Thursday, August 14, 2025

293. පොත් හොරා . . . !

වරෙක චන්දන කීර්ති බණ්ඩාර විසින්ද;; තවත් වරෙක මවිසින්ද අවසානයේ ෂානක රාජකරුණා විසින්ද; පාෂාණභූත් කලේ මෙවන් පොත් රාජයෙකි!

මගේ පවුලේ මා බාලයා විමි. අක්කා සහ මා අතර වසර 6 ක හිඩසක්ද අයියාත් මාත් අතර වසර 8 ක කාල පරාසයක්ද තිබුනි. ඔවුන්ගේ යොවුන් වියේදී මා කුඩා දරුවෙකු වූයෙමි. ඔවුන්; පුස්ථකාල වලින් ගෙන ආ නවකථා පොත් කියවනා කාලයේ මා කියැවූයේ "හත් පෙති මල" ය. අයියා ඩීමන් ආනන්දගේ පොත් පිංච වල් ගෙනැවිත් ගෙදරට හොරා කියැවූ අයුරු මට මතකය. අපේ ගෙදර පොත් කියවන ගෙයක් විය. අක්කාත් අයියාත් ගෙදර ගෙනා පොත් අපේ තාත්තාත් අම්මාත් කියවනු මා දැක ඇත!

තාත්තාට ෆයිල් කබර්ඩ් එකක් තිබුනි. අපේම කියා අපට තිබුනු "එකම" පොත් දෙක වන; මුනිදාස සෙනරත් යාපා විසින් පරිවර්ථනය කර තිබුණු "අපරාජිත බිස්මාකය" පොත සහ ඩබ්ලියු ඒ ද සිල්වාගේ "විජයබා කොල්ලය" පොත පමණි. ඒවා ප්‍රදර්ශණ භාණ්ඩ සේ තබා තිබුනු අතර එය යතුරු ලා වසා තැබීමට තාත්තා වගබලා ගත්තේය. මීට අමතරව "ශ්‍රී ලංකා" සඟරා කිහිපයක්ද තිබුනි.

කලකට පෙර බීබීසියේ සේවය කල චන්දන කීර්ති බණ්ඩාර අපේ අක්කාගේත් අයියාගේත් මිතරයෙකුවූ අතර ඔහු සතු පොත් එකතුවක් වූ බව; අයියා දිනක් අක්කා සමග පවසනු මාහට ඇසුනි.

"කවදා හරි රස්සාවක් කරණ කාලෙකද මාසෙකට එක පොතක් වගේ අරගන්නෝන . . . " අයියා අක්කා සමග පවසනවා මා හට අදටත් මතකය. 

පසු කලෙකදී චන්දන කීර්ති බණ්ඩාර සහ මා හොඳ මිතුරන් වීමු. අප එකට අඩියක් ගැසූ අතර එක සිගරැට් එක දෙකට බෙදාගෙන බීවෙමු. ඔහුත් මාත් එකට නසසපයේ (නව සමසමාජ පක්ෂය) දේශපාලනය කල අතර කලාව, පොත් පත්, දෙශපාලනය, සංගීතය, ප්‍රේමය, ලිංගිකත්වය, චිත්‍රපට මෙවැනි බොහෝ මාතෘකා පිළිබඳව බොහෝ වේලා  අප කථාබස් කලෙමු. සත්තකින්ම "කතාබස් කලෙමු!" කියා ලොකුවට ලීවාට එය  "ඔහුට සවන් දුන්නෙමි!" යනුවෙන් ලීවානම් වඩා නිවැරදිය.

එකල ඔහු සේවය කලේ නසසපයේ නිළ පුවත්පත වන "හරය" පත්තරයේ ඡායාරූප ශිල්පියා සහ වාර්ථාකරුවෙකු ලෙසය. එහි මුද්‍රණාලය තිබුනේ දෙමටගොඩ වැල්ලම්පිටිය පාරේ පෙට්‍රෝලියම් රේල් ගේට්ටුව පහුකරණවාත් සමග දකුණු පසින් ය. එහි කොතලෙ හෙවත් එඩ්වින් කොතලාවල, වටරැක සුනිල් ගාමිණී, නලීන් මහේෂ් පෙරේරා වැනි තවත් පිරිසක් විය. මේ සියළු දෙනාම පොත් කියවන, පත පොත සමග දවස ගෙවූ අයය. 

