Monday, May 18, 2020

174. විජයග්‍රහණයෙන් දශක 1.1 ට පසු . . !

ගලේ කෙටූ දරු දුක . . !

තිස් අවුරුදු සිවිල් යුද්ධයකින් ලොව අතිශය ප්‍රභල ත්‍රස්ථ කණ්ඩායමක් වන එල්ටීටිය යටපත් කොට ශ්‍රී ලාංකික හමුදා විජයග්‍රහණය කොට අදට දශකයකුත් තවත් වසරක් කල් ගත වී ඇත.
කොරෝණා නොඑන්නට රජය හා බහුතර ජනතාව විසින් මෙම අවස්ථාව අතිඋත්කර්ශවත් භාවයෙන් යුතුව සැමරීමට ඇවැසි සියළු යටිතලයන් සැකසී ඇති මෙවන් දිනක් යලිදු ඒ දැයි සැක සහිතය.
මන්ද එදා යුද්ධයට සෘජුව සහභාගීවී සිටි බොහෝ පුද්ගලයින්   නැවතත් අපරටේ දේශපාලන කරළියේ ප්‍රභල චරිත බවට පත්වී ඇති හෙයින්ය.
එදා සේම අදත් රාජපක්ෂ රජයක්ද වික්‍රමසිංහ විපක්ෂයක්ද රටේ විද්‍යාමානවූ අවදියක් යලිදු ඇතිවී ඇත.

එහෙත් කණගාටුවට කරුණකි! 
යුධ ජයග්‍රහණයෙන් පසුව ගෙවුනු වසර එකොලහක කාල පරිච්ඡේදයෙන් වැඩි කාලයක් රට පාලනය කල රාජපක්ෂ ආණ්ඩුව; මෙම ජයග්‍රහණය පොදු ජයග්‍රහණයක් ලෙස සමස්ථ ශ්‍රී ලාංකිකයින් හට දැනෙන ආකාරයකට රට ගෙන ඒම අපොහොසත් වී ඇත.
එය මුළු මහත් රටේම අභාග්‍යසම්පන්න බවකි.

මෙය ගැන අප ටිකක් කථා කරමු.

තිස් අවුරුදු යුද්ධය පැවති කාල සීමාව තුල මෙරට සිටි විවිධ පාලකයින් ගෙන් බහුතරයක් දෙනා තම තමන්ගේ නැණ නුවනේ තරමට මෙම ප්‍රශ්ණයෙන් ගොඩ ඒමට උත්සාහ කල බව මා විශ්වාස කරමි.
ආර්. ප්‍රේමදාස ජනාධිපති විසින් එල්ටීටියට අවි ආයුධ ලබා දුන් සිද්ධිය සත්‍යයක් යන මතයේ සිට කථා කලහොත්; එම සිද්ධිය හැරෙණ්නට අනෙක් සෑම කලෙකම සිටි මෙරට පාලකයින් මා පෙරකී ලෙසට මෙම ප්‍රශ්නයෙන් රට මුදා ගැනීමට තම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කොට ඇත.
උදාහරණයක් ලෙස; රනිල් වික්‍රමසිංහ විසින් ඇතිකල සාම ගිවිසුම තුලින්ද ඔහු උත්සාහ කර ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් එල්ටීටිය හුදෙකලා කිරීමට බව මා විශ්වාස කරමි.
එසේම එල්ටීටිය ඉතිහාසයේ ලබූ දැඩිතම මානසික පසුබෑම ලෙස මා විශ්වාස කරණ; කරුණා අම්මාන්ගේ ඉවත්වීමටද හේතු භූත වූයේ රනිල්ගේ තීක්ෂණ භාවය ලෙස මා දකිමි.
තමළණී ජෙයික්කුමාරන්ගේ "තියුණු අසිපතක සෙවන යට" පොතේ මෙම සිද්ධිය සමග එල්ටීටියේ මානසික ඇදවැටීම පිළිබඳව මනාව සඳහන් කොට ඇත.
මෙසේ සෑම සියළුම රාජ්‍ය නායකයින්; එල්ටීටිය පරාජය කිරීමට විවිධ උත්සාහයන් ගත්තද එහි විපුල ඵල නෙලා ගැනීමට අවස්ථාව ලැබුනේ මහින්ද රාජපක්ෂටය.

1994 දී චන්ද්‍රිකා අති බහුතරයකින් ජනාධිපති වනවිට එම බහුතරය තුල එක්තරා දෙමළ චන්ද ප්‍රථිශතයක්ද විය.
යාපනය දිස්ත්‍රික්කයේ භාවිතා කල ඡන්ද සංඛ්‍යාවෙන් 96% ක්ද වන්නි දිස්ත්‍රික්කයේ 85% ක් ද ත්‍රිකුණාමලයේදී 71% ක් හා මඩකාලපුවේදී 87% ක්ද ඇය දිනා ගත්තාය.

ඒ; චන්ද්‍රිකා මෙම ප්‍රශ්ණයට සාර්ථක විසඳුමක් දෙනු ඇතැයි ඔවුන් විශ්වාස කල නිසාය.

මහින්ද බලයට පැමිණෙන්නේ ජාතික ප්‍රශ්ණයට පැහැදිලි විසඳුමක් දෙන බව පවසමිනි.

2004 ජනවාරි 23 ශ්‍රිලනිපය හා ජවිපෙ අතර අත්සන් කරණ එකඟතා ගිවිසුමෙන් පසු එළඹෙන 2004 අප්‍රේල් 5 මැතිවරණයෙන් එම සංධානය ජය ලබා ගන්නා අතර මහින්ද එම ආණ්ඩුවේ අගමතිවරයා වන්නේය.

මහින්ද ජනාධිපති වන්නේ 2005 නොවැම්බර් 17 පැවති ජනාධිපතිවරණයෙන්ය. එදා ඔහු ලබා ගන්නේ රනිල් වික්‍රමසිංහට වඩා වැඩි චන්ද 181,786 කි.
එම පදවි ප්‍රාප්තිය සමග ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරයට කැඳවෙන අතර ගෝඨාභය විසින් සරත් ෆොන්සේකා තම හමුදාපති ධූරයේ රඳවා ගැනීමට කටයුතු කරයි.

මාවිල් ආරු සටන ඇරඹී කෙටි කලක් තුල 2006 අගෝස්තු 8 වනදින මාවිල් ආරු අමුණු දොරටු විවෘථ කරණු ලබයි.
2006 ඔක්තෝබර් 28 දින ජිනීවාහීදී පැවති සාම සාකච්ඡා බිඳ වැටේ.
ඉන්පසු දිගෙන් දිගටම ඇවිලී යන සටන් වලින් දිනෙන් දින පියවරෙන් පියවර ජය ලබන රජයේ හමුදාවෝ 2009 මැයි 15,16 සහ 17 යන දිනවල පැවති සටන් වලින් පසු මැයි 19 වන දින අළුයම ප්‍රභාකරන් ගේ මළ සිරුර සොයා ගනීමෙන් පසු සටන; සංග්‍රාමික ජයග්‍රහණයෙන් කෙළවර විය.

