Saturday, June 13, 2026

305. රවී වීරසිංහ - යන්නම ගිහිං!


රවී අයියාව මට මුණ ගැසෙන්නේ හක්බෙල්ලාවකදීය. හක්බෙල්ලාවක යනු යටියන්තොටට කිලෝමීටර 6ක් කිතුල්ගල දෙසින් අවිස්සාවේල්ල නුවර එළිය A7 මාර්ගයේ පිහිටි කුඩා ගමකි. 

මේ මගේ පියාගේ නිජ බිමයි. 

එහි කුඩා කඳවුරු බිමක් තනාගෙන මා පවත්වාගෙන යන්නෙමි. මේ වන විට එය අභාවයට ගොස් ඇතත් ඒ දිනවල එය හොඳින් ක්‍රියාත්මක විය.

සත්තකින්ම එහි ආවෝ ගියෝ වූයේ අපගේ හිත මිත්‍රාදීන්මය.

2023 ජනවාරියේ දිනක් මා ඇමතූ නිදි (නිදිගේ පංචතන්ත්‍රය ) පැවසුවේ බ්ලොග් රසිකයෙකු / කියවන්නෙකුවූ සි සිරිබිරිස් ලංකාවට පමිණ ඇති අතර ඔහුට; දැනට සක්‍රීයව ලියන බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු මුණ ගැසියයුතු බවත් ය. ඒ කුඩා හමුව මගේ කඳවුරු බිමේ සැකසිය හැකිදැයි ඔහු වැඩි දුරටත් විම සීය. මෙහි ප්‍රථිඵලයක් ලෙස එම හමුවට දිනකට පෙර ඇස්කොට් ජින් බෝතලයක්ද රැගෙන රවි අයියා හක්බෙල්ලාවකට සම්ප්‍රාප්ත විය.

රවි අයියා පේරාදෙනියෙන් දුම්රියට නැග මට ඇමතුමක් ලබා දුත් තැන් පටන් මා තරමක කාල අවකාශ තබමින් ඔහුව ඇමතීමි. 

එතැනින් ඔහු නාවලපිටියටත්; නාවලපිටියෙන් ගිණිගත්හෙනටත්; එතැනින් කොළඹ බසයක නග හක්බෙල්ලාවකටත් පැමින තිබුනි.

ගිණිගත්හේනේදී ඔහු මා අමතා "මොනවද බං ගේන්න ඔනෙන අවුලක් නෑ කියහං !" කීවේය. එතෙක් කිසිදු දිනෙක දැzක නොසිටි; ලිවීම තුලින්ම පමණක් දැන හඳුනා ගත්  මිත්‍රයාහට මා පැවසූවේ "අවුලක් නෑ ඔයා ඕන දෙයක් අරං එන්න! නැතත් මෙහෙං ඕනම දෙයක් අඩු පාඩු නැතිව සපයා ගන්නට හැකි" බවය! 

"ඒයි දැං කිතුල්ගල!'

"හරි හරි ඔහොම එන්නකො! ඔයා ගූගල් මැප් එකේ Campsite එක දාගෙනනේ තියෙන්නේ? ඔහොමම එන්න. මතකනේ හක්බෙල්ලාවක Sub Post Office එක ලඟ!"

කඳු පල්ලම් වංගු වැනි භූ විෂමතා අතරින්  වේගයෙන් එන බසයක සිට ඇමතුම් ලභා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවුනු අතර එහි වඩාම දුෂ්කර කාර්‍ය්ය වූයේ  මාගේ කඳවුරු බිම හා මාගේ නිවස්නය; කිසිදු දුරකථන සංඥවක් නොමැති කලාපයක පිහිටීමය.

එතැන් පටන් තවත් ඇමතුම් හතර පහක් එහා මෙහා යෑමෙන් අනතුරුව වුවද ඔහු බසයෙන් බැස තිබුනේ අදාල ස්ථානය මග ඇරී තවත් මීටර 200ක් පමණ බසයේ ගමන් ගැනීමෙන් අනතුරුවය.

