Saturday, November 18, 2023

268. "පාරෙ ගැටුනු දෙමස්සිනෝ ! " (ශනිදා දහයට VII)

 ලොරි පොඩ්ඩා ඇදගෙන යන ට්‍රේලරේ
"නිදීගේ පංචතන්ත්‍රය" ලියන අපගේ බ්ලොග් සොයුරු නිමල් දිසානායකගේ මවගේ අභාවය පිළිබඳව කන වැකුනේ "කොලොම්පුරේ" අසංගගේ හඬිනි.
ඒ වන විටත් මේ වන විටත් මා සිටින්නේ යටියන්තොට හක්බෙල්ලාවකය.
මාගේ පාරම්පරික මහ ගෙය දැනට කායක සිට ජරා ජීර්ණ වී ඇතිහෙයින් එය යම් පමණකට හෝ ගොඩ දමා ගැනීමට ආරම්භ කල ව්‍යාපෘථියකට මා පැටලී සිටින්නේ පසුගිය සඳුදා සිටය.
මේ නිසාම නිමල් දිසානායක සොයුරාගේ මවට සුව නින්දක් පැතීම කිරීමට සිදුවූයේ මෙහි සිටමය.
"ශනිදා දහයට" බ්ලොග් කථිකාව හා වැඩ සටහන පටන් ගත්දා සිට මා එතෙක් ලියමින් සිටි "බ්ලොග් වැල්" නවතා දැමුවෙමි.
ඒ වෙනුවට කුඩා බ්ලොග් පෝස්ටු ලියන්නට උත්සාහ කෙලෙමි.
අද මේ ලියන්නේ "ඇන් ඇක්සිඩන්ට්" බ්ලොග් වැලේ තවත් එක් කථාවක් වුවත් එය තනිකර රස විඳිය හැකි බැවින් මෙසේ ලියා තබමි,

මේ සිද්ධිය වෙලා වසර දෙක තුනක් පමණ ඇති.

බොහෝ කාලයක සිට මා සතුව ෆෝ වීල් ඩ්‍රයිව් රථයක් ඇති සේම එයට ඇඳාගෙන යාහැකි ට්‍රේලරයක්ද තිබුනි.
බරැති කොන්ක්‍රීට් කුට්ටි, කම්බිකනු, H අයන් යකඩ වැනිදේ පැටවීමට මා යොදා ගත්තේ ට්‍රේලරයයි. එමගින් ෆෝ වීල් රථයේ ඩෙක් එක, තට්ටුව හෙවත් බක්කියේ පතුල සහ අවශේෂ වටාපිටාව ආරක්ෂාවීම කෙරුනි.
මෙම ට්‍රේලරයට වෙනමම ආදායම් බලපත්‍රයක් හෝ රක්ෂණ සහතිකයක් නොතිබුනි. 
මේ ගැන සොයා බැලීමේදී 750kg වලට වඩා තාර බර අඩු ට්‍රේලර සඳහා එවන් ලිපි ලේඛණ අනවශ්‍ය බව බොහෝ දෙනා පැවසූවද මේ පිළිබඳව නිවැරදි තොරතුරක් මා සතුව නොමැත.

Pintle Hook




Ball Coupling
මෙවන් කුඩා ට්‍රේලර ප්‍රධාන වාහනයට අමුනා ගැනීමට නොයෙක් නොයෙක් උපක්‍රම ඇත. ඒවාට අවශ්‍ය සියළු අංගෝපාංග මා සතුව ඇතත් මෙම අදාල ට්‍රේලරය අමුනා ගැනීමට මා යොදාගෙන තිබුනේ ඉතා සරල උපක්‍රමයකි. 

ඉතා සරල උපක්‍රමය
වෙනත් රටවල ට්‍රේලරයේ පසුපසට සියළුම සංඥා ලාම්පු තිබිය යුතු උවද "ලෝකෙං උතුං රටේ" ඒ කරදර නොමැත. ඔබ මෙනෙහි කර බලන්න ලොකු කුඩා, රෝද දෙකේ, හතරේ අත්ට්‍රැක්ටර් මහ ට්‍රැක්ටර් කිසිදු ට්‍රේලරයක පසුපස සංඥා ලාම්පු ඇතිද කියා!?
කිසිවක ඒවා නැත!



පවර් සොකට් 

ඒ සඳහා උපක්‍රම සහ අංගෝපාංග ද මා සතුව ඇතත් මාගේ දිළිඳු ට්‍රේලරය ඉදිරියේ නවීකරණට කිරීමට ඇති බැවින් ඒවා සවිකොට නොමැත!
මාගේ ට්‍රේලරයද හුදෙක් සාම්ප්‍රදායික එකක්ම විය!

මෙම සිද්ධියට අදාල දිනයට දින කිහිපයකට පෙර මා ට්‍රේලරයද අමුනාගෙන කඩවතින් යටියන්තොට බලා පිටත් වූවේ H අයන් (H Iron) මහ බරක් පටවා ගෙනය. එය ටොන් එකකට වැඩි බරක් වූ බව මාගේ විශ්වාසයයි.
H අයිරන්
 (මෙහෙම තමයි ව්‍යවහාරය )
නොයෙක් නොයෙක් දිග පලලි යුතු H අයන් ටික ප්‍රවේසමෙන් යටියන්තොටට ප්‍රවාහනය කල මා නැවත කඩවත බලා හැරුනේ දින දෙකකට පසු රාත්‍රී අටට පමණය.
ට්‍රේලරය අමුනා ඇති බැවින් ඉතා සැළකිල්ලෙන් සෙමෙන් ගමන් ගත් මා කරවණැල්ල, රුවන්වැල්ල, ගෝනගල්දෙනිය, ගල්බැම්ම, නඩුවත්ත, මිල්ලතේ හංදිය, කිරිඳිවැල, තුංමං හංදිය, වතුරුගම,  පසුකොට වැලිවේරියට පැමිණෙන  විට තරමක් රෑබෝ වී තිබුනි. වේලාව රාත්‍රී  10 කිට්ටුවී තිබුනු අතර හාත්පස  අඳුර; අතරින් පතර තිබුනු අතර වීදි ලාම්පු හා වැලිවේරිය නගරයේ කඩ සාප්පු වලින් තරමක් ආලෝකමත්වී තිබුනි. 
වැලිවේරිය හංදියෙන් ඇඹරළුව පාරේ; එනම් නුවර පාරේ කන්ද කපාපු හංදිය (කිරිල්ලවල) දෙසට මා හැරුනෙමි.
අදටත් මේ  ලියන මොහොතේදී වත් නිමවා නැති එම මාර්ගය; ඒ දිනවල ප්‍රථිසංස්කරණයන් සඳහා;  මුළුමනින්ම කඩා බිඳ දමා තිබුනි.
තැනෙක මහ වලකි. තවත් තැනක මෝටර්ග්‍රේඩරයේ නගුලෙන් හාන ලද නගුල් පාරවල් ය. තවත් තැනක මැටල් කඳුය. බෝක්කු අසල ඒවා ප්‍රථිසංස්කරණයන් සඳහා ගෙන ආ විසල් හියුම් පයිප්පය. ඒ තැන් වල මුළුමනින්ම හාරා දමා සැම තැන විසිරුණු පස් හා මැටිය.
කොටින්ම එතැන පැවතියේ පාරක් තිබූ තැනක් විනා පාරක් නොවීය!
ඇඹරළුව පාරේ මා කිලෝ මීටර 4ක පමණ දුරක් පැමි දිවුල් ගහ මුල හංදියෙන් හැරී මා පැමිණිය යුතුය.
පෙර කී පාරක් පැවති සළකුණු ඔස්සේ මා වඩ වඩාත් පරිස්සම්ව, පරීක්ෂාකාරීම ධවනයේ යෙදේ.
එකවරම පසු පසින් තියුණු ආලෝක ධාරවක් මගින් පාර එකළු කලේය.
පසුපස බලන කණ්නාඩියෙන් බැලූ විට දිස් වූයේ නවීන කුඩා වාහනයක ප්‍රධාන පහන් එළි යුගලයේ දීප්තියය!
සාමාන්‍ය ධාවනයේදී විශේෂයෙන් වීදි ලාම්පු එළි පවතින තරමක් හෝ ජනාකීර්ණ හෝ වාහන ගැවසී ගත් මාර්ගයක රිය ධාවනයේදී අප ප්‍රධාන පහන් "ඇඳිරි" (Dim Headlight) කරගත යුතුවේ. එය නීතියක්ද නො එසේනම් රීතියක්ද කියා මා පැහැදිලිවම නොදන්නා මුත් එය රිය පැදවීමේ ආචාර ධර්මයනට එකඟ කාරණයක් ය.
ඔහු මාගේ රථයට කිට්ටු කල සැණින් නලාව මොර දෙවන්නට පටන් ගත්තේය!
ඒ මොහොතේ මා ධාවනය කලේ මාර්ගයේ මැදින් විය හැක. එහෙත් ඒ එම මාර්ගයට උචිත ආකාරයය! තවත් මොහොතකදී කිසිදු ඉඩක් නොමැති ස්ථානයකදී මාගේ රථය පසුකොට යාමට උත්සාහ ගත්තේය. මාර්ගයේ කිසිදු ඉඩක් නොමැති ස්ථාන කිහිපයකදී ඔහු මා පසුකොට ධාවනය කිරීමට උත්සාහ කොට අවසානයේ ලැබුනු කුඩා අවසරයකදී ගල මුල්, වලවල් උඩින් ධාවනය කොට මා පසු කරණ ලදී. 
මා පසුකොට යන අවස්ථාවේදී හේ නොසරුප් වදන්  රැසකින් සංග්‍රහ කිරීමටද අමතක නොකලේය.
එම වාහනය කුඩා Suzuki Wagon R රථයකි. 
වර්ණය සුදු පැහැතිය. 
මා පසු කල සැණින් වහු තම රථය මාර්ගය මැදට ගෙන එකවරම නැවැත්තුවේය. 
මාගේ ට්‍රක් රථය එහි නොගැටී බේරුනේ අවසාන මොහොතේය!
එතැන් පටන් මාගේ මාර්ගය අවහිර කරමින් ගමන් කිරීමට පටන් ගත්තේය.
මාගේ ඉවසීමේ සීමාව කරටියටම පැමිණියේය.
මා මෙම කුඩා මෝටර් රථයට ඉස්සර කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කල මුත් ඒයට ඔහු කිසිදු අවස්ථාවක් ලබා නොදී පාර පුරා සිග් සැග් ධාවනයේ යෙදුනි. 
දරදඬු ෆෝ විල් රථයටද ධාවනයේ දැඩි අපහසු තාවයක් ගෙන දුන් වලවල් මඩ කඩිතිගල් මුල් උඩින් ඔහු ධාවනයේය. එය කිසිදා අපේක්ෂා කල නොහැකි තත්වයකි. 
මෙසේ ගමන් කරද්දී එක වර මාගේ ට්‍රේලරයෙන් නුපුරුදු හඬක් නැගීය.
එම වේගයෙන්ම මා මොහොතක් ධාවනය කොට පාර මැදම ට්‍රක් රථය නවතා බැස බැලීය.
ජොකී වීලය වෙනුවට සකසා තිබූ සරළ උපක්‍රමය අගුලෙන් ගැලවී බිම ඇතිල්ලෙමින් ය.
සාමාන්‍යයෙන් ට්‍රේලරයක් ප්‍රධාන වාහනයෙන් ගලවා තබන අවස්ථාවේදී; ට්‍රේලරය තිරස්ව පවත්වාගැනීම සඳහා ජොකී වීලය සහිත එකලස ප්‍රයෝජනයට ගනී.
ජොකී වීලය
මෙයට උඩින් සවිකොට ඇති හැඬලය කරකැවීමෙන් උස් පහත් කල හැකිවන අතර ට්‍රේලරයට බර පැටවීමෙන් පසු එහි හිච් එක (ප්‍රධාන වාහනයට සවිකරණ ගුණ්ඩුව හෝ බෝල් කප්ලීනය ) ප්‍රධාන වාහනයේ කොක්ක හෝ ඇමුණුමට සමාන්තරව තබා ගැනීමට මෙය උපකාරී වේ. එසේ නොමැති වුවහොත් බර පැටවීමෙන් පසු එය මහත් වැර වෑයමෙන් යුතුව ප්‍රධාන වාහනයේ ඇමුණුමට සමාන්තර වන ලෙස එසවිය යුතු වේ. ප්‍රධාන වාහනය සහ ට්‍රේලරය අමුණා ගත් පසු ජොකී වීලය සහිත් එකලස නැවත හැඬලය කරකවා ඔසවා ගැනීමට හෝ නවා අකුලා ගැනීමට හැකි වන සේ  නිපදවා ඇත.
මාගේ ට්‍රේලරයට අදටත් සවිකොට  ඇත්තේ මීටත් වඩා නොදියුනු උපක්‍රමයකි. නමුත් මෙම තාක්ශනය මය.

