රාත්‍රිය හොඳ නින්දක් ගෙනා නමුත් පාගේ පාදයේ ආබාධය සුවවී නොතිබුනි. පෙර දින පුරා තෙමෙමින් ගමන් ගත් අපගේ ඇඳුම් කැඩුම් ආයිත්තම් සියල්ල තෙත බරිත වී තිබූයෙන් ඒවා සියල්ල කාමරය පුරා එළා තිබුනු අතර උදෑසන වන විට අපගේ බඩු බාහිරාදිය බොහෝ සෙයින් වියළී තිබුනි. උදෑසන අවට පරිසරයට ඉවකොට බැලූ අපහට අද දිනයද "ස්නානය" සඳහා වෙන්වී ඇති බව දැනෙන්නට විය! මෙම ඉසව්ව යෙදෙන බොහෝ දෙනා මුළු ගමන සඳහා දින 12ක් ගෙවා දමති. ඒ ගමනට දින දහයක් හා විවේක දින දෙකක් ලෙසය. බොහෝ විට එය ඔවුන් ගන්නේ මුල දින කිහිපය ගෙවා දැමූ පසුවය. මේ නිසාම අපට "විවේක දිනය" අද ගැනීමට නොහැකිය! එයට කරුණු කිහිපයක් විය. ගමන පිටත්වූ දිනට පසුදින විවේක ගැනීම අපගේ ගමනට කළු පැල්ලමකි. "මෙය හුදෙක් අපගේ පෞද්ගලික සතුට පතා යන ගමනක්!" කියා ලේබලයක් ගැසූවද; ගමන සමග එන ප්‍රසිද්ධිය හෝ පිළිගැනීම තුලින් අප වටා ඇතිවන සියුම් වීරත්වයද මෙම ඉසව්වෙන් බලාපොරොත්තු නොවුනාම නොවේ! එය එසේ වන්නට නම් දින 12හේ ඉසව්ව අවම වශයෙන් දින 12 කින් නිම කලයුතු වන අතර දින 10 යකින් නිමකලහොත් වඩාත් තීව්‍ර වේ! දින 10යකින් තබා 12කින් වත් නිම කිරීමට නම් විවේක දින ද්විත්වය; ගමන තුල වඩාත් ඇතුලට තල්ලු කර යුතුව ඇත! ගමන පටන් ගැනීමත් සමග නිවාඩු දිනයක් "ප්‍රසිද්ධියට පත් කිරීම" යනු; "අනේ බැරි මගුල් නොකර ගෙදර එන්න!" කියන ප්‍රකාශය හිත මිත්‍රාදීන්ගේ ශ්‍රී මුඛයන්ගෙන් වදාරණු ඇසීමට සිදුවන කරුණකි.
උදෑසන ඇඳෙන් බිමට බැසීමට; සිරුරට සාපේක්ෂව එක් පාදයක් තිරස් ලෙස චලනය කර ගැනීමට කෙසේවත් නොහැකි තරමේ විය. සිහින් කෙඳිරියක් සමග මා බිමට පය තබනු දුටු නිශාන්ගෙන් කුඩා ප්‍රථිචාරයක් ලැබුනද "අද ඉන්නදලා යමුද?" වනි මිහිරි තෙපුලක් සවනත නොගැටුනි. එය ඉතා සාමාන්‍ය තත්වයකි. කණ්ඩායමක් ලෙස ගමන් කලද අප දෙදෙනා ලංකර ගැනීමට උත්සාහ කරණ්නේ වෙන වෙනම වූ තමන්ට ස්වාධීනවූ ඉලක්කයක්ය! තවත් ලෙසකින් පවසනවානම් මුළු ගමනම තමන් මුළුමනින්ම පැදිය යුතුය. එසේ නැතිව රිලේ තරඟයක් මෙන් මුළු අභියෝගයම අප කොටස් වශයෙන් මුහුන දෙනවා නොවේ. මේ කාරණය නිසාම තමන්ගේ ගමන් සගයාගේ "කෙඳිරි ගෑම්" "හුරතල් වීම්" පිළිබඳ අනෙකාට සිතන්නට සිතක් පහල නොවේ!
"මලත් පදිනවා!" මම මටම කියා ගත්තෙමි. දැඩි වේදනාව ඇතිවන්නේ දෙපා එකිනෙකට සාපේක්ෂව ඈත් කිරීමෙදීය! ඇවිදීමේදී ඇතිවන වේදනාව විඳ ගැනීමට පුළුවන. සයිකලය පැදීමේදී එවන් දැඩි වේදනාවක් ගෙන දෙන චලනයක් ඇතිවීමට ඉඩක් නැත. කොටින්ම එය සිරස් චලනයක් විනා තිරස් චලනයක් නොවේ.
මේ මොහොතේ මට අවශ්‍ය වන්නේ විවේකයක්ය! එහෙත් එය විය යුත්තේ බල කිරීම මත මා ගන්නා තීන්දුවක් ලෙස විනා මාගේ අවශ්‍ය තාවය මත නොවේ. බලකිරීමකින් හෝ පිටස්තර පෙළඹවීමකින් තොරව ගනු ලබන එවන් විවේකයක් මාගේ ගර්වයට හානියකි!" සත්තකින්ම එහෙම දෙයක් නැත! මෙය හුදෙක් සතුට වෙනුවෙන් කරණු ලබන කාර්‍යයක් විනා "භාරයක් ඔප්පු කිරීමක්" නොවේ. එහෙත් හිතට හිතෙන්නේ එලෙසය!
