අප කුඩා කාලයේ ලෝකය පිළිබඳව තොරතුරු දැනගැනීමේ ක්‍රමවේධ තිබුනේ ඉතා අල්පවය! රේඩියෝව හා පුවත් පත ඉන් මූලික තැනක් ගත්තේය. ඊට අමතරව පොත් සඟරා ආදියෙන් හා සවන්දීමෙන් අප තොරතුරු එකතු කර ගත්තෙමු. පළමුව "රේඩියෝව" කියා ලියමින් පසුව "සවන්දීම" යනුවෙන් පැවසූවේ පුණරුත්දෝෂයක් කරණ කොට ගෙන නොව; එහිදී "සවන්දීම" යනු පුද්ගල සංවාදවලට කරණු ලබන ඇහුම්කන් දීමය.
එකල සමාජය තුලම; මම මේ කියන්නේ හැත්තෑව අසූව කාලය හා ඊටත් පෙර; කියැවීමට විශාල වටිනාකමක් ගරු කිරීමක් එක්වී තිබුනි. පොත් පත් කියවන්නෙකු පමණක් නොව පොත් අලෙවි හලක සේවකයෙකු, පුස්ථකාලයක සේවය කරණ්නෙකු හට වුවද දැක්වූයේ තරමක ගෞරවයකි. "සිල්ලර කඩ","තේ කඩ" අතර පොත් කඩේට ආමන්ත්‍රණය කලේ "පොත් සාප්පුව" යන ගෞරවණීය නාම පදයෙනි.
සෑම නගරයකම පාහේ පොත් සාප්පුවක්ද බොහෝ ගම් නගර වල පුස්ථකාලයක්ද එකල පැවතුනි. පත්තර ලෑල්ලක් හැම බස් නැවතුම් පොලක විය. අද අප සෑම උදෑසනකම දකිණ "චූන් පාන්" මල්ලී වෙනුවට "පත්තර මාමෙක්" ගෙවල් අසලට පැමිණෙනු දක්නට ලැබුනේය. මීට අමතරව ජංගම පුස්ථකාල, පොත් සල්පිල් වැනිදේ මගින්ද සාමාන්‍ය ජනතාව වෙත කියැවීම ගෙනයාමට සක්‍රීයව දායකත්වය සැපයීය.
සෑම ගමකම තිබුණු පංසලක පොත් අල්මාරියක් දක්නට ලැබුනි. පොත් අල්මාරියේ දිග පලල හා එහි වූ සම් බැම්මෙන් බඳිනා ලද පතරංග පොත් වල බරින්; පංසලේ වසන හාමුදුරුවන්ගේ තරම දැන ගැනීමට පංසලට ගොඩ වදින අයට දැන ගත හැකිවිය. පොත්වල බර; ඒවායේ අන්ථර්ගත ධර්මස්කන්ධයටද වඩා බෙහෙවින් වැඩි විය!
ඔනෑම උදෑසනක බසයකට දුම්රියට ගොඩ වැදුනද පත්තර දිග ඇරගත් බොහෝ දෙනෙකු සිටිනු සුලභ දර්ශණයක් විය. අද තත්වය මීට සාපේක්ෂව බොහෝ සෙයින් වෙනස්ව ගොස් ඇත!
එකළ මිහිර, විජය වැනි ළමා පුවත් පත් දරුවන්ගේ ලෝකය වඩා ඔපවත් කලේය. සෝවියට් දෙශය පවතිනා කාලයේ ඉතා සොච්චම් මිලකට ලං කර ගත හැකි ඉතා සුන්දල ළමා කථා පොත් තුල අප ජීවත් උනෙමු. අදත් කිසියම් තැනෙක "හත්පෙති මල" පිළිබඳව සටහනක් දුටුව හොත් එතැන ඇස් නවතින තරමට "ශෙන්යා" අපගේ ජීවිත තුල ලැගුම් ගෙන ඇත!
අපගේ නිවස එකල සිට කියවන නිවසක් විය. තාත්තා දිනපතා පුවත් පතක් ගෙන බැලුව අයෙකි. ජීවිතයේ බැරි අමාරු කම් දැනුනු අවධිවලදී ඔහු දිනයේ නිදහස් වේලාවක් "පත්තරේ පොඩ්ඩක් බලන්න යනවා" කියා අසල කඩේට යෑම දක්නට ලැබුනේය. නිවසට මසකට වරක් "ශ්‍රී" සඟරාව මිලදී ගත් අතර සෑම මසකම දෙවරක් (12 වෙනිදා හා 26 වාගේ මතකයි!) නිකුත්වූ "නවයුගය" පත්තරේ මිලදි ගත්තෙමු. ඊට අමතරව කල්යත්ම "මනහර" ද "මුතුහර" ද "යොවුන් ජනතා", "තරුණි", "සිරිකත" වැනි පුවත් පත් සඟරාද නිවෙසට දුරාවාරයේ පැමිණියේය.
