Monday, October 30, 2017

59. අවසරද








බැඳුනු මුත් ; සෙනෙහස නොදත්තී
සෙනෙහසේ පොකුනේ ගිලෙන්නී
බැඳුනු දින සිට ලොවෙන් සැඟවූ
දිවිය පුදනට සිතාගත්තී........................!

ඔබේ සෙනෙහස මිළ කරණ්නට
ගෙවන්නට ඇති එකම වස්තුව
මෙතෙක් මා සුරැකිව තබාගත්
මිණි මෙවුල ඔබ වෙතට පුදමී................!

මගේප්‍රේමය ; කොහි සිටිද නුඹ?
සොයා ආවෙමි  මුළු සසර තුල ;
මා නමට ඔබ පුදන බඹසර
විදින්නට මට දෙන්න අවසර.................!

අවසරයි



Saturday, October 28, 2017

58. ගඟක් දිගේ ගිය ගමනක් 13


13  අවාසනාවන්ත වූයේ මෙදින සිටද?

අද මේ කිය වෙන්නේ මෙහි 13 වන දිග හැරුමයි. 13 යනු නරක නපුරු අංකයක් ලෙස යේසුස් වහන්සේ සිටිය කාලේ සිට පිළිගැනීමක් පවතී. උන් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහයට සහභගීවී ඇත්තේ 13 දෙනෙකි.

                       එකතුව 13 උනත් කරදර නොදුන් යන්තරය වසර 20 කට පෙර

 මා පාවිච්චිකල දෙවන මෝටර් රථය වූයේ  6 ශ්‍රී 2416 ඔස්ටින් මිනි  හුරුබුටි මොටෝරියය. මා එය මිළදී ගත්තේ රුපියල් 48,500 කටය!  හරි හත්ලිස් අටදහස් පන්සීයකට! ඒ ඒකාලේ වාහන වල මිලය. එය මිලට ගෙන විකුනා බොහෝ කලකට පසුවය මා තේරුම් ගත්තෙ මෙම වාහනයේ එකතුව   13 ක් බව! එහෙත් කිසිදා එය අනතුරකට පත් නොවුනා  පමනක් නොව එය Totally Accident Free වාහනයක් විය.   

Monday, October 23, 2017

57. කලාව ගැන කතා දෙකක්!




කලාව කිව්ව සැනින් මතක් වෙන්නේ පාසැලේදී ඉගෙන ගත් අංශක , කලා, විකලා යන්නය.
නමුත් “කලා විකලා”;  කිව්වහම ඉන් ගම්‍ය වන්නේ ඉන්තීරුවෙන්ම “කලා” හපා කා  ඇති බවය ! කොටින්ම කලා විසින් වෙනත් අයෙකු හෝ දෙයක් හපා කෑ බවය.
“එතකොට කවුරුහරි අයෙකු කලාව අමු අමුවේ කෑවොත් ඒක ඔයවිදියට කියන්න බැයිද බාං ?” කියලා ඇහුවොත් මට අහන්න  තියෙන්නෙ “ඇයි බැරි බාං?” කියාය. අද අපේ රට දෙස බැලූ විට වඩාත් ගැලපෙන්නේ “කලා කරුවන් කලා විකලා!” කියන එකටත් එහා ගිය එකකි !

ඇට මිදුළු වෙත දිවුනු දාරක ප්‍රේමය  කරලියට ගෙන ආ මහැදුරු

වරක් මහාචාර්‍ය එදිරිවීර  සරච්චන්ද්‍රයන්ගේ මුලසුනින් කලාව පිළිබඳ සම්මන්ත්ර්ණ්යක් පැවතී ඇත. මෙම කතිකාව විවිද මංපෙත් ඔස්සේ විහිද අවසානයේ නැවතී ඇත්තේ “හොඳ කලා කෘථියක් යනු කුමක්ද ?” යන පැනය සභාව ඉදිරියේ තබමිනි.

“ඇත්තෙන්ම හොඳ කලා කෘථියක් යනු කුමක්ද ?” සරච්චන්ද්‍රයෝ විද්වත් ප්‍රෙක්ශක්යින්ගෙන් විමසීය.

“හොද කලා කෘතියක් කියන්නේ සමාජ ප්‍රගමනයට කිසියම් මෙහෙවරක් ….”

ආචාර්‍යතුමාට තම අදහස ඉවර කරණ්නට මුලසුනෙන් ඉඩක් නොලැබුනි !

“ම්හු….!” සරච්ච්න්ද්‍රයන් හිස  දෙපසට වනා එය ප්‍රථික්ෂේප කලේලු! 

“මහාචාරය තුමා හොඳ කලා කෘථියක් කලාවේ උන්නතියට …….”

“ම්හු ….!!” එයද සරච්චන්ද්ර්යෝ ඉවත දැම්මේය.

“ මිනිසා ආනන්දයෙන්  ප්‍ර ……”

“ම්හු ……!!!” 

“එහෙනම් මහාචාර්‍යතුමා  ඔබතුමාම කිව්වානම් ….!”

“හොඳ කලා කෘථියක් කියන්නේ හොඳ කලා කෘතියකට; ඊට වඩා දෙයක් නෑ!”  මහාචාර්‍ය තුමා තම අදහස සභාවට එළිදැක්වීය!  

කලා සම්මන්ත්ර්ණ කිව්වාම තවත් සුපිරිම කතාවක් මතක් උනා.  ඔය චිත්ර්පටියක් පෙන්නුවට පස්සේ ඒ පිළිබඳව  සම්මන්ත්‍රණයක් මුලින්ම පැවතුනේ ටයිටස් තොටවත්ත මහත්තයාගේ “හදයා” චිත්‍ර පටියෙන් පස්සෙ කියලයි මට නම් මතක. ඕක තිබුනේ මහජන පුස්ථ්කාල ශ්‍රවණාගාරයේ වගෙත් මතකයි. (සදොස් නම් නිදොස් කල මැණ!)

