Monday, July 23, 2018

103. සයිකලයෙන් තල් අරණට 5



එක් වරක් දෙවරක් නොව දොලොස් වරක් වුවත්!

සාරගම වැව අසල තරමක වේලාවක් රැඳී සිටි අප එතැනින් නික්මෙන්නට හිත හදා ගත්තේ තරමක වැර වෑයමකිණි. මන්ද එම වැව අසල කුඹුක් ගසින් අප වෙත සාදා දුන් සෙවන යට; වැව් දිය සිපගෙන එන පවන අපට නිර්ලෝභීව සැලසූ සුවදායක පරිසරයට ඒ වන විට අප බොහෝ සෙයින් අනුවර්ථනයවී සිටි හෙයිනි! මෙම වැව; සාරගම වැව ලෙස මා තුල බෞතීස්ම කලේ කවි ලියන දුමී හා මද්දාය.  

දුමීගේ දූරකතනයේ නොම්මරය මා මාගේ ජංගමය තුල බහා ඇත්තේ "කවි ලියන දුමී" ලෙසය. මාගේ රැකියාවම; දූරකථනය හා බැඳුනු එකක් වූයෙන් දිනකට බොහෝ ඇමතුම් ගැනීමටද සවන් දීමටද සිදුවේ. මේ නිසාම දූරකථන අංක පරෙස්සමට බහා ලීමේදී ඒවා නම් කරණ්නේ මටම සුවිශේෂී කර්මවේදයකටය. එම යාන්ත්රණයට දුමින්ද අබේසේකර අසුවූ සැටි එසේය.

සාරගම වැව අසල ඇති උස් බිම මත පිහිටා ඇති විසල් ගල් තලාව මතින් නුබ සිසාරා ඇදී ගොස් වළාකුළු සිප ගන්නේ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමකි! එසේ ගරුත්වයක් ලැබීමට තරම් සුන්දරත්වයකින් එය ආඩ්‍යව පවතී. එම ගල් තලාව නො එසේ නම් උස් බිම වැවේ එක් මායිමකි. වැවේ එක් පසක් මලින් ගැවසී අතර වඩාත් විසල් ප්රදේශයක් ගැවසී ගත්තේ ජපන් ජබර වැනි ජලජ පැලෑටි වලිනි

වැවේ ආයුෂ අඩුවීමට මෙම ජලජ පැලෑටි කෙතරම් ඉවහල් වූවද එමගින් මැවුනු දර්ශණය නෙතට රසාංජනයක් විය


වැඩක් ඇති දෙයක් නම්!?


කුරුණෑගල - වාරියපොල මාර්ගය වැටී තිබුනේ මෙම වැව සිපගනිමින්ය. එසේම මාර්ගයේ අනෙක් පසින්ද කුඩා ජලාශයක් පිහිටා ඇත. කලෙකට පෙර මෙම කුඩා වැව් දෙකම එකට සම්බන්ධව තිබෙන්නට ඇත. මාර්ගය විසින් වැව දෙපළු කලා විය නොහැකිද?


අතීතය සිහිනයක් පමණයි... - කරුණාරත්න දිවුල්ගනේ

 අවිස්සාවේල්ල; තල්දූවේ සිට ගුරුගල්ල දෙසට යන මාර්ගයේ පසෙක පිහිටා තිබුනු; යුරෝපීයන්ගේ සමයේ මහත් ශ්රී විභූතියෙන් වැජඹුණු කැළණි වැළි ක්රීඩා සමාජ පිට්ටනිය හරහා මහ පාරක් දමා දෙපලු කොට මෙලෝ වැඩකට ගන්නට නොහැකි තත්වයකට හෙලූ බලධරයින් මෙසේ වැවක් දෙකට ඉරා නොදැමුවායැයි සිතන්නට සිත ඉඩ නොදේ.

මේ ක්රීඩාංගනය පිළිබඳ වඩාත් පුළුල් මතකයක් "අරූගේ අඩවියේ" අරූට ඇතිවාට සැක නැත. මන්ද ඔහු ජීවත්වූවායැයි පවසන තල්දූව සිට මෙම අභාවප්රාප්ථ නො එසේනම් වඩාත් සාධාරණ හා යුක්ති යුක්තව පවසනවානම් ඝාතනයට ලක් කල කැළණිවැලි ක්රීඩා පිටිය හෙවත් K.V. Grounds පිහිටා තිබුනේ කිලෝමීටර 3 - 4 දුරිණි. කලකට පෙර එහි පසෙක යකඩින් නිම කල ක්රීඩාගාරයක් (සත් වශයෙන්ම නැරඹුම්ගාරයක් - Pavilion) තිබුනි. මෙයද යුරෝපීයයන් විසින් ඉඳිකල එකකි. මෙය යුරෝපීය වැවිලි කරුවන් හට ක්රීඩා කිරණු වස් නිමැවූවකි. එකල මෙහි තුරඟ තරග පවා පවත්වා ඇති බව තතු දත්තෝ පවසති!


https://en.wikipedia.org/wiki/Kelani_Valley_Club

අදින් දශක හතරකට පහකට පෙර මෙම පිටියේ අලි ධාවන තරගයක් හා තිරික්කල ධාවන තරගයක් පැවතුනි.
අවිස්සාවේල්ල මෙවැනි විනාශ කාරී වැඩ වලට නම් දරාපු නගරයකි! කැළණිවැලි දුම්රිය මාර්ගයට ඉහලින් ගමන් කල මාර්ගය හා පාලම කඩා විනාස කොට දැමුවෝය!  ඕපනායක තෙක් විහිදුන දුම් රිය මග මුලින් උපුටා මරා දැමීමේදීද එවකට රජයට සිත්සේ කටයුතු කිරීමට ඉඩදී බලා සිටියෝය. දුම්රිය ස්ථානය අසල තිබුනු ඊට අයත් ගව ගාල පවා මනාලියන් අන්දන මඩුවකට දන්දුනි. කැළණි වැළි මගේ ඉතිරිවී ඇති සීතාවක ගඟ මත්තෙන් ඇති පාලම විනාස මුඛයට දමා ඇත.  

