Sunday, June 19, 2022

237. සයිකලයෙන් වැඩට යමු . . . !



මේ දිනවල සයිකල් පැදීමට වඩා රැකියාවට හා වෙනත් ගෙදර දොර අවශ්‍යතා සඳහා සයිකලය තෝරා ගත් ප්‍රජාවක් අළුතින් බිහිවී ඇතිවී ඇත. මෙසේ තෝරාගත් හා තෝරා ගැනීමට ආශාවෙන් සිටින බොහෝ දෙනා සොයන බලන අසන ගැටළු දෙස බැලූ විට ඒ පිළිබඳව යමක් ලිවීමට මා හට සිත්විය. 2017 වසරේදී මගේ බ්ලොගයට එක් කල "සයිකලයක් අරං පදිමු!" පෝස්ටුවේ ආකෘථිය ගෙන එයට අඩු වැඩිය සපයා මෙම පෝස්ටුව සකසා ඇත. අවස්ථාවක් වෙතොත්  එයටත් ගොඩ වැදී  බලන්න. එය ලියා ඇත්තේ Cycling විනෝදාංශයක් ලෙස කිරීමට කැමති අය අරමුණු කරගෙනය!

මේ වන විට රැකියාවට යෑම සඳහා සයිකලය උපයෝගී කර ගැනීමට සූදානම් වන අය අතුරින් බහුතරය මෙතෙක් විනෝදාංශයක් ලෙස සයිකල් පදින ලද අය නොවේ යැයි මට සිතේ. රටේ ඉන්ධන මිළ අහස උසට ඉහල යෑම හා අධික ඉන්ධන හිගය ඉදිරියේ විකල්පයක් ලෙස ඔවුන් සයිකලය තෝරා ගෙන ඇත. කුමණ කරුණක්  හේතුකොටගෙන හෝ ඇරඹි  සයිකල් පැදීම තම විනෝදංශයක් ලෙසට තෝරා ගන්නා ලෙස මා ඔවුන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. මන්ද එසේ නොවී භාහිර අවශ්‍යතාවයක් කරණ කොට ගෙන ඔබ සයිකල් පැදීම පටන් ගත හොත් ඉතා කෙටි කාලයකින් සයිකලය ගෙදර මුල්ලක රෙදි වැනීමට ගාල් කොට තිබෙනු දක්නට පුළුවන් වේවි! සයිකල් පැදීම ජාත්‍යන්තර විනෝදාංශයකි! එය මනසටත් ශරීරයටත් එකසේ ප්‍රබෝධමත් මෙන්ම ප්‍රයෝජනවත් ව්‍යායාමයකි! එමෙන්ම විනෝදාංශයකි!! ප්‍රයෝජනවත් කාර්‍යයකි!!!


මෙතනින් පහලට මා "Cycling" යනුවෙන් ලියන්නේ අපි මේ කථා කරන "සයිකලයෙන් වැඩට යෑම" ගැන බව තේරුම් ගනිමින් පහලට කියවාගෙන යමු.
Cycling කිරීම සඳහා හොඳ සයිකලයක් අවශ්‍ය වේ. ගෙදර මෙතෙක් පදින සයිකලය එකවර අත හැර දැමීමට මා කිසිසේත්ම යෝජනා නොකරමි. දැනට කිසියම් හෝ සයිකලයක් වෙත්නම් එය හොඳින් නඩත්තු කර අළුත්වැඩියා කොට පාවිච්චියට ගන්න! (ඒ ගැන මම පහලින් ලියන්නම්!) වැඩේ සාර්ථක වී අල්ලලා යන විට හොඳ සයිකලයක් ගනිමු. 

අළුතින් සයිකලයක් තෝරා ගන්නේ කෙලෙසද? 

Cycling වලදි තමන් ගමන් කරන්නේ තමන්ගේ ශක්තියෙන් නිසා තමා සතු ශක්තිය හැකි පමණ ප්‍රයෝජනවත් කාර්‍යයක් ඉටුකර ගැනීමට වැය කල යුතු වෙනවා. මෙහිදී ප්‍රයෝජනවත් කාර්‍යය වන්නෙ ගමන් කිරීම පමනයි. ඒනිසාම තමන්ගේ ශක්තිය උපරිම වශයෙන් වැය කලයුතු වන්නේ ගමන සඳහායි . ඒකියන්නේ  තමාගේ ශක්තිය කල යුත්තේ තමාගේ බරත් සයිකලයේ බරත් අරන් යාමටයි. එතකොට ශක්තිය ඉතුරු කර ගන්න ඕන නම් වැඩේට අඩු බරක් තියෙන cycle එකක් ගන්න වෙනවා. දැං අලුත් ප්‍රශ්නයක් සෙට් උනා. මොකද්ද මේ අඩු බර කියන්නෙ? අවම වශයෙන් කිලෝ 14 කට වඩා වත් cycle එක බර අඩු වෙන්න ඕනෑ. කිලෝ 10 ක බයිසිකලයක් නම් වැඩේට සුපිරියටම ගැලපේ! 


දුර පදින්න හොඳම cycle එක තමයි Drop Handle තියෙන  Racing cycle එක (Touring bike) යනුවෙන් පිළි ගැනීමක් පවතී.  නමුත් බොහෝ අයට මේක පදින එක කිසියම් අපහසුවක් වේ. හේතුව කොන්ද නමාගෙන පදින්නට සිදුවීම.හැබැයි ඒක පුරුදු උනාම ඒතරම් අවුලක් තියෙන එකකුත් නෙවෙයි. 

Drop Handle Racing  bicycle
 










නමුත් කිලෝමිටර 20 කට අඩු දුරක් පැදීමට නම් Hybrid සයිකලය තමයි හරියටම ගැලපෙන්නේතවත් කාරණයක් ඩ්රොප් හැන්ඩ්ල් සයිකලයක පැදීමේදී මෙන් නොව Hybrid සයිකලය පැදීමේදී   අවට මාර්ගය හා ඉදිරිය  හොඳින් තමන්ට දර්ශණය වේජනාකීර්ණ නගර හා ප්රධාන මං මාවත්  ඔස්සේ රැකියාවට යන ඔබට වඩාත් ගැලපෙන්නේ Hybrid  සයිකලයක්  යනු මගේ අදහසය!

Hi Brid  bicycle












Mountain Bicycle











Hybrid cycle කියන්නෙ Mountain  cycle  එකේ විදියට Handle එකයි Frame  එකයි තියෙන (ෆ්‍රේම් එක ඒතරම්ම ශක්තිමත් නොවීමටද ඉඩ ඇත!); හැබැයි Mountain  Tire තරම් පලල නැති සිහින් Tire තියෙන එකක්. එසේම මෙම සයිකල් වල පවතින ගියර අනුපාත (ඉදිරි පස ඇති දැති රෝද ගණන හා ඒවායේ ඇති දැති ගනන් හා පසුපස ඇති දැති රෝද ගණන හා ඒවායේ ඇති දැති ගනන්) මවුන්ටන් සයිකලයකට වඩා වෙනස් වන්නට පුළුවන. බොහෝ විට ගියර මාරු කිරීමේ තාක්ෂණික උපක්‍රමද වෙනස් වේ! බොහෝ විට මේවායේ ටයර් පවතින්නේ 25C/28C හෝ 35C වැනි ප්‍රමාණයන් ගෙන්ය. ටයර් සයිස් ගැනත් ඉගෙන ගෙනම මෙතනින් ඉදිරියට යමු. මාගේ පෞද්ගලික අත්දැකීමේ පරිදි 35C  හොඳම ප්‍රමාණය වේ. මා  රට වටා කල  චාරිකාවේදී පවා භාවිතා කලේ 35C ටයරයන්ය. මාගේ ගමන් සගයන් වූ නිශාන්ද  භාවිතා කලේ 35C ය. කඩවත සිට යාපනය දක්වා කල චාරිකාවේදී; මධුශාන් තම Giant Escape සයිකලයේ වූ 25C ටයර වෙනුවට 35C ටයර යොදා ගත්තේය.

මේ ඒ පිළිබඳව සයිකලයෙන් තල් අරණට 1 පෝස්ටුවේ ලියැවී තියෙන්නේ මෙසේය.

"මධුෂාන් තම කිලෝ දහයේ  සුපිරි  Giant  Escape සයිකලයට පොඩි නවීකරණයක් එක් කලා. ඒ එහි තිබූ සිහින් ටයර් හා ටියුබ් අයින් කොට ඒ වෙනුවට මාගේ සයිකලයේ ප්‍රමාණයේ එනම් 700 X 35 ඒවා යෙදීමයි. මන්ද සිහින් ටයර් හා ටියුබ් ඉතා කුඩා ගල් කැටයකට වුවද බොහෝ පහසුවෙන් ගොදුරු වීමයි !

බයිසිකල් ටයර වල ප්‍රමාණයන් කියැවෙන විවිධ ක්‍රම ඇත.

1.   ISO (ERTRO-European Tire and Rim Technical Organization) ක්‍රමවේදය 
ටයරයේ පලල (mm)  x රිම් එකේ ඇතුලත විෂ්කම්භය (mm)

2.   අඟල් ක්‍රමය
ටයරයේ පිටත විෂ්කම්භය x ටයරයේ (පමනක්) උස x ටයරයේ පලල

3.   ප්‍රංශ ක්‍රමය
ටයරයේ පිටත විෂ්කම්භය (mm) x ටයරයේ පලල (mm)


ඉහත මමත් මධුශානුත් 700 x 35 යනුවෙන් යෙදුවේ ඉහත ප්‍රංශ ක්‍රමයෙන් මිනුම් කරණ ලද  ටයරයන්ය."


බොහෝ Hybrid cycle වල frame එකේ  Top bar එක උඩු අතට වක්‍රවයි තියෙන්නේ. අනෙක මේ bike වලින් බහුතරයකට  කම්පන පරිමන්දක -  ෂොක්ස් හෙවත් Shock absobers දක්නට නොලැබේ! තමන් පදින්න යන්නේ අතුරු මාර්ගයක නම්  මේ කියන්නේ Rough Terrain එකක  නම් පමණයි විතරයි ඉස්සරහට විතරක් හරි ඉස්සරහට පස්සට දෙකටම හරි ෂොකස් තියෙන bike එකක් ඕනෑ වෙන්නේ. 