ටී වී බුවාලා  පුළුං පුරවන්නේ  කිසිදා නොමියෙන මේ අහිංසක සතාගේ හමටය!

හඳයාගේ නියම තාත්තා! ටයි මහත්තයා.

දන්නා බව දන්නා  එහෙත් නොදන්නා බව නොදන්නා සුචරිත

ඉතින් මේ සම්මන්තරණයේදී සභාව ඇමතූ සියල්ලෝම පාහේ “හඳයා” ට හොඳ කියද්දී සුචරිත ගම්ලත්; අපේ සමජවාදී මහාචාර්‍ය තුමා නැගිට “මේ චිත්‍රපටියේ සියල්ල හොඳයි ! ඒත් ඉන් සමාජයට දෙන කිසියම් පණිවිඩයක් නැහැ …! කීවේය.

පණිවිඩ යැවීමේ නිවැරදි ක්‍රමවේදය!

සුචරිත් ගම්ලතුන් ඉඳගැනීමටත් පෙර හුන් අස්නෙන් නැගිට ගත් ටයිටස් තොටවත්තයන් මහ හඬින්  “ආ ඒකට තමයි ශ්‍රී ලංකා තැපැල් හා විදුලිසංදේශ දෙපාර්තමේන්තුව තියෙන්නෙ …” යැයි පවසා ඉඳගත්තේලු.


මේ ; මෙහේ නවතින්න බැරිද?

කලා ලෝකයේ මරුම කතාවක් මත්ක් උනා නම් ගම් නම් සීයට සීයක් මතක නැහැ. එක නමයි යාන්තම්  මතක. ෂුවර් නැති නිසා නම් නොලියා ඉන්නම්. නිකං අබේසේකර කෙනෙක් වගේ මතක! මෙතුමා පලවෙනි කසාදෙන් ඉවත් උනාම ඒ නෝනව කසාද බැඳගෙන තියෙන්නෙ එයාගෙ හොඳම  යාළුවෙක් වන තවත් කලා මහත්තයෙක්! පස්සෙ මෙයාට ඉන්න හරියට තැනක් නැති හින්දා බෝඩින් වෙලා. කොහෙද දන්නවද එයාගෙ අර යාළුවගෙයි පරණ පවුලගෙයි ගෙදර. පව්!?  සුපිරියටම තියෙන්න ඇති නේද?



මල(ළ) පනින පන්හිඳ! 

තවත් කතාවක් තියෙනවා ඒකත් මම මෙතනම කියන්නම්. ලංකාවේ හිටිය නොම්මර එකේ පත්තර කාරයෙක් තමා සිසිර කුමාර මාණික්කඅරච්චි කියන්නෙ. මුන්නැහේට කොමියුනිස්ට් දර්ශනය, සමාජ වාදය, විශ්ව  විද්‍යාල වගේ දේවල් වහ කදුරු වාගේය. මෙතුමා අතින් පොත් පත් රාශියක්ම ලියැවී ඇත. “සාගරයක් මැද ” , “කියග මගිය”, සාහිත්‍ය කොල්ලය”, “අපේ පොතේ ඔහොම නැතේ ” ආදී පොත් ඉන් ප්‍රධාන තැනක් ගනී.  මින් සාහිත්‍ය කොල්ලය පොත ලියූවේ “වංශනාත දේශබන්දු ”  යන ආරූඪ නාමයෙනි.

මෙන්න පොත!

එම පොතේ එක් තැනෙක මහාචාර්‍ය  සරච්චන්දර්‍යන්ට ගසා ඇත්තේ බූරුවා ගසනවා සේය! එහි සඳහන් ආකාරයට  සිරි ගුණසිංහ විසින් 1957 වසරේදී තම ගුවන්විදුලි වැඩසටහනකදී මනමේ නාට්‍යය පිළිබඳව කල විවේචන්යෙ පිටපත සරච්චන්දර්‍යන් විසින්ම ලියා දුන් එකක බවයි !

ඔන්න කතාන්දරේ ඇද නැතිව!

ඉතින් කතාව ඕක නොවේය. දිනක් මා හට පන්නිපිටියේ අරලිය උයන අසලදී නිහාල් ප්‍රනාන්දු කලා කරුවාව මුන ගැසුනි. ඒදිනවල  ඔහු රඟපෑ ටෙලියක් රූපවාහිනියේ ප්‍රචාරය වෙමින් තිබුනි. එහි නිහාල් ප්‍රනාන්දුගේ චරිතය ගැන මා විසින් වැනීමෙන් අප අතරේ කලාව ගැන කතිකාවක් ඉබේ නිර්මාණය විය. 

එම කතාව ඒමෙ අත් ගොස් මා හට  “සාහිත්‍ය කොල්ලය “ පොතේ එන මෙම කුප්‍රකට ප්‍රවෘථිය කියන්නට මග පෑදුනි. කතාවෙන් අනතුරුව සරච්චන්ද්‍ර මහචාර්‍ය තුමාට මා ඔහු සමග අම්ම මෝ නැතිව බැන  වැදුනෙමි. ඔහු කිසිත් නොකියා බලා සිටියා පමනි. දිනෙක මට චින්තන අයියා -  චින්තනජයසේන හමු වූ විටෙක කතාව කීවෙමි.

