Saturday, January 27, 2024

278. අරුත් සුන් අර්ථ කතන


ලියන්නට පටන් ගත් ලිපි 20 කට වඩා තිබුනත් මේ ගැන ලියන්නට ඕනෑ කියා සිතුනි.

මේ ලිපියේ බොහෝ කරුණු මට සාපේක්ෂ හා මට සිතෙන පරිදි විනා බොහෝ කාරණා කාරණා සඳහා මූලාශ්‍ර සොයා වෙහෙස නොවන මෙන් මෙයින් බය පක්ෂපාතව ඉල්ලා සිටිමි.

මෙම පෝස්ටුව ලියන්නට මූල බීජ සැපයුනේ මහා බිරිතානියේ සිට බ්ලොග් ලියන අජිත් ධම්මගේ ආසන්නයේ ලියන ලද ලිපියකි. ඒ ලිපියෙන් සාක්ච්ඡාවූයේ; බිරිඳ විසින් සැමියා හට කෑම බෙදා දිය යුතුද නැද්ද සහ ඒ පිළිබඳව කථිකාවක්ය. මේ පිළිබඳව සැපයෙන කමෙන්ටුද ලිපියද කියවා බැලූ විට මාහට සිතුනේ එවන් සිදුවීමක් කෙතරම් දුරකට සත්‍ය ලෙස හෝ ප්‍රබන්ධ නො එසේ නම් හිතළු සේ ගොඩ නැංවිය හැකිදැයි කියාය.

මේ ගැන හිතන විට මතක් වෙන සුපිරි කථාවක් වෙයි. එය හැකි පමණ සභ්‍ය ලෙස ලියන්නට මා උත්සාහ කරණ්නම්.

දිනක් කුඩා පාරක සිරිපාල හට වේලාව දැනගැනීමේ අවශ්‍යතාවයක් ඇති විය.

තමා අත ඔරලෝසුවක් නොමැති හෙයින් ඔරලෝසුවක් ඇති අයෙකු සොයමින් වට පිට බලනා කල අසල ගසක් යට තම බර කරත්තය නවත්වා ඒ යට එල්ලා ඇති ගෝනි පඩංගුවේ හාන්සිවී සිටිනා කරත්ත කරුවෙකු දුටුවේය.

"මේ මනුස්සයා ලඟවත් ඔරලෝසුවක් තිබේදෝ"යි සිතා ඔහු වෙත නැඹුරු වී "මේ ලොකු උන්නැහැ වෙලාව කීයද දන්නෑ!? නේද?" යි විමසීය.

"වෙලාවද?" ආපසු මදක් හැරුණු කරත්ත කරු තමා අසල වූ; ගොණුන් දක්කන කෙවිටෙන් එක් ගොණෙකුගේ වලිගය පැත්තකට කර "12.20 යි" කියා පැවසීය!

මේ කාරණය හොඳින් බලා එය ගණනකට නොගත් සිරිපාල තවත් පියවර කිහිපයක් ඉදිරියට යත්ම සයිකලයක් පැදගෙන ආ අයෙක් මුණ ගැසුනි.

වේලාව සැක හැර දැන ගැනීමට අවශ්‍ය වූ සිරිපාල ඔහුගෙන්ද වේලාව විමසීය.

"12.21 යි!" සයිකල් කරුවා පවසද්දී මගියාට තරු පෙණුනි.

"අප්පට සිරි අර යකා කොහොමද අර විදියට වෙලාව කිව්වේ!? අපේ ගෙදර ගොන්නු කීයක් නම් ඉන්නවාද? මේ සාස්තරේ දැන ගත්තොත්නං ආයේ ගෙදරට කවදාවත්ම වේලාව බලන්න ඔරලෝසුවක් නං ඕන වෙන්නේ නෑ!" යි සිතූ සිරිපාල තව කිලෝ මීටර භාගයක් පමණ ඉදිරියට ගමන් ගනිද්දී ඉදිරියට යාමේදී හමුවූයේ මෝටර් සයිකලයක් පැදගෙන ආ තමාගේ මිත්‍රයෙකි.

"මචං වෙලාව කීයද?" සයිකලය තමා අසල නවත්වනවා සමගම ඔහු ඇසීය!

"12.35 යි!"

"මචං මාව පොඩ්ඩක් උඹ යන පැත්තට දාපං කෝ!" කියා සයිකලයේ එල්ලුනු සිරිපාල නැවත කරත්තය නවතා ඇති තැනට පැමිණියේය!

"මචං වෙලාව කියපංකෝ පොඩ්ඩක්! ඔහු සයිකලයෙන් බසින ගමන් මිත්‍රයාගෙන් ඇසීය!"

"ඇයි බං මං ඉස්සෙල්ලා කිව්වේ! 12.42 යි!"

"හරි! උඹ පලයං මම එන්නං!" කී මගියා නැවත කරත්ත කරුට ළඟා වී "ලොකු උන්නැහැ වෙලාව පොඩ්ඩක් බලලා කිව්වානං!" කීවේය.

නැවතත් පෙර පරිදීම කෙවිටෙන් ගොනුගේ වලිගය පැත්තකට කල ගැල් කරු 12.43යි!" කියා ටක්කෙටම වේලාව කිව්වේය.

සිරිපාල මහත් පුදුමයට පත්ව ගැල් කරු ළඟ ඇන තබාගෙන කථාව පටන් ගත්තේය!

"අනේ ලොකු උන්නැහැ අපේ පරම් පරා ගනනාවක්ම ගෙදර හරක් හිටියා! හොඳ පට්ටි ගොන්නු, එළදෙන්නු, කිරි හරක්, මීහරක්, නාම්බෝ නොහිටිය එකෙක් නෑ! අපේ අත්ත මුත්තාගේ ඉන්නදන්ම ගේ වටේම හරක්! ඒත් අපි කවුරුවත් දන්නෑ නොවැ; ලොකු උන්නැහැ වගේ ගොන්නුන්ගේ වලිගය එහා මෙහා කොරලා වෙලාව කියන්න!"

"මොන පිස්සුද ඕයි! එහෙම සෑස්තරයක් නෑ. අර ඈත පේන ඔරලෝසු කනුව මේකගෙ මේ වලිගෙන් වැහිලා නොවැ තියෙන්නේ! මම කෙවිටෙන්  වලිගෙ මෙහා කොරන්නේ කනුව පෙනෙන්න!" ගැල් කරු පහදා දුන්නේය!

කථාවට තවත් ලුණු ඇඹුල් ඕනෑ අයට; ගොනාගේ වලිගය වෙනුවට; වෙනත්  ඕනෑම සරීරාංගයක් යොදාගෙන රහ බැලුවාට අපේ තරහක් නොමැත. (මම කිව්වේ ඇත්ත කථාව!)

මේ විදියට කොහේ හෝ කවුරුන් හෝ කවදා හෝ කරණු කියනු ලැබූ දේකට විවිධ අර්ථ කතන දීමට අපි බොහෝ දස්සය. ඒ තමාගේ වටහා ගැණීමේ ශක්ති ප්‍රමාණයෙන්ය.

"සඳකඩපහනක කැටයම් ඔපලා!" යනු; ලාංකීය ගීත සාහිත්‍යයේ සුවිශේෂී ගීතයකි. මෙම ගීතය කුළුඳුලේ  සෑදූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගෙ "මාතර ආච්චි" චිත්‍රපටයේ ගීතයකි. මෙහි සංගීතය වික්ටර් රත්නායකගේ වන අතර ඒ ඔහුගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් සංගීතය වනාතරතුර සුනිල් එදිරිසිංහගේ ප්‍රථම චිත්‍රපට ගීතය හා එය රචනා කල වොලී නානායක්කාරගේ ප්‍රථම හා එකම ගී පද නිර්මාණයයි!

චිත්‍රපට කථාව තුල බලවතකු තම හැකියාව යොදවා තරුණියක් තම වසඟයට ගැනීමට උත්සාහ කිරීම හා ඇයට සැබෑ ලෙසම ආදරය කරණා තරුණයා ඒ පිළිබඳව දුකින් පසුවීමේ පුවත ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රේශණය කිරීම සඳහා මෙම ගීතය යොදා ගනී. 

සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුළක් අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
සියුමැලි කැකුලක් මැලවෙද්දී


දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බින්දු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කලුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ
තවකෙක් ඈ වෙත හද රැන්දූ


සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුළක් අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
සියුමැලි කැකුලක් මැලවෙද්දී


හද විල ඉපැදුනු කැකුලක් නොතලති නටුවෙන් ගලවා දුරට යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක් සත්සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා
පොපියන හදවත සිටී බලා සිටී බලා

විප්‍රයෝගය පිළිබඳව ගැයෙන මේ ගීතය අපගේ ගීත සාහිත්‍යයේ කිසියම් කඩයිම් ලකුණක් ලෙස ගත හැක. ඒ මන්ද එතෙක් සරල ශාස්ත්‍රීය ගී යැයූ අමරදේව කුලකයේ ගායකයෙකු ලෙස සුනිල්ගේ කළ එළි මංගල්‍යය ලෙස මේ ගීතය ගත හැකි වනු නිසාය. 

එහෙත් මෑතකදී මෙම ගීතයට නව අර්ථ කථනයක් සපයන අයෙකු; මෙම ගීතය "අභිසරු ලියක" විසින් ඇයගේ චර්යාවන් හා විඳින ගැහැට පිළිබඳව ගැයෙන ගීතයක් ලෙස යූ ටියුබය තුලින් ප්‍රකාශ කර සිටියි.

තමාගේ යූ ටියුබ් නාලිකාවේ නැරඹුම් ගණන වැඩි කර ගැනීම සඳහා ඕනෑම තක්කඩි වැඩක් කිරී මට මැලි නොවන මෙවන් තක්කඩීන්ගේ අදහස් හිස මුදුණින් පිළිගන්නා හා එය තව තවත් සමාජ ගත කිරීමට; සිතා හෝ නොසිතා උල්පන්දම් දෙන අය ගැන කල හැක්කක් නොමැත!

මේ ගීතය සම්බන්ධයෙන් දී ඇති සැබෑ විචාරය. මෙතැනින් රස විඳින්න. 

ගීතයක සැබෑ අරුත නමින් බ්ලොග් අඩවියක් පවතී. එයට ලිපියක් සපයන; කොට්ටාවේ සමිත නම් වූ යතිවරයෙක් මෙම ගීතයේ අර්ථය; චිත්‍රපටයේ කථාවට සමගාමීව ගලා යන ආකාරය දක්වයි.

එම පෝස්ටුවට යටින් කමෙන් වැලකි. ඔබම කියවා බලන්න! චිත්‍රපටයකට පසුබිම් ගීතයක් ගැයෙන්නේ එහි රූප රාමුවලට යානොහැකි ඉමකට ප්‍රෙක්ෂකයා ගෙන යාමට වුවත් එය චිත්‍රපටයේ අන්තර්ගතයට එකඟව ඊට සමාන්ත්‍රව ගලා යා යුතුමය. මෙම බ්ලොග් අඩවියට ගොඩ වී බලන්න. යූ ටියුබ් තක්කඩින් විසින් ජන මනස කෙතරම් දුරකට විනාශ කොට ඇත්දැයි ඔබටම සිතා ගත හැක.

ගීතයක සැබෑ අරුත බ්ලොග් අඩවියට මෙතැනින් පිවිසෙන්න.

වරක් මා මේ ගීතයත් අමරදේවයන්ගේ "වක්කඩ ළඟ දිය වැටෙන තාලයට" ගීතය පිළිබඳවත් ප්‍රවීන ගීත රචක සහ ගීත විචාරක ධම්මික බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ; වොලී නානායක්කාර අවසන් කාලයේ ජීවත්වූ නිකවැරටියේ නිවසට ගොස් ඔහුව තමා මුණ ගැසී ඇති බවත් එහිදීද වොලී තම ගීතයේ අන්තර්ගත අර්ථය චිත්‍රපටයේ කථාවට සමාන්තරව දිවෙනසේ පබැදූ බව ප්‍රකාශ කල බව ය!

ඊනියා විචාරක තක්කඩීන් විනාස කරණ ඊළඟ ගීතය අමරදේවයන්ගේ "වක්කඩ ළඟ දිය වැටෙන තාලයට" ගීතයයි. මහගම සේකරයින්ගේ මිහිරි ගී පදමාලාවට මේ විචාරකයින් නවා කරකවා තබන්නේ ගායකයාගේ බිරිඳගේ ආර්ථව චක්‍රය මතයි!

පෙර කී ලෙස ධම්මික බණ්ඩාර මහතාගෙන් මේ ගීතය පිළිබඳව මාකල විමසීමේදී ඔහු පැවසුවේ සේකරගේ කිසිදු ගී පබැදුමක එවන් අදහසක් හෝ ඊට ආසන්න නැඹුරු තාවයක් දක්වන නිර්මාණයක් දක්නට නොලැබෙන බවයය.

එසේම ඔහු වැඩිදුරටත් පැවසූවේ

 "පුංචි බලු රාලේ - මම ගෙදර නැති වේලේ

කවුද මගෙ බෝලේ - පෙරල පෙරලා හිටියෙ මිදුලේ" 

කවියටත්; හිමි ගෙදර නොමැති වේලාවක අනියම් සැමියාගේ නිවසට පැමිණීම පිළිබඳව ලියැවුනු එකක්  ලෙස අලුත් අර්ථ කතනයක් දිය හැකි බවයි!

ඒ ගීත විචාරය පිළිබඳවයි. ගීත පමණක් නොව ඕනෑම කලා කෘථියක් සම්බන්ධයෙන් මෙවැනි අරුත් සැපයීම් දැකිය හැක. ජෝර්ජ් බර්නාඩ් ෂෝ ලක්දිවට පැමිණි මොහොතේ එක් හිමිදිරි උදෑසනක ඔහු හමුවීමට ගිය පුවත් පත් වාර්ථා කරුවෙකු ෂෝ ගෙන් මෙසේ ඇසීය.

"ඔබ තුමා මේ මොහොතේ කල්පණා කරමින් ඉන්නේ කුමක් ගැනද?"

"උදෙ කෑමට බිත්තරයක් තම්බලා නකවද බැදලා කනවද කියලා!" ෂෝ ගත් කටටම පැවසීය.

බොහෝ කලා කෘථීන් හෝ වේවා වෙනයම් පාරම්පරික සිරිත් විරිත්, හුරු පුරුදු කම් වල මූලාශ්‍රය ඉතා සරළ එකක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති අතර ඒවාට දැන් සැපයෙන අර්ථ කතන දුටු විට පුදුම සහගතය!

කලක සිට; ශුභ කටයුත්තක් කිරීමට පෙර කිරි ඉතිරවීමේ පුරුද්දක් ඇත. මේ සඳහා අප්පා මුත්තා කාලේ සිට භාවිතා කලේ "එළ කිරි" ය. මෙම කිරි ඉතිරවීමේ පුරුද්ද මෙන්ම ඒ සඳහා එළ කිරි යොදා ගැනීම යන කාරණාව; අනෙක් බොහෝ පුරුදු සිරිත් පැමිණි ලෙසම ඉන්දියාවෙන් ලැබුනු එකක් විය යුතුය!

මීට කලකට පෙර මෙරට පණ්ඩිතයින් මීට වෙනත් අර්ථ කථනයක් සැපයීය. 

"කිරි කියන්නේ ලේ! කිරි ඉතිර වීම යනු ලේ ඉතිරවීමක්ය! මේ නිසා කිරි උතුරවන්නේ නම් ඒ සඳහා උපයෝගී කරගත යුත්තේ පොල් කිරි මිස එළ කිරි නොවේ!" ඔවුන් මතයක් සමාජ ගත කලෝය!