මම මෙසේ ගෙන හර දැක්වූයේ එම ඉතිහාසයේ ඉතා සියුම් අවස්ථා කිහිපයකි.
මෙම යුධ ජයග්‍රහණයෙන් පසු කෙරෙණ ජයග්‍රහනයේ ප්‍රකාශන වලදී එම ජයට ප්‍රධාන හේතුව ලෙස ගෙන රාජපක්ෂවරු ගෙන හැර දැක්වූ ජිවමාන සාධකය වූයේ සරත් ෆොන්සේකාවය.
වරෙක ඔවුන් ඔහුව හඳුන්වන්නේ ලොව සිටින හොඳම හමුදාපති ලෙසින්ය. 
සරත් ෆොන්සේකාද තමාගේ මෙහෙයුම් සඳහා මහින්ද ජනාධිපතිගෙන් හා ගෝඨාභයගෙන් ලැබුනු පිටුබලය සැමවිටම අගය කලේය.
එහෙත් මේ අගය කිරීම් සුන්දර කථිකාවත් පවතින්නේ ඉතා කෙටි කලෙකි.
2010 ජනවාරි 26 වෙනිදා පවැත්වීමට දින නියම කල ජනාධිපති වරණයට සරත් ෆොන්සේකා නාමයෝජනා දීම සමගම එම ගරුත්වය නැත්තටම නැතිවී ගියේය.
සරත් ෆොන්සේකාහට සේවා දිගුවක් ලබා දී ඔහුව නවතා ගැනීමට ගෝඨාභය තීන්දු තීරණ ගන්නේ; සරත් ෆොන්සේකා යනු; දිනන යුද්ධයක තීරණාත්මක සාධකයක් වන හෙයින් මිස වෙන කුමණ කරුණක් කරණ කොට ගෙනද?
එතෙක් හමුදාවේ ගතකල දශක ගනනාවක ජීවිත කාලය තුලදී තමාට විනාශ කල නොහැකිවූ ත්‍රස්තවාදී සංවිධානයක් විනාශ කිරීමට සරත් ෆොන්සේකාහට හැකියාව ලැබෙන්නේ, අවස්ථාව සැකසෙන්නේ; රාජපක්ෂ දෙබෑයන් විසින් සමස්ථ ත්‍රිවිධ හමුදාවට මෙන්ම රටටද නායකත්වය දුන් හෙයින් බව මාගේ විශ්වාසයයි.
මහින්ද හට එවන් ශක්තියක් ලැබෙන්නේ 2004 සිට ඔහුට සහය ලබා දෙන ජවිපෙ හා හෙළ උරුමය වැනි කුඩා එහෙත් ජනතාව තුල මතයක් ඇතිකිරීමට හැකි පක්ෂ එක්ව කටයුතු කල හෙයින්ය.
එසේම මෙම යුද්ධය පිළිබඳව කටමැත දෙඩවූ එජාපයේ රවී කරුණානායක, කිරිඇල්ල, රනිල් වැනි නායකයින් සිටියද සමස්ථයෙන් අති මහත් බහුතරයක් වූ එජාප පාක්ෂිකයින්ගේ ආශිර්වාදය ලැබුනේ රාජපක්ෂවරුන්හටය. ෆොන්සේකාටය. සමස්ථ ත්‍රිවිධ හමුදාවටය.
එහෙත් සරත් ෆොන්සේකා; මහින්ද සමගින් සටනට එළඹීමත් සමගම යුද්ධයේ ජයග්‍රහණය හුදෙක්  රාජපක්ෂවරුන්ගේ  ජයග්‍රහණයක් බවට පෙරළුනි.
මෙම තත්වයට රාජපක්ෂවරුන් පත්වීමට සරත් ෆොන්සේකාගේ ක්‍රියා කලාපයන්ද තුඩු දෙන්නට ඇත.

මෙයට උදාහරණ දෙන්නට පෙර සරත් ෆොන්සේකා චරිතය පිළිබඳව යාන්තමින් සිහියට නගා ගනිමු.
ඔබ හිතනවාද සරත් ෆොන්සේකා වෙනුවට; මනුෂ්‍ය කමින් පිරිපුන් ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි වචනයේ පරිසමාප්තියෙන්ම මහත්වරයෙකු සිටියානම් යුද්ධය දිනා ගත හැකිවෙයි කියා?
කෙක්කෙන් නැත්නම් කොක්කෙන් තමාට අවශ්‍ය ජයග්‍රහණය තනිව ලබා ගැනීමේ නොනිත් ආශාවෙන් පෙළුණු සරත් ෆොන්සේකා වෙනුවට; සොල්දාදුවන්ගේ රුධිරය, සොල්දාදුවන්ගේ මෑණිවරුන්ගේ කඳුළු පිලිබඳව අප්‍රමාණ වටිනාකමක් ලබාදෙන සෙනෙහෙබර පියෙකුට මෙම යුධ ජයග්‍රහණය නෙලා ගත හැකියැයි ඔබ සිතනවාද?

එනිසාම 2010 දී තමාගේ ප්‍රථිමල්ලවයා පරදා ජනාධිපති සටනෙන් ජය ලබා ගැනීමට ඔහු කුමක් නම් නොකරාවිද?
මා දකින්නේ එය ඔහුගේ ස්වභාවය කියාය.
එසේම ඔහු තුල පවතින සංග්‍රාමික ජීව ගුණය වන්නේද එයමය ය.
තුවක්කුවක වටිනාකම වන්නේ එය දරණ්නා විසින් එල්ල කරණු ලබන ඉලක්ක සුණු විසුනු කරණු විනා බටයෙන් මල් පොහොට්ටු, පැනි බූන්දි පිටවීම නොවේ.
තුවක්කුවට; තමා විසින් මරා දමනු ලබන්නේ තමාගේ අයිතිකරු වුවද කම් නැත.
සරත් ෆොන්සේකා චරිතය මා දකින්නේ උෂ්නත්වය හඹා යන රොකට් මුක්ත කරණ රොකට් ලෝන්චරයක් (Heat seeking rocket launcher) ලෙසය.
එය මුදා හැරිය පසු තමාගෙ අම්මා තමාට උයන බත් මුට්ටිය වුවද කම් නැත.
උෂනත්වය ගැලපේනම් එය සුනු විසුණු කොට දමනු ලබයි.

එහෙත් එම ජනාධිපති සටනේදී මහින්ද හා සරත් යන දෙදෙනාහටම; තම ප්‍රථි මල්ලවයන් වෙත දැඩි හානි ඇතිකිරීමට මෙන්ම තමාට ජයග්‍රහණය සඳහා තිබුණු සුදුසු කම වූවේ අන් කිසිවක් නොව යුධ ජයග්‍රහණය පමණක්ම විය.
මෙය කෙතරම් ඛේදණීය තත්වයක් වූවේද යත් යුධ ජයග්‍රහණය  තමාගේ තනි උත්සාහක් ලෙසත්; ජනපතිවරණයේ ප්‍රථිමල්ලවයන් එම ජයග්‍රණයේදී කකුලෙන් ඇද බාධා පැමිණවූවන් බවට දැක්වීමට තරම් දෙපාර්ශ්වයම සාහසික විය.
සරත් ෆොන්සේකා හට සහය දුන් එජාපය හා ජවිපෙ ඇතුළු සියල්ලන් විසින්ම එතෙක් තම හදවත් තුල පැවති යුධ ජයග්‍රහණයේ ආශ්චර්‍යමත් පොදු අයිතිය; රාජපක්ෂ වරුන් විසින් සාහසික ලෙස උදුරා ගත්තේ එය තමන්ගේත් තම පාක්ෂිකයින්ගේත්; පරවේණියෙන් භුක්තියට සවිවූ බූදලයක් ලෙස පෙන්වමින්ය.
2009 මැයි 19 වනදින කිරිබත් උයාගෙන රතිඥ්ඥා පත්තු කරමින් කොඩි බැඳගෙන සමරා ඇත්තේ තමන්ගේ ජයග්‍රහණයක් නොව වෙනත් කණ්ඩායමකගේ ජයග්‍රහනයක් බවට; රාජපක්ෂ වාදීන් නොවන රටේ ඉතිරි මිනිසුන්ගේ හදවත් තුල පැල පදියම් වී මේ වන විට  අවසානය.

