2022/04/18
254. මව්බිම වටා සයිකලයෙන් . . . 10
අප දෙදෙනාත් අපට හිතවත් සහෘදයනුත් එකට එක් කල දාමය වූයේ මා ගමන පිටත් වන මොහොතේ වට ධාරාණිපාතය තරමක් තුරල් වනතුරු නිවසේ සිටිනාතරතුර ගොඩ නැංවූ ගමන සමගම විහිදුනු, වට්සැප් සමූහයයි.
සැම දිනයක් ආරම්භයේදීද අවසානයේදීද එසේම ඒ අතරතුර ගමනේ සුවිශේෂී සිදුවීම් හා පසුකරණා සුන්දර ස්ථාන වල රූපමය වාර්ථාවක් සජීවීව ගෙන ඒමද එම වට්සැප් සමූහය මගින් සිදු කෙරුණි.
කොටින්ම එය දෙවෙනි වූවේ වීඩියෝ සටහනකට හෝ සයිකල් රේස් සමග දිවෙන රනින් කමෙන්ට්‍රියකට පමණි.
අද දින අපට යා යුතු මග විහිදෙන්නේ; එසේත් නැතිනම් අද දින අපගේ ගමනාන්තය විය යුත්තේ පුත්තලම නගරයයි. මන්නාරම සිට පුත්තලමට පැමිණෙන අයෙකුහට ඒ සඳහා මාර්ග දෙකක් තෝරා ගත හැක.
ඉන් එකක් වන්නේ; විල්පත්තුව අභයභූමිය; ඇඟට දැනෙන්නට ලියනවා නම් විල්පත්තු මහා වනාන්තරයද මුහුදු වෙරළද මැදිව දිවෙන සිලාවතුර, කොන්ඩෙයිච්චි, මරිච්චු කඩ්ඩි, පොම්පරිප්පු හරහා දිවෙන වනගත මාර්ගයයි.
දෙවැන්න වන්නේ අඩප්පන්කුලම්, තන්තිරිමලේ, මහවිලච්චිය, නොච්චියාගම හරහා දිවෙන මාර්ගය යි.
විල්පත්තුව යනු වර්ග කිලෝමීටර 1317 පුරා පැතිරී ගිය වන පෙතකි.
මා කලින් කී වනගත මාරගයෙන් ගමන් ගන්නෙකු හට මන්නාරම සිට පුත්තලම දක්වා සරළ රේඛීය ගමන් පෙතක ගමන් ගැනීමට හැකි වුවද නොච්චියාගම හරහා ගමන් කිරීම වටේ යෑමක් හෙවත් වට වන්දනාවකි.
මා කලින් කී පෙත; 4WD රථවලට සුදුසු මාර්ගයක් වන අතර එය බොහෝ කාලවලදී වසා තැබෙන බව මා අසා ඇත. උදාහරණයක් ලෙස කලා ඔය පිටාර ගලනා කාලයේදී මෙම මාරගයේ පුත්තලමට ආසන්නව හමුවන එළුවන්කුලම ආසන්නයේ පවතින සපත්තු පාලම වසා දමනු ලැබෙයි.
සපත්තු පාලම වසා දමනවා යනු මුළු මාර්ගයම වසා දැමීමට කියනා තවත් නමකි!
2022/04/18 දිනය යනු මන්නාරමට මහ වැසි වැටුනු දිනයකි. "හැමදා නියං එකදා වැහි වළාවේ" කීවා සේ ඒ වැස්ස මුළු නගරයම පමණක් නොව ප්‍රදේශයම දිය බත් කලේය. වැස්ස ආවේ තනිව නොව කුණාටුවක් වන් දැඩි සුළඟක්ද කැටිවය. වැස්ස යනු මට "අරහං" හැඟීමකි. වැස්සේ සයිකල් පැදීම ඊටත් වඩා අප්‍රසන්නවූ ක්‍රියාවකි.
වැස්ස හරහා නගරයෙන් ඔබ්බෙහි වූ මාර්ගයක ගමන් කරණවාට වඩා නගරයක් තුල සැරි සැරීම වෙනස්ම වූ කටයුත්තකි. ඉතා දිගුකාලයක් දැඩි හිරු රශ්මියෙන් පීඩා විඳ මුළු නගරයම දූවිල්ලෙන් වසාගත් නගරය මතට වැටෙන පලමු වැසි වට සමග දූවිලි සේදී ගලන්නට ගනී. මුලින්ම සෑදෙන්නේ දූවිලි පල්පයකි! පසුව ගලා යයි!
"පිරිසිදු නගරයක්" ලෙස නම් කිරීමට ලංකාවේ නගරයක් වෙතොත් එය ඉතා දුලභ අවයවයකි. මන්නාරම එම නගරයේ උත්පත්තියේ පටන්ම අපිරිසිදු හා අක්‍රමවත් නගරයකි.
අප එදිනද අළුයම අවදි උනෙමු. අපට ලැබී තිබුනු කාමරය; හැරපියා එන්නට දුක සිතෙන තරම් සුව පහසු එකකි. තිස් අවුරුදු යුධමය වාතාවරණයෙන් පසු ආශ්චර්‍යමත් ලෙස පිබිදුනු පවුල් සිටින්නේ දකුණේ පමණක් නොව උතුරේද සිටිති. මෙම හෝටලය අයත් අය සමග පෙරදින සැඳෑවේ අප කල කථා බහේදී ඔහු LTTE සංවිධානය සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කල හැටි හා ඔවුන් සමග ගනුදෙනු කල හැටි ආඩම්බරයෙන් යුතුව කියා පෑවේය. ඔහුගේ අදහසේ හැටියට එකල මෙම පලාත්වල තිබුනු විනය හා සංවිධානාත්මක බව දැන් අහලකවත් නොමැත.
එකල මෙම ප්‍රදේශ වල හොරකම්, ස්ත්‍රී දූෂණ, වංචා ආදිය කොහෙත්ම සිදු නොවූ බව ඔහු පැවසුවේ මහත්වූ උද්දාමයෙනි.
සත්තකින්ම එය එසේ වන්නට ඇත.
එකල සහ යුද්ධයෙන් පසුව සිදුවූ බොහෝ ස්ත්‍රී දූෂණ හා මිනී මැරුම් සම්බන්ධව චෝදනා රජයේ හමුදා සාමාජිකයින් වෙත එල්ල වීමෙන්; මෙම අදහසේ යම් නිරවද්‍ය තාවයක් වෙතැයි සිතිය හැක.