ලෙටර් ප්‍රෙස් මැෂිම සඳහා ඊයම් අකුරු අමුනමින් සිටිනා ගමන් වුවද; විටෙක ඔවුන් කථා බස් කලේ පත පොත ගැනය. එකල මා උසස් පෙල ලියන කාලය විය. මෙම හමුවීම් මාගේ ජීවිතයේ බොහෝ වෙනස් කම් වලට මූල බීජ සැපයීය. "පොත්" යනු; ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් සේ දැනෙන්නේ මේ සමගය!

චන්දන කීර්ති බණ්ඩාර පිළිපදින, නැතහොත් නිතර පවසන  අමුතු "තියරි" කිහිපයක් විය. 

"මුදල් ඇත්තේ හම්බකරණ්නයි, වියදම් කරණ්නයි, හොරකං කරණ්නයි!" මේ එක් තියරියකි. 

"පොත් ඇත්තේ ලියන්නයි, කියවන්නයි,  හොරකං කරණ්නයි!"

ඔහුගේ විසල් සහ වටිනා පොත් එකතුවෙන් පොතක් ඉල්ලූ විට පවසන ස්ලෝක පාඨයක් විය.

එය මට මේ මොහොතේ මතක් කරගැනීමට නොහැකි වුවත් එහි අදහසවූයේ "ස්ත්‍රිය සහ පොත; අන්සතු කලහොත් එය කිසිදා තිබුනු ආකාරයෙන් ලැබෙන්නේ නැත!" යන්නය.

"මාගේ පොත් එකතුවවේ ඇති පොත් මා කිසිවෙකුට ණයට නොදෙමි! මන්ද: මෙහි ඇති පොත් වලින් බොහොමයක් මා අනුන්ගෙන් ණයට ඉල්ලාගෙන ආ පොත් ය!" ඔහු සෑම විටෙකම පැවසූ අනෙක් වැකිය ය.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී "පොත් එකතුවක්" යන සිහිනය තුල මා කිමිදෙමින් ය!

මම; මටම කියා පොත් රාක්කයක් සාදා ගත්තේ පිටකෝට්ටේ 585/B ගෙදර නිවැසියෙකුව සිටියදීය.

පිටකෝට්ටේ හංදියට ඔබ්බෙන් වූ ලී මඩුවකින් රබර් ලෑලි හයක්. එස් ලෝන් බට කැබැල්ලක් හා නට් ඇන්ඩ් බෝල්ට් හෙවත් ඇණ මුරිච්චි කිහිපයක් උපයෝගී කරගෙන මමම එය නිමවා ගත්තෙමි. මේ : උසස් පෙළ ලියනා කාලයේය. 

සාදා නිමකල පොත් රාක්කය "උඹද - මමද" යන රිද්මයට දෙපැත්තට වැනුනු එය තරමක් හෝ ස්ථායි කර ගත්තේ එක පසකට බර කොට බිත්තියකට සිර කර ගැනීමෙන් විය!

හෙළයේ මහා පොත් මැදුර ලෙස විරුදා වළිය ලත් ඇම්. ඩී. ගුණසේන පොත් සාප්පුවේ ගබඩා හිස් කරමින් මහා පොත් සල්පිලක් පැවැත්වූයේ මේ කාලයේදීම වාගේය. එයින් සත 25ට 50ට මිළදී ගත් පොත් කිහිපයක් සහ "අතීත කථාව" සොයා ගත නොහැකිවූ අවජාතක පොත් කිහිපයක්ද මා අත විය. මා සතුව තිබුනු එම පොත් 10 - 12 පොත් රාක්කයේ තැණ්පත් කල මා එදින දවසම පොත් අත පත ගාමින් විය.

පිට කොට්ටේ නිවස්නය හිමි සුජීලා රොෂාන්ලාද ඔවුන්ගේ නිවසේ තැන තැන තිබුනු පැරණි පොත් කිහිපයක් "ආ මේකත් රාක්කේ තියා ගන්නවකො!" කියමින් ලබා දුන්නා මතකය.

