ෂ වැන්නවුන් ගැඹුරු හඬින් රටේ තත්වය යාවත්කාළීන කලෝය. ඒ සියල්ල අභිබවා කටකථාද පැතිර ගියේය. "කරවනැල්ල පාලම යටින් මිනී පාවෙනවා", "පාලම උඩට ගෙනල්ලලු වෙඩි තියන්නේ!" ලංකාවේ හමුදා හා පොලීසියට ස්ටර්ලිං සබ් මැෂින් තුවක්කු භාවිතයද ආවේ ඉන් පසුව බව මගේ වැටහීමය. එසේම ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් සයිඩ් ස්ටෙප් කැබ් රථද පැමිණියේ ඉන් අනතුරුවය!

1975 - 76 වසර වන විට සමගි පෙරමුණු ආණ්ඩුව ඉහළ ජනප්‍රියතාවයකින් තිබුනා යැයි මට සිතේ! (ඒ පිළිබඳව මාහට මතකයක් නොමැත!) එයට ප්‍රධාන හේතුව වූයේ වගා සංග්‍රාමය සහ වෙනත් වැනි සංවර්ධන යෝජනා ඇරඹීම හෝ ඒවා ක්‍රියාවට නැගීම විය යුතුය.  ගුවන් විදුලියෙන්ද ප්‍රචාරය වූයේ දේශාභිමාණී ගීය.  "සොඳුර මට සමුදෙන්න . . . . සමුදෙන්න . . .!", "සඳමඬලේ සිට තරු මඬලේ සිට දෙනෙත් හෙලන පුතුනේ . . . . .!" වැනි ගීත ප්‍රචාරය වූයේ ඊට සමගාමීවය.  එවකට අප සිටියේ; අවිස්සාවේල්ල, කුඩගම පාර, 874C යන ලිපිනයෙහිය. එවකට පාන් ලබා ගැනීමට නිල් - අළු පැහැති අඳුරු වර්ණයෙන් යුතු කාඩ් පතක් ලබා දී තිබුනි. එහි පහත වූ අඟල් දෙකක් පමණ උස අඟලක් පමණ පලල කොටුවක ලොකු අකුරින්  2 කේ ඉලක්කම ලියා තිබුනි. ඒ  අපගේ පවුලට හිමි පාන් කෝටාවය. සමූපාකාර අවන්හල් බිහිවිය. මිරිස් පොලු, හාල් පොලු පැමිණියේද මේ වකවානුවේය!   එකල මහත් අභිරුචියෙන් නැරඹූ  සංගීත සංදර්ශණ හැරුණු විට තවත් ඉසව් දෙකක් විය. ඒ වසරකට කිහිප වරක් පැවැත්වෙන බයිසිකල් රේස් හා මැයි දින පෙළපාලි ය!

එකල මා පාසැලට ගියේ අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහලටය. එය පාලනය වූයේ රජයෙන් වුවද පල්ලියේ හුස්ම එයට නිබඳවම වැටුනි.  එම පාසලේ මා සිටියේ එක වසරක් හෝ දෙකක් පමණි. ශාන්තමරියා විදුහල පිහිටා තිබෙන්නේ අවිස්සාවේල්ල නගරය පසුකොට හැටන් පාරේ මද දුරක් ගිය විටය. පාසැල නිමවී අප මහ පාරේ කාලය රැගෙන ගෙදර පැමිණියේ දෙමව්පියන් හෝ වැඩිහිටියන් නොමැතිවමය! පාසලේ සිට නිවෙස වෙතට කිලෝ මීටර 3 කට ආසන්න දුරක් විය. එකල දුර මැන්නේ හැතැප්ම වලිනි. හැතැප්ම කිලෝමීටර වලට හැරුනේද මීට ආසන්න කාලයකය. එකල ලංගම බස් රථවල ඇතුලත අලවා තිබුනු; අඩි දෙකක් පමණ දිගැති පෝස්ටරයක් විය. එහි පලළ අඟල් 9ක් පමණ වන්නට ඇත. එහි  "ශ්‍රී ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි . . . !" කියා ලියා තිබුනි. ඊට යටින් කුඩා රවුම් තුනක් ඇතුලත රාත්තල - ග්‍රෑම් 500, හැතැප්ම - කිලෝ මීටරය, බෝතලය (හෝ ගැලුම) - ලීටර යන පරිවර්ථන පිළිබඳව කෙටි හැඳින්වීම් රූප සටහන් සමග එහි විය! එකලද සිටි නොසන්ඩාල එවුන් "ශ්‍රී ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි . . . !" යන්නෙහි "හැ"  යන්න ඉරාදමා අලුත අදහසක් එක් කොට තිබුනි. බස් රථ තුල දුම්බීම එකල සුලභ දසුනක් විය!  "දුම්බීම තහනම්" යනුවෙන් සිංහලෙන් දෙමලෙන් හා ඉංග්‍රීසියෙන් ලියැවුනු පෝස්ටරයක්ද බස් වල සවිකොට තිබුනි. පෝස්ටරයක් කීවාට එය ඇලුමීනියම් තහඩුවක  කළු හා රතු පැහැයෙන් ස්ටෙන්සිල් එකක් භාවිතාකොට තීන්ත ස්ප්‍රේ කොට සකසා තිබුනි. එහි කළුපැහැයෙන් කුමක් හෝ රූපයක් ඇඳ තිබුනද කිසිදා එය කුමක්දැයි තෝරා බේරා ගැනීමට මාහට නොහැකි විය!

සංගීත සංදර්ශන පැවතියේ අවිස්සාවේල්ලේ UC පිට්ටනියේය. UC පිට්ටනිය යනු නගර සභා පිට්ටටියය. මේවන විට පෞද්ගලික බස් නැවතුම් පොල හා ඒ ආශ්‍රිත කඩ කාමර සාදා ඇත්තේ ඒ සුන්දර ක්‍රීඩාංගනය හාරාය!  ඒවාගේම විනාශ කල තවත් ක්‍රීඩාංගනයක් අවිස්සාවේල්ල කිට්ටුව පාත තල්දූව පිහිටියේය. ඒ  KV ග්‍රවුන්ඩ් ලෙස පරසිදු කැළණි වැලි ක්‍රීඩා පඉටියයි. ඊට දශක ගනනාවකට පෙර තුරඟ තරග පවා පැවැතුනා යැයි පැවසෙන එම ක්‍රීඩා භූමිය වැළඳුවේ ඒ මැදින් පොල්ලෙන් ගැසුවාක් මෙන් පාරක් දැමීමෙන්ය. KV පිට්ටනියේ මා දුටු අවසාන සැණකෙළිය වූයේ අලි රේස්, තිරික්කල රේස් ආදිය පැවැත්වුනු අවුරුදු සැණකෙළියක්ය. එම පිට්ටනියේ එක් පසක දෙමහල් පැවිලියනයක් හෙවත් ක්‍රීඩා ගාරයක් විය. යුරෝපීයයන් ක්‍රිකට්, රගර් ආදී ක්‍රීඩා තරග එහි පවත්වී යැයි පවසති. එකල සංගීත සංදර්ශන සඳහා ජෝතිපාල, ඇම් ඇස්, මිල්ටන්, බෙග් ආදී ගායක ගායිකාවන් අනිවාර්‍යය වූහ. මා පලමුවෙන්ම ජෑස් ඩ්‍රම් කට්ටලයක් දුටුවේ එවන් වේදිකාවකදීය. එකල ගෝල්ඩන් චයිම්ස්, සියැක් වැනි සංගීත කණ්ඩාම් සංගීතය සැපයුවේය.  