මා කලින් කීවා සේ එදින අප ඉක්මණින්ම නවාතැනින් පිට වුනෙමු. නවාතැන් පොලේ සිට නගරයක කෙටි දුරකි. එය කිලෝමීටරයකට දෙකකට සීමාවිය. නගරයේ කුඩා ආපන ශාලා දෙකක් විවෘථව පැවතින. වැස්ස නැවතී කුඩා හිරි පොදයකට සීමාවී තිබුනි. මේ එන්ජිමක අයිඩ්ල් රනින් හෙවත් අකම් දිවුම සේය. වැස්ස මේ ඉඩ පාඩුව ලබා දෙන්නේ ඊළඟට රෙදි ගැලවෙන්නට බෙදන්නට මත්තෙන් අපට රෙදි තදකොට ඇඳ ගැනීමටය. කොටින්ම මේ අපායේ ඉන්ටර්වල් එකය!
කෙසේ වෙතත් අපට ආපසු හැරීමක් හෝ ගමන කල්දැමීමක් කල නොහැක!
මේ ගමන අප යායුතුම වේ.
අප බලා සිටියා කියා වැස්ස අපට පව් කියන්නේ නැත! එසේම අපට ඉඩ සලසා වෙන දිනයක වහින්නේද නැත! එය එසේ සිදුකරණ මෙන් ඉල්ලා සිටීමට අප වික්ටර් රත්නායක හෝ චාමර වීරසිංහ නොවෙති. එසේම මේ නුගේගොඩ හෝ මහරගමද නොවේ. මේ එකෙන්ම මන්නාරමය. මන්නාරම වැස්ස සමග සෙල්ලං නැත! වහින්නේ කන් පාත්වෙන්නය.
කුඩා හිරිපොද මාධ්‍යයේයම අප කුඩා කඩයකට ගාල් උනෙමු. එතැන කන්නට තිබුනේ පිටිවලින් සාදන ලද "මාලු පාන්" යනුවෙන් ඒ පලාතේ අය හඳුන් වන අමුතු කෑමකි. වෙරළාශ්‍රිත වූවාට ආසාවට එම කෑමට "මාළු" එක් කොට නොතිබුනේය.
එම ආහාරයේ මාළුවෙකුගේ හැඩයක්ද නොතිබුනේ අපව තවත් අපහසුතාවයට පත් කරවමිනි.
කඩයේ අපගේ මේසයේම කොනක සිට අප සමග කතා බස් කලේ; සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් නිළධරයෙකුය. මාලු පාන් දෙකක් ගිල දමා; කිරිතේ තුනක් බී අප එතැනින් සමු ගත්තෙමු.
"තුනක්" වූයේ පොලිස් දෙපාර්තමේන්තුවටද තේ ලබා දීමට අප අනුග්‍රහය දැක්වූ බැවිනි.
පොලිස් රාළහාමි කෙනෙකු මුණ ගැසීම අපට අස්වැසිල්ලක් වූවේ පාර නිර්ණය කිරීමට යාමේදීය. ඔහුගේ අදහස වූයේ විල්පත්තුව මැදින් ඇති මාර්ගය මේ වන විට බොහෝ කලක සිට වසා ඇති බවත් දැනට භාවිතා කිරීමට නොහැකි තරම් එය අබලන්ව ඇති බවත් ය.
ඒ කෙසේ වෙතත් එම මාර්ගය සයිකල් දෙකකින් යෙදෙන ගමනකට නුසුදුසු බවද ඔහු පැවසීය.
මන්නාරමේ සිට ප්‍රධාන භූමියට දිවෙන වේලිමග වැටෙන්නේ තුන් මං හංදියකටය. ඉන් වම් පස විහිදෙන්නේ අප යාපනයේ සිට පැමිණි මාර්ගය වනාතරතුර දකුණු පස මාර්ගය මැදවච්චිය හරහා අනුරාධපුරය දෙසට විහිදේ. අප දැන් යා යුත්තේ එම මගේය.
වේලි මගෙන් මෙපිටට පැමිණ දකුණු දෙසට හැරී අප පැදයන්නට පටන් ගත්තෙමු. කෙටිදුරක් යන විට පෙරදිනයේ; නවාතැන් ගැනීමට ඉවකල මිල්ටරි ආපනශාලාව දිස් විය. එය පසුකොට ඉදිරියට ගමන් ගනිද්දී කොළඹ සිට ගමන් ඇරඹුනු දුම් රිය මාර්ගය හරහා අප ගමන් ගත්තෙමු.
වැස්ස තුරල්වී මාරගය තරමක් වේලී තිබුනද ; අහස; "දෙන්නම් බැටේ" කියා ගෙන කැස කවමින්ම සිටියේය.
මේ නිසාම වැහි බීරමකින් මුළු පරිසරයම යටපත්වී සිටියේය.
හිරු මොන තරම් තේජාන්විත අයෙකු වුවත් වැහි වළාකුළු හමුවේ ඔහු පසු බැස සිටිය අරුමය!
ස්ථානය පිළිබඳව පැහැදිලි මතකයක් නැතත් අප ගමන් ගන්නා, ගමන් කල හැකි හා ගමන් කලයුතු මාර්ගය තීරණය කිරීමෙන් පසුව මැදවච්චිය දෙසට හැරී ගමන් කරන්නට විමු.
මුරුන්කන් ප්‍රදේශය පසු කරණා තුරුත් අපට ඔරවාගෙන සිටි අහසේ; ටිකෙන් ටික කේන්තිය පහව යන බවක් පෙනුනි.
උදෑසන 8.45 වන විට ගමනේ වැදගත් සංධිස්ථානයකට අප පැමිණ සිටියෙමු.
මඩු
කලක සිට මඩු පල්ලියේ මංගල්ලය කාලයට එහි යන්න දැඩි ආශාවක් පැවතුනි. එහෙත් අදටත් ඉටු කර ගැනීමට නොහැකිවූ බලාපොරොත්තුවකි.
අද මේ ගමන වැටී ඇත්තේ ඒ අභියසින්ය.
