Friday, October 13, 2017

55. තට්ට තනිවම තට්ටයා.....!

කුච්ච්වේළි යන පාරෙ - වැහි කාලෙට!

කුච්චවේළි තියෙන්නේ ත්‍රීකුණාමලයේ සිට  පුල්මුඩේ පැත්තට කිලෝමීටර 38 ක් ඈතින්. උප්පුවෙළි, නිලාවෙළි පහුකරගෙන ඉරක්කන්ඩි පාලම මතින්  යනකොට තමයි කුච්චවේළි හමුවන්නේ.    නිලාවේළි අයත්වෙන්නෙත් කුච්චවේළි ප්‍රාදේශීය සභාවට. සුප්‍රසිද්ධ ගිරිහඩු සෑය  බලන්න යන්න හැරෙන්න තියෙන්නේ කුච්චවේළි වලින්. කොටින්ම කුච්චවේලි පොලිසිය ඉස්සරහින්.

38 කණුව - සල්ලිමුණේ, කුච්ච්වේළි

කුච්චවේළි වල ඉන්නේ මුසලිම් ජනතාව තමයි අතිමහත් බහුතරය වෙන්නේ. අමීර් ඉන්නෙත් ඔය ගමේමයි. හරියටම කියනවා නම ඒ හරියට කියන්නේ සල්ලිමුනේ  කියලයි. 

අමීර් (ඛාන්)

ෆවුසියා - ලස්සනයිනේ

අමීර්ගෙ පවුලගෙ හෙවත්  බිරිඳගේ නම ෆවුසියා. අමීර්ගෙ රස්සාව උනේ මූදු යන එක. එයාට බෝට්ටුවක් තිබුනා. එයලගෙ ගේ තිබුනේ පුල්මුඩේ පැත්තට යනකොට වම් පැත්තේ. ඒ කියන්නේ ගොඩ පැත්තේ. අමීර්ගෙ ගේ ඉස්සරහ මහ පාර. පාර පැනපු ගමන්   අමීර්ලගෙම තවත් ඉඩමක්. මහ පාරෙ  සිට අඩි  250 ක් ඈතිනුයි මුහුදු වෙරළ  පිහිටා තිබුනේ. 

Friday, October 6, 2017

54. ගඟක් දිගේ ගිය ගමනක් 11


ගැබ්බර වික්ටොරියා ;  කෙත්වතු වෙත  දියවර යොමුකරමින්. එන කන්නය තෙක් කෙතරම් කලක් විළි රුදාවෙන් පසුවෙම්ද?

සැත්තැම්බර් 22 වන විට  වැසි පටන් ගනිමින්‍ විය.

අපගේ සැලැස්ම කුමන කරුණක් නිසා හෝ අකුලා ගැනීමට සිදුවුවහොත් එය යලිදු දිග ඇරලන්නට තවත් මාස ගනනාවක් හෝ වසරක් බලා සිටින්නට සිදුවිය හැක. ස්ථිර ලෙසම ඔක්තෝබර් 2 වනදා අප අපගේ සැලැස්ම ක්‍රියාත්මක කරණ්නට තීරණයකට එළඹුනෙමු. 

මා මෙන්ම ප්‍රියන්ජනුත් තෙශාන්තත් ධම්මිකත් කාලගුනය පිළිබඳ මහත්වූ ඕනෑකමකින් කරුණු එක්කර ගැනීමට දෑස් දල්වා බලාසිටින වග නිරන්තරයෙන් මාවෙත ලැබෙන පණිවිඩ වලින් මොනවට දෙස් දෙමින් විය!

වරුවක් පුරා ඇදහැලෙන මහා වරුසාව මහවැළිය දෙගොඩතලා ගලන අචිරවතී ගංගාව බවට පරිවර්ථනය කරලීමට සමත් බවත් එමගින් ඇතිවිය හැකි ගං වතුර තත්වය අප මහ කැලෙ මැද අතරමං කරලීමට හෝ ගංවතුරටම බිළිවීමට කිසියම් සම්භාවිතාවක් තිබීම මෙයට හේතුවය!

අපගෙ දීර්ඝ කාලීන සැලසුම නැවත අළුතින් ලුහුකොට සකසන්නට විමු.

1.    ඔක්තෝබර් 2 වන දින උදෑසනින් වසික බණ්ඩාරවෙල බලා බසයකින් පිටත්ව ගොස් ප්‍රියන්ජන් මුන ගැසේ. 
2. එදින පස්වරු 3.30 ට තම සේවා ස්ථානය වූ හංවැල්ලේ Linea Aqva  ආයතනයෙන් පිටවන පසිඳු  තම නවාතැන්පල වන කැළණියට පැමිනේ.
    3.    පෙර දැනුම් දීමට අනුව අපගේ   අභිනව ලොරි සපයන්නා කැළණියේදී පසිඳු හා එක්ව නාරහේන්පිට Adventure Seals   ආයතනයට යා යුතුවේ.
    4. ධම්මික ද පස්වරු 5.00 ට නාරහේන්පිටට පැමින පසිඳු   හා එක්වී කයාක සියල්ල රැගෙන කඩවත අප නිවසට පැමිනේ.   
   5. කඩවත මාගේ  නිවසෙදී අපහා එක්වන  හා එක්වන තෙශාන්ත , අම්රාන්  හා          කෙන් සමගින් රාත්‍රියේ කඩවතින් පිටවන අපහා දිමුතු එක් වන්නේ  පස්‍යාලේදීය.
   6.  එදින රාත්‍රියේ බණ්ඩාර්වෙලින් පිටත්වන වසික හා ප්‍රියන්ජන් ඔක්තෝබර් 3 වන     දින උදෑසන මහියංගනයේ ද නෙස්ට් හීදී අපහා එක්වේ .
   7. උදැසන ආහාර එහිදී ලබාගන්නා අප දිවා ආහාර පාර්සල්ද රාත්‍රී අහාර සදහා පදම්     කල කුකුළු මස් කිලෝ 4 ද රැගෙන අප පටත් විය යුතුය. 
    8. උදෑසන 9 වන විට අප මහවැළියේ පහස ලබමින් විය යුතුය. 
   9.  එදින රාත්‍රිය වස්ගමුව වනාන්තරයේ ගතකරණ අප පසුදින එනම් ඔක්තෝබර් 4 වන දින හවස මනම්පිටියට ලඟා  විය යුතුවේ. 
 10. අප ගෙන් වෙන් වන ලොරිය මහියංගනයේ සිට පනම්පිටියට පැමිණිය යුතු වන්නේ  ඔක්තෝබර් 4 වන දින හවස 6.00 ටය.

මේ අපගේ නව   සැලැස්මය !

මේ සියල්ල සැලසුම් කල පසු කෙන්ගේ පැමිණීම සැක සහිතබව ධම්මික දූරකථනයෙන් මාවෙත දැන්වීය! ඒ ගිලිහී යමින් වන්නේ අපගේ එකම පුරුදුකාරයාය ! මාර්ගෝපදේශකයාය ! සියල්ලන් මීට දිනකට පෙර වනතුරු අප කණ්ඩායමේ සියල්ලන්ගේම සියළු සැක සංකා , විචිකිච්ඡා,  භාරගෙන සිටි එකම ගැලවුම් කරුවාය!!!
 එහෙත්  අපගේ සැලසුම  හුදෙක් එක් පුද්ගල්යෙකුගේ වියෝව කරණකොටගෙන දොර මුල්ලේ තිබීම මාහට තරම් නොවේ !

මේ පණිවිඩය මා සියල්ලන්හටම මොහොතකින් දැනුම් දුනිමි.

“දැං මොකද කරණ්නේ ?” බොහෝ දෙනාගේ මුවට නැඟුනු පැනය විය .

“අව්ලක් නෑ ! අප ගමන යනවා …….එච්චරයි !”

මාගේ කෙටි පිළිතුර විය ! (මද කෝපයෙන්!)