සයිකල් රේස් අවිස්සාවේල්ල, රත්නපුර පලාතට ඉතා කිට්ටු ක්‍රීඩා ඉසව්වක් විය. එකල අවිස්සාවේල්ලේ නගරයේ සැරි සැරූ කොණ්ඩය හා රැවුල වවාගත්; මහාචාර්‍ය සරත් කොටගම වැනි ඩෑල් එකක් සිටියේය. ඔහුගේ නම ආරීය!  ඔහුට රැවුල් ආරි කියාද කී අතර එකල මෙරට සිටි නොම්මර එකේ රනිං කමෙන්ටේටර් හෙවත් සයිකල් ධාවන තරග සමග ගමන් ගනිමින් විස්තර විචාරයේ යෙදුනු  අයෙක් විය. එකල අව්ස්සාවේල්ලටම සුවිශේෂවූ සයිකල් රැළියක් විය. එය නමින් "වටහත" ය. අවිස්සාවේල්ලේ සිට ඇහැලියගොඩට ගොස් එතැනින් පනාවල පාර හරහා දෙහිඕවිටට පැමිණ අවිස්සාවේල්ලෙන් අවසන් වන්නේ එක් වටයකි.  සුමනෙලා, සුගතෙලා, බොනිෆස්ලා හෙන්ඩර්සන්ලා සමග කරට කර පැද්ද සොහොයුරන් දෙදෙනෙකු එකල අවිස්සාවේල්ලේ කුඩගම පාරේ විසූහ! ඔවුන් නිවුන් සොහොයුරන් වූ අතර ඔවුන් දෙදෙනා වෙන් කොට හඳුනා ගැනීමට ඔවුන් දෙදෙනාට වත් නොහැකි යැයි කට කථාවක් එකල තිබුණි! ඔවුන් දෙදෙනාම සයිකල් රේස් පැද්ද අතර ඔවුන් දෙදෙන එකවර එකට තරග නොකලහ. එසේම එක් අයෙකු තරගය අරඹා තරගයේ ගමන් කොට පැයකට පසු අනෙකා ආපසු පැමිණීමද විශේෂයක් විය! ඔහුගෙන් ඒ පිළිබඳව විමසූ විට "මම් පැද්දේ නෑ! ඒ මල්ලී!!!" යනුවෙන් පවසනු මාහට මතකය! ඔවුන් දෙදෙනා තරගය කොටස් දෙකකට පැද්දාදැයි සැකයක් අදවන විට මාහට සිතේ! ඔවුන් නමින් ජයසේන යැයි යාන්තමින් මාහට මතකය!

ඒ කාලයේ මතක අතර තවම සිතෙහි තිබෙන ඊළඟ කාරණාව වන්නේ මැයි පෙළපාලි ය! "මැයි පෙළපාලි" කීවාට මා එකල දුටු පෙළපාලියක් නොවීය. දුටුවේ මැයි පෙළපාලි සඳහා කොළඹ බලා යන බස් පෙළපාලිය. මාගේ මතකය නිවැරදිනම්; එකල මැයි පෙළපාලි සඳහා ලංගම බස් රථ නොමිලේ හෝ අඩු මුදලකට ලැබුනි. ඒ නිසාම අවිස්සාවේල්ලට හැටන් නාවල පිටිය ගම්පොල පැත්තෙන්ද කෑගල්ල බුලත්කොහුපිටියාඟුරුවැල්ල රුවන් වැල්ල යටියන්තොට පැතිවලින්ද රත්නපුර ඇහැලියගොඩ බදුල්ල බණ්ඩාරවෙල  පැතිවලින්ද එන බස් එකතු විය. "අපි යන්නේ කොයි පාරේ - අග මැතිනිය ගිය පාරේ", "මැතිණි අපිට කියනවනම් - පිදුරු උනත් අපි කන්නම්", " මැතිනිගෙ මැද මාවතේ - දාසගෙ කිරි බෝතලේ", "ගන්නනම් ජය ගන්නනම් - පිදුරු ඕනෑ ටොන් ගනන්" ආදී එකී නොකී මෙකී සටන් පාඨ කියමින් බස් උදේ සිට කොළඹ දෙසට ඇදී යාම  මැයි දිනයේ සුලභ දර්ශණයක් විය. බොහෝ බස් වල පිටිපස හදිසි දොරටුව විවෘථ කොට ඒ මත දෙතුන් දෙනෙකු ඉඳගෙන ගියහ. හුඩ් රැක් සවි කොට තිබුනු බස්  රථවල එහිද කිහිප දෙනා කොඩි වනමින් යනු මා දැක ඇත! මේ සියල්ල දකින්නට එකල තාත්තා මාවත් අයියාවත් කැටුව කුඩගම හංදියට එන්නේය. කුඩගම හංදිය යනු කොළඹ මල් ශාලාව හා අවිස්සාවේල්ල බස් ඩිපෝව අසල පිහිටි තුංමං හංදියයි. එකල ඒ ආසන්නයේ සේන ලියනමහත්තයාගේ තේ කඩය විය. එහි පැවතියේ වඩේ හා ප්ලේන්ටී පමණි. කලකට පෙර මා නවයුගය පත්තරේ නව මගක් ගත් කතාවක් යටතේ කියැවූ "නිමාලිට ඉඟුරු තේ" නමැති කෙටිකතාව කියවද්දී මාගේ හිතේ මැවුනේ මෙම සේන ලියනමහත්තයාගේ "සේන ටී රූම්" තේ කඩයයි. කන්නට බොන්නට එහෙමට දෙයක් නැතත් සේන ලියනමහත්තයාගේ රස බර කථා අසන්නට එතැන බොහෝ දෙනා එක් රොක් විය.

1972 ජනරජ ව්‍යවස්ථාව සමග ශ්‍රී ලංකාව ජනරජයක් වීමද යාන්තමින් මතකයේ ඇත. එය වඩාත් මතකයේ රැඳුනේ; අපගේ නිවසට යාබද ඉඩම මිලට ගෙන තිබූ ලංගම බස් රියැදුරු මහතෙක් එම දිනයේ සුභ මොහොතින් ගෙපලක් කැපීම ඇරඹීමයි. වසර ගනනාවක් ගියද එම ඉඩමේ ගෙයක් තබා අත්තිවාරමක් වත් දමා ගැනීමට ඔහුට නොහැකිවිය. ජනරජ නැකතේ තරම! ජනරජයදා නිකුත්කල "ජනරජ මුද්දරය" සහිත ලියුම්; පසුකලෙක තාත්තාගේ නමට නිවසට ලැබෙනු මතකය.

1973 වසරේදී ඩඩ්ලි සේනානායක මහතා අභවප්‍රාප්තවිය. ඔහුගේ මල ගෙදරට අපගේ පවුලේ අය සහ තව නෑදෑ හිත මිතුරන් කිහිප දෙනෙකු කොළඹ පැමුණුනා මතකය! පැමිනුනෙමු. මලගෙදරට ප්‍රවිශ්ඨ වීමට දිගු පෝලිං විය. ඒවායේ බොහෝ වේලා රැඳී සිටි ජනයාහට තැන තැන තිබුණු කුඩා දන්සැල් වලින් ආහාරපාන සැපයුවේය. එලිෆන්ට් හවුස් ආයතනයෙන්ද එවන් දන්සැලක් පවත්වා ජනයා හට පහසුකම් සැලසුවේය. එම ගමනේදීම කොළඹ වරාය නැරඹීමටත් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව ඉඳිකිරීමේ වැඩ බිම  බැලීමටත් ගියෙමු. 

1976 වසරේ දැඩි ලෙස මතකයේ රැඳුනු සිද්ධීන් දෙකකි. ඉන් පලමු වැන්න මහවැලි ව්‍යාපාරයට අයත් පොල්ගොල්ල වේල්ල විවෘථ කිරීමය. මාගේ මතකය නිවැරදිනම් ඒ සමග උකුවෙල ජල විදුලි බලාගාරයද ජනතා අයිතියට පැවරූ ලෙසය. එම ජලය බෝවතැන්න දක්වා ගමන් කල බවද මතකයක් ඇත. අද මෙන් රූපවාහිණී නාලිකා නොතිබුනු ඒම යුගයේ මෙම අවස්ථාව රට පුරා සිටින ජනතාව අතරට ගෙන ගියේ ගුවන් විදුලියයි. එදින නමෝවිත්තියෙන්; අමරදේවයන් වෙතින් ගැයුණු "මහවැළි" ගීතයට මා අදත් මහත්සේ රුචි වෙමි. අදද එම ගීතය අසද්දී දැනෙන්නේ ඉතා ආදරණීය සිතුවිල්ලකි. "මහ වැව් බැඳි හෙළ රජ දරුවෝ - ඔබ ගෙන් යලි නව පන ලැබුවෝ . . " යන්න අදටත් කෙතරම් මිහිරි සිතුවිල්ලක්ද?