දෙවිදියට හැදුනු ගිරා පෝතක්යින්ට මැදිව මහ ගිරවා - චින්තක

“යකෝ  ඌ උඹට නොගැහුව එකනෙ පුදුමෙ! ඌ අරන් තියෙන්නෙ සර්ච්චන්ද්‍රගෙ දුවනෙ බං  !” කිව්වාම මට සුළු දිය පහ නොවුනා පමනි !       


 හිතාගන්නකෝ මේ මූනට මෙම දෙයක් මේ මම කිව්වා කියලා!


 කලාව ගැන දෙවන කතාව !


 බෝ පැලයක් වන් මිනිසෙක්!


ආනන්ද අයියා අවිස්සාවේල්ලටම සංගීතය බෙදපු සුපිරිම බොක්කක්. නිකම්ම ආනන්ද නෙවෙයි. විශාරද ආනන්ද රාජපක්ෂ! එයයි, නන්දා මාලණියි, සුනිල් ආරියරත්නයි තුන්දෙනා  එකට තමයි හොරණ එරන්දතියෙ මුදුන්කොටුව සර් ගාව විශාරද කලේ. මේ කොටුව  පිටකොටුවක් නොව  සමිතා එරන්දතී මුදුන්කොටුව ගේ අප්පුච්චාය.  අන්තිම විභාගයේදී තියරි වලට වැඩිම ලකුණු මහාචාර්‍යතුමා ලබාගනිද්දී ප්‍රැක්ටිකල් පැත්තෙන් ලකුණු ගත්තේ ආනන්ද අයියාය!

කියන්න ඕනෙ නෑනෙ මේ ඩබල කවුදැයි කියා!

ආනන්ද අයියා හුනුපිටියේ ගංගාරාමයේ විශාරද පංතියට සංගීතය උගන්වද්දී ඩිප්ලෝමා පන්තිය කලේ එඩ්වඩ් ජයකොඩි ය. සති අන්තයේ පංතිය ඉවරවී  ආනන්ද අයියා 122 අවිස්සවේල්ල බසයක් ගැනීමට එන්නේ මහජන පුස්තකාලය ඉදිරි පිටටය. දිනෙක් එඩ්වඩ් ජයකොඩිද ඔහු සමග පැමිනියේ 138 ක් ගෙන නුගේගොඩට යන්නටය.

මා............ රම්බරි........!

“කොහෙද මචං යන්නේ ….?” ආනන්ද අයියා මිතුරාගෙන් විමසා ඇත.
“කැසට් කෑල්ලක් ගහන්න සෙට් උනා නුගේගොඩ මහ්ත්තයෙක්; අමිල ෆොටෝ එකේ. ඒකෙ අද රෙකෝඩින් එකක් බං  ”
“මොනවගේ ඒවද කෙරුවේ ……?”
“නිකං න …නන …නා…නේ ….. වගේ ඒව බං …! ඒ.. බස් එකක් එනවා මං යනවා  මචාං ….” කියල එඩ්වඩ් තිස් අටක ගියා ගියාමයි තවම යන්නේ ඒ ගිය යෑම! ආනන්ද අයියා කියන්නේ එහෙමය.
අර  න …නන …නා…නේ කියා පෙන්නා ඇත්තේ “මේ මල් යායේ …..” ගීතය ය.

ආනන්ද අයියාත් සිංදු වගයක් කලේය. “වැතිරී ඇගේ තුරුල්ලේ සඳ ගාව මා ඉන්නේ …” , “ඉන් එකකි. එහි රචකයා බීබීසියේ "සංදේශය කරණ චන්දන කීර්ති බන්ඩාරය.

 චන්දන කීර්ති බන්ඩාර

මෙවන් සිංදු හතරක් ඇතුලත් කැසට් පටයක් කලත් ඔහුට ගොඩ යාමට බැරිවිය.

ආනන්ද අයියලා පියනන්දලා ඉස්සර මගුල් ගෙවල් බජව්වල කරටි කැඩෙන්න සිංදු කියපු පොරවල්‍! එකල ආනන්ද අයියා ගහන්නේ හර්මෝනියම් හෙවත් සරපිනාවය! රෑ දෙගොඩ හරි ජාමේ වෙනතුරු කට්ටියට සිංදු  සපයා එළියට බසින සැට් එකේ සිටින සංගීත ලෝලියෙකු සර්පිනාව කර තබා ගැනීම සිරිතකි.
හර්මෝනියම් හෙවත් සරපිනාව !

දිනක් මෙසේ මහ  රෑ එළියට බැස එන විට කිරිවන්දල දුම්රිය ගේට්ටුව අසලදී නොසන්ඩාල රියැදුරෙකු ආන්න්ද අයියාලාගේ අගේ ගෑවි නොගෑවී ඉගිල්ලී ඇති අතර සර්පිනාව කරේ තියාන සිටි ලෝලියාට උන්හිටිතැන අමතක වී එකවරම  වාහනය දෙසට  කට පුරවා සිටි බුලත් කෙල ප්‍රහාරයක් එල්ල කලේලු. අනේ අපරාදෙ කියන්න බෑ  ඉලක්කය ඇල්වතුරට උල්පිහියෙන් ඇන්නාසේ සුපිරියටම   කෙරී ඇත.  ප්‍රතිඵලය වී ඇත්තේ පසුදින සර්පිනාව අවිස්සවේල්ලේ “සරස්වතිය” ට දී බැලෝ එක ගලවා සුද්ද කිරීමට වීමය ! 

