Thursday, April 25, 2019

136. ජාතිය රණ් විමනක් වේ !


සියළුම මිනිසුන් හොමෝ සෙෆියන්ස් සෙෆියන්ස් වූවාට  එක් එක් ප්‍රභේධයන් ගේ  සමේ වර්ණය, භාහිර ස්වරූපය, කථා කරණ භාෂාව වැනි කරුණු මත පිහිටා එක් එක් ජාතීන් බිහිවී ඇත.
මෙයට; පොදු ඉතිහාසයක්, භූමි ප්‍රදේශයක්, සංස්කෘථියක්, සිරිත් විරිත්, ගති පැවතුම් වැනි බොහෝ සමාන ලක්ෂණ එක් විය හැක.

කිසිවෙකු මොන යම් ආකාරයක වෙහෙසක් ගත්තද ජාතීන් අතර එකිනෙකාට ඇති අනන්‍යතාවය නැතිකල නොහැක. එසේම එසේ කිරීමට කිසිවෙකුට හෝ සාධාරණ අයිතියක්ද නැත්තේය.

රට දැය සමය යනු රටත් ජාතියත් ආගමත් යන ත්‍රිවිධ කාරණාය. පසුගිය කාලය පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ පට්ට ගැසූ මේ ත්‍රිවිධ කාරණා ගැන නව මාණයකින් බැලීමට කරුණු කාරණා අද වන විට යෙදී ඇත.

එක් එක් පුද්ගලයාට අනන්‍යවූ රටක්ද ජාතියක්ද ආගමක්ද ඇති බව එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥප්තියෙන්ම පිළිගත් සාධකයකි. ඒ තුලින්ම ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු හට තමාටම වූ රටක්ද තමා අයත්වූ ජාතියක්ද  තමා අදහනවා හෝ පිළිගන්නවානම් ආගමක්ද ඇත්තේය.

තමාට නිවැරදිව පෙන්වීමට පියෙකු නොමැති වුවද පෙන්වීමට මවක් ඕනෑම අයෙකුට සිටියි. එම මවට ආදරය කිරීමට කිසිවෙකු හට කිසිවෙකු වෙත බල පෑමක් සිදු කර ලීමට සාධාරණ මෙන්ම සදාචාරාත්මක අයිතියක් නැතිවා සේම ඔහු හෝ ඇය තම මවට ආදරය කිරීම හෙලා දැකීමට හෝ එයට අකුල් හෙලීමට කිසිවෙකුට අයිතියක් නැත!

එසේම තමාගේ රටට, ජාතියට, ආගමට කිසිවෙකු ආදරය කරණ්නේ නම් අන් අයෙකු හට එය හෙලා දැකිය නොහැක.

තමා අවජාතක වූ පමණින්; අන් සියල්ලෝම අවජාතක නොවන සේම තමා ; තම රටට, ජාතියට හෝ ආගමට ආදරය නොකල පමණින් එය අන් අයද නොකල යුතුය යන මැයෙන් සිතුවද ප්‍රාකශ නිකුත් කිරීම කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත!

රටට, ජාතියට හෝ තම ආගමට ආදරය කිරීම ගෝත්‍ර වාදයක් නො එසේ නම් දූපත් මානසික තත්වයක් සේ සමාජ මාධ්‍ය තුල ලියනු අප දැක ඇත.
මෙසේ ලියන බොහෝ දෙනා දැන සිටියද නැතුවද ලෝකයේ රටවල් 50 කටත් අධික සංඛ්‍යාවක් දූපත් වේ. ඒවා අතර එංගලන්තය, ජපානය, නවසීලන්තය, පිලිපීනය, තායිවානය,සිංගප්පූරුව, ෆිජි වැනි රටවල්ද අයත්වේ. ඔවුන් සියල්ලෝම ගෝත්‍ර මානසිකත්වයෙන් යුක්ත වුන්ද?

එක් එක් රටට හා ජාතියට හිමි වූ සංස්කෘථියක් වේ. සමහර රටවලට හිමි සංස්කෘථිය සැකසී ඇත්තේ එරට වෙසෙන ජාතීන් හෝ ආගම් කිහිපයක සම්මිශ්‍රණයක් තුළිණි. එම සම්මිශ්‍රණය සිදුවන්නේ කාලය සමගය. මෙසේ ආගම් කිහිපයක බල පෑම නිසා එක් ජාතියක හෝ ජන කොට්ඨාශයක නො එසේ නම් රටක සංස්කෘථිය සැකසී තිබිය හැක.

වරෙක මර්සිලීන් ජයකොඩි පියතුමා පවසන්නේ ශ්‍රී ලංකාව තුල වෙසෙන කිතුණුවන්ගේ ආගම ක්‍රිස්තියානි වුවද සංස්කෘථිය බෞද්ධ බවය.

බොහෝ වෙනත් රටවල ජාතීන් විසින් අපව අගය කරණ; අපගේ සිනහව, සහකම්පිත භාවය, ආගන්තුක සත්කාරය වැනි වටිනාකම් පරපුරකින් පරපුරකට ගලා යන්නේ එම සංස්කෘථිය තුලින්ය.

මේ කිසිවක් තුල වටිනාකමක් ගැඹුරක් නැතැයි කියා කිසිවෙකුහට තර්කයක් ගොඩ නැංවිය හැකි වුවත් එයින් සමාජ ප්‍රගමනයට වන්නාවූ යහපතක් නොමැත.
ආගමක් අවශ්‍යය නොවේ කියා කිසිවෙකුට තර්ක කල හැක. එහෙත් ආගමක් නැති කලෙක සමාජය වඩා සුන්දර වේය යැයි පෙන්නුම් කල නොහැක.

ආගමක් යනු කටු කම්බි වැටක් ලෙස වරදවා නොගන්න. එසේම සියළුම ආගම් තිබිය යුත්තේ "මනුෂ්‍ය ආගම"තුල බව සෑම ආගමකම සිටින්නවුන් ප්‍රථ්යක්ෂ කර ගතයුතු කරුණකි. මිනිසත් බවට නිගරු කරණ කිසිදු ආගමක්; "ආගමක්" නොවනු ඇත. මිනිසුන් සියල්ල දෙවියන් වහන්සේගේ නිර්මාණ ලෙස ඉගැන්වෙන ආගම් වලින්ද බොහෝ විට කරණුයේ අනෙක් ආගමිකයින් නො එසේනම් ජාතීන් වෙත බල පෑම් ඇති කිරීමයි.
මෙය ජාති වාදය හෙවත් "තම ජාතිය ඉදිරියේ අන් ජාතීන් දෙවෙනි " යන සිතුවිල්ලයි.

තමාගේ ජාතියට ආදරය කල පමණින් කිසිවෙකු ජාතිවාදියකු නොවේ. එසේම ජාතිවාදීන් ඉදිරියේ හෝ වෙනත් ජාතියක් ඉදිරියේ කිසිවෙකු ඊට  දණ නැමිය යුතුද නොවේ.

තම මව හා පියා තමා කෙරෙහි ආදරයකින් කරුණාවකින් මෙත් සිතින් කටයුතු කිරීම, කැපවීම මමත්වය ලෙස අර්ථ දැක්වෙන අවස්ථා දැකිය හැක.
එහෙත් දරුවකු වෙනුවෙන් සැබෑ වූ දාරක ප්‍රේමයකින් යුතුව; ඒ වෙනුවෙන් කැපවුනු දෙමව්පියන් ඇත්තේම නැතිද?

කිසිම රටක කිසිම ජාතියක් හෝ ආගමක් විසින් අන් ජාතියක් පෝෂණය කිරීමට උනන්දු වන්නේ වත්, වෙහෙස වන්නේ වත් නැත.ඔවුන් සෑම සියල්ලෝම වෙහෙසෙන්නේ තම ජාතිය වෙනුවෙන් විනා අන් ජාතීන් ගැන නොවේ.

බොහෝ විට ජාතිකත්වය රඳා පවතින්නේ භාෂාව මතය. නමුත් බොහෝ විට අප ජාතිය යන්න අර්ථ දැක්වීමට රට මූලික කර ගනු ලබයි. අමෙරිකානුවන්, බ්‍රිතාන්‍යයන් යනාධී වශයෙන්.

එවිට සිංහලයින් යනු කවුරුහුද?
 ඔවුන් ශ්‍රී ලාංකිකයින් වූ පමණින් ශ්‍රී ලාංකිකයින් සියල්ලෝම  සිංහලයින් නොවෙති. සමස්ථ කුලකය ශ්‍රී ලාංකිකයින් වූ පමණින් සියල්ලෝ සිංහලයින් නොවෙති.සිංහලයින් යනු සිංහල භාෂාව තම මව් භාෂාව ලෙස උසුරුවන පිරිස ලෙස අර්ථ දැක්විය හැක.

එවිට දෙමළුන් යනු දෙමළ කතා කරණ පිරිසද?

ලාංකික මුස්ලිම්වරු තම මව් භාෂාව ලෙස භාවිතා කරණ්නේ ද්‍රවිඩ භාෂාවය. ඒ නයින් ගත් කල ද්‍රවිඩ භාෂාව කතා කල පමණින් ඔවුන් ගේ ජාතිය දෙමළ වන්නේ නැත.

ඔබ් කිසියම් මුසල්මානුවෙකු වෙතින් "ඔබගේ ජාතිය කුමක්දැයි ?" විමසුවහොත් ඔහු ප්‍රාකාශ කරණ්නේ තමා මුස්ලිම් වන බවය. නමුත් මුස්ලිම් යනු රටක් හෝ භාෂාවක් නොවේ. එය ආගමකි.

බුද්ධාගම ලියැවී ඇති භාෂාව පාලි මෙන් මුස්ලිම් ආගම ලියැවී ඇත්තේ අරාබි භාෂාවෙනි. පාලි භාෂාව මල භාෂාවක් වුවද අරාබි භාෂාව අදද ජීවත්වන භාෂාවකි.

සිංහලයින් හා ද්‍රවිඩයින්  ජාතිය ලෙස භාෂාව සැළකුවද මුසල්මානුවන් ජාතිය ලෙස සලකන්නේ ආගමය. මෙය ලෝකයේ සෑම රටක් තුල ජීවත්වෙන මුස්ලිම්වරුන් තුලින් දැකිය හැක්කක් නොවනු ඇත. එහෙත් අපේ රටේදී එය එලෙසම වේ.