"ඔව් මලත් පදිනවා!" නැවතත් මම මටම කියා ගත්තෙමි. "රෙසට් එක ගන්නේ මේ ලැප් එක පැදලා ඉවර වෙලාම තමයි!" සිතමින් මා සෙමෙන් සෙමෙන් සූදානම් විමි.
ගමන පිටත් වන්නේ 6.00 කණිසමටය. මට ලැහැස්තිවන්නට ගතවන්නේ ඉතා කෙටි කාලයකි. නිශාන් ඒ සඳහා ගත කරණ කාලය ගැන "වෙනමම පෝස්ටුවක්" ඉදිරියේ බලාපොරොත්තුවන්න! සූදානම් වීම් අතර මා මාගේ දුක "ජන ගත" කලෙමි! මේ ඒ පිළිබඳව දිනයේ ආරම්භයේ තැබූ WhatsApp සටහන:-
මාගේ පණිවිඩයට පලමු ප්‍රථිචාරය ලැබී තිබුනේ ආදරණීය දියණියගෙන්ය.
ඇයගේ නමට පෙර යොදා ඇත්තේ දැනට සිටිනා පලාතට අදාල විශෙෂණයකි!
"සුරතල් දියණිය - මොළකැටි වදනින්
මා සනසන්නිය - අහර පිසන්නිය
කවන්නිය -පොවන්නිය - මා ගැන - බිය වන්නිය
වනයේ - දුකක් විද - අසන්නිය - සොයන්නිය "
සයිකලයට කටගැස්මක්!
5.59AM
මීට පෙර මා සයික්ල පැදීම පිළිබඳව ලියා ඇති පෝස්ටුවක පිළිබඳව ලියා ඇත! සයිකල් වල චේන් සඳහා භාවිතා කරණු ලබන්නේ Dry Lube හෝ Chain Lube ය. (Lube - Lubricant/ලිහිසන) මේ පිළිබඳව තවත් දුරට කථා කරගෙනම ඉදිරියට යමු. ඒ පිළිබඳව මෙන්න මේ වීඩියෝව බලන්න! මෙම සුවිශේෂිත ද්‍රාවණයන් පාවිච්චි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ වැලි දුහුවිලි ආදී ආගන්තික ද්‍රව්‍යයන් දම්වැලේ ඇලීම වැලැක්වීමය. එහෙත් අධික වර්ෂාව විසින් මෙම ද්‍රාවණයන් වලටද බලපෑම් ඇති කරයි. දැනට ලංකාවේ වෙලඳ පලේ පවතින BG සහ Wurth වැනි වෙළෙඳ නාම වලට අමතරව මිලෙන් අඩු චීන නිශ්පාදනයක් අප රැගෙන ගියෙමු. එහි ඇති සුවිශේෂීතාවය වන්නේ මිල හැරුණුකොටගෙන බහාලුමේ ඇති හුරු බුහුටි ස්වභාවයයි! දිනය පටන් ගැනීමට ප්‍රථමයෙන් අප සයිකල වල දම්වැල් හා දැති රෝදවලට ගෙන ගිය චේන් ලුබ් මගින් කුඩා "සංතෝශමක්/කටගැස්මක්" ලබා දේ! කොටින්ම එය කුඩා රැවටීමක් වැනි දෙයකි. එහෙත් "උන්නා හැටියට මලා මදෑ!" නැතිනම් " නිකං ඉන්න මට අහල ගියත් මදෑ!?" කියන්නා සේ එයින් සැනසුනු අපගේ සයිකල අපට සේවස සලසා දුනි.
6.04AM
සියළු කළමණා එකතු කරගත් අප උදෑසන 6.05 ට පමණ පිටත් උනෙමු. ජීවනී සහිත වතුර උගුරු දෙක තුනක් හැරෙන්නට වෙනයම් කිසිවක් නොමැතිව සිසිල් මුහුදු සුළඟෙන් පිරුණු ගාළු පාරේ අප දකුණු දෙසට ගමන් ඇරඹූවෙමු. මහ සයුර පිස එන සුළඟේ කිසියම් ආශ්වාද ජනක සුවඳක් ගැබ් වී තිබුනි. අහස තවමත් මුළුමණින්ම එළිය දී නොමැත! තවමත් උදෑසන වැඩි නිසාදෝඅ නො එසේනම් වැහිබර කාලගුණයක් පවතින නිසා හෝ තරමක හේඩාවකින් පාර වැසී තිබුනි. රට පුරා ඇරඹී තිබුනු ඉන්ධන සැපයීමේ දුර්වල තාවය නිසා මාර්ගයේ වාහන පැවතියේ ඉතා අවම මට්ටමකය. මහ පාරේ සයිකල් පදින්නන් හට වාහන නොමැති පාරක් යනු එක් අතකින් ස්වර්ග රාජ්‍යයකි. විශේෂයෙන් කන ගාවින් ඉගිලෙන බස් රථ මොහොතින් මොහොත ජීවිතයේ අනියත බව පසක් කරමින් ඇදී යාම සයිකල් කරුවන්හට ලබා දෙන්නේ අප්‍රසන්න හැඟීමකි.
