ලංකාවට PickMe ~ Uber ගමන් සේවා පැමිණියේ කොයි කාලයේදැයි මා හට නිවැරදි වැටහීමක් නැතත් මේ මෑතක සිට එනම් වසරක පමණ කාලයක සිට; මුංට එළෝ මෙළෝ නැතිව හංදියක් හංදියක් ගානේ එළව එළව පහර දෙන හැටි නම් දුටුවා මට අද ඊයේ වාගේ මතකය!
මෙසෙ පහර දෙන්නන් එසේත් නතිනම් පාරම්පරික හයර් දුවන්නන්ගේ අවලාදය, චෝදනාව වූයේ "තොපි අඩු ගානට දුවන කොට අපි ජීවත් වෙන්නේ කොහොමද?" කියන එකය!
ඒක මරු කථාවකි. එහි විලෝමය වන්නේ අපිට වැඩිපුර පාරිභෝගිකයින් මරාගෙන කෑම සඳහා තොපි අඩුවෙන් අය කිරීමෙන් වළකින්න!" යන්නයි.
අඩු මුදලකට ගමනක් යෑමට හැකි සුපිරි ක්‍රමවේදයක් ලෙස අර්ථ ගැන්වුනු මෙම මෘදුකාංග යෙදවුම් හරහා; ළමුන්, කාන්තාවන් වැඩිහිටියන් ඇතුළුව සමාජයේ විවිධ එසේම නානාවිධි නානා සමජ ස්ථර වල අය ඉතා පහසුවෙන් සේවා සපයා ගන්නා බව මා හට දැනෙන කාලය වන විටදී එය ගැන නොදන්නා සහ එය ප්‍රයෝජණයට නොගන්නා මෙම සමාජයේ ජීවත් වන එකම ජීවියා මම වූවා යැයි මට සිතුනි.
එයටද හේතු භූතවූ කරුණු කිහිපයකි. අප ජීවත් වන පලාත හද්දා ඩොටේ බැවින් ඒ පලාතට මේ අළුත් සේවාවන් නො එතේ යැයි තිබුණු පදනම් විරහිත අදහසය.
වසිකලා කල්මිලා නැති මේ ගෙදර දැනට පොඩි ළමයෙකුට සිටින්නේ මා පමණක්ම බැවින් අපගේ ගමන් බිමන් බොහොමයක් අප සතු ඩීසල් රථ දෙකෙන් ඉටුකර ගැනීම අනෙක් හේතුවය.
කුඩා කුඩා ගමන් සඳහා මා මාගේ පා පැදිය යොදා ගැනීම තවත් හේතුවක් ය. එසේම දන්නා කාලයේ සිට ත්‍රී වීල් ගාස්තු වලට ඇති අස්ථාන බියය!
"ඉතිං උඹලත් පික්මී එකේ හරි ඌබර් එකේ හරි රෙජිස්ටර් වෙයල්ලකෝ. එතකොට ඉවරයිනේ සීන් එක. එතකොට කවුරුවත් මෙතැන පිටිං ඇවිත් හයර් උස්සන්න එන්නේ නෑනේ!?"
"ආපෝ! හයර් නැතිව මළත් අපිනං පික්මී ~ ඌබර් දුවන්නේ නෑ! අපිට නිදහස ඕනේ. ඕවා දාගත්තාම දවසම දුවන්න වෙනවා නොකා නොබී!"
කථාව නොම්මර එකටම පැහැදිළි විය. අඩු මුදළට වැඩි වාරගණනාවක්, වැඩි දුරක්, වැඩි කාලයක් සේවය සපයනවා වෙනුවට හයර් එකකින් නැතිනම් දෙකකින් වැඩි ලාභයක් ගෙන ගෙදර යෑම ඔවුන් තෝරා ගෙන ඇත!
මේ නිසාම පික්මී ~ ඌබර් රියැදුරන්ගේ සටනට මා කොන්දේසි විරහිතව එක් උනෙමි. පෝස්ට් ශෙයා කලෙමි! මුහුණු පොතේ ලිව්වෙමි. කථා කලෙමි.