වලවල් සහ අගල් වල වැටීමෙන් මෙම සරල ඇටවුමේ අගුල ලෙස ක්‍රියා කර කඩ ඇනය අස්ථානගතවී තිබුනි. වාහනය ඉදිරියට ධාවනය කිරීමටනම් මෙය ගලවා ඉවත් කල යුත්වේ. ට්‍රේලරය ට්‍රක් රථයෙන් ගලවා මහත් වෙහෙසකින් යුතුව පසු පසට ගෙන ඇටවුම ගලවා ට්‍රක් රථය තුලට දමා නැවත ට්‍රේලරය අමුනා ගත් මම යලිත් ගමන් ඇරඹීමි.
මේවන විට මම අධික ලෙස වෙහෙස වී සිටියෙමි. ඒ ශාරීරිකව පමණක් නොව මානසිකවත් ය. සාමාන්‍යයෙන් Teepeeයට යන ගමන සහ ආපිට එන ගමන මා විඳින්නෙමි. සිලින්ඩර හයේ 4000CC ඇන්ජිමේ නාදයට සවන් දෙමින් සිහින් හඬින් ගීතයක් මුමුණමින් ට්‍රක් රථය පැදවීම මාගේ සිරිතය. එමගින් ගමනේ විඩාව අමතක වී යයි. රුවන්වැල්ලේ සිට ගෝනගල්දෙනිය හරහා රබර් වතු මැද්දෙන් කඳු හා වංගු පිරුණු මාර්ගයේ ගමන විටෙක භාවනාවක් මෙනි.
එම පරිසරය තුලින් ලබන මානසික උද්දාමය එලෙසින නිවෙස තෙක් පවත්වාගෙන යාමට නම් "කඩි කුලප්පුව" වැළඳ නොගැනීමෙන් යුතුව රිය පැදවිය යුතුවේ. මුළුගමනින් 95% පමණ එලෙස භාවනායෝගීව පැමිණි මා ඉදිරියට අලව් යකෙකු පැමිණ ඇත!
නැවත ගමන ඇරඹූ මම ගමන් කලේ සුපුරුදු සරළ වේගයෙනි. 
අලව් යකු මග ඇරීමට මට අවශ්‍යවී තිබුනි!
තව දුරටත් සටන් වැදීමට හෝ තරග කිරීමට මට කිසිදු ඕනෑ කමක් තිබුනේම නැත.
වැලිවේරිය සිට ඇඹරළුව දෙසට එන මාර්ගය තරමක දඟර ගැසුනු සේයාවකි.
වංගු රැසකි.
මම ට්‍රක් රථය එක් වංගුවකින් ගමන් කොට මෑත් වූවා පමණි.
ආලවක මා එන තුරු පාර මැද නතර කරගෙනය. 
මා සෙමෙන් එයට කිට්ටු කරද්දීම ඔහු නැවත පාර මැදට ගෙන සුපුරුදු සිග් සැග් ගමන ඇරඹීය.
"මේ වාහනෙයේ කී දෙනෙක් ඇතිද?" සිතා ගත නොහැක.
මාගේ වාහනේ ආසනය පසුපස ජැක් ලීවරය ඇත. එය තරමක් සිහින් වූවාට අවස්ථානුකූලව පාවිච්චි කල හැකි සුපිරි මෙවලමකි.
එසේම වාහනයේ ලාච්චුව (Cubby hole) තුල රම්බෝ කුලයේ පිහියකි.
මම වාහනය පවමින්ම ආසනය පසුපසට වම් අත දමා ජැක් ලීවරය ඇත්දැයි තහවුරු කර ගත්තෙමි.
ජැක් ලීවරයේ සිසිල් පහස අතට දැනුනි.
"බඩු" ඇත.
රියැදුරු ආසනයේ වමට බරවූ මම; ලාච්චුව විවර කොට දඩයම් පිහියද ඇත්දැයි තහවුරු කර ගත්තෙමි.
එයද ඇත.
සීරුවට එය අතට ගෙන ලාච්චුව වසා දමා රියැදුරු ආසනයත් එම පස දොරත් අතර තබා ගත්තෙමි.
මේ වන විටත් Wagon R රථය ඉදිරියෙන් ගමන් ගනී. මම තරග වැදීමෙන් තොරව පසු පසින් ගමනේය.
මගේ සූදානම කිසියම් හෝ අවස්ථාවකදී ඔහු පාර හරස් කරනු ඇතැයි කියාය. 
එසේම ඊළඟ මොහොතේ මා ට්‍රේලරය අමතක කොට මේ වාහනය පසු කරන්නටම සිතා ගත්තේය. එහිදී සිදුවිය හැකි ඕනෑම අලාභයක් සම්බන්ධයෙන් පිළිතුරු දීමට මා සූදානමින් ය.
පාර එහෙම පිටින්ම ගන අඳුරේය. පිළිසකර කිරීම් වෙනුවෙන් විදුලි පරිපත ගලවා දමා ඇති සේයාවකි!
මම උපක්‍රමිකව ට්‍රක් රථයේ ප්‍රධාන පහන් නිවා දැමුවෙමි.
Wagon R රථයේ උන්මත්තකයා හට ට්‍රක් රථය සොයා ගැනීමට නොහැක.
මාගේ උපක්‍රමය එකවර වම් පසින්  ධාවනය කොට ඉදිරියට ගැනීමය!
මේ සඳහා කුඩා අවකාශයක් ලැබෙනා තුරු සිටිය යුතුය. ට්‍රක් රථයේ එන්ජිම සැර නොදැමිය යුතුය. එහි ගර්ජනාවට මාගේ සියළු උපක්‍රමයන් විනාශ කර දැමීමට හැකියාවක් ඇත.
මේ සියළු දේ මෙසේ සිදුවන්නේ නැවතී සිට නොව ගමනක යෙදෙමින් ය. එයින් මෙයින් Wagon R රථයේ ප්‍රධාන ආලෝක ධාරවෙන් සුභ නිමිත්තක් පෙනේ. ඒ වෙන කිසිවක් නොව මෙම මාර්ගයෙන් මා ගමන් කල යුතු අතුරු මාර්ගය බෙදෙන සංධිස්ථානය මීටර 100ක් දුරිනි. හැමදේම වන්නේ හොඳටය!
මෙම මාර්ගයෙන් මා වමට හැරිය යුතු වේ.
මේ කරදර කාරයා ඉදිරියටම ගමන් කරණු ඇත. මේ උගේත් මගේත් ජීවිතවල නොම්මර එකේම සංධිස්ථානයක් විය යුතුය.
මා අද දවසේ ජීවිතයක් බේරා ගත්තෙමි. ඒ කාගේවත් නොව මා වෙතින් ගුටිකා මැරුම් කෑමට නියමිතව සිටි උගේය!
තවතෙකෙකු හිරේ විලංගුවේ වැටීමෙන් ගලවා ගත්තෙමි.
ඒ අනෙකෙකු නොව මා මය!
එම මාර්ගයේ මීටර 300ක් පමණ ගමන් කිරීමෙන් තවත් කුඩා හංදියක් හමුවේ.
එතැනින් දකුණට හැරී ගමන් කල යුතුවේ. 
මම හැරීම් දෙකම අංශක 90වේ තියුණු හැරීම්ය.
ඉන් පලමුවැන්න හැරෙන්නේ කුඩා බෑවුමකටය. 
ඊළඟ නිමේශයේ සිදුවූ දේ සිතා ගත හැකිද?
ඔව්  ඒකම තමයි!
මේ මනුස්සයාද වමට හැරවූවේය!
මාගේ සිත තුල; පරක් කොට; යාන්තමින් නිදි ගන්වා සිටි යක්ෂයා යලිත් අවදි විය.
ඔහු වමට අහරවනවාත් සමගම; මා එකවරම  මාගේ සැලසුම ක්‍රියාත්මක කලේය.
වැගන් ආර් රථය වමට හරවනවාත් සමග සෑදුනු කුඩා ඉඩෙන්  විදුලි වේගයෙන් මම ට්‍රක් රථය හැරවූවෙමි. හරවා ඉදිරියට ගත් සැනින් ඔහුට පාඩමක් ඉගැන්වීමට තිබුනු සිත වෙනස් වී ගියේය. මන්ද මාගේ නිවසට මෙතැන් සිට ඇත්තේ කිලෝ මීටර 3ක පමණ දුරකි. මේ ප්‍රදේශයේ සිදුවන ඕනෑම අකටයුත්තක් ගෙදරට බැක් ෆයර් වීමට ඇත්තේ සුවිශාල ඉඩ කඩකි.

"පිටට චන්ඩි කම් එපා - ගමට වල් කම් එපා!" යනු පැරණි බහුශෘතයින් පවසා ඇත්තේ කට කහනවට නොවේය.

සිදුකරණ්නට සිතා සිටියේ "වල් කමක්" නොවුනත් "කුපාඩි කමකි"!

කුපාඩි = කු+පඬි= අනුවණ

අනෙක් අතට මට අවශ්‍ය ඉලක්කය සපුරා ගත් පසු තවදුරටත් තරග වැදීමට මා තුල ඇත්තේ ඇල් මැරුණු බවකි.

එතැන් සිට අපගේ නිවස තෙක්ම ඇත්තේ කාපට් කල පටු පාරකි. 
ඉදිරියේ දෙවන තුං මං හංදියෙන් දකුණට හැරීමට තිබේ. පෙර
කී පරිදි මෙම කුඩා මංසංධි දෙක අතර ඇත්තේ මීටර 300 ක පමණ දුරකි. පෙරකී පළමු හංදියෙන් පහලට වූ බෑවුම කරණ කොටගෙන ට්‍රක් රිය ඊගහ සේ දුවයි. ඒ සමගම ක්‍රියාත්මකවූ Wagon R රියද මා පසු පස එළවීමට පටන් ගත්තේය.
දෙවෙනි හංදියෙන් මා ගිය වේගයෙන්ම දකුණට හැරවීය.
මා සතු ට්‍රේලරය ඉතා ඉහල ස්ථායී තාවයක් ඇති එකකි. ඒ නිසාම දෝ ට්‍රේලරයද ගොනා පසුපස යන කරත්තය මෙන් හැරී ආවේය. (ඇත්තම කියනවා නම් එන්නට ඇති ය!)
ඒ හැරවීම සමගම ඉදිරියේ  දිස්වූයේ මහ පාරේ හොඳින් ඇඳ පැළඳ ගත් පිරිසකි!
ඒ අසල නිවස නෙක වර්ණයෙන් හෙබි විදුලි බුබුළු වලින් සරසා ඇත.
කොටින්ම සිංහලෙන් පවසනවානම් පාටියක් හෙවත් සාදයකි!
ඊළඟ තත්පරේ පාරේ දකුණු පස නවතා තිබුනු ත්‍රී වීලරය පාර මැද්දේම U වංගුවක් ගසා අනෙක් පසට ගත්තේය!
පිරිස බේරා ගනිමින් ත්‍රී වීලරයද නොගැටී ට්‍රක් රිය මා දකුණු පසට ගෙන එක්ෂණයෙන් නවත්වා ගත්තේය.
මං සංධියේ වම් පසින් ගත් රිය මේ වන විට පාරේ වම් පසට මුහුණ ලා නවත්වා ඇතිමුත් ට්‍රේලරයේ අන්තිම කෙළවර තවමත් පාරේ වම් පසය. කොටින්ම පාර මුළුමණින්ම අවහිරවී ඇත. ඊළඟ මිලි තත්පරයේදී මහා හඬක් පසු පසින් ඇසුනි. ට්‍රක් රිය ඉදිරියට ගැස්සී ගියේය.
පිරිස තුෂ්නිම්බූත වීය!
මම එකවර වාහනයේ එන්ජිම නොනවත්වා නැවතුම් තිරිංගය (අත් රෝධක) ක්‍රියාත්මක කොට බිමට පැන්නෙමි.
Wagon R රථය මාගේ ට්‍රේලරයේ පසුපස සිඹ නොව විකාගෙනය!
ෂෙල්, බෆර්, මඩ්ගාඩ්, හෙඩ් ලෑම්ප් සපෝර්ට් පැනල්,  රෙඩියේටර්, ඒ සී කන්ඩෙන්සර් ආදී මෙකී නොකී  සියල්ල ඇඹරී ගොසිනි.
"අම්මට සිරි!" මටම කියැවින. මේ ට්‍රේලරයේ පසුපස කිසිදු විදුලි පහනක් නොමැත! 
"මේක නම් සුපිරිම අච්චුවක් කන්න වෙන සීන් එකක්!" මම මටම කියා ගත්තෙමි!

ඊළඟ මොහොතේ වැගන් ආර් රථයේ දොර ඇරුනි!
එයින් එළිය බැස්සේ සුදු පැහැත් කලිසමක් හා නෙක මෝස්තරයන්ගෙන් අලංකාර වූ කමිසයක් ඇඳ කළු සපත්තු දැමූ 6 X 4 ඩයල් එකකි!.
ඔහු දොරින් එළියට බැස ගත් වනම දොරටම වාරු විය!
ඔහුට කෙළින් සිටීමට වත් හැකියාවක් නොමැත!

"ඔයා බීලා නේද?" මා පලාතටම ඇසෙන්නට ඇසුවෙමි!

"ඔව් බං මම බීලා! උඹ මාව අඳුනන්නේ නෑ වගේනෙ කථා කරණ්නේ? මට ඉන්ශුවරන්ස් එකට කථා කරන්නෝන!" ඇල්කොලික් ස්වරයෙන් ඔහු මහ හයියෙන් කෑ ගැසීය.

"අම්මට සිරි මාව දන්නවා?" මගේ දෙපතුල සිට සිහින් හිරි වැටීමක් ඇඟ පුරා දිව ගියේය! මම ඒ බව නොහඟවා නැවත ඔහුව ඇමතූවෙමි. මේ වන විට ත්‍රී වීලරයේ නගින්න ආ පිරිස එහි නැග වේගයෙන් පලා ගියේය! එහෙත් එතැන තවත් 10 - 15 ක් රැඳී සිටියෝය.
"මොන දේ කරණ්නත් බීපු නැති සිහියක් පතක් තියෙන එකෙක් ඔය මගුල එලවගෙන ආවා කියපං! නැත්නං උඹට වෙන නඩුවක්!" මම කීවෙමි.

ඔහු ඊට අවනත වීමක් පෙනුනේ නැත. යලිත් ඔහු කෑගැසීමට පටං ගත්තේය.
"අඩෝ උබ සුරවීර මහත්තයාගේ පුතා නේ ? උඹ දන්නේ නෑ වගේ ඉන්නේ!? මොනා හරි කරපං යකෝ!"

මගේ මතකයට එන  එකදු "සුර වීරයෙක්" අපේ පරම්පරාවේ නැත! සුපිරිය! සුප්පා සුපිරිය!! 
"මූ මට රැවටිලාය!" මගේ යටිසිත මට තෝරා බේරා දුන්නේ ක්ෂණිකවය.

"උඹ ඕන දෙයක් කර ගනිං! මම යනවා!!" මම ගත් කටටම කීවේය.

"අඩෝ XX බල්ලා! තෝ මගේ මස්සිනා වෙලා මාව දාලා යනවද? උඹ මහ පරයෙක් යකෝ! තෝ මගෙ නංගි බැන්ද එකා!" 
වැඩේ එළම එළය. ඒ ගමන මේ යකා සිතා ඉන්නේ; මං; උගේ මස්සිනා කියාය. එතැන සිටි පිරිස දියාරු වී ගියේය. කාලෙකින් ලැබෙන අනගි භවනීය චාන්ස් එකක් වන; ෆුල් සීරියල් වලියක් බල කියා ගන්න තිබෙන අවස්ථාව නැතිව ගිය බව වටේ දනෝ වටහා ගත්තෝය! "මේක මේ දෙමස්සිනාලාගේ කේස් එකක් හෙවත් පවුලේ වලියක්" බව උන් තේරුම ගන්නට ඇති!

