2022/04/10
උදෑසන නැගිට ගමනට සූදානම්ව ආලින්දයේ පුටුවකට වී සිටිමින් මා WhatsApp Group එකක් ඇටෙව්වෙමි. එයට මාගේ පලමු පෝස්ටුව එක් කල අතර කැන්ගරු දේශයේ සිට විජයභාහු මහතා "තම්ප්ස් අප්" සළකුණක් එවා තිබුනි.
ඊට යටින් මා කුඩා වැකියක් එක් කලෙමි.
"දැන් වේලාව
උදෑසන 5.26 යි.
මමත් නිශානුත්
කඩවතින් ගමන් අරඹනවා
උදෑසන 6.00 වන විට.
දිගටම අප සමග රැඳෙන්න
සහෘද ඔබට කෙරෙන
ආදරණීය ආරාධනයයි
මේ!"
සියල්ල්න්ගේම සුබ පැතුම් මැද වැස්සේ තෙමෙමින් කඩවත කැන්ඩි සාප්පුව ඉදිරියේදී නිශාන් හමුවීමේ බලාපොරොත්තුවෙන් ගමන් ඇරඹූවෙමි!
එක් එක් ස්ථාන නාම කාලයෙන් කාලයට අළුත් වෙයි වියැකෙයි! තවමත් ඔරුගොඩවත්තේ බේස්ලයින් පාරේ කැළණිතිස්ස අන්තයේ ඇති බස් නැවතුම හඳුන්වන්නේ "ටොයොටා කොම්පැණිය" ලෙසය. මීට දශක ගනනාවකට පෙර ටොයෝටා ලංකාවට ගෙන්වූ ෆෲඩන්බර්ග් නමැති සේනානායක පවුලට අයත් ව්‍යාපාරික ආයතනය පැවතියේ එතැනය. දැන් එතැන පවතින්නේ "විජය ග්‍රැෆික්" ආයතනය වුවත් තවමත් බස් පලුවෝ ටොයෝටා යනුවෙන් වහරති! එසේම මීට කලකට පෙර කඩවත නගරයේ අන්ත දෙක හැඳින් වූයේ "බෝගහ ලඟ" හා "ඩිපෝව ලඟ" ලෙසටය. ඩිපෝව දැන් එතැන නැතත් බෝ ගස නිරුපද්‍රිතව එතැන ඇත. එහෙත් එම හංදිය "නම් පොතේ" නව සංස්කරණයේ සඳහන් වන්නේ "කැන්ඩි එක ළඟ" කියාය!
නිවෙසින් පිටත්වී අතුරු පාරෙන් තවත් පාරකට වැටී එතැනින් නුවර පාරට පැමිණ කඩවත නගරයට පැමිණිය යුතුය!
තරමක සුළඟක් සමක වැස්සක් වසී. වැසී වසින සීතල උදෑසනක උදේ 5.40 ට පමණ වැස්සේ තෙමීගෙනම නුවර පාර දිගේ කඩවතට පැමිණ කැන්ඩි සාප්පුව දෙසට පැමිණියෙමි. ඒ වන විටත් නිශාන් පැමිණ සයිකලයේ සහ තම ඇඳුමේ යම් යම් දේ සීරු මාරු කර ගනිමින් විය.
"මල්ලි ඔයා ඇවිත් හුඟක් වෙලාද?" එතැනට සේන්දුවෙමින්ම ඇසුවෙමි. ඔහුත් එතැනට පැමිණ ඉතා කෙටි වේලාවක් ගතවී තිබුනි. මා සයිකලයේ සවිකර තිබූ පූචසයේ වූ දූරකතනය රැගෙන සෙල්ෆියක් දෙකක් ගත්තෙමි.
6.13 a.m.
"මම පොඩි වට්සැප් ගෲප් එකක් හැදුවා! ඒකට ඔයාවත් දාන්නම්."
"අනේ අපේ දුවවයි වයිෆ්වයි නංගිවයි දාන්න!" මම ඔවුන්ගේ නොම්මර එකින් එක දූරකතනයට ඇතුල් කරමින් නාමකරණය කරමින් ඒවා වට්සැප් ජාලයට එකතු කර ගත්තෙමි. අලුත ගත් සෙල්ෆි එයට එක් කලෙමි.
"එහෙම නං අපි පිටත් වෙමු. "
"හරි යමු ! එහෙනං දවස් දහයකට ඔයාට ඉන්නෙ මං! මට ඉන්නේ ඔයා!!" කියමින් නිශාන් අත දිගු කලෙමි. ඔහුගේත් මගෙත අත් වැසී තිබුනු අත් මේස් පෙඟී තිබුනි. ඒ තෙත තුලින් සහෘදත්වයේ උනුසුම හුවමාරු කර ගනිමින් අප පිටත් උනෙමු.
