Saturday, March 13, 2021

191. තිස් අවුරුදු රථ මතක . . . . ! (5)

 

මිය ගිය හිතවත් කමෙක නොමියෙන මතක!

ෆියට් 132 රථය; මා වෙතින් ගෙනගියේ එක් දවසක සන්ධ්‍යා භාගයේ මිලදී ගත් සුපින්වතා වෙනත් වාහනය ගෙනවිත් ඇදගෙනය. එය ඒ තරමට අබලං වෙලා නොතිබුනත් බට් කරලා දැම්ම ඩිස්ට්‍රිබියුටරෙන් වැඩේ සාර්ථකව ඉටුකොට නැති වගක් පෙනුනි. අනෙක ඒ වෙන කොට වසර ගනනාවක් මා ගේ සොයුරියගේ නිවසේ පැත්තක ගාල් කොට කිසිදු සැපක් නැතිව තිබුනු රථයේ බැටරිය ඒ වන විට මිය ගිහින් තිබුනි.

මා රැකියාව සඳහා කොළොඹින් පිටතට යෑම සමගම ෆියට් රිය පිළිබඳව සොයා බැලීම මා වෙතින් ගිලිහී ගියේය.

පිටකෝට්ටේ මාගේ සොයුරියගේ නිවසේ නොතෙමෙන්න නවතා තිබූ රථයේ කල දසාවඔවුන් ෆොර්ඩ් එස්කොට් රථයක් ගත්තට පසුව සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවේය.

මාස කිහිපයකින් සොයුරියගේ නිවසට යන විට මාගේ රථය මිදුලේ කොනක මාස ගනනාවක් තිස්සේ රැඳුනු මාගේ වස්තුව දක්නට ලැබුනේය. 

ඔවුන් මාගේ ෆියට් රිය මිදුලට තල්ලු කොට දමා සාරියකින් වසාදමා තිබුනු අතර අවම වශයෙන් පොලිතීන් යාර තුනක් ගෙනැවිත් රථය වසා දමන්නටවත් ඔවුන් කාරුණික වී නොතිබුනි.

මාහට වාහනයක් නොමැති කාලයේ වෙනත් මිත්‍රයෙකුගේ හෝ ඥාතියෙකුගේ වාහනය දුටු විටදී සිත පිනා යන සතුටකින් හදවත් හිරිවැටී යයි. එම වාහනය කිළිටුව වෙත්නම් එය සෝදා හරින්නට මා සිත පොළඹවයි. මා එසේ කල අවස්ථා අපමණය.

වරෙක රාවතාවත්තේ  රන්ති රොහාන්ගේ කාර් සේලයේදී ඔහුවාහනයක් පසුපසට ගැනීමට යාමේදී පසුපස වාහනයේ ගැටෙතැයි බියෙන් මා වාහන දෙක අතරට කකුල තිබ්බේය. මේවා බුද්ධි ගෝචර කරුණු කාරණා නොවුනත් මිතුරෙකු වෙනුවෙන් මාඑසේ කලෙමි. එකම සතුටට කරුණ වන්නේ රන්ති රොහාන් හට අදද එය හොඳින් මතක තිබීමය. සමහර මිතුරු හමු වලදී ඔහු මධුවිතෙන් සප්පායම්ව මා වැළඳගෙන ඒ මතකයන් නිරාවරණය කිරීමේදී හිතට මහත්වූ සතුටක් දැනේ! එය පෘථග්ජන ස්වරූපයකි.

එකල මා සතුවූ මූල්‍යමය වශයෙන් වටිනාම වස්තුව වැස්සට "වේලෙමින්" අව්වට "තෙමෙමින්" සාරියක් ඇඳගෙන සිටිනු දැකීම මගේ හිත කම්පනයට පත් කල දසුනක් විය. මාගේ අවශ්‍යතාවය වූයේ; මෙම වාහනය මාහට ගැනීමේදී උදව් උපකාර කල මාගේ මිත්‍ර කටුබැද්දේ රන්ති රොහාන්ගේ ගෙදරට ගිහින් වාහනය දිගේලි කිරීමටය. එතැන මොනවා නැතත් වාහනයට නොතෙමී ඉන්නට තැනක් තිබුනි.

කටුබැද්දට ගෙන ගොස් ආපසු එදිනම හැරෙණ තැපෑලේ ගෙනැවිත් දීමට වත්; ඔවුන්ගේ එස්කොට් රථයේ බැටරිය පැය ගනනකට ලබා දීමට ඔවුන් පසුබට විය.

මාගේ සොයුරියගේ සැමියා හට ඔවුන්ගේ රථය ගන්නා තෙක් වාහනයක් පැදවීමට නොහැකි විය.

සතියේ ඉඩ ලැබෙන ලැබෙන වාරයක් වාරයක් පාසා කටුනායක සිට පිට කෝට්ටෙට ගොස් ඔහුට රිය පැදවීම හුරු කොට නැවත කටුනායකට රෑ පානේ පැමිණීමේ ප්‍රථිපලයක් ලෙස ඔහු පැදවීම ඉගෙන ගත්තේය.

ඒ කරුණු කාරණා කෙසේ වුවත් බැටරියක් සොයා ගැනීමට නොහැකිව මා ඔවුන්ගේ නිවෙසින් පිට වීය. ඔවුන් වෙසෙන අලකේශ්වර පාරේ මීටර 500 ක් පමණ දුරක් එන විට ඒ අසල සිටි  මිත්‍රයෙකු මාගේ ගමන ගැන විමසා ඔහුගේ පියාගේ පැරණි රථයේ බැටරිය ගලවා දීමට කාරුණික විය. මිත්‍රයාගේ මහළු මිත්ත්ණිය බෙහෙවින් රෝගාතුර වී අවසාන අඩියේ සිටි අතර මෝටර් රිය ඉතා අවශ්‍ය මොහොතක එහි බැටරිය ගලවා දීමට තරම් ඔවුන් මාහට ඉතා කාරුණික විය.

