ලොකු අම්මලා හිටියේ බෙන්තොට - දෙද්දූව කියන ගමේ. ලොකු අම්මාගේ නම ලව්ලි සෙනෙවිරත්න. මගේ අම්මලාගේ වාසගම උනේ සෙනෙවිරත්න.
ලොකුඅම්මා බැඳලා උන්නේ සිඩ්නි චාල්ස් ඩයස් බණ්ඩාරනායකව. ඒ කාලේ ඒ ගෙදරට කිව්වේ පුස්සැල්බොක්ක වලව්ව යනුවෙන්. ඒ ගෙදර නිමවා තිබුනේ ඉදිරි පස ලොකු කුළුණු දාලා පඩි නැගගෙන යන්න. ඉස්සරහම වාහනයක් නවත්වන්න පුළුවන් පල දෙකට නිමවා තිබුනු කාර් පෝච් එකක්. මුළු ගෙදරම තිබුනේ සිංහල උළු. ගේ නිමවා තිබුනේ කබොක් වලින්. මුළු ඉඩම අක්කර 5 කට කිට්ටු වෙන්න තිබුනා. පොල් ඉඩමක් වූ එහි තැනින් තැන කබොක් කැපූ වලවල්!
දෙද්දූව හන්දියෙන් හැරිලා ඇතුලට යන්නයි තිබුනේ. ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්‍රි බාවා මිලදී ගෙන තිබුනේ සිඩ්නි අංකල්ගේ ඉඩමක්. එයාගේ ප්‍රසිද්ධ ලුනු ගඟ ව්‍යාපෘථිය පිහිටුවා ඇත්තේ ඒ ඉඩම් වල. අදටත් ජෙෆ්‍රි බාවා ගේ ලුනු ගඟ ඉඩමට යන්න අන්තිමට හැරෙන්න තියෙන තැනින් දකුණට නොහැරී කෙලින්ම ගියෝතින් මම මේ කියන නිවස තිබුනු තැන බලන්නට පුළුවන්.
ඒ කෙලින්ම යන කොට ජෙෆ්‍රි බාවාගේ නිවසේ කොටස් දෙකක් යාකල පාලමක් හමුවේ. ඊට යටින් ගමන් ගන්නා මාර්ගය අවසන් වෙන්නේ මම මේ කියන කථාවට පාදක වන නිවෙසිනි.
ඒ ගෙදර තිබුනා එකම වර්ගයේ පොත් මිටියක්. ඒ Genealogy of Dias Bandaranaike කියන පොත් පිංච. ඒ පොතේ අනුර බණ්ඩාරනායකගේ නම තිබුනේ නෑ. මම හිතන්නේ ඒ පොත පල කරණ කාලේ අනුර ඉපදිලා නොහිටින්න ඇති. ඒත් සිඩ්නි අංකල්ගේ නම තිබුනි.
සිඩ්නි අංකල් ඉස්කෝලේ ගිහිං තිබුනේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට. එයා ඒ කාලේ වතු අධිකාරී වරයෙක්ලු. එයා අන්තිමට වැඩ කරලා තියෙන්නේ මීරිගම පැත්තේ වත්තක කියලයි මම අහලා තියෙන්නේ. මම දන්න කාලෙත් එයා බොහොම වයසැති; කුඩා ලමයින්ට වාගේම එයාගේ අසල් වැසියන් සහ ගෙදර සේවය කල අයට ඉතා කරුණාවන්තව සහ කුළුපගව ගතකල කෙනෙක්.
ඒයාගේ කටේ හැම මොහොතකම නැවුනු පයිප්පයක් තිබුනා. ඒ නිසාදෝ මන්දා එයා ලඟින් දුම්කොල ගඳක් හැම තිස්සේම. මුල් කාලේ මොන විදියේ දුම්කොල භාවිතා කලත් ඒ කාලේදී එයා සිහින් වෙන්න කපාගත් දුම්කොල වගයක් තමයි භාවිතා කලේ. එයාට රැලේ බයිසිකලයක් තිබුනා. සමහර දවසට සයිකලය පැදගෙන අළුත්ගමට ගිහින් ආවා. ඒ පදින කොට කලිසම උඩට කොට හිරවෙන්නට Cycling Trouser Clips දෙකක් භාවිතා කලා.
මා දකින විටත් ඔහු වයස අවුරුදු 60ක පමණ අයෙක්. අඩි 6 කට වඩා උස් උස නිසාම තරමක් ඉදිරියට නැවුණු කෙසඟ සිරුර වුවත්වවත් එයා හරිම ශක්තිමත් කෙනෙක්!
ඒ ගෙදර අරුමෝසම් හා අරුම පුදුම බඩු භාන්ඩ පිරිලා.
ගෙට ඇතුළු වෙන තැනම පුරවපු ගෝනෙකුගේ හිසක් බිත්තියේ සවිකොට තිබුනු අතර පලකයේ; යටි කෙළවරේ; එහි හැඩයට සවිකොට තිබුනු පිත්තල පටියක එකදාස් නමසිය හතලිස් පනස් ගනන්වල දිනයක් හා Nilavely Trincomalee යනුවෙන් යටට ගිල්වා කළු පැහැති තීන්ත පුරවා ලියා තිබුනි.
ගේ පසු පස මොණරුන්ට ආහාර දුන් සිමෙන්ති බේසමක්!
එයා දෙවෙනි මහා ලොක යුද්ධය කාලේ හමුදාවේ ඉහල නිළයක් දරා තිබෙනවා. සමහර විට ස්වෙච්ඡා හමුදා කණ්ඩයක වෙන්නත් ඇති. එයා යුධ හමුදාවේදී පරිහරණය කල බොහෝ දේ බහාලු ලී පෙට්ටියක්; ගෙදර කෑම කන කොටසේ තිබුනා. මගේ මතකයේ විදියට ඒක අඩි දෙකක් විතර උස අඩි තුන හමාරක් විතර දිග අඩි දෙකක් විතර පලල එකක්. ඒ පෙට්ටිය නිමවා තිබුනේ වෙනත් රටක.