දෙවැන්න සිද්ධියක් නොව සිද්ධි දාමයකි. ඒ 1976 අගෝස්තුවේ; පුරා දින තුනක් පුරා මෙරට මුළු දුන් නොබැඳි ජාතීන්ගේ සමුළුවයි. නමින් නොබැඳි ජාතීන් උනත් එහි සිටි බොහෝ නායක නායිකාවන් සෝවියට් කඳවුරට වැඩි ළෙංගතු කමක් දැක්වූ අය වූහ. සමුළුවට මාස ගනනාවකට පෙර සිට දිනමිණ පුවත් පතේ පලවූ ලිපි පෙලකි. ඉන් එකක් වූයේ සමුළුවට සහභාගීවන රට වල් පිළිබඳ කුඩා විස්ථරයක් දැක්වෙන ලිපියකි.  අනෙක වූයේ සහභාගීවන රාජ්‍ය නායකයින්ගේ A4 ප්‍රමාණයේ පමණ ඡායා රූපයකි. මෙම ඡායා රූප පලවූයේ තෝරාගත් අයගේ පමණක් දැයි මාහට සිතේ. එකල එම ඡායා රූප අතුරින් ගඩාෆිගේ රූපයට ලැබුනේ ඉහල වටිනාකමකි. බාබර් සාප්පුවල, පොත් කඩ වල; හෝටල් වල තේ බොයිලේරුව පිටුපස  එම රූපය කපා අලවා තිබෙනු මා දැක ඇත! ලංකාවට 6 ශ්‍රී පර්ජෝ 504 කාර් පැමිණියේද එම කාලයේම බව මාගේ විශ්වාසයයි. එසේම හෝල්ඩන් ස්ටේට්ස්මන් වර්ගයේ රථද මෙරට පැමිණියේ ඒ සමගය! එකල අවිස්සාවේල්ල නගරය සිසාරා දැව පටවා ගත් ගමන් ගත් දැවැන්ත කෙන්වොත් ට්‍රක් රථය! ඒවා දිවුනේ කොස්ගම සාලාවේ තුනී ලෑලී කර්මාන්ත ශාලාව වෙතය!

1977 වන විට සිරිමවො බණ්ඩාරනායකගේ රජය කැබැලිවී දැඩි  අපකීර්තියට ලක්වී තිබුනු කාලයකි. 1977 වසර ලක් ඉතිහාසයේ ලියැවෙන්නේ එක්සත් ජාතික පක්ෂය දිග් විජය කල නව ව්‍යවස්ථාවක් ඇති කල වසරක් ලෙසය. 1977 මහමැතිවරණයෙන් යූඇන්පිය ලැබූයේ විශාල ජයග්රහණයකි. සමග සිදුවූයේ දැඩි විනාශකාරී කාලයකි. විරුද්ධ පාක්ෂිකයින් සතු දෙපල මංකොල්ල කමින් ගෙවල් දොරවල් ගිණිබත් කරමින් යූඇන්පී මැරයන් ගම් දෙවනත් කලහ. යටියන්තොට නගරයේ හයර් දිවීම සඳහා පැවති නවතම රථය වූයේශ්රී ෆෝඩ් එස්කොට් රථයකි. එය අයිතිව තිබුනේ වැලිහෙලතැන්නේ ලොකුමහත්තයා නම් වූ අය හටය. ඔහු වාමාංශික අදහස් දැරූ අයෙකි. මෙම රථය ඇතුලත, ඩිකියේ පමණක් නොව වහලය මත සවිකර තිබුනු හුඩ් රැක් එකේ පවා දාමරිකයින් පුරවා ගෙන දින ගනනාවක් නගරය හා අවට ගම් වල සැරි සැරූහ. එකලද අද මෙන්ම පිරවුම් හල අයත්ව තිබුනේ සමූපාකරයටය. එම පිරවුම් හලෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා ඉන්ධන මගින් රජයේ හා විරුද්ධ වාදීන්ගේ රථ වාහන රැගත් යූඇන්පී මැරයන් දිනවල සුලභ දසුනක් විය! මාගේ පියාගේ බාල සොහොයුරා ලලිත් සුනිලාල් හෙවත් ශාන්ත බාප්පා එකල සේවය කලේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව හෙවත් PWD එකේය. මාර්ගයන්ගේ කැඩුනු බිඳුනු තැන් පිළිසකර කිරීම ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය විය. එවකට ඔහු එහි ඔවර්සියර් කෙනෙකු හෙවත් වැඩ නියාමක වරයෙකු ලෙස කටයුතු කලේය. ඔහු සේවය කලේ යටියන්තොට පිහිටි කාර්‍යාලයේය. එහි පෙට්රෝල් ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් ටිපර් රථයක් විය. මෙය රැගෙන පලාත පුරා දාමරිකයින් පුරවාගෙන  අපගේ බාප්පාද ගමන් කරණු මා දුටුවෙමි.  

වරක් අපගේ ආච්චිලාගේ නිවස පිටුපසින් කිසියම් නාදයක් ඇසුනු විට එය කුමක්දැයි විපිළිසරවූ අපට දකින්නට ලැබුනේ අසල නිවසක ජීවත්වූ බී ඇල් ආරියපාල නම්වූ අයෙක් බිත්ති ඔරලෝසුවක් කර තබාගෙන යන අයුරුය. 1977 දී තම උපන් බිම් අතහැර දමා වෙනත් පලාත් වලට සංක්‍රමණය බොහෝ අය නැවත නොපැමිණි බව තාත්තා නිතර කියනු මා අසා ඇත. දේශපාලන දාමරිකයින් තමන් කොල්ල කා ගත්දේ තුට්ටුවට දෙකට විකිණීමද පසු කලෙක සිදුවිය. එකල කිසියම් ඇති හැකි කමක් තිබුනු අපගේ නිවසටද එසේ; යම් යම් දේ රැගෙන පැමිණි අවස්ථාවලදී අපගේ අම්මා දොස් පවරමින් පිළිකුලෙන් එලවා දැමුවාය. පසු කලෙක ඇය එම සිද්ධීන් වීරාභිවන්දනයෙන් යුතුව අන් අය හා පැවසුවාය! බොහෝ ව්‍යාපාර ස්ථාන ගිණිබත් කල අතර නිවැසියන් කැලෑ වැදී දිවි ගලවා ගත්හ. මීට සමීප සිද්ධියක් පසු කලෙක මා බිංගිරියේදී ඇසුවෙමි. එසේ තම නිවස මංකොල්ල කෑමටත් ගිණි ලෑමටත් එන බව ආරංචිවූ එක් ව්‍යාපාරිකයෙකු තම පවුලේ සියල්ලෝම වෙනත් ගෙදරකට ඇරලවා ඩබල් බැරල් තුවක්කුවට පතුරම් දෙකක්ද දමාගෙන බලා සිටියේලු. ආරංචි ප්‍රකාරව මහත් පිරිසක් ගේ ආක්‍රමණය කිරීමට දිව ආ අතර ව්‍යාපාරිකයා තම ඩබල් බැරලයේ එක් කානුවක් වූ පතරොම; පිරිසේ ඉදිරියෙන්ම දිව එන දාමරිකයා බලා මුදා හැරියේය. වෙඩි පහර කෑ තැනැත්තා හැර අන් සියල්ල හිස් ලූලූ අත දිව ගියේය. ව්‍යාපාරිකයා; බිම වැටී හුන් දාමරිකයා අසලට ගොස් ඔහු ජීවිතය යදිද්දීම දෙවෙනි කානුවේ තිබුනු පතරොමද මුදා හැර පොලීසියට භාර වූවේලු! 

77 යූඇන්පිය බිහිවූයේ වසර හතක් බලා සිටීමෙන් පසුවය. එම කාලය පුරාවට තැන තැන කුඩා සිද්ධීන් සිදුවූ අතර ජේ ආර් වරක් හෝ දෙකක් සත්‍යග්‍රහ වැඩසටහන් කලේය. හත්වසක සාපය නමින් පොතක් මුද්‍රණය කොට බෙදා හැරිමද සිදුවිය. සිරිමා ආණ්ඩුවෙන් ඇන් ඇම් ආදීන්ගේ වෙන් වීම සමග ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක කරළියට ආවේය. ඒ සමග සමගි පෙරමුණු රජයේ බහින කලාවට මුල පෑදුනු බව මාගේ විශ්වාසයයි. එකල ශ්‍රීලනිපය සමග බොහෝ සහ සම්බන්ධකම් පැවැත්වූ චින්තන ජයසේන ඔවුන්ගේ පුවත්පතේ කතුවරයා විය. චින්තන අයියා පවසන ආකාරයට මැතිනිය සමග එක මේසයේ ආහාර ගැනීමට ඔහුට බොහෝ කලක් බලා සිටින්නට වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව "ජයසේන" වාසගමේ කිසියම් අඩුවක් ඔවුන් දැක; එළඹී තිබුනු පූර්ව නිගමනයක් කරණ කොටගෙනය. 

එසේම අද වාගේම මැතිණිය බොහෝ සෙයින් මිත්‍යා විශ්වාස මත යැපුණු අයෙක් බව චින්තනගේ පසුකාලීන ලියැවිලි කියැවීමේදී තේරුම් යන සත්‍යයකි. හදි හූනියම්, ශාන්ති කර්ම, පුද පූජා මේ සියල්ල; පසුව බලයට පත්වන ප්‍රේමදාස, මහින්ද, ගෝඨාභය සේම මැතිනියය ප්‍රමුඛ ඇය වටා සිටි බොහෝ දෙනා විශ්වාස කල බවද ඒවා මත පිහිටුවා තීන්දු තීරණ ගත් බවද ප්‍රසිද්ධ රහසකි!  

