Friday, March 21, 2025

289. බලු නොවටින බලු කථාවක්!

එක් විදේශ ආයෝජකයකු යුරෝපයේ සිට අප රටට පැමිණියේ කම්හලක් පිහිටු වීමේ අරමුණින්ය. මැදි වයසේ පසුවු ඔහු සතු තවත් කම්හල් කිහිපයක්ම අගනුවර ආශ්‍රිතව තිබු හෙයින් ඔහුට මේ දිවයින ඔහුගේ රට තරම් හුරුපුරුදු එකක් විය. ඔහු එවර පැමිණියේ කම්හල් 200 වැඩ පිළිවෙල යටතේ අගනුවරින් ඈත ප‍්‍රදේශයක තවත් නවීන කම්හල් පිහිටුවීමේ අටියෙනි. කම්හල පිහිටුවීම සඳහා ඉඩම් කැබැල්ලක් රජයෙන් වෙන්කර දුන්නේය.

පෙර සඳහන් කල ආයෝජක තෙමේ දැනට පවත්වා ගෙන යනු ලබන තම කම්හල් නිරීක්ෂණය කරනුයේ සෑම මාස තුනකට වරක් හෝ වසරකට තුන් වරක් මෙරටට පැමිණේ.

වරෙක එසේ පැමිණි විටෙක අභිනව කම්හල සඳහා වෙන් කෙරුනු ඉඩම් කැබැල්ල නැරඹීමට මෙරට නියෝජිත විදේශිකයාද අනෙකුත් ගෝල බාලයන්ද පිරිවරා වැඩි සේක!

ඔවුන් ඉඩම් කැබැල්ල වටා ඉවකරනා තුරු කොහේදෝ දඩාවතේ ගිය වාසනාවන්ත බැල්ලක් මෙය දුටුවේය. ඇය පසු පස පැමිණි සියලූම බල්ලන් අමතක කල ඇය පෙර සංසාරයේ ප‍්‍රාර්ථනා කර ගෙන පැමිණි ලෙසක් මවා පැමිණ; වේගයෙන් දිවැවිත් තම බලූ ආදරය සෙනෙහස ලෙන්ගතුකම හා පක්ෂග‍්‍රාහී බව පෙර කී විදේශිකයාට පෑමට පටන් ගත්තේය. කොටින්ම බැල්ල ඔහුගේ කරට නැග්ගේ නැති ටික පමණි.

ආයෝජකයාට අනපේක්ෂිතව සිදුවූ මේ මෙම පුදුමාකාර සිදුවීමෙන් ගෝල බාලයන් වික්ෂිප්ත විය. මේ බලූ වැඩය කෙරෙහි ආයෝජකයාගේ චින්ත සන්තාපය මොන ආකාරයට ක්‍රියා කරාවීදෝයි ඔවුන් කැළඹුහ. මෙම අපිරිසිදු බල්ලා නිසා තමාගේ සෞඛ්‍යට තර්ජනයක් වී යැයි සිතුව හොත් වර්ෂ අවසානයේ ලැබෙන්නාවු ලාභාංශයන් හීන වීමට ඉඩ ඇත. 

මේ වසර පුරා තම තමන් වෙහෙස මහන්සි වු ආකාරය ශ‍්‍රමිකයන් සූරා කෑ හැටි උනුන්ගේ බෙලි කපපු හැටි ඔවුන් ඉදිරියේ චිත‍්‍රපටයක් සේ දිගෑදෙන්නට විය. දකුණු ඉන්දියානු චිත‍්‍රපටයක් මෙන් අති උද්වේගකරපු එම සිදුවීම් ජාලය හා මේ දැන් සිදුවු බලූ වැඩය ගැන සිතන විට මෙය දවස පුරා වතුර ඇද කලය බිඳ දැම්මා වැන්නකි.

ආයතන ජාලයේ අධ්‍යක්ෂකවරු මේ බලු වැඩයට වගකිව යුත්තා කවුරුන් දැයි සෙවීමට වටපිට බැලූහ. ගිනි ගහන මධ්‍යාහ්නේ හිරකරගෙන තිබු ටයි පටි නිසා ඔවුනට ඒමේ අත හැරීම ද එතරම් පහසු නොවීය. ඔවුන් හිස පමණක් නොව ඔවුන්ගේ යෝධ පංචස්කන්ධයේ අනෙකුත් කම්හල් වල කළමණාකාරවරු දෙස රවා බැලූවේ කම්හල තුල වෘත්තීය සමිතියක් පිහිටු වීමට උරණ වන්නාසේය.