සම්පත් දූපත පොත ආරම්බයේදී විස්තර කෙරෙන; නාවිකයාගේ පෙට්ටගම පිළිබඳ කියැවෙන විට මාහට සිතෙහි ඇතිවූ චිත්ත රූපය එම පෙට්ටියයි. සම්පත් දූපත නවකථාව; මීට වසර ගනනාවකට පෙර; ලේක් හවුස් "සතුට" පත්තරයේ ගුණපාල හේමචන්ද්‍රගේ චිත්‍රවලින් යුතුව චිත්‍ර කථාවක් සේ එළි දැක්විනි. එහි ඇඳ තිබුනු පෙට්ටගමට එය හැඩයෙන් ගැලපීම මෙයට සෘජු හේතුව වන්නට ඉඩ ඇත.
එය විවෘථ කිරීමට කිසියම් සරළ උපක්‍රමයක් සකසා තිබුනා. ඒ තුල සමින් සකස් කල අත් වැසුම්, පිත්තල ප්‍රිස්ම දෙනෙතියක් හෙවත් බයිනෝවක්, බොක්ස් කැමරාවක් වගේ අමුතු අමුතු අංගෝපාංග රාශියක් තිබුනා. මගේ හිත ගත්තේ ඒ තුල තිබුනු ගෝන අං මිටක් සහිත විශාල දඩයම් පිහියට. එයට ලෝහමය කවරයක්ද තිබුනා. එය ලොකු බරක් සහිතව ඝනකම්ව සකසා තිබුනු එකක්. එහි තලය අඩියක පමණ දිගකින් යුතු උනා. මිට කෙළවර මිටෙහි තරමටම ඉලිප්සාකාර ලෝහ තහඩුවක් තිබුනා. මා සිතන්නේ තලය මිට හා පසුපස තහඩුව එක් කොටසක් ලෙස සකසා ගෝන අං පලු දෙකක් එහි දෙපසට සවිකොට තිබෙන්නට ඇති.
අල්මාරියක් තිබුනා යතුර කරකවන විට සීනුවක් නාද වන! ඇත් දලින් නිමැවූ බීරළු (බීරළු රේන්ද ගෙතී මට ගන්නා) 32ක් තිබුනා! මා ජීවිතයේ පලමුවෙන්ම චෙස් පුවරුවක් දැක්කේ එහේදී. එම චෙස් පුවරුව තිබුනේ කනප්පුවක් ලෙසට! එම කනප්පුව මත චෙස් පුවරුවේ කොටු ඇඳ තිබුනු අතර එයට යටින් පිහිටා තිබුනු කුඩා ලාච්චු වල ඉත්තන් දමා තිබුනා. සුදු ඉත්තන් නිමවා තිබුනේ ඇත් දලින්. කලු ඉත්තන් තරමක බරකින් යුතු වූවා. ඒවා නිමවා තීබුනේ කුමකින්දැයි මාගේ මතකයට නො ඒ!
යතුර අස්ථාන ගතවූ ලොකු යකඩ සේප්පුවක් ජොන්සන් පිඟන් රවුම් මේස ඔය වගේ නානාප්‍රකාර බඩු පිරිලා.
මුළු ඉඩම පුරාවට පොල් ගස් පිරුණු අතර එය සමතලාව විහිදී තිබුනි. තැනින් තැන බෝවිටියා, දම් හා ගොඩපර ගස්. ඉඩමේ කෙළවරට ගිය විට පහලින් නිසොල්මන්ව පිහිටා තිබුනු බෙන්තොට ගඟ දක්නට ලැබුනි. සමහර දිනවල එහි මාළු ඇල්ලීමේ යෙදුනු කුඩා ඔරුවක් හෝ දෙකක් ඈතින් දිස් විය. පැහැදිලි රාත්‍රීන්වලදී මුහුදේ හෝ හෝව ඉඩමේ පහල කෙළවරදී සවන් දිය හැකිවිය. ඈතින් මුහුදු බඩ දුම්රියේ හඬද හොඳින් සවන් යොමු කිරීමෙන් ඇසිය හැක. ඉඩමේ කෙළව්වර සීග්‍ර බෑවුමකි. බෑවුමේ පහළ කුඩා කුඹුරු ලියදි කිහිපයකි. ඒ අසල කුඩා ලිඳක් විය. නිවසේ ජල ප්‍රශ්ණය එකල විසඳුනේ එමගිනි.
බෑවුමේ පසෙක මිණිරන් හෑරීමට සකස් කල ලිඳක් තිබුනි. එයි විෂ්කම්භය අඩි 8 ක් පමණ වන්නට ඇටි. එය වටා කිසිදු ආරක්ෂක උපක්‍රමයක් නොවීය. අප එය අසලට ගොස් ලොකු ගලක් ගෙන එය තුලට දැමූ විට සැළකිය යුතු; අදහා නොගත හැකි කාලයක් ගතවී හඬ නින්නාද විය!
නිවස වටා වෙනත් කිසිදු නිවෙසක් පෙනෙන්නට නොටිබුනි. නිවසේ ඉදිරිපස කුඩා වන රොදක්ය. ප්‍රධාන නිවසට එපිටින් තවත් ගරා වැටුනු එවන්ම නිවසක් විය. එය සිඩ්නි අංකල්ගේ නැගනිය වූ අයොනි ආන්ටීට අයත් වූ එකකි.
සිඩ්නි අංකල්ගේ පවුලේ සමාජිකයින් තිදෙනෙකි. අනෙක් සාමාජිකාවන් දෙදෙනා අයොනි ආන්ටී සහ නීඩ්‍රා ආන්ටි විය. අයොනි සාමකාමී අයෙක් වූ අතර නීඩ්‍රා ඊට ඉඳුරාම වෙනස්වූ චරිතයකි. නීඩ්‍රාගේ 16 වෙනි උපන්දිනයට ඔවුන්ගෙ පියා තෑගි කොට ඇත්තේ බෝර 16 ඩබල් බැරල් තුවක්කුවක් ය. ඇය වෙඩි තැබීමේ ශූරියකි. පෙර කී ගෝන හිස ඇය විසින් දඩයම් කරණා ලද එකක්යැයි අඳුරු මතකයක් මාහට ඇත. නීඩ්‍රා තනිව බෙන්තොට ගඟේ ඔරු පැද්දේලු. ඒ ස්වකීය ඩබල් බැරලයද අසල තබා ගෙනය. ඇය වරෙක කිඹුලෙකු වෙඩි තබා මරා දැමූ හෝඅ බිලී කොක්කක් යොදා ඇල්ලූ පුවතක් මා අ වෙතින්ම අසා ඇත. වයස් ගතව මිය ගිය ඇයගේ යහන අසල වූ කුඩා කනප්පුව මත ඇය විසින් මරා දැමුනු අඳුන් දිවියෙකු පුරවා සකස් කොට තබා තිබුනි!
