Tuesday, February 14, 2023

253. සෝමාවතියට බුදු පිළිමයක්!

අද ජීවිතේ අමතක නොවන දවසක්!

මීට කලෙකට පෙර එක් දවසක මාගේ බ්ලොගයේ කන්ටැක්ට් පෝරමය හරහා කුඩා පණිවිඩයක් ලැබුනි. එහි සඳහන් වූයේ ඊට දිනකට පෙර මවිසින් අවකාශයට මුදා හැරි "සිම්ප්සන් තරණය" පිළිබඳ පෝස්ටුවේ නාම පද දෙකක් නිවැරදි කිරීමට උපදෙසක් ය. තවත් ටික කාලයකට පසුව ඔහුම මා හට ඇමතුවේය. හේ අන් කිසිවෙක් නොව විට්ටර් ගේ මල්ලී වූ හැට්ටර්ය ය!

හැට්ටර් ජීවත්වූයේ අප රටින් කිලෝමීටර දහ හතර දහසක් එපිටින්ය. කාලය ගෙවී යත්ම ඔහු සති දෙක තුනකට සැරයක් මාහට පුරුද්දක් ලෙස ඇමතීම කලේය.

කැන්ගරු දේශයේ සිටි වසිකට රැකියාවක් සොයා දෙන්නට පවා වෙහෙසුනු ඔහු කෙටි කලෙකින් මාගේද වසිකගේද හොඳ මිතුරෙකු විය.

කාලය මෙසේ ගෙවී ගියේය. පසුගියදා මාහට ඇමතුමක් ලබා දුන් අපගේ හිතාදර කොමෙන්ට් කරු ප්‍රාජේ මා අමතා පැවසූවේ;  ටික දිනකින්; කෙටි නිවාඩුවක් සඳහා;  හැට්ටර් මෙරටට ගොඩ බසින බවය!

වසර ගනනාවකට පසු තම නෑසියන්  දැක බලා ගැනීමට සති තුනකට ගොඩ බැසි ඔහු මටත්, ප්‍රාජේටත්, නිදිටත් කුඩා උවත් වටිනා කාලයක් ලබා දී තිබුනි. ඒ එසේ මෙසේ තැනක නොව පයාගලදීය! 

පයාගලට ගිය ගමන ඇරඹුනේ කොට්ටාවෙන් වන අතර එතැනින් අධිවේගී මාර්ගයේ ගමන් කොට දොඩංගොඩින් එළියට විත්;  කැලෑ පාරක් ඔස්සේ තවත් කිලෝමීටර දහයක් දොලහක් ගමන් කොට දොඩංගොඩ හංදියෙන් ගාලු පාරට වැටී අනතුරුව පයාගල රේල් නැවතුම අසලට යනවිට හැට්ටර් සරමෙ එක කොනක් පසුපසින් ඔසවාගෙන අප එන තෙක් මග බලාගෙනය! 

හැට්ටර් හමුව වෙනමම ලියන්න ඕන කථාවක්ය!

අප දැක හැට්ටර් සරම පහත දමා!

මෙම පෝස්ටුව කියවන්නට පටන් ගත් මාගේ ආදරණීය පාඨකයින් හැට්ටර් සහ සෝමාවතියේ බුදු පිළිමය අතර සම්බන්දය කුමක්දැයි විපිළිසර වනු ඇත!
ඒ කථාව පටන් ගන්නේ අධිවේගයේ එන විට දුටු දර්ශණයක් මුල කර ගනිමින්ය! 

විටෙක අප ඉදිරියෙන් ගමන් කල ටිපර් රථයක පසු පස පටවා තිබුනේ සිවුරු දෙක තුනකින් ඔතන ලද බුදු පිළිමයක් විය. 

එය දුටු සැනින් මා ඉදිරිපස ආසනයේ වැඩම කල නිමල් දිසානායක අමතා "ඕන්න ඕක බලා ගන්න! මම පෝස්ටුවක් ලියන්නං!!" යැයි පැවසූවෙමි.

මෙන්න ඒ කථාව. 

ඇත්තටම මේ කථාව එන්නට සුදුසු මෙතැනට නොව වසිකයා පිළිබඳව මා ලියමින් සිටින "ම'පුතු වසික වෙත සෙනෙහසින්!" ලිපි පෙලටය. එහෙත් හැට්ටර් හම්බුනු ගැම්මටම මෙතැනම ලියා තියන්නෙමි. 

වසික පාසැල් ගිය කාලේ  එක් වක වානුවක ගණිතය විෂයට බොහෝ සෙයින් දුර්වල විය. ඔය කියන කාලේ අපේ ගෙවල් වලට නුදුරින් ගණිතයට ටියුශන් දෙන ගුරුවරයෙකුගේ පංතියක් තිබුනු අතර ඔහුගේ නම නානායක්කාර නම් විය.

නානායක්කාර සර් අමුතුම ආරක් ගත් අයෙකි! ලමයින් 500ක් පමණ සිටි පංතිය ඇමතීමට කිසිදු යන්ත්‍රයක් භාවිතා නොකල අතර  ඔහු කථාකලේ තම උස් හඬ උපයෝගී කරගෙනය. එසේම ඔහුගේ පංතිය තුල කිසිවෙකු කිසිදු හඬක් නොනැගීමට තරයේ වගබලා ගත්තේය.

පංතියේ ඉන්දවූයේ කෙල්ලන් හා කොල්ලන් කලවමේය. ඒ නිසාම උනුන් අතර කථාබහක් නොවීය. සෑම දිනෙකදීම අවම වශයෙන් ලමයින් පහක් හයක් ගුටි කෑවෝය. තවත් දෙතුන් දෙනෙක් එලවූවේය. දයක පහලොවකගේ පොත් පියාසලා ඉගිල්ලුනේය. පංතියෙන් භාගයක් බැනුම් ඇසුවෝය. තවත් කිහිප දෙනෙක් හට උන් හිටි තැන් අහිමි වුනෝය.

සියල්ලම හරියටම තේරුණද මේ "උන් හිටි තැන් අහිමි කිරීම" නොතේරුණු බව මට ඉංතීරුවෙනම කිව හැක. ඒ; කලින් දැනුම් දී හෝ නොදී පෙරදින පන්තියට නොපැමිණි අය පංතියේ පසුපසම බංකුව වෙත යැවෙන කරණ ක්‍රම වේධයක්ද ඔහු භාවිතා කල බැවිනි.

ඔය කියනා කාලයේ වසික පාසලේ ක්‍රිකට්, මළල ක්‍රීඩා, පිහිනුම්, ශිෂ්‍ය භට ආදී මෙකී නොකී බොහෝ ඉසව් කල  බැවින් ඔහුට බොහෝවිට පංතිය තුල උන් හිටි තැන් අහිමි විය.

මෙම උන් හිටි තැන් අහිමි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට නැවත ඉදිරි පෙළට පැමිණෙන ක්‍රම වේධයක්ද නානායක්කාර සර් හඳුන්වා දී තිබුනි. ඒ දෙන ගෙදර වැඩ හා පංතියේ හදන  ගණන් සියල්ල හරි ගිය විට පේලියක් දෙකක් ඉදිරියට ගෙනෙන විධික්‍රමයකි!

පෙර දින පංතියට නොපැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පසුදින පංතියට යායුත්තේ මව හෝ පියා සමගය. මේ  නිසාම නානායක්කාර සර්ගේ පංතියකට  හිතා මතා නොයා සිටීමට ධෛර්ය සම්පන්න  ඒ කාලයේ සොයා ගැනීම; මේ කාලයේ ආණ්ඩුවට නොබනින එකෙක් සොයනවා සේම අතිශය දුෂ්කර කාරණාවක් විය.

වරක් අපගේ පවුලේ සියළු දෙන මාගේ අයියා ගේ නිවසට නෑගම් ගියෝය. අයියා එකල සිටියේ පොළොන්නරුවේය. ගමන පිටත් වීමට ප්‍රථම වසිකගෙන් කොන්දේසිය පැනවිනි!

"කොහේ ගියත් කමක් නෑ ඉරිදා හවස හතරට මට ගෙදර ඉන්නෝන! නානායක්කාර සර්ගේ ක්ලාස්!" ඒ සියළු තහංචි වලට යටත්ව අප සියල්ලෝම ගමන පිටත් වූවෝය. කඩවත සිට පොළොන්නරුවට පැය තුනකින් ගමන් කොට මාගේ වාර්ථාවක් තිබුනි. වාර්ථාව පසෙක තබා පැය හතරකට ප්‍රථම අප පොළොන්නරුවෙන් පිටත් වූවෝය.

"තාත්ති හතරට ඉස්සෙල්ලා යන්න පුළුවන්නේ . . !?" වසික විටින් විට ඇසුවේය.

මමද හැකි උපරිමයෙන් එකල මා සතුව තිබුනු ටොයෝටා 106 කැබ් රිය පැදවූවෙමි.

කුරුණෑගල නගරයට ප්‍රවේශ වන විට පාර වාහන වලින් පිරී තිබුනි.

මා කුරුණෑගල නගරය මග ඇර රෝහල ආසන්නයට එන අතුරු මාරගයකට හරවාගෙන පැදවීමේ යෙදුනෙමි. අප; අලව්ව, අඹේපුස්ස, පසු කොට වරකපොළ නගරයටද පැමිණ එතැනින් ඉදිරියටම ඇදුනෙමු.

වේලාව දහවල් 2.00 පමණ වන්නට ඇත.