මාගේ වැඩිමහළු සොහොයුරාත් සොහොයුරියත් පියාත් කියවීමට රුසියෝය. ඒ අතුරින් මාගේ පියාට කියවන්නට යමක් සමග ප්ලේන්ටියක් තිබුන හොත් තුන් වේල කෑම නොතිබුනත් අවුලක් නැති තරම්ය. අපගේ නිවසේ පොත් එකතුවක් නොවීය! මට අමතක ඇති කාලයේ ගෙදර තිබුනේ "විජයබා කොල්ලය" පොත පමණි. එහෙත් අයියාත් අක්කාත් පාසලේ පුස්ථකාලයෙන් ගෙන ආ පොත් නිවසේ බොහෝවිට දක්නට ලැබුනි. මර්ටින් වික්‍රමසිංහ, කරුණාසේන ජයලත්,ගුණදාස ලියනගේ ආදීන් අපගේ නිවසට කැන්දාගෙන ආවේ ඒ අයය! මේ කිසිවකින් මා කියැවීමට පෙළඹවීමක් ඇති නොවීය. මා කියැවීමට පෙළඹවීමක්; විශෙෂයෙන් නවකතා වැනි පොත් කියැවීම ඇරඹෙන්නේ මා පාසලේ හත්වන ශ්‍රේණියේ උගෙන ගන්නා කාලයේදීය. මගේ පාසලේ පුස්ථකාල තුනක් පැවතුනි. හත වසරේදී අපව කණිෂ්ඨ පුස්ථකාලයට යොමු කලමුත් කියැවීමට රසවත් පොතක් තෝරා ගැනීමේ ගැටළුවකට මා මුහුණ දුනිමි. ඔබ විශ්වාස කරණ්න මා පලමුව පුස්ථකාලයෙන් ගෙන ආ පොත වූයේ ග්‍රීක දාර්ශණික හෝමර් විසින් ලියැවී ඩේවිඩ් කරුණාරත්නයන් විසින් හෙල බසට පෙරළු "ත්‍රෝජපුර සංග්‍රාමය" පොතයි. මෙන්න සයිස් පොතක් වූ එය මා රැගෙන ආවේ පංතියේ අන් සිසුන්ගේ ගෞරවණීය බැලුම් මැද්දේය. ඔවුන් කියැවීමට තෝරාගෙන තිබුනු "මඩොල් දූව", "වනගත ළමෝ", "කොරැල් දූපත", "සම්පත් දූපත" වැනි පොත් අතර මාගේ පොත කුරුණෑගල ඇතා ගල තරම් විය. සමහරු ළඟට විත් "උඹ මේක කියවනවද?" කියා ඇස් උඩ ඉන්දවාගෙන ඇසූ විට මා උත්තර දුන්නේ මුහුණ ගාම්භීර කර්වා ගෙන "හුම්ම්! හුම්ම්!!" කියාය.
පොත ගෙදර ගෙන ගොස් කියැවීම ඇරඹීය! මෙලෝ රහක් නැත!! මැදින් පටන් ගතිමි! අගින් පටන් ගතිමි!! ඒ පත්තෙන් මේ පැත්තට; මේ පැත්තෙන් ඒ පැත්තට කියවන්නට දත කෑවෙමි! ම්හු! එය කියවන්නට කිසිදු රසයක් උත්තේජනයක් නොමැති විය. තවත් දශක ගනනකට පසු සෝවියට් පොත් ප්‍රදර්ශ්ණයකින් මිලදී ගත් "ලෙනින්ගේ තෝරාගත් කෘථි වෙළුම් 12" ට උනේද එම සන්නෑසියමය!
මේ කාලයේ මා සිටියේ දෙමටගොඩ මවුන්ට් ප්ලසන්ට් පටුමගේ නැවතීය. එම පටුමග පටන් ගන්නා ආසන්නයේ කුඩා කුටියක නවාතැන් ගත් මිනිසුන් දෙදෙනෙකු විය. ඉන් එක් අයෙකුගේ නම රුද්‍රිගු විය. අප සමග සවස් කාලයේ පටුමගේ පන්දු කෙළියේ සිටි "මධූ" නමැති මිතුරා වෙතින් මා මෙම මිනිසුන් දෙදෙනා හඳුනා ගත්තෙමි. ඒ පොත් රාකකයක් ඇති "අංකල්ලා දෙදෙනෙකු" ලෙසය. සැබැවිම ඔවුන්ගේ කුඩා කුටියේ අගනා පොත රාකයක් විය. එහි වූ සෑම පොතක්ම පාහේ පලමු මුද්‍රණයේ පිටපතකි. ඒ කෙසේ වෙතත් පොත් ගැන මාහට ඇල්මක් නොවූ අතර එම හමුව දිනකින් අවසන් විය. මා පසු දින පාසැලට ගොස් මාගේ අසල්වැසි පොත් කියවන මිතුරා වූ එස් සී කේ ජයකොඩි හට මේ පිළිබඳව පැවසූ සැණින් ඔහුගේ මුව විවර විය! එදිනම හවස්වරුවේ පොත් අංකල්ලාගේ කාමරයට ගොඩ වැදී ඔහු තෝරා දුන් පොතක් රැගෙන ආවේය. පොත එච් රයිඩර් හැගාර්ඩ් ගේ "ඇලන් ක්වාටර්මන්" නම් රසාද්‍ර පොතයි. පසුදින පොත රැගෙන ගොස් ජයකොඩිට දුන අතර ඔහු දින දෙකකින් පොත කියවා නැවත ලබාදුන්නේය. පසු දින ඔහුට මා තවත් පොතක් ඉල්ලාගෙන ගෙනැවිත් දුන්නේය. මේ සඳහා මා සුළු "ගාස්තුවක්" අය කලෙමි! ඒ අන් කිසිවක් නොව තමා කියැවූ කථාව ඔහු කථාන්දරයක් සේ මා හට කීමේ හෙවත් බිණීමේ ඒකඟතාවය ය! කථාවේ එන "ආම්ස්ලොපාගාස්" චරිතය පළමුව මා දුටුවේ ජයකොඩිගේ හඬිනි! "ඉන්කෝසිගාස්", "ඇලන් ක්වාටර්මන්", "හෙන්රි කර්ටීස්", "ගුඩ්", "නිලෙප්තා", "නස්ටා" යනාදී සියල්ලන් මා හඳුනා ගත්තේ ජයකොඩිගේ ඇයි හොඳැයියේ ප්‍රථිඵලයක් ලෙසය!
