Monday, April 8, 2019

131. කළු ගඟ දිගේ . . . . 2

චීනයේ කඳුළු ගඟ - හ්වැං හෝ නදිය මෙන් සැමදා පඬු වන්ව
ඉල්ලම් පස් හේදීමෙන් කහට ගැන්වුනු කළු ගඟ

මුල් කොටස 


ඉතින් . . . . . . .!

ඔව්! කයාකින් නැත්නම් කයාක් පැදීම සඳහා ගංගාවක් තෝරා ගැනීමත් තරමක වැඩක්!

1. ගඟේ කිසියම් ගලායාමක් තිබිය යුතුයි.

ඇයි එහෙම නැති ගංඟාවලුත් තියෙනවාද?

එක තැන පල් වෙන යල්පිනූ දෙශපාලන පක්ෂයක් සේ හරිත පැහ ගැන්වුනු දිය.

ඔව් ලංකාවේ දිගින් දෙවන ස්ථානය ගන්නා මල්වතු ඔය (164 කිලෝමීටර) එහෙම ගලා යාමක් නැති ගඟක් කීවොත් නිවැරදියි. ගංගාවක ගලා යාමේ සීග්‍රතාවය රඳා පවතින මූලික මිම්ම වන්නේ එහි බෑවුම හෙවත් සෘණ අනුක්‍රමණයයි.
මෙහි උච්චාවචනයන්; ගඟ ගලන්නාවූ පථය වැටී මාර්ගය ඡේදනය කරණ්නාවූ සමෝච්ඡ රේඛා අතර පිහිටි දුර මත රඳා පවතී. මල්වතු ඔය ඡේදනය කරණ සමෝච්ඡ රේඛා පිහිටන්නේ ඉතා දුරස්වය.


හද විල කළඹන සමෝච්ඡ රේඛා //

දැන් ඔබ හිතන්න "ජය ගඟ" හෙවත් "යෝධ ඇල" පිළිබඳව. ක්‍රිස්තු පූර්ව 459 වැනි කාලයක; කලා වැවේ බිසෝකොටුවෙන් නික්මෙන ජලය අනුරාධපුර තිස්ස වැව තෙක් කිලෝමීටර 87 ක් නො එසේනම් සැතපුම් 54 ක් ගෙවමින් ගලායන්නට ධාතුසේන රජතුමා විසින් කරවූ මෙහි බැස්ම කිලෝමීටරයකට සෙන්ටිමීටර 10කි! සැතපුමකට අඟල් 6 කි! කලා වැවෙන් නික්මෙන පීඩනය නොවන්නට එහි ගලා යාමක් සිදු නොවී පවතින්නට ඉඩ තිබුනි.

පලමු දිය වර මුදා හල දින පටන් ජීවිත ශත ශහස්‍රයක් ජීවත් කල ප්‍රාථිහාර්යය.
යෝධ ඇළ - ජය ගඟ

1963 මාර්තුවේ ප්‍රථම මුද්‍රණය ලෙස  ඇම් ඩී ගුණසේන පහරුවෙන්  "ළිහිණි පොතක්" සේ එලිදකින; ලාල් ප්‍රේමනාත් ද මැල් විසින් රචිත "අපේ අපූරු විත්ති" නම් පොත් පිංචේ යෝධ ඇළ පිළිබඳව මෙසේ සඳහන්ව ඇත.
"යෝධ ඇළේ බැස්ම තිබෙන්නේ හැතැප්ම 17 ක් යනතුරුම හතැප්මකට අඟල් හයක් පමණය. පස්වෙනි හැතැප්ම පමණ වන විට පිටින් නැමී තිබෙන කඳු ගැටයක් හරහා ජඹුරෙන් කපාද 40 වැනි හැතැප්ම අසල දී දිය බැස්මේ තවත් ගොඩැල්ලක් හරහාටද ගොස් ඉතිරි හරිය ඊට වෙනස් වූ මල්වතුඔය මිටියාවත දිගේ යන්නේය.
දකින්නන්ගේ සිත් වශී කරවන අන්දමින් සුළු බැස්මක් ඇතිව වතුර වංගුවෙවී යන්නට සලස්වා ඇති වේල්ලකින් සැදුම් ලැබ සැතැප්ම 54 ක් ගලා ගොස් අනුරාධපුරයේ පිහිටි තිසා වැවට හා බසවක්කුලමට ඇතුළු වේ."

මෙවන් ජල ප්‍රවාහයක කයාක පැදීම වතුර පිරි විලක පදිනවා වැනි වෙහෙසකර කාර්යයකි. ඇත්තෙන්ම මෙහිදී "ගලා යාමක් නැති" යනුවෙන් හඳුන්වන්නේ  ඉතා සෙමෙන් ගලා බසින කියන එකට බව තේරුම් යනවා ඇති.

අධාර බෙදීමකට හැර ආසාවටවත් දෙවරක් බලන්නට නොසිතෙන දිය!

2. ජලතලයේ ස්වභාවය  පිළිබඳව සොයා බැලීමක් කරණු ලබයි.
මන්ද මෙය සයිකල් තරඟයක් පැවැත්වීම වැනි කාරණාවක් නොවේ. කයාකින් කිරීමේදී එම ජලතලයේ ස්වභාවය මෙන්ම එහි වර්ණය පවා  හෝ පදින්නන්ගේ සිත සුව පිණිස විය යුතුය.
 බොරවූ; පතුල පෙනෙන්නේ නැති වතුරක පැදීම රාත්‍රී තැපැල් දුම් රියේ බණ්ඩාරවෙළ යනවා හා සමානය. පතුලම නැතත් යම්තාක් දුරක් තුලට පැහැදිලිව පෙනෙන ගංගාවක ඇලක දොළක පැදයාම සුන්දර අත් දැකීමකි.