හතරට තව ඉතිරිව ඇත්තේ පැය දෙකක් පමණි. ඒ පැය දෙක මාහට; දෙපාරක් යාමට ඉඩකි. 

වරකපොළ නගරය පසු කොට ඉදිරියට එත්ම එත්ම මාර්ග තදබදය වඩ වඩාත් තීව්‍ර විය. පස්යාල ට කිට්ටු වෙද්දී හතරට විනාඩි තිහකටත් අඩුව ගොස්ය. වසිකගෙන් නෝක්කාඩු වැලකි. පස්යාල පසුකොට පල්ලම් බසින විට හතර පසුවී හමාරය.

තවත් මොහොතකින් අප ඉදිරියට ඉබි ගමනින් එන්නේ ලොරි තට්ටුවක නැගි මහන කණ්ඩායමකි. උන්නැහැලා තොර තෝචියක් නැතිව පිරිත් කෑගසති!

පසු පසින් උපාසක උපාසිකා පිරිසක් රැගත් වාහන පේළියකි. ඒ තරින් පතර යකඩ කටවල් වලින් සාදු! සාදු!! හඬ තලති

"මේ මොන මගුලක්ද?" මම මගෙන්ම අසා ගනිමින් තවත් ඉදිරියට කාන්දු උනෙමි.

තවත් විනාඩි කිහිපයකින් පසුපස හරවා ගත් යෝධ සමාධි පිළිමයක් පටවා ගත් ලොරි තට්ටුවක් මා ඉදිරියේය!

"සෝමාවතී පින් බිමට සමාධි පිළිමයක් වැඩම වීම!" මෙවැනි අදහසක් ගෙන දෙන බැනරයකින් ලොරිය අන්දලාය!

පිළිමයේ දණහිස් පොල්කටු ලොරි තට්ටුවෙන් එළියේය. පිළිමයට පුෂ්ප උපහාර පවත්වන පාර අයිනේ ජනයා හට; පිළිමය හා ගාටන උපාසක තාත්තලා හා උපාසක කොල්ලන් කුරුට්ටන් කැට පාති!

මේ සියල්ලෙන්ම නොම්මර එකේ ට්‍රැෆික් එකක් මාර්ගය මත පහළ කිරීමට මේ පිං බර ඇත්තන් සමත් වී තිබුනි!

"අම්මපා සෝමාවතියට මොකටද බුදු පිළිම! ඔය තියෙන්නේ ඕන තරං!?" මම කේන්තියෙන් මුරගෑවෙමි.

තවත් පැයක පමණ කාලයක් ගතකොට නිට්ටඹුව, යක්කල පසුකොට ජේ ආර් ගුටි කෑ ඉඹුල්ගොඩ දිහාට පැමිණි අප හවස හයේ කණිසමට ගෙදරට යාවත්කාලීන වූ වෙමු!

සතිය පියෑඹුවේය! ඊළඟ ඉරිදා කට උඩට ආවේය. 

"තාත්ති එන්න අද මාව පංතියට භාර දෙන්න - ඔන්න!" වසික මීයන් කෑ කිරි හට්ටියක් සේ මුහුණ හදාගෙන කෙඳිරි ගෑවේය.

"ඔන්න තාත්තිටත් බොරු කියන්න බෑ!" ඒ වෙන කිසිවක් නිසා නොව මා වසිකට කට කුඩා කල සිට පාඩම් කල එක් පාඨයක් නිසාය.

"පුතේ මොකද්ද ලෝකේ තියෙන ලොකුම වැරැද්ද?"

"බොලු කීන එක!"

"හරියට හරි!" 

ඒ; මම දරුවන් දෙදෙන ලොකු මහත් කරද්දී ඔවුන්ව ශික්ෂණය කිරීමට ගත් කුඩා උපක්‍රමයක් ය. බොරු නොකියන්නේ නම් සිදුවන, සිදුවෙන, හිතා මතා කරණ ඕනෑම වරදක් පිළිබඳව අසා දැන ගත හැක! එසේම සත්‍යය කියන්නට තමාට සිදුවන බව දන්නා දරුවා එසේ කීමට නොහැකි දෙයක් කිරීමට මැළි කමක් දක්වයි.

හවස හතරට පැය භාගයක් තිබියදී එනම් තුන හමාරට මා නානායක්කාර සර් අභිමුව සිට ගත්තෙමි.

නානායක්කාර සර් බඩ ගින්නට කෑවේ සිගරට් ය. ඔහු දිනකට විස්සේ පැකට් තුනක් හෝ හතරක් කා දැමුවේය. කෑමෙන් පසු බීවේ තවත් සිගරට් දෙක තුනකි.

අදාල දිනයේද දුම් කුටියක් තුලින් නානායක්කාර සර් මතුවිය.

"මොකද?" ගැඹුරු දැඩි හඬින් ඔහු එක එල්ලේ මා වෙත දවා හළු කරවන තියුණු බැල්මක් හෙලුවේය.

වසික පසෙකින් ය.

"මොකද?" කියා අසන්නේ පෙර සතියේ පංතියට නොපැමිණි කාරණය කුමක්දැයි කියාය. මොන දෙයක් වුවද දරුවා ඉදිරියේ මාහට බොරු කීමටද බැරිය. මා ඔහුට දිනපතාද දවසකට දෙතුන් වතාවක්ද වන පොත් දෙන වරද ඔහු ඉදිරියේම කිරීම යනු කලිසම පමණක් නොව පිරි වැස්සද ගැලවී යාමකි!

"සෝමාවතියට බුදු පිළිමයක් වැඩම කලා!" මා දැහැමි නිවුනු පිංබර මුහුනක් ආරූඪ කරගෙන ඇසෙන නෑසෙන හඬින් කීවෙමි!

"බොහෝඕ..ම හොඳයි! ඒවා හොඳ වැඩ!!" නානායක්කාර සර්ගේ මුහුණද බැති බරින් පෙඟී ගියේය.

"යන්න පංතියට!" කොලුවාට අවසර ලැබුනි.

වසික එදින හවස ගෙදර පැමිණියේ සිරිත් පරිදි කැදැලි ගත වීමට නොව තාත්තාව අල්ලා ගැනීමටය!

"තාත්තිනං තාත්ති හරිම කපටියි!"

"ඉතිං මයෙ පුතේ මම බොරුවක් කිව්වයැ? ඇත්තටම පංතියට එන්න බැරිවුනේ සෝමාවතියට බුදු පිළිමයක් වැඩම කල නිසානේ!?"

"ඉතිං අපි යැ?"

"ඉතිං මම "අපි කලා!" කිව්වයැ?


පසුගිය මාසයේ ගනේමුල්ල පාරේ සුදු කොඩි වැලක් යටින් ඔහුට අවසන් ගෞරවය දැක්වීම යද්දී මාහට මේ කථාව යලිත් මතකයට ආවේය.

ඔව්! ලමුන් දස දහසකට පමණ ගණිත විශයට A සාමාර්ථ ලබාදු නානායක්කාර ගුරු පියා අප අතරින් සිගරට් දුමක් සේ මැකී ගියේය!


Monday, February 6, 2023

252. සිරිල්ලා සමග සියල්ල

හක්බෙල්ලාවක හා ඒ අවට ජීවත්වන හා වූ සිරිල්ලා තිදෙනෙකි. ඉන් එක් අයෙක් වූයේ  ශ්‍රී ලාල් රංජිත් පෙරේරා හෙවත් සිරිල් අයියාය. සිරිල් අයියා නොම්මර එකේ යූ ඇන් පී කාරයෙකි. දැන් මෙන් නොව මේ කියන්නේ ඩී ඇස් ගෙන් පටන් ගෙන ඩඩ්ලිගෙන් පසු අභාවපාප්ත වූ ඔරිජිනල් යූ ඇන්පිය ගැනය! 

සිරිල් අයියා එකල ලංකාවේ ප්‍රසිද්ධ වොලිබෝල් ක්‍රීඩකයෙකි. ඔහු මා දන්නා ශක්ති සම්පන්නම අයගෙන් එකෙකි. ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටිනා කාලයේ කෝට් එකේ ඕනෑම ස්ථානයක තබන ලද ලේන්සුවක් මතට බෝලය පතිත වනසේ ඩැෂ් ප්‍රහාරයක් එල්ල කිරීමට හැකිව තිබූ බව මා අසා ඇත. එසේම ඔහුට ප්‍රහාරය එල්ල කිරීමට බෝලය උස්සා දෙන සහෝදර ක්‍රීඩකයා "ඔන්න සිරා!" කියන විට; දැලෙන් ඉහලට ඊ ගසක් සේ ඉහල යන සිරිල් අයියා තම අප්‍රමාණ ශක්තියෙන් හෙලන අකුණු පහරින්; බෝලය ප්‍රථිවාදීන් සියල්ල අභිබවා පිට්ටනියේ ගැටෙන්නේ දුවිලි විදහාලමින් බව මා හට පැවසූවේ පාලින්දගේ පියාවූ සේන අශෝක පෙරේරා හෙවත් සිරිල් අයියාගේ බාල සොහොයුරාය.

 "ඔන්න සිරා කියලා බෝලෙ උස්සල දුන්නාම; සිරිල් අයියා යනවා දැලේ උඩ කෙළවර මේ ං මෙතනට එන්න!" කියලා රත්නසිරිගෙ අප්ප කඩේ ගාව ඉඳන් ඉනට අත්දෙක තියලා පෙන්නුවේ.

