Tuesday, December 17, 2019

158. මෛත්‍රී - අඩියොස් අමිගෝ . . . . !

ඔව් මේ අලි පන්නපු මෛත්‍රී තමයි.

මෛත්‍රී මා හට මුන ගැහෙන්නේ අපි මහවැළි ගඟේ මහියංගනයේ සිට මනම්පිටියට යාත්‍රා කල අවස්ථාවේ අපිට එක් වූ අවසාන ගමන් සගයා ලෙස.

"මා කණ්ඩායම නැවත සැකසූයෙමි. 
ධම්මික පැමිනිය හොත්; පසිඳු-ධම්මික , වසික - මම , තෙශාන්ත -  ?

ඔව් තව එක් අයෙකුගේ සහභාගීත්වය අනිවාර්‍යයෙන්ම  අවශ්‍ය වේ. මන්ද මේ  ගමන සඳහා   භාවිතා කලයුතු වන්නේ Two Man Kayak මය. එය හැසිරවීමේදී පොඩි ලමයෙකු වාගේ  කීකරුය ! 

මේ නොදන්නා ගමන් මගේ තිබිය හැකි  Rapid හෙවත් ඇළි වලට වඩාත්  සාර්ථකව මුහුන දිය හැක්කේ Two Man වලටය. වැඩි බරක් ගෙන යා හැක්කේද මේවාටමය . මේ නිසාම මේ ගමනට Two Man හෙවත් Tandem  විනා  One Man හෙවත්  Solo ගෙනයාම බුද්ධි ගෝචර නොවන්නේය. එසේම  One Man හෙවත්  Solo කයාකයක් පැදීමට සුවිශේෂි හැකියාවක් තිබිය යුත්වේ. එවන් හැකියාවක් ඇත්තෙකු ඉතිරිව ඇත්නම්  ඒ පසිඳු පමනකි! 

අවසානයේ තෙශාන්ත මාහට කථාකලේය. ඔහුගේ මිතුරෙකුවූ වන ජීවී දෙපාර්තමේන්තුවේ  මෛත්‍රී නමැති අයෙකු මේ ගමනේ ඉතිරි ගමන් සගයා ලෙස මහියංගනයේදී  අප හා එක්වන බව ඔහු සහතික විය.

මේ වන විට ඇළහැර ප්‍රදේශයේ අලි පැන්නීමේ ව්‍යාපෘථියකට සම්බන්ධව සිටිනා ඔහු අද රාත්‍රී බසයෙන් මහියංගනය බලා පිටත්වන බව වැඩි දුරටත් හේ පැවසීය."

මහවැළියේ යන්නට අප පිටත් වෙන්නේ රජරටට මහ වැසි වැටෙන්නට ඔන්න මෙන්න තියෙන කාලයක. අහස ගැබ්බරව වැසි වදන්නට සූදානම්ව සිටි මොහොතක අප ගමන යොදාගෙන තිබුනි. 
මුලින් අප සමග සිටි 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩයම කෙට්ටුවී කෙසඟවී කෙඬෑරිවී 5 දෙනෙකු දක්වා පසු බැස තිබුනි. 
එවන් මොහොතක අප "නැතිවූ" සගයා සොයමින්; හාත්පස  ඉව අල්ල අල්ලා සිටි මොහොතක මෛත්‍රී පිළිබඳ ආරංචිය ගෙනාවේත් තෙශාන්තයමය!

"අප දැන් මහියංගනය නගර සීමාවේ සිට නිපෝන් පාලම සොයා යන්නට පිටත් වූ අතර;   තෙශාන්ත දිගින් දිගටම ඔහුගේ මිතුරා මෛත්‍රී ඇමතීමට උත්සාහ ගනිමින් විය. 

මේ තෙශාන්ත පවසන මෛත්‍රී  අනුකම්පා විරහිත අපව අතර මං කලාවත්ද? මෛත්‍රී  නොපැමිනියහොත් අප අතරින් කවුරුහෝ එක්  අයෙකු එක්  කයාකයක් සමග මහියංගනයේ නවතින්නට සිදුවනු ඇත. මන්ද Two Man  කයාකයක්  තනිව ලොකු දුරක් පැදීම බොහෝ අසීරු කටයුත්තකි. එය වඩාත් අසීරු වන්නේ එය මතුපිට තවත් අමතර බරක් පැටවූ පසුය.