"හරි උඹ ඕන දෙයක් කර ගනිං. මං  යනවා. වෙන්න ඕන දෙයක් තියේ නං හෙට උදේ ගෙදරට වරේං!!"

මම ට්‍රක් රියට නැග්ගේ ක්ලච් එක පාගාගෙනමද මන්දා! මොහොතින් පළමු ගියරයට ගියර් පෙට්ටිය සකසා ක්ලච් එක අත ඇරියෙමි.
ට්‍රේලරයේ පසුපස ඇමිණී තිබුනු ෂෙල්, බෆර්, මඩ්ගාඩ්, හෙඩ් ලෑම්ප් සපෝර්ට් පැනල්,  රෙඩියේටර්, ඒ සී කන්ඩෙන්සර් ආදී මෙකී නොකී සියල්ලෙන් කුමන හෝ කොටස් කිහිපයක් සමග වාහනය ඉදිරියට ඇදීමට පටන් ගත්තේ තවත් විසල් හඬක් හා කෙඳිරිල්ලක් නගාගෙනය. ඊළඟ මොහොතේ ඒ කොටස අතහැරුනු බවක් දැනුනි. 
මා කිසිදාක ට්‍රක් රිය නොපැදවූ වේගයකින් කිලෝ මීටරයක් පමණ ගමන් කොට; යොදා ගත හැකි සියළු අතු පාරවල් අතුරු මාර්ග `පාළු සොහොන් පිටි, රබර් වතු, බඩ වැටි අස්සෙන් මුස්සෙන් දමා ගෙන "මගෙ රත්තරන් හෙළේනා කැන්දන් ආ ලෙසින්" නිවස කිට්ටුවට පැමිණියේය. එතැන් සිට කිසිදු වෙනසකින් තොරව ට්‍රේලරය වත්තේ ඉමක සඟවා තබා වාහනය අදාල තැන පාර්ක් කලෙමි.

"මොකද?" බිරිඳ විපිළිසර විය!

"මුකුත් නෑ . . . . ! කාලෙකින් මගේ මස්සිනා හම්බුනා පාරෙදි!" මම ඇඟට නොගෙන කීවෙමි!

"කවුද තිලක් අයියාද? අක්කා හිටියේ නැද්ද? ඉතිං එක්කං එන්න එපායැ!? දැං එනවා කිව්වාද?"

"එයිද කියලා නං හිතන්න බෑ! කෝකටත් කියලා ඒකයි මම ට්‍රේලරේ පේන්නැති තැනක ගැලෙව්වේ!"

"මොකක්!?

Saturday, November 11, 2023

267. ඔයිල් නැතිව ධාවනයේ (ශනිදා දහයට VI)

 

මේකත් රස වෑහෙන කොම්පැනි කථාවක්මයි!
මේක උනු අවුරුද්ද පුළුවන් උනොත් මා හොයලා යටින් ලියන්නම්.

මම යුනයිටඩ් මෝටර්ස් එකට ගිහින් පොඩි කාලයයි. රජයේ නිළධාරීන් හට දෙන වාහන බලපත්‍රයට දෙන්න අපි ගෙනාවා Mitsubishi Lancer එකයි Montero Sport SUV එකයි!
මේ මොන්ටෙරෝ ස්පොර්ට්ස් එක කෙලින්ම ආවේ ජපානයෙන්. ඒකට තිබුනේ 4D56 ටර්බෝ ඩීසල් එන්ජිමක්. මැනුවල් ගියර් පෙට්ටියක්.
මේ වාහනේ පෙට්‍රල් වර්ශන් එකකුත් ආවා.
ඒකට තිබුනේ සිලින්ඩර 6 ක එන්ජිමක්. හැබැයි ඒක ආවේ පර්මිට් එකට දෙන්න නෙවෙයි. පෙට්‍රල් වර්ශන් වෙනත් රටවලට ගියේ මිට්සුබිෂි චැලෙන්ජර් කියලා.

සාමාන්‍යයෙන් මිට්සුබිෂි වාහනවල පලමු සේවාව සිදුකරණ්නේ කිලෝමීටර 1000න්. එතැනදී එන්ජිමේ තෙලුයි ෆිල්ටරෙයි මාරු කරණවා. ආයෙත් එන්නේ 5000න්. එතැනදී මාරු කරණ්නේ තෙල් විතරයි. ආයෙත් 10,000න්. එතැනදී ආයෙත් තෙල් සමග ෆිල්ටරේ දෙකම මාරු කරණවා. මේ සර්විස් තුනට කිව්වේ Free services කියලා. ඒ සර්විස් වලදී ශ්‍රමයට අයකිරීමක් කලේ නෑ. අය කලේ තෙල් වලට හා ෆිල්ටර් ග්‍රීස් යනාදියට විතරයි. මේ සර්විස් තුන ආයතනයෙන් කර ගැනීම අනිවාර්ය අංගයක් උනා. වහනයේ පැවැත්ම පිළිබඳව දී ඇති සහතිකය පොරොන්දුව හෙවත් Warrantyය රඳා පවතින්නේ මේ සර්විස් තුනම ආයතනයෙන් සිදුකර ඇත්නම් පමණයි.

ඔය කියන කාලේ මිට්සුබිෂි වාහන බොහෝ සෙයින් බලපත්‍ර සඳහා අලෙවි උනාද කියනවා නම් අපට; එම වාහන සඳහා සේවවන් නියමිත දිනට කර ගෙන යන්නට නොහැකි තත්වයක් පැන නැග්ගා.ඉතින් මේ නිසාම අවම වශයෙන් දවසට එක් පාරිභෝගික බවතෙක් හරි අපට බනින එක අනිවාර්‍ය අංගයක් උනා.
දවසක්; ඔව් එදා සෙනසුරාදා දවසක උදේ මොන්ටෙරෝ ස්පොර්ට්ස්  දෙක තුනකුත් ලාන්සර් ඇතුළු තවත් රථ වාහන කිහිපයකුත් ලිහිසන සේවාව (Lubrication Service) සඳහා යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ හයිඩ්පාර්ක් ඒ කියන්නේ ප්‍රධාන ශාඛාවේ සේවා ස්ථානයට ඇවිත් තිබුනා.

සාමාන්‍යයෙන් පාරිභෝගිකයින් විවිධාකාරයි. ගෝලාකාර ලෝකේ මිනිස්සු කොහොමත් එහෙමයිනේ? ඒ අතර "අති  පණ්ඩිත" අය එහෙන් මෙහෙන් ඉඳීම සාමාන්‍ය දෙයක්. ඔවුන්ගේ විශෙෂත්වය වන්නේ වටාපිටා ඉන්නා අනෙකුත් පාරිභෝගිකයින්ද ලං කරගෙන තෙල බෙදීම.

මම මේ කියන දවසේත් ඇඟ පුරා මොළේ තියෙන "මහත්තයෙකු" පැමිණ සිටියා. ඔහු පැමිණි වෙලාවේ ඉඳන්ම අපි සමග පොඩි ඇරියස් එකකින් ඉන්න බවක් තමයි පෙනුනේ. මෙම උන්නැහැ සේවාවට ආ සැනින් "ඔයාලගෙ තෙල් දාන්න එපා! මම මගේ වාහන වලට මම දාන්නේ "කැස්ට්‍රොල්" විතරයි! මම ගෙනල්ලා තියෙන්නේ පහේ කෑන් දෙකක්!" යැයි කියාගෙන කියාගෙන ගියා!

සාමාන්‍යයෙන් පරණ වාහන සඳහා නිෂ්පාදකයා මේ මේ වර්ග වල තෙල් පාවිච්චි කරණ්න කියලා කිව්වත් දැන් කියන්නේ;
තෙල් වල  දුස්‍රාවිතා අංක (SAE 10W, SAE20W, SAE40, SAE50) යනාදී වශයෙන්, 
API සේවා වර්ගීකරණය API Service Category (SA, SB,  . . . SG / CA, CB, . . . . CF)  වැනි කාරණාය.
(මෙහි SAE යනු Society of  Automotive Engineers     වන අතර API - American Petroleum Institute යනු වේ. මේ දේවල් පිළිබඳව අපි ඉස්සරහට කථා කරමු!දැන් නොතේරුණත් තේරුණා වගේ ඉන්නයි තියෙන්නේ!)
එසේ නැතිව කෑල්ලෙන් කෑල්ල ගියත් අසවල් තෙල් වලින් පිට එකක් දාන්න එපෝ!" කියලා කියන්නේ  නෑ!
Esso, BP, Castrol, Shell, Mobil, Valvoline වැනි තෙල් වර්ග ගනනාවක් ඇති අතර මේ සෑම වර්ගයක් අතරම; වාහනයේ නිෂ්පාදිතයා විසින් නිර්දේෂිත දුස්‍රාවිතාවය හා සේවා වර්ගීකරණයට ගැලපෙන තෙල් නිපදවා තියෙනවා. බොහෝ විශෙෂිත වාහන සඳහා  තෙල් වර්ගයද නිර්දෙශ කොට තිබෙනවා. ඒක හරි දුලභ දෙයක්.
එසේම බොහෝ විට ඒවායේ තත්වය අතර මහා වෙනස් කමක් නෑ! ඒවන් මහා වෙනස් කමක් සහිතව තෙල් නිපදවූවහොත් ජාත්‍යන්තර වෙළෙඳපොල තුල පැවැත්මක්ද නෑ!
මා දන්නා තරමින් කිසිදු වාහන නිශ්පාදකයෙකු සතු තෙල් නිපදවීමේ යන්ත්‍රාගාරක් දන්න තැනක නෑ!
එහෙත් මෙරට වාහන බොහෝ නියෝජිතයින් කුමක් හෝ තෙල් වර්ගයක් ගෙන්වයි.
උදාහරණයක් ලෙස Nissan ගෙන්වන AMW ආයතනය BP ගෙන්වා බෙදා හරියි.
යුනයිටඩ් මොටර්ස් මිට්සුබිෂි ඇතුළු වාහන කිහිපයක්ම මෙරටට ගෙන්වන නියෝජිතයින් වන අතර ඔවුන් ගෙන්වන්නේ Valvoline.
Toyota; ටොයෝටා තෙල් ගෙන්වූවත් ටොයොටාලාට තෙල් ලිං හෝ යන්ත්‍රාගාර නෑ. මොබිල් හෝ වෙනත් තෙල් වර්ගයක් ටොයෝටා නමින් ඔවුන් බ්‍රෑන්ඩ් කර විකුණන එකයි කරණ්නේ.
මිට්සුබිෂි වාහනයක් මුල සිට යුනයිටඩ් මෝටර්ස්  වෙත ගෙන ආ අයෙකු පසු කලෙකදී; මිට්සුබිෂි සඳහා නියමිත තෙල් වර්ගය වැල්වලීන් කියා සිතිය හැක. එසේ කලක් වැල්වොලීන් වලට පුරුදු වූ අයෙකු වැල්වොලීන් හොඳම තෙල් වර්ගය සේ නම් කර‍යි!

මේකට වඩාත් කිට්ටුම ගැලපෙන කථාවක් වරක් ළමා රෝග විශේෂඥ මහාචාර්‍ය හරේන්ද්‍ර සිල්වා මහතා රූපවාහිනී වැඩ සටහනකදී පැවසුවා. එදින එම වැඩසටහන ප්‍රචාරය වෙන වෙලාවේ කොයි ලෝකෙද මන්දා හිටපු අම්මා කෙනෙක් මේ දොස්තර මඬුල්ලෙන් අහපි "ඩොක්ටර් ඔය ඇන්කර් බිව්වාම සෙම වැඩියි නෙස්ප්‍රේ ලක්ස්ප්‍රේ බිව්වාම සෙම වැඩියි වගේ ඒවා වෙන්නේ කොහොමද කියලා?"
එතකොට මහාචාර්‍ය හරේන්ද්‍ර කිව්වේ "ඔය කොයි ගොං කිරත් ගන්නේ අං දෙකක් තියෙන කුර  හතරක් තියෙන වලිගයක් තියෙන හරකෙක්ගෙන් නම් ඒ දෙක වෙනස් වෙන්නේ කොහොමද?" කියාය!

මේ ලෝකේ තියෙන බොහෝ එන්ජින් ලිහිසන තෙල් සඳහා මූලික තෙල්  Base oil  සැපයෙනේ සමාගම් කිහිපයකින්.
"සීයට සීයක්ම සියළු එන්ජින් තෙල් වර්ග සමානය!" කියන එක නම් නොවේ මේ කියන්නේ. 

කතාව ටිකක් එහේ මෙහේ උනානේ!
ඉතින් මේ මනුස්සයා / පාරිභෝගිකයා නැතහොත්  "මහත්තයා" එයා ගෙනාපු තෙල් ලීටර පහේ කෑන් දෙකත් අපිට උජාරුවෙන් පෙන්නලා; ඒ දෙක පැසෙන්ජර් පැත්තේ (ඉදිරිපස වම් පැත්තේ) බිමින් තියලා වාහනේ අපට භාර දුන්නා.
වාහනේ මට යතුර දුන්නේ වාහනේ ළඟදි! ඒකත් පොඩි පඬිවදනක් එක්ක!
"ඔයාලා මේකට දාලා නෑ! ඒත් මම හයි කරලා තියෙනවා ටර්බෝ ටයිමර් එකක්! ඩිලේ ෂට් ඩවුන් එකට!"