ඔරලෝසුවක එකින් එක දිවෙන දැතිරෝද මෙන් අපගේ සැලැස්ම දිනෙන් දින දිවෙයි ! අපගේ  සැලැස්ම උඩු යටිකුරු කරමින් මහවැළි නිම්නයට විටින් විට වැසි වැටෙමින්‍.සෑම දිනෙකම මා දිනය පටන් ගන්නේ ජල සම්පාදන මණ්ඩලයේ; පොළොන්නරුව දිස්ත්‍රික් ඉංජිනේරු සහන් කුලරත්න; අපගේ තරුණ මිත්‍රයා අමතමිනි. 
ගතවෙන කිසිදු දිනෙක මහවැළියේ ජල මට්ටමේ සැලකිය  යුතු වෙනසක් නොමැතිබව; මනම්පිටියේ ජල පොම්පාගාරයෙන් තහවුරු කරගන්නා හේ අප වෙත දැනුම් දේ ! මෙසේ දිනෙන් දින අප අපගේ ගවේශනයට ලං වෙමින් සිටින්නෙමු !

දිනෙන් දින වෙනස් වන කාලගුණය  විසින්; අප තල්ලු කර හරින්නේ තවත් වසරකින් මෙම ගවේශනය කල් දමන්නටද?

ජීවිතයේ සැඳෑ සමයට කෙමෙන්කෙමෙන් අවතීර්ණ වෙමින් සිටින; වයසින් අර්ධ ශත්වර්ෂයක් සම්පූර්ණ කරමින් සිටින මටත් ප්‍රියන්ජන්ටත්; ජීවිතයේ අවසාන කාලයේදී හෝ මතකයට නගා ගෙන සතුටු විය හැකි, රස විඳිය හැකි, නිහත්මානීව ආඩම්බර විය හැකි සුන්දර සිතුවමක් චිත්‍රණය කිරීමට ලැබෙන; ජීවිතයේ අවසාන අවස්ථාව මෙසේ මෝසම් සුළඟින්  අපෙන් ඈතට  ගසාගෙන යන අයුරු මා කණගාටුවෙන් බල සිටින්නෙමි. මේ  ජීවිතයේ එයට ඇති  අවසාන අවස්ථාව නොවන්නේද ?

තවත් ඇත්තෙ දින 5 ක කාලයක් පමනි. තවත් දිනක් ගෙවී ගමන දින හතරක ඈතින් පිහිටන විටෙක අම්රාන් මා ඇමතූයෙමි. පසුගිය සති අන්තයේ වනාන්තර ගතවූ ඔහුගේ  ගේ දෙපා දැඩිසේ තුවාල වී ඇති බැවින් ඔහුගේ පැමිනීමද තීරනත්මක විය !

මේ හැලී යන්නේ කණ්ඩායමේ සිටි පලපුරුදු යාත්‍රිකයින් සිව්දෙනාගෙන්  දෙවැන්නාය!

මීට සතියකට පෙර 9 ක් ව සිටි කණ්ඩායම මේ වනවිට 7 කට පසුබා ඇත!  සාමාජිකයින්  ගනන ඉරට්ටේ සංඛ්‍යාවක් වන විට Two Man Kayak වලින් ගමන කරගෙන යා හැක. සංඛ්‍යාව ඔත්තේ වූ විට යටත් පිරිසෙන්  එක් One Man Kayak  එකක් හෝ යා යුතු  වන්නේය. ගැටළුව නිර්මාණය වන්නේ මෙවිටය.   One Man Kayak  එකක් පැදයාමට විශේෂ හැකියාවක් අවශ්‍යවේ. පුහුණුවක් අවශ්‍ය වේ. එයට කාලය හරස් වේ.

A two man (Tandem) sit on top kayak

A one man (solo) kayak


පසුදින වන විට අපට එක් සුභදායි පිලිතුරක් ලැබුනි. ඒ පසිඳුගේ මිතුරු දිමුතුගේ පැමිනීමට අලුත් විවාහය බාධා පමුනුවා ඇති බවය. එම සතුටු දායක ආරංචිය ගෙනාවේ පසිඳුමය. මෙහි ඇති එකම සතුට වන්නේ Two Man Kayak වලින් ගමන කරගෙන යා හැකි වීමය. 
ඒ සමගම පිළිතුරක් සොයා ගතයුතුම පැනයක් අලුතින් පැන නගියි. ඒ වස්ගමුව වනය මැද කරණ්නට සිදුවන කඳවුරු කරණයේදී ආරක්ෂාව සැපයීම සඳහා ඇවැසි පිරිස් බලය අඩුවීමය!

සැප්තැම්බර් 28 වන දින මා ඉතිරි සියළු දෙනා වෙත e-mail පණිවිඩයක් මුදා හැරියෙමි.

ඔක්තෝබර් 1 වන දිනය වන විට අප විසින් ඒකබද්ද අදහසකට පැමිණිය යුතුවේ. ඒ වනවිට පවතින කාලගුණ තත්වය මත අපගේ ගවේශනය පිළිබඳ අවසාන තීන්දුව  ගනිමු !” 

එහි  සාරාංශය විය !

පසිඳු එයට එකඟත්වය පලකොට තිබුනි. මෙයට පිළිතුරු ලෙස ධම්මික විසින් කාළගුණ දත්ත සපිරි වගු රාශියක් e-mail ජාලයට එක්කොට තිබුනි. ඒ සමගම හදිසි තත්වයකදී අප කණ්ඩායම ගලවා ගැනීමට  අපගේ ට්‍රක් රථයට; එනම් කයාක ප්‍රවාහනය සඳහා කොළඹින් අප  කුලී පදනම මත ගෙනයන ලොරියට; වස්ගොමුව ජාතික වනෝද්‍යානය මැදින් අපකරා පැමිනීමට ඇති හැකියාව, ශක්‍යතාවය විමසා තිබුනි.

සත්‍ය වශයෙන්ම එම කරණාවට මා හට පිළිතුරු නොවීය! මන්ද වර්ග කිලෝමීටර 393 ක් හෙවත් අක්කර 97161 ක වපසරියක් තුල පැතිරී ගිය  මහ වනන්ත්‍රයක් මැද  අප  සිටිනා තැන පිටස්තර පුද්ගලයෙකු දැනගන්නේ  කෙසේද?  දැනගත්තද බෝට්ටුවකින් විනා අප සිටිනා ස්ථානයට ලොරියකට හෝ වෙනයම් රථයකට ලඟාවිය හැකි මාර්ගයක් තිබීම; මොනතරම් අභව්‍යයද? අපව ගලවා ගත හැක්කේ හෙලිකොප්ටරයකින් පමනි!

මම සෑම මොහොතකම අන්තර්ජාලය හරහාද මාගේ  පැරණි මතකයන්  හාර අවුස්සමින්ද ගං වතුර පිළිබඳව මා තුල තිබෙන පළපුරුද්ද ගොඩනගමින් සිටියෙමි.

ගං වතුර  තත්වයක් යනු එක් මොහොතක; එක් නිමේශයකින් මුහුණ දීමට සිදුවන තත්වයක් නම් නොවේ.  ගඟක වතුර  මට්ටම ඉහල නගිත්ම එහි වතුර වඩාත් අවපැහැ ගැන්වේ. එහි පෑදුනු ගතිය ඉවත්වී බොරවීමට පටන් ගනී. 
එසේම ගඟේ වතුර සමග බොහෝ සුන් බුන් ගසා ගෙන ඒම දක්නට ලැබේ. මොහොතකට පෙර දිය මතිපිට තිබුනු ගලක්, ගල් පර්වතයක් දියෙන් යටවෙත්ම; එම  ගලෙහි දියෙන් වැසුනු පෘෂ්ඨයේ; තවත් ලෙසකින්  පවසනවානම් දියමතුපිට  සිට අඟලක දෙකක පමන ප්‍රමාණයක් පරීක්ෂකලවිට; එම පෘෂ්ඨය මතුපිට  කුඩා - ඉතා කුඩා වායු බුබුළු ඇලී තිබෙනු දක්නට ලැබේ. 
විමසිල්ලෙන් සිටින්නෙකුට මේ සියල්ල විනිශ්චය කරණ්නට  තරම් කාල වක වානුවක් ස්ව්භාව ධර්මය  විසින් ලබා දේ. ගඟක් ගලන විට එනම් ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහල නගින විට; ගං ඉවුරෙ සිට ගඟ මැද දෙස බලන අයෙකුට ගඟ මතුපිට ජල පෘෂ්ඨයේ උත්තල ස්ව්භාවයක් දැකිය හැක!

