Saturday, August 18, 2018

104. සයිකලයෙන් තල් අරණට 6

“පදින පදින හැම ගව්වම කෙටි වේවා - 
 නැවත මෙවන් ගමනක සිත නොයෙදෙවා”


අපි පමණක් නොව උගත් නීතීවේදීන් පවා තම කොමෙන්ටු මගින් රෙකමදාරු කල බබියෙන් දිවා අහර මද පමනට ගෙන එතැනින් නික්මුනෙමු

ඉදිරියේ දරුණු අව් කූඨකයක් නොවීය. වළාකුළු හිරුට එදිරිව නැගී සිටියේ අපේ පස ගෙනය. එසේම තවමත් දැව ඝාතකයන්ගෙන් සැඟවී ජීවිතය ගැට ගසාගෙන සිටි  දැවැන්ත වෘක්ෂයෝ අතු පතර විහිදා හිරුගේ චන්ඩ රෂ්මියෙන් අපව තම ඇකයේ වසන් කරගත්හ. මේ සියළු ආශිර්වාදයන් මාධ්යයේ අප සාමාන්ය වේගයක් පවත්වාගනිමින් පැද ගියෙමු. මේ වන විට අප වියලි කලාපයට අවතීර්ණවී සෑහෙන තරමක දුරක් පැමිණ තිබුනු අතර මෙම ප්රදේශයට වැසි වැටෙන කාලාත්රය අවසන් වී තිබුනි. වැසි වැටෙන කල අවසන් වීමත් සමග වියලි කලාපයට වසන්ත සමය උදාවන්නට පටන් ගනී. දෙසැබර් මස යනු මහ කන්නය ඇරඹෙන අවධියයි.  

බොහෝ වසර වල දෙසැම්බර්යේද මෙම කලාපය තුල මහ වැසි දක්නට ලැබුනද මෙම දිනයේ එනම් දෙසැම්බර් 23 වනදා කිසිදු වැස්සක හෝඩුවාවක් දක්නට නොලැබුනි. එය කිසියම් ආශිර්වාදයකි.

වැස්සේ තෙමීමට කැමති අය මා හට හමුවී ඇත. ඒ අතර විශේෂයෙන්ම මා සමග වැස්සේ තෙමීමට කැමති අයෙකුද හමුවිය! මමද වැස්සේ තෙමීමට කැමති අයෙක්මි. එහෙත් සයිකල් පැදීමේදී වැස්සකට හසුවීමෙන් පාදවල මාංශ පේෂි හැකිලී පැද ගන්නට නොහැකි තත්වයකට පත්වීමේ අවධානමක් පවතී.එය මා අත්විඳ ඇත. වරක් මා දැඩි වැස්සක කිලෝමීටර 65 ක පමන දුරක් හුදෙක් මටම මා විනිශ්චය කරගනු පිණිස පැද ගියෙමි.
 
විනිශ්චය මාගේ පාර්ශ්වයට පක්ෂව ලැබුනද සයිකලය පැදීමේදී පාද අගුල් වැටුනු ස්වරූපයක් දැනින.සයිකල් ධාවන තරග වලදී කෙරෙණ්නේ සුළු ජල ප්‍රහාරයකට විටින් විට ලක් වීම විනා දැඩි වර්ෂාවකට ලක්වීම වැනි අවදානම් තත්වයක් නොවේ.
 
එහෙත් 80 දශකයේ ලේක් හවුස් ආයතනය ඉදිරියෙන් අවසන් වූ එක් සයිකල් ධාවන තරගයක් අවසන් වූයේ දැවැන්ත වරුසාවක් මැද බව මට මතකය. එය ජයග්‍රාහනය කලේ නිවිතිගල ඒ ඇම් සුමනවීර හා වසන්තා කහපොලආරච්චිය. මාගේ මතකය නිවැරදි නම් අපගේ සයිකල් සේවා කිරීම, අලුත්වැඩියා කිරීම, නඩත්තුව හා සූසර කිරීම කරණ බියන්කි ප්‍රදර්ශණාගාරය අයත් සූරියගේ ව්යාපාරය හිමි සූරියගේ මහතාගේ ප්‍රිය බිරිඳ ව සිටියේ එම සයිකල් ශූරියය ලෙස මාගේ මතක පොතේ "ඕපා දූප" පරිච්ඡේදයේ ලියා තිබුනි. මෙය මම අතිත කාලයෙන් ලීවේ සියල්ල වෙනස් වෙන ලෝකයේ එම පවුල් ජීවිතය පමනක් පරිස්සම් වීමට හේතුවක් මා හට දක්නට නොමැති බැවිනි!

ඇඟේ  අමාරුව  සිතේ දරාගෙන - 
  සිනහ පිරුණු මුව  තිදෙන අයාගෙන 
  (අමාරුවෙන් වුව !)

එතැන් සිට බළල්ල පසුකොට දළදාගම හංදියට ප්‍රවිශ්ඨ උනෙමු. දළදාගම හතර මං හංදියකි. කුරුණෑගල දෙසින් ඇතුළුවන අයෙකු එම හංදියේ මැද තියෙන හෝරා ස්ථම්ඹය හෙවත් ඔරලෝසු කනුව අසලින් කෙලින්ම ඉදිරියට ගියවිට පිළිවෙලින් අඹන්පොල, ගල්ගමුව හමුවේ. මීට කලකට පෙර අඹන්පොල කුඩා කඩ මණ්ඩියකි! (මෙය ලෝකයේ ඕනෑම නගරයකට ගැලපෙන පොදු ප්‍රකාශයකී) මා අඹන්පොල නගරය පසුකරණ සෑම දිනෙකම පාහේ මතකයට එන එක් දුක්බර සත්‍ය කතාවක් වේ.
"මධුසමය" ලෙස මා වෙතින් ලියැවුනු කෙටි කතාවට පාදක වූයේ එම කථාන්දරයයි. හැකි විටෙක මා එය අකුරු අමුණා පෝස්ටුවක් ලෙස පල කරණ්නෙමි.

ඔරලෝසු කණුව අසලින් වම් පසට හැරුණු විට නිකවැරටිය දෙසට ගමන් කල හැකිය. දකුණු පසට විහිදෙන්නේ අතුරු මාර්ගයකි. එම මාර්‍ගය දිවෙන්නේ මහව හෙවත් මාහෝ දුම්රිය නැවතුම්පොළ වෙතටය.
මා හට නිකවැරටිය කිව් සැනින් සිහිවන්නේ නොබෝදා අප අතරින් ගල් අරක්කු පිහිටෙන් වියෝ වූ ප්රවීණ ලේඛක චින්තන ජයසේනයන්ය. වරක් ජාතික සංස්කෘථික උළෙල පැවැත්ත්වූයේ නිකවැරටියේදීය. එය ඔහුගේ "කොලම"පුවත් ලියා පලකොට තිබුනේ "මෙවර ජාතික සංස්කෘථික උළෙල නොබෝදා නිකවැරටියේදී කරටි කඩාගෙන පැවැත්වුනි" කියාය!

දළදාගම පසුකොට ටික දුරක් යන විට වම් පසින් විසල් අඹවත්තක් පිහිටා ඇත. එය එවකට අයත්ව තිබුනේ හිටපු ජනපති රණසිංහ ප්රේමදාස මහතාටය. එකල මෙම වත්ත මහමෙව්නා උයන සේ විසිතුරුව විචිත්රව තිබුණි."කලය මැවූ වෙනසක අරුමේ."කියා ශාලිත අබේවික්රම කිව්වේ කට කහනවටද? අද එදා පැවති ශ්රී විභූතිය අද අහලක වත් නැත. එයට අද පත්වී ඇති ඉරණම එක්සත් ජාතික පක්ෂය දැනට පත්වී ඇති තත්වයේ තල දර්පණ ප්රථිබිම්බය මය. ප්රේමදාස පාලන සමයේදී මෙම මාර්ගය එනම් ඇල්ල හරහා අනුරාධපුර මාර්ගයේ කාපට් දමා තිබුනේ මෙම වතුයාය තෙක් පමනි!