ඉහත රූපයේ අංක1 සහ 2 ලෙස දක්වා ඇත්තේ ෂොක්ස් ය.

මේ විදියට අපි කාටවත් වැඩට යන්න නෑ මං හිතන්නේ! - Rough Terrain 

මේ කිලෝ 10 – 12 cycle වල frame එක  අනිවාර්‍යයෙන්ම  Alloy වලින් නිර්මිත වෙනවා. නැතිනම් ඊටත් එහා ගිය Carbon Fiber  අතිශය සැහැල්ලු වෙනවා. Alloy කියන්නේ මිශ්‍ර ලෝහවලට. අපි Alloy කියන්නේ Aluminium Alloy වලට! Alloy කිව්වට  ඒවගේම බොහොමයක්  bike වල front fork එක Alloy නොවේය. නමුත් අනෙකුත් සමස්ථයෙන් බහුතරය Alloy විය යුතුය. 
බොහෝවිට මෙම bikes වල Moving parts බොහොමයක් Shimano ඒවා වේ. ශිමානෝ යනු ජපානය නිජබිම කරගත් සයිකල්, අමතර කොටස් හා උපාංග නිපදවන උසස් තාක්ෂණික ආයතනයක්. ඒ කියන්නේ ඉදිරිපස දැති රෝද හෙවත්  ක්‍රැන්න්ක් සෙට්/ චේන් රින්ග් සෙට්, චෙන්, පසුපස කොග් සෙට්. ඊට අමතරව ගියර මාරු කිරීමට උපයෝගී කරගන්නා ඩිරෙයිලර්ස්, බ්‍රේක් උපාංග.

 ක්‍රැන්න්ක් සෙට්/ චේන් රින්ග් සෙට් 
Crankset / Chain ring set


පසුපස කොග් සෙට්
Cog set
පසුපස ඩිරෙයිලර්ස්
derailleur

ඉදිරිපස පසුපස 
ඩිරෙයිලර්ස් derailleur



දැන් වෙළඳපොලේ පවතින බොහෝ සයිකල් වල 21 speed එකක් වත් ඇත. . (21 speed කියන්නෙ ඉස්සරහ Cog wheel set එකේ දැති රෝද ගනන පිටිපස්සේ Free wheel set තියෙන දැති රෝද ගනනෙන් ගුණ කලවිට ලැබෙන  අගය වේ . 21 speed යනු 3 x 7 යන අකාරයට තියෙන එකකි .) එහෙත් ඔබ සතු සයිකලයේ ගියර නැති වීම හෝ  පිටුපස පමණක් ගියර ඇති සයිකලයක් (6 speed වැනි) එකක් උවත් ඔබගේ උත්සාහය අත් ඇරිය යුතු නොවේ. ඒ සියල්ල තීරණය වන්නේ ඔබගේ නිවසේ සිට සේවා ස්ථානයට ඇති ගමන් මාර්ගයේ ස්වභාවය මතය. එම ගමනේදී තරමක විශාල අනුක්‍රමණයකින් යුත් කඳු නගින්නට ඇත්නම් ඔබට ගියර සහිත සයිකලයක් වැඩේට අවශ්‍ය වේ.
දැන් තව ගැටළුවක් ඒවි ඇයි අපි ගියර තියෙන සයිකලයක්ම  මේ වැඩේට තෝරා ගන්න ඕනද?" කියලා! ඒ ගැන මම මෙහෙම කතා කරණ්නම්! අපි එකිනෙකාගේ පාදවල; විශෙෂයෙන් දණ හිස හා ඒ තුල ඇති කොටස් වල ශක්තිමත් භාවය එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසාම විශාල කඳු හෝ දීර්ඝ පැදීම් වලදී මේවාට අතුරු ආබාධ ඇතිවන්නට පුළුවන්.  මෙතනදී මම තවත් දෙයක් එකතු කරණ්නම්. මම මෙහෙම කියන්නේ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් නම් නොවේ. පලපුරුද්දෙන්! අපේ දණහිස් සන්ධිය බොහෝ විට දුර්වල වෙන්නේ ඒ වටා ඇති පේෂීන් සහ කණ්ඩරා දුර්වල වූ විටයි. දණහිසේ කුඩා ආභාධ  තියෙන අය ටික කලක් ක්‍රමාණුකූලව සයිකල් පැදීමට පටන් ගත් පසු තම දණහිස් ආබාධයෙන් ගැලවී සිටිනු මා පෞද්ගලිකවම දැක ඇත! ඒ නිසාම මේ සයිකල් පැදීම අළුතින් පටන් ගන්නා කෙනෙක් පටන් ගත් යුත්තේ සති දෙකක පමණ කෙටි ධාවන වලින් පසුව බවයි මම නම් හිතන්නේ. 
මෙහිදී තමන් පදින්නේ ගියර සහිත (මෘදු පැදීමක්) සහිත සයිකලයක් නම්; දණහිස් මත යෙදෙන තෙරපුම අවම වෙනවා. ටික කාලයකින් දණහිස වටා හා එයට බැඳුනු පෙශීන් හා කණ්ඩරා ශක්තිමත් වූ පසු ඔබට සාර්ථකව පැද යාමට හැකිවේවි. ඒ කාලය පුරාවට දණහිස් රැක ගැනීමට තමන් වග බලා ගත යුතුවෙනවා. මෙහිදී කඳු "හිට ගෙන පැදීම" මා කිසි විටෙක අනුමත නොකරන්නක්. එමගින් දණ හිස් මත විශාල පීඩනයක් ඇතිවීම එයට හේතුවයි. තමා සතුව ගියර සහිත සයිකලයක් වේ නම් හැකි සෑම අවස්ථාවේදීම පහළ ගියර වල පහසුවෙන් පදිනවා විනා අපහසුවෙන් පැදීම තම සයිකල් ජීවිතය කෙටි කර ගැනීමට හේතු විය හැක. 
මේ පිළිබඳව මා පහත නැවත කතා කොට ඇත!

දැන් ඊළඟ ප්‍රශ්නය තමයි මොන වර්ගයේ එකක්ද ගන්න ඕනේ? නැතිනම් මේවා අලුතින්ම ගන්න ඕනද කියන එක ?  හොඳ Branded එකක්  වැඩේට තෝරා ගන්න හැකියාවක් වෙතොත් එය හොඳ ආයෝජනයකි. Scott ,Giant , GT ,Bianchi ,Specialized, Treck, Bridgestone, ………… ,  ඔය වගේ බොහෝ නම් දිනූ හොඳ Branded bikes ගනනාවක් ඇති අතර තමන්ට ඇති හැකි ප්‍රමානයට එකක් තෝරා ගන්නට අවශ්‍ය වේ. මෙවැනි හොඳ  Branded bike එකක් ගන්න යන නිසාම බොහෝ විට අපට ගන්න වෙන්නේ Second hand එහෙම නැතිනම් Recondition එකක්මය. මේවා ජපානෙන් පරණ බඩු ගෙනෙන තැන් වල තියෙන අතර සමහර සයිකල් විකුණනම  තැන්ද කිහිපයක් මේ වන විට රට වටා බිහිවී ඇත. නමුත් අද වන විට සයිකල් වල මිළ අහස උසට නැග ඇත. මෙවන් සෙකන්ඩ් හෑන්ඩ් සයිකලයක මිල රුපියල් 80,000 න් ඉහලය. නමුත් වඩාත්ම වැදගත් වන්නේ සයිකල් පැදීම ඇරඹීම වන නිසා කුමකින් හෝ වැඩේ පටන් ගැනීමයි සිදුවිය යුත්තේ.
සයිකලයක් ගත්තා වගේ නෙවෙයි මේක Service කරගන්න ඕනෑය. අපි දන්න කියන නිකම්ම නිකම් වින්කල් වල බොහෝ විට අලුත් බයිසිකල් ගලවන්නට උවමනා කළමනා නැත්තේය. ඒ වාගේම ඔවුන් තුල තාක්ෂනයද නැති බව හද පිරි ශෝකයෙන් යුතුව මේ මොහොතේ ප්‍රකාශ කරමි. 