වැස්සේ යන්තම් හෝ අඩුවක් නොමැත.
දිනය ඉරිදා බැවින්ද ඉන්ධන හිගය විසින්ද පාළු නුවර පාරක් මවා තිබුනි. ඉඳ හිට අපට වතුර පාරක් විදිමින් හඹා යන මෝටර් රථයක් අපගේ පාළුව මග ඇරියේය. මුළු ජීවිත කාලයටම බයිසිකලයකින් දුරම කියා ගමනක් ගොස් ඇත්තේ මෙහි සිට යාපනයට ය. එම ගමන සැලසුම් කොට තිබුනේ කඩවත සිට ගල්ගමුව - කිමී 137, ගල්ගමුව සිට කනගරායන්කුලම් - කිමී 136, කනගරයන්කුලම් සිට යාපනය - කිමී 104 ක්ද මුළු එකතුව 377 ක් ලෙසය. දිනක් තුල මා සයිකලයකින් ගමන් කොට ඇති වැඩිම දුර කිමී 200 කි. ඒ කඩවත සිට පොළොන්නරුවට ය. අපගේ සැලසුමේ ලෙසට අද දිනයේ අප මිරිස්සට පැද යා යුතුය. ඒ කිලෝමීටර 146 කි. මෑත භාගයේදී එවන් දුර ගමනකට යෙදුනේ මීට සති තුනකට පමණ පෙර කිලෝ මීටර 60 ගනනක දුරකි. පසුගිය කාලය පුරාවට කඩවත සිට නිට්ටඹුවට පැද පැමිණී මෙන් සපුරා ඇත්තේ උපරිම කිලෝමීටර 40 කි. මේ සියළු පැදිලි පැද්දේ ඉතා හොඳ කාලගුණික තත්වයන් මැද්දේය. අද තත්වය ඉඳුරාම වෙනස් එකකි. සයිකල් ධාවන තරඟ පවත්වද්දී තරඟ කරුවනට ජල ප්‍රහාර එල්ල කිරීම දැක ඇතත් එය විඳින්නා හට දැනෙන ආකාරය පිළිබඳ අදහසක් නොමැත. මා විෂයෙහි වැස්ස සමග පාදයේ මාංශ පේෂි සිරවීමක් දැනෙන්නේය. රැකියාව සඳහා සයිකලයෙන් ගමන් ගන්නා කාලයේදී මා එය නිතර අත් දැක ඇති දෙයකි. කෙමෙන් කෙමෙන් අප නුවර පාර අවසන්කොට පෑලියගොඩින් බේස්ලයින් පාරට අවතීර්ණවී සිටියෙමු. බොරැල්ලේදී මාගේ අතිජාත මිතුරා රුශාන් හමුවී වචනයක් තෙපලා සමුගෙන යෑමට සිත්විය. ඔහු සිටියේ බොරැල්ල නාරහේන්පිට මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරින්ය. මා ඔහුව මුණ ගැසී එන තුරු නිශාන් ඉදිරියටම පැදගෙන ගියේය. රුශාන් හමුවනතුරු මා දූරකතනයෙන් ඇමතුම් ලබා දෙමින් සුභපැතුම් උනුසුම් වදන් සොයමින් විය. රුශාන්ගෙන් වෙන්ව ඩී එස් සේනානායක විදුහල අසලින් බෞද්ධාලෝක මාවතට පිවිසුනෙමි. ඩී එස් සේනානායක හන්දියේදී පියකරු යුවතියක් ඇස් දල්වා බලා සිටියේ මේ කුමන අරුමයක්දැයි පවසන්නාක් මෙනි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලදී නිශාන් හා එක්වී වැස්සේම ඉදිරියට පැද ගියෙමු. එතැනින් තුන්මුල්ල හංදිය ඩුප්ලිකේශන් පාර ඔස්සේ සැවෝයි සිනමාහල අසලින් ගාළුපාරට වැටී දකුණු ලක බලා යන්නට විය. වර්ෂාව වැටී මහා මාර්ගය කුඩා වාරි කර්මාන්තයක් බවට හරවා තිබුනි. පාර මතින් අඟල් 1/2 ක පමන ජල පෘෂ්ඨයක් මවා තිබුනි. ඉදිරිපස රෝදයෙන් ඉහලට එසවෙන වතුර පාර සයිකලයේ රාමුවේ වදී. එහෙත් යන්තම් හෝ ඒ මේ අතට හැරෙද්දී එය මුහුනටම එල්ලවේ! පසුපස රෝදයෙන් පිට මැද්දටම වතුර පාර එල්ලවන්නේය! අප පලමු වරට නැවතෙන්නේ දෙහිවල ගල්කිස්ස මායිමේ වූ පෞද්ගලික බැංකුවක අගුවේය.