මේ වන විට; මා අතින් ලියැවුනු "මධුසමය" කෙටි කතාවට පාදක වූ ධාන් වෙළෙඳ සැල පසු කරමින් අප ඉදිරියට පදිමින් විය. ධාන් වෙළෙඳ සැළක් දැන් එහි නැත! අඹන්පොල බස් නැවතුම දෙසට ඇත්තේ සැලකිය යුතු පල්ලමකි! මෙවන් ගමන් වලදී පල්ලමක් යනු දේව ආශිර්වාදයකි. දළදාගම සිට ඉදිරියට පාර වඩාත් සමතලා වේ. පාරේ මොන ආකාරයේ භූ විෂමතා ලක්ෂණ පෙන්නුම් කෙරුණද නිශාන් එකම ගියරයේ එකම වේගයකින් පැදගෙන යමින් විය! එය එකම පිච් එකක සිංදුවක් කියනවා වැනිය.සමහරු සිංදුවේ වචන හෙවත් පදමාලාව දැන ගත්තද ගීත ගායනා කරන විට සිහි ගැන්වෙන්නේ අලුත්ගම කන්දෙ විහාරේ විදුලි පහන් දැල්වීම සඳහා යකඩ කටෙන් ආධාර ඉල්ලන අයුරුය

  ගමක නමක් - සිතට සුවක් 
ගෙනා දිනක්  - වේද තවත් ?
    අයියනායක දෙයියනේ ඇති යන්තං ගල්ගමුව!

අඹන්පොළෙන් පසුව කුඩා ගම්මාන කිහිපයක් පසුකර යාමෙන් පසු ගල්ගමුව නගරයට සේන්දු උනෙමු. කොළඹ සිට මහ පාර සමග එකට අත්වැල් බැඳගෙන "අන්තිම තෙක් අපි එකටයමු... //" කියාගෙන ටික දුරක් පැමින පෑළියගොඩ හතරෙ කණුවේදී නොපෙනී ගිය; යළිත් පොල්ගහවෙළදී ඔමරි පා ඉවත්ව ගොස් කුරුණෑගලදී හරස් වී කැලෑ පනින රේල් මග හතර දිග්බාගයේම කරක් ගසා නැවත ඇහැට පෙනෙන්නට කැලේ අතරිණ් මතුවන්නේ ගල්ගමුව නගරය ආසන්නයේදීය. ගල්ගමුව නගරය සමග වමට ද්විත්ව වංගුවක් තිබුනු බව මා හට මතකය. මෙවන්ම වූ වංගුවක් ඇස ගැසෙන අනෙක් නගරය වන්නේ ගලේවෙල නගරයයි.

ගල්ගමුව නගරයට සේන්දු වුනු මොහොතේ සිට අප විපිළිසර වූයේ අපගේ නවා තැන සොයා ගැනීමටය. ඒවන විට කිලෝමීටර 140 ක පමන දුරක් සයිකල් ගමනක යෙදී සිටි අප තිදෙන; මේ වන විට සෑහෙන පමන වෙහෙසට පත් වී සිටියෙමු. එම තත්වය වඩාත් බල ගැන්වෙන වැකිය එය නොවේ. එය “මේ වන විය අප තිදෙන බොහෝ සෙයින් හෙම්බත්වී සිටියෙමු!” යනුවෙන් නිවැරදි විය යුතුය. එය එක් දිනකින් පොළොන්නරු ගිය ගමනට සාපේක්ෂව ගත් කල එතරම්ම කටුක ගමනක් නොවූවද හෙට දිනයේද මීට ආසන්න දුරක් පැද යාමට තිබේ. එසේම පසු දිනද එනම් තෙවන දිනයේදීද කිලෝමීටර 100 කට ආසන්න දුරක් පදින්නට තිබේ. එක් හිසරදයක්, මස් පිඩු පෙරළීමක් මුළු ගමනම අතර මග නවතා ලීමට හේතු විය හැක. එනිසාම විවේකය අනිවාර්‍ය අංගයකි. මේ වන විට වේළාව හවස 3.00 ට පමන ඇත.

නගරය ගෙවී යන්නට පටන් ගන්නේ දුම්රිය පොල පසුවී මද දුරක් ගිය පසුය. සෑම රාත්‍රියකම මෙම ඉසව්වේ ගල්ගමුව පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොදුරු සොයමින් සිටිනු දැකීම අනිවාර්ය දර්ශනයකි.
 
වරක් මා මගේ ලොරි බාගය පදවාගෙන මහ රාත්තිරියේ වව්නියාවේ යන්නට ගිය දවසක ඔවුන් ගේ ප්‍රහාරයට මා ලක් විය. එහිදී රථයේ පන්තියට අයත් පැදවීමේ බලපත්‍රය, රථයේ ආදයම් බල පත්‍රය හා රක්ෂණ සහතිකය නියමිත පරිදි තිබෙන බව මා නිලධරුවාට දක්වා සිටි විට ඔහුගේ ඊළඟ අවශ්‍ය තාවය වූයේ රථයේ දුම් සහතිකය හා යෝග්‍යතා සහතිකය යන දෙකය! රථයේ ආදයම් බල පත්‍රය ලබා ගනීමට දුම් සහතිකය හා යෝග්‍යතා සහතිකය අනිවාර්යයෙන්ම අදාල ආයතනය මගින් පරීක්ෂාවට ලක් කල බව කී නමුදු එම ලපටි රාළහාමිට එය ඔහුට ගැලපෙන පිළිතුර නොවීය.

පසුව මාගේද ගිණි කණ පැන ඔහුගේ සාජන් මහත්තයාට "ඔයාට ඕනෙ නම් වාහනේ තියාගන්න!, මම මගේ ගමන බස් එකේ හරි යනවා!!" කියා තවත් වචන දෙක තුනක් මා හතර අතට ඉලක්කයක් නොඅල්ලා දමා ගැසූ පසු "ආ එහෙනම් වාහනේම යන්නකෝ...! කියා මාගේ ලොරි බාගය මුදා හැරියේය!

මාගේ ලොරි1/2
            හරි හරි ආඩම්බරේට හිටියට ලොරියක්ම තමයි !
  
මේ කයිවාරුව මෙතන ලියා දැම්මේ මා මෙන් සයිකල් නොපැද්දද රෑ පානේ ඔය ඉසව්වේ යනවානම් වාහනයට අදාල ලිපි ලේඛන වලට අමතරව ගෙදර ඔප්පු තිරප්පු, උප්පැන්න සහතික, පරණි හාල් පොත වැනි දේවල්ද රැගෙන යාම මැනවයි දැන්වීමටය. මෙහිදී විශේෂයෙන් කිව යුත්තක්ද ඇත. හැම රාළහාමිටම ඔය කොල කෑලි බලන්නට දොළ දුක නොහැදුනාට නෛතිකව ගත් කල ඒවා රථයේ අනිවාර්‍යයෙන්ම ගෙන යා යුතු ඒවා වේ! ඒවා විමසීමට අයිතියක් පොලිස් නිලධරුවන් සතුය. ඒ නිසා කිසිවෙකු ඉදිරියේ ඔළුව කසන්නට නොයා තමන්ගේ වාහනයට අදාල සියළුම ලිපි ලේඛණ පුස්කොල පොතක් සේ එක අමුනා ගෙන යාම මැනවි.
 
මොනතරම් වියදම් උනත් ආදායම් බලපත්‍රය ලෙස හංවඩු ගසා ඇති හරි හතරැස් රවුම ඉදිරිපස වාමුවාවේ නොහොත් වින්ඩ්ස්ක්‍රීන් එකේ අයිස් ක්‍රීම් වලින් හෝ අලවා තිබිය යුතුමය. එසේ නොමැති වීම මන්තිරි වැටුපට රුපියල් 2500 කින් සම්මාදම් වීමකි! එසේ ඉදිරි පස වීදුරුවේ ප්‍රදර්ශණයට නොතබා එයින් පිට පොට ගසා ගෙන වාහනය පදවාගෙන යාමට නීතිය තුල කෙසේ වෙතත් පොලීසිය ඉදිරියේ නිදහසට කාරණාවක් නොවන්නේය. කාර් පිස්සුවාගේ 4 ශ්‍රී පනස් හතරයි හැටඑකේ මූනු පොතේ පින්තූරේ පොඩි කරදහි කෑල්ලක් පෙනෙන්නට තිබුනාට එය ඔය කියන හරි හතරැස් රවුමදෝ කියා බලා කියා ගන්නට බැරිය.
 
මතක් උන වෙලාවේ මේ ටිකත් ලීවේ මාගේ පුරාජේරුවට වඩා ඔබ තමුන්නැහැලාට මේ දේවල් වැදගත් බව මා ඉන්තීරුවෙන්ම දන්නා බැවිනි.
 