චේන් එක දැති රෝද එන්ජින් ඔයිල් හෝ වෙනයම් ලිහිසන තෙල් වර්ග දැන් පාවිච්චි කරණ්නේ නැත! මන්ද ඒවායේ ඇලෙන දූවිලි අංශු මගින් සයිකලයේ දැති රෝද සහ දම් වැලට  හානි පමුණුවයි. එහෙත් දීර්ඝ වර්ෂාව ඇති කාල වලදී ඉතා තුනී ලිහිසන තෙල් වර්ගයක් උපයෝගී කර ගැනීමට සිදු විය හැක. දම්වැල හා ආශ්‍රිත කොටස් ඩීසල් වලින් හොඳින් සෝදා හැරිය හැකිවේනම් එමගින් සිදුවන ලිහිසනය සයිකලය  සඳහා ප්‍රමාණවත් වේ.  නො එසේ නම් මේ සඳහා භාවිතා කලයුතු සුදුසු Dry Lubricant වර්ගයක් පමනක් යාන්තමින් භවිතා කරන්න. ඒවගේම Alloy rim තියෙන බයිසිකල් වලට බ්‍රේක් පලු හෙවත් බ්‍රේක් ෂූ දැමීමෙදී ප්‍රමිතියෙන්  බාල ඒවා පාවිච්චි නොකරන්න. එයින් rim එකට හානි සිදුවිය හැක.
මේ  සර්විස් වැඩේ යන කොටම තමන්ගේ උසට දිගට (දිගට කියන්නේ අත පය වල !) හරියන්න සයිකලය සීරු මාරු කර ගත යුතුය. මේ ගැන ජාලයේ අටෝරසියක් පිටු ඇත. නැතත් බයිසිකලයේ සීට් එකේ (Saddle) ඉඳගත්විට ඇඟිලි යාන්තමින් පොලොවේ වදින ප්‍රමාණයට සීට් එක උස් කර  ගත යුතුවේ. ( සමහර පොත් පත් වල තියෙන්නේ කකුල  දණහිසින් යාන්තමින් නැමෙන සේ සීට් එක උස් කර  ගත යුතු බවයි.) කෙසේ වෙතත් එක දෙයක්; සීට් එක හොඳින් උස්ව පවත්වා නොගතහොත් තම උපරීම කාර්‍යක්ෂනතාවයකින් පදින්නට නොහැකි වනවා සේම දණහිසේ ආබාධ ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක්ද පවතී. 
Bike එකට Water Bottle bracket එකක් තිබිය යුතුමය. ඒ වතුර ගෙනයන්නට නොව ජීවනී ගෙනියන්නටය! අවුල් වෙන්න එපා මේ හැම දේම  ගැන කතා කරනවා.
ඊලඟට Safety! ඔබ කෙතරම් කුඩා දුරක් පැදීමට ඇති අයෙකු වුවද Bike Helmet එකක් ගන්න.  Cycling short එකක්, පදින්න සපත්තු දෙකක් හරි Sandles දෙකක් හරි සෙට් කරගෙන වැඩේට බහින්න.  මේ වැඩේට පොඩි කලාවක්  Style එකක් එකතු අකර ගන්න.  
පොඩි First Aid kit  එකක් (බෙතඩීන්, ගෝස් ටිකක්, බැන්ඩේජ් රෝලක්, ප්ලාස්ටර් ටිකක්, ඔය ඩිස්ප්‍රින් පැනඩොල් වගේ පෙත්තක් දෙකක්, කුඩා කතුරක්සහිත ) ලඟ තබා ගැනීම අනිවාර්‍ය සාධකයකි.
මේ වගේ Branded Bike වල බොහොමයක් කොටස් ගලවන්න ඇත්තේ Allen Key ඇණය. මේ නිසාම ඔය Allen Key  එකක් දෙකක් ඉස්කුරුප්පු නියනක් වගේ ඕනම Tool එකක් දෙකක් අරන් යන්න අමතක  කරන්න එපා. මේ සියල්ල එකට තියෙන   Compact Cycling  Tool Kit වෙළඳ පොලේ ඇත. Decathlon එකේ තියෙනවා. ගානත් අඩුයි.
පාන්දරින් පිටත් වන්නේනම් ලයිට් එකක් නැත්නම් හෙඩ් ටෝර්ච් එකක් තිබිය යුතුමය. ඒ තමන්ට පාර බලාගන්නටය. මේ  වගේම පාරේ ගමන් කරණ අන් අයට තමාව පිටු පසට  සවිකල හැකි reflector එකක් අත්‍ය අවශ්‍ය වේ. මේ වට විට පසු පස සවිකරණ නැවත පන ගැන්විය හැකි  කුඩා පහන් වෙළඳ පොලේ ඇත. ඒවා නිවෙමින් දැල්වෙමින් ක්‍රියාත්මක වීම තුල පසු පසින් එන වාහනයකට තම්න්ව හොඳින් නිරීක්ෂණය කර ගැනීමට හැක!
තමන් Cycling පටන් ගන්න හදන එකෙක් නම් පලවෙනියෙම්ම කිලෝ මීටර් 2-5 දුරක්  පදින්න පටන් ගන්න. ඊළඟට ඒක 5-10 ට වර්ධනය  කරගන්න. ඊළඟට කිලෝමීටර් 20 ක් යනාදී වශයෙන් ටිකින් ටික දුර පදින්න පුරුදු වන්න.
දැන් ටිකක්  දුර පදින්නට හැකියාව ඇති නිසා Cycle Tour එකක් උනත් කරන්නට පුලුවන. රැකියාව සඳහා සයිකලයෙන් යන්නේ නම් එම ගමනට බොහෝ කඳු තියෙන පාරවල් තෝරා ගැනීම ඒතරම් හිතකර නොවේ   කිලෝමීටර 40 කට වඩා දුරක් පදින්නේ නම් මේ දුර කිලෝ මීටර් 15 - 20 දුරට බෙදා ගන්න. 20; 18 උනත් 22 උනත් 15 උනත්  කම් නැත. සාමාන්‍යයෙන් මේ වගේ ගමනකදී පැයට කිලෝ මීටර් 20 ක වේගයක් ලෙහෙසියෙන්ම පවත්වා ගත හැක. මේ සෑම කිලෝ මීටර් 20 කටම විනාඩි 15 ක Brake එකක් විවේකයක්  ගන්න .
ඒ සෑම තැනකදීම පොඩි ආහාරයක් ගන්න.   ග්ලුකෝස් ඇඟට ලැබෙන ජෑම් ගාපු පාන්, වියලි මිදි, රට ඉඳි, ආනමාලු, ආනමාලු, ආනමාලු, මේ ප්‍රින්ටින් මිස්ටේක් එකක් නෙවෙයි. ආනමාලු ඒතරම්ම වැඩේට  ගැලපෙන නිසාය.  
ඊලඟට මොනවාද බොන්නේ?  ජීවනී පැකට් 1ක් 2 ක් විතර අරන් යන්න කිව්වනේ. වතුර තිබහ හැදෙන හැම විටම ජීවනී නැතිනම් වතුර උගුරක් දෙකක් බොන්න!
ගමනට උදෙන්ම පිටත් වන්න. උදෙන්ම පිටත් වෙන තරමට වැඩේ පහසුය. වියළි කාළගුණයක් පැවතීම ආශිර්වාදයකි.  
ගමනේ ආරඹයේ සිට පලමු කිලෝ මීටර් 20-30 Hack නොවී පදින්නට වග බලාගන්න. තමන්ගේ පාදයට යාන්තමින්  හෝ බරක් දැනුනු වහාම පහත ගියර වලට මාරු කර ගෙන පදින්න. කාලය ගැටලුවක් කර නොගන්න. සයිකලයේ ඇති ඉදිරි පස ක්‍රෑන්ක් සෙට් එකේ දැති රෝදය පොඩි උන තරමට පැදීම පහසුය. කඳු නැගිය හැක. ලොකු දැති රෝදය මගින් චේන් එක දුව වන විට වේගය වැඩිය. පිටුපස ෆ්රී වීලයේ  කටයුතු මීට  ඉඳුරාම වෙනස් ය.  වේගයෙන් යන්නෙ පොඩි එකේය. කඳු අදින්නේ ලොකු එකේය.
ඕනෑම තද කන්දක් නගින අතරතුරේ වුවද; පිටුපස ගියර මාරු කල හැකි අතර ඉදිරි පස කොග් වීලයේ එලවුම  සාර්ථකව මාරු කල හැක්කේ කන්දට ප්‍රථමයෙන්ය! ඒනිසා කන්දක්  දුටු සැනින් අවබෝධයකින් ඉදිරිපස ගියර මාරු කර ගෙන  කන්දට මුහුනදෙන්න.
මෙය බෙහෙවින් බල පාන්නේ තද බල කඳු වලට පමනි! මොන තරම්  සැලසුම් සහගත් වුවත් පදින විට කිසියම් අපහසුවක් වෙත්නම් වහාම නවතා විවේක ගන්න.
මෙම ගියර් වල කාර්‍යය සහ ඒවා පිළිබඳව විශ්ලෙශණයක් මා "සයිකලයෙන් තල් අරණට 6" පෝස්ටුවට ඇතුලත් කොට ඇත. එහි උපුටනයක් පහත දක්වා ඇති අතර අවශ්‍ය නම් එය කියවා මේ පිළිබඳව හොඳින් තේරුම් ගත හැක!

Scott P6 Cog Set (Free wheel)




සයිකලයක වේවා වෙනයම් ඕනෑම; දම්වැලකින් එකිනෙකට අසම සම දැති රෝද දෙකක් පිළිබඳව; යාන්ත්‍ර විද්‍යාවේදී කථා කෙරෙණ මිනුම් දෙකක් පවතී. ඉන් එකක් වන්නේ ප්‍රවේග අනුපාතය (Velocity Ratio) හා යාන්ත්‍ර වාසිය (Michanical Advantage) යි. (සත්‍යවශයෙන්ම මෙය දම්වැල් දැති රෝද පමණක් නොව සෑම සියළු යන්ත්‍ර සඳහාම පොදු මිණිත එසේ නැතිනම් අගයයන් දෙකකි! මෙම මිණිත දෙක එකිනෙකට අනුලෝමව සමානුපාත වන අගයයන් දෙකකි. එනම් එක් රාශියක් උපරිම අගය ගන්නේ අනෙක් රාශිය අවම අගය ගන්නා අවස්ථාවේදීය!

ප්රවේග අනුපාතය ඉහළ යත්ම  ඉහළ යත්ම අපයන්ත්රය මත යොදන බලය මගින් ඇතිකරවන වේගයට සාපේක්ෂව වඩාත් වැඩි වේගයක් යන්ත්රය මගින් ලබා ගතහැහැක!යාන්ත් වාසිය ඉහළ යත්ම ප්රථිපලයේ වේගය අඩු උවද වැඩි ශක්ති ප්රමාණයක්  ප්රයෝජනයට ගත හැක!

මෙය ඉතා සරල උදාහරණයකින් මා පැහැදිලි කරණ්නේ නම් වාහනයක් වැඩිමවේගයකින් ගමන් කරණ්නේ එහි  5 වන ගියරයේ වුවද එම ගියරය කන්දක් තරණය කිරීමට භාවිතා කිරීමට නොහැකමෙහිදී කැපී පෙනෙන ගුනාංගය වන්නේ (Velocity Ratio) ප්රවේග අනුපාතයය.

එසේම පලමු ගියරය කන්දක් නැගීමට භාවිතා කලද ඉන් අධික වේගයකින් රථය ධාවනය කිරීමට නොහැක.මෙම භාවිතාවේදී කැපී  පෙනෙන ගුනාංගය වන්නේ (Mechanical Advantage) යාන්ත් වාසියය.