වඩාත්ම ශෝක ජනක තත්වය වන්නේ සමාජ මාධ්‍ය මගින්ද; රාජපක්ෂ වාදීන් නොවන අන් සියළුම "කුහකයින්" හට මෙම යුධ ජයග්‍රහණය සැමරීමේ අයිතියක් නැති බව හුවා දැක්වීමයි.

යුද්ධය පටන් ගත් කාලයේ සිට මෙම යුද්ධයට සිංහල-බෞද්ධ තීන්ත ආලේප කර තිබුණි. හාමුදුරුවරු පවා රණ ගී ලියා යුද්ධයට සිංහල බෞද්ධ උප්පැන්නයක් ලබා දී තිබුණි. මේ නිසාම යුද්ධයෙන් මුස්ලිමුන් මෙන්ම සාමකාමී ද්‍රවිඩයන් ඉවතට තල්ලු වී ගියෝය.
අනුන්ගේ යුද්ධයකට එකතුවී මිය යාමෙන් පලක් නැති බව නිසා හෝ "අපි දෙමළ" යන පදනම නිසා හෝ හමුදාවට ද්‍රවිඩයින් එක් වූයේ නැති තරම්ය.
එසේම වතුකරයෙන් හෝ ද්‍රවිඩයින් හමුදාවට  එක් කර ගැනීමට උනන්දු නොවූයේ එය සංග්‍රාමික උපක්‍රමයක් ලෙසදැයි මා නොදනිමි.
එය එසේ සිදු නොවී එල්ටීටිය සමග කල සටන් වලදී ද්‍රවිඩ හමුදා සෙබළුන් මිය ගියා නම් මෙම යුද්ධ ජයග්‍රහනය පොදු ජයග්‍රහණයක් වීමට ඉඩ තිබුණි.

එදා දෙවරක්  හෝ අවම වශයෙන් එක් වරක් හෝ මහින්ද පත් කිරීම සඳහා තම ඡන්දය පාවිච්චිකොට මේවන විට එජාපයට, ජවිපෙට සහය ලබා දෙන සාමාන්‍ය පුද්ගලයෙකු පිළිබඳව හෝ එදා වෙනත් පක්ෂයක  පාක්ෂිකයෙකුව සිට හදවතින් යුද්ධයේ ජයග්‍රහණයන්හට ආශිර්වාද කල අයෙකුගේ තත්වය සිතා බලන්න.
යුද්ධයට සහභාගීවූ සොල්දාදුවන් අතර හා ඔවුන්ගේ පවුල් පසුබිම් සොයා බැලුව හොත් එම පිරිස් අතර වෙනත් පාක්ෂිකයින් කෙතරම් සිටින්නට ඇත්දැයි සාක්ෂාත් කර ගත හැක.
පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හෝ ජේවීපී මව් පිය වරුන්ගේ දරුවන් යුද්ධයේදී මිය ගිය අවස්ථා නැතිද?
එදා ඔහු මහින්දව පත් කිරීමට ඡන්දය පාවිච්චි කලද අද වන විට රාජපක්ෂවරුණ්ගෙන් වියෝ වී ඇත්නම් ඔහුට යුද්ධ ජයග්‍රහණයේ ආශ්චර්‍යය නොවිඳිය යුතු එහි අයිතියක් නැති කුහකයින් විය හැකිද?
මේවා මොන තරම් අඳබාල කථාද?

මෙය සාධාරණ, යුක්ති යුක්ත ප්‍රකාශ හෝ අදහස්ද?

මේ සියළු මුග්ධ ක්‍රියා වලින් පීඩාවට පත්වන්නේ යුද්ධයට සෘජුවම දායකත්වය දක්වූ සොල්දාදුවන් හා මිය ගිය සොල්දාදුවන්ගේ දෙමව්පියන් හා නෑ සියන්ය.
මන්ද අදද රාජපක්ෂ පාක්ෂිකයින්; යුද්ධ ජයග්‍රහණය "පොදු" සාධකයක් හෝ පොදු අයිතියක් බවට ජනසතු නොකොට එය රාජපාක්ෂිකයින්ගේ පරවේණී උරුමයක් සේ දකිමින්; ඔවුන් ගේ ප්‍රථිවාදීන් හට පහර දීමට භාවිතා කරණ පහසුම ආයුධය ලෙස භාවිතා කිරීමය.
යුධ ජයග්‍රහණය පිළිබඳව කණගාටුවන කුහකයින්සේ; තම ප්‍රථි මල්ලවයින් පිළිබඳ අර්ථකතනයන් ලබා දීමය.
එනිසා රාජපක්ෂ පාක්ෂිකයින්  හැරුණුකොට අන්සියල්ලම හා  සිංහල නොවන සියල්ලන්ම ගාල් කොට ඇත්තේ එකම තැනකටය.

මේ නිසාම ඔවුන්ද "උඹලගෙ නම් උඹලාම තියාගන්!" කියනවා හැරෙණ්නට එම ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන්නට එන්නේද නැත.

මේ සියල්ලෙන්ම හදවත් ඉරී යන්නේ රට වෙනුවෙන් දරුවන් දන්දුන් වන්දණීය පූජනීය අම්මා වරුන්ගේය. තාත්තලාගේය.
මේ සියලු කරුණු කාරණා සමග; සෑම නගරයකම; නො එසේනම් අවම වශයෙන් සෑම දිස්තිරික්කයකවත් ස්ථාපිත කල රනවිරු ස්මාරකයක් අභියස; අභිනවයෙන් ජීවිත අරඹන තරුණ තරුණියන් වෙතින් පූජෝපහාර ලැබීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය අයුරු!
රුසියාවේ එවන් සිරිතක් ඇති බව මා අසා ඇත.
අප පාසැල් යන කාලයේ කොළඹ මහජන පුස්ථකාල භූමියේ  පසෙක තිබෙන නන්නාඳුනනා සොල්දාදුවන් වෙනුවෙන් ස්ථාපිත කොට ඇති ස්මාරකය  වෙත බොහෝ වරක් මා ගොස් එහි අති ඵලකය කියවා ඇත!

"ඔවුන්; ඔවුන්ගේ හෙට දිනය අපගේ අද වෙනුවෙන් පුදකලෝය!" එහි ලියා ඇත!

මේ මව් වරුන් පිය වරුන් වෙනුවෙන්; යුධ ජයග්‍රහණයේ 12 වන සැමරුමට පෙර අප විසින් ඉටු කල යුතු එහෙත් අතිශය වැදගත් වූත් වටිනාකමකින් යුක්ත වූත්  වගකීමක් තිබේ.
මෙහි වැඩි වගකීමක් ඇත්තේ දැනට බලයේ පවත්නා දේශපාලකයින්හට හා පාක්ෂිකයින්ටය.