භාෂාවක් ජාතිය ලෙස ගත් පමණින් එය අන් ජාතියක් අතික්ක්‍රමණය කිරීමට නොයන මුත් ආගමක්  ජාතියක් ලෙස ගත් විට එමගින් අන් ජාතියක් අතික්‍රමණය කිරීමට ඇවැසි ඉන්ධන හා පිටුවහල සැපයේ.

යුරෝපියයන් රටවල් නතු කරගැනීමෙන් පසුව උත්සුක වන්නේ ඔවුන්ගේ ආගම ප්‍රචාරයට විනා භාෂාව ව්‍යාප්ත කිරීමට නොවේ. 
යුරෝපීයයො අපරට යටත් කර ගත් පසු මුහුදු බඩ පෙදෙස් වල ජීවත් වූ සාමාන්‍ය ජනතාව වහ වහා තම ආගමට බඳවා ගැනීමට වෙහෙස වූවාට ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කිරීමට එතරම් වෙහෙසක් ගත් බවක් නොපෙනේ.

කතෝලික ආගම වැළඳ ගත්තවුනට තාන්න මාන්න දී ප්‍රථික්ෂේප කල වුන් හට තාඩන පීඩන හිරිහැර කලද;  ඔවුන්ගේ භාෂාව උගෙන නොගත් පමණින් කල බලපෑමක් ගැන අසන්නට ලැබෙන්නේ කළාතුරකිණි!

රටක් හෝ භාෂාවක් තම ජාතිය ලෙස සළකන ජන ප්‍රජාවක් ගත් කල ඔවුන්ගේ සංස්කෘථිය යනු වෙනයම් වූ කාරණයකි.  මන්ද රටක් විසින් හෝ භාෂාවක් විසින් ජන සමූහයා වෙත ඉගැන්වෙන උගන්වන දෙයක් නොමැති බැවින්ය.භාෂාවේ ව්‍යාකරණ රීතීන් විනා!

එහෙත් ආගමක් තම ජාතිය ලෙස පිළිගන්නා ජන ප්‍රජාවක් වෙත එකී ආගම හෝ දර්ශනය විසින් උගන්වන චර්යා රටාවක්, ක්‍රියා පිළිවෙතක්, විශ්වාසයන්,පිළිපැදිය යුතු හා අත්හල යුතු දෑ වැනි අටෝ රාශියක් කරුණු පවතී.
මේ නිසාම එම ජන ප්‍රජාව තමා අයත්වන ප්‍රාධාන කුළකය  වන රට හෝ භාෂාව අභිබවා යන පෞර්ෂයක් ආරෝපණය කර ගනු ලබයි.

මෙය එකම පාසැලකින් ඉගෙන එකම විශ්ව විද්යාලයකින් හදාරණ්නාවූ පාඨමාලා කරණ කොටගෙන තම චර්‍යා රටාව හා විඥ්ඥානයට සුවිශේෂී වූ ආරෝපණයක් ඇතිකර ගන්නා පිරිසක් මෙනි.
මෙනිසාම ඔවුන් සිතන පතන ආකාරයද හැසිරෙන ආකාරයද ගත කරණ ජීවන රටාවද සමස්ථ ධාරාවෙන් වෙනස් වේ.
"ජාතිය යනු ගෝත්‍ර මානසික තත්වයකි!" යන්න; ඔවුනට ඒත්තු ගැන්වීමට වඩා පහසුවෙන් රට හෝ භාෂාව පදනම් කරගෙන ජාතිකත්වයක් සකසා ගත් උන් වෙත පිළිගැන්වීමට හැකියාවක් ඇත.
මන්ද ඔවුන් හට තම ජාතිය යන සංකල්පය මගින් තමන් පිට පැටවුනු දෙයක් නොමැති බැවින්ය.
එනිසාම  "ජාතිකත්වය" යනු කිසිදු හරයක් නැති ගැඹුරක් නැති සංකල්පයක් ලෙස ඔවුනට දැක්විය හැක.
මෙම ප්‍රපංචය තුල දුර්වල වන්නාවූ ජාතිකත්වය යටපත් කරගැනීමට වෙනත් ජාතියකට පහසු වේ.
පෙරකී අන්දමේ ආගම මූලික කරගත් ජාතියක ඇති ආක්‍රමණශීලීත්වයට මෙවන් ජාතියක් පහසුවෙන් ගොදුරුවේ.
මෙතෙක් කලක් හෝ සිංහල ජාතිය හා ද්‍රවිඩ ජාතිය; ජාතීන් ලෙස කිසියම් අනන්‍යතාවයක් ඇතිව සිටින්නේ ඔවුන් බෞද්ධ, ක්‍රිස්තියානි හා හින්දු ආගම් වලින් ලබන පෝෂනයෙන් විය හැක.
ගෝත්‍ර මානසිකත්වයක් යනු එක් ජන ප්‍රජාවක් සතු අනන්‍යතාවය වෙනත් ජනප්‍රජාවක් වෙතින් යටපත් කර ගැනීම ලෙසද සිතිය හැක.
මෙනිසාම අදවන විට ශ්‍රී ලාංකික ජාතිකත්වය පසෙකින් තබා සිංහල හා ද්‍රවිඩ ජාතිකත්වය මුස්ලිම් ජාතිකත්වයෙන් බේරා ගැනීමට කාලය පැමිණ ඇත.
පසුගිය කාලය පුරාවට සිංහලයින්ගේ "ගෝත්‍ර වාදය" ගැන ලියූ දනා මේ වන විට තරමක හෝ ඉන් අපගමනය වී ඇති සේයාවක් පෙනෙයි.
එසේම මහා පොදු සාධකය තුල තම තමන්ගේ ජාතිකත්වය පිළිබඳ ජාතිවාත්සල්‍යයයෙන්යුත් පිරිසක් සිටි පමණින් එම රටට සිදුවන මහා හානියන් නොමැත. මන්ද ජාතිවාත්සල්‍යය යනු ජාතිවාදයට බොහෝ ඉහළින් පිහිටි හැඟීමකි.

අප අපගේ මවට ආදරය කල පමණින් අන් මවකට වෙන අසාධාරණයක් නොමැත;
සාධාරණයක්, අයිතීන් සුරැකීමක්, සහකම්පනයක් විනා!



Tuesday, April 23, 2019

135. මරු (පෙනි පෙනි කියූ) කියුම් . . . . . !








මේ ගැන කතා කිරීම ආච්චිට හාල් ගරනවා වැනි වැඩකි. මන්ද කටේ දත් නැති ආච්චිට හාල් ගරා වැඩක් නැත. එසේම හිතට එන අදහස් ලියා තැබීමට ගන්නා වෙහෙසක් විනා මෙහි කිසියම් හෝ හරයක් නොමැත!

ප්‍රවෘථි හෙවත් නිව්ස් ලියනා ක්‍රම වේධ දෙකක් වේ.
1. ආවෘථ පිරමීඩ න්‍යාය.
2. අනුපිළිවෙල න්‍යාය.

මම මේ ලියන්නේ ඉන් එකකටවත් අදාල නොවන මගේම න්‍යායකින් ය. එනම් "අපිළිවෙල න්‍යායයෙන්" ය! එනිසාම මෙහි එන චරිත මා පෙලගස්වා ඇත්තේද අපිළිවෙලට විනා කිසිදුහෝ ක්‍රමවේධයකට නොවේ.

මේ දිනවල බෝම්බයෙන් මියගිය ප්‍රමාණයටත් වඩා වැඩි සංඛ්‍යාවකින් මීඩියා සැණකෙළි පවත්වමින් ඇත. මේවා තුල කියැවෙන්නේ "මරු" කියුම්ය. "මරු" කියුම් යනු අගනා කියුම්ද, මරුවාගේ කියුම්ද, මරු දුටු විට කියවෙන කියුම්දැයි කියා මහාචාර්ය ජෙ බී දිසානායකගෙන් හෝ ජනප්‍රිය බණ්ඩාරගෙන්  ( මහාචාර්ය සරත් විජේසූරියගේ "මගේ නඩුව ඉවරයි" පොතෙ එන චරිතයක්.) අසා දැන ගත යුතුය.

1. මල ගෙදර ගෘහ මූලික අති උතුම් මැල්කම් රංජිත් පියතුමා: "මේ සිදුවීම කල කිහිපදෙනා පිටුපස සිටින බලවේග සොයාගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුයි. මේ ප්‍රහාරය පිළිබඳව කලින් ආරක්ෂක අංශ දැන සිටියා යැයි දැනගත් විට අපි ඔළුවේ අත් දෙක ගසා ගත්තා".

"ක්‍රිස්තියානු කටයුතු ඇමතිගේ ආරක්ෂක අංශය වත් ඔබ වහ්න්සේව දැනුවත් කලේ නැතිද? අවම වශයෙන් එම ඇමති වත්?"

2.හිටපු ජනධිපති,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ: "සියළුම ප්‍රභූ ආරක්ෂක අංශ මේ ප්‍රහාරය පිළිබඳව දැන සිටියා. කොටින්ම මගේ ආරක්ෂක ප්‍රධානී පවා! ඒත් මීට නිසි පියවරක් ගැනීමට "රජය" අපොහොසත් වුනා."
මාධ්‍ය වේදියෙක්: "ඔබගේ ආරක්ෂක ප්‍රධානි දැන සිටියා නම් ඇයි ඔබ ඊට පියවරක් නොගත්තේ?"
මහින්ද රාජපක්ෂ: "ඒයා මටත් හොරෙන් ඊට පිළියම් යොදලා! මටවත් කිව්වේ නෑ"

"තමාගේ සේවා දායකයාහට, විපක්ෂ නායකතුමාහට, හිටපු ජනාධිපතිට එවන් ප්‍රහාරයක් පිළිබඳව, අමානුෂික අතිශය භයංකර, ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව දැනුවත් නොකර සිටි වරදට ඔබගේ ආරක්ෂක ප්‍රධානිට එරෙහිව ඔබ කිසියම් ක්‍රියා මාර්ගයක් ගන්නේද? එසේ ඔහු එය රහසක්ව තබා ගත්තා යැයි අපට පිළිගන්නට ඔබට කිව හැකිද?"