"කොහෙද බං මේ මගුලේ උඹේ කෑම්ප් සයිට් එක බෝලයක් වගේ පේන්න තිබිලා බහින්න කිට්ටු වෙන කොටම ඒක මැකිලා ගියා කියහංකෝ. මම කොන්දට කිව්වට ඌ දන්න කෑම්ප්සයිට් එකක් නෑ. අර තැපැල් කන්තොරුවේ සීන් එක කියලා තිබ්බනේ. මං බස් එකේ හිටියේ පිටිපස්සේ. මූ ඩ්‍රැයිවර් එක්ක කයිවාරුවක් ගහන්න ඉස්සරහ ෆුට්බෝර්ඩ් එකට බැහැල හිටියේ. මම ෆෝන් එකේ බෝලෙ අතුරු දහන් උනාම ඉස්සරහට ඇවිත් අහන කොත කන්තෝරුව නං පහු උනා කිව්වා!" රවි අයියා එයාගේ ගොරෝසු හඬින් සිදුවූ අලකලංචිය විස්තරකලා.

එදා හවස අප දෙදෙන මාගේ තවත් ඥාති මිත්‍රයෙකු සමග කඳවුරු බිමේ නිවස්නය වන අඩි 20 කන්ටේනරය උඩට නැග ජින් බෝතලය සප්පායම් උනේ රාත්‍රිය අවට වසාගත් මොහොතකය.

මා පුරුද්දක් ලෙස මාහට වැඩි හිටි බොහෝ දෙනාව අමතන්නේ "අයියා හෝ අක්කා" යන දෙවදනින් එකකින් ය. මෙය බ්ලොග් ලෝකයට හෝ වෙනයම් උප සංස්කෘථියකට කෙසේ ගැලපෙනවාදැයි මා සොයන්නට නොගිය කරුණකි.

ඒ නිසාම රවීව දුටු නොව ඔහුට කතාකල පලමු මොහොතේ පටන් ඔහුව "රවි අයියා" ලෙස ඇමතීමි. 

අප දෙදෙන එකට සප්පායම් වෙමින් සුපිරි තෙල් බෙදීම අතර තුර;  එකවරම මා ඔහුට " ඉතිං මචං . . . . ." යැයි කියැවූ ඊළඟ නිමේශයේ "අනේ සොරි වෙන්ඩෝන අයියේ . . . .!" කී හැම අවස්ථාවකදීම . . .

"පිස්සුද යකෝ . . . .!' කීම ඔහු පුරුද්දක් කර ගත්තේය.

රවි ගිය පසු මාගේ ඥාති සොහොයුරා බොහෝ වරක් එය පුණුරුච්චාරණය කරමින් ආතල් ගත්තේය.

මෙම හමුව හා මධුවිත තොල ගෑම පිළිබඳව මා කුඩා සටහනක් ලියා තබා ඇත.

"මෙම මිතුරු සමාගමට පේරාදෙනියේ සිට රවී වීරසිංහ - අවි අයියා පැමිණියේ කලින්දා එනම් සෙනසුරාදා හවස් වරුවේය. 

ඩ්‍රැකීගේ පැමිණීමද එදිනට යෙදී තිබුනත් ඡන්ද හුටපටේ ඔහුව පමා කලේය.

රවි අයියා රස සාගරයකි!
ඔහු මිනිස් ඇසුර ප්‍රිය කල අයෙකි.
නියමිතව තිබුනු ඩ්‍රැකීගේ පැමිණීමත් අවි අයියාගේ එකතුවත් සමග වියළි ජින් ගත වීම හෝ වෙනයම් ඇල්කොහොලිකරණයක් සඳහා මා අපගේ පැරණි kayak pavilion එක අස් පස් කලේ සිකුරාදය. 
හුදෙක් ගබඩා කාමරයක් ලෙස අඩුම කුඩුම පිරුණු එය නැවත මිනිස් වාසයක් බවට පත් කිරීමට දිනයක්ම වෙහෙස වන්නට සිදුවිය. kayak pavilion යනු අපගේ Oparetional Hub එක හෙවත් මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කොට ඇති අඩි 20 Shipping Container එක මත ඉඳි කොට ඇති වේදිකාවය. රාත්‍රියට ඉදිරි මාර්ගයේ රථ වාහන දිවෙනු දකින්න ලස්සන දර්ශණයකි."



පසුදින අපගේ පිරිස පැමිණි අපසු එතැනින් අපගෙ වනගත කඳවුරු භූමියට ගිය අතර එතැන රවීගෙ කතාවලින් රස සාගරයක් මැවිනි.

මෙන්න සුද්දගෙ අතේ තරම!