දුම්රිය පොල පසු කොට පොලිස් දඩ බිමද පසු කරමින් ටික දුරක් එනම් මීටර 100 ක් පමන දුරක් පැද යාමේදී අප නවාතැන් ගැනීමට නියමිතව තිදෙනෙකු හට නිදා ගැනීමට සුදුසු කාමරයක් වෙන් කරගත් අවන්හල සොය ගත හැකි විය.
 
ස්ථානය දුටු පමණින් එහි භාහිර පෙනුම අපේ සිත් නොගත්තේය. කෙසේ හෝ හිත හදාගෙන එය තුලට ගොස් මා කවුරුණ්ද? කොහි සිට කුමක් අරභයා පැමිණියේද? යන වග ගරු ගාම්භීර ලෙස ඉදිරිපත් කලද එය එහි සිටිය වුන්ට මෙලෝ ගානක් නැතිවිය. "කොළඹ සිට යාපනේට සයිකලයෙන් ගමන් කරණ; මෙම තවමත් බටහිර හෝ දේශීය වෛද්‍ය විද්‍යාවේ සොයා නොගත් රෝගයකින් පෙළෙනා අප තිදෙන” ඔවුනට කිසිදු විශේෂත්වයක් ගෙන ආ දසුනක් බව කිසිදු ලෙසකින් පෙන්නුම් නොකෙරුණි.
 
මෙය;පොළොන්නරුවට එක් දිනකින් කිලෝමීටර 200 ක් මග ගෙවා අප පැද ගෙන ගොස් මධුෂාන්ගේ නිවසට ගොඩ බැස්ස දිනයේද මා අත් දුටු තත්වයකි.
 
"ආනේ ඔයාලා ආවද?”, "දෙයියනේ කොහොමද අනේ ඔච්චර දුරක් පැද්දේ?", "අමාරු නැද්ද?", "අම්මෝ මගේ ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ!" වැනි ආකර්ශණීය වදන් කිසිවක් මධූගේ ප්‍රිය බිරිඳගෙන් මා දුටුවේ නැත. නොකීවාට මධූ එසේ බලා පොරොත්තු වූවාට සිදුවූයේ ඉතා ඇල් මැරුණු ප්‍රථිචාරයකි.
 
දෙවෙනි වර එනම් පසු ගිය මාසයේ නැවත මමත් මධූත් වසිකත් පොළොන්නරු ගිය දවසේ නම් මධූ තම බිරිඳ ලවා බලෙන් දෙපා සම්බාහනය කර ගනිමින් අපට මාධ්ය සංදර්ශනයක් පැවැත්වූවා යාන්තමට වාගේ මතකය! මේ දේවල් පුහුදුන් සත්වයින් අපේක්ෂා කරණ සිඟිති ආතල් ය! කණගාටුවට කරුණ වන්නේ අන් අය මෙසේ ආතල් ගැනීම හෙලා දැකීමය.
 
මා මෙය මෙසේ ලීවාට අප සියල්ලෝම එකම මුලකින් පටන්ගත් සත්වයින් කොටසක් බව කීවේ මා නොව චාල්ස් ඩාවින්ය! එනිසාම එකිනෙකා වෙනස් වූවාට ඒ අවස්ථානුකූලව විනා මුළුමනින්ම නොවේ. "බොන එකා බි ගන්නා සැප නොබොන එකා 'මං බොන්නේ නෑ!’ කියා ගනී!' කියා මා කියන්නේ ඒ නිසාමය. වැද්දන් බන කියද්දී පැවිද්දන් බන කියනවාට වඩා සුන්දරය!හිනා වෙවී නිවන් යා හැකි මගකි!!
 
සතියකට පමණ කාලයකට පෙර විමසා බලා ඉන්පසු දූරකථන මාර්ගයෙන් වෙන් කරගෙන මීට දිනකට පෙරද නැවත කතා කොට තහවුරු කරගත් පාරිභෝගිකයා තම සේවා ස්ථානයට පැමිණ කලින් වෙන්කරගත් කාමරය ගැන විමසද්දී ඔවුන් තූෂ්ණිම්භූතව එකිනෙකා ගේ මුහුණ බලමින් කල්පණා කරණ්නටත් එකිනෙකා ගෙන් විමසන්නටත් විය! තවත් ස්වල්ප වේලාවකින් මාගේ වාග් ප්‍රහාරය ඇරඹීමට ඔන්න මෙන්න තිබියදී එක් අයෙක් ඉදිරිපත්ව "ඔය ගොල්ලො කී දෙනෙක් ඉන්නවාද? කාමර කීයක් ඕනෙද?" අසා නැවත් කිසිවෙකුගෙන් කාමර ඇත්දැයි විමසා තහවුරු කරගෙන ; අපට කාමරයක් සැපයීය. කාමරයක් කලින් වෙන්කරගත් අරුමයෙන් තව මොහොත කින් අපට පාරේ නිදා ගැනීමට තිබුණු අනගි ගෙන අවස්ථාව ඒ මහතාගේ මැදිහත් වීම කරනකොට එසේ මග හැරී ගියේය.
 
කාමරයට ගොඩ වැදී මොහොතකින් හිතේ තිබුනු කේන්තිය හිරු දුටු කදෝ පැණියන් සේ අන්තර්ස්දාන විය.තවත් ටික වෙලාවක් ඇවෑමෙන් නිශාන් කුමාරගේ කාරුණික අනුග්‍රහය යටතේ හයි කියුබ් ලයන් ස්ට්‍රොන්ග් කෑන් එකක සිසිලසින් සිරුර සිසිල් වී යන්නට පටන් ගත්තේය.
 
"නදී ගංගා තරණයේ - සැරිසරා සැඩ මාරුතේ 
                                                                 ඉන්ද්‍රඛීලයක්සේ. . . . . . . 

නොසැලී මා යන මාවතේ - සිංහ ලෝකයේ 
                                                           සිංහ ලෝකයේ. . . . . . . . . . . . .”
 
ඔව් එය ජව සම්පන්න බවින් අනූනයි තමයි. ඒත් මම මෙනෙහි කරණ්නට කැමති ගීය වූයේ අනෙකකි. සවස් වරුව ගෙවීගිය අයුරු සිහිනයක්සේය. ඒ සිසිල් මධු පානය නිසා නොව සිරුරේ තිබුණු අධික තෙහෙට්ටුව විසින් සිරුරේ ජීව ඔරලෝසුව අඩපන කරගෙන හෝ නතු කරගෙන තිබුණු හෙයිනි.
 
පසු දින ගමනට ඇවැසි පරිදි අපගේ සයිකල, ඇඳුම් , ආහාර හා වෙනත් අඩුවැඩිය සියල්ල යථා පරිදි සකස් කිරීම හැරුණු කොට අපට ඉතිරිව තිබුනේ කයිවාරු ගැසීම හා නිශාන් කුමර හට සයිකලයේ ගියර ප්‍රයෝජනයට ගන්නා අයුරු කියා දීමටය. මේ කට යුත්තටම මම කොළඹින්ම රැගෙන ගිය චරිථයක් විය. ඒ අන් කිසිවෙකුවත් නොව මධූය. මධූ මැනවින් ඉටු කරණු මම අඩ නින්දේ සිට බලා සිටියෙමි. m



Scott P6 Cog Set (Free wheel)




සයිකලයක වේවා වෙනයම් ඕනෑම; දම්වැලකින් එකිනෙකට අසම සම දැති රෝද දෙකක් පිළිබඳව; යාන්ත්‍ර විද්‍යාවේදී කථා කෙරෙණ මිනුම් දෙකක් පවතී. ඉන් එකක් වන්නේ ප්‍රවේග අනුපාතය (Velocity Ratio) හා යාන්ත්‍ර වාසිය (Michanical Advantage) යි. (සත්‍ය වශයෙන්ම මෙය දම්වැල් දැති රෝද පමණක් නොව සෑම සියළු යන්ත්‍ර සඳහාම පොදු මිණිත එසේ නැතිනම් අගයයන් දෙකකි! මෙම මිණිත දෙක එකිනෙකට අනුලෝමව සමානුපාත වන අගයයන් දෙකකි. එනම් එක් රාශියක් උපරිම අගය ගන්නේ අනෙක් රාශිය අවම අගය ගන්නා අවස්ථාවේදීය! 
ප්‍රවේග අනුපාතය ඉහළ යත්ම  ඉහළ යත්ම අප; යන්ත්‍රය මත යොදන බලය මගින් ඇතිකරවන වේගයට සාපේක්ෂව වඩාත් වැඩි වේගයක් යන්ත්‍රය මගින් ලභ ගත හැක!