විසල් වනාන්තරයක් හරහා ගලන ගඟක්; ගං වතුර තත්වයකදී හැසිරෙන ආකාරය මෙයට වඩා සුවිශේෂී වන්නට ඉඩක් නොමැත. ගං වතුර ගලත්ම ජල කඳ වනාන්තරය තුල පැතිරෙත්ම අපට ගැලවීමට ඇති  ඉඩ කඩ වඩාත් පුළුල් වනු ඇත. ගං වතුර  ගලත්ම ගඟේ සිට පිටතට ජල ධාරා ගලා ඉහිරී පැතිරී යනවා විනා ගඟ තුලට ඇද ගැනීමක් ආකර්ශණයක් ඇති නොකරයි. එසේ ගඟ දෙසට ආකර්ශණයක් ඇතිවන්නේ ඟං වතුර යන අතර තුරය !   මෙය ඔබ  හිතනවාටත් වඩා දරුණුම තත්වයකි. මිනිසෙකු නොව අලියෙකු උවද ගඟ දෙසට ඇද ගැනීමට එය සමත්‍.

ගං වතුර ගලත්ම ජල කඳ වනාන්තරය තුල පැතිරෙත්ම අපට ගැලවීමට ඇති ඉඩකඩ වඩත් පුළුල්වනු ඇත. ගං වතුර ගැලූ පසු හෝ වැසි වැටීමත් සමග  අපට කඳවුරු බැඳීමට ස්ථානයක් ඇති අපහසුව, වන සතුන් තම “ගමන් බිමන්” යෙදීමේ ශීග්‍ර තාවය වැඩි වීම, ගිනි මැලයක් සාදා ගැනීමේ අපහසුව වැනි ප්‍රායෝගික කාරණා හැරුණුවිට මාහට සිතට නැගුනු වෙනත භයානක තත්වයක් නොවීය.

මිනිසා විසින් ස්වභාව ධර්මයට එදිරිව අටවන ලද වික්ටෝරියා, රදෙනිගල, රංටැඹේ වැනි වේල්ලක් බිඳී ගියහොත් ඇතිවන තත්වය මීට ඉඳුරාම වෙනස් විය හැක. එවන් තත්වයකදී මුළු මහත් ප්‍රදේශයක් එක් නිමේශයකදී ඛේදනීය තත්වයකට පත්වේ. කලෙකට පෙර කන්තලේ වැව් බැම්ම බිඳී යාම  එවන් බියකරු මතකයකි.

සිය දහස් ගනනක් මිය යන අවස්ථාවක අප කිහිපදෙනා පමනක් ගැලවී නිවෙසට වී සිටීම කෙතරම් සුදුසුද? නමුත් එවන් අවස්ථාවකදී; හොඳින් සූදනම්ව සිටින  අප කණ්ඩායමට එක් ජීවිතයක් හෝ ගලවා ගැනීමට හැකි වුවහොත් එය මොන තරම් අනගිභවනීයද? මේ මාගේ සිත හා මා අතර සිදුවූ සංවාදයෙන් බිඳකි!

මා පෞද්ගලිකව පසිඳු ඇමතිමි.

“මල්ලි මායි වසිකයි මොනවා උනත් යනවා !” මම පැවසීමි.
“එළ ! මමත් එකෙන්ම එනවා!! තෙශාන්තත් අවොත් අපි  හතර දෙනා හරි යමු!!!”
අප දෙදෙන වෙනමම තීරණ්‍කට එළඹුනෙමු.

මට පසුගිය කාලවකවානුව පුරා අසන්නට ලැබුනු සතුටුදායක, සුභදායක මෙන්ම  ධනාත්මක පිළිතුර එයය. මාගේ බලපොරොත්තු යලිත් අළුත් කරවන්නට එම වදන් සමත් විය.

මෙවන් ගමනකදී “වැඩ්ඩන්” ට වඩා පරාර්ථකාමීන් නොඑසේනම් ආත්මාර්ථකාමීත්වයෙන් තොර ගමන් සගයනට; වඩා වැඩි වටිනාකමක් මාගේ සිත තුල වෙන්ව පවතී. 
මෙතෙක් ම නුදුටු අති දක්ෂයින්ට වඩා මාගේ දෙනෙත් සාක්ෂි දරණ සාමාන්‍ය පුද්ගලයින් වටිනේය. ශක්තිය අබිභවා දරාගැනීමේ හැකියාවට අවස්ථාව සැලසේ. අති දක්ශ කළමනාකරුවන්ට වඩා කණ්ඩායමක් ලෙසට එක අදහසක කණ්ඩායම් හැඟීමෙන් යුක්ත  සාමාජිකයින් කණ්ඩායමට වටිනේය. උපදේශකයින්ට වඩා එක් විදානයකට පා  ඔසවන්නන් අවදානම  ජයගන්නෙය. 

මේ කුමන ආකාරයකින් බැලුවද පසිඳුටත් වසිකටත් මහත්  වටිනාකමක් ලැබෙන්නේය. සහරා කාන්තාරයේ තනි වුවද ඔවුනට කරණ්නට යමක් ඇත. අනෙකාගේ වදනට ගරු කරණු ඇත. මුළු කණ්ඩයමම විසිරී ගියද ඔවුන් ගැන මට විශ්වාසය තැබිය හැක. 
තෙශාන්ත සමග මාහට පලපුරුද්දක් හෝ  ඇසින් දුටු සාක්ෂි මා වෙත නොතිබුනද; ඔහු මා හා පවසා ඇති  දෙයින් 50% ක් පමනක්  සත්‍යය වුවද ඔහුද කෑල්ලෙන් කෑල්ල ගියත් “ගේම” අත හරින්නැති එකෙකු විය යුතුය.

ඔක්තෝබර් මස 1 වන දිනට කාලය එළඹුනි. අප සියල්ලෝම තම තමන්ගේ සේවා ස්ථානයන්හිය. මොහොතින් මොහොත මා e-mail පරීක්ෂා කරමින් විය. සවස 5.28 ට ප්‍රියන්ජන්ගෙන් පණිවිඩයක් ලදිමි. ඒ මා මෙතෙක් කියවන ලද; රාජකාරීමය නොවන  දිගම e-mail පණිවිඩය විය.

“ සැවොම වෙත , මගේ කුඩා  අදහස එක්කර ගන්න !” යනුවෙන් පටන් ගෙන තිබුනු එම ලිපිය අවසන් කර තිබුනේ අප  කුඩා කල පෙර පාසලේ දී ඉගෙන ගත් ඉංග්‍රීසි කවි දෙ පදයකිනි !

“Rain rain go away – Come again another day!”

ලිපියේ සරංශය වන්නේ හෙට දින එනම් ඔක්තෝබර් 2 වන දිනයේ කාලගුණ වාර්ථාවට අනුව ඔහුගේ සහභාගීයිත්වය තීරණය වන බවයි!
නැවත ඔක්තෝබර් 2 වන දිනයේ එනම්  ගමනට යොදාගත් දිනයේ දහවල් 12.26 ට නැවත දීර්ඝ ලිපියක් ඔහුගෙන් මා  ලදිමි. 

එහෙත් මා එම ලිපිය අදතා වෙනතුරු නොකියවිමි. මම ඔහුට ඇමතුමක් ගතිමි. ඔහුගේ පිළිතුර වූයේ පසුදින එනම් ඔක්තෝබර්
 3 වන දින මහියංගනයට එන බවත්; මහවැළි ගඟ ඇස ගැටෙන තෙක් ඔහුගේ පැමිනීම  තහවුරු කරලීමට නොහැකි බවත්ය!
ගමන සඳහා ඔහු රැගෙන එන්නට භාර වූ කූඩාරම් සඳහා යොදාගන්නා දෑ; ඔහු චාරිකාවට එක්වුනද, නොවුනද මහියංගනයට ගෙනැවිත් දීමට කාරුණිකව  ඉදිරි පත් විය.

