Tuesday, February 1, 2022

227. පැනි බේරෙන කොම්පැනි කථා 6


ඉහත වැකිය මට අහන්නට ලැබුනේ රත්නවීර සර්ගේ හඬිනි.  මෝටර් රථ ක්ෂේත්‍රයට අදාල කළමණකරණය හා අලවිය පිළිබඳව උගන්වද්දී ඔහු මෙය කීවා යැයි මට මතකය. නො එසේනම් ධම්මික කලපුගේ මහතාගෙන්ය! එය එක් අලෙවිකරණයේ උපායක් ලෙස ගැනේ! මින් අදහස් කරණුයේ යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් සඳහා පාරිභෝගිකයින් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායයන් පටන් ගත යුත්තේ පාරිභෝගිකයින් ළමා හෝ තරුණ වයසේදීම බවයි! බොහෝ විට සිගරට් හා මත්ද්‍රව්‍ය වෙළෙන්දන් මෙය අකුටරම පිළිපදින මූළධර්මයකි! "දරුවන් හැඩ ගැස්වීම සඳහා ඔවුන්ගේ කුඩා අවදිය ඒ සඳහා යොදා ගන්න" යනුවෙන් කිසිවෙකු වර නැගූවද එහි විශාල වරදක් මා නොදකිමි!

මාගේ තිබෙන හා තිබුනු සූවිසි විනෝදාංශ අතර "වාහන පොත්" ලෙස පොදුවේ හඳුන්වන Vehicle Catalog එකතුව කුඩා කලක සිට කරගෙන යනු ලැබුවේය.  රථ වාහන අලෙවියේදී; අලෙවි කරුවන් විසින් පාවිච්චි කරණු ලබන්නේ මෙම පික්චර් කැටලොග් හෙවත් පිංතූර පොත්ය! මේවා වාහනයේ විවිධ මාදිලි හා විවිධ කෝණවලින් ගන්නා ලැබූ පිංතූර  හා වාහනයේ වර්ණ එන්ජිම හා වෙනත් යාන්ත්‍රික කොටස් පිළිබඳ කෙටි විස්තර වැනි දෙයින් සම්න්විතය.  




වාහනයක් මිළදී ගන්නා අයෙකු වෙත වාහනය සමග ලැබෙන පොත් පිංචක් වේ. එය Owner's Manual හෝ Driver's Manual  ලෙස දැක්වේ.  වාහනයේ එන්ජිම පන ගැන්වීමේ සිට හදිසි අවස්ථාවකදී රෝදයක් මාරු කිරීම ආදී කුඩා තාක්ෂණික උපදෙස් වලින් එය සමන්විත වේ. මීට කලකට පෙර මෝටර් රථ සඳහා ලබා දුන් එවන් Owner's Manual  වල ටැපට් සීරිමාරු කිරීම වැනි කරුණු පවා තිබුනි! 
ත්‍යාග ලෙස පිරි නැමූ; සමහර ඕනර්ස් මැනුවල්; මාගේ දයාද්‍රයන්ගේ වාහනවල් කබි හෝලයන්ගේ ග්ලව් බොක්ස් වල ගුලිවී තිබෙනු මා දැක ඇත! වාහනය පැදවීමට පෙර එය කියවා බැලීමට පුරුද්දක් අපරටේ නෝනලා හෝ මහත්වරුන්ට නැත! එහෙත් පොත ලබා ගැනීමට දක්වන්නේ ඉමහත් උනන්දුවකි! ඒ එය කබී හෝලයේ දමා ගැනීමට පමණි!


වාහනයේ අලෙවියෙන් පසුසේවා සපයන නියෝජිත වැඩහල් සඳහා Work Shop Manual නිෂ්පාදකයා විසින් ලබා දේ. මේවා බොහෝ විට එන්ජින් හා චැසි යනුවෙන් කාණ්ඩ දෙකකින් නිකුත්වේ. බොහෝ කාර්මිකයින් මේවා හඳුන් වන්නේ ෂොප් මැනුවල් හෝ මැනුවල් යනුවෙනි. මුළු වාහනයේම අළුත්වැඩියාවන් හා සේවාවන් සඳහා අවශ්‍ය උපදෙශනය ඇනෙන් ඇනේ මුරිච්චියෙන් මුරිච්චියට දැක්වෙන්නේ මේ මැනුවල් වලය.