77 බලයට පැමිණීමත් සමග ජේආර් අගමැතිවී ප්‍රේමදාස සභානායක විය. ඒය ඔසී දියලගොඩ නමැති කාටුන් ශිල්පියා ඇඳ තිබුනේ ඇතෙකුගේ පිට නැගි ජේආර් හා ප්‍රේමදාස ගමන් කරණ අතර ඉදිරියේ සිටින ජේආර් හට ප්‍රේමදාස කුඩයක් අල්ලාගෙන සිටින අයුරුය. ජේ ආර් ජානාධිපති පදවියට පත්වූ දිනයේද එවන්ම වූ කාටූනයක් පුවත් පතක පලවිය. ඒ කඩුළු පනින  මළල ක්‍රීඩකයෙකු ලෙස සැරසුනු ජේ ආර්; විපක්ෂ නායක, අගමැති, ආදී කඩුළු මතින් පැන විත් ජනාධිපති කඩුල්ල මතින් පනින අවස්ථාවකි. 1977 රජය බලයට පත්වීම සමගම ගාමිණී, ලලිත්, රනිල් වැනි නව මුහුණු රාශියක් කල එළි බැස්සෝය. ඉන් ගාමිණී දිසානායකට හිමිවූයේ අද්විතීය ස්ථානයකි. ඔහුට හිමිවූයේ මහවැළි යෝජනා ක්‍රමය කඩිනමින් අවසන් කිරීමේ කාර්‍යයයි. පෙර පැවති රජයෙන් වසර 30 කදී අවසන් කිරීමට යෝජනා කොට තිබූ මහවැළි යෝජනා ක්‍රමය ඒ සමග සීග්‍ර ගමනකට පිළිපන්නේය. 

77 රජයේ රාජාසන කථාවද (මාගේ මතකය නිවැරදි නම් එය රාජාසන කථාව විය යුතුය) අමරණීය එකකි. එහිදී ප්‍රේමදාස විසින් මතු කල අදහසක් අපගේ රටේ අනාගතයේ දිශානතිය වෙනස් කලේ යැයි මා සිතමි. ලංකාවේ සිරිමාවෝ බලයෙන් අතු ගෑවීගිය මැතිවරණයට සමකාලීනව ඉංදියාවේ පැවති මැතිවරණයෙන් ඉන්දිරා ගාන්ධිගේ පක්ෂය අන්ත පරාජයක් ලැබුනි. ගාන්ධි පවුල හා බණ්ඩාරනායක පවුල අතර කිට්ටු සබඳ කමක් තිබුනු අතර සමානාත්මතාවයන් කිහිපයක්ද තිබුනි. සිරිමාවෝ සමග අනුර මෙරට දේශපාලනය කල අතර ඉන්දියාවේ ඉන්දිරා හා සන්ජේ එම කටයුතු වල නිමග්න විය. මේ පිළිබඳව ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසුවේ ලංකාවේ එළදෙනට වස්සාට සිදුවූ පරාජයම ඉංදියාවේ එලදෙනට හා වස්සාට අත්වූ බවය. ඉංදියාව; ප්‍රේමදාස කෙරෙන් ඈත්වන්නට මේ ප්‍රකාශය හේතුවන්නට ඇති.  මෙම කථාවේදී හෝ ඊට ආසන්න කාලයකදී  කුඩා ප්‍රේමදාස ලැවරියා විකුණූ කථාවද මැතිසභයේදී ප්‍රේමදාස විසින්ම මතුකලේය. ඒ කෙසෙල්වත්තේ ලැවරියා විකිණීම හා වලව්තුල සිදුවන අවජාතක සිදුවීම සංසන්ධනය කිරීමෙන්ය. එකල පාරිමේන්තුවේ නිතර කියැවුණු වචන යුගලයක් විය. ඒ "කන්ටේනර් පර්යන්ත" යන්නය!

1978 වසරෙදී අපරට සොයා පැමිණි විදේශිකයා අපට අමතක නොවන පාඩමක්, මතකයක් ලබාදී ගියේය. ඒ සුළිසුළඟය. සුළිසුළඟෙන් වඩාත්ම හානිදායක වූ ප්‍රදේශය සමන්තුරේ විය. මාගේ මතකය නිවැරදිනම් සමන්තුරේ මැතිවරණ කොට්ඨාශ අංක 100 ය ය! 1977 මැතිවරණයේදි ගුවන් විදුලියෙන් ප්‍රකාශයට පත්වූ මුල්ම චන්ද ප්‍රථිපලය වූයේ "අංක 100 - සමන්තුරේ" යැයි මා හට මතකය. මේ කාලය වනවිට මාගේ පියා සේවය කලේ හබරන හතරැස් කොටුවේය. හතරැස් කොටුව පිහිටා ඇත්තේ හබරණ ත්‍රීකුණාමළය පාරේ කිලෝමීටර 10 ක පමණ දුරින්ය. සුළිසුළඟ හමාගියේ 1978 නොවැම්බරයේ වූ අතර  දෙසැම්බරයේදී පාසල් නිවාඩුව මාගත කලේ හතරැස් කොටුවේ තාත්තාගේ රාජකාරි නිවස්නයේය. නිවස්නයේ පියස්සේ අගුව හෙවත් පැන්නුමට හානි පමුණුවාගෙන විශාල කළුවර ගසක් පත බෑවී තිබුනේය. පසුව මුළු කළුවර ගසම තාත්තා දරට ගත්තේය. කළුවර; සුපිරියට ඇවිලෙන දර විශේෂයකි. 

1980 වන විට ජේ ආර් පාලනයට එදිරිව රට පුරා රජයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සඳහා වැඩකරන ජනතාව පෙළ ගැසුනි. එම වැඩ වර්ජනය පාලනය කිරීමට ජේ ආර් ගත් පියවර වන්නේ "සේවයට වාර්ථා නොකරන සියළුම සේවකයින් රැකියාව අත හැර ගියාසේ සලකා රැකියාවෙන් නෙරපීමය! එම සේවකයින් ගෙන් කිහිප දෙනෙකු පසු කලෙක සිය දිවි නසා ගත් අතර ඔවුන් බොහෝ සමාජ හා ආර්ථික ගැටළුවලට මුහුණ දුන් අතර පසුව පත්වූ කිසිදු රජයක් ඒ පිරිස සම්බන්ධයෙන් සාධාරණ පියවරක් ගත් බවක් මාහට මතක නැත!

පසු කලෙක මා කොටුවේ මධ්‍යම බස් නැවතුම් පලෙන් බසයකට ගොඩවී එය පිටත් වන තෙක් එහි රැඳී සිටිනා විට එයට කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු ගොඩ විය. ඉන් එක් අයෙකු පිරිස ඇමතීම පටන් ගත්තේය. 

"නෝනා වරුණි මහත්වරුණි! අපි අසූවේ වැඩවර්ජනයට අසුවූ අය. අප මෙතනට පැමිණියේ ඔබලාගෙන් පොඩි ආධාරයක් බලා පොරොත්තුවෙන්. අපි දැන් ඔබට පෙන්වනවා තිප්පිලි මාළුවෙක් සහ චිම්පන්සියෙක්. ඔය මහත්වරු මගේ මේ යාළුවාගේ මුහුණ දෙස බලා ඉන්න!" සභාව ඇමතූ අයට පිටු පසින් සිටි ඔහුගේම වයසේ අනෙකා තම මුහුන බුම්බමින් ඇස් නෙරවමින් අභිරූපනයෙන් තිප්පිලියෙකු මැවීමට උත්සාහ කලේය.

වැඩ වර්ජනයට පෙර දින දක්වාම කිසියම් කාර්‍යාලයක ලිපිකරු ශ්‍රේණියේ සේවය කල ඒ මිනිසුන් හට තම රැකියාව අත් හැරුණු පසු; තම දුවා දරුවන් රැක බලා ගැනීමට කිරීමට වෙනත් කර්මාන්තයක හුරුවක් නොතිබුනි.  සත්තකින්ම එය අදටත් මාගේ හදවතේ පතුලටම ඇනුනු කටුවකි; මතක් වන සෑම අවස්ථාවකදීම රිදුම් දෙන!