10.07 am
නිශාන් ගෙදරින් හැලප සහ කිරි ටොෆී සාදා ගෙනැවිත් තිබුනි. හැලප යනු බඩගිනි නොසෑදෙන කෑමකි. මා සිතන්නේ එහි ඇති කුරක්කන් පිටි හා පැනි වල බල මහිමයෙන් සිදුවන ප්‍රාථිහාර්‍යයක් කියාය. හැලප කා අවසන් වූ පසු නිර්ලෝභී ලෙස කිරි ටොෆීද පිලිගැන්වූ නිශාන් සියළු අඩුම කුඩුම නැවත එකලස් කරගෙන ගමනට එක් විය!
"මගේ යාළුවෙක් ඉන්නවා මොරටුවේ! එයත් අපිත්තෙක්ක පොඩි දුරක් හරි පදින්න එනවා කියලා කිව්වා!" නිශාන් පිටත් වන්නට මොහොතකට පෙර මාහා කීවේය.
"එහෙනං දැන්ම කෝල් එකක් දෙන්න පාරට එන්න කියලා! මග චාටර් වෙන්න නං බෑ!" මම නොසරුප් හඬින් කීවේමි.
සයිකල මැලිබන්හංදිය බෙලෙක් කඩේ, එයාපෝර්ට් හංදිය පසු කරමින් රාවතාවත්තට පැමිණියේය. රාවතා වත්තේදී අපහා එක්වූ නිශාන්ගේ මිතුරා අප සමග පානදුර තෙක් පැමිණියේය. ඒ වන විට වර්ෂාව තවත් වැඩි කොට තිබුනි. පානදුර පසු කරණ විට පාරේ එහා මෙහා නොපෙනන තරමේ මොරගෙඩි වස්සක් ඇද හැලෙමින් විය. තවත් කිලෝමීටර 1/2 කින් පමණ අප මාළුපාන් කඩයක් හෙවත් පේස්ට්‍රි ෂොප් එකක් අසල නැවැත්වූයෙමු.
8.48am
ඇවිද්ද පය අප සමග
පානදුරෙන් පිටත් වූයේ අනෝරා වැස්සේය! එතැනින් පිටත් වන්නට මත්තෙන් සහෘදයින්ව දැනුවත් කිරීමට සටහනක් සමූහයේ පල කරමින් පිටත් උනෙමු. එතැනින් වාද්දුව මග්ගොන පසුකොට කළුතරට එන විට වැස්ස අඩු කොට තිබුනත් ඡායා රූප සටහනක් තබා ගැනීමට දූරකතන එළියට ගැනීමටවත් බැරිව තිබුනි. එහෙත් සටහනක් නොතබා කොහොමද කොන්ක්‍රීට් කුලසිංහයන්ගේ ප්‍රාථිහාර්‍යයේ? ඔව් කළුතර චෛත්‍යය.
9.42 am
පාලම මත සයිකල නැවැත්වූ සැණින් නිශාන් අමතා මා පැවසූවේ "මම මෙතන උඩිනුත් ගිහින් තියෙනවා! යටිනුත් ගිහින් තියෙනවා!" කියාය. සත්තකින්ම රත්නපුර සිට කළුගඟ දිගේ කළුතරට පැමිණි ගමනේ අවසාන නැවතුම් පල වූයේ මෙම පාලමේ යට දකුණු ඉවුරය!