මීට දශක ගනනාවකට පෙර සමස්ථ ලංකා තරග වලදී ඔහුගේ කණ්ඩායම දෙවැනි වී ඇත්තේ ගම්පහ සිරාගේ කණ්ඩායමට පමණි. එම වසරේ ජනතා පුවත් පතේ ක්‍රීඩා පුවත් අතර සිරිල් අයියාගේ පින්තූඅය පල කොට තිබුනේ "තුන් කෝරළයේ වීරයා" යන හෙඩිම සමගින්ය.

අත මිට මෙලවූ පසු පිට අත්ල වටා දිවෙන රුධිර නාල වලල්ලක් සමහර අය සතුය. පැරැන්නන් මෙයට "නයි පෙනය" යැයි කියති. එසේම මෙම නයි පෙනය සහිත අතින් පහරක් නොකෑමට ඔවුන් වග බලා ගනිති. ඒ එම අතින් හෙලන පහරක් එතරම් ප්‍රභල හෙයින් යැයි ඔවුන් විශ්වාස කල හෙයින්ය. 

කැළණියට ප්ලාස්ටික් බෝතලයකින් වැඩම කල නාගයා නිසා මුළු මහත් නාග ගෝත්‍රයම පදිරිවී ගියද සිරිල් අයියාගේ අත් දෙකේම නයි පෙන පිහිටා තිබුනි. එය මා දෑසින් දැක ඇත.

 ඔහුගේ මව සතුව ගව ගාලක් තිබූ අතර ඔහු ඕනෑම ගවයෙකු ආං බාං කරගන්නේ අතින් පහර දීමෙන්ය. ඔහු කෙවිටක් භාවිතා කරන්නේ නැත. වරෙක   අලසව නිදා සිටි ගොන් නාම්බෙකු කර බැඳි ලනුවෙන්ම ඇද නැගිටවීමටත් එසැනින් ලනුව පසෙකට ඇද නැවත බිම දමන වාත් මා කුඩා කල දැක ඇත.

දැනට අපගේ Teepee Boatyard එක පවත්වාගෙන යන හක්බෙල්ලාවක කැළණි ගඟ අසබඩ ඉඩම මා වෙත ලැබුනේ සිරිල් අයියාගේ ඇවෑමෙන්ය!

***********************************************************************************************

දෙවන සිරිල් වන්නේ මාගෙ සමකාලීනයෙකු වන සිරිල් විජේසෙකර හෙවත් විජිතය. හක්බෙල්ලාවක එතෙක් පැවති රදල පවුල් සංස්ථාව සමග තනිව ගැටුනු ඔහු එනිසාම 88-89 සමයේ ජවිපේ ක්‍රියාකාරිකයෙකු විය. 

එකල ගඟෙන් එගොඩ පිහිටි පැලැල්ලේගම ගම ලෝකයට සම්බන්ධ කලේ හක්බෙල්ලාවක තොටුපොළින් ඒ මේ අතට පැදෙන ඔරුවෙනි. එම ඔරුවේ පමණක් නොව තොටුපොළ පිහිටි ඉඩමේද අයිතිය; සයිමන් අප්පුහාමි හෙවත් මුදලාලි මහත්තයාගෙ ඇවැමෙන් ඔවුන්ගේ දරුවන් වූ දයානන්ද හෙවත් කඩේ මහත්තයා හා ඔහුගේ අවශේෂ සොහොයුරන් සතු විය. 

ඔරුව පැදීම සිදුකලේ දයානන්ද මහතාගෙන් පඩි ලත් ඔරු කාරයෙකුය. හක්බෙල්ලාවක තොටුපොළ එනම් කොළඹ හැටන් මහා මාර්ගය අසල පිහිටි විශාල සිල්ලර බඩු කඩය පවත්වාගෙන ගියේ දයානන්ද මහතා විසිනි. පෙකිණි වැල කැපූ තිඹිරි ගෙයි සිටම යූඇන්පී පවුලක්වූ ඔවුන් මුළු මහත් හක්බෙල්ලාවක පමණක් නොව ඒ අසල මෙගොඩ පිහිටි තනකොළවත්ත, බදුල්ලවල හා එගොඩ පිහිටි පැලැල්ලේගම, හුඹහපිටිවත්ත, දොඩංගස්තැන්න ආදී  ගම් කිහිපයක නිළ නොලත් අයිති කරුවන්, පොල්මඃකරුවන්, උරුමක් කරුවන්, කිරුළු නොපලන් රජුන් විය. මේ නිසාම කැළණි ගඟෙන් එගොඩ පිහිටි ගම් බිම් වල ජීවත් වූ සියල්ලන්ගේ දෛනික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට මෙම සිල්ලර කඩයේ ණය පොත හෝ ඔරුව අනිවාර්‍යයෙන්ම අවශ්‍ය වූ කාරණාවක් විය. 

පෙරකී ගම් බිම් පුරා පැතිරී තිබුනු රබර් හා තේ ඉඩම් වල සේවය කිරීම බොහෝ ගම් වැසියන්ගේ රැකියාව හා යැපීම් මාර්ගය වූ එකල එම අධිපතිවාදයට තනිව අභියෝග කලේ සිරිල් හෙවත් විජිතය! 

එකල ඔරුව පැදවුනේ ඔරු කාරයටත් කඩේ දයානන්ද මහතාටත් අවශ්‍ය වූ විටෙක හෙයින් දයානන්ද මහතාට හෝ ඔහුගේ ගුරුකුළයට අභියෝගකල කිසිවෙකු හට අවශ්‍ය විටෙක  ලෝකය හා සම්බන්ධ වීමට ඔරුවේ සේවය නොලැබුනි. ලඟම නගරය වූ යටියන්තොටට, ආසන්න රෝහලවූ තැලිගම ස්ප්‍රිතාලයට පාසැලට යෑමට; පැලැල්ලේගම, දොඩංගස්තැන්න, හුඹාපිටිවත්ත ගම් වල ජීවත්වූ අයට ඔරුවෙන් තොර වෙනත් ක්‍රම වේධයක් නොවීය. හවස ගෙවී රාත්‍රිය උදාවෙත්ම ඔරු සේවය නැවතී ඔරුවට විලංගු වැටෙන අතර පසුදා පහන් වනතුරු එගොඩ සිටින්නවුන්ගේ ජීවිත ස්ව‍යංක්‍රීයව අකර්මණ්‍යවේ. දුර බැහැරක ගිය අයෙකුහට රාත්‍රිය මෙගොඩ ගෙදරක පිලක පහන් කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයක්ව පැවතුනි. 

මෙම පැවති හා පවතින ක්‍රමයට එලිපිටම ගේම ඉල්ලූ  සිරිල් හෙවත් විජිත;  88-89 අවසානයේදී මතුගම පැලවත්තේ රැඳවුම් කඳවුරක් කියා ගත් වදකාගාරයක ජීවිතය බේරා ගනිමින් සිට ආනමඩුවෙන් පිටවී නිදහස් ලෝකයට පා තබා ඉවාන් පාවුළුශාගේත් මගේත් වත් පොතේ සරමින් සාර්ථක ජීවිතයක් ගත කරණ්නේය. මෙවර කුළුගෙඩියෙන් ඡන්දය ඉල්ලන්නේය!

***********************************************************************************************

අවසාන සිරිල්ට අවසාන ඇමතුම දෙන්නේ 3 වෙනිදා උදැහැනැක්කේය. එයත් අහම්බෙන් මතක් වීමෙන්ය.

"අම්මට සිරි රවි අයියේ අරූට කෝල් එකක් දෙන්න බැරි උනා" පහල ඇඳේ නිදා සිටි රවි අයියාට පැවසූවේමි.

"එහෙනං ඉක්මනට ගනිං! ඩ්‍රැකියා 7 විතරයි නේද ගේනවා කිව්වේ!" රවි අයියා ඇඳේ සිටම කිව්වාද?

කොහොමත් ඩ්‍රැකී එක්ක මට ගනුදෙනුවක් ඇත. ඌ කියන්නේ කොත්මලේ විමලෙ වැඩ්ඩා කියාය. මම කියන්නේ කිත්ල්ගල සිරිල් අයියා වැඩ්ඩා කියාය. සිරිල් අයියා ඇඹරුනොත් වැඩේ කෙළවීම සක් සුදක්මය!

"හෙලෝ සිරිල් අයියේ මම අර . . . . . . " මගේ කෙඳිරිය උන්නැහැට දැන් සාමාන්‍ය දෙයකි...!

"අ . හරි හරි මහත්තයා නමයාමාරට දායට විතර එන්නකෝ . . . . "

වැඩේ හරිය!

නියමිත වේලාවට ප්‍රාජේ, සිරිබිරිස්, නමියා, අසංග හා නිදි ආදිය එතැනය. තවත් විශේෂ අමුත්තෙකුද පෙර දැරි කරගෙන! 

ඒ අපේ ආදරණීය ***! 

ඌව මම මීට පෙර දැකලා තිබුනේ එකෝම එක වතාවයි. ඒ කොළඹ ගමයාගේ පොතක් එළිදැක්වීමක්දි! ඒත් කථා කරණ්නට ලැබුනේ නෑ. මොකද එදා ඌට තිබ්බා මහ හුඟක් රාජකාරි! කාලය එක්කම ඌ ගැන මට කාන්දුවෙලා තිබුනු ආරංචි වල හැටියට ඌ එළ පොරක් වගේම බොක්කක්! ඊයේ රෑ මම  රවි අයියාත් එක්ක Kayak Pavilion එකේ  ගල් බෝතලයක් එහා මෙහා කරද්දී ඇම්මට වගේ හැමෝටම කෝල් ගත්තා. ඒ අතරෙ ***ටත් කථා කිරීම අමතක කලේ නැත. 