77 ආණ්ඩුවේ විවෘථ ආර්ථික ප්‍රථිපත්ති පිළිබඳව අද බොහෝ දෙනා විවිධ මත ඉදිරිපත් කලද එකල තිබුනු බොහෝ දේශීය කර්මාන්ත හා ව්‍යාපාර වලට කණ කොකා හැඬීම එමගින් සිදුවිය. ඒ සමගම උතුරේ තරුණයින් සන්නද්ධ අරගලයකය අවතීර්ණ වන ලකුණු පහල විය! කලකට පෙර යාපාපටුනට ගිය මැතිනියව රතු මිරිස් කරල් වලින් සාදන ලද මල් මාලයකින් පිළිගත් උතුරේ වැසියන්ගේ ආදායම් තත්වය නව ආර්ථික ක්‍රම වේධ සමග බොහෝ සෙයින් දුර්වල වීමද උතුරේ තරුණයින් අවි දැරීමට හේතු වන්නට ඇත. මේ  සියල්ලෙහිම කූටප්‍රාප්තිය ලෙස 1983 ජුලි මස යාපනයේ මුර සංචාරයක යෙදුණු 13 දෙනෙකුගෙන් යුතුවූ හමුදා පිරිසකට කල ප්‍රහාරයද එම මලසිරුරු අගනුවරට ගෙන ආදා ලංකාව පුරා දියත්වූ ජාතිවාදී අරගලද ගෙන හැර දැක්විය හැක.

වසර 1983 විය! සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි පාසලේ  උසස් පෙල පංති පටන් ගෙන කෙටි කලකි. මම පිට කෝට්ටේ සිට 168 නුගේගොඩ බස් රියෙන් පැමිණ බොරැල්ලට අවතීර්ණ වූවා පමණි. මුළු බොරැල්ලම යකුන් නැටූ පිටියක් මෙනි. බොරැල්ල නගරය පුරා තැනින් තැන තිබුණු ද්‍රවිඩ ව්‍යාපාරිකයින් සතුව තිබුණු කඩ සාප්පු සියල්ල කඩා බිඳ දමා සුන්නත් දූලි කර තිබුනි. මම පාසලට ගියා දැයි මතක නැත. කෙසේ හෝ එම ස්ථානය්යේදී මාගේ මිත්‍ර ටී ජී එස් කේ කමල් කුමාරද හමුවිය. එතැන් සිට අප දෙදෙන බොරැල්ලේ ඔබ මොබ රස්තියාදු වෙමින් "අසිරිය" වින්දෙමු. පසුව මම නැවතත් පිටකෝට්ටේ බලා පසු බැස්සෙමි. පිටකෝට්ටේ එපිට මුල්ල පාරේ පදිංචිව සිටි දෙමල මිනිසුන්ට අයිතිව තිබුනු නිවාස කඩා බිඳ දමා මංකොල්ල කා තිබුනි. බොහෝ නිවාස ගිණිබත් කොටය! මේ පිළිබඳව ජේ ආර්ගෙන් විමසූ විට ඔහු බොරැල්ලේ සිදුවූ කලබලය පිළිබඳව දැන නොසිටි බව පැවසීය. ඔහු සිටියේ බොරැල්ල මංසංධියට මීටර 500 ක දුරකින් වෝඩ් පෙදෙසේය! එතැන් සිට රට යතා තත්වයට පත්වූවා යැයි සිතූවද ගැටුම එන්න එන්නම උඩු දුවන්නට විය. කළු ජූලිය; ජාත්‍යන්තරය තුල  සිංහල ජාතිය පිළිබඳ වැරදි චිත්‍රයක් ඇතිකල අතර ද්‍රවිඩ ජාතිය කෙරෙහි වඩ වඩාත් අනුකම්පාවක් ලබා දීමටත්; උතුරේ අවිගත් තරුණ කණ්ඩායම් වෙත වඩාත් තරුණ ආකර්ශණයක් ලැබීමටත් හේතුවිය.

මේ සම්බන්ධයෙන් ජේ ආර් ගත් පියවර වූයේ  ලසසපය, කොප, නසසප, ජවිපෙ ඇතුළු බොහෝ වාමාංශික ව්‍යාපාර හා පක්ෂ තහනමකට ලක් කිරීමය. එතැනින් යටිබිම් ගත වන ජවිපෙ යලි එලිදකින්නේ 1989 වසරේදීය.

මේ සියළු කාරණා සිදුවනාතරතුර  මා යොමුවන්නේ විපලවීය දේශපලනයටය. ධනපති ක්‍රමයටද, ජාතිවාදයටද එරෙහිවූ ව්‍යාපාරය ලෙස මා දකින්නේ නව සමසමාජ පක්ෂයයි. එවකට එහි ඡායාරූප ශිල්පියා, "හරය" පුවත් පතේ කතු මඩුල්ලේ සාමාජික හා මධ්‍යම කාර්‍ය සභික චන්දන කීර්ති බණ්ඩාර  ඊට පාර කැපුවේය. චන්දන කීර්ති බණ්ඩාර මාගේ සොහොයුරියගේ පාසැල් මිතුරෙකුවන අතර ඔහුත් මාත් අතර එකල විශ්වාසණීය මිතු දමක් විය! හරය පුවත් පතේ මුද්‍රණාලය පිහිටියේ කොලොන්නාවේ ඛණිජ තෙල් ගබඩාවට මදක් ඉහලට වෙන්න පාරේ වම්පස පිහිටි කඩ කාමරයකය. එහි පුවත් පතේ සංස්කාරක කොතලෙ හෙවත් කොතලාවල සහෝදරයාද, ගාමිණී සහෝදරයාද චන්දන අයියාද  නිත්‍ය පදිංචි කාරයින් මෙන් සිටියහ. නලීන් මහේෂ් පෙරේරාද එහි කතු මඬුල්ලේ සැලකිය යුතු තැනක සිටියේය. පිටකෝට්ටේ සිට ඔබේසේකර පුර හරහා කොලොන්නාවට සයිකලය පැදගෙන පැමිණ එහි කාලය ගත කොට ලියන කියන දේ ද අකුරු ඇමිණීම හා මුද්‍රණයේ වැඩ කිඩද බලා කියාගෙන මා ආපසු පිට කෝට්ටෙට පල්ලම් බසී. මෙය සතියකට දෙකකට වතාවක් සිදුවන සාමාන්‍ය චර්‍යාවක් විය.

කාලය ගෙවී උසස් පෙලින් පසුව මා නැවත යටියන්තොටට ගාල් වන අතර 1988 පෙබරවාරියේදී විජය කුමාරතුංග ඝාතනය සිදුවේ. ඒවන විට විජයගේ මහජන පක්ෂය, ලසසපය, කොප හා නසසපය එක්ව කටයුතු කරමින් සිටි අවධියක් විය. විජය යාපනයට පවා ගොස් උතුර දකුණ එක් කරණ දේශපාලනයක යෙදී සිටි අවධියකි. විජයගේ ඝාතනය සමග මා අපගේ නිවස ඉදිරිපිට හැටන් කොළඹ  මාර්ගය හරහා විශාල බැනරයක් එල්වීය. "විජය කුමාරතුංග සොයුරාට අපගේ විප්ලවීය ආචාරය - නසසප"! 1977න් පසු එවන් බැනරයක් යටියන්තොට මැතිවරණ කොට්ඨාශයේ කොතැනක හෝ එල්ලුනාදැයි මාහට සැක සහිතය! මෙම බැනරය මාගේ දේශපාලනය අපගේ අසල් වැසියන්හට අඬගා කීමක් විය. පසුව යටියන්තොට පාර්ලිමේන්තු මංත්‍රී කේ වින්සන්ට් පෙරෙරා මාගේ පියාටත් මටත් ඔහුගේ නිවසට කැඳවා ඔහුගේ දේශපාලනය හා එක්වන මෙන් පැවසීය. කාලය මෙසේ ගමන් කරද්දී ජවිපෙ යටිබිම්ගත දේශ පාලනය මෙරට දේශපාලනයේ පෙරළිකාර පක්ෂයක් ලෙසින් හිස ඔසවමින් විය. රාජ්‍ය ත්‍රස්ථවාදය විසින් ජවිපෙ මර්ධනය සඳහා තෝරා ගත්තේ දැඩි මර්ධනකාරී ක්‍රියා පිලිවෙතකි. දිනක් මා හක්බෙල්ලාවක සිට රුවන්වැල්ල - අඟුරුවැල්ල දෙසට පැමිණ මාගේ මිතුරන් හා එක්ව මීවිතක් තොලගාමින් සිට මහා රාත්‍රිය පසුවන තෙක් සිට ආපසු ගෙදර එන්නට හැරුණි. එකල හැටන් දෙසට දිවෙන අවසාන බසය කොළඹ කොටුවෙන් පිටත්වන්නේ හවස 6.50 ටය. එම බස් රිය 9.00-9.30 පමණ වන විට කරවනැල්ල පසු කොට ගමන් ගනී. රුවන් වැල්ල - අඟුරුවැල්ල දෙසින් පැමිණෙන අයෙකු යටියන්තොට හක්බෙල්ලාවක දෙසට ගමන් ගන්නට කරවනැල්ල මං සංධියට පැමිණිය යුතුය. ඒවන විට රාත්‍රී 12.00 පමණ වී ඇති අතර කරවනැල්ලේ බලු බල්ලෙකු නොසිටියේය. කොළඹ දෙසින් පැමිණි ලොරියක එල්ලී මා පාන්දර ජාමේ හක්බෙල්ලාවක මාගේ නිවසට පැමිණියෙමි. මේ කියන වකවාණුව වන විට මාගේ මව මියගොස් සිටි අතර පියා සේවය කලේ අලව්වේය. නිවසේ සිටියේ මා පමණි. පාන්දර නිවසට ඇතුළුවූ මා ඉදිරිපස කාමරයට වැදී නිදා ගත්තෙමි. පසුදා උදෑසන 7.00 ට පමණ අවධි වී මා නිවෙසින් එළියට පැමිණියෙමි. මාගේ නිවසට ඉදිරියෙන් ප්‍රධන පාරෙන් අනෙක් පස පිහිටි නිවසේ සිටි මාගේ ඥාතියෙකු මිදුල අතුගාමින් සිටියාය.

