Thursday, August 31, 2023

259. තිස් අවුරුදු රථ මතක . . . . ! (14)


මෙම "තිස් අවුරුදු රථ මතක" නම් ලිපි පෙලින් ලියැවෙන්නේ අදින් වසර 50 කට පමණ පෙර සිට අපගේ ජීවිත  හා බැඳුනු රථ වාහන රාශියක් හා ඒ හා බැඳුනු කතා ගොන්නකිනි.
මා පලමුවෙන්ම මටම කියා වාහනයක් ගත්තේ 1992 එනම් මීට වසර 31 කට පෙරය!
රියැදුරු බලපත්‍රය ලබා ගත්තේ 1993 වසරෙදීය!
එතැන් පටන් මා අත තිබුනු වාහන පිළිබඳවද, ඒ වාහන හා බැඳුනු රසවත් මෙන්ම දුක්ඛ දායක සිද්දීන්ද එක්තැණ් කොට මෙම ලිපි මාලව ලියැවෙයි. මෙය ලිවිම පටන් ගැනුනේ "නොරතරථ" නමින් වුවත් එය "තිස් අවුරුදු රථ මතක" ලෙස වෙනස් කලෙමි.

මෙහි අවසන් ලිපිය ලියා ඇත්තේ 2021 අගෝස්තුවේය. 

මෙම ලිපියේ ඇති කරුණු වලින් සමහරක් මා මීට පෙර පෝස්ටුවල ලියා තිබීමට පුළුවන. බොහෝ කලකින් මෙම ලිපි පෙල ලියනා බැවින් පසුගිය ලිපිය හා සම්බන්ධතාවය පවත්වා ගැනීම උදෙසා එසේ සිදුකල බව තේරුම් ගනු මැන!


අද එතැන් සිට ලිවීම අරඹමි.


වර්ෂය කාල වකවානු පිලිබඳව නිනව්වක් නැත! කලකට ඉහත අගනුවර කිසියම් ආයතනයක් ඉදිරියේ වූ රථවාහන අංගනයකදී මා දුටු නිසාන් පැට්රෝල් රථයක් විය. එය; ඒවන විට මා සතුව තිබුනු 32-0865 මෙන් උස් වහළයකින් යුත් එකක් නොව ෆ්ලැට් රූෆ් කොටයකි. මෙම මාදිළියේ රථ අතර කඩවසම් රථය වූයේ Flat Roof එකය. උස් වහළයකින් යුත් රථය මෙලෝ රහක් නැති හැඩයක් ගත් එකකි.  ගෙන්වූයේ ශ්‍රී ලංකා පොලීසියට වන අතර එම රථයද පොලීසිය මෙනි!

මා සතුව තිබුනු 32-0865 රථය
 මෙවන් Nissan Patrol 160 High "Roof " වහලක් සහිත එකකි!


Flat Roof

වර්ණය දුඹුරු පැහැය ය. පිටුපස ෆයිබර් වහල කොටස ඇත් දළ පාටය. ගැඹුරු ශක්තිමත් පෙනුමැති ඇලොයි වීල් හතරකි. එය ආවරණය වී තිබුනේ 31x10.50x15 ටයර් හතරකිනි. එහි ලියාපදිංචි අංකය 32-2004 හෝ 2008 ය.  එහි අයිතිකරු වූයේ තලාහේනේ පදිංචි රසික නමැති හේලීස් ආයතනයේ සේවයකල තරුණයාය! 

32 දෙදාහස් කාණ්ඩේ මේ වාහන රොත්ත හෙවත් ෆ්ලීට් එක තිබුනේ ලංකා බැංකුවේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේය. මේ හැම වාහනයක්ම අදටත් කෙලින් කටින් තිබෙන වාහන ය. රජයේ ආයතන අතුරින් වෙන්දේසිවලින් ලැබෙද්දී ආයේ ගන්න සංසාරයක් නොමැති වාහන ශ්‍රී ලංකා පොලීසියේ ඒවා ලෙස ක්ෂේත්‍රයේ බොහෝ අය පවසනු මා අසා ඇත. 

ඇලොයි රිම් හතරකින් සමන්විතවූ එම රථය දුටු වනම මාගේ සිත පැහැර ගැනීමට සමත් විය! කිසියම් කටයුත්තක් සඳහා මා එම ස්ථානයට ගිය අවස්ථාවක මෙම රථය දැක; එහි අයිතිකරු පැමිණෙන තෙක් එහි රැඳි සිට ඔහුගෙන් එය පිළිබඳව කරුණුන් විමසා බැලුවේය. 

ඔහුගේ නම රසික බවත් ඔහුගේ වගතුගත් මා අසා දැනගත්තේ එවිටය. ඔහු අගනුවරින් ඈත නගරයක තරුණයෙකු විය. ඔහුගේ කොළඹට සංක්‍රමණය වී තිබුනේ රැකියාව නිසා විය යුතුය. මෙසේ අගනුවරට සංක්‍රමණය වූ බොහෝ අය තුල තිබූ හීනමානය මා පලමු දිනයේම ඔහු තුලත් දුටු වෙමි. ඔහු මා සමග කථා කලේ මාව පයිසයකට මායිම් කරමින් නොවේ! අද ව්‍යවහාරයෙන් පවසනවානම් "ලොකු ලයින්" එකෙන්ය! ඔහු එම වාහනයට හාරලක්ෂ පනස් දහසක මිලක් පැවසුවේය. සත්තකින්ම එය ඒ කාලයේ හැටියට නොවටිනා මිලකි.  මා වාහනයේ මිල තරම්ක් පහත හෙලීමට කථා කලද ඔහු ඊට දැක්වූයේ නුරුස්සනා බැල්මක් පමණි.

එකල මා සතුව පැවතියේ 32 ශ්‍රී 0862 නිසාන් පැට් රෝල් රථය ය. මා කලින් පැවසූ රසිකගේ රථය දුටු දිනයේ සිට මොලේ දන්න පටන් ගත්තේය. ඇනෙන් ඇනේට ඔරිජිනල් තත්වයට පැවති එහි සෑම මීටරයක් ස්විච් යතුරක් බොත්තමක්ම වැඩකරණා සේයාවක් එදින මා දුටුවෙමි. 

ඊට සාපේක්ෂව මාගේ 865 දාච්ච වැඳිරියකි!

Nissan Patrol High Roof J160SU රථයට උපතේදී හිමිව තිබූ Swing Doors නො එසේනම් සැලූන් දොරවල් වෙනුවට Tail Gate දොරක්; මාගේ 32-0865 ට මෙරටදී නිමවා සවි කොට තිබුනේය. සැලුන් දොරවල් හෙවත් Swing Doors යනු දෙපැත්තට ඇරිය හැකි දොරවල්ය. ටේල් ගේට් Tail Gate දොරවල් යනු පහත කොටස පහතටත් ඉහල කොටස ඉහලටත් ඇරීමට හැකිවන සේ සකසා ඇති දොරවල්ය.

Nissan Patrol Standard Roof  (Flat Roof) K160U රථයට කර්මාන්තශාලාවෙන් සවිකර ඒවන්නේම  Tail Gate දොරකි. මෙහි වාසිය වන්නේ උඩින් ඇති වීදුරුව උඩට ඔසවා යටි දොර පහලට ඇර ගත් පසු එය මේසයක් සේ සකසා ගත හැකිවීමය. මෙරට ගරාජයකින් සකසා ගත් මගේ    දොරෙන්ද එම කාර්‍යයම මා ඉටු කර ගත්තෙමි.

වහලය සහ පසුපස දොර වෙනස් කල 32-0865 වස්ගමුව අතර මග!

රථයේ මූලික හැඩය වෙනස් නොකොට එහි පසුපස සවිකොට තිබුනු Fiber වහලය ඉවත් කොට ඒයට මා විසින් නිර්මාණය කල වහලක් විය. එය සුසුකි සමුරායි රථයේ රෙදි වහල (Soft Top) එකට අනුකූලවය! ගෙවල් අසල ග්‍රිල් ගේට්ටු වැඩ පොලකින් රාමුව සකසා ගත් අතර විජේරාමේ Upholstery  වැඩ පොලකින් රෙද්ද මසා ගත්තෙමි.

මේ කියනා කාලයේ මා සේවය කලේ මාළිගාවත්තේ ලංකා නිපෝන් නමැති ආයතනයේය. එහි හිමි කරු වූයේ තන්වීර් තජුඩීන් මහතාය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකු විය. ඔහු සතුව ආයතන ශාඛාවක් රත්නපුර, දෑල ප්‍රදේශයේ පිහිටා තිබුනි. රත්නපුර දෑල පිහිටි මහ කම්හල ඒ වනවිට ඈලියාවට ගොස් තිබුනි. එය නැවත පිළිසකර කර ගැනීමට තන්වීර් මහතාට අවශ්‍ය වූ අතර ඒ සඳහා ඔහු මා තෝරා ගත්තේය. ඒ සමග රැකියාවට අලුතින් බඳවා ගත් කර්මාන්තශාලා කළමණාකරුහට ලියාපදිංචි නොකල ටොයෝටා 110 ස්ප්‍රින්ටරයක් මිළදී ගත් අතර මා හට වැටුපෙන් අඩුවන පදනම මත වාහනයක් මිළදී ගැනීමට රුපියල් ලක්ෂ 4ක ණයක්ද ලබා දුන්නේය.

මට අවශ්‍ය වූවේ ටොයෝටා ඩබල් කැබ් රථයකි. මීට කලකට පෙර මාගේ 32ශ්‍රී5460 ලෑන්ඩ් කෲසරයේ එන්ජිම සවිකිරීමේදී උපදේශකත්වය ලබාදුන් ටොයෝටා සමාගමේ ගාන්ධි අයියා වාහනයක් පිළිබඳව ඔත්තුවක් ලබා දුන්නේය.

ඒ කොටහේනේ ඩිමෙසලන්ඩ් හවුස් හි ප්‍රධාන පියතුමා පාවිච්චිකල කැබ් රථයයි. 

එය ටොයෝටා සමාගමෙන් හෙවත් ෆෲඩන්බර්ග් සමාගමෙන් අලුතින්ම මිළදීගෙන සමාගමෙන් සියළු නඩත්තු හා සේවාවන් කල රථයක් විය.

එහි අංකය 50 ශ්‍රී0800 විය. ටොයෝටා LN65 මාදිළියේ රථයකි. එය බලගැන්වූයේ 2L - 2400CC එන්ජිමකිනි.

වසික & කල්මලී
පසුපසින් හොරා වගේ ඉන්නේ 50-0800

දැනට මා සතුව ඇති එම වාහනයේ එකම පිංතූර "දෙක"!

වාහනයේ අඩුපාඩුවකට තිබුනේ සිගරට් ලයිටරය පමණි.

කිසිදු ඇද පලුද්දක් නොවූ ඒම රථය වැඩි කාලයක් මා සමග නොරැඳුනි.

එකල රත්නපුරයේ මැයි ගහ යට හංදියේ ටොයෝටා සමාගමේ අනුබද්ධ ආයතනයක් ලෙසින් වැඩහලක් ආරම්භ වුනි. එහි අයිතිකරු වූයේ එවකට කතරගම බස්නායක නිළමේ තැන්පත් නිලංග දෑල ය.

නිලංග මාගේ පාසලේ මට පහල පංතිවල අකුරු කල අයෙකි.

ඒ නිසාම නොව ටොයෝටා සමාගමේ අනුබද්ධ ආයතනයක් ලෙස පෙන්නුම් කල නිසාම මාගේ ටොයෝටා රථයේ සියළු නඩත්තු හා සේවා සඳහා යොමුකලේ එතැනටය.

දිනක් එහි තිරිංග පද්ධතියේ හෙවත් බ්‍රේක් අළුත්වැඩියාවකට එහි ගිය අවස්ථාවක එහි කාරමිකයෙකු එය පදවා වෑන් රථයක් හා ගැටුනි. මේ සමගම එහි ඉදිරිපස ඇක්සලයේ නකල් (බෝලය ) අසල පසු පසට පැමිණ කුඩා නැම්මක් ඇතිවිය.




