Thursday, August 31, 2023

214. තිස් අවුරුදු රථ මතක . . . . ! (14)


මෙම "තිස් අවුරුදු රථ මතක" නම් ලිපි පෙලින් ලියැවෙන්නේ අදින් වසර 50 කට පමණ පෙර සිට අපගේ ජීවිත  හා බැඳුනු රථ වාහන රාශියක් හා ඒ හා බැඳුනු කතා ගොන්නකිනි.
මා පලමුවෙන්ම මටම කියා වාහනයක් ගත්තේ 1992 එනම් මීට වසර 31 කට පෙරය!
රියැදුරු බලපත්‍රය ලබා ගත්තේ 1993 වසරෙදීය!
එතැන් පටන් මා අත තිබුනු වාහන පිළිබඳවද, ඒ වාහන හා බැඳුනු රසවත් මෙන්ම දුක්ඛ දායක සිද්දීන්ද එක්තැණ් කොට මෙම ලිපි මාලව ලියැවෙයි. මෙය ලිවිම පටන් ගැනුනේ "නොරතරථ" නමින් වුවත් එය "තිස් අවුරුදු රථ මතක" ලෙස වෙනස් කලෙමි.

මෙහි අවසන් ලිපිය ලියා ඇත්තේ 2021 අගෝස්තුවේය. 

මෙම ලිපියේ ඇති කරුණු වලින් සමහරක් මා මීට පෙර පෝස්ටුවල ලියා තිබීමට පුළුවන. බොහෝ කලකින් මෙම ලිපි පෙල ලියනා බැවින් පසුගිය ලිපිය හා සම්බන්ධතාවය පවත්වා ගැනීම උදෙසා එසේ සිදුකල බව තේරුම් ගනු මැන!


අද එතැන් සිට ලිවීම අරඹමි.


වර්ෂය කාල වකවානු පිලිබඳව නිනව්වක් නැත! කලකට ඉහත අගනුවර කිසියම් ආයතනයක් ඉදිරියේ වූ රථවාහන අංගනයකදී මා දුටු නිසාන් පැට්රෝල් රථයක් විය. එය; ඒවන විට මා සතුව තිබුනු 32-0865 මෙන් උස් වහළයකින් යුත් එකක් නොව ෆ්ලැට් රූෆ් කොටයකි. මෙම මාදිළියේ රථ අතර කඩවසම් රථය වූයේ Flat Roof එකය. උස් වහළයකින් යුත් රථය මෙලෝ රහක් නැති හැඩයක් ගත් එකකි.  ගෙන්වූයේ ශ්‍රී ලංකා පොලීසියට වන අතර එම රථයද පොලීසිය මෙනි!

මා සතුව තිබුනු 32-0865 රථය
 මෙවන් Nissan Patrol 160 High "Roof " වහලක් සහිත එකකි!


Flat Roof

වර්ණය දුඹුරු පැහැය ය. පිටුපස ෆයිබර් වහල කොටස ඇත් දළ පාටය. ගැඹුරු ශක්තිමත් පෙනුමැති ඇලොයි වීල් හතරකි. එය ආවරණය වී තිබුනේ 31x10.50x15 ටයර් හතරකිනි. එහි ලියාපදිංචි අංකය 32-2004 හෝ 2008 ය.  එහි අයිතිකරු වූයේ තලාහේනේ පදිංචි රසික නමැති හේලීස් ආයතනයේ සේවයකල තරුණයාය! 

32 දෙදාහස් කාණ්ඩේ මේ වාහන රොත්ත හෙවත් ෆ්ලීට් එක තිබුනේ ලංකා බැංකුවේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේය. මේ හැම වාහනයක්ම අදටත් කෙලින් කටින් තිබෙන වාහන ය. රජයේ ආයතන අතුරින් වෙන්දේසිවලින් ලැබෙද්දී ආයේ ගන්න සංසාරයක් නොමැති වාහන ශ්‍රී ලංකා පොලීසියේ ඒවා ලෙස ක්ෂේත්‍රයේ බොහෝ අය පවසනු මා අසා ඇත. 

ඇලොයි රිම් හතරකින් සමන්විතවූ එම රථය දුටු වනම මාගේ සිත පැහැර ගැනීමට සමත් විය! කිසියම් කටයුත්තක් සඳහා මා එම ස්ථානයට ගිය අවස්ථාවක මෙම රථය දැක; එහි අයිතිකරු පැමිණෙන තෙක් එහි රැඳි සිට ඔහුගෙන් එය පිළිබඳව කරුණුන් විමසා බැලුවේය. 