මෙම ජයග්‍රහනය ජනගත කරණ්න!
එහි පරම අයිතිය අත් හරින්න, එය තනි අයිතියක් නොවන බව හදවතින් හා බුද්ධියෙන් තේරුම්ගන්න!!
සෑම ශ්‍රී ලාංකිකයෙකුහටම එහි ඇති අයිතිය තහවුරු කරණ්න!!!
එහි ඇති වටිනාකම පහදා දෙන්න!!!!
සෑම ශ්‍රීලාංකිකයෙකුම මෙම ජයග්‍රහණය ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව වැළඳ ගන්න!!!!!

28 comments:

  1. අන්කල් මේ වගෙ ලිපි කියවිය යුතු බොහො දෙනා මගේ යහලුවන් වීම එක්තර අතකට කණගාටුවට කරුණකි. මා ඕනෑම යුද්ධයක් දෙස බලන්නේ වෙනමම කෝණයකින්. මා කිසි විටෙක යුද්දය Promote කරන්නෙක් නොවෙමි. නමුත් සාමය ලෝක ඉතිහාසයේ සාමය බිහි වී ඇත්තෙද ඉදිරියට බිහිවන්නේද යුද්ධය තුලින් බව වයසින් වැඩෙත්ම මා තෙරුම් ගත්තකි. මා දකින විදියට අර සන්නස්ගල කියනවා වගේ අද මගේ වයසේ සමකලීන තරුණ තරුණයින් දුටුව Winning War එකක්. ඒ යුධමය මානසිකත්වය තමයි බොහො දෙනට අද තියෙන්නෙ. ඒ වගේම එයට කුඩා කල සිට අපට පෙවූ ජාතිවදී සහ ආගම් වාදී අදහස් මනාව උපකාරී විය. අද කොච්චර වුවද දමිළ , මුස්ලිම් මිනිසෙකු දෙස බලන්නෙ වපර ඇසකිනි. එයට සිංහල-බෞද්ධ ලේබලය එදා සිට අකණ්ඩව එන්නත් ලබා දෙමින් සිටී. මට අන්කල්ගෙන් අහන්න,කියන්න දේ බොහොය. ලියන්න බැහැ ඔක්කොම. මන් මෙසේ අවසන් කරන්නම්. මම දකින විදියට ලොකයේ දියුණු රටවල් තියනවා නමුත් ලෝකය තාම දියුනු වෙලා නැහැ. මගෙ දැක්මට අනුව ලෝකය දියුනුයි කියල කවදහරි කියන්න පුලුවන් වෙන්නෙ "සියලුම ආගම් ඉවත් කරල,ලෝකයටම පොදු නීති පදධතියක් එක්ක,කිසිම රටකට පුදිගලික හමුදාවක් තියගන්න බැරි,ලෝකයටම පොදු එක් හමුදවක් UN එක යටතේ හෝ වෙනත් පොදු පාලන කරමයක් යටතේ වැඩ කරන සියලුම රටවල් වල එම හමුදාව කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රිය කරන යම් කිසි රටක විශාල කලබලයක් ඇති උනොත් පමනක් UN එක තුලින් Additional Forces Appoint කරන ක්‍රමයක්" අන්න එදාට දියුනු ලෝකයක් තියෙයි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මමත් පිළිගන්නා සත්ත්‍යය වන්නේ බොහෝ රටවලට සාමය උදාවී ඇත්තේ යුද්ධයකින් පසුව බවයි. ඔබ පවසන ලෙසට ලෝකය තනි යායක් වූදාට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "සාමය' කියන දේ ස්ථාපිත වෙයි.
      ඊළාම් සංකල්පයකට ද්‍රවිඩයන් තල්ලු කරලීමට සිංහලයින් යම් ආකාරයක උත්ප්‍රේරකයක් වූවා සේම මෙම ඊළාම් යුද්ධය ප්‍රභාකරන් විසින් ඉල්ලා සිටිය එකක් ලෙසයි මා සිතන්නේ.
      එහෙම නැත්නම් එකම බංකරේක කලකට පෙර කට්ට කාපු කරුණා; ප්‍රභාගේ බොඩිය අඳුනා ගැනීමට එන්නට වෙන්නේ නෑ නේ.
      බොහෝ වාර ගනනාවකදී ප්‍රභාට වඩාත් පුළුල් අයිතිවාසිකමක් දිනා ගැනීමට හැකියාව ලැබුනත් ඔහු හිටියේ රටෙන් භාගයක් තනි අයිතියට භුක්ති විඳීමේ සිහිනය දකිමින්.
      කොහොමට වත් ඔවුන්ගේ අරගලය මා ෆිඩෙල් ගේ චේ ගේ මාවෝ ගේ තලයකට කිසි සේත්ම ඔසොවා නොතබමි.
      එනිසාම ප්‍රභා විසින් හුදෙක් ඔහුගේ අභිමතාර්ථයන් මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් ඔහුගේම පංතියේ මිනිසුන් මරා දැමීම කිසි සේත්ම සාධාරනය කිරීමට අපහසුවේ.
      (වෙනත් පංතියක මිනිසුන් මරා දැමීම සාධාරන යැයි මෙයින් මා අදහස් නොකරමි!)
      ඒ නිසාම මෙම ප්‍රභාගේ සිහිනය බිඳ දැමීමම විජයග්‍රහණයකි.
      එහෙත් එය මේ වන විට පෞද්ගලික කරණය කර ඇත.
      ස්තූතියි මෙහි ආවාට!

      Delete
  2. Mostly what you said is correct, what was lacking is the political will to go to the bitter end. Most leaders before MR change course halfway (due to external pressure) move from war to peace and back. Only GR/SF understood the enemy well, at the end it was GR/SF was running the war MR had to wait and watch and hope for the best. GR/SF are military officers not gentlemen (Shantha Kottegoda issue is proof) Kamal Gunarathna's book explains how unorganised 3 forces running a war.

    War was a business for many local and international actors including our own govt. MR should be given credit for not continuing the war business. One of the British NGO women told me in 2009, she is sad to leave SL and was planning to live here forever.

    In short, everyone want to claim bit of credit for ending the war CBK/RW etc. they may have won small battles but if they were in power war is still here. Most our leaders (RP,CBK,RW)were afraid of real military leaders like Kabbakaduwa/SF/Janka Perera etc(power hungry people)and always sideline them. Only MR/GR took the risk with SF and at the SF proved why former leaders sideline people like SF. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම අප වැනි විවේචනාත්මක ලෙස කරුනු දක්වන මධ්‍යස්ථ මත ධාරීන් හුදෙක් රාජපක්ෂ විරෝධී ලෙබලය අලවා පැත්තකට කලද මා එදා මෙන්ම අදත් විශ්වාස කරණු ලබන කාරණය වන්නේ මෙම යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමට මහින්ද - ගෝඨා - ෆොන්සේකා ත්‍රිත්වය නොඉන්නට කිසිදා කල නොහැකි දෙයක් වීමට ඉඩ තිබුණු බවයි.
      එසේම එම තිදෙනා පසුපස සිටි සුවාසු දහසක් මහජනතාව, කුඩා පක්ෂ යනාදියද මෙයට හැකි උපරිමයෙන් දායක වූ බවය.
      චන්ද්‍රිකාද, රනිල්ද ගත්තත් එම අවස්ථාවේ තම තමන්ගේ උපාය ඥාණයෙන් කටයුතු කොට ඇත.
      නමුත් අවසානයේදී මෙම දේශපාලන කුණුගොඩට නොවැටෙන්නට; මහින්ද, ගොඨාභය හා සරත් ෆොන්සේකා යනු අප රටේ "ඉතිහාසය" වන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි.