සිඩ්නි අංකල්ට අයත් දූපතක් බෙන්තොට ගඟ මැද ඒ අර සීග්‍ර බෑවුමෙන් එපිට! එය මැද විශාල නිවසක නටබුන් තිබුනා. එම නිවසේ පොලවේ යට පවා කාමරයක් හෝ කිහිපයක් තිබුනාලු! ඒවා හැඳිවූවේ රහස් කාමර ලෙසින්.
දූවත් ප්‍රධාන ඉඩමත් අතර ගඟ හැල එකතුවී තරමක් ගොඩවී තිබුනා. හැල යනු පාසි ජලජ පැලෑටි හා වෙනත් දෙයින් සැදුම් ලත් වතුර සහිත මාධ්‍යයක්. ඒ මත දමා තිබුනු ශාක කඳන් මත අප දූවට ගියා ආවා. ඒ දූව වටේට සර්පිලා කාර මාර්ගයක් තුබුනා. ඒවා සියල්ල ලඳු කැලෑවෙන් යටවෙලා තිබුනේ. මගේ මනසේ අදටත් මැවී ඇති "මඩොල් දුව" එයයි! බොහෝ කේතුධර ගස් එහි තැනින් තැන තිබුනා.
සිඩ්නි අංකල්ගේ තාත්තා ගමන් කොට ඇත්තේ අශ්වයා මත හා අශ්ව කරත්තයේ ලු. ඒ නිවසේ පිටු පස වූ ගබඩා කාමරයක අශ්ව කරත්තයට සවි කොට තිබුනු සීනුවේ කොටස් මා දැක තිබුනා.
එය නිමවා තිබුනේ පයින් පෑගූ විට සීනුව නාදවන්නට කියා මා අසා තිබුනා. සිඩ්නි අංකල් ඇදහූවේ ඉංග්‍රීසි සභාව හෙවත් ඇංග්ලිකන්! මේ නිසාම මේ අය කිතුනුවන්. ලොකු අම්මා පංසලටත් පල්ලියටත් දෙකටම යන්නට ඇති. ඒ උනත් ගෙදර අනෙක් අයගෙන් සිඩ්නි අංකල්ගේ පුත්‍රයා වූ රෙජිනල්ඩ්ද පියා අනුව යමින් ඇංග්ලිකන් වූ අතර දියණිය ලිටිෂියා රෝමානු කතෝලික වූවා!
ජීවිතේ ආපසු හැරී බලන කොට අපේ ලොකු අම්මලාගේ ගෙදර සමග ගැට ගැහුනු මතක අමතක කරණ්නම බෑ!
මම මේ වගන්තිය නැවතත් ලිව්වේ වැරදීමකින් හෝ අතපසුවීමකින් නම් නොවෙයි. එය දෙතුන් වතාවක් කීවත් නොසෑහෙන බැවින්. අපේ බාල පරම් පරාවේ වැඩිමහල්ලා අපේ අයියා. එයාට අවුරුදු දෙකක් පහලින් අපේ අක්කා. එයාට දෙකක් පහලින් ලොකු අම්මාගේ පුතා . ඊළඟට ඒවාගේම පරතරයකින් එහේ අක්කා. ඊළඟට තවත් අවුරුදු දෙකකින් මම. අපේ බොහෝ නත්තල් නිවාඩු ගත් කෙරුණේ ලොකු අම්මලාගේ ගෙදර.
හැමදා අපේ නත්තල් නිවාඩුව ගෙවුනේ දෙද්දූව! අපි කුඩා අවදියේදී අම්මාත් තාත්තාත් සමගනත්තල කිට්ටුව දෙදදුවට සේන්දු වීම සාමාන්‍ය දෙයක් . ඒ කාලේ තත්තාගේ දෙවෙනි පංතියේ; රජයේ සේවක දුම්රිය බලපත්‍රයෙන් අළුත්ගම දක්වා යන අප එතැන් සිට; දෙද්දූව / හබුරුගල හරහා ඇල්පිටිය බසයක් නැගී එහි ගියෙමු. අපගේ ඇඳුම් සියල්ලම පාහේ ඇසුරූ කොල පැහැති කොටු සහිත "ෆොර්ඩ්" සූට් කේසය අතින් ගන්නේ තාත්තාය.
අලුත්ගම එකල පැවති පොදු වෙළඳපොල හෙවත් "මාකැට්ටුව" සෙනග පිරුණු ස්ථානයකි. එය තුලට ගමන් ගන්නා තැනම පොල් කොල වලි සැකසූ මලු විකිණීමට තිබුනි. එම මල්ල සකසා තිබුනේ; වියන ලද පොල් අත්තක් රවුම් කරගැට ගසා අනතුරුව ඉතිරි පොල් කොල අග්ගිසි සියල්ල එකට කොට එයින්ම ගැටයක් ගසාය! යෝධ හැඹිළියක් සේ සැකසුනු එහි පොල් නාරටියෙන් එල්ලාගෙන එළවලු අදිය ගෙන යා හැක. මස් මාළු ඔතා දෙන්නේ හබරල කොලේය. හබරල කොලේ එතූ ඒවා බොහෝ විට පත්තර පිටුවක හෝ සිමෙන්ති කවර බෑගයක දමා දෙන්නේය!
මාකැට්ටුවේ ඉදිරිපස කරවැල් වල එල්ලූ කුඩා මසුන්ද ඇතුලත මාලු කඩ මස් කඩ එළවළු කඩ ආදියෙන් පිරී පැවතුනි. අම්මා සහ තාත්තා මාකැට්ටුවේ ගතකරණ කාලය මාහට ඉවසුම් නැති කාලයකි. මන්ද මා සිටින්නේ හැකි ඉක්මණින් ලොකු අම්මාගේ නිවසට යන සිහියෙන්ය! සියල්ල එකතු කරගත් පසු ඇල්පිටිය බසයක් නැගී දෙද්දූව හන්දියෙන් බසින්නෙමු. එකල එම මාර්ගයේ දිවුනේ අලුත්ගම ඩිපෝවෙන් දිවුනු බ්‍රිටිෂ් ලේලන්ඩ් බස් රථය. ක්‍රෑෂ් ගියර් පෙට්ටියක් සහිත එම රථගියර් මාරු කලේ දෙවරක් ක්ලච් පාදිකය පාගා ටයිමිං වලටය.