කළමණාකාරවරු බල්ලන්සේ බිම බලාගත්තේ එම ඇස් ජෝඩු කිහිපයෙන් එල්ල වුනු බැල්ම ඉවසා ගත නොහැකිවය. දැනට වෙන යම් ආයතනයක සේවය කරන්න අභිනව කම්හලේ වැඩ භාර ගැනීම සඳහා  කැඳවූ අයෙකුද මෙම අවස්ථාවට සහභාගිවනු පිණිස මෙම ස්ථානයට පැමිණ සිටියේය. ඔහු මෙම අවස්ථාවට සහභාගි වුයේ දැනට සේවය කරන්නාවු ස්ථානයට හොර රහසෙනි!

නව කම්හලේ කළමණාකාරධූරයට අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඔහුව තෝරා ගෙන තිබුණු අතර; ආයෝජක උතුමා වෙතින් එය ස්ථිර කර ගැනීම ඔහුගේ අභිලාෂය විය. ඔහු බොහෝ සෙයින් බියපත් වු බවක් දිස්විය. ඒ අළුත් රැකියාව නොලැබේවී යන බිය පමණක් නොව මෙතැනදී ප‍්‍රශ්නයක් ඇති වී එය; අල්ලපු අත්තත් දැනට පය ගහපු අත්තත් දෙකම අත  හැරෙණ්නට ඉඩ ඇති හෙයිනි. 

ලැබෙන්නට යන අළුත් රැකියාව කරණ කොට ගෙන පසු ගිය සති කිහිපයේ වැඩ කලේ හිස තරමක් උදුමවා ගෙනය. දැනට ඔහු රැකියාවේ නිරත කම්හලේ සාමාන්‍යාධිකාරීවරයා තමා මුණ ගැසීමට පැමිණි සෑම විටෙකදීම ඔහුට ඉබේ නැගිටුනි!

රෝගය යන්තමින් සුව වුයේ පසුගිය සතියේය. ඒ වෙනුවට ඔහුට අලූත් රෝගයක් බෝ වී තිබේ ඒ පෙරකී අධ්‍යක්ෂක මඩුල්ලෙන් ආරක්ෂක ඇමතුමක් ලද විට හිඳ සිටි අසුනෙන් නැගිට රිසිවරයට ඇමතීමය. ඉංග්‍රීසියෙන් පැවති සෑම කතිකාවකම; වගන්තියකම; ආරම්භයේදී ද කොමාවක්, තිත් කොමාවක්, තිතක්, ප‍්‍රශ්නාර්ථ ලකුණක්, යන මේ සියලූ ලකුණක් සඳහාම ඔහු සර් සර් යනුවෙන් බැගෑපත් ස්වරයෙන් මුමුණයි!

තම නිවට කළමණාකාරවරුන්ගෙන් කිසිදු ප්‍රථික්‍රියාවක් නුදුටු පිරිස් අධ්‍යක්ෂකවරයා මෙම ප‍්‍රදේශයක් සොයා ගත් මහජන සම්බන්ධතා නිළධාරියා දෙස පිළිකුල් සහගත ලෙස බැලීය. ඒ සමඟම; මහජන සම්බන්ධතා නිළධාරියා ඔහු බැල්ල එලවා දැමීමට ඉදිරියට පැන්නේය.

තමා වටා සිටින වුත් බලාපොරොත්තු නොවන; ඔවුන් වික්ෂිප්ත කිරීමට ලාභ ආශාවන් ඇති ආයෝජකයා බැල්ලගේ ක‍්‍රියා කලාපය හමුවේ තම සිත වෙනස් වු සේයාවක් මවා පා හෝ සතුන් කෙරෙහි ඔහු තුල තිබුනු සැබෑ සත්ව කරුණාව කරණ කොට ගෙන හෝ ඔහු තම අත පැළඳි අත් මේස් පිටින්ම ඇයගේ කිළිටි ගඳ ගහන හිස අත ගෑවේය. ඉන් උද්දාමයට පත් වු බැල්ල මඩ පැල්ලම් කිහිපයක් ආයෝජක කලිසමේ පතිත කරමින් දෙපයින් සිට ඉදිරි  දෙපා ඔහුගේ ඉන දෙසට තැබීය. ඔහු සිනහ වෙමින් තම පිරිස දෙස බැලූ අතර පිරිස ආරුඪ කර ගත් කරුණාවකින් යුක්තව බැල්ල දෙස බැලීය.