සයිකලයක ඉදිරිපස දැති රෝද තුනක් හා පසුපස දැති රෝද හතක් වේ නම් එය වේග විසි එකක සයිකලයක් ලෙස සැලකේ  3 X 7 = 21 ලෙසය

ඉහත වගුවේ දක්වා ඇති ආකාරයට  වේගය උපරිම වන්නේ ඉදිරිපස විශාලතම දැති රෝදය මගින් පසුපස අනු පිළිවෙලින් කුඩාම දැති රෝදයේ සිට අනුයාත දැති රෝද තුන භ්රමණය කරවණ විටදීය.එහෙත් පිළිවෙළින් 1 , 2 , 4 යන ස්ථානයන් අදිරිපස ලොකුම දැති රෝදය මගින් අත් පත් කරගෙන තිබුනද 3 වන් ස්ථානය දිනා ගෙන ඇත්තේ ඉදිරි පස ඇති දැති රෝද අතුරින් දෙවන විශාල දැති රෝදය මගින් කුඩාම දැති රෝදය දුවවන අවස්ථාවේදීය (Optimum Level of Velocity Ratio).

මෙසේම වැඩිම ප්‍රභලතාවයකින් එනම් වැඩිම යාන්ත්‍ර වාසියකින් යුතු අවස්ථාව Optimum level of Michanical Advantage එලඹෙන්නේ ඉදිරිපස කුඩාම දැති රෝදයෙන් පසුපස විශාලතම දැති රෝදය දුව වන අවස්ථාවේදීය.

ප්රවේග අනුපාතයේ හා යාන්ත් වාසියේ ප්රශස්ථ මට්ටම් සැලකිල්ලට ගෙන බැලූවිට වේග 21 තිබූ පමණින් එම වේග සියල්ලම ප්රයෝජනයට ගැනීම අරථශූණ්ය ක්රියාවක් බව පෙනී යනු ඇතඒට අමතරව ඉදිරිපස විශාලතම දැති රෝදය පිහිටන්නේ සයිකලයේ දකුණු පසයදම්වැල මෙම දැති රෝදය වටා දිවෙන විට පිටුපස දැති රෝද වම් පසට බොහෝ දුරකට දුවවනු නොහැකමන්ද එවිට දම් වැලඉදිරිපස දැති රෝද තුන අතර දම්වැල මාරු කරවන (Derailleur) ඩිරෙයිලරයේ දම්වැල නිරතුරුවම ගැටෙන්නට පටන් ගනීමන්ද දම්වැල සයිකලයේ තිරස් අක්ෂයට සාපේක්ෂව විශාල කෝණයකින් හැරෙණ හෙයින් !

 එවිට ප්රයෝජනයට ගනු ලබන්නේ

1.ඉදිරිපස විශාලතම දැති රෝදය සමග පිටුපස කුඩාම දැති රෝද තුන,

2. ඉන්පසුව ඉදිරිපස දැතිරෝද අතුරිණ් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා දැති රෝදය සමග පිටුපස දැති රෝද පද්ධතියේ මැද පිහිටි දැති රෝද දෙකද

3.ඉන්පසු මාර්ගයේ ස්වභාවයට අනුකූලවන පරිද්දෙන් ඉදිරිපස කුඩාම දැති රෝදය සමග පසුපස විශාලතම දැති රෝද ද්විත්වය සේවයේ යොදවයි.

මේ සියල්ල සමග මෙය වේග නවයක හෝ දහයක සයිකලයක් බවට පත්වේඉහතවගුවේ වර්ණ ගන්වා ඇත්තේ ප්රයෝජනයවත් ගියර නවය හෝ දහය වේඑවිට මූලික වශයෙන් සයිකලයේ ඇති ප්රයෝජනවත් වේග 7ක්, 8ක්, 9ක් හෝ 10ක් පමනක් වේඑකිනෙකා හුරුවූ   අයගේ සිරුරට අනුගතවූපැදීමේ වේගයක් පවතීකාලයපුහුණුව වැනි  විවිධවූ කරුණු කාරණා රාශියක් මත වෙනස් විය හැකඅප සයිකලය පැදිය යුත්තේ එම වේගයෙනිගමන් මාර්ගයේ පවතින භූගෝලීය සාධක , පාරිසරික බලපෑම කාලගුණික දේශගුණික තත්වයන් ස්වකීය වෙහෙස මහන්සිය හෝ වැනි සාධක මත තමන්ට අනුගත පැදිමේ වේගය අඩුවේ.

එසේ පුරුදු පුහුණු කරගත් ස්වකීය වේගය හෙවත් රිද්මය පවත්වා ගෙන යන්නේ සයිකලයේ ගියර අදාල ආකාරයට  ගියර මාරු කිරීමෙන්යආයතන වල සේවය කරන අප අතර කියමනක් වේඑනම් “එකට කෑවත් බෝනස් වෙනස් !” කියායඑසේම එකටඑක මග පැද ගියද තම සයිකලයේ ගියර මාරු කලයුත්තේ තම අභිමතය පරිදියතමා ඉදිරියෙන් පදින ප්රවීණයා ගියර මාරු කිරීමේදී අනුගමනය කල යුතු නැතතමාට සුදුසු පරිදි තම සයිකලයේ ගියර මාරු කිරීමේ අභිමතය තමන් සතුයඑසේම “මම  කන්ද පැද්දේ ගියර් මාරු නොකර ...!” වැනි වීර කාව් වල එතරම් වටිනාකමක් මා නොදකිමි.

මන්ද සිදු වියයුත්තේ තමන් සතු යන්ත්රය හැකි උපරිමයෙන් තමන්ගේ   පහසුව සඳහා සුදුසු පරිදි යොදා ගැනීම විනා දුක් විඳීම නොවන්නේය.   අප පළමුවෙන් මෙම ගමන පිටත්වනවිට මිමිණූ ප්‍රියාගේ ගේ “ප්‍රණීත මී පැණි .......” ගීතයේ රිද්මය පවත්වාගෙන යමින් එකම වේගයකින් පැදීමට නම් කඳු පල්ලම් හමුවේ අදාළ ගියර වලට යොමු වෙමින් ගමන් කල යුතුවේ

 Bridgestone X3 Cog set (Free wheel) 

සාමාන්‍යයෙන් Cog set එකක නැතහොත් දැති රෝද කට්ටලයක  කුඩා දැති රෝද High gear wheel වල සිට ලොකු දැති රෝද Low gear wheel දක්වා ඇත්තේ ක්‍රමික විශාලනයකි. ඉහත රුපයේ දැක්වෙන්නේ Bridgestone X3  නම් Stunt සයිකලයකින් ඉවත් කළ ෆ්රිවිලයක් හෙවත් Cog set එකක් දක්වා ඇත. බලන්න එහි ඇති ලොකුම දැති රෝදය. එහි දැති 34 ක් ඇත! එයට ආසන්නතම දැති රෝදයේ ඇති දැති ගණන 24 කි! මෙවන් දැති රෝද වලට කියන්නේ Super low gear wheel කියාය. මෙම සයිකලයේ ඉදිරිපස කුඩාම දැති රෝදයේ දැති ගණන 28 කි.එම ඉදිරිපස දැති රෝදයෙන් මෙම දැති 34 කින් සමන්විත සුපර් ලෝ ගියරය එළවෙන විට ලැබෙන යන්ත්‍ර වාසිය (Mechanical Advantage) 34/28 = 1.21 කි!

(ඉහතින් දැක්වෙන වගුවට අනුව පිටුපස කොග් සෙට් එකේ හෙවත් ෆ්රී වීලයේ; දැති 28ක් සහිත  විශාලතම  රෝදය වෙනුවට මෙගා වීලයක් හෙවත් දැති 34 රෝදයක් යෙදූ විට සයිකලයේ යාන්ත් වාසිය/ Mechanical Advantage බොහෝ සෙයින් ඉහළ මගින අයුරු බලන්න. එවිට සයිකලය පැද යාමේදී බොහෝ බාධක බිඳ හෙලිය හැකිවනු ඇතමෙම උපක්රමය මා මව් බිම වටා ගිය ගමනේදී උපයෝගී කර ගත්තෙමි! )

ස්ටන්ට් රයිඩර්ස්ලා ගල් උඩ, තාප්ප උඩ සයිකලයෙන් වැඩ පෙන්වන්නේ මේවයේ ආනුභාවයෙනි. අපි කතාවටගහේ ගලේ උනත් යන්නට හැකි!” කියන්නේ මේවාටය.

සාමාන්‍යයෙන් අපට හෘද ස්පන්දන වේගය පාලනය කර ගැනීමට අපහසු වූවාට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ වේගය පාලනය කර ගැනීමට පුළුවන. සත්තකින්ම ආශ්වාස ප්‍රාශ්වාසය හෙවත් හුස්ම ගැනීම හා හෙලීම තමන්ට පහසු රිද්මයක පවත්වා ගෙන එම රිද්මයන අනුකූල වන වේගයකින් සයිකලය පැද යෑමට උත්සාහ කල යුතුය. උදාහරණයක් ලෙස එක් ආශ්වාසයකට එක් වටයක් එක් ප්‍රාශ්වාසයට ඊළඟ වටය යනාදී වශයෙන්. ආශ්වාසය හා ප්‍රාශ්වාසයේ වෙගයට නො එසේනම් එම රිද්මයට ගැලපෙන ආකාරයට ඊට ගැලපෙන වේගයෙන් ඔබට පැදීමට නොහැකිවේනම් ඔබ වහාම සයිකලය වඩාත් පහල ගියර සැකැස්මකට සකස් කර ගත යුතු වෙනවා. එවිට පැඩලය වඩාත් පහුවෙන් ක්‍රියා කල හැකිවන බැවින් වේගය ඉහල දමා; ආශ්වාස ප්‍රාශ්වාස වේගයට පැදීමේ වේගය තූලනය කරගත හැක (සින්ක් කරගත හැක)! මේ අභ්‍යාසය ඔබ හොඳින් කිරීමට පුරුදු පුහුණුවූ විට තමාට පැද යාමට ඇති කන්දක්, තැන්නක් හා පල්ලමක් පසු කරණා විට ඊට ගැලපෙන වේගයට ගියර සැකැස්ම සකසා ගැනීමට ඔබ පුහුණු වේ. ඔබ හිතන්න එක් කන්දක නො එසේනම් නැග්මකදී ඔබට ආශ්වාස ප්‍රාශ්වාස වේගය හා සයිකලය පැදීමේ වේගය එනම් පැඩ්ල් කිරීමේ වේගය ගලපා ගත නොහැකි වනවා නම් ඔබ ඒ මොහොතේ පදින්නේ ඔබට ගැලපෙන ගියර සැකැස්මේ නොවන බව තේරුම් ගන්න!