 අවසානයේ නිපෝන් පාලම අසලදීම  තෙශාන්තට තම උත්සාහය සාර්තක කර ගැනීමට හැකි විය. ඔහු පෙරදින සිට නිදි වර්ජිතව ඇලහැර සිට මහියංගනයට පැමින ඇත.

මහියංගනයේ සිට නිපෝන් පාලම පසුකොට ගොස් අපසු හරවා ගෙන පැමිනෙද්දී කාල වර්ණ, ප්‍රියමනාප, ශක්තිමත් දේහයකට හිමිකම් කියූ තරුණයෙකු අපට හමුවිය. ඒ අන් කිසිවෙකුත් නොව මෛත්‍රීය. 

හමුවී කෙටි වේලාවකින්ම ඔහු අප සමග ඇති කර ගත්තේ කලක සිට ගෙන ආ මිතුරු බවක සේයාවක්. ඔහු පැද්දේ වසික එක්ක. වසික කියන්නේ මගේ සුජාත පුත්‍රයා. ඔවුන් දෙදෙනාම ගමනට එක් වූයේ ආධුනිකයින් ලෙස! එහෙත් ඔවුන් ඉතා ඉක්මණින්ම කයාකය හසුරුවා ගැනීමට ඉගෙන ගත්තා. ගමන තුල ඉතිරිව ඇති මිහිරි මතක අතර මෛත්‍රී වටා ගෙතුනු කථා බොහොමයක් තවමත් අප අතර.

"බොහෝ විට වසික -මෛත්‍රී  යුගලය රැගත් කයාකය ඉදිරියෙන්ම ගමන් ගති. අප එය හැඳින්වූයේ අධිශක්ති කයාකය ලෙසයි. හොඳින් වැඩුනු දේහයකට හිමිකම් කියූ මෛත්‍රී ශක්තිමත් තරුණයෙකු විය.ඔහුගේ දෑතේ හෙවත් බාහු යුග්මයේ   මස්පිඩු හොඳින් වැඩී තිබුනි.

වන ජීවී දෙපාරතමේන්තුවේ සේවය කරණ ඔහු එයට අමතරව පුහුණු ජීවිතාරක්ෂකයෙකි! නවසීලන්ත ජීවිතාරක්ෂක සංගමයෙන් තඹ පදක්කම් ලද්දෙකි. ( Bronze Medalist)! එසේම හොඳ පිහිනන්නෙකි. වසිකද ඇඟ පුරා ගාය ඇති නව යොවුන් තරුණයෙක්‍ ය.

මේ නිසා වසික මෛත්‍රී ද්විත්වය රැගත්  කයාකය ගඟේ හරහටද දිගටද උඩහටද පහලටද සෑම දිශාවකටම ගමන් කරණු බොහෝවිට දක්නට ලැබුනි. ශක්තිය අවශ්‍යය; ඒ අවශ්‍ය වේලාවට අවශ්‍ය පරදිය!  ඔවුන් මෙසේ ගඟේ හතර මුල්ල පැන්නේ අප බොහෝ සීරුවෙන් මෙන්ම අසීරුවෙන් ගඟ පහලට සෙමෙන් සෙමෙන් රූටමින් සිටිනා විටදීය !"
-( http://thattayagekolama.blogspot.com/2017/11/14.html )-

මහ කැලේ අප රාත්‍රිය ගත කරද්දී අපගේ ජීවිත ආරක්ෂාවට ගිනි මැලය පරදා ඉදිරියේ සිටියේ මෛත්‍රීය.  ඔහු අපගේ කාන්සිය මැකී යන්නට තම කට හඬ අවදි කලේය.
තෙශාන්ත පවසන ලෙසට පලමු විවාහය කෙළවර වී ඇත්තේ "හුලවාළි" චිත්‍රපටයේ කථාවට සමපාත වෙමිනි. ඒ වන විටත් විරහව ඔහුගේ සිතේ කොතැන හෝ තිබෙන්නට ඇත!