සියළු කටයුතු එදින නිමවී රවි අයියා ගියේ ඊටත් පසු දිනය. 
දින දෙකක් පුරා ඔහු යහන් ගත වූයේ මාගේ බංකර් ඇඳේ යට තට්ටුවේය. 
තම මුඛ සෞඛ්‍යය පිළිබඳව ඔහු තරම් උනන්දුවූ අයෙකු සිටිනවාදැzයි සිතිය නොහැක. පැය ගානක් දත් මැදීමටත් දිව මැදීමටත් වෙහෙසෙයි.
සිටිවනම "එතකොට මචං අර . . . " යනුවෙන් කිසිවක් විම සයි. නැවත ඔහුගේ සුපුරුදු කථාබහේය.

පෙරදින අප සියල්ල වෙන්ව ගියේ නැවත මෙහිම හමුවන බලාපොරොත්තුවක්  සිතේ තබාගෙනය. ඒ රා පාටියකටය. ඊට ටිතා කෙටි කලකට පසුව අප ඊට සෙටමෝල් විය.
ඒ ඉවාන් පාවුලූෂාව අවසන් වරට හමුවූ අවස්ථාව විය!

ඒ වන විට රවි අයියාට නැවිගේශන් ප්‍රශ්ණ නොතිබුනි. සිරිත් පරිදි පෙරදින පැමිණ මාගේ බංකරයේ යට ඇඳ ඔහු වෙන් කරගෙන සිටියේය.
එදින අප හමුවී වෙන්වී ගියේ අප්‍රේල් මස නැවත් හමුවන බලා බලාපොරොත්තුවෙන් ය.

ඒ කුඩා පරිමානයෙන් බ්ලොග් හමුවක් පැවැත්වීමේ අරමුණින්ය. වර්ථමාණයේ බ්ලොග් ලියනා කිහිප දෙනෙකු එකතුව බ්ලොග් හමුවක් පැවැත්වීමට උත්සාහ කලද එය අසාර්ථක වූ තැන  2023 අප්‍රේල් මස අප කුඩා බ්ලොග් හමුවක් සංවිධානය කලෙමු. 
 එයට උර දුන්නේ  ඩ්‍රැකීත් රවි අයියාත් තවත් කිහිප දෙනෙකි. 

රවි අයියා එම අවස්ථාවටද පෙර දින පැමිණ සිටියේ ඕල්ඩ් ඇරැක් බෝතල් දෙකක්ද රැගෙනය. අපගේ දුප්පත් හමුව පැවැත්වුනේද ටිපියේය. 
 ඒ පිළිබඳව මා ලියන ලද බ්ලොග් සටහනෙන් උපුටා ගත් කොටසක් මෙහි බහා ලන්නම්.

"සිරිත් පරිදි රවි අයියා පෙරදින එනම් 4 වනදා හවස් වරුවේ ටිපියට වැදහොත්ය! ඒ මිතුරු හමුවකට ඇවැසි අඩුවැඩියද රැගෙනය!

***********************************************************************************************

ශාන්ති දිසානායක යනු නොම්මර එකේ ලේඛිකාවකි. ඇය සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරකය. ඇගේ ගමේ සිට අනුරාධපුරයට කිලෝමීටරම 30කි! මීට මාස කිහිපයකට පෙර; මාලන් බ්‍රැන්ඩෝ විසින් ඔස්කාර් සම්මානය ප්‍රතික්ශේප කිරීම පිළිබඳව; මුහුනු පොතේ පලවූ පෝස්ටුවකට ඇය විසින් කමෙන්ටුවක් දමා තිබුනි. තමන්ටද එසේ ප්‍රථික්ෂේප කිරීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය බවක් සහ ඒ පිළිබඳව තමා කණගාටුවට පත් වන බවත් එයින් ප්‍රකාශ වී තිබුනි. 
ඕනෑම දේකට "එල්ලෙන" මම ඊට පිළිතුරු ලෙස; "තමන්ට සම්මානයක් ලැබීමේ ආරංචිය ලැබුනු විගස ෆැන්ටසියක අතරමං වී පසුව පශ්චාත්තාප වීමෙන් වැඩක් නැත!"  යන්න ලියා දැම්මේය. 
මාගේ උට්ටලං කථාවට උරණ නොවී ඇය ඉතාමත් නිරහංකාරී ලෙස ඊට පිළිතුරු ලෙස ඒ  පිළෛබඳ තමා තවමත් කණගාටු වන බව තවදුරටත් පවසා සිටියාය!
පසුව මා ඇගේ නිරහංකාර බවෙන් දමනය වී "ඔබ සමග කතා කිරීමට මා කැමතියි!" යනුවෙන් ලියා පලකල කමෙන්ටුවට
"කතා කරමු!" යනුවෙන් ඇ‍යගේ දූරකථන අංකය දක්වා තිබුනි.