කළුතර බෝධිය! දනන් තුඩග නම රැව්දුන්නද; එම ස්ථානය පසු කරණවිට බලන්නේ චෛත්‍ය කර්මාන්තය දෙසයි. කුලසිංහ මහතා මෙම නිර්මාණය කරණ්නට සැලසුම් කරණා සමයේ එහි ඇතුලත හෙවත් ගර්භය හිස්ව තිබීම පිළිබඳව විවිධ මත පලවූවා යැයි මා අසා ඇත. එහෙත් එම පුහු මත ඉවත දමා එම ඉඩ ප්‍රයෝජනවත් කාර්‍යයක් සඳහා යොදා ගැනීම ප්‍රශංසණීය කටයුත්තකි! මීට වසර ගනනාවකට පෙර මෙම ස්ථානයේ තිබූ යකඩ පාලම පිළිබඳවද විවිධ ජනාශෘති එකල තිබුනි. එය නිර්මාණය කල ඉංජිනේරුවා පාලම මතින් අලි 100 කගේ බරක් ගෙන යා හැකි බවට ශපත කල බවද ඒ හා සමාන බරක් පාලම විවෘථ කිරීම සමග ගෙනයාමට සලස්වා එම බ්‍රිතාන්‍ය ඉංජිනේරුවා තම පිස්තෝලය හිසට තබා ගෙන ගිය බව එකල මා අසා ඇත! මෙවායේ තාර බර ඇර ගත් කල කිසියම් හීන් හරයක් තිබෙන්නට පුළුවන. එහෙත් ඒවා හොයන්නේ කෙලෙසද?
සීතල වැස්සේ; ඉහින් කනින් නාගෙන යන මා ගේ දෙසවන සොයන රසඳුනක් විය! ඒ උනු උනු බිත්තර රොටී නිපදවන කම්හලකි! කලුතර පසුකොට ටික දුරක් යනවිට කඩයක් දෙකක් දුටුවද ඒවට "කට පුරා කඩ" කියන්නට නම් හැකියාවක් නොතිබුනි. එහෙයින් දිගටම පැද්දේ හරියමන් කඩයකින් බිත්තර රොටියක් කෑමේ දොළ දුකෙනි. වැස්ස පරයා පයාගල රේල් ගේට්ටුව පසු කරණා තුරුත් හරි යමන් කඩයක් හමු නොවුනි. පයාගල රේල් ගේට්ටුව පසු කර මීටර 25 ක් පමණ දුරක් යන විට වම් පස කෙඬෑරි කඩයක් විය.
නිසි වයසට එළෙබෙද්දී අවාහ විවාහ කරගැනීමට නොහැකිවූ ඕනෑම සුපෙම්වතෙක් තවත් ඕනෑම දර හැවකට හෝ පිංගුත්තරයෙකුට කර ගැසීම අතිශය සාධාරණීය වූ කාර්ණයකි. වාහන හොයන්නට ගිය කලට අපටද එවන් අබ්බගබ්බයන්හට මුහුණ දීමට සිදුවේ. අප නැවැත්වූවේ අප සමග ජාති වෛරක්කාරයෙකුගේ කඩයකය! කුඩාකල තොටිල්ලට උඩින් එල්ලන ප්ලාස්ටික් මල් පොකුරට හිනා උනාට පසුව ඔහු කිසිදාක කාටවත් සිනහ වී ඇති බවක් පෙනෙන්නේ නැත. අනේ ඒකටත් එක්ක ඔහුගේ ඇඹේණිය! ජාඩියට මූඩිය සේය. ඇය සිටියේ ඔරවා ගෙනමය. එහි වීදුරු අල්මාරියේ පරිස්සමට තබා තිබුනු බිත්තර රොටියක් ගෙන බැලූ විට අත හිරි වැටෙන සීතලක් එහි විය!
"මේක පොඩ්ඩක් රත් කර ගන්න පුළුවං නේද?" මම ධනාත්මක ප්‍රශ්ණයක් ඇසුවේය.
"බෑ!" ඔහුත් ඔහුගේ පැත්තෙන් ධනාත්මක පිළිතුරක් දුන්නේය.
අවසානයේ එතැනින් දත් හිරි වැටෙන සීතල බිත්තර රොටී දෙකක් කා පිටත් උනෙමු.
එතැන් සිට නැවත වැස්සේම පිටත් උනෙමු. අළුත්ගම, බෙන්තොට ඉඳුරුව පසුකොට නැවත නැවැත්වූයේ බලපිටියේය. බලපිටියේ පෙරෙරා ඇන්ඩ් සන්ස් කඩයකට ගොඩ වැදී මොනවාදෝ ලට පට ටිකක් ගිලදමා නෙස්ට් ටී එකකින් සිරුර උනුසුම් කරගෙන පිටත් උනෙමු. අපරාදෙ කියන්න බෑ බලපිටියේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ මහත්තයත් එයාගේ කෑම ටික ඉවර කරණවාට තද කෝපයකින් තමයි අපට ඒවා විකුණුවේ. අනේ ඉතිං මුනුයි අපියි කරණ බිස්නස්!? ඒ වන විට වැස්ස නැවතී තිබුණු අතර පාරේ තැණ් තැන් වල එකතුවූ වතුර එලෙසින්ම විය. ඒවා වියැලීමට තරම් ප්‍රභල හිරු රශ්මියක් වැටුනේ නැත. එතැනදී දූරකතනය විපරම් කරද්දී දිලෘක් කන්නන්ගරගේ ඉල්ලීමක් දුටිමි. අහෝ දුකකි! ඉරකි තිතකි!! ඒ වන විට හීන් බෝවිටියා මල පසුකොට සැලකිය යුතු දුරක් පැමිණ තිබුනි. ඇවිත් තිබූ දුරටත් වඩා බලපෑමක් ඇතිකලේ පැමිණි රථය හා කාලගුණයය! මොනවා කරණ්නද ආපහු යන්න කියලයෑ!?