අපිට  කණ්ඩායමක් අවශ්‍ය වන්නේ විශේෂ අවස්ථාවලදී පිරිස් බලය ඇවැසි වන බැවිනි. උදාහරණයක් ලෙස කයාකයක් ගල්දෙකක් අතර සිරවුව හොත් දෙතුන් දෙනෙකුගේ සහය  ඇවැසි විය හැක.
රාත්‍රිය පහන් වනතුරු කඳවුර මුර කරණ්නට, කදවුරේ වැඩකටයුතු  කරගෙන යෑමට, හදිසි අවස්ථාවකදී කටයුතු කරණ්නට, උපදේශනයට, වෙනතක් තබා එවන් අවස්ථාවකදී අවම වශයෙන් මරහඬ නගා ඝෝෂා කරණ්නටවත් කණ්ඩායමක් ඇවැසිවේ .

මේ අපෙන් ඈත්වන්නේ 2010 වසරේදී  Shall we do ?  යැයි යෝජනා කල ප්‍රමුඛයාය! අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියූ ගමන් සගයාය !!  ගුවන් හමුදාව තුල එතෙර - මෙතෙර පුහුණුවලත් 30 වසරක යුද්ධය තුල කණ්ඩායමකට නායකත්වය දුන් නියමුවාය!!!
මේ සියල්ලටම වඩා අප කණ්ඩායම අතර සිටි ගෞරවනීය සාමාජිකයා ය !!!!
අපගේ e-mail ජාලයට වැදගත් අදහස් , යෝජනා , කාළගුනික මෙන්ම දේශගුනික සාධක එක් කල විද්වතාය!!!!!

ප්‍රියන්ජන් සමග මා කල දූරල්කථන සංවාදය නිමවූ ඇසිල්ලේ මා තෙශාන්ත ඇමතූවෙමි. ප්‍රියන්ජන් සංචාරයට එක් කලේ තෙශාන්තය. එහෙත් මා කිසිවිටෙක මේ සම්බන්ධයෙන් තෙශාන්තට වචනයක් වත් නොකීමට පරිස්සම් විය. ඉන් පසු එතැන්සිට ගෙවුනු පැයක දෙකක කාලය තුල; විටින් විට මාවෙත විවිධ වූ පුද්ගලයින් රැසෙකගේ ජීව දත්ත මා වෙත ඉදිරිපත්  කල අතර; ඒ කිසිවක් පිළිබඳව පැහැදිලි මතකයක් නොමැත.

මා කණ්ඩායම නැවත සැකසූයෙමි. ධම්මික පැමිනිය හොත්; පසිඳු-ධම්මික , වසික - මම , තෙශාන්ත -  ?
ඔව් තව එක් අයෙකුගේ සහභාගීත්වය අනිවාර්‍යයෙන්ම  අවශ්‍ය වේ. මන්ද මේ  ගමන සඳහා   භාවිතා කලයුතු වන්නේ Two Man Kayak මය. එය හැසිරවීමේදී පොඩි ලමයෙකු වාගේ  කීකරුය ! 
මේ නොදන්නා ගමන් මගේ තිබිය හැකි  Rapid හෙවත් ඇළි වලට වඩාත්  සාර්ථකව මුහුන දිය හැක්කේ Two Man වලටය. වැඩි බරක් ගෙන යා හැක්කේද මේවාටමය . මේ නිසාම මේ ගමනට Two Man හෙවත් Tandem  විනා  One Man හෙවත්  Solo ගෙනයාම බුද්ධි ගෝචර නොවන්නේය. එසේම  One Man හෙවත්  Solo කයාකයක් පැදීමට සුවිශේෂි හැකියාවක් තිබිය යුත්වේ. එවන් හැකියාවක් ඇත්තෙකු ඉතිරිව ඇත්නම්  ඒ පසිඳු පමනකි! 

අවසානයේ තෙශාන්ත මාහට කථාකලේය. ඔහුගේ මිතුරෙකුවූ වන ජීවී දෙපාර්තමේන්තුවේ මයිත්‍රී නමැති අයෙකු මේ ගමනේ ඉතිරි ගමන් සගයා ලෙස මහියංගනයේදී  අප හා එක්වන බව ඔහු සහතික විය.

 මේ වන විට ඇළහැර ප්‍රදේශයේ අලි පැන්නීමේ ව්‍යාපෘථියකට සම්බන්ධව සිටිනා ඔහු අද රාත්‍රී බසයෙන් මහියංගනය බලා පිටත්වන බව වැඩි දුරටත් හේ පැවසීය.

ඒ සමගම අප අපගේ ලොරිය නොඑසේනම් ට්‍රක් රථයේ ගමන අවලංගු කලෙමු. ධම්මිකට කථාකොට ඔහුගේ පැමිනීම තහවුරු කර ගත්තෙමු.
 අප එදින සන්ධ්‍යාව වන විට අප අපගේ ක්‍රියාන්විතය මුල සිට අගට නොව අග සිට  මුලට ක්‍රියාත්මක කරමින් සිටියෙමු.

 සියල්ල උඩු යටිකුරුවී ඇත ; අපගේ අධිෂ්ඨානය හැරුණු කොට !

ක්‍රියාන්විතය ඇරඹුනේ ධම්මික ගෙන්‍. ඔහු නාරහේන්පිටට පැමිනියේය. මා මාගේ බිරිඳ සමගින් සේවා ස්ථාන වලින් නික්මී නාරහේන්පිටින් හා රාජගිරියෙන් සපයා ගත් කයාක දෙක හ හබල් හතර; පැරණි එහෙත් අතිශයින්ම විශ්වාසනීය ගමන් සගයා - Toyota Land Cruiser BJ60 යේ හුඩ් රැක් එක මත තබා ගැට ගසා ගතිමු. 
කඩවත ඇල්දෙනියෙන් ; අතින් කටින් බඩු පුරවා ගත්  පසිඳුව ද රථයට නංවාගෙන ගෙදර ගියෙමු. අප නිවසින්  රාත්‍රී අහාර ගත් මමත් , වසිකත් , පසිඳුත් ,ධම්මිකත් මගේකයාකයද හුඩ් රැක් එක මත තබා ගැටගසා ගත්තෙමු. 
රාත්‍රී 9.00 ට පමන වනවිට තෙශාන්ත සිය යතුරු  පැදියෙන්  පැමින අපහා එක්විය. ඔහු වෙත පවරා  තිබුනු  අහාර පාන ගැනීම පසිඳුට පවරා කිලෝමීටර ගනනක් මග ගෙවාගෙන ගොස් රැගෙන ආ Dry Bag එක හා ඔහුගේ කුඩා ගමන් මල්ල ඔහු අත විය !

එකා මෙන් සැම! 
ගමන පිටත් වෙන්නට ඔන්න මෙන්න!

රාත්‍රී 10.00 පමන වන විට අප සියල්ල තම තමන්ගේ ආගම් සිහිකිරීමෙන් අනතුරුව නිවසින් පිටත් වීමට රථයට නැංගෝය. ගමන මුළුමනින්ම උඩුයටිකුරු වී ඇත. මාගේ    Land Cruiser BJ60 රථයේ ටයර් හතරේම කට්ටා; තමා සිටි  බවට සාක්ෂියක් වත් ඉතුරු නොකර මීට මාස හයකට පෙර පලාගොස් තිබුනි ! 
මෙවන් දුර  ගමනකට එහි අමතර රෝදය හැරුණු විට අන් කිසිවක් ගැලපුනේ නැත. එයද තම කට්ටා බේරාගෙන සිටියේ ; අනෙක් රෝද හතරටම වඩා  එය තරමක් විශාල වූ නිසාවෙනි!
 එහෙත් අහෝ දුකකි !

මේ පරණ ටයර් එකක් එහෙම ගන්න තියෙනවද දන්නෑ!?


 එම රෝදය මේ වන විට පසුපස වම් පැත්තට සවිකොට තිබුනි ! යමින් ගමන් මා දන්නා හඳුනන ටයර් කඩයකින් පැරණි ටයරයක් අමතර රෝදය ලෙස සපයාගෙන අප මහියංගනය බලා පිටත්වුනෙමු.  
  