Pollute ද Rape ද

3. එසේම ජල දහර ගලනා ගමන් මග නො එසේනම් පරිසරය අතිශයින් වැදගත් සාධකයකි.  
මෙය හුදෙක් විනෝදාශ්වාදය පිණිස කරණු ලබන චාරිකාවක් විනා ක්ෂෙත්‍ර අධ්‍යන චාරිකාවක් නොවේ. ඒ නිසා ගමන සඳහා මිනිස් ක්‍රියාකාරකම් වලින් දූෂනය නොවූ පරිසර පද්ධතියක් හරහා ගමන් කිරීමට ලැබීම ආශිර්වාදයකි. ඒ අතින් මහවැළිය කොතරම් සුන්දර අත්දැකීමක්ද?
අප යාත්‍රා කරණ්නට රුචි වන්නේ සුන්දර නදියක් ඔස්සේ විනා ජලාපවහන පද්ධතියක් ඔස්සේ නොවේ! දියේ පිරිසිදු බව සෘජුවම ගමනට බලපාන සාධකයකි! බොහෝ ගංඟා නගරාශ්‍රිතව ගමන් ගන්නා විට නගරයේ සියළු වැසිකිළි කැසිකිළි  මගින් ගඟේ ජලය දූෂණයට ලක්වේ. මෙම "දූෂණයට" ඉංග්‍රීසි භාෂාවේ යෙදිය යුත්තේ Pollute යන්න නොව Rape යන්නමය. සත්තකින්ම මෙය කණ්‍යා දූෂණයක්ම වේ. එළෙස මා දකිමි.

යන්න ගියාම මළ පනින මල පැනපු ගඟක්!

4. අනතුරු අවම චාරිකාවක් යනු එක්තරා දුරකට කවුරුත් අපේක්ෂා කරණ බලාපොරොත්තුවකි.
 කයාක පැදීමේදී අනතුරු ලෙස මුලින්ම හිතට එන්නේ Rapids හෙවත් ඇළිය. මේවා යම් පමණකට තිබිය යුතුය. නො එසේනම් එය කේබල් කාර් එකකින් සිරී පාදේ ගියා වැනි අත්දැකීමක් වනු ඇත.
 කිතුල්ගල  White Water Rafting ඉසව් වලදී පැය 1/2 පමණ කාලයක් රබර් ඩිංගි බෝට්ටුවක නැගී තෙවන පංතියේ පමණ ඇළි තරණයට වඩා ගඟක් දිගේ කරණු ලබන මෙවන් චාරිකාවක් ගවේශණයක් වෙනස් ආරක් ගනී.

ඔන්න කනෝ පිනුං!

 කිතුල්ගලදී බෝට්ටුවකට අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම අවමය.ඒවා හුලං පුරවන ලද රබර් බෝට්ටුවීම මෙයට ප්‍රධාන හේතුවය. එනිසාම ගලක් සමග වන සංඝට්ඨනයකදී එම බෝට්ටු බිත්තිය කම්පණ පරිමන්දකයක් Shock Absober ලෙස ක්‍රියා කරයි.ඒනිසාම ඇතුලත ගමන් ගන්න අයහට ඇතිවන බලපෑම අවම වේ. බෝට්ටුවට හෝ ඇතුලත ගමන් ගන්නා අයෙකු හට සිදුවන අනතුරකදී ඒ පිළිබඳව කටයුතු කිරීමට; මැදිහත් වීමට පිරිසක් අසලම සිටිති.
මේ සියළු තත්වයන් අතරද මේ වන විට සැළකිය යුතු සංචාරකයින් ප්‍රමාණයක් කිතුල්ගලදී මිය ගොස් ඇති බව ව්‍යාපාරික රහසක් ලෙස තබා ගැනීමට එම කර්මාන්තයේ නියුතු ලොකු කුඩා මුදළාලිලා කටයුතු කරති.


එහෙත් ගඟාංවක් දිගේ කරගෙන යනු ලබන ගවේශණයක; චාරිකාවක තත්වය මීට ඉඳුරාම වෙනස්ය.
 මෙය ව්‍යාපාරික කටයුත්තක් නොවේ. හුදෙක් විනොදාශ්වාදය මූලික කරගෙන කර්ණු ලබන ක්‍රියා කාර කමකි.
 මේ සඳහා යොදාගන්නේ ප්ලාස්ටික් (PE - Polyethylene /LDPP - Low Density Polypropylene) හෝ ෆයිබර් යාත්‍රාවකි. ඒ නිසම එය ගලක වැදීමෙන් සිදුවන අනතුර සාපේක්ෂව විශාලය.
එහි ඇති හැඩය හේතුකොට ගෙන එය දිය පහරේ ස්වභාවයට අනුකූලව දිශාණතිය වෙනස්වේ. මේ නිසාම එය පැදවිය යුතුය. හැර විය යුතුය. හැසිරවිය යුතුය.

කයාකින් කවියකින් ! 
ඔව් සත්තකින්ම එය කවියක් ලියනවා වගේමයි!

අප යෙදෙන්නේ කිලෝමීටරයක දෙකක ගමනක් නොව.අවම වශයෙන් කිලෝමීටර 50 ක පමන ගමනකි. මේ නිසාම හදිසි අනතුරකදී ලබා ගත හැකි භාහිර උදව් උපකාර අවම වේ. අනතුරට පත් යාත්‍රාව වෙනුවෙන් වෙනත් එකක් යොදා ගැනීම කල හැක්කක් නොවේ.
එක් අයෙකු හෝ අනතුරකට පත්වුවහොත් මුළු ගමනම නවතා දැමීමට සිදුවේ.මන්ද එක් අයෙකු නොමැති වුවහොත් එම කයකය තනිව ගෙන යාමට නොහැකිවනවා මෙන්ම එම කයාකය චාරිකාවෙන් ඉවත් කිරීමට සිදුවේ. නමුත් පොදුවේ පාවිච්චියට හෝ/හා භාවිතා කිරීමට ගෙනයන සියළු ආහාර,උපකරණ,කූඩාරම් ආදී එකී මෙකී සියළු දෑ චාරිකාවේ යෙදෙන සියළු කයාක අතර බෙදා ඇති අතර එක් කයාකයක් හෝ ඉවත්වුව හොත් ගෙනයෑමට යෝජිත ද්‍රව්‍ය නියමාකාරයෙන් නොවීම කරණ කොට ගෙන චරිකාව මුළුමනින්ම නවතා දැමීමට සිදු විය හැක.

