Saturday, September 17, 2022

243. මව්බිම වටා සයිකලයෙන් . . . 6

2022/04/13





"රූපයක් වචන දහසක් අමතයි!" අමතයි යනු පිළිගත් අදහසකි. සමහර විට මෙය වඩාත් වලංගුවන්නේ අප වැනි ලියන්නන්හට විය යුතුය. මන්ද; ලෝකයේ ශ්‍රේෂ්ඨ නවකථා සියල්ල  වචන ගෙත්තම් විනා චිත්‍ර කථා නොවේ! එහෙත් මම මෙම ලිපි පෙල ඇරඹුමේ සිට සිතියම්, පිංතූර පමණක් නොව එම චාරිකාව සමග සමාන්තරව දිවුනු WhatsApp කථිකාවද මෙයට එක් කොට ගැට ගසා ඇත. ඒ නිසාම මෙම ලිපි මාලාව තුල; මාගේ ලිවීමට අමතරව ඡායාරූප සාක්ෂි සටහන් නැරඹීමටද ඒ සෑම අවස්ථාවක්ම කාචයේ සටහන් වූ වේලාව පිළිබඳවද අදහසක් එක් කර ගැනීමට අවකාශය සැකසෙනු ඇත!
ඒ සියල්ලටම වඩා එම ගමනේදී එදා අප අත්විඳි දේ පිළිබඳව එම මොහොතේම හෝ එදින තුල අප ගේ සිතුවිලිද ඊට අප සමග සිටි අපගේ  සහෘදයින් දැක්වූ අදහස් පිළිබඳවද කියැවීමක් ලැබීමට හැකියාවක් ලැබේ. 
මෙම ලිපිය සකසා ඇත්තේ හුදෙක් WhatsApp කථිකාවට එකතු කල අයිසිං වලිනි. එය රස විඳිනු ඇතැයි මා සිතමි! සෑම දිනෙක සේම එදිනද දිනය ඇරඹෙන්නේ Whats App සමූහය වෙත ඇමතීමෙනි. මේ එතැන් සිට:-


සෑම දිනෙකම උදෑසන 4.00ට පමණ අවදිවන නිශාන් එතැන් සිට කරණු ලබන සූදානම්, වීම් ඇහිරීම්, ඇඳ ගැනීම් - නැවත ගැලවීම් ආදියට අමතරව එදිනට නියමිත ගමන පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමට අමතක නොකරයි. 
මෙය සිදු කරණ්නේ; පෙර දින රාත්‍රියේ කරණු ලබන විග්‍රහයට අමතරවය! සෑම දිනෙකම රාත්‍රියේ නින්දට යාමට පෙර නිශාන් විසින් පසුදින ගමන් මග "ගූගල් අහසේ" සිට නිරීක්ෂණය කිරීම සිරිතක් සේ කරගෙන යනු ලැබීය. ඒ සෑම අවස්ථාවකදීම ඔහු විසින් උපයා සපයා ගනු ලැබූ දැනුම, විස්තරය, තොරතුර මා සමග බෙදා ගත්තේ; ඔහුගේ සෙල්ෆෝනය සමග මාගේ උපැස් යුවල මා අසලටම ගෙන පැමිණෙමින්ය! ඒ එදින ගමන් කල දුර, සාමාන්‍ය වේගය, දිනයේ සිදුවුනු වෙනත් සුවිශේෂී කරුණු පිළිබඳව කෙටි සමාලෝචනයකින් පසුවය! එය මීට කලකට පෙර; ඉරිදා රාත්‍රී 8.15 ට  ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ප්‍රේමසර ඇපාසිංහයන් ඉදිරිපත්කල "බිස්ටල් ක්‍රීඩා විසිතුරු" වැඩසටහන මෙනි!
පසුදින ගමන පිටත් වන්නට ප්‍රථම කරණු ලබන්නේ "හරි-වැරදි" බැලීමක් විය යුතුය.
පෙරකී "ඉව ඇල්ලීම" ද සිදුවන්නේද ගූගල් සිතියම් අනුසාරයෙනි.
පෙරදින අප නැවතී සිටි ස්ථානයේ අයෙක් වෙතින්; පසු දින උදයේ "බිත්තර රොටිය" පිළිබඳ කිසියම් අදහසක් සිතුවිල්ලක් ගොඩ නගා ගනු ලබන අතර පසුදින උදයේ හමුවන නන්නාඳුනනා අයගෙන් ලබා ගන්නා තොරතුරුද එක්ව, කැටිව ගෙන පත අට එකට දමා පත බාගයට සිඳුවා එයට අනුපාන දමා; එදින උදෑසන "බිත්තර රොටිය" කන ස්ථානය පිළිබඳව දළ අදහසක් සකසා ගනී!
නිශාන්ගේ උදෑසන විග්‍රහයේ පරිදිද, ලැගුම්පල අයිතිකරුගේ අදහස් වලට අනුවද බිත්තර රොටියක් තබා ප්ලේන්ටියක්වත් ලබා ගැනීමට අතර මැද ස්ථානයක් සොයා ගැණීමට වඩා අපිම කඩයක් දමා ගැනීම පහසු කටයුත්තක් වන බවය!
මේ සියල්ල නිසාම උදෑසන කිස සපයා ගැනීම  සඳහා අප නවාතැන් ගත් පොතුවිල් නගරයේම අවන්හලක් තෝරා ගත්තෙමු. 
අපගේ ජාතික ආහාරය සැකසීම ඒ වනවිටත් අරඹා නොමැති බැවින් ඔවුන් අසල් වැසි අවන්හලකින් සංක්‍රමණය කරවා අප වෙත පිළිගැන්වීය!
"එවන් සුපිරි කෑමක්! උණු උණුවේම . . . .  . !!"
මේ සියළු ආරළු බූරුළු මැද අපගේ ගමන් ඇරඹීම තරමක් පහුවිය!






නිශාන්ගේ බිරිඳදගේ නිර්මාණ්ශීලී පැතුම!




6.29AM
දිනයේ පැදීම ඇරඹීමත් සමග ගමන් මග වැටී ඇත්තේ සාරවත් කෙත් වතු යායක් මැදින්ය. වැසි බර කාලගුණයක් දිස්වෙමින් තිබුනු අහස දිනයේ අරුණළු සඟවාගෙන සිටියේය. කොල පැහැති ගොයම පෙරදින වට වැස්සෙන් හෝ රාත්‍රියේ වට පින්නෙන් තෙමී; තෙත බරිතව බිමට හිස නමාගෙනය. ඒ සියල්ල පිසදා හමා එන සුළඟ සිරුර සිසිල් කරමින් ගලා ගියේය. 
සයිකල් පැදීම හෝ වෙනයම් ක්‍රීඩාවක් හෝ වේවා කරගෙන යාමට සිරුර තරමක් උණුසුම්ව තිබිය යුතුය. "සයිකල් පදින කොට වහින එක හොඳයි නේද?" බොහෝ අය අසන පැනයකි. කර්කශක දැඩි හිරු රශ්මියට වඩා වැස්සකට තෙමෙමින් පැදීමට ලකුණු දිය හැකි වුවද උදේ වරුවේ පවතින සෞම්‍ය කාලගුණය මෙන් වැසි මැද පැදීම පිළිබඳව මාහට ඇත්තේ අකමැත්තකි! වරක් මා මහ වැස්සක; මේඝ ගර්ජනා මැද කරුවල සැඳෑවක සයිකලයකින් ගිය ගමනක් මගේ හදවතේ සනිටුහන්ව පවතී. සිරුර තරමක් උණුසුම්ව පවතින විට මෙන් වැසි වැටෙද්දී මාංශ පේශීන් හොඳින් ක්‍රියාත්මක නොවන බවක් මාහට දැනේ. ඒ සමග පාදයේ පේශීන් හිරවන බවකි.
මෙදින උදෑසන පැවති සිසිල් බවද සිරුරට ගෙනාවේ ප්‍රභෝධයක් නම් නොවේ. එහෙත් එය වැස්සකට තෙමෙනවා වැනි අප්‍රසන්න හැඟීමක් නම් නොවේ. 
First Inter - Monsoon Season 
(March - April)
කෙත්වතු පසුකොට ඉදිරියට පැද යාමේදී ගමන් මග ඇදී ගියේ වඩාත් සුන්දර වූ ජලාශ්‍රිත ප්‍රදේශයක් පසුකරමින්ය. පසු ගිය කාලය පුරාවට වට වැස්සෙන් පිරී ඉතිරී ගොසින්ය. 
ශ්‍රී ලංකාවට මාර්තු - අප්‍රේල් කාලයට අහස් දිය ගෙන එන්නේ; ප්‍රථම අන්තර් මෝසම් වර්ෂාවෙනි. මෙම කාලය පුරාවට නැගෙනහිර පලාතට මිලී මීටර 200 ක උපරිම වර්ෂාපතනයකට යටත්වය. මේ නිසාම මුළු නැගෙනහිර පලාතේ ඇති වැසි දියෙන් පෝෂණය ලබන ලොකු කුඩා වැව් පොකුණු ජලාශ හා ඒවායෙන් දිවිය අරඹන ලොකු කුඩා ගංගා ඇල දොළ නව ප්‍රබෝධයකින් ඔකඳව සිටිනු දක්නට ලැබේ.  මේ නිසාම අප පසු කල සෑම ලොකු කුඩා පාලමක් බෝක්කුවක් යට දියෙන් පිරී පැවතුනි.
6.41AM

"දහස් වටින පයක් හිමි" දිල් රුක් ගේ පැතුම!

පොතුවිල් නගරයෙන් පිටමංවූ අපගේ පලමු ඉලකය වූයේ ලංකාවේ නැගෙණහිර ඉම වූ  සංගමන්කන්ද තුඩුවට ලඟාවීමය. 
පොතුවිල් සිට සංගමන්කන්ද තුඩුව වෙත යෙදෙන ගමනේදී පසුකරණ වැදගත් ස්ථානයකි කෝමාරි වේලි මග! එම වේලිමග නොහොත් පාලම මතින් ගමන් ගන්නා විට දකුණු පසින් නැගෙණහිර මුහුද දිස්වේ.

මීට වසර 4 කට පෙර ප්‍රවීන් සිවාජිලිංගම් විසින් 
තම කාචයේ සටහන් කර ගනු ලැබූ; 
කෝමාරියේ මුකුළිත  බව!

මගේ ඇසින් කෝමාරිය!
7.03AM

7.05AM

7.05AM
අපගේ WhatsApp සමූහයේ සිටි හිඹුටානේ නිරෝෂන් කොටිගල අයියා විසින් දක්වා තිබුනු පරිදි සංගමන් කන්ද තුඩුව වෙතට ලඟා වීමට අපට තිබුනේ කිලෝමීටර 20ක පමණ දුරකි.
7.20AM
ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර 650610 කින් යුක්ත වන අතර එහි මුහුදු තීරයේ දිග කිලෝමීටර 1340ක් වේ. දිගින් කිලෝමීටර 432ක් වන අතර පළලින් කිලෝමිටර 224කි. මෙම දිග මැනෙන්නේ  පේදුරු තුඩුවේ දෙවුන්දර තුඩුව වෙත වන අතර පළලේ මිනුම වන්නේ කොළඹ හා සංගමන්කන්ද තුඩුව අතරය. මෙම ස්ථාන හතරේම ප්‍රදීපස්ථම්භ හෙවත් ප්‍රදීපාගාර පිහිටුවා තිබීමද සුවිශේෂී කාරණාවකි. එසේම මෙම ස්ථානවල තැපැල් පෙට්ටි පැවතීමද දැකිය හැක!