ඉදිරිපස ඇක්සලයේ නකල් (බෝලය ) අසල 

මේ නිසාම වාහනයේ වම්පස රෝද අතර දිගට වඩා දකුණු පස රෝද අතර දුර (Wheel Base) අඟලකින් කොට විය!

මේ සඳහා අළුතින් ඇක්සලයක් සපයා දීම එම ආයතනයෙන් පැහැර හැරිය අතර ඔවුන් ඒ සඳහා රුපියල් 5000 ක හෝ 10000 ක මුදලක් මාවෙත ලබා දුන්නේය.

රථයේ ධාවනයේදී කිසිදු ලෙසකින් එය නොදැනෙන සේ ඉදිරි රෝද වල එකෙල්ල හෙවත් (Wheel Alignment)  සකසා තිබුනද එය මගේ සිතට මහත් වදයක් ගෙන දුන් කාරණයක් විය.

කාලය මෙසේ ගෙවී යද්දී මා ලංකා නිපෝන් ආයතනයෙන් ඉවත්වී සේවය සඳහා පානදුර පර්ෆෙක්ට් ෆිට් නමැති ඕස්ට්‍රේලියානු ආයතනයට බැඳුනෙමි. එම ආයතනයේ සේවය කල මානව සම්පත් අංශයේ සාමාන්‍යධිකාරීවරයා මෙම කැබ් රථයට; දුටු දිනයේ පටන් කෙළ හලන්නට විය.  දන්නා හිතවතුනට වාහන විකිණිම අති භයානක කාරණයකි. විකිණීමෙන් පසුව රෝදයක හුළං බැස්සද එය මුල් අයිති කරුගේ අවුලකි.

"වාහනය විකුණා ඇත්තේ පරණ ටයර් දාලා!"

"හරි ගානට හුළං ගහලා නෙවෙයි පාවිච්චි කරලා තියෙන්නේ!"

"ටයර් ටික දැම්මාම ගත්තු ලාභෙ ගිහිං ඉවරයි!"

"ඔයා දන්නේ නැද්ද මේකෙ රෝදෙක පැච එකක් කියලා!'

"පැච් එකක් කියලා ගැලෙව්වාම පැච් හතරක්!"

"ඉස්සෙල්ලා දාපු එකකිනුත් යනවා! ඒක හරියට දාලා නෑ!"


මෙවැනි කථා රාශියක් අහන්නට සිදුවේ! කොහොමත් මා වාහන විකුණන්නේ වාහනය ගැන හරියට කියා අවසානයේදීය. මිළ අඩු කිරීම මා නොකරණ තරම් ය!

"මෙහේ ඉඳන් යාපනේට ට්‍රයල් එකක් දෙන්නම්!" මම කියන්නේ බොරුවකට ඇන්දීමට නොව මා පාවිච්චි කරණ වාහනය කෙතරම් පැරණි වුවත් එය ඒතරම් හොඳට ධාවන තත්වය නඩත්තු කරණා බැවිනි.

කැබ් රියේ ඇති ඇක්සල් දෝෂය ඇරුනාම වෙන ඉහෙන් බහින රෝගයක් තිබුනේ නැත. මම එයද පැවසූ පසු ඔහුගේ කාර්මිකයා පැවසුවේ "රතයක් දාලා කෙලින් කර ගත්තාම ඉවරයි!" කියාය.

බාස්ලාගේ භාෂාවෙන් "රතයක් දානවා!" යනු රක්ත තප්ත වන තෙක් රත් කිරීමය.

සත්තකින්ම එයට පිළියම එයම වුවද මාගේ හිතට එය හරි මදිය! ඒ නිසාම මා රටේ හැම අස්සක් මුල්ලක් නෑරම හොයා බැලූ මුත් අලුතින් සොයා ගැනීමට අපොහොසත් විය.

මේ වන විට මම පවුලේ අය සමග නුවර පින්නවල ප්‍රදේශයේ හා අම්බලන්ගොඩට සංචාරයක් පමණක් ගොස් තිබුනි. 

කැබ් රිය ඉල්ලූ දින සිටම මාගේ හිතේ හොල්මන් කරණ්නට වූයේ රසිකගේ නිසාන් පැට්රෝල් ෆ්ලැට් රූෆ් රියය. මෙය විකුණූ සැණින් එය මිළදී ගැනීමට මාහට හැකිය! සත්තකින්ම අද වුවද මා එයට ඇලුම් කරණ්නෙමි. එය ඒතරම්ම කඩවසම් රථයකි.

කෙසේ හෝ වේවා අවසානයේ මානව සම්පත් අංශයේ සාමාන්‍යධිකාරී සුමුදු සිල්වා විසින් මිලදී ගන්නට යෙදුනි.

ඒ සඳහා පානදුර හැටන් නැෂනල් බැංකුවෙන් ඔහු පුද්ගලික ණයක් ගත් අතර එයට සාක්ෂි වශයෙන් අත්සන් කලේද මම මය!

වාහනය විකුණූ දිනට පසු දින මා රසික හමුවීමට නිවෙස සොයා ගියෙමි. නිවෙස තිබුනේ තලාහේනේය. වාහනයේ හැඩ හුරුකම් කී පමණින් ඔහු නැවතී සිටි නිවෙස සොයා ගැනීමට මා හට අපහසුවක් නොවීය. මා එහි යන විට රසික නිවෙසට පැමිණ නොසිටියේය. තවත් පැය බාගයකට පමණ පසු ඔහු ස්වකීය අජානීය අශ්වයා පිට පැමිණියේය. ඔහු එම අවස්ථාවේදී පවා දැක්වූයේ අප්‍රසන්න ප්‍රථිචාරයකි!

"නෑ! මං මේක විකුණන්නේ නෑ!" ඔහුගේ තනි පිළිතුර විය. මා කිහිප වතාවක් ඔහුව වාහනය විකිණීමට නම්මා ගැනීමට උත්සාහ කලද ඉන් පලක් නොවීය. මා දත් කූරු කමින් රාත්‍රියෙම හිස් අතින් නිවෙසට පැමිණියේය.

සත්තකින්ම දත්කූරු කෑවද පලක් නැත. මාගේ කැබ් රිය විකිණීමට පෙර මා රසිකගෙන් ඒ ගැන විමසුවේ නැත! සත්තකින්ම වරද මා අතය. රසික මොනතරම් නොසන්ඩාල ලෙස හැසුරුනද තම වාහනය නොවිකිණීමට ගත් තීරණය පිළිබඳව වරදක් කීමට නොහැක! 

එක් වාහනයක් විකුණා තව වාහනයක් ගැනීමට යාමේදී සියල්ල නැතිවූ පලමු කන්ථක අස්වයා මා නොවේ. ඒ නිසාම පපුව පැලී මිය යාමට අවශ්‍ය නැත!

මේවා කාට කාටත් හොඳ පාඩම් ය!

මාහට දැන් අවශ්‍යවී ඇත්තේ මොන විදියට හෝ Nissan Patrol Flat Roof රථයකි. ඒ අනිත් ගොං කමය! 

මේ පිළිබඳ රසවත් ජාතක කථාවක්ද මා අසා ඇත. එයින් කියැවෙන්නේද ආවේගය මුල් කරගෙන ක්ෂ්ණික තීන්දු තීරණ ගැනීමේ අනිටු පල විපාකයන් ය. මේ මොන දාර්ශණික කථා කීවත් රසිකගේ නිසාන් පැට්රෝලය හිමි කර ගැනීමට නොහැකිවීමේ දුක මාහට හිතෙන් අයින් කර ගැනීමට නොහැකිවිය. 

ඒ වන විටත් 32ශ්‍රී0865 ගෙදර තිබුනද මාහට හිත හදා ගැනීමට අපහසුවිය. 

මීට හේතු කිහිපයකි. වාහනයක් යනු මාහට හුදෙක් පාරිභෝගික වස්තුවක්ම පමණක් නොවේ. එය මිළදී ගැනීමෙන් පසු ගෙදර තවත්සාමාජිකයෙකුගේ තත්වය එයට හිමිවේ.

අපගේ නිවෙස පිහිටා ඇත්තේ බස් පාරෙන් කිලෝමීටර එක හමාරක් ඇතුලතය. එම බස් පාරේ බස් ධාවනය වූවේද අවාරට රට දෙල් වැටෙන්නා මෙන් උන්ට ඕනෑවට විනා අපිට අවශ්‍ය පරිදි  නොවේ. මේ නිසා සත්‍යය වශයෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බස් දුවනා පාර වූයේ නුවර පාරය. ඊට අපගේ නිවසේ සිට කිලෝමීටර 3ක් පමණ වේ. මේ නිසාම වාහනයක් යනු කුස්සියේ කපාගෙන කන පිහිය සේම අත්‍යාවශ්‍ය පාරිභෝගික වස්තුවකි.

ඊටත්; කුඩා කල මාගේ ආදරණීය මවට රථ කල්කය හොයා ගැණීමට නොහැකිවීමෙන් රථගාය; මාහට සැමදා උත්සන්නව තිබූ රෝගී තත්වයකි. මේ නිසාම ගෙදරට අලුතින් වාහනය ගැනීමට සිතාගත්දා පටන් ඒ පිළිබඳව මවන්නාවූ සිහින වල බර වාහනයට වඩා අඩු වූවානම් ඒ රාත්තල් දෙක තුනකින් විය යුතුය. එවන් බලාපොරොත්තු සිහිණ සියල්ල "නෑ! මං මේක විකුණන්නේ නෑ!" කියූ පමණින් අමතක කිරීමට අපහසුවිය. 

සුමුදු සිල්වා වාහනය ගෙනගියාට පසු මා සිරිත් පරිදි 32-0865 රථයෙන් කඩවත සිට පානදුරය දක්වා සේවයට ගියෙමි. එක් දිනක් මා කටුබැද්දේදී තවත් නිසාන් පැට්‍රොල් ෆ්ලැට් රූෆ් රථයක් දුටුවෙමි. වහාම එය හඹා ගොස් වාහනයේ විස්තර ලබා ගතිමි. හඹා යෑමේ තරම කොතෙක්ද යැයි කිවහොත් ඊළඟ සතියේ එයද ගෙදරට කැන්දාගෙන ආවෙමි.

ඒ 27 ශ්‍රී 8338 රථයයි.


 මේ වන විට නිවස ඉදිරිපස නිසාන් පැට්‍රෝල් රථම දෙකකි. 

එක වාහනයක බැටරි බැස ගිය විට අනෙක පාවිච්චි කරයි. ඩීසල් ඇති එක දුවයි. ආදායම් බලපත්‍රය කල් ඉකුත්වූ විට අනෙක් රථයේ නොම්මර තහඩුව සවිකරගෙන දුවයි.

"සදා නොමැකෙන පොසිටිව්
මේ වස්ගමුව යන අතර මගදී කඩුගන්නාව ගල විදපු ස්ථානයේදී ගත් ඡායා රූපයක්. 
වාහනයේ 27-8338 ලෙස දක්වා ඇතත් මේ 32-0865ම වේ.
ඒ ගැන ඉදිරියේ ලියන්නම්!"  යැයි "නොරත රථ 13" මා බාගෙට ලියා ඇත්තේ මේ ගැනය. සත්තකින්ම මේ පිංතූරයේ දැක්වෙන්නේ 32-0865 රථය ය. 

එක් වරක් මෙසේ එක් වාහනයක නොම්මරය අනෙක් වාහනයේ අමුනාගෙන ගොස් පානදුරදී පොලීසියට හසුවිය. එම මොහොතේම කඩවත පොලීසියෙන් කිසිවෙකුහෝ මාගේ නිවසට ගොස් අනෙක් වාහනයත් මට අයත් බව තහවුරු කර ගන්නා මෙන් පොලීසියට මා ඒ මොහොතේ පැවසූ අතර එතැනින් ගැටළුව නිරාකරණය කර ගැනීමට මාහට හැකිවිය.
නොසිතූ අවස්ථාවක අප සේවය කල පාන්දුර පර්ෆෙක්ට් ෆිට් ආයතනය වසා දැමෙන්නේ මේ අතරදී. 
ඒ වන විටවාහන දෙකක් නඩත්තුව අපහසු වන විට මාගේ මිතුරෙකුවූ මධුරංග සිල්වා වෙත මා 27-8338 රතය විකුණා දැමීමට සිත එකඟ කර ගත්තෙමි.
එයද කදිම ගනුදෙනුවක් විය. වාහනය විකුණුවේ රුපියල් ලක්ෂ 3 කට වන අතර ඔහු අත්පිට ලබා දෙන්නේ ලක්ෂ එක හමාරක් පමණි. අනෙක් ලක්ෂ එකහමාර ඔහු මට මසකට රුපියල් පහලොස් දාහ ගනනේ මාස දහයකින් පියවීමට එකඟ විය!
දැන් මතක් වන විට මේවා ඇඟ සීතල වන ගනුදෙනුය!