දැං කනවද? - පස්සෙ කනවද?
දැං කනවද? - පස්සෙ කනවද?
දැං කනවද? - පස්සෙ කනවද?
ඔන්න ඔහේ දැන්මම කනවා!

ඊළඟ තර්ජනය වන්නේ කිඹුලන් ගෙන්ය! පෙරදී මා ලියන ලද "ගඟක් දිගේ" ලිපි පෙල අතර "යාළුවන්" (තෙශාන්ත කිඹුලන් අමතන සුරතල් නාමය) ගැන කතා කොට ලියා ඇත.
මාගේ අදරණීය පාඨක පාඨිකාවන්; මේ මිනී මරු කිඹුලන්; ගෙවල් පාර පටන් ගන්නා තැන ස්ථාපිත බේකරියෙන් උදේ බා සවස් වන විටත් ෂෝ කේස් එකේ  සීනි හැලී වේලි වේලී ඉතිරිවන කිඹුලා බනිස් ගානට දමා වදන් ලියූවද  "කිඹුලා" යනු එකෙන්ම මරණ වරෙන්තුවකි.
ගොඩ බිම ගැට ගසා සිටින ගොන් නාම්බෙකු වුවද වතුරට ඇදගෙන ගොස් ඩිනර් එකට ගන්නට හැකියාවක් ඇති සත්වයෙකු සමග "සටන්" යනු; "යුනිකෝ" මොඩලයේ ඉළ ඇදෙන විහිළුවකි!

සීනි හැලිච්ච මරණ වරෙන්තුව!

ආරම්භයේ පටන් අවසානය තෙක් සියල්ලම අතින් ගත් විට "නිල්වලා ගඟ" යනු කයාකින් වලට නොම්මර එකේම ජල දාරාවකි. එහෙත් එහි උරුමක්කාරයින්, පොල්මඃකාරයින්, අද්මිනිස්ත්‍රාතින් ගැන කියැවෙන්නේ අද ඊයේ නොවේ.
අප පමනක් නොව අපේ අම්මලා අප්පුච්චලාද, අත්තම්මලා සීය පප්පලාද ඔවුන් ගැන ඉල්කෝලේ පිට්ටැනියේ කෙලවරේ පිහිටි සීනි සියඹලා ගහ යට වටේට හිටගෙන උස් හඬින් ගැයුවෝය. සියඹලා ගස දිරා ගියද, සීයලා ආච්චිලා මිය ගියද ඔවුන් එහිම සිටිති.

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතා ඒ පැටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා

පිළිවෙලට කමු!

ඒ; ඒ කාලයේය. අද ඔවුන්ද පරිණාමය වෙලාය. ඔවුන්ගේ වර්ථමාන පරම්පරාව මිනී කන්නේ හැන්ද ගෑරෙප්පුව  Close Tips වලින් ගෙනය!
 බාබෙකිව් දමාගෙනය.
ග්‍රිල් කරලාය.
එයා ෆ්‍රයර් එකේ දමා ගෙනය!!

ඉහත එකී මෙකී නොකී සියළු පෙරහන් වලින් පෙරී ඉතිරි වන ලංකාවේ ගඟා, ඇළ, දොළ ප්‍රමාණය මගේ හිසේ කෙස් ගානට වඩා එකකින් දෙකකින් වැඩිවීය හැක!!!!!

ඉසේ කෙස් ගානට කයාක් පැද්ද තට්ටයෙක් !

තෙශාන්ත මුල්කිරිගල හා පසිඳු අමරසිංහ සමග කතා කල පළමු මිනිත්තුවේ පටන් අප තිදෙනාට පොදුවූ ගැටළු ත්‍රිත්වයක් විය !
ඉන් ප්‍රධාන ගැටළුව වන්නේ චාරිකාව සඳහා සහභාගි වන සිව් වැන්නා කවරෙක්ද යන්නය.
 අනෙක ඒ සඳහා යොදා ගන්නා නදිය කුමක්දැයි කියාය.
දිනය කවදාද යන්නය.

කාලය දීපය දේශය බලා පසිඳුත් තෙශාන්තත් දිනය දැන්වූවොය. දිනය එන 16 වනදාය. 2019 මැයි මාර්තු  16 වන සෙනසුරාදාය!

පසිඳු, මම, තෙශා, වසික, මහේන්ද්‍ර, මහවැළි 
කොමළිය සමග


මෙතන තෙශා ට පිටිපස්සෙ ඉන්නේ අලි පන්නන මෛත්‍රී

අප සමග මහවැළි තරණයට ගිය අනෙක් තිදෙනා වන්නේ වසිකත්, මෛත්‍රීත්, ධම්මිකත්ය. වසික මේ වන විට කැන්ගරු දේශයේය.

ඊළඟට ලැයිස්තුවේ ඉන්නේ මෛත්‍රී හා ධම්මික ය.  දෙදෙනාගෙන්; අවස්ථාවට පළමුව හිමිකාරීත්වය කීවේ මෛත්‍රීය. ඔහුගේ ජිව දත්ත මා මෙහි නැවත සඳහන් නොකරණ්නේ  ඒ සියල්ල මා ගඟක් දිගේ ලියා තැබූ බැවින්ය.


"අද හවසට ඌට කතා කරලා උදේම උඹට කියඤ්ඤං !" කියා කීවාට තෙශාන්ත කියපු දෙයක් නැත.

මම දෙවන වර තෙශාන්තව අමතන විටත් ඔහුට මෛත්‍රීව සම්බන්ධ කර ගැනීමට නොහැකිවී තිබුනි.
මන්ද මහ කැළයේ ගස් බෙනවල, රූස්ස ගස් මුදුන් වල, ගල් ගෙවල් තුල කටු ලැහැබ් තුලින් මී පැණි පොජ්ජක් මන්දො කර ගත්තාට සිග්නල් පොජ්ජක් පටෑරගෙන කෝල් පොජ්ජක් මන්දො කරාන්නට හැකියාවක් නොමැති නිසාය.
"දිවයිනම ආවරණය වන පරිද්දෙන් . . .  " බයිලා  මහ කැළයට ඒවා වලංගු නොමැත.