දිනපතා සේවා ස්ථානයට ගමන් කිරීමට සයිකලය තෝරා ගැනීමට ඔබ සිතා සිටින්නේ නම් සේවා ස්ථානයට ගොස් ස්නානය කර ඇඳුම් මාරු කර ගැනීමට සුදුසු ස්ථානයක් හා ඇඳුම් සූදානම් කර ගත යුතුය. මාගේ වසර දහයක වැඩි පලපුරුද්ද තුල සෑම දිනෙකදීම ඇඳුම් ඉස්තිරික්ක කොට හොඳින් නවා රැගෙන ගිය අතර කාර්‍යාලය සඳහා අඳින  පාවහන් එහිම තබා තිබුනේය.  මා සයිකල් පැදීම පාවිච්චි කලේ සැන්ඩ්ලස් ජෝඩුවක් වන අතර එය වැස්සටත් අව්වටත් එකසේ ඔරොත්තු දුන්නේය. ඇඳුම් හා අනිකුත් කාර්‍යාල අඩුවැඩිය මා රැගෙන ගියේ ඩ්‍රයි බෑගයක දමා බැක් පැක් එකක් තුල හුවා කරේ එල්වාගෙනය. ඩ්‍රයි බෑගයක් සපයා ගැනීමට නොහැකි වේ නම් ඒ සඳහා පොලිතින් බෑගයක් වුවද පාවිච්චි කල හැක.


තමා සතු සයිකලය කලක් පැද නැතිව තිබූ එකක් නම් සයිකලය සම්පූර්ණ සේවාවක් කර ගන්න. එහි රෝද හබ් සහ ඇක්සල්, බෝල නිවැරදිව ඇත්දැයි කාර්මිකයාගෙන් අසා දැනගන්න. දෝශ වෙතොත් අළුතින් යොදන්න.
බැක් පැක් එකක තමාගේ ඇඳුම් අසුරා ගන්න. සයිකල් ෂෝර්ට් එකක් (මෙය නියමිත එකක් මිසක සයිකලයක් පදින්නට අඳින ඕනෑම කොට කලිසමක් නොවේ) ටීෂර්ට් එකක් හෝ සයිකල් ජර්සියක්, අත් වැසුම්, හෙල්මට් එක පලඳින්න. මා කඩවත සිට රත්මලානට සේවය සඳහා සයිකලයෙන් යද්දී  "183. හතරවැනි ඇන් ඇක්සිඩන්ට් එක!" ලෙස ලියා ඇති; මැලිබන් හංදියේදී සිදුවූ අනතුරෙන් මාගේ ඇඟිලි හා අත්ල බේරුනේ ආදරණීය අත් වැසුම් යුවලක පිහිටෙනි. නියමිත ඇඳුම් හා හිස් ආවරණය සහිතව සයිකල් පදින්නෙකු; අන් අයගේ කිසියම් සැලකිල්ලකට භාජනය වේ.
සයිකල් පදින්නන් වඩාත්ම අනතුරු වලට මුහුණ දෙන කාරණයක් ලෙස බල්ලන්ගේ ආක්‍රමණ හඳුන්වා දිය හැක. බොහෝ විට බල්ලන් කලබලයට පත්වන්නේ අපගේ ඉහල පහල යන පාද දුටු විටය. බල්ලෙකු පසු කරණ විට සයිකලය නොපැද යෑමට හැකිනම් ඉන් යහපත් ප්‍රථිඵල ලබා ගත හැක!

සමකය ආසන්නයේ පවතින රටක ජීවත්වන අප පරිසරයේ උෂ්නත්වය හා ආර්ද්‍රතාවය යන කාරණා හේතුකොට ගෙන මහත්සේ වෙහෙසටත් තෙහෙට්ටුවටත් පත් විය හැක. මේ පිළිබඳ වගුවක් අන්තර්ජාලයේ පවතින අතර ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරණ්න!
මහා මාර්ගයක පැද යාමේ දී බොහෝ විට අන් මෝටර් රථ, මෝටර් බයිසිකල්, ත්‍රී වීල්, බස් වැනි දේ වලින් සිදුවිය හැකි අනතුරු ඉතා ඉහලය. මේ නිසාම අප සයිකලය පැදිය යුත්තේ මහත්වූ අවධානයෙන්ය. ඉදිරියේ ගමන් කරණා රථය ඕනෑම අවස්ථාවක නැවැත්වීමට ඉඅඩ ඇති බැවින් ඒ පිළිබඳව සූදානමින් යන්න!
තමාව ඉස්සර කරමින් ධාවනය වන රථය ඊළඟ මොහොතේ තමන්ගේ ගමන් පථය මුළුමණින්ම අවහිර වන ලෙස නැවැත්විය හැක!!
හැම මොහොතකම තමාගේ උරහිස ඉදිරියෙන් දෙපස බැලීමට පුරුදු වන්න. පිටුපස එන වාහනයේ හඬින් තමා මොනතරම් අවධානමක සිටින්නේදැයි තේරුම් ගත හැක.
මහා මාර්ගයක පැද යාමේ දී බොහෝ විට අන් මෝටර් රථ, මෝටර් බයිසිකල්, ත්‍රී වීල්, බස් වැනි දේ වලින් සිදුවිය හැකි අනතුරු ඉතා ඉහලය. මේ නිසාම අප සයිකලය පැදිය යුත්තේ මහත්වූ අවධානයෙන්ය. ඉදිරියේ ගමන් කරණා රථය ඕනෑම අවස්ථාවක නැවැත්වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සූදානමින් යන්න!
තමාව ඉස්සර කරමින් ධාවනය වන රථය ඊළඟ මොහොතේ තමන්ගේ ගමන් පථය මුළුමණින්ම අවහිර වන ලෙස නැවැත්විය හැක!!
හැම මොහොතකම තමාගේ උරහිස ඉදිරියෙන් දෙපස බැලීමට පුරුදු වන්න. පිටුපස එන වාහනයේ හඬින් තමා මොනතරම් අවධානමක සිටින්නේදැයි තේරුම් ගත හැක.
සෑම හැරවීමකදීම පසු පසින් ධාවනය කරණ්නාවූ වාහනයට ඒ බව සංඥාවකින් දැනුම් දෙන්න!


තවත් කරුණු රාශියක් ලියා තැබීමට ඇති වුවද; මෙතැනින් නැවතී ඉදිරියේ තවත් කථා කරමු!
සැ: යු:
මීට පෙර මා ලියන ලද ලිපියක දැක්වූ අදහසක් බොහෝ දෙනා වරදවා තේරුම් ගෙන තිබුනා. සයිකල් පැදීම සියළු රෝග නිවාරනය කරණ්නාවූ ව්‍යායාමයක් නම් නොවේ.  උදාහරණයක් ලෙස රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම පහත් හෙලීමට මින් සෘජු හැකියාවක් නොමැත! ඒ සඳහා  ඖෂධ ගත යුතු වේ. එහෙත් අහාර සීමාකර දිගින් දිගට සයිකල් පැදීමේ නියුතු වන්නෙකුගේ කොලෙස්ටරෝල් මට්ටම පහත බසින්නේ නම් අපට නිගමනය කලයුතු වන්නේ අප දිනපතා ගන්නා ආහාර වල ඇති මේධ කොටස් සයිකල් පැදීමේදී වැය වී ඇති බවත් අප ගන්නා ආහාර  වල ඇති කිසියම් ඖෂධීය වටිනාකමකින් යුතු සංඝඨක මගින් රුධිරයේ ඇති කොලෙස්ටරෝල් දියවී අඩුව ගොස් ඇති බවත්ය. ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අධික වේ නම් සයිකල් පැදීමෙන් එහි ඇති අනතුර පහව යැයි කියා මොහොතකටවත් සිතන්නට එපා. මම එසේ පවසන්නේ වගකීමෙනි!
එසේම මෙම උත්සාහය; තවත් විනෝදාංශයක් ජීවිතයට එක් කර ගැනීමේ අරමුණෙන් කිරීමට කරණ්න. රටට ඩොලර් ඉතිරි කිරීමට හෝ රට වැටී ඇති තැනින් ඉහලට එසවීමට මෙමගින් හැකිවේ යැයි රැවටෙන්න එපා! රට හොඳ තැනක තිබුනා නම් ඔබ අද දිනයේ පදින්නේ මීට වඩා තාක්ෂණයෙන් ඉහල සයිකලයක් බව සිතට ගන්න!
එහෙත් සයිකලය යනු ජීවිතයට එක් කර ගත යුතුම මෙවලමකි. ඔහු කිසිදා ඔබව තනි නොකරණ්නේය!

කලගෙඩිහේනේ සයිකල් එකලස් කරණ තැන!

61 comments:

  1. බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බයිසිකල් සොමිය

      කොහොම හරි අන්තිමේදි බයිසිකලයක් හිමිකරගැනීමේ වාසනාව මට ලැබුන 😃 මගේ ජීවිතේ වැඩිම වියදමක් දරපු බයිසිකලේ. මෙච්චර කාලයක් සැරින් සැරේට රුපියල් පන්දාහට හයදාහට බයිසිකල් ගත්තත් කවදාවත් බයිසිකලේක වටිනකම හරියට දැනුනෙ නෑ. ඒවා පදින්නෙත් නැතුව පැත්තකට දාලා තිබිලා අන්තිමට කාට කාට හරි තෑගි දුන්නා. බයිසිකලයක් ඕනම වෙලාවට බයිසිකලයක් ගන්න විදිහක් නැතුව ළතවුනා.

