Monday, August 23, 2021

211. පැනි බේරෙණ කොම්පැනි කථා 4



මම මේ කියන කථාව උනේ මීට අවුරුදු 13 කට 14 කට කලින්.  ඒ කියන්නේ  මම යුනයිටඩ් මෝටර්ස් ගිය අලුත! මම යුනයිටඩ් මෝටර්ස් ආයතනයට යන්නේ මම අර "207. පැනි බේරෙණ කොම්පැනි කථා 2" පෝස්ටුවේ සඳහන් කල ආශික් ලෆීර් මහත්තයා හින්දමයි. මම මුලින්ම යන්නේ හයිඩ් පාර්ක් කෝනර්; ඒ කියන්නේ අපේ ප්‍රධාන කාර්‍යාලයේ තිබුනු කුඩා වැඩපොලට. එතන තිබුනු ලිහිසි සේවා අංශය බලා කියා ගත්තේ මම. එතෙනට මා යන්නට කලින් වැඩ කලේ පානදුර පැත්තේ කෙනෙක්. උන්නැහැ අපෙ ආයතනයෙන්ම පුහුණුවක් සඳහා ජපානයට ගියාම එහේම ගල් වෙලා.  උන්නැහැගේ පාලන ක්‍රමවේදය හෙවත් මැනෙජ්මන්ට් සිස්ටම් එක මගෙ ක්‍රියා පටිපාටිය සමග එකට පෑහුනේම නැත! ඒ නිසාම කෙටි කාලයක් යන විට එතැන සිටි සේවක මහත්වරුන් මා සමග අකුරට වැඩ කරණ තැනට පත් විය!
මා එහි ගොස් මාසයක් පමණ ගත වෙද්දී දිනක්  දවල් වරුවේ සේවාව ලබා ගැනීම සඳහා "අන්වර් අලී සහ සමාගමේ" මොන්ටෙරෝ රථය එහි රියැදුරු රාජා විසින් ගෙනාවේය. ඔහුගේ රථය  තෙල් මාරු කරමින් යට හෝදමින් වැඩ කටයුතු කෙරෙමින් තියෙන විට තවත් මොන්ටෙරෝ කිහිපයක් වැඩ නිමවී සේවා ස්ථානයෙන් එළියට අදාල වාහන හිමියන් හෝ රියැදුරන් විසින් රැගෙන ගියෝය. එදින දිනය නිමා වූයේ අන්වර් අලී - රාජාගේ වාහනයෙන්.

සියල්ල නිමවා බිල් පත් ගෙවා අවසන් කොට රාජා පැමිණි පසු මාහට තව දුරටත් ඉතිරිව තිබුනේ වාහනයේ යතුර භාර දී ගෙදර එන්නට ය.

රාජා බිල් ගෙවා පැමිණියේය.

සේවා නිමකරණ වාහනවල යතුරු එල්ලා  තැබෙන්නේ  කුඩා හැඟරයකය.   රාජා සමගම එය අසලට ගිය මම යතුර ගන්නට බැලුවෙමි.

කෝ යතුර!? එහි අදාල එහි  යතුර නැත!

වාහනයක් පැමිණි පසු පසෙක ගාල් කොට තැබෙන විට එහි යතුර  තැබෙන්නේ යතුරු කටේමය. ඉන් පසු පිළිවෙලින් යට සේදීමටත් , තෙල් ෆිල්ටර් මාරු කොට ග්‍රීස් ගැසීමටත් එතැනින් බොඩිය සේදීමටත් අවසානයේ රථයේ ඇතුලත පිරිසිදු කිරීමටත් බොඩිය පිසදා ඔප මට්ටං කොට සියළු ආලවට්ටං දමා ඇන්දවීමටත් යොදවයි.

පෙර කී සියළු කටයුතු සඳහා වෙනත් වෙනත් ස්ථාන කරා වාහනය යොමුකර වීමට සිදු කල යුතු ආකාරයට ඉතාමත් ප්‍රාථමික ආකාරයක පැවති හයිඩ්පාර්ක් සේවා ස්ථානය වෙත යොමු කරණ වාහනයක යතුර ඉන් අවසන් වතාවට පිටතට ගැනෙන්නේ ඒය අවසාන අදියරයට පැමින නැවැත්වූ පසුය. එවිට යතුර ගෙන පෙර කී හැඟරයේ එල්ලා තැබේ.

මේ ලෙසට බැලූ කල අවසාන අදියරයට පැමින  පිටත් කොට යැවීමට සූදානම්ව ඇති අන්වර් අලී මොන්ටේරෝවේ යතුර වාහනය තුල හෝ හැඟරයේ තිබිය යුතුය!

එහෙත් එය නැත!

මා වහාම අවසාන අදියරේ සේවය කරන සේවකයින් දෙතුන් දෙනාව කැඳවා යතුර පිළිබඳව විමසූ අතර ඔවුන්ගෙන් කිසිදු හෝඩුවාවක් නොලැබුනි.

"සර් වාහනෙන් අද  හවසට අපේ මහත්තයාව අරං එයා පෝර්ට් එකට යන්න තියෙනවා! නැත්තං මම වාහනේ දාලා යනවා. හෙට ඇවිත් යතුර හොයාගෙන වාහනේ අරං යන්නත් තිබුනා. යතුර ඔය කොහේ හරි දාලා ඇති!" රාජා; වලිගය ගිනි ගෙන හතර වටේ ඇවිදමින් සිටින මා හට ඇහෙන්නට කීවේය.

"ඔයා අද ආපු ඔක්කෙම වාහනවලට කෝල් කරලා බලන්න . ඔය වාහනේක  යතුර ගිහිං ද දන්නේ නෑනේ!" තෙල් ඉස්ටෝරුවේ පාලක පරිණත සේවකයෙකු වූ පෙරේරා ඔහුගේ අදහස ගෙනහැර පෑවේය!

සත්තකින්ම එය කල යුතුම දෙයකි. ආයතනය තුල යතුර ඇතැයි සිතිය හැකි හැම අස්සක් මුල්ලක්, දුමක් අටුවක්,ලාච්චුව  රාක්කයක් පෙට්ටගමක්, හෙප්පුවක් පඩික්කමක් ආදී එකී මෙකී නොකී සෑම තැනකමත්; අප සියළු දෙනා අපගේ සාක්කු ඉන ඉහ ආදිය පරීක්ෂා කල පසු කල යුතුව ඉතුරුව තිබුනේ එයම පමණකි!

වාහනයක් සේවාව සඳහා පැමිණි වහාම ඒ සඳහා වැඩ පතක් හෙවත් ජොබ් කාර්ඩ් එකක් නිමාණය කල යුතුය. ඒ සඳහා වාහන හිමියාගේ නම හා දූරකථන අංකය ලබා ගනී. එහෙත් පලමු සේවාවෙන් පසු වාහනයේ අංකයට අදාල හිමිකරුගේ නමත් ලිපිනයත් දූරකථන අංකයත් පරිඝනකය විසින් වමාරයි.

ඒ කෙසේ වෙතත් එදින පැමිණි වාහන සියල්ලටම අදාල නමක්, ලිපිනයක් හා දූරකථන අංකයක් පරිඝනකය තුලින් ලබා ගැනීමේ හැකියාවක් තිබුනි.

මා කොනක සිට පැමිණි වාහන සියල්ලටම ඇමතීමට පටන් ගත්තෙමි. බොහෝ අංක වලින් පැවසුනේ එවන් යතුරක් ඔවුන්ගේ වාහනය තුල නොමැති බවය. තවත් අංක කිහිපයක් අක්‍රියය. තවත් කිහිපයක නොම්මර වැරදියය! ඔය සියල්ල මෙසේ සිදුවද්දී නැවතත් රාජා මා හමුවට පැමිණියේය.