බැටරිය දමා සැනෙන් පන ගන්වා ගත් රිය කටුබැද්දේ රන්ති රොහාන්ලාගේ ගෙදර ගාල කර නැවත බැටරිය ගලවා කටුබැද්දේ සිට පිට කොට්ටේ අලකේශ්වර පාරට ගෙනෙන විට රාත්‍රී 12.00 පසුවී තිබුනි.  මිත්‍රයාගේ නිවස අසලට පැමිණ බලන විට ඔවුන් දොරවල් වසා විදුලි පහන් නිවා නින්දට ගොස්ය. ගේට්ටුවද  ඉබි යතුරු යොදා අගුළු  දමා ඇත. පසුව මාගේ ඉනෙහි බැඳි පටිය ගලවා එය උපකාරී කොට; බැටරිය ගේට්ටුව ඇතුලට පහත් කොට නොහොත් බා; පාගමනින්ම බොරැල්ලටද එතැනින් පිට කොටුවටද ගොස් සීදූවේ මාගේ නවාතැනට ලඟා වුනෙමි!

කඩවත පදිංචියට ආපසු; ෆියට් රිය කටුබැද්දේ සිට  ගෙන ආවේය. රැකියාව කල ස්ථානයේ මිතුරෙකු වූ; බියගම ඉන්ධන පිරවුම් හල අසල සිටි අයෙකු; එය ගෙඩි රුපියල් 22000 කට මිළදී ගැනීමට එකඟ වීම මට මහත් ඉස්පාසුවක් විය. 

රථය ඇදගෙන යාම සඳහා මාගේ මිතුරා ඔහුගේ මිතුරන් පිරිසක්; වෑන් රථයකින් පැමිණුනෝය. ඔවුන් ඒ සඳහා සුදුසු කඹ පොටක් රැගෙනා විත් නොමැති වූ අතර මා ඒ සඳහා; වැටකින් ගලවා ගත් කටු කම්බියක් ලබා දී ඉන් නොනැවතී එය වාහනයට ගැට ගසා දුනිමි. මෙය බලා සිටි ඔහුගේ මිතුරෙකු මා ගෙන් විමසූවේ "වාහනේ මුගෙ ඇඟේ ගහන්න; පුදුම කැපවීමක් නේද තියෙන්නේ?" කියාය. සත්තකින්ම බොහෝ කාලයක් එක තැන තිබුනු එය මා කෙරෙන් වියෝවීම; ගෙදරක බොහෝ කලක් ඔත්පලව සිටි රෝගියෙකු මිය යාම වැනි "සතුටු දායක" කාරණාවක් නොවේ යැයි කාට නම් කිව හැකිද?

ඉන්පසු මාසයක පමණ කාලයක් වාහනයක් නොමැතිව සිටියෙමි. විකුණා දැමූ වාහනය තිබුනද එය නොතිබුනා හා සමානය. එහෙත් ධාවනය නොවන මට්ටමේ හෝ මෝටර් රථයක් නිවසේ ගරාජයේ පසුවීම එක අතකින් පොඩි ගැම්මකි.

ෆියට් රථයෙන් එම ගැම්ම මාහට මොනවට සපයා තිබුනි. 

කිසියම් අමුත්තන් පිරිසක් ගෙවදින බව කල් තියා දැන ගත් විට; නිවෙස අස්පස් කොට, මකුළු දැල් කඩා, ඇමැද පොඩි පහේ ඇන්දිල්ලක් කරණා කල; මා විසින් තවත් අමතර වැඩක් ඊට එකතු කරගෙන සිටියෙමි. ඒ පන ගැන්වීමට නොහැකි ෆියට් රථය මිදුලට තල්ලු කොට හොඳින් හෝදා පිසදා නැවත ගරාජය තුලට තල්ලු කොට ගාල් කිරීමයි!

නිවෙසට පැමිණි අමුත්තන් වාහනය පිළිබඳව විමසීමේදී; එය ගුරුගේ මැණික් කහවත්ත සතුව තිබූ වාහනයක් බව, ඝන සෙන්ටිමීටර 2000 ක සිලින්ඩර ධාරිතාව, කැමි දඬු දෙකකින් ක්‍රියාත්මක වන වෑල්ව 16, බල මෙහෙයුම් සුක්කානම් පද්ධතිය හා ඉදිරි පස දොර වීදුරු වැනි කාරණා සහිතව තෙලක් බෙදීමට මා හට එකල කට පාඩම්ව තිබුනි.

ගමනක් බිමනක් යෑමට වාහනය නොමැති වීමේ හීනමානය තුනී කිරීමට එය බොහෝ සෙයින් ප්‍රමානවත් විය!

කඩවත දැනටත් ජීවත් වන නිවස පිහිටා ඇති ආසන්නතම නගරය කඩවත වූවාට එය පිහිටා තිබුනේ කඩවත නගරයට කිලෝ මීටර 6 ක දුරකිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගමක් වූ එම ප්‍රදේශයට ප්‍රධාන මාර්ගයේ සිට ප්‍රවිශ්ඨ වීමට තිබුනු පහසුම මාරගයේ තිබුනු කුඩා පාලම කැඩී කිසිදු වාහනයකට යාමට  ඒමට නොහැකි තත්වයක පසු විය. වාහනයක් නොමැතිව ගමන් බිමන් යාම තබා ලුනු මිරිස් හාල් තුන පහ ටිකක් හෝ සපයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් විය.

මීට වසර 25 කට පෙර ඒ සඳහා කිලෝ මීටර 3 ක පමණ වටයක් ගමන් කිරීමට සිදු විය.

රැකියා සඳහා ගමන් කිරීම එවන්ම වූ සුපිරි කට්ටක් විය.

මන්ද කැඩුනු පාලම මතින් දමා තිබූ පොල් කොටය මතින් ගමන් කිරීමට ගොස් අත පය කඩාගත් අයගේ ලැයිස්තුවට අපගේ නම් ඇතුළු කර ගැනීමට අවශ්‍යථාවයක් නොතිබූ බැවිනි!