3. විමල් වීරවංශ: රජය විසින් මෙහි  වගකීම බාර ගත යුතුයි. මෙම ප්‍රහාරයට සම්බන්ධ  ඊබ්‍රාහිම්; පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලැයිස්තුවට නම් කොට තිබූ අයෙක්.

"මෙම ප්‍රහාරය පිළිබඳව දැන සිටි රජයට මෙන්ම විපක්ෂයට සම්බන්ද අන් දේශපාලකයින් හට මෙහි වග කීමෙන් ඈත්විය හැකිද?"

4. විජිත හේරත්: මෙහිදී පටු දේශපාලන අරමුණු වලින් තොරව කටයුතු කල යුතුයි!

"අන් අය ලද ආරංචිය ඔබ දැන නොසිටියේද? ඊබ්‍රාහිම් පිළිබඳව ඔබ කිසියම් හෝ කරුණක් දන්නේද? ඔහු ඔබගේ පක්ෂයේ ජාතික ලැයිස්තුව තුල කවදාහෝ නම් කෙරී ඇතිද? එය එසේනම් ඒ ගැන කතා කිරීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නොමැතිද?"

5. කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න: "මේ ගැන රජයක් විදියට කණගාටු වන්නෙමු. මේ ගැන දැනුවත්ව සිට ඊට නිසි පරිදි කටයුතු නොකල පොලිස් පති ඉල්ලා අස්විය යුතුය!"

"දන්නා පරිදි ශ්‍රී ලංකා පොලීසිය පාලනය වන්නේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයෙන්වන අතර  එහි ඇමති වන්නේ රංජිත් මද්දුම බණ්ඩාර වේ. ඔහුට මෙය අදාල නොවන්නේද? රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන මින් ගැලවෙන්නේ කෙසේද?" 

6. වාසුදේව නානායක්කාර: "මේ ගැන අගමැති සැකයි. මේ ගැන කලින් දැන සිට ඇයි පියවරක් නොගත්තේ?"

"ඔබ  දැන නොසිටියාද? ප්‍රභූ ආරක්ෂක අංශවලට එවන ලද ලිපිය ඔබගේ ආරක්ෂක ප්‍රධානි හට පත් නොවුනා ද? ඒ ඇයි? ලැබුනා නම් ඔබ දැනුවත්ව සිටියාද නොසිටියාද? නොදැන සිටියානම් ඒ ඇයි? දැන සිටියානම් ඊට ඔබ ගත් පියවර කුමක්ද?"

7. ක්‍රිස්තියානු කටයුතු ඇමති ජෝන් අමරතුංග: "මට කිව්වෙ නෑ! මං දන්නේ නෑ!! මං හිටියේ මඩු පල්ලියේ!

"ඔබ දැන නොසිටියාද? ප්‍රභූ ආරක්ෂක අංශවලට එවන ලද ලිපිය ඔබගේ ආරක්ෂක ප්‍රධානි හට පත් නොවුනා ද? ඒ ඇයි? ලැබුනා නම් ඔබ දැනුවත්ව සිටියාද නොසිටියාද? නොදැන සිටියානම් ඒ ඇයි? දැන සිටියානම් ඊට ඔබ ගත් පියවර කුමක්ද?"

7. හරීන් ප්‍රනාන්දු: "තාත්තා කිව්වා! ඒ හින්දා මම පල්ලි ගියේ නෑ!"

"මෙය වගකීමකින් කල හැකි ප්‍රකාශයක්ද?"

8. කබීර් හශීම්: "වනාතවිල්ලුවෙන් අතඩංගුවට ගත් අය මේ ප්‍රහරය තුලත් එක් අයෙකු හෝ ඇති. ඒ අයව නිදහස් කලේ දේශපාලන හස්තයකින්. ඒ කවුදැයි හොයන්න ඕනෑ!"

"සැකකරුවන් නිදහස් කිරීමෙන් මෙපමන කලක් ඒ පිළිබඳව හෙළිදරව් නොකලේ මන්ද?"

"ප්‍රභූ ආරක්ෂක අංශ දැන සිටි මෙම ප්‍රහාරය පිළිබඳව ජනාධිපති ලෙසට මෛත්‍රීපාල සිරිසේන දැන නොසිටියේද? දැන නොසිටියානම් ඒ ඇයි? ඊට ඔබ ගන්නා පියවර කුමක්ද? දැන සිටියානම් ඒ පිළිබඳව පියවරක් නොගන්නේ ඇයි?"

Sunday, April 21, 2019

134. ඇත්තටම මේක මහ පුදුම රටක් . . . !




උදේ වැඩට ආවේ මරණවා වගේ.
 ඉරිදානේ.
ඇමතුමක් කැන්ගරු දේශෙන් වසිකගෙන්

"තාත්ති මොනවා හරි බෝම්බ සීන් එකක්ද?"

"කවුද කියන්නේ?"

"මට මාලිංග කිව්වේ!" මාලිංග වසිකගේ පාසැලේ මිත්‍රයෙක්. දැනට ඉන්නේ ඉන්දියාවේ.

"ඉන්න මම බලන්නම්!"මේ උදේ 9.45 ට

විස්තරේ ගොඩින් දැනගත්තේ කොච්චිකඩේ පල්ලියටයි කටානෙ පල්ලියකටයි බෝම්බ ගහලා කියලා."අනේ දෙයියනේ මේවාට සිංහල බෞද්ධයන් ගෑවිලා ද?" මම මගෙන්ම අසා ගත්තා. කවුද අපෙ මිත්‍රයින් ඉන්නේ පාස්කු දවසේ පල්ලි යන?
රිද්මිකා ඩෙප්!?

9.47 ගත්තා ඇමතුම් දෙකක් රිද්මිකාට! ම්හු!

9.48. ගත්තා ගෙදරට ඇමතුමක්!

"මොකක්!? ආරංචියක් නෑ නෙ!"

"මම රිද්මිකාට ගත්තා! කිසිම ආරංචියක් නෑ!"

"එයා උඩවලව ගිහින්!"

"බලන්න අපි දන්න අයට කරදරයක්ද කියලා !"

9.48 වසික යලිත් අමතා ලොකු විස්තරයක් කියනවා.

9.49 මුදිතට ගත්තා. ඌත් කිතුණුවෙක්. උගේ වචනෙන්ම කියනවා නම් ඌ මගේ බොක්කක්!

ඌටත් අවුලක් නෑ. ඌ දන්නේත් මං කිව්වාම.

"මචං මුදියා උඹට මතකද අපි වෙන්නප්පුවේ පැත්තේ බීච් එකේ කෑම්පින් කරණකොට අපිට මාර සපෝර්ට් එකක් දුන්නු ඒ පැත්තේ 'අයියා" කෙනෙක් හිටියා. අනේ උගේ නම මතක නෑ බං! ඌ හිටියාද දන්නේ නෑ කටානෙ?"

"මචං ශාන්ත නේද? මට මේ ළඟදිත් මතක් උනා!"

9.53 අපගෙ ආයතනයේ වයිබර් ජාලයට මා පුවත මුද හැරියෙමි. "කොච්චිකඩේ පල්ලියේ බෝම්බයක් පුපුරා ගොසින්!"

10.10 ඊට පිළිතුරු ලෙස අපගේ ආයතන ජාලයේ කළමණාකාර අධ්යක්ෂක බෝම්බ පිපිරීම් සියල්ල ගැන විස්තරයක් බෙදා හදා ගෙන තිබුනි.

10.13 මා එයට පිළිතුරක් ලියමින් "ලේ දන්දීමේ කඳවුරක් පවත්වමු!"

10.19 මේ අතර ගත්තා වෙන්නප්පුවේ ශාන්ත අයියාට! ප්‍රථිචාරයක් නොමැත!

10.23 කළමණාකාර අධ්‍යක්ෂක තුමා අනුමැතිය ලැබෙමින්.

මේවන විට ගිලන් රථ විලප දෙමින් මාර්ගයේ ගමන් ඇරඹී තිබුනි.

මම පහතට දිව ගියෙමි. "රුෂාන් මල්ලී ගනිං කෝල් එකක් Blood Bank එකට!" රුෂාන්  ලේ බැංකුව දූරකථනයෙන් සම්බන්ධ කර දුන්නේය.

10.31 " හෙලෝ ඔය Blood Bank එකද? අපිට පිරිස ඉන්නවා. ලේ අවශ්‍යනම්."

"ලේ වල අවශ්‍යතාවයක් තියෙනවා. ඒත් අපිට එවන්න පිරිසක් නැහැ. මෙහාට ඇවිත් දෙන්න පුළුවන්නම් වටිනවා. O Negative අය ඉන්නවාද?"

"ඔව් මම O Negative! මම දැන්මම එන්නම්!"

10.33 "හෙලෝ අපි Blood Bank එකෙන් කතා කරණ්නේ! ඔයාද කතා කරලා ලේ දෙන්න පුළුවන් කිව්වේ? අපිට ලේ ඕනෑ. දැන්මම එන්න!"

"මල්ලි රුෂාන් මට දෙතුන් දෙනෙක් සෙට් කරලා දියං! මම යනවා Blood Bank!!

10.37 "තාත්තී ඔයා හොඳින්ද?"
"ඔව් දුවේ අවුලක් නෑ! ස්තූතියි!!"

10.38 යලිත් ලේ බැංකුවෙන් ඇමතුමක්!

10.41 "හෙලෝ සර්! මම අපෙන් තුන් දෙනෙක් අරණ් යනවා Blood Bank එකට!"මා අපගේ ආයතන ප්‍රධානිව දැනුවත් කලෙමි.

"හරි ඔයා යන්න! මම බලන්නම් අපිට මොනවාද තව කරණ්න පුළුවන් කියලා!"

10.50 ලොරි පොඩ්ඩා හිටියත් නැග්ගේ ත්‍රී වීල් එකක අපේම එකෙක්ගේ. මමයි, නලීනුයි, හුස්නියි, සෆ් රාසුයි පිටත් උනා. සප්පා ත්‍රී වීල් එක එලෙව්වේ විදුලි වේගෙන්.