"ටික වේලාවකින් තෙශාන්ත විසින් සම්පාදනය කොට මෛත්‍රී විසින් ඉදිරිපත් කරණ්නට යෙදුනු “අසන්නන්ගේ   ඉල්ලීම්”  වැඩසටහණකට සවන් දීමේ අවස්ථාව ලැබුණි. 
මාගේ මතකයේ හැටියට  ඔහු පලමුවෙන් ම ගායනා කලේ  විශාරද  ටී ෂෙල්ටන් පෙරේරා ගේ ගීතයකි.

“මී පැනි දී රිදී ගන්න   ගං පොජ්ජට මං ගච්චා …….” නම් රසාලිප්ත  ගීතයය. 

ඒ වන විට ප්‍රථම ප්‍රේමය විසින් මෛත්‍රීගේ හදවත දරුණු ලෙස බරුගසා සිටි අවධියයි! ඒ දුක් බර හඬ නැගුනේ ඔහුගේ ස්වරාළයෙන් නොව හදවතින් විය යුතුය!

මේ ඔහුගේ ආත්ම කථනයද ?"

“මී පැනි දී………..” ගීයෙන් පසු තවත් එම ශිල්පියා ගේම ගීත කිහිපයක් මෛත්‍රී  ගායනා කලේය.   

ෂෙල්ටන් පෙරේරා ගායකයානන් ගේ නාසික හඬට  තරමක දුරින් නෑකම් කී හඬකට හිමිකම් කී මෛත්‍රීගේ ගී රාවය ; ඒ වනවිට බොහෝසෙයින් විඩාබරව සිටි අපට සුන්දර මිහිරියාවක් ගෙන දෙන්නට සමත් විය.

මයිත්‍රී එක් ගීතයක් ගයා අවසන්  වත්ම තෙශාන්ත ; “අනේ මයිත්‍රියෝ තව එකක් කියහංකෝ…….!” යයි පවසමින් කල ඉල්ලීම පසෙක නොහෙලා මෛත්‍රී ගීත දහයක් පමන ගැයුවේය.

අප එකෙක් අය කැමති ගායක ගායිකාවන් කවුරුන් වුවද ;  එම මොහොතෙ අප සියල්ල ඒකාග්‍රව ඒකාත්මිකව එම හඬ රස විඳීය. 

ඒ ; ඒවනවිට   අප කැමතිම හඬ වූයේ ටී ෂෙල්ටන් පෙරේරා ගේ හඬ මුසුවූ මයිත්‍රීගේ දුකබර හඬට වූ බැවින්‍ ය."


මෙවර කළු ගඟේ යන්නටත් මා ඔහුට අමතන ලෙස තෙශාට කීවෙමි.

"අප සමග මහවැළි තරණයට ගිය අනෙක් තිදෙනා වන්නේ වසිකත්, මෛත්‍රීත්, ධම්මිකත්ය. වසික මේ වන විට කැන්ගරු දේශයේය.
ඊළඟට ලැයිස්තුවේ ඉන්නේ මෛත්‍රී හා ධම්මික ය.  
දෙදෙනාගෙන්; අවස්ථාවට පළමුව හිමිකාරීත්වය කීවේ මෛත්‍රීය. ඔහුගේ ජිව දත්ත මා මෙහි නැවත සඳහන් නොකරණ්නේ  ඒ සියල්ල මා ගඟක් දිගේ ලියා තැබූ බැවින්ය.

"අද හවසට ඌට කතා කරලා උදේම උඹට කියඤ්ඤං !" කියා කීවාට තෙශාන්ත කියපු දෙයක් නැත.

මම දෙවන වර තෙශාන්තව අමතන විටත් ඔහුට මෛත්‍රීව සම්බන්ධ කර ගැනීමට නොහැකිවී තිබුනි.

මන්ද මහ කැළයේ ගස් බෙනවල, රූස්ස ගස් මුදුන් වල, ගල් ගෙවල් තුල කටු ලැහැබ් තුලින් මී පැණි පොජ්ජක් මන්දො කර ගත්තාට සිග්නල් පොජ්ජක් පටෑරගෙන කෝල් පොජ්ජක් මන්දො කරාන්නට හැකියාවක් නොමැති නිසාය.

"දිවයිනම ආවරණය වන පරිද්දෙන් . . .  " බයිලා  මහ කැළයට ඒවා වලංගු නොමැත.