ටර්බෝ ටයිමරයක් යනු විශෙෂයෙන් වාහනයේ එන්ජිමට පිටතින් සවිකරණ කුඩා ඉලෙක්ට්‍රොනික් මෙවලමක්. මෙයින් කරණ්නේ දීර්ඝ ධාවනයකින් පසු එන්ජිම එකවර නවතා දැමීම වෙනුවන අකම් දිවුමේ Idle speed විනාඩි දෙකක් (වෙනස් විය හැක) පමණ කාලයක් පවත්වාගෙන ගොස් ස්ව්‍යංක්‍රීයව නවතා දැමීමයි. එහෙත් අප භාවිතාවේ ගනු ලබන සාමාන්‍ය පාවිච්චි කරණ වාහනවලට මේවා එන්නේ නැත!
එහෙත් මෙරට පවතින කුඩා ව්‍යාපාර කඩ මගින් මෙය වාහන හිමි කරුවන්ට හඳුන්වා දේ!
(හරියට වැලන්ටයින් මුදලාලිලා; වෙසක් කාලෙට වෙසක් මුදලාලිලා කරණවා වගේ!) මේ මුදලාලිලාගෙන්; "ඉතිං ඔය අටමගලෙ අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕන මගුලක් නම් ඇයි වාහනේට කොම්පැනියෙම්ම හයි කරලා එන්නැත්තේ?" යැයි පෙරළා විමසූ විට ඊට ඔවුන් සතුව වඩාත් තක්කඩි වූත් තර්කාණුකූලවූත් පිළිතුරක් ඇත!
මේකනේ සර්! වාහනයක් ගත්තු කෙනා ඒක වැඩි කාලයක් පාවිච්චි කරණවට ඒ කොම්පැනි කැමතිද? නෑ නේ!? එයාලට ඕන වාහන ඉක්මනට කැඩෙන්න හදන්න! එතකොටයි එයාලගෙ බිස්නස් වැඩිවෙන්නේ!? අනික එතකොට එයාලගේ ස්පෙයා පාර්ට්ස් ටිකත් විකුණන්න පුළුවන්නේ!? අනික සර් මේවා හදන්නෙත් පිට රට ලොකුම කම්පැනීස් වලින්නේ! එයාලත් පරීක්ෂණ කරලනේ මේවා කරණ්නේ! නැතුව අපි හදන එකක් නෙවෙයිනේ?" කාල වරෙංකො.

මම කියාපු විදියේ ටර්බෝ ටයිමරයක් සවිකරගත් මොන්ටෙරෝ ස්පොර්ට්ස් රථය රැගෙන ආ මේ මහත්තයාට තවත්  ලොකු වැඩක් පැවරිලා තිබුනා ගෙදරින්ම පැවරුනු!
ඒක තමයි එතන හිටපු; සර්විස්සෙකට වාහන ගෙනාපු මහත්තුරු ටික අල්ලගෙන තෙල බෙදන එක! ඒ තෙල බෙදුවෙත් නිකංම නෙවෙයි! 
පොතේ ගුරු හෙවත් පූරක වගේ; එයාගේ මොන්ටෙරෝ ස්පෝර්ට්ස් වාහනේ Owner's Manual පොතත් දිග ඇරගෙන ඒක පෙන්න පෙන්න.
ඒ වෙන කොට පලමුව හා පොරොත්තු ලේඛණයට අනුව ආපු වාහන හතරක් හොයිස්ට් වලට දාලා උස්සලා තෙල් ඇරලයි තිබුනේ!
අර කලින් කියපු පාරිභෝගික භවතාගේ ප්‍රචාරණය, දිරි ගැන්වීම හා උසිගැන්වීම කෙතරම් ඉහළ මට්ටමක පැවතුනාදැයි කිවහිත් හොයිස්ට් වල තිබුනු වාහන අයිති මහත්වරුත් ඇවිත් "ඔයාලාගේ තෙල් දාන්න එපා! අපි කැස්ට්‍රොල් අරං එන්නං!" කියලා සර්විස් එකෙන් පිටත් උනා.
පස්සෙදි හිතුනා එහෙම වුනු එකත් හොඳා කියලා! කැස්ට්‍රෝල් තෙල් තිබ්බේ මුත්තයියා පාර පටන් ගන්න තැන තියෙන අශෝකගේ මෝටර්කේඩ් කඩේ!
ඒක අරින කොට තව පැය භාගයක්වත් යයි! මොන කරුමයක්ද මේ!?
කියන්න ඕන නෑනේ මට ඉතිං මල් යායයි!
හොයිස්ට් වල වැඩ කරණ එවුං මගේ ලඟට ඇවිත් එක ආරෝව!
"අර අර යකා තමයි ඔක්කොම කරණ්නේ!" කට්ටිය මට කියනවා.
මුළු සර්විස් එකම නැවතිලා!
මේ වෙන කොට ඒ පණ්ඩිත මහත්තයාගේ වාහනේ විතරයි වැඩේ යන්නේ! ඇයි එයා තෙල් ගෙනල්ලනේ!?
එයාගේ වාහනේ සර්විස් එක කලේ අපේ බොහොම ආදරණීය සේවක මිත්‍රයෙක් වන "කලූ" හෙවත් ධනුෂ්ක.
කැළණි පාලම යට වත්තක පේලි ගේකින් ආවත් හරි කීකරු කොල්ලෙක්! ඒ වගේම අන්තිම විශ්වාසවන්ත එකෙක්.  අවංක විශ්වාසනීය ආදරණීය සේවකයෙක් මට හිටපු. (අදටත් හිටපු ගමන් කෝල් කරණවා ඌ!)
ඌ වගේම තවත් එකෙක් වැඩකලා වනාතෙ එකෙක් ෆ්‍රෙඩී කියලා!
උං අපිට හෙන භක්තිය!
මම කිව්වොත් ඕන දෙයක්!.
හැබැයි ඒ බයට නෙවේ - බොක්කට!

ඉතිං කලූ වැඩේ පටන්ගන්න කොටම අර පඬිතුමා එතැනට ගියා!
"හා! හා!!  එහෙම නෙවෙයි!, ඔහොමද කරණ්නේ? මොනවද මේ ටූල්ස්? කවුරුවත් මේවා බලන්නේ නැත්ද?" මේ වගේ විකාර ලෝකයක්!

කලූ මට ඇවිත් කිව්වා "අර මහත්තයාව කස්ටමර් කාමරෙන් වාඩිකරලා තියන්නකො! එයා වැඩේ කරණ්න දෙන්නේ නෑනේ!?" කියලා.
"ශෙප් එකේ ඌ කියන දෙයක් කරලා ඔය වාහනේ ඉවර කරලා දාපං බං මොනවා කරණ්නද?" මම කලූට උත්තර දුන්නා.
මම යුනයිටඩ් මෝටර්ස් ගිය කාලයේ සේවය කලේ මම පුහුණු උනේ විජිත මහත්තයා යටතේ! විජිත කියන්නේ නොම්මර එකේම වැඩ්ඩෙක් ලොක්කන්ට ගොටු අල්ලන්නට නොගිය! ඒ නිසාම ඔහුට නිසි අගැයීමක් ලැබුනේ නෑ. මගේ බුදු ෆිට් එක! අපි දෙන්නා බොහෝම කාලයක් කිසි අවුලක් ආභාධයක් අතුරු ආන්තරාවක් නැතිව එකට වැඩකලා!
එයාගේ තිබුනා හරි අපූරු න්‍යායක්!
ඒක තමයි "කරදර කාරයාව ඉස්සෙල්ලාම යවන්න ඕන !" කියන එක.
එයාගේ භාෂාවෙන් කියනවා නං "කරදර කාරයෝ තියාගත්තාම අපිට කරදරයි! ඒ හින්දා එයාගේ වැඩේ ඉක්මනට ඉවර කරලා එලියට දැම්මාම අපිට කරදරයක් නැතිව වැඩටික කරගන්න පුළුවන් නිවිහැනහිල්ලේ!"
අපි හුඟක් අය කරන්නේ ඕකේ අනිත් පැත්ත!
අපිත් බලනවා ගේමට ගේම දෙන්න!
පලිගන්න!
එකට එක කරණ්න!
ඉතින් මමත් බැලුවේ මේ "යකාව" ඉක්මණට එළියට දාගන්නේ කොහොමද කියලා. 
අපේ සර්විස් එක වැඩකලේ අංශ තුනක් විදියට.
පලමුව වාහනයේ තෙල් වතුර මාරු කරලා ග්‍රීස් ගහලා ටයර් මාරු කරලා දානවා  යට හෝදන්න! අන්තිමට බොඩිය හෝදලා පිසදා අවසන් කරනවා!
සාමන්‍යයෙන් වාහනයක සර්විස් එක ඒකියන්නේ එන්ජින් එකේ සහ අනෙකුත් උපාංගවල තෙල් මාරුකරලා ග්‍රීස් කාරිය ගහලා එලියට දාන්න යන වෙලාව පැය භාගයක් විනාඩි 45ක් යනවා. 
දැං මේ වාහනේ පැය එක හමාරකටත් වඩා වැඩියි. වාහනේ යට ඉඳන් පෙරකී පාරිභෝගික භවතා කලූට "අරක කරපං! මේක කරපං!! ඔහොම නෙවේ මෙහෙම!!!" කිය කියා වාහනේ යට! නිකං නෙවේ අර පොතත් දිග ඇරගෙන!
තවත් ටික වේලාවකින් "කලූ" ඇවිත් වීදුරුවෙ එහා පැත්තෙන් ඇවිත් අතින් කිව්වා වැඩේ ඉවරයි කියලා. මමත් එළියට ගිහිං වාහනේට නැග්ගා. 
තැඹිළි පාට කැස්ට්‍රෝල් හිස් කෑන් දෙක මුලින් තිබුනු තැනම දිළිහි දිළිහි තිබුනා! නැගලා වාහනේ ස්ටාර්ට් කලා. ඩීසල් ටර්බෝ චාර්ජ් එන්ජිම රුං ගාලා වැඩ. හොයිස්ට් එකෙන් රිවර්ස් කරලා වාහනේ අරං අන්ඩර් වොෂ් බේ එකට දාන්න ඉස්සරහට ගත්තා.
අපේ යට හෝදන තැන Under Carriage Washing Bay සහ සර්විස් කරණ තැන තිබුනේ එකිනෙකට ලම්භකව. ඒ නිසාම සර්විස් එකේ තියෙන වාහනයක් යට හෝදන තැනට දාන්න රිවර්ස් කරන්න වෙනවා. ඒ කරලා තමයි ආපහු ඉදිරියට ධාවනය කරලා යට හෝදන තැනට එකට දාන්නේ.
ඉතින් මේ වාහනේ මම රිවර්ස් එකට අරං නවත්වනවා එක්කම අර කැස්ට්‍රෝල් කෑන් දෙකෙන් එකක් පෙරළුනා. 
අවුලක් නෑ මම ඒක වාහනය පදවන ගමන්ම කෙලින් කරලා ඉද්‍රිපස ආසනයට කිට්ටු කරලා තිබ්බා ආයෙමත් පෙරලෙන්නේ නැතිව.
ඒක නොපෙරලෙන්න හදන කොටම මට තේරුණා ඒ තෙල් භාජනේ නැතිනම් ඔයිල් කෑන් එක ඇතුලෙ තෙල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියලා!
"හරි මේ වාහනේ එන්ජිමට අල්ලන්නේ ලීයර 7ක් විතරනේ. මෙ ඉතුරු ටික වෙන්න ඇති" මගේ හිත මට කිව්වා!
මම වාහනේ ඉදිරියට අරං යට හෝදන තැනට දාලා නවත්වන කොටම අනිත් කෑන් එකත් පෙරළුනා!
මම ඒ ගමන ඒකත් කෙලින් කලා!
හුටා! එකෙත් ඔයිල්!
"මෙහෙම වෙන්නේ කොහොමද අනිවාර්‍යයෙන්ම එක කෑන් එකක් හිස් වෙන්නම ඕන!" මගේ හිත මට කිව්වා!
වෙන්න පුළුවන් දේවල් දෙකයි!
එක්කෝ මේ මගුලට දාලා තියෙන්නේ මේ මනුස්සයා ගෙනාපු කැස්ට්‍රෝල් වෙනුවට අපේ වැල්වොලීන්!

එහෙම නැත්නම් මේ වාහනේට තෙල් දාලාම නෑ!

උදේ පාන්දරම මට දාඩිය දාන්නට ගත්තා දොළහට වගේ! කොන්ද අග්ගිස්සෙන් පටන් ගත්තු හිරි වැටීම නැවතුනේ හිස් මුදුනින්!
වහාම මම එන්ජිම නිවා දමන්නට ඉග්නීශන් යතුර ආපසු කර කැව්ව්!
අනේ අපරාදෙ කියන්න බෑ එන්ජිම සුපිරියටම "මට නෙවෙයි වගේ" දුවනවා! ඇයි අර පඬිතුමා මදි පාඩුවට මේ මගුලට ටර්බෝ ටයිමරයකුත් හයි කරලානේ!
මම ඒක්ෂණයෙන් ගියර් එක පහට දාලා බ්‍රේක් එක පාග ගෙනම ක්ල්ච් එක අත ඇරියා.
වාහනේ කීකරු කමට නැවතුනා!
මම වාහනෙන් බැස්ස ගමන් ගියා කලූ ගාවට!
"තෝ මොන තෙල්ද අර XXXට දැම්මේ?
"අම්මට හුඩු ඔයිල් දාන්න බැරි උනානේ! අර යකා ඇවිත් මගේ ඔළුව කාලා මට ඔයිල් දාන්න බැරි උනානේ ලොක්කා!"
කලූ සුදුමැළි වෙලා උත්තර දුන්නා. 
"මගුලයි! උඹ කට වහගෙන උඹේ වැඩක් කරහං කෝ!"
ඒ කාලේ අපේ සර්විස් එකේ හෙඩ් බාස් වගේ හිටියේ මෛත්‍රී කියලා වයසක පහේ කෙනෙක්.
මිනිහා සූරයා!
එතකොට අපේ ඔයිල් ඉස්ටෝරුවේ තෙල් පෙරේරාත් එතන.
"මෛත්‍රී මගුලයි! කලූට අර මොන්ටෙරෝ ස්පොර්ට් එකට ඔයිල් දාන්න අමතක වෙලා!" මම මෛත්‍රීට වැඩේ කිව්වා!
"කෝ දැන් තෙල් ටික?" මෛත්‍රී ඇහුවේ නළල රැලි කරගෙනම.
"වාහනේ ඉස්සරහ වම් පැත්තේ!"
"හරි ඔයා කොහොම හරි ඔය යකාව විනාඩි පහකට ඔතනින් එහාට යවන්න; මම මොනවා හරි කරණ්නම්!" මෛත්‍රී සහතිකයක් දුන්නා.
මෛත්‍රී  අඩියට දෙකට වාහනය ළඟට ගියා.
එතන ඉන්නේ සිවා.
මෛත්‍රී සිවාට මොකක්දෝ කණට කරලා කිව්වා!
සිවා එයාගේ ලතාවට යන ගමනෙන් පැද්දි පැද්දී වැසිකිළිය පැත්තට ගියා!
දැන් මගේ අතෙයි වැඩේ තියෙන්නේ!
මම තත්පර දහයට බිල වැහුවා.
"සර්! මේක ගෙවලා එනවද?"
"මම වැඩේ ඉවර උනාම ගෙවන්නම්!" මේ මනුස්සයා කියපි!
"සර් කැෂියර් යනවා කිව්වා පොඩ්ඩක් උඩ ෆයිනෑන්ස් එකේ සේෆ් එක අරින්න! පොඩ්ඩක් වෙලා යයි එන කොට; මට කෝල් කරලා කිව්වා ඔයිල්, ඔයිල් ෆිල්ටර් අරණ් තියෙන වාහන වල බිල් වහලා ඉක්මනට එවන්න කියලා!"
පාරිභෝගිකයාට වාහනයෙන් කැමැත්තෙන් උවද ඈත්වන්නට ඈත් වෙන්න උනා. 
හයිඩ් පාර්ක් සර්විස් එකට වෙනම මුදල් අයකැමි කෙනෙක් අදටත් නෑ මම හිතන්නේ. එයා ඉන්නේ අමතර කොටස් අංශයේ පසුපස.
එතැනට සර්විස් එකේ ඉඳලා යන්න තිබුනේ පටු කොරිඩෝවකින් ගිහින් දෙපාරක් හැරිලා.
ඒක්ෂණයෙන් කැශියර් එකේ හිටපු මහින්ද මල්ලිට මම කෝල් එකක් ගත්තා!
"යකෝ ඔය එන සුදු පාට ටීෂර්ට් කාරයාව විනාඩි පහක් පරක්කු කරලා ඒවපං! මම ඌට කියලා තියෙන්නේ තව ටිකකින් උඹ ඔතනින් යනවා කියලා!"