බඩ රස්සාවට අලි පන්නන මෛත්‍රී ඉන්නා රූස්ස කැළයට සිග්නල් සිදාදියෙ හූරන් රැගෙන යා  යුතුය.


දින එකින් එක මීටර් ටැක්සියක ඉලක්කම් සේ ඉගිල යයි. තෙශාන්ත ගූගල් සිතියම ඔස්සේ ගඟ වල් සොයමින් කරක් ගසයි. මල්වතු ඔය, කලා ඔය හා කළු ගඟ  යන ත්‍රිත්වයටම තෙශාන්ත ඉව අල්ලමින් විය.
 මල්වතු ඔය හා කලා ඔය යන ගංඟා තෙශාන්ත විසින් ප්‍රථම වටයෙන් ප්‍රථික්ශේප කරණු ලැබූවේ ඒවායේ ගලා යෑමක් නොමැති බව නිසා මය. එහෙත් කළු ගඟ පිළිබඳවද වඩාත් පැහැදිලි පැහැදීමක් නොවීය.

අවසානයේ පසිඳු ස්ථිරව යමක් ප්‍රකාශ කලේය.

"අයියේ අපි 16 වෙනිදාට කොහේ හරි යමු . . !?!?!?!?   මොකද  හා ද . . ?

"එළ! එකෙන්ම . . !" වෙන්න ඕනෑ විදියටම සියල්ල වෙමින්ය. මම ඊට බොක්කෙන්ම එකඟ විමි! මීට වඩා ගැලපෙන වචනයක් ඇත්නම් කොමෙන්ටුවක් විදියට ලියා දක්වන්න.

"ඔව්! බොක්කෙන්ම එකඟ විමි . . . !"

වැඩේ ටිකින් ටික ඝන වෙමින්ය් ! දුෂ්කර වෙමින්ය!! ඇඩ්වෙන්චරස් වෙමින්ය!!!

 " ඔව් අපි කොහේ හරි යමු! එළ!"

මෛත්‍රීගේ පණිවිඩය එන තෙක් වේලෙන අතරේ පසිඳුගෙන් ඇමතුමක් ලදිමි.

"අයියේ මෛත්‍රී හරි ධම්මික හරි එන්නේ නැත් නම් මගේ එළ පොරක් ඉන්නවා ! කොහොමද දන්නවාද? . . . . . . . . . . "

මම නැවත තෙශාන්තව ඇමතුවද තෙශා මා ඇමතුවාද කියා මට මතක නැත. කෙසේ වෙතත් ප්‍රථිඵලයේ වෙනසක් නැත!

තවත් වරුවක්  ගෙවෙද්දී තෙශා ප්‍රථිඵලය මුදා හැරියේය.

"මචං ඌට එන්න වෙන්නේ නැතිලු . . . !" මේ 11 වෙනිදා හවස් යාමයේය!

දෙවැනි විකල්පය වූයේ ධම්මිකය. ධම්මික බොහෝ සෙයින් නිහඬ චරිතයක් විය. මේ බව මා නැවත නැවතත් නොකිව මනාය. මන්ද ඔහු ගැනද මා මින් පෙර මා ගඟක් දිගේ ලියා ඇති බැවින්ය.
ඔහු නිහඬ පුද්ගලයෙකි.
නිහඬ බවටත් වඩා හේ කාර්යශූරත්වයෙන් හීනය. ඇල් වතුර බොන්නේ පීරිසියට දමා කටින් පිඹ පිඹාය.
 "ගූඩ් ඊවිනිං! කතා කරණ්න පුළුවන්ද? කරදරයක් නෑ නේද දැන් කතා කලාට? කලබල වෙන්න එපා ඔයා ඔය නිදාගෙන ඉන්න ඇඳේ මෙට්ටෙට ගිනි අරණ්!" මේ ඔහුගේ විලාශයය!
මේ නිසාම ඔහුව මෙම ගමනට සහභාගී කරගැනීම තරමක විවාදයට තුඩු දුන් කරුණක් වුවත්; ඊට වඩා සුදුසු වෙන යම් කෙනෙකු ඒ මොහොතේ මගේ මතකයට නොආවේය.
එසේම තෙශාන්තගේ "දන්න යකා  න්‍යායට" වඩාත්ම ගැලපුනේ ධම්මිකය.

"හරි තෙශා ට්‍රයි කරපන් ධම්මිව කන්ටෑක්ට් කර ගන්න . ." මම තෙශාන්ත අමතා කීවෙමි.

තෙශාත් පසිඳුත් ධම්මිකව සම්බන්ධ කර ගැනීමට අසීරු උත්සාහයක යෙදුනි. ප්‍රථිඵලය අප හිටපු තැනම නැවතී සිටීමය. තවමත් එක් අයෙකුගේ අඩුව එලෙසින්වමය.

ඒ සමගම මගේ මතකයට ආවේ මමත් පසිඳුත් සමග කැළණි ගඟේ හක්බෙල්ලවක සිට රංවල තොටුපොළ තෙක් පැමිණි අම්රාන් අතාස් වය!

ක්ෂණිකව මා පසිඳු ඇමතූවෙමි.

12 වෙනිදා වෙන විට අම්රාන් ගේ සහභාගි නොවීම නිළවශයෙන් පසිඳු දැනුම් දුන්නේය.

අපිට වෙන විකල්පයක් නොමැත. එකම සගයා කසුන් ය. ඒ පසිඳු නිරන්තරයෙන් වීරාභිවන්දනයෙන් යුතුව පැවසූ චරිතය විය. ඔහු මේ වන විට ඉන්නේ තණමල්විලය!

"සුපිරි . . . . !" ඒ තෙශාන්තය.