බඩ රස්සාවට අලි පන්නන මෛත්‍රී ඉන්නා රූස්ස කැළයට සිග්නල් සිදාදියෙ හූරන් රැගෙන යා  යුතුය.

"මචං ඌට එන්න වෙන්නේ නැතිලු . . . !" මේ 11 වෙනිදා හවස් යාමයේය!"



15/12/2019 කියන්නේ මෑත කාලයේ බොහෝ සෙයින් කලබලකාරී දිනයක් උනේ වැඩපලේ මිත්‍රයෙකුගේ පියාගේ අවමංගල්ලය වෙනුවෙන් මස්කෙළියේ නොටිංහෑම් වත්තට යන්නට සිදු වීම හේතු කොට ගෙන! මමත් රුෂානුත් අගනුවරින් පිටත් උනේ හරියටම දහවල් 12.00 ට!

හරියටම 1.30 ට දූරකථනය නාද විය.

තෙශාන්ත! අමතමින්.

"තෙශා! කියහං මචං මම මලගෙදරක යනවා මස්කෙළියේ!"

"සෑඩ් නිව්ස් එකක් මචං! අපේ මෛත්‍රියාට අලියෙක් ගහලා! එතනමලු!  බොඩි එක අරණ් තියෙන්නේත් මාර ගේමක් දීලාලු!"

එතනින් එහාට මම මොනවා කිව්වාදැයි මම නොදනිමි. ඉන් එහාට මා ඒ පිළිබඳව කිසිදු දෙයක් ආරංචි නොකලෙමි. මන්ද ඒ කිසිදු දෙයකින් ඒ සුන්දර මිනිසා නැවත අපට දකින්නට නොහැකි වන නිසාය. මා මේවන තෙක් මාගේ පුත්‍රයාට නොකීවෙමි. ඔහු එතරම්ම මෛත්‍රීට ආදරය කල බව මා හොඳාකාරවම දන්නා නිසාය.

මහවැලියේ එක් මොහොතක වසික හා මෛත්‍රී පැදවූ කයාකය සැඩපහරට හසුවී; දියට බරවූ විසල් ගසක් යටින් ගමන් කරද්දී වසික හට සිදු වන්නට ගිය මාරන්තික අනතුරකින් ගලවා ගත්තේ මෛත්‍රීගේ වේගවත් මෙන්ම ශක්ති සම්පන්න වූ ප්‍රථිචාරය කරණ  කොට ගෙනය!


මෛත්‍රී පිළිබඳව කතා කරන සෑම අවස්ථාවකදීම වසික එය මහත්වූ ගෞරවයකින් යුතුව මතක් කරණු මා බොහෝ වර අසා ඇත!

අලින්ට විනය කටින  ගිහියන් පැවිද්දන් මෙතරම්  සිටින රටක; සැබැවිම "ගජ මිතුරන්" වූ කණ්ඩායමක මෛත්‍රීවම මරා දැමුවේ ඇයිද කියා මාහට සිතා අගන්නට නොහැක!

උඹේ මල ගෙදරට ඇවිත් උඹේ කනට ලං වෙලා කියන්නට දෙයක් ඇත.


"උඹ ඇත්තටම හොඳ මිනිහෙක්!"

කාකි හැට් තොප්පියක් ඇඳ සිටින්නේ මමය! 
මාගේ දකුණු පසින්; කොල පැහැති කැප් තොප්පියකින් සැරසී සිටින්නේ පසිඳුය.  
මාගේ වම් පසින් සිටින; මාගේ සුජාත පුතු  වසිකය. 
වසික අත තබාගෙන සිටින්නේ අපගේ ආදරණීය මිත්‍රයා - මෛත්‍රී ගේ දෙවුර මතය.
උපැස් යුවලකින් සැරසී මෛත්‍රීට අසල සිටින්නේ තෙශාන්තය. පිංතූරයේ ඉහළ කෙලවරේ සෙල්ෆිය මෙහෙයවූ මහේන්ද්‍ර !


සිය පතක් රැඳුනද කුසුමක
සිත හදා ගන්නේ කෙලෙසද
එක් පතක් වියැකෙද්දී . . . ?