විනාඩි හතක් අටක් ගත වෙන විට මහතා ප්‍රානීභූත වෙන කොට මෛත්‍රී මෙහෙයුම අවසන් කර තිබුනි!
තවත් පැය භාගයක් පමණ යන විට වාහනයේ සියළු වැඩ අවසන් උනා!
අපි දිහා බලන්නෙවත් නැතුව වාහනය අරන් යන්නට  මහත්තයා ගියා. ආපහු වාහනෙන් බැස්ස ඔහු කලූ ළඟට ගියා!
මොහොතකින් යන්නම ගියා!
මම කලූ ළඟට ගියේ විදුලි වේගෙන්!
මොකෝ උනේ?
"මොනව වෙන්නද මේ යකාගේ බර බරේට මට කරන වැඩ ටික කවලං උනා! ඇයි පිළිවෙලකට කරණ්න දුන්නේ නැහැනේ!"
"ඉතිං?"
"ඉතිං මුකුත් නෑ! 'තමුසෙ විතරයි මෙතන හරියට වැඩක් කරණ එකෙක් ඉන්නේ!' කියලා මට ඔය රුපියල් විස්සකුත් දීල ගියේ!" කලූ හිනා වෙවී කිව්වා!  

Saturday, November 4, 2023

266. එම්බ්‍රොයිඩර් වැළඳීම . .! (ශනිදා දහයට V)

මේ ඒ යුවතියන් නම් නොවේ!

මේ කථාව උනේ  1991-1993 කාල වකවානුව අතර.
ඒ කියන්නේ මීට අවුරුදු 30කට කලින්!
මම කාලයක් වැඩ කලා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කම්හලක. 
ඒකේ අයිතිය යුදෙව් පවුලක. ඒ නිසාමද මන්දා සෑම සියළු දේම කලේ කෙරුනේ ඉතාමත් පරීක්ෂාකාරීව, පිළිවෙලකට හා ක්‍රමාණුකූලව!
මෙරට තුල "කාර්‍ය අධ්‍යනය" Work Study  භාවිතා කිරීමේ පුරෝගාමීන් ලෙස අදටත් සැලකෙන්නේ මේ ආයතනයයි.
ඔය කියන කාලේ ඒ අයතනයේ කාර්‍ය අධ්‍යන දෙපාර්තමේන්තුවක් (Industrial Engineering Department) එහෙම තිබුනා.
ඊට අමතරව සෑම අංශයක්ම උපරිම විඝනනයකට භාජනය කලා.
තවත් විදියකින් කියනවා නම්; කැපුම් අංශයෙන් කැපෙන සියළුම ඇඟළුම් ඇසුරුම් අංශය හරහා නැව්ගත් වීම අනිවාර්‍ය නියමයක් විය!
මීට ප්‍රධාන හේතුව උනේ එහි නිමැවූයේ අධික වටිනාකමකින් යුතු ඇඟළුම් වීම. ඔබ විශ්වාස කරණ්න එක් වරක් එක් නිශ්පාදන පේළියක නිපැදවූ ගවුමකට නිශ්පාදන අංශයේදී ඇමුනූ මිල පත (Price Tag) හා එවකට එක් සේවිකාවකගේ වැටුප සැසැඳූවිට; එම නිශ්පාදන පේලියේ සිටි සේවිකාවන් 26 දෙනාගේම මාසික වැටුප මෙන් තුන් ගුණයකටත් වඩා එම ඇඟළුම මිල බව සොයා ගැනීමට අපට හැකිවිය!
මැහුම් අංශයේදී එක් ඇඟළුමක එක් කොටසක්; අපි ලේසියට හිතමු සාක්කුවක් (Pocket) හානි උනොත් ඒකට අමතර සාක්කුවක් කපා ගැනීමට ෆැක්ටරියේ CEO  මහතාව හමුවන්නටත් වෙනවා. 
එතැනට යන්නට කලින් තත්ව පරීක්ෂක, වැඩ සුපරීක්ෂක, අංශ කළමණාකරු, නිශ්පාදන කළමණාකරු යන අයගෙන් අත්සන්, අනුමත කිරීම් කරණ්නට අවශ්‍ය උනා.
මෙම ආයතනයේ නිමැවුනේ ඉතා මිළ අධික ඇඟළුම්.
බොහොමයක් මැහුනේ ඉතාම අඩු ප්‍රමාණ!
ඇඟළුම්1000 ක ඇනවුමක් කියන්නේ හිතාගන්නවත් බැරි එකක්. බොහෝ විට ඒවා 500න් පහල ඒවා උනා! නිෂ්පාදන පේලි (Production Lines)  40කට ආසන්න ප්‍රමානයක් එහි තිබුනා. මා සේවය කර ඇති උපරිම රැකියා පීඩනය (Work Pressure) ඇති ස්ථානය කුමක්දැයි ඇසුවොත් ඒ එම කම්හල!
ආයතනය තුල කාර්‍යක්ෂමතාවය 90% කින් පවත්වාගෙන යන්නට හැම මොහොතකම පාලනාධිකාරිය  සැදී පැහැදී සිටියා!
මේ ආයතනයේ නිසි බලධරයා කියන්නෙත් මාරයෙක්!
ඒ යකාත් මිනිස්සුන්ට බනින්න දන්නේ නැති එකෙක්. සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවම් කරලා ඒ යකාගෙන් බැනුම් අහන්න සෙට් වෙනවා කියන්නෙ කකුල් පණ නැති වෙන සීන් එකක්.

දැන් අපේ කථාවට යමු!
ඔන්න එක කාලයක අපිට ආවා එම්බ්‍රොයිඩර් මල් වැලක් ඇති බලවුස් එකක් මහන්න. මහන්න ආව රෙද්දයි මලයි දෙකම ලා තැඹිළි පාටයි වගේ.  ඒ පාටට නිවැරදිව කිව්වේ පීච් කියලයි.ඒ රෙද්ද තරමක් බර ඒත් ඉතා සිනිදු එකක්. බ්ලවුස් එක ඇත්තටම කමිසයක්; පලු දෙකක.
මේ බලවුස් එකේ ඉදිරිපස ඉහල කෙලවරේ මෙම එම්බ්‍රොයිඩර් මල පිහිටා තිබුනා.
මෙන්න මේ වගේ!
මේ විදියට නෙවේ කොයි විදියටත් ඇඳුමක් මහන්න කලින් රෙද්දෙන් මේ හැඩයට කොටස් කපා ගන්නට ඕනෑනේ. මේවා ඒකියන්නේ මේ හැඩතල ඇඳලා ඒ ගානට කපලා තිබුනේ කාඩ්බොඩ් වල. මේවාට කිව්වේ පැටර්න් බෝර්ඩ්ස් Pattern Bords කියලා! අපේ ගෙවල් වල හැට්ට පතුරං කියන්නෙත් මේවාටම තමයි. කොටිංම පතුරං.

ඉතින් ඇඳුමක තියෙන ප්‍රින්ට් එකක් ඒ කියනේ කිසියම් මෝස්තරයක් හරි එම්බ්‍රොයිඩරයක් හරි නියමිත ස්ථානයකට ගන්න ඕන උනාම කරණ්න පුළුවන් සාර්ථකම ක්‍රමය වන්නේ තරමක් විශාල රෙද්දක සලකුණු කල ස්ථානයක එම්බ්‍රොයිඩර් මල මහලා. ඉන්පසුව එම මල උඩින් පෙනනාකාරයට කොටසක් ඉවත් කල ස්ලෝපරයක් (Slopper) තබා වටේ ලඛුණු කොට කපා ගැනීමයි.
මේ කියන දේ හරියටම තේරෙන්න මම පොඩි පහේ ක්‍රියා කාරකමක් කලා. මොකද ගූගල් දෙයියන්ගේ අසපුවේ පැය ගානක් කරක් ගැහුවත් මේ සරල ක්‍රියාව හොයා ගන්න බැරි උන නිසා.
එම්බ්‍රොයිඩර් කල රෙදි කොටස
අවශ්‍ය කොටසට වඩා තරමක් විශාලව පිහිටන සේ කපා ගන්නා ලද රෙදි කැබැල්ලේ අනුමාන වශයෙන් සළකුණු කරණා ලද තැන එම්බ්‍රොයිඩර් කර ගනු ලැබේ.
එම්බ්‍රොයිඩර් කල රෙදි කොටස මත තැබූ ස්ලෝපරය
ඒ මත අතබන ලද ස්ලෝපරය අනුසාරයෙන් රෙදි කැබැල්ලේ නියමිත හැඩය 100% ක නිවැරදිව සළකුණු කර ගනී.
 ස්ලෝපරයට අනුව රෙදි කොටස මත සලකුණු කල පසු