පරණ ටයරයක් ලැබීමේ ප්‍රීතිය - සෙල්ෆියක් ගසා සමරමින්!
කැප් තොප්පියක් දමාගෙන- ධම්මික  මහෙන්ද්‍ර , පිටුපස වමේ - පසිඳු , දකුණේ - වසික , උපැස් යුවලක් සමග - තෙශාන්ත සමග එදත් තට්ටයා - අදත් තට්ටයා!

යළි නොයෙනා ගමනක් දෝ! නිම නොවෙනා ගමනක් දෝ!!

Wednesday, October 4, 2017

53. පොතක් ගැන කතාවක් ……….!



පසුගිය දිනෙක මා මිත්‍ර “සුමියා” මා වෙතට ඇමතුමක් දී පැවසුවේ  මාගේ කන්තෝරුවේ ලියන මේසයේ ලාච්චුව ඇර  බලන ලෙසය.
මා එය ඇර බලන විට එහි පොතක් විය.තහනම්  වර්ගයේ “පොලිතීන්” පිටකවරයක් කාරිය දමා තිබූ එහි  පිටකවරයේ රූපය හා ලියා තිබූ වචන මාහට පහසුවෙන් කියවිය හැකි විය .

“මිහයිල් ලෙර්මන්තව් - අපේ කාලයේ වීරයෙක්”
රුසියන් බසින් සිංහලයට පරිවර්තනය
දැදිගම වි. රුද්‍රිගු
 එහි ලියා තිබුනි.
පොතක් ……!
මා සිතා නොසිතා අමතක කර දැමුවේද ?  
නැත ! 
මාහට නිරායාසයෙන්ම අමතක විය! 

Thursday, September 28, 2017

52. ගඟක් දිගේ ගිය ගමනක් 10



පෙර වදනින් පසු ලියැවුනු පලමු පෝස්ටුව එනම් “ගඟක් දිගේ ගිය ගමනක් 9” ගැන මාගේ ආදරනීය පඨකයින්ගේ ගුණ දොස් තවමත් මා වෙත ලැබෙමින්ය.
ඒ බොහෝ දෙනා වෙනුවෙන් මෙතෙක් කතාව සැකෙවින් දක්වමින්ම කතාව අරඹමි.

මමත් පසිඳුත් අම්රානුත් කැළණි ගං සංචාරයෙන් පසු වෙන්වන්නේ නැවත එවන්ම වූ ගමනක් යෑමේ අරමුනින් .නැවත ගවේශනයකට යෙදෙන්නට ඟගක් සොයමින් සිටි මා දිනක් Lakdasun හි පලවූ ලිපියක් නෙත ගැටේ.
Mahaweli Expedition - Shall we do? යන මැයෙන් මෙම ලිපිය  පල කොට තිබුනේ විශ්‍රාමික ගුවන් හමුදා නිළධරයෙකුවූ ප්‍රියන්ජන් ද සිල්වා විසිනි.
මෙයට පසිඳු හා අම්රාන් තම කැමැත්ත පලකරයි. එයට වසිකද එකතුවේ.
මාගේ මිතුරෙකුවූ තෙශාන්තද එක්වේ.

මෙවන් ගමනකට වැඩි පිරිසක් ඇවැසි වන බැවින්;  Lakdasun හි Trip Invitation   එකක් මවිසින් පල කෙරෙයි.

එහි ප්‍රථිඵලයක් ලෙස ධම්මික  හා කෙන් එක්වේ.
කෙන් මෙම ගවේශනය දෙතුන් විටක් සිදුකොට කලපුරුද්දක් ඇත්තෙක් විය.

පසිඳුගේ මිතුරෙකුවූ දිමුතුද ගමනට කැමැත්ත පලකර සිටියි.
අපගේ ප්‍රථම හමුව පාර්ලිමේන්තුව ඉදිරිපිටදී 2015 ජුලි 18 වන සෙනසුරාදා  සිදුවේ.

සමබර ශක්තිමත් කණ්ඩායමක් සමග එතැන් සිට කියවගෙන යමු !

එදිනට මෙම හමුව යොදාගත්තේ නිත්‍ය පදිංචිය බණ්ඩාරවෙළ වූ ප්‍රියන්ජන් ගේ කොළඹ ගමන් හේතු කොට ගෙනය. මන්ද ප්‍රියන්ජන් හැරුණුවිට අන් සියළු දෙනාම අගනුවර අවට පදිංච් අය වූ බැවිනි. මාගේ මතකය නිවැරදි නම් මෙම හමුවට ප්‍රියන්ජන්, පසිඳු, තෙශාන්ත, ධම්මික, කෙන්  හා මම සහභාගී විය. හමුව පැය කිහිපයකට පමනක් සීමා උවද බොහෝ වැදගත් කාරණා රාශියක් මේසය මතට ගෙන  ඒමට සැමදෙන සමත් විය.
Hiking පිළිබඳව අඩු අත්දැකීම කරණකොට ගෙන මා විසින් සකසා අපගේ e-mail ජාලය හරහා ඒමේ අත පාවී ගිය යෝධ අහාර වට්ටෝරුව හකුලා ගැනීමට සිදුවීම එදින සිදුවූ වැදගත්ම සිදුවීම් වලින් එකක් ලෙස ගත හැකිය.

බොහෝ දෙනා කෙන්ගේ සම්ප්‍රාප්තිය අගයකොට සැලකූ අතර දුටුවන් ප්‍රිය උපදවන සුළු ශක්තිමත් දේහ විලාශයකින් යුතු කුඩා තරුණයෙකු විය. වයස අවුරුදු 17 ක් 19 ක් පමන විය. නොඋස් ය. මෙම තරුණයා ගෙන් අපගේ කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් විවිධවූ ප්‍රශ්න අසමින් ගැටළු නිමාකර ගනිමින් සිටියද; මා සිතාමතාම ඉන් වැලකී සිටියෙමි. එයටb ප්‍රධාන හේතුව වූයේ; මාහට  තිබුනු එකම ගැටළුව විවෘථව කථාකොට; එතෙක් අන් අය තුල නොතිබුනු ගැටළුවක් නිර්මාණය වනු දැකීමට තිබුනු අකමැත්තය.

ඒ අනෙකක් නොව කිඹුලන් පිළිබඳව මා සිත තුල තිබුනු  දැඩි බිය ය. මාතුල තිබුනු එම හැඟීම අනෙක් සාමාජිකයින් ඉදිරියේ සඟවාගෙන සිටීමට මා සැමවිටම උත්සාහ කලෙමි. එය; ඒ ආකාරයෙන්ම අන් අය තුලද ඇතිවුවහොත් මේ ගමන කිසිදු දිනෙක යාමට සිදු නොවනු ඇතැයි මා තුල  අනියත බියක් පැවතීම මෙයට ප්‍රදාන හේතූව විය !

එහෙත් එදින එතැන පැමිණ සිටි අප සාමාජිකයින් කෙන් සමග දොඩමළු වෙමින් තමාගේ සිතේ අඳුරු මුළුවල තිබුනු නොයෙක් නොයෙක් අදහස් එළියට ඇද දමද්දී  බොහෝ දෙනා තුළ “කිඹුල් ගැටළුව” දැඩි ප්‍රශ්ණයක්ව තිබුනු බව මාහට ප්‍රථ්‍යක්ශ විය.

“කිඹුල්ලු ඉන්නවා , අපිට කියලා තියෙන්නේ Team එක එකටම යන්න කියලයි ”  මේ කෙන් ගේ පිළිතුර විය.



මෙහි  Team යන්නෙන් ඔහු අදහස් කලේ Borderlands නම් අයතනය මගින් මුදල් අයකොට රැගෙන යන සංචාරක කණ්ඩායම්‍ය.

මෙම  Mahaweli Expedition නමැති සුන්දර  ගමන් සංචාරය කරණ ආයතන කිහිපයක් ශ්‍රී ලංකාවේ පවතී. ඉන් ප්‍රදාන තැනක් ගෙන කටයුතු කරණ්නේ කිතුල්ගල හා කිරුළපන ස්ථානයන්හි පවත්වාගෙන යන  Borderlands ආයතනයයි. මෙය  නේපාලය හා ලංකාව පාදක කරගෙන තම ව්‍යාපාර කටයුතු කරණ ආයතනයකි. විදේශිකයෙකු විසින් කිතුල්ගල White water rafting සඳහා යටිතල පහසුකම් සැපයීම හා සංවිධානය කිරීමට පටන් ගත් මෙම ආයතනය විසින් Mahaweli Expedition නම් මහවැළි ගඟ දිගේ කරගෙන යනු ලබන මෙම සංචාරය දැනට වසර ගනනාවක සිට  කර ගෙන යනු ලබයි. 