බලපිටිය 12.23pm
1.43pm
ඊළඟ නැවතුම උනේ දොඩංදූවේ කුමාරකන්ද ප්‍රදේශයේ පාර අයිනේ තිබුනු කඩ පොඩ්ඩක්! මොනවද කෑවේ කියලනම් මතක නෑ ඒත් ඒ වෙන කොට යන්තං වැස්ස තුරල් කරලා තිබ්බේ. ඒත් ඇඳුම් ඔක්කොම හොඳටෝම තෙත් වෙලා! එතැන ඉන්න කොටම එක පාරටම ආවා මධූගේ දුක් ගීයක පද වැල. ඔය පහලින් තියෙන්නේ ඒක. එයාට අන්තිම මොහොතේ වැඩේ මිස් වෙන්නේ තාත්තාගේ අභාවය!
2.14pm
2.16pm
3.19pm
අපේ සැලසුමේ ලෙසට අප අද රාත්‍රිය ගත කිරීමට ඇත්තේ මිරිස්සේ වුවද; අධික තෙහෙට්ටුව, එක දිගට කිලෝමීටර 80 ක් පමණ අධික වර්ෂාපතනයකට ගොදුරු වීම හා ගාල්ලේ සිට නැවත වැස්ස පටන් ගැනීම නිසා බෙහෙවින් අඳුරු ස්වභාවයක් ගැනීම යන කරුණු හේතු කොට ගෙන අහංගමින් අද දිනය නිමා කිරීමට තීරණය කලෙමු. අහංගම නගරයෙන් ලෙමන් ජින් භාගයක් රැගෙන අප කුඩා නවා තැනකට ඉව අල්ලමින් පැද ගියෙමු. පාර අයිනේ වූ කුඩා නවාතැන; පළමුව රුපියල් 2500 ක් ඉල්ලා පසුව 2000 කට එකඟව අපට රාත්‍රියේ සැපවත් නින්දක් හා විවේකයක් සැපයුවේය.
එහි අයිති කරු වන ඉහත රූපයේ සිටිනා තරුණයාද අප සමග අපගේ කුඩා සාදයට එක් විය. ඒ අසල වෙනත් අවන් හලකින් සී ෆුඩ් ෆ්‍රයිඩ් එකක්ද ඔහු උනු උනුවේ සපයා දීමට වෙහෙස විය. මුළු කාලය පුරාවට තෙමී තිබුනු ඇඳුම් සියල්ල සොදා දුන් පසු එවා සියල්ල තම පෞද්ගලික රෙදි සෝදන යන්ත්‍රයට දමා වියලා දීමටද හේ කටයුතු කලේය. සත්තකින්ම ඔහු ඉතා හොඳ පාරිභෝගික සේවයක් අප හට ලබා දුන්නේය. පසුදින උදැහැනැක්කේම අප පිටත් වන බැවින් සියළු ගනු දෙනු පියවා දමන්නට මාගේ පාපැදි ඝනකාධිකාරී දොන් සමන්ත නිශාන් ගමගේ කටයුතු කලේය. ලෙමන් ජින් ද්‍රාවණය සිරුර නිදි බර කොට තිබුනි. පාදයන්ගේ ඉහළ ඇතුළු පස වේදනාවක් ගෙන දේ! එය හෙට ගමන කල් දමාවිද? නෑ මං හිතන්නේ! මම මටම කියාගෙන ඇඳට වැටුනෙමි. එහෙම නම් හෙට හමුවෙමු! සුභ රාත්‍රියක්!
කැලේ තියෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග ඉඳි වේවා
ela....ela...ela da bra
ReplyDeleteබොහොමත්ම ස්තූතියි!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපොතේ පටුන විතරනේ කියවල තිබුණේ.
ReplyDeleteදැන් ඔන්න කතාව කියවතෑකි.
අපි කතරගං පදිද්දි පාන්දර මිරිස්සේදි තමා මුලින්ම ඇරපු කඩයක් හම්බුණේ.