"සර්! අපේ මහත්තයා ළඟ තව යතුරක් තියෙනවා! සර් කථා කරලා වෙලා තියෙන දේ කියන්න. එයා මට කිව්වොත් මම ටුක් ටුක් එකක ගිහින් යතුර ගේන්නම්. මහත්තයා හෙට යතුර හොයලා තියන්න!" සත්තකින්ම එය ඉතා හොඳ යෝජනාවකි. 

මම අපගේ ආයතනය තුල අංක එකේ නම් දරාපු පාරිභෝගික සේවා සැපයීමේ සේවකයාය. එය මා මෙසේ ලිඛිතව ලියා තබන්නේ එතරම්ම විශ්වාසයෙනි. වාහන සේවා සපයන ස්ථානයක පාරිභෝගිකයා හෙවත් කස්ටර්මර් වන්නේ වාහන අයිති කරු පමණක් නොවේ. ඔහුගේ බිරිඳ වාහනයේ පැමිණ සිටියහොත් ඇය ද ඔවුන්ගේ දරුවන් වුවහොත් ඔවුන්ද ඔවුන්ගේ මිතුරන් වුවහොත් ඔවුන්ද සැලකෙන්නේ පාරිභෝගිකයා හෝ ඔහුගේ කණ්ඩායම ලෙසින්ය. එසේම වාහනය රැගෙන පැමිණියේ රියෙදුරෙක් නම් ඔහුවද සැලකෙන්නේ පාරිභෝගිකයා ලෙසින්මය. මෙය මාගේ හිතළුවක් නොව එය එසේම විය යුතුය! මේ නිසාම මා වාහන අයිති කරුවන්ට සේම රියැදුරන් හටද සම මෙත දැක්වූවේය! ඔවුන්ට පොර ටොක් දීම හෝ ලොකු සීන් දැමීම මා වෙතින් කිසිදා සිදු නොවන්නට බලා කියා ගත්තෙමි.

තේ බොන වෙලාවක ඔවුනට තේ එකක් පිරිනැමීම, ගෙදර වැඩකට කළු තෙල් ලීටර පහක් ලබා දීම, ගේට්ටුවේ කිරි කිරි ගෑම නැවැත්වීමට ග්‍රීස් පොඩිත්තක්; කාටත් හොරෙන් සිලි කවරෙක උංඩි කොට දීම, හදිසියේ කොළඹ මැදදී සිදුවන කුඩා කුඩා ආපදා වලදී මැදිහත්වීම, කාක්කන්ගෙ හදිසි ගුවන් ප්‍රහාරයකට ලක්වී වින්ඩ්ස්ක්‍රීනයට වතුර පොජ්ජක් අල්ලා ගැනීමට සපෝට් එකක් දීම වැනි  පුංචි පුංචි උදව් හා සේවා; මා වෙතින් ඔවුන් වෙත කෙරුණු තෙල් ෆිල්ටර් මාරු කිරීමට අමතරව කෙරුණු කටයුතු විය!

ඔව්! දැන් මට තියෙන්නේ අලී මහතා ඇමතීමටයි! දැන් ඇමතුවහොත් මා හට කථාකරණ්නට හා සමබර කර ගන්නට ඇත්තේ යතුරක් නැතිවූ පාරිභෝගිකයෙක්වය. තවත් පමා වී ඔහුගේ එයා පෝර්ට් ගමන පරක්කුවූ පසු මා හට අමතන්නට සිදුවහොත් මා හට කථා කරණ්නටත් සමබර කරණ්නටත් සිදුවන්නේ වාහනය පරක්කුවී කෝපාවිෂ්ඨවූ පාරිභෝගිකයෙක්වය. මා දෙවරක් නොසිතා අලී මහතා ඇමතුවෙමි.

ඔහුගෙන් ලැබුනු ප්‍රථිචාරය එතරම් යහපත් එකක් නම් නොවීය. කොටින්ම එය මාගේ පසුම්බිය හිල්වන ආකාරයේ එකකි!

"හරි මම මගේ ඩුප්ලිකේට් කීස් ටික එවලා වාහනේ අරගන්නං. හැබැයි ඔයාට ඒක හොයලා දෙන්න බැරි උනොත් මුළුවාහනේම කී බැරල්ස් ටිකයි ඉග්නීශන් ස්විච් එකයි ඔයාගෙ වියදමෙන් මාරු කරලා දෙනවා කියලා මට ඉන් රයිටිං එවන්න ඕනෙ!"

බලාගෙන ගියාම ඔහුගේ ඉල්ලීමේ ලොකු අසධාරණයක්ද නොමැත. අපගේ ගෙයක, අල්මාරියක නැතිනම් කුඩා ලාච්චුවක යතුරක් නැතිවුවහොත් ඒක්ෂණයෙන් අපට සිතෙන්නේ කිසිවෙකු හෝ එම යතුර අහුලා ගෙන හෝ සොරාගෙන අපගේ ගෙයට ඇතුළු වෙයි, අල්මාරි ඇර එහි ඇතිදෑ පැහැර ගනී නැතහොත් ලාච්චුව ඇර එහි ඇතිදෑ සොරකම් කරතැහැකි යැයි කියාය. රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමකින් යුත් ඔහුගේ වාහනයේ යතුර අප විසින් අස්ථාන ගත කිරීම පිළිබඳව ඔහුට දැනෙන්නට ඇත්තේත් ඊළඟ මොහොතේ ඔහුගේ වාහනය කිසිවෙකු විසින් හෝ පැහැර ගනීවි යැයි බියය!

වාහනයක යතුරෙන් අගුළු දැමෙන හා විවෘථවන ස්ථාන හයක් වේ. දොරවල් පහ සහ සුක්කානම එම උපාංගයෝය. මෙම ස්ථාන වල පිහිටි යතුරු කටවල් තුලින් යතුරක් ඇතුළු කොට කරකැවීමේදී එය තුල ඇති ලොක් බැරල් නැතහොත් කී බැරල් මගින් අගුළු වැටීම හා විවෘථ වීම සිදුවේ. වාහනයක යතුරක් මාරු කිරීමේදී මෙම කී බැරල් පහම සහ ඉග්නීශන් ස්විච් එක හෙවත් වාහනය පන ගැන්වීමේ ස්විච්චය යන සියල්ල මාරු කල යුතු වන අතර නවීන තම වාහන වල යතුර අදාල වාහනය සමග බද්ධ වීමට ප්‍රෝග්‍රැම් කල යුතු වන්නේය.

මා වහාම අපගේ අමතර කොටස් අංශයට කථා කොට ය්තුරු හා ලොක් බැරල් ඉග්නීශන් ස්විච කට්ටල ඇති දැයි තහවුරු කර ගත්තෙමි. එහි මිළ එකල එක්සක්ෂ අසූ දහසකට ආසන්න විය! වෙන කලයුත්තක් නොමැත! මොනවා උනත් කල යුතු දේ කල යුතුය! කල් මැරීමට කාලයක් නොමැත!මා වහාම A4 කොලයක් ගෙන ලිපියක් ලියා රාජා අත තැබුවෙමි. රාජා ටුක් ටුක් රියකින් හෙවත් ත්‍රීවිලරයක නැගී නොපෙනී ගිය අතර; අද දින පැමිණි ඉතිරි වාහන වලට ඇමතීමට මා පටන් ගතිමි.

මා එකින් එක කථා කරගෙන යන අතරතුර අවසානයේ එක වාහනයකට කථා කිරීමට යාමේදී මහා  අල කලංචියකට මුහුණ දීමට සිදුවිය! 