සමාජය තුල හෝ පවුල් සංස්ථාව තුල ස්ථාපිත වී ඇති බොහෝ කාරණා සඳහා මහා විශාල අර්ථ කතන නොමැත. එසේම කලා කෘථියක් ගත්තද එය එසේම මය. සියවස් ගනනාවක් පුරා අපේ ගෙවල් වල ඉදුනු "මල බත" සඳහා එකතු කර ගන්නා සාම්ප්‍රදායික දේවල් වලට මෙකල විවිධ අර්ථ කතන සපයනු දක්නට ලැබේ.

ලේන්සුව හතරැස් වීමට තුඩු දුන් හේතුවක් ඇතත් මේ ලෝකයේ තිබෙන සෑම සියළු දේ සඳහාම "මහා විශාල" හේතුවක් නොමැත! සමහර සිරිත් විරිත් ගති පැවතුම් සමාජගත කිරීමට කුමක් හෝ "සාධාරණය කරණ ලද" හේතුවක්ද සමග ඉදිරි පත් වේ.

"තමාගේ ගිණි අවිය සැමදා පිරිසිදුව තබා ගත යුතුයි! තමාගේ ගිණි අවියේ අංකය තමාට මතක නැති නම් සමහර විට; තමාගේ ගිණි අවිය යැයි පිරිසිදු කරණ්නේ අනුන්ගේ ගිණි අවියක් විය හැක!

අනුන්ගේ ගිණි අවියක් තමන් පිරිසිදු කරණ්නේ මන්ද?

එබැවින් තමාගේ ගිණි අවිය හඳුනා ගැනීමට නම් තමාගේ ගිණි අවියේ අංකය මතක තබා ගත යුතුය!" 

මේ එවන් අවස්ථාවකි!

මීට කලකට පෙර "නවයුගය" පුවත් පතේ පලවූ කෙටි විකට පොකට් කාටූන් එකක දැක්වූයේ මොනාලීසාගේ ආලේඛ්‍ය චිත්‍රය අඳින ලියනාඩො ඩා වින්සි ගේ චිත්‍රයකි. 

එක් වරම ඩාවින්සි මොනාලීසාගෙන් ප්‍රශ්ණයක් අසයි!

"මොකද ඔයා අමුතු විදියට හිනාවෙන්නේ?"

"ඩාවින්සි! ඔයාගේ නහය උඩ තීන්ත බින්දුවක්!"

අද අප මොනාලීසාගේ සිනහව පිළිබඳව කෙස් පැලෙන තර්ක නගති! බොහෝ අය සිතන්නේ සෑම සියළු දේටම හේතුවක් තිබිය යුතුයි කියාය!

Saturday, January 20, 2024

277. කොන්ඩයා තට්ටයෙකු වූයේ කෙසේද? (ශනිදා දහයට )


"මිනිසා යෝධයෙකු වූයේ කෙසේද?" යන මැයෙන්; සෝවියට් පොතක් එකල පලවී තිබුනි. එහි සඳහන් වූයේ මිනිසාගේ පරිණාමය පිළිබඳ කථාන්දරය ය!

නියැන්ඩර්තාල්, හෝමෝඉරෙක්ටස් සිට හෝමෝ සාපියන් දක්වා ගමන් ගත් අයුරු එහි දැක්වේ.

මේ පෝස්ටුවෙන් කියැවෙන්නේ තරුණ අවධියේ කොණ්ඩයෙකුව සිටි අයෙකු; තට්ටයෙකු බවට පත්වීමේ ගමන් මග හා ඒ ආශ්‍රිත කයිවාරු කිහිපයකි.

මීට වසර 10කට - 15කට පමණ පෙර මමද ඔබ වැනිම වූ කොන්ඩයෙකි. මාගේ සොහොයුරා විවාහවූ අසූව දශකයේ මැද භාගයේ කොන්ඩය පිටුපසින් දිගට වවාගත් අයෙකු විය. 

කාලය ගෙවී යත්ම කොන්ඩය මාගෙන් සෙමෙන් සෙමෙන් සමු ගැනීමටත් ඒ වෙනුවට පිටුපසින් තට්ටය; කලා පිරෙන සඳ සේ එකළු වීමටත් පටන් ගති. 

ඊට හේතු භූත වූ කාරණා අතුරින් "වයස" යන්නට ලැබුනේ දෙවන තෙවන ස්ථානය ය.

ඊට හේතුවූ කරුණද මාගේ අනෙක් වැඩ සේම තරමක ඇඟ රිදෙන එකක්මය. එය මෙතැනම ලියා දමන්නම්.

මාගේ වෘතීය වූයේ මෝටර් කාර්මික ශිල්පය ය. මේ නිසාම මා බොහෝ විට පැරණි වාහන වලට භය නැතිව කර ගැසුවේය.

"ලෙඩ ගෑනියෙකුයි, පරණ වාහනයකුයි, ඉඩං නඩුවකුයි මිනිහෙකුට ගෙන එන්නේ සෙනසුරු අපලයටවත් සෙකන්ඩ් වෙන්නැති මාරකයක් ය. එහෙත් මා පරණ වාහන වලට තිබුනේ කිසිදා අඩු නොවූ සුපිරිම ලව් එකක් ය. පරන ජීප් එකක් දෙස මා බැලූවේ අප්‍රමාණවූ සෙනෙහසකින්ය. එය ඉලංදාරියෙකු; ලමිස්සියක දෙස බලන ආදර බැමටවත් දෙවෙනි නොවුනි! මා සතු කර ගත්තේම පරන වාහන කබල්මය. 

මේ නිසාම මාහට ඇතිවූ යහලු මිත්‍රාදීන්ද එම වර්ගයේම පශ්චාත් භාගයේ දරුණු ආබාධ වලින් පෙලෙන්නන්ම වූවෝය. මේ වාහන වලින් බොහොමයක් මා රෙකමදාරුකොට අරං දුන් දරහැවවල් වූවෝය. මේ හේතුව කරණ කොට ගෙන; මගේ පරණ ලඩි සහ මිතුරන්ගේ අටම්පහුරු අලුත්වැඩියා කොට කෙලින් කරණ්ණට සිදුවූයේ මටමය! බොහෝ විට මේ කටයුතු කෙරුණේ රෑ පානේමය.

වාහන යට රිංගා මජං නාමින් රෑ 12.00 - 1.00 පසුවන තුරු වැඩකොට නින්දට පෙර වතුර නෑමේදී හිස අත පය සෝදා හැරීමට බොහෝ විට පාවිච්චි කලේ "කාර් වොෂ්" ය! නැතිනම් "ඩිෂ් වොෂ්" ය!! රින්සෝය!!!

ඔවැනි උග්‍ර ඩිටර්ජන්ට්ය. ඒවාට ඔරොත්තු දෙන්නට තරම් මාගේ ඡිවි කල්‍යාණියට හැකියාවක් නොතිබුනි. එය කේෂ කල්‍යාණිට යන්නට හැර පාඩුවේ සිටියාය!

අවසානයේ කොන්ඩයකුත් නැති තට්ටයෙකුත් නැති තැනකට මම පැමිණියෙමි.

කොන්ඩය එහෙන් මෙහෙන් ඉදෙන්නටද පටන් ගත් අතර කඩේ සාප්පුවෙන් ගත් ඩයි වල පිහිට පැතීමට සිදුවන තැනට මම කෙමෙන් කෙමෙන් පත් වුනෙමි.

Never Dye - Till I Die! කියාගෙන පොර සීන් එකේ සිටි මා හට ඩයි කරණ්නටද සිදුවීම කෙතරම් කණගාටුදායක තත්වයක්ද?

මේ වන විට කොන්ඩය අඩුව ගොස් ඇති නිසාම; ඉතිරි කෙස් ගස් ඉතාම අකීකරුවී තිබුනෝය! ඒවා තිබුනේ ඒවාට ඕනෑ ලෙසින් මිසක මාගේ අභිමතයට නොවේ.

එක ගසක් වමට පීරා අතාරිනා සැනින් එය වෙනතකට හැරේ. එය කපුටු කූඩයකට සම නොකරණ්නේ මේ මල හත්තිලව් වලට අහක ඉන්න කපුටන් පලි නැති නිසාම නොවේ. 

තැනින් තැන සුදුවූ ඒ අතරින් එබී බලන සඳක් වන් තට්ටය සහිත හිස කපුටු කූඩයකට සම කල නොහැකිම නිසාය. 

මේ කාලයේත්; කොයි කලයේත් කොන්ඩය බෙහෙවින් කොටට කපා සිටීමට මා බෙහෙවින් ආශා කලෙමි. 

ඊටද හේතු දෙකකි. පිහිනීම, කිමිදීම ඇතුළු බොහෝ ජලාශ්‍රිත කටයුතු වලට ගැට ගැසුනු උභය ජීවියකු වන මාගේ කොන්ඩය ඉක්මණින් වියලා ගැනීමට; කොන්ඩය කෙටි කොට තබා ගැනීම පහසුවක්ම විය! 

ඊට අමතරව හිසකෙස් ගැලවීම ඇරඹි අයෙකු එය රැක ගැනීමට හැකි පහසුම මගක් ලෙස කොන්ඩය කොටට කැපීම බොහෝ දෙනා නිර්දේශ කරයි.

මෙසේ දිනක් කොන්ඩය කැපීමට මා නිවෙසින් පිට වුනෙමි. "අදවත් හොඳ තැනකින් කොන්ඩේ කපාගන්න - කලර් කරණවා නම් ඒකත් එතැනින්ම කරගන්න!" බිරිඳ මා නිවෙසින් පිටවත්ම අවවාදයක් දුන්නාය. 
සාමාන්‍යයෙන් රුපියල් 20න් වැඩේ ගොඩ දාගන්න සිතා සිටි මාගේ  සිතුවිල්ල වෙනස් කිරීමට එම විධානය එකසිය ගානට සමත් විය! 
කඩවත එකල හොඳ සැලුමක්; එකල තියා මෙකල වත් නැත! හොඳ සැලුම් ඇත්නම් ඒ මනාළියන් (ගොනාට ) අන්දන රූපලාවන්‍යාගාර යැයි හඳුන්වා දුන් ටිංකර් පේන්ට් ගරාජ් ය!
මේ නිසාම කිලෝ මීටර 5ක් පමණ ගේවා බුළුගහ හංදිය කිට්ටුවට පැමිණ La Passion බාබර් සාප්පුව සොයා ආවේමි.
වෙනදා මා දකින බාබර් සාප්පු වාගේ නොවේය. ඇතුල සීතලම සීතලය! කොන්ඩා කැපීමට සිටියේද; කපන්නට පැමිණි අයට වඩා හොඳින් ඇඳ පැලඳ සිටි තරුණ පහේ ගැටව් ටිකක්ය. උන්ගේ කොන්ඩාද "අම්මට සිරි"ය! වෙනත් බාබර් සාප්පු වල මෙන්; බිම කෙස් කොට පිරී නොමැත.
මුහුණට වතුර විදින බෝතලය හෝ රැවුල කපා අවසන මුහුනේ උලන සීනක්කාරන් කැටයද නැත.
අප කුඩා කල කොන්ඩය කැපුවේ "ලෑන්ඩ් මාස්ටරෙන්" ය. ලෑන්ඩ් මාස්ටර් කීවාට ඒය රෝද දෙකේ අත් ට්‍රැක්ටරයක් නොව එවන් උප කරණයකි. ඒ කාලයේ සිටි බාබර්ලා කලේ එමගින් කොන්ඩය ඉගිල්ලීම යැයි මා සැක කරණ්නෙමි. 
ඒ; එය; එතරම් තරු පෙනෙන; ආතල් අත්දැකීමක්ය නිසාය! බාබර්ගේ වැඩේ ඔලුව අල්ලා පහතට එබීමය.  කොන්ඩය කපාගෙන යද්දී නොදැනීම හිස එසවීම මාගේ වරදක් නොවීය. එය අස්ති පඤ්ඤරයේ අවුලක්ය. නිරෝගී අයෙකුගේ ගෙල නිකරුනේ නැවී තිබෙන්නේ නැත! ඒය මෝල් ගස සේ කෙලින් වීම සාමාන්‍ය තත්වයකි. මේ කථන්දර බාබර්ට ගැලපෙන්නේ නැත. උගේ වැඩේ ඔලුව වේගෙන් පහලට එබීම හා "ඔහුව උශ්ශන්න එපා හමයො! හිහ හලාහෙන හින්නවකො!" කියයි. භාෂාව පොඩ්ඩක් විතර අප්සැට් ගසා ඇත්තේ බාබර්ගේ කට පිරෙන්න බුලත් විටක් ඇති හෙයිනි!
එකල සෑම බාබර් සාප්පුවකම බිත්තියේ එල්ලූ ඝන හම් පටියක් විය. කනට ඉහලින් හා පසු පස පෙරං ගෑමට භාවිතා කල දැලි පිහිය එම හමේ අතුල්ලා මුවහත් කර ගැනීම එකල සිරිතය.
කොටින්ම ඒකාලේ තිබුනු "බාබර් සාප්පු" දැන් අතුරු දහං වෙලාය. ඒ වෙනුවට ඇත්තේ "සැලෝන්" ය. 
අප කුඩා කල හක්බෙල්ලාවක නොම්මර එකේ "බාබර්" කෙනෙක් සිටියේය. ඔහු සරම අඳින කෙනෙක්ය. ඔහු උදේටත් හවසටත් එහෙන් මෙහෙන් අබලං වූ කුඩා  සූට් කේසයක් රැගෙන පාර දිගේ ගමන් කරයි. කරේ සාලුවක් ය. එකල සාලුව කීවේ මෙකල තුවාය හෙවත් ටවල් එකටය. (ටවල් එකට වැඩි හොඳට ට්‍රවල් එක, ට්‍රබල් එක කියන එවුංද මට හමුවී ඇත! ඒක වෙනමම කථාවකි.) 
පාරේ ඉබා ගාතේ ඇවිදින බාබර් හට කවුරු හෝ කතා කලවිට එම ගෙදරටම ගොස් කොන්ඩය, රැවුල කපා දේ. සියලු අඩුම කුඩුම අර සූට් කේස් පෙට්ටියේය. හවස් වන විට කැලෑ අරක්කු වලින් සප්පායම් වන "බාබර්" පාර පුරා වංගු කප කපා ගෙදර යයි. වරෙක අපේ ගමේ අයෙකු පැවසූවේ දිනක් හවසක "බාබර්" හමුවීමට ගෙදරට යන විට උන්දෑ දැලි පිහියෙන් සාලයන්ගේ කොර පොතු අරිමින් සිටි බවය!
මේ  La Passion ඒවන් එකක් නොවීය. කොටින්ම එය බාබර් සාප්පුවක්ද නොවීය. එය කටපුරා ආඩම්බරයෙන් කිව හැකි "සැලෝන්" එකකි. 
"ගුඩ් මෝනිං සර්!" තරුණ පහේ කුඩා ගැටයෙක් මා පිළිගත්තේය. "සර් හෙයා කට් එකකටද?" මට හිතා ගැනීමට නොහැක. ඊට අමතරව මෙතැනට කුමක් කරගන්නට මා වැන්නන් පැමිණෙනවා ඇත්ද? එතැනම හිටවා තිබුනු පොලිතීන් දැන්වීම් පුවරුව මාගේ සැකය දුරු කලේය.

Hair Cut with Head Massage
Hair Setting
Hair Cut Shaving and Tonic Massage
Hair Cut Shaving and Oil Massage
Shaving
Beard Trimming
Braiding per Strand Short
Braiding per Strand Long
Hair Tattoo
Hair Massage  - Oil
Hair Massage - Tonic
Hot Oil Hair Treatment

(අම්මට සිරි!) "හෙයා කට් එකකට!" මා වට පිට විසිතුරු බලමින්ද දැණ්වීම් පුවරුව කියවා බලන තුරුත් මා දෙසම සිනහ මුසුව බලා සිටි තරුණයාට මම කෙටියෙන්ම පිළිතුරු දුන්නෙමි.
"සර් අපොයිමන්ට් එකක් අරංද ආවේ?"