ඔහුගේ නම රසික බවත් ඔහුගේ වගතුගත් මා අසා දැනගත්තේ එවිටය. ඔහු අගනුවරින් ඈත නගරයක තරුණයෙකු විය. ඔහුගේ කොළඹට සංක්‍රමණය වී තිබුනේ රැකියාව නිසා විය යුතුය. මෙසේ අගනුවරට සංක්‍රමණය වූ බොහෝ අය තුල තිබූ හීනමානය මා පලමු දිනයේම ඔහු තුලත් දුටු වෙමි. ඔහු මා සමග කථා කලේ මාව පයිසයකට මායිම් කරමින් නොවේ! අද ව්‍යවහාරයෙන් පවසනවානම් "ලොකු ලයින්" එකෙන්ය! ඔහු එම වාහනයට හාරලක්ෂ පනස් දහසක මිලක් පැවසුවේය. සත්තකින්ම එය ඒ කාලයේ හැටියට නොවටිනා මිලකි.  මා වාහනයේ මිල තරම්ක් පහත හෙලීමට කථා කලද ඔහු ඊට දැක්වූයේ නුරුස්සනා බැල්මක් පමණි.

එකල මා සතුව පැවතියේ 32 ශ්‍රී 0862 නිසාන් පැට් රෝල් රථය ය. මා කලින් පැවසූ රසිකගේ රථය දුටු දිනයේ සිට මොලේ දන්න පටන් ගත්තේය. ඇනෙන් ඇනේට ඔරිජිනල් තත්වයට පැවති එහි සෑම මීටරයක් ස්විච් යතුරක් බොත්තමක්ම වැඩකරණා සේයාවක් එදින මා දුටුවෙමි. 

ඊට සාපේක්ෂව මාගේ 865 දාච්ච වැඳිරියකි!

Nissan Patrol High Roof J160SU රථයට උපතේදී හිමිව තිබූ Swing Doors නො එසේනම් සැලූන් දොරවල් වෙනුවට Tail Gate දොරක්; මාගේ 32-0865 ට මෙරටදී නිමවා සවි කොට තිබුනේය. සැලුන් දොරවල් හෙවත් Swing Doors යනු දෙපැත්තට ඇරිය හැකි දොරවල්ය. ටේල් ගේට් Tail Gate දොරවල් යනු පහත කොටස පහතටත් ඉහල කොටස ඉහලටත් ඇරීමට හැකිවන සේ සකසා ඇති දොරවල්ය.

Nissan Patrol Standard Roof  (Flat Roof) K160U රථයට කර්මාන්තශාලාවෙන් සවිකර ඒවන්නේම  Tail Gate දොරකි. මෙහි වාසිය වන්නේ උඩින් ඇති වීදුරුව උඩට ඔසවා යටි දොර පහලට ඇර ගත් පසු එය මේසයක් සේ සකසා ගත හැකිවීමය. මෙරට ගරාජයකින් සකසා ගත් මගේ    දොරෙන්ද එම කාර්‍යයම මා ඉටු කර ගත්තෙමි.

වහලය සහ පසුපස දොර වෙනස් කල 32-0865 වස්ගමුව අතර මග!

රථයේ මූලික හැඩය වෙනස් නොකොට එහි පසුපස සවිකොට තිබුනු Fiber වහලය ඉවත් කොට ඒයට මා විසින් නිර්මාණය කල වහලක් විය. එය සුසුකි සමුරායි රථයේ රෙදි වහල (Soft Top) එකට අනුකූලවය! ගෙවල් අසල ග්‍රිල් ගේට්ටු වැඩ පොලකින් රාමුව සකසා ගත් අතර විජේරාමේ Upholstery  වැඩ පොලකින් රෙද්ද මසා ගත්තෙමි.

මේ කියනා කාලයේ මා සේවය කලේ මාළිගාවත්තේ ලංකා නිපෝන් නමැති ආයතනයේය. එහි හිමි කරු වූයේ තන්වීර් තජුඩීන් මහතාය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකු විය. ඔහු සතුව ආයතන ශාඛාවක් රත්නපුර, දෑල ප්‍රදේශයේ පිහිටා තිබුනි. රත්නපුර දෑල පිහිටි මහ කම්හල ඒ වනවිට ඈලියාවට ගොස් තිබුනි. එය නැවත පිළිසකර කර ගැනීමට තන්වීර් මහතාට අවශ්‍ය වූ අතර ඒ සඳහා ඔහු මා තෝරා ගත්තේය. ඒ සමග රැකියාවට අලුතින් බඳවා ගත් කර්මාන්තශාලා කළමණාකරුහට ලියාපදිංචි නොකල ටොයෝටා 110 ස්ප්‍රින්ටරයක් මිළදී ගත් අතර මා හට වැටුපෙන් අඩුවන පදනම මත වාහනයක් මිළදී ගැනීමට රුපියල් ලක්ෂ 4ක ණයක්ද ලබා දුන්නේය.

මට අවශ්‍ය වූවේ ටොයෝටා ඩබල් කැබ් රථයකි. මීට කලකට පෙර මාගේ 32ශ්‍රී5460 ලෑන්ඩ් කෲසරයේ එන්ජිම සවිකිරීමේදී උපදේශකත්වය ලබාදුන් ටොයෝටා සමාගමේ ගාන්ධි අයියා වාහනයක් පිළිබඳව ඔත්තුවක් ලබා දුන්නේය.