ඔව් බලමු ලබන ආත්මෙදිවත් මෙවන් අකල් මරණයක් අත් නොලබන්නට!



30 comments:

  1. so sad about him. Rest in peace Maithree !

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම එය හදවත පසාරු කරගෙන යන දුකක්!

      Delete
  2. සුව නින්දක් මිත්‍රයා...!!!

    ReplyDelete
    Replies
    1. උඹට තේරණ්න ඇති ඒ කාළකණ්නි පණිවිඩය මට ලැබුනාම මට දැනුනු දේ. උඹනෙ ලඟ හිටියේ!

      Delete
  3. RIP.
    වන ජීවී නිලධාරීන්ට ලැබෙන පහසුකම්, ප්‍රතිකාර/ වන්දි මෙන්ම පවුල්වලට ලැබන වන්දි ක්‍රමවල ලොකු අඩුපාඩු තියනවා. ඔවුන්ගේ සේවය මාධ්‍ය හා මහජනයාගෙන් අගය කිරීමත් වෙනත් අංශවලට සාපේක්ශව මදි. (එක කාලයක අර්ධ-නිල වශයෙන් සම්බන්ධතාවයක් තිබුන නිසා මට ඔබතුමා ඒ ගැන ලියන්න අදහසක් තියනව නම් තොරතුරු දෙන්න පුලුවන්)

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ලියමු ! මගේ තාත්තාත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කලේ. මා දන්නවා ඔහුගේ ජීවිතය මොනතරම් අනාරක්ෂිතවූ අවස්ථා තිබුනාද කියා? අනෙක ඔය මගුල් දෙපාර්තමේන්තු දෙකම එකක් විය යුතුයි කියාත් මම හිතනවා. එවිට මීට වඩා කාර්‍යක්ෂම සේවයක් බලා පොරොත්තු විය හැකියි. සංවිධානය පුළුල් වූ විට එහි ස්ථායි තාවයත් ඉහලයි නේද? මේ මිනිස්සුන්ට වාහන නෑ! වාහන තිබුනොත් ඩීසල් නෑ!! කන්න දෙයක් නෑ!!! කොටින්ම මුකුත් නෑ!
      ඔය මිනිස්සුන්ට මොකක්ද තියෙන පුහුණුව?

      අතේ පයේ හයියයි හිතේ බය නැතිකමයි කටේ සද්දෙයි විතරක් අරණ් යන අහිංසක මිනිස්සු!
      ස්තූතියි ගොඩවැදුනාට!

      Delete
  4. හොඳ මිනිස්සු ඉක්මනට යනවා ලොක්කයියෙ. උංට එහෙ වේකන්සි තියෙනවා. මේ ලබ්බෙ අවුරුදු හැට හැත්තෑව ලකා ගහගෙන ඉන්න පුළුවං කුප්පයන්ට විතරයි. මෛත්‍රී හොඳ තැනක ඇති. ගිය විදිහ දුකයි වුනත් ගිය තැන අනිවාර්යෙන් හොඳින් ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් මා දන්නා තරමින් ඔය යකා කුරා කූඹියෙකුටවත් වරදක් ඇති එකෙක් නෙවෙයි.

      Delete
  5. අපි ගෙන එන කර්මය අනුව මේක වෙන්නේ. ඕක හෙට වෙනකොට ඔබට වෙන්නත් පුළුවන්. බයිසිකලේ පැදගෙන යනකොට ඔබව යටකරගෙන බස් එකක් යන්නත් පුළුවන්. ඕක අපි කාටත් වෙන්නත් පුළුවන්. ඕක ඉතිං සංසාරේ හැටි තමයි තට්ටයා මහතා.

    -චතුෂ කුමාර

    ReplyDelete
    Replies
    1. ඔබ ආගම; විශෙෂයෙන් බුද්ධාගම සිරාවටම පටලාගෙන ඇති සේයාවකි.

      පහනක් නිවීයාමට හේතු විය හැකි කාරණා ලෙස; තෙල් අවසන් වීම,තිරය අවසන් වීම හා පරිභාහිර උපද්‍රවයක් දැක්විය හැකිවා සේම
      ජීවිතයක් අවසන් වීමට කර්මයක් පඩිසන් දීම, ආයුෂ අවසන් වීම හා පරිභාහිර උපද්‍රවයක් හේතුවක් විය හැකියි කියලයි බුදුන් දේශනා කොට ඇත්තේ.