"මචං උඹ හෙට එනවා නේද?"

ඌ උගේ බැරි අමාරු කම කිව්වේය.

"පිස්සු කෙළින්න එපා බං! උඹ හින්දමයි හෙට අපි සෙට් වෙන්නේ!"

පස්සෙ වදෙන් පොරෙන් මූ ඇවිත්නෙ යකෝ! 

"උඹ ආපු එක මට ලොකු දෙයක් මචං !"


පෙර දින මා හක්බෙල්ලාවකට පැමිණියේ මහ පාන්දරය. ඒ පාන්දර 2.30 ට පමණය. උදේ හයේ සිට Boatyard එක ඇණ්දවීම පටන් ගත්තේ තට්ට තනිවමය. කොහොමත් මා හට මේ කපේදී "කොන්ඩ තනිවම" කල නොහැක! එදින එනම් 2 වනදා හවස් වන විට Boatyard එකේ Sandbed එකද Pavilion එකද; ගඟ අයිනේ Club House එකද ඕනෑම අවශ්‍යතාවයක් සඳහා සකස් කොට අවසාන විය. එන පිරිසේ සංඛ්‍යාව, රුචි අරුචි කම හා කාලගුණික තත්වය මත තොරා ගැනීමට ස්ථාන හතරක් මා පිළියෙල කොට තිබුනි.

පොලොව අතුගා අනවශ්‍ය ගස් හා අතු ඉවත් කොට පසු දින සඳහා සියල්ල නිමකොට තිබුනි.  Club House එකට පෙර පැවත; රිලවුන් විසින් විසංධි කොට තිබුනු ජල සැපයුම යාවත් කාලීන කලෙමි. පසුගිය කාල පරිච්ඡේදය පුරාවට දොඩංගස්තැන්නේ; අරඹෙ ඔය අසබඩ Campsite එක සමග හරඹ කල නිසාම මෙම බිම පැවතුනේ හදිසි අවශ්‍ය තාවයක් සඳහා උපයෝගී කර ගැනීමට නොහැකි ආකාරයට ජරා ජීර්ණවී ය!

පිරිස පැමිණ කෙටි වේලාවකින් ඇමතුමක් ලදිමි. තවත් පැය කාලකින් කමියා වංගුවෙන් මතුවිය! මහ පාරේම මම ඌව සෙනෙහසින් වැලඳ ගත්තෙමි. 

"යකෝ උඹත් ආපු එක කොයි තරම් දෙයක්ද!?

උදෑසන කෑමෙන් පසු මමත් සිරිබිරිසුත් ප්‍රාජේත් සිරිල් අයියා සොයා කිතුල්ගල බලා පියාසර කලෙමු.


මීට කලෙකට පෙර ඉතා කුඩාවට ව්‍යාපාරය කල සිරිල් අයියාගේ නිවස ඉදිරි පිට මේ වන විට කුඩා කැන්ටිමක්ද, නිවසට හැරෙන ස්ථානයේ කුඩා බෝර්ඩ් ලෑල්ලක්ද සවිකොට තිබුනි.

"කිතුල් ආශ්‍රිත නිශ්පාදන, කලුකොහුතැණ්න, කිතුල්ගල" එහි දැක්විනි.

"සිරිල් අයියේ . . . . . මට කියන්නට අවස්ථාවක් ඉතිරි නොවුනි.

"මහත්තයලට මම ජාති හතරකින් දෙන්නම්! පොඩ්ඩක් බීලා බලලා ඕන එක කියන්න! මම ඒකෙන් දෙන්නම්!"

වැඩේ ෆුල් ආතල්ය.

"කොල්ලුපිටියේ ප්‍රේමසිරි එකේත් මෙහෙම කරණවා නම් කොච්චර හොඳද?!?"මම මගෙන්ම අසා ගත්තෙමි.


අප එන විට ඩ්‍රැකී කොත්මලේ විමලෙගේ නිශ්පාදන සමග හක්බෙල්ලාවකය.


වැඩේ පටන් ගත්තේ පෙරාගෙන ජැම් බෝතල් වලට දමා ගෙන පොර්ක් කරිය එලාගෙන මඥ්ඥොක්කා පෙරළගෙන සම්බෝල බෙදාගෙනය  නොව බදාගෙනය!

"මේ පෝර්ක් එක පොඩ්ඩක් රත් කර ගත්තානං කෝමද" යමෙකු ගැඹුරු හඬින් ඇසුවේය.


"හරි පොඩ්ඩක් ඉන්න!" (මගුලක් කියනවා!)


දුම් දමන පොර්ක් එකත් සමග වැඩේ පටන් ගත්තේය.


"උඹේ ගමනට ජයවේවා!"

"ඒ උඹ බොන්නැද්ද!?"

"යකෝ ශාක සාර!"

"මේවා වස විස නෙවෙයි!"

"ඇඟටත් හොඳයි!"


"හ්ම්ම් . . . . ! හ්ම්ම් . . . . !!"


කතන්දර කෝටියකි! ඌට නොබී ඉන්නවාට වඩා ගඟට පනින එක දාහෙන් සම්පතකි!


දෙවෙනි වටය ඇරඹීමත් සමග මම කොංගෝව ඔසවා නෙවිල් අයියාට දුන්නෙමි.


"අයියේ අර; 

රා ටික නං විස්කි වගේ - හරිම ප්‍රණීතයි 

- ගැහුවම හරිම විකාරයි

 සිංදුව ඔයාට මතකද?" 


"නෑනේ! . . . . . හරි මෙකෙන් පටන් ගනිමු!!"


"මගෙ සුදු මාමේ

මගෙ සුදු මාමේ

නෑ බෑ නොකියා

නෑ බෑ නොකියා

රා පොඩියක් දී මා සනසන්නේ

රා පොඩියක් දී මා සනසන්නේ . . . "

එතැනින් පටන් ගත් ගීත සාහිත්‍යය කැළණි ගං ඉවුරෙන් ගලා යන්නට විය. තව තවත් පෙරුනි. 


මිලටන් පෙරේරා එතැනට පැමිණි මුත් ෂෙල්ටන් පෙරේරාටවත් මර්වින් පෙරේරාටවත් කිසිවෙක් එන්න කියා නොතිබුනි.

ලතා නොපැමිණි මුත් සුජාතා දෙවරක් නැග්ගේය.

වික්ටර් එඩ්වර්ඩ් පැමිණියේ එක වරම වාගේය.

නමියාට නව පරපුරේ රවී කරුණානායක කැණ්දන මෙන් දෙතුන් වතාවක් යමෙකු ඇරයුම් කලද නමියා ඊට දැක්වූයේ; උදෑසන ගෙන ආ සම්බෝලයට දමන්නට මිරිකූ දෙහි බෑය සේ ඇඹරිලාය.

හරූන් කුමාර් ලන්ත්‍රා සුපුරුදු ලෙස වේදිකාවට ගොඩ වූයේ සීරුවෙන් දැහැමින් සෙමින්ය.


"මගෙ නාමලී බැඳි ආ...දරේ - මනමාළියයි මැණිකේ.....ඔයා

ඔරුවේ.... නැගී..... එහි පා......වෙවී........ - අමනා.....පයෙන් පිටවි.......ගියා.......

බැඳි ආ....දරේ...... සුකුමාළියේ....... - පෙම් පණිවිඩේ.......පා..... වේ....ගඟේ........."

"කොහොමත් ඔයාලා කිව්වා ලන්ත්‍රාට වඩා හොඳට . . ! මොකද ලන්ත්‍රා කිව්වා නං ඕක ඇහෙන්නේ නෑනේ . . .!" ප්‍රාජේ; වැටක් නොගසා කමෙන්ට් එකක්ම දැම්මේය.

බෙර කරුවන් දෙදෙනා වයති! ගායකයෝ දෙදෙනෙකු පමණ ගයති!! සෙස්සෝ සූකර මාංශය සමග මඥ්ඥොක්කා අතුරු දහන් කරවති!!! 
"මේ කිරි කවඩි . . . " රවි අයියා මඥ්ඥොක්කය බෞතීස්ම කලේය.
මේ සියල්ල අතරේ අසංග නාවික තෙමේ මඥ්ඥොක්කා නැව් ගත කරමින්ය.

ඩ්‍රැකී ඊශ්‍රාලයේ සිට පලස්තීනයට වෝටර් මෙලන් ප්‍රහාරයකය!

*** මේ සියල්ල මුදිතා ගුණ භරිතව විඳදරා ගනිමින්ය.

සිරිබිරිස්; නිහඬව සිනහ මුසු මුහුණින් යුතුව සියල්ල නරඹමින්ය!

කමියා සිටියේ මා අසලින්මය.
"කෝ මෙහාට වර් රෙං මගෙත් එක්ක සෙල්ෆියක් ගන්න!  යකෝ උඹට මම හරි කැමතියි බං!" පටල පටලා කීවෙමි. කමියාට හිනාය! මට මලය! "මොකෝ බං හිනා වෙන්නේ?"

"මේ මෙතනට අපි එන්න තව හේතුවක් තියෙනවානේ" අසංග  බ්ලොග් හමුව පිළිබඳව මතක් කලේය.

"අනේ මේ කියලා වඳින්නම් උඹලා තුන් දෙනා ආයේ ලියා පල්ලා!" මම හොටු පෙරා ගෙන පිං සෙන්ඩු වුනෙමි. සෙස්සෝ අත් වැල් ගායනයෙන් සහය විය.