බොහෝ විට අප අලුත්ගමින් බසින්නේ රෑ බෝ වෙන්නට ඉතා ආසන්නයේදීය. එකල බස් වල ප්‍රධාන පහන් මෙන්ම ඇතුලත තිබූ පහන්ද ගෙන ආවේ මන්ද ආලෝකයකි. ඒවා තරමක් හෝ දීප්තිමත් වන්නේ එන්ජිම සැර දමද්දී පමණි. කොන්දොස්තරලා සල්ලි ගනුදෙනු කරණ්නේ වහලයේ ඇති විදුලි බල්බයකට අත ලං කොට ගෙනය. බසයේ බෝඩ් එක හෙවත් නාම පුවරුව කුඩා දිගටි එකකි. එහි වූයේ දෙපැත්තට එතූ රෙදි රෝලක මුද්‍රණය කල ග්‍රාම හා නගර නාමයන් ය! එය උඩටත් පහලටත් එතීමට රියැදුරුගේ හිසට ඉහලින් මැදට වන්නට කුඩා හැඬල දෙකකි! මේ අරුමෝසම් බලමින් මා යන්නේ සිත පුරවා ගත් සතුටකිනි.
ඉලස්ටෝ ආයතනය පසුකොට බසය දෙද්දූව හන්දිය ආසන්න වන විට පාර දිවෙන්නේ දෙපසම පැතිරී ගිය විලක් වන් බෙන්තොට ගඟ හරහාය. එය මාහට මහත්වූ සතුටක් ගෙන දෙන දර්ශණයක් විය. ඒ ඊළඟට ඇති ආසන්න නැවතුමකදී අප බසයෙන් බසිනා බැවිනි.
බසයෙන් බැස්ස පසු තාත්තා තමන්ගේ විදුළි පන්දම කොහේ හෝ තිබී අතට ගනී. එවරෙඩි ලොකු මූණ ටෝර්ච් එකෙන් තරමක එළියක් විහිදේ. තාත්තා එය එක එල්ලේ එල්ල කරගෙන ගමන් කලේ නැත. එය අත පැද්දෙන රටාවටම ඉදිරියටත් පසු පසටත් වැනේ! තාත්තා එක අතක සූට් කේසය රැගෙන අනෙක් පසට නැවී ඉදිරියෙන් ගමන් ගත්තේය. ඊළඟට මමත් අක්කාත් අයියාත් හෝ පැමිණි කිසිවෙකු හෝ ගමන් කලේය. අම්මා පැමිණියේ අන්තිමටය. එළවළු අඩුවැඩිය සහිත පොල්කොල මල්ල ඇය එල්ලාගෙනය!
දෙද්දූව හන්දියේ සිට දිගටම පැවතියේ ගුරු පාරකි. මාර්ගය ආසන්යේම නොම්මර එකේ කන්දකි. වම් පසින් බෝ ගසක් සහ බාගෙට පංසලක් හෝ බුදු මැදුරක් විය. එය පසු කල විට වම් පසින් දෙද්දූව කණිටු පාසැලද දකුණු පසින් බේකරියක් හා සිල්ලර කඩයක් විය.
එකල ගෙදරකට යාමේදී පාන් ගෙඩියක් හෝ දෙකක් ගෙනයාම සිරිතක්ව පැවතුනි! විශේෂයෙන් අපේ තාත්තා ඕනෑම ගෙදරකට යන විට පාන් ගෙඩියක් රැගෙන යෑම සිරිතක්ව පැවතුනි.
බේකරි කඩෙන් පාන් ගෙඩියක් හෝ දෙකක් මිළදී ගන්නා අප නැවත ගමනේ යෙදේ..
තාත්තාගේ විදුළි පන්දම නොමැති වූ විට මේ කඩෙන් ඉටි පන්දමක් මිළදී ගන්නා අතර පොල් කට්ටක් නොමිලේම ලැබේ. එකල එයද ඉතා සාමාන්‍ය දෙයකි. දැව ප්‍රවාහණය කරණා ලොරි වල පසු පස රතු කොඩියක් වෙනුවට පින්න මල් දෙකක්ද, වැස්සට කෙහෙල් කොලයක් හෝ හබරල කොලයක් රැගෙන යන කාලයකි එය.
ඉටි පන්දමට පසු පසින් පොල් කටුව තබාගෙන සුළං මුවා කරගෙන එය තනි අතින් නොනිමෙන්නට ගෙන යන හැටි තාත්තා දනී. මේ එළියෙන් අප හැතැම්මකට ආසන්න දුර ගුරු පාරේ ගමන් කොට ජෙෆ්‍රි බාවාගේ නිවෙසට හැරෙන ගේට්ටුව පසු කරමින් ගමන් කරයි. ඒ අසන්නයේ පාර තරමක් හේදී ගොස් තිබීම මා දන්නා කාලය වන තෙක්ම පැවතුනි. එතැන් සිට ගමන් ගන්නේ දැඩි කරුවලකින් යුතු පරිසර පද්ධතියක් තුලිණි. පට්ට දාවලේ වුවද මෙම මණ්ඩිය දැඩි අඳුරු පෙදෙසකි. ඒ පාර උඩින් ගම්න් කොට ඇති රුක් වියන කරණ කොට ගෙනය.
එතැන් සිට මීටර 25ක් පමණ යද්දී පුස්සැල් බොක්කේ කළාමැදිරි එළි පෙනෙන්නට ගනී. බොහෝ දිනවල; නිවසේ; කෑම කන කොටස ආලෝකමත් කලේ පැට්‍රොමැක්ස් ලාම්පුවකිනි. අනෙක් සියළු තැනම වූයේ නොයෙක් කොටස චිමිණි ලාම්පුය. කුස්සියේ පමනක් කුප්පි ලාම්පුවක් දෙකක් තිබුනි.
අප එහි ගිය සැනින් "මෙන්න හැරියටුයි විල්ෆර්ඩුයි ආවා!" ලොකු අම්මා මහ හයියෙන් සිඩ්නි අංකල්ට දන්වයි. එතැන් පටන් ඔවුන්ගේ කථා බහය! අම්මාගේ; කසාද නොබැඳ සිටි අක්කා හේවත් ග්‍රේස් ලොකු අම්මාද මේ සියල්ලට එකතු වේ. ඇය පාසැල් ගුරුවරියකි. ග්‍රේස් මැටල්ඩා සෙනෙවිරත්න - ඇය මිය යන විට විශ්‍රාමලත් විදුහල්පතිනියක් විය.