කපූර් - රාෆි
ඇහැළියගොඩ පියනන්ද රාෆිගේ සිංදු කියන විට අනන්ද අයියා කිව්වේ මහේන්ද්‍ර කපූර්ගේ ගීතයි. “මල්ලි රාෆිට පද්ම ශ්‍රී සම්මානෙ හම්බුනාට ගෝල්ඩන් වොයිස් සම්මානෙ හම්බුනෙ මහේන්ද්‍ර  කපූර්ට! 
ආනන්ද අයියා අපිට සංගීතය බෙදුවේ පෙට්ටි කඩ වල ප්ලේන්ටිය නිවෙනාතුරුය!  
පියනන්දද සිරාම බුවෙකි. රාෆි  ගයා ගීත 7405 න් 7400 ක් වත් ඔහු දනී!  රාෆි ලංකාවට පැමිනි අවස්ථාවේදී; රාෆි විසින් පියනන්දගේ ගායනය අගයා ප්‍රධානය  ලිපියක් ඔහු ලඟ විය.

ආනන්ද අයියාටද මුල්ම කාලෙ කැසට් කෑල්ලක් කරණ්නට අවස්ථාවක් ලැබුනේය. ඒ රත්නපුර සිරිලක් ෆැන්සි හවුස් එකෙනි. 

සිරිලක් ෆැන්සි හවුස් යනු 

“තව තව  හොඳ විරිදු  සුරල් කීයන්නට මම ආස -                                                                                           මේ කතාව කිව්වෙ ඔබට පිළියන්දල ගුනදාස ……..”  

කියා “ටක්  බෲම් ..!” කියා රබාන හැඬවූ  ගුනදස සමග  හවුලේ “චුල්ල පදුම ” ආදී විරිදු බන කැසට් ගැසූ ව්‍යාපාරික ස්ථානයය. 
මේ ගැන තම අති මිත්‍ර චන්දන  කීර්ති බන්ඩාරගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ “උඹ ඕවට යන්න එපා බං ..!” කියාය. 
සිරිලක් ෆැන්සි හවුස් එහේය . 
ආනන්ද අයියා මෙහේය .
 චන්දන එංගලන්ත්යේය !       

                                      
වරක් නාරහේන්පිට හංදියේ ගිනි මද්ධහනේ තෝසෙ කඩේක වඩේ කන ගමන් ඔහුට කියා දෝස්ති චිත්‍ර පටියේ “චාහුන්ග මෙඉන් තුජෙ සන්ජ සවාරේ ” අසා ගත්තෙමි. ඒතරම්ම ඔහු නිහතමානී අයෙකු විය.  


ආනන්ද අයියා හිටියේ අවිස්සාවේල්ල පොලීසිය ලඟ ආරාධනා කන්ද පාරේ. ඒත් එයා දුම්රිය  දෙපාර්තමේන්තුවේ පොඩි කාමර කෑල්ලක  තමයි දුකසේ පංතිය කලේ.  
මේ පංතියට තාත්තා කෙනෙක් එයාගෙ දුවෙක්ව ගෙනාවලු සංගීතෙ කරවන්න. අනේ ආනන්ද අයියත් උගන්නලා ගායනාව සුපිරියටම. අපරාදෙ කියන්න බෑ දැන් නමක් ගත් ගායිකාවක්! එයා තමයි ශෂිකා නිසංසලා. අනේ අපරාදෙ කියන්න බෑ ආනන්ද රාජපක්ෂ නෙවෙයි අග්‍ර මහා උපස්ථායක ආනන්ද හාමුදුරුවන්ගේ නම වත් උන්නැහී කියපු බවක් නම් රේස් පත්තරේ වත් අප දැක නැත! 

හසනී පියාසලා ඉගිල්ලුනී!

අන්තිමට අනන්ද අයියා හමුවුනු වෙලවේ ඒකියන්නේ මීට අවුරුදු 10 කට විතර කලින් කියපු දේ මට තවම මතකය.
“පංතියේ  සප්තකේ ඉහලටයි පහලටයි කියලා ඇතිවෙලා මල්ලි තියෙන්නේ !”  
මේ අප දන්න එකෙක් ගැන කතාවයි.

බිඳී ගියෙද  ඒ මියැසිය?

ආනන්ද අයියා දැන් සෑහෙන්න වයසට ගිහින් ඇති යන්න ඕනෙ වෙලාවක බලල එන්න!
                            
  

     

Friday, October 20, 2017

56. ගඟක් දිගේ ගිය ගමනක් 12


සියළු යුතුකම් ඉටු කොට ජීවිතයේ සැඳෑ සුවය ගස්  සෙවනක.

මා රථය පැදවූ අතර ඉදිරිපස අනෙක් අසුන්  අරා සිටියේ තෙශාන්තය. මා ළඟට දෙවැනි ජේෂ්ඨයා වූයේ තෙශාන්තයි. තෙශාන්ත නොදන්නා පාරක්, තොටක්,  ළිඳක්, බෝක්කුවක්, පාලමක්, අම්බලමක්, ඒ දණ්ඩක්, වුනි නම් එය ඊයේ රාත්‍රී 12 න් පසුව කපන ලද, තනන ලද, හදන ලද, හාරන ලද එකක් මිස පෙරේදා තිබුනු එකක් නම්  නොවේ!

පසුපස අසුනේ වසිකත්, ධම්මිකත්, පසිඳුත් විය. වරකපොල නගරයට පෙර වෙන්ඩෝල් කම්හල අසල මුස්ලිම් ජාතිකයින් පිරිසක් පවත්වාගෙන යනු ලැබූ  රාත්‍රී අවන්හලක් අසල නැවැත්වූ අප එතැනින් “ඩොල්ෆින්” කොත්තුවක් රසබලා තේ පානය කොට ගමන පිටත්විය. 

නොකාපු කෑමක් එනවෝ

ඔන්න ඩොල්ෆින් කොත්තුව!