වාහනයේ අයිතිය ලෙස දකවා තිබුනේ කොහුවල කාර් සේල් එකක නොම්මරයකි. එයට ඇමතූ විට එතැනින් පැවසූවේ වාහනය ඔවුන් වෙනත් අයෙකු හට විකුණා ඇති බවත් දැනට ඔහු බාරයේ ඇති බවත් ඔහුගේ අංකයක් තමන් අත නොමැති බවත් ය. මාගේ ඊළඟ ප්‍රශ්නය වූයේ වාහනය  එනම් මොන්ටෙරෝව ඔවුන්මිළදී ගත් අයගේ අංකය ලබා දෙන මෙන්ය. මන්ද එයින් වත් කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවේදෝ යන්න මාගේ අවසාන බලාපොරොත්තුව විය.  ඇඹිළිපිටියේ නොම්මරයක් ලැබුණු අතර ඔවුන් වෙත කථා කල සැනින් ඔවුන් මහත්වූ කලබලයට පත් වීමටත් පුර්වපර නොගැලපෙන මුසාවාද දෙසීමටත් පටන් ගත්තෝය.  ඒ වන විට රජයේ බලපත්‍ර විකිණීම මහා අපරාදයක් සැලසෙන අවධියකි. මා අමතා ඇති වාහනයේ පෙර අයිතිකරු පලා බබෙකි! ඔහු තම බලපත්‍ර වාහනය අත යට විකුණා ඇති අතර ඒ පිළිබඳව මා විමසන විට වැඩේ සී අයි ඩී කරණය වී ඇතැයි ඔවුන් සිතුවා විය හැක!

එතැනින් පොටක් පාදා ගැනීමට නොහැකිවූ තැන මා නැවත කොහුවල කාර් සේලයට ඇමතුවෙමි.

කාර් සේලයේ එක් සේවකයෙකු පැවසුවේ කුඩා ඉඟියකි. 

"ඔය වාහනේ කළුබෝවිල පීරිස් පාරට යනවා කොළඹ ආවොත්! දැනට තියෙන්නේ දෙනියායේ. පාට රතු පාට!"

මොන්ටෙරො සාමාන්‍යයෙන් ලංකාවේ අලෙවි වන්නේ කළු , සුදු හා අළු පැහැය වැනි වර්ණයන්ගෙන්ය. රතු පැහැය යනු ඉතා අඩු වර්ණයකි. මෙරූන් පාට එනම් ලොවි රතු පැහැය තිබුනත් රතු පැහැය බෙහෙවින්ම දුර්ලභය. එදින රතු පැහැති මොන්ටෙරෝ රථයක් පැමිණි බව මාහට හොඳින්ම මතකය. රථය ගෙන ආවේ ඉතා වයස් ගත රියැදුරෙකි. වාහනයේ සේවාව අවසන් වූයේ දහවල් 1.30 ට 2.00 ට පමණය. ඔහුගේ වයස් ගත භාවය නිසාම ඔහුගේ දිවා ආහාරය පිළිබඳව මා විමසුවේය.

"සර් දැං දවල්ට කෑමක් නෑ! අපේ මහත්තයා කියලා තියෙන්නේ කොහෙවත් නවත්තන්න එපා කියලා. ඉඳුරුවේ මහත්තයා දන්න හෝටලයක් තියෙනවා. එහේට යනකල් කෑමක් නෑ!" ඔහු පැවසුවේය. මට එය මගේ හදවතේ පතුලේම ඇනුනි. 

"පොඩ්ඩක් ඉන්නකෝ!" මම එසේ කියා අපගේ කැන්ටිමට ඉගිළුනි. ඒ වන විට අපගේ හවස තේ එක සෑදෙමින් විය! මා ඔවුන්ට සිද්දිය සැකෙවින් පවසා කිරි තේ එකක් හදා ගැණීමට හැකිවිය. මා මහළු රියැදුරා පිටත් කලේ කිරි තේ එකකින් සප්පායම් කොටය! කෘතඥ්ඥ පූර්වක බැල්මක් හෙලා ඔහු මගෙන් සමුගෙන පිටත් විය. සෑම සියළු දෙනා හටම මා යතුරු භාර දුන්නේ "පරිස්සමින් යන්න! මොනවා හරි අවුලක් නම් මට කථා කරණ්න!! දෙවියංගෙ පිහිටයි ගිහිං එන්න!!!" කියාය. එහි වැදගත් පණිවිඩයක් මා ඔහු වෙතට සම්ප්‍රේශනය කරන්නෙමි. ඒ වෙන කිසිවක් නොව අපේ එවුං මොනවා හරි පිස්සුවක් කෙළලා මොකක් හරි අවුලක් උනොත්; ආයතනයේ මාව කන්න බලන්න සිටින උන්ට නොකියා මටම කියාපිය! මම වැඩේ ගොඩ දාලා දෙන්නං!" කියන එකය!

මේ සියළු ආශිර්වාද, සුභාසිංශන, අවවාද, ප්‍රාර්ථනා මැද ගිය මහළු රියැදුරාගේ වාහනය තුල; අන්වර් අලී  වාහනයේ යතුර පවතීවිද නැතිද යන්නද සීයට පණහක සම්භාවිතාවක් පවතින කාරණාවක් පමණි. ඇත්තටම එය තුල තිබේද? රියැදුරාගේ දූරකථන අංකය මා නොදනී. වාහනයේ අයිතිකරුගේ අංකය ලෙස අපගෙ ලේඛණ තුල ඇත්තේ ඔහුට වාහනය විකුණූ කාර් සේලයේ අංකය පමණි. දැනට ඇති එකම හෝඩුවාව වාහනය කළුබෝවිල පීරිස් පාරට යන බවත්, රතු පාට බවත්, දෙනියායේ වාහනයක් බවත් පමණි.

ඒවන විට හැන්දෑවේ 6.30 ට පමණි. මා හයිඩ්පාර්ක් කෝනරයෙන් පිටත් වී කළුබෝවිල පැමිණියෙමි. පීරිස් පාර පිහිටියේ රෝහල ඉදිරියේය. එතැනම ත්‍රීවීල් පාර්ක් එකක්ය. මා ත්‍රී වීලරයකට හිස හොවා මගේ වාහනය ගැන විමසුවෙමි.

"අයියේ මේ පාරට එනවද රතු පාට මොන්ටෙරෝ එකක්! SPKD -XXXX කියලා!?"

"ආ මල්ලි අර වංගුවට ඉස්සෙල්ලා දකුණු පැත්තේ කෙළවරේ තියෙන ගෙදරට තමයි එන්නේ! රතු පාට එකක් නේ!?  හරි හරි එහේට තමයි!!!!" ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා සේ හෝඩුවාව හරියටම කිව්වේය!

මා අඩියට දෙකට නිවසේ ගේට්ටුව ඉදිරියේ විය. ගේට්ටුවට කිහිප වරක් තට්ටු කරත්ම කාන්තාවක් පැමිණ ගේට්ටුව විවෘථ කලාය. මාගේ දුක්බර කථාන්දරය මුල සිට අගටත් අග සිට මුලටත් කිහිප වරක් පැවසූ පසු; අමෙරිකාව හොයාගන්නට යන්නට ඔන්න මෙන්න තියා ක්‍රිස්ටෝපර් කොලොම්බස් ගෙන් ඔහුගේ කසද පවුල ඇසූ ආකාරයේ  තවත් අතුරු ප්‍රශ්න දුසිමක් පමණ ඇසූ පසු ඇය දෙනියායේ මහේෂ් මහත්තයාගේ අංකය ලබා දුන්නීය.  ඇයගේ කුතුහලයද ඉතා සදාරණය! යතුර නැතිවී ඇත්තේ එක් වාහනයකය! දැන් හොයන්නේ වෙනත් වාහනයක්ය! ඔහු මෙම නිවසට එන බව හොයා ගත්තේ කෙසේද? ඒ බව මා දැනගත්තේ කෙසේද? එය මට කීවේ කවුරුන්ද? ඔවුන් ඒ බව දන්නේ කෙසෙද? මා මෙම නිවස සොයා ගත්තේ කෙසේද? හිතා ගන්නකෝ ඇය කුමන පඹ ගාලක පැටලෙන්නට ඇත්දැයි කියා!?

මා මිදුලේ සිටම මහේෂ් මහතා ඇමතීය! කථාව නැවත මුල සිටම පැවසීය!