"අනේ නෑනෙ පුතා! අපොයිමන්ට් එකක් නැතිව කොන්ඩෙ කපා ගන්න බැරිද මෙතන!"

"පුළුවං සර්! විනාඩි 20ක් විතර  ඉන්න වෙනවා! අපේ හෙයා ඩ්‍රෙසර්ස්ලා ඔක්කෝම බිසී! ඊළඟට අපොයින්මන්ට් එකක් නැත්නම් සර්ට ඉක්මනට පුළුවන් වෙයි"

"අම්මට සිරි! හරි අවුලක් නෑ මම ඉන්නම්!" අද මේ කොන්ඩෙන් දෙකෙන් එකක් කර ගත යුතුය. මීට කලකට පෙර පැත්තට පීරූ; පසු කලෙක උඩට පීරූ; කලකට පෙර දියේ ගිලී ඔලුව උඩට ඔසවනවාත් සමග අතින් පසු පසට කල; බස් රියක යන විට කොන්ඩය අවුල් වේයැයි කවුලුව වසා ආරක්ශාකල කොන්ඩය අද මට නොමැත!
එය බෙහෙවින් අකීකරුවී කිසිදු ලෙසකින් කිසිදු සම්මත හෝ අසම්මත ආකාරයකට පීරා තබා ගත නොහැකි තැනකට වැටී ඇත! 
කොටින්ම එය ගොයං කපා අවසන් වූ පසු ඉපනැල්ල මෙනි. ඔරොප්පුවට හිටවූ පොල් ඉඩමක් මෙනි.
තැනින් තැන මීයන් විසින් කා දැමුණු කොහු ගුදිරියක් මෙනි! මෙලෝ රහක් නොමැත. අද දෙකින් එකක් කර ගත යුතුය. මේ කොන්ඩය (ඇත්තෙන්ම කොන්ඩය පැවති ස්ථානය කිසියම් සම්මත හො අසම්මත ක්‍රමයකට පීරීමට සකසා ගත යුතු මය!
මා පසෙකින් තිබුනු සෝපාවේ ඉඳ ගත්තෙමි. අසල තිබුනු සඟරා රාක්කයේ කොන්ඩය හා සම්බන්ධ වෛවාරණ සඟරා පිරිලාය. මා එයින් එකක් ගෙන පෙරලා බැලුවෙමි. එය පුරා පැවතියේ ඒ මේ අතට පීරූ, පීරා දැයි සිතා ගත නොහැකි අපබ්‍රංස කොන්ඩා විලාසිතාය. සඟරා කිහිපයක්ම මම පෙරලා බැලුවෙමි. තව තවත් පෙරළා බැලුවෙමි. එතැන තිබුනු සියළුම සඟරා පෙරළා බැලූවද මාගේ කොන්ඩය වන් අක්‍රමවත් එකක් හෝ ඊට ආසන්න එකක් සොයා ගත නොහැකිවිය! 

"සර්! එන්න සර්!"

පෙර පැමිණි තරුණයා මාව කැඳවාගෙන එතැනින් ඇතුළු ශාලාවකට ගියේය. එතැන බාබර්ලා; (සමාවෙන්න) හෙයා ඩ්‍රෙසර්ස්ලා හතර පස් දෙනෙක් සීරුවට වැඩය!
එක් කෙළවරක තිබුනු ඉතා සුව පහසු ආසනය අසල සිටි කුඩා නව යොවුන් තරුණයෙක් මා දෙස බලා ආසනය පෑවේය. මා එම ආසනය මත පත බෑවුනි!
"සර් වොෂ් එකක් දාමු නේද?" තරුණයා කොන්ඩය අල්ලා බලා විමසීය. අප අපගේ සංසාරය තුල පුරුදු පුහුණු වී ඇත්තේ කොන්ඩය කපා නෑම විනා නෑමෙන් පසු කොණ්ඩය කැපීමට නොවේ! එහෙත් මාගේ මූලික අභිප්‍රාය මුදුන් පත් කර ගැනීමට එනම් මේ කොන්ඩය (සමාවෙන්න; එය පැවති ස්ථානය ) කිසියම් රටාවකට, පිළිවෙලකට සකසා ගැනීමට නම් මේ යකා කියන පිළිවෙලකට කටයුතු කල යුතු වන්නේය!
"හරි පුතා"
වෙනදාට මෙන් බාල්දිය ගෙන නාන ළිඳ ලඟට තුවායත් කරේ දාගෙන පරණ කොට කලිසමත් ඇඳගෙන යාමට එතැන අවශ්‍ය නොවීය! ආසනය අංශක 180ක් භ්‍රමණය කොට මුළු ආසනයම පසු පසට ගෙන මාව ළිං ගැට්ටේ නිදි කරවීමට තරුණයාට ගියේ තත්පර කිහිපයකි. 
ළිං ගැට්ටක් කීවාට එය හිස සේදීමටම සැකසූ කිරි ගරුඬ (හෝ පිඟන් ගඩොල්) බේසමකි. තරුණයා අසල තිබුනු මේසය මත තිබුනු වර්ණවත් ලේබලයකින් සැරසුනු බෝතලයකින් ලබාගත් සබන් යොදා කොන්ඩය හොඳින් එමෙන්ම මෘදුව සම්බාහනය කරමින් සෝදා හැරියේය. ඉන් පසු සුදෝ සුදු තුවායකින් පිහිදා හැර හෙයාර් ඩ්‍රයරයකින් හුස්ම පිඹ හිස මත වූ කෙස් ගස් කිහිපය වේලා ගත්තේය.

"සර් කොහොමද කොන්ඩෙ පීරන්නේ?" තරුණයා මගෙන් ඇසීය. සත්තකින්ම මම මෙතැනට පැමිණියේද ඒ  කාරණයට නිසි පිළිතුරක්ලබා ගැනීමටය! "පීරූ" හැටි දන්නා මුත් "පීරණ" හැටියක් ගැන මා දන්නේ නැත. මට අවශ්‍ය වන්නේද ඊට නිසි උපදෙසකි!
"පුතා ඇත්තටම මටම හිතා ගන්න බෑ මගේ කොන්ඩෙ කොහොම පීරන්නද කියලා! ඔයා බලන්න මගේ කොන්ඩෙට හරියන ස්ටයිල් එක මොකක්ද කියලා!" මම ඇත්තම කීවෙමි. දොස්තරටත් ලෝයර්ටත් බොරු කීම අවදානම්ය. අද මේ තරුණයාද දොස්තරයෙකු මෙන් ය!

"හරි මම සර්ගේ ෆේස් එකටයි හෙයාර් එකටයි හරියන්න කට් එකක් දෙන්නම්! මුලින් සර්ට අවුල් වගේ දැනුනාට ගනන් ගන්න එපා! කාලයක් යන කොට සර්ටම තේරෙයි මේක තමයි සර්ට හරියටම සූට් වෙන්නේ කියලා!" කොලුවා මොහොතක් මගේ ඔලුව දිහා බලා සිට පැවසීය.

"හරි අවුලක් නෑ! මට ගැලපෙන එක ඔයා තීරණය කරණ්න. මගේ ෆීල්ඩ් එක හෙයා ඩ්‍රෙසිං නෙවේනෙ!"

තරුණයා හොඳින් කොන්ඩය අතරින් තම සිහින් ඇඟිලි තුඩු යවා සම්බාහනය කරණ්නට විය. මෘදුව පටන් ගත් එය තරමක් තදින් අවසන් කිරීමට ගොස් නැවත මෘදු ස්පර්ශයකට ගෙන ආවේය. මෙම ආදර සැලකිළි සියල්ල මා දෙනෙත් පියා විඳ ගත්තෙමි. 
කොන්ඩය කපන්නට පටන් ගත්තද දෙනෙත් ඇර බැලීමට මා ලෝභ උනෙමි. සම්භාහනය ඒතරම්ම හිසට පමණක් නොව සර්වාංගයටම සුවයක් ගෙන දී ඇත. කොටින්ම බෙල්ල කපා ෆ්‍රිජ් එකක් ඇතුලේ තැන්පත් කල බවක් දැනෙමින්ය.
විනාඩි 20ක් පමණ කාලයක් ගත වන විට කොන්ඩය කපා අවසන් විය! ඒ බව මාහට දැනුනේ හිසට සුලං අල්ලා පිරිසිදු කිරීම සමගය. කිසිදාක නැති සුවයක් සිසිලසක් හිසට දැනෙමින් විය.

"සර් දැන් බලන්න!" මා ඇස් විවෘථ කොට ඉදිරියේ වූ කැඩපත දෙස බැලුවෙමි! "මේ මොකාද මේ?" මම මගෙන්ම අසා ගත්තෙමි!

"සර් මුලින් අවුල් වගේ දැනේවි! ගනං ගන්න එපා! සර් බියර්ඩ් එක වවන්න! එත කොට ඔය අඩු ගතිය වැහිලා යනවා!"

අම්මට සිරි මේ මමය! මගේ කොන්ඩය මුළුමනිනම බූ ගා තිබුනි. 

"සර් මේ උඩ කපලා තියෙන්නේ වන් එකෙන්! දෙපැත්ත නෝට් එකෙන්!" 

"හරි! තැන්කිව් පුතා" මගේ මූනට හරි යන්නේ මේක වෙන්න ඕනෑය! දෙයියනේ කියා මාහට වෙන දා කොන්ඩය කපනවා වගෙ විසි තිස් ගුණයක බිලක්ද ලැබුනි. එය ගෙවා දමා මා සැලූනයෙන් පිට වූයේ නැවත බෝඩ් ලෑල්ල දෙස හැරී බලමිනි.

එතැනින් එළියට පැමිණි මා කිලෝ මීටරයක් හමාරක් පැමිණ ටයර් හංදියෙන් ටයර් සංස්ථාව දෙසට හැරී නතර වූයෙමි. කොන්ඩය බූගා දැමූ නළුවන් හා රටේ ලෝකේ ප්‍රසිද්ධ පුද්ගලයින් මතකයට ගන්නට උත්සාහ කලෙමි.

Dwayne Johnson
Vin Diesel
Patrick Stewart
Jason Statham 
Ben Kingsley 
Yul Brynner

මේ අතරට;
 නිහාල් සිල්වා, 
ඇන්තනී සී පෙරේරා
පූජිත මෙන්ඩිස් 
වැනි අයගේ නම් සහ ඔවුන්ගේ මූනත් තහඩු හිතට ගලා ආවේය. 

ඒසමගම මතකයට ආවේ පාසැලේ දහය පංතියේදී ඉගෙන ගත් සාහිත්‍ය පාඨ සංග්‍රහයේ එන "නාගසේන වස්තුව" ය. 
"නාගසේන වස්තුව" එන්නේ "සද්ධර්ම රත්නාවලිය්" පොතේය. "සද්ධර්මය නමැති මිණි කැට අවුණන ලද මාලය" එහි අදහසයි. 
එහි එක් තැනෙක කුඩා නාගසේන කුමරු රෝහණ මහ තෙරුන් ගෙන් හිස මුඩු කොට ඇත්තේ ඇයි දැයි ඇසූ පැනයට. තෙරණුවෝ කදිම පිළිතුරක් දුන්නේය. එය මෙසේය:-"හෙම්බා කුමාරයෙනි, මේ හිසකේ වඩා වඩා පිරිමසන්නවුනට අට්ටාල දොළොසෙක් ඇත. ඒ දොළොස නම් කවරේcද යත්? හිස කේ සිටුවන්නහු මුර නො වරදවා සේධුව මැනැව. පැන් නො සිටුවා හිණි ගැන්වුව මැනැව. බඳිනට පෙරාතුව හිස කේ තැනුව මැනැව. තෙල් ගා පන්ති කළ මැනැව. හිස සෝධා පී කලට මල් සෙවුවමැනැව. මිල දීවුවද සුවඳ සෙවුව මැනැව. සුවඳ ගැල්වුව මැනැව. පණා ගැසුව මැනැව. අවුල් කඩා පීරුව මැනැව. උකුණන් හැරවුව මැනැව. නර පෙනෙන කලට කරුප්පු ලුව මැනැව. හිස කේ වැගිරෙන නියාව දුටු කලට මුසුප්පු වුව මැනැව. මෙකී අට්ටාල් නිසා මෙ සේ කලට ඒ හැම නැති හෙයින් හිස කේ කපම්හ" යි වදාල සේක.

මීට අමතරව ලෙනින්, මුසලෝනි, ඩ්වයිට් ඩී අයිසෙන් හවර්, වින්සන්ට් චර්චිල්, සොක්‍රටීස්, මහත්මා ගාන්ධි, නිකිතා කෘෂේව්, ඔලිවර් ගුණතිලක මේ සියල්ලන්ම තට්ටයන් විය! ඒ අයටද සිදුවූයේ මට සිදුවූ අලකලංචිය දැයි මා නොදනිමි. එහෙත් අවසාන ප්‍රථිඵලය එකම විය. 

මා සෙමෙන් සෙමෙන් ගෙදරට ලඟා වුනි.
"ආයේ කොන්ඩෙ කපන්න ඕනෙත් නෑ! ඩයි කරණ්න ඕනෙත් නෑ!!' මම ලැජ්ජාව බැරල් එකෙන් වහගෙන පොඩි පහේ සද්දයක් නොහොත් ඇඩ් එකක්ද දාගෙන ගෙදරට රිංගූවෙමි.
"අම්මට සිරි මේ මොකද මේ?" වසික හෝ කල්මී දුටු වනම පළමුව විමතියටත් පසුව හිනා වෙන්නටත් පටන් ගත්තේය. 
"අම් . . . . මේ . .ඒ .ඒ . !" ඊළඟ මොහොතේ බෙරිහන් දුන්නේය.
බිරිඳ මතුවූයේ තවත් මොහොතකින් ය!
"කොහොමද හොඳද . . ?" මම දේශපාලන සිරකරුවෙකු සේ බැක් ෆුට් එකේ ප්ලේ කෙරුවෙමි!
"මම කිව්වා කියලා හිතා ගන්නකෝ!" ඒ අපේ බිරිඳට නොම්මර එකටම මල පැන්න පසු පවසන සරළ සුගම භාෂණය ය!

එදින හවස් වෙන තුරු කල්මිලාගේ වසිකලාගේ විනෝදාශ්වාදය වූයේ මාගේ නෝට් එකට කැපූ තට්ටය අතගෑමය!
රාත්‍රිය එළඹුනි.
රාත්‍රියේ බිරිඳගේ අත; මාගේ හිසේ ගැටුනි!
"විඛාර! හරියට හාමුදුරුවොත් එක්ක බුදියනවා වගේ . . !" ඇගේ මුවින් නැවුම් වදනක් පිටවූයේ එසේය!

පසුදින උදයේ මා මුහුන දෝවනය සඳහා නාන කාමරයට ගාල් වුනෙමි.
රැවුල බෑමට පටන් ගත්තෙමි.
ශේප් එකේ නෝන්ඩි නැතිව කොන්ඩයේ; සමාවෙන්න කොන්ඩය නොව; පෙරදින කොන්ඩය තිබුනු තැන වතුර ටිකක් අතින්ම ගා තල තුනේ බික් රේසරයෙන් පෙරං ගෑමට කන අයිනේ සිට පටන් ගතිමි. වැඩේ සාර්ථකය!
හිමිං සීරුවේ මුළු ඔළුවම බෑවෙමි. තුවායෙන් මුහුණත් තට්ටයත් පිහිදාගෙන දිනය පටන් ගතිමි. ඊට පෙරදින නොම්මර එකෙන් කැපූ නෝට් එකෙන් ඔප මට්ටම් කල තට්ටය සහ අද දින පෙරං ගෑ තට්ටය අතර වෙනසක් නිවැස්සෝ නොදුටූහ!
"තාත්තිට මේක හොඳත් වගේ!" කල්මි කින්ඩියට මෙන් කීවේය!
බිරින්දෑ ඉවත බලා ගත්තීය.