අම්මා ඒ තේ එකේ රහ තාම මතකයි මතකයි වගේ! ලැවරියද මක්කද කෑවත් එක්ක මගෙහිතේ.
ජයවේවා!
හැක්ටර් පොඩි කාලයකට කමෙන්ට්ස් ෆිල්ටර් කරණවා. සිදුවන අපහසුතාවයට සමාවුව මැන!
Deleteබොහොමත්ම ස්තූතියි!
ReplyDeleteමෙම ලිපි මාලාව මා කැමැත්තෙන් කියවනවා.
ReplyDeleteමෙලෙස සංචාරය කරද්දී ඒ සදහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වලින්, ක්‍රීඩා අමාත්‍යාංශයෙන්, පළාත් පාලන ආයතන වලින් අවසර ගැනීමක් කරන්න ඕනිද?
ඒ වගේම මේ දිනවල අප දකිනවා ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් නැවතත් පාපැදි භාවිතයට යොමු වෙමින් තිබෙනවා. ඒවායේ මිල ගණන්ද ඉහලයි. නවතම හෝ භාවිතා කල පාපැදි මිලට ගැනීමේදී අප සැලකිලිමත් විය යුත්තේ කෙසේද කියා ඔබ ලිපියක් පල කර තිබෙනවද?
දැන් අප වාහනක් කියා හදුන්වන උපකරණ කාර්, වෑන්, බස් වගේ විවිද අංශ වලට බෙදෙනවා.අවශ්‍යතාවයන් අනුව ඒ ඒ අය එම වාහන වර්ග භාවිතා කරනවා. පාපැදි වල එලෙස වර්ග තිබෙනවද? එසේම ජපන් පාපැදි හොදයි කියා අසා තිබෙනවා.පාපැදි වල ගියර් කකුලෙන් මාරු කරනවා, අතින් මාරු කරනවා. මේවායින් සාමාන්‍ය භාවිතයට හොද කුමක්ද?
ෆේස්බුක් එකෙත් ගොඩක් අය මේ ගැන කතා වෙනවා. වෙළෙන්දන් කියන්නේ ඒ අය ලග ඇත්තේ හොදම ඒවා බවයි. පාපැදි භාවිතා කරන අයගෙන් ඇහුවොත් ගොඩක් අය කියන්නේ එයා සතුව ඇත්තේ හොදම පාපැදි වර්ගය බවයි.
ඔබට පුලුවන්ද මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න?
සත්තකින්ම මම ඒ පිළිබඳව ඒ කියන්න්නේ බයිසිකල් පදින්නට අළුතින් එක්වන අයගේ පහසුව උදෙසා ලිපියක් ලියන්නට තමයි අද මේ වාඩි උනේම! හැකි උපරිම සරළව හා විස්තරාත්මකව ලියන්නම්.
Deleteඔබ අසා ඇති පරිදි එවන් අවසරයක් ගන්නට අවශ්‍යතාවයක් පැන නැගුනේ නම් නෑ. ස්තූතියි!
'ඉදිරිපස රෝදයෙන් ඉහලට එසවෙන වතුර පාර සයිකලයේ රාමුවේ වදී. එහෙත් යන්තම් හෝ ඒ මේ අතට හැරෙද්දී එය මුහුනටම එල්ලවේ! පසුපස රෝදයෙන් පිට මැද්දටම වතුර පාර එල්ලවන්නේය! '
ReplyDeleteමේ සයිකල් වලට මඩ ආවරණ එන්නේ නැද්ද? මම මීට කලින් යාලුවෙක් රුපියල් ලක්ෂ එක හමාරක් වගේ දීලා මහරගමින් ගත්තු සයිකල් එකක් දැක්කා. එකෙත් මේ වගේ මඩ ආවරණ නැහැ. හරි අපහසුයිනේ එතකොට. එතරම් මුදලක් දීලා අන්න ඒවායේ ඒ වගේ අත්‍යවශ්‍ය උපරණ නැති උනාට රුපියල් පහළොස්දාහට විසිදාහට තියෙන සයිකල් වල මේවා එනවා. ඒ ඇයි?
මේ අපි පදින සයිකල් වලට මඩ ආවරණ එන්නේ නෑ. අනෙක එහෙම මඩ ආවරණ ආවෝතින් එයට සුළං බැදීම කරණ කොට ගෙන පැද යාම දුෂ්කර වෙනවා. දුක තමයි ඉතිං!