ඔහුගේ හඬින් කථාව කියවා අවසන් වූ පසු එහි ඇති උද්වේගකර අවස්ථා නැවත නැවත ඇසීමට මා ආශා කලමුත් ජයකොඩි ඊට එකඟ නොවුණු අතර ඔහු ඊට පිළියම ලෙස කලේ පොතේ එම පිටු කිහිපය මාහට තෝරා දී කියවන ලෙස ඇවිටිලි කිරීමය. වෙන කිරීමට යමක් ඉතිරිව නොමැති බැවින් අකමැත්තෙන් වුවද එම පිටු කිහිපය කියැවූ මා ඉන් ඔබ්බට කියවාගෙන යෑමට උනන්දු උනෙමි. සත්තකින්ම ජයකොඩි කිව්වාට වඩා; වඩාත් රසවත් ලෙස ලියැවී තිබුණු කථාව මා කියැවීමට නැඹුරු කලේය! මෙය දරුවන්ට කියැවීම හුරු කරවීමට හොඳ උපක්‍රමයකි. ඔබ විශ්වාස කරණ්න මාගේ පුත්‍රයා මේ වනවිට;ඉංග්‍රීසි බසින් ලියැවුනු එම පොතම කියවමින්ය. ඔහු එය කියවන්නේ අනුපාන ලෙසය! පොත ඉවරවේයැයි බියෙනි!! එහි ඇති රසවත් යෙදුම්, පාඨ, උපමා උපමේයයන් මා සමග හුවමාරු කරගනිමින්ය! සත්තකින්ම අදටත් මාගේ සිතේ පතුලේම තැන්පත්වී ඇති "ඉන්කෝසිගාස්" හා "ආම්ස්ලොපාගාස්" පිළිබඳ ආදරණීය හා ගෞරවණීය මතකය ඔහුගේ මතක් කිරීමෙන් අළුත් වෙමින්ය!
දැන් ඉහත ඡේදයේ අවසන් වාක්කි කිහිපය කියැවූ පසු; මාගේ පුත්තරයා - වසික සුපිරියටම පොත් කියැවූ ඩයලයක් ලෙස තේරුම් ගියේ නම් ඔබට සිදුවී ඇත්තේ පට්ට වරදකි. වසික ඉපදෙන්නටත් කලින් ඔහුට ඒ ඒ වයසට කියැවිය යුතු පොත් මා ඒක රාශී කර තැබූ පියෙකු විය! ඔබ පිලිගන්න "සකස්කඩය", "බුද්ධගජ්ජය" , "වදන් කවිපොත" සිට පොත් මා එකතු කලෙමි. (මා කල මෝඩ කම!) "සකස්කඩ-නොකී කට - උගේ කට- හුඹස් කට" කියා කියනවා මා අසා ඇත. මාගේ පුත්‍රයාගේ කට හුඹස් කටක් වනු දැකීමේ අනියත බියෙන් කඩ සාප්පු පෙරළා සොයාගෙන ආ සකස් කඩය උම්බලකඩයක් සේ වේලෙමින් කාවුන්ට පසන් නිවසක් සකසා දෙමින් මාගේ පොත් අතර ඇති!
එහෙත් ඔහුට මා කියැවූ කුඩා කතාන්දර ඔහු තුල කියැවීම මෝදු වීමට හේතුවක් වූවාද? මට සැකයකි. වසිකත් කල්මලීත් කුඩා කල සිටම ස්වාධීනව හැදුණු වැඩුනු අයය! පාසලේ එකේ දෙකේ පන්ති වල සිටම ඔවුන් නිදා ගත්තේ වෙන වෙනම කාමර වලය. ඔවුන්ට පොත් රාක්ක සවිකල මේස දෙකක්ද විය. සෑම දිනෙකම හවස මා ඔවුන් හමුවූ අවස්ථාවේ අසන පැනයක් විය.
"පුතා පොත් කියෙව්වද . . . . ?" වසිකයා ඒ මේ අත ඇඹරෙද්දී කල්මි තියුණු හඬින් උත්තරේ දෙයි.
"තාත්ති මම පොතක් ඉවර වෙන්නම කියෙව්වා . . . . !"
"ඔයා ගොඩාක් හොඳයි! හොඳ දුව! ඔයාට තමයි පුතේ පොතක් තියා පිටුවක් වත් කියවන්න බැරි! හෙට කියෙව්වේ නැත්නම් බලන්නකෝ වෙන දේ!?" මෙසේ දවස් ගනනාවක් ගත්විය! සෑම දිනෙකම පාහේ දියණිය පොතක් අවසන් කොට තිබූ අතර පුත්‍රයා කියෙව්වත් කියවා තිබුනේ පිටුවක් හෝ ඉන් අර්ධයකි!
"මොකක්ද පුතා නංගි පොතක් හැමදාම කියවලා ඉවර කරණවා! ඔයාට පිටු දෙකක් කියවාගන්න බෑනේ ඔච්චර කියලත්!"
"අනේ තාත්ති එයා හැමදාම කියවන පොත මම නොදන්නවෑ!? ඒකෙ තියෙන්නේ තාරා පැටියා එළියට ආවා. විශාල බිරුම් හඬක් ඇසුනා. අම්මා ළඟට දිව්වා . . ! ඕං ඔච්චරයි!" කතා කොට පලක් නොමැත! කාලය ගතවීමත් සමග ඔවුන් සෙමෙන් සෙමෙන් කියැවීමට පටන් ගෙන ඇත.
රූපවාහිණිය මෙරට නිවෙස්වල මැද සාලය ආක්‍රමණය කිරීමත් සමග කියැවීම බොහෝ දුරකට තල්ලුවී ගියේය. කාටූන් හා ළමා වැඩ සටහන් කෙරෙහි දරුවන් තදින් බැඳී ඇති අද දරුවන් කාටූන් වලින් තොර ලෝකයක් පිළිබඳව සිතීමටවත් නොහැකි තැනකට වැටී ඇත. බොරැල්ලේ කුරුප්පු මාවතේ පිහිටි එක් ආයතනයක් ඉදිරියේ ප්‍රදර්ශ්ණය කරණු ලබන බෝඩ් ලෑල්ලක දක්වා තිබුනේ "ඩිජිටල් අතඩංගුවෙන් ඔබේ දරුවා මුදා ගන්න" කියාය. මා දන්නා පරිදි එහි ඇත්තේ කුඩා දරුවන් සඳහා විවිධ ක්‍රියා කාරීත්වයන් හා පොත් එකතුවකි.
"පොත්වල ස්ථානය පරිඝනකය අත්පත් කර ගනිමින්ය!!" කීවොත් එහි වරදක් ඇත! එය නිවැරදි කරණවා නම් "පොත් වලට තිබුනු ස්ථානය පරිඝනකය අත්පත් කරගෙන අවසානය . . . !" ලෙස ලියැවිය යුතුය. අපිට සිටිය හොඳ රසිකයෙකුවූ 'ඇනෝපිලිස්' වරක් මාහට පැවසුවේ දැන් පොත් කියවන්න පොත් ගන්නේ කවුද e-books වලින් පොත් තුන් හාර සීයක් උනත් ෆෝන් එකේ දාගන්න පුළුවන්නේ!" කියාය.