      සුනාමියෙන් මැරුණු සියල්ලෝම කර්මය නිසා හෝ ආයුෂ අවසන් වීම නිසා මියගියා යැයි සිතිය නොහැකියි.
      කිසිදු හේතුවක් නොමැතිව පරිභාහිර හේතුවක් හෙවත් සුනාමියට හසුවී දියේ ගිලී මිය යා හැකියි.

      මා බසයට යටවන මොහොතේ සයිකලයේ කොටසක් වැදී අහක ඉන්න ඔබ,ඔබගේ මව, පියා, දරුවා දරුණු ලෙස තුවාල ලබා මිය ගිය හොත් ඒ කර්මය, ආයුෂ හෝ පරිභාහිර හේතුවක් මුල් කරගෙන සිදුවුනි දැයි අපට තියා මැරුණු එකාටවත් සිතා ගත නොහැකි වෙනවා.

      Delete
    2. මා සිවුරු දැරුවේ අවුරුදු 14 සිට තට්ටයා මහතා. වසර 21 ක් සිවුරු දැරුවා. කර්ම නියාම මේ සියල්ලටම යටයි. උදාහරණයක් ලෙස ඔබ කඩවත ප්‍රදේශයේ ඉපිද අඩු පහසුකම් යටතේ රළු ජීවිතයකා යොමුව දිවි ගැට ගසා ගන්නවා. ඒ වගේම ඕක්ලන්ඩ්හි ඉපිද එහි සුවපහසු දේශගුණික කලාපයක ජීවිතය ගෙවනා කෙනෙක් ඔබට වඩා පහසුවෙන් දිවි ගෙවනවා. මෙය විග්‍රහ කල හැක්කේ සෘතු නියාම ලෙසයි. එනමුත් වඩා ගැඹුරින් දර්මය විමසා බැලීමේදී පෙනෙන්නේ ඔබ කඩවත ඉපිද ඇත්තේ කර්ම නියාම නිසා බවයි. එවැනි දුෂ්කර පාරිසරික කලාපයකට ඉපිද ඇත්තේ පෙර කර්ම නිසාමයි. ඕක්ලන්ඩ් හී සුව පහසු දිවියක් ගෙවන වැසියාට එය ලැබී ඇත්තේ ඔහුගේ පෙර කුසල් කර්ම නිසාමය.

      -චතුෂ කුමාර

      Delete
  6. ඔබගේ සිවුරු දරා සිටීමේ එක්ස්පීරියන්ස් එක ගැන මා හට විවාදයක් නොමැත. වටේ යන්න එපා! මම සැකවින් කියන්නේ මේලෝකේ සිදුවන හැම මරණයකම මූලික පදනම හුදෙක් "කර්මය" ම පමනක් නොවන බවයි. මේ මිනිසුන්ගේ ජිවිත අනතුරේ හෙලන ක්‍රමෝපායන් හා ක්‍රියා පිළිවෙත් නිවැරදි කිරීමට උනන්දුවක් උත්සාහයක් නොගන්නා බලධරයින් හැරුණාම වෙනයම් කරුමයක් නම් මා හට නොපෙනේ. පංසල් වලින් මෙන්ම බොහෝ සංඝයන් වහන්සේලා වෙතින්ද කෙරෙණ්නේ පිං හා පව් වෙළෙදාමයි. ඔවුන් පහලවී ඇත්තේ නම් අපේ කරුමෙටම විය යුතුය. ඔබ කියන ලෙසට මේ රට; ජීවත් වීම සඳහා වඩාත් සුවදායි කිසිදු පියවරක් ගැනීම "කර්මයට" එදිරිව කටයුතු කිරීමකි. මන්ද දුක් විඳින්නට අප මෙරට ඉපදී ඇත්තේ වෙනත් දියුණු රටක ඉපදෙන්නට තරම් කර්මයක් හේතු කොටගෙනය. එය එසේනම් අප උත්සුක විය යුත්තේ රටට සමාජයට වඩාත් සුවදායක වටාපිටාවක් පරිසරයක් ගොඩ නැංවීමට කරණ්නාවූ ප්‍රථිසංස්කරණයන්ගෙන් වියෝ වී තෙල් මල් පහන් හඳුන්කූරු ගෙන පිං රැස් කරගෙන වඩාත් සුවදායක වටා පිටාවක ජීවත් වීමට කටයුතු කිරීමයි. අනේපිඩු සිටු බුදුන්ගෙන්; "හොඳින් ජීවත්වීමට කුමක් කල යුතු දැයි?" විමසූවිට උන් වහන්සේ පැවසුවේ "යහමින් යමක් හරි හම්බ කර ගත යුතු!" බව විනා පිං රැස් කර ගැනීමක් නොවේ!

