Thursday, August 20, 2020

179. දෙවෙනි ඇන් ඇක්සිඩන්ට් එක

රෙදි ගැලවූ නන්චක්කුව හෙවත් බූස්ලි ගාව තියෙන වැඩ කෑල්ල

මම ඉස්කෝලෙ යන කාලෙ මගෙ හොඳම මිත්‍රයෙක් තමයි ඒ. ආර්. කුලසිංහ. 
මෙයා ගැන මම ලියපු බ්ලොග් පෝස්ටුවක් තියෙනවා "සුගත් කුලසිංහ සහ මම . . !" කියලා. 
කුලේ උපතින්ම ශික්ෂණයකට අවනතව හැදුනු අහිංසක චරිතයක්.
මෙයා දවසක් පංතියේ ඉන්න කොට;  එයාට කොයි ලෝකෙන්ද මංදා හමුවුනු නන්චක්කුවක් ගැන මට කීවා. 
ඒකාලෙ දැන් වාගේ අපි ඒකට කීවේ "නන්චකු" කියලා නෙවෙයි. අමුවෙන්ම නන්චක්කුව කියලා.
හරියට "පොරොට්ටා"; පරාටා වෙලා වගේ!
ඉතින් මෙයා මේක ගැන කියපු ගමන් මටත් පුදුම ආසාවක් උපන්නේ නන්චක්කුවක් හදාගන්නයි ඒක කරකවන හැටි කුලේ ගෙන් ඉගෙන ගන්නයි.
ඉතින් මරදානේ ආනන්දෙ ඉස්සරහ තිබුණු හාර්ඩ්වෙයාර් කඩේකින් එස්ලෝන් බට කෑලි දෙකකුයි; ටියුබ් ලයිට් එල්ලන දම්වැල් කෑල්ල්කුයි අරන් ඇවිත් නන්චක්කුවක් හැදුවා.
ඉස්කෝලෙ හවස කවුරුත් නැති ඉසව්වකට ගිහින් කුලේගෙන් මේ හුචක්කුව කරකවන්නට ටිකින් ටික පුරුදු වුනා.
මට ඕන උනා ටිකක් සිරා නන්චක්කුවක් හදා ගන්න.
ලී වලින් නෙවේ!?
ඇලුමීනියම් වලින්!
පස්සෙන් පහු; හැටන් ඩිපෝවේ වැඩකරපු අපෙ ඥාතියෙකුට පිංසෙන්ඩුවෙලා; සීටීබී එකෙන් ඇලුමිනියම් පොලු කෑල්ලක් ගෙන්වා ගෙන සුපිරිම නන්චක්කුවක් හදා ගත්තා.
වැදුනොත් ඔළු පළු!