 මොනතරම් කලබලකාරී ලෙසට, එසේම අසංවිධිත ලෙස පටන් ගැනුනිද මේ වන විට සියළු දෙනා සිටියේ අප්‍රමාන සතුටකිනි. පාසල්  සමයේ විනෝද  ගමනක් යන මිතුරන් කිහිප දෙනෙකු සේ අප බොහෝ කතන්දර කියමින් පල්හෑලි දොඩමින් සිදුවූ  අකරතැබ්බයන් මතක් කරමින් ගමනේ යෙදුනෙමු.

වරකපොලින් කෑගල්ලටද එතැනින් මාවනැල්ලටද ඉක්බිති කඩුගන්නාව පිළිමතලාව හරහා මහනුවරට  පැමිනියෙමු. කිසිදා  එලෙස නුදුටු සුන්දර මහනුවර නගරය හරහා අප ගමන් කලෙමු. 
වෙනදා දකින සුන්දර යුවතියන් වැව රවුමේ දක්නට නැත. පෙම්වතුන්ගෙන්  හිස් වූ මහනුවර පසුකොට ගමන් ගත් අපගේ ඊළඟ නවා තැන වූයේ රන්ටැඹේ මාර්ගයට එළෙඹ සෑහෙන දුරක් ගමන් කල පසුය.

සඳ එළිය ගඟක් වී 

මේ  මචං මම - තෙශාන්ත

ඒ මහ වනය මැදය. දින කිහිපයකින් පසලොස්වක දිනය ඈත් මෑත් වූවද ;  සඳ තම එළියෙන් මුළු  වනාන්තරයද මාර්ගයද නහවමින් විය. සඳ එළියේම රථයෙන් බැසගත් අප උනුසුම් මාර්ගයේ අසුන් ගෙන තොර තෝන්චියක් නැතිව කියවමින් බොහෝ වේලාවක් සිටියෙමු. 
සඳ වනාන්තරයේ මායිමේ වුනු ගස්වලට වැටී පාරේ එක් දාරයක සෙවනැල්ලක් සාදා තිබුනි . මා බිම වාඩිවී ඉදිරිපස රෝදයට පිටදී ගෙනය. ජීවිතේ යළි කවද මෙවන් සුන්දර  රාත්‍රියක් ගත කරණ්නට ලැබෙවිද? 

බසවක්කුළම වැව් බැම්ම් ! 

මෙවන්ම රාත්‍රියක් මා අනුරාධපුර බසවක්කුළම වැව් බැම්ම මතද තවත් වරක් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම මතද ගතකොට ඇත්තෙමි. සඳ එම දින දෙකෙහිම  ඉතා සුන්දර සිත්තමක් වැව් දියමත සායම් කොට තිබුනි. දිනක අනුරපුරයේදීද ඊට වසර 20 කට පමන පසුව පුලතිසි පුරයේ දීද දුටු සඳෙහි වෙනසක් මා නුදුටුවෙමි.

හඳ සහ නිව්යෝර්ක් නුවර


 කලු ගැහී තරගයට ඉහල ගිය

සිමෙන්ති බිත්තිමිසක

ඇසට නිලට

අහසක් ගහක් කොලක්

අවටක් නැත.

නිව්යෝර්ක්  නම් පුරවර

සියක් මහල් එක්ටැම්ගෙය මුදුනේ

දොර ජනෙල් වසා සිරකල කාමරයක

ඇඳක්-පුටුවක්-මේසයක්

මම.

මහපොලොවේ අනික් පැත්තෙ

සෙනෙහැති දෙමාපියන්

නෑ මිතුරන් අඹුදරුවන්

මට සිහි වෙයි.

පලවන්නට මළ පාලුව

කවියක් හඬ නඟාකියමි

නින්නාදව ආපසු එයිමගෙ කටහඬ

මගෙ කනටම.

කවුළුව හැර එබී බලමි.

ප්‍රපාතයට එබී බලමි

මූණට කටු ඇනගෙන

සීතල කඩා පනින.

අසුවී විදුලි එලිය පිටාරයට

මොර දීගෙන යයි වාහන ඒ මේ අත

ඉවසිල්ලක් නොමැතිව

දිවගෙන යයි ඒ මේ අත

කුරා කුහුඹු මිනිස් යන්ත්‍ර

මොහොතක් නැවතී මාදෙස

ආදරයෙන් බලන කෙනෙක්

වගතුග අසන කෙනෙක්

දන්නා හඳුනන්නෙක්

මෙතන නොමැත

ඒ හැම දෙන මහ පොලොවේ අනිත් පැත්තෙ

මට සිහිවෙයි.


මහා දුකින් ඉහල බලමි


දිලිහි දිලිහි ආකාසේ

රන් පිඟන සේ

හඳ....

මා දන්න හඳුනන

අපේ ගමේ වෙල් එලියට පායන හඳ

පෝය දාට බෝ මලුවට පායන හඳ.


බෝඩිම 48-49 පිට




සේකර !

සේකරයන්ගේ “හඳ සහ නිව්යොර්ක් නුවර”  කවියේ සේම; අතීතයේ දිනෙක මමත් දැනට බී බී සියේ සංදේශය ඉදිරිපත් කරණ  චන්දන කීර්ති බණ්ඩාරයනුත්  තවත් අප මිතුරෙකුත් බසවක්කුළමේ වැව් බැම්ම මත නවතා ගත් නිසාන් කැබ් රථයේ බොනට්ටුව මත අඩුම කුඩුම පවත්වා ගනිමින්  ඔහුගේ  සුන්දර කතා අසමින්  විඳි සඳ එළිය ම  ඊට හාත් පසින්ම වෙනස් වූ ලෙසින්; මා  මිතුරෙකු  සමග  පරාක්‍රම සමූද්‍රයේ වැව් බැම්ම මත එම සඳ එළිය ම  විඳිමින් ගත  කලෙමි. 