"යකෝ ඔහොම යන්න එපා! දෙන්න තියෙන ලේ ටික වතුර වෙයි!" ඒ මම

"හිමිං යමං පොඩි එකෙක් ඉන්නවා!" හුස්නි.

"උඹේ බඩේද?" සප්පා

11.00 වෙන කොට අපි එතන. කොලටික පුරෝලා දොස්තර නෝනා ප්‍රශණ අහලා ඉවර වෙලා ඇඳට නගින කොට හරියටම 11.30.
අපි තුන් හතර දෙනා විතරයි! ඒ හින්දා සටස් ගාලා වැඩේ පටන් ගැනුනා!
මේ වෙන කොට මුහුණු පොතෙන් ඉල්ලා සිටීම් ගොඩක්!

"මීගමුවට ලේ ඕනෑ"

"අපි උදෙත් යැව්වා! මේ දැනුත් යවනවා!

11.36 ඇඳෙ ඉන්න මට කෝල් එකක්. අප්පට සිරි! කුච්චවේලිවල අමීර්ගෙන්! "මහ්ත්තයා හොඳින් නේද?" 

"අවුලක් නෑ අමීර්!"

"හරි දෙවි පිහිටයි!"


"දෙවි පිහිටයි!"


මම ඇස්දෙක පියාන මගේ මැරුණු අම්මයි තාත්තයි මතක් කරගත්තා හැමදාම ලේ දෙන කොට කරණවා වාගේ. එතැන් සිට හිතින් හිතාගත්තා මේ ලේ ලබන කෙනා සුවපත් වෙන්න කියලා!

"හරි" නර්ස් නෝනා මිහිරි හඬින් කියනවා ඇහුනේ හීනෙන් වගේ.

"අමාරුවක් නෑ නේද?"

"මුදල් අමාරුව විතරයි මිස්!" මම විහිළුවක් කලා.

"එහා පැත්තෙන් වාඩිවෙලා ඉන්න!"

මම වාඩි වෙන්න ගියා.

මොහොතකින් ලේ බැංකුවට එන පාර දිගේ එකා දෙන්නා එන්න පටන් ගත්තා. විනාඩි 10ක් 15ක් යනකොට මෙන්න:





ටික වෙලාවකින් මෙන්න අපේ ලොක්කා වයිබර් පණිවිඩයක් ගුවන් ගත කරලා!
"ලේ දන්දෙන අය ලේ බැකුව වෙත පැමිණීමෙන් වළකින්න! 
මන්ද අවශ්‍ය තරම් ලේ ලැබී ඇත - අද දෙරණ"

ඉතින් මේක පුදුම රටක් නොවේද?

(වසිකට යැව්වා මම ඇඳේ ඉන්න පිංතූරෙ! ඒකට ඌ පිළිතුරක් එවලා! ඒ ඇති මුළු ජීවිතේටම!)

"Great Thaaththi !"


Thursday, April 18, 2019

133. පොඩි හදිස්සියකට සල්ලි ටිකක් ඕනෙ!




මට නෙමෙයි,
මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන 
හදවත් වෙනුවෙන්.. 💝

කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴
ඔව් , එකතු කරා.. 
ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න..
 ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. 
තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. 
ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි.. 
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ 
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන් 
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐
නෑ .. බොහොම පොඩි ගානක්.. 
ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්..
 මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. 
දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. 
අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු.
 ඒ වෙනුවෙන් ඔබ  වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. 
ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට, 
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් වෝල් එකෙත් ශෙයාර් කරන්න ලොකු පිනක්) 🙏

මෙය කවුරුණ් විසින් ලියන ලද්දක්දැයි මා නොදනිමි. එහෙත් එහි ලියැවී ඇති දේ හොඳින් වටහා ගතිමි.  
මගේ බ්ලොගයට ගොඩ වදින ඔබ වෙතින් කෙරෙණ ආයාචනයක් ආරාධනාවක් ඉල්ලීමක්. 
මේ කටයුත්තට උර දෙමු !

Wednesday, April 17, 2019

132. ඇන් ඇක්සිඩන්ට් . !

හරි හරි බං ඇක්සිඩන්ට් තමයි! ඉස්සරහට "An" තියෙනවද බලපං?

අපි ඉගෙන ගත් ඉංග්‍රීසි පොතේ "An Accident" නමින් පාඩමක් විය. 
අපිට ඉංග්‍රීසි උගැන්වූ ගුරුතුමිය අපිට කීවේ එකෙක් දෙන්නෙක් මහ පාර මැද මැරුණත් ඉස්සරහට "An" නැත්නම් ඒක Accident එකක් නොවන්නේය කියාය. ඒ ඇක්සිඩන්ට් වල හැටි නොව වවල්ස් නොහොත් ස්වර වල හැටිය. 
ස්වර කියූ සැනින් මතක් වෙන්නේ සප්තකය ය. එක් පාසලක සිටි ගුරුවරියක් වූ සාමා ටීචර් සමග සංගීතය උගැන්වූ සනී සර්ගේ තිබුනු ඇයි හොඳැයිය පිළිබඳව ඉව වැටුනු ගුරු මණ්ඩලයේම ඉරිසියා කාරයන් ස්වර ගැයූවේ:
 "සා මා . . සා රී . . දා ග නී . . . . !   සනී . . . . ස මග . . .  . පනී . . . . !!" කියාය!

සමහර ඇන් ඇක්සිඩන්ට් වලදී වාහනේ එළවාගෙන ආ එකා "සරම නැතුවම පනී !" 

සමහර ඇන් ඇක්සිඩන්ට් වලින් සරම පමනක් නොව තරු පටි ගැලවී ගිය අවස්ථාද මෙරට ඉතිහාසය පිරික්සීමේදී දක්නට ලැබේ. කලෙකට පෙර මෙරට ත්‍රිවිධ හමුදා වට අයත් එක් හමුදාපති වරයෙකු වූ සුපිරි වැඩ්ඩෙකුට කෙළ වූයේ ඇන් ඇක්සිඩන්ට් එකකිනි.

මේ ඊයේ පෙරෙදා පමනක් නොව ඉතිහාසය පුරාවටම  ඇමතියෝද උන්ගේ මද කිපුනු පුතුන්ද මහ මග ඇන් ඇක්සිඩන්ට් කල ගනන මෙතැකැයි ගනන් බලා නැත. නමුත් ඊට ලැබෙන ප්‍රථිචාරය ඉහල යන්නේ ඇන් ඇක්සිඩන්ට් එක නිසා නොව උන් පෙරකී පරිදි සරම බිම දමා මාරු වන බැවින් නොව හැප්පුනු එකාගේ සරමද උදුරා ගෙන මාරු වන බැවිණි !

වර්ථමානයේ දිනකට බරපතල ගනයේ  මහාමාර්ග අනතුරු දිනකට 300-400 අතර ප්‍රමාණයක් සිදුවන අතර ඒවායින් දිනකට  මියයන ප්‍රමාණය 9 ක් පමණ වේ. 41 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරණු ලබයි.
 "අවුලක් නෑ මචං මං මගේ එක හදා ගන්නම්! උඹ උඹේ එක හදා ගනින්!" කියන ඒවා මේ සංක්‍යා ලේඛණ වලට අයත් නොවේ.

අද දිනය තුල; මෙම පෝස්ටුව ලියන පෙරවරු 11.32 වන විට 13 දෙනෙකු වල පල්ලට ගොස් අවසානය! මේ කෑමට පෙරය!

මේසා විශාල අනතුරු සිදුවන රටක නාවලපිටියේ ඇමතියාගේ පුතා  හෝ පොලිස් කෙළිකාරයෙකුගේ පුතා තවත් පොලිස් කාරයෙකු යට කිරීම හෝ විප්ලව වාදියෙකු අනුරාධපුරයේදී බීමත්ව අනතුරු කිරීම හෝ බෙර ගසන්නෙකු කඩවතදී කාන්තාවක යට කිරීම හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ත්‍රීවීල් එකක් පොඩි කිරීම තවත් තුන් හාරසීයෙන් එකකි.

නමුත් පුද්ගලයා වටා තිබෙන සිවිල් බලතල, ජන්ප්‍රියතාවය හා සිද්ධිය යට ගැසීමට ඇති හැකියාව වැනි කරුණු මත එය පුවතක් වේ!
 මීඩියා දුවන්නේ පුවත් හරහාය!පුවත් නැතිනම් මීඩියා වරුනට සිදුවන්නේ පුවක් විකිණීමට විනා බුලත් විකිණීමට නොවේ. මන්ද මෙරට බුලත් විට විකිණීම කාලයක සිට කරගෙන යනු ලබන ව්‍යාපාරයක් වන බැවිනි. එහෙත් තවම පාරක් තොටක් ගානේ පුවක් විකුණනු අප දැක නැත!

පසු ගියදා මෙරට හරහා ගිය "කිරි පිටි" සුනාමියට, බහුජාතික සබන් මුදළාලිගේ ඒකාධිකාරියේ හුළං ඇරිය නඩු තීන්දුව, නීතීඥ්ඥ  නාගානන්ද කොඩිතුවක්කුගේ කෝට් බෑය ගැලවීම වැනි දේ "සුළඟේ පාවෙන පෙම් කුසුම්" ගානට දානවා විනා ඒවාට බර දමා කටයුතු කිරීමක් බොහෝ මීඩියා පොරවල් ගෙන් අපිට දකින්නට නොහැකි විය. 

මීට කලෙකට පෙර වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාවේ තිරගත වුනු "Untouchables" චිත්‍ර පටයේ මෙන් මේ මුළු මහත් සමාජයම වෙළෙඳ පල ක්‍රමය මගින් අල්ලා අවසන්ය. 


බලන්න සුපිරිම ෆිල්ම් එකක්!