මහා මාර්ගයෙන් හැරී දේවස්ථානයට තවත් කිලෝමීටර ගනනාවක් යන්නට ඇත.
අපට එහි යන්නට වේලාවක් නැත. ඊළඟ වැස්සට කලින් අප වාසස්ථානයක් සොයා ගත යුතුය.
ගමන පිටත්වෙන්න පෙර; නිශාන් දූරකථනයෙන් නවාතැන් පොලකට කතා කරණු මට ඇසිනි. එම ස්ථානය වෙන් කරගත් බවත් ඔහු එවිටම වාගේ මට කීවේය.
මඩු පල්ලියට හැරෙන හංදියට ඔබ්බෙන් කුඩා දුවන කඩයක් පැවතියේය. එහිතුල වයස් ගත ලලනාවක් විය. ඇය සිටියේ වීදුරුවට ඇතුලින්; ඇතුලත තබා තිබූ ලෑල්ල මත ලග්ගා තිබූ භාජන කිහිපයක් අතරේය.
කඩය ආවරණය කොට තිබූ තහඩුවේ අලවා තිබූ දැන්වීමේ "පිරිසිදු නැවුම් එළකිරි" යනුවෙන් ලියා තිබුනි.
"අම්මට සිරි! අපි කිරි බොමු!"
(කන්නට බොන්නට හැකි ඕනෑම දෙයක් දුටු සැනින්; මෙතෙක් වේලාවක් එය සොය සොයා සිටි බවක් දැනෙන්නේ මට විතරද?)
"කිරි කීයද?
"වීදුරුවක් රුපියල් සීයයි"
වීදුරුවක් රුපියල් සීයට අවුලක් නැත! සාධාරණ නොව ලාභදායී ගනුදෙනුවකි. ලොකු වීදුරුවකට බෝතල තුංකාලක් උවද අඩංගුවේ.
"මල්ලි බොමු බං කිරි; අපිට කිරි දෙකක් දෙන්න!"
මොහොතකින් "කිරි වීදුරු" දෙක අපට ලැබුනි!
"වීදුරු" කීවාට ඒ එම භාජන නිපදවා තිබූ සංඝඨකය පමණි!
කිරි ලැබුනේ වීදුරු වලින් නිපදවා තිබූ කුඩා අඬු කෝප්ප දෙකකිනි.
ලැජ්ජාව බැරල් එකෙන් වසාගෙන රුපියල් දෙසීය ගෙවා අප කිරි බීවෙමු.
"මොනව උනත් ඒවා පියෝ එළ කිරි" පසුව ඒ ගැන මම කෙඳිරි ගාද්දී නිශාන් කීවේය!
"පියො" කෙසේ වෙතත් කිරි දෙක දැක්කාම නං මට ඒ ගෑනිගේ "මව්" මතක් උනේ මම මටම කියා ගත්තෙමි.
කිරි "වීදුරු"
අපි ආවේ මෙහේ ඉඳන්
අපි දැන් ඉන්නේ මෙතන
හෙට උදේම මෙන්න මෙතනට ඒ කියන්නේ පුත්තලමට ගිහිං ඒ පැත්තෙන් කොළඹට පල්ලං බහින්නයි ඉන්නේ. මන්නාරමේ සිට එනකොට මැදවච්චියට යන්නේ නැතිව
අතුරු පාරකින් 'ඔයාමඩුව" හරහාපුත්තලම කිට්ටුවට යන්නයි අපේ බලාපොරොත්තුව.
පරයනාලන්කුලම්
9.12AM
10.01AM
ඔයාමඩුවට හැරෙන්නේ මෙන්න මෙතනින්. එතන එහෙමට ලොකු හංදියනම් නෑ වගෙයි මතක. ඊට සූට්ටක් මෙහායිං "කුඹුක් සෙවන" කියලා මිල්ටේරි කඩයක් තිබ්බා වාගේ මතකයි. මෙතන මුඩ්ලියර්කුලම් හෝ ඒ අසල විය යුතුය. මෙතනින් හැරුනාම තන්තිරිමලේ හරහා ඔයාමඩුවටත් එතනින් සිංහාරගමටත් යන්න පුළුවන්ලු! සිංහාරගම තියෙන්නේ අනුරාධපුර - පුත්තලම (ත්‍රිකුණාමලය - පුත්තලම A12) මාර්ගයේය.
මුඩ්ලියර්කුලම්
මල්වතු ඔය
තන්තිරිමලේ
මේ C ශ්‍රේණියේ පාරවල් පිළිබඳව අන්තර්ජාලයේ කිසිදු තැනක සඳහන්වී නොමැත. මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේද නොමැත. මේ පිළිබඳව ප්‍රාජේගෙන් සහ නිදහස් සිතුවිළි බ්ලොග් අඩවියේ සම කතෘ රවී වීරසිංහගෙන්ද විමසුවෙමි. මාගේ වත් පොතේද ඒ පිළිබඳ සොයා බැලුවෙමි. එහෙත් කිසිදු දත්තයක් සොයාගැනීමට අපහසුවිය. C162 සහ C164 යන මාර්ග ඔස්සෙ අප ගමන් කරනු ඇත!
මේ උඩ තියෙන බෝඩ් ලෑල්ල තියෙන්නේ පහල සිතියමේ පෑන් තුඩින් පෙන්වා ඇති තැන. අපි එන්නේ ඉදිරියෙන් (ඉහලින්) එන පාරෙන්. දකුණට ගියොත් විලච්චිය. වමට හැරුණු විට ඔයාමඩුව හංදියය. ඔයාමඩුව පසුකර ඉදිරියටම ගියහොත් අනුරාධපුර ය. ඔයාමඩුව හංදියෙන් දකුණට හැරී දිගටම ගිය විට සිංහාරගමෙන් මතුවිය හැක.
ඔයාමඩුව
සිංහාරගම
මෙතැන් සිට කොපමන දුරක් ගමන් ගත්තාදැයි මතක නැත. ජනශූන්‍ය ලවල් කැලෑ බහුල ප්‍රදේශයක් මැදින් අප ඉදිරියම බලා පැද ගියෝය. ආසාවට කඩයක් නොමැති පලාතක් පසුකරමින් අප සිංහාරගමින් මතුවිය.