අලෙවියෙන් පසු සේවා අතර අමතර කොටස් සැපයීමද අත්‍යවශ්‍ය අංගයකි. අමතර කොටස් අංශය සඳහා ලබා දෙනු ලබන්නේ Parts Catalog එකය. මුළුවාහනයටම අදාල සියළුම කොටස් හා ඊට අදාල අමතර කොටස් අනු අංකය හෙවත් Part Numberය දැක්වෙන්නේ මෙහිය.



මා පාසලේ හයවන ශ්‍රේණියේ උගෙන ගනිද්දී තාක්ෂණික විෂය ලෙස තෝරා ගත්තේ මෝටර් කාර්මික ශිල්පයයි. එකල එය අපට උගැන්වූයේ; රුක්මණී හයි ඒස් එකකින් පාසලට පැමිණි සුනිල් පියසිරි මහතාය. 83 ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි කරගත් හේ පසුකලෙක මාහට කටුණායක 18 කණුවේ ජයලත් සිනමාහල ඉදිරිපිටදී හමුවූයේ වෑන් රථ රියැදුරෙකු ලෙසින්ය!

මේ කථා කෙසේ වෙතත් එකල සිටම මා වාහන කැටලොග් එකතුකිරීම දිගින් දිගටම කරගෙන යනු ලැබීය. දැනට මාගේ කැටලොග්, මැනුවල් හා පාර්ට් කැටලොග් විශාල ප්‍රමාණයක් සතුව ඇත! එකල මා කැටලොග් එකතු කිරීම සඳහා ටොයෝටා - ෆෲඩන්බර්ග්, ඉසූසූ - සතොස, මර්සිඩීස් බෙන්ස් - ඩීසල් මෝටර් ඉන්ජිනියරිං, පර්ජෝ/ ෆොක්ස්වැගන්/මැස්ඩා - කාර් මාර්ට්, ලෑන්ඩ් රෝවර්/ ෆියට් - කොලෝනියල් මෝටර්ස්, මැසි ෆර්ගියුශන් - ට්‍රැක්ටර් සංස්ථාව, අයි එම් ටී - ෆාර්මර්ස්, නිසාන් - ඇසෝසියේටඩ් මෝටර්වේස්, මිට්සුබිෂි - රජයට පවරාගත් යුනයිටඩ් මෝටර්ස් සමාගම ආදී දැනට ඇති නැති ආයතන ගනනාවකට ගොස් ඇත්තෙමි. දැනට ෆොස්ටර් පටුමග අසල ඩයලොග් ගොඩනැගිල්ල ස්ථාපිත ස්ථානයේ ලැන්සියා බීටා හා ඇල්ෆා රෝමියෝ රථ ඒජන්ත වරයාගේ කාර්‍යාලය පිහිටා තිබුනි! 

මා යුනයිටඩ් මෝටර්ස් වෙත රැකියාව සඳහා පැමිණිම ඉබ්බා දියේ දැමීමක් විය! එහෙත් එකල මෙන් ජපානයේ මුද්‍රිත කැටලොග් වෙනුවට පැවතියේ  මෙරට මුද්‍රිත තරමක් බාල ගනයේ කැටලොග්ය! ඒ කෙසේ වෙතත් මා හැකි හැම අවස්ථාවකදීම කැටලොග් එකතු කිරීම කරගෙන යනු ලැබීය. සමහර වාහන වල මෝස්තරය හෝ කාණ්ඩය ඉකුත්වීමෙන් පසු; අලෙවි අංශයෙන්  කැටලොග් තොග ඉවත්කල අතර ඒවා මා ඉමහත් කෑදර සිතින් රැගෙන මාගේ කාර්‍යාල මේසය යට තබා ගැනීමට පුරුදුවී සිටියෙමි. ඒ අන් කිසිවක් සඳහා නොව තම පියා හෝ මව සමග ආයතනයේ වැඩ හල වෙත පැමිණෙන කුඩා දරුවන් වෙත ප්‍රධානය කිරීමටය! සත්තකින්ම එය ඉතාමත් සුන්දර අවස්ථාවක් විය. බොහෝ විට මා සමග සේවය කල ගිහාන් මල්ලී ඕෂධී වැනි අයට "ඔන්න බලා ගනිං අර පොඩි එකාගේ මූන!" කියා මා කුඩා කැටලොග් මිටියක් ඔවුන් වෙත "මෙන්න පුතා ඔයාට මගෙන්!" කියා පොර ටෝක් එකක් සමගින් ලබා දේ! දරුවාගේ මුහුණ දිළිසේය! කට කනේය!! ඇස් එළියට පනිමින්ය!!! කෙළ හැලෙමින්ය!!!! ඒ කොල්ලන්ගේ හැටිය! එය එසේ නොවේ නම් ඌව වහාම වෛද්‍ය වරයෙකු වෙත පෙන්විය යුතු යැයි මාහට සිතේ! (මා වැරදිද?)