බැල්ල තුල උසස් පාරම්පරික බවක් ගැබ්ව ඇති බව ආයෝජකයා පිරිස වෙත කීය. අධ්‍යක්ෂකවරුන් හා කළමණාකරුවන් ඒකමතිකව එය ස්ථිර කළහ. අභිනව කර්මාන්ත ශාලාව අනුග්‍රහයෙන් බැල්ලට සියළු පහසුකම් සලසන මෙන් නියෝග කොට; ආයෝජක තෙමේ පිටව ගියේය. 

මෙම සිදුවීම ඉක්බිති; මෙම බැල්ල කර්මාන්ත ශාලාවේ සුරතලා බවට අධ්‍යක්ෂකවරුන් අතරට පත්විය.

කාලය කෙමෙන් ගෙවී ගියේය. නව කම්හලෙහි ඉදිකිරීම් වැඩ අවසන් වන්නට ළඟා වෙමින් පැවතිනි. වැටුපෙන් අඩක් ගෙවන කොන්දේසි මත නව කර්මාන්තශාලා කළමණාකාරතුමා කම්හලේ ඉදිකිරීම් වැඩද අනෙකුත් යන්ත‍්‍ර සුත‍්‍ර ඇනවුම් කිරීම් සේවක සේවිකාවුන් බඳවා ගැනීම් වලට තම කාලය යොදවමින් තිබුනි. 

ඔහුගේ පදිංචිය අගනුවරින් ආසන්නයේම විය. ඔහු පැමිණුනේ නව ආයතනයෙන් ලත් සුදෝ සුදු රියකිනි. ඔහු සෑම දිනකදීම එම රථය පදවාගෙන අගනුවර සිට පැමිණේ. මෙම රථයට රියැදුරෙකුත් ලැබුනා නම් යැයි නොයෙක් වර ඔහුට සිතේ. 

"ආයතන මගින් රියැදුරන් සමඟ මෝටර් රථ ලබා දෙන්නේ තම මොළය වෙහෙස කොට වැඩ කරනා නිළධාරීන් වෙතය. එවිට ඔහුට උදෑසන නිවැසින් පිට වු තැන් සිට තම ආයතනයට ළඟාවන තෙක් තම මනැස මෙහෙයවා ආයතනය ගැන සිතන්නට ඉඩපාඩු ලැබෙන බැවින්" යැයි වරෙක ඔහුගේ මිතුරෙකු කී අයුරු ඔහුගේ මතකයට ගලා එයි!

රියැදුරකු නොසැපයීමෙන් අධ්‍යක්ෂකවරුන් අදහස් කලේ මා සතු කාරණය ඉටු කිරීම සඳහා මොළයක් අවශ්‍ය නැත කියා දැයිද ඔහුට සිතුනි. එවිට ඔහුට නොදැනුවත්වම රථය වේගවත් වෙයි! රථය රෝද කෑගස්සවමින් වංගු වලින් හැරෙමින් වේගයෙන් දුවයි!! මොහොතකින් රථය අනතුරකට පත්වුවහොත් සිදුවිය හැකි භයානක තත්ත්වය රැකියාවෙන් පහවීම රථයේ අලාභ හානී ගෙවන්නට සිදුවීම වැනි කරුණු අකුණු ගසන්නාක් මෙන් සිතට දැනෙයි!!! ඔහු හිටි වනම රථයේ වේගය අඩු කොට ගනී.