7.26AM
සංගමන්කන්ද තැපැල් පෙට්ටිය; පාරේ වම්පස සවිකොට තිබුනි. එහි ළඟා වන බොහෝ සංචාරකයින් විසින් තමන්ගේ නමට ලියන ලද තැපැල් පතක් ලියා මෙහි බහාලීම සිරිතකි. එය රටේ කුමන ඉමකට ගිය සංචාරකයෙකු විසින් සිදු කරණ සිරිතකි. එහෙත් කරුමෙක මහත! අප අත එවන් තැපැල් පත් තබා මුද්දර වාටියක් වත් නොවීය. මේ නිසාම තැපැල් පෙට්ටියේ ඡායාරූපයක් ගැනීමෙන් සැනසුනු අප එතැනින් ඉදිරියට පදින්නට විය. 
මාහටත් වඩා මාගේ ගමන් සගයා ස්ථානීය සාක්ෂි පිළිබඳව මහත් අභිරුචියකින් ක්‍රියා කරන්නෙකු විය. මා ඒ පිළිබඳව දැක්වූයේ ඇල්මැරුණු ආකල්පයකි. ඒ නිසාම අප; යාපා පටුනට ගිය ගමන පිළිබඳව ඇත්තේ නල්ලූර් කෝවිල අසල ඡායාරූප මතකයක් පමණි! එම ගමනේදී නිශාන්හා මධූහට (විශේෂයෙන් නිශාන්හට) යාපනය දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ඡායාරූපයක් ගැනීමට ඇවැසි උනත් මා එය නිර්දය ලෙස ප්‍රථික්ෂේප කිරීම පිළිබඳව මා තුල අදටත් පවතින්නේ කණගාටුවකි. 
සංගමන්කන්ද තැපැල් පෙට්ටියේ රූගතකිරීම් වලින් අනතුරුව පැද යාම ඇරඹුවද ඉන් ඉතා කෙටි දුරක් අතර හමුවූ කුඩා කැලෑ මණ්ඩිය ස්නායු පද්ධතිය වෙත ගෙන ආවේ අවකාශයට නිරාවරණය වීමේ අවශ්‍යතාවයකි. මා ඊට නැවතී නැවත ගමන් අරඹන විට නිශාන්; නොපෙනෙන දුරක් ගමන් කොට තිබුනි. එයට ප්‍රධාන හේතුව; මා ඒ සඳහා ඔහුට අවසරය දීමම විය හැකිය. එතැන් සිට කිලෝමීටර ගනන් දිගැති මාර්ගයන් තුල ඔහු නොපෙනෙන ඈතක ගමන් කොට තිබුනි. 
එය මා ඔහුගෙන් යාපනය සංචාරය තුලදීද දුටුව ගුණාංගයකි. මේ නිසාම එතැන් පටන් බොහෝ වේලාවක් යනතුරු ඔහුව දකින්නට නොලැබුනු අතර මමද මාගේ රිදමයෙන් පැදීම කරගෙන යෑම කරගෙන ගියෙමි. මෙවන් දීර්ඝ සංචාරවලදී; තමා හැර ගියවුන් සොයා හැල්මේ පැදීම නොකල යුතු එකක් සේ මා දකිමි. අප අපගේ ශක්තිය; දිනය පුරා පැදීම සඳහා පවත්වා ගත යුතුය. එසේම සයිකලයේ හෝ තමාගේ ශරීරයේ සිදුවිය හැකි ආපදාවක් කරණ කොට ගෙන සියළුම කටයුතු අවුල් වීමට ඉඩක් තිබේ. 
මේ නිසාම මා මාගේ රිදමයෙන් ඉදිරියට පැදයමින් විය. ඒ සමගම මාගේ සිතට ගලා ආවේ; මේ රටේ එක් ඉමක් වුනි නම් මුහුද නොපෙනෙන්නේ මන්ද?" යන පැනයය! එසේම සිව්කොනේ ප්‍රදීපාගාර පිහිටා ඇත්නම් සංගමන්කන්ද Light House එක කොහිද? මා මගෙන්ම ඇසුවෙමි. ගමන් මගේ ඊළඟ සංදිස්ථානය වූයේ කුඩා මංසංදියකි. මෙය හරියටම දැනෙන්නට කියනවානම් පුංචි හංදියකි; කඩ කාමර හතරක් පහක් ඇති. එහි කුඩා කෑම කඩයක්, හා බාබර් සාප්පුවක්, සිල්ලර කඩයක්, එළවළු ලෑල්ලක් පිහිටා තිබුනි. එතැන බසයකට නගින්නට සුළු පිරිසක්ද විය. මා ඔවුන් වෙත ලඟාවී මේ පිළිබඳව මහත් ආයාසයකින් නිශාන් පිළිබඳව විමසුවද ඔවුන් ගෙන් කිසිදු යහපත් ප්‍රථිචාරයක් හෝ ආරංචික නොලැබුනි. "නිශාන් කොහි ගියාද?, ඔහු ප්‍රදීපාගාරය සොයා ගියේද???  සිතා ගත නොහැක! ඒ පිළිබඳව සැක හැර දැන ගැන්නීමට නොහැකි වන තරම් එතැන සිට පිරිස හා මා අතර භාෂාමය බාධකයක් පැවතුනි! පසුව ඔවුන්ගෙන් ප්‍රදීපාගාරය පිළිබඳව; "Light House?" යැයි විමසූ විට ඔවුන්; මාර්ගයේ දකුණු පසට එනම් රටේ නැගෙණහිර දෙසට විහිදුනු දෙවැටක් පෙන්වීය. මීට දශක ගනනාවකට පෙර තාර අතුරා  තිබුනු මාර්ගයේ දැනට මතුපිට පැවතියේ ඊට දුර්වල සාක්ෂි පමණි. මාර්ගය අඩි දහයක දොළහක පළලකින් යුක්ත විය. 
සීතාවක රජ දවස සිටි "අරිට්ඨ කීවෙන්ඩු" නම් ඉන්දීය සම්භවයක් පූජකයා අවසානයේ පැවසූ පරිද්දෙන්;  "රාජාහෝ - මාහෝ - ගංගාහෝ" කියා නන්නාදුනනා පාරකට මමත් වැටුනෙමි. පසුවෙන සෑම මීටර 100කින් - 200 කින්ම පාර වඩ වඩාත් ග්‍රාමීය වූ අතර ජනශූන්‍ය විය. අඩි 10-12 පාර අඩි 4 -5ට කෙට්ටුවී අවසානයේ අඩි පාරකට නැඹුරු විය. කුඩා බෝක්කුවක් හා සපත්තු පාලමක් - පාලමක් කීවාට එයද අඩි 4 ක පලලින් හා අඩි 6-7 ක් පසු කරමින් තවත් ඈතට පැද ගියෙමි. සපත්තු පාලම මතින් අඟල් 9 ක පමණ දිය දහරාවක් පැතිරී තිබුනි. එතැණ් සිට මා නිශාන් ඇමතීමට උත්සාහ කලද "ඩයලොග්" ඊට හරස් විය.   එම අඩිපාර දිවුනේ කුඩා ලඳු කැලෑ රොදවල් හා පුරන් වී ගිය කුඹුරු අද්දරනි. කැලෑ රොද හරකුන් විසින් උලා කා බිම්මට්ටමට ගෙවුනු තණ තලාවකින් වැසී ගොසිනි. වම් පසින් ඇති පෙර කී කුඹුරු ලියැදි කිහිපය ට ඔබ්බෙන් ඈතින් උස් ගස් පේලියකි. ඒවා අතර තල් ගසුත් තිබුනාද කියා දැන් මතකයට නො ඒ! ගස් පේලියට ඔබ්බෙන් වගා බිමකි. එහෙත් එහි කිසිවෙකු පෙනෙන්නට නොසිටියේය. එම වගා බිමේ පොලොව සකස් කර තිබුනේ කිසියම් වගාවක් සඳහා වියයුතුය. දකුණු පසින් වූ; මා පෙර කී වන රොද කුඩා පඳුරු ගැවසී ගත්තේය. එය අපට හුරු පුරුදු දං කැලයක් සේය. මේ සියල්ල අතරින් මිනිස් පුළුටක් නොමැති ඉසව්වක ප්‍රදීපාගාරයක් සොයා මා සයිකලය පදිමින්ය. අඩි පාර ගොස් වැටුනේ පස් මං හංදියකටය. එතැනින් ප්‍රදීපා ගාරය සොයා යා යුත්තේ කුමණ මාරගයේදැයි සිතා ගත නොහැක. ඉන් එක් මාර්ගයක් තෝරා ගෙන මා ඉදීයටම ගියෙමි. 
අප කුමණ රාත්‍රියක අවදි වූවද ඔරලෝසුව නොබලා ඒ දිනයේ කුමන හෝරාවදැයි යම් අදහසක් ගොඩනගා ගත හැකිවේ. එයට උදව් වන්නේ අපගේ සිරුරේ ඇති "ජීව ඔරලෝසුවයි"! එසේම කල්පණාවෙන් යුතුව ගමනක යෙදෙනා විට; එම මාර්ගය කුමණ අතකට හැරුනද අදාල අවස්ථාවේදී අප ගමන් කරමින් සිටින්නේ කුමණ දිශාවකට දැයි දළ අදහසක් සිතේ ඇතිවේ. පස් මං හංදියෙන් ඔබ්බට දිවෙන තවත් අඩි පාර හතරක් තිබුනත් මාගේ "ජීව මාළිමාව" තෝරා දුන්නේ ඉන් මාර්ග දෙකක් පමණි. ඉන් එක මාර්ගයක ටික දුරක් ගමන් ගනිද්දී පාරේ තිබුණු දැඩි නො එසේ නම් දෘඪ ස්වභාවය; මා ආපසු හරවනු ලැබීය. මන්ද වෙරළක් ආසන්නයට දිවෙන මාර්ගයක් එසේ ද්‍රඪ වීමට ඉඩක් නොමැත. එය වඩ වඩාත් මෘදු වැලි වලින් වැසී තිබිය යුතුමය! මෙසේ නැවතත් පස් මං හංදියට පල්ලම් බැස ආ මම; "ජීව මාළිමාවෙන්" තෝරා දී තිබුනු ඉතිරි මාර්ගය ඔස්සේ ගමන් ඇරඹීය. එවර මාගේ නිගමනය නිවැරදි විය. මීටර දෙතුන් සීයක් ගමන් ගනිද්දී එය වඩාත් මෘදු වැලි පාරකට පරිවර්ථනය විය. තවත් ටික දුරක් ගෙවෙද්දී සයිකලය පැද යාම අතිශය අමාරු කටයුත්තක් වන තරමට එහි රෝද එරා ගියේය. මා ගමන පිටත් වීමට ප්‍රථමයෙන් සයිකලය සන්නද්ධ කල Mega Wheel එකටද මා ගෙනයාමට නොහැකි විය. මේ වන විට මා සයිකලය තල්ලු කරමින් වුනු අතර තවත් ටික දුරකින් අඩි පාර වෙනත් දෙසකින් ආ කුඩා පාරකට එක්වී ගමන තරමක් පහසුවිය. 
එම මාර්ගය හරහා කේබලයක් ඇද හරස් කොට තිබුනු අතර එය යටින් රිංගා ගිය මාහට දකින්නට ලැබුනේ පොල් වත්තක් මැද පිහිටා තිබුනු  Chellet පන්නයේ හෝටලයකි. එයට ළඟා වූ මාහට; එහි සිටි කොණ්ඩය උර හිස තෙක් වවා ගත් උස් තරුණයෙකු හමුවූ අතර ඔහුගේ මග පෙන්වීමෙන් එම හෝටලය පසුපස වූ නටබුන් වූ ප්‍රදීපාගාරය සොයා ගැනීමට හැකිවිය. හෝටලයේ මායිම ඔස්සේ වූ එරෙණ සුළු වැල්ලේ සයිකලය තල්ලු කරගෙන වෙරළට ගිය මා හට එය දිස්වූයේ පැරණි බළකොටුවක නශ්ඨාවශේෂ සේය.
එහි ඡායාරූප සාක්ෂි සටහන් කරගත් මා නැවත හෝටලය වෙතට පැමිණ තරුණයා හමුව; ඔහු විසින් යෝජනා කල තේ කෝප්පයද සාදර සිතින් ප්‍රථික්ෂේප කරමින් ආපසු හැරුණෙමි. නැවතත් සුපුරුදු ගමන් මගේ පස්මං හංදිය තෙක් පැමිණි මාහට එතැනින් පහ පාරට එන්නට පටන් ගතිමි. 
මීටර 50 ක පමණ දුරක් පැමිණෙද්දීම එය මා යායුතු මාර්ගය නොවන බව තේරුම් ගිය අතර නැවතත් පස් මං හංදිය වෙත පසු බැසීමි. තව වරක් උත්සාහ කලමුත් එවරත් මා තෝරාගෙන තිබුනේ නිවැරදි මාර්ගය නොවීය. ඒ වන විට මාගේ සිත තරමක් කලබල වී තිබුනි. සිත කලබල නොවී පවත්වා ගැනීමට කෙතරම් උත්සාහ කලද ඊට ඉඩක් නොමැතිවිය. සත්තකින්ම මා අතර මං වී සිටියෙමි. නන්නාදුනනා පලාතක මාගේ භාෂාව නොදත් පරිසරයක මා අතර මං වී ඇත. අසන්නට කෙනෙක් හෝ එසේ සිටියද මා කියන්නක් තේරුම් ගැනීමට හැකි අයෙකු මෙහි නැත. කිසියම් උපද්‍රවයක් සිදුවුවහොත්; මා මිය ගිය බව දන්නා කියන අය දැන ගැනීමට අවම වශයෙන් දින දෙක තුනක් හෝ ගතවේ. වසික මේ හදිස්සියේ එන්නේ ඒ නිසාමද? මෙසේ විනාඩි 15ක පමණ කාලය මිඩංගු කිරීමකින් පසුව නිවැරදි මාර්ගය මාහට තෝරාගත හැකිවිය.
එහෙත් ඒවන විට සයිකලය කිඹුලා බනිස්ගෙඩියක් හෝ චයිනීස් රෝලයක් මෙන් වී තිබුනි. සිහින් වැලි සයිකලයේ නොගිය අස්සක් මුල්ලක් නොමැත. චේන් ස්ප්‍රොකට්ස් ආදී සියළුම කොටස් සිහින් මුහුදු වැළි වලින් පිරී තිබුනු සයිකලයේ රිම්  හා රෝධක කොටස් ගැන කුමණ කථාද? ඒවා සියල්ල වැලි වලින් වැසී ගොසිනි. සයිකලය නැවත පැදීමටනම් එය මුළුමණින්ම පිරිසිදුකල යුතුව තිබුනි. සයිකලය තල්ලු කරගෙන ආපසු සපත්තු පාලම වෙතට පැමිණි මා සයිකලය ඇඟට හේත්තු කරගෙන එයට දෝතින් වතුර ගෙන වක් කරමින් සෝදන්නට විය. මහත්වූ පරිශ්‍රමයකින් පසු සයිකලය යතා තත්වයට ගත් මා නැවතත් සෙමෙන් සෙමෙන් ප්‍රධාන පාර දෙසට පදින්නට විය. සයිකලය නැවත පාරට පැමිණෙන විට පසු පස රෝදයේ අමුත්තක් දැනුනි. රෝදයේ හුළං බින්දුවට ආසන්නයේය. වාසනාව ඒ මොහොතේත් මා සමග සිටගෙනය. පාර මාරුවූ තැනම අහිංසක දුප්පත් වින්කලයක්ය. සයිකලයට එතැන ගාල් කොට අසල වූ හෝටලයෙන් පාරාටා දෙකක් කෑමට මා හැරුනෙමි.
සංගමන්කන්ද ප්‍රදීපාගාරය
7.57AM



