Saturday, November 18, 2023

268. "පාරෙ ගැටුනු දෙමස්සිනෝ ! " (ශනිදා දහයට VII)

 ලොරි පොඩ්ඩා ඇදගෙන යන ට්‍රේලරේ
"නිදීගේ පංචතන්ත්‍රය" ලියන අපගේ බ්ලොග් සොයුරු නිමල් දිසානායකගේ මවගේ අභාවය පිළිබඳව කන වැකුනේ "කොලොම්පුරේ" අසංගගේ හඬිනි.
ඒ වන විටත් මේ වන විටත් මා සිටින්නේ යටියන්තොට හක්බෙල්ලාවකය.
මාගේ පාරම්පරික මහ ගෙය දැනට කායක සිට ජරා ජීර්ණ වී ඇතිහෙයින් එය යම් පමණකට හෝ ගොඩ දමා ගැනීමට ආරම්භ කල ව්‍යාපෘථියකට මා පැටලී සිටින්නේ පසුගිය සඳුදා සිටය.
මේ නිසාම නිමල් දිසානායක සොයුරාගේ මවට සුව නින්දක් පැතීම කිරීමට සිදුවූයේ මෙහි සිටමය.
"ශනිදා දහයට" බ්ලොග් කථිකාව හා වැඩ සටහන පටන් ගත්දා සිට මා එතෙක් ලියමින් සිටි "බ්ලොග් වැල්" නවතා දැමුවෙමි.
ඒ වෙනුවට කුඩා බ්ලොග් පෝස්ටු ලියන්නට උත්සාහ කෙලෙමි.
අද මේ ලියන්නේ "ඇන් ඇක්සිඩන්ට්" බ්ලොග් වැලේ තවත් එක් කථාවක් වුවත් එය තනිකර රස විඳිය හැකි බැවින් මෙසේ ලියා තබමි,

මේ සිද්ධිය වෙලා වසර දෙක තුනක් පමණ ඇති.

බොහෝ කාලයක සිට මා සතුව ෆෝ වීල් ඩ්‍රයිව් රථයක් ඇති සේම එයට ඇඳාගෙන යාහැකි ට්‍රේලරයක්ද තිබුනි.
බරැති කොන්ක්‍රීට් කුට්ටි, කම්බිකනු, H අයන් යකඩ වැනිදේ පැටවීමට මා යොදා ගත්තේ ට්‍රේලරයයි. එමගින් ෆෝ වීල් රථයේ ඩෙක් එක, තට්ටුව හෙවත් බක්කියේ පතුල සහ අවශේෂ වටාපිටාව ආරක්ෂාවීම කෙරුනි.
මෙම ට්‍රේලරයට වෙනමම ආදායම් බලපත්‍රයක් හෝ රක්ෂණ සහතිකයක් නොතිබුනි. 
මේ ගැන සොයා බැලීමේදී 750kg වලට වඩා තාර බර අඩු ට්‍රේලර සඳහා එවන් ලිපි ලේඛණ අනවශ්‍ය බව බොහෝ දෙනා පැවසූවද මේ පිළිබඳව නිවැරදි තොරතුරක් මා සතුව නොමැත.

Pintle Hook




Ball Coupling
මෙවන් කුඩා ට්‍රේලර ප්‍රධාන වාහනයට අමුනා ගැනීමට නොයෙක් නොයෙක් උපක්‍රම ඇත. ඒවාට අවශ්‍ය සියළු අංගෝපාංග මා සතුව ඇතත් මෙම අදාල ට්‍රේලරය අමුනා ගැනීමට මා යොදාගෙන තිබුනේ ඉතා සරල උපක්‍රමයකි. 

ඉතා සරල උපක්‍රමය
වෙනත් රටවල ට්‍රේලරයේ පසුපසට සියළුම සංඥා ලාම්පු තිබිය යුතු උවද "ලෝකෙං උතුං රටේ" ඒ කරදර නොමැත. ඔබ මෙනෙහි කර බලන්න ලොකු කුඩා, රෝද දෙකේ, හතරේ අත්ට්‍රැක්ටර් මහ ට්‍රැක්ටර් කිසිදු ට්‍රේලරයක පසුපස සංඥා ලාම්පු ඇතිද කියා!?
කිසිවක ඒවා නැත!



පවර් සොකට් 

ඒ සඳහා උපක්‍රම සහ අංගෝපාංග ද මා සතුව ඇතත් මාගේ දිළිඳු ට්‍රේලරය ඉදිරියේ නවීකරණට කිරීමට ඇති බැවින් ඒවා සවිකොට නොමැත!
මාගේ ට්‍රේලරයද හුදෙක් සාම්ප්‍රදායික එකක්ම විය!