      බයිසිකල් ඔක්කොම වගේ රුපියල් පනස්දාහට වඩා ගනං ගිහින්. එහෙම ගෙව්වත් ගන්න තැනකුත් නෑ. ඇත්තටම කිසිම වටිනාකමකට පාත්‍ර නොවී තිබුනු මේ පුංචි මැෂිමට ඒ වටිනාකම ලැබෙන එක හොඳයි.

      හැමදාම බයිසිකල් පදින කෙනෙකුට ඒකෙ අසිරිමත් බව ගැන කතා කරන එක විකාරයක් වගේ වෙන්න පුළුවන්. මේක හරියටම අලුත් ප්‍රේමයක් වගේ. හැමදාම ලව් කර කර හිටපු උන්ට සමහර විට ඒක වාතයක් වෙලා තියෙන්නත් පුළුවන්. ඒත් හැම අලුත් ප්‍රේමයකම තියෙනවා ඊට කලින් අත්නොවිඳි අසිරියක්. බයිසිකලයත් ඒ වගේමයි.

      කාලෙකට පස්සෙ ප්‍රධානතම ප්‍රවාහන ක්‍රමය විදිහට බයිසිකලය තෝරගත්තම මාව ආපහු ඕලෙවල් කාලෙට ගියා. බයිසිකලෙන් බහින්නෙම නැති කාලයක් ඒක. ඒ කාලෙ බයිසිකල්වල පොල්ල උඩත් යාලුවෙක් දාගෙන පදින්න පුළුවන්. දැන් බයිසිකලය වඩාත්ම හුදකලා අත්දැකීමක් වෙලා තියෙනවා. පොල්ල උඩ විතරක් නෙමෙයි හැන්ඩ්ල් එකේ පිටිපස්සෙ ලගේජ් එකේ, අන්තිමට රෝදෙ හයි කරලා තියෙන ඇනේ උඩත් යාලුවො දාගෙන බයිසිකල් පදිනවා. බ්‍රේක් ඇති නැති එකවත් අදාල කාරණයක් වුනේ නෑ. කොහේ හරි ලන්දකට, වෙලකට හරවලා නවත්තගන්නවා.

      ඒ කාලෙ කෙල්ලො බලන්න යන්නෙත් බයිසිකලේ. කෙල්ල ඉස්සරහින් යද්දි අපි කතා කරන්න ට්‍රයි කර කර පස්සෙන් බයිසිකල් පදිනවා. කවදා හරි කෙල්ල වැටු‍නොත් පොල්ල උඩ යන යාලුවාට සීට් එක අහිමි වෙනවා.

      අපි පංති ගියේ පානදුරේ. මොරටුව වැල්ල අයිනෙ පාර දිගේ හැමදාම හවස බයිසිකලේ පැදගෙන යන එක හරිම ආතල් වැඩක් වුනා. පංති ඇරිලා එන වෙලාවට වැල්ලෙ වාඩිවෙලා සිගරට්ටුවක් බෙදාගෙන බීලා, සල්ලි තිබුනොත් අරක්කු කාලකුත් බෙදාගෙන ගහලා රෑ වෙද්දි ගෙදර පදිනවා.

      අද කාලෙකට පස්සෙ බයිසිකල් පදිද්දි ඒ පරණ මතක පටුමගවල් දිගේ ආපහු යන්න ලැබුන. ඒ කාලෙ දැනුනු හැගීම්ම ආපහු දැනෙන්න ගත්ත. බයිසිකල් පදිද්දි තියෙන වටිනම දේ කිසි කෙනෙකුට දුකෙන් කණස්සල්ලෙන් බයිසිකල් පදින්න බැරි එක. අනිවාර්යෙන්ම සතුට අරගෙන එන බයිසිකල් පැදීමේ ලකුනක්.

      වාහනයක යද්දි අපි බාහිර පරිසරයෙන් වෙන්වූ බුබුළකයි යන්නෙ. ඒකෙත් වෙනම ආස්වාදයක් තියෙනවා. පයින් යද්දි අපි තනිකරම ඒ පරිසරය ඇතුලට යන්නෙ. බයිසිකලේක තියෙනවා මේ දෙකම අතරමැදි තැනක්. හාත්පස හැමදේටම මුහුවෙමින් නමුත් පුද්ගලිකත්වයක්, වෙනස් වේගයක් එක්ක චලනයක්. කකුල්වල දැනෙන මිහිරි වේදනාවක්.

      ඉස්සර බයිසිකල් වගේ නෙමෙයි දැන් ඒවායේ තාක්ෂණය සෑහෙන දියුණුයි. ඒ කාලෙ අපි පැද්දෙ කොහොමද කියල හිතෙනවා. දැන් ඇත්තටම බයිසිකලයක් කියන්නෙ සුඛෝපභෝගී අත්දැකීමක්.

      මේ බයිසිකලේට ම‍ාරුවෙන එක අනිවාර්යක් නොවී තෝරාගැනීමක් වුනා නම් හොඳයි කියල ගොඩක් අය කියනවා. තියරිටිකලි ඔව්. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ. උදා විදිහට මට මතකයි නාමල් රාජපක්ෂද කොහෙද සෑහෙන වෑයමක් දැම්මා බයිසිකල් ෆන් එකක් ඇති කරන්න. ඒක සාර්තක වුනේ නෑ. ඒකට මේ පිළිගැනීම, මගහැරිය නොහැකි අවස්තාව ලැබුනෙ නෑ. ඒ නිසා මේ විදිහට මාරු වුන එක ගැන මට ලොකු චෝදනාවක් නෑ. ඒක ජීවිතේ දුප්පත් මාරුවක් නෙමෙයි. ජීවිතේ පොහොසත් කරන මාරුවක්.

      නමවෙනිදා හැමෝම කොළඹ එන හින්ද මං ගාල්ල පැත්තට බයිසිකල් පදින්න හිතුවා. බීච් එකේ නාලා, රෑට නැවතිලා ආපහු පහුවෙනිදා කොළඹ පදිනවා. අවසන් සටන අවසන් කරලා කට්ටිය ගෙවල්වලට ගිහින් තියෙයි එතකොට 😊

      Delete
  2. ඉතාම වැදගත් ලිපියක්. පාපැදි සහ ඒවා භාවිතය ගැන සිංහල භාෂාවෙන් පලවූ අගනාම ලිපිය මෙය විය හැකියි.

    මගෙත් පාසල් යන අවධියේ සයිකල් දෙක තුනක් තිබුනා. එම අවධියේ නම් අමතර පන්ති යාමේදී සයිකල් එකේ ගියේ. වැඩි දුරක් නෙමේ. යන්න එන්න දෙකටම කිලෝමීටර් 10 ක්‌ වගේ ඇති.

    අද දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිවේදනය කරා සයිකල් ධාවනයේදී ඒවායේ ප්‍රතිදීප්ත පහනක්, රාත්‍රියේ නම් විදුලි බල්බයක්, ධාවකයා ආලෝකය පරාවර්තනය වන ඇදුම් අදින්න වගේ දේවල්.

    ජපානයේ ඉන්නා කෙනෙක් කිව්වා එහෙ ඉතාම ජනප්‍රියයි මමාචාරි වගේ නමක් කියන පාපැදිය. ඒකෙලු ගොඩක් අය ෂොපින් යන්න, දරුවන් රැගෙන යන්න භාවිතා කරන්නේ.

    ලංකාවේ තියෙන අධික උණුසුම සහ මාර්ග වල රථ වාහන අනතුරු වැඩි නිසා තමයි පාපැදි ධාවනයට ඇතැමුන් බය. වසරකට රිය අනතුරු නිසා මිනිසුන් දහසක් පමණ මිය යද්දී එයින් සීයකට ආසන්න ප්‍රමාණයක්‌ පාපැදිකරුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව්! සාමාන්‍යයෙන් බොහෝ රියදුරන් අමතක කරණවා; ඔහු හෝ ඔහුගේ තාත්තාවත් සයිකලයක් පාවිච්චි කලා කියලා. බොහෝ අවස්ථාවලදී මහ පාරේ රියැදුරන් සමග ගැටුම් ඇති වෙනවා. ඒත් මේ වැඩේ නවතා දමන්න ඒක හේතුවක් කර ගන්න එපා කියලයි මම නම් කියන්නේ. මොකද මේ රට විනය ගරුක රටක් වී එහි සයිකල් පදිනවා කියන එක ජුවානිස් බුදු හාමුදුරුවෝ ලෝකෙට එන කාලෙදිවත් බැරි වෙයි. (ජුවානිස් බුදු හාමුදුරුවෝ - මේක අපේ තාතගේ පරසිදු යෙදුමක්!)

      Delete
  3. අති විශිෂ්ඨ ලියමන.සයිකලය හා පැදිල්ල ගැන අගනාම සටහන.
    පජාත ආණ්ඩුව අප මහා මගට ඇද දැමූ නිසා බයිසිකල් පැදීම සැමතන්ම ශරීරයටත් පොකැට්ටුවටත් හොදනිසා පදිමි. නැවතත් අගයමි.

    ReplyDelete
  4. දැං කොහොම හරි අමාරුවෙන් බයිසිකලයක් ගත්ත එකාට වගේම ගෙදර එකක් තියෙන එකාටත් ටයර් වල ගණං ඇහුවම රිම් එකෙන් තමයි යන්න වෙන්නෙ.

    හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපි රිම් එකෙන් තමයි බං දැක්ස් සෑහෙන දවසක ඉඳන් යන්නේ!?

      Delete
  5. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සයිකල් තිබෙනවද?

    ReplyDelete
    Replies
    1. ලුමාලා
      https://lumala.lk/about-us/
      https://lumala.lk

      Delete
    2. Lumala
      සමහර විට කොටස් ගෙන්නලා, එකලස් කරනව වෙන්නත් ඇහැකි.