Light House Beach Hut - Komariහෝටලය අසලන් 
වෙරළට දිවෙන  වැලි පාර


හිතා ගන්න පුළුවන්ද ගිහින් තියෙන දුර ප්‍රදීපාගාරයක් සොයා!

9.35AM

9.35AM

9.35AM
නැවත අප මුණ ගැසෙන්නේ තව පැය දෙකක් පමණ ඉකුත්ව කිලෝමීටර 25 කට කිට්ටු දුරක් ගිය පසුවය. ඒ අක්කරෙයිපත්තු නගරය ආසන්නයේදීය! මාගේ මතකය නිවැරදි නම්  ඒ පෙරිය කුලම් ජලාශය අවසානයේදීය. ප්සුව ඒ ආසන්නයේ පිහිටි ආපන ශාලාවකින් මොන මොනවාදෝ කාදමා තේ බී අවසානයේ යලිදු පදින්නට විය.
9.48AM

9.48AM












11.28AM

11.29AM

11.55AM

11.55AM


Kalawanchikuddy
12.26AM
අක්කරපත්තුවෙන් පසු ඔලුවිල් පසුකොට කල්මුනෙයි ප්‍රදේශයේ ස්සරවත් කෙත්වතු පසුකරමින් අප එක දිගටම පැමිණියෙමු. කලුවන්චිකුඩි නගරය ආසන්නයෙන් ව්ල්ලාවලි නගරයට හැරෙන හංදිය හමුවේ.  එතැණ් සිට වම් පසින් දිස්වන කරදිය ජලාශ පසුකරමින් කාත්තන්කුඩි නගරයරයටද එතැනින් මඩකලපුවටද ආවෙමු. ඒ වන විට වැසිබර කාළගුණයක් අහලකවත් නොතිබුනු අතර මඩකලපුවේ කල්ලඩි පාලම පසු කරණ විට වේලාව පස්වරු  2.20 පමණ විය.
Kalladi Bridge 2.22AM
"කල්ලඩි පාලම" ට ආදරණීය ආමන්ත්‍රණයක් අප හැමගේ සිත්තුල පවතී. ඒ "සින්දු කියන මාළුන්" පිළිබන්දව මතකය සමගය. එය මහනුවර නිරිතදිග බෑවුමේ  පිහිටි "හන්තාන" යන නාම පදය සමග සිතට එන හැඟීමට ඉතා ආසන්න හැඟීමකි. පේරාදෙනිය සරසවියට උපන් බුද්ධ හඳවියක පය ගසා නැති අයෙකු තුලද "හන්තාන" ප්‍රේමණීය හැඟීම් ජනිත කරවයි. "කල්ලඩි පාලමද" එවන් සොඳුරු අදහස් දනවන ජීවමාන වස්තුවක්සේ මා දකිමි. 
කල්ලඩි පාලම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ; හරියටම කියනවා නම් 1924 දි පිහිටුවන ලද්දකි. එම පාලම මුල්කාලයේදී නම් කරණ ලද්දේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයෙකුවූ විලියම් මැනිංගේ බිරිඳ නමිනි. ඒ "මැනිං ආර්‍යයා පාලම" ලෙසය.  එය එකල ශ්‍රී ලංකාවේ පැරණිතම දීර්ගතම යකඩ පාලම විය. 
සින්ංදු කියන මාළුන් පිළිබඳ පුරාවෘථය 1954 වැනි අතීතයක සිට පැවත එන්නකි. මඩකලපුවේ ශාන්ත මයිකල් විද්‍යාලයේ සිටි අමෙරිකානු පූජක දෙපලක් වූ Rev. Fr. Lang හා Rev. Fr. Moran යන දෙපල විසින් 1954 වසරේදී මෙම කල්ලඩි පාලම යටදී මාළුන්ගේ ගී නද තැටිගත (හෝ පටිගත)  කරණු ලැබූ අතර එය 1960 වසරේදී ලංකා ගුවන් විදුලියෙන් ප්‍රචාරයවී ඇත! කල්ලඩි පාලම ලඟ මාළු කියන සිංදු මෙතැනින් සවන් දෙමින්ම කියවාගෙන යමු.
ගමනාගමනයේ පහසුව තකා 2013 වසරේදී; JAICA ආධාර යටතේ මීටර 288.35 දිගින් යුතුව ඉඳිවුනි!
Google

Google


කිරාන් යනු A15; එනම් මඩකලපුව - ත්‍රිකුණාමලය යා කරණ මාර්ගෙයේම පිහිටි කුඩා නගරයකි. මෙයට නගරයකි කීවාට මෙය නගර කාලකි! පාසිකුඩා - කල්කුඩා සංචාරක කලාප පිහිටා ඇත්තේ මෙම A15 මාරගයට ඔබ්බෙන් දකුණු පසින් වන අතර එම ප්‍රදේශයට යාම සඳහා මෙම ප්‍රධාන මාරගයෙන් හැරී දකුණු පසට ගම්න් කල යුතු වේ. සයිකලයක පිහිටෙන් රට වට කරණ්නට යන අපට මාර්ගයෙන් මීටර 500ක් ඔබ්බෙන් පිහිටි පිහිටි දිව්‍යලෝකයටද ගව් ගණනකි. එබැවින් වෙරළ ඉම වෙනුවට රට මාධ්‍යයේ පිහිටි කුඩා කඩ මණ්ඩියක පිහිටි කිරාන්හී පැවති ප්‍රාථමික නවාතැන් පොලක නැවතීමට අප හිත හදා ගත්තෙමු. එම අවන් හලේ නම මේ මොහොතේ මතකයට නගා ගැනීමට අපහසු වුවද; එම ස්ථානය බලා කියා ගත්; හිංගල මළපොතේ අකුරක් නොදත් ඔවුන් අපට රාත්‍රී ආහාරය ඉතා රසවත්ව සකසා දුන්නෝය! ඔවුන් සැපයීමට සූදානම් වූ "අනාපු බත්" වෙනුවට මාගේ මෙනුවකට සාදන ලද පරිප්පු, තෙල් දමන ලද හාල්මැස්සෝ හා තක්කාලි සලාදය සමග; අත පිච්චෙන උණු උණුවේ බත් අප මදි නොකියන්නට කොටා බෑවෙමු. සත්තකින්ම එය ඉතා රසවත් ආහාර වේලක් විය - 8.8  Lion Strong Lager සමග එක්ව! හොඳින් බඩ කට පුරා සප්පායම් වූ අප විනාඩි ගනනක් "මරු" කියවමින් සිට සයනයට වැටුනෙමු. 
වියළි රාත්‍රිය සිසිල් විය! කාමරයේ සිවිලිමේ සිට කරකැවුනු පංකාව නොනවත්වා සිසිල් සුළඟ අවකාශය පුරා සැපයුවේය. සිරුරේ මාංශ පේශීන් යන්තමින් රිදුම් දේ. සුව පහසු සයනය ඊට අවශ්‍ය පරිදි විවේක ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැකසුවේය. කුස පිරී ඇත. මනස සැහැල්ලුය. හිස රිද්මයානුකූලව පාවෙමින්ය. හොඳ නින්දකට අවශ්‍ය සියළුම අමු ද්‍රව්‍ය එකට පෙළ ගැසී ඇත!

"ජීවිතේ සුන්දරද . . . . මෙතරම් . . . . . . . . !?"

Tuesday, August 23, 2022

242. SHE . . . . !

නුවර එළියේ ග්‍රෙගරි වැව වටා: කල්මලී  ඇය සමග!
SHE යනු එච් රයිඩර් හැගාර්ඩ් ශූරීන් විසින් රචිත නවකථාවකි එය පසු කලෙක "අයේෂා" නමින් සිංහල බසට පෙරැලුනු අතර මා ජීවිතයේ "නවකථා පොතක්" ලෙස දුටු පලමු පොත එය විය. එහි කෙළවර දුක්ඛාන්තයක් බව යාන්තමට මට මතකය. සත්තකින්ම මේ කියන්නට යන්නේ SHE ගැන නොව "ඇය" ගැනය!

ඇය ජීවිතයේ මා ලද හොඳම ගමන් සගයා වූවාය. කිලෝ මීටර දහස් ගනනක් ඇය මා සමග ගමන් කලාය. ඇයව මට මුණ ගැසුනේ කිරිඳිවැලදීය. කලෙක පටන් අප පැද ගියේ සාමාන්‍ය සයිකල වූ අතර අපගේ කල්ලිය අතරට පැමිණි ප්‍රථම බ්‍රැන්ඩඩ් හෙවත් උසස් පෙලපතකට හිමිකම් කියූ ගමන් සගයා ඇය වූවාය.

මීට වසර ගනනාවකට පෙර  එතෙක් අප පැදි සාමාන්‍ය සයිකල් වලින් ඇත්වී බ්‍රෑන්ඩඩ් සයිකලයක් ගැනීමට මාහට සිත්විය. එකල; දවස පුරා; ලැබුණු හැම ඉසිඹුවකදීම ikman.lk හරහා එවන් සයිකලයකට ඉව අල්ලමින් විය. 