6.06AM
6.07AM
6.08AM
6.30AM
අපගේ ගමන පිටත් වී කුඩා වේලාවකින් කුඩා ධීවර වරායක් හමුවිය. මාළු මිළදී ගැනීමට පැමිණි නා නා ප්‍රකාර අය එතැණ ගැවසෙමින් විය. අපගේ දෑස් සොයමින් ගියේ ආහාරයක් ලබා ගැනීමට ස්ථානයකි. දහසක් බුදුන් බුදුවන මේ පින්බර උදෑසන බිත්තර රොටියක් බීෆ් කරියක් සමග කෑම මාගේ එකම අභිලාෂය විය. ගවමස් කෑම පිළිබඳව මා නිශාන්ගෙන් විමසූ විට ඔහු පැවසුවේ "අයියේ මම පන්නන්නේ නෑ! හම්බුනොත් කනවා; වෙන කන්නම දෙයක් නැත්නම්!!" කියාය! ඇත්තටම හරක් මස් හොද්දක් වටා අපිට "පන්නන්නට" හේතුවක් නැත. හරකාව ඝාතනය කල තැනැත්තා එය අපට ඉතුරු කොට නොමැත! කෙසේ වෙතත් ලංකාවේ දකුණු පලාත තුල ගව මස් සොයා ගැනීම වඩාත් අසීරු කටයුත්තකි. මෙවන් ගමනකදී අම සෑම මොහොතකදීම කන බොන දේ තුලින් කාබෝහයිඩ්‍රේට් හා ග්ලූකෝස් ලැබෙන මුත් ප්‍රෝටීන් ලැබෙන්නේ අවම වශයෙනි. එය අපගේ රටේ පොදු ආහාර රටාව හා බැඳී පවතින්නක් යැයි මාහට සිතේ! (මේ පිළිබඳව දන්නා කියක අයගේ අදහස් වලට පහතින් ඉඩක් "Blogger" විසින් සලසා ඇත!) බොහෝ විට අපට ප්‍රෝටීන් ලැබෙනා මාර්ග ලෙස සත්වමය ආහාර වලට අප නැඹුරුවී ඇත. සත්ව ආහාරවලට වඩා ප්‍රෝටීන් බහුල ශාක ආහාර ඇතත් සිත කියන්නේම "කන මගුලක්; කැමති දෙයක් කාපන්!" කියාය. ඉතිං මක් කොරණ්නද ඇත්තටම ඒක මගේ වරදක් නොව සිතේ අවුලකි! මෙසේ ගමන් කිරීමේදී හමුවන පලමු කඩෙන්ම කන්නට අවස්ථාව සැලසෙන්නේ ඉතා කලාතුරකිනි. කෑම උනු- උනුවේ දුම් දමමින් විය යුතුය! තරමක හෝ පිරිසිදු බවක් තිබිය යුතුය!! සයිකල පහසුවෙන් ගාල් කොට තැබීමට ඉඩ පහසුකම් තිබිය යුතුය!!! ඒ සියල්ලටම වඩා සැනසිල්ලේ වාඩිවෙලා කෑමටනම් කන බොන තැනට; අවම වශයෙන් සයිකල් දෙකේ ඉස්සරහ රෝද දෙකවත් පෙනෙන්නට තිබිය යුතුය!!! මේවා මොනවා තිබ්බත් මොටද බිත්තර රොටී නැත්නම්??? බිත්තර රොටී නැත්නම් කඩයක් කීවාට කඩයක්ම නොවන්නේය! මෙසේ බෙල්ලේ පොට යනතුරු වට පිට බලමින් කඩ හෙවත් භෝජනා ගාර සොයමින් යන විට අපක සුපිරි පහේ කඩයක් දක්නට ලැබුනි. උදේ අහර කිස එයින් සතපවා ගත් අප මුදලාලිටත් හාමිනේටත් පිංදෙමින් මාතර දෙසට පදින්නට පටන් ගත්තෙමු!
7.09AM
නිල්වලා 7.50AM
අහංගමින් එළියට පැමිණෙන්නට පෙරම නිශාන් ඔහුගේ මිතුරෙකු ගැන කීවේය. ඔහු මාතරට පෙර හමුවනු ඇති අතර අපට ආහාර සඳහා යමක් ලබා දීමට ඔහුගේ කැමැත්තක් ඇති බව පැවසීය. නිකං ලැබෙනවා නම් "තිනකරන්" උනත් "ආමා!" කියන මමද එයට කැමති විය.
"මල්ලි ඌට කියහං සැන්ඩ්විච්" වගී මොනවා හරි හදන්න කියලා! මොකද තඩි බත් එකක් එහෙම කෙළගෙන ආවොත් අපිට වැඩක් නෑ!" මම නිශාන්ට කීවෙමි. "මොනවා උනත් අපිට මග දිගට චාටර් වෙන්න බැරි බව කියහං. අපිට බලා ඉන්න බෑ!!" මම ඌණ පූරණය කලෙමි. අපගේ කාලසටහනේ ලෙසට දවල් 1.00 - 2.00 වන විට හම්බන්තොට හරහා ගමන් කලයුතුය. එය රොටී තැටියක් මතින් පයින් ටන්නාක් මෙන් ගත සිත සිසිල් කරවණ අත්දැකීමකි! අප ඉක්මණින් ගියහොත් ඉර වඩාත් චන්ඩ වීමට ප්‍රථම කොහේ හෝ ගාල් වීමටත් විවේකය ඇරඹීමටත් පුළුවන. මගේ එකම අභිප්‍රාය ඉක්මණින් සයනගත වීම හෙවත් ඇඳකට පැනීමය! මෙය කියවන ඔබට මේවන විට අමතකව ගියත් මම ඒ මොහොතේත් ඉන්නේ පාදයේ දැඩි වේදනාවක් සමගය!මග දිගට නිශාන් ඔහුගේ මිතුරා දූරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කලද එම උත්සාහයයන් වලට සිදුවූයේ කුමක්දැයි මා තබා සීනිගම දේවාලයේ මහ කපුවා වත් දන්නේදැයි මා නොදනිමි. මාතර නගරයට පිවිස සමරසිංහ පාලම මැද්දට පැමිණ අසීරුවෙන් පාදය බිම තබා පසුපසින් එන නිශාන් පිළිබඳව මා විපිළිසර වන විටත් ඔහු දූරකථනය සවනේ රඳවා ගත්වනමය!