මා රුපියල් කමි! පැස්ටෝල් බොමි!! කියාන උපන් CB 125 T

එකල අපගේ ගමන් බිමන් පිරිමසා ගත්තේ බිරිඳගේ ලොකු මල්ලී විසින් පාවිච්චි කිරීමට ලබා දී තිබුනු හොන්ඩා CB125T බයිසි කලයෙනි. 125 ට්වින් ඇන්ජිමේ සිළින්ඩර දෙක වෙත මදි නොකියන්නට; ආයේ කාටවත් කටක් ඇරලා වචනයක් කියන්නට බැරිවෙන්නට; පැට්‍රෝල් පෙවීමට කාබියුරේටර දෙකක්ද එන්ජිමට සපයා තිබුනි. අද කාලේ මරුටියක් ගානට පෙට්‍රොල් බොන එම සයිකලය අපගේ එදිනෙදා කටයුතු සෑහෙන පමණට ඉටු කොට දී තිබුනි.

එකල මා සේවය කලේ යටියන්තොටය. මා දින පතා කඩවත සිට යටියන්තොටටත් ආපසු ඉර ගෙදර යන වේලාව අල්ලා ආපසු කඩවතටත් ගමන් කලේ පෙරකී යතුරු පැදියෙනි.

යටියන්තොට - කරවනැල්ල - රුවන්වැල්ල - ගෝනගල්දෙනිය - ගල්බැම්ම - නඩුවත්ත - මිල්ලතේ හංදිය - කිරිඳිවැල - රදාවාන - වැලිවේරිය ඔස්සේ උදෙටත් හවසටත් මා දින පතා ඉහලටත් පහලටත් ගම්න් කලෙමි.

රුවන්වැල්ලත් කිරිඳිවැලත් අතරදී වැස්සකට හසු නොවුනේ නම් එය පුදුමයකි!බොහෝ දිනවල හවස් වරුවේ ගෙදරට ගෙවදින්නේ ඉහෙන් කනෙන් වතුර පෙරාගෙනය!

මේ කාලය වන විට වසික බිහිවන්නට ආසන්නවී තිබුනි. එහෙත් අපගේ ගමන් බිමන් බොහොමයක් සුපුරුදු පරිදි සිදුවූයේ යතුරු පැදියෙන්මය. සවස් යාමයේ බිරිඳව හිඳුවාගෙන යතුරු පැදියෙන් නිවෙස දෙසට එමින් විය. නිවසට එන්නට පෙර මාර්ගයේ තරමක පල්ලමක් තිබුනු අතර එයට සයිකලය ප්‍රවිශ්ඨ වීමත් සමගම සයිකලය නවතන ලෙස බිරිඳ හඬ නැගීය.

නවතා බලන විට ඇයගේ සාරි පොට සයිකලයේ එතී දකුණු අතත් ගෙලත් පහතට තෙරපී තිබුනි.

ඔබ විශ්වාස කරණ්න; එය දැකීමෙන් මා තුල ඇතිවූ ආවේගයේ තරම!

සයිකලයෙන් බිමට නොබැසම සාරි පොටේ ඉහලින් අල්ලා සයිකලය පසුපසට දිවෙන්නට වැරෙන් ඇද්දෙමි!

අදටත් ඇයගේ අතේ සාරි පොට ඇදීමේදී ඇතිවූ පිලිස්සීමේ සළකුණ ඇත.

එහෙත් සිදුවීමට ගිය අවසනාවන්ත හා භයානක සිදුවීම වසිකට නොදැනෙන්නට ඇති.

මේ සිදුවීම් මෙසේ සිදුවන විට බිරිඳගේ නිවසේ ඉසූසූ ජෙමිනි කාරයක්, ලෑන්ඩ් රෝවර් සීරීස් 3 මැලේරියා මොඩලයක්, ටොයෝටා හයි ඒස් ඩොල්ෆින් රථයක්, ඉසූසූ 250 ටිපරයක්, ටොයෝටා ඩයිනා තට්ටුවක් ගාල් කොට තිබුනි. අප ඒවා ඉල්ලා ගත්තේ හදිසියේ බිරිඳ කාසල් වීදියේ සායනය වෙත යෑමට හෝ වෙනත් දුර බැහැර යෙදෙන උත්සවයකට යෑමට පමණි! වාහනයක් ඉල්ලීමට ගිය බොහෝවිට මාමණ්ඩිය වෙත ඉල්ලීම ඉදිරිපත් කොට විනාඩි 15 - 20 එය ඇපෲ වෙනතුරු බලා  සිටිය යුතු විය! 

සිදුවෙන්නට ගිය සයිකල් අනතුරෙන් කෙටිකලකින් මාගේ සොයුරිය අපගේ නිවෙසට පැමිනුනාය. ඇයත් ඇයගේ සැමියාත් සිදුවූ ත්‍රාසජනක නාට්‍ය ජවනිකාව; මාගේත් බිරිඳගේත් අභිනවයන් සමග  ඇහි බැමි අහසට හරවාගෙන උඩට ගත් හුස්මෙන් යුතුව අසා සිටියෝය!

අවසානයේ ඇයගෙන් ඊට පිළියමක් ලෙස "ඔන්න ඔයා  ආයෙ; මීට පස්සෙ බයිසිකල් වලනම් යන්න එපා!" කියා අගනා අවවාදයක් දී පිටව ගියාය!

ඒවන විටත් ඇයගේ නිවසේ ෆෝඩ් එස්කෝට් රථය; ඔළුව හිට පොරෝගෙන හිම නින්දේය! එකල එම රථය මාසයකට නොව මාස තුනකට වතාවක් හෝ ගමනක බිමනක යෙදුනේදැයි සැක සහිතය. 