සඳ පැරකුම් සයුර සිපවැළඳ 

 එදින රංටැඹේ මාර්ගයේ; මහ පාරේ සිට විඳි සඳ එළියත් එකම දන්නා කියන එක සඳම නොවේද?   අප සිටි හෝරාවකට අධික  කාලය තුල අප පසුකර ගියේ හෝ අප ඉදිරියට ආවේ  එකම එක ලොරියක්  පමනි! මෙම මාර්ගයේ වල් අලින් ගැවසෙන නිසාම තරමක සෝදිසියෙන් අප මහියංගනය දෙසට සීරුවෙන් ගමන් කලෙමු.
තවත් පැයකින් හමාරකින් අප මහියංගනයට ලඟාවුනි. ඒවන විට වසික තද නින්දේ පසුවිය. මහියංගනය බස් නැවතුමේ පිහිටි කුඩා තේ කඩයකින් උනු උනු ලැවරියා කෑ අප තේ බී ටික වේලාවකට පසු වසිකද නැගිට සප්පායම් විය.
ලැවරියා  අප කන්නට වූයේ; එම කඩයට දිනපතා ලැවරියා සැපයුම් කරු තම මල්ලෙන් ලැවරියා ගෙන වීදුරු අල්මාරිය ඇතුලත් සීරුවෙන් අසුරද්දීමය.



 ඕනැම හෝටලයක සම්බෝල හදන්නෙ  පොල්කුඩු වලින් බව; මෙරට මිනිසුන්ට “බත් ලැබෙන්නේ වී වලින්” කියනවටත් වඩා නිශ්චිතවූ විශ්වාසයකි! එය දෙවැනි වන්නේ ලැවරියා වල පැනිපොල් හදන්නේ පොල්කුඩුවලින් කියන එකට පමනක් විය හැක! අපි ලැවරියා රසබලන අතර තුර අප අතර සිටි එක් අයෙකු  “හරි පොල් කුඩු වලින් ලැවරියා හැදුවා කියමුකෝ ….; එතකොට ඉතුරු පොල් කිරි වලින් මොනවද දන්නෑ හදන්නෙ  නේද ….?” කියා ඇසූ අතර ගුටි නොකා බේරුණේ කොහොමදැයි මට තවමත් සිතාගත් නොහැක!

කැදැල්ලට ගොඩවැදී - ධම්මික , ප්‍රදීප් , තට්ටයා , තෙශාන්ත , වසික . පසිඳු

  එතැනින් නික්මුනු අප ඉරි මහ උදේම මහියංගනයේ The Nest – කැදැල්ල සොයා ගමන් ඇරඹුවෙමු. තවත් විනාඩි ගනනකින් අප කැදැල්ලට කූඩු වුනෙමු. එහි හිමි කරුවූ ප්‍රදීප් තෙශාන්තගේ මිතුරෙකු වූ නිසාත්; එහි පැවති පරිසර හිතකාමී වටාපිටාව නිසාත් අපට එහිදී කිසිදු ආගන්තුක බවක් නොදැනුනි. උදෑසන ආහාරය ලෙස වැව් මාළු සහ තවත් වියංජන කිහිපයක් සමග බත් කෑ අප දහවල් බතද ගෙන ඉන් පිටත් විය.

යකඩ - මීහරකා
 එතැන් සිට අප වෙහෙසුනේ අපගේ ගමනට නැතිව බැරි අත්‍යවශ්‍ය  උපකරණය , මෙවලම වූ ලන්තෑරුමක් මිළදී ගන්නටය. එහෙත් හර්ඩ්වෙයාර් කඩ  ඒවනවිටත් විවෘථ කොට නොතිබුනු හෙයින් අප සිටියේ දැඩි විස්සෝපයෙන්‍.

මහවැළි ගඟ සොයා

තල දර්පණ ප්‍රථිබිම්බය!

අප දැන් මහියංගනය නගර සීමාවේ සිට නිපෝන් පාලම සොයා යන්නට පිටත් වූ අතර;   තෙශාන්ත දිගින් දිගටම ඔහුගේ මිතුරා මෛත්‍රී ඇමතීමට උත්සාහ ගනිමින් විය.  
මේ තෙශාන්ත පවසන මයිත්‍රී අනුකම්පා විරහිත අපව අතර මං කලාවත්ද?     මයිත්‍රී නොපැමිනියහොත් අප අතරින් කවුරුහෝ එක්  අයෙකු එක්  කයාකයක් සමග මහියංගනයේ නවතින්නට සිදුවනු ඇත. මන්ද Two Man  කයාකයක්  තනිව ලොකු දුරක් පැදීම බොහෝ අසීරු කටයුත්තකි. එය වඩාත් අසීරු වන්නේ එය මතුපිට තවත් අමතර බරක් පැටවූ පසුය.



 අවසානයේ නිපෝන් පාලම අසලදීම  තෙශාන්තට තම උත්සාහය සාර්තක කර ගැනීමට හැකි විය. ඔහු පෙරදින සිට නිදි වර්ජිතව ඇලහැර සිට මහියංගනයට පැමින ඇත.


මහියංගනයේ සිට නිපෝන් පාලම පසුකොට ගොස් අපසු හරවා ගෙන පැමිනෙද්දී කාල වර්ණ, ප්‍රියමනාප, ශක්තිමත් දේහයකට හිමිකම් කියූ තරුණයෙකු අපට හමුවිය. ඒ අන් කිසිවෙකුත් නොව මෛත්‍රීය. එහිදී මෛත්‍රී ගේ සඹඳතාවයක්  වන සරත් මහත්තය මුණ ගැසුනු අතර  ඔහුට ඒ අසලම වැළි තොටුපොලක්ද විය.