"හරි ඌව සෙට් කරණ්න. අද හවස කොන්ෆරන්ස් කෝල් එකක් ගන්න !"

"එළ . . . . !"

13 වෙනිදා අප දූරකථනයෙන් කතාවට එක් වුනෙමු. එක් එක් අයගේ අදහස් ගලපා ගතිමු. කසුන් නුදුටුව මුත් ඔහුට අප හා සමපාත විය හකි බවක් පෙන්නුම් කෙරුණි!

සියල්ල හොඳින් ගලා යයි. තවමත් යන්නේ කොහේදැයි තීන්දුවක් නැත! මොනවා උනත් කයාක කොළඹ තිබිය යුතුය. මේ වන විට ඒවා වසර දෙකක දීර්ඝ නිවාඩුවක! ඒවා හක්බෙල්ලාවක Tee Pee The Camp Site  මෙහෙයුම් කාමරය වන අඩි 20 කන්ටේනරෙය මත නිරුප්ද්‍රිතව!

දීර්ඝ නින්දක !

14 ඔව් මාර්තු 14 බදාදාවකි. අපි 16 යනවා නම්;  කයාක හෙට උදේ වනවිට කොළඹ තිබිය යුතුය.

"කළු ගඟේ තමයි යන්න වෙන්නේ. අනිත් ඒ වා හිඳිලා! කළු ගඟේ  මග තැන දෙක තුනකම Rapids තියෙනවා. ඇල්ල ගාව තමයි දරුණුම Rapid එක. එතන ගල් අතරින් එන්නේ!" තෙශාන්ත මා දැනුවත් කලේය.

මේ ඇල්ල යනුවෙන් හඳුන්වන්නේ පානදුර රත්නපුර පාරෙ කිරි ඇල්ල අසල පිහිටි පත්තිනි දේවාලය අසල කළු ගඟෙ ඇල්ලය. මෙම ස්ථානය පමනක් නොව මෙම ප්‍රදේශය පවා නම් කරණ්නේ "ඇල්ල" නමින් මය!

"අනිවා අපි හෙල්මට් දාන්න ඕනෙ!" මම තීරණයක් ගත්තෙමි. සියල්ලන් එයට එකඟ විය. මා Borderlands  ලාගෙ මහේෂ්ව ඇමතූවෙමි. ඔහුගේ අංකයෙන් ඇමතුවේ වෙනත්ම අයෙකි.

"මහේෂ් ජපානෙ! මොකද්ද වෙන්න ඕන?"

"හෙල්මට් හතරක් . . . . !?"

ඔහු වෙනත් මිතුරෙකුගේ නමක් කීවේය. දහ දොලොස් පාරක් මහන්සිවී ඔහුව සම්බන්ධ කර ගතිමි. ඔහුට මගේ අවශ්‍යතාවය කීවෙමි.

"හරි මචං! උඹ වරේං මොනවා හරි කරමු!"

"එළ!"

14 වෙනිදා වන විට තවත් ප්‍රශ්නයක් හිස මතට ඇවිත්ය. ඒ මාගේ ලොරි පොඩ්ඩාගේ ටයර් වල තත්වයය! ඒවා ඈතට පෙනුනේ ටියුබ් හතරක් මෙනි.
 කයාක ගඟක් අයිනට ගෙනගොස් ආපසු ඉවුරට එන්නට තබා ගං ඉවුර තෙක් යන්නට වත් ටයර වල තත්වය ගැන විශ්වාසයක් තියන්නට නොහැක. එක ටයරයක් පුපුරා යාමෙන් මුළු ඉසව්වම අවුල් වී යන්නට පුළුවන.
 ඉක්මන් ගමනෙන් Ikman.lk  වෙත ගොඩ විමි. ඒ පැත්තට මේ පැත්තට පීරා බලනා විට හෝකන්දරින්  32 X 11.50 X 15 ගලවා ඉවත් කල ටයර හතරක් සොයා ගැනීමට හැකිවිය.

ටයර සේම දිනයද ඉක්මනින් ගෙවී ගියේය. හවස් විය. තෙශන්ත කාර්‍යාලයේ සිරවීගොස්ය.

"මචං 5.00 න් පස්සේ යනවානම් එන්නම් . . . !"

හවස 5.00 වෙනතුරු ඉන්නට මගේ සිතක් නොමැත. අනෙක ඔහු ගොඩ කර ගැනීමට මා බියගම ගියහොත් ටයර ලබා ගැනීම කර ගැනීමට අපහසු විය හැක. මා තීරණයක් ගතිමි.

"ඔව් මම තනිවම යනවා. !"

තනිව හක්බෙල්ලාවකට යාම වැඩක් නොවේ. ලොකුම ගැටළුව වන්නේ කන්ටේනරයක් මත තබා ඇති කයාක බිමට බා ගැනීම හා ඒවා ලොරි පොඩ්ඩා මත තබා ගැනීමය!

හවස 5.00 කණිසමට මා පිටත් විය. මාගේ මාර්ගය වැටී තිබුනේ පැලවත්ත, මාලාඹේ ඔස්සේ හෝකන්දරටය. හෝ කන්දරින් ටයර රිම් සමගම මිලට ගතිමි. එතැනින් හයිලෙවල් පාර ඔස්සේ හක්බෙල්ලාවකටය.
 මා කෙතරම් කැමති වුවද රාත්‍රී ගමන් බිමන් වලට හදවත් හරස් වේ. තනිව කොහොමද ඔය කයාක දෙක බිමට ගන්නේ? පටව ගන්නේ? හදවත් නිරන්තරයෙන් මගෙන් විමසමින්ය.

"කොහොම හරි!" මගේ පිළිතුර විය.