රියැදුරෙකු ලබා නොදීමෙන් මෙම ආයතනය තමාට බලවත් අසාධාරණයක් කොට ඇතැයි ඔහුට දුක සිතේ! මෙම සිතුවිල්ල කරණ කොටගෙන රැකියාව කෙරෙහි තමා තුළ ඇති උද්යෝගය අඩු වී යනු ඇතැයි අනිසි බියක් ද සිතට දැනේ. සමහර විට තමා වයස්ගත බැවින් ශරීර සෞඛ්‍යයට රිය පැදවීම වැනි වෙහෙසකර කටයුත්ක් බැවින් තමාට රියැදුරකු ලබා නොදෙන්නට ඇතැයි ඔහු සිතමින් තමාගේ සිතටම වංචා කර ගනියි. එමගින් ඔහුගේ හෘද ස්පන්ධනය අඩු වී නැවතත් සාමාන්‍ය තත්ත්වයට හැරේ. අධ්‍යක්ෂකවරුන් යනු පටු අදහස් දරන්නවුන් නොව ඉතා දුරදර්ශී ලෙසත් ප‍්‍රචල ලෙසින් යමක් දෙස බලා තීරණවලට එළඹෙන්නට හැකියාවක් ඇති අය යැයි ඔහු සිතමින් මුහුණට බොහෝ බැරෑරුම් ස්වාභාවයක් ආරුඪ කර ගනී.

ඔහු සෑම දිනෙකම ගෙදරින් රැගෙන එන උදෑසන ආහාරය ඔහුට පමණක් නොව බැල්ලටද සෑහෙන පරිදි රැගෙන ඒමට අමතක නොකලේය. එසේ අමතක වු දාට තම ආහාර මල්ල බැල්ල වෙත පූජා කොට  නිරාහාරව සිටීමට අකමැත්තෙන් වුවද කළමණාකාරතුමා පෙළඹේ. ඒ බල්ලාගේ අනුග්‍රාහකත්වය තමා කෙරෙහි ද ලබා ගනු සඳහාය.

ටික කලෙකින් කළමණාකාරතුමාගේ රථයේ හඬද බැල්ලට පුරුදු පුහුණු විය. ඒ හඬට බැල්ල ඉදිරියට දිව ඒම නිරන්තරයෙන් සිදුවිය. එය කළමණාකාරතුමාට ආඩම්බරයකි. ආයතන සමුහයක ප‍්‍රධාන උතුමාගේ සුරතලා තමාගේ සුරතලාද වී ඇති බව ඔහුගේ සිතට සියුම් සතුටක් ගෙනාවේය!

කාලය මෙසේ ගෙවී යද්දී කම්හලේ ඉදිකිරීම් වැඩ අවසන් වී කම්හල බිහිවිය. කම්හල විවෘත කරන අවස්ථාවට රටේ  වැදගත් පුද්ගලයන් අතරට බැල්ලද එක් විය. ඉන්පසු ගතවු කාලය තුල ආයෝජකයා පැමිණි සෑම විටෙකම බැල්ල ඔහු සමඟ විය. ඔහු කම්හල බැලීමට පැමිණි විශේෂ රථයේ හඬ ඇය හොඳින් දැන සිටියාය. ඔහු පැමිණි විටෙක කම්හල තුල ගත කරන පැය කිහිපය බැල්ල ඔහු සමඟම විය.

මේ කරුණු කාරණා නිසා මෙම අහිංසක තිරිසනා හට කම්හල තුළ  ඕනෑම දවසක  ඕනෑම ස්ථානයක ගත කිරීමට නිල නොලත් බලය නිරුත්සහයෙන්ම ලද්දේය. එපමණක් ද නොවේ ඇයට තවද ආහාර පාන ඉඳුම් හිටුම් සමඟ නමක්ද ලැබුනි ඒ "බ්ලැකී" යනුවෙනි. අප මෙන් නොව කච්චිය පිච්චියට ගිය රෙදි නොඅඳින පාරම්පරික දේ අගයන ගතියක් බැල්ල තුලින් විද්‍යාමාන නොවුනි නම් ගවුමක් හෝ සායක් වුවද ලබා දීමට අධ්‍යක්ෂකවරුන් සෑදී පැහැදී සිටියහ.

කම්හල ඇතැම් නිෂ්පාදනයන් කිරීමට පටන් ගති. කම්හල අගනුවරට ඔබ්බේන් තිබුනු හෙයින්; කම්හලේ කළමණාකාරතුමාට හා ඔහුගේ සහයකයින් හට ඉඳුම් හිටුම් ආහාරපාන සැපයුවේ කම්හල අසලම පිහිටි නිල නිවාසයෙනි. 