මෙම පිංතූරය අපගේ වට්සැප් සමූහයේ පලකරණ විට එයට යටින් "නික වැව" යැයි යොදා ඇත. ඒ මන්දැයි සිතා ගත නොහැක. විශාල සිතියම් දෙකකින් සහ අන්තර් ජාලය තුලින් ඒ පිළිබඳව සොයා බැලූමුත් කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකිවිය.
සිංහාරගම යනු කුඩා හංදියකි. "සිංහාරගම යනු කුඩා මංසංධියකි! යැයි කියන්නටවත් එය තරම් නොවේ. කොටින්ම එය හංදියක් විනා මංසංධියක් නොවීය! එතැන තිබුනේ කුඩාම කඩයක් සහ තරමක කුඩා කඩයකි. මෙම "තරමක කුඩා කඩයෙන්" කල්කිරි හෙවත් සුදු කිරි බෝතල් දෙකක් ගෙන එයට ඉල්ලා ගත් සීනි දමාගෙන අප බිව්වෙමු. සීනී සැපයූවේ එතැන සිටි; කඩේ මුදලාලිගේ සීනි බෝලයක් වන් දූහිතෘය. අප මෙම ගමන් පැමිණීමට වසර 30ක් පමණ පමා වී ඇති බව දැනුනි!
එතැණ් සිට අප හැල්මේ පැද ගියෙමු.
මෙතැන් සිට සොයා බලා හැරෙන්නට පාරක් නොමැත! ඇත්තේ එක දිගට පැද යන්නටය! කිරි බීමෙන් පසු එතැන සිට; අදදින නවාතැන් ගන්නා නවා තැනට නිශාන් ඇමතුමක් ගෙන සියල්ල පිළිබඳව ඉව කලේය.
"හරි අපිට ඉස්සරහට පැදගෙන යන්නයි තියෙන්නේ! හැරෙන්න දෙයක් නෑ. පාර අයිනෙමලු! "අරුණ ගෙස්ට්" කියලා ගහලා තියෙනවලු!"
පුත්තලම ත්‍රිකුණාමලය (අනුරාධපුර ) මාර්ගය
පහල මරගහ වැව
(නොච්චියාගම පසු කොට කිමි 11 පැමිණ )
සිංහාරගමින් පිටවී පිටත් වූ අප නොච්චියගම නගරය පසු කලේ; කිසිදු සටහනක් හෝ ලබා නොගෙනය. නොච්චියාගම නගරය පසු කරත්ම තරමක බෑවුමක් වී යැයි යාන්තමින් මතකය.
එතැන් පටන් ලොකු කුඩා කඳු කිහිපයක් හමුවන්නට ඇත. තවත් ටික වේලවකින් අප පහල මාරගහවැව පසු කරමින් විය.
පහල මාරගහවැව යනු; විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එක් ප්‍රවේශයක් වන හුනුවිලගමට හැරෙන ස්ථානයයි. මීට බොහෝ කලකට පෙර විල්පත්තුවට මා මාගේ 32ශ්‍රී0865 රථය පදවාගෙන ආවේ මේ මාර්ගයේය. එහෙත් එම ස්ථානය පිළිබඳව කිසිදු මතකය නොමැත.
තවත් ටික වේලාවක් ගත වන විට අප අරුණ ගෙස්ට් ගිමන් හල ඉදිරියේ විය. එය තරමක පැරණි නිවසකි. පිරිසිදුය! ප්‍රියමනාපය!!
තවත් දිනයක් අවසන් විය. අපගේ ගමනාන්තයට ඇත්තේ තව එක් දිනක් පමණි.
එම දිනය තුල අපට දළ වශයෙන් කිලෝමීටර 170 කට අධික දුරක් ඉතිරිව ඇත. සීමිත ඕවර තරගාවලියක අවසන් ඕවරයට රැස් කිරීමට සිදුවන ලකුණු ප්‍රමාණය මෙන් පසුගිය දින නවය පුරා අප විඳි විවේක හෙට දින පාරා වලල්ලක් වී ඇත. අප ගමනාරම්භ කල දිනේ සිට කිසිදු දිනක් මෙතරම් දුරක් ගමන් කල නැත.
දින 9ක් පුරා අප ඒකාකාරීව වෙහෙස වී ඇත. ගිණි අව්වේද මහ වැස්සේද අප පැද ආවෙමු. එක් දිනෙක හෝ විවේකයක් නොගෙන අප ගමන් කලෙමු.
අප දෙදෙනාම වයසින් අර්ධ ශතවර්ශයක් ගෙවූ මැදි වයස් කරුවෝය.
සිත දැඩිය.
අප තුල ඇත්තේ ශක්තිය නොව ආත්ම ශක්තිය ය.
අපගේ ගමන් සගයන්ද එක සීරුවට කිලෝමීටර දහසක් අපව කරතබාගෙන ආවෝය. ඒ කිසිදු උවැටනක් නොමැතිවය.
ගමන පිටත්වන්නට පෙර මගේ සයිකලයට; දෙල්ගොඩ සමීර මල්ලී දුන් තෙල් සාත්තුව හා නිශාන්ගේ සයිකලයට DSI සයිකල් කම්හලෙන් ලැබුනු සාත්තුව හැරුණු කොට ගෙන අපෙන් ලැබුනේ අවම සොයා බැලීමකි.
ගමන පිටත් වන්නට පෙර මා Dry Lubricant Can දෙකක් මිළදි ගත්තද එය පලමු දින දෙක තුන අවසන් වෙද්දී අවසන් විය. ඊට ප්‍රධාන හේතුව පලමු දින දෙකම අප වැස්සෙන් පීඩා විඳීමය.
වැස්ස සමග සයිකලයේ දම්වැල් හා දැති රෝද වල ඇති ලිහිසන දියවී යයි. නො එසේනම් ලිහිසි ස්වභාවය නැතිවී කැටි ගැසේ.
මේ නිසාම අප ගෙන ආ ලිහිසන වලට නොසෑහෙන්න වැඩ කටයුතු ඒ දිනවල කිරීමට තිබුනි.
එවන් සාත්තුවක් ලැබුනත් ඒ අවකාශයට නිරාවරණය වන චලනය වන කොටස් වලට පමනි.
ඉදිරි පස හා පසු පස හබ් හා බොටම් බ්‍රැකට් ආදියට එවන් නඩත්තුවක් නොලැබේ.
මොනවා උනත් හෙට ගමන අප යා යුතුය.