ඇයගේ අවවාදය සමග ඉන්නා තැන අමතකව ගිය මා " කරණ්න දෙයක් නෑ බයිසිකලේම තමයි යන්න වෙන්නේ! එහෙම් නැතිව යන්න එකක් නෑනේ !" කියා පැවසූවද සිදුවූ වෙනසක් නොවීය!

අහක බලාගත් ෆෝඩ් එස්කොට් රථයක්

"ඔයාට මගේ වාහනේ දෙන්නද?" කියා අසන්නට එකල හදවතක් නොවීය.  "හරි බං උඹට ඕන දවසක වාහනේ තිබුනොත් අරං පලයන්!" කියන නිරෝශන් අයියලාවත් "ඉතිං ඔයා මගේ වාහනේ ගන්නකෝ!!" කියා එය හුදෙක් වචන සැට් එකකට පමණක් සීමා නොකොට මාස ගනනාවක් වාහනයක් ලබා දෙන රුශාන් මල්ලිලා වැනි සසර බැඳි සහෘදයින් එකල සිටියේ නැත! හදිසියේ හෝ ඇද පලුද්දක් නැතිව ඉල්ලා ගැනීමට වාහනයක් තිබුනේ බිරිඳ සේවයට ගිය සිරිල් අයියාගේ LH30 ය පමණි. හදිසියේ හෝ ඉල්ලූ විට එය ලබුනේ මෙවන් කාරුණික වදන් වැලක් සමගය. " හරි හරි ඔයා ඔනා දිහාවක් ගිහි එන්නකෝ! ටැංකි බාගයක් තෙල් තියෙනවා. තව ඩීසල් පහේ කාන් එකක් පිටිපස්සෙ තියෙනවා. සීට් එක පිටි පස්සෙ ජැක් වීල් බ්‍රස් ඔක්කොම. මෙන්න ටෝච් එක. හදිසියක් නෑ ඔයා ගිහින් එන්න්කෝ!" කියාය. මේවා සියල්ල නෙත් තෙමන මතක. 

යමු මල්ලි ඕන අහක කියා ගත් LH 30 ය

දිනක් මා කිරිබත්ගොඩ නගරය හරහා ගමන් කරද්දී; නගර මාධ්‍යයේ තිබුනු කුඩා කාර් සේලයක (මනමාළියන්ගේ හිස රැඳි ඇඳිවත නොව මේ කියන්නේ කාර් කඩයක් ගැනය!) නවතා තිබූ හුරු බුහුටි රථයක් ඇහැ ගැටුනි. ඒ ඔස්ටින් මිනි 850 වැගනයකි. එහි මිළ විමසූ විට එය රුපියල් 50'000 කි. වැරදීමක් නොවේ රුපියල් පනස් දහසකි. එය මා 45000 කට ඉල්ලා මැරෙන්න යද්දී එහි සිටි අතර මැදි බ්‍රෝකරයෙකු මැද්දට පැන 48500 කට මිල නියම කර  වාහනය මාවෙත ලබා දීමට කටයුතු කලේය.

එය ඉතා හුරුබුහුටි රථයකි. එහි පැට්‍රෝල් දැම්මේ පිටුපස ටැංකියට නොව වාහනයේ පැසෙන්ජර් ආසනය ඉදිරිපිට බිම තබා තිබුනු පැරණි තිනර් කෑන් එකකටය. එකල එනම් 1994-95 කාලයේදී පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 35 ක් වී යැයි මාහට මතකය. ටිනර් ටැංකියට පැට්‍රෝල් ලීටර දෙකක් ගසා ගෙන අප අපගේ ගමන් බිමන් වල යෙදුනෙමු!

 එකල අපගේ ආර්ථික තත්වය මත ලීටර දෙකක් සපයා ගත්තේද මහත්වූ අමාරුවකිනි. ලීටර දෙකකට වඩා මිලදී ගත්තේ සුවිශේෂී ගමනකදී පමණි. ගමනේ යෙදී සැඇහෙන දුරක් යනතුරු කිලෝමීටර දෙකෙන් තුනෙන් තිනර් කෑනයේ ඉතිරිව ඇති පෙට්‍රෝල් ප්‍රමාණය පිළිබඳව කළ්පණාවෙන් ගියද තවත් දුරක් යන විට එය අමතකවී යයි. නැවත එය සිහි ගැන්වෙන්නේ කෑනයේ පැට්‍රොල් ඉවරවි; කෑනයේ මූඩිය සිදුරු කොට ඇතුලට දමා ඇති බටයෙන් හූස් හූස් ගානා හඬිනි. බීම උරන බටයකින් බෝතලයක ඇති බීම උරාගෙන බී අවසන් වන විට නැගෙන හඬ ඔබට මතකද? එම හඬත් සමගම එම ආසනයේ ගමන් ගන්නා අයෙන්ක් වෙතොත් ඔහු ලවා හෝ නැතිනම් මවිසින් හෝ වහාම බටය මූඩියෙන් පන්නා උඩට කොට අල්ලා ගනී. අද හිතෙන විට එය තේරුමක් නොමැති දෙයක් ලෙස පෙනුනද එවිට පැට්‍රෝල් බිඳෙන් බිඳ එන්ජිම විසින් භක්ෂණය කරණ අයුරු මැනවින් පදවන්නාට පෙනේ! ඒ සමගම වෙහෙසෙන්නේ හැකි ඉක්මණින් පිරවුම් හලක් සොයා යෑමටය! 