නගරයේ පසෙක පැවති; එදා සීටීලා මිල්ටන්ලා ජෝතිලා ගී ගැයූ U.C පිට්ටනිය නොහොත් නගර සභා නිල්ල කපා වලක් හාරා පුද්ගලික බස් රථවලට ලගින්නට තැනක් සෑදුවෝය. කොටින්ම පිලිප් ගුණවර්ධනට බොනී ජයසූරිය ලවා පාරලිමේන්තු මැතිවරණයේදී දේශපාලන වශයෙන් පයින් ගැස්සුවේද මෙම නගරයේ අයියලාය.

 මේ ටිකත් මෙතනම ලියලා ඉවර කරණ්නම්. පිලිප් පරදා බොනී ජයගත්තේ ඇන් ඇම් පරදා වින්සන් ජයගත් මැතිවරණයට පෙරාතුවය - 1970 දීය. ඡන්දයෙන් ජයගෙන එකල පැවති සමගි පෙරමුණු රජයේ ප්රථිපත්තියක්; සත්ය වශයෙන්ම තක්කඩි තීරණයක් ලෙස; එවකට යුරෝපීයයන් සතුව පැවති මනා කළමණාකාරීත්වයකින් පාලනය කල සියළුම වතු ජනසතු කරන ලදී. කොටින්ම කොල් කන ලදී!  

මෙම වතු එකල හැඳින්වූයේ "රන් පවුම් වතු" ලෙසය. මේවා බලහත්කාරයෙන් අයිති කර ගැනීමට මැදිහත් වූවෝ එම අදාල පලාතේ දේශපාලන අඳ බාලයෝය! අවිස්සාවේල්ලටදද මෙහි විශේෂයක් නොවීය. එකල එම ප්රදේශය අවට යුරෝපීයයන් පාලනය කල ෆෙන්රිත් වත්ත ඇතුළු වතු කිහිපයක් පැවතිනි.  

මේවා ඩැහැගැනීමට ගියේ බොනී ජයසුරිය ඇතුලු දේශපාලන මැරයන්ය! සිද්ධිය මා දුටුවේ නැත! ඊට කෙටි කාලයකට පසු දේශපාලන රැස්වීමකදී තමා කල තක්කඩිකමේ දිග පලල බොනී ජයජයසූරිය වේදිකාවේ සිට යකඩ කටින් වැමෑරුවේ මෙලෙස බව මාහට මතකය!!

"ෆෙන්රිත් වත්තෙ සුද්දට දැන්මම දොට්ට බැහැලා පලයන් කිව්වාම මූයි මුගෙ ගෑනියි මට පිලීස්! පිලීස්!! ගෑවා දවස් දෙකක වත් කාලය ඉල්ලලා! මම ඉඩ දුන්නෑ!! දැන්මම පලයන් කියලා වත්තෙන් දොට්ට දැම්මේ!" 

අද වාගේ කාලයක නම් බොනී ගෙන් අහන්නට ඇත්තේ “දැන්මම පලයන් කිව්වේ” සිංහලෙන්ද කියාය


(කලබල වෙන්න එපා! තල් අරණට යනවා - මේ දුකට කියවෙන මතක! - සමා වෙන්න ඕනෑ එකසිය ගානට!!!)

නැවතත් සුපුරුදු වැඩ සටහනට!



යන්නයි යන්නේ...!

 සාරගම වැව අසල නැවතූ ඇසිල්ලෙ; ඡායා රූපකරණය, කුඩා ආහාරයක් ගැනීමේ සිට නොයෙක් ශාරිරික මෙන්ම මානසික හා යාන්ත්රික සුසර කිරීම් කිහිපයක් ඉටු කර ගැනීමෙන් අනතුරුව අප එම වැව් සිසිලසට සමුදුන්නෙමු. එතෙක් හිසේ ආරක්ෂාව සඳහා කල මෙහෙවරට ගරු කිරීමක් ලෙස; හෙල්මටය හෙවත් හෙඩ් ගියරය සයිකලයේම පසෙක එල්ලා ගෙන හිස ආවරණය කිරීම හැට් එකකට හෙවත් තොප්පියකට භාර කලෙමු.

අලියාට විසාල කන් දෙකක ස්වභාවයෙන් ලැබී ඇත්තේ ශරීරයේ උෂ්නත්වය පාලනය කර ගැනීමටය. ඉන් අදහස් කරණ්නේ අපේ හාමුදුරුවරු තමන් අතේ ඇති වටාපතෙන් පවන් ගසා ගන්නවා වැනි කට යුත්තක් නොවේ, එය ජීවමාන රේඩියේටරයකි, ඉනටර් කූලරයකි, ඔයිල් කූලරයකි, කන්ඩෙන්සරයකි


ඇංජිමක් හිත හදා ගන්නා හැටි.

මේ සියල්ල ගැන කතා කිරීම පසෙක ලා සියල්ලෝම දන්නා රේඩියේටරය ගතහොත්; එන්ජිමේ සියළුම සිලින්ඩර වටාද එන්ජිම් හිස හෙවත් හෙඩ් එක හරහාද ගමන් ගෙන කොටස් තුල ඇති අධික උෂ්නත්වය තමා වෙත උරාගන්නා; එන්ජිම තුල ඇති ජලය; නැවත සිසිලනය වීමට ඉදිරිපස ඇති රේඩියේටරය වෙත යොමුවේ. එහිදී රේඩියේටරය තුලට පැමිණෙන ජලය ඉතා කුඩා බට තුලින් ගැලීමට සැලැස් වීමෙන් ජලයේ ඇති උෂ්නත්වය රේඩියේටරයට සංක්‍රමණය වේ. එම කුඩා බට හා බැඳී ඇති සියුම් ලෝහමය පෙති හා නලය හරහා සිසිල් වාතය ගලායන විට නැවත ජලය සිසිල්වේ.


හාෆ් බොයිල් අලියෙක් ඕනෙද..?