රැකියාව සඳහා යුනයිටඩ් මෝටර්ස් ආයතනයට ගියවිට මුල් දින කිහිපයේ මා ප්‍රදර්ශන භාන්ඩයක් වුවද එය ගැටළුවක් නොවීය. 
මා සමග සේවය කල නීල් නිවිතිගලද උපන්ගෙයි තට්ටයෙකි. බොහෝ පාරිභෝගිකයින් නීල් යැයි පටලැවී මා සොයා ආවෝය.
"තට්ටයන් සියල්ල නීල් ලා නොවෙති!" මා සිනහ මුසු මුහුණෙන් ඔවුනට පැවසූ විට ඔවුන්ද පෙරලා නීල් සොයා ගියෝය!

ජපානයේ ඔකාසාකි නගරයේ මිට්සුබිෂි පුහුණු ආයතනයට ලංකාවෙන් මා සමග ගියේ පුබුදු ගුරුගමගේය! ඔහුද නොම්මර එකේම තට්ටයෙකි. මදි පාඩුවට ඔහු වැක්ස් හෙවත් ඉටි ගා තට්ටය පොලිෂ් කරගෙන සිටියේය.
අපගේ උපදේශක කවකමි සාං; අප හමුවට ආ විගස ඔහු වික්ෂිප්ත විය. ඔහු පළමුව ඇසූවේ ඔබගේ ආයතනයේ සියලුම සේවා උපදේශකයින් සිටින්නේ කොන්ඩය බූ ගා දැයි කියාය! එහෙත් පාරිභෝගිකයින් හා නිරන්තරයෙන් ගැටෙන අප කොන්ඩය බූ ගා දැමීම ගැන ඒ තරම් සතුටු වූයේද නැත!


එතැන් පටන් වසර 15 කට ආසන්න කාලයක් මා තට්ටයෙකුසේ සමාජය ඇඳින ගත්තේය. 
අලුතින් දැන හඳුනා ගන්නා අය මාගේ දූරකථන අංකය ගබඩා කිරීමට යාමේදී මාගේ නම මතුවෙයි.
"තට්ටයා" මේ මොකක්ද මේ?" ඔවුන් අසයි.
ඒ මගේ Trade Name එක! මම ආඩම්බරයෙන් පවසමි.

අවසාන වතාවට වසිකවත් කල්මීවත් බැලීමට කැන්ගරු දේශයට ගොස් නැවත පිටත්වන දින වසික  අනගි ත්‍යාගයක් මා අත තැබීය. ජීවිත කාලය පුරාවට ලබා ගැනීමට බලාපොරොත්තුවූ භෞතික වස්තුවක් වූ එය විවෘත කර බලන මෙන් වසික මාගෙන් ඉල්ලීය. 
එය Leatherman Tool එකකි!
සියළු ඇසුරුම් ඉවත් කොට එය මා අතට ගත්තෙමි. එහි ද මාගේ Trade Name කිසිදා නොමැකෙන සේ ලියා තිබුනි!



වැඩේ සුපිරිම සීන් එක ඔය එකෙක් වත් නොවේ. ගෙවල් වල හුදී ජනයාගේ වදේට පොරේට; දාන මාන, පිරිත් පිං කං වැනි දේට ගිය බොහෝ අවස්ථාවලදී එතැන් සිටින හාමුදුරුවරුන්ට වඩා මගේ තට්ටය ප්‍රශස්ථ මට්ටමක පැවතීමයි.
"මහත්තයා හැමදාම බානවාද?"
වැනි ප්‍රශ්ණ මගෙන් බොහෝ යති වරු අසා ඇත!

ඒකෙත් සුපිරිම වැඩේ උනේ මීට වසර ගනනාවකට පෙර; මාගේ බිරිඳගේ සේවා ස්ථානයෙන් කෙරුණු පිං කමකට සහභාගී වන්නට රුවන්වැලි සෑ අභියසට ගිය අවස්ථාවේදීය.
එතැනට වැඩම කල හාමුදුරුවෝ කාලීන බනක් කෙලින්නට පටන් ගත්තේය.
"දැං මේ රට සම්පූර්නයෙන්ම අනිත් පැත්ත හැරිලා. සියල්ල විකුර්ති වෙලා. හාමුදුරුවරු කොන්ඩෙ වවං ඉඳිද්දීඉඳිදී ගිහියෝ තට්ටේ ගානවා!" ඒ හිමියෝ තම ශ්‍රී මුඛය හෙවත් හැකර කටෙන් කියවන්නට පටන් ගත්තේය. 
ඒ වගන්තිය කෙලවර වෙන්නටත් පෙර එතැන සිටි උවැසි උවැසියෝ මා දෙස බැලූවේ "විකුර්ථියක්" පියවි ඇසින් බලා ගැනීම සඳහා විය යුතුය!

ඔබට කියන්න සුපිංවතුනි ඒ බයිලාව දෙසා උන්දෑට කට ගන්නට බැරිවිය. එතැන කෙලින් අතට හිටවා තිබුනු  මුරායුධයක් එක වරම ඔහුගේ හිස මතට වැටුනි. ඉන් ඔහුගේ හිස තුවාල වී ලේ ගලන්නට විය.
හිටුවා තිබුනු අඩි හයක් පමණ උසැති මෙවන් මුර ආයුධය හෙවත් හෙල්ලේ දෙපස ඇති තියුනු උල හිසට කඩන් වැටුනි.

මේවා කාට කාටත් හොඳ පාඩම්ය! 

"තට්ට ධම්ම වේදනීය කර්ම" පඩිසන් දෙන්නේ එලෙසින් ය!

Sunday, January 14, 2024

276. Radio ඇඩ්ස් . . !




රේඩියෝ ගැන මම මේ ලියන දෙවෙනි පෝස්ටුව හෙවත් ගහන දෙවෙනි කයිවාරුව!

පළමු එකට මෙතැනින් යන්න!

ඒ පලවෙනි එක කියවපු මහතැන් කෙනෙක් හෝ නෝනා මහතැන් කෙනෙක් හට; එතැන ලියැවුනු දේවල් ඉඳ හිට මෙතැනත් තිබිලා අහුවෙලා විස්සෝප වෙන්න කාරියක් එහෙම නෑ ඔන්න! මොකද මේ ලියන්නෙත් ඒක ලියපු තට්ටයාමමයි. මේ ලියන්නෙත් ඒ ගුවන්විදුලි සංස්ථාවෙන් විකාශනය වූ කෙටි තරංග, දිගු තරංග මධ්‍යම තරංග ගැන විනා උපුල් තරංග හෝ සාගර තරංගා ගැන නොවේ!

අනික ඒ පෝස්ටුවේ ලිව්වෙත් අපේ ගෙදර අහිංසකව වැඩ සිටි ෆිලිප්ස් රෙඩියෝ තඩියා ගැන ම බැවින්.

එහෙනම් කතා කරගෙනම පල්ලෙහාට යමු.

ඒකාලයේ රේඩියෝවේ සිංහල සේවේ වෙන් කරලා තිබුනා පළමු සේවය හා දෙවැනි සේවය යනුවෙන්. දැන් ස්වදේශීය සේවය කියන්නේ ඒකටම වෙන්ට ඕනෑය. (දැන් රේඩියෝ අහන එකක් යෑ!?)

ඉතිං සියළුම වෙළඳ දැන්වීම් සහ ජනප්‍රිය වැඩසටහන් විකාශණය වුනේ මේ දෙවෙනි සේවයෙන් හෙවත් වෙළඳ සේවයෙන්.

පාන්දර පන්සිල්,  ධර්ම චින්තාවෙන් සහ වෙනත් ආගමික උපදේශනයන් සමග  පටං ගන්නා රේඩියෝව නින්දට යන්නේ පොඩි පහේ අගමික මතක් කිරීමක් සමග සෙත් පිරිත් වලින්. ඒ කාලේ අද වාගේ වෛවාරණ ස්වර, තාල, සුරල් සමග ගැයුනු පිරිත් හා දේශනා කානිවල් සමග නොව (පිලිපැද්දත් නොපිලිපැද්දත්) ඔරිජිනල් දේශණා සමගය!

ඉන්පසු ගැඹුරු හඬින් කියැවෙන ප්‍රවෘථි ය! පිළිගන්න; සිරිල් රාජපක්ෂගේ ගැඹුරු හඬ මේ දැණුත් දෙසවන තුල නින්නාද දේ!

හැත්තෑවේ සමගි පෙරමුණු ආණ්ඩුව සමග ගුවන්විදුලියේ වැඩසටහන් පිඹුරු පත බොහෝ සෙයින් වෙනස් වී ගියේය. "දේශ අභිමාණී ගී" වැනිදෑ කරළියට ආවේ මේ සමගය. මේ සියල්ල සෙමෙන් ගෙවී ගොස දහවල උදා වෙද්දී වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය ඇරඹේ. 

මේවා එකින් එක ප්‍රචාරණය වූ වේලාවන් පිළිබඳව මා හට මතකයක් නැතත් මේ අක්‍රමවත් පෙළගැසීම කියවා බලා තම තමන්ගේ මතකයේ පමණින්  පහතින් එක් කරණු ඇතැයි බලාපොරොත්තු වන්නෙමි!

සිංහල ගීත සාහිත්‍යයේ නොමැකෙන සටහනක් සහ නොබිඳෙන වාර්ථාවක්  තැබූ කරුණාරත්න අබේසේකරයන් කියවා ඇත්තේ ඔහු විසින්ම ලියන ලද දැන්වීම් යැයි මා අසා ඇත. මෙහිදී ඔහුගේ සරළ සුගම හා පැහැදිළි; වදන්, වේගවත් බව හා ගලා යන ආකාරය පුදුම සහගතය.

එකල මරදානේ ශ්‍රී ලංකා දිස්පැන්සරිය පවත්වාගෙන ගිය පී ඩබ්ලිව් ඒ පෝල් මහතා පිළිබඳව එවන් වෙළෙඳ දැන්වීමක් ඇත! එය මෙසේය.

"ඇදුමට නොවරදින වෛද්‍යවරයා - පී ඩබ්ලිව් ඒ පෝල් මහතා ප්‍රථිකාර කරණු ලබන්නේ; කොළොඹ දහය - දෙවන මරදානේ ශ්‍රී ලංකා ඩිස්පැන්සරියේදී පමණි! වෙනත් ශාඛා නොමැත."

මෙන්න ඔහුගේම තවත් වෙඩි වගේ දැන්වීමක්:-

"ටයිප් රයිටර් - මිළදී ගැනීම -විකිණීම - මාරුකිරීම - අලුත්වැඩියාව; ප්‍රේමදාස කළුාරච්චි - බෞද්ධ මන්දීරය - පිටකොටුව!"

ගුවන් විදුලිය ආරම්භයේදීම ඒවායේ ප්‍රචාරණය කලයුතු දැන්වීම් පිළිබඳව කිසියම් නියාමනයක් තිබී ඇත. ඒ අනුව "මිනී පෙට්ටි සාප්පු" වල "ඇඩ්" නොදැමීමට එකඟත්වයක් තිබී ඇත. මේ "කඩුල්ලෙන්" පැනීමට; කරූ නිර්මාණය කලේ හරි අපූරු වැඩ සටහනකි. එය නමින් "පුෂ්පාංජලී" නම් විය . ඒ ජයරත්න මල් ශාලාව හෙවත් "ජයරත්න අවමංගල අධ්‍යක්ෂකවරුන් වෙනුවෙනි. 

ඒසේම ඒ වෙනුවෙන් ගුවනේ කියැවුනු වෙළෙඳ දැන්වීම මෙසේ විය:- 

"සොම්නස දොම්නස පවසන ගොළු බස"

"මල් නම් ජයරත්න! ජයරත්න නම් මල්!!"

කාලෙකට පෙර "ගොටුකොල කැඳ සෑදීමට "  නිපැදවූ G-Kola නමින් නිශ්පාදනයක් වෙළෙඳ පොලට හඳුන්වා දීමට ගුවන් විදුලිය මගින් සිදුවිය.

"කට්ට අව්වෙ පොලට ගිහිං

 ගොටු කොල මිටි දෙකක් අරං 

. . . . . . . . . . . . . . . . . . . . . . . "

අදටත් ගැයෙන වෝග් ජුවලර්ස් වෙළෙඳ දැන්වීම; අප පාසැල් යන කාලයේ (ඔව් අපි ඉස්කෝලේ ගියා!) පාසැල් බස් රියේ සිංදු කියන්නට පටන් ගන්නේද මෙම ගීතයෙනි! :-

"මංගල මුදු මාලවළලු

 රන් අභරණ ලබා ගන්න

විශ්වාසයි කල්පවතියි

වගකීමට බැඳී සිටියි


හිත පිරෙන්න රුව වඩන්න

අලංකාර මොස්තරත්

ඔබත් යන්න මනාළියනි

ඔබෙ මංගල මුදුව ගන්න

වෝග් ජුවලර්ස්! වෝග් ජුවර්ලර්ස්!! වෝග් ජුවලර්ස්!!!"

රූපා ඉන්දුමතී, ලතා සහ නීලා යන ගායන ශිල්පීන් තිදෙනාම Indunil Jayawardana 21/2/2019 ලංකා රේඩියෝ දැන්වීම් වත් පොත් සමූහයට පවසයි!

මේ තවත් එවන් වෙළෙඳ දැන්වීමක්.

"ලියන් මනාලියන් කරණ - අඟනන් සුරංගනාවන් කරණ; ස්වර්ණ වර්ණ රන් අභරණ - ජයලලිතා රන් අභරණ; නොම්මර 60 හෙට්ටිවීදිය කොළඹ"

එතරම්ම අතීතයක් නැතත් මෙයත් අසූව දශකයේ එකක් ලෙසයි; මට මතක! ජාතියේ මහා පහන් ටැඹ (මේවාද එළි දැක්කේ ගුවන් විදුලිය තුලිනි!) ලංකා බැංකුවෙන් ප්‍රචාරණය වූ "ආරාධනා" ස්වර දැහැනට එක් වරක් අමරසිරි පීරිස් එක්වූ විටෙක එහි සිටි ප්‍රේක්ෂකයින් කිහිප දෙනෙක් ඉල්ලා ඇත්තේ මෙම "ලංකෙම්" වෙළෙඳ දැන්වීම ගායනා කොට පෙන්වන ලෙසයි!

"ගොවියාගේ හිත මිතුරා - ලංකෙම්"

"සකස් කඩ - නොකීකට - උගේ කට - හුඹස් කට" කීවාසේ "බුල්ටෝවක්" නොකෑ කටක් එකළ සොයා ගැනීමට නොහැකිවිය. "මෝතා", "ඩෙල්ටා", "මෝල්ටීස්", "ඩොට්", "ස්ටාර්" වැනි ටොෆී සමග කරට කර සටන් කල බුල්ටෝ සඳහා "ටැග් ලයින්" එක වූවේ මෙයයි. මෙයට හඬ කවා තිබුනේ එකල ගුවන් විදුලුයේ "සිංහ සවරය" වූ ලලිත් එස් මෛත්‍රීපාලයන් විසින් යැයි මතකයක් ඇත!

"මහරගමින් රස කෑමක් - ගුණසිරි බුල්ටෝ!"

කෙතරම් මහන්සි උනත් "බ්‍රිස්ටල්" වෙළෙඳ දැන්වීම සම්පූර්ණයෙන්ම  මතකයට එන්නේ නැත. එය ගායනා කලේ කවුරුන්දැයි මතකයට එන්නේ නැතත් ක්ලැරන්ස් විජේවර්ධනයන්දැයි සැක සංකා මතුවේ! 

"නවලොව නවතම කාගෙත් සිත්ගත්

.............. බ්‍රිස්ටල්


හොඳ දුම් රැල්ලයි -සිත සැනසිල්ලයි

කවුරුත් ඉල්ලයි - බ්‍රිස්ටල්"


තවත් බ්‍රිස්ටල්  ඇඩ් එකක් මෙසේ ගැයුනි!