ඒ සියල්ලෙන්ම නොනැවති PickMe App එක බා ගත කර ගත්තෙමි!
පික් මී ඇප් එක දා ගත් දින පටන් මා ගේ කුඩා කුඩා ගමන් සඳහා යොදා ගත්තේ පික් මී බයික් ය. එහි අපූර්වත්වයක් මා වින්දෙමි. යන එන ගමනාතරතුර සාමාන්‍ය ත්‍රී වීල් කාරයින්ට ඔහු හා එක්ව බැන වදිමින්, ඔහුගේ ගම, ගේ දොර පිළිබඳව විස්තර කථාකරමින් කරණු ලබන මෙම කට යුත්තෙන් ලැබුනේ සෙසු පටු ආතල් එකක් නොවේ!
මා මේ ලියන්නට යන ආතල් සිද්ධිය වන විට මා හොඳ පික්මී ගනුදෙනු කරුවෙකු වී අවසානය.
දිනය නිවැරදිවම මතක නැතත් අප්‍රේල් මාසයේ දිනයක් ය.
අපගේ පාසල් අතර මහ තරගය බලන්නට යන්නට නොහැකිවූ මා සීමිත ඕවර තරගය බලන්නට ගියෙමි.
ඒ ගියේද තනිව නොවේ. අතිජාත මිත්‍ර ප්‍රසාද් රණ්නුළු, සකලෙ සහ ජානක පෙරේරා සමගිනි.
ඒ ගියේද සකලේගේ බැටරි කෑල්ලෙන් දුවන BYD රථයෙනි.
තවමත් නැවුම් ප්ලාස්ටික් සුවඳ හමන රථයේ අප සිව් දෙන අගනුවර SSC ක්‍රීඩාංගනය වෙතට ගොස් බහිනවාත් සමගම අපගේ කුටියේ සම සංවිධායකයින් වූ මොරේ සහ නලීන් හමුවිය. ඒ පුදුමාකාර හදිස්සියකින් අරක්කු ගෙන ඒමට ළඟම ඇති සුපිරි වෙළෙඳ සැල වෙත යන්නට ක්‍රීඩාංගනයෙන් එළියට පැමිණ සිටි මොහොතකය.
ක්‍රීඩාංගනය පාසල් දෙක අතර බෑ දෙකකට කපා වෙන්කොට ලබා දෙන අතර අපගේ බෑය; පාසල් ළමුන් සඳහාද ආදි ශිෂ්‍යයින් සඳහාද යන ආකාරයෙන් නැවැත බෙදා තිබේ! එසේම ආදි ශිෂ්‍ය කොටස නැවත කුඩා කුඩා ඉරු වලට තීරු කර තිබුනේ ආදි ශිෂ්‍ය කණ්ඩායම, එක් එක් සාමූහිකවලට අනුවය. උදා හරණයක් ලෙස 85 කණ්ඩායම, 92 කණ්ඩායම ලෙසින් ය.
ක්‍රීඩා තරගය නැරඹීම සඳහා ඇතුලත්වීමේ ගාස්තුව රුපියල් 4000ක් වූ අතර අපගේ කුටියට ඇතුළුවීමේ ගාස්තුව අමතර ගෙඩි රුපියල් 5000 කි. සමස්ථය 9000ක් ය.
අපගේ කුටිය තුල මුළු මහත් දිනය පුරා කාජ්‍ය භෝජ්‍ය සහ මියැසිය අඩු නැතිව තිබේ!
"Un limited; foreign Liquor, Mixers, Bites and food . . . . !" ටැග් ලයින් එක විය.
ඉතිං අපි හතර දෙනා නමෝ විත්තියෙං SSC එක ළඟට යන කොට හවස 4.00 ට විතර ඇති. Day and Night මැච් එක නොවැ!
