Monday, November 3, 2025

297. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (හය වැන්න)

185.  ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! පස් වැන්න)

පාසැල නියෝජනය කරමින් ඉන්දියාවේ ලක්නව් හීදී.

පොඩි ප්ලාස්ටික් බැට් එකකින් ප්ලාස්ටික් බෝලෙකට ගහපු කාලේ ඉඳන්; 17න් පහල කණ්ඩායමට ක්‍රීඩා කරණා තුරු පාසල් ක්‍රිකට් අත ඇරියේම නෑ.

ඔයා පහළොවෙන් පහළ වගේ ක්‍රීඩා කරණ කාලයේ පාසැලට ආව අලුත් පුහුණුකරු ඔයාගේ හැකියාවන් හොඳින්ම හඳුනා ගත්තා කිව්වොත් නිවැරදියි. අපි ඔහුව ඇමතුවේ ප්‍රසාද් සර් කියලා. තරගයක මුල සිට අග දක්වා තමාගේ ඉනිම දියත් කරණා හැටි ඔහු ඔයාට කියලා දුන්නා.

ප්‍රසාද් සර්

ඔයාම පසු කලෙක මේ ගැන මට කිව්වා මතකයි ඔයාගේ ක්‍රිකට් ජීවිතේ වෙනස් වූ හැටි.  13න් පහළ කණ්ඩායම් සුපිරි ක්‍රීඩකයින් පුහුණුවීම කරමින් සිටි කාලයකයි ප්‍රසාද් සර් ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ. ඒ වන විට විවිධ හේතූන් මත සුපිරි ක්‍රීඩකයෙක් නොවුනු ඔයා; ක්‍රීඩා පිට්ටනියේ පැත්තක තිබුනු නෙට් එකක  බැට් කරණවා ප්‍රසාද් සර් බලා ඉඳලා තිබුනා කියලා ඔයාමයි කිව්වේ.  ඔයාට බෝල් කරපු හැම බෝලර්ලටම; කිසිම චාරයක් නැතිව තදින් පහර දෙන ඔයා දිහා ප්‍රසාද් සර් ඇහැ තියාගෙනම හිටියා කියල ඔයා පහු කාලෙක අතීතාවර්ජනයේ යෙදෙන විටෙක මාත් එක්ක කිව්වේ.

ඒ කාලේත් හැමදාම වගේම; 15න් පහල A, B සහ C කණ්ඩායම් තුනක් තිබුනා. අළුතින් පාසලට පැමිණි ප්‍රසාද් සර්ට ලැබුනේ මෙයින්; B කණ්ඩායමයි.  A කණ්ඩායමේ පුහුණු කරු ඉමල් බොතේජුත් C කණ්ඩායම භාර ලෙස්ලි නාරංගොඩත්; එතැන සිටි සංචිතයෙන් ක්‍රීඩකයින් තොරා ගනිද්දී ඉතිරි උන් අතරින් ඔයාව ප්‍රසාද් සර් අහුලා ගත්තා කියල ඔයාමයි මට කිව්වේ. 

පරිණත පුහුණු කරු දෙපල තම කණ්ඩායම් සඳහා තමා වටේ සිටි සොහොයුරු ක්‍රීඩකයින් තෝරා ගනිද්දී ඔයාගේ පොඩි හිත දෙගිඩියාවෙන් රිදෙන්න ඇති නේද?

ඒත් අන්තිමට; එම ක්‍රිකට් වසරේ;  ඔයාලගෙ කණ්ඩායම තරම් ඉදිරියට එන්න කිසිවෙකුටවත් නොහැකි උනා! ඒ ක්‍රීඩා වසරේ ඔයා බොහෝ ඉදිරියට ආවා. මේ සිද්ධිය පසුපස සිටි අයෝමය සේවනැල්ල උනේ ප්‍රසාද් සර් තමයි. 

ඔය කාලේ ඔයාට මම ඔයාට ලැබුනා හොඳ බැට් එකක්. ඒක ලැබුනේ උපුල් චන්දනගෙන්. එයාට ඒක ලැබිලා තිබුනේ රොහාන් ගවස්කාර් - සුනිල් ගවස්කාර්ගේ පුතාගෙන්. ඒක SG බැට් එකක්. තරමක් බර ඒ බැට් එකෙන් ඔයා බෝලෙට තදි පහර දුන්නා. ඔයා ඉතා හොඳ තාක්ෂණික පිති කරුවෙක් උනා. ඒ කාලේ බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත ගුණසේකර; දවසක් ඔයා සෙල්ලම් කරණවා බලන් ඉඳලා කී දෙයක් තාම මට මතකයි. "මහේලගෙන් පස්සෙ නාලන්දෙන් සිලෝන් ටීම් ගැහුවොත් ගහන්නේ වසික තමයි!"