රැකියාව නැතිවීමෙන් පසුව මා මාගේ ගරාජය පටන් ගත්තෙමි.
ඒ කවුන්ටි මෝටර්ස්!
ඔය කාලයේ දිනක් මාගේ ඇස ගැටෙන්නේ මා වසර ගනනාවක සිට සතු කර ගැනීමට ආශාවෙන් සටි වාහනයකි. එය කළගෙඩිහේනේ ප්‍රධාන පාර අසල නවතා තිබුනි.

ඒ ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් 1210 සයිඩ් ස්ටෙප් කැබ් රථයකි.
මෙම වාහනය මා මුලින්ම දකින්නේ 1972 වසරේදී පමණ. 
ඒ අවිස්සාවේල්ලේදී. 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව හමුදාවට හා පොලීසියට මෙම රථ ලැබී තිබුනා ප්‍රධානයක් ලෙස.
මෙය සමන්විත වූයේ පෙට්‍රෝල් සිලින්ඩර් 6 ක යෝධ එන්ජිමක්.
4 ෆොර්වර්ඩ් ගියර් පෙට්ටියක්.
ගියර් පෙට්ටියේ සිට පසු පසට අඩියක පමණ දිග ප්‍රොපෙලර් ෂාෆ්ට් එකක් තිබුනා.
එයින් තමයි ට්‍රාන්සර් කේස් එක දිවැවුනේ. මේ නිසාම මොන විදියේ එන්ජිමක් සවිකලත් එම රථයේ ෆෝ වීල් ඩ්‍රයිව් ක්‍රියා කාරීත්වයට හානියක් උනේ නෑ.
මම මේ මිළදී ගත් රථයට ඒ වන විට මිට්සුබිෂි 4DR5 එන්ජිමක් සවි කොට තිබුනා.

මෙම රථය දුටු වනම එය මිළදී ගනීමේ ආශාවක් හෙවත් ඇම්මක් ඇතිවූ බැවින් එක වරම 32-0865 විකුණා දමන්නට සූදානම් විය.

ඉතින් මේ ගැන එන පෝස්ටුවෙන් කියවමු.
ඊළඟ කොටස තවත් රසවත්!


පසුව ලියමි:-
බ්ලොග් ලිවීම ප්‍රවර්ධනය කිරීමට සැරසුනු මා හටම පෝස්ටුවක් ලිවීම කල් ගත වූයේ "බාල ගිරි දෝෂය" වැලඳී තිබුනු හෙයින් නොව පසුගිය කාලය පුරාවට මා ගේ කාලය වෙනත් අධ්‍යාපන කටයුත්තකට  යොමු කල බැවිණි.
ඒ පිළිබඳව කමා වුව මැනව!

Sunday, May 14, 2023

258. මව්බිම වටා සයිකලයෙන් . . . 12

 2022/04/19

257. මව්බිම වටා සයිකලයෙන් . . . 11

අවසාන කොටස!

ගෙඩිපිටින්ම කිලෝමීටර 172+5=177km!

2022 අප්‍රේල් 10 වෙනි දින නිවෙසින් උදෑසන 6.00 ට පිටත්වී 6.13ට කඩවතදී නිශාන් සමග එක්වී ගමන ඇරඹූවෙමි.

 පලමු දින කඩවත සිට අහංගමටත්

දෙවන දින අහංගම සිට තිස්සටත්

තුන්වන දින තිස්ස සිට පොතුවිල් දක්වාත්

පොතුවිල් සිට කිරාන් දක්වා සිව්වන දිනත්

කිරාන් සිට ත්‍රිකුණාමළය දක්වා පස්වන දිනය තුලත්

හයවන දින ත්‍රිකුණාමළයේ සිට මුලතිව් වෙතත්

ඊළඟට මුලතිව් සිට පේදුරුතුඩුව හරහා යාපනයටත්

අටවන දවසේ යාපනයේ සිට මන්නාරමටත්

නවවන දවසේ මන්නාරමේ සිට නොච්චියාගම පසුකොට කලා ඔයටත් පැමිණියෙමු.

අපට අද දිනයේ ඉතිරිව ඇත්තේ කලා ඔයේ අරුණ ගෙස්ට් සිට කඩවතට පැද යාමය!


පෙරදින සවස්යාමයේ අප අල්ලාප සල්ලාපයේ යෙදී සිටින විට නිශාන් වෙතින්

"කිලෝ ..... (ඔහුගේ බර සඳහන් කරමින්) බරකින් මම මේ තරම් කිලෝ මීටර ගානක් ඔයත් එක්ක පැද්දනේ! මම හොඳයි නේද?" වැනි පැනයක් ඇසුවේය.

"ඔව් හොඳයි! මොකක්ද ඉතින් කරපු වැඩෙයි බරෙයි අතර සම්බන්ධය?"

"දැන් අයියගේ බර කීයද?" ඔහු මගෙන් විචාලේය.

"කිලෝ අසූවක් අසූ දෙකක් විතර . . . !"

"දැන් මගේ බර කිලෝ . . . . . යි!" (මට ඔහුගේ බර මතකයට නො ඒ! කෙසේ වෙතත් මට සාපේක්ෂව කිලෝ දහයක දොළහක වෙනසක් වාගෙයි මට මතක. ඊටත් වැඩිද මංදා!)

"දැන් ඔයා අයියේ මේ තරම් දුර පැද්දේ ඔය තරම් විශාල ශරීරයකින්! මම ඒ ටිකම පැද්දේ මගේ පුංචි ශරීරයෙන්! ඉතින් එතකොට මම හොඳ නැද්ද . . ? නිශාන් අළුත් නියමයක් ඉදිරිපත් කලේය.

"ඔයා Advance Level වලට මොනවද කලේ . . ? මම ඇසුවෙමි. 

"කොමර්ස් සබ්ජෙක්ට්ස්"

"හරි! දැන් ඔයා කියන්නේ ලොරි ඇංජිමක් වඩා බර නිසා කාර් ඇංජිමකට වඩා වැඩි efficiency  තිබිය යුතුයි කියනවා වගේ එකක්! මගේ ශරීරය ඔයාට වඩා විශාල බව ඇත්ත! ඒ නිසාම ශරීරය තුල ගැබ්වී ඇති ශක්තියත් වැඩි වෙන්න පුළුවන්. ඒත් ඒ ශක්තියෙන් විශාල කොටසක් ඒ වැඩි බර ගෙනයන්නට වැය වෙනවා කියලා හිතන්න බැරිද? හරි මෙහෙම හිතන්නකෝ බොක්සිං මල්ලව පොර වගේ ක්‍රීඩා වලදි ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී බර සැලකුවාට ඇයි සයිකල් රේස් ධාවන තරග වැනි ඒවා වලදී බර නොබලන්නේ?" මා ඔහුට පැහැදිලි කරණ්නට වෙහෙස වුනෙමි.

අපගේ චාරිකාව මුළුල්ලේම ඔහු මා සමග කිසියම් තරගයක යෙදී සිටියාදෝයි මට ඒ මොහොතේ සිතුනි.

බොහෝ ආහාර ගත් ස්ථානවලදී මා පුරුද්දට මෙන් "කාලා ඉවරද? තව කාපං!" කියා පවසන හැම අවස්ථාවකදීම හෝ බොහෝ අවස්ථාවලදී " අඩි (ඔහුගේ උස සඳහන් කර) කට  මේ කෑවා මදෑ!?" කියා පවසනු මට ඒ මොහොතේදීම මට මතක් විය.

ගමන පුරාවට මා පැද්දේ ඉදිරියෙන්ය. මා "ඉදිරියෙන් පැද්දා" විනා ඔහු මා "පසුපසින්" පැද්දා නොවේ.

මා ඉදිරියෙන් පදින්නේ මාහට විශ්වාස දායී ගමනක් අවශ්‍ය වූ නිසාය. 

එවිට කිසිවෙකුහට අසන්නට හැකිය; "ඇයි එයා විශ්වාස නැද්ද?" කියා!

නෑ එහෙම දෙයක් නැත! මට ඒ ගමන තුල හා ජීවිතයේ බොහෝ කාර්‍යයන් වලදී වඩාත්ම විශ්වාසී පුද්ගලයා මම ම වේ! එය මමත්වයද නො එසේනම් ආත්මාර්ථයද ඒත් නැත්නම් වෙනත් අදහසක් දැයි මා නොදනිමි. 

වතුරකට බැස්සත් මා පලමුව බැස පිරික්සා බලා දෙවනුව අන් අය කැඳවයි.

තිස්ස සිට පොතුවිල් දක්වා යාල වනාන්තරය තුලින් ගමන් ගනිද්දීත් මා පෙරමුණේ ගමන් කලෙමි.

 ඒ ඉදිරියේ වන අලියෙකුගෙන් හෝ වෙනයම් අනතුරක් වේ දැයි නිරීක්ෂණය කිරීමටත් මාගේ ගමන් සගයාහට  (සයිකලය නොව නිශාන්) කිසියම් ආවරණයක් සැපයීමට මට අවශ්‍ය වූ නිසාත්ය. 

මා පැද්දේ ඔහුට සමාන්තරව ඔහුට ඉදිරියෙන් ය. ඔහුගේ ඉදිරිපස රෝදය මාගේ පසුපස රෝදය සමග සමාන්තරව එන සේ! සෑම වංගුවකදීම බාධකයකදීම මා ඉදිරියට පැද ඔහුව දෙවනුව කැඳවූවේය. 

බුත්තල පාරේදී අලියා මුණ ගැසුනු අවස්ථාවේදී මා ඔහුගෙන් ඇසූවේ "මොකද උඹ යනවද? මම යන්නද??" කියාය. ඔහුට තෝරා ගැනීමක් ලබා දුනිමි.

හැකි හැම අවස්ථාවකදීම මා හැකි උපරිමයෙන් සාධාරණ වී ඇත්තෙමි!

ඔහු පැමිණියේ මගේ තනියටය. ඔහු පැමිණ ඇත්තේ මා සමගය. මම මේ ගමන තනිව හෝ යන්නට අධිටන් කරගෙන සිටියවිට ඔහු මාගේ සහයට පැමිණියේය. ඒ නිසාම ඔහුව ආරක්ෂාකාරීව නැවත ගෙදරට ඇරලවීමේ වගකීමක් මා සතුවිය. 

කිසිදු අන්තරායකර අවස්ථාවක්දී මා ඔහුව මග හැර නොපැද්දෙමි. ඒ හැම විටෙක මා ඔහු සමග විය!

මාගේ දරුවන්, බිරිඳව හෝ වෙනයම් අයෙකු සමග මහ පාරේ ගමනක යෙදෙනා විට ඔවුන්ව රැගෙන යන්නේ පාර දෙසින් නොව අනෙක් පසිනි. ඒ වඩාත් ආරක්ෂාවක් ලබා දිය යුතු නිසාය.

එය අදටත් දැනටත් මේ මොහොතේදී උනත් මාගේ දරුවන් ඔහුගේ මිතුරන් කෙරෙහි වුවත් දක්වන අනුග්‍රහයකි.

මාගේ දියණිය පවා ඇගේ මිතුරියන් සමග ගමනක යෙදෙන විට ඔවුන්ව රැගෙන යන්නේ වැඩි ආරක්ෂාවක් ඔවුනට තමා කෙරෙන් ලැබෙන ආකාරයටය. මේ දේවල් වයස සමග වෙනස් වේ යැයි මා සිතමි!