අලියාගේ සිරුරේ අභ්යන්තර කොටස් හරහා ගොස් එම ඉන්ද්රීයයන් තුල ඇති උෂ්නත්වය උරා ගන්නා රුධිරය; සිසිලණය වන්නේ එම රුධිරය ඔහුගේ විසල් කන්පෙත්ත හරහා ගමන් කිරීමෙන්ය.  

කනේ වැදගත්කම කනකට නොගෙන කන් පත් වෙන තුරු කොල අතු කොටා බාමින් සිටින අලි ඇත්තු උදේ ඉඳන් රෑ වනතුරු නිරන්තරයෙන් සොලවන කන් පෙත්ත එසේ ඉස්පාසුවකින් තොරව සොලවන්නේ කන් දෙකේ ඇති රුධිරය සිසිලනය කර ගැනීමටය.  

සත්වයාට මෙය දැනෙනු ඇත්තේ තම සිරුරට "පවන් ගැසීමක්" උවත් සිදුවන්නේ එම සුළග මගින් කන් පෙති තුලට පැමින ඇති රුධිරය සිසිල් කර ගැනීමයි.

"Elephants do many different things with their big ears. One thing is that they can cool themselves down when they are hot. The blood flowing through the ears is close to the outside of the elephant body, and heat can be released as they flap them about"                                      www.sciencefriday.com

සතුන්ට මෙන් කන් සෙලවීමට නොහැකි උනාට ඔබ අපගේද කන් වලින් මෙවන් මෙහෙයක් ඉටු වේද නොවේද යන්න කුමක් උවත් චන්ඩ හිරු රැසින් සිරුර දවනා විට හිස පමනක් ආවරණය කර ගත් විට සිරුරට දැනෙනා සහනය හා කන් පෙති ඇතුලුව හිස ආවරණය කර ගත් විට දැනෙනා සුවය අතර පැහැදිලි මා හොඳින් අත්විඳ ඇත. තදාසන්න ප්රදේශයන්ගෙන් පසු අප හෙල්මට් වලින් මාරුවෙන්නේ කන් පෙති නිරුවතින් තබන කැප් තොප්පි වලට නොව හිස වටා; අඟහරු ග්රහයා ගේ මෙන් රැස් වළල්ලක් සකසන හැට් තොප්පියකටය. 

අපගේ අත් දැකීමෙන්ම අප රැගෙන යන්නේ හැට් නොහොත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තොප්පිය. කන් පෙති හිරු රශ්මියෙන් අරක්ෂා කරගනු වස්ය.


සයිලන්සර් කඩ පසුකොට දුම් දාගෙන..!

මෙතැන් සිට අපට පදින්නට ඇත්තේ චන්ඩ හිරු රැස් හරහාය. අප පොළොන්නරු ගමනේදීද තොප්පිය පැලඳීමට පෙර රෙදි කෑල්ලක් හිසේ ගැටගසා ගන්නෙමු. එමගින් ගෙල හා කන් පෙති හා මුහුන තරමක් ආවරණය වන පරිදිය. මෙසේ සියල්ල සූදානම්වී අප නැවත මගට පිළිපන්නෙමු.

අප එතන් පටන් තරමක අඩු වේගයක් පවත්වා ගෙන ගමන් කලෙමු.  ගමන ඇරඹූ පලමු මොහොතේදිම කිසියම් නුහුරු බවක් දනුනි. කුඹුක් සෙවන විසින් අපව මුළුමනින්ම නතු කර ගෙන සිටි බැවිනි. කිසිදු ආරක්ෂාවක් රැකවරණයක් ආදරයක් නොමැති අයෙකු වෙත ජීවිතයේ කුමන හෝ අවස්ථාවකදී හිමිවන ආරක්ෂාව ආදරය සෙනෙහසේ සිසිලස කුඩා කාල සීමාවකට හෝ වින්දේ නම්; නැවත් ගෙවා ආ මාවතේ ඉදිරියට පය තබන්නට කිසියම් නුහුරු බවක් පසුගාමී බවක් ප්රථිරෝධයක් ඊට එදිරිව හට ගනී. 

එය අන්තිම ස්වභාවික වූ තත්වයකි. මේ ස්වභාවික ධර්මතාවයට අප මුහුණ දුන්නෙමු. විසල් කුඹුක් ගස සලසන සිසිලස! අප ගිණි අව්ව තඹේකට වත් මායිම් නොකර පැද ගියෙමු. 





ටික වේලාවකින් අපි "මහකෙලිය" පසු කලෙමු. සත්ය වශයෙන්ම මහ කෙලිය පසු කිරීම "මහකෙලියක්" නොවුනි. 



තවත් දුරක් පදින විට වනතෙක් පානය කල ජීවනී රසද දිවට හුරුවී නීරස වෙමින් තිබුනි.  


තැඹිලිද කෝම්බද....?

ඊලඟ සන්ධිස්ථානයට පෙර නැවතුමකට ඉව අල්ලමින් සිටි අප හට මග දකුණු පස සුනදර දසුනක් දිස් විය. එය අනෙකක් නොව තඹිලි තට්ටුවකි. මවක් හා කුඩා දරුවෙකු පවත්වාගෙන ගිය එම කුඩා වෙළෙඳ සැලෙන් තැඹිලි පානය කොට තරමක් විඩා නිවා ගනිමින් යලි ගමනට වැටුනෙමු.




ආදරණීයයන් වෙත අමතුම් සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුවය! ඊළග සන්ධිස්ථානය වූ පාදෙනියට ලඟා වුනෙමු. 


හිටිං මමත් එකක් ගන්නකං...!

පාදෙනියේ සිට අප ඉතා සෙමෙන් ගමනේ යෙදුනෙමු. ආරම්ඹයේදි පැයට කිලෝමීටර 30කට ආසන්න වේගයකින් ගමන් අරඹන අප ඒ වන විට පයට කිලෝ මීටර 15ක පමන ගමන් වේගයකට පසු බා සිටියෙමු.