මෙම සිද්ධියට අදාල දිනයට දින කිහිපයකට පෙර මා ට්‍රේලරයද අමුනාගෙන කඩවතින් යටියන්තොට බලා පිටත් වූවේ H අයන් (H Iron) මහ බරක් පටවා ගෙනය. එය ටොන් එකකට වැඩි බරක් වූ බව මාගේ විශ්වාසයයි.
H අයිරන්
 (මෙහෙම තමයි ව්‍යවහාරය )
නොයෙක් නොයෙක් දිග පලලි යුතු H අයන් ටික ප්‍රවේසමෙන් යටියන්තොටට ප්‍රවාහනය කල මා නැවත කඩවත බලා හැරුනේ දින දෙකකට පසු රාත්‍රී අටට පමණය.
ට්‍රේලරය අමුනා ඇති බැවින් ඉතා සැළකිල්ලෙන් සෙමෙන් ගමන් ගත් මා කරවණැල්ල, රුවන්වැල්ල, ගෝනගල්දෙනිය, ගල්බැම්ම, නඩුවත්ත, මිල්ලතේ හංදිය, කිරිඳිවැල, තුංමං හංදිය, වතුරුගම,  පසුකොට වැලිවේරියට පැමිණෙන  විට තරමක් රෑබෝ වී තිබුනි. වේලාව රාත්‍රී  10 කිට්ටුවී තිබුනු අතර හාත්පස  අඳුර; අතරින් පතර තිබුනු අතර වීදි ලාම්පු හා වැලිවේරිය නගරයේ කඩ සාප්පු වලින් තරමක් ආලෝකමත්වී තිබුනි. 
වැලිවේරිය හංදියෙන් ඇඹරළුව පාරේ; එනම් නුවර පාරේ කන්ද කපාපු හංදිය (කිරිල්ලවල) දෙසට මා හැරුනෙමි.
අදටත් මේ  ලියන මොහොතේදී වත් නිමවා නැති එම මාර්ගය; ඒ දිනවල ප්‍රථිසංස්කරණයන් සඳහා;  මුළුමනින්ම කඩා බිඳ දමා තිබුනි.
තැනෙක මහ වලකි. තවත් තැනක මෝටර්ග්‍රේඩරයේ නගුලෙන් හාන ලද නගුල් පාරවල් ය. තවත් තැනක මැටල් කඳුය. බෝක්කු අසල ඒවා ප්‍රථිසංස්කරණයන් සඳහා ගෙන ආ විසල් හියුම් පයිප්පය. ඒ තැන් වල මුළුමනින්ම හාරා දමා සැම තැන විසිරුණු පස් හා මැටිය.
කොටින්ම එතැන පැවතියේ පාරක් තිබූ තැනක් විනා පාරක් නොවීය!
ඇඹරළුව පාරේ මා කිලෝ මීටර 4ක පමණ දුරක් පැමි දිවුල් ගහ මුල හංදියෙන් හැරී මා පැමිණිය යුතුය.
පෙර කී පාරක් පැවති සළකුණු ඔස්සේ මා වඩ වඩාත් පරිස්සම්ව, පරීක්ෂාකාරීම ධවනයේ යෙදේ.
එකවරම පසු පසින් තියුණු ආලෝක ධාරවක් මගින් පාර එකළු කලේය.
පසුපස බලන කණ්නාඩියෙන් බැලූ විට දිස් වූයේ නවීන කුඩා වාහනයක ප්‍රධාන පහන් එළි යුගලයේ දීප්තියය!
සාමාන්‍ය ධාවනයේදී විශේෂයෙන් වීදි ලාම්පු එළි පවතින තරමක් හෝ ජනාකීර්ණ හෝ වාහන ගැවසී ගත් මාර්ගයක රිය ධාවනයේදී අප ප්‍රධාන පහන් "ඇඳිරි" (Dim Headlight) කරගත යුතුවේ. එය නීතියක්ද නො එසේනම් රීතියක්ද කියා මා පැහැදිලිවම නොදන්නා මුත් එය රිය පැදවීමේ ආචාර ධර්මයනට එකඟ කාරණයක් ය.
ඔහු මාගේ රථයට කිට්ටු කල සැණින් නලාව මොර දෙවන්නට පටන් ගත්තේය!
ඒ මොහොතේ මා ධාවනය කලේ මාර්ගයේ මැදින් විය හැක. එහෙත් ඒ එම මාර්ගයට උචිත ආකාරයය! තවත් මොහොතකදී කිසිදු ඉඩක් නොමැති ස්ථානයකදී මාගේ රථය පසුකොට යාමට උත්සාහ ගත්තේය. මාර්ගයේ කිසිදු ඉඩක් නොමැති ස්ථාන කිහිපයකදී ඔහු මා පසුකොට ධාවනය කිරීමට උත්සාහ කොට අවසානයේ ලැබුනු කුඩා අවසරයකදී ගල මුල්, වලවල් උඩින් ධාවනය කොට මා පසු කරණ ලදී. 
මා පසුකොට යන අවස්ථාවේදී හේ නොසරුප් වදන්  රැසකින් සංග්‍රහ කිරීමටද අමතක නොකලේය.
එම වාහනය කුඩා Suzuki Wagon R රථයකි. 
වර්ණය සුදු පැහැතිය. 
මා පසු කල සැණින් වහු තම රථය මාර්ගය මැදට ගෙන එකවරම නැවැත්තුවේය. 
මාගේ ට්‍රක් රථය එහි නොගැටී බේරුනේ අවසාන මොහොතේය!
එතැන් පටන් මාගේ මාර්ගය අවහිර කරමින් ගමන් කිරීමට පටන් ගත්තේය.
මාගේ ඉවසීමේ සීමාව කරටියටම පැමිණියේය.
මා මෙම කුඩා මෝටර් රථයට ඉස්සර කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කල මුත් ඒයට ඔහු කිසිදු අවස්ථාවක් ලබා නොදී පාර පුරා සිග් සැග් ධාවනයේ යෙදුනි. 
දරදඬු ෆෝ විල් රථයටද ධාවනයේ දැඩි අපහසු තාවයක් ගෙන දුන් වලවල් මඩ කඩිතිගල් මුල් උඩින් ඔහු ධාවනයේය. එය කිසිදා අපේක්ෂා කල නොහැකි තත්වයකි. 
මෙසේ ගමන් කරද්දී එක වර මාගේ ට්‍රේලරයෙන් නුපුරුදු හඬක් නැගීය.
එම වේගයෙන්ම මා මොහොතක් ධාවනය කොට පාර මැදම ට්‍රක් රථය නවතා බැස බැලීය.
ජොකී වීලය වෙනුවට සකසා තිබූ සරළ උපක්‍රමය අගුලෙන් ගැලවී බිම ඇතිල්ලෙමින් ය.
සාමාන්‍යයෙන් ට්‍රේලරයක් ප්‍රධාන වාහනයෙන් ගලවා තබන අවස්ථාවේදී; ට්‍රේලරය තිරස්ව පවත්වාගැනීම සඳහා ජොකී වීලය සහිත එකලස ප්‍රයෝජනයට ගනී.
ජොකී වීලය
මෙයට උඩින් සවිකොට ඇති හැඬලය කරකැවීමෙන් උස් පහත් කල හැකිවන අතර ට්‍රේලරයට බර පැටවීමෙන් පසු එහි හිච් එක (ප්‍රධාන වාහනයට සවිකරණ ගුණ්ඩුව හෝ බෝල් කප්ලීනය ) ප්‍රධාන වාහනයේ කොක්ක හෝ ඇමුණුමට සමාන්තරව තබා ගැනීමට මෙය උපකාරී වේ. එසේ නොමැති වුවහොත් බර පැටවීමෙන් පසු එය මහත් වැර වෑයමෙන් යුතුව ප්‍රධාන වාහනයේ ඇමුණුමට සමාන්තර වන ලෙස එසවිය යුතු වේ. ප්‍රධාන වාහනය සහ ට්‍රේලරය අමුණා ගත් පසු ජොකී වීලය සහිත් එකලස නැවත හැඬලය කරකවා ඔසවා ගැනීමට හෝ නවා අකුලා ගැනීමට හැකි වන සේ  නිපදවා ඇත.
මාගේ ට්‍රේලරයට අදටත් සවිකොට  ඇත්තේ මීටත් වඩා නොදියුනු උපක්‍රමයකි. නමුත් මෙම තාක්ශනය මය.