මගේ රාජ්ජේ-සරත් මහත්තයා

 අප එන තෙක් මාගේ ආදරනීය   වයස්ගත එහෙත් විශ්වාසදායි මිත්‍රයා  - Toyota Land Cruiser රථය; තම නිවස අද්දර මිදුලේ දමා යෑමට ඉඩ පහසුකම් සැපයීමට ඔහු එකඟවිය.

පළමුව අප කයාක් දෙක පැටවූ  රථය සරත් මහත්තයාගේ වැළි තොටුපොල වෙතට ගෙන ගියෙමු. සරත් මහතාද අප සමග පැමිනියේය. ඒ අපි කරණ්නට යන දේ පිළිබඳව තමා තිබූ කුහුල තුනී කර ගැනීමටය.
 අප උදෑසන සිට මහියංගනය නගරය හා  එතැන් සිට මේ දක්වා කඩයක් කඩයක් පාස සොයා බැලූ ලන්තෑරුමද ඔහු විසින් අප වෙත නිර්ලෝභීව සපයන  ලදී .

වැළි තුටුපොලට වූයේ ශීඝ්‍ර බෑවමකි. ටියුබ් හතරක් සේ මැදී ඇති ටයර් හතරේ  පිහිටෙන් ගඟ අසලටම ගෙන ගිය අප ; අපගේ සියළුම අඩුම කුඩුම බිමට බාගත්තෙමු.

සෙට මෝල් වීම!

මෛත්‍රී සහගත සිත - අලි පන්නන මෛත්‍රී

අනතුරුව මාගේ රථය තෙශාන්ත විසින් සරත් මහතා ගේ නිවසට ඇරලවන ලදී. තෙශාන්ත් ඉන් ඉක්බිතිව තොටුපොලට පාගමනින් පැමිනෙන විට  අප අපගේ ගමන සඳහා කයාක සියල්ලම සැකසීම අරඹා තිබුනි.  
 පලමුව  අප කණ්ඩායම නැවත සකස් කලෙමු. වසික-මයිත්‍රී, පසිඳු -ධම්මික,   හා තෙශාන්ත - මා සමග නැවත යුගල ගතවුනෙමු. අප කුලියට ගත් PVC  කයාක දෙක වසික-මයිත්‍රී  හා පසිඳු -ධම්මික  යුගල අතර බෙදී ගිය අතර ඉතිරි මාගේ ෆයිබර් කයාකය මමත් තෙශාන්තත්  ඉතිරි කර ගත්තෙමු.

ඒවන විට උදෑසන 10.00 පමන වී තිබෙන්නට ඇත. කයාක සියල්ල මහවැළි ගඟ අයිනේ වෙරලේ එකිනෙකට සමාන්තරව තබා ඇත. සියලු අඩු වැඩිය බර හා ගන්නා ඉඩ අනුව පැරණි චීන සම්ප්‍රදාය අනුව වෙන් කර ගත්තෙමු.

චිනා ලොව බලා
රක්ෂණ ක්ෂෙත්‍රයේ ; අවදානම් කළමනාකරණය පිළිබඳ මුල්ම නිදර්ශනය ලෙස දැක්වෙන්නේ අතීත චීන වෙළඳුන් තම භාන්ඩ නැව් ගත කිරීමේදී උපයෝගී කරගත් සරළ ක්‍රමවේදයයි.  
ඈත අතීතයේ  නාවික ක්ෂේත්‍රය මේ තරම් දියුනු  නොවූ යුගයක තම භාන්ඩ තොගය සම්පූර්ණයෙන්ම මුහුදු බත් නොවී රැක ගන්නට මෙම ක්‍රමවේදය අනුගමනය කරණ ලදී.
A ,B ,C , D  යනු නෞකා හතරක් වන අතර වෙළෙඳුන්ද  හතර දෙනෙකු සිටිනවා යැයි උපකල්පනය කරමු. ඔවුන් තම බඩු තොග ප්‍රවාහනය කරණ්නට නෞකා 4 ක් යොදා ගත්තා යැයි සිතමු.                                                            
එක්  එක් අය තමන්ගේ බඩු තොගය   එක් එක් නැවට පටවා ප්‍රවාහනය කිරීමේ යෙදෙන විට   එක් නැවක්  මුහුදු බත් වුවහොත් කවුරු හෝ  එක් වෙළෙන්දෙකුගේ සියළුම වත්කම්   විනාශවී යයි.                                                                    එනිසා එකල ඔවුන් කලේ ප්‍රථමයෙන්  එක් එක් වෙළෙන්දා තමන් සතු  මුළු භාන්ඩ ප්‍රමානය නෞකා  ගනනින් බෙදා කොටස් කර සියළුම නෞකා අතරෙ බදා හැරීමයි. ඉහත උදාහරණයට අනුව A නෞකාව සියළුම වෙළෙන්දුන් නියෝජනය වන පරිදි එක් එක් අයගේ භාන්ඩ ¼ කොටස් හතරකින් සැදුම් ලත් භන්ඩ තොගයකි.   එවිට එක් නැවක් අනතුරකට ලක් වුවහොත් එක් වෙළෙන්දෙකු හට; හානි වන්නේ තම තොගයෙන් ¼ ක් පමනි.