ඒ කොටහේනේ ඩිමෙසලන්ඩ් හවුස් හි ප්‍රධාන පියතුමා පාවිච්චිකල කැබ් රථයයි. 

එය ටොයෝටා සමාගමෙන් හෙවත් ෆෲඩන්බර්ග් සමාගමෙන් අලුතින්ම මිළදීගෙන සමාගමෙන් සියළු නඩත්තු හා සේවාවන් කල රථයක් විය.

එහි අංකය 50 ශ්‍රී0800 විය. ටොයෝටා LN65 මාදිළියේ රථයකි. එය බලගැන්වූයේ 2L - 2400CC එන්ජිමකිනි.

වසික & කල්මලී
පසුපසින් හොරා වගේ ඉන්නේ 50-0800

දැනට මා සතුව ඇති එම වාහනයේ එකම පිංතූර "දෙක"!

වාහනයේ අඩුපාඩුවකට තිබුනේ සිගරට් ලයිටරය පමණි.

කිසිදු ඇද පලුද්දක් නොවූ ඒම රථය වැඩි කාලයක් මා සමග නොරැඳුනි.

එකල රත්නපුරයේ මැයි ගහ යට හංදියේ ටොයෝටා සමාගමේ අනුබද්ධ ආයතනයක් ලෙසින් වැඩහලක් ආරම්භ වුනි. එහි අයිතිකරු වූයේ එවකට කතරගම බස්නායක නිළමේ තැන්පත් නිලංග දෑල ය.

නිලංග මාගේ පාසලේ මට පහල පංතිවල අකුරු කල අයෙකි.

ඒ නිසාම නොව ටොයෝටා සමාගමේ අනුබද්ධ ආයතනයක් ලෙස පෙන්නුම් කල නිසාම මාගේ ටොයෝටා රථයේ සියළු නඩත්තු හා සේවා සඳහා යොමුකලේ එතැනටය.

දිනක් එහි තිරිංග පද්ධතියේ හෙවත් බ්‍රේක් අළුත්වැඩියාවකට එහි ගිය අවස්ථාවක එහි කාරමිකයෙකු එය පදවා වෑන් රථයක් හා ගැටුනි. මේ සමගම එහි ඉදිරිපස ඇක්සලයේ නකල් (බෝලය ) අසල පසු පසට පැමිණ කුඩා නැම්මක් ඇතිවිය.




ඉදිරිපස ඇක්සලයේ නකල් (බෝලය ) අසල 

මේ නිසාම වාහනයේ වම්පස රෝද අතර දිගට වඩා දකුණු පස රෝද අතර දුර (Wheel Base) අඟලකින් කොට විය!

මේ සඳහා අළුතින් ඇක්සලයක් සපයා දීම එම ආයතනයෙන් පැහැර හැරිය අතර ඔවුන් ඒ සඳහා රුපියල් 5000 ක හෝ 10000 ක මුදලක් මාවෙත ලබා දුන්නේය.

රථයේ ධාවනයේදී කිසිදු ලෙසකින් එය නොදැනෙන සේ ඉදිරි රෝද වල එකෙල්ල හෙවත් (Wheel Alignment)  සකසා තිබුනද එය මගේ සිතට මහත් වදයක් ගෙන දුන් කාරණයක් විය.

කාලය මෙසේ ගෙවී යද්දී මා ලංකා නිපෝන් ආයතනයෙන් ඉවත්වී සේවය සඳහා පානදුර පර්ෆෙක්ට් ෆිට් නමැති ඕස්ට්‍රේලියානු ආයතනයට බැඳුනෙමි. එම ආයතනයේ සේවය කල මානව සම්පත් අංශයේ සාමාන්‍යධිකාරීවරයා මෙම කැබ් රථයට; දුටු දිනයේ පටන් කෙළ හලන්නට විය.  දන්නා හිතවතුනට වාහන විකිණිම අති භයානක කාරණයකි. විකිණීමෙන් පසුව රෝදයක හුළං බැස්සද එය මුල් අයිති කරුගේ අවුලකි.

"වාහනය විකුණා ඇත්තේ පරණ ටයර් දාලා!"

"හරි ගානට හුළං ගහලා නෙවෙයි පාවිච්චි කරලා තියෙන්නේ!"

"ටයර් ටික දැම්මාම ගත්තු ලාභෙ ගිහිං ඉවරයි!"

"ඔයා දන්නේ නැද්ද මේකෙ රෝදෙක පැච එකක් කියලා!'

"පැච් එකක් කියලා ගැලෙව්වාම පැච් හතරක්!"

"ඉස්සෙල්ලා දාපු එකකිනුත් යනවා! ඒක හරියට දාලා නෑ!"


මෙවැනි කථා රාශියක් අහන්නට සිදුවේ! කොහොමත් මා වාහන විකුණන්නේ වාහනය ගැන හරියට කියා අවසානයේදීය. මිළ අඩු කිරීම මා නොකරණ තරම් ය!