පාර්භෝගික සේවා විධායක ලෙස මාගේ සේවා ස්ථානය සකසා තිබුනේ කාර්යලයේ පසුපසට වන්නටය! ඒ නිසාම ඊට ගොඩවදින හා රැඳෙන සියල්ලන් මා හට හොඳින් දර්ශණය වේ! දිනක් උදෑසනක මාගේ දෙනෙත් පැහැර ගත්තේ කුඩා හුරුබුහුටි කොළුවෙකි. තම පියා සමග ඔහු පැමිණ තිබුනේ පියාගේ මොන්ටෙරෝ රථයේ අළුත්වැඩියාවක් සඳහාය. රථය පිළිබඳව මාහට කියා පෑවේ ඔවුන් දෙදෙන රැඳී සිටි ස්ථානය ය!  ඔවුන් සිටියේ; දවස් දෙකයි! ළිං තිහයි!! තේ පණහක් හැටක් විතර . . !!!  යනුවෙන් ගංවතුරෙන් පසු ළිං ඉසීම පිළිබඳව මා ලියන ලද පෝස්ටුවේ කියැවෙන ඩෙමියන් රුක්ෂාන් ගේ මේසය ඉදිරි පිටය! ආයතනයේ මොන්ටෙරෝ  හදිසි අනතුරු අළුත්වැඩියාවන් භාරව කටයුතු කලේ ඩෙමාය!

සිරිත් පරිදි මා; මාගේ මේසය යටට හොස්ස පොවා කැටලොග් මිටියක් ගෙන දරුවා වෙතට කුරුමාණම් ඇල්ලුවෙමි.  ඔවුන් වෙත ළං වී; කැටලොග් මිටිය ඔහුට නොපෙනෙන සේ පසුපසින් තබා ගෙන මා ඔවුන් වෙත නැඹුරු උනෙමි!

"පුතා! ගුඩ් මෝර්නිං . . . !  ඩේමියන් අංකල් මොන්ටෙරෝ එක හරියට හදාගන්නවද කියලා බලන්නද ආවේ . . .?" දරුවා ඒමේ අත ඇඹරුන මුත් හඬක් පිට නොකලේය.

"අනේ මං එනවා කිව්වම නවත්තන්නම බැරි උනා නේ! එයාටත් එන්නම ඕනෑ කිව්වා!" දරුවාගේ තාත්තා ඔහු වෙනුවෙන් පිළිතුරු සැපයුවේය! 

"මෙන්න ඔයාට මගෙන්! ඔයා ආසයි නේද මේවාට?" මං එතෙක් සඟවා ගෙන තිබුනු කැටලොග් මිටිය ඔහු ඉදිරියේ පෑවේය! දරුවාගේ ඇස් දිළිසෙමින්ය. එකවරම තම පියාගේ මුහුණ දෙස බැලූ ඔහු තාත්තාගේ අවසරයෙන් කැටලොග් මිටිය මාවෙතින් ලබා ගත්තේය.

තවත් පැය භාගයක් ගෙවී යද්දී කුඩා දරුවා හා ඔහුගේ පියා මාගේ මේසය ඉදිරියේ සිටියෝය. 

"ඉඳ ගන්න සර්!" මාගේ ආරාධනයෙන් ඔහු ඉඳගත්තේය. දරුවා පසෙකින්ය. කැටලොග් මිටිය ඔහුගේ අතේය!

"ඔයා ඇයි මගේ පුතාට මේ කැටලොග් ටික දුන්නේ?" ඔහු ඉතා සුහද ශීලී ලෙස මාගෙන් විමසීය.

"සර්! මමත් ඔය වයසේදී කැටලොග් එකතු කරණ්න තැනින් තැන ගියා! මට මේ වයසේ දරුවෝ දැක්කාම මගේ ඒ කාලෙ මතක් වෙනවා!"