යාන්ත් වාසිය ඉහළ යත්ම ප්රථිඵලයේ වේගය අඩු උවද වැඩි ශක්ති ප්රමාණයක් ප්රයෝජනයට ගත හැක!
 
මෙය ඉතා සරල උදාහරණයකින් මා පැහැදිලි කරණ්නම්. වාහනයක් වැඩිම වේගයකින් ගමන් කරණ්නේ එහි 5 වන ගියරයේ වුවද එම ගියරය කන්දක් තරණය කිරීමට භාවිතා කිරීමට නොහැක. මෙහිදී කැපී පෙනෙන ගුනාංගය වන්නේ (Velocity Ratio) ප්රවේග අනුපාතයය.
එසේම පලමු ගියරය කන්දක් නැගීමට භාවිතා කලද ඉන් අධික වේගයකින් රථය ධාවනය කිරීමට නොහැක.මෙම භාවිතාවේදී කැපී  පෙනෙන ගුනාංගය වන්නේ (Mechanical Advantage) යාන්ත් වාසියය.

සයිකලයක ඉදිරිපස දැති රෝද තුනක් හා පසුපස දැති රෝද හතක් වේ නම් එය වේග විසි එකක සයිකලයක් ලෙස සැලකේ  3 X 7 = 21 ලෙසය.  

ඉහත වගුවේ දක්වා ඇති ආකාරයට  වේගය උපරිම වන්නේ ඉදිරිපස විශාලතම දැති රෝදය මගින් පසුපස අනු පිළිවෙලින් කුඩාම දැති රෝදයේ සිට අනුයාත දැති රෝද තුන භ්රමණය කරවණ විටදීය.එහෙත් පිළිවෙළින් 1 , 2 , 4 යන ස්ථානයන් අදිරිපස ලොකුම දැති රෝදය මගින් අත් පත් කරගෙන තිබුනද 3 වන් ස්ථානය දිනා ගෙන ඇත්තේ ඉදිරි පස ඇති දැති රෝද අතුරින් දෙවන විශාල දැති රෝදය මගින් කුඩාම දැති රෝදය දුවවන අවස්ථාවේදීය (Optimum Level of Velocity Ratio).


මෙසේම වැඩිම ප්රභල තාවයකින් එනම් වැඩිම යාන්ත් වාසියකින් යුත් අවස්ථාව (Optimum Level of Mechanical Advantage) එළෙඹෙන්නේ ඉදිරිපස කුඩාම දැති රෝදයෙන් පසුපස විශාලතම දැති රෝදය දුවවන අව්ස්ථාවේදීය.

ප්රවේග අනුපාතයේ හා යාන්ත් වාසියේ ප්රශස්ථ මට්ටම් සැලකිල්ලට ගෙන බැලූවිට වේග 21 තිබූ පමණින් එම වේග සියල්ලම ප්රයෝජනයට ගැනීම අරථශූණ් ක්රියාවක් බව පෙනී යනු ඇත. ඒට අමතරව ඉදිරිපස විශාලතම දැති රෝදය පිහිටන්නේ සයිකලයේ දකුණු පසය. දම්වැල මෙම දැති රෝදය වටා දිවෙන විට පිටුපස දැති රෝද වම් පසට බොහෝ දුරකට දුවවනු නොහැක. මන්ද එවිට දම් වැල; ඉදිරිපස දැති රෝද තුන අතර දම්වැල මාරු කරවන (Derailleur) ඩිරෙයිලරයේ දම්වැල නිරතුරුවම ගැටෙන්නට පටන් ගනී. මන්ද දම්වැල සයිකලයේ තිරස් අක්ෂයට සාපේක්ෂව විශාල කෝණයකින් හැරෙණ හෙයින් ය!
 එවිට ප්රයෝජනයට ගනු ලබන්නේ
1.ඉදිරිපස විශාලතම දැති රෝදය සමග පිටුපස කුඩාම දැති රෝද තුන,
2. ඉන්පසුව ඉදිරිපස දැතිරෝද අතුරිණ් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා දැති රෝදය සමග පිටුපස දැති රෝද පද්ධතියේ මැද පිහිටි දැති රෝද දෙකද 
3.ඉන්පසු මාර්ගයේ ස්වභාවයට අනුකූලවන පරිද්දෙන් ඉදිරිපස කුඩාම දැති රෝදය සමග පසුපස විශාලතම දැති රෝද ද්විත්වය සේවයේ යොදවයි.

මේ සියල්ල  සමග මෙය වේග නවයක - දහයක  සයිකලයක් බවට පත් වේ. ඉහත වගුවේ වර්ණ ගන්වා ඇත්තේ එම ප්රයෝජනවත් ගියර නවය හෝ දහය දක්වා ඇත.එවිට මූලික වශයෙන් සයිකලයේ ඇති ප්රයෝජනවත් වේග 7ක්, 8ක්, 9ක්, හෝ 10ක්, වේ. එකිනෙකා හුරුවූ එකිනෙකාගේ සිරුරට  අනුගතවු පැදීමේ වේගයක් පවතී. කාලය, පුහුණුව වැනි  විවිධවූ කරුණු කාරණා රාශියක් මත වෙනස් විය හැක. අප සයිකලය පැදිය යුත්තේ එම වේගයෙනි. ගමන් මාර්ගයේ පවතින භූගෝලීය සාධක , පාරිසරික බලපෑම කාලගුණික දේශගුණික තත්වයන් ස්වකීය වෙහෙස මහන්සිය හෝ වැනි සාධක මත තමන්ට අනුගත පැදිමේ වේගය අඩුවේ. 

එසේ පුරුදු පුහුණු කරගත් ස්වකීය වේගය හෙවත් රිද්මය පවත්වා ගෙන යන්නේ සයිකලයේ ගියර අදාල ආකාරයට  ගියර මාරු කිරීමෙන්ය. ආයතන වල සේවය කරන අප අතර කියමනක් වේ. එනම් “එකට කෑවත් බෝනස් වෙනස් !” කියාය. එසේම එකට ; එක මග පැද ගියද තම සයිකලයේ ගියර මාරු කලයුත්තේ තම අභිමතය පරිදිය. තමා ඉදිරියෙන් පදින ප්‍රවීණයා ගියර මාරු කිරීමේදී අනුගමනය කල යුතු නැත. තමාට සුදුසු පරිදි තම සයිකලයේ ගියර මාරු කිරීමේ අභිමතය තමන් සතුය. එසේම “මම ඒ කන්ද පැද්දේ ගියර් මාරු නොකර ...!” වැනි වීර කාව්‍ය වල එතරම් වටිනාකමක් මා නොදකිමි. 

මන්ද සිදු වියයුත්තේ තමන් සතු යන්ත්‍රය හැකි උපරිමයෙන් තමන්ගේ පහසුව සඳහා සුදුසු පරිදි යොදා ගැනීම විනා දුක් විඳීම නොවන්නේය.   අප පළමුවෙන් මෙම ගමන පිටත්වනවිට මිමිණූ ප්‍රියා ගේ “ප්රණීත මී පැණි .......” ගීතයේ රිද්මය පවත්වාගෙන යමින් එකම වේගයකින් පැදීමට නම් කඳු පල්ලම් හමුවේ අදාළ ගියර වලට යොමු වෙමින් ගමන් කල යුතුවේ. 

 Bridgestone X3 Cog set (Free wheel) 
උපත ලද  දිනේ සිට - දතිරෝද  ගත වෙහෙස 
 කිසිදු දින  නිසි ලෙසට - අගය කල   කෙනෙක් නැත !

සාමාන්‍යයෙන් Cog set එකක නැතහොත් දැති රෝද කට්ටලයක  කුඩා දැති රෝද High gear wheel වල සිට ලොකු දැති රෝද Low gear wheel දක්වා ඇත්තේ ක්‍රමික විශාලනයකි. ඉහත රුපයේ දැක්වෙන්නේ Bridgestone X3  නම් Stunt සයිකලයකින් ඉවත් කළ ෆ්රිවිලයක් හෙවත් Cog set එකක් දක්වා ඇත. බලන්න එහි ඇති ලොකුම දැති රෝදය. එහි දැති 34 ක් ඇත! එයට ආසන්නතම දැති රෝදයේ ඇති දැති ගණන 24 කි! මෙවන් දැති රෝද වලට කියන්නේ Super low gear wheel කියාය. මෙම සයිකලයේ ඉදිරිපස කුඩාම දැති රෝදයේ දැති ගණන 28 කි.එම ඉදිරිපස දැති රෝදයෙන් මෙම දැති 34 කින් සමන් විත සුපර් ලෝ ගියරය එළවෙන විට ලැබෙන යන්ත්‍ර වාසිය (Mechanical Advantage)
 34/28 = 1.21 කි! 