Google තුල ලොව හොඳම සයිකල් දහය අතර නමක් දිනා ගත්  Treck, Giant, Cannondale, Scott, Fuji වැනි සයිකලයක් සොයා ගැනීම එම ඉව ඇල්ලීමේ අරමුණ විය. දිනක් ඊට යහපත් ප්‍රථිපලයක් ලැබුනි. ඒ කිරිඳිවැල නිවැසියෙකු පල කල තිබුනු දැන්වීමක්ය. "Scott සයිකලය - විදෙස් රටකදි මිලදී ගත් සයිකලය, ඉතා අඩු දුරක් පැද ඇත. Rs: 23,000" මම වහාම පහතින් දැක්වූ නොම්මරය අමතා රුපියල් 18,000 ක ඔෆරයක් ගැසූ අතර එය 20,000 න් නැවතුනි. කතාවට අනුපාන වශයෙන් අයිතිකරු එක් කල; "ඉක්මනට ඇවිත්; ගන්නවනම් ගන්න, කීප දෙනෙක්ම අහලා එනවා කිව්වා!" යන්නෙන් මාව කෙතරම් සුපිරියට ඇන්දවීමට ඔහු සමත් වූවාදැයි පවසනවානම්; මා සයිකලය පියවි ඇසින් නොදැක එයට ; ණයට ඉල්ලාගත් රුපියල් 4000 ක අත්තිකාරමක් ඔහුගේ ගිණුමේ තැන්පත් කිරීමට පෙළඹුනි! මේ කියන කාලයේ සාමාන්‍ය සයිකල තුනක් මා මිලට ගත්තේ රුපියල් 21000 කටය! 

ඊළඟ සති අන්තයේ මා කිරිඳිවැල බලා බසයෙන් ගොස් යන්තමින් ඔහුගේ ගෙය සොයා ගත්තෙමි. එතෙක් වැඩ නිමකර නොමැතිව තිබුනු නිවසක ඉදිරි පස ජෑම් ගහකට හේත්තු කොට තිබුනු සයිකලයේ ස්පෝක් කම්බි එක් කොට මකුළුවන් දැල් බැඳ තිබුනි. 

සයිකලයේ අයිතිකරු ලෙස පෙනීසිටියේ සිහින් සිරුරකින් යුත් තරුණයෙකි. සරමකින් හා කමිසයකින් සැරසී සිටි ඔහු මෙම සයිකලය මිලදීගෙන තිබුනේ සවුදි අරාබියේ සයිකල් සාප්පුවකිනි. එම සාප්පුවේ නම සඳහන් කහ පැහැති කුඩා ස්ටිකරයක් සයිකලයේ අලවා තිබුනි. රෝද දෙකම කුසගින්නේ පිට පොත්තට ඇලී තිබුනි. අසල නිවසකින් ඉල්ලාගත් පොම්පයක පිහිටෙන් ටයර පුම්බා ගත් පසු ඔහු ඇසූ පලමු පැණය වූයේ "මොකේද ගෙනියන්නේ? කියාය. එවකට එක් වරක් කිලෝමීටර 69ක් සයිකල් පැද තිබුනද මෙකල මෙන් දුර පැදිමක් මා කර නොතිබූ අතර කඩවතට සයිකලය පැද ඒමට මා සිතා සිටියෙමි. එය එසේම සිදුවිය. සයිකලයේ ගියර නියමාකාරයෙන් ක්‍රියා නොකල අතර එමනිසා සියළු ගියර වල ධවනය කීරීමට නොහැකිවිය. එම නිසාම මහත්වූ වැර වෑයමකින් පසුව කඩවතට ලඟාවන්නට පැය ගන්නාවක් ගතවූ අතර තවත් දින ගනනාවකට පසුව සයිකලය යතා තත්වයට පත් කර ගැනීමට හැකිවිය!

මා කුඩා කල සිට සයිකලයකට මහත්වූ ඇල්මක් දැක්වූ අයෙකුවුවද සයිකලයක් ලැබුනේ පාසැලේ 10වන ශ්‍රේණිය පසුවූ පසුවය. එයද RMI සයිකලයකි. අපගේ බාප්පා කෙනෙකු අහක දමා තිබුනු එය අම්මා මිලට ගත්තේ ගෙඩි රුපියල් 250 ක් වියදම් කරමිනි. මම මේ කියන්නේ 1982 වසරේ දීය! පසු කලෙක අගනා පැරණි රැලේ රෝයල් සයිකලයකට හිමිකම් කියන්නට ලැබුනද බොහෝ කාලයක් සයිකලයක් නොමැතිව දුකින් සිටි අයෙක්මි. එය කෙතරම්දැයි පැවසීමට නොහැකි තරම් කණගාටුදායක කාලයක් විය. සයිකලයක් ඉල්ලාගෙන පැදීම යනු ඉතාම අසරණ තත්වයකි. මා පාසලේ 7 - 8 වසරවල ඉගෙන ගන්නා කුඩා දරුවෙක්ව සිටියදී වැඩිහිටි තරුණයෙකුගෙන් සයිකලය ඉල්ලූ විට ඊට හිලව්වට ඔහු මගෙන් බලාපොරොත්තු වූ දෙය මා මෙහි නොලියා තබන්නම්! 

එහෙත් පසුකාලීනව එනම් Scott P6 Sportster සයිකලය කැන්දාගෙන එන සමය වන විට මා සතුව සයිකල් 9 ක් පැවතුනි. 9ක් තියා 10 ක් පැවතුනද මා සතුවූ ප්‍රමිති ගත සයිකලය වූයේ Scott සයිකලය පමණකි. 

පසු කලෙක එම සයිකල් විකුණා දමා; විටෙක හුවමාරු කරමින් Trek  Fx 7100 සයිකලය නිවසට එන තෙක්ම බ්‍රැන්ඩඩ් සයිකලයක් ලෙස පැවතුනේ Scott සයිකලයය. 

Trek  Fx 7100
දශකයකට ආසන්න කාලයක් මා සේවය සඳහා දිනකට කිලෝමීටර 32 සිට 70 දක්වා පැද ගියේද, පොළොන්නරුවට කිලෝමීටර 200ක් එක් දිනකදී ගමන් කලේද, යාපනයට පැද්දේද, වසික වරක් දෙනියායේ ගියේද, ඔහුම වරක් පොළොන්නරුවේ ගියේද අවසාන වශයෙන් පසුගිය අප්‍රේල් මස මව්බිම වටා යන්නට පිටත් වූයේද මෙම සයිකලයෙනි.
මුල් කාලයේ මෙන් නොව පසුව සයිකලයේ පවුලේ වෛද්‍යවරයා වූයේ Bianchi ප්‍රදර්ශණාගාරයේ සජිත් සඳරුවන්ය. යාපනයේ යෑමට පෙරත් පොළොන්නරු යාමට පෙරත් සයිකලය සැකසුවේ සජිත්ය. දැන්ට එමිරේට්ස් හි සිට සයිකල් හදන; සජිත් යනු vinkale Official facebook පිටුවේ අයිතිකරුය!
ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට . . !

පසු කලීනව මා සතුවූ Trek සයිකලයට: කොළඹ ගමයාගේ ගජ මිතුරු ජනක ලක්මල් රුපියල් 40,000 ක් දී කරගැසීමේ සිට මා අතට පත්ව වෙන්ව ගිය GT Urban 4.0, Giant Escape, Giant Rock 4500 වැනි නම් දරාපු සයිකල මා විකුණා දැමූවද Scott සයිකලය විකිණීමට හෝ මාරු කිරීමට මාගේ සිත එකඟ කර ගැනීමට නොහැකිවිය! "මචං අළුත් එකක් තියාගෙන පරණ එක අත ඇරපං!" කියා බොහෝ දෙනා කීවාට එය මට කල නොහැක්කක් විය. ඇයත් මාත් අතර තිබුනු අන්‍යනෝන්‍ය හඳුනා ගැනීම තේරුම් ගැනීම බැඳීම ඒ තරම් විය. බොහෝ ගමන් සඳහා අළුත් සයිකල තෝරා ගෙන සකසා, ලිහිසනය කොට නිමවා තිබුනද අවසන් මොහොතේ තෝරා ගත්තේ Scott එකමය. කෙතරම් ඇඳුම් ආයිත්තම් තිබුනත් ගමනක් යන්නට සූදනම්වූ විට පරණ Levi's හම්පඩයටම හිත යාම පිරිමින් අතරේ සාමාන්‍ය තත්වයකි. බැඳීමට ලංසු තැබිය නොහැක!

GT Urban 4.0

Giant Escape

Giant Rock 4500

එය ඒ තරම් ආදරණීය, හැඟීම්බර වේදනාකාරී, සුන්දර මතක රාශියක් එය සමග එකතුවී තිබුනි. 

කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය සකසන කාලයේදී එක් රාත්‍රියක සිදුවූ අනතුර, රත්මලන මැලිබන් හංදියේදී දකුණු අතේ ඉහල මස් ගොබයේ මැහුම් දහයක කැපුම් තුවාලයක කැළලක් සණිටුහන් කරමින් සිදුවූ අනතුර හා අවසාන වශයෙන් තිහාරියේදී පාර මැදවූ ටෙලිකොම් මරාලයක ගැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරෙනුත් පසුව; සයිකලය ; මා නිවසට ගෙන ඒමට තරම් ශක්‍යතාවයකින් හා ජවයකින්යුක්තව සිටියේය. 

මෙම සයිකලය හා බැඳුනු ආදාණීය මතක  හදවතට කිසිදාක මතකයෙන් ගිලිහී නොයනු ඇත!

කාලය ගෙවී මා හට උපන් බිමෙන් වෙන්ව කුඩා කලකට වසික හා කල්මලී සමග ජීවත් වන්නට කැන්ගරු දේශය බලා එන්නට සිදුවූයේ පසුගිය 15 වන දිනයේදීය. ඒ සඳහා එරටින් මාහට අවශ්‍ය බල කඩදාසි ලැබුණු දිනයේ සිට මා; නිමකල යුතු, කල යුතු හා සකස් කලයුතු කටයුතු කාර්‍යය 71ක් සණිටුහන් කරගෙන ඒවා නිමකිරීමට පටන් ගත්තෙමි.

ඒ සමග ම වසිකට කතා කොට මට කැන්ගරු දේශයෙන් සයිකලයක් සම්පාදනය කරගන්නා ආකාරය පිළිබඳව විමසීය.

"හරි තාත්ති! අපි එකක් ගම්මු!"

"මම සයිකලයක් ගෙනාවොත්!?"

"අවුලක් නෑ! ගේන්න පුළුවන්නම්! ඇත්තටම මම ඒක ගැන දන්නේ නෑ!"

ඒවන විට Scott සයිකලය වෙනුවෙන්; ලක්බිමේදී මාගේ ගමන් සගයා වීමට තවත් දෙදෙනෙකු සැදී පැහැදී සිටියෝය. ඒ තවමත් ගිලන් ඇඳේ පසුවන Giant SCR1 Drop Handle Tour සයිකලය හා Chevaux 1CV Hybrid සයිකලයය.

Giant SCR1 Drop Handle

Chevaux 1CV Hybrid

එහි මූලික වැඩ කටයුතු අතර Scott සයිකලය රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමද මූලික තැනක් ගත්තේය! මව්බිම වටා ගමනේදී සයිකලයේ රිම් හොඳටම කැපී තිබුනු අතර එයට රිම් දෙකක් මොරටුවේ සයිකල් අරටුවක්වූ ලකී අයියගෙන් ලබා ගත් අතර එය හබ් වලට ඇමුනුවේ කඩවත ලකී අයියා විසින්ය. එතෙක් පැවති ෆ්‍රීවීලය මස් කොට එහි පැවති දැති 14 ගියර වීලය වෙනුවට දැති 13 දැති රෝදයක් යෙදවූවෙමි. දැති 34 මෙගා වීලයකින් සන්නාහ සන්නද්ධව තිබුනු සයිකලය හොඳ "ගමනක්" ලබා දෙනු ඇතැයි මා විශ්වාස කලෙමි.

බොහෝ මාගේ හිත මිතුරන් මීට විවිධ අර්ථ කථන සැපයුවේය!

"ඇයි බං මේ මගුලක් ගෙනියන්නේ - එහේ සයිකල් නෑ කියලා හිතුවාද?" මේ බහුතරය ඇසූ පැනය විය. මාගේ අතිජාත මිතුරු දොස්තර ප්‍රසාද් රන්නුළු වඩාත් ආකර්ශණිය උපදෙසක් යෝජනා කලේය!

"මම උඹට සල්ලි දෙන්නම් එහෙන් හොඳ සයිකලයක් ගන්න! උඹ පැදලා එන දවසක මට ඒක ගෙනත් දියං!"

එහෙත් ඒ කිසිදු යෝජනාවකින් හෝ අදහසකින් මා නොසෙල්වුණි. 