මම වහාම ඇයගේ නොම්මරය "ශාන්ති දිසානායක" යනුවෙන් ගබඩා කර ගත්තෙමි. 
මේ සියල්ල සිදුවී මාස දෙකකටත් වැඩිය.
අප්‍රේල් 1 වන දින වන විට අපගේ දුප්පත් බ්ලොග් හමුව තරමක් අලු ගසා දමා කෙළින් වී තිබුනි.
පෘතග්ජනයින්ගේ හැටි!
මා හට ඇවැසි උනේ;  අපගේ බ්ලොග් හමුව අභිමානවත් ආකාරයකට පැවැත්වීමටය.
ඒ සඳහා "ආරාධිත අමුත්තෙක්" ඉන්නවානං වැඩේ එළම කිරිය!

ශාන්ති දිසානායක වැනි බුවියක් මෙතැනට බැස්සවිය හැකි වුවහොත් වැඩේ එකෙන්ම ගොඩය! 

මම හිමින් සීරුවේ ඇයගේ නොම්මරය සොයාගෙන  ඇය ඇමතීය!
"ම්හු!"
ඇයගේ දූරකථනය දිගටම නාද වුවද ඇය එයට සම්බන්ද්ධ නොවුනි.
වැඩේ පටං ගත් තැනම අල විය!
පැය භාගයකින් පමණ  මම දූරකථනය පිරික්සද්දි එහි මිස් කෝල් දෙකක් සනිටුහන් වී තිබුනි.
ඒ අන් කාගෙන් වත් නොව ශාන්ති දිසානායක ගත් කතු වරියගෙන් ය!
මම සීරුවෙන් ඇය ඇමතීමි!
"හෙලෝ මේ ශාන්ති දිසානායක මිස් ද?'
"ආ ඔව් මල්ලී! කියන්න!"
".........................................................."
"........................................................................."
"................................................"
"අක්කේ අපේ පොඩි බ්ලොග් හමුවක් තියෙනවා! අක්කාට එන්න පුළුවන්නම් ලොකු දෙයක් අපිට!" මම අවශ්‍ය තාවය කිව්වෙමි.

එතැන සිට සිදුවූ දේ මා ඇයගේම වචනයෙන් මෙතැනින් කියවන්න!
ඇය අප්‍රේල් 2 දින වන විට පැමිණීම තහවුරු කලාය. 

මා මේ ගැන දැන්වූයේ ඩ්‍රැකීට පමනි. රවි අයියා ගෙන ආ අඩු වැඩිය; අඩු පාඩුවකින් තොරව සප්පායම් වන විට මාගේ දැඩි සිත මෙලෙක් වීමට පටන් ගති. එහි ප්‍රථිපලයක් ලෙස එතෙක් මමත් ඩ්‍රැකීත් අතර තිබුනු රහස රවි අයියාගේ කනේද තැබීමට මාහට සිත් විය.
"අම්මට සිරි! ශාන්ති දිසානායක කියන්නේ මේ කාලේ ඉන්න සුපිරිම ලේඛිකාවන් දෙන්නගෙන් එක්කෙනෙක්. අනිත් එක්කෙනා සුනේත්‍රා රාජකරුණානායක!" රවි අයියා හුස්මක් නාල්ලාම කියාගෙන ගියේය.

මට මේ අල්ල පනල්ලේ තවත් එළු මගුලක් සිහියට ආවේය. (මොලේ නරක්වූ විට හිතට එන දේවල්!?) 
මම ඩ්‍රැකියාට කෝල් එකක් ගත්තෙමි.
මේ වනවිට වේලාව රාත්‍රී 8.30 ට අපමන වන්නට ඇත. දිනය අප්‍රේල් 4. හෙට ගෙට්ටුව!