මේ කාලය වන විට මා හුදෙක්ම තාත්තාගෙන් ලැබෙනා මුදලින් ජීවත් වූ "සාමාන්‍ය සෙබලෙකි!" ඒ නිසාම පොත් එකතුවක් තබා ඇක්සයිස් පොතක් ගැනීමටවත් මටම කියා ධනයක් නොතිබුනි.

ඒ නිසාම පොත් ලබා ගන්නා ක්‍රම කිහිපයක් මා අභ්‍යාස කොට ප්‍රථ්‍යක්ෂ කර ගතිමි. 

ඉන් පළමු වැන්න වූයේ සාමාන්‍යයෙන් හෝ ඉඳහිට ගොඩ වදිනා ගෙවල් වල ප්‍රයෝජනයක් නොගෙන පසෙක දමා ඇති පොත් ඉල්ලා ගැනීමය.

දෙවැන්න වූයේ කියැවීමට ඉල්ලාගෙන පැමිණ "ගල්" කිරීමය!

බෝතල් පත්තර කඩ වලින් රාත්තල් ගානට පොත් ලභා ගැනීම අනෙක් ක්‍රමයය.

ඊට අමතරව පොත් ප්‍රදර්ශණ වලදී ඉතා අඩු ගනනට විකුණනට දමා ඇති පොත් තෝරා බේරා ගෙන මිළදී ගැණීමය.

පොත් ප්‍රදර්ශණ වල; අවසන් දිනයේ අන්තිම කාර්තුවේදී; බොහෝ විට පොත් අඩු මුදළට  විකිණෙනවා මා දැක ඇත. 

රාක්ක පුරා උජාරුවට සිටිමින් ලොකු ලයින් දුන් පොත්; අවසන් දිනයේ හවස් වරුවේ කාඩ්බෝඩ් පෙට්ටි කබල් වල දෙක පහට විකිණේ! මෙය කොයි කාටත් පොදු ධර්මතාවයකි.

මෙසේ අවසන් දිනයේ අවසන් හෝරාවේ දී වල අවසාන් හෝරාවේ හෝ අවසන් දිනයේ සල්ලි ගන්නා කවුන්ටර් අසල පිටවන දොරටු අතර ඇතිවන්නේ අසාමාන්‍ය තදබදයකි! වරක් අප පාසලේ තිබුනු පොත් ප්‍රදර්ශණයක් අවසානයේ කුඩා පොතක් මිළදී ගත් මා එයට ගෙවීම් කරණ්නට සිටිනා විට ඇතිවූ තදබදයේ ප්‍රථිපලය වූයේ මම ස්ව්‍යංක්‍රීයව එළියට වැඩැම්මුනා නොව එර්ධියෙන් මෙන් පැමිණුනි!

ආශ්චර්‍යයකි!

මා පැමිණ සිටියේ හිස් අතින් නොව පොත් පිංචක්ද සමගිනි!

එය හොඳ පූර්වාදර්ශයක් විය!

කිසිදු ගෙවීමකින් තොරව මාගේ පොත් ගුලට පොත් එකතුවට පොතක් වැඩම කලේ එලෙසිනි.

මේ සිද්ධිය පිළිබඳව පැවසීමට මා චන්දන අයියා හමුවීමට පසු දින කඩි මුඩියේම සයිකලය පැදගෙන ගියෙමි.

"ආ! ඒක හොඳ වැඩක්! හැබැයි කල්පනාවෙන්! "එහෙමනං ඒ වෙලාවටම යන්න වෙනවා! බලාගෙන ඔය බුක් එක්සිබිශන් වල කැශියර්ට එළියෙන් එකෙක් දෙන්නෙක් දාලා ඉන්නවා නොගෙවා යන උඹලා වගේ එවුංව අල්ලන්න! බලාගෙන!"

චන්දන අයියාගේ අවවාද අනුසාසනා සහිතව ඉන් පසු පොත් ප්‍රදර්ශණ වලට ගියේ අවසාන දින කිහිපයේ අවසාන තත්පරයේදීය.

මෙය නොම්මර එකේම වැඩක් විය.

මක් නිසාද එහි කිසියම් අපූර්වත්වයක් තිබූ නිසාමය. ප්‍රදර්ශණ ශාලාවේ සිට එළියට පැමිණි විට අතට ලැබෙන්නේ පොතක් පමණක් වුවද සිත සතුටින් පිරී ඉතිරී ගොසින්ය.