"මෙහේ ඉඳන් යාපනේට ට්‍රයල් එකක් දෙන්නම්!" මම කියන්නේ බොරුවකට ඇන්දීමට නොව මා පාවිච්චි කරණ වාහනය කෙතරම් පැරණි වුවත් එය ඒතරම් හොඳට ධාවන තත්වය නඩත්තු කරණා බැවිනි.

කැබ් රියේ ඇති ඇක්සල් දෝෂය ඇරුනාම වෙන ඉහෙන් බහින රෝගයක් තිබුනේ නැත. මම එයද පැවසූ පසු ඔහුගේ කාර්මිකයා පැවසුවේ "රතයක් දාලා කෙලින් කර ගත්තාම ඉවරයි!" කියාය.

බාස්ලාගේ භාෂාවෙන් "රතයක් දානවා!" යනු රක්ත තප්ත වන තෙක් රත් කිරීමය.

සත්තකින්ම එයට පිළියම එයම වුවද මාගේ හිතට එය හරි මදිය! ඒ නිසාම මා රටේ හැම අස්සක් මුල්ලක් නෑරම හොයා බැලූ මුත් අලුතින් සොයා ගැනීමට අපොහොසත් විය.

මේ වන විට මම පවුලේ අය සමග නුවර පින්නවල ප්‍රදේශයේ හා අම්බලන්ගොඩට සංචාරයක් පමණක් ගොස් තිබුනි. 

කැබ් රිය ඉල්ලූ දින සිටම මාගේ හිතේ හොල්මන් කරණ්නට වූයේ රසිකගේ නිසාන් පැට්රෝල් ෆ්ලැට් රූෆ් රියය. මෙය විකුණූ සැණින් එය මිළදී ගැනීමට මාහට හැකිය! සත්තකින්ම අද වුවද මා එයට ඇලුම් කරණ්නෙමි. එය ඒතරම්ම කඩවසම් රථයකි.

කෙසේ හෝ වේවා අවසානයේ මානව සම්පත් අංශයේ සාමාන්‍යධිකාරී සුමුදු සිල්වා විසින් මිලදී ගන්නට යෙදුනි.

ඒ සඳහා පානදුර හැටන් නැෂනල් බැංකුවෙන් ඔහු පුද්ගලික ණයක් ගත් අතර එයට සාක්ෂි වශයෙන් අත්සන් කලේද මම මය!

වාහනය විකුණූ දිනට පසු දින මා රසික හමුවීමට නිවෙස සොයා ගියෙමි. නිවෙස තිබුනේ තලාහේනේය. වාහනයේ හැඩ හුරුකම් කී පමණින් ඔහු නැවතී සිටි නිවෙස සොයා ගැනීමට මා හට අපහසුවක් නොවීය. මා එහි යන විට රසික නිවෙසට පැමිණ නොසිටියේය. තවත් පැය බාගයකට පමණ පසු ඔහු ස්වකීය අජානීය අශ්වයා පිට පැමිණියේය. ඔහු එම අවස්ථාවේදී පවා දැක්වූයේ අප්‍රසන්න ප්‍රථිචාරයකි!

"නෑ! මං මේක විකුණන්නේ නෑ!" ඔහුගේ තනි පිළිතුර විය. මා කිහිප වතාවක් ඔහුව වාහනය විකිණීමට නම්මා ගැනීමට උත්සාහ කලද ඉන් පලක් නොවීය. මා දත් කූරු කමින් රාත්‍රියෙම හිස් අතින් නිවෙසට පැමිණියේය.

සත්තකින්ම දත්කූරු කෑවද පලක් නැත. මාගේ කැබ් රිය විකිණීමට පෙර මා රසිකගෙන් ඒ ගැන විමසුවේ නැත! සත්තකින්ම වරද මා අතය. රසික මොනතරම් නොසන්ඩාල ලෙස හැසුරුනද තම වාහනය නොවිකිණීමට ගත් තීරණය පිළිබඳව වරදක් කීමට නොහැක! 

එක් වාහනයක් විකුණා තව වාහනයක් ගැනීමට යාමේදී සියල්ල නැතිවූ පලමු කන්ථක අස්වයා මා නොවේ. ඒ නිසාම පපුව පැලී මිය යාමට අවශ්‍ය නැත!

මේවා කාට කාටත් හොඳ පාඩම් ය!

මාහට දැන් අවශ්‍යවී ඇත්තේ මොන විදියට හෝ Nissan Patrol Flat Roof රථයකි. ඒ අනිත් ගොං කමය! 

මේ පිළිබඳ රසවත් ජාතක කථාවක්ද මා අසා ඇත. එයින් කියැවෙන්නේද ආවේගය මුල් කරගෙන ක්ෂ්ණික තීන්දු තීරණ ගැනීමේ අනිටු පල විපාකයන් ය. මේ මොන දාර්ශණික කථා කීවත් රසිකගේ නිසාන් පැට්රෝලය හිමි කර ගැනීමට නොහැකිවීමේ දුක මාහට හිතෙන් අයින් කර ගැනීමට නොහැකිවිය. 