 සලකුණු කල රේඛාව මත කපා ගත් රෙදි කොටස.
සළකුණ දිගේ කපා ගැනීමෙන් (Trimming) අවශ්‍ය කොටස නියමාකාරයෙන් ලැබෙනා අතර නිමවූ ඇඟළුම 100% සාර්ථක නිමාවක් සහිතව ලබා ගත හැක.
මේ කියන ඇනවුම තරමක විශාල එකක්. ඒ වගේම ඔය වැඩේ එම්බ්‍රොයිඩර් කිරීමෙන් පසුව බොහොම පරක්කු වෙලා ඇවිත් තිබුනේ. එම්බ්‍රොයිඩර කලේ අපේ කර්මාන්ත ශාලාවෙන් පිටත වෙනත් ආයතනයක වන අතර අපගේ තත්ව පාලකයින් එම ආයතනට ගොස් සියළුම ඇඟළුම් සීයට සීයේ තත්ව පරීක්ෂාවකට ලක් කිරීම නිසාම මේ වැඩේ සෑහෙන්න ඇදුනා! (ඇඟළුම් ක්ෂේත්‍රයේ තත්ව පරීක්ෂා වර්ග දෙකක් ගැන කතා කෙරේ. ඉන් පලමු වැන්න සියළුම ඇඟළුම් වල සියළුම කොටස් පරීක්ෂාවයි  100% Inspection. දෙවන්න අහඹු පරීක්ෂාවයි Random inspection.)
ආයෝජන ප්‍රවර්ධන කලාපය එහෙම නැත්නම් පොදු ව්‍යවහාරේ නිදහස් වෙළෙඳ කලාපෙ කියන්නේ වෙනමම රටක් රාජ්‍යයක් වගේ තැනක්. ඒක ඇතුලට යන්න වෙනම අවසර පත්‍රයක් අවශ්‍ය වුනා! ඒ වාගේම තීරු බදු රහිතව අපරට ඇතුලට එන අමුද්‍රව්‍ය වලින් නිපදවන භාණ්ඩ හෝ එම අමු ද්‍රව්‍ය හොර රහසේ පිටතට පැමිණේවිදැයි කියා බැලීමට දැඩි මුරකාවල් යොදා තිබුනා.
මෙම කලාපය තුල තිබුනු ආයතන වලත් තිබුනේ උස් තාප්ප.
ඒවගේම කලාපය වට කරලා තිබ්බෙත් උස් කම්බි වැටවල් හරියට අවුට්ස්විට්ස් වදකාගාරය වගේ.
මේවායේ ගේට්ටු මුර කිරීමට හිටියෙත් මනුස්ස කමක් ගෑවුනු නැති සිකුරිටි කණ්ඩායම් දෙකක්. එකක් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයෙන්. අනිත් සෙට් එක රේගුව හෙවත් කස්ටම්ස් එකෙන්!
ඉතින් එම්බ්‍රොයිඩර් කරණ්න රෙදි එළියට ගෙනියනවා සහ ගේනවා කියන්නෙත් වෙනමම මෙහෙයුමක් කිව්වොත් ඒක එකෙන්ම ඇත්ත.
ඉතින් මම කලින් කිව්වා නේ මේ ඇනවුම එකසිය ගානට පරක්කු වුනු එකක් කියලා. මෙතන වැඩිම කාලයක් ගතවුනේ අර මම කලින් කියපු විදියට ස්ලෝපරයක් තබා ට්‍රිම් කරණ කෙළියට. මොකද මෙතන අල උනොත් වැඩේ එහෙම පිටින්ම කේස් වෙනවා. මේ නිසාම රෑ එළි වෙන තුරා දවස් දෙක තුනක් කණ්ඩායම්ක් වැඩ කලා කැපුම් අංශයේ එක් කෙළවරක. 
මේ වගේ කුණු ජොබ් වලට නායක්ත්වය සැපයූවේ ඇහින්දාස්ලා!
ඒ කියන්නේ වෙන වෙන අංශවල සේවය කල යමක් කමක් කර ගන්න පුළුවන් උනු අය.
මෙහෙම කැරකිලා කැරකිලා ගිහිං මට සෙට් උනා මේ වැඩේ කරණ්න!
ඉතින් අදාල දවසේ සියල්ල ලක ලෑස්ති කරගෙන මම වැඩේට බැස්සා!
කණ්ඩායමේ හිටියා තරුණ පහේ ගෑනු ලමයි හතර පස් දෙනෙක්. ඒ අයට කතුර හොඳට හුරුයි.  මේ ඇඟළුම ප්‍රමාන පහකින් නිමැවුනා!
S, M, L, XL
ඉතින් එක් සේවිකාවක් බණ්ඩලය ගලවා එක් එක් රෙදි කැබැල්ල ඉස්තිරික්ක කොට, කොලයක් මත අතුරා ඊට උඩින් බන්ඩලයේ ගැට ගසා තිබුනු  ටැග් එක ඒ කියන්නේ රෙදි කොටසේ ප්‍රමානය සහ තවත් කරුණු කාරණා ලියන ලද කාඩ්බෝඩ් කැබැල්ල තබා අනෙක් සේවිකාව වෙත එවනවා.
එතනදී ඇය විසින් අදාල ප්‍රමානයට අයත් ස්ලෝපරය තබා ඉන්විසිබල් පෑනෙන් (ඒ කියන්නේ එම විශෙෂ තීන්ත සහිත පෑනෙන් සළකුණු කොට විනාඩි ගණනක් ඇතුලත මැකී යයි!) සළකුණු කොට අනෙක් සේවිකාව වෙතට ලබා දෙයි. ඇය විසින් තම අත රැඳි යෝධ Wiss වර්ගයේ තියුණු කතුරෙන් එය කපා සකස් කොට (ට්‍රිම් කොට) ඊළඟ සේවිකාව වෙතට පමුණුවන අතර ඇය එකින් එක නැවත පරීක්ෂා කොට බලා මැහුම් අංශයට යැවීමට බන්ඩලයක් සේ ගැට ගසයි.
මම ඔය කියන ආදරණීය රාත්‍රියේ හවස හයේ වගේ ඉඳන් වැඩේ කෙරෙන්න පටන් ගත්තා! පොඩි ප්‍රොඩක්ශන් ලයින් එකක්. ඊට පස්සේ කාර්‍ය අධ්‍යන දෙපාර්තමේන්තුවෙන් පැමිණ පොඩි කාල අධ්‍යනයක් එහෙම කරලා තව ළමයෙක් දෙන්නෙක් එහා මෙහා කරලා වැඩේ සෙට් කරළා දුන්නා!
දැන් වැඩේ යනවා එකසිය ගානට! එකසිය ගානට කියන්නේ තරමක වේගයෙන් සහ නියමිත ගලා යෑමකින්. ඉතින් රෑ අටට කෑමට නැවැත්තුවා. අපි කාලා ඔහේ වැනි වැනි 8.30 ට 8.40 ට විතර මේසේ ලඟට ඇවිත් වැඩේ පටන් ගත්තා!
තවත් පැයක් විතර මෙහෙම වැඩේ මේ විදියට ගියා කියමුකෝ.
වැඩේ මේ විදියට යද්දී එක පාර මගේ ඇස් ගියේ මේ කතුර අතේ තියෙන සේවිකාව වටේට තියෙන කැපිලා අහකට ගිය රෙදි රැලි එහෙම නැත්නං පටි වලට!
අම්මට සිරි!
ඒවායේ පළල අඟල් එකේ සිට දෙක තුන පමණ උනා!.
මේක කොහොමත්ම වෙන්න පුළුවන් දෙයක් නම් නොවේ. සාමාන්‍යයෙන් ස්ලෝපරය තැබූ පසු ඉවතට කැපී යා හැක්කේ අඟල්  භාගයේ සිට අඟල දක්වා පළලැති පටියක් පමණි. 
වැඩේ කොහෙන් හෝ අල වී ඇත!
මා එකවරම කතුරෙන් ගත් සේවිකාව කපන්නට පටන් ගෙන තිබූ කැබැල්ල කැපූ පසු නැවැත්වූයෙමි.
රෙදි බන්ඩලයේ ටැග් එක බැලූ විට එය S එකකි.
එහෙත් එම රෙදි කැබැල්ල මත XL ස්ලෝපරය පවා තැබිය හැක!
සිද්ධිය මට මොහොතකින් වැටහුනි.
XL රෙදි බන්ඩලය පැමිණ ඇත්තේ S ටැග් එකකින් ය. 
මා ආපස්සට ගොස් බණ්ඩල පලමුව දිග අරින; ඉස්තිරික්ක කරණ සේවිකාව වෙත ගොස් ඇය විවෘථ නොකල බන්ඩලයක් ගෙන බැලීය!
එය M එකකි. නමුත් ඒ තුල පැවතියේ L ඇඟළුම් කොටස්ය.
සියල්ල කලවං වී ඇත!
මේ අනුව ඇනවුමට අදාල ප්‍රමානයට ඉක්මවා S ප්‍රමාණයෙන් ඇඟළුම් කොටස් සැකසී ඇති අතර එයට අදාලව  වඩා විශාල ප්‍රමාන වලින් අඩුවිය යුතුය.
ඇඟළුම් ඇනවුම් ලැබෙන්නේ  Ratio එකකට නොහොත් අනුපාතයකටය. ඒවා බොහෝ විට කපන්නේද අසුරන්නේද එම අනුපාතය රැකෙන පරිදිය. 
උදාහරණයක් ලෙස S/1   M/3   L/2   XL/1 ලෙස විය හැක. එවිට රෙදි කපා ඇත්තේද මෙම අනුපාතයට අනුකූලවය.
S100   M300   L200   XL100 ලෙස විය යුතුය.
අපනයනය කල හැකි හා කලයුතු මුළු ඇඟළුම් ප්‍රමානය 700 කි.
අප XL 25ක් ගෙන S සඳහා සැකසුවහොත් S ප්‍රමාණය අවශ්‍යය ප්‍රමාණයට වඩා 25 කින් වැඩි වන අතර XL   ප්‍රමානය 25  කින් අඩුවී යයි.
මේ සමග අනුපාතට සකසද්දී
S75  M225  L150  XL75 ලෙස අඩුවී අපනයනය කල හැකි මුළු ඇඟළුම් ප්‍රමානය 525 දක්වා අඩුවී යයි.
මෙය ආයතනයකට මහත්වූ අලාභයක් වන අතර මේ නිසාම ඇනවුම මුළුමණින්ම අවලංගුකිරීමට මිළදී ගන්නා පෙළඹීමට පවා ඉඩ ඇත.
එම්බ්‍රොයිඩර් ආයතනයෙන් නියමිත පරිදි ඇඟළුම් කොටස නියමිත ප්‍රමානයට  සකසා බන්ඩ්ල් ටැග් යොදා නොමැත.
එම්බ්‍රොයිඩර් ආයතනයට යවා තිබුනු තත්ව පාලන කණ්ඩායම; බන්ඩලයට අමුනා ඇති ටැග් එක හා බණ්ඩලය තුල ඇති ඇඟළුම් කොටස් සමානදැයි සොයා බලා නැත!
ඒවා අපගේ අංශයට ගත් තැන තත්ව පාලිකාව විසින් ගලපා ගෙන නොමැත.
ඉස්තිරික්ක කොට ලැබෙන කොටස් මත ස්ලෝපරය තබා සලකුණු කරණා සේවිකාව හට; තමාට ලැබෙන කොටස් වඩා විශාල බව දැනෙන්නට හැඟෙන්නට උවමනාය. එහෙත් එය එසේ සිදුවී නොමැත!
අවසාන වශයෙන් කතුරෙන් ට්‍රිම් කල සේවිකාව හට; කැපෙන කොටස වෙන ඒවාට වඩා විශාල බව තේරුම් යා යුතුය.
මේ සියල්ල පසෙකින් තැබූවද මා හට මීට පෙර ග්‍රහණයට ගත හැකිවිය යුතුය.
මේ ලෙසට ගත් කල සිදුවිය හැකිව තිබූ හා එහෙත් නොසිදවුනු කරුණු කාරණා රැසකි. වැරදි කරුවන් වගකිවයුත්තන් රැසකි. මෙය සියල්ලන්ගේම තබා මා ඇතුළුව හෝ නැතිව කීප දෙනෙකුගේ රැකියාව අහිමිවී යාමට හේතු විය හැකි කාරණයකි.
මාගේ සිත ද්වන්ද සටනකය! ආයතනයට ඇත්තම පවසා දඬුවම් විඳිනවාද? මෙයින් ගැලවෙන මගක් සොයනවාද?
ඇත්ත පැවසුවා කියා කිසිදු සහනයක් ලැබෙන ආයතන  බුද්ධ සාසන කටයුතු අමත්‍යංශයේ වත් ඇත්දැයි මා හට සැක සහිතය! සිදුවන්නේ; අන් අයට පූර්වාදර්ශයක් ලෙසින් අපට නොම්මර එකේ දඬුවමක් ලබා දීමය. එකල අද මෙන් නොව වෙළඳ කලාපයේ දොරටුව ලඟ රැකියාවක් බලා පොරොත්තුව යුවතියන් හා තරුණයින්10ක් - 12ක් හැම විට රැඳී සිටි යුගයකි.
අවම වශයෙන් එම්බ්‍රොයිඩර් යන්ත්‍රාලයේ සේවය කල තත්ව පාලිකාව, මෙතැන ස්ලෝපරය තබා සලකුණු කල හා සළකුණු ඔස්සේ කැපූ සේවිකාව යන තිදෙනාගෙන් දෙදෙනෙකුගේ වත් රැකියාව අහිමි වීමක් අනිවාර්‍ය වේ.
මාහට අවවාද ලිපියක් අනිවාර්‍යයෙන්ම ලැබෙනු ඇත!
අලාභයෙන් කොටසක් හෝ වැටුපෙන් යම් ප්‍රතිශතයක් හෝ කපා දැමෙනු ඇත.
රුපියල් 1750ක වැටුපකට සේවයකල අපට පඩියෙන් ප්‍රතිශතයක් කපා දැමීමක් යනු බත් පතේ වැලි හෙලීමකි!
ඒ සියල්ල සිදු කලද ආයතනයට හෝ අපට ගොඩ යාමක්ද නැත!
ඇනවුම සම්පූර්ණයෙන් නැව්ගත් කිරීම කල නොහැක!
එසේනම් කල යුතු හොඳම දෙය වන්නේ අහිංසක සේවිකාවනුත් බේරා ගෙන "අහිංසක" මමත් බේරී ගොඩ යෑමය!
මා කලබල නොවීය. පලමුවෙන්ම ඇනවුමට අයත් ලිපිගොනුව ගෙන ප්‍රමාණ අනුපාත හා සංඛාවන් (Ratio and Quantities) සොයා ගතිමි. ඒ අතර තවමත් නොලිහූ බණ්ඩල ගෙන ඒවායේ ප්‍රමානයන් නියමිත පරිදි සකස් කොට බන්ඩල් ටැග් යෙදීම ඇරඹූවෙමි. ලිපිගොනුවට අදාල ලෙස ඇඟළුම් කොටස් සකස් කොට කුඩාම ප්‍රමානයෙන් වැඩිපුර තිබුනු ඇඟළුම් කොටස් ටික ඉවත් කර ගත්තෙමි.
එම ප්‍රමානය කොටස් 30ක් පමණය!
සියල්ලන් එකතු කරගෙන කුඩා සාකච්ඡාවක් පැවැත්විය. කරුණු පැහැදිලි කලෙමි.
ඒ වන විට එතැන සිටි සේවිකාවන් දෙතුන් දෙනෙක්ම අඬන්නට පටන් ගෙනය!
ඔවුන් ඈත පිටිසරින් පැමිණි අන්ත දුගී දැරියන් ය!
ඔවුන්ගේ එකම අරමුණ කසාද බැඳීමට කණ කර සකසා ගැනීම, නිවෙස සාදා ගැනීම, දෙමව් පියන් හට බෙහෙත් හේත් ටික අරන් දීම, නංගීට මල්ලීට; තමාගෙන් ගිලිහී ගිය අධ්‍යාපනය ලබා දීම වැනි අහිංසක බලාපොරොත්තුය!
"බැරි වෙලාවත් ඔයාලව මේ ෆැක්ටරියෙන් අයිං කලොත්; ඒක අනිත් ෆැක්ටරි වලටත් දන්වලා ඔයාලට ජීවිතේට වෙන තැනකවත් වැඩ කරණ්නට ලැබෙන එකක් නැහැ!' මා ඔවුන් තවත් බියට පත් කලෙමි!
"ඒ උනාට මම කියන විදියට වැඩ කලොත් මම ඔයාලා හැම කෙනාම බේර ගන්නවා! කාටවත් ප්‍රශ්ණයක් වෙන්න තියන්නේ නෑ! මොකද කියන්නේ? හැබැයි කට හොල්ලන්න බෑ! ෆැක්ටරියට පොලීසිය සීඅයිඩී එක උනත් ගේන්න පුළුවන්!"
පිරිස එක හඬින් මා හා එකතු විය!
"හරි පලවෙනියෙම්ම මේ බිම තියෙන පලල වැඩි කෑලි ටික තීරු වලට එක්කෙනෙක් කපන්න! අපිව අහුවෙන්න තියෙන පළවෙනි තැන ඒක!"
එක් සේවිකාවක් පලල් කොටස් තීරු කිරීම ඇරඹීය. එය ආවාට ගියාට නොව ඉතාමත් නිර්මානශීලීව ඇය කරගෙන ගියේය.
"හරි මේ වැඩි පුර තියෙන කෑලි 30 අරගෙන මේවෑ තියෙන එම්බ්‍රොයිඩර් මල කපලා මට දෙන්න! ඊට පස්සෙ ඒ ෆ්‍රන්ට්ස් ටිකත් (ඇඟළුම් කොටසත්) තීරු කපන්න!"
සේවිකාවන් මා දෙස බලා ගෙනය! 
"ඔව්  මම කියන දේ කරණ්න! මම ඔයාලා හැම කෙනාම බේර ගන්නවා! හැබැයි කට හොල්ලන්න බෑ!!"
විනාඩි 10 ක් 15ක් යන විට එම්බ්‍රොයිඩර් මල් ටික වෙනමම කපා මා අතට පැමිණියේය.
මම එය එකට තබා කිටි කිටියේ ගම් ටේප් එකකින් එකට වෙලුවෙමි. අඟල් 3 ක් පමණ පලලට අඟල් 7ක් පමණ දිගට අඟල් 4ක් පමන උසට එය සැකසිනි. 
දැන් මෙය විනාශ කල යුතුව ඇත! 
මෙය කම්හලෙන් වත් වෙළෙඳ කලාපයෙන් වත් ඉවතට ගෙනයා නොහැක. කුණු බක්කියකට දැමීමද කල නොහැක්කකි!! මන්ද වෙළෙඳ කලාපයේ සියළුම කුණු එක්තැන් කොට සතියකට හෝ වෙනත් කාලයකට වරක් ඉවත් කිරීම සිදුවේ. වැසිකිළි මාරගයකට දැමීමද භයානකය! කල යුත්තේ මොන විදියකින් හෝ මෙය මුළු වෙළෙඳ කලාපයෙන්ම ඉවතට යැවීමය!
පිරිස නැවත සේවයේ යෙදවූවෙමි.
එම්බ්‍රොයිඩර් බණ්ඩලය සාක්කුවේ රුවා ගත් මා කල්පණා කරමින් ඇසුරුම් අංශයට පැමිණියෙමි. ඒවන විටත් ඇසුරුම් අංශයේ සේවකයින් කිහිප දෙනෙක් හෙට දින නැව්ගත් කිරීමට සූදානම්ව තිබූ කන්ටේනරයකට ඇඟළුම් අසුරවමින්ය!
කන්ටේනරය තුලට දැමීම කල හැකි වුවද එය ආපසු පත්තු වීමට හොඳටෝම ඉඩ ඇත!
මාගේ ගණදෙවි නුවණට අදහසක් ආවේය. 
කන්ටේනරය යටට රිංගූ මම එම්බ්‍රොයිඩර් කුට්ටිය එහි යට පැත්තේ හොඳින් ඇලවූවෙමි.
ඇති පදම් ගම් ටේප් ගසා ඒය හොඳින්ම ඇල වූවෙමි.  මේ කන්ටේනරය ඇමරිකාවට ගිය පසු එය නැවත අප රටට ඒමේ සම්භාවිතාව කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුලබ එකකි!
සියල්ල සිදුකොට මා අත පය පිහිදාගෙන කිසිවක් නොවුනා සේ සේවිකවන් අතරට පැමිණියෙමි.
"ඒ එම්බ්‍රොයිඩර් මල් ටික හොයා ගන්නෙ නැතිව; මේ ලෝකෙ කාටවත් අපිව අල්ලගන්න බෑ! භය වෙන්න එපා. ඒක කාටවත් ආයේ දකින්න හම්බෙන්නේ නෑ!"  මම ඔවුන්ට ස්ථිර සාරව පැවසීය.
රාත්‍රී වැඩ මුරය අවසන් වී; පසු දින උදයේ අප සියල්ලෝම නිවෙස් බලා යන්නට 7.00 ට පමණ ආයතනයේ බසයට නැගුනෙමු. එය ජාඇල තෙක් දිවුනි.  බසය ආයතනයේ සාමාන්‍ය දොරටුවෙන් පිටත් වුනුමුත් එතැනින් ප්‍රධාන දොරටුව ලඟ නැවතුනි. ඒ අපගේ ආයතනයේ සිට අඩි 40 කන්ටේනරයක් පාරට ගැනීම කරන කොට ගෙනය!
මා කන්ටේනරය අඳුනා ගත්තෙමි. 
එය සෙමෙන් සෙමෙන් ආයතනයෙන් ඉවතට ගමන් ගත්තේය.
වෙළඳ කලාපයේ දොරටුවෙන්ද පිටවිය. මා සැනසුම් සුසුමක් හෙලුවෙමි.
මා නැවත සේවයට පැමිණීමට නියමිතව තිබුනේ පසුදින උදයේය.
පෙර දින නිදිවර්ජිතව සිටි නිසා මාහට නින්ද ගියේ එකසිය ගානටය!
දවවල් වන විට මාගේ නවාතැනට ආයතනයෙන් වාහනයක් එවා තිබුනි. හදිසි කැඳවීමක් ය!
ඇඟළුම් කොටස් 30ක් අතුරු දහන්වී තිබුනි.
අප සියල්ලෝම එකතුවී සෙව්වෙමි.
ආයතනයේ සියළුම කුණු බක්කි, වැසිකිළි, කැසිකිළි පමණක් නොව පල්දෝරු දොරවල් පවා (Man Hole) විවෘථ කරමින් සෙව්වෙමු!
මමද නිදි මරගාතේම ඔවුන් හා එක්ව සෙව්වෙමි. 
පසු දින උදෑසන එම අංශයේ වැඩකල යුවතියන් කිහිප දෙනා වෙන වෙනම කැඳවා ප්‍රශ්න කොට කලේය.
එහෙත් ඔවුන් වචනයක් තබා ඒ ගැන කටේ කෙළ බිම හෙලා නොතිබුනි!
අප ආයතනයට තීරු බදු රහිතව  ගෙන ආ රෙදිවලට අදාලව නියමිත පරිදි ඇඟළුම් ආනයනය නොකිරීම පිළිබඳව ආයෝජන මණ්ඩලයෙන් අපගේ ආයතනය පරීක්ෂාවට භාජනය ක්ලේය. නොපැමිණියේ පොලීසිය CID ය පමණි! නමුත් ඒ සිදුවීමේ අලගිය මුල ගිය තැන් සොයා ගැනීමට කිසිවෙකුට නොහැකිවිය!
එහි වඩාත්ම පුදුමාකාර සිදුවීම වන්නේ; එම "තක්කඩි කම" ආරක්ෂාවූයේ  එක් අයෙකු දෙදෙනෙකු අතර නොව හය හත් දෙනෙකු අතර වීමය!
අදටත් පාරේ රතු පැහැති අඩි හතලිහේ කන්ටේනරයක් දුටු විට "එම්බ්‍රොයිඩර් ටික කොළඹ ඇවිත්ද?" කියා මගේ  සිත මට මතක් කරයි!
කන්ටේනරය කොයිබක ද?