අදීන මීඩියා පොරවල් හිටියේ ඒ කාලයේය. (මෙයත් අපි අසා ඇති ආකාරයෙන් විනා අත් දුටු දෙයකින් නොවන්නේය!) චින්තන ජයසේනයන්; විජේතුංග ජනාධිපති තුමාට පත්තර පෲෆ් හතරක් ලක්ෂ හතරකට විකුණන්නේ මේ සංදර්භය තුලය.(මෙක රසවත් කථාවක් වෙලාවක ලියන්නම්.)
විධිමත් මාධ්‍ය සේම මේ වන විට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නිදහස් මාධ්‍යයන් වන ෆෙස්බුක්, ට්වීටර් අපි මේ ලියන කියන බ්ලොග් වැනි ඒවාය. ඒවා හරහාද මතවාද ඇති කිරීමට හා නැති කිරීමට පුළුවන.

මීට කලකට පෙර නුගේගොඩ ප්‍රදේශයේ ජීවත් වුනු; විශ්‍රාමලත් එක් උසස් පොලිස් නිළධරයෙකුගේ නිවසේ සේවය කල තරුණිය; එම නිළධරුවා විසින් ලිංගික අතවරයට ලක් වූ බව ප්‍රකාශ කිරීමක යෙදුනාය. අවසන් ප්‍රථිඵලය වූයේ එම නිළධරයා සිය දිවි නසා ගැනීමය. එම සිද්ධියන් කලකට පසු පෙර කී තරුණිය විසින් පාපොච්ඡාරණයක යෙදුනේ එම මහතා වෙතින් එවන් නොකට යුත්තක් කිසිදා සිදු නොවූ බවත් තමාව කෙලෙසුවේ තම මවගේ දෙවැනි ස්වාමි පුරුෂයා විසින් බවත්ය!

ෆේස් බුක්, බ්ලොග් වැනි මේ සියළු ලියන්නන් හට කුස්සියේ පලා ලියනවාට හෝ පට්ටලයේ දමා බුෂ් එකක ලියවනවාට වඩා සුවිශේෂී වගකීමක් ඇත්තේ එබැවිනි.

එක් බ්ලොග් පකීර් කෙනෙකු දිනක් මා සමග පැවසූවේ "මචං බ්ලොග් ලියන එවුන්ට හිතට එන ඕන දෙයක් ලියන්නට පුළුවන් වෙන්න ඕනෑ!" කියාය. ඊට ඌණ පූරණයක් ලෙස ඔහු පැවසූවේ "උඹ ලියන්නට ගියාම ඕනෑවට වඩා හිතනවා!!" කියාය.
සත්තකින්ම මා ලියන හැම වචනයකම ඉස්පිල්ලකම පාපිල්ලකම වගකීම මා දරමි. එසේම "නොසිතා ලියන ආකාරය" මා තවම ඉගෙන ගෙන නැත්තේය.

ගෙදර පිළිකණ්නේ වම්බොටු ගහේ හැදුනු වම්බොටු ගෙඩියක් දුටු විට තමාට හිතෙන ඕනෑම කුණුහරුපයක් ලියා දමන්නට හැකි වුවද සමාජමය වශයෙන් හෝ කිසියම් පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට හානි දායක වන දේ ලිවීමේදී යන්තම් හෝ හිතනවා නම් එයින් සිදුවන හානිදායක බව තරමක හෝ තුනී වීමක් වනු ඇත.

ඇන් ඇක්සිඩන්ට් අතර මෙරට මීඩියා, මල්ටි මීඩියා හා ෆ්‍රී මීඩියා පොරවල් හට මේ දිනවල ලියන්නට පුවතක් සපයන්නට දිමුත් කරුණාරත්න ඊයේ පෙරේදා සමත් විය.

 ඒ දෙකක් දාගෙන තම රක්ත වර්ණ රෙන්ජ් රෝවරය; බජාජ් ත්‍රීවීලරයක හොම්බ කට සමතලා වන්නට පතබෑමෙන්ය. 

ඒ මොඩයාගේ දවසේය.

 පසුදින මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක් ලබා දීමට මීඩියා අයියලා කටයුතු කලෝය. පසු දින වන විට ත්‍රී වීලරයේ අයිති කරු හට අළුතින් ත්‍රීවීලරයක් ලබා දීමට දිමුත් පොරොන්දුවූ අතර අප්‍රෙල් 8 වෙනිදා වන විට ත්‍රී වීලරය පීඩාවට පත් පාර්ශ්වය වෙත ලබාදීමට ක්‍රීඩකයා කටයුතු කලේ පන්දුව නිදැල්ලේ යාමට ඉඩ නොදීය. 


මෙම සිද්ධියට සෘජුව මැදිහත් වූයේ ඔහුගේ පියාය. මෙයට අමතරව ත්‍රී වීල් රියැදුරා වෙත සැළකිය යුතු මුදලක්ද ලභා දී ඇත. 

එහෙත් අප්‍රේල් 11 වනදා වනවිට ත්‍රී වීල් රියැදුරා විසින් ෆේස් බුක් පිටුවකට ලියා ඇත්තේ දිමුත්ගේ අළුගෝසු ස්වභාවය පිළිබඳවය.

 දිමුත්ගේ බීමත්ව රිය ධාවනය වසාලීමට ඔහුගේ ජනප්‍රිය තාවයට හෝ ක්‍රීඩාශීලීත්වයට නොහැක. මෙයට කලකට පෙර මොහාන් සමරණායක ජනප්‍රිය මාධ්‍ය වේදියා විසින් පැවසූ ආකාරයට ඔබ කෙතරම් උස් පුද්ගලයෙකු වුවද නීතිය ඇත්තේ ඔබට ඉහලින්ය!

දිමුත්හට හා සමස්ථ බීමත් රියැදුරණ් හට පාඩමක් ඉගැන්වීමට නම් කල යුතුව තිබුනේ දිමුත් විසින් ලබා දීමට යෝජනා කල රෝද තුන "උඹම තියා ගනිං!" කියා ගේමට බැසීමය. අනෙක් අතට දිමුත්ට කල හැකිව තිබුනේ කුමක්ද?

1. නොබී සිටීම.
2.බීමෙන් පසු ධාවනයේ නොයෙදීම.
3. සැළකිල්ලෙන් ධාවනය කිරීම.
4.අනතුර වූ පසු හැකි උපරිමයෙන් සාධාරණව කටයුතු කිරීම.

1,2,3 කාරණා සියල්ල මේවන විට අතහැරී හමාරය. ඉතිරිව ඇති එකම කාරණය දිමුත් වෙතින් ඉටුවී ඇත. 

එහෙත් ත්‍රීවීල් රියැදුරා හට ඉටු විය යුතු අනෙක් කාරණය වන්නේ දිමුත් හට ස්වකීය ක්‍රීඩාශීලීත්වය වෙනුවෙන් ලැබීමට උචිත නායකත්වයට අභියෝග කිරීමටද කියා විටෙක මට සිතේ.
 කොස් ඇට බෑමෙන් බළලාට වන සෙතක් නොමැත. තළන කැකුණ වළින් ඌරණ් හට ලැබෙන දෙයක් නොමැත. ඒවාට වග කියන්නේ අහක ඉන්නා හබන් කුකුළන්ය.

මාගේ පොත් රාක්කයේ ඇති " විප්ලවයේ නාට්‍ය කරු - මෙයර් හොල්ඩ්" පොතේ ඉහලින් මීට වසර ගනනාවක ලියා තැබූ වැකියකි.

එය කලකට පෙර මිය ගිය පී ඒ ලීලාරත්නයන්ගේ සුප්‍රකට චිත්‍ර කතාවක වූ "ස්පාටකස්" හී තේමා පාඨය සේ යාන්තම් මට මතකය. 

එය මෙසේය.

"නොමිනිස්කමේ සෙළුව පාවාදීමේ සළුවෙන් වසාලිය නොහේ . . "

Monday, April 8, 2019

131. කළු ගඟ දිගේ . . . . 2

චීනයේ කඳුළු ගඟ - හ්වැං හෝ නදිය මෙන් සැමදා පඬු වන්ව
ඉල්ලම් පස් හේදීමෙන් කහට ගැන්වුනු කළු ගඟ

මුල් කොටස 


ඉතින් . . . . . . .!

ඔව්! කයාකින් නැත්නම් කයාක් පැදීම සඳහා ගංගාවක් තෝරා ගැනීමත් තරමක වැඩක්!

1. ගඟේ කිසියම් ගලායාමක් තිබිය යුතුයි.

ඇයි එහෙම නැති ගංඟාවලුත් තියෙනවාද?

එක තැන පල් වෙන යල්පිනූ දෙශපාලන පක්ෂයක් සේ හරිත පැහ ගැන්වුනු දිය.

ඔව් ලංකාවේ දිගින් දෙවන ස්ථානය ගන්නා මල්වතු ඔය (164 කිලෝමීටර) එහෙම ගලා යාමක් නැති ගඟක් කීවොත් නිවැරදියි. ගංගාවක ගලා යාමේ සීග්‍රතාවය රඳා පවතින මූලික මිම්ම වන්නේ එහි බෑවුම හෙවත් සෘණ අනුක්‍රමණයයි.
මෙහි උච්චාවචනයන්; ගඟ ගලන්නාවූ පථය වැටී මාර්ගය ඡේදනය කරණ්නාවූ සමෝච්ඡ රේඛා අතර පිහිටි දුර මත රඳා පවතී. මල්වතු ඔය ඡේදනය කරණ සමෝච්ඡ රේඛා පිහිටන්නේ ඉතා දුරස්වය.


හද විල කළඹන සමෝච්ඡ රේඛා //

දැන් ඔබ හිතන්න "ජය ගඟ" හෙවත් "යෝධ ඇල" පිළිබඳව. ක්‍රිස්තු පූර්ව 459 වැනි කාලයක; කලා වැවේ බිසෝකොටුවෙන් නික්මෙන ජලය අනුරාධපුර තිස්ස වැව තෙක් කිලෝමීටර 87 ක් නො එසේනම් සැතපුම් 54 ක් ගෙවමින් ගලායන්නට ධාතුසේන රජතුමා විසින් කරවූ මෙහි බැස්ම කිලෝමීටරයකට සෙන්ටිමීටර 10කි! සැතපුමකට අඟල් 6 කි! කලා වැවෙන් නික්මෙන පීඩනය නොවන්නට එහි ගලා යාමක් සිදු නොවී පවතින්නට ඉඩ තිබුනි.