තවත් මොහොතකින් නිශාන් මාහට හස්ත මුද්‍ර භාෂාවෙන් පණිවිඩයක් කක්ෂ ගත කලේය. එහි අදහස පැහැදිලි කරණු වස් නිශාන් ලඟට පැමිණියේය! "අපි පහු කරගෙන ඇවිත්! එයා මග එනවා!" මා කේන්තියෙන් පිපිරෙමින් විය! ඔහුගේ මිතුරාද ඪ්Sඓ අයතනයේ මානව සම්පත් අංශයේ කළමණකරුවෙකි. නිශාන් එම ආයතනයේම ගනකාධිකාරී තැනය! "මුං දෙන්නට කතා කරගෙන පාරදිගේ සයිකලයක් පැදගෙන එන එකෙක් අතට පාර්සලයක් දෙන්නට බැරි හැටි!?" මම මගෙන්ම අසා ගත්තෙමි. සත්තකින්ම එය පිදුමාකාර අතපසු වීමක්ය!
තවත් පැය භාගයකට විනාඩි 45කට පසුව අදාල "යාළුවා" රිදී පැහැති මෝටර් රියක් පදවාගෙන පැමිණ විශාල සිලි සිලි මල්ලක් නිශාන් අත තැබීය. එය තුල ඇපල් දුසිමක්, දොඩම් හෝ නාරං ගෙඩි 10ක් පමණ මිදි සහ පාන් රාත්තලක පමන සැන්ඩ්විච් තොගයක් විය!
"අම්මට හුඩු!" කොහොමද බං මේවා ගෙනියන්නේ? යාළුවා ගිය පසු මම අමනාපයෙන් නිශාන්ගෙන් ඇසීමි! "හරි හරි මම ගන්නම්!" නිශාන් සියල්ලම හෝ ඉන් සීයට අනූවක්ම තම සයිකලයේ හැඬලයේ එල්ලා ගත්තේය. මාගේ කෝපය ඉහ වහා ගොසිනි! මේ ගමන තුල අපට මොන වටිනා දෙයද රැගෙන යා හැක්කේ සීමිත ප්‍රමාණයක් පමණි. අනෙක් අතට සිලි සිලි බෑග් එල්ලාගෙන ; ගමනේ ජීව ගුණය නැතිවෙනවාට මා කොහෙත්ම කැමති නැත! ගමන පිටත් වන්නට බොහෝ කලකට පෙර සිටම බොහෝ වාර ගනනාවක් "පැනියරයද" පුතාගේ රවුම් බෑගයද යන කාරණා සමග ගැටුනේ ගමනේ ජීවගුණය රඳවා ගත යුතු නිසාමය! සරං ඇඳන් ක්‍රිකට් ගසනවාට මම අකමැතිය. සරමෙන් සැරසී ක්‍රීඩා කිරීමට ඇවැසි එකෙක් වෙතොත් තෝරා ගත යුත්තේ සුද්දාගේ ක්‍රිකට් නොව අපේ අත්තා මුත්තා නත්තා පනත්තා තෙයියා ගේ සිට එන ප්‍රවේණියෙන් අපට හිමිවූ එල්ලේය! එතැන් පටන් මා කිසිදු හාවක් හූවක් නැතිව සයිකලය පැදගෙන ගියෙමි! ගමන නැවතුනේ දෙවුන්දර තුඩුවෙන්ය. ඒවන විටත් මා ගේ කෝපය නිවී තිබුනේ නැත! "නිකං දුන්නත් කියන්න එපායැ මොනවද කොච්චරක්ද ඕනෑ! කියලා!" මම මටම කියා ගත්තෙමි. දෙවුන්දර තුඩුවේ ප්‍රදීපස්ථම්භය පිහිටි කෙළවර අතිශය රමණීය ස්ථානයක් විය! එම ස්ථානයට ගිය විට සිතට දැනෙන හැඟීම වචන්යෙන් විස්තර කිරීම උගහටය! කුඩා තුඩුවක පහන් කනුව ඉඳි කොට ඇත! වටා පොල් ගස් වලින් හැඩ වුනු කුඩා වෙරලකි. ඉන් ඔබ්බේ මහ මුහුදය. මෙවන් ස්ථානයක තිබෙන ගුප්ත බව එහි නැත! එතැන තිබුනේ මහත්වූ සංග්‍රහ ශීලී වටපිටාවකි. සත්තකින්ම එහි ගොස් බැලීමට සුදුසු ස්ථානයකි. එම ස්ථානයේ තිබුනු රමණීය බව විසින් මාගේ කෝපය නැතිකොට දමා අවසන්ය! කල් යල් බලා නිශාන් මට ආමන්ත්‍රණය කලේය!
"මහන්සිය යන්නත් එක්ක - කමුද නාරං ගෙඩියක්!?"
පහන් කනුවට පිටදී . . !