(ඉහතින් දැක්වෙන වගුවේ ඉමේජයක්  පහතින් දක්වා ඇත. මෙහිදී පිටුපස කොග් සෙට් එකේ හෙවත් ෆ්‍රී වීලයේ; දැති 28ක් සහිත  විශාලතම  රෝදය වෙනුවට මෙගා වීලයක් හෙවත් දැති 34 ක රෝදයක් යෙදූ විට සයිකලයේ යාන්ත්‍ර වාසිය / Mechanical Advantage බොහෝ සෙයින් ඉහළ මගින අයුරු බලන්න. එවිට සයිකලය පැද යාමේදී බොහෝ බාධක බිඳ හෙලිය හැකිවනු ඇත. මෙම උපක්‍රමය මා මව් බිම වටා ගිය ගමනේදී උපයෝගී කර ගත්තෙමි! )

ස්ටන්ට් රයිඩර්ස්ලා ගල් උඩ, තාප්ප උඩ සයිකලයෙන් වැඩ පෙන්වන්නේ මේවයේ ආනුභාවයෙනි. අපි කතාවට “ගහේ ගලේ උනත් යන්නට හැකි!” කියන්නේ මේවාටය.


මධූගේ සයිකල් පාඩමේ සෛධාන්ත කොටස අහවර වෙන විට මා අඩ නින්දේය. හෙට දින ප්රායෝගික කොටසය!
අප රාත්රී ආහාරය ගත්තේ සවස 6.00 පමනය

දිනය මහළු වියට එළෙඹ තිබුනි.හෙට දිනය වඩාත් අභියෝගාත්මක වනු ඇත!රාත්රී ආහාර ගැනීමෙන් පසු දෙවන මහලේ වූ අපගේ යහන් ගැබට රිංගා තම තමන්ගේ යහන් මතට වැද හොත්ය.    

ඔබ ජිවිතයේ වරක් හෝ වියළි කලාපයේ රාත්‍රියක් ගතකොට ඇත්නම් මෙනෙහි කොට බලන්න රාත්‍රිය එළබෙත්ම හමන සිහිල් සිසිලස! ගස් වල අතු අතරින්  ඒවා පිසලමින් හමන එය විඳ ඇතිද?මේ පාරිසරික වෙනස සමග නදී ගංගා තීරයේ ….” පරයා හදවත පුරා ස්වප්ණයක් සේ ඇදී ගිය ගී රාවයක් නැවත මතකයට එක් විය.

"සිහිල් සුළං රැල්ලේ . . . . . ඔබේ සුවඳ මුසුවේ . . . "





53 comments:

  1. ගියර් පාඩමක් එක්ක අගේ ඇති සවාරියක අගේ ඇති තවත් කොටසක්. වීදුරුවෙ ඔය රවුං කෑල්ල අලෝගෙන නොගිහිල්ල මම දඩ කෑව කහවත්තෙ පාලම උඩදි දැනට ගොඩක් කාලෙකට ඉස්සර.

    ‘මධුසමය‘ කතාවත් ඉක්මනින්න මෙතන පලවෙතැයි බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
  2. ස්තූතියි බොහෝ විට සේම අදද ප්‍රථමයෙන්! බොහොමත්ම ස්තූතියි! "මධු සමය" ඉක්මනින්ම බලාපොරොත්තු වන්න!!

    ReplyDelete
  3. කොහොද මේ තට්ට මහත්තයා ගිහින් හිටියේ. මාසෙකට පොස්ට් එකක් දාලා තල් අරණට යන්න මේ අවුරුද්ද ඉවරවෙන්න කලියෙන් බැරිවේවි.

    ReplyDelete
    Replies
    1. එකම රැකියා ස්ථානයේ උනත් වෙනත් තැනක සේවය කරණ්නේ. දිනකකට වැඩට යන්න විතරක් කිලෝමීටර 40 සයික්ලින් කරණවා. දිනකට කිලෝමීටර 80ක්! ඉතින් කාලය ඉතා සීමිතයි. අනෙක අන්තර් ජාල අඩු පාඩුව හා පරිඝනකයේ අසනීප වැනි කරුණු කාරණා ගනනාවක් නිසා කල් ගියා. දැන් ලැබුනා පොඩි ඉස්පාසුවක්. අනෙක වචන 2000 ක් වත් මම පෝස්ටුවකට ඇතුලත් කරණවා. මේකෙ වචන 2800 ක් විතර. ඒ නිසාම කල් ගියා. සමාවෙන්න. ඉක්මණින් ලියාගෙන යන්නම්. ස්තූතියි බොහොමත්ම!

      Delete
  4. Thatta mahattaya bandarawatta handiyen yanne kiyata vitharada..watura tikak bila yanna enna.aluthen dapu wathura kadeta..😀😀👍

    ReplyDelete
    Replies
    1. අයියො මේක දැන් ගෙදරට ආවාමනේ දැක්කේ. නැතිනම් නිකං බලලා යන්න හරි එනවා. ඉරිදට ඉන්නවද?

      Delete
    2. Ow..ow..innawa..ada thamai thal aranata lipi tika piliwelata kiyewwe..

      Delete
    3. හරියටම තැන කියන්න. හෙට හරි එන්නම් බලලා යන්න!

      Delete
    4. Bohoma sathutui ayye balala yanna awata..👍👍
      Comment sinhalen liyanna bane phone eke.ithin singlish thamai..😀

      Delete
  5. ඉතාම ආසාවෙන් කියෙව්වා .
    බයිසිකල් වල ගියර් ගැන කියන කොටනම් ඇතිවෙන්නේ ඊර්සියාවක් . දැති 16 ෆ්‍රී වීල් එකයි දැති 48 කොග් වීල් එකයි කකුල් දෙකේ බලයයි, හිතේ හයියයි මිසක් කවදාවත් ගියර් තියන බයිසිකලයක් ලංකාවේදී පැදලා නැහැ . එහෙමයි කියලා බැහැලා තල්ලු කරපු කන්දක් මතක් කරගන්නත් බැහැ.
    අසූවේ දශකයේ වසරක, ලංකා සවාරියේ හෙන්ඩර්සන් ගේ බයිසිකලය ලේක් හවුස් එක (තරඟ අවසානය) පෙනි පෙනී (හරියටම මැකලම් එකේ පාලම උඩදී) ඇඹරිලා ගිය වතාවේ සුමනවීර පළමුවැනියා උනාට හැමෝගෙම වීරයා උනේ හෙන්ඩර්සනුයි. මාත් තරඟ අවසානය බලන්න ෆිනිෂ් ලයින් එකේම හිටියා .එහිදී තරඟ විචාරකයෙකු(රේඩියෝ හෝ TV ) හෙන්ඩර්සන් ගේ නම මොකක්ද (මේ මහත්තයාගේ නම මොකක්ද?) කියලා අහපු වෙලාවේ ලැබිච්ච හූව නම් තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා .
    මමත් නාකි උනාට තවමත් ඉඳහිට බයිසිකල් පදිනවා. ගිය වසරේ NSW ප්‍රාන්තයේ තියන DUBBO නගරයේ සත්වෝද්‍යානය බලන්න ගිහිං පවුලේ හැමෝම බයිසිකල් හයර් කරලා පැදගෙන ගියා. කරුමේ කියන්නේ හොඳටම වැස්ස. වැඩේ අතහැරදාලා බයිසිකල් ආපහු දීලා (කුලිය ඩොලර් හැටක් විතර කියලා මතකයි ) වාහනයෙන් ගිහිං සූ එක බැලුවා.
    ඔබගේ යාපනේ චාරිකාවේ මීළඟ කොටස කියවන්න බලාගෙන ඉන්නවා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයා. මමත් මගේ තරුණ වියේ පැද්දේ ඔහොම තමයි. ඒවා 70 - 80 දශක වල තරුණ විය පසු කරපු හැමගෙ පොදු අත්දැකීම්. සමහර විට මේ වසරේ නොවැම්බරේ ඔය පැත්තේ එන්න ඉන්නෙ. එහෙම උනොත් පදිමු මතක හිටින ගමනක්. මම මේ බොහොමයක් තාක්ෂණික දේවල් ලියන්නේ ඒවා හරි හැටි නොදන්නා කමින් මම සෑහෙන අවුල් වුන අවස්ථා ඇති හෙයින්! ඒවා තරමක් නීරස තමයි. ඒත් කවදා හරි දවසක මේ දේවල් අත් පොතක් වේවි කියලා හිතාගෙනයි මේ ලියන්නේ. අනෙක මට කියන්න ඕන මේව මේ මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් කන සුපර් මෑන්ස් ලගෙ වැඩ නොවේ කියන එක. සාමාන්‍ය ඔබ තුමාලා අපි වගෙ උන්නැහැලට කරණ්න පුළුවන් දේවල් කියන එක සමාජ ගත කිරීමයි මගේ මේ උත්සාහය. කවුරු හරි අනාගතේ එකෙක් හරි මේවගේ හිතුවක්කාර වැඩක් සාර්ථකව අවසන් කරණු දැකීමයි මගේ එකම සතුට. ස්තූතියි බොහොමත්ම!