"ඔව් අපි මේක කරමු! එන අප්‍රේල් වල වගේ . . .!" ඒ කමියා ය.


අවසානයේ සියල්ල විසිර යන්නට මත්තෙන් සිසිල් දියෙන් සිරුරු සතපවා ගත්හ.
සමහරුන් සුදු වෙන්නට සබන් උලනු දක්නට ලැබුනේය.

සියළු එක් වීම්; වෙන් වීමෙන් වෙන්වේ!
එහෙත් ප්‍රියයන් හා එක් වීම මිහිරි මතක හදවතේ ඉතිරි කරයි.
උඹලා ගේ පැමිණීම එවන් එකකි.

පොද වැස්සේ සීතලේ තෙමුණු අප උනුසුම් වූයේ වෙන් වීමේදී කල වැළඳ ගැනීම් වලිනි.
ස්තුතියි උඹලාට. (උඹලා කිව්වේ ආ..ද..රේ...ට....!)

*********************************************************************************************
දිනක් ගෙවී යද්දී කමියාගෙන් මට වට්සැප් පණිවිඩයක් ලැබුනි.
ඒ  මා ලඟ තියෙන පිංතූර දමන ලෙසය.
මම; ඌත් එක්ක ගත් පිංතූරය සමග තවත් මොන මොනවාදෝ යැව්වේය.
මම ඊට පිළිතුරක් යැව්වේමි!
"ස්තූතියි පැමිණියාට! ඩෝප් මරගාතේ කිව්වට දැං කියන්නෙත් ඒකම තමයි; මම උඹට කැමතියි!"
කමියා එය පිළිගෙන හෘද්යාංගම පිළිතුරක් ලියා එවා තිබුනි.

"හහ් හහ් හා . . හිනා ගියේ මගේ හිතේ තියෙන එකම කියුවට යකෝ."

තවත් ටික වේලාවකින් මට කමියාගෙන්  ලින්කුවක් ලැබුනි. 

අම්මට සිරි මෙන්න මූ ලියලා . . . . . ! සත්තකින්ම හතර පාරකට වඩා ඒක කියවන්න ඇති. උඹට ස්තූතියි මචං!

ගෙවී ගියේ තවත් දිනකි . .  . !

තවත් ලිවීමක් අවකාශයේ . . . . . . ඒ පිළිබඳව දැක්කේ මුහුණු පොතෙන්.
මුහුණු පොතේම මම ඊට කමෙන්ටුවක් කෙටුවෙමි.

"අම්මට සිරි උඹ වචනෙ තියලා! එළ කොල්ලෙක්නෙ!? උම්මා උම්මා උම්මා!!! ආදරෙයි . . . !"
ඊට පිළිතුරක් ඔහු ලියා තිබුනි . . . !

"උඹේ මහන්සියට මල් මිටක්. ආදරෙයි!"

ඔව් බං ඒක ඇස් කෙවෙණි තෙත් කරවන පපුව බර කරන පිළිතුරක්! ඒ මල් මිට; මට රටක් රාජ්‍යයක් මචං!

කමියාට මේ පිංතූරේ යවපුවාට පසු ඔහු මතක් කොට තිබුනා වසරේ දැවැන්තම අමතක වීම!

**** එක්ක මෙහෙම ෆොටෝ එකක් ගන්න බැරි උනා!

ඔව් කමියා අපට අපේ ජීවිත කාල්යේදී කිසිදාක එවන් පින්තූරය ගන්නට නොහැකිවේවි!

ඒත් අපේ හදවත් තුල ඒ පිංතූරය සදාකල් රැඳේවි.

කියන්නට ඇත්තේ එකම දෙයකි.

"බලමු!"

මෙම හමුවේ පිංතූර අවකාශයේ හැම අත . . !
ඒනිසාම පින්තූර  මෙයට නොඅමුනමි.
ඒ පිංතූර තවත් සිත පාරයි!
කැළණි ගං මිටියාවතේ ජන වහර තුල අරුත්බර කියමනක් ඇත! 
"එක් ගඟක් දකින්නට ලැබෙන්නේ එක් වරකි!" 
මන්ද නිමේශයකින් ගඟ අලුත්වේ!

Monday, January 30, 2023

251. සෙනෙහෙබරව යෝජනා කර සිටින වග නම් . . . !


මීට කලකට පෙර පුවත් පත් වලින් කියැවූ දේ ඇසූවේ රෙඩියෝවේ පිහිටෙනි. පොලෙන්; ගෙදර ගෙන ආ කවි කොලයක් ගෙදරටම ඇසෙන්නට මහ හඬින් කියැවූයේ පැල් කවි කරත්ත කවි පාරු කවි පතල් කවි ඇසෙන කාලය වියැකී යද්දීමය!

රට තොට විස්තර දැන ගත්තේ පත්තර වලිනි.

ගමේ පංසලේ, ටීටර් මඩුවේ රඟ දැක්වුනු නෘත්‍ය වල ගීත අසන්නට හැකි මෙවලමක් ලෙස රේඩියෝව රටට ආවේය!

රටේ තොටේ සිදුවන දේ පත්තරෙන් කියැවූ අයට රේඩියෝවෙන් අසන්නට හැකියාවක් ලැබුනි. රූපවාහිණිය පැමිණියේ රේඩියෝවට වඩා වැඩි ඈතකට ජනතාව ගෙන යාමටය! එතෙක් ජනතාව අතර සිටි ශ්‍රාවකයින් ප්‍රේක්ශකයින් කිරීමට එයට හැකියාවක් ලැබුනි.

මේ සියළු මාධ්‍ය රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන මගින් පාලනය වූ ඒවා විය. ඒවා මගින් කියැවුනේත් ලියැවුනේත් ඒ ආයතනයන්ගේ දැක්මය. උවමනාවය.

මෙම මාධ්‍ය වලින් කෙරුණේ එක් දෙසකට ගලා ගිය සංනිවේධනයකි!

නිවේදකයා කියවන හෝ ලේඛකයා ලියන දෙයක් දත් මිටි කමින් අසා සිටින්නට හෝ කියැවීමට සිදුවීම එහි ඇති ලොකුම දුර්වල තාවයයි!

අවකාශයේ ලිවීම ඇරඹෙන්නේ මේ සමගය.

එහි වඩාත්ම දියුණු අවස්ථාව ලෙස බ්ලොග් කරණය හඳුන්වා දිය හැක!

 මේවන විට; මෙරට එහි ප්‍රචලිතභාවය අඩුව ගියද ඉංදියාව සහ වෙනත් රටවල බ්ලොග් ලිවීම හා කියැවීම තවමත් ප්‍රශස්ථ මට්ටමක පවතී!

ලේඛකයා / රචකයා සහ කියවන්නා / පාඨකයා  අතර ඉතාමත් කිට්ටු සබඳතාවයක් පවත්වාගෙන යෑමට ඇති හැකියාව,

ඔවුන් අතර ද්විත්ව සංනිවේදනයක් පවත්වාගැනීමට ඇති අවස්ථාව,

ඔවුන් දෙදෙනා හටම තම පෞද්ගලිකත්වය / අනන්‍යතාවය රැක ගනිමින් ලියන්නටත්, කියවන්නටත්, පිලිතුරු දීමටත් ඇති පුළුවන්කම,

අවකාශයේ ඇති මෘදු හා දෘඪ ඕනෑම අමුද්‍රව‍යයක් තම ලිවීම, ලේඛණය, රචනාව, පෝස්ටුව තුල දැක්වීමට  ඇති පහසුව

වැනි බොහෝ කාරණ බ්ලොග්; වෙනත් සාම්ප්‍රදායික මාධ්‍යවලින් ඉහලට ඔසවා තැබීමට හේතුවිය.

මේ සියල්ලටම වඩා සින්ඩිකේටර බිහිවීම; බ්ලොග් ප්‍රචලිත වීමටත්; එය වඩාත් සුවිශේෂී තැනකට ඔසවා තැබීමටත් හේතු විය.

සින්ඩිකේටරයක් යනු සෑම නිමේශයකම යාවත් කාලීන වනසේ සකස් කොට ඇති පොත් වෙළෙඳ සැලකින් වාර්ශිකව නිකුත් කරණු ලබන පොත් කැටලොගයක් හා සමානය.

එමගින්; එම සින්ඩිකේටරයට සම්බන්ධවී ඇති සියළුම බ්ලොගයන් පිළිබඳව නවතම තොරතුරු යාවත් කාලීන කරණු ලබයි!

බ්ලොග් පිළිබඳව ප්‍රචාරණ මෙහෙය සිදුවන්නේ සින්ඩිකේටර තුලිනි.

අදාල සින්ඩියට සම්බන්ධවී ඇති සියළුම බ්ලොග් වල පලවන ලිපි නො එසේනම් පෝස්ටු එම සින්ඩියේ මොහොතින් මොහොත  යාවත් කාලීන වේ.  බ්ලොග් පිළිබඳව පාඨකයින් හා රචකයින් දැනුවත් වන්නේ සින්ඩිකේටර තුලිනි.

බ්ලොග් ලියන්නන් බොහෝවිට කියවන්නන්ද වේ. එනිසාම ලියන්නන් හටද අනෙකුත් බ්ලොග් සම්බන්ධව තොරතුරු දැනගත හැකිවන්නේ සින්ඩිකේටරයකට ගොඩ වීමෙනි.