යන කොටත් කවුදෝ මංදා බැට් කරණවා. (කවුද මැච් බලන්න; මැච් එකට යන්නේ? ~ විකාර!)
අපි අර කලින් කිව්වා වගේ පිට්ටනියේ ගේට්ටුව ලඟින් බහින කොටම සම සංවිධායක වරු වන නලීනුයි මොරෙයි ත්‍රී වීල් එකක නැගලා යන්න ගිහිං තියෙන්නේ "Unlimited liquor" ලිමිට් වෙන්න ගිහිං හින්දා.
ගේට්ටුව එළියේදීම හමුවූ අපෙන් "දී පල්ලා උඹළගෙ සල්ලි!' කියලා මොරේ මහ දවල්ම අපිව මං කොල්ල කෑවා.
අපිත් හිත හදාගෙන; එකි නෙකා තම තමංගෙ 5000 හෙ ඒවා මොරේට පූජා කලා.
මගේ 5000 දෙන ගමංම මම නලීන්ගේ කණට කරලා කිව්වා "මට ගල් බෝතලයක් ගෙනෙං!" කියලා! (මම කොහොමත් ඔය විස්කි වලට වැඩි ඇල්මක් තියෙන කෙනෙක් නෙවෙයිනේ!?)
"අවුලක් නැද්ද?"
"අවුලක් නෑ - ටොනික් බෝතල් දෙකකුත් ගෙනෙං!"
අපි ඇතුලට ගිහිං පොඩි වේලාවකින් ගල් බෝතලෙ ඇතුලට වැඩම කලා. කියන්න සතුටුයි මිත්‍රවරුණි පැය තුනක් යනකොට ගල් බෝතලේ ඉවරයි!
"කී දෙනෙක් එක්කද?" ඔබ තමුන්නාසේලා අහයිනේ.
කී දෙනෙක් එක්ක වත් නෙවෙයි තට්ට තනිවම.
ඊළඟට පොඩි කේස් එකක් දාගෙන තිබුනු එකෙක් ජින් බෝතලයක් අරං ආවා! ඒක බිව්වේ ඌව පදිරි කරණ්න කටේ තියං!
මැච් එක රෑ කීයටද මංදා ඉවර උනාලු! අපි හතර දෙනා BYD එකට ගොඩ වෙලා අපි ඉතාමත් නිදහසේ පිටත් උනා.
අපි SSC එක ගාවින් කීයට කොහොම ආවාද කියලා මට නම් අදටත් එහෙම වැටහීමක් නෑ ආයිබොවංඩ!
තැනින් තැන පියවි සිහිය එමින් ~ නැතිවෙමින් කඩවතට ඇවිත් එතැනින් රාගමට ගොහිං රණ්නුළු ලොක්කාවයි ජානකවයි බිමට බෑවා මතකයි.
ඊ ළඟට මගේ වාරේ. සකලෙ ඉන්නේ ඇල්දෙනිය පල්ලියට උඩින්. මම ඊට මීටර 500ක් දුරින් හැරිලා ඇතුලේ නොවැ?
"මච්චාං මාව ගෝනඒන හංදියෙන් දාහං!" මම සකලයට කිව්වාලු.
"පිස්සුද බං? මම උඹව ගෙදරටම දාන්න්නං!"
"එපා කිව්වාම එපා! මාව ගෝනඒන හංදියෙන් දාලා පලයංකො!"
මෙහෙම කිහිප වරක් ඌත් එක්ක මම ගැටෙන කොට ඌ කැමති උනා මාව ගෝනහේන හංදියෙන් ඕ. පූ. කියලා අත ඇරලා දාලා යන්න.
කඩවත දෙසින් පමිණි BYD රිය ගෝනහේන හංදියෙන් U ටර්න් එකක් ගහලා නැවැත්තුවා.
ඒ නැවැත්තුවේ එතැන ත්‍රී වීල් පාර්ක් එකේ දොර පාමුළ.