ඔය කාලේ අපි පදිංචි වෙලා උන්නේ  යටියන්තොට හක්බෙල්ලවක.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කල පියා; ලංකාව වටේ සේවය කරණාතරතුර; අපද එක් එක් පලාතේ තාත්තාගේ නිළ නිවාසයන්හී ගාල් වන අතර සමහර අවස්ථා වලදී කෙටි කාලයක් සඳහා හක්බෙල්ලාවක නිවසේ රැඳී උන් කාල වකවානු තිබිනි.
හක්බෙල්ලාවකදී මාහට සෙට මෝල් වුනු මිතුරෙකි.
ඒ කිත්සිරි ය.
මාගේ  "සැම්සන් සහ විල්සන්" කෙටිකථාවේ සැම්සන් යනු කිත්සිරිගේ පියාණන් ය.
එම කථාවේ එක් තැනක ලියැවෙන "ගුරු පඩියක් මංකොල්ල කෑ . ." සිද්ධියේ කතෲ මේ මා ඉහත නම් සඳහන් කල කිත්සිරිය!
මම මේ කියන කථාව වෙන කාලෙ කිත්සිරි ඉගෙන ගත්තේ මහ විද්‍යාලෙ.
මහ විද්‍යාලෙ කියන්නේ යටියන්තොට කෑ/ වින්සන් පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ.
ඔව් අපි එහෙම තමයි වින්සන් මහත්තයාව හැඳින්වූවේ.
මම මේ කියන දවසේ ඒ ඉස්කෝලේ ස්පෝට් මීට් එක හෙවත් මළල ක්‍රීඩා උත්සවය.
මේකෙ එක ඉසව්වකට කිත්සිරිත් හිටියා.
ඒත් එයාට දුවන්න දිවුම් කලිසමක් හෙවත් රනිං ෂෝටක් තිබුනේ නැහැ.
එයා හිතාන හිටියේ මගේ දිවුම් කලිසම ඇඳ දුවන්න.
ඊට දවස් දෙකකට විතර කලින් කිත්සිරි පණිවිඩයක් එවලා තිබුනා කලිසම අරං අදාල දවසේ උදේ 10.00 ට විතර යටියන්තොටට එන ලෙස.
ඔය කාලේ අර නන්චක්කු පිස්සුවට අමතරව; තවමත් හොඳ කරගන්න බැරිව ඉන්න සයික්ලිං පිස්සුව පටන් ගත්තු අළුත!
ඉතින් මමත් අර කලිසමත් සිලි සිලි බෑග් එකකට දාගෙන මදි පාඩුවට නන්චක්කුවත් ඒකටම ඔබාගෙන  බෑග් එක සයිකලේ හැඬලයේ එල්ලාගෙන හක්බෙල්ලාවකින් යටියන්තොට බලා ඉගිල්ලුනා.
දැං මේක කියවන මහත්වරු අහයි "ස්පෝට් මීට් එකට මොකටද නන්චක්කුවක් . . ?" කියලා.
ඒකට කියන්නේ "උණ" කියලා!
(එහෙම කිව්වාම ඉතිං ආයේ සහ සුද්දෙන්ම තේරෙණවා නේ!)

මා ගාව ඒකාලේ තිබුනේ මගේ පලමු සයිකලේ.
ඒක RMI එකක්.
RMI කියන්නේ රෝඩ් මාස්ටර් ඉන්ඩස්ට්‍රීස් කියන එක.
මේ සයිකලේ ලංකාවට ගෙනාවේ; ලංගමේ සේවකයින්ට ගෙවන්න දෙන්න.
සයිකලේ මිළ රුපියල් 495 යි.
මට මේ සයිකලේ අම්මා අරණ්දුන්නේ අපේම ළඟ ඥාතියෙකුගෙන්.
රුපියල් 250 කටද කොහෙද.
ඒකෙ පෝක් අත හැඩ කරලා හදලා ගත්තාම සුපිරියට පැදුනා.
ඉස්සරහට දැති 48 කොග් වීල් එක.
පස්සෙ තිබුනේ දැති 16 ෆ්‍රී වීල් එකක්.
සුප්පා සුපිරියට පැදුනු සයිකලයක් ඒක.
හැඬල් එක කපලා පාත් කරලා තිබුනේ.
ඉතින් මම සයිකලෙන් පිටත් උනේ යටියන්තොටට යන්න.
හක්බෙල්ලවක ඉඳන් යටියන්තොටට හැතැප්ම 4 යි.
මම ඔය කියන කාලේ දුරවල් මැන්නේ හැතැප්ම වලින්.
දැන් ඒක කිලෝමීටර 6 ක් විතර වෙලා.
බලන්න ඒකෙත් හැටි!?
ඉතින් මමත්; මා ගාව තිබුනු කොට කලිසං පොඩ්ඩකින් සැරසිලා දැන් ලෙල්ලේ යනවා යටියන්තොට බලා.
ඔය මම දහයේ විභාගෙ ගත්තු කාලෙ හරි ඊට ඔන්න මෙන්න කියලා තිබුනු වක වානුවක්.
මම කිසි කිසි ගාගෙන පදිනවා.
හක්බෙල්ලාවක ඉස්කෝලෙ ලඟ පල්ලම බැස්සේත් ඊගාවට තියෙන වංගුව ගත්තේත් ඊ ගහේ වේගෙන්.
ඊළඟට බදුල්ලවල පං සල ගාව තියෙන එක ලඟ වංගු දෙක.
වංගුදෙක පහු කරලා ගත්තු ගමන් සෙට් වෙන්නේ තනි කෙලින් හැතැප්මක් විතර දිගට ඇදුනු පාර.
දැන් වෙලාව උදේ 9.30 ට විතර ඇති.
පාරෙ තැනින් තැන මිනිසුන් ගැවෙසමින්.