පලමු දිය වර මුදා හල දින පටන් ජීවිත ශත ශහස්‍රයක් ජීවත් කල ප්‍රාථිහාර්යය.
යෝධ ඇළ - ජය ගඟ

1963 මාර්තුවේ ප්‍රථම මුද්‍රණය ලෙස  ඇම් ඩී ගුණසේන පහරුවෙන්  "ළිහිණි පොතක්" සේ එලිදකින; ලාල් ප්‍රේමනාත් ද මැල් විසින් රචිත "අපේ අපූරු විත්ති" නම් පොත් පිංචේ යෝධ ඇළ පිළිබඳව මෙසේ සඳහන්ව ඇත.
"යෝධ ඇළේ බැස්ම තිබෙන්නේ හැතැප්ම 17 ක් යනතුරුම හතැප්මකට අඟල් හයක් පමණය. පස්වෙනි හැතැප්ම පමණ වන විට පිටින් නැමී තිබෙන කඳු ගැටයක් හරහා ජඹුරෙන් කපාද 40 වැනි හැතැප්ම අසල දී දිය බැස්මේ තවත් ගොඩැල්ලක් හරහාටද ගොස් ඉතිරි හරිය ඊට වෙනස් වූ මල්වතුඔය මිටියාවත දිගේ යන්නේය.
දකින්නන්ගේ සිත් වශී කරවන අන්දමින් සුළු බැස්මක් ඇතිව වතුර වංගුවෙවී යන්නට සලස්වා ඇති වේල්ලකින් සැදුම් ලැබ සැතැප්ම 54 ක් ගලා ගොස් අනුරාධපුරයේ පිහිටි තිසා වැවට හා බසවක්කුලමට ඇතුළු වේ."

මෙවන් ජල ප්‍රවාහයක කයාක පැදීම වතුර පිරි විලක පදිනවා වැනි වෙහෙසකර කාර්යයකි. ඇත්තෙන්ම මෙහිදී "ගලා යාමක් නැති" යනුවෙන් හඳුන්වන්නේ  ඉතා සෙමෙන් ගලා බසින කියන එකට බව තේරුම් යනවා ඇති.

අධාර බෙදීමකට හැර ආසාවටවත් දෙවරක් බලන්නට නොසිතෙන දිය!

2. ජලතලයේ ස්වභාවය  පිළිබඳව සොයා බැලීමක් කරණු ලබයි.
මන්ද මෙය සයිකල් තරඟයක් පැවැත්වීම වැනි කාරණාවක් නොවේ. කයාකින් කිරීමේදී එම ජලතලයේ ස්වභාවය මෙන්ම එහි වර්ණය පවා  හෝ පදින්නන්ගේ සිත සුව පිණිස විය යුතුය.
 බොරවූ; පතුල පෙනෙන්නේ නැති වතුරක පැදීම රාත්‍රී තැපැල් දුම් රියේ බණ්ඩාරවෙළ යනවා හා සමානය. පතුලම නැතත් යම්තාක් දුරක් තුලට පැහැදිලිව පෙනෙන ගංගාවක ඇලක දොළක පැදයාම සුන්දර අත් දැකීමකි.

Pollute ද Rape ද

3. එසේම ජල දහර ගලනා ගමන් මග නො එසේනම් පරිසරය අතිශයින් වැදගත් සාධකයකි.  
මෙය හුදෙක් විනෝදාශ්වාදය පිණිස කරණු ලබන චාරිකාවක් විනා ක්ෂෙත්‍ර අධ්‍යන චාරිකාවක් නොවේ. ඒ නිසා ගමන සඳහා මිනිස් ක්‍රියාකාරකම් වලින් දූෂනය නොවූ පරිසර පද්ධතියක් හරහා ගමන් කිරීමට ලැබීම ආශිර්වාදයකි. ඒ අතින් මහවැළිය කොතරම් සුන්දර අත්දැකීමක්ද?
අප යාත්‍රා කරණ්නට රුචි වන්නේ සුන්දර නදියක් ඔස්සේ විනා ජලාපවහන පද්ධතියක් ඔස්සේ නොවේ! දියේ පිරිසිදු බව සෘජුවම ගමනට බලපාන සාධකයකි! බොහෝ ගංඟා නගරාශ්‍රිතව ගමන් ගන්නා විට නගරයේ සියළු වැසිකිළි කැසිකිළි  මගින් ගඟේ ජලය දූෂණයට ලක්වේ. මෙම "දූෂණයට" ඉංග්‍රීසි භාෂාවේ යෙදිය යුත්තේ Pollute යන්න නොව Rape යන්නමය. සත්තකින්ම මෙය කණ්‍යා දූෂණයක්ම වේ. එළෙස මා දකිමි.

යන්න ගියාම මළ පනින මල පැනපු ගඟක්!

4. අනතුරු අවම චාරිකාවක් යනු එක්තරා දුරකට කවුරුත් අපේක්ෂා කරණ බලාපොරොත්තුවකි.
 කයාක පැදීමේදී අනතුරු ලෙස මුලින්ම හිතට එන්නේ Rapids හෙවත් ඇළිය. මේවා යම් පමණකට තිබිය යුතුය. නො එසේනම් එය කේබල් කාර් එකකින් සිරී පාදේ ගියා වැනි අත්දැකීමක් වනු ඇත.
 කිතුල්ගල  White Water Rafting ඉසව් වලදී පැය 1/2 පමණ කාලයක් රබර් ඩිංගි බෝට්ටුවක නැගී තෙවන පංතියේ පමණ ඇළි තරණයට වඩා ගඟක් දිගේ කරණු ලබන මෙවන් චාරිකාවක් ගවේශණයක් වෙනස් ආරක් ගනී.

ඔන්න කනෝ පිනුං!

 කිතුල්ගලදී බෝට්ටුවකට අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම අවමය.ඒවා හුලං පුරවන ලද රබර් බෝට්ටුවීම මෙයට ප්‍රධාන හේතුවය. එනිසාම ගලක් සමග වන සංඝට්ඨනයකදී එම බෝට්ටු බිත්තිය කම්පණ පරිමන්දකයක් Shock Absober ලෙස ක්‍රියා කරයි.ඒනිසාම ඇතුලත ගමන් ගන්න අයහට ඇතිවන බලපෑම අවම වේ. බෝට්ටුවට හෝ ඇතුලත ගමන් ගන්නා අයෙකු හට සිදුවන අනතුරකදී ඒ පිළිබඳව කටයුතු කිරීමට; මැදිහත් වීමට පිරිසක් අසලම සිටිති.
මේ සියළු තත්වයන් අතරද මේ වන විට සැළකිය යුතු සංචාරකයින් ප්‍රමාණයක් කිතුල්ගලදී මිය ගොස් ඇති බව ව්‍යාපාරික රහසක් ලෙස තබා ගැනීමට එම කර්මාන්තයේ නියුතු ලොකු කුඩා මුදළාලිලා කටයුතු කරති.


එහෙත් ගඟාංවක් දිගේ කරගෙන යනු ලබන ගවේශණයක; චාරිකාවක තත්වය මීට ඉඳුරාම වෙනස්ය.
 මෙය ව්‍යාපාරික කටයුත්තක් නොවේ. හුදෙක් විනොදාශ්වාදය මූලික කරගෙන කර්ණු ලබන ක්‍රියා කාර කමකි.
 මේ සඳහා යොදාගන්නේ ප්ලාස්ටික් (PE - Polyethylene /LDPP - Low Density Polypropylene) හෝ ෆයිබර් යාත්‍රාවකි. ඒ නිසම එය ගලක වැදීමෙන් සිදුවන අනතුර සාපේක්ෂව විශාලය.
එහි ඇති හැඩය හේතුකොට ගෙන එය දිය පහරේ ස්වභාවයට අනුකූලව දිශාණතිය වෙනස්වේ. මේ නිසාම එය පැදවිය යුතුය. හැර විය යුතුය. හැසිරවිය යුතුය.

කයාකින් කවියකින් ! 
ඔව් සත්තකින්ම එය කවියක් ලියනවා වගේමයි!

අප යෙදෙන්නේ කිලෝමීටරයක දෙකක ගමනක් නොව.අවම වශයෙන් කිලෝමීටර 50 ක පමන ගමනකි. මේ නිසාම හදිසි අනතුරකදී ලබා ගත හැකි භාහිර උදව් උපකාර අවම වේ. අනතුරට පත් යාත්‍රාව වෙනුවෙන් වෙනත් එකක් යොදා ගැනීම කල හැක්කක් නොවේ.
එක් අයෙකු හෝ අනතුරකට පත්වුවහොත් මුළු ගමනම නවතා දැමීමට සිදුවේ.මන්ද එක් අයෙකු නොමැති වුවහොත් එම කයකය තනිව ගෙන යාමට නොහැකිවනවා මෙන්ම එම කයාකය චාරිකාවෙන් ඉවත් කිරීමට සිදුවේ. නමුත් පොදුවේ පාවිච්චියට හෝ/හා භාවිතා කිරීමට ගෙනයන සියළු ආහාර,උපකරණ,කූඩාරම් ආදී එකී මෙකී සියළු දෑ චාරිකාවේ යෙදෙන සියළු කයාක අතර බෙදා ඇති අතර එක් කයාකයක් හෝ ඉවත්වුව හොත් ගෙනයෑමට යෝජිත ද්‍රව්‍ය නියමාකාරයෙන් නොවීම කරණ කොට ගෙන චරිකාව මුළුමනින්ම නවතා දැමීමට සිදු විය හැක.

දැං කනවද? - පස්සෙ කනවද?
දැං කනවද? - පස්සෙ කනවද?
දැං කනවද? - පස්සෙ කනවද?
ඔන්න ඔහේ දැන්මම කනවා!