මෙය ස්වභාවයෙන් මට ලැබුනේ කෙසේ දැයි මාහට හිතා ගැනීමට නොහැක. 

පොලොන්නරුවට ගිය දෙවතාවේදීද යාපනයට පැදගිය අවස්ථවේදීද අප සාමාන්‍යයෙන් සයිකල් පදින අවස්ථා ගත්තද බොහෝ අවස්ථා වලදී මා පැද්දේ පෙරමුණේය. කන්දක් හෝ වෙනයම් අවස්ථාවක මා පසු කර පදිනා අයෙකු වෙතොත් ඔහුට ඉදිරියට පැද යාමට මා දිරි දෙමි. 

බොහෝ විට මධුෂාන් කඳු පදිද්දී මා පසු කොට යයි. 

මා ඊට ඔහුව දිරි ගන්වයි.

එහෙත් ගමන පුරා ගත් විට බොහෝ විට ඉදිරියේ පැද ඇත්තේ මමය.

මා සමග සමාන්තරව කිසිවෙකුහෝ පැදීමට මා කිසිසේත්ම ඉඩ නොදෙමි. මන්ද එය අනතුරකට අත වැනීමකි.

එවිට ඔහුට වේගයෙන් පැද ඉදිරියට යෑමට හෝ මගේ පසුපසින් පදින්නට යැයි මම පවසමි.

නිශාන් බොහෝ අවස්ථාවලදී මා සමග සමාන්තරව පදිනු මා දුටු වෙමි.

ඒ හැම අවස්ථාවකදීම ඔහුට ඉදිරියට ගැනීමට හෝ පසු පසට ගැනීමට මා පැවසුවෙමි.

මේ සියල්ල පිටුපස ඔහුගේ "ස්කන්ධ සංසංධනාත්මක නියමය" සිත තුල ක්‍රියාත්මක වූවේදැයි මාහට සැක ඉපැදීම වරදිද? 

භෞතික විද්‍යාවේදී  Power to weight ratio යනුවෙන් ගණිතයක් උගන්වයි.

සාමාන්‍ය ගතානුගතික V8 ඩීසල් ටර්බෝ එන්ජිමක බර 380kg (840lb)  ක් වන අතර එයින් ඉපදෙන බලය   250KW (340lb) ක් වේ. ඊට අදාල   PWR  අනුපාතය     0.65KW/kg (0.40lb)   වනාතර ඉන් ගම්‍ය වන්නේ එක් කිලෝ ග්‍රෑමයකින් හෝ රාත්තලකින් ඉපදෙන බලයේ ප්‍රමාණයයි.

චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට උපයෝගී කරගනු ලැබූ එක්     එන්ජිමක බර  352kg (775lb) ක් වූ අතර එයින් ඉපැදුනු ශක්තිය MW54  (72000hp) කි. එනම් එහි PWR අනුපාතය  153KW/kg (93hp /lb) ක් වේ.

නිශාන්; තම "ස්කන්ධ සංසංධනාත්මක තියරිය" මා හට එළිදැක්වූ පසු; ඔහු බොහෝ අවස්ථාවලදී මාහට සමාන්තරව පැදීමෙන් හැකියාව උරගා බැලුවාදැයි සැකයක් මාහට ඇතිවිය.

මේ සියල්ල මනුස්ස ස්වභාව ලෙස මා දකිමි.

ජීවිතයේ හැටි එහෙම තමාය. 

එහෙත් කුමන ආකාරයකින් බැලූවද ඔහු හොඳ මිත්‍රයෙකු විය ගමන පුරාවටම! ආත්මාර්ථකාමී නොවීය!! වගකීම් දැරීය!!! ඒ සියල්ලටම වඩා මාගෙ ගිණි කණ පැනපු අවස්ථාවලදී කන් පාත් කරගෙන මගේ කේන්තිය නිවා ගැනීමට ඉඩ ප්‍රස්ථා සැපයීය!!! 

පෙර දින හොඳින් නිදාගත් මා උදෑසනින් අවදි වූයේ සිරිත් පරිදි නිශාන්ගේ ඇමතීමට විය යුතුය. සෑම දිනෙකදීම වාගේ අප පෙර දින සවස සියළු ගෙවීම් සිදුකර නිදහස් වී සිටියෙමු. ඒ නිසාම උදෑසනින් අවදිව පිටත් වීම ගැටළුවක් නොවීය.

උදාසන නැගිට පිරිසිදුවීම් ඉටු කට ගැනීමෙන් පසු සියළු අපගේ කලමණා එක් කර ගත යුතුවේ. අප පාවිච්චිය සඳහා ගෙන ගියේ සයිකල් පැදීමට භාවිතා කරණ ඇඳුම් කට්ටල දෙකක් පමණි. 

වැඩි පුර ගෙන ගියේ යට ඇඳුම් පමනි. මා වරක් කීවාසේ  යට ඇඳුම් වල නැවුම් බව;  උඩ ඇඳුම් වල කිළිටි බවෙන් යටපත් කල නොහැක!  එය "නොමිනිස් කමේ සෙළුව පාවාදීමේ සළුවෙන් වසාලිය නොහේ" කීවාසේය! 

සපත්තු පොලිෂ් නොකලත් අලුත් මේස් ඇඳීමෙන් තමන්ට ප්‍රභෝධයක් ඇතිවේ.

සෑම දිනකම අඳින බයිසිකල් ඇඳුම එම දිනයේම හවස සෝදා වේලා ගැනීමට අප උත්සුක විය. මේ සියල්ලද බේත් හේත් ද අනෙකුත් අඩුවැඩියද සියල්ල නිසි පරිදි එකතු කරගෙන පැනියරය හා වෙනත් කුඩා පසුම්බි වලට ඇහිරීම සිදු කල යුතුය. 

එසේම සයිකලයේ ටයර වල තත්වය හුළං ප්‍රමාණය ආදී සියල්ල පිරික්සිය යුතුය.

බෝතල් වලට වතුර හෝ ජීවනී එක් කර ගත යුතුය.

මෙසේ වැඩ අත්‍යාවශ්‍ය වැඩ රාජකාරී කිහිපයක් අපට කරණ්නට ඇත.

ඒවා සියල්ල නිමවාගෙන සයිකලයට නැගීම "පිටත්වීම" ලෙස ලඝුකොට දක්වන්නෙමු.

එදින අප පිටත් උනේ පාන්දර 2.30 ටය. එයට  හේතුවක් විය. කළුතරින් පටන් ගත් විරෝධතා පාගමනක් එදිනට කොළඹ විහාර මහා දේවි පිටියට පැමිණීමට නියමිතව තිබුනි. ඒ වන විට ලංකාවට පැමිණ තිබූ වසිකටද ඊට සහභාගීවීමේ උවමනාවක් විය. ඔහු එහි තනිව ගොස් කිසියම් අනතුරකට ලක්වේදෝයි බියෙන් හා එදිනම ඔහුව මුණ ගැසීමට මාහට තිබූ නොනිත් ආශාව කරණ කොටගෙන දහවල් 1.00 වනවිට කඩවතට පැමිණීමටත් ඉන් පසුව විහාර මහා දේවි පිට්ටනියට යාමටත් මාහට අවශ්‍ය විය.


අප එදින උදෑසනින්ම පිටත්වී ප්‍රධාන පාර දිගේ ඉදිරියට පැමිණියෙමු. ඉක්මණින් ගෙදර යාමේ ආශාවෙන් මඩිනා ලද මගේ දෙපා වේගයෙන් සයිකලය ධාවනය කරණ්නට විය. කිලෝ මීටරයක් දෙකක් පමණ දුරක් අප ගමන් කල අතර නිශාන් මා වෙතින් ඈත්වූ බවක් මාහට දැනුනි. ඔහු පහු  වී ගොසිනි.

මා වේගය අඩාල කොට ඔහු ඇමතූවෙමි.

"ඇයි බං පහු වෙන්නේ? . . . .යමු ඉක්මනට!"

"මේකෙ හුලං අඩුයි වගේ!"

"අම්මට සිරි . . . ! ඉතිං හුළං ගහ ගනිං කො!"

නිශාන් ඒ වෙලාවේ පැවසූ දෙය මට අද වාගේ මතකය!

"ඔයා යන්න! මම හිමි හිමීට එන්නම් . . !'

"මගුලක් කියනවා! ගනිං උඹ ගෙනාවා නේද ටියුබ් එකක්!?"

මාගේ රැවුම් ගෙරැවුම් මැද නිශාන් සයිකලයෙන් පසෙක සඟවා/ අසුරා තිබූ ටියුබය එළියට ගත්තේය.

"මේකට හුළං ගහන්නේ කොහොමද? මේකෙ තියෙන්නේ අර කාර් වෑල් එකක්නේ?"


කාර් වෑල්ව් කියන්නේ මෝටර් රථ හා වෙනත් වාහන මෝටර් සයිකල් ආදියට සවිකොට එවන ටියුබ වල ඇති Schrader වෑල්වයයි. 

සයිකල් වලට මෙම වෑල්ව වර්ග තුනම එනු දක්නට ලැබේ!


සාමාන්‍ය සයිකල් පොම්පයකින් හුළං ගැසිය හැකි වන්නේ ඩන්ලොප් වැල්ව් කරට පමනි. ප්‍රෙස්ටා වෑල්ව්කරට හුළං ගැසීමට මෙම වෑල්ව් කරේ මුදුනේ ඇති කුඩා මුදාව කරකවා විවෘථ කර එයට කුඩා ඇඩැප්ටරයක් සවිකල යුතුය. නමුත් Schrader වෑල්වයට හුළං ගැසීමට නම් ඊට ගැලපෙන; ඒ වෙනුවෙන් විශේෂයෙන් සැකසූ නොසලයක් තිබිය යුතුය. අප සතු පොම්පයේ එම වර්ගයේ නොසලයක් නොමැත!  ඒ වා තිබිය හැක්කේ වින්කලයක, ටයර් කඩයක හෝ පිරවුම් හලක පමණි. පාන්දර 3.00 පමණ මොන වින්කල්ද? 

මේ සියල්ලම අප විසඳා ගත්තද අපට එතැන් සිට පිළිතුරු සොයා ගැනීමට නොහැකි ගැටළුවක් විය. 

සාමාන්‍යයෙන් මෙම වෑල්ව් තුන අතර සිහින්ම වෑල්වය වන්නේ Presto වෑල්වයයි. Dunlop ඊට ආසන්න විෂ්කම්භයකින් යුක්ත විය. එහෙත් Schrader වෑල්වය හෙවත් අප සතුව තිබූ ටියුබයේ වෑල්වය වඩාත් වැඩි විෂ්කම්භයකින් යුක්ත විය. 

එය සාමාන්‍ය සයිකලයකට යොදන්නේ නම් රිම් එකේ අදාල සිදුර විශාල කර ගත යුතුය!

පාන්දර තුනට ත්‍රිකුණාමළය පුත්තලම පාරේ කට්ට කරුවලේ කුඩා විදුලි පන්දමක පිහිටෙන් එය සිදු කිරීම සිතීමට පවා අපහසු කාර්‍යයකි.

සයිකලයේ විවිධ බඩු බාහිරාදිය, ඇඳුම් කැඩුම් පටවා එල්ලා ඇති බැවින් එහි ටියුබයක් මාරු කිරීම තවත් අසීරු කාර්‍යයකි.

"මොන මගුලක්ද බං ගේන කොට බලලා නෙවෙද ගෙනාවේ!?" මගේ ගිනි කණ පැන අවසානය. නිශාන් නැවත හුළං බැස්ස රෝදයට හුළං ගැසීමේ නිරතවය. මම ඊට කුමන ආකාරයෙන් උදව් කලාදැයි මතකයක් නොමැත!

"ගහපංකො බං ඉක්මනට!

"ගහන්න පුළුවන්නං ගහනවානේ! පුළුවං ගානට තමයි මේ ගහන්නේ" නිශාන්හටද හීනියට මළ පැන තිබුනි.

කෙසේ වෙතත් විනාඩි 20ක්  පැය භාගයක් ගතවන විට සයිකලය නැවත ධාවන තත්වයේ තිබුනි.

"ඒවන කොට කරුවලගස් වැවත් අපි පහු කරලා හිටියේ!" පසුව කල විමසීමකදී නිශාන් පැවසීය.