Old faithful Campaigner

ටයර මිලදී ගත්තද ඒවා සමන් විත වූවේ අඟල් 10 ක් පලල රිම් සමගය.
 අඟල් 10 රිම් යනු පොලිස් රාළහාමිළාට රසඳුනක්ය! ඒ දුටු පමණින් රස කෑමක ඉව වැටෙන හෙයින්ය.
ඉන්පසුව ; වාහනයේ ඉදිරිපස බෆරය මත විරාජමානව වැඩ සිටිනWARN 8274 රත්තල් 8000 වින්ච් එකට;
 ඒක සවිකොට ඇති මිලීමීටර් 6 හා 4 ඝනකමකින් යුත් යකඩ බෆර් එකට;
 රෝද බොඩියෙන් එළියට පැන තිබ්බාට
 මෙකී නොකී සියල්ලටම කොකු පෝලිමක් වැටෙන කෙස් එකක්ය.

ඒ සියල්ලටම වඩා අමල් වික්‍රමාඅරච්චිගේ අදහසේ හැටියට අඟල් 10 රිම් යෙදු විට මඩේදී රෝද හිරවීමට ඇති සම්භාවිතාව වැඩිය!

මේ අනේක විදි හේතූන් නිසාම රිම් සහිත රෝද හතර පසුපස නග්ගවා ගෙන මා හැල්මේ නොව පිම්මේ අවිස්සාවේල්ල, කරවනැල්ල, යටියන්තොට, හක්බෙල්ලාවක, තැලිගම ද පසුකොටගෙන කිතුල් ගලට සම්ප්‍රාප්ත විය.
 ඒ පෙරකී කිසිදා නොදුටු මිතුරාගෙන් හෙල්මට් හතරක් ඉල්ලා ගැනීමටය. ඔහුට විසි තිස් වතාවක් ඇමතූ පසු ඔහු වෙනත් අයෙකු අත් හෙල්මට් 4 එවා තිබුනි. ඒ වන විට වේලාව රාත්‍රී 9.00 - 9.30 පමණ වෙලා සේ මට මතකය.

ඔළුව බේරා ගැනීමේ දෝරෙ ගලා යන සතුට !

නැවතත් කිලෝමීටර 10-12 ක් ආපසු පැමිණ හක්බෙල්ලාවක් ........ ඉදිරියේ ලොරි පොඩ්ඩා ගාල් කොට ගෙන මෙහෙයුම ඇරඹුවෙමි.

 ලොරි පොඩ්ඩා හා ටයර් හතර !
 (නිකං ළමා කථාවක් වගේ නේ ?)


ඒ ගැන මා ලියන්නට වෙහෙස වන්නේ නැත.
එකක් කිලෝ 35 - 40 බරැති අඩි 13 ක් පමන දිගැති කයාක දෙක කන්ටෙනරයක් මත සිට පහතට ගෙන; ලොරි පොඩ්ඩා මත පටවා නොසෙල්වෙන සේ කිසිවෙකුගේ උදව්වකින් තොරව ගැට ගසා ගත් අයුරු මෙනෙහි කොට බලන්න. . . . . . . .  !
සියල්ල නිමවන විට පාන්දර 1.30 ත් පසුවී තිබුනි.

පහත රැටියාගේ රිස්ස යවන්න කයාක් එක පිට එක පටවා !

මගේ හදවත මා ගැන දුක් වේ! පුදුම වේ!!

අවසන රාත්‍රී එහිම සුව පහසුව නිදා ගතිමි. පසුවදා එනම් 15 වන දින  පාන්දර 5 ට පිබිද කයාක දෙකද රැගෙන කොළඹ බලා එන්නට විමි!



to be cont.,
                                          ලඟදීම . . . . . . !

26 comments:

  1. Is it March 16th or May 16th?

    ReplyDelete
    Replies
    1. මේ අප්‍රේල් මාසෙ නේ? ගිය මාසේ මාර්තුනේ ? ඔව් මාර්තු 16 ! හරියට හරි!

      Delete
  2. "ගූඩ් ඊවිනිං! කතා කරණ්න පුළුවන්ද? කරදරයක් නෑ නේද දැන් කතා කලාට? කලබල වෙන්න එපා ඔයා ඔය නිදාගෙන ඉන්න ඇඳේ මෙට්ටෙට ගිනි අරණ්!" හැක්.. අන්න නියම ඩෑල් එකක්.

    ඉතුරු ටකත් ඉක්මනින් ලියමු.

    ReplyDelete
    Replies
    1. තව දිගට ලිව්වා ඒ ටික අස්ථාන ගතවෙලා! ඉක්මනටම ලියන්න්නම්!

      Delete
  3. අයියේ ගොඩාක් කාලෙකට පස්සෙ මේ පැත්තට ආවේ. කියවන්න ආස ලිපියක්.
    ජයවේවා!!!

    ReplyDelete
  4. අපි නම් තව ටික කාලෙකින් ඔය පැත්තෙ එන්න ඉන්නෙ!?

    ReplyDelete
  5. ඇති යන්තම් තාම පිට පොට ගහනවා....

    පින්තුර බලාගෙන බලාගෙන බලාගෙන යනකොට කට කහගෙන කහගෙන යන්නේ මට විතරද? අර කිව්වත් වගේ ලොරි පොඩ්ඩා නම් පංකාදුයි. දැන් ඉතින් ඔබතුමා වාහනේට වතුරබෝතලයක් ගත්තත් අපි දන්නවා. මොකද ඒකත් යන්නේ මේ අකවුන්ට් එකෙන් හින්දා. දැන් මට කියන්න, මේ කොටස වෙනකොට 15 වෙනිදා වෙලා නේ? මට ගණන් බැරිද මන්ද, ඒ උනාට මට 4 දෙනා කවුද කියලා හරියට ලියාගන්න බැහැනේ...

    පරණ ගියපු කතන්දර වල පින්තුර දමා අපිව මුලා කරන්න ඔට්ටු නෑ ඔන්න... ආ .. අර 'යාළුවො' ටික ගැන නම් මේ ගොඩ ඉඳන්ම ලියලා තියෙන්නේ. හැබෑටම කිඹුලෝ කවදාවත් ඇටැක් කරලා නැද්ද? ( අනේ එහෙමනම් වෙන්නත් එපා... මම මේ නිකමට ඇහුවේ)

    ඉරිසියයි ඉතින්.... ඒ හින්දා ඇදකුද කෝටියක් විතර පේනවා..