"ඒ ඔතන නවත්තන්න එපා බං! පොඩ්ඩක් ඉස්සරහට කරලා මව දාලා පලයං!"
ඔහොම තවත් දෙතුන් වතාවක් වාහනේ පොඩ්ඩ පොඩ්ඩ ඉස්ස්සරහට අරං නැවතුවාට පසු මම පාරට බැස්ස.
මම එතැනම නොබැස්සේ එතැනම බැස්සා නම් අනිවා මට යන්න වෙන්නේ එතැන තිබුනු ත්‍රී වීල් එකකමයි. මොකද එතැන ඉන්න එවුං මාව බඩේ බත් වාගේ දන්නවානේ.
එතැන ඉඳන් අපේ ගෙදර මිදුලට රුපියල් 350 යි. මට ඕන උනා මුංට මෙහෙම අසාධාරණ විදියට හම්බ කරන එකට කිසිදු ලෙසකින් සහයක් නොවී ගෙදරට යන්න.
"ඔව් මම ත්‍රී වීල් විරෝධියෙක්! මම යන්නේ පික් මී එකක!" මම පික් මී එකක් දා ගන්න එතැන වූ කුඩා වැටේ පොඩි සිමෙන්ති ගැට්ටේ වාඩි උනා.
ගත්තා මෙවළම අතට.
ෆෝන් එකේ මූනත පහුරු ගා සොයා ගත්තා මාගේ පළපුරුදු යෙදවුම!
අපේ ගෙදර තියෙන ස්ථානය නිවැරදිව සිතියම අනුසාරයෙන් සොයා ගන්නවාට වඩා පහසුවෙන් සොයා ගත හැකි ස්ථානයක් අපගේ ගෙවල් ආසන්නයේ ඇත. ඒ නමින් කෙත්තාරාමය නම්වූ පංසලකි.
මේවා හොඳින්ම තේරුම් ගැනීමට කියැවීමට කෝ කණ්නාඩි?
ඇස් කණ්නාඩි නොමැතිව පොට්ටයෙකු සේ බොහෝ වෙහෙස මහන්සිවී "Keththaramaya Temple Ruppagoda" සොයා ගතිමි.
ඊළගට තහවුරු කලෙමි. ගමන සඳහා අවශ්‍ය වාහනය ලෙස යතුරු පැදිය තෝරා ගත්තෙමි!
විනාඩි ගණනාවක් ඉගිල ගියේය. කිසිවෙකු මාගේ ඇනවුම භාර ගන්නා සේයාවක් නොපෙන්වයි.
නැවත් කිහිප වරක් අවලංගු කරමින් මාගේ අවශ්‍යතාවය නැවත නැවතත් තහවුරු කලෙමි.
ම්හු! හරියන්නේ නැත! ඉන් පසුව මා ගමන සඳහා ත්‍රී වීලරයක් තේරුවෙමි!
මහ රෑ 1.00 ට 2.00 ට විතර නුවර පාර අයිනේ තාප්ප ගැට්ටකට හේත්තු වී මා පික්මී එකක් දමමින් විය. තවත් විනාඩි 15 ක් 20ක් පමණ යන විට වැඩේ සාර්ථක විය.
මට රියැදුරාගෙන් ඇමතුමක් ලැබුනි.
"හරි! හරි!1 වරෙන් බං ඉස්සරහට!" මම මොබයිලය වනමින් කීවේය. මොහොතකින් දම් පාටැති රාත්‍රී නිදන පහණකින් ඇතුලත ආලෝකමත්වූ ත්‍රී වීලරයක් මා ඉදිරියේ නතර වුනි. මා එයට නැගුනෙමි.
ත්‍රී වීලරය ඉතා සුවපහසු ගමණින් යුතුව ඉදිරියට ඇදුනි.
ඊළඟ නිමේශයේ මට නින්ද යන්නට ඇති!
අවස්ථා දෙකකදී පමණ මාහට ඇහැරුණි. යලිත් නින්දටම වැටුනි.