අප සයිකල් පදින්නේ අපේ තාත්තාගේ වචනෙන් කියනවා නම් පන කඩාගෙන නොවේ. එය සිරුරට හොරෙන් කරණා ව්‍යායාමයක් කීවොත් වඩාත් නිවැරදිය. මන්ද කිලෝමීටර සිය ගනන් දිනකට පුහුණුවන සයිකල් ධාවකයෙකුගේ පැදීමට වඩා අපේ පැදීම සුන්දර චාරිකාවක් විය යුතුමය.  

එවන් තදබල පුහුණුවක් ලත් ජවාධික ධාවකයෙකු සේ පැදීමට අපට නොහැක! අනෙක් අතින් ගත් කල අප කරණ්නේ කිසියම් ආකාරයක විනෝදාංශයක් විනා භාරයක් ඔප්පු කිරීමක්ද නොවන්නේය. මෙය හුදෙක් අභියෝගාත්මක සංචාරයකි! මාගේත් මධුෂාන්ගේත් සයිකල අලුත්වැඩියාකරණ සජිත් සඳරුවන් බාසුන්නැහැ එක් දිනක් තුල කිලෝ මීටර 300 පැදපු සුපිරි වැඩ්ඩෙකි!

අප උදෑසන සිරුරේ ක්‍රියාකාරී උෂ්නත්වයට එනතෙක් පදින ආකාරයේ සිට හවස් වෙන තුරු පදින්නේ මෙසේ සිරුරට හොරෙනි. කන්දකදී උවද පල්ලමකදී උවද තැන්නකදී වුවද අප සිරුර වෙහෙස කර නොගනිමින් පැදීම කරගෙන යා යුතුවේ.

ශ්‍රී ලංකාව ඈතුළු රටවල් 25 ක සයිකලයෙන් එම රට පුරා විසල් සංචාර කල ජර්මනියේ උල්ෆ් සමග මා පැදීම කල කෙටි දුරේදීද මා ඔහු වෙතින් එම විශේෂය දුටිමි. ඔහු එම සංචාරය නිමකරණවිට අපරට තුල කිලෝමීටර 1900 ක් පැද තිබුනි! උල්ෆ් තම සංචාරය පටන් ගෙන තිබුනේ ගුවන්තොටේ සිටය. 

එතැනින් මීගමුව හලාවත පුත්තලම හරහා යාපනයටද එතැනින් ත්‍රිකුණාමලය මඩ කලපුව හරහා අම්පාරටද එතැනින් බදුල්ල බන්ඩාරවෙළ හපුතලේ හරහා නුවර එළියටද එතැනින් තලවාකැලේ හැටන් ගිනිගත්හේන කිතුල්ගල හක්බෙල්ලාවක යටියන්තොට අවිස්සාවේල්ල රත්නපුර හරහා හම්බන්තොට දෙසටද ගොස් මුහුද අයිනෙන් ගාලු පාර දිගේ නැවතත් මීගමුවට පැමින එතැනින් කඩවත ආපිකෝ සුපර් සෙන්ටර් එක අසලට විත් මා එන තුරු බලා සිටිනා අවස්ථාව වනතෙක්ය!  ඔහු ඇග තලා ගන්නේ නැතිව "නාඩියට" තම සයිකලය පදින්නට හැම විට මග බලා ගත්තේය. 

ඒ සෑම විටෙකමදෙපා මත අනවශ්‍ය බරක් නොයොදා හැකි පමන ගියර නියමිත පරිදි එකින් එක මාරු කරමින්ය. කන්ද දෙස බලා පල පුරුද්ද මත මෙසේ ගියර මාරු කිරිම කල හැකි උවත් පැදගෙන යාමේදී යාන්තමින් හෝ බරක් එම අපහසු තාවයක් දැනුන හොත්; එය හැකි පමන අවම වන අයුරින් ගියර මාරු කරමින් පහසුව සලසා ගත යුතුය. හිටගෙන පැදීම වැනි "භයානක" ක්‍රියා කාරකම් වලින් හැකි පමන ඈත් වියයුතුය.

එසේම සිරුර වේගය ඉල්ලන විට එයට හොර කිරීමද නොකල යුතුය! ඒ එහි කැමැත්තනම් ඊටද අප මදක් හොඳින් සවන් දිය යුතුය. මෙහි මා “හොඳින්” කියා විශේෂනයක් එක් කලේ හදවතේ ඉපදෙන හැඟීම් වල හඬින් සිරුරේ හඬ වෙන් කර ගැනීමට බෙහෙවින් අසීරු වන බැවිනි. 

තමා අසලින් යන සිමෙන්ති ලොරියක් දුටු පමනින් “දෙවියො දුන්නු ලොරිය මෙන්න -කෑල්ලෙන් කෑල්ල ගියත් අරිණ්නේ නෑ" කියමින් හොම්බෙන් යනතුරු පදින්නේ සිරුරේ හඬට කන්දීම නිසා නොව හදවතේ උපන් හැඟීම වලට කන් දීමේ ප්‍රථිඵලයක් ලෙසය! (කාට හරි අහුනද මංදා!?)

කිසියම් විශාල අනුක්‍රමණයක් සහිත කන්දක් තරණය 
කිරීමකදී වුවද හති හලාගෙන පැදීමක් අප අතින් සිදුනොවේ. එවන් පෑදීමකට යෙදුනද එය ඉතා කෙටි කාලයකට පමනි.ඉන් පසු ඉතා ඉක්මනින් සිරුර යථා තත්වයට පමුණුවා ගන්නෙමු. එයද පැදීම නවතා විවේක ගැනීමකින් නොව එකම රිද්මයකට සාමාන්ය දුරක් අඩුවේගයකින් පැද යාමෙනි. 

මෙයට ආසන්න උදාහරණ දෙකක මා ලියන්නම්. මීටර 400 න් ඉහල මැදි දුර ධාවකයින් තම ඉසව්ව අවසන් කල පසු තවත් වටයක් සෙමෙන් දිවයනු ඔබ දැක තිබේද?