බ්‍රිස්ටල් දුම් රැල්ලෙන් ගෙන එන්නේ

රස හඳුනන්නෝ දල්වා ගන්නේ

ඒකයි බ්‍රිස්ටල් නාමේ . . . . 

අද ලෝකේ පුරා . . . . !


මෙසේ මතකයේ ඇති තවත් වෙළෙඳ දැන්වීම් රැසක් මෙසේ මතකයට එයි!


"ගොයමට හානි කරණ තුනැස්ස, තුන් හිරිය ගිරාපලා . . . "


"ඒ හඬ ඇසෙන්නේ මාළිගාවත්ත ලී මෝලෙන්!"


"මැණික් ලොව ඉහලින්ම පිහිටි නාමයක් ගුරුගේ මැණික් කහවත්ත!"


"ග්ලුකෝරස මාමේ - ග්ලුකෝරස මාමේ

කොච්චර කෑවත් මට මදි 

ග්ලුකෝරස කෝ"

දහවල් දොලහට "පොලීසියෙන්" වැඩසටහනට සමගාමීව හෝ එසේත් නැතිනම් රථ වාහන පොලීසිය මගින් මෙය ප්‍රචාරය විය. මාගේ මතකය නිවැරදි නම් මෙය ඒ කලයේ ගායනා කොට තිබුනේ සුජාතා අත්තනායක ගායිකාව විසිනි.

"අතට ගත් විට ඔබෙ රථේ - ඉගිලිලා නොයනු

සලකනු මග සලකුණු - නීති පිළිපදිනු

රියැදුරන්ගේ - නොසැල කිල්ලෙන්

බිහිසුණු අනතුරු වේ

අනුන් බේරා තමන් බේරී - ප්‍රවේශම මැනවි!" 

ඉරිදා දහවල් 1.00 කියන ගුවන් කාලය වෙන් වී තිබුනේ ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් වූ අතර එම කාල රාමුවට අරක් ගෙන තිබුනේ බණ්ඩාර කේ විජේතුංගයන්ය! මේ ඔහුගේ "ආදරණීය" හඳුන්වා දීම්!

"ඔවුන් දෙදෙන එක් කලේද සංගීතයයි - වෙන් කලේද සංගීතයයි! දෙවන අභිමාන්වත් මාසයේ අභිමාන්!"


"ළඳුනි මා ඔබට ද්‍රෝහී වූවා නොව! පියෙකු නැති දරුවෙකුට පියෙකු වූවා පමණි!"


"එක මලයි! බඹරු දෙන්නයි - එක් පුල් දෝ මාලි"

මේ "ඇඩ් සීන්" එකට "අමාරිස් අයියා" (සැමුවෙල් රොද්‍රිගු ) සහ "හාමු මහත්තයා" (ඇනර්ස්ලි ඩයස්) එක්වූ අවස්ථා කිහිපයක්ම ඇතත් මේ එක් මතකයක්:-

"මාමේ වාහන එළවන්න පුරුදු වෙන්න කොළඹ නේද හොඳ?

නැතුව පාළු පාරවල් වල වාහන එළවලා භය ඇරෙනවද?

එහෙනංඉගෙන ගන්න හොඳ තැනක් කියන්න!

චාරිකා ලර්නර්ස් පුංචි බොරැල්ල!"


නුගේගොඩ සව්සිරියෙන් පිරි - සව්සිරි (සවන් දෙන්න)


DSI පැරණි වෙළෙඳ දැන්වීම (සවන් දීලාම බලන්න )


ඩියුරෝල් වෙළෙඳ දැන්වීම:-

දිනෙක ආව මගේ සුපෙම්වතා

කල්පණාවෙනි නැතුව කතා

ඇහුවාම විමසලා මොකදැයි කියා

ඔහු කිව්වා

ඇඟට පන නෑ කියා

මා කීවා ගන්න

ඇඟපතට පන එන්න - ඩියුරෝල්

කඩිසරව ගැවසෙන්න - ඩියුරෝල්

යකඩ චෙරි රස ඇති - ඩියුරෝල්

මිහිරි විටමින් ටොනික් - ඩියුරෝල්


මෙයද ඉහත "ලංකා රේඩියෝ දැණ්වීම්" වත් පොත් සමූහයට රසික සූරියාඅරච්චි විසින් ලියා දක්වා තිබුනි.


ලංකා ගුවන් විදුලිය පිළිබඳ පැරණි රූගත කිරීමක්.


මෙය ලියා අවසන් කල හැකි පෝස්ටුවක් නොවේ! මෙය කියැවූ ඔබ තවත් රස බර මතක මෙය්යට එක් කරණු ඇතැයි බලාපොරොත්තු වෙමි. 

ජයවේවා!




Saturday, January 6, 2024

275. Face Book Market Place (ශනිදා දහයට)


මම හැමදාම කිව්වා වාගේම අපි ගල් ලෑල්ලේ ගල්කූරෙන් ලිවීම ඇරඹූ පරපුරක් වූවෙමු. ඉතිං ඒ නිසාම අපි ලියන කථා පටං ගන්නේම දශක තුන හතරකට කලින් ඉඳන්!

ඒ කාලේ පත්තරවල තිබුන ලුහුඩු දැන්වීම් කියලා පිටුවක් දෙකක්. දිනමිණේ පිටුවකට හමාරකට සීමා වුවත් සිළුමිණේ පිටු දෙක තුනක්ම තිබ්බා. "මනාලයෝ", "මනාලියෝ", "වතුපිටි ඉඩකඩම්", "ගව ආදී මහීෂාදී සතුන්", "තුවක්කු සහ පතරොම්" මේ ආදී වශයෙන් වෙනස් වෙනස් මාදිළියේ කාණ්ඩ යටතේ ඒවා ගොනු කොට තිබුනා. ඊට අමතරව "රසායන විද්‍යාව", "භෞතික විද්‍යාව", "කරාටේ", මල්ලව පොර" වැනි දේවලුත් අතරින් පතරින් තිබුනා.

ඒ කාලේ අද වාගේ "තුනේ ශ්‍රේණියේ පරිසරය පංතිය" , "හතරේ ශ්‍රේණියට ශිෂ්‍යත්ව පංතිය" වාගේ කුලෑටි පංති තිබ්බේ නෑ. පත්තරේ දිගේලි කරපු ටියුෂන් පංති තිබුනේ උසස් පෙල පංතියට පමණයි. රසායන විද්‍යාව - රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න, භෞතික විද්‍යාව - සේනාරත්න, සත්ව විද්‍යාව - නෝනිස්, ඔන්න ඔය වාගේ; හිමාලි - කිරිබත්ගොඩ, ජීවනී - අලව්ව, නැෂනල් - මහරගම, ලිච්ඡවී - අලුත්ගම වාගේ ගහට පොත්ත වාගේ එකට ඇලුනු නම් පේලියක් තිබුනා.

 කරාටේ ඉගැන්නුවේ ජී.ඒ.ටී. ලිවේරා. පසුව එම්.බී.ඩී සිල්වාත් ඒතැනටම ආවා. ඔය අතරේ "ශ්‍රීමත් මදන මෝදකය", "හැරියට් ඊ ජයසේකරගේ නාසානන්ද තෛලය" වගෙ ඒවාත් මෙතැන ලිවිය හැකි සහ නොහැකි තව තව දේවලුත් මේ ලුහුඩු දැන්වීම් අතරේ තිබුනා. පත්තර දැන්වීම් ගැන වෙනමම දවසක කථා කරමු! 

මේ විදියට වැඩි වෙනසක් නොවී ගලාගෙන ගිය දැන්වීම් කර්මාන්තය එක වරම උඩු යටි කුරු වූයේ "ලංකාදීප" පත්ත්‍ර "ලහිපිට" පටං ගැනුමත් සමග! අදටත් එය කිසියම් සාර්ථකත්වයකින් පසුවෙයි.

පුවත් පත් දැන්වීම් කර්මාන්තයට කණ කොකා ඇඬලුවේ "ikman.lk" පටන් ගැනීමත් එක්ක කියලයි මටනම් හිතෙන්නේ. ඒත් අදටත් පත්තර වල ලුහුඩු දැන්වීම් වල ජනප්‍රියත්වය ඒතරම් පහත බැහැලා නෑ කියලත් හිතෙනවා ඒවායේ තියෙන දැණ්වීම් ප්‍රමාණය දැක්කාම නම්! 

ikman.lk සාමාන්‍ය ජනතාව අතරට කෙසේ වෙතත් යන්තං හෝ පරිඝනකයක් ගැන අහලා දැකලා තියෙන අය අතරට ගියේ හරිම ඉක්මනකින්. තමා විකුණන්නට යන අයිතමයේ පිංතූර 6ක් හා වචන ගනනාවක රචනාවක් ලියා එය පාරිභෝග්කයා හෝ ගැනුම් කරු වෙතට ලං කිරීමට තිබුනු ඉඩකඩ මීට හේතුව වන්නට ඇත. ගැනුම් කරුවන්හටද තමාට අවශ්‍ය අයිතමය සොයා ගැනීම ikman.lk ෆෝරමය මහත්වූ තෝ තැන්නක් වුනා!

විශේෂයෙන් රථ ගාය තදේටම තිබුනු අපි වාගේ අයට තම අවශේෂ වේලාව ගත කිරීමේදී; වාහන ප්‍රදර්ශණයක් බලන්නට ගොස් සිටිනවා ලෙස සිඟිති ආතල් එකක් ගැනීමට ඉඩ සලසන තැනකුත් වුනා කිව්වොත් ඒක බොරුවක් නොවේ!

මෙම ෆෝරමයට ගොඩ වූයේ හුදෙක් විකුණන්නන් හා මිළදී ගන්නන් පමණක නොව බ්‍රෝකරයන්ද මෙහි සැරි සැරූහ! ඊට අමතරව තමා සතු වාහනයේ වටිනාකම දැන උගෙන ගැනීමේ ආතල් එක සන්තර්පණය කර ගැනීමටද මෙය ප්‍රයෝජනයට ගත් අය සිටින්නේය. එසේම වාහන මිළදී ගන්නන් වෙත "මූල්‍ය සහන" ලෙස වෙස් වලාගත් ෆිනෑන්ස් කාක්කන්ද මෙහිම ලැග සිටීම දක්නට ලැබුනි.

ikman.lk පටන් ගත් කාලයේ මෙන් නොව කාලය ගතවන විට එහි ඇඩ් එකක් පල කර ගැනීමට සෑහෙන මුදලක් ගෙවීමට්ද සිදු විය. එසේම එය තුලින් වාහනයක් හොයා ගැනීමත් තරමක් අවුල් සහගත එකක් බව වැටහී ගියේ "රිය සේවන" පටන් ගැනීමත් සමගය! "රිය සේවන" සාපේක්ෂව වඩාත් පාවිච්චි කරණ්නාගේ පහසුව  (User friendly) පිළිබඳව සිතා බලා සැකසූ වෙබ් පිටුවක් විය. අද වන විට ikman.lk අභිබවා රිය සේවන ඉදිරියට ඇවිත් යැයි මට සිතේ. එසේම තවත් එවන් විවිධ දෑ විකුණන්නටත් මිළදී ගන්නටත් තව තවත් වෙබ් පිටු, ෆෝරම ඇතිවී ඇත. සමහර ඒවා පටන් ගත්තද අවසන් වූ බවක් හෝ සොයා ගැනීමට නොහැක!

On Line  විකිණීම පටන් ගත්තේ මේ අතරමය. ඒවා බොහෝ විට සමාජ කුලක අතර සංසරණය වූ මෘදු දැන්වීම් හෙවත් ෆ්ලයර්ස් හා වත්පොත හරහා සිදුවේ. ලොකයේ කොයි ඉසව්වක; ඔන්ලයින් මාර්කටිං සාර්ථකව කෙරුණද මෙරට එයට ඇත්තේ දැඩි අප්‍රසාදයකි. පසුගිය කාලයේ "ඩරාස්" එකේ ගැටවුන්හට මහපාරේ අම්බානක සඳ ගුටි දෙන වීඩියෝ කෑලි; WhatsApp ජාලයන්ගේ හා වත්පොතේ සංසරණය වූයේ මෙහි ප්‍රථිඵලයකි. 

පසු ගියදා  මා දන්නා අයෙකු On Line ගෙන්වා ගත් බිම මොප් කිරීම හා වතුර ඇද ඉවත් කිරීම එකට ඇති ගැජබිට් එක සාදා තිබුනේ; ටීවී ඇන්ටනා බට වලිනි! එය සාදා තිබුනේ "සෙල්ලං ගෙවල්" සඳහා විනා එදිනෙදා පාවිච්චියට නොවේ! ඔන් ලයින් කඩ කාරයින් තම සේවාව ඔන් ලයින්ම කරණා මුත් එම ස්ථානයට ඇවිත් මිළදී ගැනීමට ඉඩ පහසුවක් සලසා නැත්තේ මේ නිසාම විය යුතුය!

මෙවන් මිළදී ගැනීම වලට පෙර ඒම භාන්ඩයේ දිග පලල වැනි දේ ගැන නිවැරදි අවබෝධයක් ඇතිකරගෙන කරණ්නට හැකි නම් මීට වඩා යහපත් "කූඨ වෙළෙඳ ප්‍රජාවක්" ඇතිවිය හැක!

රටේ කිහිප දෙනෙක් රහසේ බැලූ ඔන් ලයින් වෙළඳාමක් පිළිබඳව මුළු රටටම "හෝල් සේල්" එකේ කියා දුන්නේ ජන මාධ්‍යයෙන්මය. ඒ දෙල්ගොඩ අඩුවයසේ ගෑනු ළමයෙකු ඔන් ලයින් ක්‍රමයට මාර්කට් කිරීම ගැනය. කොටුවේ පොඩි සාදුගේ සිට ඊට නොගෑවුනු කෙනෙක් නොමැති අතර ඒ සීන් එකට කුමක් උනාදැයි කොටුවේ පොඩි සාදු තබා ඒ ගෑනු ළමයාවත් දන්නේ දැයි අප දන්නේ නැත! ඒ මෙරට හැටිය. සිසිර කුමාර මාණික්ක ආරච්චි කියනා ලෙස; "කැකිරි බර මෙසිරි ලක" කේස් සොල්ව් වන්නටත් පෙර වාෂ්ප වේ.

ඔන්ලයින් වෙළඳාම මේවන විට ඉතා ලාභදායි වංචනික ව්‍යාපාරයක් වී අවසානය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකං, සාස්තර, කඨින, දේව බලයෙන් ලෙඩ සුව කිරීම, බෝධි පූජා වැනිම මහත් ලාභ දායි ව්‍යාපාරයක් වූ මෙය මෙරට පුරෝගාමීන් වූයේ "කප් රුක" හා "ලස්සන ෆ්ලෝරා" යැයි මට සිතේ. (වරදක් වෙතොත් එය නිවැරදි කරණ්න!) එතෙර සිටින සුපිංවතුන්ගේ ධන පරිත්‍යාගයෙන්; මෙරට සිටින නෑදෑ හිතමිත්‍රාදීන්ගේ මන දොළ සනහා ලන්නට කේක් ගෙඩි, මල් පොකුරු, කුඩා අත්කම්, පොත් පත්, සිංදු පටි තැටි වැනි දෑ ගෙදරටම වැඩම කිරීම මෙම මුදලාළිලා ජයටම කරගෙන යනු ලබති.

"කප් රුක ලා" මගෙන් අම්ම මෝ නැතිව අහගත්තු කථාව මේ අස්සටම දැම්මෝතිං මේ ලියැවිල්ලේ උඩිංම දාපු හෙඩිම අප්සැට් ගසන බැවිං ඒක වෙනමම ලියන්නං; ඔය හදිස්සියේ ලියන්නට දෙයක් නැති දවසක; නයිට් වොච්මන් විදියට!

මේ සියළුම දේ මෙසේ සිදුවෙද්දී මේවන විට හිස ඔසවා ඇති සුපිරිම වෙළෙඳ "තට්ටුව" Facebook market place ය!