දිවා සහ රාත්‍රිය සඳහා අප පුරුදු පරිදි එක් ආහාර වේලක් කෑමට සූදානම් විය. කරවල බැදුමක් මුල් කරගත් ඉතාමත්ම රසවත් කෑම වේලක් අපට ලැබුනේය.
සීතල බීර වීදුරුවකින් සංතර්පනය වී බඩ පුරා බත් කෑ අප ගිමන් හලේ ඉදිරිපස තිබුනු හාන්සි පුටු දෙක මත වැතිර අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය.
රාත්‍රිය එළඹෙන්නට ඔන්න මෙන්නය.
හාත්පස අඳුරේ ගිලෙමින් ය.
ජීවිතයේ තවත් එක් දවසක් ගෙවී යමින් ය.
හෙට දින අවනිශ්චිතය.
එහෙත් අප එදින; ජීවිතය පිළිබඳව සංතෘප්තව සිටියෙමු.
'සීතල බීර වීදුරුවකින් සංතර්පනය වී'
ReplyDeleteරා අරක්කු නොබී හැන්දෑවට බෙලිමල් කෝප්පයක් බිව්වා නම් අගනේය නේද?
එහෙමද ආස? ඊළඟ සැරේ එහෙම කරණ්නම්!
ReplyDeleteමංජුලගේ ගමන මා කලක් දැක පුරුදු මතක අවදි කලා. ඔබ සදහන් කල බොහෝ ප්‍රදේශවලට මෝටර් සයිකලයෙන් ගොස් තිබෙනවා. සටන් විරාම හෝ සාම කාලයකදී මඩු පල්ලිය සහ මන්නාරමට ගිහින් තිබෙනවා. අනුරාධපුරයේ සිට කලක් ගෙදර යන්නට එන්නට පුත්තලම හරහා ගමන් කල නිසා ඒ විස්තරත් සිහි වුනා. (මගේ මන්නාරම් බස් එක කෙටිකතාවේ ඉන් කොටසක් තියෙනවා. ) ඒත් මේ දුර බයිසිකලයෙන් යෑම නම් ලොකු වැඩක්.
ReplyDeleteවසරක් ඇවෑමෙන් සමහර විස්තර අපටත් අමතකව ගොසින්! ඒත් ඒ අතරේ පොඩි පොඩි කරුණු කාරණා; අහසේ තියෙන තාරකා රටාවක තියෙන තරු වගේ එකට එකතුවෙලා රූප මවනවා.
Deleteමෝටර් සයිකලයකින් හෝ වෙනයම් වාහනයකින් සංචාරය කරණවා වගේ මේ ගමනේ සුන්දරත්වය අඩුයි.
අපගේ මූලික අරමුණ එදිනට නියමිත දුර ගෙවා දැමීම.
කොහොම උනත් ගොඩ වැදී කතා බහ කරණ්නට නැවතුනාට බොහොමත්ම ස්තූතියි!
ඔය මාර්ගයේ එනකොට හමුවෙනවා ඇඩ්රින් විතාරණ මරලා දැම්ම තැන (දඩයම ෆිල්ම් එකට පාදක වුනු කතාව). එතැන තියෙනවා පාට අයිනේ තරමක විසාල ස්මාරකය ක්.
ReplyDeleteඅනේ ඔය වගේ නැරඹියයුතුම ස්ථාන බොහොමයක් අපට මග ඇරුනා. ඒකට හේතුව මම ඉහලින් ලියා අති පරිදිම දවසේ උදේම ඔලුවට දාගන්නේ අද දවසේ ඇති ඉලක්කය ජයගන්නේ කෙසේද කියන එකයි.
Deleteකියෙව්වා. ලියල තියෙන රටාව නිසා, කියවන්න පහසුයි.
ReplyDeleteඔහේට මේකෙ මොනවහරි රටාවක් පේනවද? මටනං පේන්නෙ අකුරුයි පින්තූරයි විතරයි.
Deleteමේ නාගසලං අප්පුහාමි, දැං ප්‍රයිවෙට් චැට් කරන්න බය නැහ්ද? නිදියට මල පැන්නද කොහෙදත් එක්ක.🤣😉
Deleteබොහොමත්ම ස්තූතියි! ඇවිත් කියවලා පිට පාරෙම නොයා කතා කරන්නට පොඩ්ඩක් නැවතුනාට!
Deleteඌයි..........😉
Deleteහප්පේ.. ඔය ලියල තියෙන්නෙ.
ReplyDeleteමදෑ ලොකු වීදුරුවකින් කිරි බොන්න බලා හිටිය දෙන්නත් එක්ක. හැක්..
අම්මපා කියන්න; ඒකනං වස විළෛ ලැජ්ජාව උනේ!
Delete//මේ C ශ්‍රේණියේ පාරවල් පිළිබඳව අන්තර්ජාලයේ කිසිදු තැනක සඳහන්වී නොමැත. මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේද නොමැත. මේ පිළිබඳව ප්‍රාජේගෙන් සහ නිදහස් සිතුවිළි බ්ලොග් අඩවියේ සම කතෘ රවී වීරසිංහගෙන්ද විමසුවෙමි. මාගේ වත් පොතේද ඒ පිළිබඳ සොයා බැලුවෙමි. //
ReplyDeleteඒක තමයි. මිස්ටර් තට්ස් මගෙන් අහන වෙලාවෙ මං හිටියෙ වවුනියාවෙ.
බයිසිකලෙන් නොවුනට අපිත් වවුනියා ඉඳන් වෙල්ලන්කුලම් සහ මාන්කුලම්වලට මන්නාරම පාරෙ සහ ඒ 9 නොගිහින් හරහට කැලෑ වගේ පාරවලින් ගියා (මුන්දුමුරුප්පු, පනන්ගාමම්, තුනුක්කායි, වෙල්ලන්කුලම්, අක්කරයනකුලම්, මුරුක්කන්ඩි හරහා )
මම දැක්ක රන්දිකා ලියල තියන්නව ඇප් එකක් ගැන. අපි යන මාර්ග ඩිටෙක්ට්කරල වාර්තාවක් පස්සෙ ගන්න පුලුවන් එකක් තියනවද?