එම රියෙන් මමත් එකල මාගේ අතිජාත මිත්‍රයා වූ හිතමිත්‍ර ෂානකත් අපගේ බිරින්දෑවරුන්ද සමගින් කිතුල්ගල ගිය ගමන තවමත් මාගේ මතකයේ ඇත. ඒ වන විට බොහෝ සෙයින් මහළුවී සිටි; එහෙත් තම යුතුකම් කොටස මැනවින් වටහාගත්; 850CC එන්ජිමට බරක් නොදැනෙන්නට; එය යාන්තමින්හෝ  වෙහෙසට පත් නොකරමින් යාන්තමින් ඇක්සලරේටරය දකුණු කකුලේ මහ පොට ඇඟිලි  තුඩ මගින් කිති කවමින් ගිය ඒ ගමන සුන්දර ගමන් චාරිකාවක් විය.  අප හතර දෙනාගේ බරද අපගේ ගමන් මළුද දරාගෙන ඉබි ගමණින් කිතුල්ගලට ගියෙමු. මෙම පෝස්ටුවේ මුදුන් කෙළවරේ දැක්වෙන්නේ එම ගමන ගොස් පෙරළා ආපසු පැමිණීමේදී ගලගෙදර පාලම ආසන්නයේ ගත් ඡායා රූපයකි.

වසික අප නිවසට සපැමිණෙන අවධියේ මා සතුව තිබුනේ එම රියයි. වසික - මාගේ ආදරණීය පුත්‍රයා එහි බොහෝ ගමන් බිමන් ගොස් ඇත.

මේ ගැන තව ටිකක් නිවිහැනහිල්ලේ කථා කරමු.


33 comments:

  1. සහෝදර සහෝදරියෝ ගැන නම් කියල වැඩක් නෑ. මටත් ඉන්නවා ඔය හා සමාන කිහිප දෙනෙක්. මොනවා උනත් මේවා සුන්දර මතක.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහේෂ් මල්ලී මගේ අනිත් ලිපි වාගේම මේවා ලියන්නේ කියවන කෙනෙකුට තෙරුම් ගන්න; දෙයක් කරණ්නට යාමේදී ඔහු හෝ ඇය වාගේම කට්ට කාපු තව සිය දහස් ගනනක් මේරටේ ලෝකෙ ඉන්නවා කියන එක. අද අපි වාහනයක් පදිනවානම් අපි එතනට ඇවිත් තියෙන්නේ අන්තිම යටම අඩියේ ඉඳන්. අපි යන බස් වලට දුවල එල්ලුනු මිනිස්සු. ජීවිතය අපිඅව දාලා යන කොට කට්ට කාගෙන හති දාගෙන ගිහින් ජීවිතේ තම්න්ගේ කර ගත්තු අය! එහෙම නැතිව රිදී හැන්ද කටේ ගහගෙන ඉපැදුනු අය නොවේ. මා උසස් පෙල දෙවෙනි වර ලියන්නට යද්දී අම්මා මිය යනවා. ඒ වසර තුන හතරක් ඇඳක් මත ඔත්පලව ඉඳලා. අම්මා කියන්නේ අපේ ගෙදර ඇඩ්මින් හබ් එක. එයා ඔත්පලව අකර්මණ්‍ය උනු ගමන් සියල්ල ඇනහිටිනවා. එවකට මාගේ වැඩිමහළු සොහොයුරාත් සොහොයුරියත් ජීවිතේ අරඹලා හිටියේ. මට තිබුනේ ඉබාගාතෙ ගිහින් ජීවිතය අළුතින් ලියන්න. මේ හුදෙක් වාහන ගැන කථාවක්ම නොවෙයි. මගේ ජීවිතය ගලාගෙන ගිය හැටි පෙන්වන එක් පැතිකඩක්! ඒ කාපු කට්ට නිසාමයි අපේ හදවත් ඕනෑම එකෙකු වෙනුවෙන් නැවෙන්නේ! මොකද අපි කාපු කටු වෙන එවුන් කන්න ඕන නැති නිසා!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අම්මා ඔත්පල වෙනවා කියන්නේ දරුවෙක්ට මේ ලෝකේ දැනෙන ලොකුම වේදනාවලින් එකක්. (විශේෂයෙන්ම තරුණ කාලේ) මම කලින් ලිපි වලින් කියවලා තියෙනවා ඔයා අම්මව අත් දෙකෙන් ඔසවාගෙන ගිය හැටි. ඇත්තටම මේ ලිපි ඔක්කොම කියවපු කෙනෙක්ට ඔයාගේ මුළු ජිවිත කතාවම ලියන්න/ කියවන්න පුළුවන්.

      Delete
    4. ඔව් මහේෂ් මල්ලී. ඒවා හරිම සෝචනීය මතක. ලියා තියන්න ගොඩාක් කරුණු කාරණා තියෙනවා. බලමු පුළුවන්තරම් ලියමු. ස්තූතියි!

      Delete
  2. තට්ට මහතාගේ ලිපිවලින් මං කියවපු හොදම human interest තියන එක. පංචතන්තරේ ලියන නිමල්ගේ ඇත්ත ලියන frankness මතක්වුනා.

    එයට අමතරව මං ලගදි මිල්ලතේ නඩුවත්ත පාරෙ තැඹිලිකොටුවෙ රාලහාමිලගෙ ගෙදර ගිය එක මතක්වුනා. නඩුවත්ත පාරෙන් රුවන්වැල්ලට යන්න පුලුවන් කියල දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙවන් කථා නම් කොයි තරම් නම් තියෙනවද ලියන්න. බලමු ඉදිරියේ. මිල්ල තේ හංදියෙන් නඩුවත්ත හරහා ගෝනගල් දෙනියට යන්න පුළුවන්. ඒක හරි කෙටි පාරක්. හොර ලී ලොරි ආපු පාරක් විදියටත් ප්‍රසිද්ධයි.

      Delete
    2. අලකේශ්වර පාරේ මගේ හිතවතුන් දෙතුන් දෙනෙක්ම ඉන්නවා. ග්‍රාමසේවක රාජකාරිය කළ පද්මසිරි දෙහිගස්පිටිය එක්කෙනෙක්.

      Pra Jay, ස්තුතියි සඳහන් කරන්න තරමට මතකෙ තියාගැනීම වෙනුවෙන්!

      Delete
    3. ඔව් මෙහෙම කමෙන්ටුවක් දාන්නේ කීයෙන් කී දෙනාද?