මේ පිළිබඳව මාගේ අසල්වැසි මිතුරු කරුණාරත්න හෙවත් කරූද දැක්වූ අදහසක් කෙළවර වූයේ අපූරු තැනකින්ය.
"තවටික කාලෙකින් මේ ලෝකෙන් පොත් කියන දේවල් නැත්තටම නැතිවෙනවා!" කරූ පැවසීය.
සත්තකින්ම පොත් යනු මගේ ජීවිතයේ විශාල කොටසක් අයිති කරගෙන තිබෙන භෞතික වස්තූන් ගෙන් එක් පාර්ශ්වයකි! මෙම කියමනම මාගේ හිත පෑරෙන්නට හේතුවිය. අප කෙතරම් ජීව විද්‍යාව හැදෑරුවද අපගේ උත්පත්තියට හේතු කාරක වූ දෙමව්පියන්ගේ කායික එක්වීම පිළිබඳව සිතන්නට මැළිකමක් අපගේ සිත් තුලට ඇතුළු වූයේ කෙලෙසද? එසේම අනාගතයේ පොත් නැත්තට නැති වෙනවා කියා අසන්නට තබා සිතන්නටවත් සිත ඉඩ නොදෙයි!
"මම නං හිතන්නේ නෑ! එහෙම පොත් මේ ලෝකෙන් නැත්තට නැතිවෙයි කියලා නම්!" මම එක හෙලා කීවෙමි.
"ඇයි නැත්තේ! දාඇන් හැම පොතක්ම වාගේ e-books විදියට තියෙනවා. අනෙක ඕනම දෙයක් පිළිබඳව ඉන්ටර්නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරගන්න පුළුවන්. " ඔහු ඔහුගේ අදහස වඩාත් තහවුරු කලේය!
"හරි හදිසියකදී අපිට කියවන එකක පොඩි නෝට් එකක් දාන්න හයිලයිට් කරගන්න වගේ දේකට කොලයක් තියෙන්න ඕන වෙනවානේ!? මම නැවත ඔහුගෙන් විමසීය.
"ඔව්! ඔව්!! එහෙම ඕන උනෝතින් ටක් ගාලා ප්‍රින්ට් අවුට් එකක් දාගන්නවා! කොල ගොඩක් නම් ප්‍රින්ට් අවුට් අරගෙන ඔය කොහාට හරි දීලා බයින්ඩ් කර ගන්නවානේ!" කරූ සැහැල්ලුවෙන් පැවසීය.
"හරි! හරි!! ඒවට තමයි පොත් කියන්නේ!? ආයේ අහවල් එහෙකටයැ!?" මම සතුටින් ගෙදර පැමිණ පොත් රාක්ක දෙස බලා සැනසුම් සුසුමක් හෙලීමි!
"පොතක් කියවනවා" යනු දැන්වීමක කියැවීමක් නොවන්නේය. එය හුදෙක් පත්‍රිකා ගොඩක් එකට බැඳ සකස් කල කොල මිටියකට වඩා එහා ගිය අරුතකි! පොතක නම, එහි ලේඛකයා, එහි නිමාව, පිට කවරය, ඇතුලත පිටු වල ස්වභාවය, පොතේ ජ්‍යාමිතික ස්වරූපය, ඇතුලත ඇති අකුරු වල ෆොන්ට් එක, පෙර වදන, පසුවදන, සඥාපනය, මේ සියල්ලම අභිබවා යන අළුත් පොතක ඇති නැවුම් සුවඳ මේ සියල්ලම පොතක ඇති අන්තර්ගතය පෝෂණය කරණු ලබන මල් වැල් ය! ලිය කම් ය!! පලා පෙති ය!!! කොටින්ම අයිසිං ය!
මීට බොහෝ ට පෙර අභාවප්‍රාප්ත කරවූ මහරගම "සමන් මුද්‍රණාලයේ" පොත්වලට ආවේනික ජ්‍යාමිතික දිග පළලක් විය. මාගේ දැනීමේ හැටියට මුද්‍රණ ශිල්පීන් අතර "සමන් සයිස්" කියා ව්‍යවහාරයක් ද පසුව ඇතිවිය. මේ ගැන මා වැඩි පුර නොලියන්නේ නිදි මහත්තයාහට ලියන්නට දේවල් ඇති නිසාමය! මෑතභාගයේ මා දුටු අනර්ඝතම කඩදාසි සහිත පොත වූයේ "පූනානිහි මිනී කන කොටියා" පොතය. එසේම තිසර ප්‍රකාශකයින් මුද්‍රණය කල "රුද්‍රප්‍රයාඝ්හී මිනී කන කොටියා" පොත නිර්මිත කඩ දාසිය අම්බාල් කැෆේ එකේ අත පිහිදාන්නටවත් සුදුසු නැත! සත්තකින්ම ජිම් කොබර්ට් ජීවත් උනා නම් තිසර අධිපති ; මා දන්නා තරමින් වික්‍රමසිංහ පවුලේ සාමාජිකයින් මිය යන්නේ වෙඩි කා ය!
පොතක් කියවීම, පොතක් අයිති කර ගැනීම, පොතකට ආදරය කිරීම යනු එක් කාරණයක් නොවේ. පොත් වලට ඇති මගේ බැඳීම කුමන විදියේ එකක් දැයි කිවහොත් 1.පොත් වලට ආදරය කරණ්නෙක්මි. 2. පොත් එකතු කරණ්නෙක්මි. 3. මා නොම්මර එකේ පොත් හොරෙක්මි. 4.පොත් කියවන්නෙක්මි. පොත් වලට ඇති ආදරය නිසාම අනික් කාරණා කාරණාද සිදුවෙමින් පවතී. ආදරය කිරීමට ළඟට ගැනීමට අවශ්‍ය නැත! අන් සතු දේ වලට පවා ආදරය කල හැක!! ඒ නිසාම මා ළඟ තිබී නැතිවූ ජැක් ෂෙපර් ගේ "ෂේන්" මුල් කොපියට ආදරය කරමි. මගේ මතකය නිවැරදි නම් එයද මායා රංජන්හෙවත් මහානාම රාජපක්ෂගේ "දිගා මඩුල්ලේ ආශ්චර්‍යය" සේම සමන් පොතකි! පරිවර්තනය කළුබෝවිල සිරිල් සී පෙරෙරා ගේය! "පොත් හොරකම" පිළිබඳව මා වෙනමම පෝස්ටුවක් ලිවීමට අදහස් කරගෙන සිටිමි!