මා Air Lanka හි සේවය කරණ මාගේ ඥාති දියණියක් වන රොෂාණිගෙන් මේ පිළිබඳව විමසීය!

"ඔව් Uncle ඔයාට තියෙන කිලෝ 30 ඇතුලත සයිකල් එකක් ගෙනියන්න පුළුවන්!"

මගේ ඉහේ මලක් පිපුණ වැනිය!

ඒවන විට වසික Trek Madone 3.1 Drop Handle Tour සයිකලයක සාඩම්බර හිමිකරුවෙක්ව සිටී. 

එහෙත් මා සයිකලයක් නැතිව එහි ගොස් සිටීම; අස්සයා මැරුනු Cow Boy තැනට මා වැටීමක් වේ!  මේ නිසාම Scott සයිකලය ගෙන යෑම මගේ පැත්තෙන් හොඳ තීන්දුවකි! එවන් ආදරණිය මතකය අතහැර දමන්නේ කෙසේද?

සයිකලයක් ගුවන් මගින් ගෙනයාම සඳහා භාවිතා කරණු ලබන Cycle Bag වෙළඳ පොලේ ඇත. වෙළඳ පොලේ කීවාට අපේ ගමේ ඉරිදා  පොලේ හෝ මැනිං මාකට් එකේ නොව E Bay, Amazon, Ali Baba වැනි ජාත්‍යන්තර පොලවල් වලය! මේවා මිලෙන්ද ජාත්‍යන්තරම වේ.  පසුව Google සිසාරා සයිකල් බෑගයක සයිකලය අසුරණ ආකාරය හා බෑගයේ ස්වරූපය පිළිබඳව අදහස් එකතු කරගෙන ඊට ගැලපෙන පතරොමක්, බ්ලොක් එකක් නැතහොත් ටෙම්ප්ලට් එකක් කපා ගත්තෙමි. නිවසේ පැරණි අල්මාරියක පැවති සුදු පැහැති කැන්වස් කැබැල්ලක්ද සොයාගෙන අසල වූ ගමන් මළු මසන "අක්කා" කෙනෙකු සොයා ගියෙමි.

දින තුනකට පසුව වැඩේ සුපිරියටම මසා මා අතට පත්විය. ඇයගේ ගාස්තුව වූයේ 1500ක් වූ අතර සයිකය බෑගය තුල හොඳින් ඇසිරීම සඳහා දෙපසින් තැබීමට ස්පොන්ජ් කැබැලි දෙකක් සපයා ගැනීමට අඟල් 2 ක ඝනකම මෙට්ටයක් රුපියල් 4000 කට මිලදී ගත්තෙමි. 

ඇසුරුම් ද්‍රවය සමග සයිකය අසුරා ගත්විට එයට ජාත්‍යන්තර තත්වයක් ලැබුනි.

එය තුල ඇත්තේ සයිකලයක් බව කියා පෑමට ස්ටෙන්සිල් එකක් කපාගෙන එයින් බෑගයට වඩාත් අකර්ශණීය බවක් එක් කලෙමි.




දිනය අගෝස්තු 15 වන්දින Scott P6 Sportster සයිකලය තම ජීවිතයේ වැඩිම කලක් ජීවත්වූ හා ගමන් ගිය ආදරණීය සැමරුම් සහිත බිමෙන් සමුගෙන කටුනායකින් UL604 SriLankan Air ගුවන් යානයෙන් කිලෝමීටර 8300 ක් ගෙවා කැන්ගරු දෙශයට පාතැබීය. 
8348km

එයද සුන්දර කථාවකි. අපගේ සියළු ගමන් මළු අංක 7 දරණ පටියෙන් ළඟටම ගෙනැවිත් දුන්නද ආදරණීය "ඇය" හට සිදුවූ දෙයක් හෝ ආගිය අතක් හෝ සොයා ගැණීමට නොහැකිවිය. තවත් විනාඩි තිහ හතලිහකින් පසුව ගුවන්සේවිකාවක් ශබ්ධ විකාශන යන්ත්‍රයෙන් මොරගා පැවසුවේ; ක්‍රීඩා භාන්ඩ, සංගීත භාන්ඩ වැනි මොලේ මඥ්ඥං පොරවල් ගෙනා මගුල් අංක 1 දරණ පටිය අසල ගොඩබා ඇති බවය!

මා එතැනට යනවිට මාගේ සුදුවත හැඳි සයිකලය තවත් බඩු බාහිරාදිය පිරිවරාගෙන සිටුනු දිස් විය!

කිලෝ 13ක උපත් බරක් සහිත වූ සයිකලය සියළු පැකින් හා ඇඳුම් ආයිත්තම් සමග කිලෝ 15.250 කට උසස්වීමක් ලබා තිබුනි.  මේ නිසාම මේ දේශයේ වසන හිතමිත්‍රාදීන්හට පමණ්ක් නොව දුවා දරුවන් හට පවා ගෙනෙන සාම්ප්‍රදයික කෑම බීම කිසිවක් මාහට ගෙන ඒමට  නොහැකි විය.

පසුදිනම සයිකය නැවත යතා තත්වයට ගෙන ආවද මෙල්බර්න් නුවර කාලගුණය ඉතාමත් අහිතකර එකක් වූ නිසා එය පැදීමට තරම් යහපත් අවස්ථාවක් සොයා සපයා ගැනීමට අද දින උදෑසන වන තුරුත් නොලැබුනි.

අද දිනයේ උදෑසන කල්මලී සේවය සඳහා ගියේ තම උදේ ආහාරය පමණක් නොව දිවා ආහාරයද  අතහැර දමමිනි. ඒ කාලය විසින් පැනවූ තහංචියක් නිසාය. 

නැකැත් බලමින් සිටින්නට තවත් නොහැක. කල්මීට කෑම එක ගෙන යා යුතුය.

ඇය විසින් එවන්නට යෙදුනු අක්ෂාංශ දේශාංශ රූපයෙන් ඉසව්ව පිළිබඳ අදහසක් ගොඩනගා ගත්තද ඒ සඳහා ප්‍රයෝජනයට ගැණීමට තරම් මාගෙ මොබයිලය පනගැන්වී නොපැවතීම හා  තවමත් මා යැපෙන්නේ නිවස තුල වූ වයිෆයි කලාපයෙන් වීම සියල්ල හරස් වන්නට හේතු විය. 

මා නිවසේ සිට මොබයිලයේ Google Maps මගින් දැක්වෙන මාර්ගය කඩදාසියක සණිටුහන් කර ගත්තෙමි. කෑම පෙට්ටියද Back Pack මල්ලේ දමාගෙන ඉහෙන් කනෙන් පෙරෝගෙන පාරට වැටුනෙමි. Toorak පාර එතැනින් Burwood Highway . . . Holland Road . . . Canterbury Road . . .    යනාදී වශයෙන් පාර හොයාගෙන ප්‍රධාන Land Mark එක වූ BP පිරවුම් හලකින් හැරී ගමන් කොට කල්මලීගේ සේවා ස්ථානය සොයා කෑම එක දුන්නෙමි!



සියල්ල වෙනස් වේ! 

මාගේ ජීවිතයේ බොහෝ සතුටු දායක මෙන්ම දුක්ඛ දායක අවස්ථා ඇය දැක ඇත! ජීවිතයේ බොහෝ හැල හැප්පීම් ඇය දුටුවාය! මාගේ ජීවිතය ගලායන අයුරු ඇය බලා සිටියාය! ඒවාට හැකි උපරිම දිරිය දුන්නීය. ඇයව හමුවූ දිනයේ පටන් අදවන තුරු මා අතරමං නොකිරීමට ඇය වග බලා ගත්තීය!

මම ඇයට ආදරය කල තරම්ම ඇයද මා හට ඒතරම හෝ ඊටත් වැඩියෙන් ආදරය කොට ඇත - යකඩ ගොඩක් සේ සිටියට!

නැතිනම් එයා මා වෙනුවෙන් මේ තරම් මෙහෙයක් කරාවිද?

පසුගිය දිනෙක වසික සමග ආගත නාගත කථා කරමින් සිටි විටෙක සයිකලයද මතෘකාවට ගැනුනි.

"මම මේක විකුණ්නන්න බලා පොරොත්තුවක් නෑ! මේකෙන් වැටුණු වැටිලි වල හැටියට මේක තියෙන්නේ මාත් එක්කම මැරෙන්නද කොහෙද!" මා සිනහ වෙමින් කීවේය!

"ඒක හරියට අර ආම්ස්ලොපාගාස්; ඉන්කෝසිගාස් එකත් එක්කම මැරෙනවා වගේද?" වසික මාගෙන් ඇසීය.

"අම්මට සිරි උඹ ඇලන් ක්වාටර්මන් කියෙව්වාද? නියමනේ!" මගේ සිතට ඇතිවූයේ අප්‍රමාණ සතුටකි.

අළුත් යාලුවන් සමගින් . . . . . !

Thursday, August 4, 2022

241. මව්බිම වටා සයිකලයෙන් . . . 5

240. මව්බිම වටා සයිකලයෙන් . . . 4

 2022/04/12


අපි අපගේ චාරිකාව පිටත් වූයේ කඩවතිනි. එතැනින් පෑලියගොඩ, බේස්ලයින් පාර හරහා බොරැල්ල - සේනානායක හංදිය, තුම්මුල්ල, ඩුප්ලිකේශන් පාර ඔස්සේ වැල්ලවත්ත එතැනින් මොරටුව, පානදුර, කළුතර, අළුත්ගම, ඉඳුරුව, ගාල්ල, අහංගම දක්වා පලමු දිනයේ පැමිණියෝය. පසුදින අහංගමෙන් පිටත්වූ අප වැලිගම, මාතර, දෙවුන්දර, දික්වැල්ල, තංගල්ල,  අම්බලන්තොට පසුකොට හම්බන්තොටටත් එතැනින් වීරවිල හරහා තිස්සමහාරාමයටත් ලඟා වුනෙමු. අද දින අපගේ රාත්‍රී නවාතැන හෙවත් ගමනාන්තය විය යුත්තේ පොතුවිල් නගරයය. පලමු දිනයේ අහංගම නැවතුනේ මිරිස්සට නොපැමිණය! දෙවැනි දින තිස්සෙන් නැවතුනේ කතරගමට නො ඇවිත්ය. අද දින අප එම හිග පියවා ගත යුතු හෙවත් 'ඇරියස්  කවර්" කර ගත යුතුව ඇත! අප මේ ගමන සඳහා ඇවැසි කාල සටහන හෙවත් සැලැස්ම සකසා ගත්තේ Around the Perl ඉසව්ව සමග සමපාතවන ආකාරයටය. මෙම ලිපි පෙල ඇරඹුමේ එම සටහන ඔබට දැකිය හැක. එයට අනුව අප පලමු රාත්‍රිය ගතකල යුතුව තිබුනේ මිරිස්සේය. දෙවැනි රැය කතරගමය! 


අද දින ගමන් මග වැටී ඇත්තේ කතරගම, සෙල්ල, ගල්ගේ, බුත්තල, යුදඟනාව, කුඹුක්කන, මොණරාගල, සියඹලාන්ඩුව පසුකොට ලාහුගල, පොතුවිල් නගරය වෙතය. තිස්සමහාරාමයේ සිට බුත්තල දක්වා දිවෙන මාර්ග දෙකක් වේ. එකක් මා කලින්  සඳහන් කල්; යාල මහ වනය හරහා දිවෙන මාර්ගයය! අනෙක තනමල්විල, කුඩාඔය, වැල්ලවාය හරහා බුත්තලට ලඟා වීමය. වැල්ලවාය මාර්ගය සාපේක්ෂව වඩා දීර්ඝ එකක් වූ අතර ගල්ගේ හරහා යන ගමන වඩාත් ආකර්ශණීය එකක් වේ! ඒ එම ගමනෙන් කිලෝ මීටර 20 ක් පමණ යාල වනාන්තරය හරහා දිවෙන බැවිනි!

මෙය හුදෙක් ගමනක් නොවී චාරිකාවක් වන්නට නම් එයට තරමක හෝ විචිත්‍ර බවක් එක් විය යුතුය. 
මේ කරුණ නිසාම අප ගල්ගේ හරහා; යාල වන පෙත මැදින් දිවෙන B35 මාර්ගය තෝරා ගත්තෙමු!