එය තරමක ත්‍රාස ජනක ක්‍රියාවක් විය.

කාලය ගෙවී යත්ම එක් අවස්ථාවක හෝ දෙකකදී මුදල් අයකැමිට පසු පසින් සිටි අයගේ උකුසු ඇසට මා අසුනොවී බේරුණේ අනූ නවයෙනි.

වරක් මට ඉදිරියෙන් ගිය තරුණයාව ගලග්‍රහණයෙන් අල්ලා ගත් සැණින් මා; අත වූ පොතද බිම දමා ඉක්මන් ගමණින් ශාලාවෙන් ඉවත් වූවේය.

මෙය තව දුරටත් සාර්ථක එකක් නොවීය. පොතක් ගෙන කමිසයට යටින් බඩතුරේ සඟවාගෙන පැමිණීම මීට වඩා බොහෝ සෙයින් ලෙහෙසි පහසු කටයුත්තක් සේ මා හට පෙනී ගියේ මේ කාලයේදීය.

ඉන් ඉක්බිහිව ඇරඹුනේ මාගේ පොත් එකතුවේ ස්වර්ණමය යුගයය!

පොත් සාප්පු, පොත් ප්‍රදර්ශණ, පුස්තකාල ආදී පොත් ගැවසුනු සෑම සියළු ස්ථානයකම මම "පොත් දඩයමේ" ගියෙමි.

කලක් ගතවෙද්දී එය මාගේ ජීවිතයේ තවත් එක් චර්යා ධර්මයක් පම්ණක්ම විය!

කාලය ගතවිය. රොබර්ට් නොක්ස්ගේ ලංකා වාර්ථාව "එදා හෙලදිව" සිට බොහෝ බොහෝ පොත් මාගේ පොත් එකතුවට එකතු විය.

පිටු ගණනාවකින් යුත් "එදා හෙළ දිව" පැරණි මුද්‍රණය පොත රැගෙන විත් ඒ ගැන චන්දන අයියාට පැවසූ විට ඔහු පැවසුවේ "ඕක මොකක්ද බං; මං ඇමරිකන් සෙන්ටර් එකෙන් අර්නස්ට් හෙමිං වේ ගේ Death in the Afternoon" පොත ගෙනාවේ!" කියලාය. ස්පාඥ්ඥයේ ගොන් පොර පිළිබඳව ලියැවුනු එම පොත මලළසේකර ශබ්ධකෝෂයට පමන එකක් විය!

අභාග්‍යයක මහත අද එම පොත ආචාර්ය ෂානක රාජකරුණා විසින්; මාවෙතින් පැහැරගෙන ගොස් ඔහු සන්තකයේ තබාගෙන ඇත!

මේ කාලය තුලදී ගෙදරින් ලැබෙන යැපීම් දීමනාවෙන්; නොකා නොබී බෝතල් පත්තර කඩවලින් රාත්තල් ගානට පොත් ගැනීමද කරගෙන ගියෙමි.

එක් වසරක මාගේ සොහොයුරියගේ උපන් දිනය හෙට වැනි දවසකය. ඇයට කිසියම් තෑග්ගක් දීමට මට සිත් විය. මේ මා දෙවන වර උසස් පෙළ ලියන වසරයි. උපකාරක පංති ගාස්තු ආදිය මා වෙත ලැබුනේ ඇය වෙතිනි. මව මිය ගොසින් ය.

ඇයට සූප සාස්ත්‍ර පොතක් ලබා දීමට මා සිතා ගත්තෙමි.

මම පිට කෝට්ටෙන් බසයේ එල්ලුනෙමි. කොටුවේ බෝ ගහ අසලින් බැස ගත් මම "හෙළයේ මහා පොත් හලට" ඇදුනෙමි!

සූප සාස්ත්‍ර නැතහොත් ඉංග්‍රීසි  කුකරි පොත් තිබෙන උඩු මහලට මා සෙමෙන් සෙමෙන් ගොඩ උනෙමි.

ඉතා කෙටි වේලාවකදී අදාල පොත් රාක්කය වෙතට ගිය මා කුඩා පොත් දෙකක් අතට ගෙන; එතනම බිම දණ ගසා ගෙන පොත් තෝරණ නියාවෙන්;  ඇඳ සිටි කමිසය ඇතුලින් ඉනේ රඳවා ගත්තෙමි.