ගමන පුරා විඳි ගැහැට, ඒවාට මුහුණ දුන් ආකාරය, දුම්රියේ ආසන අල්ලා ගත් හැටි මේ සියල්ල තාත්තාත් අම්මාත් තොරතොංචියක් නැතිව ලොකු අම්මලාට කියති. ඒ අය ඒවා ඉතා ආසාවෙන් අසා සිටිති.
මා කිට්ටු වන්නේ ලිටිෂියා අක්කාට හා රෙජිනල්ඩ් අයියාටය! එතැණ් පටන් ගෙදර මහත් වූ සැණකෙළියකි. අම්මා ගෙනා කළමණා ලොකු අම්මාට එකින් එක පිළිගන්වයි.
"මෙන්න හරක් මස් රාත්තල් දෙකකුත් ගෙනාවා විල්ෆ්‍රඩ්ට ඕනෑ කිව්වනේ අක්කගේ හරක් මස් එක කන්න!" `අම්මා ඒ ඒ අයිතමය ගෙන ඒමට හේතුවකුත් එක්ක මේසය මත තබයි.
"කවුරුත් කැමතියි මගේ මස් එකට! විල්ෆ්‍රඩ් කවදත් කැමතියි නේ!" ලොකු අම්මා උස් හඬින් කියන්නේ අපේ තාත්තාටත් ඇහෙන්නය.
"අක්කේ; අපි පාන් රාත්තල් දෙකකුත් ගෙනාවා! අල ගෙඩියක් දෙකක් දාලාම මස් හොද්දක් හදන්න!" තාත්තාද ඊට එකතු වන්නේ කථාවට පලිප්පු දමමිනි.
"ආ ඉස්ටුවක්!" හරි මං හදන්නං මට ඕවා සුළු වැඩ ලමයිනේ!" ලොකු අම්මා එසේ කියා කුස්ස්යියට වැදෙයි. බොහෝ විට එහි ඉන්නා සේවිකාව හා අපේ අම්මාද ඊට එකතුවේ. රාත්‍රී කෑම මේසයට; දෙපස අඬු සහිත; සුදු පැහැති කැසරෝල් බඳුනක් පුරා එන්නේ සුපිරි දුම් දමන හරක් මස් ඉස්ටුවකි!
මේ සියල්ල මෙසේ සිදුවන විට මමත් ලිට් අක්කාත් ඇයගේ කාමරයේ සිට කයිවාරුවේය. එයා අලුතින් එක් කරගත් දේ පෙන්වමින් ය. අලුත් කතා කියමින් ය. රෑ කෑමෙන් පසුව අප බොහෝ විට සමිතියක් පැවැත්තුවෙමු. අප සියල්ල වටේට ඉඳගෙන කවි කථා කිව්වෙමු.
සිංදු කිව්වෝය. අම්මාත් ලොකු අම්මලාත් සැමදාම ගැයුවේ "සුල් සල් වනේහි සල් - මායා පුතානා - ප්‍රේම රජානා" ගීතයය! අයියාත් රෙජිනල්ඩ් අයියාත් බොහෝ විට ඉඳගන්නේ සිඩ්නි අංකල්ගේ හමුදා පෙට්ටගම උඩය. බොහෝ විට රෙජිනල්ඩ් අයියා ඊට ගසමින් අපගේ ගීත වලට සංගීතය සැපයු වේය.
එදින කුඩා අප නිදා ගන්නේ කෑම කන තැන බිම එලා ගත් පැදුරු වලය. අප රෑ වෙන තුරු සිනහ වෙමින් සිටියි. පසුදින නත්තලය! නිවසේ කුඩා මුල්ලක ගවලෙනක් හෝ සරුව පිත්තල රැලින් මෝස්තර කල නත්තල් ගසකි.
නත්තල් කේක්, තැඹිළි වයින්, දුම් දමන කෑම සෙනෙහෙ බර නෑ සියන් සමග නත්තල සැමරීම පටන් ගැනේ. වැඩිහිටියන් අපව අමතක කොට දමාය! අප නිදහසේ ගේ තුලත්, විසල් පොල් වත්තේත් දූවේත් කරක් ගසති. බඩ ගිනි වූ විට යමින් එමින් කෑම් මේසය උඩ ඇති රස කැවිල්ලක් හෝ කෙසෙල් ගෙඩියක් අතුරුදහන් කරයි. දිනය පුරා ගේ පුරාත් වත්ත පිටිය පුරාත් පැතිරී ගිය ආශ්චර්‍යයන් බලමින් ගෙවති.
කාලය විසින් එම නත්තල ඊළඟ පරම්පරාවරට ගෙන ආ හැටි එන සතියේ කියන්නම්!
ඔබ සැමට සුභ නත්තලක් . . . . . . . !
දෙපාරක්ම සුබ පතලා නිසා ආයිත් කියෙව්වා. අතපසුවීමක් නෙමෙයි කියලම තියෙනවනේ.
ReplyDeleteහරි ලස්සන වර්ණනා විස්තරයක් මේක. ආසාවෙන්ම කියෙව්වා.
අර ඉට්පන්දම නිවෙන්න නැතිවෙන්න පොඩි කාලෙ අපිත් තරගෙට කරනවා..
එහෙම කියද්දි මතක් වුණේ.
//රාත්‍රී කෑම මේසයට එන්නේ සුපිරි දුම් දමන මස් ඉස්ටුවකි!//
ඒක කියද්දි මතක් වුනේ. දුමී අද ඒ වගේ දුම් දාන තායි චිකන් හදලා තියෙනවා කවියෙන්ම. ඒ පැත්තට ආවොත් රහ බලන්න පුලුවන්.
ජයවේවා අයියේ.
කියෙව්වා මලේ කියෙව්වා!
ReplyDeleteඅධිවේගයෙන් කියැවීමේදී පෙනී ගියේ, මෙය මඩොල්දූව මෙන් රසවත් ලිපියක් බවයි. මෙවැනි ලිපි එක හුස්මට නොව තලු මර-මරා සෙමින් කීප වරක් කියැවිය යුතුය. ස්තූතියි.👌🙏😊ආයෙ එඤ්ඤං
ReplyDeleteමස් ඉස්ටුවත් පෝස්ට් එක වගේම රහ ඇති නේද? සුභ නත්තලක්!