    මොකද්ද අර අන්තිමට තියෙන 'ළඟදීම' මෙව්වා එක?

    ReplyDelete
    Replies
    1. ලිඛීතා මම පිට පොට ගහගෙන ඉඳලා තියෙන්නේ කඩුල්ලේ හරහට දාපු ලීයක් අල්ලලා. ඒකයි නැගිට ගන්න කල් ගියේ! 15 වෙන කොට මමයි තෙශායි පසිඳුයි පසිඳුගේ යාළුවා තනමල්විල කසුනුයි සෙට් වෙලා ඉවරයිනේ. ඇයි ලියලා තිබුනා නේද ඌ එක්ක කොන්ෆරන්ස් කෝල් එකකින් කතා කලා කියලත්! යාළුවෝ හමු උනානම් කොහොමද සිඹින්නේ කළු ගඟ ගෙන දෝතට? ලොරියට බොහෝ දෙනා ඉව අල්ලන බව පෙනේ. වහාම ඇස් වහ වතුර ටිකක් මතුරලා රේඩියේටරේට දාන්න ඕනෑ. ළඟදීම. . . . . . කියවන්නකෝ තවත් පිස්සු වැඩක් ගැන!?

      Delete
  6. ලොරියට නම් හිත ගියා ඈ

    ReplyDelete
    Replies
    1. "හිමි නැති ලොරියට ඉකිබිඳ හැඩුමට සිත මගෙ බොළඳ වෙලා . . . //"

      Delete
  7. This time it is better written (can read and understand for low IQ person like me)
    I am not into this subject though (never done kayak or white water rafting, sad sad sad)

    I have a feeling that out people's knowledge of CPR is next to zero, when I hear the amount of drowning (imagine a soldier drowning, something is wrong with the training)

    ReplyDelete
    Replies

    1. Dear Mr Wijebahu,
      Thank you for the complement!
      Yes, I wrote about drowning.
      http://thattayagekolama.blogspot.com/p/blog-page_18.html?m=0

      Pleace read and give your comment.
      Keep on reading! Tnx

      Delete
    2. Had a look, very informative. Hope people read that. Most drownings are alcohol related, however golden rule is to seek local knowledge before you jump.

      If there are notices about CPR in popular waterholes that will save lives.

      Delete
  8. හ්ම්ම්! හ්ම්ම්!!

    ReplyDelete
  9. මට තිබ්බ හෙනම කුතුහලයක් තමයි ඔය කිඹුල් සින් එක.. අහන්න ලජ්ජාවෙන් වගේ හිටියේ මම වතුරේදී පට්ට බය උනාට උඹල බය වගේ කියල.. හැක හැක හැක .. දැන් බය නෑ .. උඹලා ත් බයිනේ.. උඹ යකෝ.. මිට හොඳයි මෙගා ලියන එව්වෝ.. දැන් දැන් කියයි ඔන්න කියුව මෙන්න කියුව වගේ ඉන්නවා අන්තිමේ කියල නෑ ගොඩක් එව්වා.. :))))

    ReplyDelete
  10. මා හිතාදර කළ්‍යාණ මිත්‍ර වෙත ලියමි, මම මීට කලින් මහවැළි තරණයේදීත් පුන පුනා කීවා නොවෙද අපි කිඹුළන්ට පමණක් නොව කිඹුළියන්ට පවා පරාණ බය බව? ඇයි මෙහෙම කියන්නේ? බලන්න කිඹුළෙකුට එහෙම ඇහුනා නම් ඌ මට මක් කරයිද කියලා!? මුළ ඉඳන් "අ" යන්නේ ඉඳන්ම එක වතාවක් දෙවතාවක් නෙවෙයි වතාවල් දුසිමකටත් වඩා කියා ඇත්තේ පරිස්සං වෙයං පරිස්සං වෙයං කියලා නොවෙයිද? අනික මම සිංහ ටෝක් දීගෙන කයිවාරුව ගහගෙන ඉංඳැද්දී උඹට හොඳද "අඩෝ උඹත් බයයි!" කියලා දෙනෝ දාහක් පාඨකයෝ පාඨිකාවෝ ඉස්සරහ මගේ සරම කඩනවා වගේ වැඩක් කරණ්න. මොකද උඹ දන්නවාද මම පිරිවැස්ස ඇතුව ඉන්නවාද නැතුව ඉන්නවාද කියලා? ආයේ මේ වගේ මගේ ලැජ්ජ බය නැති වෙන දේවල් කරණවාට නම් මයෙ මනාපයක් නෑ. එහෙම උනොත් මල ගෙදරකදි වත් උඹේ මූන බලන්නෑ ඔන්න! ගඟේ යනවට වඩා දහ ගුණයක් අමාරුයි ලක ලෑස්තිය. එන සතියෙ වත් ගඟට බහින්න ලැබුනොත් ලොකු දෙයක්. ඔහොම අල්ලගෙන යමු. එළ!

    ReplyDelete
  11. මේ ජාතියේ ඔරු අපේ ගමේ තිබ්බා නං ඕකට එක එකා නං දාහක් හදල. අපේ ආතා කියයි ‘කයියක‘ කියල. අනික් අය කියයි ‘ඉටි ඔරු‘ කියල. තව කොටහක් කියයි ‘රට ඔරු‘ කියල. ආයි ‘හීං ඔරු‘ කියන්නත් ඇහැකි.

    අර ලොරිය නං මරු. ඊටත් වඩා ඒකට ලොරිය කිව්ව එක හොඳයි. සමහරු මහේන්ද්‍ර බොලෙරෝ විකුණන්න දාන්නෙත් SUV කියල.