වලවල් සහ අගල් වල වැටීමෙන් මෙම සරල ඇටවුමේ අගුල ලෙස ක්‍රියා කර කඩ ඇනය අස්ථානගතවී තිබුනි. වාහනය ඉදිරියට ධාවනය කිරීමටනම් මෙය ගලවා ඉවත් කල යුත්වේ. ට්‍රේලරය ට්‍රක් රථයෙන් ගලවා මහත් වෙහෙසකින් යුතුව පසු පසට ගෙන ඇටවුම ගලවා ට්‍රක් රථය තුලට දමා නැවත ට්‍රේලරය අමුනා ගත් මම යලිත් ගමන් ඇරඹීමි.
මේවන විට මම අධික ලෙස වෙහෙස වී සිටියෙමි. ඒ ශාරීරිකව පමණක් නොව මානසිකවත් ය. සාමාන්‍යයෙන් Teepeeයට යන ගමන සහ ආපිට එන ගමන මා විඳින්නෙමි. සිලින්ඩර හයේ 4000CC ඇන්ජිමේ නාදයට සවන් දෙමින් සිහින් හඬින් ගීතයක් මුමුණමින් ට්‍රක් රථය පැදවීම මාගේ සිරිතය. එමගින් ගමනේ විඩාව අමතක වී යයි. රුවන්වැල්ලේ සිට ගෝනගල්දෙනිය හරහා රබර් වතු මැද්දෙන් කඳු හා වංගු පිරුණු මාර්ගයේ ගමන විටෙක භාවනාවක් මෙනි.
එම පරිසරය තුලින් ලබන මානසික උද්දාමය එලෙසින නිවෙස තෙක් පවත්වාගෙන යාමට නම් "කඩි කුලප්පුව" වැළඳ නොගැනීමෙන් යුතුව රිය පැදවිය යුතුවේ. මුළුගමනින් 95% පමණ එලෙස භාවනායෝගීව පැමිණි මා ඉදිරියට අලව් යකෙකු පැමිණ ඇත!
නැවත ගමන ඇරඹූ මම ගමන් කලේ සුපුරුදු සරළ වේගයෙනි. 
අලව් යකු මග ඇරීමට මට අවශ්‍යවී තිබුනි!
තව දුරටත් සටන් වැදීමට හෝ තරග කිරීමට මට කිසිදු ඕනෑ කමක් තිබුනේම නැත.
වැලිවේරිය සිට ඇඹරළුව දෙසට එන මාර්ගය තරමක දඟර ගැසුනු සේයාවකි.
වංගු රැසකි.
මම ට්‍රක් රථය එක් වංගුවකින් ගමන් කොට මෑත් වූවා පමණි.
ආලවක මා එන තුරු පාර මැද නතර කරගෙනය. 
මා සෙමෙන් එයට කිට්ටු කරද්දීම ඔහු නැවත පාර මැදට ගෙන සුපුරුදු සිග් සැග් ගමන ඇරඹීය.
"මේ වාහනෙයේ කී දෙනෙක් ඇතිද?" සිතා ගත නොහැක.
මාගේ වාහනේ ආසනය පසුපස ජැක් ලීවරය ඇත. එය තරමක් සිහින් වූවාට අවස්ථානුකූලව පාවිච්චි කල හැකි සුපිරි මෙවලමකි.
එසේම වාහනයේ ලාච්චුව (Cubby hole) තුල රම්බෝ කුලයේ පිහියකි.
මම වාහනය පවමින්ම ආසනය පසුපසට වම් අත දමා ජැක් ලීවරය ඇත්දැයි තහවුරු කර ගත්තෙමි.
ජැක් ලීවරයේ සිසිල් පහස අතට දැනුනි.
"බඩු" ඇත.
රියැදුරු ආසනයේ වමට බරවූ මම; ලාච්චුව විවර කොට දඩයම් පිහියද ඇත්දැයි තහවුරු කර ගත්තෙමි.
එයද ඇත.
සීරුවට එය අතට ගෙන ලාච්චුව වසා දමා රියැදුරු ආසනයත් එම පස දොරත් අතර තබා ගත්තෙමි.
මේ වන විටත් Wagon R රථය ඉදිරියෙන් ගමන් ගනී. මම තරග වැදීමෙන් තොරව පසු පසින් ගමනේය.