Deleteස්තූතියි බස්සා සුභ නත්තලක්!
Deleteකියවපු බාගේ හරිම රහයි, ඒ වුනත් ඉතුරු බාග කීපය කියවන්න ආපසු එන්න ඕනේ. රසවත් කතාවක් නෙවැ.
ReplyDeleteස්තූතියි ගල්මල්! සුභ නත්තලක්! තව කොටස් දෙකක් ලියවේවි දෙද්දූව ගැනම!
Deleteරහයි. ශුභ නත්තලක්.
ReplyDeleteස්තූතියි කපිල වස්තු! සුභ නත්තලක්! ඔව් ඒ පැරණි මතක අදටත් මතක් කරලා සතුටු විය හැකියි!!
Deleteකොතරම් මතක් කළත් මිහිරියට දැනෙන ළමා කාලයේ මතක සටහන්.
ReplyDeleteසත්තකින්ම හරිම සුන්දර කාලයක්!
Deleteපට්ට ක්‍රිස්මස් ඊව් එකක්නේ....
ReplyDeleteඉස්සර කාලේ ගෙවල් හදන කොට ඊට අවශ්‍ය කබොක් ගල් කපන්නේ අවටින්ම තමයි, සිඩ්නි අංකල්ගේ වත්ත ඉතා විශාල ප්‍රමානයේ එකක් හින්දා මේ වගේ කබොක් තැන් ඕනාතරම් වත්තෙන්ම හොයා ගන්න පුලුවන් වෙලා ඇති.
ඔය හබරල කොලේ මස් මාලු ඔතලා දෙන එක අපිපොඩි කාලේ වෙච්චි විදිහ තමා...මාලු ලෑල්ල අයයිනේ හබරල කොල තට්ටුව ලගින්ම තිබ්බා.
බෝට්ටුවේ තුවක්කුව කරේ තියං යන නීඩ්‍රා ආන්ටි ගැන කතාව මට මතක් උනේ මඩොල් දූවේ හැංගිලා හිටිය යකාට කෑම අරං අමාවක දවස් වල තනියෙන් ඔරුව හබල් ගාන සිද්දිය.
තට්ට අයියට පුදුම මතකයක්නේ තියෙන්නේ...මෙච්චර ලස්සනට වචනයෙන් වචනය ගලපලා බෙන්තොට දේදූව නත්තල අපට පාර කරලා පෙන්වන්න....Mayya
ඔව් මයියා! මැරෙන තෙක් අමතක නොවන මතක! බොහොමත්ම ස්තූතියි ඔබේ මතක මගින් මගේ පෝස්ටුව තවත් රසවත් කලාට!
Deleteඅතීත මතක අවුස්සන ඒ සුවඳ රස දැනෙන පෝස්ටුවක්...ගාල්ලෙ අපේ සීයාගේ ගෙදර ගැනත් මේ හා,සමාන මතක මටත් තියෙනවා.ඇත්තටම ඒවා දැන් අතීත මතකම විතරයි ඒ ගෙදර දැන් ගරා වැටිල.ඉස්සර තිබුන අපි දැක්ක තේජස නෑ.
ReplyDeleteසොඳුරු, ඒ ගැනත් ලියන්න! ඒවා හරිම සුන්දර මතක; කියෙව්වත් රසවිඳින්නට හැකි!
Deleteගත්ත ෆන් එක හිතාගත්තෑකි.
ReplyDeleteඒ කාලෙ ෆෙස්ටිවල් නං අන්න ෆෙස්ටිවල්. නියම එලිෆන්ට් බ්‍රෑන්ඩ්!
අර පොල්අතු බෑක් එකට අපි කිව්වෙ පිරිවැස්ස කියලා. අපිට පුරුදු අම්බලන්ගොඩ, බලපිටියේ මාරකැට් වලත් ඕකම තමා තිබ්බෙ .කැරට් රාත්තලයි බෝංචි රත්තලයි, වට්ටක්ක කෑල්ලයි රට ලූනුයි ඔක්කොම එකටම දාන්නෙ, ගෙදර ගිහිං තමා තෝරලා වෙං කරලා තියන්නේ. තව ඉරටවල්ලෙක් අලගොඩුවෙක් හරි බලයෙක් හරිත් ඕකට එකතු වෙනව.
අලුත්ගම ඉස්සො වඩේ කාල තියෙනවද?
වඩේ එකේ ඉන්න ඉස්සව බලලා තියෙනවද?
ඉස්ස ඉන්නේ ඔලුවෙ අත්දෙක ගහගෙන, කළුවමෝදර ඇලෙන් අල්ලල ලයිව් තියන්නේ වඩේ එකේ
ඉස්සර අම්බලන්ගොඩ කොළඹ 23 ශ්‍රී 2275, ලේලන්ඩ් කොමට් බස් එක දිව්වා සිල්ව අංකල් කියල මරු පොරක්, ලෝක යුද්ද කාලේ මැදපෙරදිග සහ ඉතාලියෙ ට්‍රක් එලවපු කොල්ලෙක්. අලුත්ගම නවත්තුවම රා කට්ටක් දෙකක් දාල තමා නගින්නෙ. ඉන් පස්සෙ අරිනවා අරිල්ලක් මහත්වරුනි.
ස්ටෑන්ඩ් එක ළඟ තිබ්බ ලිච්චවි කියල මරු පිචෑර් හෝල් එකක්, වහින දවසට කියලා වැඩක් නෑ මරේ මරු.
ජයවේවා!
Myself Hattor
මම අම්බලන්ගොඩ "සෑන"ත් එක්ක ඉස්සො ගැන කතා කරන්න ගිහිල්ල, මෙහෙම අහ ගත්තා
Deleteඅනේ පලයං බස්සො යන්න, බොලා දන්න ඉස්සො.
කලිස්සා, එළිස්සා.......... කියල මූ කිව්වෙ නැතෑ ඉස්සො ජාති හය-හතක නම්.🤭
හැට්ටර්ට: මම එලෝ මෙලෝ නැතිව ඔඅය "පිරි වැස්ස" කියන නම මතක් කලා; මතක් උන්නැහැනේ!