එම පෙදෙසේ අතරින් පතර ගෙවල් තිබුනද තවත් ටික දුරක් යන විට ගෙවල් දුලබ විය. මහ රෑ නොපෙනෙන වාද? නො එසේනම් ගෙවල් සත්‍ය වශයෙන්ම නැත්දැයි සොයා ගැනීමටවත් නොහැකි තරම් කළුවර ප්‍රභලය.

යාන්තම් හඳ එළියක් පතිතව තිබුනද එය; පරිසරය නිරීක්ෂණය කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය.

තවත් ටික දුරක් යන විට පාර අයිනේ තිබුනු බෝඩ් ලෑල්ලක් දැකීමෙන් තත්වය  පැහැදිලි වුනි.

සඳ එළියෙන් එහි අකුරු අමුනා ගත හැකිවිය.


වන සතුන්

බහුල 

ප්‍රදේශයකි!

කල්පණාවෙන් 

රිය 

පදවන්න!


"අම්මට හුඩු! අපි ඉන්නේ කැලේ මැද!" මටම කියැවුනි!

මෙය අප කිසිසේත්ම බලා පොරොත්තු නොවූ තත්වයකි! කලාඔයෙන් පසුව පාර දෙපස මුළුමණින්ම ග්‍රාම්‍යකරණයට නතුව ඇතැයි අප උප කල්පණය කලෙමු. වඩාත් නිවැරදිව පවසනවානම් මෙවන් අවදානමක් පිළිබඳව මාහට නිකමටවත් සිතුනේ නැත!

ඉදිරියේ මග අවුරාගෙන අලියෙකු සිටින්නට කොහෙත්ම බැරි කමක් නැත! 

2020දී වන අලි ප්‍රහාරයෙන් මිය ගිය ගණන 112කි!

2021 ජුනි මාසය වන විට එම වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුල මිය ගිය ගනන 55 කි!!

2022 සැප්තැම්බර් 28 වෙනි දින ගෙවී ගිය පැය 48ක කාලය තුල මිය ගිය ගණන 5 දෙනෙකි!!!


වසිකගේ පැමිණීම හදිසියේ සිදුවූවකි. එම කාලයේ ඔහු එන බවට කිසිදු සළකුණක්වත් කලින් නොතිබුනි. 

"මේ අල්ල පනල්ලේ වසික ආවේ මාගේ අවසන් කටයුතු ඉටු කොට යන්නද?"

එම හැඟීමේ කූඨප්‍රාප්තියට මා පත්වී ඇත. මා ජීවිතයේ බොහෝ කඳු පසු කොට නිම්නයකට නො එසේ නම් මිටියාවතකට පැමිණි අයෙකි.

නිශාන්ගේ දරුවන් වෙනුවෙන් ඔහු තවත් කලක් ජීවත් විය යුතු වේ.

මේ  ගමන පිටත්වෙද්දී කඩවත කැන්ඩි ඇඳුම් හල ඉදිරියේදී මාගේ දකුණු අත මිරිකමින් ඔහු කී කතාව මට මතක් විය!

"ඉස්සරහ දවස් දහයට; දුක සැපට සියළු දේට ඔයාට ඉන්නේ මම! මට ඉන්නේ මංජුලයියා!"

ඔහු මේ සියල්ලම ගෙදරින් එළියට එන විට ඔහුගේ ආදරණීය බිරිඳට කියන්නට ඇත. 

මාගේ මුරණ්ඩු ගති ලක්ෂණ වලට හුරුවී ඇති පවුලේ උදවිය මා වෙනුවෙන් කඳුළු සලන්නේ වත් හැඟීම් බර වන්නේ වත් නැත! ඊට ප්‍රධාන හේතුව; මම ඊට ඇති දැඩි නොකැමැත්තයි!

ගමනක් පිටත්වන්නට යනවිට කරණ්නාවු කෙඳිරිගෑම්, චව් චව්, ඤුරු ඤුරු මට අරහං ය!

මට අවශ්‍ය වන්නේ දිරි ගැන්වීමය!

මාගේ ආත්ම ශක්තිය වැඩි කරණ්නාවූ වදන්ය! 

මොර්ටිවේෂන් ටෝක් ය!

මා ගැන තබන විශ්වාසය මට මහත්වූ ශක්තියකි!

"බය වෙන්න එපා ඔයාට මේක කරණ්න පුළුවන්!" මා කැමතිම වදන් පෙලය!

නිශාන්ගේ ගෙදර මීට හාත්පසින්ම වෙනස් වන්නට ඇතැයි මා සිතමි. ඔහුගේ බිරිඳ ඔහුට අවශ්‍යය සියළු දිරිගැන්වීම් කලද යන්නට පිටත්වන මොහොතේ; අස්ථාන බියෙන් කඳුළු සලන්නටත් සිප වැළඳ ගෙන හැඟීම් බර වන්නටත් ඇත!

නිශාන් සත්තකින්ම හොඳ පුතෙකි ඔහුගේ දෙමව්පියන් හට!

හොඳ සහකරුවෙකු විය යුතුය.

ඔහු පවසන දෑ තුලින් ගත් කල දුවා දරුවනට හොඳ සෙනෙහෙබර පියෙකි.

ඔහු මා මෙන් දරදඬු පුතෙකු, ස්වාමියෙකු හෝ පියෙකු නොවූ බව මට හොඳටම විශ්වාසය!

එවන් පුතෙකු, ස්වාමියෙකු හා පියෙකු පරිස්සම් කරගෙන ගෙදරට ඇරලවීම; මා හට  මේ මොහොතේ ඇති අභියෝගයයි!

ගමන පිටත් වෙන්නට ආසන්නයේදී මාගේ පවුලේ අය, නෑදෑ හිතමිත්‍රාදීන් ගමනේ ඇති බරපතලකම පිළිබඳව විමසූ විට; බොහෝ විට මා පැවසූවේ "හරි ඕන නං මැරෙයි! ඒක නියමනේ!! මල ගෙදර ඇවිත් ඔයාලට කථා කරණ්නවත් දෙයක් තියෙනවානේ!?" කියාය. නිශාන් කිසිවිටෙක වත් එවැනි "අවකැපෙන කථා" නොකියන්නට ඇතැයි මා සිතමි.

ගමන ඇරඹි නිවසින් එළියට එන තැන සිට මේ ගමන් මුළුල්ලේම කිසිදු ආගමික, විඥ්ඥානවාදී දෙයකට මා පෙළඹුනේ නැත. නිශාන්ද මග දිගට පඬුරු පාක්කුඩං පිදීමට නොනැවතුනි. 

මුළු ගමන තුලම මා විශ්වාස තැබූවේ ආරක්ෂාව, ශරීර ශක්තිය, යන්ත්‍රයේ ක්‍රියා කාරීත්වය හා සැලසුම් පිළිබඳව පමණි. 

මේ අපේ අවසාන විනිශ්චයට මොහොතයි!

ආපසු හැරීමක් නොමැත! 

ගමන යා යුතුමය!!


පාර දෙපසම වනාන්තරය ය. කුමන පසෙක වන සතෙකු; විශේෂයෙන් හස්තියෙකු සිටී දැයි සිතා ගත නොහැක!

හොඳම තීන්දුව වන්නේ උග්‍ර වාමාංශික හෝ දක්ශිණාංශික නොවී නොබෙදි පිළිවෙතයි!

කාමසුඛල්ලිකානු යෝගය හෝ අත්ථකිලමථානුයෝගය හෝ නොව මැදුම් පිළිවෙතයි!


"මල්ලී පාර මැද්දෙන් පැදහං!" උඹ පහුවෙන්නේ නැතිව මගෙත් එක්කම මගේ පිටිපස්සෙන් පැදහං. කල්පණාවෙන් වරේං! උඹ ඔය පැත්ත බලාගෙන වරේං. මම මේ පැත්ත බලාගෙන යන්නං!"

යාන්තම් හඳ එළියකින් පරිසරය නිරීක්ෂණය වේ!

පාර දෙපස සියළු වස්තූන් ලා කහ පැහැයක් ගෙනය!

ඒ සඳෙහි මලානික රශ්මිය කරණ කොට ගෙනය!

පාර ඒ මේ අතට හැරෙයි. අපගේ එකම විදුලි පන්දමේ එළියක් පාර පෙන්නුවාදැයි සැක සහිතය! සඳ එළියෙන් ඉව පාරේ අප සයිකල් ඉදිරියටම පදිමින් විය. අප ඉතා සාමාන්‍ය වේගයක් පවත්වාගෙන ගියෙමු. හදිසි අවස්ථාවකදී නවතා ගැනීමට හැකි වේගයකි එය!

මාගේ ජෛව මාළිමාවට අනුව අපගේ දකුණු පසින් විල්පත්තුවය. එහෙත් වම් පසින් ද අලින් සඳහා ඉඳිකල විදුලි වැටක නටබුන් තිබුනා වාගෙ මතකය

මාර්ගය කුඩා බෑවුමකට පරිවර්ථනය විය.

එම කුඩා බෑවුම පසුකොට තැනිතලාවකට අප අවතීර්ණ වී සිටියෙමු.

හුළං කපාගෙන ඉදිරියට ඇදෙන සයිකල් හඬ සිහින් කෙඳිරියක් සේ ඇසෙන්නට විය.

මා දෑස් හැකි පමණ විවර කරගෙන දෙසවන් යොමාගෙන නාසයෙන් ඉව අල්ලමින් පදිමින් ය.

මාරගයෙන් වම් පස පැවතියේ  තාමක් පහත් බිමක් ලෙසිනි. අප දෙදෙන මාර්ගයේ මැදට වෙන්නට පදිමින් සිටි අතර වේලාව පාන්දර 3.30ට පමණ වන්නට ඇත.

පාරෙ වඩාත් වමින් ගමන් කරණ්නේ මාය! 

පාරට අඩි 30ක පමන ඈතින් වන බූටෑවය. සඳ එළිය ඒ මත ඇතිරී ඇත. 

ඊළඟ තත්පරයේ මා දුටුවේ පාරට තරමක් පහතින් වන බූටෑවට මෙපිටින් තණ පිටියේ  සිටිනා අලියෙකි. 

අලියාත් අපත් අතර අඩි 20කවත් දුරක් ඇති නැති තරම්ය.

අලියා සිටියේ අප දෙසට හැරීය.

ඊළඟ මොහොතේ අලියා හොඬ වැල උස්සාගෙන අප වෙතට දිව එන්නට විය.

අලියා දැකීමත් ඌ හැරීමත් අපව පැන්නීමත් අතර කාලය තත්පරයකි.

"අලියා . . . !" මට කියැවුනේය.

මේ වන විට නිශාන් ඉන්නේ මට අඩි දෙකක දුරකින් පසු පසිනි.

මම නිශාන් දෙස හැරුනි.

"පැදපං . . . @@@ . . . පැදපං . . . .!"

ඒක්ෂණයෙන් නිශාන් මා ඉදිරියේ පදිනු දක්නට ලැබුනි.

සියළු ජවයන් එක්තැන්කල මමද පදින්නට විය!

එතැණ් සිට කිලෝ මීටරයක පමණ දුරක් අප හැල්මේ පැද ආවේමු.

පාරේ උස් කඳු මුදුනක නැවතී අප ආපසු හැරී බැලුවෙමු. 

අලියා නැවතී ඇත!

ජීවිතය යාන්තමින් ගැලවුනි!

සිදුවීම දෙස ආපසු හැරී බලනා විට ඔහුට අපට පහර දීමට නොහැකි වීමට එක් හේතුවක් වූයේ අප ගමන් ගත් මාරගය තණ භූමියට අඩි හයක පමණ උසින් තිබීම විය හැක! පාරේ සිට අලියා සිටි ස්ථානයට තිබුනේ අතා පහසුවෙන් නැගිය හැකි බෑවුමක් වුවත් එය සමතල භූමියක පැමිණෙනවාට වඩා අලියාට අවාසි සහගත විය හැක. 

අපට මුහුණට මුහුණලා සිටි ඔහු අප පැන්නීමට අංශක 180 කට කිට්ටු කෝණයක් හැරීමටත් ඉන් පසුව අප සමග දිව එන්නටත් සිදු වෙනවා.