මගේ සූදානම කිසියම් හෝ අවස්ථාවකදී ඔහු පාර හරස් කරනු ඇතැයි කියාය. 
එසේම ඊළඟ මොහොතේ මා ට්‍රේලරය අමතක කොට මේ වාහනය පසු කරන්නටම සිතා ගත්තේය. එහිදී සිදුවිය හැකි ඕනෑම අලාභයක් සම්බන්ධයෙන් පිළිතුරු දීමට මා සූදානමින් ය.
පාර එහෙම පිටින්ම ගන අඳුරේය. පිළිසකර කිරීම් වෙනුවෙන් විදුලි පරිපත ගලවා දමා ඇති සේයාවකි!
මම උපක්‍රමිකව ට්‍රක් රථයේ ප්‍රධාන පහන් නිවා දැමුවෙමි.
Wagon R රථයේ උන්මත්තකයා හට ට්‍රක් රථය සොයා ගැනීමට නොහැක.
මාගේ උපක්‍රමය එකවර වම් පසින්  ධාවනය කොට ඉදිරියට ගැනීමය!
මේ සඳහා කුඩා අවකාශයක් ලැබෙනා තුරු සිටිය යුතුය. ට්‍රක් රථයේ එන්ජිම සැර නොදැමිය යුතුය. එහි ගර්ජනාවට මාගේ සියළු උපක්‍රමයන් විනාශ කර දැමීමට හැකියාවක් ඇත.
මේ සියළු දේ මෙසේ සිදුවන්නේ නැවතී සිට නොව ගමනක යෙදෙමින් ය. එයින් මෙයින් Wagon R රථයේ ප්‍රධාන ආලෝක ධාරවෙන් සුභ නිමිත්තක් පෙනේ. ඒ වෙන කිසිවක් නොව මෙම මාර්ගයෙන් මා ගමන් කල යුතු අතුරු මාර්ගය බෙදෙන සංධිස්ථානය මීටර 100ක් දුරිනි. හැමදේම වන්නේ හොඳටය!
මෙම මාර්ගයෙන් මා වමට හැරිය යුතු වේ.
මේ කරදර කාරයා ඉදිරියටම ගමන් කරණු ඇත. මේ උගේත් මගේත් ජීවිතවල නොම්මර එකේම සංධිස්ථානයක් විය යුතුය.
මා අද දවසේ ජීවිතයක් බේරා ගත්තෙමි. ඒ කාගේවත් නොව මා වෙතින් ගුටිකා මැරුම් කෑමට නියමිතව සිටි උගේය!
තවතෙකෙකු හිරේ විලංගුවේ වැටීමෙන් ගලවා ගත්තෙමි.
ඒ අනෙකෙකු නොව මා මය!
එම මාර්ගයේ මීටර 300ක් පමණ ගමන් කිරීමෙන් තවත් කුඩා හංදියක් හමුවේ.
එතැනින් දකුණට හැරී ගමන් කල යුතුවේ. 
මම හැරීම් දෙකම අංශක 90වේ තියුණු හැරීම්ය.
ඉන් පලමුවැන්න හැරෙන්නේ කුඩා බෑවුමකටය. 
ඊළඟ නිමේශයේ සිදුවූ දේ සිතා ගත හැකිද?
ඔව්  ඒකම තමයි!
මේ මනුස්සයාද වමට හැරවූවේය!
මාගේ සිත තුල; පරක් කොට; යාන්තමින් නිදි ගන්වා සිටි යක්ෂයා යලිත් අවදි විය.
ඔහු වමට අහරවනවාත් සමගම; මා එකවරම  මාගේ සැලසුම ක්‍රියාත්මක කලේය.
වැගන් ආර් රථය වමට හරවනවාත් සමග සෑදුනු කුඩා ඉඩෙන්  විදුලි වේගයෙන් මම ට්‍රක් රථය හැරවූවෙමි. හරවා ඉදිරියට ගත් සැනින් ඔහුට පාඩමක් ඉගැන්වීමට තිබුනු සිත වෙනස් වී ගියේය. මන්ද මාගේ නිවසට මෙතැන් සිට ඇත්තේ කිලෝ මීටර 3ක පමණ දුරකි. මේ ප්‍රදේශයේ සිදුවන ඕනෑම අකටයුත්තක් ගෙදරට බැක් ෆයර් වීමට ඇත්තේ සුවිශාල ඉඩ කඩකි.