      Delete
  3. ස්තූතියි තට්ටේ, මා සිතන ආකාරය තවත් පැහැදිලිව ගෙනහැර දැක්වූවාට. මම යුද්ධය ඉවරවූදාට කැමැත්තෙමි. නමුත් මට එදා කැවුම් කිරිබත් කා සමරන්නට බැරි ඔය යුද්දේ දිනන්නට මළගිය මගේ රටේ මිනිස්සුන් සිහිවන බැවිනි. උන්ගේ මලගම මතින් දිනූ දිනුමක් නැත. නමුත් තවටත් දෙපැත්තම අවුලන්නට වලි කන දේසපාලුවෝත්, උන්ගේ කියුම් අහන ගොං ජනයාත් ඉන්නා රටක සැබෑ සාමය තව ටිකක් දුරයි. රනිල් වික්‍රමසිංහ උථ්සාහ කලේ රටේ අනෙක් පැතිවල ඇති සියලු සැප සම්පත්, පහසුකම් උතුරට කාන්දු කර යුද්ධය දියකර හැර උතුරේ දෙමළුන්ටම යුද්ධය එපා කරවන්නට බව මට සිතේ. ඒ ක්‍රමය තිරසාර වුවත් කල් ගතවන සහ දකුණට සෑහෙන්නට ඉවසාගෙන ඉන්නට වන එකකි. අප තෝරාගත්තේ වඩා ඉක්මන් ක්‍රමයයි. යුද්ධයෙන් මියගිය සියලු හමුදා සහ සිවිල් වැසියන්ටත්, මිරිඟුවක් ලුහුබැඳ ගොස් නිකරුනේ මළ ත්‍රස්තවාදීන්ටත් මතු භවයේ යුද්ධයට මැදිවන්නට සිදු නොවේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම දකුණේ ජවිපෙ විසින් ඉල් මහ විරු සමරුව වාර්ශිකව පවත්වනවා සේම උතුරේ අම්මලාට තාත්තලාට තම මියගිය තම දරුවන් සැමරීමට ඉඩක් තිබිය යුතුයි.
      මන්ද ඒ හැම තරුනයෙක්ම එල්ටීටිය හා එක්වන්නේ තමන්ගේ නැණ පමණින් ගත් කල තමජාතිය ආගම වෙනුවෙන්ය.
      දකුණේ විරු සමරුව හා උතුරේ විරු සමරුව යනු එකම කාසියක දෙපැත්තකි.
      ඔබ සිතන්න පුරං අප්පු සටං වදින්නේ එවකට ස්ථාපිත ශ්‍රී ලංකික ආණ්ඩුවට එදිරිවය! සර්දියෙල් එකල මං පහරන හොරෙකි.
      නමුත් කාලය සමග ඔවුන් පිළිබඳ නිර්වචනය වෙනස් වී ඇත.
      කෙසේ වෙතත් විය යුත්තේ යුද්ධයක් යළි නො ඒමය ය!

      Delete
  4. මෙම තත්වයට රාජපක්ෂවරුන් පත්වීමට සරත් ෆොන්සේකාගේ ක්‍රියා කලාපයන්ද තුඩු දෙන්නට ඇත.
    අන්න ඒ ක්‍රියා ටිකක් විතර විස්තර කරන්නකො. ඇමරිකාවේ වමාරපු දේවල් ?
    අපිට දැනගන්න

    ReplyDelete
    Replies
    1. ශාන්ත මහතාණෙනි, රාජපක්ෂ වරුන් හට ෆොන්සේකා කල ලොකුම එදිරිවාදීකම වූයේ මහින්දට එදිරිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බව මා විශ්වාස කරමි.
      ඔබ ඊට වඩා දෙයක් දන්නේ නම් එය මෙහිම ලියන්න.
      ඔහු අමෙරිකාවේ ගිහින් කල කී දේ ගැන කිසිවෙකු අසා ඇත්නම් ඒ අසා ඇතේද මහින්දගේ හඬින් විනා බැරැක් ඔබාමා හෝ ජෝජ් ඩබ්ලිව් බුෂ් ගේ හඬින් නොවේ.
      එනිසාම ඒ ගැන මා එතරම් කලබලයට පත්වන්නේ නැත.
      වැමෑරීමක් ගැන ලියන මෙන් ඔබ මගෙන් ඉල්ලා ඇත.
      මා ලියන්නට සතුටු කන බොන දේ ගැන විනා පහරන, වමාරන දේ ගැන නොවේ.
      ඔබේ ඉල්ලීම ඉටු කිරීමට බැරිවීම ගැන කණගාටු වෙමි.

      Delete
  5. තවමත් හුඟක් දෙනා දාගෙන ඉන්න ඉන්න පාට කන්නාඩි ගලවලා නැහැ. ඒ නිසාද මන්දා හරි-වැරදි ඒ ඒ විදියටම නොදකින්නේ.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම කයිවාරු ගහුවාට "ශ්‍රී ලාංකික" ජාතිය කියන සංකල්පයට තව බොහෝ දුරක් තියෙන බව නම් පෙනේ. ස්තූතියි පැමිණියාට!

      Delete
  6. ඇත්තෙන්ම කිව්වොත් මා යුද්ධයට ඉතාම අකමැති කෙනෙක්. ලංකාවේ සිවිල් අර්බුධය වුවත් යුද්ධයෙන් තොරව අවසන් කරගත්තා නම් හොදයි කියලයි මා සිතන්නේ. බොහෝ රටවල් අළුත් අළුත් අවිඅයුධ සදමින් උත්කර්ෂවත් ලෙස එළිදක්වන විට මාගේ සිතට එන්නේ මේ මිනිස්සු මරන්න නේද ආයුද හදන්නේ කියායි.

    අනික දැන් මොනයම් ආකාරයකින් හෝ ගැටුම් අවසන් උනා. ඉතිං එතකොට ජිවත්ව සිටිනා අයට ඔවුන්ගේ මියගිය ඥාතීන්,හිතමිතුරන් සැමරීමට අවස්ථාව ලැබිය යුතුයි ඒ අයගේ කැමැත්ත අනුව. මොකද 71 කැරැල්ල, 88/89 කැරැල්ල (ඒවා හඳුන්වන්නේත් කැරලි ලෙස මිස ත්‍රස්‌තවාදය ලෙස නොවේ නේද?) නිසා මියගිය අය සමරනවා නං උතුරේ කැරැල්ල නිසාත් මියගිය සියලුම මිනිසුන් සැමරීමේ අයිතිය ඒ ගේ හිතවුන්ට ලැබිය යුතුයි. ඒ ඇරෙන්න යුද්ධයක් සමරා කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? දස දහස් ගණනකගේ දුක, වේදනාව, කඳුල, ලේ... ඒවා ඇරෙන්න වෙන කුමක්ද ඔකේ තියෙන්නේ?