    ReplyDelete
  7. නිවන් සුව ලැබේවා ...!!!

    ReplyDelete
    Replies
    1. ඔබ ඔහුව ලඟින් ඇසුරු කලා නම් පතන්නේ නිවන් නොව "නැවත අප අතර ඉපැදීමක්!"

      Delete
  8. හද පිරුණි දුකකින් ඉකි බිඳුණු
    ගෙනා ටික ඉවර විණි නම් මක් කරනු
    දැකලා නැතත් හෙව්වෙමි ඔබ ගැන කරුණු
    හිතවත නිවී සැනහෙන් නිවනින් නිවුණු!

    ReplyDelete
    Replies
    1. මකා ගත නොහැක හද ඉරි තැළුණු
      මතකයේ වෙයි තබා ගිය ලකුණු
      ගජ මිතුරු ඇයි මෙලෙස වී දරුණු
      නිවා දැමුවේ මිතුර මෙත්; කුළුණු

      Delete
  9. පට්ට,

    මෛත්‍රීව දැකලා නෑ, ඒත් මේන් මෙතන්ට වැදුනා කථාව. ඔව්, මේන් මෙතෙන්ට. හරිම වේදනයි.

    මගේ හොඳම යලුවෙක් මෛත්‍රීගෙ යාලුවෙක් වෙනවා (වනජීවී දෙපාර්තුමේන්තුවේ ), ඔහුත් පවසා සිටියා මෛත්‍රී නම් වූ හොඳ මිනිසා ගැන.

    කාලෙකින් මට අහන්නට ලැබුනු ඉතා දෛවෝපගත සිදුවීමක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකා එක්ක කථා බස් කලාම ජීවිතේට හිතන්න බෑ මේකා අලි පන්නන එකෙක් තබා මාළු බාන එකෙක් කියලාවත්.
      ඒතරම් නිවිච්ච එකෙක්.
      හිතා ගන්න බෑ සිද්ධ වුනු දේ නම්!

      Delete
  10. හම්මේ කියෝලා ඌය්යා උනා...

    මෙහෙම එකට හිටපු කෙනෙක් මැරුනහම මොනතරම් කම්පනයක්ද!!! බොහොම ස්තුතියි මේ සටහනට. ඒකෙන් ඔහුට යම් ගෞරවයක් ලැබුනා වගේ දැනෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම මට ලියාගන්න අදහස් එන්නේ නෑ!
      ඒකයි මේ විදියට මතක ගොනු කලේ!

      Delete
  11. තිරිසනුන්ටත් අන්ත මිනිස්සු එක්ක රස්සාව කරනවට වඩා සත්තුත් එක්ක වැඩ කරන එක සිය දහස් ගුණයක් හොඳයි.එත් වෙලාව අවම හැමෝම යන්න ලැහැස්ති වෙන්න ඕනේ.මෛත්‍රීව පුද්ගලිකව දන්නේ නෑ .ඒත් අය්යාගේ බ්ලොග් එකෙන් දන්නවා .නිවන් සුව පතනවා ..

    ReplyDelete
    Replies
    1. මල්ලි මං මේ තරම් කියන්නේ නෑ!
      ඇත්තටම ඌ මාර හොඳ එකෙක් බං!
      ඌ මැරෙණ්න ඕන එකෙක් නෙවෙයි කොල්ලො!
      ඌ එළ කිරක්!