"ඔයාට මම කථාවක් කියන්නම්! මමත් අයියත් පුංචි කාලේ මේවගේ පිංතූර පොත් වලට හරිම ආසයි! අපේ තාත්තා කොහෙන් හරි හොයාගෙන ඇවිත් අපිට වෙහිකල් මනුෆැක්චරස්ලා කීප දෙනෙක්ගේ එඩ්‍රසස්  අපිට දුන්නා; ලියුම් ලියන්නය කියලා! ඔයාට කියන්න අපි හතර පහකටම යැව්වත් අපිට උත්තරයක් එක්ක කැටලොග් මිටියක් එවලා තිබුනේ මිට්සුබිෂි කොම්පැනියෙන් විතරයි.  ඊට පොඩි කාලෙකට පස්සේ තාත්තා එච්චර කල් පාවිච්චිකල වාහනේ විකුණුවා! එදා ඉඳන් එයා මැරෙණ තුරුත් මම මගේ මේ ජීවිත කාලය ඇතුලෙත් අපෙ අයියාත් හැමදාම ගත්තේ මිට්සුබිෂි වාහන විතරයි! ඔයා කලේ එහෙම එකක්ද කියලා දැනගන්නයි මම මේ ඔයාව හොයාගෙන ඇවිත් කථා කලේ! මටත් මගේ පුංචි කාලේ මතක් උනා! කොහොම උනත් ඔයා කලේ හොඳ වැඩක්! අපි යන්නං! පුතා අංකල්ට බායි කියන්න!"

මට මගේ හැඟීම් සිරකරගෙන සිට ඔහුට හිස සොලවා ආචාර කරණවා හැරෙණ්නට වෙන කිසිවක් කථාකර ගන්නට නොහැකි තරම් හදවත බරවී තිබුණි.

තවත් මොහොතකින් දරුවා මට අත වනමින් ඉවතට යන රූපය බොඳවූ දෑස තුල චිත්‍රණය විය.

දෙයියනේ Catch them young! කියන්නේ මේකටනේ!? මම මටම කියා ගත්තෙමි!

පාරිභෝගිකයින්ගේ විවේකාගාරයේදී; 
කුඩා දරුවෙකුහට කැටලොග් පිරිනමනා අවස්ථාවක්; 
තඩි ගිහාන් හෙවත් මෙම බ්ලොගය සකසාදුන් මිත්‍රයා සටහන් කරගත් කරගෙන!!


33 comments:

  1. අන්තිමට කියල තියෙන එකනං හිතට වදිනව වගේම ඔය ලොකු කොම්පැණියකට සදා නොවෙනස් පාරිභෝගියෙක් හදාගන්න තමං කරන්න ඕන පොඩි කැපකිරීමක් විතරයි කියන එක පැහැදිලිවම පේනව. මොකද පොඩි එකෙකුට තමන් දැඩිව ආසා කරන දෙයක් ඒ වයසෙදි ලැබෙනව කියන්නෙ උගේ හිතේ සදාකාලිකවම ඒක පැලපදියං වෙනව. ඇත්තෙන්ම අනික් කොම්පැනි කරල තියෙන්නෙ පාරිභෝගිකයා නොසලකා හැරීමක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න! ඒක සැබවින්ම ඇත්ත! තමන්ගේ කුඩාකාලයේදී ඇතිවන හැඟීම් දැනීම් ජීවිත කාලය මුළුල්ලේම පවතිනවා! ස්තූතියි නමෝ විත්තියෙන් මේ පැත්තේ ආවාට.

      Delete
    2. නයා කීව වගේ පොඩි දෙයක් උනත් ඇති සදා රැඳෙන පාරිභෝකිකයෙක් හදා ගැනීමට....
      කාලෙකින් හරි පොස්ටුවක් දාපු එක නම් හොඳා

      Delete
    3. "කාලෙකින්; හරි පෝස්ටුවක්" ද? "කාලෙකින් හරි; පෝස්ටුවක්" ද?

      Delete
    4. දෙකම ගැලපේ නෙව තට්ටයතුමෝ...

      Delete
    5. මට වහ ටිකක් දෙන්න සුදේව! වහ! වහ!!!