      Delete
  6. මමත් අසාවෙන් බලන page එකක්. 😁😁

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! බලලා නිකං ඉන්නවට නම් මගේ ඒ තරම් මනාපයක් නෑ. පොඩියට පටන් ගමු තෝරගෙන තමන්ට ගැලපෙන පිස්සු වැඩක්! බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට!

      Delete
    2. නොකිව්‍වට මොකද මමත් හිතන් හිටියෙ මේ සෙරෙ ලන්කවට ආවහම ඔබ තුමා හම්බ වෙන්න. මොකද මම නිවාඩුවට ආවහම ඉන්නෙත් කඩවත තමයි. ඩෙසෙම්බර් අග එන්න තමයි හිතන් ඉන්නෙ. මොනවා හරි හොන්ද වෙඩක් කරමුද කට්ටිය සෙට් කරගෙන.

      Delete
    3. අනිවා ආවාම කියන්න. ඔබ තුමා ඉන්න තැනකට මම එන්නම්. බොහෝවිට මා ලග වැඩිපුර සයිකලයක් දෙකක් තියෙනවාමමයි! එතකොට අලුතින් එකක් ගන්න ඕන වෙන එකකුත් නෑ. හමුවෙමු. එය මටත් රසබර මතකයක් වනු නොඅනුමානයි!

      Delete
    4. බොහොම ස්තුති. මමත් පුලුවන් උනොත් මෙහෙන් එකක් මෙහෙන් පටවන්නම්. TREK FX 2 (disk) එකක් වගෙ හරියයිද ලන්කාවෙ පාවිච්චි කරන්න. කැඩුනොත් හදාගන්න තැන් එහෙම තියෙයිද. මගෙත් අදහසක් තියෙනවා ලන්කාවෙ වැඩට යනකොට සයිකලේක යන්න.

      Delete
    5. Trek show room එකකුත් තියෙනවා. ඒත් මෙහේ හොඳටම ක්‍රියාත්මක වෙන්නේ Bianchi Agency එක. මගේ සයිකල් නඩත්තු කරණ්නෙත් ඔවුන්. සූරියගේ කියලා තමයි නම තියෙන්නේ. ඔයා මෙහාට කතා කරලා මෙහේ තියෙන Bianchi එකක් ගේන්න. නැතිනම් Giant එකත් හොඪ්හටම හොඳයි. Trek එකකටමනම් කැමති මෙහේ ඒජන්සි එකට කතාකරලා මෙහේ තියෙන එකක් ගේන්න. කොහොම උනත් Hibrid එකකුයි ගේන්න ඕන. මගේ "සයිකලයක් අරණ් පදිමු" පෝස්ට් එක බලන්නකෝ!

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. උපදෙස් වලට බොහොම ස්තුති. ඔව් hybrid එකක් තමයි මෙ කියන එකත්. trek එකට කතා කරා. මෙ මොඩෙල් එක තියෙනවලු. පාර්ට්ස්,නඩත්තු කටයුතු කරන්න පුලුවන් කියුවා.සූරියගේලා වෙන බ්‍රැන්ඩ් සුත් රෙපයාර් කරනවද.

      Delete
  7. බත් කන ගමං කියෝල එන්නං මාමෙ. ඉස්කෝතුයි

    ReplyDelete
    Replies
    1. බත් කන ගමං කියෙව්වේ කියෙව්වොත් කන්න බැරිවෙයි කියලා හිතලද? හි ! හි !!

      Delete
  8. කියෙව්වා. මේ සීරීස් එක කෙලින්ම පොතක්. මේක කියෝලම මට යාපං යන්න තදියමක් හැදුනනෙ. ලබන අවුරුද්දෙවත් යන්න ඕනි. මට නං යන්න ඕනකම තියෙන්නෙ යුද්දෙං ඇතිවෙච්ච නටඹුන් තියේ නං බලල එන්න. සංචාරක සුද්දෙක් ලියල තිවිච්ච යාපනේ ගැන සටහනක මිනිහා යාපනේ ගැන කියල තිවුනෙ "වෙනිං යන්න තැනක් නැත්තං යන්න" කියල.

    පොයිට්ටු වාන්ග

    ReplyDelete
    Replies
    1. "තල් අරණ" ට ලබා දුන්නු රෙකමදාරුව ගැන අහිංසක සතුටක් දැනුනා. එයට අනේක වාරයක් තුති. බ්ලොග් ලියන්නෙකු ලෙසට ඔබ දන්නවා නොවෙද කොමෙන්ටු අකුරු පහක වටිනාකම මම නොකිව්වට. බොහොමත්ම ස්තූතියි. කාලය බොහෝසෙයින් සීමිත උනත් මෙහෙම හරි ලියන්නේ මේ ලැබෙන උත්තේජනයෙන්! බොහොමත්ම ස්තූතියි! තවත් කොටසක් ලියන්නට ඇවැසි ඉන්ධන සැපයූවට!

      Delete
  9. පසුව ලියමි: අද මම නාවල බියන්කි ෂෝරූම් එකට ගියාම නම ඇහුවා සජිත් බාසුන්නැහැගෙන් "වසන්තා නෝනා සූරියගේ මුදලාලිගේ පවුල නේද?" කියලා. ඒ ගමන සජිත් මගේ දිහා ; ගෙවිලා අයින් කරපු බයිසිකල් චේන් එකක් දිහා බලා ඉන්නවා වාගේ බලා ඉඳලා "මොකද බල්ලො අල්ලන්නෙ නැති බයිසිකලේක හිටගෙන පැද්දද?" කියලා අහපි. බලාන ගියාම ඒ දෙන්නා ගිය ආත්මෙදිවත් බැඳලා හිටියේ නැතිලු. මගේ මතකයේ එහෙම තිබුනේ කොහොමද මංදා. අනේ සමාවෙන්න ඕනෑ එකසිය ගානට! මේක පට්ට පල් අමූලික ඇත්තක් බවත් සද්දෙ වහලා හිටිය මහත්වරුණ්ට වෑල් කරක් දෙන්න වටිනවා!

    ReplyDelete
  10. මම බ්ලොග් කියවන්න අරන් මාස 6ක් විතර. හෙබෙයි ඔබගෙ බ්ලොග් එකෙ මම නොබලපු පිටුවක් නැති තරම්. විවිධත්වයෙන් යුතුව ලියලා තියෙනවා. හැබැයි කොමෙන්ට්ස් දෙම්මෙ නම් අද තමයි. සමා වෙන්න ඔනෙ.
    යාන් හැල්ලටත් කියන්න තියෙන්නේ එ දේම තමා.

    ReplyDelete
  11. ඔබ හිතන්න නව කතා කරුවෙකු නවකතාවක් ලියන්නේ මොන අදහසින් උනත් අවසානෙ ඔහුට අත්පිටපත විකුණා ගන්නට පුළුවන්. ගායකයකු ගීතයක් ගායනා කලත් අවසානයෙ එයට මිලක් තියෙනවා. ඒත් බ්ලොග් කරුවෙකුට ලැබෙනා දෙය කුමක්ද? අත යට ලැබෙන මුදලට, එසේම බ්ලොගය හරහා තම පෞද්ගලික ඕනෑ එපාකම් ඉටු කරගන්නා ටික දෙනෙකු හැරෙණ්නට අන් සියල්ලෝම ලියන්නේ හුදෙක් සතුටටම පමනයි. ඒ සතුට ලැබෙන්නෙ අන් අය මෙය බලනවා දැයි තහවුරු උනු පසු. ඒ සතුට දෙගුන තෙගුන වන්නේ කොමෙන්ටු වලින්! බොහොමත්ම ස්තූතියි! පේජස් වල තියෙන ඒවත් බැලුවද?