"පිටට චන්ඩි කම් එපා - ගමට වල් කම් එපා!" යනු පැරණි බහුශෘතයින් පවසා ඇත්තේ කට කහනවට නොවේය.

සිදුකරණ්නට සිතා සිටියේ "වල් කමක්" නොවුනත් "කුපාඩි කමකි"!

කුපාඩි = කු+පඬි= අනුවණ

අනෙක් අතට මට අවශ්‍ය ඉලක්කය සපුරා ගත් පසු තවදුරටත් තරග වැදීමට මා තුල ඇත්තේ ඇල් මැරුණු බවකි.

එතැන් සිට අපගේ නිවස තෙක්ම ඇත්තේ කාපට් කල පටු පාරකි. 
ඉදිරියේ දෙවන තුං මං හංදියෙන් දකුණට හැරීමට තිබේ. පෙර
කී පරිදි මෙම කුඩා මංසංධි දෙක අතර ඇත්තේ මීටර 300 ක පමණ දුරකි. පෙරකී පළමු හංදියෙන් පහලට වූ බෑවුම කරණ කොටගෙන ට්‍රක් රිය ඊගහ සේ දුවයි. ඒ සමගම ක්‍රියාත්මකවූ Wagon R රියද මා පසු පස එළවීමට පටන් ගත්තේය.
දෙවෙනි හංදියෙන් මා ගිය වේගයෙන්ම දකුණට හැරවීය.
මා සතු ට්‍රේලරය ඉතා ඉහල ස්ථායී තාවයක් ඇති එකකි. ඒ නිසාම දෝ ට්‍රේලරයද ගොනා පසුපස යන කරත්තය මෙන් හැරී ආවේය. (ඇත්තම කියනවා නම් එන්නට ඇති ය!)
ඒ හැරවීම සමගම ඉදිරියේ  දිස්වූයේ මහ පාරේ හොඳින් ඇඳ පැළඳ ගත් පිරිසකි!
ඒ අසල නිවස නෙක වර්ණයෙන් හෙබි විදුලි බුබුළු වලින් සරසා ඇත.
කොටින්ම සිංහලෙන් පවසනවානම් පාටියක් හෙවත් සාදයකි!
ඊළඟ තත්පරේ පාරේ දකුණු පස නවතා තිබුනු ත්‍රී වීලරය පාර මැද්දේම U වංගුවක් ගසා අනෙක් පසට ගත්තේය!
පිරිස බේරා ගනිමින් ත්‍රී වීලරයද නොගැටී ට්‍රක් රිය මා දකුණු පසට ගෙන එක්ෂණයෙන් නවත්වා ගත්තේය.
මං සංධියේ වම් පසින් ගත් රිය මේ වන විට පාරේ වම් පසට මුහුණ ලා නවත්වා ඇතිමුත් ට්‍රේලරයේ අන්තිම කෙළවර තවමත් පාරේ වම් පසය. කොටින්ම පාර මුළුමණින්ම අවහිරවී ඇත. ඊළඟ මිලි තත්පරයේදී මහා හඬක් පසු පසින් ඇසුනි. ට්‍රක් රිය ඉදිරියට ගැස්සී ගියේය.
පිරිස තුෂ්නිම්බූත වීය!
මම එකවර වාහනයේ එන්ජිම නොනවත්වා නැවතුම් තිරිංගය (අත් රෝධක) ක්‍රියාත්මක කොට බිමට පැන්නෙමි.
Wagon R රථය මාගේ ට්‍රේලරයේ පසුපස සිඹ නොව විකාගෙනය!
ෂෙල්, බෆර්, මඩ්ගාඩ්, හෙඩ් ලෑම්ප් සපෝර්ට් පැනල්,  රෙඩියේටර්, ඒ සී කන්ඩෙන්සර් ආදී මෙකී නොකී  සියල්ල ඇඹරී ගොසිනි.
"අම්මට සිරි!" මටම කියැවින. මේ ට්‍රේලරයේ පසුපස කිසිදු විදුලි පහනක් නොමැත! 
"මේක නම් සුපිරිම අච්චුවක් කන්න වෙන සීන් එකක්!" මම මටම කියා ගත්තෙමි!

ඊළඟ මොහොතේ වැගන් ආර් රථයේ දොර ඇරුනි!
එයින් එළිය බැස්සේ සුදු පැහැත් කලිසමක් හා නෙක මෝස්තරයන්ගෙන් අලංකාර වූ කමිසයක් ඇඳ කළු සපත්තු දැමූ 6 X 4 ඩයල් එකකි!.
ඔහු දොරින් එළියට බැස ගත් වනම දොරටම වාරු විය!
ඔහුට කෙළින් සිටීමට වත් හැකියාවක් නොමැත!

"ඔයා බීලා නේද?" මා පලාතටම ඇසෙන්නට ඇසුවෙමි!

"ඔව් බං මම බීලා! උඹ මාව අඳුනන්නේ නෑ වගේනෙ කථා කරණ්නේ? මට ඉන්ශුවරන්ස් එකට කථා කරන්නෝන!" ඇල්කොලික් ස්වරයෙන් ඔහු මහ හයියෙන් කෑ ගැසීය.

"අම්මට සිරි මාව දන්නවා?" මගේ දෙපතුල සිට සිහින් හිරි වැටීමක් ඇඟ පුරා දිව ගියේය! මම ඒ බව නොහඟවා නැවත ඔහුව ඇමතූවෙමි. මේ වන විට ත්‍රී වීලරයේ නගින්න ආ පිරිස එහි නැග වේගයෙන් පලා ගියේය! එහෙත් එතැන තවත් 10 - 15 ක් රැඳී සිටියෝය.
"මොන දේ කරණ්නත් බීපු නැති සිහියක් පතක් තියෙන එකෙක් ඔය මගුල එලවගෙන ආවා කියපං! නැත්නං උඹට වෙන නඩුවක්!" මම කීවෙමි.

ඔහු ඊට අවනත වීමක් පෙනුනේ නැත. යලිත් ඔහු කෑගැසීමට පටං ගත්තේය.
"අඩෝ උබ සුරවීර මහත්තයාගේ පුතා නේ ? උඹ දන්නේ නෑ වගේ ඉන්නේ!? මොනා හරි කරපං යකෝ!"

මගේ මතකයට එන  එකදු "සුර වීරයෙක්" අපේ පරම්පරාවේ නැත! සුපිරිය! සුප්පා සුපිරිය!! 
"මූ මට රැවටිලාය!" මගේ යටිසිත මට තෝරා බේරා දුන්නේ ක්ෂණිකවය.

"උඹ ඕන දෙයක් කර ගනිං! මම යනවා!!" මම ගත් කටටම කීවේය.

"අඩෝ XX බල්ලා! තෝ මගේ මස්සිනා වෙලා මාව දාලා යනවද? උඹ මහ පරයෙක් යකෝ! තෝ මගෙ නංගි බැන්ද එකා!" 
වැඩේ එළම එළය. ඒ ගමන මේ යකා සිතා ඉන්නේ; මං; උගේ මස්සිනා කියාය. එතැන සිටි පිරිස දියාරු වී ගියේය. කාලෙකින් ලැබෙන අනගි භවනීය චාන්ස් එකක් වන; ෆුල් සීරියල් වලියක් බල කියා ගන්න තිබෙන අවස්ථාව නැතිව ගිය බව වටේ දනෝ වටහා ගත්තෝය! "මේක මේ දෙමස්සිනාලාගේ කේස් එකක් හෙවත් පවුලේ වලියක්" බව උන් තේරුම ගන්නට ඇති!