      Delete
  3. වාහන කියන්නේ හිතක් පපුවක් නැති නිකංම නිකං යකඩ ගොඩවල්. ඒ උනාට ආදරයෙන් බලා හදා ගන්නා වාහනයක්, කවදාවත් තමන්ගේ අයිතිකාරයාට worst case scenario අත්දැකීමක් ලබා දෙන්නේ නැහැ. සිදු වෙන ඕනෑම සිදුවීමක්, නරකම සිදුවීමකට වඩා පහල සිදුවීමක් (බෙරගලදී බ්රේක් නැති වෙනවා වෙනුවට බෙරගල බැහැලා ඉවර උනාම බ්රේක් නැතිවෙනවා, එහෙම නැතිනම් කොටුවේ/පිටකොටුවේ ට්‍රැෆික් එකෙන් අහකට ගියාට පස්සේ ක්ලච් එක ඕෆ් වෙන්නේ නැති වෙනවා වගේ ) ලෙස තමයි සිදු වෙන්නේ. ඒවාට තාර්කික පැහැදිලි කිරීම් නැහැ. නමුත් ඒ දේවල්, වාහනයක පොසිටිව් පැත්ත ගැන පමණක් හිතන රියදුරන්ට දෙවියන් ලබා දෙන විශේෂ වරප්‍රසාදයක්. මම මෙහෙම කියන්නේ, මගේත් අත්දැකීම් වලිනුයි. මේ කතාවේ කියවෙන දේවල් වලින් ඔයාටත් ඒ විදියේ සිදු වීම් වලට මුහුණ දුන්නා කියා පේනවා. ඒවා ඒ ආකාරයට සිදු උනේ කොහොමද කියන එක, පැහැදිලි කල නොහැකි දෙයක්.

    යටියන්තොට කඩවත අතර දිනපතා මෝටර් සයිකල් පැද්දා කියන්නේ සෑහෙන බොන්න ඕනෑ කේස් එකක්.

    ඒ යනකොට හමුවෙන ගෝනගල්දෙණිය කියන ගම ගැන කිව්වාම මට පරණ සිද්ධියක් මතක් උනා. 1980 දශකයේ මුල් කාලයේ අපි බැච්මේට්ස්ලා කතරගම ගියා. නමුත්, ඉඳුරානේ (ඉඳුරාන තියෙන්නේ අමිතිරිගල සහ ගෝනගල්දෙණිය අතරයි. එයිනුත්, අමිතිරිගල ඉඳලා ඉඳුරානට රබර් වතු මැදින් වැටී තිබුන අඩි පාරකුත්, ඉඳුරානේ සිට ගෝනගල්දෙණිය දක්වා වාහන යා හැකි පාරකුත් පමණයි එකල තිබුනේ ) පදිංචි යහළුවෙක් ආවේ නැහැ. (එයත් දැන් වසර තිහක පමණ සිට ජීවත් වෙන්නෙත් ඔස්ට්‍රේලියාවේම තමයි.)
    ටෙලිපෝන් කියන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් හොයාගත් දෙයක් බව මිස, ඒ ගැන ගැන ඊට වඩා දෙයක් නොදැන සිටි මේ කාලයේ, මේකාට මොකද උනේ කියලා හොයන්න ක්‍රමයක් තිබුනේ නැහැ. ඒ නිසා, අපි කතරගම ඉඳලා ඉඳුරානට ගියා. හරි හමන් ලිපිනයක් නැතිව, නම සහ ගම (ගම ඉඳුරාන කියලා දන්නෙත් මම විතරයි, අනික් අය දන්නේ අවිස්සාවේල්ල පැත්තේ, එහෙම නැතිනම් අමිතිරිගල කියලා විතරයි) පමණක් දැනගෙන අවිස්සාවේල්ලෙන් විපරම් කලාම, අපිට ලැබුන උපදෙස උනේ, රුවන්වැල්ලෙන් නිට්ටඹුව බසයක ගොස්, සනික්‍රොෆ්ට් වත්ත හරහා පයින් ඉඳුරානට යා හැකි බවයි. සිරිපාදේ යනවා වගේ කඳු නැගලා බැහැලා, ඒ ගෙදර හොයාගෙන ගියාම තමයි දැනගත්තේ යාළුවා අසනීප වෙලා රාගම ඉස්පිරිතාලේ කියලා. හවස තුනට ගෝනගල්දෙණියට යන අන්තිම බස් එක යනවා කියාපු නිසා පුළුවන් වේගයෙන් (ඒ වෙනකොට වේගයක් නැහැ, කකුල් මැඩ්ලින් ගහනවා) පාරට ආවාම තමයි හොඳම පණිවිඩේ ලැබුනේ. "අද බස් එක කැඩිලා, ආයිමත් හෙට උදේට තමයි බස් එක එන්නේ" කියලා එතන ගෙදරක හිටපු කෙනෙක් කිව්වා.
    "අනේ මේ තරුණ ළමයින්ට බස් මොකටද, මේ පේන දුර, ඔය කන්දෙන් එහා පැත්ත ගෝනගල්දෙනියනේ, ඕන්නම් හැතැක්මයක් ඇති, මෙන්නේ මේ ගහෙන් නාරං ටිකක් කඩාගෙන කකා යන්න" කිව්වා. අපි නාරං ගහ සුද්ද කරලා විනාඩි විස්සක් කිව්ව ගමන පැයකටත් වඩා ආවා.
    දික් අඩි තිය තියා වේගයෙන් යන, පුරුදුකාරයින් උන ඒ මිනිස්සුන්ට හැතැක්මයක් කියන්නේ සාමන්‍ය ව්‍යවහාරයේ හැතැක්ම තුනකට කියලා දැන ගන්න කොට අපේ කකුල්, දණහිස කිට්ටුවටම ගෙවිලා.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයා මගේ මේ ලිවීමේ ඉදිරියේ ඔවැනි කථා බොහොමයි. සත්තකින්ම වාහන වලට ආදරය කරණ්න පටන් ගත්තේ ඔය මිනියෙන් පස්සෙ තමයි. (මිනියෙන් කිව්වාම අවුල් නෑනේ!?) මම අද පලමු කොමෙන්ටුව නමෝ විත්තියෙන් ලියපු මහේෂ් මල්ලීට මා පූජා කල රිප්ලයි එක බැලුවානම් ඔබට තේරේවි ඇයි මම මේ යකඩ ගොඩවල් ගැන ලියන්නේ කියලා.
      දැනටත් ගෝනගල් දෙනිය පාරේ රෑවෙන කොට බස් නෑ. මම බොහෝ විට ට්‍රක් එකේ යන කොට මගදි හමුවන අයව දාගෙන යනවා. ඔබ තුමා ඔය කියන ගම මම අහලා තියෙනවා. ඒත් නිනව්වක් නෑ කොයි තූත්තුකුඩියක තියෙන දෙයක් දැයි කියා.
      මට ඔබ තුමාට ලියන්නට අවශ්‍යතාවයක් තියෙනවා. මට ඔබගේ E ලිපිනය එහා මෙහා වෙලා. වට්ස් ඇප් එකෙන් උනත් ලිවිය හැකියි. හැකිනම් මේ පැත්තට ලනුවක් දාන්න මට එල්ලෙන්නට හැකිවෙන්න! ස්තූතියි!