// ...අපිත් වවුනියා ඉඳන් වෙල්ලන්කුලම් සහ මාන්කුලම්වලට මන්නාරම පාරෙ ...නොගිහින් හරහට කැලෑ වගේ පාරවලින් ගියා (මුන්දුමුරුප්පු, පනන්ගාමම්, තුනුක්කායි, වෙල්ලන්කුලම්, අක්කරයනකුලම්, මුරුක්කන්ඩි හරහා )//
Deleteඅපිට කොයින්දෑ පූසෝ කෙලවලු මාළු? 😞😢
//..අපි යන මාර්ග ඩිටෙක්ට්කරල වාර්තාවක් පස්සෙ ගන්න පුලුවන් එකක් තියනවද?//
මෙහෙම එකක්ද?
https://www.youtube.com/watch?v=2c2DGSDxtGU
Phone එකට දාන්න පුලුවන් Cycling Apps තියෙනවා! සමහර සයිකල් වල තියෙන පොඩි ගැජට්ස් තියෙනවා ඒවගෙන් ගිය ගමන පිළිබඳව විස්තර සොයා ගන්නට පුළුවන්. කරුමෙට ඔය එකක්වත් අපි ලඟ තිබුනේ නෑනේ!
Deleteස්තුතියි බැස්ටියංතුමා. මම මේ ගැන ටිකක් ආබාධිත නිසා, ප්‍රශ්නයක් පුලුවන්ද?
Deleteමේක ට්‍රිප් එකක් ප්ලෑන් කිරීමට නේද? මේකත් අපි යන ජාතියෙ ඒවට යූස්ෆුල්.
ඊට අමතරව අපි යනවා වගේ ඒ වෙලාවේ හිතල කැලෑ පාරවල්, කුතුහලය නිසා ගන්න දිග පාරවල්වල යන ට්‍රිප් ගියාට පස්සෙ ආයිත් මැප් බල බලා ගිය පාර ට්‍රේස් නොකර ඒක ඉබේම රෙකොර්ඩ් වෙන ඇප් එකක් තියනවද?
//අපිට කොයින්දෑ පූසෝ කෙලවලු මාළු?//
ආපු දවසක කියන්න. එක්ක යන්නං.
ඔබතුමාගෙ annonymity සඳහා මාස්ක් එකක් දාගෙන යන්න පුලුවන්නෙ.
//ඊට අමතරව අපි යනවා වගේ ඒ වෙලාවේ හිතල කැලෑ පාරවල්, කුතුහලය නිසා ගන්න දිග පාරවල්වල යන ට්‍රිප් ගියාට පස්සෙ ආයිත් මැප් බල බලා ගිය පාර ට්‍රේස් නොකර ඒක ඉබේම රෙකොර්ඩ් වෙන ඇප් එකක් තියනවද?//
Deleteසර්ච් කී-වර්ඩ් එක " Location History".
https://www.androidcentral.com/how-view-your-location-history-google-maps
ටිකක් හෙව්වොත්, මයිට වඩා හොඳ වීඩියෝ ටියුටෝරියල් එකක් හොයා ගන්න ඇහැකි වෙයි.
//ඔබතුමාගෙ annonymity සඳහා මාස්ක් එකක් දාගෙන යන්න පුලුවන්නෙ//
ම්හු.... හිතට මදි. මෙහෙම නං හොඳා.
https://cdn.openart.ai/stable_diffusion/d7a5348f04f38ff01f7ad45251f115ef4e1ea252_2000x2000.webp
https://cdn.openart.ai/stable_diffusion/d7a5348f04f38ff01f7ad45251f115ef4e1ea252_2000x2000.webp
Deleteහරි ඔහොම ඇඳගෙන එනවනං ඕනෙ තැනක එක්කං යන්නං.
ඉස්සෙල්ලම අපේ වහලෙ ඉන්න උගුඩුවො එලවල දෙන්න ඕනෙ හැබැයි
ඔහෙ උගුඩුවොත් ඉන්නවද? අර රා හොරෙන් බොන එවුන් නේද?😮
DeleteWaze, Here WeGo වගේ ඇප්ස් Google Maps වලට හොඳ තරඟයක් දෙන බව කියැවෙනවා. ඒත් ඒවයෙ සාර්ථකත්වය තියෙන්නෙ, ලංකාවෙ එව්වා කොච්චර ජනප්‍රියද කියන එක මත වෙන්න ඇහැකි( එව්වා අප්ඩේට් වෙන්නෙ යූසර් ඩේටා මත). මම පාවිච්චි කරන්නෙ Garmin GPS එකක් නිසා, Waze, Here WeGo ගැඹුරට හොයන්න උවමනා වෙලා නං නෑ.
'ඔහුගේ අදහසේ හැටියට එකල මෙම පලාත්වල තිබුනු විනය හා සංවිධානාත්මක බව දැන් අහලකවත් නොමැත.
ReplyDeleteඑකල මෙම ප්‍රදේශ වල හොරකම්, ස්ත්‍රී දූෂණ, වංචා ආදිය කොහෙත්ම සිදු නොවූ බව ඔහු පැවසුවේ මහත්වූ උද්දාමයෙනි'
මේක ඇත්ත. මම කාලයක් එහෙ හිටියා. 2002 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ කාලයේ තමයි උතුරේ අධ්‍යාත්මික, සමාජීය වශයෙන් පිරිහීම පටන් ගත්තේ. ඒක කරේ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ උවමනාවට.
සටන් විරාමයක් ගෙනල්ලා ඔහු කරේ උතුරට තොග ගනන් බ්ලු ෆිල්ම්ස්, බ්ලු පත්තර මත්පැන් ආදිය යැවීම. එහෙ අලුතින් ෆිල්ම් හෝල්ස් දාලා පෙන්නුවේ බ්ලු ෆිල්ම්ස්.
දිනපතා සංගීත සංදර්ශන රෑ වනතෙක් දාලා මත්ද්‍රවයට උතුරේ තරුණ තරුණියන් යොමු කෙරෙව්වා. ඊට පස්සේ ස්ත්‍රී දුෂණ වැඩි උනා.
තලෙවර් සහ සංවිධානය බලවත්ව තිබෙනා කාලේ විනයක් තිබුනා. ඒ වගේ දේවල් අහන්න ලැබුනේ කලාතුරකින්.