උදෑසන 9.00 පසුවෙනවාත් සමග සහෘදයින්ගේ සුභ පැතුම් සහ වෛද්‍ය උපදේශ ගලා එමින් විය. තවත් ඉදිරියට ගමන් ගනිත්ත්දී මාගේ සයිකලයේ හුලං තරමක් මදි බවක් හැඟුනි. අසල තිබුනු සයිකල් වැඩපලකින් හුලං සමග මිත්‍රශීලී හිතවත් කමක්ද ලබාගෙන ලංකාවේ දකුණු දෙසට පදිමින් විය
ගමනේ 200වන කිලෝමීටරය! 10.24AM
වියළි කාලගුණයට සූදානම්ව. 11.09AM
12.42PM
මද්දහනේ ඉර ඔලුවට සෙන්ටර් වූයේ හම්බන්තොටදීය. මීට කලකට පෙර තිබුනු මංමාවත් මෙන් නොව අහල පහල ගහක් වැලක් නැති ගෙයක් දොරක් නැති මංතීරු හයේ මං මාවත් අතර අප මං මුලා වූයේ නැති ටික විතරය. මෙවන් ගමන් වලදී වංගු , ගස් කොලං, ගෙවල් දොරවල් දෙපස තිබෙන මාර්ග වල මෙන් නොව තනි කෙලින් ඊය ගැසුවාක් මෙන් වූද් දෙපස කිසිදු සැලකිය යුතු සළකුණක් නොමැති මාර්ගයන් ඔස්සේ ගමන් කිරීම අතිශය වෙහෙස කාරී හැඟීමකි. මීට කලෙකට පෙර මාහට හමුවූ ජර්මන් ජාතික උල්ෆ් ඒවන විට රටවල් 25ක් තුල සයිකල් පැද ඇතිමුත් කිසිදු දිනෙක ඕස්ට්‍රේලියාවේ සයිකල් පැදීමට බලාපොරොත්තුවක් නැති බව පැවසීය. එයට ප්‍රධාන හේතුව ලෙස ඔහු පැවසූවේ එරට ඇති සරල රේඛීය මංමාවත් හා ඒකාකාරී පරිසරයත්ය! උල්ෆ් පිළිබඳව මා කලින් ලියා ඇති අතර ඔහු මෙරට තුල කිලෝමීටර 1900ක් සයිකලයෙන් ගමන් ගත්තේය! ඔහු සමග කොලෝමීටර 26ක් පැදීමට අවස්ථාව ලැබීම අදටත් මා මතක් කරණ අමරණීය මතකයකි! ක්‍රිකට් නොගසන ක්‍රීඩාංගන, මන්ත්‍රණ නොමැති සම්මන්ත්‍රණ ශාලා හා තවත් එවැනි විශල ඉඳිකිරීම් රාශියක් පිහිටා ඇති පලාතක; යෝධ මාර්ග පද්ධතිය ඔස්සේ පැමිණ මනුස්ස වාසස්ථානයකට ලංවූයේ ගබඩා හංදියේදීය. "කැමතිනං කාපං" මොඩලයේ කුඩා "නැති මගුලක් නැති" කඩේකින් සිසිල් බීම බෝතල් දෙකක් ගෙන අප පානය කලා මතකය!
"නැති මගුලක් නැති" කඩේ1.40PM
කුමණ දේශපාලන මතයක් දැරූවද මමද උපන් ගෙයි දොදොල් ලෝලියෙක්මි.
කළු වූවාට දොදොල් පැණි රහයි කියන්නේ කට කහනවටද?
වීරවිල 2.33PM
2.34PM
2.40PM
3.23PM
ගණකාධිකාරී තුමාගේ පුවත් සම්පින්ඩණය සහ ලාභාලාභ ගිණුම!
තිස්සෙන් කුඩා නවාතැනක් හොයා ගැනීමට අපට හැකිවිය! එහි තානයම් පල්ලා සහ අයිති කරු වූයේ එකෙන්ම සුපිරි කොල්ලෙකි. එහිදී ඔහු අපට සපයා දුන් Seafood Fried Rice එක ජීවිතයේ මා කා ඇති ඉහලම සත්ව ආහාර ඝනත්වයක් සහිත බත් එකකි. එය අප දෙදෙනාහටවත් කා අවසන් කිරීමට නොහැකිවිය! කාමරයට ඇතුළුවූ සැණින්ම වාගේ ඉක්මණින් නා ගත් අප තිස්සමහාරාම නගරයෙන් සපයා ගත් 8.8 ශීතකල ලාගර් පානය සමග ධ්‍යානයකට සම වැදුනි. දිනය තවමත් තරුණය! සහෘදයින් ජීවිතයේ කොටස්කරුවන්, අයිති කරුවන්ගේ කයි කතන්දර සිතට ගෙන ආවේ සුන්දර සිතුවිල්ලකි. මහත්වූ අස්වැසිල්ලකි! ඉක්මණින් අප දිනය අවසන් කොට ඇත. ඒවන විට; දැන් ඔබට සේම මටද පාදයේ ආබාධය අමතකව ගොස්ය. හෙට දිනය නිවාඩු දිනයක් වන්නට ඇවැසි නැති හැඩකි. හෙට ගමන වෙනස්ම වූ අත්දැකීමක් වේවි.
Luckreach Inn හි එළ කොල්ලා!පසුව ලියමි:- අරගලයේදී හමුවූ කළ්‍යාණ මිත්‍ර එක් අවස්ථාවක මගෙන් ඇසූ පැණයක් විය! "උඹ අර රට වටේ පැද්ද එක ලියන්නැද්ද?' ඔව් කමී කටුස්සා පල්ලා ඇත්තයි; ඒක තමයි මේක!