"බුබුලණය"

 එසේම දිගු පිහිණුමක හෝ පිහිණුම් අභ්යාසයක යෙදීමෙන් අනතුරුව හදට දැනෙන වෙහෙස නිවාලන්නට "බුබුලණය" කරණ්නෙමු. පිහිනුම් විෂය තුල bubbling ලෙස හැඳින් වෙන මෙය; එක් තැනක නැවතී සිට පෙනහළු පුරවා උඩට ගත් පරිපූර්ණ ආශ්වාසයක් සමග දිය යට ගිලී; සැබැවින්ම දිය යට උක්කුටිකයෙන් ඉඳගනිමින් ඉතා සෙමෙන් දිය මතු පිටට එනාතුර සෙමෙන් හොඳින් ඒකාකාරීව මුළුමනින් ප්‍රාශ්වාස කරමින් දිය තුලට පෙනහළුවල ඇති වාතය මුදා හරිමින් මතු පිටට පැමිණීම මෙම ක්‍රියාවලිය වේ. මෙය හත් අට වතාවක් කරද්දී එතෙක් පැවති හදවතේ බර ගතිය, හතිය නැතිවී යයි.  

පිහිණුම් තඨාකය තුල ප්‍රියයන් නොදැකීමෙන් ඇතිවන හදවතේ බර ගතියනම් මින් සමනය නොවේ. එය සමහන් වන්නේ සමහන් බීමෙන් නොව නෙත්‍රාංජනයවූ රුව දැකීමෙන්ම පමනකි! විඩාව නිවා ගැනීම සඳහා සෙමෙන් රිද්මයකට පැදීම මා දකින්නේද එලෙසමය.

මෙසේ පාදෙනියේ සිට ගිණි කූඨකයේ අප පැදයමින් විය.මීට කලකට පෙර මගේ පුතාගේ පංතියේ මිතුරෙකුගේ පියෙකු; ඔහුගේ කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු මැරතන් ධාවන තරගයක් අවසානයේ ඇදවැටුනි. 

ඔහු දින ගනනාවක් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට සිහිය නොබලාම මිය ගියේය. මෙයට හේතුව ලෙස වෛද්‍යවරුණ් පවසා ඇත්තේ සිරුරේ උෂ්නත්වය අධික ලෙස ඉහල යෑම එම අවාසනාවන්ත මරණයට හේතුව බවය. එම අවාසනාවන්ත පියා හට අවසන් මොහොතේ පාරවිලයනය සඳහා ඕ නෙගටිව් රුධිරය අවශය විය. ඒ සඳහා ස්වෙච්ඡාවෙන් මම ඉදිරිපත් විය. 

මාගේ ආදරණීය හිත මිත්‍රාදීන් හා නෑසියන් පැවසූවේ ෂුවර් එකටම ලෙඩා මැරෙණ්නට ඇත්තේ ලේ විෂ වීමකින් කියාය! නමුත් මෙයට මාහට එක හෙලා විරුද්ධ වීමට නොහැකි වුනේ මීට පෙර හැටන් නැෂනල් බැංකුවේ සභාපති තැන්පත් ක්‍රිෂාන්ත කුරේ මහතා වෙනුවෙන්ද මා රුධිරය ලබාදී දිනක් ගත වෙන්නට පෙර ඔහුද මිය යෑම නිසාය!

 
මේ සියලු මතක මා හිසවටා තොප්පියේ දාරයට ඉහලින් භ්‍රමණය වෙමින් පවතුනි. එහෙත් අප ගමන යා යුතුය.

මන්ද මෙය හදවතට දුන් පොරොන්දුවක් වුනු බැවිනි.

පාදෙනි යෙන් ඉක්බිති කුඩා කුඩා ගම් කිහිපයක් පසු කර මින් මාර්ගය ඇදී යයි. මේ වන විට දහවල් 12.00 පසුවී ගොසිනි. සෙමෙන් සෙමෙන් කුස ගින්න බඩට තට්ටු කරමින්ය. 

මග දිගට ආහාර වශයෙන් ගත් ජෑම් තවරණ ලද පාන්, රට ඉඳි, මුද්දරප්පලම් සිරුරේ ශක්තිය පවත්වා ගැනීමට සහය වුන ද සිතට දැනෙන "හරියට කෑමක් වැටුනේ නෑ!" යන සිතුවිල්ල මොට කිරීමට එය කිසිසේත්ම පොහොසත් වූයේ නැත!
අපි කොහෙන්ද කන්නේ?'

ඌ මගෙන්ද, මා මුගෙන්ද, මූ උගෙන්ද, නිරණ්තරයෙන් අහනලද එකම ප්‍රශ්ණය විය! තුන්දෙනාටම අපරාදෙ කියන්නට බැරිය එකම උත්තරයක් තිබුනි.

 "කොහෙන් හරි කමු...!"

"අහවල් හෝටලය”, " අහවල් ෆුඩ් කැෆේ" " අහවල් භෝජනාගාරය" වැනි බත් කටක් කන්නට තිබුනු තැන් රාශියක් අප පසු කරමින් විය. ඒත් "කොහෙන්හරි හෝටලය " දකින්නට නොලැබුනි. 

සමහර කඩ ඉදිරියේ ඇති ආහාර විස්සක තිහක නම් ඇතුලත් යෝධ පුවරුවට; සයිකල තුන්පැත්තෙන් හේත්තු කර ඇතුලට ගිය විට අසන්නට ලැබුනේ කන්නට ඇත්තේ හුලං විස්කෝතු පමනක් බවයි. තවත් සමහර කඩවල උයන්න්නට හිටපු එකා අපි එන බව දැන දැනම නත්තල් නිවාඩුව කලින් ම ගෙන ගෙදර ගොස් ය. 

තවත් සමහර ඒවා යේ මුදලාලිව සොයාගන්නට බරි තරම් මැස්සන් පිරිලාය. ඒත් අපට බලාපොරොත්තුවක් තිබුනි. ඒ අන් කිසිවක් නොව “කොහෙන්හරි අපට හොඳ කෑමක් ලැබෙනු ඇත කියාය!"

තවත් කිලෝමීටරයක් පමන දුරක් අප පැදයමින් සිටියෙමු. පාදෙනියේ සිට අප තිදෙනම සිටියේ එක ලඟය. බඩ ගිනි වූ විට කැලෑ සතුන් පවා එකට විසීම දක්නට ලැබේ!