    (මාගේ පියා යුධහමුදා නිලධාරියෙක්. 1996 ජුලි මාසයේදී මුලතිව් යුධ හමුදා කඳවුර බිඳ වැටුණු මොහොතේ මාගේ පියාත් අතුරුදහන්වූ හමුදා සෙබළුන්ගේ ගොඩට එකතු උනා. මට අවුරුදු 12 යි එතකොට. එදා සිට 2019 මැයි මාසය වෙනතෙක්ම අප සිතන් සිටියේ පියා විමුක්ති කොටිටි සංවිධාන අත්ඩංගුවේ වත් ඇති කියලා. පසුව ඔවුන්ව දකුණු ඉන්දියාවට වත් රැගෙන ගොස් එහෙවත් ජිවත් වෙනවා ඇතයි කියා අප සිතනවා. මියගියා කියනවට වඩා එහෙම හිතන එකත් බරක් එක වෙලාවකට. කොහොමද උනත් සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ මරණය රුපවාහිනීයේ දුටුවෙලෙත් මාගේ සිතට ආවේ සතුටක් නෙමේ. උපේක්ෂා සහගත හැගීමක් එක්ක හිස් කමක් වගේ. )

    ReplyDelete
    Replies
    1. ඇනෝතුමනි ඔබගේ කොමෙන්ටුවේ මූලික ඡේද තුනක් ඇත.
      එම ඡේදයනට පිළිවෙළින් මා සපයන පිළිතුරු වන්නේ; 1.ඒකඟවෙමි. 2.අනිවාර්යයෙන්ම එකඟ වෙමි. 3.දැඩි සේ කණගාටුවෙමි යන්නය.

      සත්තකින්ම යුද්ධය යනු ව්‍යාපාරයක් වන අතර බොහෝ රටවල් ජීවත් වන්නේ තුන් වෙනි ලෝකේ රටවල් තුල තිබෙන සිවිල් යුධ තත්වයන්ට පිං සිද්ද වෙන්නය.

      ඔබ පවසා අති පරිදි උතුරේ දරුවන් මිය ගිය දෙමව්පියනට එය සැමරීමේ අයිතියක් ඇති බවට මමද විශ්වාස කරමි. ඉහත ම.ලි.ර. සුරංගගේ කොමෙන්ටුවට මා ලියන ලද පිළිතුරෙහිද දක්වා ඇත.

      යුද්ධය පිළිබඳව රස කථා කියන බොහෝ දෙනෙක් අනුරාධපුරයෙන් එහාට ගොස් ඇත්තේ යුද්ධය නිමාවූ පසුවය.
      සත්‍ය වශයෙන්ම යුද්ධයෙන් හානිවූ පවුලක අයෙකු කිසිදා යුද්ධයක් පතන්නේ නැත.

      ස්තූතියි! ඔබගේ කොමෙන්ටුව මගේ පෝස්ටුවට ආභරණයක් විය!
      .

      Delete
  7. මගේ ඇමරිකන් මැරීන් මිතුරන්ගේ සගයා කෝප්‍රල් ජේම්ස් ඇම් ෂ්මිඩ් ලියු "Merry Christmas, My Friend" කවියේ කොටසක වචන දෙකක් වෙනස් කළා කියා ඔහු අමනාපවන එකක් නැතියි සිතමි.

    Soon around the Nation, the children would play,
    And grown-ups would celebrate on a bright Sunny day.
    They all enjoyed freedom, each month and all year,
    because of Soldiers like this one lying here.

    (https://www.scrapbook.com/poems/doc/17889.html)

    නැවතත් ලියමි. මෙම ජයග්‍රහණය ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව වැළඳ ගමු !!!!!

    ජයවේවා ඔබ සැමට!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මහින්ද රාජපක්ෂ සමග මාරන්තික වෛරයකින් යුතු අයෙකු හට වුවද; එසේම ගෝඨා සමග වේවා ෆොන්සේකා සමග ඒවන්ම වූ තරහකින් යුතුවූ අයෙකු හට වුවද යුධ ජයග්‍රහණය හෑල්ලුවට ලක් කල නොමැත! එය සිරාම වැඩකි.

      Delete
  8. ලියපු ටික ඔක්කොම මැකුනා......😪
    ඔය කියපූ ටිකට සරලව කියන්න තියන්නෙ අද නැගෙනහිර හා රට අභ්‍යන්තරයෙ ඇතිවී තිබෙන මුස්ලිම් අය්ගෙ ඉල්ලීම් තමයි එදා සුද්දො ඉන්නකොට ඉල්ලුවෙ.එඩ ඉඳලා තවමත් එම ප්‍රශ්නය එනවා ...
    බොරු නම් ඔයා තව අවු 30 හිටියොත් බල ගන්න පුලුවන් .
    එත්කොටත් ඔය විඩිහටම අපි සියල්ලෝම මනුෂ්‍යයොය කියලා ඉන්න පුලුවන්ද කියලා තෙරෙයි. අපි සිංහල කියන්න එදාට බැරිවෙවි.මොකද එදාට සින්හල ජතියෙ අවසන් පුරුක් විනාශ වෙලා..ජය වෙවා

    ReplyDelete
    Replies
    1. තිරන්ද මල්ලි මම; මීට උඩින් හැට්ටර් මල්ලිට දාපු කමෙන්ටුවම මෙහි කොපි පේස්ට් කරණ්නම් හදවතින්ම! ස්"අත්තකින්ම මහින්ද රාජපක්ෂ සමග මාරන්තික වෛරයකින් යුතු අයෙකු හට වුවද; එසේම ගෝඨා සමග වේවා ෆොන්සේකා සමග ඒවන්ම වූ තරහකින් යුතුවූ අයෙකු හට වුවද යුධ ජයග්‍රහණය හෑල්ලුවට ලක් කල නොමැත! එය සිරාම වැඩකි. යකෝ අපි කියන්නේ ඒක මේ 69 ලක්සෙට විතරක් අයිති දෙයක් කියලා අනික් එවුන්ව පදිරි කරණ්න එපා කියන එක! තේරුණාද?

      Delete
  9. මෙය පොදු ජයග්‍රහණයක් ලෙස රටේ බහුතර පුරවැසියන් පිළිගනී . එසේ නොකරන්නේ තම තමන්ගේ පාට කන්නාඩි වලින් සහ පෞද්ගලික දෘෂ්ටි කෝන වලින් බලන පිරිසය . යුද්ධය ඉවර වුන ගමන්ම වාගේ මම උතුරු නැගෙනහිර සංචාරය කලෙමි . එහිදී මා විසින් දුටු හැසිරීම් මෙසේයි . 1 . තමන්ගේම කියා වෙනම රටක් නිර්මාණය කරගැනීමට තිබූ අවස්ථාව LTTE පරාජයත් සමග අහිමි වුන නිසා ඒ ගැන දුකෙන් සිටිය පිරිස් . 2 . විශාල වශයෙන් කප්පම් ගැනීම දේපල අයිතිකර ගැනීම දරුවන් පැහැරගෙන යාම තම දේශපාලන අදහස් සහ ක්‍රියාකාරකම් LTTE එක අභිබවා කිරීමට නොහැකිව අන්ත අසරණ භාවයට පත් වුණු පිරිස් සතුටින් සිටීම . 3 . කිසි දෙයකට සම්බන්ධ නැති එදා වේල සොයාගෙන කා බී නිදහසේ සිටීමට කැමැති වූ පිරිස දුකක් හෝ සතුටක් නොමැතිව සිටීම . මේ තුන් ගොල්ලොම මෙය රටේ ජයග්‍රහනයක් ලෙස නොදැකීය . එසේම මට සිතෙන ආකාරයට ජනාධිපති ජයවර්ධන මෙය අවසන් කිරීමට ක්‍රියා කරාට ඔහුට නිවැරිදි දැක්මක් නොතිබිනි . ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සහ ඔහු අතර තිබූ පෞද්ගලික අමනාප කම් වලට සහ වෛරය නිසා සිදුවුනු ක්‍රියාවලියේදී වන්දි ගෙවීමට