ඔහුගේත් පලමු ප්‍රශ්නය වූයේ "මම කළුබෝවිල ඔය ගෙදරට එන බව ඔයා කොහොමද දන්නේ?" කියාය! ගැටළුව ලිහා දුන් පසු ඔහු කටහඬ අවදි කලේය.  "වාහනේ තාම දෙනියායේ ආවේ නෑ! තාම මග! ඩ්‍රැයිවර්ව කන්ටෑක්ට් කරණ්න විදියක් නෑ. එයා ලඟ ෆෝන් එකක් නෑ. වාහනේ තිබුනොත් මම අරං තියන්නම්!"

කරණ්නට තියෙන හැමදේම සිදු කොට ඇත! මාගේ පාලනය තුල පවතින කල හැකිව ඇති එකම දෙය වන්නේ අන්වර් අලී සහ සමාගමේ වාහනේ ඉග්නීශන් ස්විච් එක සහ ලොක් බැරල් පහ  දැමීමට යන මුදල සොයා එය සපයා ගන්නා ආකාරයක් සොයා ගැනීමය.

මා එතැනින් කළුබෝවිල හංදියට පැමිණ කොහුවල, නුගේගොඩ, කිරුළපන, බේස්ලයින් පාර ඔස්සේ බොරැල්ලට පැමිණ එතැනින් පෑලියගොඩ හරහා කඩවතට පැමිනියෙමි! මා නිවසට පය තබනවාත් සමගම දුරකථනය නාද විය!

"Mahesh Dheni" තිරයේ ලියැවී තිබුනි!

"හෙලෝ ඔව් සර් කියන්න!" මා දූරකථනයට ඇමතුවෙමි.

"ඔයා බය වෙන්න එපා! යතුර තියෙනවා. ඒක ඩ්‍රැයිවර්ගෙ පැත්තේ ඩෝ පොකට් එකේ තියෙනවා! දැං කොහොමද ඒක ඔයා ගන්නේ?"

"අනෙ  ලොකු දෙයක් සර්! මම අද නැත්නම් හෙට රෑ බස් එකෙන් දෙනියාට එන්නම්."

"හරි මම ලබන සතියේ ආපහු කොළඹ එනවා! මම එවන්නම්!"

"අනේ එච්චර කාලයක් ගන්න බෑ සර්! මම ඒ වාහනේට ලියුමක් දීලා තියෙනවා වාහනේ ලොක් බැරල් ටිකයි ඉග්නීශන් කී ස්විච් එකයි මාරු කරලා දෙනවා කියලා. වැඩේ පරක්කු වෙලා මෙහේට කම්ප්ලේන් කලොත් ලෙඩක් සර්! අවුලක් නෑ හෙට රෑට මම එන්නම්!"

"හරි! අපි මොනවා හරි කරමුකෝ!"

පසු දින මා නැවත වැඩ හලට ගියේ නැවුම් ආරංචියක් සමගය! ඒ යතුර හොයා ගැනීමේ ප්‍රවෘථිය ය! මා සාමාන්‍ය පරිදි වැඩ කරගෙන යමින් විය. සවස  දෙනියායේ යාමට ඇති බව සිහිකරමින් පා සේවයේ ය!

උදේ 9.00 පමණ වන විට මා වෙතට නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබුනි!

"ඔයාට දෙන්න කියලා යතුරක් තියෙනවා පොඩ්ඩක් ආර්පිකෝ කාර් පාක් එකට එන්න පුළුවංද!?"

ආර්පිකෝ කාර් පාක් එක යනු අපගෙ වැඩ හලේ සිට මීටර 100 කටත් අඩුවෙන් ඇති ස්ථානයකි. මා ඉගිළුනෙමි! පෙර දින මා වෙතින් නික්ම ගිය රතු පැහැති මොන්ටෙරෝව අනෙකුත් වාහන අතර මාහට සොයා ගැනිම අපහසු නොවීය! මා රියැදුරු අසුන වෙතට ලඟා වෙත්දී එහි හොඳින් ඇඳ පැළඳ ගත් අයෙකු සිටියේය. මා මාගෙ අනන්‍යතාවය ඉදිරිපත් කලෙමි.

"ආ! ඔයාද!? මම තමයි මහේෂ්!"   ඔහු පැවසූ දෙය ඒ ආකරයෙනම පැවසීමට මාහට; වසර ගනනාවක් ගියත් අදටත් මතකය මතකය!  " මට අපේ ඩ්‍රයිවර් කිව්වා ඔයා ඒ මනුස්සයා බඩ ගින්නේ එනවා කියලා නවත්තගෙන කිරි තේ එකකුත් හදවලා දීලා එව්වා කියලා! මට කියලා ඔයාට බොහොම පිං දුන්නා!  ඔයා මගේ ඩ්‍රයිවර්ට සලකපු විදියට ඔයාට කරදරයක් වෙන්න මට ඉඩ තියන්න බෑනේ! මෙන්න ඔයාගෙ යතුර!!  ඔයාට  මම තේ කොල පැකට් දෙකකුත් ගෙනාවා! මේවා අපේ ෆැක්ටරියේ ඒවා! මම එතනට ආවේ නෑ හොඳද දන්නේ නැහැනේ!?"

මගේ දැස් කෙවෙණි තෙත් විය! දෙයියනේ තේ කොප්පයකට මේ තරම් වටිනා කමක්! 

"බොහොම පිං සර්!" මා ආපසු හැරුණෙමි.


( මේ කථාවේ සියළු නම් ගම් සත්‍යයය!)

65 comments:

  1. මෙහි ආමි. දැන් යමි.

    - ජෑමා කාලී

    ReplyDelete
    Replies
    1. මකරුන් එන්නේද යන්නේද ඉන්නේද ගිනි පිඹිමින්ය! පලාතම අවුළුවමින්ය!! අසුවන සෑම සියළු දෑම සුන්නත් දූලි කරමින්ය!!! එහෙත් එවන් ලකුණක් ඉතිරිවී නොමැත! නැවත ගොඩ වැදී එවන් ලකුණක් තබා යන්න!
      මන්ද (ලියන්නට) පමා (තම තමන්ගේ බ්ලොග්)?

      Delete
    2. තට්ට මාමේ, මකරාගේ බ්ලොගියට පහලින් පාරක් කපමි.
      ද්‍රව කාබන් ඩයොක්සයිඩ් ටැංකියක් මතක් කර රැගෙන එන්න. පසුව පිලිස්සුන බව නොකියන්න.

      http://ranwanmakara.blogspot.com/


      -ජෑමා කාලී ජිනේ දිනේ

      Delete
  2. Ditta dhamma wedaneeya karma neda?

    Dakune api ehemai hariya?

    Wijebahu

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මම මගේ ජීවිතයේ වරක් නොව කිහිප වරක්ම මෙවන් දේ අත් විඳ ඇත. එසේම මා හට (කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව) කුඩා උව උදව්වක් කල අයෙක් වෙතද මා උදව්වක් කරණ්නේ ඔහු නොසිතනා මොහොතක නොසිතනා ලෙසින්ය. මම කථාවට කියන්නේ "මච්ං අපිට උදව්වක් කලොත් ඒක ආයේ බැංකුවේ දැම්මා වගේ තමා!" කියලාය. රිටර්න් එක ලැබෙන්නේ පොලියත් සමගින්ය! ස්තූතියි විජේභාහු මහත්තයා කලින්ම ආවාට!
      (මේ දවස් වල දකුනෙ එක්කෙනෙක්ගෙන් කනවා අපි කෑමක් කෝමද දන්නවද?)

      Delete
    2. Ow dannawa, what to do? Man 1st citizen ne!

      Delete
  3. Very nicely written Mr. Thatts.

    ReplyDelete
    Replies
    1. නයිස් කමෙන්ට් ,මිස්ට(ර්) ප්‍රා.

      Delete
    2. මේවට කියන්නෙ, නිදාගෙන ඉන්න මහසෝනා නැගිට්ටනව කියලද?

      Delete
    3. ස්තූතියි ප්‍රාජේ!

      Delete
    4. Thanks for the compliment Mr. Buss.