6.05 AM

සෑම උදෑසනකදීම ගමන ඇරඹෙන්නේ සියල්ල හොඳින් අහුරා ගැනීමෙන් හා සයිකලයේ ටයර ඔබා බැලීමෙන්ය! සාමාන්‍ය පාපැදි කරුවෙකු සයිකලයට නගින්නේ මෙසේ ඔබා බැලීමෙන් පසුවය! එය ඕනෑම බූරු කාරයෙක් කුට්ටම අතට ගත් පසු දෙතුන් වතාවක් ඇනීම වැනි අනිච්ඡානුගත ක්‍රියා වකි. ඉන් පසුව සයිකලයට හුළං අඩුනම් එය පියවීම දම්වැල් හා දැති රෝද ලිහිසනය හෙවත් සිංහලෙන් පවසනවානම් චේන් ස්ප්‍රොකට් වීල් වලට තෙල් ඇබිත්තක් දැමීම වැනි ක්‍රියා කරණු ලබයි. ටයර ඔබා බැලීමේදී ඒවා "ඇයි මොකද ඔබන්නේ ඉදිලද බලනවද? මෙන්න මෙහෙ යමං බං! එනව මෙතන ඔබන්න!!" කියනාක් මෙන් තදේට, ගැම්මට  ඇත්නම් එය දවසටම සුභ ඵල ගෙන දෙන කරුණකි! එහි අනිත් පැත්තද එසේම මය! දෙල්ගොඩ සමීර මල්ලී සයිකලේ "බය නැතිව යන්න!" කියලා භාර දුන්නද දින දෙකක් තුනක් ඇවෑමෙන් තරමක හුලං බැසීමක් පසුපස රෝදයේ දකින්නට  තිබුනි. එහෙත් සයිකලය සුපිරියට සූසර වී හොඳින් පැදෙමින් තිබෙන විට නැවත සයිකයට අඬුවක් නියනක් තැබීමට ඉඩක් දෙන්නට හිත හදා ගන්නේ කෙලෙසද? එය එතරම් බුද්ධිමත් තීරණයක් නොවූවද අප ජීවිතයේ කොපමණ නම් මෙවන් තීරණ අරන් ඇත්ද? තිස්සෙන් පිටත් වෙද්දී සයිකලය පුරුදු පරිදි ඔබා බැලූ විට එහි හුළං මදි බවක් දැනුනි. එහෙත් උදේ 6.00 ට අරින වින්කල; තිස්සමහාරාමයේ  තබා බොරැල්ල කනත්තේ වත් ඇතැයි මා නොසිතමි. එතැන් පටන් කතරගමට පැමිණ සුප්‍රසිද්ධ ඔරලෝසු කණුව  ලඟින්  වමට හැරී ඉදිරියටම සෙමෙන් ගමන් කලෙමු.
මා හට මූලික ගැටළු කිහිපයක් විය. 
පලමු වැන්න යාල හරහා ගමන් කිරීමේදී වන අලින් මුන ගැසේද යන්නයි! 
දෙවැන්න යාල හරහා ගමන් කිරීමේදී වෙනත් අලියෙකු හමුවේද යන්නයි!!
තෙවැන්න වූයේ යාල හරහා තවත් ඉදිරියට යාමේදී තවත් අලියෙකු හමුවේද යන්නයි!!!
මීට අමතරව උදෑසන ජාතික ආහාරය වන බිත්තර රොටියක් කන්නට තැනක් සහ අවශෙෂ වශයෙන් සයිකලයේ පැච් එක දා ගැනීමට වින්කලයක් සොයා ගැනීම කලයුතුව තිබුනි. 
මෙසේ "මස් කනවද? - මාළු කනවද?" කියමින් දෙපස බලමින් යන අපහට පන්සලක් ඉදිරියේ දෙවියකු වැඩ සිටි දෙවොලක් ඇස ගැටුනි! ඒ ලීලාරත්න දෙවියාගේ වින්කල් දේවාලයයි!

6.47 AM



ලීලාරත්න අයියාගේ කතාවද අහන්න වටින එකකි! ඔහු කලකට පෙර ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුව සිට ඒවා සියල්ල නැතිබංගස්ථාන වී මේවන විට රිම් එකෙන් යමින් නොව සයිකල් රිම් වලට ටයර් දමමින් සිටියි!
සයිකලයේ පසුපස රෝදයේ තිබුනු කුඩා සිදුර වසා හුළං ගසා ගත් පසු අප නැවතත් ගමන ඇරඹීය. මෙසේ නැවැත්වූ සෑම තැනකදීම ආගන්තුකයින් අසන ස්වාභාවික ප්‍රශ්ණ යුගලය  වන කොහේ ඉඳන්ද එන්නේ? - කොහේද යන්නේ?  යන්නට අප දෙදෙනාද ඔවුන්ගේ ඇස් උඩ වීසිවෙන පිළිතුරක් දුන්නෙමු!

7.31 AM
ඉදිරියට ගමන් කිරීමේදී පසුකල "බත් කමුද?", "කෑම ලෑස්තියි!", "උදේට බත්!" යනාදී බෝඩ් ලෑලි එමට තිබුනද එම කඩ සුපිරියටම වසා තිබුනේ; "අපේ බත් කන්නට මොකෙක් හරි එයි!" කියනු ලබන අස්ථාන බියෙන් මෙනි! ග්‍රාම්‍ය නොසරුප් වදනින් නොව නොම්මර එකේ කුණු හරුපෙන් සංග්‍රාහ කරමින් තවත් ඉදිරියට සෑහෙන දුරක් ගිය පසු කුඩා ආප්ප කඩයකින් ඉහළ නගින දුම් රොටු පෙනෙනට ලැබුනි!  ඔව් ආප්ප කඩයක්!! ආප්ප කනවා යනු ගෙයක් හදන්නට බැංකු ණයක් ගන්නවා වැනි වැඩකි. නියමිත පරිදි ගෙය සාදාගෙන යන්නට හැකි ආකාරයට ණය කොටස් බැංකුවෙන් නිකුත් නොකරණවා මෙන්ම බඩ ගින නිවෙන්නට මොන කඩයකින් වත් ආප්ප ලැබෙන්නේ නැත! එය නිකං "ආප්ප කනවා!" වැනි වැඩකි. ආප්ප, බිත්තර ආප්ප හා පොල් රොටී අඩු වැඩි ලෙස ගිල දැමූ අප සූරපප්පලා වැඩ දොළහේ "බඩ කට පිරෙන්න" කෑමේ අභියෝගයට මුහුණ දුන්නා සේ කඩය උදේ වරුවට වසා දැමීමට වැඩේ සෙට් කලෙමු! කෙසේ හෝ එම දුප්පත් කඩයෙන් "කා - නොකා" ගමනට වැටී සෙල්ල කතරගමට පිවිසුනි. එතැනින් බුත්තල මාර්ගයට වැටී සයිකල් පැදීම පටන් ගත්තෙමු!

8.08 AM
මේ සෙල්ල හෙවත් සෙල්ල කතරගමින් බුත්තල දෙසට විහිදෙන   මාර්ගය පටන් ගන්නා ස්ථානය කීවොත් ඒකේ ඒ හැටි වරදක් නෑ මයේ හිතේ! එම මාරගය B35 වේ. 
අප එදින උදෑසන කිස  පියවා ගත් ආප්ප මැස්ස වෙත අප සමග පොල් රොටී කොටා බෑමට එහි පැමිණි තවත අයෙක් සිටියේය! ඔහු අපගේ ගමන පිළිබඳව වං හුං දැනගත්තාට පසුව  "යාල මැද්දෙන් කිලෝ මීටර  20ක්ම තියෙනවානේ" කියා යාල පටන් ගන්නා තැන කිලෝමීටර කනුවද අවසන්  වන තැන පිහිටි කනුවේ අංකයද කීවේය! ඒ සමගම මාගේ පැනය වූයේ "අලි ඉන්නවා නේදැයි?' කියාය. හරියටම මීට මාස දෙක තුනකට පෙර මමත් මාගේ හිත මිතුරු ප්‍රසාද් රන්නුළු දොස්තර මහතාත් තවත් අපේ මිතුරන් දෙතුන් දෙනෙකුත් ඔක්කම්පිටියේ හේනකට මංගැච්චුවෝය. එම හේනේ අයිති කරු වූයේද තවත් දොස්තර වරයෙකුවූ දිසානයක මහතාය. මේ ගමන ගොස් නැවත එනාතරතුර මෙම මාරගයේ තැන් දෙකක අලි කිහිප දෙනෙකු දක්නට ලැබුනි. ඉන් එකෙකු නම්කොට තිබුනේ "හිඟන්නා" යනුවෙන් බව රථයේ උන් කිසිවෙකු කියනු මා අසා සිටියේය!  මෙතරම් හස්ති රාජයෙකුට "හිඟන්නා" යැයි නම් තැබූ එකා කවුරුන්ද කියා මා සිතනාතරතුර මා හට පසක් වූයේ එවැනි නමක් යෙදුනේ එවැන්නක් ලැබීමට ඌ සුදුසු ලෙස හැසිරෙන නිසා වියයුතු බවයි. 
පෙර කී  "අලි ප්‍රශ්ණය" පොල් රොටී කමින් සිටි පාරිභෝගික බවතාගෙන් විමසූ විට ඔහුද "හිඟන්නා" ඇතුළු තවත් නම් කිහිපයක් සඳහන් කල අතර අහවලාගෙන් නම් කරදරයක් නෑ! මෙයා නම් පන්නනවා! යනාදී වශයෙන් චරිත සහතික කිහිපයක්ද අප වෙත ලබා දුනි. මේ සියල්ලෙන්ම බර කරගත් හදවතින් යුතුව අප B35 ට පිවිස පැද යන්නට විය!