අභිනව මාසයේ වියදම් පත‍්‍රය සැකසීමේදී බ්ලැකීගේ වියදම් ද සලකා බැලෙන ලදී. කෙසේ වෙතත් ඇය හට කරපටි  හා දම්වැල් අරහං විය. බ්ලැකී තබා බ්ලැකීගේ සනුහරේ කිසිම බල්ලෙකු කරපටි ඇඳ නොතිබුනි. මේ නිසා මැය හට මොන තරම් ගරු ගාම්භීර ලෙසට තම ජිවිත ගත කිරීමට හැකියාව තිබුනද පුරුදු දඩාවතටම කල දවස ගෙවී ගියේය.

කම්හල ඇරඹී මාස ගණනකින් පසුව එළඹුනේ දීප ව්‍යාප්ත සුනඛ මධුසමයයි. පලාතේ බැල්ලන් හිඟ නිසාදෝ නොඑසේ නම් අපේ රටේ කොයි බල්ලත් තමාට අත තියන්නට තබා ඉනිමං බඳින්නට හිතන්නෙවත් බැරි උස අතු ඇල්ලීමට උඩ පනින්ට පුරුදු පුහුණු වී ඇති නිසාදෝ; කිසිම විටෙක බ්ලැකී තනිව නොසිටියේය. අවම වශයෙන් ඇය යන එන සෑම සියලූ ස්ථානයකම ඇයගේ පිරිවර බලූ සේනාව දහ පහලොස් දෙනෙකු විය. තම දේශපාලන වැඩ සඳහා බොරු පොරොන්දු දුන් දේශපාලූවකුන් මෙන් නොව ඇය සියලූම බලාපොරොත්තු ඉටු කලේය.

කාටත් හොර රහසේ කාමරයක් තුලට වී දොර අගුළු ලා ගෙන මධුසමය ගත කිරීමේ පුරුද්දක් නොමැති බැල්ල ඇතුළු බලූ පරපුර; මෙම අතිශයින්ම ස්වාභාවික වු ක්‍රියාවේ යෙදෙන්නට තැනක් නොතැනක් තෝරා ගැනීමට මහන්සි නොවීය. බොහෝ විට ස්ථානය වුයේ හොඳින් ඉඩ පාඩු ඇති ආයතන මිදුලයි!

තරුණියන් විලියෙන් ඇඹරෙමින් හොරැහින් ඒ දෙස බැලීය. එවැනි අවස්ථාවල ඒ අසලින් ගමන් ගන්නට යෙදුනු කර්මාන්ත ශාලා කළමණාකාරතුමා හා සහයක තෙමේ වහලට තීන්ත ගාන්නට ඈත කන්ද කපා කම්හල ව්‍යාප්ත කිරීමට වැනි දූර දර්ශී දර්ශනයන්හි දෑස් තබාගෙන නොදැක්කා සේ ගමන් කරයි!

කළමණාකාරතුමා තම ජිවිතය ඉතාමත් සුළුවෙන් අරඹා ඉහළට පැමිණි අයෙකි. ඒ ඔහු සතු මනා දැනුම් සම්භාරය නිසාදෝ නොඑසේ නම් තමන්ගේ පෞර්ෂය නිසාදෝ එසේත් නොමැති නම් තමාගේ පරණ පිනක් නිසාදෝයි ඔහු විටෙක කල්පනා කරයි. ඔහු වටා සිටින්නවුන්ටද මෙය මහත් ප‍්‍රශ්නයකි. ඒ මේ රටේ මේ තරම් මිනිසුන් හිඟ දැයි විටෙක සිතෙන බැවිනි.