    ReplyDelete
  12. ආයි කියන්නෙ මාමෙ, ඕං තමුන්නැහැට වොට් 10 විතර සූරිය පැනලෙයි, ආරෝපණ පාලකෙයි යූපියෙස් බැට්ටියකුයි ගත්ත නං වටිනව. පයිල් කවරෙට වඩා දිග පළලත් නෑ. බරත් පයිල් කවර දෙකක් ඉතර ඇති. ඔය ගං මැද්දෑවට එහෙම ඕසෙට ඉර එලිය වැටෙනවනෙ. ඉතිං රාත්තිරියට වාඩියක් හිටෝගත්තං බලුප්පෙකක් එහෙම දල්ලාගන්න ටෙලිපෝන්නෙක චාජ් කොරගන්න හෙම හරි පොරෝජං හිටියි. මං එහෙම එකක් අටෝගෙන හරි පොරෝජනයක් ගන්නව. ඒකට තව සුට්ටි ගැජමැටික් එකක් අමුණලා 230 ම ගත්තැකි. පහුගිය ටිකේ විදිලි බලේ ඇන හිට්ටපු වෙලාවෙ අපේ ගෙදර සීඑප්එල් බලුප් දෙක තුනක්ම පත්තු කොලා ඒකකිං. කොටිම්ම ලැට්ටොප්පෙක උණත් චාජ් කෙරියැකි. විද්‍යුත් බොක්කෙං බොහොම ලාබෙට ගත්තැකි

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම අපි ජාතියක් හැටියට ඕනෑම අනුන්ගෙ වචනයක් ආයෙ දෙකක් හිතන්නේ නතිව තමන්ට ඕන නම් තම්න්ගෙ කරගන්නන් පිරිසක්නෙ. දැන් බලන්න Committee කියන වචනේ අල්ල ගත්තා අපේ මල්ලේ දා ගත්තා/ ඒකට දුන්නා සුපිරි අර්ථ කතනයක් මෙන්න මෙහෙම. කම් ඉටු වන තැන - කමිටුව ! දැන් ක'මිටි (Committee) කියන එක සුද්දා අපෙන් මංකොල්ල කාපු එකක් කියලා සුද්දාටම හිතෙනවා ඇති!

      ඇත්තටම මේවා ලංකාවේ ලියාපදිංචි කරලා තියෙන්නේ "මෝටර් ලොරි" කියන කාණ්ඩය යටතේ. නමුත් සුද්දගෙ භාෂාවෙන් මේවා වැටෙන්නේ ට්‍රක් යන කැටගරියට. ලොරි කියන්නේ මීට වඩා විශාල ඒවාට. අපි ඕක අනිත් පැත්ත හරවලා තමයි පාවිච්චි කරණ්නේ. හරියට "කොට්ටෝරුවා ගහින් ගහට කොටලා අන්තිමට හොට පටලවා ගන්නේ කෙහෙල් ගහට කොටපු දාට!" කියනවා වගේ. ඇත්තටම මගේ දැනීමේ හැටියට කොට්ටොරුවා ගහින් ගහට කොට කොට ගිහින් නෝන්ඩි වෙන චරිතයක් නොවෙයි. ඒ කෑරලා! අහෝ දුකකි ඉරකි තිතකි මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයේ 2013 මුද්‍රණයේ Woodpecker කියන එකට ඉස්සරහින් තියෙන්නේ කෑරලා, කොට්ටෝරුවා කියලයි. සංස්කාරක මණ්ඩලයේ ඉන්න මහචාර්ය වරුණ් 5 දෙනාටම කෑරලා සහ කොට්ටොරුවා යනු එක සතෙකි.

      සුරංග මහත්තයෝ. ඇත්තටම අපි හැකි උපරිමයෙන්ම නූතන ආම්පන්න වලින් ඈත්වෙලායි මේ කට යුතු කරණ්නේ. ඒ නිසා අපි ගැජමටික්ස් ගැන හිතන්නේ තරමක් පසු ගාමීව!

      ස්තූතියි!

      Delete
  13. ආසාවෙයි ඉරිසියාවෙයි බැහැ. ඊළඟට? ඉක්මනට ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. නිදි මහත්තයා; මම මගේ බ්ලොගයේ උඩින්ම ලියලා තියෙන්නේ "පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන !' කියලා නේ! ඉතින් දන්නැද්ද කයිවාරු ගහන කොට; ප්ලේන්ටියක් කෝපි එකක් ගහලා විටක් කාරිය කාලා හිමීට කියාගෙන යන වැල් බයිලා නේ.

      නෑ ඇත්තටම ගමන පිටත් උනාම ඔහේ එක දිගට යන්න පුළුවන් උනත් යන්න සෙටමෝල් වෙන එක තමයි කරගන්න අමාරුම දේ වෙන්නේ. කළණ මිතු තොමෝද මට ආක්‍රෝෂයෙන් කතා කරති. ඒත් මේ දේවල් ලියන්නේ ඇත්තටම වැඩක් පටන් ගන්න කොට තියෙන අමාරු කම ඇඟටම දැනෙන්න ඕන නිසයි.
      අනෙක මම ලියන්නේ ඔබ තුමාලා අපි වාගේ සාමාන්‍ය මිනිස්සුන් හට කරණ්නට හැකි දේවල් බව පෙනෙන්නේ මේ අමාරු කම් අපි විඳ දරාගෙන ඒවාට මුහුණ දුන් අයුරු කිව්වා මයි.

      කොහොම උනත් බොහොමත්ම ස්තූතියි පහු වෙලා හරි මේ පැත්තේ ආවාට. ඉතින් විටක් කාරිය කාලා කයි වාරුවක් ගහමු. වෙලාව යයි නොදැනුවත්ම!

      Delete
  14. මේ ටික දන්නෙ අදයි ...
    ස්පොයිලර් නොකර ඉන්නංකො අන්තිම ටික වෙනකං ...

    ReplyDelete
    Replies
    1. තේරුණ්නෑ කියහං කො!

      Delete
  15. බොහොමත්ම ස්තූතියි; ආවාට ( හඳේ තියෙන ඒවා නොවේ මේ කියන්නේ පැමිණියාට), කියෙව්වාට, ලිව්වාට ! මේ සතිය කලබල වැඩි නිසා පෝස්ට් එක දැම්මේ නෑ. ඉක්මනින්ම ඊළඟ එක දානවා. බලාගෙන ඉන්න. ස්තූතියි!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...