සංචාරය සඳහා සහභාගී වන කණ්ඩායමට ඇවැසි ආහාරපාන, කූඩාරම්, ආරක්ෂාව, ප්‍රථමාධාර, කැනූ හෝ කයාක , උපදේශනය ඇතුළු සියළු දේ මෙම ආයතන වෙතින් සැපයීම කරණු ලබයි. පුහුණුව ලත් කණ්ඩායමකගේ උපදේශනය යටතේ මේ සඳහා අධික මුදලක් අය කරණු ලබයි.
සංචාරක කණ්ඩායමේ යටිතල පහසුකම් සැලසීම සඳහා; මෙම පුහුණු යැයි කියාගන්නා උපදේශකයින් Instructors  හා පහසුකම් සලසන්නන්  Facilitators ඔවුන් හා ගමන් කරයි. ඒ වෙනුවෙන් ඔවුන් වෙනම ම කයාක හා රබර් ඩින්ගි (Rubber Dingy)   භාවිතා කරණු ලබයි.

කණ්ඩායමට ඇවැසි සියලුම  දේ මේවායේ ප්‍රවාහනය කෙරේ.
අප හා එක්වූ  කෙන්ද  Borderlands හි මෙවන් කණ්ඩායමක සේවය කොට ඇතිබව කෙන්ගෙන් කියැවුනු අතර Borderlands හි ප්‍රධාන  උපදේශක මහේෂ් විසින්ද තහවුරු කෙරුණි. ඒ මා එදින ඔහු ඉදිරියේම මහේෂ්ව ඇමතූ විටය.
මහේෂ් කලෙක සිට මාගේ මිතුරෙකු විය. මේ මිත්‍රත්වය නිසාම ඔහු තම අත්දැකීම්  දූරකථන මාර්ගයෙන් මාවෙත  ලබාදුන්නේ නිර්ලෝභීවය. ඔහුගෙන් මා අසන සුවහසක් ප්‍රශ්න වලින් දිනක් හොඳින් හෙම්බත්වී එක් අවස්ථාවක මාහට පැවසූයේ “හරි උඹ යන්න  set  වෙලා මට කියහංකො. මට වැඩක් තිබුනේ නැත්නම් One Man  එකක් දාගෙන මාත් එන්නම්කෝ !”  කියාය. One Man යනු One Man Kayak හෙවත්  Solo Kayak එකක්‍.
මේ  ප්‍රකාශය මට මහත් අත්වැසිල්ලක් වුවත් වසර පුරාවටම කිතුල්ගල   White water rafting, නැතිනම් මහියංගනයේ Mahaweli Expedition ඒත් නැත්නම් දකුණු මුහුදු තීරයේදී Ocean safari වැනි අටෝරාසියක් වැඩකටයුතු වලට  ස්වකීය රැකියාවෙන්ම ඇති මහේෂ්ගේ නිවාඩු දිනයක්; අපගේ කණ්ඩායමේ එක් එක් අයට ගැලපෙන ලෙස මහවැළි ගවේශනය සඳහා යොදාගන්නා දිනයක් හා කැලැන්ඩරය මත එක මත එක සමපාත වීම කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලා පසලොස්වක සඳ දකින්නාසේ අතිශයින්ම දුර්ලභ යෝගයක් වන බව මාහට හොඳින් ප්‍රථ්‍යක්ශවී තිබුනි.

එහෙත් මා ; මාහටත් පොදුවේ කණ්ඩායමටත් දන්වා තිබුනේ මහේෂ්ගේ පැමිණීම ස්ථිර ලෙසය! මන්ද එමගින් මගේ සිතටත් පොදුවේ කණ්ඩායමටත් ඇතිවන ශක්තිය, ධෛරයය මිළකල නොහැකි එකක් වනවා යැයි  මාහට සිත්වුනු හෙයින්‍ !
මහේෂ්ගෙන් මා කෙන් ගැන විමසූ විට ඔහු පැවසූවේ කෙන් “වැඩ්ඩෙකු” බවයි. මෙවන් ගමනකට “වැඩ්ඩන්” වැඩි වැඩියෙන් අවශ්‍ය වේ. කෙන් හැරුණු කොට කයාක පැදීම පිළිබඳව තරමක හෝ පළපුරුද්දක් වූයේ පසිඳුටත්, අම්රාන්ටත්, මටත් පමනි. මේ සියළු කරුණු පිළිබඳව කතාකෙරුණු පළමු දියවන්නා කථිකාව අවසන්වූයේ  විසඳා ගත යුතු  කරුණු  කිහිපයක් හඳුනා ගැනීමෙන් හා එකඟතා කිහිපයකට එළඹීමෙන්  පසුවය.

1. ඒවන විට මවිසින් සකස්  කොට තිබුනු අපගේ ගමන් බඩු ලැයිස්තුව නැවත විමසා බලා  සකස් කිරීම.
2.  අපගේ අහර වට්ටෝරුව නැවත සැකසීම.
3. අප ගමන ආරම්භ කරණ දිනයේ උදෑසන හා එදින දිවා ආහාරය මහියංගනයෙන් සපයා ගැනීම.
4.  අපට කුළියට ගැනීමට  අවශ්‍ය කයාක සියල්ල හැකි ඉක්මනින් වෙන් කර ගැනීම.
5.  ගමනට සහභාගීවන අප කණ්ඩායමේ උන් කයාක පිළිබඳව එතෙක් කිසිදු කලපුරුද්දක් නොමැතිව සිටි ප්‍රියන්ජන් , තෙශාන්ත, දිමුතු හා ධම්මික වෙත හැකි ඉක්මනින් පුහුණු සැසියක් පැවැත්වීම.

මේ වන විට අප කණ්ඩායම; ප්‍රියන්ජන්, තෙශාන්ත, පසිඳු, දිමුතු, අම්රාන්, ධම්මික, කෙන්, වසික හා මමද ඇතුළුව 9 දෙනෙකුගෙන් සමන්විතවී තිබුනි.
මෙම කණ්ඩායම; ප්‍රියන්ජන් - වසික, පසිඳු - දිමුතු, අම්රාන්-ධම්මික  හා තෙශාන්ත හා මම; යුගල හතරක් ලෙස Two Man Kayak හතරක්ද කෙන් තනිව One Man Kayak එකක්ද යනුවෙන් කයාක පහක් මෙම ගමන යන්නට උපයෝගී කර ගැනීමට  අප සැලසුම් කර කලෙමු.