"පුතේ ඔයා ඊයේ රෑ මෙහේ නෙවෙයිද හිටියේ?" ඇය මගෙන් ඇසුවාය.  පසුව විමසීමේදී පෙරදින රාත්‍රියේ හමුදාවෙන් පැමිණ ගේ වැටලූ බව දැනගතිමි.  කිසිවෙකු නිවස වටලා මාගේ කාමරයේ විවෘථව තිබුනු ජනේලයකින් ඇතුලත විදුලි පන්දමක මාර්ගයෙන් විමර්ශණය කෙරුවානම් ඔහුට පලමුව දර්ශණය වන්නේ මාගේ පොත් රාක්කයේ තිබුනු "ලෙනින්ගේ තෝරාගත් කෘථි වෙළුම් 12", "දේශපාලනයේ මූලධර්ම",  "උනුහිම", "සැබෑ මිනිසෙකුගේ කථාවක්", "අම්මා" . . . . . . . .ආදී  පොත් රැසකි. එකල මෙවන් දේශපාලනික පොත් නොව "සෝවියට් දේශය" සඟරාවක් තිබීම පවා තරුණයෙකු හට මරණ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට හේතුවිය!  මේ වන විට මාගේ මරණ වරෙන්තුව ලියැවී හමාරය! හක්බෙල්ලාවක ගමෙන්ම මා පිළිබඳ ඔත්තුවක් ලැබීමට හේතු ඕනෑ තරම් තිබුනි. හමුදාවට නසසප හා ජවිපෙ යනු එකක් මිස දෙකක් නොවේ. "රතු" අරහංය! එපමණකි!! මා වහාම පලා යා යුතුය! මා කිසිදු කලබලයකින් තොරව නිවසට පිවිස  ඇඳුම් කිහිපයක් මල්ලකට ඔබා ගත්තෙමි. විනාඩි ගණනකින් මා හක්බෙල්ලාවකින් කොළඹ බසයකට ගොඩවිමි. බසය හක්බෙල්ලාවකින් නික්මී යටියන්තොට නගරයට පිවිස බස් නැවතුමේ නැවැත්විය. යටියන්තොට යනු යූඇන්පී බලකොටුවක්ය. බස් නැවතුමෙන් බසයේ සිටි බොහෝ දෙන බැස ගිය අතර මා පිටතට නිරාවරනය විය. මම හනික මාගේ සාක්කුවට අත දමා මාරු කාසි පොදියක් ගෙන අතපසුවීමකින් මෙන් බිම අත හැරිමි.  ඊළඟ මොහොතේ  මා බසයේ දණ ගසාගෙන කාසි එකතු කරණ්නට විය. බසය  නගරයෙන් පිටත්වන තෙක් මා දණින්ය! මා සුවසේ කොළඹ නගරයට සැපත් උනෙමි. 

මා එතැනින් පිවිසුනේ කොළඹ 02, කොම්පඤ්ඤ වීදිය, කිව් පාර ලිපිනයටය. ඒ නසසප පක්ෂ කාර්‍යාලයටය. අද මෙන් දේශපාලණික හොරිකඩයෙකු හා දේශපාලණික නපුංසකයෙකුවී නොසිටි වාසු හා බාහු සමග ජීවත්වීම ඇරඹූවෙමි. කඩවත රැස්වීමෙදී වික්‍රමබාහු කරුණාරත්න හට වෙඩි වැදුනු අතර දේව බණ්ඩාර සේනාරත්න මියගියේය. වික්‍රමබාහු ගෙන ආවේ ආරක්ෂාව පතා රැගෙන ආවේ ඩර්ඩන්ස් රෝහලටය. ඔහුගේ ආරක්ෂාව භාර වූයේ ඔලිවර්ටත්, අඟුරුවැල්ලේ අජන්තටත් මටත් ය. දින 22 ක් පුරාවට අප ඔහුව ආරක්ෂා කලෙමු. අප අත ආමිනියස් හා කෝල්ට් වර්ගයේ .38 රිවෝල්වර තිබුනු අතර හදිසි අවස්ථාවක් සඳහා ප්‍රයෝජනයට ගැනීමට තවත් යාන්ත්‍රික ගිණි අවියක් විය! 

1989 පැවති ජනාධිපතිවරණයේදී අප උදව් කලේ ඔසී අබේගුණසේකරටය. ඔහු ඉන් පරාදවිය. ඒ සමගම දියත්වූ දැඩි මර්ධන කාරී ක්‍රියා පිළිවෙත ඉදිරියේ ජවිපෙ විනාශවීම ඇරඹුනි. ඔසීගේ පරාජයත් සමග ජනාධිපති බවට පත්වූයේ ආර් ප්‍රේමදසය. ඔහුගේ දැඩි මර්ධනකාරී පිලිවෙත ඉදිරියේ ජවිපෙ දෙවන කැරැල්ලද වියැකී ගියේය. ඒ රෝහණ විජවීර අත් අඩන්ගුවට ගෙන මරාදැමීමත් සමගය. ප්‍රේමදාසගේ අවසානය 1993 මැයි 1 වෙනිදා ආමර් වීදියේදී සනිටුහන් වූයේ අනපේක්ෂඉත අයුරිනි. එකල මා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කලෙමි. පෙරදින පිටකෝට්ටේ සොයුරියගේ නිවසට පැමිණි මා මැයි පලමු වෙනිදා හවස් වරුවේ නැවත කටුනායක බලා පිටත් වීම සඳහා ගෙදරින් එළියට බැස; බස් නැවතුම වෙත ඇවිදගෙන ආවෙමි. අසල මිතුරෙකු හා ඔහුගේ පියා මිදුලේ විය.

"යූ ඇන් පී මැයි පෙළපාලියට බෝම්බ ගහලා! ප්‍රේමදාසත් ඉවරයි වගේ!!" දෙවෙනි වගන්තිය ඔහු කීවේ වටපිට බලා පහත් හඬිනි.

තවත් පැයක් හමාරක් යන විට ප්‍රේමදාසගේ අවසානය පිළිබඳව ප්‍රවෘථි ලැබෙමින් විය. ඒ සමගම දසත රතිඥ්ඥා හඬින් ගිගුම් දුන්නේය. 

ඩී. බී. විජේතුන්ග රජවිය! 1994 චන්ද්‍රිකා බලයට පත්විය.  මංගලගේ සුදු නෙළුම් ව්‍යාපාරය හරහා ජාතීන් අතර සමගියක් ඇතිකිරීමට ගත් උත්සාහය තොට ළඟදී චන්ද්‍රිකාට එල්ලවූ බෝම්බය සමගින් අවසන් විය. මේ අතර ගාමිණී දිසානායකද කොටි බෝම්බයට බිළිවිය. දෙවෙනි වරටද චන්ද්‍රිකා බලයට පත්විය. ඉන් ඉක්බිති බලයට පැමිණියේ මහින්දය! එතැන් සිට ගතවූ කාලය තුල 2004 සුනාමි ඛේදවාචකයට රට මුහුණ දුන්නේය. සෑම නත්තල් නිවාඩුවක්ම අප ගත කලේ මාගේ ලොකු අම්මාගේ බෙන්තොට දෙද්දූව පිහිටි නිවසේය. සුනාමි දිනට පෙරදින අප කොළඹින් බෙන්තොට බලා යන්නට පිටත් විය. එදින මා තරමක මධුවිතින් සප්පායම් වී සිටියද ගමන පසුදිනට කල් තැබීමට උවමණාවක් නොවීය! එකල මා ළඟ තිබුනේ 32-0865 නිසාන් පැට්‍රෝල් රථයය. මා ගමන පිටත් විය. පසුදින යාමට කල් තැබුවේනම් අප සියල්ලෝම මුහුදට බිළිවෙන්නට ඉඩ තිබුනි.