      Delete
    3. ඇත්තටම නිශ්පාදනය කරනවද කියලා ඇහුවාම නම් උත්තර දෙන්න අමාරුයි. මෙහේ එකලස් කරණ ඒවානම් කිහිපයක් තියෙනවා. රැලේ සයිකලෙත් මෙහේ සවි කරණවා. ඒ වගේම DSI Bike එතනිං ගියාම Decathlon ලා ගාව තියෙන BTWIN, තව කලගෙඩිහේනේත් තියෙනවා පාර අයිනෙම සයිකල් එකලස් කරණ තැනක්! එතනින් සයිකල් ගන්නත් පුළුවන්. ගානත් අඩුයි. ඒක දාලා තියෙන්නේ DSI එකේ වැඩ කල නෝනෙක් කියලයි ආරංචි!

      Delete
  6. අයියා දෙයියෙක් නෙවෙයි දේවාලයක්

    ReplyDelete
    Replies
    1. පූජා වට්ටියක් එහෙම අර වරෙං! එහෙම නෙවේ බං දැන් පදින්න පටන් ගනිං හොඳ කොල්ලා වගේ!

      Delete
  7. කාලෝචිත ලිපියක්. බොහොම අගනා වැඩක්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ටිකක් මහන්සිනම් උනා මේක ලියන්න! ඒත් හරියටම ලියවුනා දැයි කියලා නම් සැක සහිතයි! කොහොම උනත් කියවන්න ආපු එකට නම් එකෙන්ම සතුටුයි!

      Delete
  8. Cycling හොඳයි නෙන්නං දෙකක් නැත
    අවමය 32 කි, ඒකත් ඉතුරු වෙත
    ඉන්ධන දහනයක් එහෙමත් වෙන්නෙ නැත
    සයිකල් හොඳයි! මිළ අහසට නැඟී අත!

    ReplyDelete
  9. අනේ ඔව් නිදි මහත්තයා! මේ පසික්කාඩු ආණ්ඩුව මේ වෙලාවේ හරි සයිකල් ටිකක් මෙරටට ලාභෙට හරි නොමිලේ හරි ගේන විදියක් ප්ලෑන් කලා නං!?

    ReplyDelete
  10. නියමයි. පෙර ලිපිවල තිබුණු කරුණු එක ලිපියකට ගත්ත එක අපිට බොහෝ පොරෝජං. 1. කලගෙඩි හේනේ ආයතනයේ නම දන්නවද?
    2. "සමකය ආසන්න.." වාක්යයෙහි "උත්ස්වේදනය" යන වචනය භාවිතා කලේ හිතාමතාමද?

    ReplyDelete
    Replies
    1. 1. හන්දියට මීටර 25ක් ඇතුලත; කොළඹ සිට නුවර දෙසට යනවිට පාරෙන් දකුණු පැත්තේ තියෙන්නේ. හෙට මම ඒ පැත්තට පදින්නයි ඉන්නේ. ගියොත් තව විස්තර හොයාගෙන එන්නම්.
      2.මෙම ලිපියට මෙම කරුණ ඇතුලත් කරන්නයැයි මට මතක් කලේ; දැනට ඕමානයේ රැකියාව කරණ ෂානක රාජකරුණා. මෙතනදි සමකය ආසන්න කියන එකෙන් මා අදහස් කලේ උෂ්නාධික බව කියන්න. අප රටේ කොහොමත් උත්ස්වේදනය ඉහලයි. මේ දෙක අතර සම්බන්ධතාවයක් තිබෙන වගුවක් තියෙනවා. ඊට අදාලව; සමහර දින වල සමහර ප්‍රදෙශ ..... ලෙස නම් කොට ඇති දිනවලදී සයිකල් පැදීම පිළිබඳව දෙවරක් සිතන්නට වෙනවා. ෂානක මේක දැක්කොත් වැඩි විස්තරයක් ලියාවි!

      Delete
    2. ස්තූතියි මචෝ. උත්ස්වේදනය සිදුවන්නේ ශාක වල. පුටිකා තුලින් ජලය වාෂ්ප ලෙස පිටවීමේ ක්රියාවලිය. මිනිසුන් ගේ ශරීරයෙන් ජලය පිටවන්නේ මුත්රා, ස්වේදය (දාඩිය ) සහ ප්රශ්වාස වාතය සමග නේද?

      Delete
    3. මාර අවුලක්නේ මේ Humidity කියන එකට දුන්නු හිංගල වචනෙ! සමාවෙන්නෝන දෙසිය ගානට. මේක අර්ද්‍රතාවය වෙන්නෝන! ඊළඟ කේස් එක අද මම ගියා නිට්ට්ඹුවේ. ගිහිං එන ගමං අර සයිකල් හදන තැන පිංතූරයක්ම ගහං ආවා. ඒක මගේ බ්ලොග් පෝස්ටුවේ යටිං එල්ලන්නං. වැඩේ වෙන්නේ තව පැය 2 කින්. මේ කරුවලේ ඉඳං පෝං එකෙන් කොටන්නේ!

      Delete
    4. වස්තුවේ! අන්න බ්ලොග් පෝස්ට් එකේ යටින් අර පිංතූරෙ එල්ලුවා! දැන් බලන්න!

      Delete
    5. බොහෝම පින් සහෝදරයා. ඔබගේ දැනුම අත්දැකීම් සමගම බෙදා හදා ගැනීම හදවතින්ම අගය කරමි.

      Delete
  11. අම්මටසිරි මේවා දන්නේ අදනේ, අපි බයිසිකල් පැද්ද කාලේ මේව්වා තිබුනේ නැ කිරි පුතේ. එක කොග් වීල් එකයි ෆ්‍රීරි වීල් එකයි. සමහර වෙලාවට බල්ලෝ නැ කියලා එක පදින්න බැ.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව් සර්! අපිත් දැනගත්තේ පදින්න පටන් ගත්තාම තමයි. අපිත් අපේ සයිකල් ජීවිතේ පටන් ගත්තේ රැලේ, හම්බර්,රජ්, බී ඇස් ඒ, ෆ්ලයිං පිජන්, ෆීනික්ස්, ආර් ඇම් අයි වගේ ඒවායෙන් තමයි.

      Delete
    2. ඇයි කිරිපුතේ බල්ලො නැත්තෙ? වරෙන් අපේ ගම පැත්තෙ, ඔය සයිකල් කට්ට පැදගෙන, මම ගේන්නං හන්දියෙ වල් බලු සැට් එකම. හැබැයි ගොයියො, උන් වසයි. සුවනියර් වලට කලසං කකුල්, සෙරෙප්පු එහෙම දීලා යන්න වෙයි.🤔😂

      Delete
    3. ඔහෙට කියන්න සෑර්, ඔය පදින්න බෑ කියල හිමීට යන රයිඩර්ලා අපිව දැක්ක ගමන් යන්නෙ රොකට් වගේ. දන්නවා, පමා වුනොත් අපි දිග කලසං, කොට කරල දෙනවා කියලා.

      Delete
    4. කොහෙද ටොමියෝ උඹ හිටියේ? දැන් බ්ලොග් ලෝකෙන් ඈත්වෙලාවත්ද? ටොමියෙක් දුන්නු හොඳ ටොපියක් ගැන මම පෝස්ට් එකක්ම ලියලා තියෙනවානෙ; ඇන් ඇක්සිඩන්ට් යටතේ!

      Delete
    5. මටත් ඔවා වැඩි තේරුමක් නැ ටෝමියෝ (අම්මපා කොහෙද බන් මකබැ උනේ) ෆ්‍රීරි ව්‍ල් එකට දෙකට නමලා දාන බල්ලෝ ඉන්නවද උඹේ හන්දියේ?
      මම විජේබාහු

      Delete
    6. @ විජේ/ Thattayagekolama
      මේ දවස්වල කෝඩෙ සෑර්. මස්කට්ටක් දැකපු කාලයක් මතක නෑ. ඔක්කොම එපා වෙලා ඉන්නෙ. ඒත් මේ වගේ වැදගත් ලිපියක් දැක්කාම නොබුරා ඉන්න කොහොමද?

      දෙකට නමලා, ෆ්‍රීරි ව්‍ල් එකට දාන්න බැරි වුනාට, බල්ලො නෑ, පදින්න බෑ කියන එකට බේත් නං තියේ .

      Delete
  12. තට්ටයා,

    මෙම බ්ලොග් අඩවියට මා විසින් එවන කොමෙන්ටු ඩිලීට් කරන්නේ සහ, මේ වන විට ඒවා පල නොකරන්නේ ඇයි? ඒ සදහා පිළිතුරක් බලාපොරොත්තු වෙමි. පිළිතුරක් දෙන්නේ නම් මින් පසු මේ සදහා කොමෙන්ට් පල කිරීමට හෝ නොකිරීමට තීරණය කරමි.

    ReplyDelete
    Replies
    1. මා පෞද්ගලිකව ඔබව නොහඳුනනවායැයි ඔබ සිතා සිටින මුත් මා ඔබව හඳුනමි. බොහෝ දෙනා අතර ඔබට නමක් ඇතැයි ඔබ සිතා සිටියාට එහෙම දෙයක් නැත! මාගේ අනන්‍යතාවය හා මාගේ බ්ලොගයේ සැකැස්මට හානිදායක හෝ පෝස්ටුවට අදාල නොවන ඕනෑම කමෙන්ටුවක් මා මකා දැමීමට පැකිළෙන්නේ නැත. එය මාගේ පෞද්ගලිකත්වයයි. ඊට අනුගත වීමට නොහැකිනම් ඔබ කමෙන් නොකර ඉන්න. එය ඔබේ අයිතිය සහ ඔබේ පෞද්ගලිකත්වයයි. ඒ පිළිබඳව මා කණගාටුවන්නේ නැත. මා ලියන්නේ මට අවශ්‍යදේ ලියා තැබීමට විනා ඔබගේ කමෙන්ටුව වෙනුවෙන් නොවේ. ඔබට කිසි ලෙසකින් මා හට රිදවීමට නොහැකි බව ඔබ හොඳින්ම දන්නා බව මා දනිමි. ස්තූතියි. මඩෙන් නැතිව ගොඩින් එන්න. එවිට සියල්ල විසඳේවි. දැන්වත් හොඳින් ජීවත් වන්න බලන්න!