මම වංගු දෙක පහු කරලා බයිසිකලේ කෙලින් කරගෙන ගැම්මට පදිනවා.
මට පෙනෙනවා ඉදිරියෙන් යන නාවලපිටිය ඩිපෝ එකේ මේල් බස් එක.
මේල් කියන්නේ තැපැල් මලු ගෙනෙන  කියන එක.
නැත්නම් හිතයි අනිත් බස්; "ෆීමේල්" කියලා!
රාත්‍රී තැපැල් දුම්රියෙන් නාවල පිටියට ගොඩබාන තැපැල් මලු නාවල පිටියේ සිට යටියන්තොට දක්වා ගෙනෙන්නේ මේ අහිංසක බස් එකෙන්.
අහිංසක කිව්වේ වගේ වගක් නැතිව ඔහේ ගාටමින් ගිය නිසාත් සැම නැවතුමකම නැවැත්වූ නිසාත්!
බදුල්ලවල-බටුපිටිය කඩේ ලඟ හිටපු සෙනග නංවා ගත් බස් එක ඊළඟ නැවතුම වෙත සෙමෙන් ගමනෙන් යමින්.
මා පැදපු සුපිරි වෙගය නිසා බසයට කිට්ටු කරණ්නට මට ඊළඟ මොහොතේදී හැකිඋනා.
මේවන විට බස් රිය දෙවන ගියරයේ ධාවනය වන්නට ඇත.
මා වැඩි අපහසුවකින් තොරව තනිදොරේ මර්සිඩීස් බෙන්ස් බස් රිය පසු කිරීම ඇරඹීය.

සෙමෙන් සෙමෙන් සැර දමමින් වේගවත් වන බස් රිය සමග මගේ සයිකලයද එක එල්ලේ ඔට්ටුවෙමිනි.
මහත්වූ වැර වෑයමෙන් යුතුව තුන්වෙනි ගියරයේ වේගය වැඩිකරමින් ඇදෙන බසය පසු කල මා එය ධාවනය වන පථය ආක්‍රමණය කලේ පාරේ වම්පසට සයිකලය ගැනීමටය.
මේවන විට බසය ධාවනය වූයේ මාහට මිටර 2-3 පසුපසින් වන්නට ඇත.
ඒකවරම මාගේ සයිකලයේ ඉදිරිපස රෝදය හිරවී මා ගුවන් ගත විය!

මා ඊළඟ නිමේශයේදී මහ පාර මත දෙරි ගැහුවේ ගෙම්බෙකු පොලොවේ ගසනවාටත් වඩා සුපිරියටය!
පසු පසින් පැමිණි බස් රිය කෑමොර දීගෙන නතර විය.
ටයර  පාරේ  ඇතිල්ලීමෙන් හාත් පස පුළුටු ගඳ හැමීය.
දනිස් පොල්කටු ලෙල්ල ගිය බීට් අල මෙනි.
උඩින් ගොස් ලෑන්ඩ් කරනවිට මහ පාර මත ගැටුනු දකුණු අත්ලේ එක් තැනක හම ගැලවී රතු මස් මතු වෙලාය.
මා දනි පනිගා; විළි ලැජ්ජාව බැරල් එකෙන් වසාගෙන නැගිට ගත්තෙමි.
ඒ සමග බසයේ පැමිණි හුදී ජනයා හා අවට ගෙවල් වල පිළිකණුවල සිටි අය පවා එතනට පියාඹා ආවෝය.
වැටුනාට වඩා අමාරුවක් වටේ උන් එවුන් අත කම්මුලේ තබාගෙන අකම්පාලවී බලා ඉන්නා දෙස බැලීමෙන් මාහට දැනිනි.
බසයේ රෝද අතර තිබුනු සයිකලය කිසිවෙකු එලියට ඇද ගත්තේය.
ඉස්සරහ රෝදය කිසිදු ඉලක්කමකට නොගැලපෙන හැඩයක් ගෙන තිබුනි.
මාගේ පරාණය බේරී තිබුනේ මාගේ පූරුවේ වාසනාවට වඩා මාගේ නෑ සුමිතුරන්ගේ කරුමය නිසා යැයි පසු කලෙක මෙම කතාව ඇසූ බොහෝ දෙනා ගිරව් සේ පැවසුවෝය!