"සර් පංසල ගාවට ආවා! මෙතනින් කොහාටද යන්නෝන?"
"ඉස්සරහටම යං බං!' මම පසුපස සිට මුර ගෑවේය.
"ඉස්සරහ T හංදියක්නේ තියෙන්නේ? මෙතනිං වමටද දකුණටද?"
??????????????????????????????????????????????????????????????
"අම්මට සිරි! උඹ පාර වරද්දගෙන!" මම එක වරම ත්‍රී වීලරයෙන් බිමට බැස්සෙමි.
අම්මට සිරි ය! මම හිටියේ පන්නිපිටියේ දම්මදින්නාරාම පංසල අසලය!
"යකෝ උඹ වරද්දලා!. මේ කොහේද?"
"මේ බලන්නකෝ සර් දැම්ම ලොකේශන් එකට තමයි මම ඇවිත් ඉන්නේ!"
මළ මගුලකි. මම මේ දැන් සිටින්නේ මාගේ බිරිඳගේ මහ ගෙදරට මීටර 500ක දුරකිනි. මා කිසිදු දිනෙක මෙම පංසල වෙත පික් මී ඇණවුමක් ලබා දී නැත!
"හරි කොල්ලො! උඹේ ගාන ගනිං. මාව ආපහු දාපං කඩවතට!"
"අනේ සර් මම දැන් ගෙදර යනවා මම පිළියන්දල!"
කල යුතු කිසිවක් සිතට නොහැඟේ! තවමත්; මීට පැය ගානකට පෙර පානය කල මධුවිත ඇඟ පුරාය.
"මල්ලි උඹේ ගාන කීයද?"
ඔහු කැඩිච්ච ගාණක් කී අතර මම එය රවුම් කර 1800 ක් දී ඔහුව මුදා හැරියේය.
වහාම එතැන් සිට බිරිඳට ඇමතුමක් ලබා ගත් අතර තතු දන්වා ඇයව අසවසාලීමට මට හැකිවිය.
තවත් විනාඩි ගණනකදී තවත් පික්මී සයිකලයක් දමාගෙන එයට 1500ක් ගෙවා නිවසට පැමිණියෙමි.
එදිනට පසුදින හෝ දින ගණනාවකින් හෝ මාගේ පළමු ඇණවුම පිළිබඳව මා හට සොයා බලන්නට නොහැzකි විය!
සිදුවූ "කයි කථන්දරය" කයිවාරුවක්සේ බොහෝ බොහෝ දෙනාට කියමින් සිටියෙමි.
ඒත් එදා රෑ පික් මී රියැදුරා මාව ඇන්දුවා වත්ද්? මොහොතකට මට සිතේ! ඔහු "මේ බලන්න සර්!" කීවද මම එය බලන්නට නොගියෙමි. මා මධුවිත පානය කර සිටි ප්‍රමාණය පිළිබඳව වටහා ගත් ඔහු; ඔහුට අවශ්‍ය එනම් ඔහුගේ නිවසට ආසන්න තැනකට මාව ගෙනත් ඇරලා මුදල් ලබා ගත්තාද කියා විටෙක මට සිතේ.
ඒ පිළිබන්නදව මනාව දන්නා දුවා දරුවන් කිහිප දෙනෙක් මාගේ දූරකථනය ගෙන පරීක්ෂා කලද හෝඩුවාවක් සොයා ගැනීමට අපහසුවිය.
අවසානයේ රුපියල් 350 කින් 50ක් ඉතිරිකර ගැනීමටත් අසාධාරණ ත්‍රීවීල් රියැදුරන් හට පාඩමක් ඉගැන්වීමට ගිය මාහට රුපියල් 3300ක් වැයවිය.
ඉතිරි වූ එකම ලාභය වන්නේ කට පුරා සිනහ වෙමින් කීමට හැකි මෙම කථාව මතකයේ ඉතිරි පමණකි!
No comments:
Post a Comment