කමිසයට උඩින් කිසිවක් නොපෙනේ. පොත් ඇත්තේ කලිසමේ ඉනේ දාරය අසලය.

වැඩේ අවසන්ය. මා සෙමෙන් සෙමෙන් උඩු මහලින් බිම් මහලට පැමිණ ප්‍රධාන ද්වාරය අසලට පැමිණියේය. 

එතැන ආරක්ෂක නිළධරයෙක් විය. එය සාමාන්‍ය තත්වයකි.

පොත් මිළදී ගත් අයගේ ඉන්වොයිසිය පරීක්ෂා කිරීම ඔහුගේ රාජ කාරිය විය.

මා තවත් තත්පර ගණනකින් ඕල්කට් මාවතට නිදහස් වීමට නියමිතය.

මා තරමක් ඉක්මන් ගමනින් ඇම්. ඩී. ගුණසේන සාප්පුවෙන් එළියට එන්නට පිය එසවූවෙමි.

එක වරම ආරක්ෂක නිළධරයා මා දෙස තියුණු බැල්මක් හෙලුවේය. ඔහුගේ උකුසු ඇස් මාගේ කලිසමේ  ඉන දාරයට යොමුවිය.

අදත් ගුණසේන සාප්පුවේ ප්‍රධාන දොරින් විසල් සුළං ප්‍රවාහයක් ඇතුලට හමා ඒ. ඇඟට ඇළුනු කමිසයට යටින්; ඉනෙහි රැඳි පොත් දෙකෙහි ඉහළ දාරය ඔහුට දිස් වූවා විය යුතුය.

හේ එක වරම ඉදිරියට පැන වැරෙන් මාගේ අතින් අල්ලා ගත්තෙමි.

එතැන් සිට සිදුවීම් පෙළ අදටත් මාගේ සිතේ කාලයෙන් කාලයට මතකයට එන නපුරු සිහිණයකි.

එකල එහි කළමණාකරු වූයේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාය. 

ලාල් ප්‍රේමනාත් ද මැල් යනු ගත් කතුවරයෙක් විය. ප්‍රවීන පුවත් පත් කලා වේදී  සුන්දර නිහතමානීද මැල් ගේ පිය තුමාය!

මා ග්‍රහණයට ගත් ආරක්ෂක නිළධරයා පරඬැලක්සේ මා ඇදගෙන ගියේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා ඉදිරි පිටටය!

ඒවන විට ඔහුගේ "ලස්සන ලංකා" පොත මා කියවා තිබුනි. ඔහුගේ මේසය තිබුනේ පහල ශාලාව මැදය. ඔහු සිටියේ මේසයක් ඉදිරියේ තබා කැරකෙන පුටුවක වාගේ මට මතකය. ඔහු මීට පෙර මා බොහෝ අවස්ථාවලදී දැක ඇතිමුත් කිසිදු දිනෙක ඔහු හිනහ මුසු මුහුණකින් සිටුනු මා දැක තිබුනේ නැත. සෑම විටෙකම; ඉස් මුදුනේ "ටින් ටෙස්" ඇණයක් ඇනුනු ලෙසක් ඔහුගේ මුහුණෙන් විදහා දැක්වුනි.

"සෑම  විටෙකම පාහේ ඔහු සිටියේ; ඇරියස් එකකය, නො එසේනම් "මල අතින් ගෙනය" කීවොත් මෙය කියවන බොහෝ දෙනාහට සුපිරියටම තේරුම් යනු ඇතැයි මා සිතමි.

සමහර විට ඒ ඔහුගේ සාමාන්‍ය ස්වභාවය විය හැක! 

ආරක්ෂක නිළධරයා; මා ඔහු ඉදිරිපිටට වැඩැම්මුවේ වීරයෙකු පරිද්දෙනි. ඒ නිකම්ම නොවේ; මා කවුරුන්දැයි හැඳින්වීමක්ද සමගය!

ලාල් මහතා මාදෙස බැලූවේ අසූචි පිඩක් දේ බලනා ආකාරයෙන් මුහුණ අකුළුවාගෙනය. පිළිකුළෙන් යුතුවය. 