ඒ වන විටත් 32ශ්‍රී0865 ගෙදර තිබුනද මාහට හිත හදා ගැනීමට අපහසුවිය. 

මීට හේතු කිහිපයකි. වාහනයක් යනු මාහට හුදෙක් පාරිභෝගික වස්තුවක්ම පමණක් නොවේ. එය මිළදී ගැනීමෙන් පසු ගෙදර තවත්සාමාජිකයෙකුගේ තත්වය එයට හිමිවේ.

අපගේ නිවෙස පිහිටා ඇත්තේ බස් පාරෙන් කිලෝමීටර එක හමාරක් ඇතුලතය. එම බස් පාරේ බස් ධාවනය වූවේද අවාරට රට දෙල් වැටෙන්නා මෙන් උන්ට ඕනෑවට විනා අපිට අවශ්‍ය පරිදි  නොවේ. මේ නිසා සත්‍යය වශයෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බස් දුවනා පාර වූයේ නුවර පාරය. ඊට අපගේ නිවසේ සිට කිලෝමීටර 3ක් පමණ වේ. මේ නිසාම වාහනයක් යනු කුස්සියේ කපාගෙන කන පිහිය සේම අත්‍යාවශ්‍ය පාරිභෝගික වස්තුවකි.

ඊටත්; කුඩා කල මාගේ ආදරණීය මවට රථ කල්කය හොයා ගැණීමට නොහැකිවීමෙන් රථගාය; මාහට සැමදා උත්සන්නව තිබූ රෝගී තත්වයකි. මේ නිසාම ගෙදරට අලුතින් වාහනය ගැනීමට සිතාගත්දා පටන් ඒ පිළිබඳව මවන්නාවූ සිහින වල බර වාහනයට වඩා අඩු වූවානම් ඒ රාත්තල් දෙක තුනකින් විය යුතුය. එවන් බලාපොරොත්තු සිහිණ සියල්ල "නෑ! මං මේක විකුණන්නේ නෑ!" කියූ පමණින් අමතක කිරීමට අපහසුවිය. 

සුමුදු සිල්වා වාහනය ගෙනගියාට පසු මා සිරිත් පරිදි 32-0865 රථයෙන් කඩවත සිට පානදුරය දක්වා සේවයට ගියෙමි. එක් දිනක් මා කටුබැද්දේදී තවත් නිසාන් පැට්‍රොල් ෆ්ලැට් රූෆ් රථයක් දුටුවෙමි. වහාම එය හඹා ගොස් වාහනයේ විස්තර ලබා ගතිමි. හඹා යෑමේ තරම කොතෙක්ද යැයි කිවහොත් ඊළඟ සතියේ එයද ගෙදරට කැන්දාගෙන ආවෙමි.

ඒ 27 ශ්‍රී 8338 රථයයි.


 මේ වන විට නිවස ඉදිරිපස නිසාන් පැට්‍රෝල් රථම දෙකකි. 

එක වාහනයක බැටරි බැස ගිය විට අනෙක පාවිච්චි කරයි. ඩීසල් ඇති එක දුවයි. ආදායම් බලපත්‍රය කල් ඉකුත්වූ විට අනෙක් රථයේ නොම්මර තහඩුව සවිකරගෙන දුවයි.

"සදා නොමැකෙන පොසිටිව්
මේ වස්ගමුව යන අතර මගදී කඩුගන්නාව ගල විදපු ස්ථානයේදී ගත් ඡායා රූපයක්. 
වාහනයේ 27-8338 ලෙස දක්වා ඇතත් මේ 32-0865ම වේ.
ඒ ගැන ඉදිරියේ ලියන්නම්!"  යැයි "නොරත රථ 13" මා බාගෙට ලියා ඇත්තේ මේ ගැනය. සත්තකින්ම මේ පිංතූරයේ දැක්වෙන්නේ 32-0865 රථය ය. 

එක් වරක් මෙසේ එක් වාහනයක නොම්මරය අනෙක් වාහනයේ අමුනාගෙන ගොස් පානදුරදී පොලීසියට හසුවිය. එම මොහොතේම කඩවත පොලීසියෙන් කිසිවෙකුහෝ මාගේ නිවසට ගොස් අනෙක් වාහනයත් මට අයත් බව තහවුරු කර ගන්නා මෙන් පොලීසියට මා ඒ මොහොතේ පැවසූ අතර එතැනින් ගැටළුව නිරාකරණය කර ගැනීමට මාහට හැකිවිය.
නොසිතූ අවස්ථාවක අප සේවය කල පාන්දුර පර්ෆෙක්ට් ෆිට් ආයතනය වසා දැමෙන්නේ මේ අතරදී. 
ඒ වන විටවාහන දෙකක් නඩත්තුව අපහසු වන විට මාගේ මිතුරෙකුවූ මධුරංග සිල්වා වෙත මා 27-8338 රතය විකුණා දැමීමට සිත එකඟ කර ගත්තෙමි.
එයද කදිම ගනුදෙනුවක් විය. වාහනය විකුණුවේ රුපියල් ලක්ෂ 3 කට වන අතර ඔහු අත්පිට ලබා දෙන්නේ ලක්ෂ එක හමාරක් පමණි. අනෙක් ලක්ෂ එකහමාර ඔහු මට මසකට රුපියල් පහලොස් දාහ ගනනේ මාස දහයකින් පියවීමට එකඟ විය!
දැන් මතක් වන විට මේවා ඇඟ සීතල වන ගනුදෙනුය!

