මේකත් පොඩි ආතල් කතාවක්!
හැබැයි මේකට මම සම්බන්ධ නෑ.
මම හුදෙක් නරඹන්නෙක් සහ නිරීක්ෂකයෙක් විතරමයි.
අපි ඉස්කෝලෙ යන කාලේ (ඔව් අපි ඉස්කෝලෙ ගියා තමයි!) මේ සිද්දිය උනේ. එතකොට අපි හතේ පංතියේ.
අපේ ඉස්කෝලෙ අපේ වසරේ පංති 10ක් තිබුනා. ඒ කියන්නේ හත A ඉඳන් හත J වෙනකල්.
අපි හිටියේ හත E පංතියේ.
මේ පංති සියල්ලටම චන්ඩියා උනේ නීලංග. ඔව් ඔව් උන්නැහැ තමයි දැනට ඕස්ත්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ ඉන්නා K. C මනෝජ් නීලංග.
බුවා හිටියේ දෙමටගොඩ.
තව අපේ පංති වල එක එක විදියේ එක එක වංසෙ හාරත බූරු පොරෝ ආසි කොල තිබුනා.
ඒ සියල්ල දෙමටගොඩ, මරදාන ස්ටොක් වත්ත, පුංචි බොරැල්ල, වනාතමුල්ල තම නිජබිම කරගෙන හිටිය අය.
අපේ හත E එකේ චන්ඩියා උනේ ගෝර්කි. ගෝර්කි යන වචනෙ බිඳිලා ආවේ ගොරකයා කියන නාම පදෙන්. මුන්නැහැත් දෙමටගොඩ. එයාගෙ නම අතුල සුරේන්ද්‍ර පට්ටියගේ. ඉන්නේ කැනඩාවේ කියලයි ආරංචිය.
අපේ අල්ලපු පංතියේ චන්ඩියා උනේ මුණසිංහ. රුවන් මුණසිංහ. එයා කොහේ ඉඳන් ඉස්කෝලෙට ආපු එකෙක්ද කියලා දැන්නම් මතක නෑ. හොයන්න පුළුවන් උනත් ඒක මේ කථාවට ඒතරම් වැදගත් කමක් නෑ. ආ පස්සෙ මතක් උනේ! මෙයත් දෙමටගොඩින් ආපු එකෙක්.
මේ යකාට කිව්වේ පොලිස් මුනේ කියලා. මෙයාගෙ තාත්තා පොලිසියේ තමයි වැඩකලේ. ඒ උණත් අඩු පාඩු නැටිව මුන්නැහැට තිබ්බා කියහංකෝ!
මේ කථාවේ ඇත්තම චරිත දෙක මේ මම අන්තිමට කියපු මුණසිංහත් තවත් එක් අයෙකුත්. මේ නම නොකියපු එකා තමයි ඉදිරිමුණිගේ චන්ද්‍රලාල් සිරිවර්ධන හෙවත් සිරා.
සිරා හිටියේ ගල්කිස්සේ. හේන පාරේ. මූ අන්තිම අහිංසක ආතල් ඩයල් එකක් ඒ කාලේ. පොඩි ඇඟපතක් තිබුනු. ඒ හැටි උසක් නොතිබුනු සාමාන්‍ය සෙබල චරිතයක්.
හැබැයි මූට මළ පනිනවා එකසිය ගානට! (අර කාටද වගේ!)
සාමාන්‍යයෙන් ඉටර්වල් එක ඉවර වෙලා තවත් විනාඩි 10ක් අරං වතුර බීලා එන්නට පුරුදු වෙලා හිටිය අපි අතර උන්නු මම එදා පංතියට දුවගෙන ආවේ එකසිය ගානට.
ඒ වෙන කොට අපේ පංතියට වත් අල්ලපු F පංතියට ඒ කියන්නේ හත F එකට වත් ගුරු වරු ඇවිත් හිටියේ නෑ.
හුඟක් වෙලාවට ඉන්ටර්වල් එකෙන් පස්සෙ; ගුරු මණ්ඩලයෙ ඇඹරුම් හලෙන් සප්පායම් වෙලා කට පිහිද පිහිද ගුරුවරුන් පංති වලට එන එක අන්තිම ස්වභාවික සංඛ්‍යාතයේ සිදුවීමක් උනා.
ඉතිං මම පංතියට දුවගෙන එන කොට හත F එක ඉස්සරහ; ඒ පංතියේ මුළු ජනතාවම පිරිලා. ඕන දෙයක් ප්‍රීති වෙසක් කියලා මාත් මෙතනට හොම්බ දාලා එතන හිටිය ඩයල් එකකගෙන් "මොකක්ද සීන්ස් එක?" කියලා ඇහුවාම "අපේ මුනයට එයා පංතියේ එකෙක් චැලෙන්ජ් කරලා!"