    ReplyDelete
    Replies
    1. ප්‍රිය මහත්මයාණෙනි ඔබ විසින් කොටස් තුනක් යටතේ ලියා ඇති කමෙන්ටුවේ ඒ ඒ කොටසට මා විසින් කර්ණ්නට යම් ඌණ පූරණයක් හෝ වෙනස් මතයක් ඇත්නම් පමණක් මා මෙසේ එක් එක් කොටස යටින් දක්වන්නම්.
      ඇත්තෙන්ම ඉන්දිරාට පරණ ඇරියස් එකක් තිබුනේ ප්‍රේමදාස සමගය. මන්ද ඔහු 1977 රාජාසන කථාවේදී ( මට මතක ලෙසට) සිරිමාවෝගේ හා අනුරගේ පරාජය හා මුළුමහත් ශ්‍රිලනිපයේ සෝදාපාළුව පිළිබඳව කියා සිටියේ " ඉංදියාවේ වස්සටයි එලදෙනටයි සිදුවූ දේම ලංකාවේ වස්සටයි එළදෙනටයි සුදු වුනා!"කියාය. සත්‍යවශයෙන්ම සිරිමාවෝගේ හිතෛශී මිතුරුයකවූ ඉන්දිරා හා සංජය ගාන්ධි ඊට ආසන්න කලකට පෙර සිරිමාවෝ හා අනුර ලෙසින්ම ඡන්දයෙන් අතුගෑවී සිටියෝය. මෙය බැක් ෆයර් වන්නේ ප්‍රේමදාසහටය! ඉන්දියානු සෙබලුන් මෙහෙයවා එල්ටීටිය මර්ධනයට උත්සාහ ගත්තේ ජේ ආර් විසින් ය!

      Delete
  10. ඒ සිද්ධි දාමයේ කොටසක් වූ ඉන්දියන් හමුදාව මෙරටට පැමිනීම නිසා ඒ කරුමයට කර ගසන්නට සිදුවූයේ ජනාධිපති ප්‍රේමදාසටය . කෙසේ හෝ LTTE එකට ආයුධ සහ මුදල් දී ඔවුන් ලවා ඉන්දියන් හමුදාවට එරෙහිව යුද්ධ කරවා එවුන් මේ රටෙන් පලවා හැරීමට ක්‍රියා කල ප්‍රේමදාසට මේ රටෙන් නිසි ගෞරවයක් ලැබුනේ නැත. මොකද අප වැනි දුප්පත් කුඩා රටකට ඉන්දියාව වැනි අති ප්‍රබල රටකට විරුද්ධව කෙලින්ම යුද්ධයක් කල නොහැකි බැවිනි . මේක හරිද දන්නේ නෑ . මා අසා ඇති ආකාරයට ඒ සඳහා ඔහුට උපදෙස් දී ඇත්තේ ලලිත් ඇතුලත්මුදලි විසින් බවයි . ඒ කෙසේ වෙතත් ඒ වෙනුවෙන් ඔහුට ලැබුනේ ගැරහුම් අවලාද සහ අපහාස පමණි. ඔහු එසේ නොලොනම් කිසි දිනක ඉන්දියානු හමුදාව මෙරටින් යන්නේ නැත . නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති වූ ශ්‍රී නේරු මහතා විසින් කියා තිබුනේ ලංකාව වෙනම රටක් හැටියට ඔහු කිසිදා නොසිතන බවයි . ජනාධිපති ජයවර්ධන විසින් ඇතිකල හිඩැසින් රිංගා රාජීව් ගාන්ධි ක්‍රියා කලේ එහි දිගුවක් ලෙසයි . ඊ ලඟට පැමිනි චන්ද්‍රිකාට උතුරෙන් විශාල ප්‍රති

    ReplyDelete
    Replies
    1. ඉන්දියානු ව්‍යාප්ත වාදය කියන දෙය ප්‍රේමදාස මෙන්ම ජවිපෙත් පිළිගත් මතවාදයක් විය. කොහොමත් ප්‍රේමදාස හා ඉංදියාව එකට පෑහුනේම නැත. මේ නිසාම ඉංදියාවට; කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යුතුව ලංකාවේ ප්‍රශ්ණ විසඳා දීමේ උවමණාවක් නොවීය.

      Delete
  11. ඊ ලඟට පැමිනි චන්ද්‍රිකාට උතුරෙන් විශාල ප්‍රතිශත වශයෙන් ඡන්ද ලැබුනේ ඇය විසින් රට ෆෙඩරල් කරයි කියන විශාල බලාපොරොත්තුවටය . එසේ කියා ඇයට ඕනෑ කළේ තමන්ගේ ධූර කාලය සැපසේ ගෙවා දැමීමට මොනවා හෝ කරමින් කාලය ගත කිරීමටය . ඒ හැර කිසි දැක්මක් වැඩ පිළිවෙලක් ඇය සතුව තිබුනේ නැත. රනිල් කොහොමටත් බටහිර ගැතිය . රනිල්ගේ සාමය තව දුරටත් ගියා නම් අද ලංකාව රටවල් දෙකකි . ප්‍රබාකරන් කවදාවත් තම අරමුණෙන් බැහැර වූයේ නැත . ඔහු සැමදා කලේ සාම සාකච්චා කරමින් කල්මරමින් යුධමය වශයෙන් බලවත් වී පහරදී ජයග්‍රහනය ලබා ගැනීමයි . එහෙත් සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙන්නා සේම ඒ ඇති වුනු පරිසරයේ දී කරුණා වෙන්වීම අප ලද ප්‍රභල ජයග්‍රහනයකි . යුධමය වශයෙන් එතරම්ම නොවුනත් ඔබ ලියූ පරිදි මානසික වශයෙන් ඔවුන් ලැබූ අන්ත පරාජයක් විය . යුද්ධය සමයේ කෙසේ හෝ යුධ ජයග්‍රහනය මහින්ද පිලට යනවට අකමැති බැවින් 2008 දී අය වැය පරාජය කොට රජය පෙරලා දමා තමන්ගේ තක්සේරුව හරි යැයි කියන්නට රනිල් ඇතුලු මහින්ද විරෝධී පිරිස් පිඹුරු පත් සකස් කරමින් උන්හ . ඒ මහින්ද විසින් යුද්ධය ජයග්‍රහනය කලහොත් නැවත කිසිදා ඔවුන්ට බලයට ඒමට බැරි වේ යැයි බියෙනි . ඉතින් ඔවුන්ට යුධ ජයග්‍රහනය සමරන්

    ReplyDelete
    Replies
    1. යාපනය බේරා ගැනීම හා යුද්ධයේදී මහඟු කාර්‍යභාරයක් ඉටු කල මල්ටි බැරල් යුධ හමුදාවට හඳුන්වා දුන්නේද චන්ද්‍රිකා දවස බව මගේ මතකයයි.