එතැන් සිට ගෙවුනු කාලය පුරාවට දෙහිවල, කොටුව, සීටීඕ, මරදාන සිට කැබැතිගොල්ලෑව දක්වා බෝම්බ පුපුරණු දුටුවෙමි.

තිස් වසරක යුද්ධය මේජර් ජනරාල් සරත් ෆොන්සේකා විසින් අවසන් කරණ ලදී. පසුව සිදුවුනු අප්‍රසන්න සිද්ධීන් ලියන්නට අවශ්‍ය නොමැති බව මාහට සිතේ. ඒ මෑත ඉතිහාසය ලියන්නට අප සැවොම දන්නා කරුණු වලින් යුක්තය! එහි කාලකණ්නිතම අවාසනාවන්ත සිදුවීම ලෙස පාස්කු ප්‍රහාරය ලෙස මා දකිමි. එවන් සංවිධානාත්මක ම්ලෙච්ඡත්වයක් පිළිබඳව සිතිය නොහැක. මේ සියල්ල ඇසින් දුටු මාහට #Gota Go Home අරගලයද - එයට එදිරිව නැගුනු කෲරත්වයද එය පරයා නැගි මහජන රැල්ලද දකින්නට අවස්ථාව ලැබුනි. 

ජීවිතය තව කෙතරම් දුර දිවේදැයි සිතන්නට නොහැක! ඉක්මණින් ලියා තැබිය යුතුය. වරද කරුවනට දඬුවම් ලැබෙනු බලා මියෙන්නට ඇත්නම් එය ආත්මයට එකම සැනසීම කොට සලකමි!

අරගලයට ජයවේවා!

34 comments:

  1. Weerasiri BandaraMay 16, 2022 at 11:47 PM

    චිත්‍රපටියක් බැලුවා වගේ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔය ලියා ඇත්තේ සංශිප්තය! ස්තූතියි නැවතත්!

      Delete
    2. බයිස්කෝප් කියන්නේ ත්‍රසජනක එකක් වගේ, අපිත් මේවායේ නළුවෝ වෙලා හිටියා වගේ මතකයි, සටන් වල ප්‍රේම ජවනිකා වල එහෙම, හා නැද්ද?
      මම විජේබාහු

      Delete
  2. දිග ලිපියක්. තව සැරයක් කියවන්න වෙයි වගේ. 1971 කැරැල්ල වන විට සමගි පෙරමුණු රජය හිටියේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ. ඒත් 1976 වෙන විට පල්ලම් බැහැලා ඉවරයි. මට තාම මතකයි ධර්මදාස කංකානම් මාමා පරණ බයිසිකල් ටයර් එක දීලා ඕනෑ අළුත් එකක් ගන්න කියලා අම්ම, මෝ නැතිව ආණ්ඩුවට බණින විදිහ.

    ReplyDelete
    Replies
    1. ඔව් එකල ඒ වගේ පොඩි පොඩි අවුල් සහගත දේවල් තිබුනා. එදා පාලකයින් ගත් බොහෝ තීන්දු තීරන අදවන විට යල් පැනගිය අමන තීන්දු ලෙස බොහෝ දෙනා විවේචනය කරණු මා දැක ඇත! සමහර කරුණු කාරණා සම්බන්ධයෙන් මටද විවිධ විවේචන ඇත! එහෙත් ඉන් අති මහත් බහුතරය රටේ යහපත වෙනුවෙන් ගත් තීරණ ලෙසයි මා දකින්නේ. තවත් ලෙසකින් පවසනවා නම් පෞද්ගලික ලාභාපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීමේ පරමාර්ථයෙන් කරණු ලැබූ ඒවා!

      Delete
  3. පනස් හතරේ ඉපිද
    මම තවම පණ පිටින්
    සිටිය තැන් වෙනස් වුව
    සමානය අත්දැකුම්

    'මැතිණි විත් පමුණුවට
    හමු වෙන්න ඇඩ්වින්
    කිරි ගහට ඇන්න වගෙ
    මිනිහගේ කියමන්!'

    කියා තව තොරතුරක්
    ලියමි ඔබෙ සරු ලිපිය
    සපිරෙන්න, මහත්තයො
    ලිපිය හරි පිරිපුන්!

    ReplyDelete
  4. නෑ නිදි මහත්තයා ඔය ලිව්වේ පොඩි සැකිල්ලක්! ඉදිරියට ඔඅය එක් එක් කාරණා පිළිබඳව ලියන්න පුළුවන් වේවිනේ රසබරව! සත්තකින්ම ඒවා රසබර මතක!

    ReplyDelete
    Replies
    1. ලොකු සතුටක්. ආසාවෙන් බලන් ඉන්නවා.

      Delete
  5. මෙටතැනට ලලිත් ඇතුලත්මුදලි ඝාතනය එකතුකරන්න මග හැරිලා වාගේ..
    එක හුස්මට කියවා... හති අරිමින්... අරගලයට ජයවේවා....

    ReplyDelete
    Replies
    1. අනේ මචං මට ඒක මතක් උනා! ලියවිලා නෑ! ස්තූතියි!

      Delete
  6. ඔය අරගල කරලා වැඩක් නැහැ මල්ලි. කවුරු දිනුවත් අපි හම්බ කරොත් අපිට පුළුවන් හවසට අඩියක් ගහලා කුකුළුමස්සෙක්ක බත් ටිකක් කළා සිකරට්ටෙකක් කාරිය බිලා බුදිය ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒ ටික නං දැනුත් මං කරණවා ඇනෝ!

      Delete
    2. අරක්කු සිගරට් බොන්න එපා තාත්ති. ඇයි ඔහොම නැති නාස්ති වෙන්නේ. පුංචි පුතා පව්.

      Delete
  7. මේ දේවල් අපිට මතකය්, අපිත් ඔය කාල වකවානුවල ලංකාවේ හිටියනේ.

    මේකේ තියෙන පුදුම දේ තමය් සරත් පොන්සේකා යුද්දේ ඉවර කරා කියන එක, එහෙනම් අපි මොනවද කරේ? මම 88/89 හිටියේ බදුල්ලේ RDF රයිඩ ට්ම් එකේ, RDF පසුව SF උනා. මේවා ලියලා වැඩක් නැ, අපි කට්ට කාපු හැටි දැන් යු බටේ ටික ටික තියනවා නේ.

    ReplyDelete
    Replies
    1. මම මෙතනදි එක් නායකයෙකුගේ නම ලියන්න උත්සාහ කලා මිස රෙජිමේන්තු, බලසේනා, සේනාංක වල නම් ලියන්න උනන්දු උනේ නෑ. මම හිතන විදියට ඔබගේ කාන්ඩයටත් අණ දෙන්නටත් නායකත්වය සපයන්නටත් ඇත්තේ සරත් ෆොන්සේකාම විය යුතුයි!

      Delete
  8. බොහොම රසවත් අතීතයක්. දැන් අපේ රටට වෙලා තියන දේ ගැන බලපුවාම, අපිට අතීතය ගැන මතක් කරලා සතුටු වෙනවා මිසක් අනාගතය ගැන නම් සතුටක් පේන තෙක්මානයක නැහැ.

    ඉහත Litseeker කියලා තියන විදියට 1976 වෙනකොට ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙලා ඉවරයි. සමුළුව නිසා ඉහල ජාත්‍යන්තර සහයෝගීතාවයක්, පිළිගැනීමක් තිබුනා. නමුත් ලෝකෙට ඒ පිළිගැනීම තිබුනට, රට ඇතුලේ ආණ්ඩුව බිමටම වැටිලයි තිබුනේ. ආණ්ඩුවේ බිඳ වැටීම 1972 තරම් ඈත කාලයක ආරම්භ උනා කිව්වොත් වරදක් නැහැ. ඒ බව 72 අතුරු මැතිවරණ හතරෙන් (දිනුවේ රත්නපුරය විතරයි) සහ 74 කලාවැව අතුරු මැතිවරණයෙන් පැහැදිලිවම දකින්න ලැබුනා. 1975 පැවැත්විය යුතු මැතිවරණය වසර දෙකකින් කල් දැමීමත් ආණ්ඩුවට සුභදායක උනේ නැහැ.

    ඉන්දිරා ගාන්ධි ට වැස්සියි පැටියයි කියලා කිව්වේ, සංජේ ගාන්ධි නිසා නොවෙයි, ඒ ගොල්ලන්ගේ පක්ෂ සලකුණ වැස්සි සහ පැටවා නිසා කියලයි මම හිතන්නේ.