ප්‍රියන්ජන් හට පිහිනීමේ හැකියාවක් නැති අතර ඔහු යුගල ගත  කලේ පිහිනුම් ශූරයෙකු මෙන්ම  ජීවිතාරක්ෂකයෙකුවූ වසික සමගිනි.  “ප්‍රියන්ජන් අංකල්ගේ” කථා ඇසීමට ලොල්වූ නිසාත් වගකීම් දැරීමට ඇති ලෝභකම නිසාත් වසික මෙයට විශේෂයෙන්ම කැමතිවිය.  එසේම ශරීර ශක්තිතියෙන් වසිකගේ ඇති කැපී පෙනීම; මා හා සම වයසේ උන් ප්‍රියන්ජන්හට වඩාත් ප්‍රයෝජනවත් වේ යැයි මා මෙන්ම වසිකද එකසේ සිතීය.
පසිඳු - දිමුතු කණ්ඩායම ගත් කල පලපුරුදු “නාවිකයා” වූයේ පසිඳුය. දිමුතු පසිඳුගේ මිතුරාය. පසිඳු; මා සමගින්  කැළණි ගඟේ හක්බෙල්ලාවක සිට රංවල දක්වා පැමින පලපුරුද්දක් ඇති අයෙකි. දිමුතු හා පසිඳු එක් යුගලයක් බවට පත්කලේ එම කාරණා හේතුකොට ගෙනය.
අම්රාන් - ධම්මික එක් ගොනුවක් බවට පත්කලේද එම සිද්ධාන්තයට අනුවය.
කලක සිට තෙශාන්ත මාගේ මිතුරෙකු විය. අප දෙදෙනා අතුරින්  මෙම කාර්‍යයේ වැඩි පලපුරුද්දක් හා පිහිනීම හා ජීවිතාරක්ෂක ගලවා ගැනීම පිළිබඳව තරමකහෝ හැකියාවක් ඇති අය මා බැවින් අපදෙදෙනා එක කයාකයේ දෙකෙලවර පදින්නට එකඟ විමු.
කෙන් වඩාත් පලපුරුද්දකට හිමි දක්ෂයාය. හදිසි අවස්ථාවකදී කිසිවෙකුවෙත ලඟාවීමට හා ගලවා ගැනීමට ඔහු වෙත පුහුණුවක් තිබිය යුතුය. එහෙයින් One man හෙවත්  Solo කයායයක් සහොතව ඔහුව මෙම ගමනට එක් කරගැනීම වඩාත් ස්ථානෝචිත විය. එසේම කණ්ඩායම 9 ක් වන හෙයින් එක් අයෙකු අනිවාර්‍යයෙන්ම  තනිව Solo එකක  පැමිණිය යුතුම විය. ඒ සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා වූයේ මේ බුහුටි තරුණයාමය!

අප ගමනරම්භය සඳහා තෝරාගැනීමට බලාපොරොත්තු වන්නේ; බොහෝ දෙනා මෙන්ම මහියංගනයේ නිපෝන් නොහොත් සකුරා පාලම පාමුලින්ය. ගමන සඳහා යොදාගන්නා කයාක කොළඹ සිට මහියංගනයට      ප්‍රවාහනය කරගතයුතුවේ. නිරුපද්‍රිතව අප මනම්පිටියට ලඟාවුවහොත් නැවත මනම්පිටියේ  සිට කොළඹට මේ සියල්ල නැවත ගෙන ඒමට ක්‍රමෝපායයක් අපට අව්ශ්‍ය විය.

මා කලින් සඳහන් කල Borderlands, Lanka Adventures වැනි ආයතන මගින් විශාල මුදලක් අයකොට කරණු ලබන යටිතල පහසුකම් සැලසීමේදී මෙවැනි ප්‍රවාහන කටයුතු    කිරීමට වෙනම කණ්ඩායම් හා ඒ සඳහා විශේෂයෙන් සැකසූ රථ යොදාගනු ලබයි.

මේ ගමන වෙනුවෙන් දින 3 ක් සඳහා ලොරියක් අවශ්‍ය වූ අතර ඒ ගැන සොයා බැලීම තෙශාන්ත භාර ගත්තේය. කොළඹසිට මහියංගනයටත් එහිසිට මනම්පිටියටත් මනම්පිටියේසිට කොළඹටත් යන මුළු ගමන් ගමන් කරමින්; දින තුනක් පුරා රැඳෙමින් සේවය සැපයීමට ලොරිහිමියෙකු රුපියල් 50,000 ක මුදලක් අවශ්‍ය බව පැවසූ බව තෙශාන්ත මාහා පැවසීය! 
එම මුදල ‘ අපක්ණ්ඩායමේ එක් අයෙකු සමස්ථ ගමන සඳහා යෙදවිය යුතු මුදල රුපියල් 5500 කින් ඉහල දැමීමට හේතුවිය ! එයට අමතරව අහාර , කුලී පදනම මත ලබාගන්නට බලාපොරොත්තුවන කයාක සඳහා ගෙවිය යුතු  මුදල් , මගවියදම් සියල්ල ගනනය කලවිට; එක් අයෙකුට දැරිය යුතු මුදල විශාල අගයකට ඉහල නැංවීමට මෙම අගය සමත් විය.

නිශ්චිත වශ්යෙන්ම අපගේ කයාක් ප්‍රවාහනය ඇතුළු සමස්ථ වියදම කොතරම්වේදැයි ගනනය  කිරීමට අපට සැලකිය යුතු කාලයක් ගතවිය.මෙම ප්‍රවාහන කටයුත්ත සඳහා දැරිය යුතු වියදම සොයා බැලීම, අහාර වට්ටෝරු සොයාබලා එය නැවත සකස් කිරීම හා අවශ්‍ය ද්‍රව්‍යය ලැයිස්තුව සැකසීම, මහියංගනයෙන් උදෑසන අහාර සපයා ගැනීමට ස්ථානයක් සොයා බැලීම හා ඒ සඳහා වැයවන මුදල අප වෙත  දැන්වීම   යන කාරණා පැවරී තිබුනේ තෙශාන්ත මුල්කිරිගල වෙතය. ඇත්තෙන්ම එය ඔහුවෙත අප විසින් පැවරීමක් නොව ඔහු විසින් පවර ගැනීමක් විය! 

එහෙත් එම දිනවල තෙශාන්ත වෙත් ඔහුගේ කාර්‍යාලයයෙන් පැවරී තිබුනු වැඩ අධික බව හා ඕනෑම කටයුත්තක් අන්තිම මොහොතේ කුමන අකාරයකින් හා කුමන තත්ව මට්ටමකින් ඉටුකොට ගැනීමටත්  ඉන් සෑහීමකට පත්වීමටත් තිබුනු හුරුව නිසාත් තෙශාන්තගෙන් කණ්ඩායම වෙත අව්ශ්‍ය දත්ත සැපයීප සඳහා ගතවූ කාලය තරමක් අධික විය.

මෙය කෙන් සහ වසික වැනි; ඒ වන විටත් අධ්‍යාපනයේ නියුතු අයහට  තරමක ගැටළුවක් විය. තමන්ට ස්ථිර හෝ අස්ථිර ආදායම් මාර්ගයක් නොමැති ඔවුන් හට පමනක් නොව ඔවුන්ගෙ දෙමාපියනටද මෙය ප්‍රශ්නයක් වූවාට සැක නැත!
මේ කාලය වන විට අප කණ්ඩායම අතර දිනපතා e mail පණිවිඩ සංසරණය වූ අතර ඒවාට නිරන්තරයෙන්  පිළිතුරු සැපයීම, අළුත් අදහස් මගින් කණ්ඩායම පෝෂනය කිරීම සිදුවූයේ පසිඳු, තෙශාන්ත හා ප්‍රියන්ජන් වෙතින් පමනි. අපගේ කණ්ඩායමේ අදරනීය අනෙකුත් ලිපිය  කියැවූ බවවත් දන්වා  එවීමට කාරුණික නොවීය!

අප අපගේ ගමන සඳහා අගෝස්තු මාසය පසුකොට දිනයක් යොදා ගැනීමට  හේතුවූයේ එවකට පාසල් සිසුවෙකුවූ වසිකගේ උසස් පෙළ විභාගය අවසන් වන තුරු බලාසිටින්නට සිදුවූ නිසාය.

පෙර මා සඳහන් කල පරිදි 2015 ජුලි 18 දින සිදුවූ අපගේ ප්‍රථම හමුවෙන් පසු දිනෙක ප්‍රියන්ජන් විසින් ලියන ලද  e- mail පණිවිඩයක් අපවෙත ලැබුනි. කලෙක සිට ඔහුගේ සිතේ පැවති සිහිනය අපවෙත කියා පෑවේය. එයට අනුව ඔහුට මෙම මහවැළි චාරිකාව සිදුකිරීමට අවශ්‍යව තිබී ඇත්තේ කිරිගල්පොත්තේ  සිට තිකුණාමළයේ කොඩ්ඩියාර් බොක්ක දක්වා අදියර තුනක් යටතේය. 
ඉන් පළමු වැන්න කිරිගල්පොත්තේ සිට මහියංගනය දක්වා පාපැදියෙන්ද; මහියංගනයේ සිට හැකි උපරීම දුරකට යාත්‍රා මගින්ද; අවසාන කොටස පාගමනින්ද අවසන් කිරීමට නිම කිරීම මේ අපූර්ව සිහිනය විය. 
දැනට ඔහු අප හා එක්වන්නේ එහි මැදි කොටස සම්පූර්ණ කරගැනීමට වන අතර ඉතිරි කොටස් දෙක සඳහා එක්වන ලෙස විවෘථ ආරාධානයක් අප කණ්ඩායම වෙතටද එවා තිබුනි!
මේ වන විට කයෑක් සම්බන්ධයෙන් මා සතුව තිබූ සියළු ලිඛිත දැනුම අප කණ්ඩායමේ අන් අය අතර Scan කොට යවමින් විය. අභාග්‍යයකි! ඒවා ඔවුන් වෙත ලැබුනු බව; මා අද වනතුරාවට දන්නේ නැත.