ඊළඟ තර්ජනය වන්නේ කිඹුලන් ගෙන්ය! පෙරදී මා ලියන ලද "ගඟක් දිගේ" ලිපි පෙල අතර "යාළුවන්" (තෙශාන්ත කිඹුලන් අමතන සුරතල් නාමය) ගැන කතා කොට ලියා ඇත.
මාගේ අදරණීය පාඨක පාඨිකාවන්; මේ මිනී මරු කිඹුලන්; ගෙවල් පාර පටන් ගන්නා තැන ස්ථාපිත බේකරියෙන් උදේ බා සවස් වන විටත් ෂෝ කේස් එකේ  සීනි හැලී වේලි වේලී ඉතිරිවන කිඹුලා බනිස් ගානට දමා වදන් ලියූවද  "කිඹුලා" යනු එකෙන්ම මරණ වරෙන්තුවකි.
ගොඩ බිම ගැට ගසා සිටින ගොන් නාම්බෙකු වුවද වතුරට ඇදගෙන ගොස් ඩිනර් එකට ගන්නට හැකියාවක් ඇති සත්වයෙකු සමග "සටන්" යනු; "යුනිකෝ" මොඩලයේ ඉළ ඇදෙන විහිළුවකි!

සීනි හැලිච්ච මරණ වරෙන්තුව!

ආරම්භයේ පටන් අවසානය තෙක් සියල්ලම අතින් ගත් විට "නිල්වලා ගඟ" යනු කයාකින් වලට නොම්මර එකේම ජල දාරාවකි. එහෙත් එහි උරුමක්කාරයින්, පොල්මඃකාරයින්, අද්මිනිස්ත්‍රාතින් ගැන කියැවෙන්නේ අද ඊයේ නොවේ.
අප පමනක් නොව අපේ අම්මලා අප්පුච්චලාද, අත්තම්මලා සීය පප්පලාද ඔවුන් ගැන ඉල්කෝලේ පිට්ටැනියේ කෙලවරේ පිහිටි සීනි සියඹලා ගහ යට වටේට හිටගෙන උස් හඬින් ගැයුවෝය. සියඹලා ගස දිරා ගියද, සීයලා ආච්චිලා මිය ගියද ඔවුන් එහිම සිටිති.

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතා ඒ පැටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා

පිළිවෙලට කමු!

ඒ; ඒ කාලයේය. අද ඔවුන්ද පරිණාමය වෙලාය. ඔවුන්ගේ වර්ථමාන පරම්පරාව මිනී කන්නේ හැන්ද ගෑරෙප්පුව  Close Tips වලින් ගෙනය!
 බාබෙකිව් දමාගෙනය.
ග්‍රිල් කරලාය.
එයා ෆ්‍රයර් එකේ දමා ගෙනය!!

ඉහත එකී මෙකී නොකී සියළු පෙරහන් වලින් පෙරී ඉතිරි වන ලංකාවේ ගඟා, ඇළ, දොළ ප්‍රමාණය මගේ හිසේ කෙස් ගානට වඩා එකකින් දෙකකින් වැඩිවීය හැක!!!!!

ඉසේ කෙස් ගානට කයාක් පැද්ද තට්ටයෙක් !

තෙශාන්ත මුල්කිරිගල හා පසිඳු අමරසිංහ සමග කතා කල පළමු මිනිත්තුවේ පටන් අප තිදෙනාට පොදුවූ ගැටළු ත්‍රිත්වයක් විය !
ඉන් ප්‍රධාන ගැටළුව වන්නේ චාරිකාව සඳහා සහභාගි වන සිව් වැන්නා කවරෙක්ද යන්නය.
 අනෙක ඒ සඳහා යොදා ගන්නා නදිය කුමක්දැයි කියාය.
දිනය කවදාද යන්නය.

කාලය දීපය දේශය බලා පසිඳුත් තෙශාන්තත් දිනය දැන්වූවොය. දිනය එන 16 වනදාය. 2019 මැයි මාර්තු  16 වන සෙනසුරාදාය!

පසිඳු, මම, තෙශා, වසික, මහේන්ද්‍ර, මහවැළි 
කොමළිය සමග


මෙතන තෙශා ට පිටිපස්සෙ ඉන්නේ අලි පන්නන මෛත්‍රී

අප සමග මහවැළි තරණයට ගිය අනෙක් තිදෙනා වන්නේ වසිකත්, මෛත්‍රීත්, ධම්මිකත්ය. වසික මේ වන විට කැන්ගරු දේශයේය.

ඊළඟට ලැයිස්තුවේ ඉන්නේ මෛත්‍රී හා ධම්මික ය.  දෙදෙනාගෙන්; අවස්ථාවට පළමුව හිමිකාරීත්වය කීවේ මෛත්‍රීය. ඔහුගේ ජිව දත්ත මා මෙහි නැවත සඳහන් නොකරණ්නේ  ඒ සියල්ල මා ගඟක් දිගේ ලියා තැබූ බැවින්ය.


"අද හවසට ඌට කතා කරලා උදේම උඹට කියඤ්ඤං !" කියා කීවාට තෙශාන්ත කියපු දෙයක් නැත.

මම දෙවන වර තෙශාන්තව අමතන විටත් ඔහුට මෛත්‍රීව සම්බන්ධ කර ගැනීමට නොහැකිවී තිබුනි.
මන්ද මහ කැළයේ ගස් බෙනවල, රූස්ස ගස් මුදුන් වල, ගල් ගෙවල් තුල කටු ලැහැබ් තුලින් මී පැණි පොජ්ජක් මන්දො කර ගත්තාට සිග්නල් පොජ්ජක් පටෑරගෙන කෝල් පොජ්ජක් මන්දො කරාන්නට හැකියාවක් නොමැති නිසාය.
"දිවයිනම ආවරණය වන පරිද්දෙන් . . .  " බයිලා  මහ කැළයට ඒවා වලංගු නොමැත.

බඩ රස්සාවට අලි පන්නන මෛත්‍රී ඉන්නා රූස්ස කැළයට සිග්නල් සිදාදියෙ හූරන් රැගෙන යා  යුතුය.


දින එකින් එක මීටර් ටැක්සියක ඉලක්කම් සේ ඉගිල යයි. තෙශාන්ත ගූගල් සිතියම ඔස්සේ ගඟ වල් සොයමින් කරක් ගසයි. මල්වතු ඔය, කලා ඔය හා කළු ගඟ  යන ත්‍රිත්වයටම තෙශාන්ත ඉව අල්ලමින් විය.
 මල්වතු ඔය හා කලා ඔය යන ගංඟා තෙශාන්ත විසින් ප්‍රථම වටයෙන් ප්‍රථික්ශේප කරණු ලැබූවේ ඒවායේ ගලා යෑමක් නොමැති බව නිසා මය. එහෙත් කළු ගඟ පිළිබඳවද වඩාත් පැහැදිලි පැහැදීමක් නොවීය.

අවසානයේ පසිඳු ස්ථිරව යමක් ප්‍රකාශ කලේය.

"අයියේ අපි 16 වෙනිදාට කොහේ හරි යමු . . !?!?!?!?   මොකද  හා ද . . ?

"එළ! එකෙන්ම . . !" වෙන්න ඕනෑ විදියටම සියල්ල වෙමින්ය. මම ඊට බොක්කෙන්ම එකඟ විමි! මීට වඩා ගැලපෙන වචනයක් ඇත්නම් කොමෙන්ටුවක් විදියට ලියා දක්වන්න.

"ඔව්! බොක්කෙන්ම එකඟ විමි . . . !"

වැඩේ ටිකින් ටික ඝන වෙමින්ය් ! දුෂ්කර වෙමින්ය!! ඇඩ්වෙන්චරස් වෙමින්ය!!!

 " ඔව් අපි කොහේ හරි යමු! එළ!"

මෛත්‍රීගේ පණිවිඩය එන තෙක් වේලෙන අතරේ පසිඳුගෙන් ඇමතුමක් ලදිමි.

"අයියේ මෛත්‍රී හරි ධම්මික හරි එන්නේ නැත් නම් මගේ එළ පොරක් ඉන්නවා ! කොහොමද දන්නවාද? . . . . . . . . . . "

මම නැවත තෙශාන්තව ඇමතුවද තෙශා මා ඇමතුවාද කියා මට මතක නැත. කෙසේ වෙතත් ප්‍රථිඵලයේ වෙනසක් නැත!

තවත් වරුවක්  ගෙවෙද්දී තෙශා ප්‍රථිඵලය මුදා හැරියේය.

"මචං ඌට එන්න වෙන්නේ නැතිලු . . . !" මේ 11 වෙනිදා හවස් යාමයේය!

දෙවැනි විකල්පය වූයේ ධම්මිකය. ධම්මික බොහෝ සෙයින් නිහඬ චරිතයක් විය. මේ බව මා නැවත නැවතත් නොකිව මනාය. මන්ද ඔහු ගැනද මා මින් පෙර මා ගඟක් දිගේ ලියා ඇති බැවින්ය.
ඔහු නිහඬ පුද්ගලයෙකි.
නිහඬ බවටත් වඩා හේ කාර්යශූරත්වයෙන් හීනය. ඇල් වතුර බොන්නේ පීරිසියට දමා කටින් පිඹ පිඹාය.
 "ගූඩ් ඊවිනිං! කතා කරණ්න පුළුවන්ද? කරදරයක් නෑ නේද දැන් කතා කලාට? කලබල වෙන්න එපා ඔයා ඔය නිදාගෙන ඉන්න ඇඳේ මෙට්ටෙට ගිනි අරණ්!" මේ ඔහුගේ විලාශයය!
මේ නිසාම ඔහුව මෙම ගමනට සහභාගී කරගැනීම තරමක විවාදයට තුඩු දුන් කරුණක් වුවත්; ඊට වඩා සුදුසු වෙන යම් කෙනෙකු ඒ මොහොතේ මගේ මතකයට නොආවේය.
එසේම තෙශාන්තගේ "දන්න යකා  න්‍යායට" වඩාත්ම ගැලපුනේ ධම්මිකය.

"හරි තෙශා ට්‍රයි කරපන් ධම්මිව කන්ටෑක්ට් කර ගන්න . ." මම තෙශාන්ත අමතා කීවෙමි.

තෙශාත් පසිඳුත් ධම්මිකව සම්බන්ධ කර ගැනීමට අසීරු උත්සාහයක යෙදුනි. ප්‍රථිඵලය අප හිටපු තැනම නැවතී සිටීමය. තවමත් එක් අයෙකුගේ අඩුව එලෙසින්වමය.