Deleteඔව් දකුණ කියන්නෙම වෙනම බ්‍රෑන්ඩ් එකක්! ඒ පැත්තේ තියෙන පරිසරය, ගොඩ නැගිලි, කෑම බීම සියල්ලම ඒ "දකුණ" කියන මුද්‍රාව සමග පවතින්නේ!
"ඔහේගේ පිටෙත් ඒ සීල් එක තියෙනවා' මයෙ හිතේ!" හොං හොං හොං!
බස්සාට: අම්මට සිරි එහෙමත් එකක් තියේද?
Deleteඅපුරු කතාව, ඔහෙට බෙන්තර ගගෙන් එහා නෑදෑයෝ ත් ඉන්නවා එහෙනම්
ReplyDeleteමට බද්දේගම අත්අම්ම ගේ ගෙදර සහ එහේ ගතකළ නිවාඩු මතක් උනා (ගුඩ් ඕල්ඩ් ටයිම්ස්) අපේ පොඩි උන්ට මේ වගේ අත්දැකීම් නැති එක ගැන දුකක් අවා.
මම ව්ජෙබාහු
ඔව්නෙ විජේභාහු මහත්තයා! අපේ අම්මා කඹුරුපිටියෙ නොවැ!
Deleteඅපුරු නත්තලක් නේ ..
ReplyDeleteබෙන්තර ගඟෙන් එහා අවුරුදු ත් බොහොම ජයයි කියලා මම අහලා තියෙනවා. එයාලටම විශේෂ උන ආහාර පානත් තියෙනවානේ.
මට අපේ කියන කිසිම කෙනෙක් හිටියේ නෑ දකුණු පළාතේ මේ කිසිවක් රස විඳින්න.
සුභම සුභ නත්තලක් ඔයාටත්!
Deleteඔව් ඒ පැත්තේ හදන "ඇඹුල් තියල", "මිරිස් මාළු හොද්ද", "ජාඩි", "බිලිං අච්චාරුව" වගේ; එහාටම ආවේනික කෑම ටිකක් ටියෙනවා "දෙව්ලොව රස" මවන!
හුම් රස අතීත මතක 💖. අපූරැයි!
ReplyDeleteසුබ නත්තලක්...
සුභම සුභ නත්තලක් නමියා! මේ ලිපියේම තව දිගුවක් දෙකක් ලියැවේවි! ඒවා රසවත් දැයි කියලාම නම් මට කියන්නට බෑ! ඒත් ඒවා කොහේ හෝ ලියා තබන්නට ඕනෑ නිසාම ලියනවා!!
Deleteහරිම රස මතක එකතුවක්. ඔබ හරි හැඩට ඒ මතක චිත්‍රපට දර්ශන පෙලක් වගේ අපට චිත්‍රණය කරනවා. ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteසුභම සුභ නත්තලක්! ඇත්තටම මම දන්නේ නෑ ඔබ කියන තරම්ම එය රසවත් ලිවීමක්දැයි කියා! ඒත් ඒවා රසවත් මතක කියලානම් කැට තියලා කියන්නට පුළුවන්! තව කොටස් දෙකක් ලියන්න හිතා ඉන්නවා දෙද්දූව ගැනම!
Deleteහරිම ලස්සනයි!මොන තරම් ලස්සනද කිව්වොත් පස් හය සැරයක් උඩට පහලට කියෙව්ව.හරිම සුන්දර අතීත මතකයන්.පන පිහිටවල ලියල තිබුන විදිහට මමත් ඔයාගෙ දේද්දුව ලොකු අම්මලාගෙ ගෙදර සැරි සරන බවයි හැගුනෙ.
ReplyDeleteස්තූතියි සරත් මහත්තයා!
ReplyDeleteඇත්තෙන්ම ඒ මතක කිසිදා අමතක කල නොහැකි රස මතක!
මිහිරි මතකයන්. බෙදගත්තාට ස්තූතියි
ReplyDeleteස්තූතියි ඉයන්!
Deleteකිමිදෙන්නට කැමති අයහට මතක ගඟේ
ReplyDeleteතියෙයි ඇති පදම් ඉඟි-බිඟි ලිපිය දිගේ
ඒවා දිගට ලිව්වැකි මාගලක් වගේ
එකකින් ලියව්වත් අඩු නෑ මේකෙ අගේ!
පොඩි පොඩි වැරදි වගයක් තිබිලා ඒවත් හැදුවා! කියවාගෙන යන්න තවත් ලිපි දෙකක් පමණ ලියන්නට බලාපොරොත්තුව!
Deleteමං නං කියෙව්වෙ නෑ. චිත්‍රපටියක් බැලුවෙ.
ReplyDeleteස්තූතියි ඇනෝ!
Deleteනියම මතක සටහනක් තට්ටයා. මරේ මරු. මැවිලා පෙනුනා. පානුයි මසුයි - වහාම හදන්න ඕනේ.
ReplyDeleteඋණු උණුවේ පාන්; බීෆ් ස්ටූ එකක් එක්ක . . . . . අම්මට සිරි මරණ්න පුළුවන්!
Deleteබොහොමත්ම ස්තූතියි අජිත් අයියේ!
සිඩ්නි බණ්ඩාරනායක කීවහම මතක් වුනේ එතකොට තටටයා ලට නීලපෙරුමාල් (1414) ට නෑ කමක් තියෙනවනේ නේද. හේ හේ
ReplyDeleteඅනේද කියන්නේ! හොං . . . හොං. . ! දපුළුසේනට පවා!
Deleteමේ තියෙන්නේ අර පොතෙන් විස්තරයක් මම හිතන්නේ.
ReplyDelete//ඒ ගෙදර තිබුනා එකම වර්ගයේ පොත් මිටියක්. ඒ Genealogy of Dias Bandaranaike කියන පොත් පිංච//
7 (6) Charles Dias Bandaranayake d18/2/1902 + Nancy Dias Bandaranayaka( d of Abraham Edward Dias Bandaranayake)m 8/12/1880 (7 children)
8 (1) Nancy Dagmar Dias Bandaranayaka,b19/11/1881 +William Clement Dias Bandaranayaka on 7/7/1906.