      Delete
  12. ආයෙම ඇවිත් එබුණා, සංවේදී හිත් ටිකක් ගැහෙන හැටි දැකගන්න. ආයෙත් කඳුළු.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඌ හරිඅහිංසක මිනිහෙක්. ජීවිතෙ හොඳම එකෙන් පැරදිලා ඉඳලා යන්තං ඔළුව උස්සන්න හැදුවාම විතරයි. ඌ ගහට කොලට සතා සීපාවාට ආදරය කල එකෙක්. සිංදුවක් කියන හීනියට අඩියක් ගහන ඉඳලා හිටලා දෙශීය දේ විඳින එකෙක්. ඌ සල්ලාලයෙක් නෙවෙයි. ඌ කයිවාරුවෙකුත් නෙවෙයි. ඌත් එක්ක හිටිය පුරා දවස් දෙකට ඌ එක වචනයක් "අලි පැන්නිල්ල" ගැන කතා කලේ නෑ කියන්නකො! ආන්න එහෙම ඩයල් එකක්!
      ඌව ඇසුරු කරපු මොකෙක් වත් උගේ වැරද්දක් කියන්නේ නෑනෙ! හරිම කණගාටුයි! මොනා කරණ්නද!? බොහොම පිං!
      මලගේ අහවර උනාට පස්සෙන් පහු උනත් අපේ අහ ඇවිත් දුක සැප ඇහුවාට!

      Delete
  13. සෑර්, මේ හාදයව ආශ්‍රය නොකළාට මේක බැලුවම බොහොම කාලෙක ඉඳල අඳුනන එකෙක් වගේ, දුකක් දැනුනා.
    යන්ඩ හිතාගෙන හිටි තැනකට යන්නට මගේ සුබපැතුම මයිත්‍රීට!

    වනජීවී එකේ එවුන් එක්ක මාත් ඉස්සර කැලේ ඉඳල තියෙනවා. උන් ලෙඩ වෙච්චි, තුවාල වෙච්චි අලියෝ හොයන්ඩ කැලේ හැතැප්ම ගණන් යනවා. ඊට පස්සේ බෙහෙත් අරන් ආයේ යනවා. එළ කියන්නේ එළම කස්ටියක්. උන්ටත් ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හැට්ටර් මහත්තයා! ඇත්තෙන්ම ඔහු හමුවී පුරා දින දෙකක් එක් රාත්‍රියක් අපි එකට එක්ව ගතකලා. ඒක සුව පහසු ආලින්දයක ගත කල නිකම්ම නිකං කාල පරාසයක් නොවෙයි. ඔබම කියවා බලන්න ඒක සත්තකින්ම පොඩි පහේ ඇඩ්වෙන්චරස් කාල වක වානුවක්. ඒවන් ක්‍රියාන්විතයකදි මිනිහා නොමිනිහා වෙන වෙනම මතු වෙනවා. ඊට අමතරව ඒ ගමනෙන් පසුව අප බොහෝම සමීපව ඇසුර ගෙන ගියා. ඒ නිසය මෙහෙම ලිව්වේ! ලියන්නේ!!

      වනජීවී එකේ එවුන් කන කට්ට දන්නේ උන් එක්ක හිටපු එකෙක්මයි. මගේ "හබරණ පුර" පෝස්ටුවේ ලිය පෙන්වා දක්වා තියෙනවා; වන ජීවි එවුන් ටිකක් කිඹුලෙක්ව අතාරිණ්ණ ගන්න ගේමක්! ඇත්තෙන්ම උන්ට මේ සමාජය සලකනවා මදි බොහොමත්ම!

      Delete
  14. //අලින්ට විනය කටින ගිහියන් පැවිද්දන් මෙතරම් සිටින රටක; සැබැවිම "ගජ මිතුරන්" වූ කණ්ඩායමක මෛත්‍රීවම මරා දැමුවේ ඇයිද කියා මාහට සිතා ගන්නට නොහැක//

    ReplyDelete
  15. සුභ ගමන් නොදුටු මිත්‍රයා! තට්ටයා මහතාගේ සටහන් නිසා ඔබ අපේ සදාකාලික වීරයෙක්!

    ReplyDelete
    Replies
    1. ඔව් සදාකල්හිම අපේ හදවත් තුල සිටීවි! ස්තූතියි!!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...