ඒ සමගම මගේ මතකයට ආවේ මමත් පසිඳුත් සමග කැළණි ගඟේ හක්බෙල්ලවක සිට රංවල තොටුපොළ තෙක් පැමිණි අම්රාන් අතාස් වය!

ක්ෂණිකව මා පසිඳු ඇමතූවෙමි.

12 වෙනිදා වෙන විට අම්රාන් ගේ සහභාගි නොවීම නිළවශයෙන් පසිඳු දැනුම් දුන්නේය.

අපිට වෙන විකල්පයක් නොමැත. එකම සගයා කසුන් ය. ඒ පසිඳු නිරන්තරයෙන් වීරාභිවන්දනයෙන් යුතුව පැවසූ චරිතය විය. ඔහු මේ වන විට ඉන්නේ තණමල්විලය!

"සුපිරි . . . . !" ඒ තෙශාන්තය.

"හරි ඌව සෙට් කරණ්න. අද හවස කොන්ෆරන්ස් කෝල් එකක් ගන්න !"

"එළ . . . . !"

13 වෙනිදා අප දූරකථනයෙන් කතාවට එක් වුනෙමු. එක් එක් අයගේ අදහස් ගලපා ගතිමු. කසුන් නුදුටුව මුත් ඔහුට අප හා සමපාත විය හකි බවක් පෙන්නුම් කෙරුණි!

සියල්ල හොඳින් ගලා යයි. තවමත් යන්නේ කොහේදැයි තීන්දුවක් නැත! මොනවා උනත් කයාක කොළඹ තිබිය යුතුය. මේ වන විට ඒවා වසර දෙකක දීර්ඝ නිවාඩුවක! ඒවා හක්බෙල්ලාවක Tee Pee The Camp Site  මෙහෙයුම් කාමරය වන අඩි 20 කන්ටේනරෙය මත නිරුප්ද්‍රිතව!

දීර්ඝ නින්දක !

14 ඔව් මාර්තු 14 බදාදාවකි. අපි 16 යනවා නම්;  කයාක හෙට උදේ වනවිට කොළඹ තිබිය යුතුය.

"කළු ගඟේ තමයි යන්න වෙන්නේ. අනිත් ඒ වා හිඳිලා! කළු ගඟේ  මග තැන දෙක තුනකම Rapids තියෙනවා. ඇල්ල ගාව තමයි දරුණුම Rapid එක. එතන ගල් අතරින් එන්නේ!" තෙශාන්ත මා දැනුවත් කලේය.

මේ ඇල්ල යනුවෙන් හඳුන්වන්නේ පානදුර රත්නපුර පාරෙ කිරි ඇල්ල අසල පිහිටි පත්තිනි දේවාලය අසල කළු ගඟෙ ඇල්ලය. මෙම ස්ථානය පමනක් නොව මෙම ප්‍රදේශය පවා නම් කරණ්නේ "ඇල්ල" නමින් මය!

"අනිවා අපි හෙල්මට් දාන්න ඕනෙ!" මම තීරණයක් ගත්තෙමි. සියල්ලන් එයට එකඟ විය. මා Borderlands  ලාගෙ මහේෂ්ව ඇමතූවෙමි. ඔහුගේ අංකයෙන් ඇමතුවේ වෙනත්ම අයෙකි.

"මහේෂ් ජපානෙ! මොකද්ද වෙන්න ඕන?"

"හෙල්මට් හතරක් . . . . !?"

ඔහු වෙනත් මිතුරෙකුගේ නමක් කීවේය. දහ දොලොස් පාරක් මහන්සිවී ඔහුව සම්බන්ධ කර ගතිමි. ඔහුට මගේ අවශ්‍යතාවය කීවෙමි.

"හරි මචං! උඹ වරේං මොනවා හරි කරමු!"

"එළ!"

14 වෙනිදා වන විට තවත් ප්‍රශ්නයක් හිස මතට ඇවිත්ය. ඒ මාගේ ලොරි පොඩ්ඩාගේ ටයර් වල තත්වයය! ඒවා ඈතට පෙනුනේ ටියුබ් හතරක් මෙනි.
 කයාක ගඟක් අයිනට ගෙනගොස් ආපසු ඉවුරට එන්නට තබා ගං ඉවුර තෙක් යන්නට වත් ටයර වල තත්වය ගැන විශ්වාසයක් තියන්නට නොහැක. එක ටයරයක් පුපුරා යාමෙන් මුළු ඉසව්වම අවුල් වී යන්නට පුළුවන.
 ඉක්මන් ගමනෙන් Ikman.lk  වෙත ගොඩ විමි. ඒ පැත්තට මේ පැත්තට පීරා බලනා විට හෝකන්දරින්  32 X 11.50 X 15 ගලවා ඉවත් කල ටයර හතරක් සොයා ගැනීමට හැකිවිය.

ටයර සේම දිනයද ඉක්මනින් ගෙවී ගියේය. හවස් විය. තෙශන්ත කාර්‍යාලයේ සිරවීගොස්ය.

"මචං 5.00 න් පස්සේ යනවානම් එන්නම් . . . !"

හවස 5.00 වෙනතුරු ඉන්නට මගේ සිතක් නොමැත. අනෙක ඔහු ගොඩ කර ගැනීමට මා බියගම ගියහොත් ටයර ලබා ගැනීම කර ගැනීමට අපහසු විය හැක. මා තීරණයක් ගතිමි.

"ඔව් මම තනිවම යනවා. !"

තනිව හක්බෙල්ලාවකට යාම වැඩක් නොවේ. ලොකුම ගැටළුව වන්නේ කන්ටේනරයක් මත තබා ඇති කයාක බිමට බා ගැනීම හා ඒවා ලොරි පොඩ්ඩා මත තබා ගැනීමය!

හවස 5.00 කණිසමට මා පිටත් විය. මාගේ මාර්ගය වැටී තිබුනේ පැලවත්ත, මාලාඹේ ඔස්සේ හෝකන්දරටය. හෝ කන්දරින් ටයර රිම් සමගම මිලට ගතිමි. එතැනින් හයිලෙවල් පාර ඔස්සේ හක්බෙල්ලාවකටය.
 මා කෙතරම් කැමති වුවද රාත්‍රී ගමන් බිමන් වලට හදවත් හරස් වේ. තනිව කොහොමද ඔය කයාක දෙක බිමට ගන්නේ? පටව ගන්නේ? හදවත් නිරන්තරයෙන් මගෙන් විමසමින්ය.

"කොහොම හරි!" මගේ පිළිතුර විය.

Old faithful Campaigner

ටයර මිලදී ගත්තද ඒවා සමන් විත වූවේ අඟල් 10 ක් පලල රිම් සමගය.
 අඟල් 10 රිම් යනු පොලිස් රාළහාමිළාට රසඳුනක්ය! ඒ දුටු පමණින් රස කෑමක ඉව වැටෙන හෙයින්ය.
ඉන්පසුව ; වාහනයේ ඉදිරිපස බෆරය මත විරාජමානව වැඩ සිටිනWARN 8274 රත්තල් 8000 වින්ච් එකට;
 ඒක සවිකොට ඇති මිලීමීටර් 6 හා 4 ඝනකමකින් යුත් යකඩ බෆර් එකට;
 රෝද බොඩියෙන් එළියට පැන තිබ්බාට
 මෙකී නොකී සියල්ලටම කොකු පෝලිමක් වැටෙන කෙස් එකක්ය.

ඒ සියල්ලටම වඩා අමල් වික්‍රමාඅරච්චිගේ අදහසේ හැටියට අඟල් 10 රිම් යෙදු විට මඩේදී රෝද හිරවීමට ඇති සම්භාවිතාව වැඩිය!

මේ අනේක විදි හේතූන් නිසාම රිම් සහිත රෝද හතර පසුපස නග්ගවා ගෙන මා හැල්මේ නොව පිම්මේ අවිස්සාවේල්ල, කරවනැල්ල, යටියන්තොට, හක්බෙල්ලාවක, තැලිගම ද පසුකොටගෙන කිතුල් ගලට සම්ප්‍රාප්ත විය.
 ඒ පෙරකී කිසිදා නොදුටු මිතුරාගෙන් හෙල්මට් හතරක් ඉල්ලා ගැනීමටය. ඔහුට විසි තිස් වතාවක් ඇමතූ පසු ඔහු වෙනත් අයෙකු අත් හෙල්මට් 4 එවා තිබුනි. ඒ වන විට වේලාව රාත්‍රී 9.00 - 9.30 පමණ වෙලා සේ මට මතකය.

ඔළුව බේරා ගැනීමේ දෝරෙ ගලා යන සතුට !

නැවතත් කිලෝමීටර 10-12 ක් ආපසු පැමිණ හක්බෙල්ලාවක් ........ ඉදිරියේ ලොරි පොඩ්ඩා ගාල් කොට ගෙන මෙහෙයුම ඇරඹුවෙමි.

 ලොරි පොඩ්ඩා හා ටයර් හතර !
 (නිකං ළමා කථාවක් වගේ නේ ?)


ඒ ගැන මා ලියන්නට වෙහෙස වන්නේ නැත.
එකක් කිලෝ 35 - 40 බරැති අඩි 13 ක් පමන දිගැති කයාක දෙක කන්ටෙනරයක් මත සිට පහතට ගෙන; ලොරි පොඩ්ඩා මත පටවා නොසෙල්වෙන සේ කිසිවෙකුගේ උදව්වකින් තොරව ගැට ගසා ගත් අයුරු මෙනෙහි කොට බලන්න. . . . . . . .  !
සියල්ල නිමවන විට පාන්දර 1.30 ත් පසුවී තිබුනි.

පහත රැටියාගේ රිස්ස යවන්න කයාක් එක පිට එක පටවා !

මගේ හදවත මා ගැන දුක් වේ! පුදුම වේ!!

අවසන රාත්‍රී එහිම සුව පහසුව නිදා ගතිමි. පසුවදා එනම් 15 වන දින  පාන්දර 5 ට පිබිද කයාක දෙකද රැගෙන කොළඹ බලා එන්නට විමි!



to be cont.,
                                          ලඟදීම . . . . . . !

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...