      Delete
    6. අප්පේ... වහ වලින් වහන් වෙලා ඉන්ට තට්ටයතුමෝ

      Delete
  2. අර වාහන ගොඩේ තියෙන "සතොස" වැරදිලා ලියවුන එකක්ද නැත්නම් අපි නොදන්නා මොකක් හරි කතන්දරයක් තියෙනවද?
    කන්තාරෙක හිටියත් වාහනය සතියට දවසක් හෝදගෙන, මාස 2-3 සැරයක් කට්‍ ඇන්ඩ් පොලිෂ් එකක් ගාගෙන ඉන්න මටත් තියෙන්නේ ඔය වගේ ළමා කාලයක් තමයි. ඇත්තටම ඒවා පොඩි කලේ පැලපදියම් වෙච්ච සිහින.
    මහේෂ් සෞදි.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඉසූසූ ගෙන්නුවේ සතොස මෝටර්ස්ලා!

      Delete
  3. බොහොම ස්තුතියි මිස්ටර් තට්ස්

    ReplyDelete
  4. අපූරු මතක සටහනක්. ලස්සනට ලියලා තියනවා.🙏👌😊

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා! මේ වසර පටන් ගනිද්දී හිතුවා වසර තුල පෝස්ට් 52 ලියන්න ඕනෙ කියලා. ඒත් වැඩ වැඩි උනා කෑම්ප් සයිට් එකේ!

      Delete
  5. සුන්දර මතකයන්.

    කැටලොග් එකතු කිරීම මමත් කළා.

    වැඩි වැල්වටාරම් නැතුව, ලෙටර් හෙඩ් එකක, වාහනේ මොඩල් එක කියලා, කැටලොග් එකයි ප්‍රයිස් ලිස්ට් එකයි එවන්න කියලා ඉංගිරිසියෙන් (අකුරෙන් අකුර) ටයිප් කොටලා ඇරියාම පොඩි කැටලොග් එකක් හරි එවනවා. අපේ ගෙදර නමත්, ලිපිනයත්, මගේ නමත්, ප්‍රසිද්ධ සමාගමක ලොක්කා වගේ තේරුම් යන හැටියට තමයි ලිපිය ලියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් එවනවා.

    ඒ කැටලොග් වල තියන වාහන නිපදවන පිටරට මව් සමාගම් වල ලිපිනයන්ට, කැටලොග් එකතු කරන පොඩි ළමයෙක් වගේ ලියලාත් කැටලොග් ගෙන්නාගෙන තියනවා.

    ඒ කාලේ කැටලොග් එකක් ලැබෙනවා කියන්නේ, වාහනයක් ලැබුනාට වඩා සතුටක්.


    @ Ano,
    //අර වාහන ගොඩේ තියෙන "සතොස" වැරදිලා ලියවුන එකක්ද?//
    වෝක්සෝල් වීදියේ තිබුන සතොස මෝටර්ස් එක ISUZU වාහන, IHI SHIBAURA ට්‍රැක්ටර්, JAWA මෝටර් සයිකල් වල ලංකාවේ ඒජන්ත.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම එය ඉතා ඉක්මණින් ඇබ්බැහිවන හා ඉන් ගැලවීමක් නැති විනෝදාංශයක්! මා සතුව දැන්ටත්; දකින කෙනෙකුට ඉරිසියා හිතෙන එකතුවක් තියෙනවා!

      Delete
  6. හැමදාම වගේ රසවත්. ඒ වගේම හරවත්. ඔබතුමා රථවාහන සේවා ක්ෂේත්‍රයේ ව්‍යායාපාරයයක් කරන්න හිතන්නේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ! දැන් මට ඒ ගැන ආශාවක් නැත්තටම නැතිවෙලා! දැන් ස්වභාව සෞන්දර්‍ය්යත් එක්ක තමයි ගනු දෙනුව!

      Delete
  7. ආවෙමි. බැලුවෙමි. හනිකට යමි.
    Hardly working මෝඩ් එකෙන් working hard මෝඩ් එකට වැටී ඇත.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. "නිකංම ඉන්න මට අහල ගියත් මොකෝ!?!?!" කියලා කියමනක් තියෙනවානේ. ආන්න ඒ වගේ යන්තං ගොඩ වැදුනත් ඒක ලොකු දෙයක්! ඒක නෙවේ මොකෝ බ්ලොග් එක පේන්නේ නැත්තේ? නොලිව්වේ?