    ReplyDelete
    Replies
    1. ඔබගෙ ලිපි ඔක්කොම වගෙ බැලුවා. හැම එකක්ම එක වගෙ සුපිරියට ලියලා තියෙනවා.(අර කවුද ලියලා තිබ්බෙ සුප්පා සුපිරි තල් සූකිරී කියල. අන්න එ වගෙ)
      ලන්කාවෙ බ්ලොග් කරුවන් ගැන නම් මට තියෙන්නේ ඉතා යහපත් ප්‍රතිචාරයක්. මේකෙ ක්ශනික නූඩ්ල්ස් වගෙ පොස්ට් දාන්න බැ. සමහර විට සති ගනන් ලියනවා මකනවා ඇති එකම පොස්ට් එක.
      අනිත් කාරනෙ ඔබලා කාලය හොයාගන්න එක. ඒකට නම් වෙනම සම්මානයක් දෙන්න ඔනෙ.

      Delete
  12. Thank you very much for your information. You have to write more technical matters of cycling due to my wrong riding. I would like to say you that I learnt more technical matters during the trip. Specially I highly appreciate "Madu". He supported me. You also guided me very well. Thank you!!!. How ever What would be the next riding?

    ReplyDelete
    Replies
    1. මම බොහෝ විට එක වරක් කියා දීමෙන් වෙහෙසට පත් වෙනවා. මධූට තියෙනවා ඉවසිල්ලක් උගන්වන්න. අර මහාචාර්‍ය දයා රෝහණ අතුකෝරල මහත්තයා කිව්වා වාගේ සෙමින් ටිකක් හොඳින් උගන්වන්න මම දන්නේ නෑ. ඒක ලොකු කමට කියන කතාවක් නෙවේ. නොහැකියාව. මධූ ඒ අතින් හරි ඉවසිලි වන්තයි. එයාට පුළුවන් හෙමි හෙමීට කියලා දෙන්න. උගන්වන්න. ඔයා හිත රිදවා ගන්න එපා ඔයාගේ පැදීම මම මේ පෝස්ට් එක පටන් ගත්තු තැන ඉඳන් විවේචනය කරණවා කියලා. බලමුකෝ පහුවෙනිදා ප්‍රායෝගික කොටස ඔබ සපුරණ විදිය. මම දැන් නොකීවට ඔයාම දන්නවානේ මල්ලී. ඊළඟට නුවර එළියේ යන්න හිතයි. මම හැටන් වෙන කල් ගියානේ. ඒකට ඔය මම පෝස්ට් එකේ ලියලා තියෙන 14 - 34 T Super Low Cog set එකක් දාලා bike එකක් හදාගන්න ඕන! මට දැං හමූඋනා ඒ Cogset තියෙන තැනක්! වෙන කොහෙවත් නොවේ. බියන්කි එකේ තියෙනවා. දාගත්තානම් ගොඩම ගොඩ! යනවා නම් සයිකල් ඒ විදියට හදාගෙන පදිමු! ජයවේවා! ස්තූතියි!!

      Delete
    2. Then what is the chain wheel, 48-38-28 is okay?

      Delete
    3. හරියටම හරි! නැතිනම් තැනිතලාවේදී ගමනක් නැති වෙනවා. ඉස්සරහ කොහිමත් ඔයිට වඩා අඩු උනොතින් ගැටළුවක්. යාන්ත්‍ර වාසිය වැඩි කරගන්න කරණ්න ඕන කොග් සෙට් එක ලොකු කර ගැනීම. ඒකට මුළු සෙට් එකම උඩට වෙලා නැති සුපර් ලෝ වීල් එකක් තියෙන කොග් සෙට් එකක් තමයි හොදම විසඳුම. අනෙක ක්‍රෑන්ක් එකත් දිග එකක් දා ගත්තාම ලීවරේජ් එක වැඩි වෙනවා. හැබැයි සාපේක්ෂව උසින් අඩු අයට ඒක එච්චර ගැලපෙන්නේ නෑ!😩😩😩😩😩😩

      Delete
  13. රජිත් කිර්ති තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුවෙත් https://www.facebook.com/Keerthi.tennakoon
    පා පැදි සවාරියක් ගැන මේ දිනවල පින්තුර පල වනවා. මහත්මයා ඒවා දුටුවද?

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝතුමෝ මම ෆේස් බුක් එක්ක තියෙන්නේ අල්ප බැඳීමක්. මම මේක අද දවස ඇතුලත් බලන්නම්. බොහොමත්ම ස්තූතියි බැලුවාට, ලිව්වාට , තොරතුරු දැක්වූවාට!

      Delete
    2. ආ ඒක සුපිරිම වැඩක්. පාසැලකින් පවත්වන සයිකල් රැලි එකක්. සාමාන්‍යයෙන් තියෙනවා Arund the Pearl කියලා ඔය වගේ රැලි එකක් ලංකාව වටේ. මගෙත් එක් සිහිනයක් ඒක. ඇත්තටම අපි පදින සයිකල් මේ වෙනකොට අවුට් ඩේටඩ් ඒවා. මගේ තියෙන හොදම සයිකලෙත් මීට අවුරුදු 10 කට විතර කලින් හදපු එකක්. ඒත් තාම වැඩ! මාව කවදාවත් මග අතරමං නොකල එකක්. කොළඹ දෙනියාය , කොළඹ පොළොන්නරුව දෙවරක් , මේ ගමන , හක්බෙල්ලාවක හැටන්. ඔය වගේ ගමන් ගනනාවක් මා එක්කම හිටිය ගමන් සගයා. මම අවුරුදු ගනනාවක් සතියට දින 4 - 5 ක් වැඩට ගියේ එයා එක්ක දවසකට් කිලෝමීටර 35 ගනනේ. දැන් දවසට කිලෝමීටර 80 ක් මාව පරිස්සමෙන් එක්කගෙන යන්නෙත් එයාමයි. ඒත් අර වගේ ඉවෙන්ට් එකක් කරණ්න මීට වඩා තාක්ෂණයෙන් ඉහල එකක් තියේනම් ප්‍රථිඵල සතුටු දායකයි. ඒ කොහොම වෙතත් එයාලා කරණ්නේ ක්‍රීඩාවක් විනෝදාංශයක් උනාට සෙල්ලමක් නොවෙයි! මම හිස නමා ආචාර කරමි! ස්තූතියි!

      Delete
  14. තට්ටයා මහතානෙනි පරක්කු උනාට සමාවෙන්න.
    මේ සතිඅග රස්තියාදුවකට වෙන් කර ඇති නිසා ටිකක් කාර්්‍යය බහුල වෙලා.

    අගේ ඇති කතාවක් ගියර් ගැන අපේ මාකටින් උන් කරන කතා බහ ග්‍්‍ීීීීක් වෙලා තිබ්බෙ පාඩම මරු කුප්පියක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මල්ලී මම ඔය ගියර් සීන් එක ලියනවද නොලියවනවද ආයෙත් ලියනවද කියලා අර මීයා කම්බියට බෙල්ල තියාන මස් කනවද මාළු කනවද කියලා දෙපැත්ත බල බල හිටියාවගේ හිටියේ! මොකද මේක ලියන මටත් ගැටගහ ගන්න අමාරු අවුලක් වෙන එකේ කියවන එවුන්ට එකම කලවං මැල්ලුමක් වෙයි කියලා. ඒත් "ගඟක් දිගේ..." වගේම මට සයික්ලින් වල ඔය ටෙක්නිකල් දේවල් ටිකත් ලියන්නම හිතුනා. මොකද හැමදාම මම කියනවා වගේ මේක ඊළඟට කරණ්න හිතාන ඉන්න එකෙකුට තරමක හෝ අත් පොතක් වනු දැක්මට ඇති අහිංසක බලාපොරොත්තුව. ඉතින් ඒක අගය කරණවා දැක්කාම ඒක ලොකු සතුටක්. අපි කරණ්න හදන ඉවෙන්ට් එකට ගැලපෙන්න යන්තරේ වැඩි දියුණු කර ගැනීමට හැකිවෙන්නේ. මේ තාක්ෂණික දැනුම තිබුනොත් තමයි. බොහොමත්ම ස්තූතියි හැමදා වගේම අදත් පැමින කියවා ලියා අගය කලාට. යන ගමන ප්‍රවේශමෙන් ගිහින් තනි කෑල්ලට වරෙල්ලා. ඕන රෑක ඕන තැනක ඉඳන් අමතන්න. පැයට කිලෝමීටර 60 වේගෙන් මම එතන! (මගේ ලොරි 1/2 ට තාම ඊට හයියෙන් ගිහින් නවත්තන්න බෑ!)