ප්‍රසාද් සර් හැම විටකම ඔයාගෙන් අපේක්ෂා කලේ V හැඩයට පන්දුවට පහර දීම. ඔහු බෙහෙවින් දැඩි ගුරුවරයෙකු පුහුණු කරුවෙකු ලෙසටයි ප්‍රසිද්ධ උනේ. ඔහු යටතේ ඔයා හොඳින් වැඩුනා. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඉනිමක් ගොඩ නගන්න ඔයා පුහුණු උනා. කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් සමග තිබුනු තරග බැලීමට මමත් අම්මාත් ආවා ඔයාට මතක ඇති. මීගොඩ පාසැලක් සමග පැවති තරගයකදී ඔබ ශතකය ආසන්නයේ දැවී ගිය හැටිත් එම කණ්ඩායමේ ක්‍රීඩකයෙකු අපගේ කණ්ඩායමට එළව එළවා පහරදී අප වෙතින් ජයග්‍රහණය පැහැර ගත් හැටිත් තවමත් මට මතකයි.

ඔයාගේ සුපිරි ඉනිම කිහිපයක් මට බලා ගන්නට වාසනාව ලැබුනා. 

ඔයා ඉපදුනු වෙලාවේ ඔයාගේ පළමු අමුත්තා වූයේ මගේ මිත්‍ර ෂානක රාජකරුණා. එයා අපේ පාසලේ පෙරළියක් කල අයෙක්. ඔහු පාසලේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු වූ අතර, මළල ක්‍රීඩා වර්ණ ලාභියෙක්. වෝටර් පෝලෝ, ජීවිතාරක්ෂක, පිහිණුම් හා ශිෂ්‍ය භට කාණ්ඩයේ මුල් පෙලේ සාමාජිකයෙක්. ඔයා බහ තෝරණ වියේ සිට සෑහෙන කාලයක් යන තුරු අපගේ සියළු විනෝද ගමන් සංචාර, චාරිකා, ගියේ ඔහුගේ පවුල හා අපි එකට. මේ නිසාමදෝ මන්දා ඔයාගේ Role model එක උනේ ෂානක රාජකරුණාව. ෂානක සේවය කලේ ගුවන් හමුදාවේ. ඔයාගෙ පොඩි කාලේ ආශාව තිබුනේ ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් වෙන එක. ඒකට අපි සියල්ලන්ගේම ආශිර්වාදය තිබුනා. ඒ නිසම වරක් අපි ඔයාව එක්කගෙන ගියා දියතලාවේ කඳවුරට. ඔයා යම් දිනෙක ගුවන් හමුදාවේ නිළධරයෙකු සේ අධිකාරි ලැබුව  දිනයේදී; සිය කැප් තොප්පි අහසට යොමුකරණ තැණට පවා එක්කගෙන ගොස් පෙන්නුවා ඔයාට මතක නැතිව ඇති.

මේ නිසාම මම ඔයාව බොහෝ ක්‍රීඩා වෙතට යොමු කරණ්නට උත්සහ ගත්තා.

මෙසේ ඔබ පාසලේ වැඩෙද්දී ඔයාව කණිෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙසත් ඉන් පසුව ඔයාව නියෝජ්‍ය ප්‍රධාන කණිෂ්ඨ ශිෂ්‍ය නායක ලෙසත් තෝරා ගනු ලැබූවා.

අපගේ පාසලේ කිසිදා මට ලංවන්නට බැරිවුනු ඉලක්ක ඔයා පියවරෙන් පියවර ජයගනු මා බලා සිටියා.

ඔය කලයේමද මන්දා ඔයා පිහිනුම්, රයිෆලයෙන් වෙඩිතැබීම, මළල ක්‍රීඩා, ජීවිතාඅරක්ෂක පිහිනුම් ආදී බොහොමයක් දේ කරමින් සිටියා.

දැන් ඔයා ටිකක් ලොකුයි.  මේ කාලේ දවසක හවසක ඔයා මගෙන් අහනවා ප්‍රශ්නයක්. "තාත්ති මම එයා ෆෝස් එකට ගිහින් ප්ලේන් එකක් කඩං වැටිලා මැරුනොත් තාත්ති මොකද කරණ්නේ?" 

මේ කියවන ඔබ පියෙකුනම් ඒ පැනය; තාත්තා කෙනෙකුගේ හදවතේ කොයි තරම් ගැඹුරක ඇනේවිදෝයි මම අමුතුවෙන් කියන්නෝන් නෑ මං හිතන්නේ!

"පුතේ ඔයා එහෙම මැරුණොත් මම එදාට හිත හදා ගන්නවා රට වෙනුවෙන් මම පුතෙක් හැදුවා කියලා!" මම කඳුළු පිරි දෙනෙතින් යුතුව කීවා ඔයාට දැන් නම් මතකත් නැතිව ඇති. 