රැකියාව නැතිවීමෙන් පසුව මා මාගේ ගරාජය පටන් ගත්තෙමි.
ඒ කවුන්ටි මෝටර්ස්!
ඔය කාලයේ දිනක් මාගේ ඇස ගැටෙන්නේ මා වසර ගනනාවක සිට සතු කර ගැනීමට ආශාවෙන් සටි වාහනයකි. එය කළගෙඩිහේනේ ප්‍රධාන පාර අසල නවතා තිබුනි.

ඒ ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් 1210 සයිඩ් ස්ටෙප් කැබ් රථයකි.
මෙම වාහනය මා මුලින්ම දකින්නේ 1972 වසරේදී පමණ. 
ඒ අවිස්සාවේල්ලේදී. 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව හමුදාවට හා පොලීසියට මෙම රථ ලැබී තිබුනා ප්‍රධානයක් ලෙස.
මෙය සමන්විත වූයේ පෙට්‍රෝල් සිලින්ඩර් 6 ක යෝධ එන්ජිමක්.
4 ෆොර්වර්ඩ් ගියර් පෙට්ටියක්.
ගියර් පෙට්ටියේ සිට පසු පසට අඩියක පමණ දිග ප්‍රොපෙලර් ෂාෆ්ට් එකක් තිබුනා.
එයින් තමයි ට්‍රාන්සර් කේස් එක දිවැවුනේ. මේ නිසාම මොන විදියේ එන්ජිමක් සවිකලත් එම රථයේ ෆෝ වීල් ඩ්‍රයිව් ක්‍රියා කාරීත්වයට හානියක් උනේ නෑ.
මම මේ මිළදී ගත් රථයට ඒ වන විට මිට්සුබිෂි 4DR5 එන්ජිමක් සවි කොට තිබුනා.

මෙම රථය දුටු වනම එය මිළදී ගනීමේ ආශාවක් හෙවත් ඇම්මක් ඇතිවූ බැවින් එක වරම 32-0865 විකුණා දමන්නට සූදානම් විය.

ඉතින් මේ ගැන එන පෝස්ටුවෙන් කියවමු.
ඊළඟ කොටස තවත් රසවත්!


පසුව ලියමි:-
බ්ලොග් ලිවීම ප්‍රවර්ධනය කිරීමට සැරසුනු මා හටම පෝස්ටුවක් ලිවීම කල් ගත වූයේ "බාල ගිරි දෝෂය" වැලඳී තිබුනු හෙයින් නොව පසුගිය කාලය පුරාවට මා ගේ කාලය වෙනත් අධ්‍යාපන කටයුත්තකට  යොමු කල බැවිණි.
ඒ පිළිබඳව කමා වුව මැනව!

40 comments:

  1. කෙල්ලෙකුගේ අතින්වත් අල්ලා නැති නව යෞවනයෙකු සීදෙවි පත්තරයක් බලා සැනසෙන්නේ යම් සේ ද මම ද මේ පෝස්ටුව කියවා එපමණම සැනසුනෙමි....

    ඊලඟ කොටස ඉක්මනින් ගෙනෙන්නට තට්ටයා මහතාට හිත් පහලකරන සේක්වා යැයි මා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි..........

    අද දවසේ පළමු කමෙන්ටුව මගේය.. එය මට මහත් සතුටකි.....

    ReplyDelete
    Replies
    1. තිලින ප්‍රියසාද්!
      සත්තකින්ම ඔබගේ ඇමතුම නෝන්නට මේ පෝස්ටුව තවත් කලක් හමස්පෙට්ටියේ!
      උඹල වගේ එකෙක් කිව්වාම; ලියන්නට එන ගැම්ම මෙතැකැයි කියන්න බෑ!
      ස්තූතියි!

      Delete
  2. කාලෙකින් නේද? ඔයත් එහෙනම් මම වගේ කාර් ලයිසොන් එකෙන් ලොරි එලවල පස්සේ ලොරි ලයිසොන් ගත්තේ නේද? මතකයේ රැදුන වහනයක් පහල ලින්ක් එකෙන් බලන්න .

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව! එහෙම තමයි මමත් කලේ! හි හි.
      පල්ලෙහා තියෙන එක නං අම්මට සිරි නේ!