      Delete
  4. යතුර ඒ වාහනයට ගියේ කොහොමද? ඒ ගැන හෙව්වේ නැතිද? ආයෙමත් එවැනි දේවල් නොවෙන්න කලේ මොකක්ද? යුනයිටඩ් මොටරස් ගැන කතා කරන්න එපා උන් මගේ රුපියල් 25000ක් හොරා කෑවා.

    ReplyDelete
    Replies
    1. මා ඒ ගැන පුංචි ඉඟියක් දීලා තියෙනවා කථාව මුලදීම! ඒ දවස් වල එහි සේවකයින් මා සමග එතරම් පයුරු පාසානයක් නැතිව සිටි නිසාම මහේෂ් මහත්තයාගේ වාහනේ ඩෝ පොකට් එකට දැම්මා වෙන්නත් පුළුවං. අනික මම ම එක් වාහනයක් එක තැනකින් ගාල් කරලා මහේෂ් මහත්තයාගේ වාහනේට නැග්ගාම එතැනින් තිබ්බා වෙන්නත් පුළුවං. ඔය සිද්ධියේ වඩාත්ම පුදුම සහගත කරුණ වන්නේ ඔය වාහන දෙකම පැය භාගයකට වඩා එකට නොතිබීම! අදටත් හිතා ගන්න බෑ ඇත්තටම මොකක්ද උනේ කියලා. ඉන් පසුව අපි මෙහෙම සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කලා. වාහනයක් අදාල තැන ගාල් කලාම එතන ඉන්න; නම් කල එක් සේවකයෙක් එම වහනේ යතුර රැගෙන එල්ලා තැබිය යුතු යැයි කියා!

      Delete
    2. මටත් එක පාරටම හිතුනේ ඒක . ටිකක් කියවන යද්දී ඕනෑකමින් දාන්න ඇති කියල. මෙහෙ ගරාජ් වල යතුර දුන්නහම නමත් එක්ක එල්ලන්නේ. වැඩ කරන කට්ටිය පොඩි පොතක් අත්සන් කරනවා. නැතිවුනොත් එයාගේ පඩියෙන් ගන්නේ

      Delete
  5. කතාව හොඳයි. ඒත් මටත් ආවෙ අසංගට ආපු ප්‍රශ්ණෙම තමා. අකුරට වැඩ පාටියේ, ගේමක් වගෙයි පේන්නෙ.

    සේවකයන්ගේ අවුල කුමක්ද, එය විසඳාගත්තේ කෙසේද යන්න ගැනත් ලිව්වොත් තමා කතාව සම්පූර්ණ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම වෙන්නත් ඇති. මාත් විශ්වාස කරනවා! අපි ඒකට පිළියමක් යෙදුවා අදටත් එය ක්‍රියාත්මක වෙනවා ඇති.
      සේවකයින්ගේ ප්‍රශ්ණය නම් කල් ගත වෙද්දී ඔවුන් ම තීරණය කරනවා, හඳුනා ගන්නවා "කවුද මිනිහා"කියලා!
      ඔබට කියන්න මම ඔටෝ මිරාජ් එලට ගිහින් පළමු මාසයේම සේවකයින්ගේ වැටුප් ගෙවීම දින ගනනාවකින් පරක්කු වෙනවා. ෆිනෑන්ස් කරලා ත්‍රීවීල් ගත්තු, දෙමාපියන් අඹුදරුවන් අදාල සේවකයාගේ පඩි දිනය මත ණය ගත්තු, කඩවල් වලට එදා වේල පිරිමසා ගන්න සිල්ලර බඩු ගත්තු මේ සේවකයින් හට ඇතිවන බර සෙල්ලමක් නෙවෙයි!
      නමුත් මගේ වෙලාව කියන්නේ ඔටෝ මිරාජ් ඉතිහාසයේම එහෙම දෙයක් උනු පළමු වතාවලු!
      මේ නිසාම සේවකයින් හිතනවා මාගේ පැමිණීම සමග, මගෙ වැරදි කළමණාකරණය නිසා; මගේ අනුදැනුම අනුව සිදුවුනු දෙයක් කියා! ඒ අයගේ සැකයත් සාධාරනයිනේ!?
      ඒ වෙලාවේ ආයතනය තුල වැඩ වර්ජනයක් සිදුවීමේ ප්‍රවණ තාවයකට යනවා. නමුත් ඒ අය දැනගෙන හිටියේ නෑ ඒ වනවිටත් මම; මගේ කරේ තිබුනු චෙන් පොට ගලවා ආයතනයේ ගනකාධිකාරී හට දී තිබුනු බව එය බැංකුවේ උගස් කොට එයට ඒ අවස්ථාවේ අප ආයතනය අත තිබුනු මුදලට එකතු කොට; සෑම සේවකයෙකු හටම අවම වශයෙන් රුපියල් 15000 ක අත්තිකාරමක් ලබා දීමට කටයුතු කර ඇති බව!
      සේවකයින්ට අවශ්‍ය වුනා මා සමග සාකච්චාවක්. ඉල්ලූ සැණින් එය ඔවුන්ට ලැබුනා. එහිදී එහි සිටි නිල නොලත් වෘථීය සමිති නායකයා තරමක් තදින් තමයි කථාකල්!
      අන්තිමට මා එයින් එන කොට ඔවුන් මාවෙත ලබා දුන් සාදයේ ( 193. සමුගැනීමේ සාද!) ඔහුම තමයි ඒ වඩෙත් ලීඩ් කරණ්නේ. ඔහුගේ නම සිරිමල්! ඇඟ පත තියෙන හොඳ පැඟිරෙක්. මා සෑම විටෙකම විශ්වාස කලා "අනින ගොනා වැඩට දස්සයි! කියන දේ ! ඇත්තටම ඌ සිරා වැඩ්ඩෙක් උගේ අංශය තුල! හිත හොඳ එකෙක්!! පරාර්ථ කාමී එකෙක්!!! හොඳ නායකයෙක්!!! එහෙම එවුං කාලයත් එක්ක පන උඅනත් දෙනවා අපි නීඇරදි යැයි දැන ගත්තාම! හයිඩ් පාර්ක් එකේ හිටපු ෆ්‍රඩී හෙවත්ප්‍රදියා වනාත මුල්ලේ එකෙක්! නියම රාත්තල! දැං දැක්කාම යන ගමන නවත්තලා ත්‍රීවීල් එකෙන් බැහැලා උගේ දරුවන්ව පෙන්නලා ආදරයෙන් කථා කරන මිනිස්සු. උංගෙ හිතේ ඒවා තියා ගන්නේ නෑ අපිව පාලනය කරන මිනිස්සු වාගේ! ඇත්තටම උං වචනයේ පරිසමාප්තයෙන්ම පොරවල්! උන්ට අපිව මුලින් මුලින් සෙට් වෙන්නේ නෑ තමයි. අහලා නැත්ද කියමනක් "පීරට පීර ගෑවෙන්නේ නෑ!" කියලා. කාලය උංට තේරුම් කරලා දෙනවා අපි කවුද කියන එක! එතෙක් නොසැලී ඉන්න එක තමයි ජීවිතය කියන්නේ!

      Delete
  6. කළ විට හොඳක් කාටම හරි හොඳ හිතකින්
    ප්‍රතිඵලයත් හොඳයි සැක නැත ඒ ගැන නං
    ඒ වාගෙමයි රාම සැරේටත් වැඩියෙන්
    හීන් සැරය සැර වැඩි - වැඩ දෙනව හොඳින්

    ReplyDelete
    Replies
    1. අනිවා! රාම සැරයටත් වඩා හීන් සැරය බලවත් කියන එකනම් ඇත්තම ඇත්තයි! ස්තූතියි!!

      Delete
  7. අන්තිම ටික කියවද්දි මගෙත් දෑස් කෙවෙණි ටිකක් තෙත් වුනා. මේ තමා මනුස්සකම කියන්නෙ, ඔබේ මනුස්සකම වගේම පෙරළා ඊට ප්‍රතිචාර දක්වපු මහේෂ් නමැත්තාගෙත් මනුස්සකම. මේ දේ හිඟ නිසා තමා දැන් අපි සමාජයක් විදියට මෙච්චර පිරිහිලා තියෙන්නෙ.