 මුහුණ පොත කල එළියට එන්නේ බ්ලොග් වලට පසු පසිනි!

ස්මාර්ට් දුරකතනය සමග මුහුණු පොතට අධි වේගයෙන් බොහෝ දුර යාමට හැකිවිය.

ඉතා පහසුවෙන් ගිණුමක් ඇරඹීමට ඇති හැකියාව, බොහෝ පිරිසක් භාවිතා කිරීම, ඉතා පහසුවෙන් යමක් ලියා දැක්වීමට හෝ මෘදු ලින්කුවක් ඉමේජයක්  එක් කිරීමට ඇති පහසුව විශෙෂයෙන් ජංගම දූරකථනයකින් ඉතා පහසුවෙන් ලඟාවිය හැකි බව මුහුණු පොත වඩත් පැතිරීමට හේතු වේ!

මේ කරුණු නිසාම බොහෝ බ්ලොග් රචකයින් වත් පොතට වැදීම හා බ්ලොග්කරණයෙන් ඈත්වීම සිදුව ඇත.

වත් පොත සමග සන්සංදනය කිරීමේදී බ්ලොග්කරණයේ සුවිශෙෂීතා කිහිපයක් දැකිය හැකිය!

බ්ලොග් අඩවියක් අරඹන මොහොතේ පටන්ම එය තමාටම අනන්‍යවූ දෙයක් ලෙස දැක්විය හැක. එහි භාහිර මුහුණුවර, වර්ණ, පිටුවේ සැකැස්ම, අකුරු වල හැඩ තල, ඒවායේ ප්‍රමාණය මේ ආදී වශයෙන් අටෝරාශියක් කරුණු කාරණා තමන්ගේ අභිමතය පරිදි වෙනස් කරමින් තමාගේ බ්ලොග් අඩවිය නැතහොත් බ්ලොග් පිටුව නිර්මානය කල හැක!

එහි ලියැවුනු පලවුනු  දැක්වුනු සෑම සියළු දේම නිමෙශයකින් දැක බලා ගැනීමටත් වෙනස් කිරීමටත් ඒ එක් එක් ලිපිය කියැවූ පිරිස, ඔවුන් දැක්වූ අදහස්, ආදිය සියල්ල පහසුවෙන් කියැවීමට හැකියාවක් ඇත.

බ්ලොගයක පූර්ණ පාලනය තමන් සතුය. එය වඩාත් නිර්නාණශීලී වන අතර වඩාත් ගැඹුරක් ගනී. පැරණි ලිපියක් සොයා යෑමේදී රචකයාට මෙන්ම කියවන්නාට බ්ලොග් වඩාත් පහසුය.

මෙවන් කරුණු රාශියක් බ්ලොග්; වත් පොතින් ඈත්ව පෙන්වීමට දැක්විය හැක!

වත්පොත හෙවත් මුහුණු පොතේ සියළු ගිණුම් එකම ආකාරයක් ගනනා අතර ඒවා එකිනෙකට වෙනස් කොට හඳුනා ගත හැක්කේ හිමි අයගේ නමින් පමණක් වේ. වත් පොත තුල මා දකින සුවිශේෂී තාවයන් ලෙස වත් පොත් කණ්ඩායම් හෙවත් සමූහ හා වත්පොත් පිටුය. මේවායේ හැසිරීම හා ගුණාංග බ්ලොග් වලට වඩා දියුණු තැනක් ගනී.

වත්පොත් ගිනිම් වල ඇzති ඒකාකාරීත්වය කරණ කොට ගෙන කිසිවෙකු විසින් ලියා සමාජ ගත කොට ඇති පෝස්ටුවක් හෙවත් ලියමනක් මග ඇරී ගිය හොත් එය සොයා ගැනීම තරමක් අපහසු කාරණයකි.

මෙසේ මුහුණු පොත දිග් විජය කරණාතර තුර බ්ලොග් සෙමෙන් සෙමෙන් ගමනක යෙදේ. මෙරට බ්ලොග් හිණිපෙත්තේ වැජඹුණු කාලයේදී බ්ලොග් සම්මාන උළෙලයන්, බ්ලොග් හමු, ඔවුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අවුරුදු උත්සව ආදිය පැවැත්වී ඇත. 

තවත් කාලයක් බ්ලොග් පැවැත්වීම, පැරණි බ්ලොග් රචකයින් නැවත ලිවීමට යොමු කිරීම, අළුත් රචකයින් බ්ලොග් ලිවීම සඳහා යොමුකර ගැනීම වැනි කාරණාද; පැරණි බ්ලොග් රචකයින් අතර පුළුල් සබඳතාවයක් ඇති කිරීම වැනිකරුණු අරභයා බ්ලොග් හමුවක අවශ්‍යතාවය මේවන විට  පැනනැගී ඇත.

මේවන විට පැරණි සින්ඩි වලට අමතරව අභිනවයෙන් පටන් ගෙන ඇති "සඳහඩපහන සින්ඩිය" හරහා මෙම බ්ලොග් හමුව පැවැත්වීමට කෙරුණු කථා බහක් කොලොම්පුරේ බ්ලොගයේ කමෙන්ටු අතර ඩ්‍රැකී විසින් අදහසක් දක්වා තිබෙනු මා දුටුවෙමි. ඊට සමගාමීව "සඳකඩපහන සින්ඩියේද" ඊට අනුකූලව පෝස්ටුවක් පලකොට ඇති අතර මේ පිළිබඳව පුළුල් කථිකාවක් බ්ලොග් ලියන්නන් අතර ඇතිවීම අවශ්‍යතාවයක් ලෙස මා දකිමි.

මේ පිළිබඳව බ්ලොග් වලට සම්බන්ධ සහ ඊට ආදරය කරණ සියල්ලන්ගේම මැදිහත්වීම හා උනන්දුව ඇතිවිය යුතු අතර මෙම බ්ලොග් හමුව සාර්ථක කරගැනීමට අප අත්වැල් බැඳ ගත යුතු බව සෙනෙහෙබරව යෝජනා කර සිටිමි.

කවදාද? කෙසේද? කවුරුරුන්ද? කොහේදිද?


Wednesday, January 25, 2023

250. සිරිබිරිස්ගේ ලංකාවතරණය!

 

සිරිබිරිස් යනු කැමිලස් පෙරෙරාගේ පුත්‍රයෙකි. කැමිලස් යනු ලංකාවේ නොම්මර එකේ කාටූන්; මැව්වෙකි. කැමිලස්ගේ පලවෙනි කාටූන් චරිතය වන්නේ 1966 දී ලේක් හවුස් සඟරාවක් මත පන පෙවුනු "දැක්කොත් පත්මාවතී" ය. කැමිලස්ගේ කවුරුත් දන්නා පුත්‍ර රත්නය "ගජමෑන්" වන අතර ඔහු උපත ලබන්නේ 1972 වසරේ "සතුට"; ලංකාවේ ප්‍රථම චිත්‍ර කථා පුවත්පත සමගය. පසුව මෙරට දිග් විජය කල; චින්තන ජයසේනයන්ගේ "සිත්තර" 1975 ඇරඹීමත් සමග ගජමෑන්ද සිත්තරේ බින්න බැස්සේය.
මේ නයින් ගත් කල සිරිබිරිස් තනි චරිතයක් නොව; දැක්කොත් පද්මාවතී, ගජ මෑන් හා පෙර නොකී "දොං සේතං" ගේද සොහොයුරෙකි.

මෙරට නමගිය IPB දෙබෑයන්ගේද නොමසුරු ගරුත්වයට පාත්‍රවූ අප මිතුරු නිමල් දිසානායක පසුගියදා ඇමතුමක් මගින් මා අමතා පැවසූවේ "මල්ලි  සිරිබිරි ඇවිත්!" කියාය.
මේ කැමිලස්ගේ පුත් සිරිබිරිස් නොව සිංහල බ්ලොග් අවකාශය තුල සැරිසරණ "සිරිබිරිස්" ය. සිරිබිරිස් සහ තවත් බ්ලොග් මිතුරන් කිහිපදෙනෙකුගේ හමුවක් නිමල් අයියා විසින් සංවිධානය කිරීමට උත්සාහ ගනිමින් වූ අතර  ඒ සඳහා අපගේ Teepee the Campsite කඳවුර යොදා ගැනීමට ගත් තීරණයේ සුභාරංචිය කනේ තැබුනේ එම අවස්ථාවේදීය.

සිරිබිරිස්ගේ පදිංචිය කැන්ගරු දේශයේ වන අතර ඔහු මෙරටට ඇති අක්මුල් සිඳ නොගත් ඕස්ට්‍රේලියානුවෙකි!
දිනය පසුගිය ඉරිදාය.
සෙනසුරාදා; ඉරිදා උනේ නි. ප.කෝ. නිසාය.
නාමයෝජනා රාජකාරී වෙනුවෙන් ඇප කැපවී සිටි නි.ප.කෝ ඩ්‍රැකී (නියෝජ්‍ය පලාත් කොමසාරිස්) හට ප.කෝ ගෙන් සෙනසුරාදා පැමිණීමට ඉඩක් ලබා ගැනීමට තිබුනු අවහිරතාවය නිසාම සෙනසුරාදා; ඉරිදා විය.

මෙම මිතුරු සමාගමට පේරාදෙනියේ සිට රවී වීරසිංහ - අවි අයියා පැමිණියේ කලින්දා එනම් සෙනසුරාදා හවස් වරුවේය. 
ඩ්‍රැකීගේ පැමිණීමද එදිනට යෙදී තිබුනත් ඡන්ද හුටපටේ ඔහුව පමා කලේය.