"සන්නි තෙල් ගේන්න වගේනෙ ඉගිල්ලුනේ . . !"
"කාලා තෙලේ වැඩිවෙලා මුන්ට  . . !!"
"මුංව හදන්න අම්මලා අප්පලා මොනතරම් දත කනවද කියලා මුංට ගානක් නෑ!!!"
වටවූ පිරිස මාහට සෙත් පිරිත් ගයමිනි; ආසිරි පවන් සලමිනි!
"මොකෑඈ  උනේ . . ?" සයිකලෙ එලියට ඇදලා ගත් එකා කෙඳිරි ගෑවේය.
ඔහු ඒවන විටත් සයිකලය මුදා ගැනීමෙන් මාහට කල උදව්වට මා වචනයක් හෝ කිවයුතුය.
"අනේ මංදා! සයිකලේ ඉස්සරහ රෝදේ එක පාර හිර වුනා . . ! ඒ මට දැනුනු දෙයය.
"හිරවෙන්නේ නැද්ද . . . . . . . . . . .!? 
මේ ඇලුමිනියං පොලු කෑලි දෙක පෝක් අත අස්සේ ගිහින්නේ . . !"
ෂර්ලොක් හෝම්ස් ගනයේ සොයා ගැනීමක් ඔහු ඒවන විට කර තිබුනි.
හැඬලයේ එල්ලා තිබූ සිලි සිලි බෑගයේ ඔංචිලි පදින ලද නන්චක්කුව එකවරම ටයරයත් පෝක් අතත් අතරින් රිංගා ගොස් කිටිකිටියේ හිරවී තිබුනි!
ඔහු  සයිකලය අල්ලාගෙන  ඉඳිදීම තවත් නහරයක් වැඩි අවුට්ස්ටෑන්ඩින් එකෙක් රෝදය හා පෝක් අත අතර හිරවී මාගේ රෙදි ගැලවූ නන්චක්කුව ඇද එලියට ගත්තේය.
"මේ මොකක්ද මේ . .?"
සයිකලේ අල්ලා ගෙන හිටිය එකා අවකාශය හරහා මාගෙන් විමසීය.
මට පිළිතුරක් දෙන්නට ඉඩ නොතබාම නන්චක්කුව අතෙහි තිබුනු එකා කට ඇරියේය.
"මේ අර බූස්ලි ගාව තියෙන වැඩ කෑල්ලනේ . . . . .!?"
"අම්මට සිරි . . . !"
බසය රිවස් කොට යන්නට පිටත් විය.
ගෑනුන් අතේ තිබුනු කොසු ඉදල් රැගෙන එතෙක් කරමින් තිබුනු වැඩය අවසන් කිරීමට ගියහ.

තරුණ කොල්ල කුරුට්ටන් පිරිසත් නන්චක්කුවත් මමත් අටපට්ටම් වූ සයිකලයත් පමණක් ඉතිරිවිය.
ඉතිරිවූ එවුන් අතරේ එහා මෙහා සංසරණය වූ නන්චක්කුව තවත්ටික වේලාවකින් මාහට ලැබුනි.
ඒ තනිව නොව!
බූස් ලීට තරමේ ගෞරවයක්ද සමගය!
අතේ පයේ වුනු වේදනාව හා සයිකලයට සිදුවූ අලාභහානිය එම ගෞරවය හා සැසඳුනි.
"අවුලක් නැත! බූස් ලී කියන්නේ සෙල්ලං පොරක්ද?"