දරුවන්ව පොත්වලට නැඹුරු කිරීමට හැකි තවත් එක් උපක්‍රමයක් ලෙස අනර්ඝ නිමාවෙන් යුතු පොත් තිළිණ කිරීමද කල හැක! මා කලින් සඳහන් කල මාගේ ඥාති දියණියද එය යෝජනා කරයි. කලකට පෙර පැවති එම සිරිත නූතනය සමග නැතිවී ගොස් ඇත! එය අපට ඇරඹිය හැකි හොඳ පුරුද්දකි!
එසේම අතට අහුවෙන සෑම තැනකම පොත් තැබීමද පොත් කියැවීමට පෙළඹ වීමට එක් උපක්‍රමයකි. එයට හේතුව ලෙස මාදකින්නේ පොත් රාක්කය හෝ පොත් කාමරයට ගොස් පොතක් ගෙනැවිත් බැලීමට දරුවකු පෙළඹෙන්නේ නැති බැවින්ය. මාගේ ඥාති දියණිය පවසන පරිදි සමහර දරුවන් ආහාර ගන්නේද පොතක් ලං කරගෙනය. එය කෙතරම් සාර්ථක ක්‍රම වේදයක් දැයි අපට සොයා බැලීමට මත්තෙන් එලෙසින් හෝ පොත් කියැවීමේ ඇබ්බැහියට දරුවා එළබෙන්නේ නම් එය වඩාත් යහපත් කාර්නයක් ලෙස මා දකිමි.
තම දරුවන් කියැවීමට හුරු කරවීමට ගත් වෙනස්ම ආකාරයේ වෙහෙසක් ගත් අයෙකු හමුවූයේ මාගේ සයිකල් පැදීම සමගය! ඒ DSI Bike ආයතනයේ ඝනකාධිකාරී නිශාන් මල්ලීය. ඔහු තම දරුවන් කියවනා සෑම පොතකටම මුදල් ත්‍යාගයක් ලබා දී ඇත! එම ත්‍යාග ලබා දීමේදී ඔහු විසින් සොයා බලන ලද කරුණු මොනවාදැයි මාහට මතක නැතිවුවද ඔහුගේ දරුවන් දෙදෙනාම අවසානයේ පොත් ගුල්ලන් වූ බව ඔහු ආදරයෙන් මතක් කරයි.
මෙතනදී ත්‍යාගයක් ලෙස ලබා දෙන්නේ මුදල්ද වෙනයම් දෙයක්ද කියා අපට නැවත විශ්ලේෂණය කල හැකි වන අතර එවන් දිරි ගැන්වීමකින් දරුවන් පොත් කියැවීමකට යොමු කර වීමට පුළුවන් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. අප කල යුත්තේ ඔවුන් තුල පොත් කියැවීමේ "පුරුද්දක්" ඇති කර වීම පමණි. ඔවුන් එය දිගටම කරගෙන යනු අපට නිහඬව බලා සිටීමට හැකිවේවි!
එකල අප කුඩා කල ඉගෙන ගත් "මේ ගසේ බොහෝ" දැන් ඇහෙන්නේ නැත. "මා වැනි බිළින්දා", "රෝස මලේ නටුවෙ කටු" දැන් දරුවන්ට අහන්නට ලැබෙනවාදැයි මා නොදනිමි. (තතු දත්තෝ මා නිවැරදි කරත්වා!) මේ සියල්ල සමග ඇසුණු "රතු හැට්ටකාරි", "හාවා ලබුකිරිබත් කෑ හැටි", අන්දරේගේ කථා, මහදැන මුත්තාගේ වැඩ, මේවා දරුවන්ට ඇසෙනවා දැයි සිතන්නට නොහැක. මේ සියල්ල අභිබවා දරුවන්ගේ කියැවීම දියුණු කල හැක්කේ දෙමව්පියන් එය ඔවුනට ක්‍රියාවෙන් සිදුකොට පෙන්වීමෙනි. වී කලෝ වී ද අමු කලෝඅ අමුද රැගෙන යන්නාසේ දෙමව්පියන් පොත් කියවන්නේ නම් දරුවන්ද ඒ පාරේ බොහෝ විට යනු ඇත! සතියේ සිල්ලර බඩු එලවලු ගැනීමට කඩයට සුපිරි වෙළෙඳ හලට යනවා සේම; පවුලේ සැම එක්ව පුස්තකාලයට යෑමද සතියේ එක් දිනයක සිදු කරණ අනිවාර්‍ය කාරණයක් ලෙස සකසා ගැනීමෙන් දරුවන්ද ඒ අනුව කටයුතු කරනවා ඇත!
:D :D :D
ReplyDelete! ! !
Deleteමටත් කියවීමේ පුරුද්ද ලොකුවට තියෙනවා.
ReplyDeleteඅවුරුදු හතර පහ වෙනකොටම මම අහුවෙන හැම දේම කියවන්න පටන් ගත්තා.
කෑම කන්න ගියත් මම ඒක කන්නේ වෙබ් පිටුවක් හරි ඕපන් කරගෙන ඒක කියවමින්.
ටොයිලට් එකට යන්නෙත් පත්තර පිටුවක් හරි ෆෝන් එක හරි අරං. එහෙම නැත්තන් ෂැම්පු බෝතල් වල ලේබල් ටික හරි කියවනවා.
අපේ ගෙදරට දිනපතා පුවත් පත් මිලට ගත්තා. ඒ නිසා වෙන්න ඇති මේ පුරුද්ද ඇති උනේ.
දැන් නම් ඔන්ලයින් තමයි ගොඩක්ම පුවත්, නව කතා බලන්නේ.