    කළුබෝවිල ගේ හොයාගත්ත හැටි ගැන දෙන්නම ඔච්චර හාර හාර ප්‍රශ්න ඇහුවෙ, මහේෂ් මහත්තයා පීරිස් මාවතේ කොට්ටක්වත් පැන්නද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඊට පසු අපි හොඳ මිත්‍රයින් උනා. ඉන් පසුව ඔහු වාහනය කොම්පැනියට එවනවා නම් මට ඇමතීමක් දෙන්න පුරුදු උනා! මරුම වැඩක් උනා අදටත් මම ඒ ගැන දුක් වෙනවා. මෙතනම ඒකත් ලියන්නම්. මම පිහි වලට දක්වන්නේ දැඩි ප්‍රේමයක්. පොඩි පොඩි ගැජමැටික්ස් වලටත් එහෙමමයි. දවසක් මහේෂ් මහත්තයාගේ වාහනේ ආවා සර්විස් එකට. ඒකෙ පිටි පස්සෙ සීට් එකක් යට තිබුනා Letherman Tool එකක්. දැක්ක ගමන් මගේ කෙල ගිලුනා. මම ඒක වාහනේ ඉස්සරහින් තියලා මැද කොන්සෝල් එකෙන් තිබ්බා. පස්සෙ එයා ඇවිත් වාහනේ අරන් ගියා. හවස මට මතක් උනේ ගැජට් එක ගැන, මම හුටස් ගාලා එයාට කෝල් එකක් දීලා කිව්වා "සර් හෙව්වද දන්නේ නෑ! මම අර Letherman Tool එක පිටිපස්සෙ තිබිලා ඉස්සරහින් තිබ්බා!" කියලා. "අනේ හරි! තැන්ක්යූ! මට හම්බුනා! " කිව්වා. මටත් ඉන්න බැරි අමාරුවට මම ඇහුවා "සර් ඒක කොහෙන්ද ගත්තේ? කීයක් උනාද?" කියලා. ඒ ගමන මහේෂ මහත්තයා කියපි "අයියෝ ඔයා ඒකට ආසද? මට කියන්න එපායැ! දැන් පැය භාගෙකට විතර ඉස්සෙල්ලා මම ටී ඔක්ෂනියර් කෙනෙක් ගාවට ගියා! එතන හිටපු කෙනෙක්; ඒක මගේ අතේ තිබිලා ඇහුවා. මම ඒක එයාට දුන්නා!" කියලා. තව පොඩ්ඩෙන් මම කන්ථක අස්සයාගේ හද පැලී මිය ගිය රෙකෝර්ඩ් එක බ්‍රේක් කරණවා.

      ඔව්! ඔව්!! මටත් එහෙම හිතුනා!! අහන්නනං ගියේ නෑ අදතා වෙන්න!

      Delete
    2. මාර ආතල් වැඩක්නේ මට උනේ! පල්ලේහා රවී ධර්ම සේන (දොස්තර) මහත්තයා දාලා තියෙන කොමෙන්ටුවෙන් මම දැනගත්තා මහේෂ් රණවීර මහත්තයා මේක කියවලා කියලා. ඉතිං අද උදෙම උන්නැහැහැට මම ඇමතුමක් ගත්තා. එතුමාට බොහොම සතුටුයි මට ඒ කථාව මතක තිබීම ගැන! සුපිරිම වැඩේ කියන්නේ අර කළුබෝවිල ගෙදර ඉන්නේ එතුමගෙ අක්කාලු. එතුමිය මහ ඉස්පිරිතාලේ ලොකු දොස්තර මහත්මියක්! ඒ මහේෂ් මහත්ත්යාලට ඉස්කෝලෙ යන්න තාත්තා කොළඹින් ගත්ත ගේ ලු! අර රියැදුරු මහත්තයා හොඳින් ඉන්නවා කියලා කිව්වා. එයා මහේෂ් මහත්තයාගේ තාතාව බලා කියා ගත්තු නිසාම කුඹුරු අක්කර පහක් එක්ක පොඩි ගොඩ ඉඩම් කෑල්ලක් දීලා ජීවත් වෙන්න! එතුමා කීර්තිමත් නාලන්දියය යෙක් කියලා දැන ගත්තෙත් ඒ කථා බහේදී!

      Delete
    3. ඔයාට කියන්ට මිස්ටර් තට්ස්, ඒ කමෙන්ට් එක දැකලා මම ඔළුවෙ අත ගහගත්තා.

      ආයෙම වතාවක් ඔබතුමා මහේෂ් මහත්තයාට කතාකලොත් කියන්න මගෙ කටකැඩිච්චි කමට කියාපු ඒ කතාවට එතුමගෙ පොඩි හෝ සිත් රිදවීමක් ඇතිවුනානං මම දහස් වතාවක් සමාව ඉල්ලුවා කියලා.

      Delete
    4. Leatherman Wave hmmmm, have you got one? contact me on Whatsapp, Wijebahu

      Delete
  8. පාරිභෝගික සේවාව පිළිබඳ පුහුණු සැසියකදී යොදාගතහැකි තරම් වටිනා කතාවක්.

    ReplyDelete
    Replies
    1. මා පෞද්ගලිකව එවන් පොඩි පොඩි වැඩ සටහන් කරණවා. ඔයාට අවශ්‍යවේනම් මට කියන්න. මම නොමිලේම ඇවිත් කරලා දෙන්නම්. පලමුව කියන්න ඕනෑ ඔබගේ ක්ෂේත්‍රය. ඇත්තටම එහෙම පුහුණු සැසි වල අවසාන පැයේදී මා පවසන කථා කිහිපයක් තියෙනවා. මෙයත් ඉන් එකක්.

      Delete
    2. ස්තූතියි. මම දැනට ඉන්නේ සවුදි අරාබියේ. ලංකාවෙදී ජෝන් කීල්ස් ආයතනයේ වැඩකරනකොට පුහුණුසැසි මෙහෙයවීම කලා.

      Delete
  9. තේ කොළ පැකට් දෙක කෝ ..?

    ReplyDelete
    Replies
    1. ඒවාට ඉතිං ගෙදරින් වැඩ සෙට් කරලා තිබ්බා ගේන්න කලිංම! කොටින්ම ඒවා ත්‍යාග භාන්ඩම උනා!

      Delete
  10. මේ කතාව බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් ආදර්ශමත් එකක්.

    මේ වාහනේට යතුර ගියේ කාගේ හෝ අතපසුවීමකින් වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. මේක තරහට කරපු වැඩක් නම් යතුර කොහොමවත් හොයා ගන්න බැරි විදියට විසි කරලා දානවා මිසක්, වෙන වාහනයක ඩ්‍රයිවර්ගේ ඩෝ පොකට් එකට දාවිද??

    //අනික මම ම එක් වාහනයක් එක තැනකින් ගාල් කරලා මහේෂ් මහත්තයාගේ වාහනේට නැග්ගාම එතැනින් තිබ්බා වෙන්නත් පුළුවං.//
    මෙන්න මේ දේ වෙන්නත් ලොකු ඉඩක් තියනවා.

    කොහොම උනත්, හොඳ දෙයක් කලාම ලැබෙන ප්‍රතිඵලයත් හොඳ වෙනවා කියන එකට මේ කතාව උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් මහත්තයා! මාත් හිතන්නේ එහෙම වෙන්න ඇති.
      ඔව් ඇත්තෙන්ම අපි යහපත් දෙයක් කලොත් ඒක කොහේ හරි රෙකෝර්ඩ් වෙනවා. සමහර විට ඊට ප්‍රථිපල එන්නේ අපි නොහිතන මොහොතක නොහිතන කෙනෙක්ගෙන්!
      ස්තූතියි බොහොමත්ම!