හප්පේ.. ලියල.
ReplyDeleteහම්බන්තොට පැත්තෙ පාරවල් ගැනනං කියල වැඩක් නෑ. දැන්නං බෝඩ් හරි තියේ. ඕව හදන කාලෙ ගියානං තමා අනාත වෙන්නෙ. එලියට යන්න තැනක් හොයාගන්න බැරුව වැරදි ලේන් එකේ කිලෝමීටරයක් විතර ආපහු එලෝල තියෙනව මං. හැබැයි එකම එක බස් එකක් විතරයි ඉස්සරහට ආවෙ.
//දහසක් බුදුන් බුදුවන මේ පින්බර උදෑසන බිත්තර රොටියක් බීෆ් කරියක් සමග කෑම මාගේ එකම අභිලාෂය විය// හැක්.. ඒක මරු.
කොහොමත් හම්බන්තොට පැත්තේ යන එවුං අතරමං වෙන ලයින් එකක් තමයි දැං නං තියෙන්නේ!
Deleteඔය රේඩියෝ කාරයෝනෙ කියන්නේ "දහසක් බුදුන් බුදුවන හිමිදිරියේ . . ." ආදී වශයෙන්. මමත් ඒක ගෙඩිය පිටිං කොප්පෙ ගැහුවා! ඇයි ඒකෙ මුකුත් වැරැද්දක් තියේද? කියහං හංගන්නේ නැතිව! මං හදන්නං!
නැහ්.. ඒකෙ කිසි වැරැද්දක් නෑ හිටං.
Deleteදැන් මව්බිම වටා ගිහිං මදි මාලදිවයින හරහා සිංගප්පූරුවට ගිහින් විස්වය පුරා විහිදීයන්න පුලුවන් සයිකල් ඕනෙ
ReplyDeleteඒ ඉතිං පොදු ජන ජය රාවේ පස්සෙං යන්නනේ! (මේ ඔන්න අපි කොහොම හරි තුන්දෙනාම එලෙව්වා! පෙරකදෝරු මහත්තුරුංටත් හෙන ලකුණු මේ දවස් වල!)
Deleteදැන් මව්බිම වටේ ගිහිං මදි. මාලදිවයින හරහා සිංගප්පූරුවට ගිහිං විස්වයපුරා විහිදී යන්න පුලුවං සයිකල් ඕනෙ
ReplyDeleteඑක හුස්මට කියෙව්වා. අර පලතුරු අරව මේවා මැද පොල්ල වටේ දාන බැග් එකක් එල්ල ගන්න පුළුවන් නේද? එහම බයිසිකල් බෑග නැත්ද ලංකාවේ. පොලොස් මැල්ලුම්. කරිය හා පරිප්පු වලින් හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලැබෙනවනේ. හරක් මසම අනවශ්‍යයි. හැබැයි ඉතින් හිතුනොත් කනන්ව ඕනේ දෙයක්.
ReplyDeleteමේකනේ අජිත් අයියා සීන්ස් එක! අපි ගමනට යන්න පිටත් වෙන්න කලින් ගෙනියන ඒවා ලැයිස්තු හදලා ඒවා හැකි පමණ අවම කරලා ඒකට විතරක් ඉඩක් තියෙන බෑග් පැනියර් ලගේජ් වගේ ඒවා අරං යන්නේ! අර කියමන්ක් තියෙනවානේ "අන්තිම පිදුරු ගහ ඇති ඔටුව මැරෙන්න!" කියලා. ඒ නිසා වැඩිපුර ලැබෙන එක ගස් ලබ්බකින් සියල්ල උඩු යටිකුරු වෙනවා!
Deleteඔය ෆොටෝ එකේ අරුන් දෙන්නම හිනා වෙලා ඉන්නේ නැත්තේ මොකද කියල තමා මම මේ කල්පනා කරන්නේ. වලියෙන් වගේ 😁
ReplyDeleteඅම්මපා කියන්න උන්ගෙ හිත්වල මෙලෝ තෙතමනයක් නෑ තිබුනේ! කොයි මොහොතෙත් අරගලේ! අරගලේ!!
Deleteදිගටම කියෙව්වා බාධා නැතිව අද
ReplyDeleteආසයි නැවත සයිකලයක් යන්න පැද
පැතුවට හැම එකම ඒ ලෙස ඉටු වේද
මට බැරුවට මොකද, කියවමි තුටින් හිඳ
ස්තූතියි නිදි මහත්තයා!
Deleteමට සමාවෙන්න ඕනි මගේ හිතට එන අව්‍යාජ අදහස් මේ සටහන් කරන්නේ.
ReplyDeleteඔබ ඔතරම් දුකක් වින්දමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මෙලෙස කාලය සමග සටනට යන්නේ ඇයි? ඔබ කොහොමත් කවදා හෝ කාලයෙන් පරාද වනවා. ඉතිං ඔබ මේ යන චාරිකාව ඔබ විදින්නේ නැත්තේ ඇයි?
ඔබට මාගේ කොමෙන්ටු නොරිස්ස නිසා ඒවා අයින් කරනා බව දන්නවා. ඔබගේ කලින් පොස්ටුවකදී මා පැවසුවා ඔබ සමග ගැටීමක් නැති බව, එය එසේමැයි.