ඔව් ඇනෝ ඔය කියවීමේ පුරුද්ද ඔයිට අඩු වැඩියෙන් මටත් තිබුනා. නමුත් කියන්නට කණගාටුයි. මමත් තරමක් දූරකතනයට ඇබ්බැහිවෙලා! ඒත් කියැවීම හැකි වෙලාවකම කරගෙන යනවා.
Deleteතවත් කාරණයක්! අපිට කියවන්නට කාලය ඕනෑ තරම් ඇතිවෙලාවට වඩා කියවන්නේ වෙලාව අඩු අවස්ථාවන් වලදී! බස් වල දුම් රියේ ගමනේදී මට හොඳට කියවන්නට පුළුවන් වීම පොඩි වාසියක්!
පොත් ගුල්ලෝ හැමෝගෙම අත්දැකීම් අඩු වැඩි වශයෙන් එක හා සමානයි. මටත් ගෙදර ඉන්නවනම් කෑම කන වෙලාවට පොතක් පතක් නැතිවම බෑ. පොඩි කාලේ නම් බැනුම් අහපු වාර අනන්තයි.
ReplyDeleteඔය කෑම කන කොට පොත් පත් කියවීම මටනම් වාසිවෙලා තියෙන්නේ ඔබ නොසිතන විදියට!~ ඕන දෙයක් රසක් ගුනක් බලන්නැතිව කන්න පුළුවන්! හි හි
Deleteමෙය කියවද්දී මට සහ මගේ බිරිඳට සිදුඋන පොත් මංකොල්ලයක් මතක් උනා.
ReplyDeleteමා මෙන්ම මගේ බිරිදත් පොත් ගුල්ලන් වන අතර අප සතුව සැලකිව යුතු පොත් ප්‍රමාණයක් ලංකාවේ නිවසේ තිබුණා. බිරිඳ වගේම මමත් ලංකාවේ සිට මෙහි පැමිණෙන සෑම අවස්ථාවකම පුළුවන් හැටියට පොත් 10-12 ක් හෝ රැගෙන එම පුරුද්දක් වී තිබුණා. එම නිසා අප සව්දියේ සිටි නිවසෙත් පුංචි පුස්තකාලයක් වගේ පොත් ප්‍රමාණයක් කාමරයක තිබුණා. ඔහොම ඉන්නකොට මගේ යාලුවෙක් සහ ඔහුගේ බිරිඳ රාත්‍රී බෝජනයකට පැමිණි අවස්ථාවක පොත් ටිකක් ලබා දෙන ලෙස ඉල්ලා හිටියා. ඒ වෙනකොට ඔහුගේ බිරිදට දරුවෙකු ලැබෙන්නට සිටි නිසාත් මේ වගේ රටකට සිටින විට අපේ පොත් වල අගය හොඳටම දන්නා නිසාත් අපි පොත් 20-25 ක් පමණ ලබා දුන්නේ හරිම සතුටින්. සියල්ලම වගේ පොත් ප්‍රදර්ශයෙන් මිලදී ගත් අලුත්ම කිරි කිරි පොත්. එත් කුමක් හෝ කාරණයක් නිසා ඔවුන්ට ඉතා හදිසියේම මෙරටින් ලංකාවට යන්න සිදු උනා. පොත් ගැන ඇහුවහම දැනගන්න ලැබුනේ ඔවුන්ගේ බඩු භාන්ඩ සියල්ල නැව්ගත කර ඇති බවත් අපගේ පොත් ද ඒ අතර ඇති බවත්. (එය භාන්ඩ පැටවූ අය අතින් වැරදීමකින් සිදුවී ඇති බවත් පිළිගත්තා) අපගේ ලංකවේ නිවසට එම පොත් සියල්ල කුරියර් කරන බව කීවත් තවම නම් ලැබුනේ නෑ. දැන් කතා කරන්නේවත් නෑ . අපෙන් වරදක් වෙලාද මන්දා. :0
අහෝ දුකකි ඉරකි තිතකි!!! පොත් පිළිබඳව මගේ කියැවීම මෙසේය:- "කිසිවෙකුට මාගේ පොත් දෙන්නේ නැත! මන්ද මා සතු පොත් වලින් බහුතරයක් මා අනුන්ගෙන් ඉල්ලා ගෙන ආ පොත් ය!"
Deleteගෑණුන්ට පොත් දෙන්න එපා කියලා ඉස්සර ඉරිසින්වාන්සේලා කියපු සොලෝකයක් එහෙම අහලා නැද්ද? ගෑණූ පොත් ගත්තොත් ගත්තාම තමයි ආයේ ලැබිලි නෑ....
Deleteඅසංග මම අහලා තියෙන්නේ ගෑනුන්ට පොත් දෙන්න එපා කියලා නොවේ! "තමන්ගේ ගෑනිව සහ තමන්ගේ පොත් අන්සතු නොකරණ්න. එය ලබාදුන් ආකාරයෙන් ආපිට ලැබෙන්නේ නැත!"කියාය.
Deleteමම අහලා තියෙන විදිහට නම් පොතත්, ගැහැණියත්, මැණිකත් තමයි අතින් අත නොයැවිය යුත්තේ.
DeleteObe post eka mawa dashaka hatharaka pamana atheethayakata matath nodaneema ragena giya.
ReplyDeleteඅනේ දෙයියනේ! ඒවා ලියන්න එපායෑ අපිටත් දැනගන්න එක්ක!
Deletemamath poth gullek me.
ReplyDelete"මමත් පොත් ගුල්ලෙක්මි!" කියලා ශෙම් එකේ ලිස්සලා යන්න නම් එපා! පොඩ්ඩක් එයට නැඹුරු වුනු ආකාරය ගැන ලියමුකො!
Deleteපොත් ගුල්ලො නෙමේ නම් මේ බ්ලොග් එහෙම තවමත් කියවන්නෙ වෙන කවුද?
ReplyDeleteමාත් ඉතින් එහෙම තමයි. දැන් නම් හැබැහි වැඩිපුර pdf තමයි කියවන්නෙ.
කලින් නම් පුස්තකාල වලින්.