8.24 AM
අප කල සෑම චාරිකාවක් මෙන්ම මෙම ගමනේ මාහට පැවරුනු හා පවරා ගත් වැඩ කටයුතු රාජකාරි කිහිපයක් විය. සෑම දිනයක් අවසානයේ දිනය පිළිබඳ කෙටි සමා ලෝචනය, මුදල් පරිපාලනය හා සටහන් තබා ගැනීම කෙරුනේ නිශාන් අතින්ය! චාරිකාවේ අනෙකුත් මෙහෙයුම් කටයුතු සිදු කෙරුනේ මා වෙතිනි. එය බොහෝ විට මා පවරා ගත් එකක් නොව නිශාන් විසින් පවරා දෙනු ලැබූ එකක් විය! ගමන පිටත් වී දෙවන දිනයේ කොග්ගලදී මාහට වසිකගෙන් ඇමතුමක් ලැබුනි. එම ඇමතුම එන මොහොත වන විටත් දැඩි වර්ෂාවකට මුහුණ දෙමින් සිටි අතර මා ඉක්මණින් ඔහු හා කතා කොට තියන්නට උත්සාහ ගත්තෙමි.එහෙත් ඔහු ඊට ඉඩක් නොදුන්නේය. ඔහුට කියන්නට දෙයක් තිබුනි. "හරි! හරි!! මම පස්සෙ ගන්නම්කෝ!" මම කථාව නවතා දමන්නට උත්සාහ ගන්නා විට ඔහුට කියන්නට ඇති දේ මුදා හැරියේය!
"තාත්ති මට බනින්න එපා; මේ හදිස්සියේ ඇයි කියලා! මට මේ සතිය ඇතුලත එන්න පුළුවං! තාත්ති ගමන යන්න. මම තාත්ති ඉන්න තැනකට එන්නම් බස්සෙකේ හරි!"
"අම්මට සිරි!" 
මේ ඇමතුම ලැබීමට නොව චාරිකාවට පෙරද මා බොහෝ දන්නා කියන අයට කීවේ "මට මැරෙන්න නියම චාන්ස් එකක් ඇවිත් තියෙනවා!" කියාය.
සෙල්ලෙන් බුත්තල මාර්ගයට ඇතුළු වෙනවාත් සමග මේ කතිකා සියල්ල නැවත ප්‍රථිවාදනය වන්නට පටන් ගැනුනි.
"ඇත්තෙන්ම යාල මැදින් යන මේ ගමනේදී වන අලි ප්‍රහාරයකට අපට මුහුණ දීමට සිදුවේද? මේ හදිස්සියේ වසික කිලෝමීටර 8350 ක් ගෙවා පැමිණෙන්නේ මාගේ අවසන් කටයුතු වලට සහභාගී වන්නටද?" (හිනා වෙන්න එපා!) මේ මගේ සිතට දැනෙන හා නැගෙන අදහස්ය! සෙල්ල සිට ඉදිරියට යන ගමනේ දී කුඩා ගම් ගෙවල් දොරවල් පසු කරමින් යන්නට විය. තවත් විනාඩි 15 කට පමන කාලයක් ගෙවී යත්ම යාල වනයට අවතීර්ණ වුනෙමු. එතැන් පටන් මා නිශාන්ට තරමක එනම් අඩි 10 ක පමණ ඉදිරියෙන් සාමාන්‍ය වේගයකින් පදිමින් උඩු සුළඟ ඉවකරමින් පදින්නට විය. පාරේ වංගු වලදී එහි පිටත දාරයන් දිගේ යමින් ඉක්මණින් අලියාව දැක බලා ගැනීමේ අභිලාශයෙන් පැද්දෙමි. කිලෝමීටර 5 ක් පමණ ගමන් කලද කිසිදු ආරංචියක් අහන්න දකින්න නොලැබුවෙමු. අවාරෙට දෙල් වැටෙන්නාක් මෙන් සෑහෙන වෙලාවකට පසුව එන වාහනයකින් අප හස්ත මුද්‍රාවෙන් විමසීමක් කලද ඔවුන් එයට ප්‍රථිචාර දැක්වූයේ තවත් වේගයෙන් අප පසුකර යමින්ය!
තව තවත් අප ඉදිරියට ගමන් කරමින් සිටියදී අප ඉදිරියට පැමිණි ත්‍රී වීලරයක් නවතා ගැනීමට හැකිවිය!
"මල්ලී අලිය ඉන්නවද?'
"ඔව්! ඔව්!! ඈත ඉන්නේ!"
කියමින් නැවතත් ත්‍රීවීලරය ඉගිලුනි. "හරි ජීවිතේ අවසාන හෝරා කිහිපය එළැඹී ඇත! හෙට දින පත්තරේ මුල් පිටුවේ යන ප්‍රවෘථියක; "පුවත් මවන්නා" වීමේ දුර්ලභ අවස්ථාවට මා පත්වී ඇත!" මම මටම කියා ගනිමින් සෙමෙන් සෙමෙන් ඉදිරියට ගමන ඇරඹූවෙමු. පෙර පරිදිම නිශාන්හට හැකි උපරිමයෙන් ආරක්ෂාව දෙමින් මා පෙර මුණේ පැද ගියෙමි. තවත් කිලෝ මීටර 5 ක් පමණ යන විට වංගුවක් පසු කොට සෘජු මාර්ග කොටසකට අවතීර්ණ වුනෙමු. තවත් ත්‍රී වීලරයක් ඉදිරියට පැමිණේ! අප සිටි ස්ථානයේ සිට ඉදිරියට තරමක බෑවුමක් හෙවත් පල්ලමකි. අපට මීටර 50 කට පමන දුරින් අලියා මොනවාදෝ බුදිමින්ය! මම වහාම ත්‍රී වීලරය නවතා ගත්තෙමි. 
"ඔය අලියා පන්නනවද?' 
"නෑ . . . . . . . . . !" ඔහු තනි අකුරෙන් පිළි තුරක් දුන්නේය.
ඊළඟ මොහොතේ අලියා; සෙමෙන්-සෙමෙන් ලතාවට වනය දෙසට හැරුනි.
B කාණ්ඩයේ මෙම පාර අඩි 20 ක  පමණ පළලින්  විය. අලියා වන පෙත දෙසට හැරුණද ඔහුගේ පශ්චාත් භාගය නොව සම්පූර්ණ එකම මහ පාරේය!  අපට ඉතිරිව ඇත්තේ පාරෙන් අඩක් හෙවත් එක් මං තීරුවකි. මා ත්‍රී වීලරය පසු කොට ගොස් සයිකලය නවතා ආපසු හැරී කටහඬ අවදි කලෙමි.
"මල්ලි උඹ යනවද? මම යන්නද?" නිශාන් අමතා ඇසීය!
"අයියා යන්න!"

 

9.07 AM
මා ඉහළට හුස්මක් ගෙන පදින්නට පටන් ගත්තේ "මගේ එක්කම වරෙං!" කියාගෙනමය. පැදීම අරඹනවාත් සමගම මා ආපසු හැරී ත්‍රී වීලරය දෙස බැලුවෙමි.
ඔබ විශ්වාසකරණ්න. මොබයිල් දුරකථන තුනක් හෝ හතරක් ත්‍රීවීලරයෙන් එළියට පැමිණ වෙන්න යන සිදුවීම වීඩියෝ කිරීම පටන් ගෙනය! "ඇත්තටම මේ අලියා මිනී මරණ එකෙක් වත්ද? නැතිනම් අර යක්කු වීඩියෝ කරාවියෑ!?"
එහෙත් අපට තීන්දු තීරණ ගන්නට අවකාශයක් නොමැත! අප තරමක බෑවුම දිගේ අලියා දෙසට වේගයෙන් පදිමින් විය. නිශාන් මා අසලින් මට පසුපසින් පදිමින්ය. අලියාට අඩි 20 කට පමන ලං වන විටම එතෙක් වනය දෙසට හැරී සිටි අලියා එකවරම අප දෙසට හැරී සියළු චලනයන් නවතා කන් විහිදුවමින් බලා සිටියේය.
"නවත්තපං!" මම එක්ෂණයෙන් සයිකලය නවතවමින්ම හරවා ගත්තෙමි. ඒ වන විට නිශාන්ද සයිකලය හරවාගෙන නැවත ඉහලට පදින්නට පටන් ගෙනය. අප ආපසු එනතුරුත් ත්‍රී වීලරය නවතාගෙන සිද්ධිය වීඩියෝ කරමින්විය. අපගේ තොලකට සිඳී ගොස්ය. අවශ්‍යව සිටි ත්‍රාසය ඇඟ පුරා ගලමින්ය. (සමාවෙන්න ත්‍රාසය නොව දාඩියය!) ආපසු හැරී බලනා විට අලියා නැවතත්  සුපුරුදු පරිදි මොනවාදෝ ඇහිඳිමි කොටා බාමින් විය!
ඔබ සිතන්න අලියකු ඉදිරියේ වඩාත්ම අසරණ වන මගියා කවුරුන්ද කියා!  යතුරුපැදි ධාවකයෙකුහට අවශ්‍ය වේගය ඇත. පයින්  ගමන් ගන්නා අයෙකු හා පාපැදි ධාවකයෙකු සිටින්නේ ඉතාමත් අසරන තැනකය.
අලියෙකුගේ දිවීමේ වේගය පැයට කිලෝමීටර 25ක් වේ. අප මෙවන් ගමන් වලදී පවත්වාගෙන යන සාමාන්ය වේගය පැයට කිලෝමීටර 20 ක් පමණ වේ. ඊට  අමතරව අපට වඩා වැඩි ත්වරණයකින් (වේගය වැඩිවීමේ සීග්‍රතාවය - Accelaration) අලියාට දිවිය හැකිය. එසේම පයින් ගමන් කරණ්නෙකු සේ එකවරම නැවතීමට හැරීමට මග ඇර කැලේ පැනීමට අවස්ථවක් සයිකල් කරුවෙකුට නැත්තේය. ඒ නයින් ගත් කල සයිකල් කරුවන් හා පයින් ගමන් කරණ්නන්; අලියා අදිරියේ එකාමෙන්ම අසරණයන් මෙන්ම අවාසනාවන්තයින් වනු ඇත. මොනදේ උනත් අප ගමන් කල යුතුව ඇත!  අලියා මග ඇරීමට තවත් කිලෝමීටර 50ක් පමන ගමන් කිරීම ගැලපෙන තීන්දුවක් නොවේ. මෙතැනින් යාමට කුලක් හෝ උපක්‍රමයක් භාවිතා කලයුතුව ඇත. විනාඩි ගනනකින් එතැනට පැමිණියේ සුදු පැහැති මිට්සුබිෂි ඩබල් කැබ් රථයකි. අප අත ඇල්ලූ සැණින් එය අප අසල නැවැත්වුවේය. 

9.11 AM
මුහුණින් බේරෙණ; අලියාගෙන් බේරුණ සතුට 
"අනේ පොඩි උදව්වක් කරණවද! අර අලියා ලඟින් යනකොට පොඩි කවර් එකක් දෙනවාද?"
"හරි ! හැරි!! එන්න එන්න!!!"
රිය පිටත් වනවා සමගම අප දෙදෙන එයට මුවාවී මාර්ගයේ අනෙක් පසින් පැදීම ඇරඹුවෙමු!
අපගේ සාමාන්‍ය වේගයටත් වඩා අඩු වේගයකින් ඔවුන් ධාවනය කලෝය. අලියා පසුකොට තවත් මීටර 100 ක පමණ දුරක් ඔවුන් අප සමග පැමිණ නික්ම ගියෝය. කැබ් රථය පසු කරණ විට අලියා උගේ සාමාන්‍ය චර්‍යාවෙන්ම සිටි බව මතකය. එතැන් සිට තවත් කිලෝ මීටර දෙක තුනක දුරක් ගමන් ගනිද්දී වනාන්තරය අවසන් වී ගම හමුවිය. ඒ අසලම කැබ් රියද නවතා තිබුනි. අප ඔවුන් වෙත ගොස් ස්තූති කොට විස්තර හුවමාරු කරගෙන පිටත් විය. ඒ වනවිටත් ආපසු සෙල්ල දෙසට යන්නට හරවා තිබුනු කැබ් රියද ඒ දෙසට පිටත් විය. සත්තකින්ම එය අපට ලොකු උදව්වක් විය.

9.24 AM
කැබ් රියේ මිත්‍රයින්!


10.42 AM
බුත්තල
බුත්තල සිට මොණරාගලට දිවෙන්නේ කොළඹ  අවිස්සාවෙල්ල රත්නපුර බෙරගල වැල්ලවාය සිට බුත්තල මොණරාගල පොතුවිල් මඩකලපුව තෙක් දිවෙන ඇ4 ප්‍රධාන මාර්ගයයි. මෙම  මාර්ගය දිවයිනේ දීර්ඝතම ප්‍රධාන මාර්ගය වේ. එය දිගින් කිලෝමීටර 470කි! අපගේ මව්බිම වටා යන ගමන් මග මෙතැන් සිට මඩකලපුව තෙක් වැටී ඇත්තේ මෙම මාරගය ඔස්සේය. අප ඇ4 මග ඔස්සේ කිලෝමීටර 184ක දුරක් ගමන් ගැනීමට නියමිතය. බුත්තලින් පිටත්වූ අපට මොණරාගලට පැමිණෙන්නට දීර්ඝ කාලයක් ගතවී තිබුනි. අප පැද තිබුනේ අතිශය මන්දගාමීවය. එනම් කිලෝමීටර 20 යන්නට පැයකුත් විනාඩි විසි ගනනක් ගෙන තිබුනි. මොණරාග වූ පෞද්ගලික බැංකුවකින් මුදල් ගැනීමට තරමක වේලාවක් මිඩංගුවූ අතර  අප නගරය පසුකරණ විට ඉර මුදුන්වී මුළු ඇඟම රත්වී තිබුනි.  ඒ නිසාම මොණරාගල නගරයෙන් සියඹලාන්ඩුව දෙසට හැරී දිවෙන මාර්ගයේ පසෙක වූ බස් නැවතුමක තරමක වේලාවක් ගත කිරීමට අප ගත කලෙමු!