8 (2) Charles Edward Dunstan Dias Bandaranayaka,b 21/1/1883 Post Master GPO (unmarried)
8 (3) Reginald Felton Dias Bandaranayaka,b1/7/1884,Planter Puswelbokke Estate,Bentota+Letitia Tillekeratne (Sister of Edmund Tillekeratne of Bentota)(4 children)
9 (1) Reginald Felton Dias Bandaranayaka,b 27/10/1911-d7/6/1924
9 (2) Sydney Charles Dias Bandaranayaka,b 9/11/1914
9 (3) Leita Ione Dias Bandaranayaka,b28/5/1917-d 12/8/2011,+Clarence Perera,Excise Inspector.(M8/7/1943)
10 Capt Nihal Perera
10 Chrisantha Perera
10 Capt Edward Perera
9 (4) Needra Dias Bandaranayaka,b 10/4/1920-d1/8/2016 + Douglas Samarakkody
10 Dudley Samarakkody
10 Chrisantha Samarakkody
10 Niranjani Samarakkody + Chrisantha Obeyesekere
බොහොමත්ම ස්තූතියි අජිත් අයියේ! මේක තමයි පොත! මට අදහා ගන්න බෑ ඔයා ලඟ මේක තිබුනා කියලා!
Delete9(2) සිඩ්නි චාල්ස් ඩයස් බණ්ඩාරනායක තමයි ඔය කියන අදාල පුද්ගලයා.
9(3) ලිටීෂියා අයොනි ඩයස් බණ්ඩාරනායක කියන්නේ මම ඔය කියපු අයෝනි ආන්ටි තමයි. එයාගේ පුතුන් දෙදෙනෙක් නැව් කප්පිත්තන්.නිහාල්, එඩ්වර්ඩ් ඒ දෙදෙනා. ක්‍රිශාන්ත පෙරේරා මුද්‍රණ ක්ෂෙත්‍රයේ රැකියාවක් කලේ.
9(10) නීඩ්‍රා තමයි අර වීර විකුම් පෑව චරිතෙ! එයාගේ පුතා ඩඩ්ලි ලඟදී මියගියා. එයාගේ තව පුතෙක් ඉන්නේ ඔබේ රටේ ඔහුට අපි කියන්නේ කකූ! ඇයගේ දියණිය නිරන්ජනී අපි සමග සබඳකම් පවත්වනවා. ඇයගේ සැමියා ක්‍රිශාන්ත ඔබේසේකර හැටන් නැෂනල් බැංකුවේ සහ යූනියන් බැංකුවේ මානව සම්පත් අංශයේ ප්‍රධානි විදියට සේවය කලා. ඔවුන්ට පුතෙක් සහ දුවෙක් ඉන්නවා. පුතා ගැන කියන්නම ඕන! ඔහු තමයි ලංකාවේ ඉන්න නොම්මර එකේම ගිටාර් වාදකයෙක් වන ඇන්ඩෘ ඔබේසේකර!
https://www.youtube.com/watch?v=NF9d8kQMi2k
මෙන්න ඇන්ඩෘගේ වැඩ! බොහොමත්ම ස්තූතියි මාගේ පෝස්ටුවට වැදගත් සාක්ෂියක් එක් කොට එය පෝෂණය කලාට!
මේ නීඩ්‍රා ආන්ටිගේ පුතෙක් විදියට ඉන්න ක්‍රිශාන්ත සමරක්කොඩි කියන්නේ දැනට ඔබේ රටේ ඉන්න කකූම තමයි!
Deleteමම නම් දන්නේ නැහැ එයාව. ඒත් කල්‍යාණ ඔබේසේකර කියල කෙනෙක් දන්නවා. ලන්ඩන් Stansted airport එකේ එයාගේ කම්පැනි එකක් තියෙනවා.
Deleteඔබ කියන ක්‍රිශාන්ත ඔබේසේකරගේ නෑයෝ හිටියේ අල්ලපු ගෙදර පෙරේරා ආන්ටි හා පෙරේරා අංකල් (අපේ තාත්තා ඇමතු විදිහටම අපිත් කිව්වා) ක්‍රිශාන්තට තිබුනා රතුපාට වෙක්ස්වෙගන් බීටල් එකක්. එයාගේ නෝනාගේ නම නිරංජනී. අපි පෙරේරා අංකල්ගේ මුනුබුරු ජීවක හා මහේන් එක්ක මගේ අයියා ඇතුලු වටේ පිටේ කොලු රංචුව ඒ වත්තේ ක්‍රිකට් ගැහුවා. එතකොට එයාලත් එක්ක සම්බන්ධ උණ නත්තලකුත් අපිටත් තිබුනා. බැලින්නම් තට්ට ලොක්කාත් ගල්කිස්සට සෙට්වෙනවානේ..
Deleteහරි ඔය පෙරේරා අංකල් ඇන්ටි කියන්නේ; අයෝනි ඇන්ටිටයි එයාගේ මහත්තයා ක්ලැරන්ස් පෙරේරාටට්යි. එයාලා හිටියේ ඔයාලගේ ගෙවල් වලට හැරෙන්නට පෙර ටෙම්ප්ලර්ස් පාරේ!
Deleteකාලයක් නිරන්ජනීයි ක්‍රිසාන්ත ඔබේසේකරලයි ඒ ගෙදර ගෙවල් පලුවක හිටියා!
දැන් එයාලා ඉන්නේ බේකරි හන්දියේ කලාපුරේ ඉස්සරහ!
අර වෙඩික්කාරී අන්තිමට හිටියේ ඔඅය කලා පුරේ ඉස්සරහ ගෙදර; නිරන්ජනීලත් එක්ක!
සෙනවිරත්න පෙරකදොරු නෝනා මෙයලෙගේ නෑයෙක්ද?
ReplyDeleteමම දන්නා තරමින්; නැහැ!
Deleteමිස්ටර් තට්ස්ගේ හොඳම පෝස්ට් එකක් !
ReplyDeletehttps://knifemaking.com/collections/sambar-stag-authentic-natural
ස්තූතියි ප්‍රාජේ; බොහොමත්ම!
Deleteහරිම ලස්සන විස්තරයක්.... හරියටම චිත්‍රපටයක් බැලුවා වගේ. මගේ හිතට වැටුනම කෑල්ල " බෝර 16 ඩබල් බැරලය" ........
ReplyDelete- වීරසිරි බන්ඩාර -
හ්ම්ම්! හ්ම්ම්!! ඔය මහත්තයාත් හිතන්නේ මගේ හිතෙන්ද . . . . ?
Deleteඑක වගේ කුරුල්ලෝ වහන්නේ එක අත්තේ නොවැ.......
Delete- වීරසිරි බන්ඩාර -