Saturday, October 28, 2023

221. සිංගිමලේයි උමං ගමන . . ! (ශනිදා දහයට IV)


මේක සිද්ධ වුනේ 11/12/2004  -  18/12/2004 අතර සතිය තුල!

වසික ඒ කාලේ  තුනේ පංතියේ. එයා කාලේ ඉඳන්ම ක්‍රීඩා වලට ලැදියි.  ඔය අතරින් මලල ක්‍රීඩා, ඒ කියන්නේ ජවන ක්‍රීඩා වලට එයා තරමක් දක්ෂයි.

ඔය කාලේ අපේ මලල ක්‍රීඩා ගුරුතුමා වුනේ "ටිකිරි සර්" මේ ටිකිරි සර් ගැන මම මීට කලින් මෙන්න මෙතන ලියලා තියෙනවා! ඕනෙ නම් ගිහින් බලලා ආවත් ප්‍රශනයක් නෑ!

ඉතින් මේ ටිකිරි සර්ට ඕන උනා නිවාඩු කාලේ මලල ක්‍රීඩා කඳවුරක් පවත්වන්න කඳුරට ශීත දේශගුණය සහිත පලාතක.

එයට හේතුව උනේ අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත වටා පිටාවක කරණ පුහුණුවීම් වලට අනතුරුව එම ක්‍රීඩකයාගෙන්; මුහුදු මට්ටම ආසන්නයේ සහභාගී වන තරඟ වලදී වඩා හොඳ දක්ෂතාවයක් නෙලා ගැනීමයි! (මේ මට ඒගැන ටිකිරි සර් කියලා තිබුනු විදිය මතක ඇති ආකාරයයි. මේ ගැන දන්න කෙනෙක් වෙතොත් ඒ ගැන විස්තරාත්මක කමෙන්ටුවක් සපයනවා නම් මැනවි!)

ටිකිරි සර්ගේ ආරාධනාව පරිදි මමත් ඔය  පුහුණු කඳවුරට සහභාගී වුනා දෙමව්පියෙක් ලෙසට. තවත් තාත්තලා හය දෙනෙක් පමන මෙයට සහභාගී වෙලා තිබුනා.

ඉතින් අපි මේ සඳහා තෝරා ගත්තේ හැටන් කිට්ටුව පාසලක්.

 නිවාඩු කාලයක් බැවින් අපට පහසුවෙන් මේ පාසල් පරිශ්‍රය ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව ලැබුනා.

පාසැලට කිලෝ මීටරයක් පමණ පහලින් පොඩි පහේ වයින් ඉස්ටෝරුවකුත් තිබුනා වගෙත් මතකයි! ඒ ගැණ ලිව්වේ අවශ්‍ය දේකට නෙවෙයි නිකමට වගේ. කාට හරි ඉස්කෝලේ හරියටම හොයා ගන්න ඕන උනොත් කියලා ලිව්වේ!

ටිකිරි සර්ගේ පුහුණු සගයන් ලෙස අපි; තාත්තලා දෙදෙනෙකු සහභාගී උනා. මමත් ඉන් එක් අයෙක්!

අනෙක් තාත්තලා තුන් වේලම උයලා පිහලා අපිට සුපිරිම බැකින් එකක් දුන්නා ; ඇයි අපිනෙ ඔක්කොගේම දරුවන් බලා කියා ගන්නේ!?

මුළු පුහුණු කඳවුරේම සිටි වයසින් අඩුම දරුවා උනේ අපේ වසික. ඒකාලේ එයාගෙ වයස අවුරුදු 8 යි!

ඒත් මම පුරුද්දක් ලෙසටම කිසිම අවස්ථාවකදී අපේ එකා කියලා කිසිම විශේෂයක් හෝ ආදරයක් ඇල්මක් පෙන්වන්නේ නැති කෙනෙක්. සමහර පියවරුන්  මව් වරුන් මෙන් තමාගේ දරුවාට කවන්න පොවන්න මේස් සපත්තු දාන්න මම යන්නේ නෑ කිසිම දවසක! 

ඉතින් මම ඔය කියන දවසේ නියමිතව තිබුනේ මැරතන් එකක්! මැරතන් එකක් කිව්වට මේක සහ සුද්දෙන්ම ගම හරහා දිවීමක්!

ඉසව්වට කලින් මමත් ටිකිරි ස'රුත් ගිහින් පොඩි විපරමක් දාලා ආවා ට්‍රැක් එක! ඒත් සම්පූර්ණයෙන්ම නොවේ!

අපේ පාසල තිබුනේ  පාර අයිනේ තරමක උස් බිමක් මත.

ඒ කින්නේ පාරේ යන බස් ලොරි අපි ආසන්නයෙන් පහලින් යනවා අපට වහල පෙන්වමින්.

ඒ පාරට පහලින් තිබුනේ සීග්‍ර බෑවුමක්. ඒ බෑවුමට බසින්නට කුඩා අඩි පාරක් තිබුනා. එය ආරක්ෂිත පාරක්. ඒ පාර දිගේ බෑවුමට ගියාම යලිත්  ඉදිරියෙන් තියෙනවා ලොකු කන්දක්.

ඒක අපේ පාසල මිදුලේ සිට බලන කොට පේන යෝධ කන්ද. මේ යෝධ කියන්නේ උසම නොවේ. ලොකු ප්‍රදේශයක් ආවරණය වන ආකාරයෙන් පැතිරුණු කඳු පන්තියක් වැටියක් ඒක. ඒක පුරාවට තිබුනේ  ගස්. ඒ අතර තැනින් තැන ගෝතමාලා එනම් මානා පඳුරුත් තිබුනා. අතරින් පතර උස ඉයුකැලිප්ටස් ගස්. කොටින්ම ඒක තේ වත්තක් වගේ එකක්. පැත්තකට වෙන්න උස් ගස් සහිත කැලෑ මණ්ඩියකුත් පෙනුනා!

මේ කථාව දැනුයි පටන් ගැනෙන්නේ!

අපේ පාසල් මිදුලේ ඉඳන් බලන විට; මේ තේ වත්තට පහල බෑවුමේ සිට ඉහලට දිවුනු මාර්ගයක් හා එය හා සම්බන්ධවුනු කන්ද වටා දිවුනු මාර්ගයක් පැහැදිලිව පෙනෙන්නට තිබුනි. මමත් ටිකිරි ස'රුත් අවට තිබුනු කඩයකින් කල විමසීමකදී එම පාරවල් දෙක කන්දේ අනෙක් පසදී එකට එක් වන බවක් දැනගන්නට ලැබුනි.

අදාල දිනයේ අපගේ මුළු කණ්ඩායම කොටස් දෙකකට බෙදුනි. සම සමව බෙදුනු එක් කණ්ඩායමකට සාමාජිකයින් 12ක් පමන සිටින්නට ඇති. ඉන් එක්  කණ්ඩායමක් ටිකිරි සර්ගේ නායකත්වය යටතේ පිටත්වූ අතර; එම කණ්ඩායම පිටත්වී විනාඩි දහයකින්  අනෙක් කණ්ඩායම මාගේ නායකත්වය යටතේ ගමන් ඇරඹීය.

අප බෑවුමට බසිද්දී ටිකිරි සර්ගේ කණ්ඩායම ඉදිරියේ වූ කන්ද නගිමින් විය. අප කන්ද නගිනා විට එම කණ්ඩායම රවුම් පාරට වැටී වම් පසට හැරී නොපෙනී ගියේය. 

වසික ඇතුළු දොළහක පමණ කණ්ඩායම පරිස්සමින් රැගෙන මා ඉදිරියටත් පසුපසටත් යමින් පිරිස මෙහෙය වීය.

අප නොබෝ වේලාවකින් කන්දේ මැදින් හරහට; කන්ද වටා දිවෙන මාර්ගයට ප්‍රවිශ්ඨ විය! ටිකිරි සර්ගේ කණ්ඩායම මාර්ගයේ වම් පසට ගිය අතර අප දකුණු දෙසට හැරුනෙමු!

මහා විශාල මහන්සියක් නැතත් කන්ද නැගීමත් සමග අපගේ වේගය අඩුවී තිබූ අතර කන්ද වටා දිවෙන මාර්ගයේදී අප තරමක වේගයෙන් ගමන් ගත්තෙමු. කිලෝ මීටර 5ක 6ක පමණ දුරක් වතු මාරගයක් ඔස්සේ නැගීම් බැසීම් සමගව කෙරෙන ගමන එතරම් පහසු කට යුත්තක් නොවේ. සමහර විට නවතින සාමාජිකයින් දිරි ගන්වමින් ඔවුන් රැගෙන යා යුතුවේ.