මේ වන විට රජ රටට එනම් වියළි කලාපයට ; මෝසම් සුලං සක්‍රීය වීමට ආසන්න වීමත් ; සංවහන වැසි අතරින් පතර වැසීමත් සිදු වෙන්නට පටන් ගනිමින් විය.

2015 අගෝස්තු මස 26 වන දිනය වනතුරු ද වියදම් සටහන සැකසීම භාරගෙන තිබූ තෙශාන්ත මුල්කිරිගලගෙන් කිසිදු ප්‍රථිචාරයක් නොවීය.
කුලී පදනම මත සපයා ගතයුතුව පැවති කයාක පිළිබඳව සම්බන්ධීකරණය කිරීමට පසිඳු පටන් ගෙන තිබුනි. මේ වන විට දිමුතු පසිඳු සමග තම පුහුණු සැසිය සාර්ථකව පවත්වා තිබුනි. ඒ සඳහා ඔවුන් තෝරා ගෙන තිබුනේ කරවනැල්ලත් යටයන්තොටත් අතර පිහිටි කබුළුමුල්ලේ ඉපැරණි පත්තිනි දේවාලය අසල තොටුපොලය.

ඒ වනතෙක්  ප්‍රියන්ජන්හට පුහුණුවක් ලබා ගැනීමට අපොහොසත් වූයේ ඔහු මේ අතර කාලය තුල අගනුවරට නොපැමිනීම හා පැමිණියද ඒ වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට ඔහුට නොහැකි වීම නිසාය.

සැප්තැම්බර් 10 වන විටත් ගමනට ගතවන වියදම; කණ්ඩායම වෙත දැනුම් දීමට අප අපොහොසත් විමු. අම්රාන් අතාස් මාවෙත ඊ මේල් පණිවිඩයක් එවමින්; එළඹෙන සඳුදා දිනයේ එනම් සැප්තැම්බර් 14 වන විටදීවත් වියදම පිළිබඳව දළ අදහසක් හෝ අබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

සැප්තැම්බර 12 වන දින අපවෙත දීර්ඝ ලිපියක් ලියන ප්‍රියන්ජන්; අපගේ ආහාර වට්ටෝරුව හා ගෙන යාමට නියමිත බඩු බාහිරාදිය විශේෂ කරුණු රාශියක් ගොනුකොට තිබුනි. 
අංක 8 ක් යටතේ වැදගත් කරුණු  රාශියක්  එක් කල තිබූ අතර අවසානයේ එහි අන්තර්ගතය වූයේ කාලය ගතවන, බර වැඩි වෙන, වැඩි ඉඩක් ගන්නා අහාර වට්ටෝරු වලින් මිදී; සමපෝෂ, මැගී නූඩ්ල්ස්, වැනි සැහැල්ලු අහාරයකින් සංතෘප්තවී මෙම ගමන යන්නේ නම් බොහෝ කාලය  හා ශ්‍රමය  ඉතිරිවන බවත්ය.  
මෙය ඉතා වැදගත් අදහසක් බව අදද මාගේ පිළිගැනීම වන්නේය. මන්ද ඔහු හැරුණු විට කිසිවෙකු වෙතින් ඒ වනතුරු   එවන් අදහසක් ඉදිරිපත් නොවීම නිසාය. ඔහුගේම වචන වලින් කියනවා නම් "බරපතල ඉහුම් පිහුම් කටයුතු වලින් " වැලකී සිටීම ප්‍රඥ්ඥා ගෝචර බවය. 
මෙවැනි චාරිකාවක් සඳහා තමන් සතු දැනුම අල්ප බව නිහතමාණීව පිළිගන්නා ප්‍රියන්ජන්; මේ සම්බධයෙන් සිතන්නට අපට ඇරයුම් කොට තිබුනේය. ඔහුගේ එම අදහස එතෙක් පැවති අපගේ සැලැස්ම වෙනත් මගකට යොමු කිරීමට සමත් විය. එදිනම එම යෝජනාව පසිඳු වෙතින් ස්ථිර වී තිබුනි.

ඒ වන විට තෙශාන්තගේ මිතුරෙකු විසින් මහියංගනයේ පවත්වාගෙන යන ද නෙස්ට් නම් වූ කුඩා අවන්හලෙන් අපට අවශ්ය  උදෑසන  හා දිවා අහාර ලබාගත හැකි බවත්   වස්ගමුව කැලය මැද ගතකරණ රාත්‍රියේ අහාර සඳහා  BBQ කරගැනීමට අවශ්ය කිලෝ හතරක්වූ කුකුළු මස් තොගයද කුළු බඩු යොදා පදම් කොට සකස් කොට සැපයීම ඇතුළු සියල්ල සඳහා ඔවුන්ගේ අයකිරීම රුපියල් 7000 ක් බවත් තෙශාන්ත  අපව දැනුවත් කලේය. මෙය ඉතා සාධාරණ මුදලක් වන බැවින් එයට  අප බහුතරයේ කැමැත්ත හිමිවිය .

තවත් දින කිහිපයක් ගතවෙත්ම මාහටද රුපියල් 30000 කට ට්‍රක් රථයක් සොයා ගැනීමට හැකිවිය. ඒ කඩවතින්ය. සැප්තැම්බර් 18 ප්‍රියන්ජන් නැවත කොළඹ පැමිනීමට යොදාගෙන තිබුනි. ට්‍රක් රථය රුපියල් 28000 කට සැපයීමට ලොරි හිමියා  එදින මා සමග එකඟ විය. සැප්තැම්බර් 19 හො 20 උදෑසන නැවත ප්‍රියන්ජන්, තෙශාන්ත,  අම්රාන්, වසික හා මා දියවන්නාව අසල පුරුදු සෙවනේදි හමු වුනෙමු. අම්රාන් එම ස්ථානයට පැමිණියේ ඔහුගේ Trek පා පැදියෙන්ය. තෙශාන්ත ඔහුගේ XR 250 යතුරු පැදියෙන් එහි පමිනියේය. අප බොහෝ වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී සිට වෙන්වූයේ ඉතිරි දින කිහිපය තුලදී මහියංගනයේ නිපෝන් පාලම අසලදී හමුවන බලාපොරොත්තුව හිත තබාගෙනය.

ඊට දින කිහිපයකට පෙර ප්‍රියන්ජන් තම හිතමිතුරු යොහාන්ගේ සහයෙන් කයාකයක් පැද කිසියම් හුරුවක් ලබා ගත් බවද හේ සිනහ වෙමින් පැවසීය.
සැප්තැම්බර් 22 ව්න විට අප ගේ සැලැස්මේ උච්ඡතම ස්ථානයට පත්ව තිබුනි.
 තවත් කල් ගතවුව හොත් වැසි පටන් ගැන්ම සමග අපගේ සැලැස්ම තවත් මාස 6 කින් හෝ වසරකින් පමා කරණ්නට සිදුවනු ඇත!

අප සියළු කටයුතු සැලසුම් කරගෙන දිනය යොදා ගැන්මට වඩා දිනය සැලසුම් කරගෙන එයට අදාල වන සේ අනෙකුත් සියළු කරුණු  සකසා ගැනීම වඩාත් සාර්ථක බව තෙරුම් ගනිමින් විය.
අප දිනය ස්ථිර කර ගත්තෙමු!

ඔක්තෝබර 2 , 3 , 4 මේ සඳහා යොදා ගැන්මට අප එකඟ විමු!




23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...