බූස් ලී


22 comments:

  1. Monawa kiyannada manda? Since we all have done some seriously questionable acts in the past.

    I gave my father's Lambretta Vega to a friend, he did something close to a bus like you did and the bike was in 2 pieces (literally) He said he forgot where the brake is, rest is history. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. දෙයියනේ ලැම්බ්‍රේටා කියන්නේ මේකාලෙ පට්ට ඇන්ටික් එකක්!
      ඇත්තටම අපි හැමෝටම අතිභයංකර කාලයක් තිබුනා.

      Delete
  2. නන්චක්කුවේ හුචක්කුව!
    මොකෝ ගොඩ දවසකින් නොලිව්වේ?

    ReplyDelete
    Replies
    1. අපේ කෑම්පින් සයිට් එකේ වැඩ වගයක් කලා නිදී මහත්තයා.

      Delete
  3. නන්චකු නිසා කාඩ් එක බේරුනා.. කේස් එකකට පොලිසියට අල්ලාගෙන ගියාම අතේ නකල්ස් කලුවෙලා තියෙනවා නම් වැඩිපුර කෑම ලැබෙනවා කියලත් අහල තියෙනවා. ඔය එකළග තියෙන වංගු දෙකේ උඩ බෝදිය ළග ගෙදර කෙනෙක් ඉස්සර තලිගම රෝහලේ වැඩකලා (අපි කිව්වේ බඩමාම කියල,සුදු කොට ඩයල් එකක්)

    ReplyDelete
    Replies
    1. බුවා පොඩ්ඩක් වෙන්න බොම්බෙ ලුකින් කල්කටාද? ඔව් එතන තමයි තැන. ඒක පහුවෙලා යටියන්තොට පැත්තට එනකොට තියෙන පාර කෙලින් හරියෙ.

      Delete
  4. බූස්ලි ගාව තියෙන වැඩ කෑල්ල... හැක්!

    අර වින්සන්ට් පෙරේරා මහත්තයා යටියන්තොට මොකද්ද කෑවෙ?

    ReplyDelete
    Replies
    1. ඒකා නොකෑවේ මොකද්ද කියලා ඇහුවානම් උත්තර දෙන්න තිබ්බා මීට පහසුවෙන් සරළව.

      Delete
  5. දනිස් පොල් කටු සහ අල්ල පොතු හැරි බීට් වගේ වීම නං සුපුරුදු අත්දැකීමක්, පූරුවේ වාසනාවකට එ කාලේ තිබූ ගල් තාර පාරවල්වල නං දෙරිගහල නෑ. දැං හැදෙන කොල්ලන්ටනං ජීන්ස් තියනවනේ.

    මතක විදිහට RMI වල තමයි මුල්න්ම හාෆ් චෙන් කෙස් සහ සයිඩ් ස්ටෑන්ඩ් ආවේ.

    ReplyDelete
    Replies
    1. ඇණයට කියන්න! ඒක ගල්තාර පාරක්ම තමයි. මම ඔය කියන කාලේ හැටන් පාර කාපර්ට් කරලා තිබුනේ නෑ.
      හරියටම හරි එළකිරි වාගේ . ඒක තමයි සයිකලේ කියලයි මටත් මතක!

      Delete
  6. මදැයි ඔයින් ගියා. බලන් ගියහම සයිකලෙන් නොවැටුන කොල්ලෙක් ලන්කාවෙ නැති තරම් නේ. මන් හිතන්නේ පොඩි කාලේම ඔහොම බව්තිස්ම වෙන එක හොන්දයි. එතකොට සයික්ලින් කියන එක ගානට ඇගට උරා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔහොම කියවගෙන යමුකෝ බෞතීස්මයද නැතිනම් දිව්ය ප්‍රසාධිය ලැබීමක්ද කියලා!

      Delete
  7. දැන්නම් කතාව කියවනකොටත් ඇඟ රිදෙනවා. ඒ උනාට ඔය වයසේදී මොනවා උනත් ඒක මතක තියෙන්නේ තුවාල හොඳවෙනකම් විතරයි. ඒ වගේම, ඒ වයසේදී ඔහොම පිස්සු වැඩ නොකලානම්, අතීතාවර්ජන කියලා දැන් කියන්න දෙයක් නැහැනේ!