අලියෙකුගේ වේගය පැයට කිලෝමීටර 40ක් පමණ වෙනවා.

අපගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 30ක් ක් වෙන අතර මෙම අවස්ථාවේදී එය 40 කට වැඩි දියුණු වීමට බොහෝ සෙයින් ඉඩ තිබුනි.

අපට පැදීමට තිබුනේද සමතල පාරක හෝ සාමාන්‍ය නැග්මකය! ඒ නිසාම අපට සුපිරි වේගයකින් අලියාගෙන් වියෝ වන්නට අවස්ථාව සැලසුනි.(එය කුමන ආකාරයක් ගත්තේද යන්න නොපෙනුනි!)

අලියාගේ පෙනීම හොඳින් පවතින්නේ මීටර 10ක දුරක් පමණි. උපරිම දුර මීටර 20කට සීමාවේ. එම ස්ථානයේ හා වේලාවේ තිබුනු අඳුර තුල අලියාට කොහෙත්ම අපව දැක ගැනීමට හා පසුපස පැන්නීමට නොහැකිවීමට ඉඩ ඇත.

එතැන් සිට අප බොහෝම සීරුවෙන් සයිකලය පැද ආවෙමු. මහ පාන්දරම පුත්තලමට සේන්දුවූ අප එතැන් සිට කොළඹ බලා පල්ලම් බසින්නට විය. අප කොළඹින් පිටත්වීමේදී තිබුනු දේශපාලන තත්වයට බොහෝ සෙයින් වෙනස් තත්වයක් ඒ වන විට ඇති වෙමින් තිබුනි. අප එදින අපගේ වට්සැප් සමූහයට විස්තර සැපයීමෙන් වලකී සිටියෙමු.

පුත්තලමේ සිට කිලෝමීටර ගනනාවක සිට වර්ෂාවට මුහුණ දෙන්නට සිදුවිය. ඒ නිසාම ඉක්මණින් ගෙදර පැමිණීමේ අවශ්‍යතාවය මත අප දූරකථනය පරිහරණය කිරීමට කාලය මිඩංගු නොකලේය.

ඊටත් පුත්තලමෙන් මෙපිට ඡායාරූප අගත කිරීමට තරම් සුන්දර දර්ශණයක් අපට දක්නට නොලැබුනි.

ලැබුනද එය පරයා නැගුනේ ඉක්මණින් ගෙදර පැමිණීමේ අවශ්‍යතාවයයි.


මග දිගට පිරවුම් හල් වල පෝලිම් දක්නට ලැබුනි. මාදම්පේ කාක්කපල්ලියේදී මුළු පාරම හරස් කොට පුද්ගලික බස් නවතා තිබුනි. ඒ ඉන්ධන නොමැතිවීමට විරෝධය දැක්වීමටය.


මග දිගට වට වැස්සෙන් පීඩා විඳිමින් අප මීගමුව කටුනායක පසු කොට ජා ඇලට පැමිණියෙමු. පුත්තලමේදී කුඩා කඩයකින් මොන මොනවාදෝ ගිල දැමීමෙන් පසු අප ආහාරයක් ගත්තේ ජා ඇලෙනි. එතැන් සිට කඳානටත් එතැනින් රාගමටත් එතැනින් කඩවත දෙසටත් පදින්නට විය. කඳානේදී හෝ රාගමදී නිශාන් ගෙදරට එසේත් නැතිනම් ප්‍රිය බිරිඳට ඇමතුමක් දී තිබුනේය.
නිශාන් සිටින්නේ රාගමත් කඩවතත් අතර මැදය. 
රාගමදීම මා නිශාන්ට සමුදී ඉදිරියෙන් පැද ආවෙමි. 
නිශාන් මට පසු පසින් මීටර 100ක 200ක දුරින් පැද්දේය.

නිශාන්ලාගේ ගෙදරට හැරෙණ තැනට තරමක් මෙහායින් පිහිටා ඇති ග්‍රොසරියක් ඉදිරියේ සුන්දර කාන්තාවක් සිටී.

මුකවාඩමකින් මුහුණ වසාගෙන සිටියද ඇය ඇස් වලින් මා පිළිගත්තීය.
"අනේ දෙයියනේ මේ මෙයානෙ!?" මම ඇය අසල නවත් වත්දීම නිශාන්ද එතැනට පැමිණියේය!
"දැක්කද මම කිව්වේ අයියේ!?" නිශාන් හඬ අවදි කලාය.

නිශාන් පෙරදින හවස් වරුවේ ඔහුගේ නිවසේ ඉතිරී පැතිරී ඇති සෙනෙහස ආදරය පිළිබඳව  මා සමග දොඩමළු විය.

නිශාන්ගේ ආදරණීය බිරිඳගේ ඇස් වලින් සට සට ගා කඳුළු ගුලි කඩා හැලේ.
ඇය මාගේ අතෙහි උඩ බාහුව තදින් අල්ලාගෙන "අයියේ . . . !" කීවේ ඉමහත්වූ සෙනෙහසිනි.

"හරි නංගි මම එහෙනං යන්නං! මට ඉක්මනට  යන්නෝන!!" ඔවුන්ගේ ආදරණීය ආරාධනා සෙනෙහෙබරව ප්‍රථික්ෂේප කරමින් නැවතත් සයිකලය වෙතට නැග්ගෙමි.
මා නිවෙසට පැමිණෙන විට මා පිළිගන්නට කිසිවෙකුත් නිවසේ නොසිටියේය!
නිවසේ තබා ගෙදරට එන පාරේවත් කිසිවෙකු "කොහෙද ගියේ? දැක්කේ නෑ පහු ගිය දවස් ටිකේ!" කියා අසන්නවත් කෙනෙකු නොසිටියේය.
අසල්වැසි රම්‍යා මහත්මිය නාරං යුෂ පානයක් සාදා ගෙනැවිත් පිළිගැන්වූයේ ඉමහත් භක්ත්‍යාදරයෙනි.
"ඔයා මාර වීරයෙක්!" ඇය කීවාය. මා ඊට පිළිතුරු නොදුන්නෙමි.
"මම ලංකාව වටේම ගිහිං ආපහු ගෙදරටම ආවා!" මම මගේ හදවතට පැවසුවෙමි.

මා නිවසට පැමින පිරිසිදු වී  හැරෙණ තැපෑලෙන් කොළඹ නගරය බලා පිටත් වුනෙමි. ඒ වන විට කළුතරින් පටන්ගත් විරෝධතා පා ගමන විහාරමහාදේවි පිටියට පැමිණෙමින් ය.


මා ODEL සාප්පුව ලඟ සිට වසිකව ඇමතීය. දහසක් සෙනග අතරින් අප එකිනෙකා දුටුවේ රහුමානියා එක ඉදිරියේදීය.
ඒ වසර තුනකින් පමනය. ඔහු පාර හරහා ඇවිත් මාව ආදරයෙන් වැළඳ ගත්තේය! ඒ වසර ගනනාවකින් හමුවූ නිසාද නො එසේනම් මව් බිම වටා කිලෝමීටර 1350ක් සපුරා පැමිණි නිස දැයි මා නොදනිමි.

කෙසේ වෙතත් එය මා අපේක්ෂා නොකල තරම් උනුසුම් පිළිගැනීමක් විය!


ජීවිතයේ සතුටින්ම පිරි දවස් දහයක් එසේ නිමාවිය. වසිකගේ පැමිණිම යලිත් මා වෙත සතුට ගෙන ආ කාරණයක් විය. අප ගමන පිළිබඳව බොහෝ කතා කලෙමු. 

මේ සියල්ල සඳහා මූලික වූයේ ආත්ම ශක්තියයි.
වරෙක වික්ටර් හියුගෝ පවසා සිටිනවා
 "මිනිසාට නැත්තේ ශක්තිය නොව ආත්ම ශක්තියයි!"
 කියා.

මින් පෙර මා ලියා ඇති දේ සේම 
මේ කිසිවක් 
"නොකල හැකි" 
දේවල් නොවේ!
කල හැකි දේවල් ය!

යන්න! 
තමාගේ සතුට සොයා යන්න!!
 කරණ්න ! 
තමාට සතුට දනවන දේ කරණ්න!!

මිය යන දාට ඉතිරි විය යුත්තේ මතක මිස සිහින නොවේ!

"සතුට; ජීවිතයේ සාර්ථකත්වය මණින මිනුම කරගන්න!"


පසුව ලියමි:-
2022 අප්‍රේල් 10 වනදා කඩවතින් පිටත්වූ අප දෙදෙන 2022 අප්‍රේල් 19 වන දින එනම් දින 10කට පසුව නැවතත් කඩවතට ලඟා වූහ.
නිශාන් මල්ලීගේ සයිකලයේ මීටරයට අනුව අප කිලෝමීටර 1350 ක්; පසුගිය දින දහය පුරාවට ගෙවා දමා තිබුනි.
එම කාලය තුල ලංකාවේ පලාත් නවයෙන් පලාත් හතක් හරහා ගමන්කොට ඇත.
බස්නාහිර, දකුණ, ඌව, නැගෙණහිර, උතුර, උතුරු මැද පලාත හා වයඹ එම පලාත් හය වේ.
එසේම ලංකාවේ ස්ථාපිත දිස්තිරික්ක විසි පහෙන් දාසයක් හරහා අප පා පැදියෙන් ගමන් කර තිබුනි.
ඒවා නම්; ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුර හා පුත්තලම ලෙස පෙල ගැස්විය හැක.

පසුව දිනෙක නිශානුත් ඔහුගේ ප්‍රිය බිරිඳත් පැමිණ මට සිහිවටනයක් පිළිගන්වා ගියෝය. එය  අමතක නොවන ජීවිත අත්දැකීමක් පිළිබඳ සමරුවකි. ඒ අපගේ ගමන තුලදී අවස්ථා කිහිපයකදී ගන්නා ලද ඡායාරූප එක් කොට සාදන ලද පිංතූරයකි.
එසේනම් මෙම බ්ලොග් පෝස්ටු පෙලේ අවසන් පෝස්ටුව මෙසේ අවසන් කරමි. අපගේ වට්සැප් සමූහයේ අවසනට මා එක් කල කුඩා ලිවීම මෙයට අමුනමි.

වට්සැප් සමූහයේ 
සියළු සහෘදයින් වෙනුවෙන් 
ස්තූති කතාව. 
සුදීක කණ්නන්ගර
"ඇවිද්ද පය" 


Sunday, May 7, 2023

257. මව්බිම වටා සයිකලයෙන් . . . 11

 2022/04/18

254.  මව්බිම වටා සයිකලයෙන් . . . 10


අප දෙදෙනාත් අපට හිතවත් සහෘදයනුත් එකට එක් කල දාමය වූයේ මා ගමන පිටත් වන මොහොතේ වට ධාරාණිපාතය තරමක් තුරල් වනතුරු නිවසේ සිටිනාතරතුර ගොඩ නැංවූ ගමන සමගම විහිදුනු,  වට්සැප් සමූහයයි.

සැම දිනයක් ආරම්භයේදීද අවසානයේදීද එසේම ඒ අතරතුර ගමනේ සුවිශේෂී සිදුවීම් හා පසුකරණා සුන්දර ස්ථාන වල රූපමය වාර්ථාවක් සජීවීව ගෙන ඒමද එම වට්සැප් සමූහය මගින් සිදු කෙරුණි.

කොටින්ම එය දෙවෙනි වූවේ වීඩියෝ සටහනකට හෝ සයිකල් රේස් සමග දිවෙන රනින් කමෙන්ට්‍රියකට පමණි.


අද දින අපට යා යුතු මග විහිදෙන්නේ; එසේත් නැතිනම් අද දින අපගේ ගමනාන්තය විය යුත්තේ පුත්තලම නගරයයි. මන්නාරම සිට පුත්තලමට පැමිණෙන අයෙකුහට ඒ සඳහා මාර්ග දෙකක් තෝරා ගත හැක.