      Delete
  8. මගේ කාරෙකේ කැටලොග් එකනම් තියනවා. හැබැයි පැරණි ක්ලැසික් කාර් වල පොත් නම් සෑහෙන තොගයක් තිබ්බ. ඒවා නම් දැන් නැහැ. අපට ඉතින් ඔය වගේ කැටලොග් දානපතියෝ හමුවුනේ නැහැනේ.
    මෝටර් කාර්මික ශිල්පය තමයි මාත් ඉගෙන ගත්තේ අටේ හෝ නමයේදී

    ReplyDelete
  9. මහා දානපතියෙක් නොවුනත් මට මතක තිබ්බා මගේ පුංචි කාලේ! අනේ දෙයියනේ මොකද උනේ ඒ පරණ කැටලොග් වලට?

    ReplyDelete
  10. දුකයි අප්පච්චි

    ReplyDelete
  11. යකඩ ගොඩවලට නැත්තේ හිතේ ඉඩ
    මොකදැයි හේතුවක් දැන් දැන් හිතේ වැඩ
    පොඩි කාලෙ අප හිටි ඒ කන්ද උඩ
    සයිකලයක් පැදිල්ලත් කළ නොහැකි වැඩ!

    ReplyDelete
    Replies
    1. යකඩ වලට ආදරය නොකලත් ලිපිය කියැවීමට පැමිණීමට මෙන්න ස්තූතිය!

      Delete
  12. හනෙ අම්මෝ ඉතිං. පොඩි එකෙක්ට ඒ වගේ දෙයක් දෙනව කියන්නෙ මහ මෙරක් වගේ. මට මතක් වුනේ ඉස්සර මායි අයියයි පත්තර වල තියෙන වාහන රූප කපල පොත්වල අලවනව...

    ReplyDelete
    Replies
    1. මුල් කාලේ මාත් ඔය වැඩේ කලා ඩ්‍රැකී!තාමත් පත්තර වලින් කපපු සමහරබ්පිංතූර තියෙනවා මා ගාව!

      Delete
  13. මටත් මේ අත්දැකීම තියනවා. අපේ ඉස්කෝලේ motor mechanism කියලා subject තිබුනා, පලවෙනි වැඩේ CR පොතක වාහන පිතුර අලවලා ඒවා ගැන (වර්ගය, මාදිලිය, නිෂ්පාදන වසර) වගේ විස්තර ලියන එක. මමත් වාහන පින්තුර හොයාගන්න මර කට්ටක් කැව.Wijebahu

    ReplyDelete
    Replies
    1. හරි හරි! ඔය කට්ටේ රසවත් හරිය තමයි කැටලොග් එකතු කිරීම ඇරඹීම! කොහෙද දෙයියනේ මෙච්චර කලක් හිටියේ?

      Delete
    2. COVID සමග පහුඋන වැඩ ගොඩ වී ගොඩ වැඩිවී ඇත. Wijebahu

      Delete
  14. ඉස්සර කාර්මික ශිල්පය වගේ දේවලුත් උගන්නල නේද ඉස්කෝලේ ඒක මාර වටිනව හැබැයි.....

    ඔතන නිකම් manipulate කරනවා වගේ එකක් නැද්ද (customersla ඇති කරගැනීම හා රඳවා ගැනීම ගැන ඇහුවෙ🤔)

    ReplyDelete
    Replies
    1. ඔව් මාකර්ටින් කියන්නෙම එහෙම එකක්! හරියට උසස් පෙල විභාගෙ වගේ. "මචං අපි ඔක්කොම පාස් වෙමු!" කියලා කියමනක් ඒ විභාගේ නෑ! තරඟයක් බැවින්.

      Delete
    2. ඒක හරි අවුල් වගේ හැඟීමක් නෙහ් දැනෙන්නෙ, මාර්කටින් වෙනුවෙන් manipulate කරන එක........

      ළමය ආස දෙයක් දෙන එකයි, ඌව customer කරගන්න හිතලා ම ඒක කරන එකයි වෙනස් නේද?
      නැත්නම් එකයි ද?
      මට තේරුම් ගන්න බැහැ🙄🙄

      Delete
    3. උසස් පෙල ගැන නම් කතා කරල වැඩක් නෑ. හැබැයි පුලුවන් උපරිමෙන් මගෙත් එක්ක ලියපු උන්ට උදව් කරා, ඒක ගැන සතුටුයි, වෙන කරන්න දෙයක් නෑ නෙහ්

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...