Deleteමඩ ආවරණ වලට සුළං බැදීම පැහැදිලියි. ඒත් වැස්ස වෙලාවට විතරක් ක්ලිප් කරගත හැකි මඩ ආවරණ තිබ්බා නං.....🤔
Deleteසමහර විට! ඒත් අපේ ගමනේදී අපිට එහෙම දෙකක්වත් රැගෙන යන්නට පුළුවන් කමක් තිබුනේ නෑ බස්සා!
Deleteකියවීමි ආසාවෙන්
ReplyDeleteහා පොඩි ඉරිසියාවෙන්
පැද ඇති දුරම මං
හංවැල්ලට ඉතිං!
දැන් නං පයින් ගමනත්
අඩු- අඩුවෙන්ම කෙරුණත්
ගමන් ගැන දැකුමත්
දනවයි, හැඟුම් යහපත්!
බොහොමත්ම ස්තූතියි නිදි මහත්තයා! මගේ පසුගිය බ්ලොග් පෝස්ට් එකේ ඔබගේ නම සඳහන් කලා "සමන් සයිස් පොත්" ගැන ලියන කොට! පුළුවන් උනොත් ඒ පැත්තට මුව පොවා බලන්න!
Deleteමුලු ගමනම Vlog එකක් කරන්න තිබුනා නම් තවත් අපුරුයි..
ReplyDeleteකොළොම්පුරේ අසංග
අපේ සීය ඉස්සර මාව මොන්ටිසෝරි එක්කන් ගියෙ පොරගෙ බයිසිකලෙ සමහර දවස් වලට
ReplyDeleteහම්මට එකෙ තිබ්බ වැඩ කෑලි
ලයිට්, ඩයිනමො, කන්නඩි, ලගෙජ්, බෙල් එහෙමත් තිබ්බ
අපිට අල්ලන්නවත් දුන්නෙ නෑ පොරගෙ බයිසිකලෙ
පොර සුදු සරම් ඇදල, බෙල්ට් එක දාල, සුරුට්ටුව පත්තු කරගෙන වැඩට යනව
දුම් කොච්චිය වගෙ
ඒ කාලේ රැලේ, හම්බර්, රජ් වගේ සයිකලයක් ගෙදරක තියෙනවා කියන්නෙම එක විදියක ආඩම්බරයක්. කොටින්ම ගෙදර කාර් එකක් තියෙනවා වගේ තමයි!
Deleteපෙරේරගෙ පුතා කොහොම වෙතත් අනික් කඩ ජෝඩුවටනං ගෑස් තියෙන්නත් නැතුව ඇති. කොහොමත් තේ කඩ කාරයො මේ දවස්වල මළ පැනල ඉන්නෙ.
ReplyDeleteඊගාව කොටහත් ඔය පැදපු වේගෙන්ම එයි කියල හිතනව.
යකෝ ගෑස් නැතිනං හිනාවක් වත්! ම්හු!! හරි ඉක්මණින්ම ලියන්නම්!
Deleteගිනියම් අව්වට වැඩිය වැස්ස හොඳයි කියලා හිතුවට, වැස්ස වැඩි උනාමත් ලොකු ප්‍රශ්නයක් තමයි.
ReplyDeleteපලවෙනි දවසෙම කලින් නවතින්න හිතුනා කියන්නේ, වැස්ස බොහොම දරුණුවට කරදරයක් වෙලා පාටයි.
ඉතුරු කොටස් කියවන්න සැදී පැහැදී ඉන්නවා.
ප ලි.
//මග්ගොන පසුකොට කළුතරට//
ඔව් සෑහෙන වැස්සක් වගෙම මුහුදු හුළඟ! අපි හුඟ කාලෙකින් ඒතරම් දුරක් පදින්නෙත්!
Deleteආ සමා වෙන්න ඕන දැන්ම ඒ වැරැද්ද නිවැරදි කාරණවා.
මම උඩින්ම ඉන්නවා නේද? සන්තෝසයි සන්තෝසයි
ReplyDeleteවැස්සේ නාල ආපු එකාට රොටියක් රත් කරන්න බැරි සිහලයෝ, එකනේ අපට කෙලවෙලා තියෙන්නේ
ඔය වැඩේට සපතතු දෙකක් හොද නැද්ද සැන්ඩල් වලට වඩා? දන්නැති හින්ද ඇහුවේ
මම විජේබාහු
ඔව් මුල්ම සුභ පැතුම ලැබුනේ ඔබගෙන්! අර කථාවනං සහතික ඇත්ත! අපේ එවුංට කෙළ වෙලාම තියෙන්නේ උන්ගේ මේ ආකල්ප නිසාමයි. මේ ගමන අප ආවානම් සපත්තු එක්ක! වතුර පිරිලා ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා! සැන්ඩ්ල්ස් වලට හොඳට වාතාශ්‍රය ලැබෙනවා!