මට මෙය අලුත් දෙයක් වුනාට; මෙය කියවන දනන් හට එය තවත් එක් "නියැණ්ඩර්තාල්" කෙනෙක් හෝ "බළංගොඩ මානවයෙක්"  විය හැකි වුවත් මම ලබපු අත් දැකීම් ටිකක් මෙහි ලියන්නම්. 

FMP (කෙටියෙන් Facebook market place) මා වඩාත්ම ප්‍රයෝජනයට ගැනීමට පටං ගත්තේ කැන්ගරු දේසේදී. වසිකත් කල්මීත් සිටි කුඩා නිවාස පලුව "ගෙයක්" කිරීමට අපට අවශ්‍ය පොඩි පොඩි අයිතම  ලබා ගත්තේ FMP එක හරහා මයි. දින ගනනාවක් යන විට එය තනිකරම පුරුද්දක් වෙලා! කොයි වෙලාවේ බැලුවත් FMP එකේ "බඩු" බලන එකමයි වැඩේ. බඩු බැලීමටත් වඩා ඒවාට ලංසු තැබීමත් පොඩි පහේ ආතල් ජනනීය කාරණයක් වුනා. වසික මගේ ලංසු දිහා බලා කිව්වේ "අවුලක් නෑ ඌට තාත්තිට ගහන්න බෑනේ!" කියාය!

එරටින් නිවසට කුඩා කෑම මේසයක් සය පුටු පහක්, කුඩා තරප්පුවක්, රාත්තල් 9000 වින්චියක්, රාත්තල් 12000 වින්චියක්, ස්කොට් බයිසිකල් දෙකක්, කෑම්පින් කූඩාරමක්, කැරොකෙ බොක්ස් එකක් හෙවත් සිංදු පෙට්ටියක්, ඊජිප්තු දර්බක් එකක්, canoe කැනූ එකක් සහ තවත් අමතර දේවල් කිහිපයක් මා මිළදී ගත්තේ FMP එකට පිං සිද්ධ වෙන්නටය!

මෙහි හොඳම අවස්ථාවක් සිදුවූයේ 32mm Box Socket එකක් මිළදී ගන්නට ගිය අවස්ථාවේදීය. වසිකගේ යෙහෙළියක් මිළදීගත් අවුට්ලැන්ඩර් රථය ලියා පදිංචියට පෙර ලබා ගත යුතු රෝඩ් වර්දිය හෙවත් යෝග්‍යතා සහතිකයේදී එහි අළුත්වැඩියාවන් කිහිපයක් නිර්දේශ කොට තිබුනා. ඒවා නිම කිරීමට සිදුවූයේ මාහට! (මටත් වෙන දේවල්!) එහි ඇක්සල ගැලවීම සඳහා 32mm Box Socket එකක් අවශ්‍ය වූ අතර එය මිළදී ගැනීම සිදුවූයේද FMP හරහා මය! ඔහු එය මා අතට පත් කිරීම හා මුදල් ලබා ගැනීම සිදු කලේ හරි අපූරු ක්‍රමයකට!




"බොක්ස් සොකට් එක මාගේ තැපැල් පෙට්ටිය මත තබා ඇත! ඔබ එය ගෙන ඩොලර් 5 තැපැල් පෙට්ටියට දමන්න!" ඔහු මැසෙන්ජර් මගින් දැනුම් දී තිබුනි. අදාල දිනයේ මා එහි ගොස් ඩොලර් 5 පෙට්ටියට දමා බොක්ස් සොකටය රැගෙන ආවෙමි. 

මාගේ දෙමව්පියන් වෙතින් මාවෙත ලැබුනු පැරණි නිවෙසක් යටියන්තොට පිහිටා ඇත. එය පසුගිය කාලවකවානුව පුරාවට කුලියට දී තිබුනි. අවසානයේ එහි රැඳී සිටියවුන් මා පිටත් කර යැව්වේ; ඔවුන්ගේ ගෙවල් බඩු පටවාගෙන යන ලොරියට අදාල රුපියල් 15000 මා විසින් ගෙවා දමාය! අවසානයේ මා වෙත ලැබුනේ හිස් සහ අබලන්වූ නිවෙසකි. දෙමව් පියන් ඇවෑමෙන් එහිතිබුනු සියළු ගෘහ භාන්ඩ ඔවුන් ගෙන ගොස් තිබුනි.  මිරිස් ගලේ දූ ගල පවා ඔවුන් රැගෙන ගොස් තිබුනු අතර මව ගල හෙවත් විශාල කොටස ඉතිරිවූයේ එය තාත්තා විසින් කොන්ක්‍රීට් මේසයකට සවිකොට තිබුනු නිසා යැයි මා විශ්වාස කරමි! මේ නිසාම නිවෙස අළුත් වැඩියා කිරීම ඇරඹීම සමගම ගෙදරට අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ වෙනත් කුඩා කුඩා දේ මා FMP හරහා මිළදී ගැනීමට පටන් ගතිමි. සමහර දේ FMP එකට දමා පැය ගනනාවකින් අන්තරස්දාන වීම හා පිංතූරය මත සොල්ඩ් ලේබලය ඇලවීම දුටු මා සමහර දේ භෞතිකමය වශයෙන් දැකීමට පෙර අත්තිකාරම් මුදල් යැවීමි!

ඉන් සමහරක් භාණ්ඩ පිළිබඳව මා රැවටී ඇත! එහෙත් තවත් සමහර දේවල් පිළිබඳව ඇත්තේ මහත්වූ සතුටකි. හොරණට කිට්ටුවෙන් මිළදී ගත් කුළු පුටු හතර කොටින්ම දර ගොඩකි! වනවාසලින් මිළදී ගත් විසල් ඇඳ සහ මෙට්ටය ඉතා හොඳ ඩීල් එකක් විය.


මාගේ සිතේ මැවුනු කුළු පුටු හතර මේ වාගේ ඒවා උනත් 
ලැබුනු ඒවා ගැන කතා කිරීමෙන් පලක් නැත!
මේ පිළිබඳව මාගේ අත්දැකීම නම් FMP හරහා කිසියම් දෙයක් මිළදී ගැනීමට අවශ්‍ය වේනම්; තමන්ගේ අවශ්‍යතාවය කෙතාම් දැඩි වුවත් භෞතිකමයව දකිනා තුරු මුදල් යෙදවීම භයානක බවය! 
කලක පටන් මා ඇන්ටික් ගැන දක්වන්නේ අසාමාන්‍ය ලෙංගතු කමකි. කුරහං ගල්, සෙක්කු ආදිය දෙස මා බලන්නේ රූබර ලලනාවක් දෙස බලනා ආකාරයෙන්ය!
මේ දවස් වල සෙක්කු අරං පිරිමහන්නට බැරිය. හොඳ සෙක්කුවක් ලක්ෂ එක හමාරේ සිට හතර හමාර දක්වා මිළ ගනං වෙනස් වේ. කුරහං ගල ඊට වඩා ලාබාලය. එය රුපියල් 6000 සිට 15000 දක්වා වෙනස් වේ. ජා ඇල තිබුනු කුරහං ගලක් මා "කර තබා ගත්තේ" ඔන් ලයින් අත්තිකාරමක් ගෙවා දැමීමෙන් ය! එහි මිල 8000ක් වූ අතර මා භාන්ඩය නොදැක 5000ක් බැර කලෙමි. එහෙත් ය අත්පත් කර ගැනීමට ගිය විට ඒ ගැන තිබුනු සිහිනය තරමක් දියාරුවී ගියේය!

එහෙත් පමාව පසුතැවිල්ලට හේතුවක් විය හැකි නිසාම හැකි ඉක්මණින් එහි ලඟා වීමද කලයුතුය!

Sunday, December 31, 2023

274. හෙඩිං . . . !

පත්තර කලාවේ හෙඩිම යනු හෙඩ් ලයින් එක හෙවත් ප්‍රධාන මාතෘකාවට කියන නමකි. මේ පෝස්ටුව එවන් රසාලිප්ත මාතෘකා කිහිපයක් ගැනය. ඇත්තෙන්ම මේ ලියන්නේ හෙඩ් ලයින් ගැනම නොව පුවත් මාතෘකා ගැන කිව්වොත් නිවැරදිය. 

සිංහල පුවත් පත් කලාවේ පතාක යෝධයෙකු සේ අදද සැලකෙන බී. ඒ. සිරිවර්ධන සේවය කලේ "ඇත්ත" පුවත් පතේය. "ඇත්ත" යනු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ  නිල පුවත් පතයි. එය සෝවියට් දෙශයේ "ප්‍රව්දා" පුවත් පතේ නම සමග එකට පෑහුනි.

එහි ආරම්භක සංස්කාරක වරයා බී. ඒ. සිරිවර්ධනය. එතෙක් පුවත් පත් වල මැද පිටුවේ දැක්වුනු, කියැවීමට අලස හා පාඨකයින්ගේ අවම ජනප්‍රිය තාවයට පත්ව තිබුනු "කතු වැකිය" මැද පිටුවෙන් මුල් පිටුවට ගෙනැවිත් පාඨකයාගේ රස මනස කුළුගැන්වෙන ලෙසත් ප්‍රබුද්ධ ලෙසත් ඉදිරිපත් කලේ බී. ඒ. සිරිවර්ධනයන් ය! එකල බොහෝ පාඨකයින් "ඇත්ත" ගත්තේ "සිරාගේ  වැකිය" කියැවීමටය!

වරක් සිරා තම වැකියේ කථාවට ගත්තේ "ඒඩ්ස්" ව්‍යාප්තිය ගැනය! අප වැනි බොහෝ රටවලට ඒඩ්ස් බෝ වී ඇත්තේ විදේශීය සංචාරකයින්ගෙන් යැයි විශ්වාස කලද තවත් සමහර රට වලට ඒඩ්ස් පැමිණ ඇත්තේ එරට සිට විදේශගතවී නැවත සිය රට පැමිණි අයගෙන් ය. මේ කාරණය මතු කරණ සිරා; අප රටෙන් විදේශ සංචාරයන් හට සහභාගී වී නැවත පැමිණෙන අය කටුනායකදී "ඒඩ්ස් පරීක්ෂාවක්" කිරීමේ වැදගත් කම මතු කරයි!

එදින විදේශ සංචාරයකින් පසු ජේ. ආර්. ජයවර්ධන සහ ආර්යාව නැවත මෙරටට ගොඩ බසින බව; පිටුවේ කුඩා කොටුවක ප්‍රවෘථියක් සේ දැක්වේ!

මෙවැනි සුර විරු කම් පෑ සිරා 1979දී Skylab කඩා වැටීම පිළිබඳව සුපිරි හෙඩිමක් යැව්වේය!

"අහස් ලබ්බ කඩා වැටේ!" 

***********************************************************************

ඇල්ඩෝ මෝරෝ යනු ඉතාලියානු දෙශපාලඥ්ඥයෙකි. ඔහු 1978 වසරේ දිනකදී ඔහුව පැහැරගෙන ගොස් මරා දැමුනි. මේ පිළිබඳව නවයුගය පත්‍රයේ මැද පිටුවේ ලිපියක් පලවිය. පරිඝනක, ගූගල්, විකිපීඩියා අහලකවත් නැති එකල නවයුගය යනු දැනුම ගෙන ආ විශ්ව කෝෂයක් වන් පුවත් පතකි. මාගේ මතකය නිවැරදිනම් එකල එහි සංස්කාරක වරයා එඩ්වින් ආරියදාස විය යුතුය. එඩ්වින් ආරියදාස, ධනපාල බෝධිනායක, තුසිත මලලසේකර, පර්සි ජයමාන්න, ජෙ.බී. දිසානායක වැනි අය එහි නිතර ලිපි පිවීය. "පුංචි ලිඳේ වතුර රසයි", "ලොවින් ඇසෙන පුවත්", "දුහුනන් මැවුම් සඳහා", "නවමගක් ගත් කතාවක්", "ලෝක ශ්‍රේෂ්ඨ කෙටි කතා", "අනේ ඌ නොහිටියා නම්!", "සිනා මනා!", "අද එතැන් සිට!"  වැනි මාතෘකා යටතේ එහි පිටු හා කොලම වෙන් කොට තිබුනි. 

මම මේ කියනා ඇල්ඩෝ මොරෝ පැහැරගෙන මරා දැමුනු සිද්ධිය පිළිබඳ ලිපිය පල කොට තිබුනේ අපූරු නිර්මාණාත්මක හෙඩිමක් සහිතවය.  "මියෙන සංගීත කරුවන්ගේ අමරණීය තනු!" ලෙස අපූරු කියමනක් හිංදි සංගීත ලෝකයේ  ඇත.  එලෙසිම;  මෙය ලිව්වේ කවුරුන්දැයි මා හට මේ මොහොතේ මතක නැති උනත් ඒ අපූරු ලෙස රයිම් වන හෙඩිම මතකය. 

"මෝරෝ මැරූ මැරයෝ"

********************************************************************

උතුරේ තරුණ නැගිටීම් මත ගොඩ නැගුනු; තිස් වසරක් තිස්සේ මෙරට ඇදී ගිය යුධමය තත්වය හා 1988 - 89 දකුණේ තරුණ නැගිටීම් එවක පාලකයින් මර්ධනය කලේත් රට පාලනය කලේත් හදිසි නීතිය, ත්‍රස්ත විරෝධී පනත වැනි නීතිමය රාමුවක සිටය. මෙකල රටේ සෑම තැනකම පාහේ අවි ගත් මිල්ටේරි සෙබලුන් හා පොලීසිය දක්නට ලැබුනි. එසේම මුර කපොලු හා සෝදිසි කිරීමේ ස්ථාන මාර්ග වල දක්නට ලැබුනි. මෙම කාල වකවානුවේ කොළඹ සිට ත්‍රීකුණාමළය දක්වා ගමන් ගන්නා බස් මගියෙකු හට ස්ථාන දෙක කදී පමණ (අවම වශයෙන් එක් ස්ථාකයකදී වත් - හතරැස් කොටුව, ගල් ඔය හංදිය); තමාගේ සියළු අඩුම කුඩුම රැගෙන බසයෙන් එළියට බැසීමටත් සියළු පෞද්ගලික මළු විවෘථ කර පෙන්වීමටත් තමාගේ යට ඇඳුමේ සිට සියළු දේ පරීක්ෂා කර බැලීමට සෙබලුන්ට හෝ සෙබලියන්ට ඉඩ දීමටත් ඔවුන්ට තමන්ගේ ගෙලේ සිට කකුලේ වළලු කර තෙක් මිරිකා බැලීමට ඉඩ ලබා දීමටත් සිදුවේ. මේ කාරිය කිරීමට වාගේම; අහඹු නියැදි පරීක්ෂාවට;  නගරයන්හී  තැනින් තැන සෙබලුන් හා පොලිස් නිළධරුවන් සීරුවෙන් සිටියෝය! මේ පිළිබඳව පුවත් පතක පාඨක අදහස් සඳහා වෙන් කොට තිබුනු තීරුවක අපූරු හෙඩිමක් විය. එය ලිපිය ලියන ලද  අයගේම් නිර්මාණයක්ද නො එසේ නම් එම පිටුවේ සකසුගේ නිර්මාණයක්දැයි නොදනිමි. කෙසේ වෙතත් එය අතිශයින්ම නිර්මාණශීලී විය. එය මෙසේ විය:-

"ඔවුන් සීරුවෙන්, අප අසීරුවෙන්!"