මමත් සර බර ගාලා මේ ජනතාව අස්සෙන් ඉස්සරහට ඒ කියන්නේ වළියේ කේන්ද්‍රය වෙතට හොම්බ දැම්මාමයි ඇඟ හිරි වැටුනේ.
මුනයා කියන්නේ එකාලෙත් අනිත් එවුංට සාපේක්ෂව උස මහත ඩයල් එකක්. මහත කිව්වාට උස එකෙක්. ඇස් දෙකත් දොඹ ගෙඩි සෙයියාවෙන් එළියට ඇවිත් තිබුනු කට්ට කළු ඩයල් එකක්. කොටිංම කරුවලේ දැක්කොත්; සුද්දෙකුට උනත් නිකංම ඉතිපිසෝ කියවෙන මූනක් ඌට තිබ්බේ. ඌ දාගෙන එන්නෙත් ඉස්කෝලෙට වළි වලටම ගැලපෙන බර සාර සපත්තු දෙකක්.
මම වළියේ කෙන්ද්‍රයට ළං වෙන කොට; කිව්වට් විශ්වාස කරණ්න ආයිබොවං දෙන්නෙක් මුනයා ගාව දණ ගහගෙන උගේ සපත්තුවේ ලේස් තදින් ගැට ගහනවා. වටේ ඉන්න එවුං උගෙ මොරාල් එක හැදෙන්න ටෝක් ඉශූ කරණවා.
ඌට ඉස්සරහිං අපේ අහිංසක සිරා ඔහේ පරැඬලක් වාගේ ඉන්නවා. එතන ඌට සපෝර්ට් එකට මොකෙක් වත් නෑ. ඌ අඳුනන කියන එකෙකුට හිටියා නම් ඒ මමම විතරයි!
මම "සිරා,! සිරා!! මොකද? කියලා ඇහුවා!
සිරා මුකුත් නොකියා මට අතින් "පොඩ්ඩක් හිටපංකො!" හරි "සද්ද නැතුව හිටපං!" වගේ අදහසක් එන සංඥාවක් කලා.
සිරාගේ ඇස් වල කේන්තියෙන් රතු වෙලා තිබුනා.
මම හිතුවේ සිරා මොකක් හරි සුපිරි ගේමක් දෙන්න යනවා කියලා!
තවත් විනාඩි කිහිපයකින් ගැටුම ඇරඹුනා. අපගේ පංති ඉස්සරහින් දිවුනු කොරිඩෝවේ තමයි සීන් එක ඇදුනේ.
පටං ගත් වෙලාවේ ඉඳන්ම සිරා අරූගෙන් අම්බානක කෑවා!
එතැන තිබුනු කානුවට වැටෙන කල්ම අර යකා අතින් මේ අහිංසක සිරා ප්‍රහාරයට ලක් උනා. අන්තිමේ ඌව බේරුවෙත් මුනේ ගේ වටේ හිටපු එවුංමද මන්දා!
කොහොම හරි වළිය ඉවර වෙන කොට සිරාගේ ඇස් වලින් කඳුළු පැනලා තිබුනා. ඒත් ඌ ගහන්න එපා කියලවත්, තමා යටත් වුනු සෙයියාවක් වත් පෙනුනේ වත් ඊට ගැලපෙන දෙයක් කිව්වේවත් නෑ!
අරූ ගහලා ඉවර වෙලා යනකල් ඉඳලා අන්තිමට අපි දෙන්නා පංතියට ආවා!
අදට වත් වනතුරු මේ අහිංසක සිරා මුනයාට චැලෙන්ජ් කල හේතුව මම දන්නේ නෑ.
ඒත් ඒවගේ එකෙකුට මේ වගේ එකෙක් චැලෙන්ජ් කරණ්න යන්න්නේ මොන ලබ්බකටද කියලා හිතුනත් මේ ඊයේ පෙරේදා පොඩ් කාස්ට් එකක් බැලුවාමයි මට තේරුණේ සිරාට අමතරව තවත් මේ වගේ අභීත පොරවල් ඉන්නවා නේද කියලා.
මෙම ලිපිය සහ නම් ගම් සියල්ල 100%ක්ම නිවරදිය.
ඒත් මේ කථාව මට හැර සිරාටවත් මතක දැයි සැක සහිතය!
No comments:
Post a Comment