"හරි උඹ ඕන දෙයක් කර ගනිං. මං  යනවා. වෙන්න ඕන දෙයක් තියේ නං හෙට උදේ ගෙදරට වරේං!!"

මම ට්‍රක් රියට නැග්ගේ ක්ලච් එක පාගාගෙනමද මන්දා! මොහොතින් පළමු ගියරයට ගියර් පෙට්ටිය සකසා ක්ලච් එක අත ඇරියෙමි.
ට්‍රේලරයේ පසුපස ඇමිණී තිබුනු ෂෙල්, බෆර්, මඩ්ගාඩ්, හෙඩ් ලෑම්ප් සපෝර්ට් පැනල්,  රෙඩියේටර්, ඒ සී කන්ඩෙන්සර් ආදී මෙකී නොකී සියල්ලෙන් කුමන හෝ කොටස් කිහිපයක් සමග වාහනය ඉදිරියට ඇදීමට පටන් ගත්තේ තවත් විසල් හඬක් හා කෙඳිරිල්ලක් නගාගෙනය. ඊළඟ මොහොතේ ඒ කොටස අතහැරුනු බවක් දැනුනි. 
මා කිසිදාක ට්‍රක් රිය නොපැදවූ වේගයකින් කිලෝ මීටරයක් පමණ ගමන් කොට; යොදා ගත හැකි සියළු අතු පාරවල් අතුරු මාර්ග `පාළු සොහොන් පිටි, රබර් වතු, බඩ වැටි අස්සෙන් මුස්සෙන් දමා ගෙන "මගෙ රත්තරන් හෙළේනා කැන්දන් ආ ලෙසින්" නිවස කිට්ටුවට පැමිණියේය. එතැන් සිට කිසිදු වෙනසකින් තොරව ට්‍රේලරය වත්තේ ඉමක සඟවා තබා වාහනය අදාල තැන පාර්ක් කලෙමි.

"මොකද?" බිරිඳ විපිළිසර විය!

"මුකුත් නෑ . . . . ! කාලෙකින් මගේ මස්සිනා හම්බුනා පාරෙදි!" මම ඇඟට නොගෙන කීවෙමි!

"කවුද තිලක් අයියාද? අක්කා හිටියේ නැද්ද? ඉතිං එක්කං එන්න එපායැ!? දැං එනවා කිව්වාද?"

"එයිද කියලා නං හිතන්න බෑ! කෝකටත් කියලා ඒකයි මම ට්‍රේලරේ පේන්නැති තැනක ගැලෙව්වේ!"

"මොකක්!?

55 comments:

  1. පාර පුරා ඇතිවෙනතුරු සෙල්ලම් දාලා
    යාර ගණන් ලංවී යළි ඈතට වීලා
    දෝරෙ ගලන රත ගායට වෙදකම් පාලා
    මාර නෑකමක් අවසන ඉන් ඇති වීලා😀

    මදැයි ඔයින් ගියා
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි දුමී!
      ඔව් පසුව මම කල්පනා කලේ මම සහ මගේ වාහනේ නොතිබෙන්න මේ යකා අර මිනිස්සුන්වත් යට කාණ්න ඉඩ තිබ්බා!

      Delete
  2. ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක් බැලුවා වාගේ දැනුනා!

    ReplyDelete
    Replies
    1. මගේ රියැදුරු ජීවිතයේ මෙහෙම මිශන් එකක් දෙකක් තියෙනවා!
      බොහොමත්ම ස්තූතියි මෙහි ආවාට!

      Delete
  3. අනේ සන්තෝ, මැදැයි. එක හුස්මටම කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ ජීවිතේම ත්‍රාසයෙන් පිරිලා අප්පා!

      Delete
  4. ඇත්තටම ඉතින් ඒ මස්සිනා නෙවෙයිද..මොකා උනත් එහෙම පාරේ යනවද අප්පා එනකං මඟ රැක රැක ඉදලත්.හොද වැඩේ උන්දැට උනේ 🤗

    ReplyDelete
    Replies
    1. මොන මස්සිනෙක්ද බං?
      ඒකාව දැක්කෙත් එදාමයි. මම කැප් තොප්පියක් දාගෙනද මන්දා හිටියේ. ඒ හින්දා ඌ තව ටිකක් අන්දොස් වෙන්න ඇති.
      ඌයි මායි අතර තිබුනා අඩි 10 - 12 ක විතර දුරක්. අනික අඳුර. ඔක්කොටමත් වඩා ඹමන මත!
      ඒකනේ අපි ඔයාලට කියන්නේ "බොන්නෙපා!" කියලා.

      Delete
  5. ඔබ ට යටියන්තොට හක්බෙල්ලාගමට සම්බන්ධයක් තියෙන විත්තිය අහන්න සතුටුයි..මොකද හක්බෙල්ලාගම පාලමේ නිර්මාණ කටයුතු සිදු කලේ මගේ අතින්...පාලම ගහන්න ඉස්සෙල්ලා මැනුම් කටයුතු කරන කොට ගමේ තරුණයො ටික මාර සපෝර්ට් එකක් දුන්නෙ..කූඩැල්ලො නාගෙන තමයි වැඩෙ කලේ - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මයියා!
      මගේ තාත්තාගේ මුල් ගම හක්බෙල්ලාවක!
      මොන තරම් සතුටක්ද ඒ පාලමේ නිර්මාණ ශිල්පියා මෙහෙම හරි හඳුනා ගන්නට ලැබීම.
      ඔව් එහේ එවුං ඕන දේකට ෆුල් සපෝර්ට් තමයි!
      මටත් ඒ ගම අත අරින්න් බැරි එක හේතුවක් ඒක!
      වරෙං වෙලාවක මගේ කෑම්ප් සයිට් එකේ රැයක් ගත කරලා එන්නත් එක්ක!
      මේකත් බලන්නකෝ:-

      https://thattayagekolama.blogspot.com/2017/06/blog-post_12.html

      Delete
    2. අනිවා ඔය පැත්ත ආයේ බලලා යන්න එන්න ඕනේ....කොහොමද දෙසැම්බර් මාසේ....කොහොමද ඔයාව කන්ටැක්ට් කරන්නේ - Mayya