"හෙලෝ මල්ලී!"
"කියන්න ලොකු අයියේ!"
"හෙට අපේ ගෙට්ටුවට එන එවුංට මොකක් හරි සමරුවකුත් දුන්නානං ගින්දර නේද?"
"ගින්දරනං තමයි! ඒත් අපි කොහොමද කරණ්නේ? අපි එකතු කරණ්නෙත් එකෙක්ගෙන් රුපියල් 1000යි නේ?"
"හරි මගේ ඔලුවෙ පොඩි අයිඩියාස් එකක් තියෙනවා! මං ගාව සල්ලි නෑ! උඹට පුළුවංද මට හෙට රුපියල් 5000ක් දෙන්න - ණයක් විදියට!?"
"හරි අවුලක් නෑ . . . !"

මම හැරෙන තැපෑලෙන් ශාන්ති අක්කාට ඇමතීමට සිග්නල් සොයා කළුවරේම හක්බෙල්ලාවක සම්පකාරය දෙසට ඇදුනෙමි.

"අක්කෙ පොඩි සීන්ස් එකක්! මට අක්කගෙ පොත් ටිකක් ඕනේ එන අයට සමරු විදියට දෙන්න!? මොකද කරණ්නේ?"
"මල්ලී පොත් කීයක් විතරද?'
"දහයක් දොළහක් විතර!"
"අනේ මල්ලී ගෙදර හරියෙම තියෙන්නේ පොත් 6ක් 7ක් විතර! හරි කමක් නෑ මම මොනවා හරි කරණ්නම්කෝ!"

ඒ වැඩෙත් හරි ය! මම රවි අයියා දෙසට හැරුනෙමි.
"අයියේ හෙට අපිට souvenirs විදියට දෙන්න ශාන්ති දිසානායක පොත් ටිකක් ගේනවා . . . . . . .!" කතාව ඉවර කරණ්නට ලැබුනේ නැත.

"යකෝ ඒ මනුස්සයට එන්නත් කියලා; උඹ  තව පොතුත් ඉල්ලුවාම හරිද බං? හරි! කමක් නෑ! මම ඒ පැත්ත බලා ගන්නං කෝ!" රවි අයියා වැඩේට බෙල්ල තිබ්බේය!

අප්‍රේල් 5 දා උදාවුනි!
මම උදෙන්ම නැගිට බතක් උයා බෝංචි කරල් ටිකක් තෙල්දමා කිරිදමා හින්දවා, ලූනු සම්බෝලයක් සෑදුවෙමි. අනතුරුව මාත් රවි අයියාත් හක්බෙල්ලාවක කඳවුරු බිමෙන් ලට පට පුටු මේස ආදිය පටවාගෙන දොඩංගස් තැන්න කඳවුරු බිම වෙත ගොස් එතැනට පොඩි පහේ මේකප් පාරක් දමා ආපසු පැමිණ පිරිස පිලිගැනීමට සැදී පැහැදී සිටියෙමු.
එදින සිදුවූ වැදගත්ම සිදුවීමක් වන්නේ ශාන්ති දිසානායක ගත් කතුවරිය බ්ලොග්කරණයට පිවිසීමේ ප්‍රධාන පියවර ගැනීමය. එයට ගිරිදේවි ලෙස නම තැබුවේ රවි අයියාය. තාක්ෂණික සහය ඩ්‍රැකීගෙන් ය." 

රවි අයියා එම උත්සවය සාර්ථක කරගැනීමට කිසිදු කොන්දෙසියකින් තොරව බෙල්ල තිව්වේය.

ඉන් පසු එනම් අවසන් වතාවට අපි හමුවන්නේ කොළඹ ගමයා - අජිත් අයියා මෙරටට පැමිණ කොල්ලුපිටියේ Pink Salt අවන් හලේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදීය. 
ඉන් පසුව අප දුරකථනයෙන් වරක් දෙවරක් කතා කලද හමුවූයේ නැත.

මීට සතිකිහිපයකට පෙර මා ලියන ලද බ්ලොග් සටහනකට කමියා - කළ්‍යාණ මිත්‍ර  අසා සිටියේ හමුවී අඩියක් ගහන්නේ කවදාදැයි  කියාය.  අගෝස්තුවෙ අග අප නැවත මුණ ගැසිය යුතු බව මා සිතෙහි සණිටුහන් කර ගත්තේමි. රවි, කමිය, ඩ්‍රැකියා අපේ අවන්හලේ මහේෂයා කොලොම්පුරේ අසංග පංචත්න්ත්‍රේ නිදී නමිය ආදීන් ගෙන හතර පස් දෙනෙක්ව වත්  ගල් බෝතලකය් වටා එක්කාසු කරගෙන සන්ධ්‍යාවක් ගත කරණ්නට ආශාවක් ඇතිවිය. 