රවි අයියා රස සාගරයකි!
ඔහු මිනිස් ඇසුර ප්‍රිය කල අයෙකි.
නියමිතව තිබුනු ඩ්‍රැකීගේ පැමිණීමත් අවි අයියාගේ එකතුවත් සමග වියළි ජින් ගත වීම හෝ වෙනයම් ඇල්කොහොලිකරණයක් සඳහා මා අපගේ පැරණි kayak pavilion එක අස් පස් කලේ සිකුරාදය. 
හුදෙක් ගබඩා කාමරයක් ලෙස අඩුම කුඩුම පිරුණු එය නැවත මිනිස් වාසයක් බවට පත් කිරීමට දිනයක්ම වෙහෙස වන්නට සිදුවිය. kayak pavilion යනු අපගේ Oparetional Hub එක හෙවත් මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කොට ඇති අඩි 20 Shipping Container එක මත ඉඳි කොට ඇති වේදිකාවය. රාත්‍රියට ඉදිරි මාර්ගයේ රථ වාහන දිවෙනු දකින්න ලස්සන දර්ශණයකි. 
මීට වසර 5කට පමණ පෙර 
එසේ වෙහෙස මහන්සි වීමට ලැබුනු ත්‍යාගයක් ලෙස එදින මත එනම් සිකුරාදා - ජනවාරි 22 ට යෙදී තිබුනු අපගේ යකඩ දිනේෂ්ගේ කුඩා සාදය එතැන උත්කර්ෂයෙන් යුතුව පැවැත්විය.
මමත් මාගේ ඥාති සොයුරු පාලින්දත් දිනේෂ් සමගින් සීතල බීර වීදුරුවක් තොල ගාමින් දිනය සැමරුවේය.
පසුදින මා පෙර සඳහන් කල පරිදි රවී අයියා සම්ප්‍රාප්ත විය.
එදින සවස් යාමය ගෙවී ගියේද kayak pavilion එකේමය.


පසුදින නිදි අයියාත්, ප්‍රාජේත්, නමියාත්, සිරිබිරිසුත්,අසංගත් පැමිණියෝය.
ඩ්‍රැකී ඒවන විටත් ගිණිගත්හේන පසුකරමින් ය.
හක්බෙල්ලාවක ප්‍රසිද්ධ දියෙස්ගේ ලැවරියා කඩෙන් උණු උණු ලැවරියා කා කිතු හකුරු සමග කහට බී ඩ්‍රැකී පැමිණෙන තෙක් කල් මැරුවෙමු.
ඩ්‍රැකීගේ පැමිණීමත් සමග ඝණ පූර්ණය සම්පූර්ණ වූ අතර අප කඳවුරු බිම වෙත පිටත් වුනෙමු. 
"පිංතූරයක් වචන දහසක් තෙපලයි!" 
එසේනම් ඉතිරිය පිංතූර පවසාවි!
රස සාගරයක් සමග!

ස්ටීමරයෙන් මුහුණ වසාගෙන ලැවරියා කෑම!

රවි, අසංග, ප්‍රාජේ, නමියා, සිරිබිරිස්

මේ සියල්ල මුදිතා ගුණ භරිතව විඳදරා ගනිමින්!

අපේ කාලය කා දැමීම පිළිබඳව නිදහසට කාරණා!

කොලොම්පුරේ, සිරිබිරිස්, නිදි, ප්‍රාජේ 

කට හදාගෙන කියන දේවල්-කට හදාගෙන ඇහුංකං දීම! 

"මෙන්න සුද්දගේ අත!"
මේ කයිවාරුවෙන් පසු ඇරඹුනේ "හඳ මාමා ගීත පිටුවයි!". මින්දද හී සැරෙන් පටන් ගත් ගායනාව වතුර නාලා අවසන් විය! අවසන් ගී කාණ්ඩය ගීත දහයකින් අවසන් වූයේ මාගේ ඇවටිල්ලට නැවත හක්බෙල්ලාවකදීය. 

"අපි එහෙනං යන්නං අපි!" නිදි අයියා නැගිටින්නට හැදුවේ සොඳුරු දිනය නිමාවට පත්කරමිනි.
"තව සින්දු පහක් කියලා යන්න . . . නිදි අයියේ . . !"
"හරි ඔන්න පහයි . . . !?"
"නෑ ! නෑ!! දහයක් . . ?" මම ඇවටිලි කලෙමි.
"හරි එහෙනං ඔන්න දහයයි . . !?"
ඉන් පසුව ගී ගායනා ඇරඹුනේ සින්දුවෙන් සින්දුවට ........ කරමිනි.
ගීත දහයෙන් පසුව නිදී යන්නට නැගිට්ටේය.

"අපරාදෙ උඹ විස්සක් ඉල්ලන්න තිබ්බේ!" සිරිබිරිස් ඔහුගේ ආදරණීය අවංක හිනාවෙන් යුතුව පැවසීය.

"ඔව් බං අපරාදෙ! කමක් නෑ ආයේ උඹලා එනවානේ! හිටපං මං කෝල් එකක් අරන් බලන්න 
- හෙලෝ ඔය කිතුල්ගල සිරිල් අයියද? . . . . . . . . . . . . . "

Thursday, January 19, 2023

249. මිතුරු හමුවක මතකය

පසුගිය අගෝස්තුවේ මැද මා ඕස්ට්‍රේලියාවට ලඟා උනෙමි. ඒ එරටට දැඩි ශීත කාලගුණයක් තිබුනු අවධිය විය. මාසයක කාලයක් දුවා දරුවන් හා බිරිඳ සමග ගතකල මා එරට සිටින අපගේ මිතුරන් ඇමතීමට පටන් ගත්තේ ඉක්බිතිවය. 

පලමු ඇමතීම වින්ද්‍යා සේනාධීර වෙතය!

"ඇයි බං ආපු ගමන් කතා නොකලේ?"

මට උත්තර තිබුනේ නැත. මම හීන් කෙඳිරියක් ගෑවෙමි! 

ටික දිනක් ගෙවීයද්දී එක් සවසක මාගේ පුතු නිවෙසට පැමිණියේ පණිවිඩයක්ද රැගෙනය.

"අන්න සේනාධීර අංකල් කථා කරලා කිව්වා තාත්තිව එහේ එවන්න කියලා. මට ලොකේශන් එකත් දාලා තියෙන්නේ!"

නියමිත දිනයේදී මා වින්ද්‍යාගේ නිවසට ලඟා උනෙමි. 

නිවසේ සීනුව නාද කරණවාත් සමග දොර ඇරුනි. ඉන් එලියට පැමිණියේ අතිශයවූත් සුන්දරවූත් නිර්ව්‍යාජවූත් සිනහවකින් මුව සරසා ගත් කාන්තාවකි!

"ඔයා මංජුල වෙන්නෝන!?"

කිසිදාක මා නොදැක සිටි ඇය ඉතාමත් කුළුපග ලෙස මා පිළිගත්තීය.

"ඔ..ඔව්! මම තමයි!"

"අන්න වින්ද්‍යා ඉන්නවා ඔයා එනකල් බලාගෙන! යන්න!!" ඇය දොරකඩින් පසෙකට වී මා හට නිවසේ ඇතුලත පෑවාය. 

ජගත් රාමනායක, ඉන්දික දෙල්පචිත්‍ර ආදීන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිනාතර තුර තවත් සහෘදයෙක් එතැනට එක් විය.

" අම්මට සිරි උඹ? උඹ කොහෙද මෙහේ?" ඒ අන් කිසිවෙක් නොව ගල්කිස්සේ ආර් ජගත් කිත්සිරිය. සත්තකින්ම එතැන සිනා සාගරයක් මැවුනි. මා ආගන්තුකයෙක් උනු හෙයින් හෝ මාව බයිට් නොකිරීමටත් පාසල තුල මා හැඳින්වීමට භාවිතා කල අනවර්ථ නාමය භාවිතා නොකිරීමටත් ඔවුන් වග බලා ගැනීමට මෙන්න මගෙන් තුති!

රාමාගේ පැරණි මතක ගබඩාවේ රසමුසු තැන් පිළිබඳව මතක් කරණ විට තාමත් තනිවම හිනාය! දැනට ටැස්මේනියාවේ සිටින අපගේම පාසල් මිතුරකුගේ චර්යාවන් මේ කථාවල පදනම විය.  රාමාගේ පුත් සුසුකි හී කසූකි (නම වැරදිනම් සමාවෙන්නෝන එකසිය ගානට!) ඇතුලු පිරිසක් පැය ගනනාවකින් එතැනට එක් වූ අතර පේස්ට්‍රි සහ වෙනත් කෙටි කෑම පිරුණු බඳුන් හිස්ව ගියේ අසුරු සැනිනි. 

අප වෙන්ව යන විට දෙල්පෙගෙන් ලැබුනේ තවත් ආරාධනාවකි!

"මචං එන සතියෙ නෙවෙයි ඊලඟ සතියේ දවසක අපේ ගෙදර පොඩි පාටියක් උඹ එන්නෝන. කොල්ලයි කෙල්ලවයි දෙන්නත් එක්කං වරෙං ගිටාර් දෙකත් අරං!"

දිනය එළඹුනි. මමත් පුතාත් දුවත් දෙල්පෙලාගේ ගෙදරට සම්ප්‍රාප්ත විය. එතැන උළෙලකි! විදිලි සර පුවරුවක් වැයුනි. මා හටත් දුවටත් පුතාටත් ඉහල පිළිගැනීමක් විය. එතැනට ටිකෙන් ටික එක්වන පාසැල් මිතුරන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් හට මම මාගේ "ඇස් දෙක" හඳුන්වා දුන්නෙමි.