      Delete
    2. තට්ටයා,

      "මා පෞද්ගලිකව ඔබව නොහඳුනනවායැයි ඔබ සිතා සිටින මුත් මා ඔබව හඳුනමි. බොහෝ දෙනා අතර ඔබට නමක් ඇතැයි ඔබ සිතා සිටියාට එහෙම දෙයක් නැත! "

      මෙම ජේදය දුටු විගසම ඔබ කිසිසේත්ම මා නොහදුනන බැව් මා දන ගතිමි.

      කෙසේවෙතත් ඔබගේ පිළිතුර හරි වැරදි නොසලකා භාර ගනිමි. මින් පසු මාගේන් ඔබට 'හානිදායක' කොමෙන්ටු නොමැත.

      Delete
  13. Kaalayak paddaa.dan aayemath padinna hithenawaa,wataina layawillak.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! අනේ දෙයියනේ කියලා කැමැත්තෙං හරි අකමැත්තෙං හරි වැඩේ පටං ගන්න!

      Delete
  14. චේන්ජර් බයිසිකල් කියන්නේ මොනවද ආදුනිකයෙකුට හොදයිද?

    ReplyDelete
    Replies
    1. චේන්ජර්ස් කියන්නේ ගියර්ස් තියෙන සයිකල් වලට. ඉස්සර නම් විශේෂයෙන් චේන්ජර් කියලා කිව්වේ ඩ්‍රොප් හැන්ඩ්ල වලට. ඒ කාලේ ඔය මවුන්ටන්, හයිබ්‍රිඩ් වගේ ඒවා තිබ්බේ නෑනේ. ස්ටෑන්ඩර්ඩ්, ලේඩීස්,ස්පෝර්ට්ස්, කැරියර් කියන වර්ග තමයි තිබුනේ. ස්ටෑන්ඩර්ඩ් වලටම ගියර් හබ් එකක් ආපු සයිකලුත් තිබ්බා අවාරෙට දෙල් වාගේ! ඔය කාලෙ තමයි ගියර් තියෙන චොපර් බයිසිකලුයි පෙරකී ඩ්‍රොප් හැන්ඩ්ලුයි ලංකාවට සාමාන්‍ය ජනතාව අතරට එන්නේ. ඒවාට කියපු නම තමයි චේන්ජර්! නමුත් හැත්තෑවෙ දශකයේත් රේසිං ඩ්‍රොප් හැන්ඩ්ල් ගියර් සයිකල් තරඟවල පැද්දා!

      Delete
  15. මං ඔපිස්සෙකට යන්නෙ පයිං

    ReplyDelete
    Replies
    1. උඩ තට්ටුවේ සිට පල්ලෙහා තට්ටුවට සයිකල් පැදපු එකෙක් ගැන මම කිසිදා අසා නැත!

      Delete
    2. V8 eken avith bahala...ඔපිස්සෙකට යන්නෙ පයිං

      Delete
    3. ජයවේවා දැති හුළහා මහතා.. මාත් උදේ හවා යන්නේ එන්නේ පයින්.. :))) මිටර් දෙතුන් සීයක් යන්න මොන බයිසිකල්ද කියලා හිටං..

      Delete
    4. තට්ටයාගේ දිනපොත....eka එළ ayi liyanne nathe?

      Delete
    5. ඒක ගැන උඹ විතරයි හොඳක් කියලා තියෙන්නේ! හරි හිමීට ලියමු!

      Delete
  16. බයිසිකලේට සයිඩ්කන්නාඩියක් හයි කරගන්න ඕනි. කොහෙන්ද ගන්න තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ‭(76) 070 4707‬ මෙන්න මේ නොම්මරේට කතා කරණ්න. නම සමීර. ඌ උදව් කරයි!

      Delete
  17. ඉතා හොඳ ලිපියක්. අද අපේ රටේ ලෝන් අරගෙන සෝබනේ දාල සල්ලි ඉවර කරල බංකොලොත් කලා වගේ. සයිකල් පදින එක නිකන් ඔහේ promote කරනවා. මේක ක්‍රමයක් ඇතිව කරන්න ඔනෑ දෙයක්.
    මම හිතන්නේ heat and humidity chart එක ගැනත් උනන්දු වෙන්න ඕන. ගොඩක් ඉස්තුතියි මේ විස්තර වලට.

    ReplyDelete
  18. ඉතා වැදගත් මාතෘකාවක් මේ කාලේ හැටියට. මේ දවස්වල හැම එකාම බයිසිකල් පදින්න කිව්වට, ඒකත් හරියට අර ලංකාව ණය අරගෙන පාටි දැම්ම වගේ තමයි. වැඩක් කරනකොට තේරුමක් ඇතිව කරන්න ඕන. මේ ලිපිය ඒකට හොඳ උපදෙස් ටිකක් දෙනවා. ඇදුම් ගැන, විවිධ බයිසිකල් ගැන සහ ආර්දතා සහ උෂ්ණත්ව වගුව ගැන උනන්දු වුණොත් ලංකාවේ බයිසිකල් පදින කට්ටියට වැදගත්. ඉතා හොඳ ලිපියක්.

    ReplyDelete
  19. අද කාලේ හැම එකාම කතා කරන්නේ සය්කල් පදින එක ගැන ! සම -හරක් මේක තමුන්ගේ දේශපාලන සහ අලවිකරණ මෙවලමක් විදිහට යොදාගන්න පටන් අරගෙන. ඒ වැනි අවදියක මේවගේ කාලෝචිත ලිපියක් දාපු එක ගැන ඉස්තුතියි. පාටකයාට තවත් මතක් කරලා දීමක් කරන්න ඕන , ලංකාවේ දේශගුණයට අනුව අඳින ඇඳුම් ගැන, Heat and Humidity Chart එක ගැන, සහ ආරශිත උපකරණ ගැන පූර්ව දැනීමක් ලබාගන්න කියල. You Tube එකේ GCN (Global Cycling Network ) Channel එකේ (ලංකාවට කෙලින්ම අදාල නොවුනත්) ගොඩක් වැදගත් දේවල් තියෙනවා. හොඳ ලිපයක් පලකලාට තුති!

    ReplyDelete
  20. මහාචාර්‍යතුමනි; ඔබගේ කමෙන්ටු තුනම මම තියෙන්නට ඇරියා. මොකද ඒ තුනම ඉතා වටිනා හෙයින්. සත්තකින්ම අපේ රටේ බහුතරයක් ඔරලෝසු බැන්දාට වෙලාවට වැඩ නොකරයි. එසේම ඕනෑම නවීන උපකරණයක් හෝ මෙවලමක් භාවිතා කිරීමට පෙර එය සමග ලබාදෙනි ලබන උපදෙස් පත්‍රිකාව හෝ පොත් පිංච කියවන්නේ කීය්‍ර්න් කී දෙනාද? ඒක මම දකින්නේ සංජානීය ආබාධයක් ලෙසයි. ඒ නිසාමයි සයිකල් පැදීම පිළිබඳව මා දන්නා කරුණු මෙසේ එකතු කලේ. කෙසේ වෙතත් ඔබගේ කමෙන්ටුවට බොහොමත්ම ස්තූතියි. මාගේ
    බ්ලොගය සමග නිබඳව රැඳෙන්න!

    ReplyDelete
  21. First two comments were published from my mobile. Due to an internet problem they did not published then. Apologies for that. Please delete two and keep only one. Cheers

    ReplyDelete
  22. ඔෆිස්සෙකට නම් පයින් යන්න එන්න පුලුවන්.. මොකක්ද මීටර් දෙතුන් සීය නේ තියෙන්නේ.. :))

    ඒක නෙවෙයි. සතියකට සැරයක් ගාල්ල කොළඹ කිලෝමීටර් එකසිය විස්සක් විතර ඉහල පහල පදින්න වෙන ලයින් එකක් තියෙන්නේ ඉස්සරහට.. කිලෝ සීයක් විතර බර, තඩි බඩක් තියෙන උපතින්ම කම්මැලි එකෙකුට ඔය වැඩේට ගැළපෙන සයිකලයක් රෙකමන්ඩ් කරපන්කෝ.. (මට නෙවෙයි මම වගේම වෙන එකෙකුට.. හෙහ්. නැතුව මම එහෙම කම්මැලි එකෙක්‍යැ)

    අම්මප.. ගිය සතියේ ගෙදර ගිය වෙලාවේ ස්කූටිය කැඩිලා ඒකේ වැඩවලට එහෙට මෙහෙට කිලොමීටර් හතර පහ වගේ කොල්ලගෙ ෆුටාර් එකෙන් එහෙ මෙහෙ පැද්දා.. ඒක ඔය කියුඅනව වගෙ ජපන් ඇලෝයි බයිකෙකෙක් ශොකැබ්සෝබර් එහෙම තියෙන. මේ ළඟකදි ඕකේ ජියර් හිරවෙනවයි කියල වින්කලේට අරන් ගියාම ශිමානො ජියර් සෙට් එක ගෙඩිය පිටින් ගලවලා විසිකරලා ගියර් නැතුව නිකන් ස්ටෑන්ඩර්ඩ් බයිසිකලේක වගේ වෙන්න ජියර් ෆික්ස් කරලා චේන් එක කොට කරලා හදලා දුන්නා.. තැන්න නිසා ලොකු අවුලක් නෑ. ඒත් මට කොන්ද නමාගෙන පදින එක තමයි ටිකක් අමාරු. අම්මප උඹෙන් වැඩිදුර උපදෙස් අරන් ගන්නෝනි හොඳ බයිසිකලයක්.. ආදරෙයි ඈ!

    ReplyDelete
    Replies
    1. දෙයියනේ ආපහු ගියර් හදා ගන්න. ගලවපු කෑලි ටික තියේද? නැතත් වැඩේ කරමු!

      Delete
  23. සෙහ් මේකට සාහෙන උනන්දුවෙන් දිග කමෙන්ට් එකක් දැම්මා ඒක මිසින් නේ..:'(

    ReplyDelete
  24. ඉස්සර සීටී හන්ඩ්‍රඩ් කටුවක් ගත්ත ගානට බයිසිකල් ගනන් ගිහින්, ඊලඟ ලොට් එක තවත් ගනන් යයි කිව්වා,, 😢😢😢

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...