ඈත පාරේ වම් පස අයිනේ ලොව බොහෝ දෙනාගේ නෙතට කටු අනින්නාක් වැනි සුන්දර දසුනක් විය. ඒ අනෙකෙකු නොව කුරුණෑගල දිස්තිරික්කයේ ඈත ඉමේ   මහ පාරක් අයිනේ සිට ඩියුටි කරණ නොහොත් ජීවිත   සටනේ යෙදෙන ශ්‍රීලංකා පොලීසියේ මහත්වරු දෙදෙනෙකි.

"අප්පට සිරි පොලීසියෙන්...!"මට එක වරම කියැවිනි.

 
"අඩු ගානේ ඉස්සරහට එන එකෙක් ලයිට් පාරක් වත් ගැහුවේ නෑනේ...!?" මධූ සිටියේ දැඩි කලකිරීමකින්ය.

 
"බයිසිකල් වලට බස් කාරයෝ සිග්නල් දෙන්නේ පිස්සුවටයෑ?" මධූටම කියැවිණි.


“අප්පට සිරි ඇත්ත නේන්නම්. මුන්නැහැලට අපිට දඩ කොලයක් දෙන්න බෑ නොවැ!" මටත් සිද්ධිය ප්‍රථ්යක්ෂවිය.

 "කොල්ලො මුං දන්නවා ඇති කන්න හොඳ තැනක්!"

 
"මොනවද ජරාවද...?"

 
"පිස්සු! හිටපං මංම අහන්නම්...!"

"අහනකොට අහන්න සල්ලි දීලා කන්න තැනක් කියලා...!' නිෂාන් මගේ කනට කෙඳිරීය. 

“නැත්නම් පොලීසිය තියෙන තැන කියාවි” මධූ තිරයේ පසුපස සිට ප්‍රොම්ප්ට් කලේය!

මම එතැන සිටිය පුංචි පහේ රාළහාමිගෙන් යෝධ උපදෙසක් පැතීය.

රාළහාමි ඇල්වතුරට උල්පිහියෙන් ඇන්නාසේ එකවරම එක 
එල්ලේ උත්තරේ දුනි.

 
"යන්න බබී එකට...!"

 
"මොකක්...?"

 
"බබී එකට! හැමදේම එක තැන!" රාළහාමි පොඩ්ඩා පැඟිරි 

හිනාවක් දැම්මේ මාගේ කටට බිලිං අච්චරු රහක් එක්කරමිනි. 

 "කොයි පැත්තෙද...?' මම ඇසුවේ සයිකලයේ සැඩලයට නැග 

පැඩලය වට තුන් කාලක් පදින්නට පෙරාතුවමය.!

 
" දකුනේ! දකුණේ!!..."

එතන් සිට අප ගමන් ගත්තේ යාපනය බලා නොවා බබීව බලාය. ඇත්තටම බබී කොයි වගේ ඇත්ද?

බෙල්ලේ පොට යාමට ඕන්න මේන්න තිබියදී බබී නාම පුවරුව ඈත තියා දුටිමි. එතන් සිට තවත් විනාඩි ගනනාවක් පැදීමෙන් පසු අප බබීට සමීප වන්නට   හැකිවිය. 

ඇත්තටම බබී කන්නට හොඳ තැනකි. පිරිසිදුය! පියකරුය! මනස් කාන්තය! අයස් කාන්තය ! කෑම රසවත්ය! කෑම මේස පනවා තිබුනේ වෙල සුළඟ හමනා ස්ථානයකය. 

සියල්ලට අමතරව එම භොජුන් හලේ බත් කන්නට පුරුදුවූ ලේනෙකුද සිටියේය. අවශ්ය නම් මිලදී ගැනීමට සියලු අඩුවැඩිය එහිවිය.

ගමනේ මුල පටන්ම මා සිතා සිටියේ ගමනාන්තය යාපනේ නල්ලූර් කෝවිලෙන් අහවර කිරීමටය. එයට කිසියම් වටිනාකමක් එක් කරලණු වස් මා මේ ගමන තුල සත්ව ආහාරයෙන් වැළකීමට තීරණය කලෙමි. අපේ හැටියට හරිම තැන මෙයම විය.


බබීගේ තුන්ඩුව....!

කඩයකට අබ කුඩු පනහක් ගන්නට ගොඩ වදින එකෙකු වුව ද ඉදිරියේ එල්ලා ඇති කෙහෙල් කැනක් දුටුවිය ඉන් ගෙඩියක් මිරිකා බැලීම සිදුවන්නේ ඉච්ඡාණුගත පේශීන් මෙහෙය වීමෙන්ද නෝසේනම් අනිච්ඡානුගත පේශීන් මෙහෙය වීමෙන්දැයි මා තබා මට සෞඛ්ය පාඩම; පණ පිහිටුවා අතේ පැලවෙන්නට ඉගැන්වූ 'ජයමහ සර්"ටවත් කියන්නට බැරිබව මට ෂුවර් එකටම කිව හැක! 

ඉන් නොනැවතී මුදලාලි දෙස බලා "අමුයි නේද?" යි ඇසීමද නිරායාසයෙන්ම සිදුවේ. එවිට මුදලාලි "ඔය අනික හොඳට ඉදිලා...!" කීවිට "නෑ මට අබ පණහක් දෙන්නකෝ...!' කියන් නේද තොලේ කටේ නොගෑවෙමින්ය. 

එසේම වාහනයක් දුටු පමණින් බොඩියට තට්ටුවක් දැමීම ඕනෑම බ්‍රෝකරයෙකුගේ සිරිත සේම සයිකලයක් දුටු පමනින් එහි ටයරය ඔබා බැලීමද මා බොහෝ අත්දුටු පිළිතුරු නොදන්නා පැණයකි. මෙතැන නවත්වද්දීද යලිත් ගමන පිටත් වත්දීද අපද එම පිළිවෙත අකුරටම ඉටුකලෙමු.

හොඳින් ආහාරගෙන ජල බෝතල් පුරවා සයිකල් වල ක්‍රියාකාරීත්වය පිරික්සීමෙන් අනතුරුව එතැනින් නික්මිණි.