      Delete
  6. මට නම් ට්‍රේලර් වැඩේ අමාරුයි, පස්සට යාම තමා වැඩේ. ඔසී උන් නම් ට්‍රේලර් කොහොම උනත් කොක්ක නම් සවි කරලාම තියෙනවා, ගැණු පිරිමි කාටත් වැඩේ පුරුදුයි. ට්‍රේලර් රෙන්ට් එකට පහසුවෙන් ගන්න පුළුවන්.
    රෝඩ් රේජ් කියන්නේ බයානක ලෙඩක්, පිස්සු බල්ලොන්ගෙන් බේරෙන්න ඕන හපන්න කලින්.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව් විජේභාහු මහත්තයා; ඔසි වල හැම වාහනේකම ඔය 50mm Tow Ball එක තියෙනවා.
      ඇත්තටම ලොකු ට්‍රේලර් එනම් තරමක් දිග ඒවා රිවර්ස් කරණ්න පහසුයි.
      මගේ තියෙන්නේ කොට එකක්. ඒක හරිම අමාරුයි.

      ඔව් මම දැකලා තියෙනවා බනිංස් Bunnings එකේ එහෙම ට්‍රේලර කුලී පදනම මත ගන්න තියෙනවා.
      ඔව්Road rage කියන්නේ ඉවරයක් නැති කාලකණ්නි ක්‍රියාදාමයක්!

      Delete
  7. හපොයි...... සුරවීර මහත්තයාගේ පුතෝ..... ඔහොමද පාරේ යන්නේ...? ඇති ඔයින් ගියා.

    ReplyDelete
    Replies
    1. ඔව් පාරට බැස්සාම අරින්නේ නෑ ඉතිං! ත්‍රාසය භීතිය කුතුහලය තමයි!
      අම්මට සිරි මට නමකුත් දාලා!

      Delete
    2. මම මේ කල්පනා කලේ විහිලුවට වගේ කවදාහරි ඔය වාහනේට නැගලා යන්න අවස්තාවක් ආවොත් මේ අකරතැබ්බ දැන දැන මොන හිතකින්ද අප්පා 10 ක් වත් යන්නෙ කියලා. 🙈

      Delete
    3. තට්ට මහතා එක්ක ටීපී කැම්ප් ඔය වාහනෙන් යෑමත් ත්‍රාසජනක ඉලඇදෙන හිනායන රෝම උද්දීපනය වෙන අතීශය විස්මය දනවන උද්වේගකර ගමනක්..බ්ලොග් ලියන්නෝ සිය පවුල් සමග කිහිපවාරයක් ඔය ගමන ගිහින් ඇති බැවින් හොද රිය පදවන්නෙක් බව ඉදුරාම සහතිකයක් දෙමි..

      Delete
    4. එහෙමද..? හම්මේ ඇති යාන්තම් දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. 😁.

      Delete
    5. https://drackey.blogspot.com/2023/04/blog-post.html

      Delete
  8. මෂ්ෂිනාට ඔහොම කල එකනං කැත වැඩේ හැබැයි.

    වැගොන් ආර් කාරයො තරං ගෘප් වල බැනුං අහන වෙන ජාතියක්නං මම දැකලම නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ මම බලනවා ඌ ආයේ හම්බෙයිද කියලා සමාව ගන්න.
      කරුමෙට මට ඌව මතක නෑ කියන්නකෝ.
      හැබැයි ඌ ටිකක් වැඩිවෙන්න බීලා හිටියොත්නම් මාව ඌ අඳුන ගනියි නේද?

      වැගන් ආරෝ හිතාන ඉන්නේ ඒක තමයි මේ ලොකේ තියෙන Most versatile එක කියලා!

      Delete
  9. කතාව වගේම කතාව ලියන ආකාරයත් නියමයි. හයි බ්‍රයිට් හෙඩ් ලයිට්, වැරදියට ඇජස්ට් කරගෙන යන වාහෙලත් ඉන්නවා. ඉස්සරහින් යන එකාගෙ රියර් වීව් මිරර් එකේ වැදිලා ඌ අනාත වෙනවා. සමහරවිට මුන් මේවා කරන්නෙ, දැණගෙනම වෙන්නත් ඇහැකි. ඒත්,අර කිව්වැහෙ රෝඩ් රේජ් කියන්නෙ විශම චක්‍රයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් වොව් ! ඒක නිකං රේල් පාරේ යකඩ කන්වා වගේ සීන් එකක්! කෙළවරක් නෑ!

      Delete
    2. 'රේල් පාරෙ යකඩ කනව වගෙ' මරු කියමන

      Delete
  10. හැප්පුනු හැප්පිල්ලට ශේප් වෙන්න ඒ මනුස්සයා කියපු බොරුවට අහු වුණා නේ ද? අනිත් අතට ඒ මනුස්සයාට ඒ බොරුව බැක් ෆයර් වුණා වගේ. ඔයාට ගෙවනවාට වඩා එයාට ඒක ලාභ ඇති.

    ReplyDelete
    Replies
    1. මට සුට්ටං පාඩුවක් වත් උනේ නෑ නගෝ!
      කිව්වත් වගේ මම උගේ ගැටේට අහු උනාදත් මන්දා?
      මම ඒකව සෝදිසි කරලා බලන්නද?

      Delete
    2. එයා පාඩුවක් නොවුණු බව දන්නේ නැතිවනේ බහින්නේ. ඒ මදිවට මග දිගට කරපු අරියාදුත් පත්තු වෙන්න පුලුවන්නේ. සමහරවිට වෙරි නැතිවත් වෙන්න පුලුවන්. මළ කෙළියයි ජූලි හතයි කියලා ගැලවෙන්න බොරු කිව්වා වෙන්න පුලුවන්.