      Delete
  4. I've just send you an email. Thanks, Sam

    ReplyDelete
  5. අද කන කට්ට හෙට තව වැඩියෙන් රසය
    කල් ගතවෙන විටදී තව-තව රහ වේය
    යකඩ ගොඩවලත් හදවත ගැහෙනවය
    මේවා ලියන එක හෙටටත් වටිනවය

    නිම කෙරුමට කලින් ජීවන ගමනෙ ඉම
    සටහන් කොට මෙලෙස සුරැකිව තිබ්බාම
    කියවයි කෙනෙක් ඉපදිලවත් නැති තවම
    'අමර'වෙන්න මෙව්වා නෙව කෙටිම ක්‍රම!

    ReplyDelete
    Replies
    1. ආ නිදී මහත්තයා. මම අර මුල ඉන්න මහේශ් මල්ලීට කිව්වා වාගේ මේ ටික ලිය වෙන කොට මගේ ජීවිතයේ එක් පැත්තක්ම විවර වෙනවා. ස්තූතියි!

      Delete
  6. බොහෝ අය තමන්ගේ ගෑණිටත්වඩා ආදරේ කරන්නේ අපි කාර් වෑන් කියනා යකඩගොඩටයි. එහෙම වෙන්නත් හදපු රටේ මිලට වඩා අපේ රටේ මිල හත් අට ගුණයකින් වැඩිවිමත් බලපාලා ඇති. ඔබට සේම අනුන්ගෙන් වාහන ඉල්ලලා හොද පරිප්පු කාලා තියෙනවා. මුන අටපටටම් විම, නොයන හදිස්සි ගමනක් හා හෙට මැරෙන්න තියෙන මළගෙයක් ඇතුලු අන්තිමේදි සහෝදරකම් යාලුකම් නැතිවිම්ද බොහෝ දේ ලිස්ට් එකේ තියෙනවා. එත් මම මාගේ වාහණය ඉල්ලු යාලුවන්ට හා ලගම ඥතින්ටද දී ඇත. එහෙත් ආපසු ලැබෙන්නේ හොදටම දුවලා අන්තිම බින්දුවට පැට්‍රල් ටික ඉවරල කරලා විතරක් නොවේ හොදලාවත් දෙන්නේ නැතිවයි. ඒ විතරක් නොවේ බෝනස් එකක් විදිහට කොහෙන් හෝ වද්දලා සුරලා ඩැමේජ් එකක් ලැබෙනවා. "තැන්කිවි මචං වාහනේ ගෙනල්ලා දුන්නාට" කියලා යතුරත් බාරගන්නවා.
    මෙව්වා මෙහෙම කතා කරන්න බෑ ලෙක්කා සොදුරු සැදෑවක දෙඩමලු වෙමු.

    ReplyDelete
    Replies
    1. අනිවා රවුම් මේසයක් වටේ වාඩි වෙමු. මම ලඟදි ඔය පැත්තේ තැනක එහෙම වාඩි උනා! ටෙම්ප්ලර්ස් පාරෙන් ගාළුපාරට දාලා රත්මලාන පැත්තට මීටර 100 ක් විතර යන කොට දකුණු පැත්තේ (මූද පැත්තේ) පහලට බැහැල වංගුවක් එහෙම කෙලින් කරණ් ගියාම වම් පැත්තේ? දන්නවා නේද?

      Delete
    2. අපොයි මොකද මං නොදන්නේ එතැන නිල්දිය තමයි නේද

      Delete
    3. හරියටම හරි! හහ්! හහ්!! හා!

      Delete
  7. අය්යෝ අය්යා ඔයා ලියපු දේ ගැන කියන්න වචන නෑ..🔥

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලි? මොකක්ද සීන්ස් එක?

      Delete
  8. පට්ටම මතක.
    අයියා ඔය මිල ගනන් කියන වකවානු වල ඩොලර් රේට් එක එහෙම දාන්න බෑද/

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි අපි 50,000 ට මිනි පැදපු එවුං බං. වැරැද්ද තියෙන්නේ මේ අතීත කථා ලියන්න ගියාම වයස නෝන්ඩි වෙලා උඹලා අංකල් ගායිද දන්නේ නෑ.

      Delete
  9. ලොකු සර්, මොරිස් මිනි 850කින් තමා (මුලින්ම) ඩ්‍රයිවින් ලයිසොම ගත්තේ. ඔරිමජිනල් Mark I, එක ගියර් සහ රිවස් ක්‍රෑෂ්, ජනෙල් වීදුරු ලංගම බස් එකේ වගේ තල්ලු මෙතඩ්.
    පහු කාලේ අයියගේ ලේලන්ඩ් ක්ලබ්මන් එක අයිති කරගෙනම හිටිය. අන්න සර් බඩු!