භාගයක් දෙන්නද දැනට...?

මීට කලකට පෙර ශිරී ලංකා ගුවන් විදුලියෙන් දවල්  දොලහට "පොලීසියෙන් පුවත්" ප්‍රචාරය වීමට පෙරාතුව හා  පසුව; තම තම පුත්‍රයා ගුවන් හමුදාවේ සේවයකරණ අවදියේ ත්‍රස්ත ප්‍රහාරයකින් මිය යාමත් සමග ගී ගැයීම   අත්හල; ගොල්ෆ් කැප් තොප්පියකින් හිසවසා ගෙන ජෑස් ඩ්‍රම් වාඅදනයේ යෙදෙන සුසිල් පෙරේරාගේ අක්කණ්ඩිය වූ සුජාතා අත්තණායක නම්වූ; දකුණු ඉන්දීය සුකෝමළ හඬට උරුමකම් කී; ගායිකාවගේ හඬ තුලින්; ශ්‍රී ලංකා 

පොලීසිය විසින් දුන් "අතට ගත් විට ඔබෙ රථෙ - ඉගිළිලා 

නොයනූ...!" ඔවදනෙන් පසුව ලැබුනු වඩාත් ශ්‍රේෂ්ඨ වූත් 

ප්‍රයෝජනවත් වූත් අවවාදය අද දින අප ලදිමු. ඒ "බබිය" 

ගැන ලැබුනු අග්‍රගන්ය රෙකමදාරුවයය.



"ශ්‍රී ලංකා පොලීසියට ජය වේවා!"



ගෙවා ආ සොඳුරු මග ...! දිනෙක දිනන තෙක්.....!!




26 comments:

  1. අලියටත් ඉතිං වැඩිය කෙස් නැති නිසා කෙලින්ම උස්නත්වය පිටවෙනව ඇති නේ? (කෝ අර සංචාරක අප්‍රිකන් අලිය අද?)

    ඒක නෙමෙයි, අවිස්සාවේල්ලෙ උසාවිය හන්දියෙ තියන පරණ ජරා වෙලා තියන තට්ටු දෙකේ විසාල බිල්ඩිං එකේ ඉතිහාසය ගැන මොනවත් දන්නවද?

    ReplyDelete
    Replies
    1. දළදාගම පැත්තෙ කන්න තැනක් හෙව්ව දවසක අපිටත් බබී ගැන දැන ගන්න ලැබුනා.

      මහව ඉඳල හාතිගම මඩගල්ල හරහා ගිහින් තියනවද? වටයක් ඒත් බොහොම පීස්ෆුල්

      Delete
    2. ප්‍රාජේ තුමෝ. ඒ ගොඩ නැගිල්ල පෙදෝරිස් අප්පුහාමි බිල්ඩිම ලෙසයි ප්‍රසිද්ධ. ඉස්සර ඒ පලාතටම සිගරට් බෙදුවේ මෙතැනින්. පස්සෙන් පහු ඒ ව්‍යාපාර අල උනා. දැනට ඒ පරපුරේ අන්තිම පුරුකේ අයෙක් ඉන්නවා ඔතනට උඩින්. සුසන්ත ගජබා විජේසිංහ කියලා. උන්නැහැ විශ්‍රාමික හමුදා නිළධරුවෙක්. ලමයි නෑ. එයාගෙ මවත්. මියගියේ ඛේදවාචකයකින්!මේ ගොඩ නැගිල්ල හදලා තියෙන්නේ 1936 දී.

      Delete
  2. ගතට වෙර රැගෙන නොමැතිව කිසිම බයක්
    පයට පිං දිදි තල් අරණට ගමනක්
    මෙමට දුන්නු දුරකථනෙන් ඇමතීමක්
    මගට වී හිඳිමි නෑ නුඹෙ පැමිණීමක්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ වන කොටනම් සාරගම වැවේ සැල්වීනියා බොහෝ දුරට ඉවත් කරලා.

      Delete
    2. එදා කිව්වෙ යන්නට පෙර පොළොන්නරූ
      දෙවන වරට ඒ මග ගියේ සමග දරූ
      ගියේ නැවත එන්නයි විලසකින් විරූ
      එහෙත් නොහැකි විය සෙස්සන් නොවිය සුරූ

      එන ගමනේදි කුරුණෑගල නවත්වලා
      හමුවී ගමට විත් ඔබගේ මුහුණ බලා
      කතාකරණ්නට හිටියත් පමා වෙලා
      ආවේ බසයකිනි එකත් පියාසලා

      Delete
  3. මටත් ආපහු බයික් පදින්න ආසාවක් ඇති උනා...
    කොහෙද ඉතින් ඕවට වෙලාවක්...
    අනිත් කාරණය තමයි ගමනේ විස්තරය බොහොම ටිකයි, සෑහෙන මදි කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ගමනේ විස්තරය බොහොම ටිකයි, සෑහෙන මදි කියල හිතෙනව නේන්නං.

      Delete
    2. සමාවෙන්න ඕනෑ. ලගදි වැඩ කරණ තැන මාරු වෙලා. එතන ඉන්ටනෙට් තියා මොස්කිටො නෙට් එකක් වත් නෑ. තාම විමානෙ හදාග්ව්න යනවා. ගෙදර ඉදන් සේවා ස්ථානයට ගෙඩි පිටින් කිලෝමීටර 40 යි. යන්න ගියාම සුපිරි කට්ටක් කන්න වෙලා තියෙන්නේ. අදත් එක්ක දවස් තුන හතරයි මාසෙකටම වෙලාවට වැඩට ආවේ. එකෙනුත් දවස් දෙකම වෙලාවට ආවෙ සයිකලේ ඇවිත්. අදත් ආවෙ සයිකලේ. ඒකයි ලියන්නට පමා වෙන්නටයි රසබර නොවෙන්නටයි හෑල්ලු වෙන්නයි හේතුව. බලමු ඉස්සරහට!