    මාත්,මගේ යාලුවෙකුත් බයිසිකල් වලින් එයාගේ නෑදෑ ගෙදරක ගියා. අපි දෙන්නා කරට කර, මම පාරේ වම් පැත්තෙනුත් එයා දකුණු පැත්තෙනුත් පැදගෙන ගියා. අපි ගිය අතුරු පාර අවසන් වෙලා, ප්‍රධාන පාරට වැටුනාම දකුණට හරවන්න කිව්වා. බල්ලට ඇති වැඩකුත් නැහැ, හිමින් ගමනකුත් නැහැ කිව්වා වාගේ එකසිය ගානේ ස්පීඩ් එකෙන් ගිහිං කන බිම ගාවලා මම දකුණට හැරෙව්වා. යාලුවා වමට හැරෙව්වා. මං හිතන්නේ අපි දෙන්නගෙම ඇඟේ, හීරිච්ච තැලිච්ච නැති වර්ග අඟලක් වත් නොතිබෙන්න ඇති. එතනම තිබිච්ච ගැරේජ් එකේ මනුස්සයා ඇවිත් බයිසිකල් දෙක පැටලුම් ඇරලා ඇද වෙච්චා කෙලින් කරලා අපිට තුවාල වලට ගාන්න බ්රේක් ඔයිලුත් දුන්නා. මොකද උනේ කියලා ඇහැව්වාම, මගේ යාළුවා කිව්වා මෙයාට දකුණට හරවන්න කිව්වාම වැරදිලා වමට හැරෙව්වා කියලා (ඒ වෙනකොටත් යාළුවාට මීටර් වෙලා තිබුනේ නැහැ එයාට වම දකුණ මාරු උනා කියලා) එතකොට ඒ මිනිහා කියනවා ඔයා පොඩ්ඩක් පැහැදිලිව කියන්න එපා යැ, ඔය දකුණට නෙමෙයි, අනික් දකුනට හරවන්න කියලා! එතකොටයි යාළුවාට තේරුනේ එයාට වම දකුණ මාරු උන බව.

    ReplyDelete
    Replies
    1. දෙයියනේ සෑම් මහත්තයාටත් වෙලා තියෙන දේවල්! බලාන ගියාම හැම කෙනාගෙම මල්ලේ ටික වෙන්න අරළු බුළු නෙල්ලි තියෙනවා අර ධම්මික බණ්ඩාර මහත්ත්යා කියන විදියට.

      Delete
  8. :) බකාස්ස්ස්ස්.. එල එල. ඉස්කෝල කාලෙ මටත් ඔය වගේ සීන් කීපයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙනවා නම් ලියපංකො එකක් දෙකක් අපිටත් කියවන්නේ. හැබැයි උඹලා ඉන්නෙ නම් නිය පොත්තෙ ඉඳන්ම රයිඩර්ස්ලා වගේ!

      Delete
  9. Harima rasawath apooru kathawa!Obe liweeme ratawata mama hari kamathiyi.

    ReplyDelete
    Replies
    1. සරත් මහතා!
      බොහොම ස්තූතියි !
      ඔබ මාගේ බ්ලොග් එක මුල සිට කියෙව්වානම් ඔබට මගේ විවිධ ලිවීමේ රටා කිහිපයක්ම රස විඳින්නට හැකිවේවි!
      කොහොම උනත් නැවතත් ස්තූතියි කියන්නම් බොහොමත්ම!

      Delete
  10. Replies
    1. ඇයි බූස්ලි සෙල්ලං පොරක්ද කින්ඩියට වගේ "හෙහ්!" ගාන්නේ?

      Delete
  11. අපේ ගෙදර ඇවිල්ලත් කැරකෙව්වා මතකද ..??

    ReplyDelete
    Replies
    1. උඹ මලේ උපන් ගෙයි ස්ටන් ශිල්පියා නොවැ!?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...