පොත් සල්ලි දීලා අරගෙන එකතු කරල තියාගන්න එක ගැන නම් මගේ ධනාතමක අදහසක් නෑ.
මම ඒකයි උඩ කිව්වේ. පොතක් යනු හුදෙක් පත්‍රිකා එකතුවක් නොවේ! කියලා. පොතක පිට කවරයේ නිමාවේ සිට ගුණ සුවඳ දක්වා සියල්ලෙන්ම පොතකට වචනයෙන් කිව නොහැකි ජීව ගුණයක් සැපයෙනවා! පොත් වලට ආදරය කරණ්නෙකු බැඳෙන්නේ එහි ලියා ඇති අන්තර්ගතයට පමණක් නොවේ. සමස්තයටම!
Deleteමම කියපු අදසහට මේ කියපු එක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා නම් තේරුනේ නෑ නෙහ්😒
Deleteනෑ මම කියන්නේ පොතක අදහස ගන්න ඒකෙ ප්ප්ප් එක කියවන එකයි; පොත තමන් සතු කරගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියන එක!
Deleteආහ් මට නම් ඒ තමන් සතු කරගන්න කෑල්ල නම් තේරෙන්නෙ නෑ
Deletehttps://hotchocolatedays.blogspot.com/2022/06/readers-digest.html?showComment=1654529242135#c7414912348837920378
ReplyDeleteජයවේවා!
Myself Hattor
ස්තූතියි! එතැනට ගිහින් උඩින් කොමෙන්ටුවක් කොටලා ආවා මලී ට!
Deleteඅපිත් ඒ කාලේ පොත පත කියවූ නිසයි අද මෙලෙස ජීවත් වන්නේ. සියලුම ලාංකික පාසල් ළමයිට දිනකට පැයක් කියවීම අනිවාර්ය කල යුතුයි.
ReplyDeleteමම විජේභාහු
කියවීම දරුවන්ට දෙන්න පුළුවන් විවිධ උපක්‍රම රාශියක් අපට භාවිතා කරණ්නට වෙනවා!
Deleteපොත් සහ මං ගැන තියන දේ ලියන්න දිග වැඩියි. ඒ නිසා තිසර ගැන විතරක් ලියන්නම්. වික්‍රමසිංහ පවුලෙන් විවාහයක් කරගත්තට නම සපරමාදු
ReplyDeleteමොකා උනත් වෙඩි කෑමට නියමිතව සිටි අයෙක්! ස්තූතියි නිවැරදි කලාට!
Deleteපොත දිගේ ලිස්සුව අපූරුව? Hallelujah! 🤣
Deleteඇයි දෙයියනේ එහෙම කියන්නේ?
DeletePra Jay මහත්තයෝ, එහෙං ඔබතුමාත් මගේ මිතුරු මර්විනුත් නෑදෑයෝ. මර්වින්ගේ බිරිය ලලිතා හරහා...
Deleteමම නං පොත් කියවන්න ගත්තෙ, විකල්පයක් නොතිබිච්ච නිසයි. පොඩි කාලෙ, තඩි පොතක් පුස්තකාලෙන් අරන් එනකොට, ඒකෙ මෙව්වා එකක් තිබ්බා. අපරාධය සහ දඞුවම , පිකිවික් පේපර්ස් වගේ පොත් අරං ගියේ ඒකයි. ඇත්තටම රසවිඳපු එකම තඩි පොත පිකිවික් පේපර්ස් විතරයි.
ReplyDeleteබොහෝ අය එකඟ නොවෙන්නත් ඇහැකි. ඒත් මම නං පොත් ඩිජිටල් වීම දකින්නෙ හොඳ දෙයක් හැටියට. ඇත්තටම දැන් කරන්නෙ කියවන එකට වඩා යූ-ටියුබ් බලන එකයි. මට නං දැණුම හොයන්න පුස්ථකාලයට යෑම, පොත් කියවීම, යූ-ටියුබ් ඔය කොයිවත් එකයි.
https://www.youtube.com/c/OurLudicrousFuture/videos
https://www.youtube.com/c/BreakingTaps/videos
https://www.youtube.com/c/Thoughty2/videos
https://www.youtube.com/c/Asianometry/videos?view=0&sort=p&flow=grid
https://www.youtube.com/c/ProjectFarm/videos
https://www.youtube.com/c/NileRed/videos
https://www.youtube.com/c/Electroboom/videos
නෑ නෑ! මම එහෙම පොත් පත් ඩිජිටලයිz වෙනවාට වරදක් කියන්නේ නෑ. ඒත් එයින් පොත් වලට තියෙන බැඳීම වෙනස් වෙන්නේ නෑ (මට
Deleteනම්)! මමත් බොහෝ දේ සොයා බලා ගැනීමට ගූගල් දෙවියා හෝ youtube සහය තමයි ලබා ගන්නේ! පොත් කර්මාන්තය ඩබල් තියා ට්‍රිබල් උනට්ග් youtube එකට අත තියන්න තබා අලගු තියන්න වත් බැහැ. එකඟයි!
බස්සා මහත්තයෝ, පික්වික් පේපර්ස් පොත; ලෝක විචාරය කියවපු කෙනෙක් ගැන දැන ගත්තේ අදයි. ඒක ඉල ඇදෙන පොතක්. අපරාධය හා දඬුවම නම් කියවීම ආයාසයෙන් කළ යුත්තක්.
Deleteතට්ටයා මහත්තයෝ, දුකත් හිතුනා ත්රෝජපුර සංග්‍රාමය කියෙවීම අත ඇරියාය කිව්වම.
නිදි මහත්තයා; ඔය මම කියන්නේ හත වසරේ කතාවක් නොවැ!?
Deleteඒ නං කමක් නෑ.
Deleteදැන් නම් පොත් කියවනවා අඩුයි, සොවියට් දේශය, වනේ පන්නරය, අම්මා, දෙසතිය වගේ ඒවා තවම මතකයි. අපේ ළමයි ඉතින්, එක්කෝ වැඩක් නැ.
ReplyDeleteමම විජේබාහු
ඒවා එහෙම තමයි විජය භාහු මහත්තයා!