      Delete
  4. //ගව ගාල පවා මනාලියන් අන්දන මඩුවකට දන්දුනි// වෙනසක් නෑ ඉතිං දීල තියෙන්නෙ වැස්සියන්ට අන්දන මඩුවකටනෙ. හැක්..

    ගමනක් ගියාට පස්සෙ හෝටල්වලින් කෑම කෙසේ වෙතත් වාහනේ ඇතුලෙ තියන කෑම ටික කන්න නවත්තන්න හොඳ තැනක් නැතුව හැතැක්ම ගානක් යන්න වෙන එක ගැන හොඳ අත්දැකීම් තියෙනව මට.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඇන්දිල්ලක්ම තමයි! අත්දැකීම් හිතේ තියාන ඉන්නේ ලියමුකෝ!

      Delete
  5. ||මාර්ගය විසින් වැව දෙපළු කලා විය නොහැකිද|| ඒ පැත්තෙ අය කියන්නෙත් එහෙම තමයි,

    ඔය වැව මට මතක ඇති පොඩි කාලෙ ඉදන් සාමාන්‍ය පෙළ ලියන්න කිට්ටු වෙනකන්ම ගොඩ වෙලා කැලෑ පිරිල තිබ්බෙ
    ඊට පස්සෙ දෙපැත්තම සුද්ද කරල වෝකිිිිිින්ග් පාත් දාල ලස්සන කරා බලන්න ලස්සනයි.
    ඒත් මේ පොටෝව ආයෙම හිත පෑරුවා. නැවත හිටි තැනම


    අර බබීී හෝටලේ ගානත් ලස්සනයි වගේ.

    ඔය පැත්තෙ රස්තියාදුවක් දාන වෙලාවක ගොඩවෙන්න ඕනිි.

    අද නම් යාපනේට වඩා කැලේ නේද ගියේ.

    ReplyDelete
  6. සමාවෙන්න ඕන එක සිය ගානට. වැඩ අධික බව නිසා පොඩි පොඩි අඩු
    පාඩු ඇති. සමා වෙලා කියවන්න! බොහෝදෙනෙක්. මේකෙ අඩුපාඩු කිව්වා. මගේ හදවත්ටවත් මේ ගැන සතුටක් නෑ. ඒත් ගමන අතර මැද්දේ නවතා බොහෝ කලක් බැවින් කිලෝමීටර 50 ක් වත් ඉස්සරහට යන්න හිතුවා. ඒ වැව ගැන ඇත්තටම උඹලට ආඩම්බර විය හැකියි!

    ReplyDelete
  7. මේක කියවන්න බලාගෙන හිටිය කල් ......

    ReplyDelete
    Replies
    1. සමාව භාජනයට දමන්න!

      Delete
  8. una hadila gedara hitiya. eki adama kiyawanna labune. Nuwara Eiliyata padinna anna bariunata kanagatui. aradana kalata bohoma sthuthi. Puththath akka gamana hodin giyada?
    22 uda k.m.58 thawath hithwathek ekka Gampaha paththa watayak padda.
    jayawewa !

    ReplyDelete
    Replies
    1. එදා වසිකටත් අසනීප උනා. ගමන ගියේ නෑ! ඉදිරියේ යමු. "සයිකලයෙන් කදු මුදුනට" කියලා පෝස්ටුවක් ලියමු.

      Delete
  9. එළ! ඉතින් බලහංකො වැඩක් බකල් උනා කිව්වාම උඹලට තියෙන සංතෝසෙ!? "නියමයි?" අනේ! අනේ!!

    ReplyDelete
  10. බයිසිකලේ ට්‍රිප් එක වගේම අතුරු කතාත් හුඟාක් ආසාවෙන් කියෙව්වා . පෙන්රිත් වත්තේ තමයි හයි ලෙවල් පාරේදී හමු වෙන පළමු තේ වගාව (පාරේ වම් පැත්තේ) තිබුනේ (තාමත් තියනවාද දන්නේ නැහැ) . ඒ වගේම LRC එක යටතේ රජයට ගත් වතු වලට කරපු විනාසේ ගැන නම් කියලා වැඩක් නැහැ. ඒවා කොහොම උනත් කතාවේ ඉතුරු කොටස කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔබගේ ලිපිය කියවන්න ලැබුනේ අදයි. පමා උනත් කොමෙන්ට් එකක් දැම්මේ Better late than never කියලා හිතාගෙනයි.

    ReplyDelete
  11. අනේ සෑම් මහත්තයා අතුරු කතා මතකෙට එන කොට ඒක කප්පාදු කරණ්නේ නැතිව ඔහේ ලියනවා. නැතිනම් කාලයක් ගියාම ඒක අමතක වෙලාම යයි කියන බයට! අනික දුර ගමනක් යනකොට කතා නැතිනම් හරි වෙහෙස කරයි නේ? ඒක නෙවේ කෝ දෙයියනේ ඔබ තුමාගෙ බ්ලොග් එක?

    ReplyDelete
  12. සෑහෙන්න කාරණා තිබ්බා නොවැ. රහත් එක්කම.

    ReplyDelete
  13. බොහොමත්ම ස්තුතියි ගොඩවැදුනාට.

    ReplyDelete
  14. අන්තිමට තියෙන පින්තුරේ මොකක්ද? ලස්සනයි ඒක. ගමනට වැඩිය වෙනත් කථා නම් ගොඩයි. අන්තිමට නල්ලූර් කෝවිල් ගියාද??

    ReplyDelete
  15. ඒ දැදුරුඔය අසබඩ ඇති අයියනායක දේවාලය! කියවගෙනම යමු!

    ReplyDelete
  16. K.V. Ground එක ගැන විස්තර වැඩි විස්තර හොයන්න හිතුන, අර අලියගෙ රේඩියේටර් කන් දෙක වගේ හිටින්න ලොකු කන් දෙකකුයි ඔටුවෙක්ගේ මොල්ලියකුයි සර්ජරි එකක් හරි කරලා දා ගන්න පුළුවන් නම් මග නවත්තන්නේ නැතුව දවසින් යාපනේ.

    මොනවා උනත් අද කතාවෙ අල්ලලා ගියේ බබී තමයි :)

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...