I Love You ටත් වඩා ලෝකයේ කියැවෙන වචන තුන Made in China 

මෙම සිද්ධාන්තයට අනුව අපද අපසතු කුඩා බඩු එකතුව බෙදා හදාගෙන කයාක මත තබා ගත්තෙමු. හොඳින් ඉර පායා වැස්සක සේයාවක් වත් අහසේ දක්නට නැත. පැහැදිලි අහස දසත පැතිරී ගොස්‍
 අප සිටි තැනට මීටර 200 ක් පමන පහලින් නිපෝන් පාලම  පෙනෙමින්‍. මෙම තොටුපොල  අසල ගඟේ පලල මීටර 100 ක් පමන වන්නට ඇතැයි මට සිතේ. ඈත වැළි තොටුපොලවල් සක්‍රීය වී ඇත. වැළි ගොඩ දැමීම නිසාදෝ ගඟ මුළුමනින්ම බොරවී ඇත. මේ වන විට අපගේ සියළුම බඩු භාහිරාදිය හොඳින් අසුරා කයාක් මත තබා ගැට ගසා අවසානය. 



 ආහාර පාන, වතුර බෝතල්, බෝයාව, ඇඳුම්, බිස්කට්, ලන්තෑරුම, භූමිතෙල්, විදුලි පන්දම්, දඩයම් පිහියා, ජීවිතාරක්ෂක කඹ, දූරකථන, දූරකථන බල ගැන්වුම්, කැමරා, Two Man Canopy (Tents) දෙකක්, ප්‍රථමධාර  එකතුවක් ආදී වශයෙන් මෙකී නොකී ගිණි පෙට්ටියේ සිගරට් පැකට්ටුවේ මධුවිතේ එය බොන කෝප්පෙ ආදී වශයෙන් බොහෝ දෑ කයාක තුනක් මත ගැට ගසා ඇත. 




මමත් තෙශාන්තත් පැදවූ කයකයේ Hatch තුනෙන් එකක්  තුල; දූරකථන, මුදල් පසුම්බි, මාගේ උපැස් යුවල, ඔරලෝසු වැනිදෑ Dry Bag එක අසුරා  ගබඩා කොට තිබුනි.
මේ ගමනට කිහිප වතවක්ම බාදා ඇතිවිය. ඇත්ත ඇති සැටියෙන් ගත හොත් කිහිප වතාවක් නොව බොහෝ වතාවක් බාධා ඇතිවිය. කිසිදු දිනෙක ගමන් කොට නොමැති ඉසව්වකට කිසිදු කිසිදු පලපුරුද්දක් නොමැති සිව් දෙනෙකු පෙරදැරි කරගෙන තීරණාත්මක ගමනකට මා කණ්ඩායම පොළඹවාලීමි.



 ප්‍රියන්ජන්ගේ දේශගුණික -කාලගුණික දත්ත වලට අනුව චන්ද්‍රිකා ඡයාරූප මත දිස්වූ තැඹිළි පැහැති ලපය; බෙංගාල බොක්ක දෙසින් අපරට තුලට කෙමෙන් කෙමෙන්  ඇතුළු වෙමින් පවතී. 

මේ අන් කිසිවක් නොව ටොන් ගනනක වැසි ලබාදීමට සමත්; වියලි කලාපය ගං වතුරකින් යට කිරීමට හැකියාවක් ඇති; වැව් බැමි,ජලාශ  වාන්දොරටු පුපුරුවා  හෙලා;  ලක්ෂ  සංඛයාත මිනිසුන් ප්‍රමානයකගේ උන්හිටිතැන් අහිමි කරවන්නට හැකි වැහි වළා කුළකි.
 ඔහු අපවෙත සියළු දත්ත සම්පාදනය කලේ  BBC  ජාලයෙන් උපුටා ගෙන්‍. ඔහුගේ මිතුරෙකුවූ වාරි ඉංජිනේරුවෙකුගේ අදහසට අනුව ඉදිරියේ තව දිනකින් නොවේනම් දෙකකින් ඇද හැලෙන මහා වරුසාවට ප්‍රථමයෙන් ජල දොරටු අරිණ්නට ඉඩ ඇත!

මම මේ සියල්ල මුදිතා ගුනභරිතව විඳ දරා ගැනීමට  උත්සාහ දරමින්‍ විය. උපන්ගෙයි කලබළ කාරයෙකු ලෙස  අපගේ පවුලේ සියළුදෙනා අතර නමක් දිනා ගත් මා  බොහෝ අසීරුවෙන් වුවද නිහඩව සිටියෙමි. එයට මාහට තිබුනු එකම පිටුවහල වූයේ; ජලයෙදී අතිවිය  හැකි ජීවිත තර්ජනයක් සම්බන්දයෙන් අප; අපට හැකි උපරිමයෙන් සිතා බලා තිබුනු බැවිනි. 



අපට මෙවන් ගමනක් යෑමට සිටිනා පිරිස ප්‍රමාණවත්ද? ඕනෑම වාතාවරණයක් යටතේ; පලපුරුදු යාත්‍රකයින් දෙදෙනෙක්ද, පිහිනුම් කරුවන් තිදෙනෙක්ද, කඳවුරු  බදින්නන් පස් දෙනෙකුද,  වන ශිල්පීන් තිදෙනෙකුද ජීවිතාරක්ෂකයින් තිදෙනෙකුද, කඳු නගින්නෙක්, ප්‍රථමාධාර කරුවන් දෙදෙනෙක් යන සුවිශේෂි හැකියාවන්ගෙන් පරිපූර්ණ කණ්ඩායමක් අප සතු විය.




 ඉතින් ඇයි අප බිය විය යුත්තෙ! එය අපට තරම් නොවේ. මේ සියල්ලටම වඩා අප ස්වභාව ධර්මයට දිවිහිමියෙන් ආදරය කරණ්නවුන්ය.  වැරදීමට ඉඩක් නොමැත. තවත් ඇත්තේ ගමන් ඇරඹීම පමනි!


ගමනේ යා!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...