 මෙසේ කිලෝමීටර කිහිපයක් යන විට පාර දෙතුන් වරක් කුඩා මං සන්ධි පසු කලෝය. එක් ස්ථානයකදී අපට හමුවූ සිංහල වචනයකුදු නොදන්නා ද්‍රවිඩ ජාතික මහළු ස්ත්‍රියකගෙන් පාර ඇසූ මුත් ඇයගෙන් නියමිත මාර්ගය පිළිබඳව වැටහීමක් නොලැබුනු බව මේ ලියන මොහොතේ මට සිතෙයි!

කුඩා මං සන්ධි වලින් හැරෙමින් ගිය අප ටික දුරක් යන විට පාර මග ඇරුණු බවක් දැනෙන්නට විය. තවත් කෙටි දුරක් ගිය විට හමුවූ උස් වේල්ල මතට නැගුනු අපට දිස් වූයේ දුම්රිය මාර්ගයකි. එයට ඉදිරියෙන් උස් කණ්ඩියක් වූ අතර එතැනින් ඉහලට උස් කන්ද ඉහලට ඇදී ගියේය. එම කන්දේ කුඩා ලවල් කැලයක් තිබුනු බව යානතමින් මට මතකය. දුම් රිය මාර්ගයේ වම් පස විශාල වංගුවක් නිසා ඈත නොපෙනුනි.

කෙසේ වුවත්; අතරමං වී ඉන්නා මොහොතක හමුවන දිය පහරක් හෝ රේල් පාරක් යනු ගැටළුව විසඳා ගැනීමේ ආරම්භයයි. දිය පහරක් හමුවූ විට එය ගලන දිශාවට ගමන් කල විට එය අනිවාර්‍යයෙන්ම ජනාවාසයක් අසලින් ගලනා බැවින් ගැටළුව නිරාකරණය කරගත හැකි බව මට පැවසූවේ මාගේ ආදරණීය පියාය.

එසේම රේල් පාරක කුමන දෙසට ගියද ගොඩයාමක් ඇත!

වම් පසට විහිදුනු රේල් පාර දෙපස කුඩා ගස් වැවී තිබුනි. දකුණු පස බැලූ විට දුටුවේ අඳුරු බිම් ගෙයකි.

සාමාන්‍යයෙන් දුම් රිය බිම් ගෙයක් තුල අඳුරු වූවාට එහි අනෙක් පසින් ආලෝකය පෙනේ! නමුත් මෙය හුදෙක් අඳුරු කළු ලපයක්ම පමණි. කොටින්ම කළු කුහරයක් සේය!

අපට ආපසු යන්නටත් නොහැක! ආපසු යාම අප මං මුලා වන සුළුය. අප නැවතී සිටි ස්ථානයේ සිට කිලෝ මීටර ගනනකින් හැටන් නගරයය! එසෙනම් අපට කල යුතුව ඇති හොඳම විසඳුම ලෙස මා දුටුවේ රේල් පාර දිගේ හැටන් දුම් රිය නැවතුම් පොලට ගොස් ආපසු මහපාර දිගේ පල්ලම් බැසීමයි.

කණ්ඩායමේ තරමක දරුවන් තුන් දෙනෙක් විය! ඔවුන් වයස අවුරුදු 15 - 16 සීමාවේය. මා ඔවුන් සමග කතා කලෙමි. ඔවුන් කිසිවෙකුත් ආ පාරේම ආපසු යාමට කැමැත්තක් නොමැත. එන ගමනේදී හැරුණු පාර්වල් වල හැටියට ඒ මාර්ගයේම ආපසු නවාතැනට යාමට නොහැකි වනු ඇතැයි ඔවූන්ද බිය විය.

මේ වන විට අප කිලෝමීටර 6ක පමණ දුරක් එන්නට ඇති. අවට කිසිදු හඬක් ඇසෙන්නේ නැත! මේ වන විට අපට තියෙන එකම ගැටළුව මෙම බිංගෙය තුලින් ගමන් ගත හොත් අපට හැටන් නගරයට යා හැකිවේද යන්නයි. ඒ අතරේ එතැන තවත් විනාඩි 10 පමණ කාලය මිඩංගු කරද්දී එතැනට පැමිණිදේ ද්‍රවිඩ ජාතික මැදි වයස පසු කල යුවලකි. ඔවුන් අත අඩි එකහමාරක් පමණ දිග ලී කැබැල්ලක් වූ අතර එහි කෙලවරක දැවි හෙල් පෙඟුණු කුඩා ගෝනි කැබැල්ලක් පටලා තිබුනි.

ඔවුන්ගෙන් කල විමසීමකදී "හැටන්!" කියමින් බිංගෙය පෑය.

ඒ සමගම ඔවුන් තම අත රැඳි පන්දම පෙන්වා අසල වන රොද පෑවේය.

අප හොඳින් ඒ දෙස බලන කල කුඩා වන රොදින් වැසුනු කුඩා ගෙයක් මාරගයට පහලින් දක්නට ලැබුනි.

එය කුඩා නිල නිවාසයක් විය යුතුය!

මෙම බිංගෙය අලුත් වැඩියා කටයුතු හා නිරික්ෂන කටයුතු කරන සේවකයෙකු එහි රැඳී සිටිනවා විය යුතුය.

ඊළඟ මොහොතේ පන්දම් දල්වා ගත් යුවල බිංගෙය තුල නොපෙනී ගියෝය,

අප දැන් මෙම බිංගෙය තුලින් යා යුතුමය!

ඒ සඳහා පන්දමක් හෝ කීපයක් මිලදී ගත යුතුය!!

අප තීන්දුවකට පැමිණියෙමු.

අප කිසිවෙකු මුදල් ගෙනැවිත් තිබුනේ නැත! ආශ්චර්‍යයකි! වාසනාවකට එක් දරුවකු රුපියල් 20 ක් තම දුවන කලිසමේ සාක්කුවේ ගෙනැවිත් තිබුනි!

වැඩි මහළු දරුවෙකු සමග පිරිස මාර්ගයෙන් ඉවත රඳවා  මම තවත් දරුවෙකු සමග කුඩා නිවස වෙත ගියෙමි. අප අතැනට යන වාත් සමග එතැන සිටි ද්‍රවිඩ මිනිසා "කීයක්ද?" ඇසුවේය. එකල ඒ පන්දමක් රුපියල් 5 ක් විය.

අප පන්දම් කිහිපයක්  හා ගිණිපෙට්ටියක්ද මිළදීගෙන ගමනට සූදානම් විය.

පළමුව වයසේ පිළිවෙලට කණ්ඩායම පෝලිම් කලෙමි.

ඒ වයස අඩුම අය ඉදිරියට එන ලෙසය.

අන තුරුව වයසින් වැඩිම දරුවන් අතුරින් දෙදෙනෙකු පෝලිමේ මැද ට එකතු කලෙමි.

මා අත හා පසු පසම දරුවා අත පන්දම්ය.

ගමනේ ඇති අවදානම පිළිබඳව මා ඔවුනගෙන් විමසීය. "කෝච්චියක් ආවොත්?" බොහෝ අයගේ එකම ගැටළුව වූයේ එයයි. එවන් අවස්ථාවක බිම්ගෙයට පිටදී හැකි තරම් එයින් ඈත්ව ඉන්නා ආකාරය මා අභිනවයෙන් පෙන්වූයෙමි.

පළමුව වයසේ පිළිවෙලට කණ්ඩායම පෝලිම් කලෙමි. ඒ වයස අඩුම අය ඉදිරියට එන ලෙසය. අන තුරුව වයසින් වැඩිම දරුවන් අතුරින් දෙදෙනෙකු පෝලිමේ මැද ට එකතු කලෙමි.

මා අත හා පසු පසම දරුවා අත පන්දම්ය.

තවත් එක් දරුවෙකුට පන්දමක් තිබුනාදැයි මතක නැත.

දැන් අපට තියෙනා ඊළඟ අභියෝගය වනුයේ එක් දරුවෙකු හෝ බිංගෙය තුලදී ක්ලාන්තයක් හෝ සිහිමුර්ජාවක් වී ඇද වැටුන හොත් අන් අය එය දැන ගන්නේ කෙසේදැයි කියාය!

මේ බිංගෙය තුල කානු වේද, වලවල් වේද අප කිසිවෙකු නොදනී!

එයට මා උපක්‍රමයක් යෙදීය!

ඉන් පසු මා පෙල උස් හඬින් ගනින්නට විය.

එක  . . දෙක . .තුන . . .යනාදී වශයෙන් අවසාන දරුවා උස් හඬින් දොළහා කී විට කණ්ඩායමේ සියළුම දෙනා ඉන්නා බව මටත් සියල්ලන්ටමත් දැනගන්නට ලැබෙන බව කියා දුනිමි.

එම අභ්‍යාසය කිහිප වරක් සිදුකල පසු අප පන්දම් දල්වා ගෙන පෙලට බිංගෙය තුලට වැදුනෝය.එක් දරුවෙකුට පන්දමක් තිබුනාදැයි මතක නැත.


එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .


එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .

 .

මෙසේ අප පෙළ ගනිමින් අඳුරේම ඉදිරියට ගියෙමු.

විනාඩි ගනනාවකින් ඈතින් එළියක් දුටුවෙමු.

ඒ බිංගෙයි අනෙක් ඉමයි.


එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .


එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .


අප සුවසේ බිංගෙයින් නිරුප්ද්‍රිතව එළියට ආවෙමු!අපගේ දුම් රිය දෙපාර්තමේන්තුවේ කාල සටහනට පිං සිදුවන්නට බිංගෙයින් එළියට එන තුරුත් දුම්  රියක් නොපැමිණියේය. එලියට පැමිණි පසු ළමා ලපටින් හට එය සතුටු දායල අත් දැකීමක්ම විය! ඔවුන් හුරේ දමන්නට විය!

එතැනින් අප  දුම්රිය මගේම තවත් කුඩා දුරක් ඉදිරියට යද්දී ප්‍රධාන මාර්ගයට යා හැකි හරස් මාර්ගයක් දක්නට ලැබුනේය.

අප පාසැලට එන විට ටිකිරි සර්, තාත්තලා සෙට් එක සහ දරුවන් අතරින් කිහිප දෙනෙක් මග බලා සිටියෝය.

"මොකද උනේ?" ටිකිරි සර් ස්වකීය "හා දත්" පෙන්වමින් උස් හඬින් ඇසීය!

"අපිව අතර මං උනානේ!"

"මං හිතුවා! ඒත් මම කට්ටියට කිව්වා ඔයා ඉන්න හිංදා කොහොම හරි ළමයි ටික බර ගෙන එයි! බය වෙන්න දෙයක් නෑ කියලා!" 

පුහුණු සැසිය අවසන් දිනට පෙර දින රාත්‍රියේ අප කුඩා සමිතියක් පැවැත්වූ වෙමු. හොඳින් අතුගා තිබූනු අප රැඳී උන් ශාලාවේ ගෙබිම මත අප කවයක් සේ වාඩිවී ඊට සහභාගී උනෙමු.

ඒ අතරේ එක් දරුවෙකු හට තමා ලැබූ අත්දැකීම් පිළිබඳව විස්තර කරණ්නට අවස්ථාව සැලසුනි.

මොහොතක නිහැඬියාවෙන් පසු එක් දරුවෙකු අප වාඩිවී සිටි කවය මැදට පැමින සිය හඬ අවදි කලේය!

ඒ සියළු කථාව මට මේ මොහොතේ මතක නැති උනත් ඒ කථාව තුල මෙම බිංගේ ගමන පිළිබඳවත් එය තම ජීවිතයේ නොමැකෙන මතකයක් බවත් පැවසීය. එම අවස්ථාවට අප කණ්ඩායමක් සේ සංවිධානය වූ හැටි හා එය ජයගත් හැටි ඔහු එක හුස්මට කියාගෙන ගියේය.

පසු කලෙක ඔහු; අප විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ද විය. එම දරුවාගේ නම මේ වන විට මාහට අමතකව ගියත් ඔහු පිළිබඳව බොඳවූ හෝඩුවාවක් මෙය ලියන මොහොතේ සොයා ගත්තෙමි. 100% ක නිවැරදි තාවයක් නැතත් බොහෝ විට මේ ඔහුම විය යුතුය. කැළණිය විශ්ව විද්‍යාලයේ ඔහු කතිකාචාර්‍ය වරයෙකි. නම කුශාන් ගයාත්‍ර පෙරේරා!

මේ කයිවාරුව ඉවර කරන්න කලින් අපි ගූගල් දේවාලයටත් ගිහින් එමු:-

Singha Malai Tunnel or Poolbank Tunnel is the longest railway tunnel in Sri Lanka.[1][2][3]

There are 46 tunnels along the Main Line between Colombo and Badulla. The longest tunnel is the Poolbank tunnel between Hatton and Kotagala, which is 562 m (1,844 ft) long,[4] 5.5 m (18 ft) wide[5] and has a curvature in the middle so that one end of the tunnel cannot be seen from the other end.[6] In the middle of the tunnel the gradient begins to decline, with the Kotagala railway station being approximately 23 m (75 ft) lower than the Hatton railway station.[7]

The tunnel was designed by Sir Guilford Lindsey Molesworth, the first Director-General of Railways in Ceylon (1865-1871) and constructed by F. W. Faviell.[3] The tunnel's construction represented a significant engineering feat at the time, as it was bored from both ends meeting in the middle.[8] The tunnel was named the Poolbank tunnel as it runs under the Poolbank tea estate, which was established in 1880.[9] It is also called Singha Malai tunnel, after a nearby rock formation, Singha is Tamil for 'Lion' and Malai for 'Mountain'.


                  Singha Malai Tunnel

Overview
Official nameTunnel No. 14
Other name(s)Poolbank Tunnel
LocationHatton, Sri Lanka
Coordinates6°53′52.85″N 80°36′16.23″E
StatusOpen
RouteMain Line
StartHatton
EndKotagala
Operation
ConstructedF. W. Faviell
OwnerSri Lanka Railways
Trafficrail
Technical
Design engineerGuilford Lindsey Molesworth
Length562 m (1,844 ft)
Highest elevation1,291 m
Width5.5 m (18 ft)

හැටන් ගමනෙන් සෑහෙන කාලෙකට පසුවයි දැන ගත්තේ ඒ ලංකාවේ දිගම දුම්රිය උමග බව!
කිලෝ මීටර භාගයක් කිව්වාම සෙල්ලං ද?

මේ දින වකවානු හොයා ගන්නට ලැබුනේ මේන්න මේකට පිං සිද්ධ වෙන්න!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...