1. ඔබට මෙය දුකක්සේ සිතූවද මට මෙය දුකක් නොවේ. ඔබගේ තර්කයේ හැටියට සිදුහත්ට හොඳට කාලා ඇඳලා ආතල් එකේ ඉන්න තියෙද්දි මොන දේකට බුදු බව පතා ගෙන ගියාද? තෝමස් අල්වා එඩිසන් මොන දෙකටද 999 වතාවක් දුක් වින්දාද බලුප් එක හදන්න; ඔය ලාම්පුවක් පත්තු කරං නොයිඳ? හිලරි සහ ටෙන්සිංට ඉන්න බැරි කමටද එවරස්ට් නැග්ගේ? එහි ඇති යමක් තිබේද කඩාගෙන කන්න? හිටවන්න පුළුවං පැලයක් හෝ හදන්න පුළුවං ගෙපැලක් වෙත්ද? අපේ ගෙවල් වල පොකටු ලිපේ දාන කොට තවත් සමහරු ඒවා සුද්ද පවිත්‍ර කර කැටයම් කපන්නේ ඇයි? රැල්ල තියෙන කාලෙකට බාල්දියක් අරං ගිහිං නාගන්න පුළුවං කම තියෙද්දී මිනිසුන් මහත්වූ වියදමක් කර වින්ඩ් සර්ෆින් කරන්නේ ඇයි? පලමුව වෙලාව අරගෙන ඔය ගැන හිතලා බලලා ලියන්න! එවිට මට ඔබට පිළිතුරු දෙන්න පහසුවේවි!
Delete2. "කාලය සමග සටනට යන්නේ ඇයි?" කියන ප්‍රශ්ණය අහන්නට මේ දවස්වල ඉන්නා සුපිරිම ඩයල් එක වන්නේ යුපුන් අබේකෝන්ය! පොඩ්ඩක් හමුවූ විටෙක මම අහලා ලියන්නම්. ඔබට හමුවුනොත් අහලා මට දැන ගන්න ලියන්න! ඇත්තටම නිකං කාලා ඇඳලා ඉන්න බැරිවටද ඔය මගුල් කරණ්න යන්නේ කියලා මම ඇහුවා කියා අහන්න! අනික මොන දේකටද තමාම තිබ්බ වාර්ථා කඩන්නේ කියලත් අහන්න!
3.ඔව් සත්තකින්ම මගේ පෝස්ටුවටවත්, මටවත්, කියවන කෙනෙකුටවත් වැඩක් නොවන කමෙන්ටු මම මකා දමනවා! ඔබට කාලය තිබුනාට මේවා ලියන්නට මට ඕනෑ තරම් වැඩ ඇත!
මම අදහස් කලේ බයිසිකලේ ගමන හොද නැති බවක් නෙමෙයි. ඔයාගේ පොස්ටුවේ තිබෙනා අන්දමට ඔබ ශරීර වේදනාවෙන් කෙසේ හෝ එදිනට නියම කරගෙන තිබෙන දුර යෑමට උත්සහ දරනවා. මට තේරෙන්නේ නැත්තේ ඔහොම හදිසියෙන් මේ ගමන ගියාම ගමනේ සුන්දරත්වයක් විදින්න පුලුවන්ද කියන එකයි.
Deleteයුපුන් අබේකෝන් නමැති අයෙක් ගැන මා නොදනී.
මට කාලය නම් ඕනා තරම් ඇත. මා දැන් සක්‍රියව රැකියාවක් කරන්නේ නැත.
අපි පිටත් වෙන්නේ අධ්යාපන චාරිකාවක් හෝ වන්දනා ගමනක් නොවේ. ඇත්තටම එය අභියෝග ජය ගැනීමක් හෙවත් Adventure Tour ගණයට වැටෙන එකක් ලෙසයි අපි කරණ්නෙ! ඔබ මාගෙ මෙම ලිපි පෙළ මුල සිට බැලුවානම් තේරේවි අප මෙහිදී ගුරු කොට ගෙන ඇත්තේ Around the Perl event එක බව. මෙම ඉසව්ව ප්‍රවර්ධකයින් එය දින 12කින් නිම කිරීමටයි සැලසුම් කොට ඇත්තේ. ඒ දින දෙකක විවේක සමග. එම දින දෙක ගෙවෙන්නේ සම්පුර්ණ විවේකය හා විනෝදය සදහා. ඉසව්ව සදහා එක්වන්නන් ගෙන් ව්ශාල මුදලක් ඒ සදහා ය කරනු ලබයි. එහෙත් අපගේ තත්වය ඉඉට වෙනස්. අපිට ඒ තරම් මුදලක් වියදම් කිරීමට ඇති අපහසුව සහ කාලය එතරම් නැති නිසාත් අප එය දින 10කින් අවසන් කිරීමටයි සැලසුම් කරන්නේ. නියමිත කාලයකින් නියමිත ඉලක්කය ජය ගැනීමයි අපගේ අභිප්‍රාය වන්නේ. ඒ නිසාම මොන අපහසු තාවයක් තිබුනත් එය අමතක කරන්න වෙනවා.
Deleteඑක එක ය සතුටු වෙන ආකාරය වෙනස්. සුන්දරත්වය විදීම සදහා දිනගණන් මහා පාරේ ගත කිරීමට අපට කාලය වත් මුදල් වත් නොතිබීම මෙන්ම ඊට සිතක් අපට තිබුනේ නැහැ!
යුපුන් අබේකෝන් නොදන්නේ නම් ඔබ ඉක්මනින්ම ඒ නම ගුගල් සෙවුම් යන්ත්‍රයේ සොයා බලන්න.