    මේ ඉස්ටෝරියේ වැදගත්ම දේ තමා උඩම පින්තූරේ ඉන්න ගේල්ස්ල දෙන්නගේ හැපී ෆේස් එක. අන්න එව්වතමා සර් හොඳටම වටින්නේ. බොරුද මං කියන්නේ.

    අම්මප ඒකටත් එක්ක අර ගෝලයෝ දෙන්නනං ...එක්කෝ මොකුත් නොලියම ඉන්නං. මේ කොරෝන කාලේ සරීර සවුක්කිය කියන දේ හොඳින් තියාගන්ඩ ඕනේ, ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙන්ඩ බෑ .

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර් මල්ලී, ඔව් හරියටම හරි 850 එකේ දොරත් කොටයි. ඒවාට 1000 දොරවල් දාන්න ගියාම දොර කනුව කපලා පස්සට ගන්නවා. අනික 1000 එකේ ගියර් ලිවර් එක තියෙන්නේ සීට් දෙක ලඟම. ඒත් 850 තියෙන්නේ ආං අරෙහෙ.
      ලේලන්ඩ් ක්ලබ්මන් එකත් සුපිරිම වාහනයක්.
      ගර්ල්ස්ලා කොහොමත් අපි ලඟ ඉන්නේ හිනාවෙලා සතුටින් තමයි මල්ලී.

      Delete
  10. පට්ට මෙමරීස් නෙ තට්ට මහත්තයො මෙව්ව.

    අර සෑම් මහත්තය කියල තියෙනව වගේ තමංගෙ වාහනයක් තවදාවත් අයිතිකාරයව අමාරුවෙ දැන්නෙ නෑ. මොන මාර්ගෙකින් හරි වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙනව. අන්න ඒ හින්ද අද වෙනකල් මමනං වෙන කාගෙවත් වාහනයක් ඉල්ලගෙන ගමනක් ගිහිල්ල නෑ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනෙ එකසිය ගානට! කල් ගියාට පිළිතුරු ලියන්නට. සත්තකින්ම වැඩ තිබුනා අම්බානක! ඇත්තටම වාහනයක් කියන්නේ හුදෙක් යකඩ ගොඩක්ම නොවේ. එය පවුලේ සාමාජිකයෙකු වෙනවා නිතැතින්ම. එසේ ආදරයෙන් රැකබලා ගන්නා කෙනා අනිවා අපිවත් බලාගන්නවා සිකුරුයි!

      Delete
  11. Looks like I miss this one, did not see in Maatha ge sindiye.

    Well, most of us are in the same boat mostly friends are better than relatives. Most people are emotionally attached to vehicles and reactant to give it to others, amy be your BIL was one of them.

    My brother had a CB125T, I use to ride it when i get a chance, had no idea about fuel consumption but fantastic sound though. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. විජේභාහු මහත්තයා. ඇත්තටම ඔව්. මා ඥාතීන් ලෙස සළකන්නේ හිතවත් මිතුරන්වය. හිතවත් ඥාතීන් වුවහොත් ඔවුන් මිතුරු කුළකයට දමා ඇසුරු කරණ්නෙමි.

      ඔය ඔබත් මමත් කථා කරන යතුරු පැදිය ඉතාමත් හොඳ නිර්මානයක්. එහි ඇති එකම් අඩු පාඩුව වන්නේ සල්ලි කමින් තෙල් බීමය!

      Delete
  12. මටත් අතීතයේ අනුන්ගේ වාහන වෙනුවෙන් කට්ට කා රෑ නිදි මරා තල්ලු කර හද හදා දුන් සපෝර්ට් ඕනෑ තරම් ඇත.
    එසේම අත්‍යවශ්‍යම අවස්ථාවේ එවන් වාහන නිකම් තිබෙනා විට වාහන සොයා ගිය දුක්බර අතීතයක් ඇත.
    එවන් පාඩම් නිසා අදටත් කිසිවකුගේ වාහනයක් නොඉල්ලමි. නොපදවමි.
    එසේම වාගේ වාහනයද කිසිවෙකුට නොදෙමි. මෙය වර්තමාන ප්‍රතිපත්තිය වීඇත.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා හිතන්නේ මගේ හිතෙන්ද? මගෙත් ප්‍රථිපත්ති එලෙසමය! බොහොමත්ම ස්තූතියි ගොඩ වැදුනාට!

      Delete
  13. මම වාහනයක් මුලින්ම ගත්තේ 2010. නිසාන් පල්සර් එකක්. 300-9212. ඒකත් රංජන් රාමනායක රෝස වසන්තේද මොකක්ද ෆිල්ම් එකක පපු කාරෙක. කොහොම හරි කාරෙක බලන්න ආසාවට මන් පස්සේ ඒ ෆිල්ම් එකත් බැලුවා..

    විකුණන දවසෙත් ඒ කතාව කියුව මාත් :))))

    අනූ ගණන්වල මැද කියන්නේ 'ලාන්සර් බොක්ස්' තමයි 'වාහනේ' ඒ කාලේ. <3

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය වගේ සීන්ස් වලට සෙට් වුනු වාහන වල පොඩි සෙරමෝනිල් වටිනාකමක් තියෙනවා. අර"රත්නපුර ගුරුගේ මැණික්ගේ බෑනාගේ කාර් එක!" වගේ. ඇත්තටම ලාන්සර් බොක්ස් එක ඒකාලේ නෙවෙයි අදට ගත්තත් හොඳ කාර් එකක්. ඒත් ඉතිං අපිට ඒ කාලෙ ඒවා ගන්න තියා හිතන්නවත් ඉඩක් තිබුනේ නැඇ. අද වෙන කොටනම් ඉතින් 4WD ම තමයි.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...