"නම මොකක්ද?"

මම නම පැවසූවේමි. තවත් විස්තර කිහිපයක් අසමින්ම "අයිඩෙන්ටිය දෙනවා!" කීවේය.

සාමාන්‍යයෙන් මෙරට වෙසෙන ඕනෑම අයෙකුගේ අයිඩෙන්ටියේ පිංතූරය මෙලෝ රහක් නැත. 

එය තමාගේ ජීවිත කාලය තුලදී ලබා ගත් අජූතම ඡායාරූපය වීමට ඇත්තේ 90% සම්භාවිතාවකි.

එයට ප්‍රධානම හේතුව එකල බොහෝ අය සතුව පැවතියේ පාසල මූලික කරගෙන ලභාගත් හැඳුනුම්පත්ය. හැඳුනුම් පත ලබාගන්නා අවස්ථාවේදී කොන්ඩා පීරීමට, පුයර ඉලීමට, මූන දූවනය කිරීමට තබා දහදිය පිස දමා ගැනීමටවත් උවමණාවක්, ඉඩක්, අවස්ථාවක්, උපදේශනයක් බොහෝ අයට නොලැබේ.

මේ නිසාම ඩීසල් වලින් මූන හෝදා ගත් කල මෙන් තෙල් ගැහුණු මුහුණක් කපුටු කූඩයක් වන් කෙස්සක් සහිතව ලබා ගත් ඡායාරූප එකල සෑම අයෙකුම සතුව පැවති හැඳුනුම්පත් වල දැකීම සුලභ විය.

මා කමිසයේ උඩ සාක්කුවෙන් හැඳුනුම්පත ගෙන ඔහුට දෝතින්ම පෑවේය. මාගේ මුහුණ බලමින්ම උදුරා ගත් එය උපැස් යුවල තුලින් බලමින්ම නැවත මා දෙස බැලූවේ; මා පොත් හොරකමේ ඒමට පෙර අයිඩෙන්ටියද පොකට් ගසාගෙන ඇවිත්දැයි සැකයෙන් මෙනි!

බුලත් හෙප්පුව ගෙන අභිනව මනාල මහතා හමුවට යන ළමිස්සියක් සේ මා හතර අත ඇඹරුනාද නො එ සේ නම් මා වෙනතක බලා සිටියා දැයි මතක නැත. ඔහු එය මේසය මත වූ කඩදාසි බරුව යටින් තබා

"මෙයාව පල්ලෙහා කාමරයකට දාලා එනවා!" කීවේය.

සිද්ධිය සිද්ධවන විට හෙළයේ මහා පොත් හලේ සෑහෙන හෙළයන්  පිරිසක් විය. ඔවුන් මා දෙස බලා සිටිනු මට දැනේ. මම ඒ දෙස නොබැලුවෙමි. කිසිදු ගානක් නැති ලෙසින් වගේ වගක් නැතිව සිටියෙමි. වටා පිටා සිටි වුන් "මූට නං ගානක් නෑ!" කියා සිතනවා විය හැක. ලැජ්ජාව හා බය මගේ සිත ගිණියම් කරමින්; කන් පෙති රතු කරමින් ය. 

ආරක්ෂක නිළධරයා නැවතත් පොත් රාක්ක අතරින් මාව දක්කාගෙන පහත මාලයට ගෙන ආවේය. 

පහත මාලය පිහිටියේ පොලොවෙන් යටට වන්න්නටය.

එයට එළිය ලැබී තිබුනේ විදුළි එළිඅයෙන් සේ මතකය. කුඩා කාමරයක් එහි විය. එහි දොර යකඩින් නිමවා තිබුනි. එය ග්‍රිල් දොරක් සේ මතකය.  මා ඒතුල රුවා යතුර දැමූ හේ ඉවත්ව ගියේය.

එහි පුටුවක් විය.

අළුත් පොත් අට්ටි එය වටා විය.

එතැණ් සිට මා පොතක් ගෙන කියැවීමට පටන් ගතිමි.

මෙය සිදුවන විට උදෑසන 10.00 ට පමණය. එතැන් පටන් පැය ගණනාවක්ම මා එහි සිර කාරයෙකු ව සිටියෙමි.