Deleteමේ විස්තරය පුරාවටම මමද ඔබ සමඟ ලංකාව වටා පැරද යමි(සිතින් ). අපරාදෙ වට්ස්ඇප් සමූහයට එක්වෙන්න තිබුනම් ගමන ලයිව් යන්න තිබුණි.
ReplyDeleteස්තුතියි! දැන් කියවගෙන යමුකො! අඩුවක් පාඩුවක් නොවන්න ලියන්නම්!!
ReplyDeleteකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම ආශාවෙන් කියවුවා, මටත් යන්න ආශාව ඇති වුණා, ඊර්ෂ්‍යාවක් ද ඇති වුණා ඔබ ගැන,, මා සමඟ පාපැදියෙන් ගමන් කිරීමට ඔබේ මිතුරා මෙන් මිතුරෙක් මාහට නොසිටිම දුකක් නමුත් මා තනියම ගමනේ යාමට තීරණය කලා, හැමදාම පරිස්සමෙන් ඔබගේ ගමන යන්න හැකි වේවා යැයි පතමි.
ReplyDeleteලක්ශාන් - විල්වත්ත
"තමා හට හොඳ මිතුරෙකු ලබා ගැනීමේ පහසුම මග වනුයේ; තමා වෙනත් අයෙකු හට හොඳ මිතුරෙකු වීමය!' කියා මා අසා ඇත! ඒනිසා ඔබට හොඳ මිතුරෙකු සොයා ගැනීම එතරම් අපහසු කාරනයක් නොවනු ඇතැයි මා සිතමි.
Deleteඔබ මගේ "ගඟක් දිගේ ගිය ගමනක්" ලිපි පෙල කියෙව්වානම් ඔබට තේරේවි අප අපගේ අරමුණ කරා යාමට සූදානම් වූ විට ඊට ගැලපෙන අය ලැබෙන බවත්, ලැබුනු අය සීයට සීයක්ම නොගැලපුනත් අවම එකඟත්වය මත තමාගේ අරමුණ පොදු අරමුණ කරගෙන එය සාක්ෂාත් කරගත හැකි බවත්.
මම ඌනෑම ගමනක් පිටත් වීමට පෙර මාගේ කණ්ඩායමේ අන් සාමාජිකයින් හට පවසන අවසාන වැකිය වනුයේ "මම මග මැරුණත් ඔයාලා ගමන යන්නෝන!" කියලා. ඉන් වියංගාර්ථයෙන් කියැවෙන්නේ "මචං උඹ මලත් මම මගේ ගමන යනවා!" කියන එක ඒ අයටත් තේරෙණවා ඇති.
මෙවන් ගමන් වලදී ගමන පිටත් වීමට පෙර තියෙන සුහදත්වය ඒ ආකාරයෙන්ම මුළු ගමන පුරාම තියේවි හෝ තිබේ කියා ඔබ සිතන්න එපා. (විශේෂයෙන් මාත් සමග ගමන් ගිය බොහෝ අය දන්නවා මම ඉක්මන් කේන්ති කාරයෙකු හා ඉක්මණින් තීන්දු තීරණ ගන්නා අයෙක් බව!)
මහවැළියේ කිලෝමීටර 72ක් දින දෙකක් පුරා මහවනය මැද යාත්‍රා කරණ්නේ මමත් මගේ පුත්‍රයාත් හැරුණු කොට ගෙන පසු කාලීනව හඳුන ගන්නා තෙශාන්ත, "ලක්දසුන්" ෆෝරම් එකෙන් හඳුන ගන්නා පසිඳු, ඊට පෙර දින දෙකකට වඩා මුණ ගැසී නොමැති ධම්මික, ගමන පිටත් වන දින උදෑසන වනතෙක් කිසිදිනෙක නමවත් අසා නොමැති වනජීවියේ මෛත්‍රීත්!
ඒනිසා ගමනක් යන්න හොඳ යාළුවෙක් හොයන්නට මහන්සිවෙන්න එපා!
වැඩේට කැමති එකෙක් හොයා ගන්න!
ඌට වැඩේ කරණ්න පුළුවන්ද කියලා සොයා බලන්න!!
ගමන පිටත් වෙන්න!!!
ගමන අවසාන වන විට එක්කෝ ඔබට හොඳ යාළුවෙක් ලැබී තියේවි. නැතිනම් ජීවිත කාලයටම හොඳ පාඩමක් ලැබී තියේවි........