"දුවේ මේ අංකල් ප්ලේන් එකකින් බිමට වැටිලා තියෙනවා....!" මා සමන් ධම්මිකව දියණියට හඳුන්වා දුන්නේ එලෙසිනි.

"ඇත්තමද අංකල්. . . .?" ඇස් නළලේ රඳවා ගනිමින් දුව සමන්ට කිට්ටුවිය.

"බොරු පුතේ මූට පිස්සුනේ . . . ! වැටුනා තමයි. එතකොට ප්ලේන් එක තිබ්බේ බිම!"

🤣🤣🤣🤣🤣🤣🤣

ස්වල්ප වේලාවකින් එතැනට ගුරාද කඩා පාත් විය!

" උඹ කොහෙද බං මෙහේ . . !?" ගුරා සුපුරුදු කට අවදි කලේය.

කාලය ගත වෙද්දී මධුවිත අපව තව තවත් එකට එක් කලේය.

ගුරා,මම,කිත්තා,සේනක,සම්පත්, වින්ද්‍යා,දෙල්පෙ
ගී ගායනා ඇරඹුනි. මාගේ දරුවන්හටද ගීත දෙකක් ගායනා කිරීමට අවස්ථාව ලැබුනි. අනුර කුමාරසිංහගේ දියණිය තම ගායනයෙන් සාදය තවත් මානයකට ගෙන ගියාය. ඇයත් මාගේ දියණියත් මොනවාදෝ තොර තොංචියක් නැතිව කියවමින් ය. එතැන සර පුවරුවේ නිර්මාපකයාගේ ආරාධනයෙන් "සම්පත්" නමැති තට්ටයෙකු ගීත දෙකක් ඉතාමත් සුන්දරව ගායනා කලේය. 

සමන් ධම්මික; එඩ්වර්ඩ් සර්ගේ  හඬින් ගීත ඉදිරිපත් කලේය. දෙල්පෙද ගීත කීපයක් ගායනා කොට සාදය එකළු කලේය. වින්ද්‍යා සියල්ලන් අතර සිට සියල්ල එකට ජෙල් කලේය. නාවික හමුදාවේ සේනක හංවැල්ල රණවිරුවාද එතැනය. ඒ ගැනද ලිවිය යුතුමය. ඔහු ඕස්ට්‍රේලියාවට ඇවිත් තිබුනේ යාළු මිත්‍රාදීන් බලා කියාගෙන යාමටය!

මධුවිතෙන් හොඳින් සප්පායම් වන විට ඊළඟට අත්‍යාවශ්‍ය දේ වන්නේ සිගරට් ය. සිගරට් එකක් නැතිව ගන්නා මධුවිත උපමාකොට ඇත්තේ; දෙතොල් සිප නොගෙන කරනා රමණයටය! බොන එකාට ඇත්තේ ඊට අපූරු ඉවකි. මා නාසය උඩු සුළඟට එක් කොට ඉව කලේය. නිවසේ පසුපස කොටසේ සිට සිගරට් සුවඳක් (ගනං ගන්න එපා; ඒ අපට දැනෙනා හැටිය!) ගලා ආවේය. මා සීරුවෙන් රූටන දොර ඈත් මෑත් කර එතැනට කිට්ටු කලෙමි. ආරාධනයෙන් ගී යැයූ තට්ටයා එතැනය! "කව්ද අප්පා මූ? පුරුදු ඩෑල් එකක්!" මම මගෙන්ම අසා ගනිමින් එතැනට කිට්ටු උනෙමි 

"අම්මට සිරි උඹ තබ්ල සම්පත් නේද?"

"ඔව්නෙ . .  .   . !"

මම වහාම වසිකට කතා කලෙමි. 

"පුතේ මේ අංකල් තමයි 

"අපේ කාලේ උදේ එසෙම්බ්ලි එකේදි "බැන්ද දජා . . " එකට තබ්ලා ගැහුවා කියලා මම කිව්වේ. තබ්ලා සම්පත්!

මම හදිස්සියට "බැන්ද ධජා එක" කිව්වේ අපේ පාසැල් ගීතයටය!

ඔය අතරේ ආර් ජගත් කිත්සිරි ත්‍යාග ප්‍රධානෝත්සවයද පැවැත්විය. ඒ ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට යෑමේ කණගාටුවට හෙවත් කනක් ඇහිලා ඉඳින්නට ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් විය යුතුය!!


එතැන සිට ආගිය කතා ගොන්නකි. දෙගොඩ හරි ජාමයේ වෙන් වූයේ නැවතත් නාලන්දා රාත්‍රියේදී හමුවන බලාපොරොත්තුවෙනි.

නාලන්දා රාත්‍රිය පිළිබඳ වෙනමම කථා කල යුතුය. 

කිත්තා සහ සම්පත්ට පසෙකින්.

අවසර පත්‍ර 582 අලෙවි කල පසු; අලෙවිය නවතා දමා තිබුනි! ජගත් බන්ඩාර මෙල්බර්නයට මෙම අවස්ථාවට සහභාගී වන්නට  පැමින සිටියේ සිඩ්නි සිටය!

ඒ මේ අල්ල පනල්ලේ ශිවන්කද හමුවිය. මාගේ බ්ලොග් කියවන අයට ශිවන්ක අළුත් කෙනෙකු නොවේ. 212. පැනි බේරෙණ කොම්පැනි කථා 5  පෝස්ටුවේ මෙන්ඩිස් ලොක්කාට අම්මා මුත්තා සිහිවෙන්න ගේම ඇද්දේ මේ ශිවන්කයාය.

ශිවන්කටත් තබ්ලා සම්පත්ටත් මැදිව!

පාසැල් රාත්‍රියේ 600 කට ආසන්න පිරිසක් වේග රිදමයට සම වැදී නර්ථනයේ යෙදෙද්දී මමත් ශිවන්කයාත් තබ්ලා සම්පතුත් රථ ගාලට පැමිණ කයිවාරුවක් ගැසුවෝය. ශිවන්ක ඔහු re-make කල ක්ලැරන්ස්ගේ ගීත කිහිපයක්ද මොබයිලයෙන් ප්‍රචාරය කොට පෙන්නුවේය. 

සම්පත් ඔහු සංගීතවත් කල සුන්දර නොයිඳුල් ගීතයක් අපට අසන්නට ඉඩ කඩ සැලසුවේය. මම ඒ ගැන පොඩි ඉඟියක් දෙන්නම්. (පස්සෙන් පහු පොර ටෝකක් ඉශූ කරණ්නට පුළුවන්නේ; "ඔන්න අර සිංදුව!" කියලා) ඒක ලියැවී තිබුනේ විල්පත්තුවේදී ආදරය වෙනුවෙන් ජීවිතය කැප කල රන්මලී ව කැඩපතක් සේ යොදාගෙන ස්වර්ණා මල්ලවාඅරච්චි ගැන වගෙයි මතක! (සිහියෙන් ඉඳන් අහපුවායෑ?)

දැන් මේ සියල්ල අතීතය ය! 

ලියන්නට නම් කාරණා එමට! ලියාගන්නට බැරි තරං මතක!

කොහොමද මේක අවසන් කරණ්නේ  . . . .?

හරි මම මේ සිද්ධියන් කථාව නවත්වන්නම්

නාලන්දා රාත්‍රියට යන්නට පෙරදින කෝල් එකක් ගත්තා වින්ද්‍යාට පාසැල් කර පටියක් හෙවත් ටයි එකක් ඉල්ලා ගන්න.

නාලන්දා රාත්‍රියේදී එය මගේ අතට ලැබුනි. 

ඒ ආදරණීය වදන් පෙලක් සමග!

"මේක මගෙන් උඹට! සමරුවක්!"

ද්‍රව්‍යමය දේවල් වලට වඩා උඹලාගේ ආගන්තුක සත්කාරය ලෙංගතු බව හිතේ යටටම ගිලා බැහැලා! නම් ලියන්නට නොහැකිවූ  බොහෝ දෙනා ගැන ලියන්නම් වෙලාවක! ඒ වගේමයි වින්ද්‍යාගේ බිරිඳ නිල්මිණිගේ පටන් කිත්තගෙ පවුල සමන් දම්මිකගේ වයිෆ් ගුරාගේ නෝනා දෙල්පෙගේ පොම්බුලේ ඇතුලු සියල්ල ආදරයෙන් මතක් කරමි. 

දෙල්පෙ උගෙ අනගිභවනීය පාටියේදී ආහාර පිළිගැන්වූ හැටි තාමත් මතකය! 

"කාපං! මේවා ඔක්කොම මම ම හදපුවා!"

ඔය හැමදේම වගේම උඹලා බොහෝ දෙනෙක් මගෙන් අහපු පොදු පැණයක් හා කල ආදරණීය යෝජනාවක් තිබ්බා. 

"උඹ කවද්ද මෙහාට එන්නේ? කොල්ලයි කෙල්ලයි දෙන්නම් මෙහේ ඉන්න හිංදා උඹත් මෙහාට වරෙංකො!"

ඒ සියල්ල මතකය. ඒ සියල්ලටම දුන් පොදු පිළිතුර ලියා නවතින්නම්. 

"බලමු!"

මොනවා උනත් උඹලා හොඳම හොඳ එවුන් ය!

ජයවේවා!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...