      Delete
    2. හැමදාම වගේ ස්තූතියි අයියන්ඩි.

      Delete
  15. මාහෝ , යාපහුව, කෝන් වැව, හාතිගම, මඩගල්ල පාරෙන් ලොකූ වටයක් ගහල යන්න තිබුනනෙ. ඒ පැති තාම අවු 10කට කලින් වගේ තියනව. රෝද හතරෙ වාහනයක යනකොට හදිස්සියක් නැත්නම් මං ඔයවගේ විකාර රවුම් යනව. එක පාරක් බැලුවහම 70 KM ක් වැඩියෙන් ගිහිල්ල. උගත් සයිකල්වේදීන් එහෙම මෝඩ වැඩ කරන්නෙ නැතුව ඇති මගෙ හිතේ

    ReplyDelete
    Replies
    1. උගත් සයිකල් වේදීන් එහෙම ඇත. අප නූගත් බැවින් එහෙම නැත! ප්‍රාජේ මමත් රෝද හතරක යනකොට ඔය සෙල්ලම් දානවා. ඒත් සයික්ලින් කරද්දී අපි පුරුදු වෙලා තියෙන්නේ ගමන ඉවර කරගන්න මිසක් වටා පිටාවෙව් සෞන්දර්‍යය නරඹන්න නොවෙව්නෙ! බොහොමත්ම ස්තූතියි. යන්න ඕන ඔය කියන පාරෙ!

      Delete
  16. හම්මේ යාල්පානම් පැදිල්ල. මතක් වෙනකොට මයිල් කිලින් වෙනවා. නිශාන් අයිය පාඩම ක්‍රියාවට නංවපු නැංවිල්ල ඊලඟ කොටසින් කියවන්න පුලුවන් වෙයි වගේ.
    .
    .
    .
    .
    .
    .
    "කණගාටුවට කරුණ වන්නේ අන් අය මෙසේ ආතල් ගැනීම හෙලා දැකීමය."

    බකාස් හම්මේ මගෙ ඉල....

    මොනව උනත් බාප්පේ (පලි: පාඨක පාඨිකාවන්ගේ දැනගැනීම පිණිස, තට්ටයා නෑදෑකමින් මගේ බාප්පා ) ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් පිටකොටුවෙ සයිවර් කඩේකින් තෝසෙ එකක් කන ගමන් කියලා තියෙනවා "ඔබට "ආතල්" ගත හැක, නමුත් අනෙකාගේ මූනත් තහඩුවේ නොවද්දන්න කියලා. ඕන ආතල් එකක් හීනියට ශේප් එකේ ලාවට ගන්න කියලත් එතුමා ප්ලේන්ටියක් බොන ගමන් කිව්වලු එදාම, මේ සීමාව ඉක්මවනකොට කේස් තමයි....



    එල එල පට්ට පට පට.....අමතක නොවන මතක

    ReplyDelete
    Replies
    1. තට්ට මහත්තයා කියපු විදියට උඹ (අවුලක් නෑනෙ උඹ කීවට)වැඩ කොරන්නේ හැව්ලොක් සිටියේය ඒත් මට දැකපු බවක් මතක නැත. (අවු පමන පිට්ටු බම්බුුෙවේ 18ටේ සිටියමෙි සෑම සතියකම දෙවරක්වත් හැව්ලොක් සිටියට ආවෙමෙි.)

      Delete
    2. අවුලක් නෑ මචන්,


      හැව්ලොක් පැත්තෙ එනවනම් අපි දන්න කියන මිනිස්සු වෙන්නත් ඇති.
      මම හැව්ලොක්සිටියෙ ප්‍රොජෙක්ට් ඔෆීස් එකේ ඉන්නෙ. ආපු වෙලාවක මගෙ නම කියලා එන්න සෙට්වෙමු.

      එල එල

      Delete
    3. දැන් අයි උනා මචං. මම තමයි ඔකෙ කලින් අටීී අැඩ්ඩඩිං හිටියේ.
      මුල ඉදල අගට යනවකන් හැමෝම අදුනනව මාව .
      මදුසංක කීවම.

      ප්‍රොජෙක්ටට් ඔපිස් එක රීඩිසයින් පටන්ගත්තු දවස් වල මම අයින් උනේ.

      Delete
    4. ඔව් ඕකා අපේ විශේෂයෙන් මගේ මල වඩම්මපු එක තමයි ඊළඟ එපිසොයිඩ් (එහෙම තමයි ඔසී ඉන්න කපිල තුෂාර කියන්නේ!) එකෙන් කියවන්න තියෙන්නේ. අනේ ඕක දැන් හාවා වගේ හිටියට කරපු වැඩක්! ඇත්තට මට මතකත් නෑ!

      මට තියෙන එකම අවුල මගේ අත මගේ නහයේ වදින එක ගැන උඹලට තියෙන ඇමේනියාවය!

      මද්දා මහතා! මේ අපි බිං කුළියක් ගන්නවා අපේ ඉඩමෙ ඉඳන් මිතුරු හවුල්බ්තියන්න ගත්තාම!

      එළ! එළ!!!

      Delete
    5. ම්ධුෂාන් මහතානෙනි, ඔබේත් මගේත් ඇගේ දුවන්නේ එකම ලෙය බව සැබවි! එහෙත් කරුමෙට මගේ ලේ ඕ නෙගටිව්‍ ය . "ඕන ආතල් එකක් හීනියට ශේප් එකේ ලාවට ගන්න" ඔබගේ උදෘතයට ස්තූතියි. එය ඔබටත් ග්‍රැහැම්බෙල්ටත් ගැලපෙන බව මාහොඳින්ම දනිමි. එහෙත් හොරා කෑම හැමෝටම හරියන්නේ නැතිබව ග්‍රැහැම් බෙල්ට මම කිව්වා කියා හමුවූ විටෙක කියන්න. ඔය කිව්වාට ඌටත් වැරදුනේ හොරා කන්නට ගිහින් බව උගේ මායියා උඩුපිල පොලේදි කාට හරි කියනවා මට ඇහුනා බොරුද කියා උගෙන් අහපං!

      Delete
  17. Dalada gama handiyen 100m vithara idiriyen thiyenawa banis kadayak..unu unu banis..one banisak 20..

    ReplyDelete
    Replies
    1. එළ! කඩවත බණ්ඩාරවත්තෙ වතුර කඩේ වහලා බනිස් කඩයක් දාමුකෝ! මොකද කියන්නේ?

      Delete
  18. අය්යේ අර අඹ වත්ත ලැවරියා විකුණලා ගත්තු එකක්ද දන්නේ නෑ නේ .

    ReplyDelete
    Replies
    1. ඔය ලැවරියා කතාව මං හිතන්නෙ ඇත්තම එකක්. මට ඒක මරදානෙ හිටිය පරණ කෙනෙක් නම කියනවානම් ජයශේකරාරාමය ලඟින් වැටුනු පංසල පාරෙ පල්ලෙහාට වෙන්න තියෙන උදයගිරි බේකරියට ඉස්සරහ ගෙවල් පේලියේ හිටිය ආනන්දගොඩ මහත්තයා මා එක්ක මීට බොහෝ කලකට පෙර කිව්වේ. ඒ වගේ අධිශ්ඨානශීලීබයෙක් ගැන මා අසානෑ. එතරම්ම "පොරක්" ප්‍රේමදාස මහත්තයා. මට ඔය ගැන ලියන්න පොඩ්ඩක් තියෙනවා. මම ඒක ලියාදාන්නම් පෝස්ටුවක් ලෙසටම!ස්තූතියි.

      Delete
  19. හැමදාම වගේ තට්ට මහත්තයා ගේ අප්‍රතිහත දහිරියට මගේ උත්තමාචාරය

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මල්ලී!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...