මේ කථාව මමත් අහලා තියෙනවා! සමහර ශිෂ්ඨාචාර විනාශ කිරීමට මත්පැන් යොදා ගත්තා වගේ දෙමළ ජනතාව තුල පැවති කිසියම් විනයක් වී නම් එය විනාශ කිරීමට මත්පැන් යොදා ගත් බව!
Deleteමේවා ජාතික අපරාධ!
තට්ටයා මහතා,
Deleteඉහත 'ශංකර් May 8, 2023 at 11:17 AM' ලෙස දමා ඇති කොමෙන්ටුව සහ මෙම කොමෙන්ටුව ඩිලීට් කරන්න.
ඉහත කොමෙන්ටුව මගින් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපහාසයක් වන්නේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.
ප.ලි ජනාධිපති මාධ්‍ය අංශයේ සහ ජනාධිපති ආරක්ෂක අංශයේ දැනගැනීම පිණිසයි.
දෙන කිරක් බොන්ට එපෑ හිටං... මව්කිරියෑ හෙව්වෙ 😂
ReplyDelete//අප තුල ඇත්තේ ශක්තිය නොව ආත්ම ශක්තිය ය// මරු කියමන!
මව් කිරි!? මම ඒ ගැන කිව්ව කියා සිතා ගන්නා මෙන් ඉතාමත් ආදරයෙන් සාදරයෙන් හා ගෞරවයෙන් යුතුව මතක් කරමි.
Deleteඒක මම කොප්පේ ගැහුවේ වික්ටර් හියුගෝ ගෙන්!
එයා කියනවා "මිනිසාට නැත්තේ ශක්තිය නොව ආත්ම ශක්තියයි!" කියලා!
කතාවෙ මුල ටික කියවනකොට හිරිකඩ වදින හීතල, සෙරෙප්පු අස්සෙන් එන චිරි චිරි මඩ ගතිය දැනෙනවා වගේ....
ReplyDeleteතව එක කොටසකින් කතාව ඉවර වෙන එක නං කනගාටුවට කරුණක්.....
සත්තකින්ම එවන් අප්‍රසන්න වාතාවරණයක් තමයි තිබුනේ!
Deleteඔව් සයිකල් ගමන ඉවර උනාට වඩා කණගාටුවක් දැනෙනවා ලියලා ඉවර වෙනකොට! (ඇත්තටම අදම ඒකත් ලියලා ඉවර කලා!) එන සඳුදා වන විට ඒ පෝස්ටුවත් දානවා! මේ ක ලියන්න කල් ගත්තා වැඩියි වගේ!
ස්තූතියි ඇවිත් කතා කරණ්නට නැවතුනාට!
මරු මේ විස්තරය. ඇයි අර විල්පත්තු පාර හදන්නේ නැත්තේ? පාඩුද හදන එක? අපි යුද්ධ කාලේ විල්පත්තු ගියා හැබැයි. 2000 විතර. තන්තිරිමලේට එනකන් ගියා. //කථා බහේදී ඔහු LTTE සංවිධානය සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කල හැටි හා ඔවුන් සමග ගනුදෙනු කල හැටි ආඩම්බරයෙන් යුතුව කියා පෑවේය. ඔහුගේ අදහසේ හැටියට එකල මෙම පලාත්වල තිබුනු විනය හා සංවිධානාත්මක බව දැන් අහලකවත් නොමැත. එකල මෙම ප්‍රදේශ වල හොරකම්, ස්ත්‍රී දූෂණ, වංචා ආදිය කොහෙත්ම සිදු නොවූ බව ඔහු පැවසුවේ මහත්වූ උද්දාමයෙනි.//LTTE එකේ හෝටලයක් මෙයාට නිකම්ම හම්බ වෙන්න ඇති, මෙහෙත් එහෙම ව්‍යාපාර තියනව බලා ගත්ත කට්ටියට නිකම්ම හම්බ වෙච්ච
ReplyDeleteසමහරුන්ට ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර තනතුරු හම්බුනා වගේද
Deleteඔය ගැන හිතන්න පැති කිහිපයක්ම තියෙනවා.
Deleteඇත්තටම ඔබ පවසන ලෙස එල්ටීටීඊ මුදල් හෝ ආයතනයක් කාලය සමග මෙතුමා අත ගල් වීම. අනෙක ඔය කාලයේ එම සංවිධානයට හිතවත් ව්‍යාපාරිකයින් සිටියා දකුණ හා උතුර යා කල. ඔවුන් දකුණ සමග සම්බන්ධ බව උතුර දන්නවා. උතුර සමග සම්බන්ධ බව දකුණ දන්නවා. නමුත් සාමාන්‍ය ජනජීවිතය සඳහා දෙපැත්තටම ඔවුන්ගේ අවශ්‍යතාවය තිබුනා. ඊළඟට විදෙස් රටවලින් පොම්ප කරනු ලැබූ මුදල්!
බොහොමත්ම ස්තූතියි අයෙයේ! දැනට ඒ පලාත්වල ඉහලින්ම වැජබෙන බොහෝ අයට යුද්ධයෙන් පසුව මහා ධනස්කන්දයක් හිසමත කඩා වැටුනු බවක් තමයි පෙනෙන්නේ!
Deleteමම අහලා තියෙනවා සෝවියට් දේශයේ පෙරස්ත්‍රොයිකා පෙරළියෙන් පසු මහා ධනවතුන් පිරිසක් හිටි අඩියේ රුසියාවෙන් මතු උනා කියලා. ඩොලර් නෝට්ටුත් එහෙමයි කියලා අහලා තියෙනවා! ඔයා දන්නවා ඇතිනේ එහි ඇත්ත බොරු!?
මගේ අම්මා මව්වරුන්ගේ දිනයක් ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම සැමරුමක් කිසි දවසක අපි කරලත් නෑ. කොටින්ම අම්මාගෙ උපන්දිනේට තෑග්ගක් දුන්නෙ පවා මාත් සෑහෙන වයසකට පත්වුනාට පස්සෙ. එයාට දින සැමරුම් නුහුරු කාරණයක්.
ReplyDeleteඒත් මව්වරුන්ගේ දිනය ගැන දකින නොයෙක් පෝස්ට් මාව අම්මා ගැන පුංචි සටහනක් ලියන්න උනන්දු කළා.