      Delete
    2. සෑම් එහෙම මිනිස්සු අර විසි කරන්න, නැති කරන්නම නෙමේ පොඩි කට්ටක් කන්න අරින්න ඒ වගේ දේවල් කරනවා නේද

      Delete
    3. අනිවා එහෙම වෙන්නත් සෑහෙන්න ඉඩ කඩක් තියෙනවා.

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්ඩ. හදිසියට කොටපු කමෙන්ට් එකේ අංක තුන, පොඩ්ඩක් මිස් අන්ඩස්ටෑන්ඩ් වෙන්න ඉඩ තිබුණ නිසා මැකුවා.

      අරෙහ්... කියන්න කාරණා කීපයක් ම තියෙනව.
      1.බඩගින්නෙ ඉන්න මනුස්සයෙක්ට දුන්න තේ කෝප්පෙට මේ කතාවෙ රිටන් ඒක රුපියල් එක්ලක්ෂ අසූදාහක් විතර වෙලා තියෙනව. (වෙල්ඩන් තට්ට මහත්තයො. හිස නමා ගරු කරනව ඔය සහකම්පණයට)
      2.දෙණියායෙ උදවියගෙ කළ ගුණ සැළකිම සහ හිතවත්කම නම් මමත් පෞද්ගලිකව දන්නව. මාර ළතෙත් මිනිස්සු

      Delete
    2. ඔව්! ඇත්තටම එහෙම දේවල් බොහොමයක් මට වේලා තියෙනවා ජීවිතේ! කොහොමත් අපිට මැරන කොට සතුටුන් මැරෙන්න පුළුවන් මිනිස්සු! මම ජීවිතේ තුන් පාරක්ම මරනය අසලට ගිහින් ආවා! ඒ හැම අව්ස්ථාවකදීම දැනුනේ සැහැල්ලුවක්!
      "ළතෙත්" අහා එය මොන තරම් සුන්දර වදනක් ද? ඇථ්තෙන්ම පලාත් බදව එහෙම වෙන් කිරීමට පුළුවන් උනත් බැරු උනත් ඉතාමත් ත්‍යාගශීලී මිනිස්සු මට බොහොමයක් පලාත් වලදී හමුවෙලා තියෙනවා.

      Delete
  12. මේ බ්ලොග් පිටුව මම දැක්කේ අහම්බෙන්. එය මට පෙන්වන ලද්දේ මේ කථාවේ කතා නායකයා වන මගේ මිත්‍ර මහේෂ් රණවීර විසින්. ඔහුගේ ගතිගුණ දන්නා මට මෙය පුදුමයක් නොවේ. කෙනෙකුගේ යහපත් ගතිගුණ අගේ කරන හා මිතුරන් හෝ ආගන්තුකයන්ටද උපකාර කරන මහේෂ් අද සවස මා අමතා, " මචං මං ගැන ලියපු blog එකක් හම්බ උනා, ඒක කියවලා උඹට හිතෙන දේ කියපං" යැයි මට පැවසුවා. බලපං මනුස්සයෙකුට උදව්වක් කරාම ඒක අවුරුදු ගණනක් මතක තියාගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවා!" ඔහු මට කිව්වා.

    ReplyDelete
    Replies
    1. දෙයියනේ මහෙෂ් සර් මම බ්ලොග් එකක් ලියනවා කියලා දැන ගත්තේ කොහොමද? ඔව් ඔහු ඉතාමත් සුන්දර ත්‍යාගශීලී මිනිසෙක්! ඔව් ඇත්තටම ඒ සිද්ධියේදී මගේ රැකියාව නැතිවී යාමේ අවදානමක් පවා තිබුනා! එතුමාට කරණ උපහාරයක් වශයෙනුයි සැබෑ නමම බාවිතා කලේ. දැන් රෑ වැඩී. හෙට උදේම මම එතුමාට ඇමතුමක් ලබා දෙන්නම්!

      Delete
    2. වෙදැදුරුතුමනි, අද උදේම මහේෂ මහතාට මම ඇමතුවා. ඔබත් ලේඛකයෙකු බව ඔහු පැවසූවා. නරකද පොඩියට බ්ලොගයක් පටන් ගත්තොත්!?

      Delete
  13. මේ කතාවත් කියවලා ම මොනව හරි කියනවද? අපි බ්ලොගර්ස්ලා එකට ඉන්න ඔ්නෙ. දැන් දැන් අපි වඳවීගෙන යන ජාතියක් නෙව.

    ReplyDelete
    Replies
    1. මම මීට පෙර විසිරිගේ බ්ලොගයට ගොඩ වැදී ලියා තියෙනවා! හොඳයි අපි එක්ව යමක් කරමු. බොහෝ විට ඩ්‍රැකී මම දන්නවා මගේ අතින් සිදුවන ලොකුම වරද තමයි අන් අයගේ පෝස්ටු වලට කමෙන්ට් නොදමන එක! ඒ ගැන එක වතාවක් නොවේ දෙතුන් වතාවක්ම මට ඇනෝපොලිසුත් කිව්වා! ඒත් ඇත්තම මට වෙලා තියෙන්නේ අන් අයගේ බ්ලොග් විතරක් නොව පොතක් පතක් වත් බලන්නට වෙලාව ඉතාමත් සීමිත වීම. අනෙක මට කොමෙන්ටුවක් ලියන්න ගියත් ඒක වචන දෙකෙන් ලියන්න; පොඩි බැරි අමාරුවක් තියෙනවා. පෝස්ට් එකකින් භාගයක් විතර ලියැවෙනවා ලියන්න පුළුවන් තැනකට තල්ලු උනාම! කොම්පියුටරය ඉදිරියේ ඉඳගත් මොහොතේ පටන් ලියවන පට්ටලයක් වගේ ලියන එකමයි කරණ්නේ. මම හිතන්නේ මම දෙවෙනි වන්නේ නිදි අයියාට විතරයි. ඔහුට තරම් නිදහස් ජීවිතයක් නැතුව මම ලියන තරම් ඔබ දන්නවා නොවැ! මම දන්නවා ඒක නිදහසට කාරණාවක් නොවන බව!
      සත්තකින්ම බ්ලොග් කරණය ඉදිරියට ගෙන යාමට මගෙනුත් යමක් වෙනවා යැයි මාඅ සිතනව. ඒ කියවන්නන්හට නො එසේනම් පාඨකයින් හට නොනවත්වාම අත නොහැරී කියවන්නට මා ලියනවා. නිදී අයියත් එහෙම හිතා හෝ නොසිතා ලියනවා.
      මේ ගැන අපි මුණ ගැසී කථා කරමු. අපි මොනවා හරි කරමු.

      Delete
    2. //මේ ගැන අපි මුණ ගැසී කථා කරමු. අපි මොනවා හරි කරමු.//
      මතකයේ ඇත!

      Delete
  14. නියම කතාවක්. හොඳ customer relations. මෙහෙ තේකක් දෙන්නේ BMW , Benze ඩිලශිප් එකකට ගියොත් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් අයියේ ඒ සබඳ තාවය අදත් තියෙනවා ඒ ලෙසින්ම.

      Delete
  15. හ්ම්ම්ම්... අද නම් මොකුත් කියාගන්න බැරුව උගුර හිර උනා වගේ.. මට මේක කියවද්දී සුදුගෝනා පොත මතක් උනා.. දිකුද් (ඇතා) ගේ කකුලේ ඇනිච්ච උල ගලවපු හෑන්ස් ගේ අන්තිමට පණ බේරුවේ දිකුද්!