මේ සියල්ල අතරේ ඊයේ මාහට whatsapp ඇමතුමක් ලැබුනි. ඒ අවන්හලේ මහේෂයා ගෙනි.

"අයියේ! රවි අයියා නැතිවෙලා කියන්නේ ඇත්තද බං?"
"අම්මට සිරි! පොඩ්ඩක් හිටාං බලන්න!" මම රන්දිකා නංගීව ඇමතීමි.
"අනේ ඔව් අයියේ!" එහා කොනින් කෙඳිරියකි.

ඔව් රවි අයියේ ඔයා යන්නම ගිහිං! මම වගේම උඹත් නිවනක්, පුණුරුප්පත්තියක් පිළිබඳව විශ්වාසයක් නැති බව මම දනිමි. ඒ නිසා එවන් ප්‍රාර්ථනාවක් මා තුල උඹට නැත.
ඒත් සර්ව කාලීනව උඹ අපේ හිත් තුල සිටීවි!

උඹ ආයෙත් කවරදාවත් මාත් එක්ක හීන් අඩියක් ගහන්නට එන්නැති බව ඉංතේරුවෙම්ම  දනිමි.
ඒත් විශ්වාසෙට ගනිං. උඹට වීදුරුවක් වෙන්ව තියේවි අපගේ මේසය උඩ!

"උඹ කිව්වාට සොරි අයියේ . .!"

"පිස්සුද යකෝ . . !"


37 comments:

  1. අද පාන්දරම අජිත් අයියගෙ බ්ලොග් එකෙන් මේ ගැන දැක්ක හැටිය විස්වාස කරන්නවත් බැරි උනා මේ සිද්ධිය.
    අවුරුදු ගානක් බ්ලොග් වලින් දැනගෙන වලි දා ගත්තට හැබැහින් දැකල හම්බවෙලා ඒ සුන්දර මනුස්සය එක්ක ඇසුරු කරන්න අවස්ථාවක් ලබල දුන්නට තට්ටයට සහ ඩ්‍රැකියට ස්තුති කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං!

      Delete
  2. නිදහස් සිතුවිලි නැවතුණි

    ReplyDelete
    Replies
    1. ඔව්! ඒත් "නිදහස් සිතුවිළි" බ්ලොග් අඩවියේ සම ලියන්නියට වඩා වැඩි වගකීමක් තියෙනවා දිගටම එහි ජීව ගුණය රැකෙන අයුරින් පවත්වා ගෙන යන්න!

      Delete
  3. සුභ ගමන් රවී!
    කවදාවත් හමු වී නැතත්, මේ පුවත දැන ගත් වෙලේ පටන්, බොහොම සමීපතමයෙකු නික්ම යාමේ වේදනාව දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඔහු රසවතෙක්. අවම වශයෙන් තවත් වසර විස්සක් වත් ලියන්න කයි කථන්දර ඔහුට තියෙන්නට ඇති. ඔහු සමග සිටින සෑම මොහොතකම කියන්නට රසවත් කථාවක් තිබුනා. කථාවේ රසවත් බවට ඔහුගේ වදන්, උපමා උපමේය, ගැඹුරු හඬ එක් උනාම ඒක රස සාගරයක්!

      Delete
  4. මේ ලස්සන මතක සටහන් අප සමඟ බෙදා ගත්තාට ස්තූතියි. සුභ ගමන් රවී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා! ඔව් අපි එහෙම පතමු!

      Delete
  5. සුන්දර මතකයක් වුවත් කාටත් පොදු ගමනක්!

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම!

      Delete
  6. "රවි අයියේ ඔයා යන්නම ගිහිං! මම වගේම උඹත් නිවනක්, පුණුරුප්පත්තියක් පිළිබඳව විශ්වාසයක් නැති බව මම දනිමි. ඒ නිසා එවන් ප්‍රාර්ථනාවක් මා තුල උඹට නැත.ඒත් සර්ව කාලීනව උඹ අපේ හිත් තුල සිටීවි!" රවී ගේ මතක සටහන වටිනවා.
    ස්තූතියි මංජුල . රවී ට සුබ ගමන් පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ!ඔව් අපි එහෙම පතමු!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒක එහෙම තිබිය දී කවදා කතා කළත් දුරකතන සංවාදය අවසන් වුණේ බුදු සරණයි කියන වදනින්.