පැයකට එකෙක් නැතිනම් දෙන්නෙක් පැමිණ කිසිවක් රැගෙන යයි. තබා යයි. ඔවුනට මගේ හැසිරීම වගක් නොමැත. 

ඒ තුල කොපමණ වේලාවක් සිටියා දැයි මට නිනව්වක් නැත. බොහෝ හවස් වන තුරු මා එතැනය. කන්නට යමක් හෝ බොන්නට වතුර පොල් කටුවක් හෝ නොමැතිව මා එහි පැය ගණනාවක් සිටියෙමි.

"මුංට මාව අමතක උනොත් මම මුළු රෑම මෙතැනම ඉන්න වෙයිද?" මම මගෙන්ම ඇසීමි.

ඔර්ලෝසුවක් අහල පහලක වත් නැත. වේලාව දැන ගැනීමට කිසිවෙකු නොමැත. තවත් බොහෝ කාලයකට පසුව නැවතත් ආරක්ෂක නිළධරයා පැමිණ අගුළු හැර මා ඉහල මාලයට රැගෙන ගියේය.

ඒවන විට එහි සිටියේ සිද්ධිය වූ අවස්ථාවේ සිටි හෙලයන් නොව වෙනත් පිරිසකි.

මා නැවතත් ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා අභියසය!

"තමුසෙ යනවා! හෙට තාත්තා එක්කගෙන! අයිඩෙන්ටිය ඔහෙ තිබුනාදෙං!"

අයිඩෙන්ටිය නොව කලිසම උනා දමා හෝ එතැනින් එළියට ඒම මගේ එකම අවශ්‍ය තාවය විය. මා පිටකෝට්ටේ නිවසට පැමිණියෙමි. සොහොයුරිය මාගේ ප්‍රමාදය සමග බොහෝ සේ කලබල වී සිටියාය. සිය ල්ල මා ඈ සමග කීවෙමි.

සියල්ල අවසානයේ මටත් වඩා ඇය කලබල වූ සේයාවකි. 

"චන්දන අයියට ගිහිං කියන්න!"

රාත්‍රියේම මා සයිකලය ගෙන පිට විය. පිට කෝට්ටේ සිට රාජගිරියට පැමිණ එතැනින් ඔබේසේකර පුර හරහා කොලොන්නාවට ආවෙමි. කොලොන්නාව වැල්ලම්පිටිය ගැට්ටේ තිබුනු "හරය" මුද්‍රණාලයට එන විට චන්දන අයියා නොමැති විය.

ටික වේලාවකින් කුඩා මෝටර් සයිකලයකින් චන්දන අයියා එහි සැපත් විය.

" ආ! තමුසෙ!?"

"ඔව් අයියේ මාර කෙළියක්නෙ උනේ! මේ එන්නකො . . . " මා පසෙකට ඔහුව කතා කරගෙන ගොස් සිද්ධිය පැවසූවෙමි.

"අනේ යකෝ ඕකද!? ඕක ගනං ගන්න ඒපා. තමුසෙට අයිඩෙන්ටියක් අළුති හදා ගන්නවා. තාත්තෙක් ඕනෙනම් මේ කොතලාවල සහෝදරයව එක්ක ගෙන යනවා. දැන් හොරකමට වටිනාකම්ක් නෑනේ. මොකද පොත් ටික ආයෙ උං ගාව නේ!"

"හරි මොනා හරි උනොත් . . . ?!"

"හරි ඕයි! මේ වගේම මෙතැණට එනව . . ! එතකොට ඒක ඒ වෙලාවට බලා ගම්මු!"

ඉන් පසුව මා ඒ වැඩේ යලිත් කිසිදා නොකලෙමි! ඒ පොත් හොරකම නොව ඇඟට හිර කමිස ඇඳගෙන ගොස් පොතිනේ ගසා ගැනීම!

තවත් කාලයක් යන විට පොතක් පතක් මිළදී ගැනීමේ හැකියාව ලැබීමත් සමගම එම පුරුද්ද අභාවයට ගියේය. ඒත් එතැන් පටන් මම බොහෝ කාලයක් යන තුරු ගුණසේන සාප්පුවට නොගියෙමි.

ජීවිතය හරි අපූරු එකකි. මා පළමුව පුවත් පතකට සම්බන්ධ වූයේ "හරයෙනි". දෙවනුව "නවයුගයට" එක් උනෙමි. පුවත් පතට ආයුබෝවන් කීවේ "ලක්බිමෙනි". 