මං හැදුන විදිහ අම්මා කෙනෙකුට දරන්න පුළුවන් විදිහක් නෙමෙයි. කීකරු වීම නින්දාවක් විදිහට සළකපු, අකීකරුකම ආභරණයක් විදිහට පළදපු මං අපවාද, අපහාස මිස අම්මා කෙනෙක් දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන ආඩම්බරය එලියෙන් අරගෙන ආවෙම නෑ.
‘මං මැරුන දවසක උඹට තේරෙයි’ අම්මා කියද්දි,
‘මැරුනම මොකක හරි ඔතලා වළ දානවා මිසක් මං නං අඩ අඩ ඉන්නෙ නෑ’ කියල මං කියනවා.
අම්මා හිනාවෙනවා.
මගේ නරුමකමත් එක්ක බැඳුන ආදරය තේරුම් ගන්න එයාට පුළුවන් වුනා. මං හිතන්නෙ ඒකයි අම්මාකම.
හැමෝම ප්‍රශංසා කරන, සමාජයේ පිලිවෙලට හැදෙන දරුවෙක් ගැන අම්මා කෙනෙක් ආඩම්බර වෙන එක සරල, සාමාන්‍ය දෙයක්. ඒත් හැමදෙයක්ම කණපිට කරන, සමාජ අපවාදයට ලක්වෙන දරුවෙකුට අම්මා කෙනෙක් පණ දෙවැනි කොට ආදරේ වෙන එක පරිණතබව, ගැඹුර සම්බන්ද කාරණයක්. අම්මාගේ ආදරේ නොතිබුනොත් මං කිසිම ආදරයක් අහිමි දරුවෙක් වෙනවා කියල එයා දැනගෙන හිටියා.
අම්මාගෙයි මගෙයි අතර කිසිම රහසක් තිබුනෙ නෑ. මං කරන හැම අපචාරයක්ම මං අම්මා එක්ක කිව්වා. මුලින්ම ඉස්කෝලෙන් කට්ටි පැනලා ෆිල්ම් බලන්න ගිය එකත්, මරදානෙ bලූ ෆිල්ම් බලන්න යන එකත්, සිගරට් බීමත්, කංසා බීමත් ආදී සියලු අත්දැකීම් මං බෙදාගත්තෙ යාලුවො එක්ක නෙමෙයි, අම්මා එක්ක. එයා අමුතුම ලෝකයක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඒ කතා අහගෙන හිටියා. සාම්ප්‍රදායික වටිනාකම්, ඇගයුම් වලට මුවා නොවී තමන්ගේ දරුවා දිහා බලන්න, ඒ නොමනාකම්වල අර්ථයන්, කුතුහලයන් තේරුම් ගන්න අම්මාට පුළුවන්කම තිබුන.
මං අම්මට ආදරේ එයා හොඳ දරුවෙක් හදන්න උනන්දු වුන හින්ද නෙමෙයි. සමාජයක්ම එදිරිව එද්දී පවා, නරක යැයි සම්මත දරුවෙක් අත්නොහැර ඒ දරුවා පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ උන් හින්ද.
මං පොත් කියෙව්වෙ අම්මා හින්ද. අකුරු කියවපු කාලෙ ඉඳන් එයා වැඩ කරපු රජයේ කාර්යාලවලින් පොත් පත්තර මිටි පිටින් මට ගෙනත් දුන්නා. ඒ කතා කියවලා මං ඒවා ආපහු අම්මට කිව්වා. අම්මා වැඩ ඇරිලා එන්නෙ මගේ කතා අහන්න.
ලෝකෙ ශ්‍රේෂ්ට මිනිස්සුන්ගෙ ජීවිත කතා අම්මා මට ගෙනත් දුන්නා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙදර තිබුනු එකම ලාම්පුව තමන්ගෙ පාඩම් වැඩ පිනිස අරගෙන පවුලෙ අනිත් අයව කරුවලේ තියද්දි අම්මා කිව්වෙ,
‘එහෙම තමයි, හැමෝම ගැන කල්පනා කරන කෙනෙකුට ජීවිතේ වෙනස් කරන්න පුලුවන්කමක් නෑ. සිද්ධාර්ථ වුනත් බුදු වෙන්නෙ පවුලට අකීකරු වෙලා කැලේට ගිය හින්ද’
අපේ අම්මා කියන්නෙ අයියලා අක්කලා නංගිලා ගණනාවක් හිටපු මහා පවුලක ඒ පවුලේ උවමනාවන් වෙනුවෙන් හැමදෙයක්ම කරන්න සිද්ද වුන කෙනෙක්. පවුලේ ගෞරවය වෙනුවෙන් එයාට පවුලෙ අය කැමති කසාදයක් කරගන්න වෙලා තිබුන. වැඩිය ඉගෙන ගත්තොත් මිනිහෙක් ගන්න බැරි වෙන හින්ද උපාධිය පවා හංගන්න වෙලා තිබුන. එයා ඇතුලතින් ආසා කළ අසම්ප්‍රදායික ජීවිතය සම්පූර්ණයෙන් කැප කරන්න වෙලා තිබුන. අම්මා මගේ ඇතුලෙන් දැක්කෙ ඒ සම්ප්‍රදායික පිලිගැනීම්වලට එරෙහිව ගහන කැරැල්ලක්. ඒක එයාට ආස්වාදයක් වුනා.
කවදා හරි දවසක අම්මා මැරුනම ඒත් එක්කම මැරෙන එක මගේ ප්‍රාර්ථනාව වුනා. මගේ ජීවිතය තිබුනෙ එයා ළග ඉද්දි බව මං දැනගෙන හිටියා. ඒත් අම්මා මැරුනා. මං ඉතුරු වුනා.
හැබැයි මං ඒකට ජීවත් වුනා කියල කියන්නෙ නෑ.
අම්මා නැති වුනාම මං ඇත්තටම මැරුනා..
අම්මා ගැන ලස්සන සටහනක්!
Deleteමගේ පෝස්ටුවට අදාල නැතත් අපි හැමෝටම "අම්මා" කියන්නේ මහා පොදු සාධකය!
ඒ නිසාම මේ කමෙන්ටුව තියනවා.
ඔබ කවුදැයි කීවානම් මෙයට තවත් වටිනාකමක් එකතු වේවි!
Dan liyana eka nawththalada?
ReplyDeleteobathumaa saneepen innawada?