    රෙස්පෙක්ට් බ්‍රෝ!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි කළ්‍යානමිත්‍ර! සත්තකින්ම මම මේ කථාව කියපු හැම අවස්ථාවකදීම; අවසාන කොටස කීවේ බොඳවුනු හඬින්! අද මහේෂ මහත්තයාට මම උදේම කථා කලා! දැන් නියම වැඩක් උනා. ඔය උඩින් රවී ධර්මසේන කියලා කමෙන්ට් එකක් දාලා තියෙන්නේ දෙනියායේ ඉස්පිරිතාලේ දෙවෙනි මහත්තයා. ඒ මහත්තයා පොතක් එහෙම ලියපු බුවෙක්! ඒ මහත්තයා දැන් කථා කරලා එයාටත් බ්ලොග් එකක් පටන් ගන්න ඕන කිව්වා. මම් ඒක හදලා ඉවර කලා විතරයි. ඉදිරියේ ඒ දොස්තර මහත්තයත් ලියයි අපට කියවන්නට දෙයක්. බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. දෙණියාය සෙන්ට්‍රල් එකේ දෙවෙනි මැඩමුත් සම්මානලාභී ජේෂ්ඨ බ්ලොග්කාරියක් කියන්න :)

      Delete
    3. අබේගුණවර්ධන මැඩං ගැන වෙන්ඩෝනැ කියන්ඩ ඇත්තේ!?

      Delete
    4. නෑ.. ඔය පහල ඇනෝ කමෙන්ට් එක දාල තියෙන්නේ ඒ උන්දී තමයි. නම් ගම් වහගෙන ඉන්න කැමති කියූ නිසා කවුද නොකියා ඉන්නම්.. :)))

      Delete
    5. ආදරයෙන් බලා ඉන්නවා..... අපේ සනුහරේට පිළිගන්නට!

      Delete
  16. කස්ටමර් කෙයාර් සහ එහි යහපත් ආනිසංස.
    සංවේදී ලිපියක්.
    තල් අරණට බයිසිකලයෙන් ලිපි අතර බයිසිකල් ගැන තාක්ෂණික කරුණු ඇතුළත් ලිපියක් පල උනා. මට ඒක හොයා ගන්නට බෑ.උදව් කරන්න කරුණාවෙන්.

    ReplyDelete
    Replies
    1. අනේ කපිල මහතා මම ලියාගෙන යන විටදී මතකයට එන සෑම සියළු තාක්ෂ්ණික කාරණාවක්ම මගෙ අලියවිල්ලට ඇතුලත් කරණවා. ඒ නිසාම එවන් කරුණු ලිපි මාලාව පුරාම අඩු වැඩි වශයෙන් පැතිරී ඇත. ඔබට අවශ්‍ය වන්නේ කුමන ආකාරයක තාක්ෂ්ණික කරුණක් පිළිබඳවදැයි පැවසුව හොත් මා ටක්කෙටම කියන්නම් කොහේද ඒ ලිපිය කියා! ස්තූතියි ඇවිත් කියවා බලා විමසිලිමත් වූවාට!

      Delete
    2. ස්තූතියි පිළිතුරට. පොකුරු අතර සැරි සැරුවත් ලිපි පෙල අහු උනේ නෑ. බයිසිකල් ගැන සියලු විස්තර එහි තිබුනා. බයිසිකලයක සියලු උපාංග ගැන තාක්ෂණික කරුණු. ටයර්, ගියර් බ්රේක් සැකිල්ල ආදිය. ගියර් රේෂෝ. ලංකාවේ ගත හැකි හොඳ පාවිච්චි කරන ලද බයිසිකල් වර්ග. ගත හැකි ස්ථාන. අලුත් වැඩියා කරන අය. වගේ විස්තර. වහෙන් ඔරෝ නැතුව කිව්වොත් මමත් හොඳ වර්ගයක සෙකන්ඩ් හෑන්ඩ් එකක් හොයනව.තෝරන්න දැනුම මදි.ඔබේ ස්කොට් එකත් මතකයි. කරදර කරාට කමන්න. වසංගත අස්සෙ බයිසිකල් ද?

      Delete
    3. ටිකක් හම්බ උනා. 112. 118 පෝස්ට් දෙකෙන්. තව සොයනවා හම්බ වෙයි.ෆෝන් එකෙන් හොයන හින්ද වෙලා යනව.

      Delete
    4. ඔයා මට ලියනවද? මට උදව් කරණ්න පුළුවන්. ඔයා මට ලියනවද? මට උදව් කරණ්න පුළුවන්. ඔය උඩ දකුණු පැත්තේ තියෙන්නේ "මගේ ගෙදර - දොරේ යතුර " කියලා පොඩි ගැජට් එකක්. එතන ඔයාගේ නමයි, ඊ මේල් ලිපිනයයි, ලියලා පණිවිඩය වෙනුවට ඔයාගෙ ටෙලිෆෝන් නොම්මරේ දාලා SEND කරණ්න. මම කතා කරණ්නම්. ඔයාට මට උදව් කල හැකියි!

      Delete
  17. රත්නපුරේ නම් වාහනේ ‌එක්ක යතුර අතටම දෙනවා.

    ReplyDelete
    Replies
    1. එකල හයිඩ්පාර්ක් සර්විස් එක තිබුනේ ඉතාමත් නොදියුණු තැනක! මා ලිපියේ සඳහන් කල පරිදි වාහනය එක් එක් කාර්‍යය සඳහා ඊට අදාල ස්ථානයන්ට වෙන වෙනම යොමු කිරීමට සිදුවූවා. ඒ නිසාම යතුර වාහනයේ අයිතිකරුවෙත ලබා දුන හොත් නැවත ඔහුගෙන් කිහිප වතාවක් ඉල්ලා ගැනීමට සිදුවනවා. ඒ වාගේම පිට පලාත් වල මෙන් නොව අගනුවර: විශෙෂයෙන් හයිඩ්පාර්ක් එකට පැමිණියේ උදේ වාහනය සේවාව සඳහා යොමු කොට; රැකියව සඳහා පිටව ගොස් නැවත හවස වාහනය රැගෙන යන පාරිභෝගිකයින්! බොහොමත්ම ස්තූතියි මෙහි පැමිණියාට!

      Delete
  18. සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකක් කියෙවුවෙ.ඒකත් කළණමිත්‍ර නිසා.
    දෙනියාය සුන්දර පළාතක්. අපි නම් කොළඹ ගෙනියන්නෙ ගහෙන් හදපු ඔරිමජිනල් කිතුල් පැණි බෝතල් .

    දෙනියායෙ සුන්දරම තැනක තමා මාත් ඉන්නෙ. මහේශ මහතාව දැක ඇති .නමුත් මතකයේ නෑ. රවී දොස්තර මහතා වෙන්න ඕනෙ මන් මොරවකදී දැක තිබුනා. ඔවුන් ලියන කියවන සුන්දර හදවත් ඇති අය බව දැන ගැනීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. මහේෂ් මහත්තයාගේ මුළු නම මහේෂ් රණවීර. උන්නැහැගේ තමයි යෝල්ටා තේ පැට්ටේරියයි දෙනියායේ පිරවුම් හලයි. රවී මහත්තයා ගේ නම රවී ධර්මසේන. එතුමා දෙනියාය ස්ප්‍රිතාලයේ දෙවෙනි මහත්තයා. ඔය කියන විදියට මේ දෙදෙනාම ඉන්නේ මොරවකයි දෙනියායයි මැද!

      මට ඉවෙන් වගේ තේරෙණවා ඔබත් ලියන කියන කෙනෙක් කියලා! මගේ ඉව නිවැරදිද?

      Delete
    2. හරි. නමුත් නම් ගම් වහල තියන්න කැමති.

      Delete
  19. හිත හොඳඋන්ගෙ පෙණ නෑ කහට නෑ!.
    හැබැයි සර් එව්වටත් හරියන්ඩ තේ වල නං ගානට කහට ඇති.
    වෙලාවක හොයාගන බොන්ඩෝනැ යෝල්ට තේ කෝප්පයක්.

    දෙන්නටම ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මං එදා ඇහුවේ මොනවද එවන්න ඕනෙ කියලා!? අනික දැන් බැරියෑ හැරි අයියගෙ තේ බොන්න ඇති තරං

      Delete
  20. කළහොඳ පස්සෙං එලෝනව කියන්නෙ ඕකට තමයි.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...