ලක්බිමේ රිද්ම අතිරේකයට ලියන කාලයේ සුන්දර නිහතමාණීද මැල් හෙවත් සුන්දර අයියා සංස්කරණය කලේ "මංජුසාව"යි.

දිනක් මම; රිද්මෙට ලියැවෙන තීරුලිපිය "මංජුලගේ දිනපොත" ලියාගෙන එහි සංස්කාරක නිහාල් පීරිස්ගේ කුඩා මේසය අභියසය.

"මංජුල ඕක ඉවර වෙලා මාව හම්බෙලා යන්න!" ගොරෝසු හඬකින් සුන්දර අයියා පැවසීය. ඒක පොඩි ආතල් සිද්ධියකි.  මම ඔහු මුණ ගැසුනෙමි!

"ඔයා රිද්මෙටම ලිය ලියා ඉන්න එපා මත ලියන්න! 

වැල්ලවත්ත පොලීසියේ සේවය කල පෙරේරා ට්‍රැෆික් සාර්ජන් මහත්තයා පිළිබඳව මා ලියූවේ එහි ප්‍රථිඵලයක් ලෙසය. මම එය ලියාගෙන ගියේ මගේ සුපුරුදු නිදහස් ලිවීමේ ශිලියෙනි. 

"අනේ! අනේ! මහත්තයෝ මෙහෙමනං ලියලා හරියන්නෑ මට! ආයේ ලියාගෙන එන්න!" සුන්දර අයියා මාගේ අත් පිට පතේ මම ලියා ටිබූ නොසරුප් වදන් කිහිපයක් රතු පෑනෙන් රවුම් කොට නැවත මටම භාර දුන්නේය. 

නැවත් මුළුමණින්ම ලියා සකසා පසුදින ග්‍රෑන්ඩ්පාස් - අශෝකා සිනමා හල ඉහල මාලයේ ලක්බිම කාර්යාලයට ගෙන ගොස් භා දුන්නෙමි.

එතැන් පටන් මම සුන්දර අයියාට ලිපි කිහිපයක්ම ලිව්වෙමි.

ඔහු එකල බීවේ බ්‍රිස්ටල්ය.

පඩිපෙලේ මදක් පහලට බැස එතැන් තිබුනු හතරැස් ලෑන්ඩිම මත සිට ඔහු එය රසවත්ව පානය කරයි. දිනක් මමද ඔහු හා නැවතී ගෝල්ලීෆ් එකක් ඔහුගෙන්ම පත්තු කරගෙන කතාවට වැටුනෙමි!

"අයියේ මට ඔයාගේ තාත්තව දවසක් හම්බුනානේ. එම්.ඩී.ගුණසේන එකේදී . . . . . . !"

 මම එතැනදී මෙම කථාව කීවෙමි. 

"තමුසෙ මාර පොරක්නෙ හලෝ!" සුන්දර අයියා පැවසූ හැටි තාම අදමෙන් මතකය. මා අහිංසකව ඔහු දෙස බලා සිටියෙමි.

මේවා සියල්ල අතීතය ය. අද මාගේ පොත් එකතුවේ පොත් 3000කි! (ඒවායින් බොහොමයක් මා අනුන්ගෙන් ඉල්ලාගෙන හෝ හොරකං කරගෙන ආ ඒවා කියා මඩ ගැසීමෙන් වළකින්න!) ඒවාට කුමක් කරණ්නේදැයි මා සැම විටම සිතමින් සිටිමි. 

බලමු! පොත් වලට ආදරය කරණ එකෙක් මැරෙණ්නට පෙර හම්බුනොත් වාසනාවක්! 

ජීවිතේ කියන්නෙම "මාර ආතල් ලෝකයක් අප්පා" කියා  වෙලාවකට සිතේ!

එහෙම නැද්ද; හා එහෙනං . . . . ?


මේ ලිපිය කලක සිට ලියමින් ආ එකක්! උෂාන් වික්‍රමරත්න මල්ලීට වුනු පොරොන්දුව නිසාම මෙය අදම ලියා අවසන් කරන්නට සිත්වුනේ!




No comments:

Post a Comment

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...