Deleteඅද වෙනකොට මගේ මුද්‍රිත පොත් කියවීම හා තිරයේ කියවීම (on screen reading) අතර අනුපාතය 10:90 තරම්. නමුත් පොතක් කියවා ලබන වින්දනය තිරයක් කියවීමෙන් කිසිදා ලැබිය නොහැකියි.
ReplyDeleteසත්තකින්ම!
Deleteඅවංක පොත් හොරෙක්, අවුරුදු 51 කට පසු, පුස්ථකාල පොතක් ගෙනත් දීලා. පොත හොඳ තත්ත්වයේ තිබ්බලු.
ReplyDeleteVery sorry, it is bit- 51 years late
මොනවා වුනත්, මැරෙන්න ඉස්සෙල්ලා ගෙනත් දීපු එකම මඳෑ?🤣
Deleteමොකක්ද ඒ සීන්ස් එක?
Deletemamath
ReplyDelete1.පොත් වලට ආදරය කරණ්නෙක්මි. 2. පොත් එකතු කරණ්නෙක්මි. 3. මා නොම්මර එකේ පොත් හොරෙක්මි. 4.පොත් කියවන්නෙක්මි
හ්ම්ම්! හ්ම්ම්!!
Deletemama kiywanna purudu une gedarata badu othagena aapu paththra kaali kiyawalaa.kaalaya hithaganna puluwan neda?
ReplyDeleteඅප්පට සිරි!
Deleteමමත් පුංචි කාලේ ඉන්ද්නම පොත් පිස්සෙක්. දීමන් ආනන්දගේ පොත් හරියට තේරෙන්නේ නැතිවත් කියෙව්වා වයස හත වගේ කාලේ . හොන්දම වැඩේ මගේ අම්මයි තාත්තයි ඒවා වැලක්වුවේ නැහැ.
ReplyDeleteඔව් ඔබත් මගේත් පරම්පරාවට කලින් පරම්පරාවේ අයගෙන් වැඩිදෙනා කියැවීම ඇරඹුවේ ඩීමන්ගේ පොත්වලින්. අපේ අයියා ගෙනත් කියවනවා මට මතකයි. හරි භයානක පිට කවර.
Deleteකියැවීම ඇරැඹුවේ නම් ඩීමන් ගේ පොත් නොවෙයි මලේ. මට හොඳට මතක දැති රෝදය කියන සෝවියට් ළමා පොත, සෝවියට් ළමා පොත් තාත්ත ගෙනත් දුන්න. පස්සේ නවයුගය, ශ්‍රී සඟරාව, මිහිර ඔන්න ඕව. ලුණුගල ඉන්න කොට ඔය ලේඛකයෙකු වන එච් බී ගුණරත්න අයියගේ ගෙදර හරියට ඔය සඟරා අරව මේවා තිබුන. ඒවා කියවන්න ගත්ත. ඊට පස්සේ දහම් පාසැලේ පුස්තකාලේ . ලන්දේසි හටන, විදියේ බණ්ඩාර, සතුට පත්තරේ - යුනිකො, අරව මේවා. කොච්චර දේවල් කියවන්න තිබ්බද? එහම ළමා කාලයක්
Deleteසත්තකින්ම එහෙම ළමා කාලයක්! අපි එකම පරපුරක නිසාම අපේ ළමා අවධියේ මහා ලොකු පරස් පරයක් තෙන්නට බෑ අජිත් අයියා!
Deleteමගේ සබ්ජෙක්ට් එක ගැන නේ ලියලා තියෙන්නේ!
ReplyDeleteමාත් ඉතින් නොම්මර එකේ පොත් ගුල්ලියෙක්. සීනි ඔතන් ආව පත්තර පිටුවත් කියවපු ජාතියේ. අන්තිමට කැරකිලා ඇවිත් පුස්තකාල රස්සවකටම සෙට් වුණා. පුංචිම කාලේ ඉඳන් දරුවන්ට පොත් හුරු කිරීම ගැන මම හරි උනන්දුයි. කියවන දරුවන් ලිවීම පැත්තෙනුත් ඉස්සරහින් ඉන්න නිසා මේක ජීවිතේටම වැදගත් ස්කිල් එකක්.
මෑත කාලේදී පොත් මිලදීගැනීම නම් ටිකක් අඩු උනා, පුස්තකාල පහසුකම නිසා.
මේ පෝස්ට් එකට thank you. :
ස්තූතියි මලී! ඔබ ලියා ඇත්තේ රසවත් ලිපියක්!
Deleteමගේ පොත් කියවීම ඒ කාලේ කොච්චරක්ද කියනවනම් තාත්තා ඉස්කොලට ඇවිත් මැඩම්ට කිව්වා මට පුස්තකාලය තහනම්ප්‍රදේශයක් කරන්න කියල.😀
ReplyDeleteසත්තකින්ම එහෙම කියවපු කාලයන් තිබුනු අය තමයි මේ තැන්වල රැඳී ඇති අයගෙන් බහුතරය! ඔබගේ නිර්මාණශීලීත්වයේ රහස ඒ තහනම් ප්‍රදේශය වෙන්නෝන!
Deleteමාත් පොත් ගුල්ලෙක්, හැබැයි පොත් දෙක තුනකට වඩා අනුන්ගෙන් අරං නැහැ.
ReplyDeleteතට්ටයා මහත්තයො. ස්තුතියි මට මේ පෝස්ටුව මඟ හැරුණු බව මතක් කළාට. saman සයිස් පොත් ගැන අමුතුවෙන් ලියන්නේ නෑ- කාලෙකට කලින් ලියපු විස්තරයක් තියෙන නිසා.
https://nidigepanchathanthare.blogspot.com/2018/05/blog-post_78.html
කියවලම එන්නම් අයියේ!
Deleteසෑහෙන පොත් තොගයක් නැති කරගෙන තියෙන නිසා, දැන් මගේ පොත් කාමරය කිසිවකුව වැද්ද නොගන්නා තැනක්!
ReplyDeleteබලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ට තිබුණු ලොකුම දුක උන්වහන්සේගේ පොත් තොගය දාලා යන්නට වීමලු. මටත් එහෙමයි!