ඉන් එකක් වන්නේ; විල්පත්තුව අභයභූමිය; ඇඟට දැනෙන්නට ලියනවා නම් විල්පත්තු මහා වනාන්තරයද මුහුදු වෙරළද මැදිව දිවෙන සිලාවතුර, කොන්ඩෙයිච්චි, මරිච්චු කඩ්ඩි, පොම්පරිප්පු හරහා දිවෙන වනගත මාර්ගයයි.

දෙවැන්න වන්නේ අඩප්පන්කුලම්, තන්තිරිමලේ, මහවිලච්චිය, නොච්චියාගම හරහා දිවෙන මාර්ගය යි.

විල්පත්තුව යනු වර්ග කිලෝමීටර 1317 පුරා පැතිරී ගිය වන පෙතකි.

මා කලින් කී වනගත මාරගයෙන් ගමන් ගන්නෙකු හට මන්නාරම සිට පුත්තලම දක්වා සරළ රේඛීය ගමන් පෙතක ගමන් ගැනීමට හැකි වුවද නොච්චියාගම හරහා ගමන් කිරීම වටේ යෑමක් හෙවත් වට වන්දනාවකි.

මා කලින් කී පෙත;  4WD රථවලට සුදුසු මාර්ගයක් වන අතර එය බොහෝ කාලවලදී වසා තැබෙන බව මා අසා ඇත. උදාහරණයක් ලෙස කලා ඔය පිටාර ගලනා කාලයේදී මෙම මාරගයේ පුත්තලමට ආසන්නව හමුවන එළුවන්කුලම ආසන්නයේ පවතින සපත්තු පාලම වසා දමනු ලැබෙයි. 

සපත්තු පාලම වසා දමනවා යනු මුළු මාර්ගයම වසා දැමීමට කියනා තවත් නමකි!


2022/04/18 දිනය යනු මන්නාරමට මහ වැසි වැටුනු දිනයකි. "හැමදා නියං එකදා වැහි වළාවේ" කීවා සේ ඒ වැස්ස මුළු නගරයම පමණක් නොව ප්‍රදේශයම දිය බත් කලේය. වැස්ස ආවේ තනිව නොව කුණාටුවක් වන් දැඩි සුළඟක්ද කැටිවය. වැස්ස යනු මට "අරහං" හැඟීමකි. වැස්සේ සයිකල් පැදීම ඊටත් වඩා අප්‍රසන්නවූ ක්‍රියාවකි. 

වැස්ස හරහා නගරයෙන් ඔබ්බෙහි වූ මාර්ගයක ගමන් කරණවාට වඩා නගරයක් තුල සැරි සැරීම වෙනස්ම වූ කටයුත්තකි. ඉතා දිගුකාලයක් දැඩි හිරු රශ්මියෙන් පීඩා විඳ මුළු නගරයම දූවිල්ලෙන් වසාගත් නගරය මතට වැටෙන පලමු වැසි වට සමග දූවිලි සේදී ගලන්නට ගනී. මුලින්ම සෑදෙන්නේ දූවිලි පල්පයකි! පසුව ගලා යයි!

"පිරිසිදු නගරයක්" ලෙස නම් කිරීමට ලංකාවේ නගරයක් වෙතොත්  එය ඉතා දුලභ අවයවයකි. මන්නාරම එම නගරයේ උත්පත්තියේ පටන්ම අපිරිසිදු හා අක්‍රමවත් නගරයකි. 

අප එදිනද අළුයම අවදි උනෙමු. අපට ලැබී තිබුනු කාමරය; හැරපියා එන්නට දුක සිතෙන තරම් සුව පහසු එකකි. තිස් අවුරුදු යුධමය වාතාවරණයෙන් පසු ආශ්චර්‍යමත් ලෙස පිබිදුනු පවුල් සිටින්නේ දකුණේ පමණක් නොව උතුරේද සිටිති.  මෙම හෝටලය අයත් අය සමග පෙරදින සැඳෑවේ අප කල කථා බහේදී ඔහු LTTE සංවිධානය සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කල හැටි හා ඔවුන් සමග ගනුදෙනු කල හැටි ආඩම්බරයෙන් යුතුව කියා පෑවේය. ඔහුගේ අදහසේ හැටියට එකල මෙම පලාත්වල තිබුනු විනය හා සංවිධානාත්මක බව දැන් අහලකවත් නොමැත. 

එකල මෙම ප්‍රදේශ වල හොරකම්, ස්ත්‍රී දූෂණ, වංචා ආදිය කොහෙත්ම සිදු නොවූ බව ඔහු පැවසුවේ මහත්වූ උද්දාමයෙනි.

සත්තකින්ම එය එසේ වන්නට ඇත. 

එකල සහ යුද්ධයෙන් පසුව සිදුවූ බොහෝ ස්ත්‍රී දූෂණ හා මිනී මැරුම් සම්බන්ධව චෝදනා රජයේ හමුදා සාමාජිකයින් වෙත එල්ල වීමෙන්; මෙම අදහසේ යම් නිරවද්‍ය තාවයක් වෙතැයි සිතිය හැක.

මා කලින් කීවා සේ එදින අප ඉක්මණින්ම නවාතැනින් පිට වුනෙමු. නවාතැන් පොලේ සිට නගරයක කෙටි දුරකි. එය කිලෝමීටරයකට දෙකකට සීමාවිය. නගරයේ කුඩා ආපන ශාලා දෙකක් විවෘථව පැවතින. වැස්ස නැවතී කුඩා හිරි පොදයකට සීමාවී තිබුනි. මේ එන්ජිමක අයිඩ්ල් රනින් හෙවත් අකම් දිවුම සේය. වැස්ස මේ ඉඩ පාඩුව ලබා දෙන්නේ ඊළඟට රෙදි ගැලවෙන්නට බෙදන්නට මත්තෙන් අපට රෙදි තදකොට ඇඳ ගැනීමටය. කොටින්ම මේ අපායේ ඉන්ටර්වල් එකය!

කෙසේ වෙතත් අපට ආපසු හැරීමක් හෝ ගමන කල්දැමීමක් කල නොහැක! 

මේ ගමන අප යායුතුම වේ.

අප බලා සිටියා කියා වැස්ස අපට පව් කියන්නේ නැත! එසේම අපට ඉඩ සලසා වෙන දිනයක වහින්නේද නැත! එය එසේ සිදුකරණ මෙන් ඉල්ලා සිටීමට අප වික්ටර් රත්නායක හෝ චාමර වීරසිංහ නොවෙති. එසේම මේ නුගේගොඩ හෝ මහරගමද නොවේ. මේ එකෙන්ම මන්නාරමය. මන්නාරම වැස්ස සමග සෙල්ලං නැත! වහින්නේ කන් පාත්වෙන්නය.

කුඩා හිරිපොද මාධ්‍යයේයම අප කුඩා කඩයකට ගාල් උනෙමු. එතැන කන්නට තිබුනේ පිටිවලින් සාදන ලද "මාලු පාන්" යනුවෙන් ඒ පලාතේ අය හඳුන් වන අමුතු කෑමකි. වෙරළාශ්‍රිත වූවාට ආසාවට එම කෑමට "මාළු" එක් කොට නොතිබුනේය.

එම ආහාරයේ මාළුවෙකුගේ හැඩයක්ද නොතිබුනේ අපව තවත් අපහසුතාවයට පත් කරවමිනි.

කඩයේ අපගේ මේසයේම කොනක සිට අප සමග කතා බස් කලේ; සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් නිළධරයෙකුය. මාලු පාන් දෙකක් ගිල දමා;  කිරිතේ  තුනක් බී  අප එතැනින් සමු ගත්තෙමු.

"තුනක්" වූයේ පොලිස් දෙපාර්තමේන්තුවටද තේ ලබා දීමට අප අනුග්‍රහය දැක්වූ බැවිනි.

පොලිස් රාළහාමි කෙනෙකු මුණ ගැසීම අපට අස්වැසිල්ලක් වූවේ පාර නිර්ණය කිරීමට යාමේදීය. ඔහුගේ අදහස වූයේ විල්පත්තුව මැදින් ඇති මාර්ගය මේ වන විට බොහෝ කලක සිට වසා ඇති බවත් දැනට භාවිතා කිරීමට නොහැකි තරම් එය අබලන්ව ඇති බවත් ය. 

ඒ කෙසේ වෙතත් එම මාර්ගය සයිකල් දෙකකින් යෙදෙන ගමනකට නුසුදුසු බවද ඔහු පැවසීය. 










මන්නාරමේ සිට ප්‍රධාන භූමියට දිවෙන වේලිමග වැටෙන්නේ තුන් මං හංදියකටය. ඉන් වම් පස විහිදෙන්නේ අප යාපනයේ සිට පැමිණි මාර්ගය වනාතරතුර දකුණු පස මාර්ගය මැදවච්චිය හරහා අනුරාධපුරය දෙසට විහිදේ. අප දැන් යා යුත්තේ එම මගේය.
වේලි මගෙන් මෙපිටට පැමිණ දකුණු දෙසට හැරී අප පැදයන්නට පටන් ගත්තෙමු. කෙටිදුරක් යන විට පෙරදිනයේ; නවාතැන් ගැනීමට ඉවකල මිල්ටරි ආපනශාලාව දිස් විය. එය පසුකොට ඉදිරියට ගමන් ගනිද්දී කොළඹ සිට ගමන් ඇරඹුනු දුම් රිය මාර්ගය හරහා අප ගමන් ගත්තෙමු.
වැස්ස තුරල්වී මාරගය තරමක් වේලී තිබුනද ; අහස; "දෙන්නම් බැටේ" කියා ගෙන කැස කවමින්ම සිටියේය.
මේ නිසාම වැහි බීරමකින් මුළු පරිසරයම යටපත්වී සිටියේය.
හිරු මොන තරම් තේජාන්විත අයෙකු වුවත් වැහි වළාකුළු හමුවේ ඔහු පසු බැස සිටිය අරුමය!





ස්ථානය පිළිබඳව පැහැදිලි මතකයක් නැතත් අප ගමන් ගන්නා, ගමන් කල හැකි හා ගමන් කලයුතු මාර්ගය තීරණය කිරීමෙන් පසුව මැදවච්චිය දෙසට හැරී ගමන් කරන්නට විමු.
මුරුන්කන් ප්‍රදේශය පසු කරණා තුරුත් අපට ඔරවාගෙන සිටි අහසේ; ටිකෙන් ටික කේන්තිය පහව යන බවක් පෙනුනි.
උදෑසන 8.45 වන විට ගමනේ වැදගත් සංධිස්ථානයකට අප පැමිණ සිටියෙමු. 

මඩු 
කලක සිට මඩු පල්ලියේ මංගල්ලය කාලයට එහි යන්න දැඩි ආශාවක් පැවතුනි. එහෙත් අදටත් ඉටු කර ගැනීමට නොහැකිවූ බලාපොරොත්තුවකි. 
අද මේ ගමන වැටී ඇත්තේ ඒ අභියසින්ය.
මහා මාර්ගයෙන් හැරී දේවස්ථානයට තවත් කිලෝමීටර ගනනාවක් යන්නට ඇත. 
අපට එහි යන්නට වේලාවක් නැත. ඊළඟ වැස්සට කලින් අප වාසස්ථානයක් සොයා ගත යුතුය.
ගමන පිටත්වෙන්න පෙර; නිශාන් දූරකථනයෙන් නවාතැන් පොලකට කතා කරණු මට ඇසිනි. එම ස්ථානය වෙන් කරගත් බවත් ඔහු එවිටම වාගේ මට කීවේය. 