මොණරාගල සිට සියඹලාන්ඩුව පහුවෙනතෙක්ම වාගේ ඉර අපිට බෙහෙවින් පීඩා දෙමින් තම අණ සක පතුරුවාලමින් සිටියේය. සත්තකින්ම එය කූඨ අව්කාෂ්ඨකයක් කීවෝතින් වඩාත් නිවැරදිය. එසේම වැසි වළාකුළු අහසේ ඈතින් පාවෙමින් පරිසරයේ අර්ද්‍රතාවය ඉහළ දමා තිබුනි. කොටින්ම පෝරණුවක් තුල සයිකල් පැදීමක් විය. ඒ නිසාම ශරීරය බොහෝ සෙයින් වෙහෙස මහන්සි නොවන සේ රිද්මයානුකූලව සෙමෙන් පැදීම කරගෙන ගියෙමු. ක්‍රීඩා උප සංස්කෘතිකමය භාෂාවෙන් පවසනවානම් හැක් නොවී පැදීමට අප වග බලා ගත්තෙමු.
වරෙක වසිකගේ පාසල් මිතුරෙකුගේ ආදරණීය පියෙකු ක්‍රීඩා තරඟයක් සඳහා පුහුණුවීම් අතරතුර ඇද වැටී පසුව මිය ගියේය. ඊට හේතුව අධික වෙහෙස හා විජලනය ලෙස වෛද්‍යවරු තීරණය කර තිබුනි. 
මේවන් අවාසනාවන්ත සිද්ධීන් අප රටේ සුලභව අසන්නට ලැබේ! මම මගේ ජීවිතයට එක් කර ගත් තේමා පාඨයන් කිහිපයකි. ඉන් එකක් වන්නේ අර්නස්ට් හෙමිංවේ ගේ "මිනිසාව විනාශ කල හැක - පරාජය කල නොහැක!"  යන්නයි. දෙවැන්න වික්ටර් හියුගෝ ගේ "මිනිසාට නැත්තේ ශක්තිය නොව ආත්ම ශක්තිය ය!" යන්නයි. තෙවැන්න වසිකගේ භෞතික විද්‍යා ගුරුතුමා වන ප්‍රසාද් සිරිවර්ධන ගේ "සතුට; ජීවිතයේ සාර්තකත්වය මනින මිම්ම කර ගන්න!" යන්නයි.
මේ අප ලියා දක්වන සියළු ඇඟ රිදෙන දේවල් කරණ්නේ; සතුට; ජීවිතයේ සාර්තකත්වය මනින මිම්ම කරගෙන ඇති හෙයින්ය. එවන් දුෂ්කර කටයුතු සඳහා මා පෙළඹී ඇත්තේ ශක්තිය සේම ආත්ම ශක්තිය ඇති නිසාය. පරාජය නොවී පටන් ගත් කටයුත්තේ අවසාන ඉලක්කය තෙක් ගමන් කිරීමටනම් විනාශ නොවී සිටිය යුතුය. ඒ නිසාම ආත්ම ශක්තිය කෙතරම් ඉහළ අගයක තිබුනද ශරීරය ඊට දක්වන ප්‍රතිචාර පිළිබඳවද අප නිඹඳවම සිතමින් තීන්දු තීරණ ගත යුතුය. මන්ද අපගේ චාරිකාව පොතුවිල් වලින් අවසන් වන්නේ අදට පමණකි. හෙට නැවත පිබිද තවත් කිලෝමීටර 150ක් පමණ පැද යා යුතුය. මෙසේ ඉදිරි සතිය පුරාවට දින හතක් තිස්සේ මේ ගමන යාමට ශරීරය ආරක්ෂා කර ගත යුතුය!
මේස් නිසාම අප පැද්දේ කිසියම් රිද්මයකටය. කොටින්ම ඇඟට හොරෙන්ය! මෙසේ සියඹලාණ්ඩුව පසුකර ටික දුරක්  ගමන් කරණා විට; වෙනත් ආණ්ඩුවකට ආ සෙය්යාවෙන් අහස වෙනස් විය. වැහි වළාකුළුවලට ඉඩ දී හිරු පසු බා ගියේය. අහස ඔරවා ගත් අයුරක් පෙන්නුම් කරමින් විය. 
"මල්ලි වැස්සකට සෙට් වෙන්න වගේ! ටිකක් පදිමු!" ගතවූ කාලය හා කිලෝ මීටර; ශරීරය තරමක් නිවා දමා තිබුනි. අළුත් ජවයකින් පදින්නට පටන් ගත් අප කෙමෙන් කෙමෙන් හොඳ වේගයක් පවත්වා ගනිමින් පැද්දෙමු. එක් ස්ථානයක නවතා තේ වතුර බී පිටත් වනවාත් සමග වැස්සක් කඩා හැලුනද ඉදිරි කිලෝමීටරය දෙක තුල නැවත වැස්ස තුරල් විය. එක දිගට තෙමීම හෝ වියළි කාලගුණයක් තුල පැද යාම යන කාරණා දෙකට වඩා වෙනස් අත්දැකීමකි වැස්සකට තෙමී මෙන් පසු සිසිල් කාලගුණයක් තුල පැද යාම! වැසි බර හාත්පස හා සිසිල් සුළඟ විසින් ශරීරය උනුසුම් නොවී තැබුවද තෙත බරිත ඇඳුම් සමගින් සයිකල් පැදීම පිළිබඳව කිසිවක් නොලියා කියවන ඔබට තේරුම් ගැනීමට මා ඉඩ තබමි.
මාර්ගය විහිදී තිබුනේ එතරම් ජනාශ්‍රිත පලාත් හරහා නොවීය. ඉදිරියට පැද යත්ම යත්ම ජනශූණ්‍ය බව හිස ඔසවීය. මාර්ගය බොහෝ සෙයින්  සෘජුවූ අතර එය විහිදී ගියේ කුඹුරු හේන් ආදිය බහුල ප්‍රදේශයක් ඔස්සේය. කෙමෙන් කෙමෙන් අප ලඟා වෙමින් පැවතියේ ලාහුගල වන පෙත තුලටය!
මාර්ගය විහිදී තිබුනේ එතරම් ජනාශ්‍රිත පලාත් හරහා නොවීය. ඉදිරියට පැද යත්ම යත්ම ජනශූණ්‍ය බව හිස ඔසවීය. මාර්ගය බොහෝ සෙයින්  සෘජුවූ අතර එය විහිදී ගියේ කුඹුරු හේන් ආදිය බහුල ප්‍රදේශයක් ඔස්සේය. කෙමෙන් කෙමෙන් අප ලඟා වෙමින් පැවතියේ ලාහුගල වන පෙත තුලටය!
වේලාව පස්වරු 3.00 හෝරාව පසුවී තිබෙන්නට ඇත! හිරු වළාකුළු තුල සැඟව ගොසින්ය. ස්ථානය ලාහුගල වනාන්තරය ය. හාත්පස සවස 6.00ට ඇති කළුවර බවෙන් පිරීගොස්ය. මෙයද වල් අලින් ගැවසෙන වනපෙතක්ය!
පෙම වන පෙත තුල කොපමන දුරක් ගමන් කරණ්නට ඇත්දැයි අප නොදනිමු. කොපමණ දුරක් තිබුනද එය තරණය කල යුතුව ඇත. අප උපරීම වේගයෙන් ගමන් කලෙමු. නිශාන් හැකි උපරිමයෙන් පැද්දද මා ඔහුව තව තවත් දිරිමත් කරමින් විය. අලි වෙත්දැයි ඉව අල්ලමින් පදින්නට විය. සයිකලයේ හැඬලය මත සවිකොට තිබුනු ඩිජිටල් මීටරය ඉහල පාඨාංක වලට මොහොතින් මොහොත වෙනස් වෙමින් තිබුනි. මේ මොහොතේ මතක් කල නොහැකි කාල පරාසයක් තුල අප ලාහුගලින් පිටවිය. වේගය එලෙසම පවත්වා ගනිමින් අප පැද යමින් විය. වන ආවරණය ඉවත්ව ගියද වැසිබර කාලගුණය අඳුරු හේඩාවක් මවා තිබුනි. කාපට් ඇතුරූ මාර්ගයේ කිසියම් වෙනස් ස්වරූපයක් දක්නට ලැබුනි. එය තරමක ගොරෝසු බවක් සයිකලයට දනවමින් විය. උපරීමය ඉක්මවා යන අධික පීඩනයකට හුලං පුරවා තිබුනු සයිකලයේ රෝද මගින්; හැඬලය මත රැඳි අත් දෙදරවමින් විය. 
මාර්ගයේ තැනින් තැන කුඩා බෝක්කු පාලම් තිබුනු අතර එවායේ මතුපිට කොන්ක්‍රීට් ලෑලි කෙළවර මාර්ගයෙන් ඉහලට එසවී ගැට්ටක් නිර්මාණය කර තිබුනි. සයිකලය එවන් ස්ථානවලදී වේගය අඩුකර ගත යුතු උවත් පවත්වාගෙන ආ වේගය විසන්ධි කර ගැනීමට දැඩි ලෝභ කමක් ඇතිවීම මිනිස් සවභාවයක් නොවේද?
එකවරම එක් බෝක්කුවක් මතින් ගමන් ගනිත්දී ඇතිවූ දැඩි කම්පනය; සයිකලයේ සවිකර තිබුනු ඩිජිටල් මීටරය ගලවා දැමීමට සමත් විය. එය පාරේ පසෙක පතිතවූ අතර ඉන් පසු එය ඇහිඳ ගැනීමෙන් පසුව නැවත සවිකලද නැවත කිරියාත්මක වූයේ නැත!
හිරෝශිමාවේ අදටත් දක්නට ලැබෙන; 1945 අගෝස්තු 6 වනදින උදෑසන 8.15 නැවතුනු ඔරලෝසුව මෙන් ඒවන විට සයිකලයේ ඩිජිටල් මුහුණතේ පැයට කිලෝමීටර 42 ක වේගයක් සටහන්ව තිබුනි!


4.01 PM

එතැන් පටන් නැවත වේගවත්වූ අප සවස 4.00 වන විට පොතුවිල් නගරයට ලඟා වුනි. පොතුවිල් නගරය කීවාට එය නගරයම නොවීය. එතැන කුඩා මංසංධියක් පමණි. නගරය පැවැතියේ ආරුගම්බේ දෙසට විහිදීය.  අපට තවත් දුරක් පැදයාමට වඩා ඒ අසල ඇති නවාතැන්පොලකට සේන්දුවී විඩා නිවා ගැනීමට අවශ්‍යව තිබූ මොහොතක "බ්ලූ මූන්" ගිමන් හල ඇස ගැටුනි. එය නවාතැන් පොලක් කීවාට නිවසක්ම විය. කුඩා කාමර දෙකක් යාන්තමින් අටවා තිබුනි. එහෙත් එය පිරිසිදු බවින් ලකුණු දිය හැකි මට්ටමක විය. ගිමන් හල පවත්වාගෙන ගිය මැදිවයස ඉක්මවා ගිය අයගේ නම මේ මොහොතේ මතකයට නො ඒ! ඔහුගෙන් පලමුවෙන්ම කාමරයක් ගැන ඇසූ විට ඔහු පෙරළා නැගූ පැනයනම් කිසිදා මා හට අමතකව නොයනු ඇත!
"අපිට අද රෑට ඉන්න කාමරයක් ගන්න පුළුවන්ද?"
"පොඩ්ඩක් තෙමුනට කමක් නැද්ද?"
"ඇඳ උඩද ?"
"අපෝ නෑ ඇඳ තෙමෙන්නේ නෑ!"
"එහෙනං කමක් නෑ කොහේ තෙමුනත්!"
කාමරය සෙවිළි කොට තිබුනු ඇස්බැස්ටෝස් තහඩුවක් පුපුරා වැසි වැටෙන විට වතුර කාන්දුවේ! එයට තැබූ නිල් පැහැති බේසම අප කාමරයට යන විටත් එලෙසම විය. ඔහුගේ පියා මීට දශක ගනනාවකට පෙර දකුණු පලාතේන් මෙම ප්‍රදේශයට සංක්‍රමණය වී ඇත!

පොතුවිල් නගරයෙන් බීර වීදුරුවක් සොයා ගැනීම කළුනික සොයනවා වැනි කටයුත්තකි. මන්ද එම නගරය අරක්ගෙන තිබුනු මුසල්මානුවන් ඇල්කොහොල් විරෝධියන්වන බැවින් සුරා සල් ඔවුනට අරහං වී තිබුනු නිසාය. 
මාගේ කුච්චවේලි මිත්‍රයින් මෙන් බීර වීදුරුවක් තොලගා ලබා ගන්නා "පොඩි වෙරි" වලට වත් ඔවුන් අනුකූල තාවයක් නොදක්වන ලෙසක් නගරය පුරා දිස්විය. එහෙත් අපගේ තානයම් පල්ලා ත්‍රී රෝද රථයක් අනුග්‍රහයෙන් අපට ස්ට්‍රොං බීර බෙලෙක්ක දෙකක් ලබා දීමට සමත්විය. රාත්‍රිය හොඳ නින්දක් ගෙන ඒ වි! 
ශුභ රාත්‍රියක්!
242. මව්බිම වටා සයිකලයෙන් . . . 6

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...