      Delete
  11. බස්සා හරියට හරි... රෝඩ් රේජ් කියන්නෙ විෂම චක්‍රයක්. මට හම්බුවෙච්ච ඇණ හැම එකකට ම මම කළේ ඉතා ම අමාරුවෙන් කේන්තිය යටපත් කරගෙන, උගෙ ආතල් එක ඌට ගන්න දීලා, ඌ මේ ලෝකෙ නෑ වගේ හිතාගෙන, මගෙ ගමන ගියපු එකයි. ඇයි අපි උගෙ මට්ටමට වැටෙන්නෙ...

    අර මස්සිනාට කරපු කැත වැඩේට නං මාර මානසික තෘප්තියක් දැනුණෙ ඈ...

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකයි අවයවය. ඔන්න ඕක තමයි පාලනය කර ගන්න ඕනෙ. හිතෙන්නෙම, අරූට කෙලවන්නයි. හැබැයි එහෙම කරන්න ගියොත්, අපි ආයෙ චක්කර රවුමෙ.😁

      Delete
    2. මට දුක ඌ මගේ මසියාම නොවුනු එකමයි බං ඩ්‍රැකියෝ!

      Delete
  12. මේක අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල උන එකක් නම් තාමත් වලියටම බර වගෙයි.මග තොටදි හම්බ උනහම කතා කරන්නත් බය හිතෙන සයිස්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ! හැකි හැම අවස්ථාවේම උත්සාහ ගන්නේ නඩු වලින් ඈත්ව ඉන්න! ඒත් එහෙම කියලා ගුටි කන්න පුළුවන්නෑ?

      Delete
  13. දරුණුයි නේ මෙයාලා 😀

    ReplyDelete
    Replies
    1. අනේ නෑ! අපි අහිංසක පොලිස් සර්!

      Delete
    2. අහිංසක පොලිස් කියන්නේ අවංක ක්‍රිකට් වගේ

      Delete
  14. ලෝකෙම තමුන්නෙයි සිතනා අනුවණයෝ
    'මං විතරයි පොර' කියනා ජහමනයෝ
    දැන් හරි වැඩියි නෙව තට්ටය මහත්තයෝ
    හැප්පෙන්නට නොයන් උන් හරි මදාවියෝ

    ReplyDelete
    Replies
    1. ඔබගේ මවගේ අවසාන කටයුතු වලට සහභාගී වීමට නොහැකිවීම පිළිබඳව කණගාටුයි.

      මෙවන් අවස්ථාවක වුවද මෙහි පැමිණ පද හතරක් එක් කලාට ස්තූතියි!

      Delete
  15. මංජුල සුරවීර එලිසබෙත් ටේලර් එක්ක රෑ ජාමේ නටන ජවුසං. 😇🙈

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣🤣 ඔව් අප්පා! මටත් වෙන මගුල්!. ස්තූතියි මෙහි ආවාට! තට්ටයා

      Delete
  16. ඈ දැන් අත්තනායක නමට අමතරව සුරවීර කෑල්ලකුත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. තව එළු මගුලක්! - තට්ටයා

      Delete
  17. ඔබේ සටහන කුතුහලයෙන් කියෙව්වා. සමහරවිට ඔබ මේ චිත්‍රපටය බලලත් ඇති. ස්පීල්බර්ග් ගේ Duel චිත්‍රපටය මතක් වුනා.https://www.youtube.com/watch?v=SutDTIhbQ2g

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ!
      ඒ මම කැමතිම චිත්‍රපටයක්; මම අර අන්තිමට "මේ පිචෑර් එකත් බලලා යන්න" කියලා තියෙන්නේ ඔය ෆිල්ම් එක තමයි!

      Delete
    2. ඔය චිත්‍රපටියේ ලොරිය කාරෙක හප්පලා වැටෙන එක ඒ දවස් වල කරලා තියෙන්නේ පොඩි කන්දක් ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හදල සෙල්ලම් කාරෙකක් හා ලොරියක් එක්ක. ඒ වීඩියෝ එක මම බැලුව. මට හොයා ගන්න බැහැ මෙතනට දාන්න

      Delete
  18. තිලින ප්‍රියසාද්November 20, 2023 at 10:41 PM

    අම්මපා තට්ටයා අයියෙ ඔයාට මං හිතුවට වඩා ඉවසීමක් තියෙනවනෙ... එදා මම ට්‍රක් එකේ හිටියා නං අරූ මෝචරියෙ මම හිරේ.....

    මමත් ඔයා වගේ ඉවසීම ඩිංගක් පුරුදු වෙන්ඩ කාලෙ හරි දැන්....

    ReplyDelete
    Replies
    1. කියන්න තරං හොඳ එහෙමට ඉවසීමක් නෑ!
      එළියට බැස්සොත් කේස්ම තමයි!
      කොහොමත් "ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද?" කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයිනේ කොල්ලෝ!

      ඒ හින්දා ඉවසීම නම් පුරුදු පුහුණු කරගත යුතුම දෙයක්.
      නැතිව මුං එක්ක ඉන්නේ කොහොමද කියපංකෝ!?

      Delete
  19. බුකියේ...ටේලර් කතාව දැන්නේ මිටර්...
    අඩෝ...මස්සිනාට ඒ වගේ...කැම්රි වැඩ තමයි කරන්න ඔනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් වොව්! මුං මාව විහිළුවට අරංනේ බං!

      ඒක නෙවේ ඔය මම ගිය සතියට ඉස්සෙල්ලා සතියෙ ලියලා තියෙන "එම්බ්‍රොයිඩර් වැළඳීම" කියෙව්වද?

      Delete
  20. මස්සිනා පෞඩ්ඩ පව් අලේ. උට ලැජ්ජාවෙ සංතෝසෙ බැරැව ඇති 😁

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...