මඩු පල්ලියට හැරෙන හංදියට ඔබ්බෙන් කුඩා දුවන කඩයක් පැවතියේය. එහිතුල වයස් ගත ලලනාවක් විය. ඇය සිටියේ වීදුරුවට ඇතුලින්; ඇතුලත තබා තිබූ ලෑල්ල මත ලග්ගා තිබූ භාජන කිහිපයක් අතරේය.
කඩය ආවරණය කොට තිබූ තහඩුවේ අලවා තිබූ දැන්වීමේ "පිරිසිදු නැවුම් එළකිරි" යනුවෙන් ලියා තිබුනි.
"අම්මට සිරි! අපි කිරි බොමු!" 
(කන්නට බොන්නට හැකි ඕනෑම දෙයක් දුටු සැනින්; මෙතෙක් වේලාවක් එය සොය සොයා සිටි බවක් දැනෙන්නේ මට විතරද?) 
"කිරි කීයද? 
"වීදුරුවක් රුපියල් සීයයි"
වීදුරුවක් රුපියල් සීයට අවුලක් නැත! සාධාරණ නොව ලාභදායී ගනුදෙනුවකි. ලොකු වීදුරුවකට බෝතල තුංකාලක් උවද අඩංගුවේ.
"මල්ලි බොමු බං කිරි; අපිට කිරි දෙකක් දෙන්න!"
මොහොතකින් "කිරි වීදුරු" දෙක අපට ලැබුනි!
"වීදුරු" කීවාට ඒ එම භාජන නිපදවා තිබූ සංඝඨකය පමණි!
කිරි ලැබුනේ වීදුරු වලින් නිපදවා තිබූ කුඩා අඬු කෝප්ප දෙකකිනි.
ලැජ්ජාව බැරල් එකෙන් වසාගෙන රුපියල් දෙසීය ගෙවා අප කිරි බීවෙමු.
"මොනව උනත් ඒවා පියෝ එළ කිරි" පසුව ඒ ගැන මම කෙඳිරි ගාද්දී නිශාන් කීවේය!
"පියො" කෙසේ වෙතත් කිරි දෙක  දැක්කාම නං මට ඒ ගෑනිගේ "මව්" මතක් උනේ මම මටම කියා ගත්තෙමි.

කිරි "වීදුරු"

අපි ආවේ මෙහේ ඉඳන්

අපි දැන් ඉන්නේ මෙතන

හෙට උදේම මෙන්න මෙතනට ඒ කියන්නේ පුත්තලමට ගිහිං ඒ පැත්තෙන් කොළඹට පල්ලං බහින්නයි ඉන්නේ. මන්නාරමේ සිට එනකොට මැදවච්චියට යන්නේ නැතිව
 අතුරු පාරකින් 'ඔයාමඩුව" හරහාපුත්තලම කිට්ටුවට යන්නයි අපේ බලාපොරොත්තුව.


පරයනාලන්කුලම්



9.12AM

10.01AM


ඔයාමඩුවට හැරෙන්නේ මෙන්න මෙතනින්. එතන එහෙමට ලොකු හංදියනම් නෑ වගෙයි මතක. ඊට සූට්ටක් මෙහායිං "කුඹුක් සෙවන" කියලා මිල්ටේරි කඩයක් තිබ්බා වාගේ මතකයි. මෙතන මුඩ්ලියර්කුලම් හෝ ඒ අසල විය යුතුය. මෙතනින් හැරුනාම තන්තිරිමලේ හරහා ඔයාමඩුවටත් එතනින් සිංහාරගමටත් යන්න පුළුවන්ලු! සිංහාරගම තියෙන්නේ අනුරාධපුර - පුත්තලම (ත්‍රිකුණාමලය - පුත්තලම A12) මාර්ගයේය.
මුඩ්ලියර්කුලම්

මල්වතු ඔය

තන්තිරිමලේ


මේ C ශ්‍රේණියේ පාරවල් පිළිබඳව අන්තර්ජාලයේ කිසිදු තැනක සඳහන්වී නොමැත. මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේද නොමැත. මේ පිළිබඳව ප්‍රාජේගෙන් සහ නිදහස් සිතුවිළි බ්ලොග් අඩවියේ සම කතෘ රවී වීරසිංහගෙන්ද විමසුවෙමි. මාගේ වත් පොතේද ඒ පිළිබඳ සොයා බැලුවෙමි. එහෙත් කිසිදු දත්තයක් සොයාගැනීමට අපහසුවිය. C162 සහ C164 යන මාර්ග ඔස්සෙ අප ගමන් කරනු ඇත!

මේ උඩ තියෙන බෝඩ් ලෑල්ල තියෙන්නේ පහල සිතියමේ පෑන් තුඩින් පෙන්වා ඇති තැන. අපි එන්නේ ඉදිරියෙන් (ඉහලින්) එන පාරෙන්. දකුණට ගියොත් විලච්චිය. වමට හැරුණු විට ඔයාමඩුව හංදියය. ඔයාමඩුව පසුකර ඉදිරියටම ගියහොත් අනුරාධපුර ය. ඔයාමඩුව හංදියෙන් දකුණට හැරී දිගටම ගිය විට සිංහාරගමෙන් මතුවිය හැක.


ඔයාමඩුව





සිංහාරගම
මෙතැන් සිට කොපමන දුරක් ගමන් ගත්තාදැයි මතක නැත. ජනශූන්‍ය ලවල්  කැලෑ බහුල ප්‍රදේශයක් මැදින් අප ඉදිරියම බලා පැද ගියෝය. ආසාවට කඩයක් නොමැති පලාතක් පසුකරමින් අප සිංහාරගමින් මතුවිය.
මෙම පිංතූරය අපගේ වට්සැප් සමූහයේ පලකරණ විට එයට යටින් "නික වැව" යැයි යොදා ඇත. ඒ මන්දැයි සිතා ගත නොහැක. විශාල සිතියම් දෙකකින් සහ අන්තර් ජාලය තුලින් ඒ පිළිබඳව සොයා බැලූමුත් කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකිවිය. 
සිංහාරගම යනු කුඩා හංදියකි. "සිංහාරගම යනු කුඩා මංසංධියකි! යැයි කියන්නටවත් එය තරම් නොවේ. කොටින්ම එය හංදියක් විනා මංසංධියක් නොවීය! එතැන තිබුනේ කුඩාම කඩයක් සහ තරමක කුඩා කඩයකි. මෙම "තරමක කුඩා කඩයෙන්" කල්කිරි හෙවත් සුදු කිරි බෝතල් දෙකක් ගෙන එයට ඉල්ලා ගත් සීනි දමාගෙන අප බිව්වෙමු. සීනී සැපයූවේ එතැන සිටි;  කඩේ මුදලාලිගේ සීනි බෝලයක් වන් දූහිතෘය. අප මෙම ගමන් පැමිණීමට වසර 30ක් පමණ පමා වී ඇති බව දැනුනි!
එතැණ් සිට අප හැල්මේ පැද ගියෙමු.
මෙතැන් සිට සොයා බලා හැරෙන්නට පාරක් නොමැත! ඇත්තේ එක දිගට පැද යන්නටය! කිරි බීමෙන් පසු එතැන සිට; අදදින නවාතැන් ගන්නා නවා තැනට නිශාන් ඇමතුමක් ගෙන සියල්ල පිළිබඳව ඉව කලේය. 

"හරි අපිට ඉස්සරහට පැදගෙන යන්නයි තියෙන්නේ! හැරෙන්න දෙයක් නෑ. පාර අයිනෙමලු! "අරුණ ගෙස්ට්" කියලා ගහලා තියෙනවලු!"

පුත්තලම ත්‍රිකුණාමලය (අනුරාධපුර ) මාර්ගය

පහල මරගහ වැව
 (නොච්චියාගම පසු කොට කිමි 11 පැමිණ )

සිංහාරගමින් පිටවී  පිටත් වූ අප නොච්චියගම නගරය පසු කලේ; කිසිදු  සටහනක් හෝ ලබා නොගෙනය. නොච්චියාගම නගරය පසු කරත්ම තරමක බෑවුමක් වී යැයි යාන්තමින් මතකය.

එතැන් පටන් ලොකු කුඩා කඳු කිහිපයක් හමුවන්නට ඇත. තවත් ටික වේලවකින් අප පහල මාරගහවැව පසු කරමින් විය. 
පහල මාරගහවැව යනු; විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එක් ප්‍රවේශයක් වන හුනුවිලගමට හැරෙන ස්ථානයයි. මීට බොහෝ කලකට පෙර විල්පත්තුවට මා මාගේ 32ශ්‍රී0865 රථය පදවාගෙන ආවේ මේ මාර්ගයේය. එහෙත් එම ස්ථානය පිළිබඳව කිසිදු මතකය නොමැත.







තවත් ටික වේලාවක් ගත වන විට අප අරුණ ගෙස්ට් ගිමන් හල ඉදිරියේ විය. එය තරමක පැරණි නිවසකි. පිරිසිදුය! ප්‍රියමනාපය!!
තවත් දිනයක් අවසන් විය. අපගේ ගමනාන්තයට ඇත්තේ තව එක් දිනක් පමණි.
එම දිනය තුල අපට දළ වශයෙන්  කිලෝමීටර 170 කට අධික දුරක් ඉතිරිව ඇත. සීමිත ඕවර තරගාවලියක අවසන් ඕවරයට රැස් කිරීමට සිදුවන ලකුණු ප්‍රමාණය මෙන් පසුගිය දින නවය පුරා අප විඳි විවේක හෙට දින පාරා වලල්ලක් වී ඇත. අප ගමනාරම්භ කල දිනේ සිට කිසිදු දිනක් මෙතරම් දුරක් ගමන් කල නැත. 
දින 9ක් පුරා අප ඒකාකාරීව වෙහෙස වී ඇත. ගිණි අව්වේද මහ වැස්සේද අප පැද ආවෙමු. එක් දිනෙක හෝ විවේකයක් නොගෙන අප ගමන් කලෙමු.
අප දෙදෙනාම වයසින් අර්ධ ශතවර්ශයක් ගෙවූ මැදි වයස් කරුවෝය.
සිත දැඩිය.
අප තුල ඇත්තේ ශක්තිය නොව ආත්ම ශක්තිය ය.
අපගේ ගමන් සගයන්ද එක සීරුවට කිලෝමීටර දහසක් අපව කරතබාගෙන ආවෝය. ඒ කිසිදු උවැටනක් නොමැතිවය. 
ගමන පිටත්වන්නට පෙර මගේ සයිකලයට; දෙල්ගොඩ සමීර මල්ලී දුන් තෙල් සාත්තුව හා නිශාන්ගේ සයිකලයට DSI සයිකල් කම්හලෙන් ලැබුනු සාත්තුව හැරුණු කොට ගෙන අපෙන් ලැබුනේ අවම සොයා බැලීමකි.
ගමන පිටත් වන්නට පෙර මා Dry Lubricant Can දෙකක් මිළදි ගත්තද එය පලමු දින දෙක තුන අවසන් වෙද්දී අවසන් විය. ඊට ප්‍රධාන හේතුව පලමු දින දෙකම අප වැස්සෙන් පීඩා විඳීමය.
වැස්ස සමග සයිකලයේ දම්වැල් හා දැති රෝද වල ඇති ලිහිසන දියවී යයි. නො එසේනම් ලිහිසි ස්වභාවය නැතිවී කැටි ගැසේ.
මේ නිසාම අප ගෙන ආ ලිහිසන වලට නොසෑහෙන්න වැඩ කටයුතු ඒ දිනවල කිරීමට තිබුනි.
එවන් සාත්තුවක් ලැබුනත් ඒ අවකාශයට නිරාවරණය වන චලනය වන කොටස් වලට පමනි.
ඉදිරි පස හා පසු පස හබ් හා බොටම් බ්‍රැකට් ආදියට එවන් නඩත්තුවක් නොලැබේ.
මොනවා උනත් හෙට ගමන අප යා යුතුය. 



දිවා සහ රාත්‍රිය සඳහා අප පුරුදු පරිදි එක් ආහාර වේලක් කෑමට සූදානම් විය. කරවල බැදුමක් මුල් කරගත් ඉතාමත්ම රසවත් කෑම වේලක් අපට ලැබුනේය. 
සීතල බීර වීදුරුවකින් සංතර්පනය වී බඩ පුරා බත් කෑ අප ගිමන් හලේ ඉදිරිපස තිබුනු හාන්සි පුටු දෙක මත වැතිර අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. 
රාත්‍රිය එළඹෙන්නට ඔන්න මෙන්නය.
හාත්පස අඳුරේ ගිලෙමින් ය.
ජීවිතයේ තවත් එක් දවසක් ගෙවී යමින් ය.
හෙට දින අවනිශ්චිතය. 
එහෙත් අප එදින; ජීවිතය  පිළිබඳව සංතෘප්තව සිටියෙමු.

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...