      Delete
  3. https://collectableclassiccars.com.au/sold-cars/just-arrived-1954-riley-rmb-2-5-litre

    ReplyDelete
  4. තට්ටයා මහතා බොහොම දවසකින් ලිපියක් දකින්නේ.

    ඔබගේ ලිපිය දෙවරක් කියවන්න උත්සහ දැරුවා. රසවත් ලිපියක් නිසා නිවි හැනහිල්ලේ කියවන්න ඕනි.

    කාලය අරගෙන කියවන්නම්.

    මට ඉස්සෙල්ලම තිබ්බා පරණ කාර් එකක්. මට කිව්වට තාත්තා ට තිබ්බේ.
    පනස් ගණන් වල ලංකාවේ හිටපු පොලිස් පති වරයෙක් භාවිත කල රථය.
    ඊට පසුව තවත් වාහනයක් තිබ්බා නිෂ්පාදිත වසර අවුරුදු 20 ක්‌ පමණ පැරණි එකක්.

    දැන් නං අලුත් වාහන විතරයි භාවිතය.

    ReplyDelete
    Replies
    1. ඔව් තුමෝ1
      ටිකක් කලක් ගියා ලියන්න.
      ඔව් අපි බොහොම දෙනෙක් පරණ වාහන වලට පොඩි ඇල්මක් තියෙනවා.
      වැඩේ තියෙන්නේ ඔය කාලේ (දැනුත් එහෙම තමයි!) අලුත් වාහනයක් ගැන හිතන්නටවත් මූල්‍යමය ශක්තියක් තිබුනේ නෑ! අනෙක මොනවා උනත් 4WD එකක් නේ ඕන උනෙත්!
      මොනවා උනත් ඇවිත් කියවා මෙහෙම පිළිසඳරක යෙදෙන එකේ වටිනා කම මෙතැකැයි කියන්න බෑ!

      Delete
  5. කාලෙකින් ලිවීම ගැන සතුටුයි. ආයෙ එන්නම්.👌

    ReplyDelete
    Replies
    1. තට්ට මහත්තයා වාහන වලින් ගන්නා විනෝදය මා නොලබන නමුත්, මේ ලිපිය ලියා ඇති රටාවත්, එහි සඳහන් වන අතුරු කතාත් නොඅඩුව රසවින්ඳෙමි. ස්තූතියි. 👌

      Delete
    2. අනේ ඔව් බස්සෝ!
      මට ඕන මේ දේවල් ගැන සටහනක් තියන්නට ඕන මං නැති කාලෙක වසිකයාලට කල්මිලට බලා කියා ගන්න, තාත්තා මොන ගේමක් ගැහුවද උංව රෝද හතරක ගෙනියන්න කියලා!

      ඉතිං ඒ නිසාම ඒවායේ යාන්ත්‍රික කයි කථන්දර ටිකත් ලියාගෙනම යනවා.
      මොනවා උනත් ආපු එක ලොකු දෙයක්!

      Delete
  6. කියවන්න බොහොම පහසු හා ඉන්ටරෙස්ටින් විදිහට ලියල තියනව.
    මිස්ටර් තට්ස්ට පොතක් ලියන්න කාලෙ හරි දැන්

    ReplyDelete
    Replies
    1. ටැංකිව් සෑර්! මම මොනවා ගැනද ලියන්නේ?

      Delete
    2. "Jeewithaye oil pallam wage" obage oya liyana thoraturu tikama pothak vidiyata gahamu.

      Delete
    3. "ජීවිතයේ ඔයිල් පැල්ලම්" ඒක අද්විතීය පොතක්.
      මම හිතන්නේ නෑ ඒ මට්ටමේ පොතක් ලියන්න පුළුවන් තරිඳු වගේ එකෙක්ට විතරයි.
      මම ලිව්වොත් මගේ චාරිකා සටහන් තමයි පොතකට ගේන්න හිතාන ඉන්නේ.
      "ගඟක් දිගේ ගිය ගමනක් සහ තවත් චාරිකා!" වගේ එකක්.
      මම ඔය ගැන අපේ නිමල් දිසානායක මහා මුද්‍රණ කරු සමග එක වරක් විමසුවා.
      ඔහු පවසා සිටියේ; අපේ බ්ලොග් පෝස්ටු රසවත් වී ඇති ඡායා රූප පොතකට එකතු කරණ්නට ගියාම ලොකු නිෂ්පාදන වියදමක් යන වගක්!
      බලමු!
      ස්තූතියි ඔබේ යෝජනාවට!

      Delete
    4. පොත් ගහපු කීප දෙනෙක්ගෙන් අහලා බලන්න. අජිත්ගෙන් එහෙම.🤔

      Delete
  7. හ්ම්.
    ටිකක් කල් ගත්තට... රසවත්ව ලියල තියෙන හන්ද මක්කවත් කියන්ට බැහැ නෙව 😉. අගෙයි. දිගටම ලියමු!