*********************************************************************

අපරටේ  තරුණ නැගිටීම් වලදී මෙරට "වික්ටර් හාරාගේ" කාර්ය භාරය ඉටු කිරීම සඳහා කලා කරුවන් කිහිප දෙනෙක් පෙල ගැසී සිටියහ. නන්දා මාලනී, සුනිල් ආරියරත්න, ගුණදාස කපුගේ, කේමදාස, (තව කැපී පෙනුනු නමක් අමතකයි! මතක් උනොත් ලියන්නම්) මේ අතරින් ප්‍රමුඛස්ථානයක් ගත්තෝය. "කම්පන" සහ "පවන" බිහිවන්නේ මේ හා සමගාමීවය.  "පවන" හි ගීත සියල්ල ලියා තිබුනේ සුනිල් ආරියරත්නයන් විසින් වනාතර තුර සංගීතය සපයා තිබුනේ  එකල මෙරට සිටි දක්ෂ  ශිල්පීන් හා සංගීත අධ්‍යක්ශක වරුන් විසිනි. මෙම "පවන" ගීත සමුච්ඡය පිළිබඳ විවිධ මත එකල පලවිය. ඒවා අගැයීම් මෙන්ම විවේචනයන් විය. "පවන" පිළිබඳව ඒය නැරඹූ රසිකයෙකු පුවත් පතකට ලිපියක් ලියා තිබුනේ මේ අපූරු හෙඩිම සමගිනි. 

 " 'පවන' පවනක් නොව වාතයකි!" 

ශනිදා දහයට ලියා ගැනීමට නොහැකි තරම් සතිය කලබල වූවා. සතිය  ගෙවුනේ අතිශය ගැටුම් කාරී බවක් සමග! ඒ කෙසේ වෙතත් ඉරුදින උදයේ නැගිට මතකයෙන් ලියූ මේ ලිපිය රස විඳින්න! (වැරදි ඇතොත් සමාවන්න - අපි කැමතියි හදා ගන්න)

ඔබ සැමට බදු ගෙවන, සුභ නව වසරක් වේවා! 

Saturday, December 23, 2023

273. දෙද්දූව නත්තල

ජීවිතේ ආපසු හැරී බලන කොට අපේ ලොකු අම්මලාගේ ගෙදර සමග ගැට ගැහුනු මතක අමතක කරණ්නම බැරි තරම්!

ලොකු අම්මලා හිටියේ බෙන්තොට - දෙද්දූව කියන ගමේ. ලොකු අම්මාගේ නම ලව්ලි සෙනෙවිරත්න. මගේ අම්මලාගේ වාසගම උනේ සෙනෙවිරත්න.

ලොකුඅම්මා බැඳලා උන්නේ සිඩ්නි චාල්ස් ඩයස් බණ්ඩාරනායකව. ඒ කාලේ ඒ ගෙදරට කිව්වේ පුස්සැල්බොක්ක වලව්ව යනුවෙන්. ඒ ගෙදර නිමවා තිබුනේ ඉදිරි පස ලොකු කුළුණු දාලා පඩි නැගගෙන යන්න. ඉස්සරහම වාහනයක් නවත්වන්න පුළුවන් පල දෙකට නිමවා තිබුනු කාර් පෝච් එකක්. මුළු ගෙදරම තිබුනේ සිංහල උළු. ගේ නිමවා තිබුනේ කබොක් වලින්. මුළු ඉඩම අක්කර 5 කට කිට්ටු වෙන්න තිබුනා. පොල් ඉඩමක් වූ එහි තැනින් තැන කබොක් කැපූ වලවල්!  

දෙද්දූව හන්දියෙන් හැරිලා ඇතුලට යන්නයි තිබුනේ. ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්‍රි බාවා මිලදී ගෙන තිබුනේ සිඩ්නි අංකල්ගේ ඉඩමක්. එයාගේ ප්‍රසිද්ධ ලුනු ගඟ ව්‍යාපෘථිය පිහිටුවා ඇත්තේ ඒ ඉඩම් වල. අදටත් ජෙෆ්‍රි බාවා ගේ ලුනු ගඟ ඉඩමට යන්න අන්තිමට හැරෙන්න තියෙන තැනින් දකුණට නොහැරී කෙලින්ම ගියෝතින් මම මේ කියන නිවස තිබුනු තැන බලන්නට පුළුවන්.

 ඒ කෙලින්ම යන කොට ජෙෆ්‍රි බාවාගේ නිවසේ කොටස් දෙකක් යාකල පාලමක් හමුවේ. ඊට යටින් ගමන් ගන්නා මාර්ගය අවසන් වෙන්නේ මම මේ කියන කථාවට පාදක වන නිවෙසිනි.

ඒ ගෙදර තිබුනා එකම වර්ගයේ පොත් මිටියක්. ඒ Genealogy of Dias Bandaranaike  කියන පොත් පිංච. ඒ පොතේ අනුර බණ්ඩාරනායකගේ නම තිබුනේ නෑ. මම හිතන්නේ ඒ පොත පල කරණ කාලේ අනුර ඉපදිලා නොහිටින්න ඇති. ඒත් සිඩ්නි අංකල්ගේ නම තිබුනි.

සිඩ්නි අංකල් ඉස්කෝලේ ගිහිං තිබුනේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට. එයා ඒ කාලේ වතු අධිකාරී වරයෙක්ලු. එයා අන්තිමට වැඩ කරලා තියෙන්නේ මීරිගම පැත්තේ වත්තක කියලයි මම අහලා තියෙන්නේ. මම දන්න කාලෙත් එයා බොහොම වයසැති;  කුඩා ලමයින්ට වාගේම එයාගේ අසල් වැසියන් සහ ගෙදර සේවය කල අයට ඉතා කරුණාවන්තව සහ කුළුපගව ගතකල කෙනෙක්. 

ඒයාගේ කටේ හැම මොහොතකම නැවුනු පයිප්පයක් තිබුනා. ඒ නිසාදෝ මන්දා එයා ලඟින් දුම්කොල ගඳක් හැම තිස්සේම. මුල් කාලේ මොන විදියේ දුම්කොල භාවිතා කලත් ඒ කාලේදී එයා සිහින් වෙන්න කපාගත් දුම්කොල වගයක් තමයි භාවිතා කලේ. එයාට රැලේ බයිසිකලයක් තිබුනා. සමහර දවසට සයිකලය පැදගෙන අළුත්ගමට ගිහින් ආවා. ඒ පදින කොට කලිසම උඩට කොට හිරවෙන්නට  Cycling Trouser Clips දෙකක් භාවිතා කලා. 

මා දකින විටත් ඔහු වයස අවුරුදු 60ක පමණ අයෙක්. අඩි 6 කට වඩා උස් උස නිසාම තරමක් ඉදිරියට නැවුණු කෙසඟ සිරුර වුවත්වවත්  එයා හරිම ශක්තිමත් කෙනෙක්!

ඒ ගෙදර අරුමෝසම් හා අරුම පුදුම බඩු භාන්ඩ පිරිලා.

ගෙට ඇතුළු වෙන තැනම පුරවපු ගෝනෙකුගේ හිසක් බිත්තියේ  සවිකොට තිබුනු අතර පලකයේ; යටි කෙළවරේ; එහි හැඩයට සවිකොට තිබුනු පිත්තල පටියක එකදාස් නමසිය හතලිස් පනස් ගනන්වල දිනයක් හා Nilavely Trincomalee   යනුවෙන් යටට ගිල්වා කළු පැහැති තීන්ත පුරවා ලියා තිබුනි. 

ගේ පසු පස මොණරුන්ට ආහාර දුන් සිමෙන්ති බේසමක්!

එයා දෙවෙනි මහා ලොක යුද්ධය කාලේ හමුදාවේ ඉහල නිළයක් දරා තිබෙනවා. සමහර විට ස්වෙච්ඡා හමුදා කණ්ඩයක වෙන්නත් ඇති. එයා යුධ හමුදාවේදී පරිහරණය කල බොහෝ දේ බහාලු ලී පෙට්ටියක්; ගෙදර කෑම කන කොටසේ තිබුනා. මගේ මතකයේ විදියට ඒක අඩි දෙකක් විතර උස අඩි තුන හමාරක් විතර දිග අඩි දෙකක් විතර පලල එකක්. ඒ පෙට්ටිය නිමවා තිබුනේ වෙනත් රටක.

සම්පත් දූපත පොත ආරම්බයේදී විස්තර කෙරෙන; නාවිකයාගේ පෙට්ටගම පිළිබඳ කියැවෙන විට මාහට සිතෙහි ඇතිවූ චිත්ත රූපය එම පෙට්ටියයි. සම්පත් දූපත නවකථාව; මීට වසර ගනනාවකට පෙර; ලේක් හවුස් "සතුට" පත්තරයේ ගුණපාල හේමචන්ද්‍රගේ චිත්‍රවලින් යුතුව චිත්‍ර කථාවක් සේ එළි දැක්විනි. එහි ඇඳ තිබුනු පෙට්ටගමට එය හැඩයෙන් ගැලපීම මෙයට සෘජු හේතුව වන්නට ඉඩ ඇත. 

එය විවෘථ කිරීමට කිසියම් සරළ උපක්‍රමයක් සකසා තිබුනා. ඒ තුල සමින් සකස් කල අත් වැසුම්, පිත්තල ප්‍රිස්ම දෙනෙතියක් හෙවත් බයිනෝවක්, බොක්ස් කැමරාවක් වගේ අමුතු අමුතු අංගෝපාංග රාශියක් තිබුනා. මගේ හිත ගත්තේ ඒ තුල තිබුනු ගෝන අං මිටක් සහිත විශාල දඩයම් පිහියට. එයට ලෝහමය කවරයක්ද තිබුනා. එය ලොකු බරක් සහිතව ඝනකම්ව සකසා තිබුනු එකක්. එහි තලය අඩියක පමණ දිගකින් යුතු උනා. මිට කෙළවර මිටෙහි තරමටම ඉලිප්සාකාර ලෝහ තහඩුවක් තිබුනා. මා සිතන්නේ තලය මිට හා පසුපස තහඩුව එක් කොටසක් ලෙස සකසා ගෝන අං පලු දෙකක් එහි දෙපසට සවිකොට තිබෙන්නට ඇති.

 අල්මාරියක් තිබුනා යතුර කරකවන විට සීනුවක් නාද වන! ඇත් දලින් නිමැවූ බීරළු (බීරළු රේන්ද ගෙතී මට ගන්නා) 32ක් තිබුනා! මා ජීවිතයේ පලමුවෙන්ම චෙස් පුවරුවක් දැක්කේ එහේදී. එම චෙස් පුවරුව තිබුනේ කනප්පුවක් ලෙසට! එම කනප්පුව මත චෙස් පුවරුවේ කොටු ඇඳ තිබුනු අතර එයට යටින් පිහිටා තිබුනු කුඩා ලාච්චු වල ඉත්තන් දමා තිබුනා. සුදු ඉත්තන් නිමවා තිබුනේ ඇත් දලින්. කලු ඉත්තන් තරමක බරකින් යුතු වූවා. ඒවා නිමවා තීබුනේ කුමකින්දැයි මාගේ මතකයට නො ඒ!

යතුර අස්ථාන ගතවූ ලොකු යකඩ සේප්පුවක් ජොන්සන් පිඟන් රවුම් මේස ඔය වගේ නානාප්‍රකාර බඩු පිරිලා.

මුළු ඉඩම පුරාවට පොල් ගස් පිරුණු අතර එය සමතලාව විහිදී තිබුනි. තැනින් තැන බෝවිටියා, දම් හා ගොඩපර ගස්.  ඉඩමේ කෙළවරට ගිය විට පහලින් නිසොල්මන්ව පිහිටා තිබුනු බෙන්තොට ගඟ දක්නට ලැබුනි. සමහර දිනවල එහි මාළු ඇල්ලීමේ යෙදුනු කුඩා ඔරුවක් හෝ දෙකක් ඈතින් දිස් විය. පැහැදිලි රාත්‍රීන්වලදී මුහුදේ හෝ හෝව ඉඩමේ පහල කෙළවරදී සවන් දිය හැකිවිය. ඈතින් මුහුදු බඩ දුම්රියේ හඬද හොඳින් සවන් යොමු කිරීමෙන් ඇසිය හැක. ඉඩමේ කෙළව්වර සීග්‍ර බෑවුමකි. බෑවුමේ පහළ කුඩා කුඹුරු ලියදි කිහිපයකි. ඒ අසල කුඩා ලිඳක් විය. නිවසේ ජල ප්‍රශ්ණය එකල විසඳුනේ එමගිනි.

බෑවුමේ පසෙක මිණිරන් හෑරීමට සකස් කල ලිඳක් තිබුනි. එයි විෂ්කම්භය අඩි 8 ක් පමණ වන්නට ඇටි. එය වටා කිසිදු ආරක්ෂක උපක්‍රමයක් නොවීය. අප එය අසලට ගොස් ලොකු ගලක් ගෙන එය තුලට දැමූ විට සැළකිය යුතු; අදහා නොගත හැකි කාලයක් ගතවී හඬ නින්නාද විය!

නිවස වටා වෙනත් කිසිදු නිවෙසක් පෙනෙන්නට නොටිබුනි. නිවසේ ඉදිරිපස කුඩා වන රොදක්ය. ප්‍රධාන නිවසට එපිටින් තවත් ගරා වැටුනු එවන්ම නිවසක් විය. එය සිඩ්නි අංකල්ගේ නැගනිය වූ අයොනි ආන්ටීට අයත් වූ එකකි. 

සිඩ්නි අංකල්ගේ පවුලේ සමාජිකයින් තිදෙනෙකි. අනෙක් සාමාජිකාවන් දෙදෙනා අයොනි ආන්ටී සහ නීඩ්‍රා ආන්ටි විය. අයොනි සාමකාමී අයෙක් වූ අතර නීඩ්‍රා ඊට ඉඳුරාම වෙනස්වූ චරිතයකි. නීඩ්‍රාගේ 16 වෙනි උපන්දිනයට ඔවුන්ගෙ පියා තෑගි කොට ඇත්තේ බෝර 16 ඩබල් බැරල් තුවක්කුවක් ය. ඇය වෙඩි තැබීමේ ශූරියකි. පෙර කී ගෝන හිස ඇය විසින් දඩයම් කරණා ලද එකක්යැයි අඳුරු මතකයක් මාහට ඇත. නීඩ්‍රා තනිව බෙන්තොට ගඟේ ඔරු පැද්දේලු. ඒ ස්වකීය ඩබල් බැරලයද අසල තබා ගෙනය. ඇය වරෙක කිඹුලෙකු වෙඩි තබා මරා දැමූ හෝඅ බිලී කොක්කක් යොදා ඇල්ලූ පුවතක් මා අ වෙතින්ම අසා ඇත. වයස් ගතව මිය ගිය ඇයගේ යහන අසල වූ කුඩා කනප්පුව මත ඇය විසින් මරා දැමුනු අඳුන් දිවියෙකු පුරවා සකස් කොට තබා තිබුනි!

සිඩ්නි අංකල්ට අයත් දූපතක් බෙන්තොට ගඟ මැද ඒ අර සීග්‍ර බෑවුමෙන් එපිට! එය මැද විශාල නිවසක නටබුන් තිබුනා. එම නිවසේ පොලවේ යට පවා කාමරයක් හෝ කිහිපයක් තිබුනාලු! ඒවා හැඳිවූවේ රහස් කාමර ලෙසින්. 

දූවත් ප්‍රධාන ඉඩමත් අතර ගඟ හැල එකතුවී තරමක් ගොඩවී තිබුනා. හැල යනු පාසි ජලජ පැලෑටි හා වෙනත් දෙයින් සැදුම් ලත් වතුර සහිත මාධ්‍යයක්. ඒ මත දමා තිබුනු ශාක කඳන් මත අප දූවට ගියා ආවා. ඒ දූව වටේට සර්පිලා කාර මාර්ගයක් තුබුනා. ඒවා සියල්ල ලඳු කැලෑවෙන් යටවෙලා තිබුනේ. මගේ මනසේ අදටත් මැවී ඇති "මඩොල් දුව" එයයි! බොහෝ කේතුධර ගස් එහි තැනින් තැන තිබුනා.