      Delete
    4. ඔව්! ඒ ආදරණීය ගොරෝසු හඬ මට මතකයි නංගී!

      Delete
  7. ලස්සන් සටහන මචන් . හෙන ෂොක් එක මටත් දැක්ක ගමන් ආවේ . රන්දිකා සමග කතා කරල් දන ගත්තේ . හොඳම වැඩේ එකතු වෙලා අඩියක් ගහලා රවියට සුභ පතන එක . ඒක තමා රවී ගේ ස්ටයිල් එක . සුභ ගමන් .

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත්! අපි ඉක්මණින්ම හමුවෙමු!

      Delete
    2. අපේ ගෙදර කරමු. අනිවාර්යයෙන් කට්ටිය එකතු කරගෙන එන්න.

      Delete
    3. එකෙන්ම!

      Delete
  8. චතුගේ සිතුවිලිJune 16, 2026 at 11:54 AM

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගැන රවී දාපු පොස්ට් අපිට මතකයි. නාකි මයිනාගේ මරණය පාර්ථනා කරපු රවී මැරිලා.

    ReplyDelete
    Replies
    1. මහින්දගේ මරණය ප්‍රාර්ථනා කල කීදෙනෙක් නම් තවම ජීවත් වෙනවාද?

      Delete
  9. වෙනදාට ලොකු අයියාගේ පෝස්ට් සතුටු සිතින් කියවන නමුත් අද පෝස්ටුව කියවූයේ දුක්බර සිතකිනි.....

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඒක අතිශය දුක්බර වෙන්වීමක්!

      Delete
  10. මට මංජුල අයියා හඳුන්වා දුන්නේ රවී මගේ සගයා. ඒවා කොමෙන්ට් වල ලියලා ඉවර කරන්න පුළුවන් කතා නෙමෙයි. බ්ලොග් පෝස්ට් එකකින් හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක රවීට කරණ ගෞරවයක් වේවි!

      Delete
  11. Replies
    1. ඔව් ඉයන් අපි අන්තිමට හමුවුනු දවසෙ ගතකරපු කාලය අමතක නෑ!
      දවසක හමුවෙමු රවීගේ මතක සමගින්!

      Delete
  12. ඔබලා හැමෝම හමු වෙන්න මට ලොකු ආසාවක් තිබ්බා .. මේ වසරට දෙවරක් ලංකාවට ගියත් විවිද දේ නිසා හැමදාම ඒවා මිස් වුණා ..දුකයි රවී අයියට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඔබ එන දවසක් කියන්න. හමුවන්න කැමති / අවශ්‍ය අයවත් කියන්න.
      එවිට ඔබ එන විට අපට කුඩා හමුවක් සූදානම් කල හැකියි.
      මෙරට නොවසන බොහෝ බ්ලොග් කරුවන් ඒ විදියේ පොඩි පහේ සැලසුමක් දාගෙනයි එන්නේ.
      ඊළඟට එන දවස හා මෙහි සිටිනා කලය; ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව දන්වන්න!
      ස්තූතියි ඇවිත් ලිව්වාට.

      ඔව් හමුවූ විටෙක රවීට සුභ ගමනක් එක්ව පතමු!

      Delete
    2. මම මේ අවුරුද්දට දෙපාරක් ඇවිල්ලා ගියා අයියේ .. ඊළඟ සැරේ ටිකක් නිදහසේ ඉන්න තමා එන්න හිතන් ඉන්නේ . . අනිවාර්යයෙන් හමුවෙමු

      Delete
    3. අනිදා එන්න කලින් කියන්න! ජයවේවා!

      Delete
  13. https://wehimandarama.blogspot.com/2026/06/149-bidding-adieu-to-stardust-soul.html - හමුවෙන්න කිහිප වතාවක් සැලසුම් කළත් බැරි වුණා. කිසිදා පිරැවිය නොහැකි හිස්තැනක්.

    ReplyDelete
    Replies
    1. මම
      කියෙව්වා! Comment එකකුත් දැම්මා. හටිම ආදරණීය ලිවීමක්! ආපහු දිගටම ලියමු!

      Delete
  14. Suba Gamanak wewaa.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...