    ලංකාවේ මොන ප්‍රශ්න තිබුනත්, සතුටු වෙන්න පුළුවන් එක දෙයක් මම දකිනවා. ඒ තමයි ගෝඨා ගෝ ගමේ විරෝධතා කරුවන්ගේ අවිහිංසා වාදී විරෝධතාවය. ඉතිහාසයේ කවදාවත් ගහ මරා ගන්නේ නැතුව දවසක් දෙකක් වත් විරෝධතාවයක් පවත්වලා නැහැ. එහෙම තියෙද්දීත් මාසයක් ම ඉතාම අවිහිංසාවාදීව කරපු මේ විරෝධතාවයට පහර දීපු මිනිස්සුන්ට නීතියෙන් දඬුවම් ලැබෙනකම් හැමෝම බලාගෙන ඉන්නවා. එහෙම දඬුවම් නොලැබුනත්, ස්වභාවය ධර්මය අනුව හෝ ඔවුනට දඬුවම් කවදා හෝ ලැබෙනු ඇති!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම් මහත්තයා!
      ඔව් ඒකාලෙත් මාධ්‍යයෙන් පිම්බීම සුපිරියටම කෙරුණා. ජනතාව අතර බෙහෙවින් අප්‍රසාදයට පත්වී තිබුනත් රජයේ මාධ්‍යය වලින් ඒවා යට ගහන්නට පුළුවන් කම තිබුනා. ඒවාට විරුද්ධව කටයුතු කල ආයතන රජයට පවරා ගැනුනා! නැතිනම් සීල් තිබ්බා!
      ඔව් එයත් හේතුවක් තමයි. නමුත් ඔහු භාවිතා කලේ ලංකාවෙ වැස්සිටයි පැටියටයි . . . කියලා!
      සත්තකින්ම අපි බලා ඉන්නවා කවදා හරි යුක්තිය ඉටුවේවියැයි කියා!

      Delete
  9. ඉතා අගනා මතක සටහන් ටිකක්.

    වරදකරුවන්ට දඬුවම් ලැබෙනවනං හොඳයි. අපි බලාපොරොත්තු වෙමු එහෙම වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් ප්‍රසන්න!! ඒක මගේත් එක හීනයක්!!!

      Delete
  10. හ්ම්.....මතක් කරන්න තරම් ලස්සන අතීතයක් නෙමෙයි. ඒත්, අපට ලේසියෙන්ම අමතක වෙන නිසා වැදගත්. උඩින් කමෙන්ට් වල කියල තියනවා වගේ, ගෝඨා ගෝ ගමේ විරෝධතා කරුවන්ගේ අවිහිංසා වාදී විරෝධතාවය ගැන බලාපොරොත්තුවක් තියනවා.

    ReplyDelete
  11. ස්තූතියි බස්සා! බලමු දෙකෙන් එකක් වෙන තුරු!!

    අපේ බ්ලොග් වල රිප්ලයි දැමීමට බොහෝ සෙයින් අපහසුය. ඩ්‍රොප් ඩවුන් එකකින් ඇනෝද නැතිනම් Name/URL එක අසයි. මේ පිළිබඳව ඔබගේ විද්වත් මැදිහත්වීමක් බලා පොරොත්තු වෙමු!
    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Term of Service apply.
    යනුවෙන් යටින් වගන්තියක්ද වැටේ!

    ReplyDelete
  12. මේකට කමෙන්ට් කරන්නනම් එකිනෙකට වෙනස් කමෙන්ට් 20ක් විතර දාන්න ඕනෙ. මට ඒතරම් ලියන්න බැරි නිසා මුණගැහුන වෙලාවක කතා කරමු

    ReplyDelete
  13. බාගයයි කිවයන්න උනේ. ඔක්කොම ටික කියවල තව කොම්මේන්ටුවක් දාන්නම්.
    මහේෂ්. සව්දි

    ReplyDelete
    Replies
    1. ඔයා අලුත් නමකුත් හදාගෙන ~ සවුදි මහේෂ්

      Delete
    2. අනේ මම නම් එහෙම දැම්මේ වෙන මහේෂ් කෙනෙකුත් කොමෙන්ටු දමන නිසයි. ලිපිය දිග උනත් බොහොම රසවත්. අවුරුදු 50 විතර විස්තරයක් මිට වඩා කෙටි කරන්නේ කොහොමද නේද?

      ඉහත විස්තර වලින් සහ සමහර අත්දැකීම් වලින් පෙනෙන විදියට ලංකාවේ සාර්ථකම අරගලය කරන්නේ නුතන තරුණ තරුණියන් විසින්. එයට නවීන තාක්ෂණයත් එකතුවී තිබීම විශාල වාසියක්. නැත්නම් මේ අරගලයත් මහාවංශයේ ලියවෙන්නේ මහින්දට, ජෝනියලට ඕන විදියට. මේ අරගලය නව යුගයක ආරම්බයක් විදියටයි මට පෙනෙන්නේ.
      අරගලයට ජය!

      Delete
  14. Aththatama pattama liyavillak,supiri,

    ReplyDelete
  15. වටිනා සටහනක්.... රසවත්ව ලියල තියෙන නිසා එකපාරම කියවං ගියා. යුද්ධය ඉවර උනේ හැමෝගෙම සහයෝගය ලැබීමෙන්... අඩුවැඩිව, කියලයි මගෙ අදහස.
    අරගලයට ජය වේවා!

    ReplyDelete
  16. “අප අත ආමිනියස් හා කෝල්ට් වර්ගයේ .38 රිවෝල්වර තිබුනු අතර හදිසි අවස්ථාවක් සඳහා ප්‍රයෝජනයට ගැනීමට තවත් යාන්ත්‍රික ගිණි අවියක් විය!” දැන්නම් කොමෙන්ට් දාන්නත් නිකං බයයි බයයි වගේ.

    ReplyDelete
  17. තට්ට මල්ලි, බලාගෙන යනකොට අපි දෙන්න එක වයසේ වගේ. මේ මගේ 1971 මතකය. 2014 විතර ඇත්ත නමින් ඇවිත් ලිව්ව බ්ලොග් ලිපියක්. https://kolambagamaya.blogspot.com/2014/03/1971.html

    ReplyDelete
  18. 1973-75 කාලවල අපේ ගෙදර පාන් කන්නේ නැති නිසා අපට හම්බවෙන පාන් ප්‍රින්සිපල් ගේ ගෙදරට ගිහින් දුන්නේ මම. ඒ ලුනුගලදී. පාන් පෝලිම්, සාරි පෝලිම් , භූමිතෙල් පෝලිම් නිසා ඒ ආණ්ඩුව පැරදුනේ. සිසිර කුමාර මනික්ක ආරච්චි ලිව්ව ලිවිල්ලක් නැති වෙලා යන්නම. හැබැයි එන් එම් පෙරේරා ණය ටික ඔක්කොම ගෙවල ඉවර කළා. ඒකයි කියන්නේ ණය ගෙවන්නයි ෂපාන් එකේ ජිවත් වෙන්නයි දෙක එකට අක්රන්න් බැහැ කියල. 1978 ජේ ආර් දිනලා අපේ පාසලට ඉස්සෙල්ලම ආවේ, රනිලය එක්ක . ඒක හොඳට මතකයි. හැබැයි අපි අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව එළි බැස්ස . නාමයේ පන්තියේ වෙන්න ඕනේ. දැන් දන්නවා මෝඩ වැඩක් කලේ කියල. මේක පුදුම සහගත වැඩේ තමයි මම ඒ දවස් වල කොම්පඤඤ විදියේ මැලේ පාරේ තිබ්බ නව සම සමාජ කාර්යාලයෙන් 1982-83 කාල වල 'හරය ' පත්තරේ ගන්නවා. මම සුචරිත ගම්ලත් ගේ දයාන් ජයතිලක ලගේ ගෝලයෙක් ඒ දවස් වල. මම ඔය කිව් රෝඩ් එකේ නසසප කාර්යාලයට පවා ගිහින් තියනව. නව සම සමාජ පක්ෂේ හිටිය විතානගේ කියල විදුහල්පතිවරයෙක්. 80 වර්ජනයෙන් රස්සාව අහිමි වුනු. හොරණ. එයාගේ පුතා චන්දන විතානගේ මගේ යාළුවෙක්. එයා එක්ක තමා ගියේ. මම හරය පත්තරේ ගන්න නිසා තමා ඒ යහළුකම ඇති වුනේ. චන්දන ගේ පියා ජවිපෙන් වෙඩි තියල මැරුව 88 විතර. චන්දනයි මමයි 84 සෝවියට් දේශයට ගිය නිසා චන්දන බේරුනා කියල මම හිතන්නේ.

    ReplyDelete
  19. 77 මැතිවරණය ගැන කාටුන් ටිකක් මේං...

    https://drackey.blogspot.com/2015/01/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. මරු මරු මරු ඩ්රැකී! ගොඩක් ස්තුතියි !!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...