      Delete
  12. ඉතින් ඔවුන්ට යුධ ජයග්‍රහනය සමරන්න උවමනාවක් තියෙනවද? කුමන හෝ අප නොදන්නා හේතුවකට හමුධාපති සරත් ෆොන්සේකා මහින්ද පිලෙන් වෙන්විය . යුද්ධයේ පරාජය ප්‍රර්ථනා කරමින් වැලේ වැල් නැතිව හිටිය රනිල් පිලට එය ලොකු අස්වැසිල්ලක් විය . සරත් ෆොන්සේකා හමුදා නායකත්වයට තියා ගැලවීමේ හමුදාවේ නායකත්වයට වත් සුදුසු නෑ කියූ මංගල සමරවීරට එක රැයින් ඔහු පතාක යෝධයෙක් විය . අන්ත පරාජයක පෙරනිමිති බල බල සිටි රනිල්ට ඔහුව ජනාධිපති අපේක්ෂක කමට දමා ලජ්ජාවෙන් ගැලවී ගත හැකි විය . ඒ ජනාධිපතිවරණය යුද්ධයේ පීතෘත්වයට පොර අල්ලන සටනක් විය . යුධ ජයග්‍රහනය බෙදෙන්නට වූයේ තම තමන්ගේ කරගන්නට වූයේ එතැන් පටන් යයි මා සිතමි . ඒ වගේම සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ගැනත් යමක් කිව යුතු බව මාගේ හැඟීමයි . නිවැරිදි දේශපාලන නායකත්වය සහ අවැසි පහසුකම් ලැබුනේ නම් ඔහු විසින් යුද්ධය ඉවර කරන්නේ මෙයට බොහෝ කලකට පෙරය . ප්‍රබාකරන්ව කොටුකර ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී රජිව් ගාන්ධි විසින් උඩින් පරිප්පු දමා හෙලිකොප්ටරයක් එවා කොටුකර ගත් තැනින් අපේ සොල්දාදුවන් බලා සිටියදී ඔවුන්ගේ කඳුලු මැදින් ප්‍රබාකරන්ව නිරුපද්‍රිතව රැගෙන යන ලදී . පසුව රජිව් ගාන්ධිට සහ ඔහුගේ මව වූ ඉන්දිරා ගාන්ධිට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදුන් එක වෙනම කතාවකි . යුධ සංග්‍රාම ශිල්පයේ කෙළ පැමිනි සෙන්පති කොබ්බෑකඩුවට යුද්ධයක ඇති දරුණු කම හා බැරෑරුම් කම ගැන මනා වැටහීමක් නොතිබෙන්නට බැරිය . යුද්ධය ඇදී ඇදී ගියහොත් දවසට පනහක් සියක් ගානේ මැරෙන එක වලක්වා ගත නොහැකි බව ඔහු නොදන්නේ කෙසේද? එම නිසා නිසි අවසරය තිබුනා නම් ඔහු මෙය ඉවර නොකරන්නේ කව සනසන්නද ?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම රනිල් ෆොන්සේකාව; පිටිය දිනා ගැනීම සඳහා ගැසූ තුරුම්පුව විය. එතැනදී ෆොන්සේකාව ඉතාමත් පහත් ලෙස රනිල් පාවිච්චිකලා මෙන්ම රාජපක්ෂවරුද ඔහුට සැලකුවේ ඉතාමත් නින්දිත ලෙසින්ය. මෙය ජනාධිපති වරණ වේදිකාවෙන් ඔබ්බට ගොස් ඔහුව බන්ධනාගාර ගත කල තැන තෙක්ම දිගු විය.
      ජනාධිපති වේදිකාවේදී ෆොන්සේකාද යුද්ධයේ පරම අයිතිය වෙනුවෙන් කිව යුතු හා නොකිවයුතු සියල්ල කියා පෑමට නිර්ලජ්ජිත විය.
      මේ සියල්ලෙන්ම සිදුවූයේ යුද්ධය රාජපක්ෂ වරුන්ගේ භුක්තියට සවි වීමයය!
      ස්තූතියි මෙහි ආවාට හා අදහස් ප්‍රකාශ කර සිටියාට.

      Delete
  13. මෙතන කතා කරන හැමෝම කතා කරන්නේ හරියට නෝර්වීජියන්,කැනඩා එහෙමත් නැත්නම් ස්විස් කාරයෝ වාගේ ...කවුරු යුද්ධේ ගැන මොනවා කිව්වත් ඒක ගැන හරියටම දන්නේ ඒක විදපු අය විතරයි ...අපි ඒ දවස්වල මායිම ගම්මාන වලට ආසන්නව ජීවත් වුණු අය ..කොයි වෙලේ කොහෙන් කොටි මතු වෙයිද කියලා බයයි.හිටපු පාලකයෝ හැමෝටම යුද්ධය වවාගෙන කන්න උවමනා වුනාට අවසන් කරන්න සැබෑ ලෙස කටයුතු කලේ මහින්ද රාජ්පක්ශයි. ජේ ආර් ට මුලකාලේ මේක ඉවර කරන්න උව්මනා උනාට ඒකට ඉන්දියාව ඉඩ දුන්නේ නැහැ. කොටින්ට ආයුධ දීලා පේමදාස කලේ අමු මෝඩ වැඩක්. චන්ඩ්‍රිකා කාලේ තමයි යුද්ධයෙන් වැඩිම ජීවිත හා දේපල හානි උනේ . රනිල් ගෙනාව සාමේ ගැන නම් කියලා වැඩක් නැහැ.ඉතිහාසයේ දරුණුම පාවාදීම කලේ රනිල්. ඒකාලෙත් අද වගේ 19 වන සන්ශෝධනය තිබ්බ නම් අද මේ රට පාලනය කරන්නේ කොටි.හොද වෙලාවට චන්ඩ්‍රිකා විධායක බලතල යොදලා ආරක්ශක අමාත්‍යාන්ශ අරගෙන ආණ්ඩුව විසිරෙවේ ...යුද්ධේ ගැන තවත් හරියටම දැනගන්න ඕන්නම් තමලිනීගේ පොතයි ජනරාල් කමල් ගුනරත්න මහත්තයාගේ පොතයි කියවන්න කියලයි මම ඉල්ලන්නේ ..

    ReplyDelete
    Replies
    1. මයිනාවනි;
      ස්තූති මෙහි ගොඩ වැදුනාට ප්‍රථමයෙන්.
      මෙම පෝස්ටුව ලියනා ලද මා හෝ කොමෙන්ටු ලියා දැක්වූ කිසිවෙකු මහින්ද රාජපක්ෂ හා ඉතිරි නායකත්වය කල කී කිසිවක් අවතක්සේරු කලේ නැත.
      ඔබ පවසන බොහෝ කාරණාවලට එකඟ විය හැක.මා නැවත නැවතත් කියන්නේ එය පොදු ජන ජයග්‍රහණයක් ලෙස ජනතාව අතරට ගෙන යායුතු දෙක මිස ජෙප්පන්ගෙන් හෝ යූ ඇන් පී කාරයන්ගෙන් වියෝ කල යුතු කාරනයක් නොවන බවය.
      යුද්ධයේදී ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කලේ 69 ලක්ෂය ට සම්බන්ධ එවුන් විතරමද?

      තමළිණී ජෙයක්කුන්මාරන් ගේ පොත හා කමල් ගුණරත්නගේ නන්දිකඩාල් පොතයි දෙකම මා සතුව ඇත.
      මා ස්තු නන්දිකඩාල් පොත; මහින්ද රාජපක්ෂ, ගෝටාභය රාජපක්ෂ, කමල් ගුනරත්න හා ලලී කොබ්බෑකඩුව මහත්ම මහත්මාදීන්ගේ අත්සන්වලින් ඔපවත්වී ඇති බවද නිහතමානීව සහෝදරත්වයෙන් ලියා දන්වමි.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...