සිඩ්නි අංකල්ගේ තාත්තා ගමන් කොට ඇත්තේ අශ්වයා මත හා අශ්ව කරත්තයේ ලු. ඒ නිවසේ පිටු පස වූ ගබඩා කාමරයක අශ්ව කරත්තයට සවි කොට තිබුනු සීනුවේ කොටස් මා දැක තිබුනා.

 එය නිමවා තිබුනේ පයින් පෑගූ විට සීනුව නාදවන්නට කියා මා අසා තිබුනා. සිඩ්නි අංකල් ඇදහූවේ  ඉංග්‍රීසි සභාව හෙවත් ඇංග්ලිකන්!  මේ නිසාම මේ අය කිතුනුවන්. ලොකු අම්මා පංසලටත් පල්ලියටත් දෙකටම යන්නට ඇති. ඒ උනත් ගෙදර අනෙක් අයගෙන් සිඩ්නි අංකල්ගේ පුත්‍රයා වූ රෙජිනල්ඩ්ද පියා අනුව යමින් ඇංග්ලිකන් වූ අතර දියණිය ලිටිෂියා රෝමානු කතෝලික වූවා!

 ජීවිතේ ආපසු හැරී බලන කොට අපේ ලොකු අම්මලාගේ ගෙදර සමග ගැට ගැහුනු මතක අමතක කරණ්නම බෑ!

මම මේ වගන්තිය නැවතත් ලිව්වේ වැරදීමකින් හෝ අතපසුවීමකින් නම් නොවෙයි. එය දෙතුන් වතාවක් කීවත් නොසෑහෙන බැවින්. අපේ බාල පරම් පරාවේ වැඩිමහල්ලා අපේ අයියා. එයාට අවුරුදු දෙකක් පහලින් අපේ අක්කා. එයාට දෙකක් පහලින් ලොකු අම්මාගේ පුතා . ඊළඟට ඒවාගේම පරතරයකින් එහේ අක්කා. ඊළඟට තවත් අවුරුදු දෙකකින් මම. අපේ බොහෝ නත්තල් නිවාඩු ගත් කෙරුණේ ලොකු අම්මලාගේ ගෙදර.

හැමදා අපේ නත්තල් නිවාඩුව ගෙවුනේ දෙද්දූව! අපි කුඩා අවදියේදී අම්මාත් තාත්තාත් සමගනත්තල කිට්ටුව දෙදදුවට සේන්දු වීම සාමාන්‍ය දෙයක් . ඒ කාලේ තත්තාගේ දෙවෙනි පංතියේ; රජයේ සේවක  දුම්රිය බලපත්‍රයෙන් අළුත්ගම දක්වා යන අප එතැන් සිට; දෙද්දූව / හබුරුගල හරහා ඇල්පිටිය බසයක් නැගී එහි ගියෙමු. අපගේ ඇඳුම් සියල්ලම පාහේ ඇසුරූ කොල පැහැති කොටු සහිත "ෆොර්ඩ්" සූට් කේසය අතින් ගන්නේ තාත්තාය. 

අලුත්ගම එකල පැවති පොදු වෙළඳපොල හෙවත් "මාකැට්ටුව" සෙනග පිරුණු ස්ථානයකි. එය තුලට ගමන් ගන්නා තැනම පොල් කොල වලි සැකසූ මලු විකිණීමට තිබුනි. එම මල්ල සකසා තිබුනේ; වියන ලද පොල් අත්තක් රවුම් කරගැට ගසා අනතුරුව ඉතිරි පොල් කොල අග්ගිසි සියල්ල එකට කොට එයින්ම ගැටයක් ගසාය! යෝධ හැඹිළියක් සේ සැකසුනු එහි පොල් නාරටියෙන් එල්ලාගෙන එළවලු අදිය ගෙන යා හැක.  මස් මාළු ඔතා දෙන්නේ හබරල කොලේය. හබරල කොලේ එතූ ඒවා බොහෝ විට පත්තර පිටුවක හෝ සිමෙන්ති කවර බෑගයක දමා දෙන්නේය!

මාකැට්ටුවේ ඉදිරිපස කරවැල් වල එල්ලූ කුඩා මසුන්ද ඇතුලත මාලු කඩ මස් කඩ එළවළු කඩ ආදියෙන් පිරී පැවතුනි. අම්මා සහ තාත්තා මාකැට්ටුවේ ගතකරණ කාලය මාහට ඉවසුම් නැති කාලයකි. මන්ද මා සිටින්නේ හැකි ඉක්මණින් ලොකු අම්මාගේ නිවසට යන සිහියෙන්ය! සියල්ල එකතු කරගත් පසු ඇල්පිටිය බසයක් නැගී දෙද්දූව හන්දියෙන් බසින්නෙමු. එකල එම මාර්ගයේ දිවුනේ අලුත්ගම ඩිපෝවෙන් දිවුනු බ්‍රිටිෂ් ලේලන්ඩ් බස් රථය. ක්‍රෑෂ් ගියර් පෙට්ටියක් සහිත එම රථගියර් මාරු කලේ දෙවරක් ක්ලච් පාදිකය පාගා ටයිමිං වලටය.

බොහෝ විට අප අලුත්ගමින් බසින්නේ රෑ බෝ වෙන්නට ඉතා ආසන්නයේදීය. එකල බස්  වල ප්‍රධාන පහන් මෙන්ම ඇතුලත තිබූ පහන්ද ගෙන ආවේ මන්ද ආලෝකයකි. ඒවා තරමක් හෝ දීප්තිමත් වන්නේ එන්ජිම සැර දමද්දී පමණි. කොන්දොස්තරලා සල්ලි ගනුදෙනු කරණ්නේ වහලයේ ඇති විදුලි  බල්බයකට අත ලං කොට ගෙනය. බසයේ බෝඩ් එක හෙවත් නාම පුවරුව කුඩා දිගටි එකකි. එහි වූයේ දෙපැත්තට එතූ රෙදි රෝලක මුද්‍රණය කල ග්‍රාම හා නගර නාමයන් ය! එය උඩටත් පහලටත් එතීමට රියැදුරුගේ හිසට ඉහලින් මැදට වන්නට කුඩා හැඬල දෙකකි! මේ අරුමෝසම් බලමින් මා යන්නේ සිත පුරවා ගත් සතුටකිනි.

ඉලස්ටෝ ආයතනය පසුකොට බසය දෙද්දූව හන්දිය ආසන්න වන විට පාර දිවෙන්නේ දෙපසම පැතිරී ගිය විලක් වන් බෙන්තොට ගඟ හරහාය. එය මාහට මහත්වූ සතුටක් ගෙන දෙන දර්ශණයක් විය. ඒ ඊළඟට ඇති ආසන්න නැවතුමකදී අප බසයෙන් බසිනා බැවිනි.  

බසයෙන් බැස්ස පසු තාත්තා තමන්ගේ විදුළි පන්දම කොහේ හෝ තිබී අතට ගනී. එවරෙඩි ලොකු මූණ ටෝර්ච් එකෙන් තරමක එළියක් විහිදේ. තාත්තා එය එක එල්ලේ එල්ල කරගෙන ගමන් කලේ නැත. එය අත පැද්දෙන රටාවටම ඉදිරියටත් පසු පසටත් වැනේ! තාත්තා එක  අතක සූට් කේසය රැගෙන අනෙක් පසට නැවී ඉදිරියෙන් ගමන් ගත්තේය. ඊළඟට මමත් අක්කාත් අයියාත් හෝ පැමිණි කිසිවෙකු හෝ ගමන් කලේය. අම්මා පැමිණියේ අන්තිමටය. එළවළු අඩුවැඩිය සහිත පොල්කොල මල්ල ඇය එල්ලාගෙනය!

දෙද්දූව හන්දියේ සිට දිගටම පැවතියේ ගුරු පාරකි. මාර්ගය ආසන්යේම නොම්මර එකේ කන්දකි. වම් පසින් බෝ ගසක් සහ බාගෙට පංසලක්  හෝ බුදු මැදුරක් විය. එය පසු කල විට වම් පසින් දෙද්දූව කණිටු පාසැලද දකුණු පසින් බේකරියක් හා සිල්ලර කඩයක් විය.

එකල ගෙදරකට යාමේදී පාන් ගෙඩියක් හෝ දෙකක් ගෙනයාම සිරිතක්ව පැවතුනි! විශේෂයෙන් අපේ තාත්තා ඕනෑම ගෙදරකට යන විට පාන් ගෙඩියක් රැගෙන යෑම සිරිතක්ව පැවතුනි.

බේකරි කඩෙන් පාන් ගෙඩියක් හෝ දෙකක් මිළදී ගන්නා අප නැවත ගමනේ යෙදේ..

තාත්තාගේ විදුළි පන්දම නොමැති වූ විට මේ කඩෙන් ඉටි පන්දමක් මිළදී ගන්නා අතර පොල් කට්ටක් නොමිලේම ලැබේ. එකල එයද ඉතා සාමාන්‍ය දෙයකි. දැව ප්‍රවාහණය කරණා ලොරි වල පසු පස රතු කොඩියක් වෙනුවට පින්න මල් දෙකක්ද, වැස්සට කෙහෙල් කොලයක් හෝ හබරල කොලයක් රැගෙන යන කාලයකි එය.

ඉටි පන්දමට පසු පසින් පොල් කටුව තබාගෙන සුළං මුවා කරගෙන එය තනි අතින් නොනිමෙන්නට ගෙන යන හැටි තාත්තා දනී. මේ එළියෙන් අප හැතැම්මකට ආසන්න දුර ගුරු පාරේ ගමන් කොට ජෙෆ්‍රි බාවාගේ නිවෙසට හැරෙන ගේට්ටුව පසු කරමින් ගමන් කරයි. ඒ අසන්නයේ පාර තරමක් හේදී ගොස් තිබීම මා දන්නා කාලය වන තෙක්ම පැවතුනි. එතැන් සිට ගමන් ගන්නේ දැඩි කරුවලකින් යුතු පරිසර පද්ධතියක් තුලිණි. පට්ට දාවලේ වුවද මෙම මණ්ඩිය දැඩි අඳුරු පෙදෙසකි. ඒ පාර උඩින් ගම්න් කොට ඇති රුක් වියන කරණ කොට ගෙනය.

එතැන් සිට මීටර 25ක් පමණ යද්දී පුස්සැල් බොක්කේ කළාමැදිරි එළි පෙනෙන්නට ගනී. බොහෝ දිනවල; නිවසේ; කෑම කන කොටස ආලෝකමත් කලේ පැට්‍රොමැක්ස් ලාම්පුවකිනි. අනෙක් සියළු තැනම වූයේ නොයෙක් කොටස චිමිණි ලාම්පුය. කුස්සියේ පමනක් කුප්පි ලාම්පුවක් දෙකක් තිබුනි.

අප එහි ගිය සැනින් "මෙන්න හැරියටුයි විල්ෆර්ඩුයි ආවා!" ලොකු අම්මා මහ හයියෙන් සිඩ්නි අංකල්ට දන්වයි. එතැන් පටන් ඔවුන්ගේ කථා බහය! අම්මාගේ; කසාද නොබැඳ සිටි අක්කා හේවත් ග්‍රේස් ලොකු අම්මාද මේ සියල්ලට එකතු වේ. ඇය පාසැල් ගුරුවරියකි. ග්‍රේස් මැටල්ඩා සෙනෙවිරත්න - ඇය මිය යන විට විශ්‍රාමලත් විදුහල්පතිනියක් විය.

ගමන පුරා විඳි ගැහැට, ඒවාට මුහුණ දුන් ආකාරය, දුම්රියේ ආසන අල්ලා ගත් හැටි මේ සියල්ල තාත්තාත් අම්මාත් තොරතොංචියක් නැතිව ලොකු අම්මලාට කියති. ඒ අය ඒවා ඉතා ආසාවෙන් අසා සිටිති.

මා කිට්ටු වන්නේ ලිටිෂියා  අක්කාට හා රෙජිනල්ඩ් අයියාටය! එතැණ් පටන් ගෙදර මහත් වූ සැණකෙළියකි. අම්මා ගෙනා කළමණා ලොකු අම්මාට එකින් එක පිළිගන්වයි. 

"මෙන්න හරක් මස් රාත්තල් දෙකකුත් ගෙනාවා විල්ෆ්‍රඩ්ට ඕනෑ කිව්වනේ අක්කගේ හරක් මස් එක කන්න!" `අම්මා ඒ ඒ අයිතමය ගෙන ඒමට හේතුවකුත් එක්ක මේසය මත තබයි.

"කවුරුත් කැමතියි මගේ මස් එකට! විල්ෆ්‍රඩ් කවදත් කැමතියි නේ!" ලොකු අම්මා උස් හඬින් කියන්නේ අපේ තාත්තාටත් ඇහෙන්නය.

"අක්කේ; අපි පාන් රාත්තල් දෙකකුත් ගෙනාවා! අල ගෙඩියක් දෙකක් දාලාම මස් හොද්දක් හදන්න!" තාත්තාද ඊට එකතු වන්නේ කථාවට පලිප්පු දමමිනි.

"ආ ඉස්ටුවක්!" හරි මං හදන්නං මට ඕවා සුළු වැඩ ලමයිනේ!" ලොකු අම්මා එසේ කියා කුස්ස්යියට වැදෙයි. බොහෝ විට එහි ඉන්නා සේවිකාව හා අපේ අම්මාද ඊට එකතුවේ. රාත්‍රී කෑම මේසයට; දෙපස අඬු සහිත; සුදු පැහැති කැසරෝල් බඳුනක් පුරා  එන්නේ සුපිරි දුම් දමන හරක් මස් ඉස්ටුවකි!

මේ සියල්ල මෙසේ සිදුවන විට මමත් ලිට් අක්කාත් ඇයගේ කාමරයේ සිට කයිවාරුවේය. එයා අලුතින් එක් කරගත් දේ පෙන්වමින් ය. අලුත් කතා කියමින් ය. රෑ කෑමෙන් පසුව අප බොහෝ විට සමිතියක් පැවැත්තුවෙමු. අප සියල්ල වටේට ඉඳගෙන කවි කථා කිව්වෙමු. 

සිංදු කිව්වෝය. අම්මාත් ලොකු අම්මලාත් සැමදාම ගැයුවේ "සුල් සල් වනේහි සල් - මායා පුතානා - ප්‍රේම රජානා" ගීතයය! අයියාත් රෙජිනල්ඩ් අයියාත් බොහෝ විට ඉඳගන්නේ සිඩ්නි අංකල්ගේ හමුදා පෙට්ටගම උඩය. බොහෝ විට රෙජිනල්ඩ් අයියා ඊට ගසමින් අපගේ ගීත වලට සංගීතය සැපයු වේය. 

එදින කුඩා අප නිදා ගන්නේ කෑම කන තැන බිම එලා ගත් පැදුරු වලය. අප රෑ වෙන තුරු සිනහ වෙමින් සිටියි. පසුදින නත්තලය! නිවසේ කුඩා මුල්ලක ගවලෙනක් හෝ සරුව පිත්තල රැලින් මෝස්තර කල නත්තල් ගසකි. 

නත්තල් කේක්, තැඹිළි වයින්, දුම් දමන කෑම සෙනෙහෙ බර නෑ සියන් සමග නත්තල සැමරීම පටන් ගැනේ. වැඩිහිටියන් අපව අමතක කොට දමාය! අප නිදහසේ ගේ තුලත්, විසල් පොල් වත්තේත් දූවේත් කරක් ගසති. බඩ ගිනි වූ විට යමින් එමින් කෑම් මේසය උඩ ඇති රස කැවිල්ලක් හෝ කෙසෙල් ගෙඩියක් අතුරුදහන් කරයි. දිනය පුරා ගේ පුරාත් වත්ත  පිටිය පුරාත් පැතිරී ගිය ආශ්චර්‍යයන් බලමින් ගෙවති.

කාලය විසින් එම නත්තල ඊළඟ පරම්පරාවරට ගෙන ආ හැටි එන සතියේ කියන්නම්!

ඔබ සැමට සුභ නත්තලක් . . . . . . . !

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...