ඔබට කාලය තිබීම පිලිබදව සතුටු වුවද එහි මට ඇති පලක් නොමැත. එයින් ටිකක් හෝ අතමරුවකට වත් ඉල්ලන්නට නොහැකි බැවිනි!
මට කියා දෙන්න බයිසිකල් එකේ යද්දි මාර්ග නීති බලපාන විදිය..සාමාන්‍යය වාහන වගේ වම් පැත්තෙන්ද යන්න ඕනෙ? නැත්තන් දකුණු පැත්තෙන්ද පදිකයො වගේ..අර සුදු ඉරෙන් එළියෙද? ඇතුලෙද? එතකොට පැති මාරු කරන්න ඕනෙ කහ ඉරෙන්ද? මෝඩ ප්‍රශ්නයක් වගේ තේරෙනවනම් කමක් නෑ ඒත් උත්තර දෙන්න .. මට සැබෑවට තියෙන පස්නයක්...
ReplyDeleteමම මේ සම්බන්ධව නිවැරදිවම ලියන්නට මා සතුව තිබුනු පොත් පිංචක් හෙව්වා! කරුමෙට ඒක හම්බුනේ නම් නෑ! ලැබුනොත් වඩාත් සාර්ථක උත්තරයක් දෙන්නම්. මාගේ මතකයේ හැටියට බයිසිකලයක් නොව ගොන් බැඳි කරත්තයක් පවා මහා මාර්ගයේදී ක්‍රියා කලයුතුවන්නේ අන් මෝටර් වාහනවලට බලපාන නීති රීති වලට යටත්වයි. සත්තකින්ම ඒනයින් ගත්කල අප සයිකල පැද යායුතුවන්නේ පාරේ මායිම ලකුණු කොට ඇති සුදු ඉරට ඇතුලතින් උවද; හැකි හැම අවස්ථාවකදීම මම සයිකලය පදින්නේ ඉන් පිටතින්ය - ඒ මාගේ වැඩි පරිස්සමටය. පැති මාරුකිරීමට කහ ඉර/සුදු ඉර එනම් පදික මාරුවක් භාවිතයේදී සයිකලෙන් බිමට බැස එය තල්ලු කරගෙන විනා පැද යාමට නොහැක!
Deleteමේ චාරිකා පෝස්ට් ටික නං මම හොඳට රසවිඳිනවා. ස්තූතියි.👌
ReplyDeleteකොයි තරම් දෙයක්ද ඔය වචන ටිකම! අනේ බොහොමත්ම ස්තුතියි !
ReplyDeleteසුපිරි ගමනක්....
ReplyDeleteස්තුතියි
Deleteතට්ටයා මහතා,
ReplyDeleteබයිසිකල් එකක් අලුතින්ම ගත්තම සර්විස් කරන්න ඕනි කියලා අහලා තියෙනවා. එකේ ඇත්ත නැත්ත මොකක්ද?
රෝද වල බකල් අරින්න ඕනි කියලත් කියනවා නේද.
ඔය කරනා වලදී මොකක්ද කරන්නේ?
මම ඉස්කෝලේ 7 පන්තියේ විතර ඉන්නකොට පස්සේ ආයේ බයිසිකල් පැදලා නැහැ. බයිසිකල් එකක් තිබ්බෙත් නැහැ ඊට පස්සේ.
ඒ කාලේ ගත්තු සයිකල් සර්විස් කලාද කියලා මතකයක් නම් නැහැ.
හේෂාන් දමින්ද
හේෂාන් මහතා; එඅක තීන්ධු වෙන්නේ අප ගන්නා සයිකලය මොකක්ද කියන එක මතයි. හොද Branded Bike එකක් නම් ඔය කියන විදියට සර්විස් කරන්න ඕනේ නෑ. එහෙත් අනෙක් සයිකල් නම් ගත්තාම සර්විස් කරණවා නම් තමයි හොද. මොකද සමහර සයිකල් ගලවලා බැලුවාම ඒවාට හොදට තෙල් ග්‍රීස් හොදින් යොදා නැතිව තියෙනු දෙක ඇත. ඒ වගේම ඇතුලත ඇති බෝල ආදිය අඩුව තිබෙනු දුටු අවස්ථාද නැත්තේම නැත. අනික සයිකලය නිවැරදිව සිරු මාරු කිරීමද සිදුවන්නේ මෙම අවස්ථාවේදීම ය!
Deleteසර්විස් කිරීමේදී සයිකලයේ සියලුම කොටස් ගලවා තෙල් ග්‍රීස් යොදා සවිකිරීම, සුසර කිරීම (ස්පෝක් නිවැරදිව සාකසීම), සීරු මාරු කිරීම සිදුවේ.
මේ කතන්දර කිියවලා දැන් මගේ බයිසිකල් අමාරුව නහුතෙටම වැඩි වෙනවා හිටං... 😁 අතේ තියන අන්තිම රුපියලත් බයිිසිකල්වල ටම වියදම් කරලා ඔන්න ඔහේ් බස්හෝල්ට් එකකවත් නිදාගන්නවා....
ReplyDeleteඅනිවා තිලින සයිකලයක් ගමු! එක ආතල් වැඩක්!
ReplyDeleteNiyamai,aayeth liyalaa,
ReplyDeletehttps://www.youtube.com/watch?v=aESqrP3hfi8
ReplyDeleteමාරයි නේ. මොනවා ලියන්නද මන්දා . එතරමට කියන්න වචන නෑ. සුබ පතුම්.
ReplyDeleteආ බොහොමත්ම ස්තූතියි!
Delete