    ReplyDelete
  8. ලංකාවේ සාමාන්‍ය රැකියාවක් කරන මනුස්සයෙක්ට වාහනයක් කියන්නේ හීනයක්, ලංකාවේම එකලස් කරන ඒවත් පට්ටම ගණන්, එත් පාරේ රෙනවා කියල අපහාසයෙන් කතා කරන අපේ අල්ලපු රටේ එහෙම නෑ ....
    අපේ නෑදෑ වෙන ජීප් පිස්සුවක් තිබුන කෙනෙක් එක්ක ගිහින් විලිස් දොර දෙකේ ජීප් එකක් අරන් ආව මතක් උනා ...

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මේ කමෙන්ටු ලියන්නට වෙලා තියෙන්නේම; වාහනයක් ගන්නට තිබුනු අපහසුතාවයම තමයි.
      දැන් රසවත්ව හිනාවෙවී ලිව්වාට මේවා නොම්මර එකේ කටු!

      Delete
  9. තට්ටයා බලන්න අවුරුදු ගානකට පස්සෙ ආවා. ජයවේවා
    මතකද මන්දා.... මම දුමී...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔයාව බලන්න මම ඔයාගේ සේවා ස්ථානයට කිහිප වතාවක්ම ගියා.
      ඔබේ දුරකථනයත් මැරිලා!
      ඇත්තටම මොකද උනේ?
      බ්ලොග් එක කෝ?

      Delete
    2. දැන් මේ "සංචාරේං" බ්ලොග් එක තියෙන්නෙ. සිදුවීම් නම් ගොඩයි. ඉතින් සතුටුයි නැවත එන්න ලැබීම ගැන. ෆෝන් නම්බර් එක දාලා තියන්න. ස්තූතිය

      Delete
  10. ඉන්ටර්කුලර් ටර්බෝ බුස්ට්, නයිට්‍රස් ඔක්සයිඩ් නිසා කොමන්රේල් එන්ජිම ප්‍රකටයි රොටරියට වඩා.

    ReplyDelete
    Replies
    1. රොටරි එන්ජිමේ අලුත්වැඩියා වියදම් ඉහල වීමත් එක් අවාසියක්!

      Delete
  11. කාලෙකින් ඇවිල්ල ඔය ලියල තියෙන්නෙ අගේට.

    ඇත්තටම ඉතිං රථගාට කියන්නෙ සුවකල නොහැකි රෝගයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න! ඒත් මම බැලුවා නයාට මොකද උනේ කියලා!?

      Delete
    2. ආහ්.. ප්‍රසන්න ඉන්නවා නේද ? ඔන්න කවි දුමී ආයිත් ආවා.
      ජයවේවා

      Delete
  12. රංග තේනුවරSeptember 3, 2023 at 2:46 PM

    මගේ වෙබ් අඩවියෙ පානදුර මහේෂ් ලග තියෙනවා නිසාන් පැට්‍රොල් වයි 60 කොට මොඩෙල් එකක්.

    එකේ යාල කැලේ අපි ගියපු චාරිකා පින්තුර වෙබ් අඩවියෙ තියෙනවා.

    අපි බියර් බොමින් ගෝට් චීස් කමින් තරු බැලුවා රාත්‍රියේ.

    රංග තේනුවර - ප්‍රධාන විධායක නිලධාරී එළකිරි ඩොට් කොම්

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්ද පූසෝ මාළු කිව්වලු!?

      Delete
  13. නියමයි තට්ට මහත්තයො. මේව දකිනකොට රතගාය වැඩිවෙලා ඉස්මොල්ලෙ යනව. ඒත් මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඉතිං වාහනයක් අරං හදමුකෝ - සල්ලි තියෙන තියෙන විදියට!

      Delete
  14. මොකද පරක්කු කියලා බැලුවා...... කොච්චර කථා කලත් එපා වෙන්නේ නැති පරන (යකඩ සුවඳ) මතක.... මේවත් හරියටම කෝච්චිය වගේ තමයි. කරදරයි, හැබැයි සුන්දරයි...... ස්තුතියි තට්ටයා මහත්තයෝ....
    -වීරසිරි බන්ඩාර-

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීරසිරි මහත්තයා!
      අපි මොන දේ ලිව්වත් ඇවිත් කියවන; කියවලා නොනැවතී ලියන: නොලිව්වාම ඒ ගැනත් හොයා බලන ඔබ තුමන්ලා තමයි මේ බ්ලොග් ලිවීම නැවැත්වීමට බැරි එකම පිටස්තර බලවේගය!

      Delete
    2. ප්‍රතිචාරයටත් , අපේ පරපුරේ සහෘදයින්ට දොඩමලු වෙන්ට මේ වගේ වේදිකාවක් හදපු එකටත් ස්‍තුතියි තට්ටයා මහත්තයෝ....
      - වීරසිරි බන්ඩාර -

      Delete
  15. ආසාවෙන් කියෙව්වා. ඔහොම යං. තව වාහන කථා ලියන්න.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...