මේ වගේම දවසක් හැන්දෑවක ඔයා ඉංකෝලෙ ඉඳන් ඇවිත් මගෙන් ඇහුවා "තාත්ති අගෝස්තු නිවාඩු කාලේ මම් කැඩෙටින් ප්‍රැක්ටිසස් යන්නද?" කියලා

කොහොමත් ගෙදර මුළුතැණ් ගේ අවසානයේ තියෙන පුංචි කොරිඩෝවේ අපේ කතා මණ්ඩපයේ පැය ගණන් වරු ගණන් කයිවාරු ගසමින් ඉඳීම අපේ සිරිතක් උනානේ.

එවර අගෝස්තු පාසැල් නිවාඩුව මාසයකටත් ඉක්මවූ එකක් උනා උසස් පෙළ විභාග හෝ එවන් වෙනයම් කාරණාවක් නිසා.

"ප්‍රැක්ටිසස් ගියාට ඔයාට කෑම්ප් යන්න හම්බෙන එකක් නෑනේ?"

"නෑ මට යන්න පුළුවන් ශුවර් එකටම"

"දැනට ප්ලැටූන් එකේ කී දෙනෙක් ඉන්නවාද?" 

"ඔක්කෝම ඉන්නවා! වැඩිපුරත් දෙන්නෙක්ද කොහෙද ඉන්නවා කිව්වා!"

"ඉතිං . . .! එහෙනං ඔයා ගිහිං වැඩක් නෑනේ? ඔයාට කෑම්ප් යන්න බැරිවේවි!"

"ඒක කරන්නේ මම නේ . . . !" ඔයා ව්ශ්වාසයෙන් යුතුව කිව්වා.

අදාල දවසේ ඉඳන්ම ඔයා පුහුණුවීම් වලට ගියා. ඔයාගේ කොණ්ඩෙ නෝට් එකටම කපලා ! ඇදිලා ගිහින් හිටියේ . . ! ප්ලැටූන් එක රණ්ටැඹේ Camp යන කාලේ වෙන කොට ඔයාව තමයි සරඹ සුවිදර්ශක (Drill Demonstrator)  වෙලා තිබුනේ. ඒ කාලේ ඉඳන්ම ඔයාට යමක් ඉතා ඉක්මණින් ඉගෙන ගන්න පුළුවන් උනා! ඒ වගේම ඔයා ඉගෙන ගන්න මග යොදා ගත්තේ එහි නිවැරදි මාර්ගය මගින්මයි. මේ නිසාමදෝ මන්දා එම වසරේ රණ්ටැඹේ ගිය පාසල් ශිෂ්‍ය භට සමූහයට ඔයා කී පරිදිම ඇතුලත් උනා! ඒ 2011 අවුරුද්දේ. ඔයා එතකොට 10 වසරේ. 

ඔයා ශිෂ්‍ය භට පුහුණුවීම් වල යෙදෙද්දී ඔයගේ ආහාර වේලට බිත්තරයක් දෙන්න අපි බිත්තර 36ක් තම්බාගෙන ආවා! කිසි දවසක අපි ඔබට විශෙෂ සැළකිල්ලක් දැක්වූයේ නෑ සමූහය අතරදී. අපට අවශ්‍ය උනා ආදර්ශමත් දෙමව්පියන් වන්න!

සමහරක්  දෙමව්පියන් මෙන් තම දරුවා පමණක් "දරුවා" යන පටු අරමුණෙන් අප කිසිදා කටයුතුකලේ නෑ පුතේ!

මේ විදියට 2012, 2013 2014 වසර වන තෙක් ඔයා පාසලේ ශිෂ්‍ය භට සමූහයේ සිටියා. 2013 වසරේදී; වසර 37 කට පසුව නාලන්දාව හර්මන් ලූස් පදක්කම දිනා ජනාධිපති ශිෂ්‍ය භට කණඩය ලෙස අභිසෙස් ලබනවා. ඒ කණ්ඩායමේ ඔයා සාමාජිකයෙකු වන්නට වාසනාවන්ත උනා!

ඒ නිසාම ඔයා පාසලේ වර්ණ ලාභියෙක් උනා.


මේ කාර්ණා සිදුවන කාලය වන විට ප්‍රසද් සර් පාසලෙන් ගිහින් තිබුනා. පාසලට අළුතින් ක්‍රිකට් පුහුණු කරුවෙක් ඇවිත් තිබුනා. ඒක දෙශපාලන පත්වීමක් කියලයි බොහෝ අය එය වර නැගුවේ.  පාසලට ශිෂ්‍ය භට අංශයෙන් වසර 37 කට පසුව හර්මන් ලූස් පලිහ දිනා ගෙන පැමිණි කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔබට;  පුහුණුවීම් වලට නොපැමිණීම කරණ කොට ගෙන ක්‍රිකට් කණ්ඩායමේ අවස්ථාව අහිමිවී තිබුනා!

ඔබ ඔබගේ පාසල් ක්‍රිකට් ජීවිතයට ආයුබොවන් කියන්නේ ඒ නිසයි.






හර්මන් ලූස් පළිහ දිනා ගත් කණ්ඩායමේ ඔබ කොටස් කරුවකු වුවත්; "ශිෂ්‍ය භට කණ්ඩායම" කියන වදන් පෙළ අදටත් මගේ හිත පාරවන කාරණයක්. 

ඒ ඔබව "ජේෂ්ඨත්වයට පත් කිරීම" කියන ඊනියා කාරණය මුල් කරගෙන ඔබගේ ජේෂ්ඨයින් විසින් ඔබගේ කනට ගැසූ සිද්ධිය  මුල් කරගෙන.

මේ පහර කෑමෙන් ඔබගේ එක් කනක කන් බෙරය පැලී ගියා. එය ඔබ ගෙදරටවත් ඇවිත් නොකියා නිහඬව සිටියා. පසුව ඔබගේ දිනපොත් සටහනකින් අප එය සොයාගෙන වෛද්‍ය පරීක්ෂණයකට ගෙන ගිය විටයි ඔයාගේ කනට සිදුවී ඇති හානිය අප  දැන ගන්නේ.

පාසලේ ගුරුවරුන් හා ඔබගේ පුහුණුකරුගේ ඉල්ලීම හේතුකොට ගෙන ඒ පිළෛබඳව අප නීටිමය කටයුත්තකට ගියේ නෑ. ඔබට පහර එල්ල කල ශිෂ්‍යයා පියා නොමැතිව හැදුනු අයෙක්. අප නීතිය ඉදිරියට ගියානම් ඔහුගේ මුළු මහත් අනාගතයම විනාශ වෙන්නට ඉඩ තිබුනු බැවින් අප එය ඉවසා ගත්තා. පාසලේ ගරුත්වය හා ඒ දරුවාගේ අනාගතය වෙනුවෙන් අප නිහඬ උනා! 

පසු කලෙක ඔහුට ශිෂ්‍ය නායක පදක්කම ලැබුණු දිනයේ මා වෙත පැමිණ දෙපා නමැද ස්තූති කලා.

ඒ කිසිවකින් මාගේ හිතේ එදා ඇතිවූ රිදුම මැකී යන්නේ නෑ!මට අදත් මතකයි ඒ දරුවාගෙන් මම සිද්ධිය වූ දා ඒ ගැන විමසූ හැටි?

"ඇයි පුතේ ඔයා මගේ දරුවාට එහෙම කලේ; වරදක් නොකර?"

ඔයා පාසලේ කණිෂ්ඨ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක ඔයා O/L කරණ්න මාස 3 කට කලින් ඉඳන් පාසැල් පන්ති කාමරයේ ඉන්නට ලැබුනේ නෑ ශිෂ්‍ය භට පුහුණුව නිසා. ඔයා ඒත් විභාගයට මුහුණ දුන්නා. ඔයාගේ විභාග ප්‍රථිඵල එන විට අපි දෙන්නා හිටියේ සැලූනයක; ඔයාගේ කොන්ඩෙ කපන්න ගිහින්. ඔයාට ලැබුනා A සාමාර්ථ 8 ක් සහ එක් B සාමාර්ථයක්.

ඔයා එදා මගෙන් ඇහුවා "තාත්තේ මම අද්විතීයයි නේද?' කියලා.

"ඔව් පුතේ ඔයා අද්විතීයයි!"



























































(ශනිදා දහයට ජන ගත කිරීමට තිබුනු පෝස්ටුව පල කිරීමට හැකිවූයේ දැන් ය! ඊට අවංක මෙව්ව එක!)

5 comments:

  1. ආදරණීය පියෙකුගේ නිහතමානී ආඩම්බරය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් මම දරුවා පිළිබඳව නිහතමාණීව ආඩම්බර වෙනවා!

      Delete
  2. wasika niyama koleknee,
    Ththtaa wageema thamayi.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාවත් ප්‍රශංසාවට ඇඳුවාට!
      මේ කවුද වසිකගේ පලමු අමුත්තා වත්ද?

      Delete
  3. වසික පුතා ගේ ජයග්‍රහණ වලට සුභ පැතුම්!. තාත්තා හැටියට ඔබටත් ලොකු ආඩම්බරයක්. සුදුස්සාට සුදුසු තැන ලැබෙන රටක ඔහුට ජීවත් වීමට ලැබීමත් ජයග්‍රහණයක්.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...