ඔහුගේ සහයකතුමාහට ඔහු දෙවියෙකි! ඔහු ගමන් කරන්නේද ප‍්‍රධාන උතුමා එනම් ප්‍රධාන කළමණාකාරතුමා ලෙසය. යාන්තමින් ඉදිරියට නැමී කඳින් ඇදෙන ඔහු අත් දෙක පිටුපසින් තබාගෙන වරින් වර දෙපස ඇති සෑම වස්තුවක් කෙරෙහිමද, සෑම කෙනෙකු දෙසද ඔවුන් කරන කියන කටයුතු කෙරෙහිද සැකමුසු තීක්ෂණ මුහුණක් ආරුඪ කරමින් තමා සෑම අඩියක් සඳහාම ඔලූව සෙමෙන් ඉදිරියටත් පසුපසටත් සෙමෙන් සොලවමින් ගමන් කරන්නට ඔහුට පුරුදු පුහුණුවන්නට සෑහෙන කාලයක් ගත වන්නට ඇත! ඔහුට තම මවගෙන් අහිමි වු උස තම පාවහන් මගින් ලබා දී තිබුනි.

පෞද්ගලික දිවියක් නොමැති සෑම සියලූ දෙයක් කෙරෙහිම තවත් පැත්තකින් බැලීමට උනන්දුවන ඔහු; කළමණාකාර උතුමා අසලින්ම සෑම විටෙකම රැඳේ. පෙර සඳහන් කල ලෙස අපගේ කළමණාකාරතුමා හා සහයක තුමා ඉදිරියේ බ්ලැකී හැර වෙන කිසිදු බල්ලෙකු මෙවන් පහත් ක‍්‍රියාවක් නොකිරීමට පමණක් නොව අඩුතරමින් ශබ්ද නගා සිනහ නොවීමටත් වග බලා ගත්තෝය. 

එහෙත් කිසිදු වෙනෙසකින් තොරව බ්ලැකී තම බලූ වැඩ දිගින් දිගටම කරගෙන යෑමේදී මෙය තමාගේ උසස් නිළධාරියා හට ඔහුගේ තත්ත්වයට පෞර්ෂත්වයට කරන්නාවු හෑල්ලූවක් සේ දැනෙනු ඇතැයි ද; එසේ දැනී ඒ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොකලේ යැයි තමා කෙරෙහි කළකිරීමක් ඔහු තුල ඇතිවේ යැයිද බියක් සහයකතුමා තුළ ඇති විය. මෙය සම්බන්ධයෙන් කල්යල් බලා ඔහුගේ අදහස ගැන දැන ගැනීමට සිතූ සහයක තෙමේ දින ගණනාවක් තම ප‍්‍රධාන උතුමාගේ චර්යාවන් විමසා බලමින් පසුවන්නට විය.

දින ගණනාවක් ඉක්බිති යෙදුනේ තරමක යහපත් දිනයකි එදින ඔහු රටේ තොටේ මිනිසුන් ගැනද ඔවුන්ගේ ගති ගුණ ගැන ද ඒවායේ අඩු ලූහුඬුකම්ද සුරතල් සතුන්ගේ ගති ගුණද බල්ලා නැමැති සතාගේ උසස් ගති ද ඉන් ඉක්බිති බ්ලැකී ගැනද පැය ගණනාවක් යනකොට පැමිණෙනවාත් සමගම; ප‍්‍රධාන තුමාට කොහෙන්දෝ කාලකන්නි දුරකථන ඇමතුමක් පැමිණුනි. නැවතත් සහයක මුලටම වැටුනි!

අමාරුවෙන් වුවත් පුවක් ගසක අත්තක් පාත් කරගෙන එය ගලවා කකුලට යට කොට අඹරා වළල්ලක් තනා ගෙන ගස මුලට ගොස් ගහ මුල පාදා ගෙන රූස්ස පොල් ගසට නැග වල්ලට අත තියන්නට ඔන්න මෙන්න කියා තිබියදී අයිතිකාරයාට අසු වුවකු සේ මහත් කනස්සල්ලෙන් පසුවු අපගේ සහයකතුමා නැවතත් කල් යල් බලා බ්ලැකීගේ නොමනා ක‍්‍රියාකාරකම් හා ආයතනයේ විනය නැමැති පුළුල් මාතෘකාව ගැන සාර ගර්හා වටිනා අදහස් රැසක් ප‍්‍රධාන උතුමාගේ ඉදිරියේ පහරන ලද්දේ ඊටත් දින ගණනකට පසුවය!

ප‍්‍රධාන උතුමා මේ ගැන කකුල් දෙක ගසමින් රැවුල අත ගාමින් සිතන්නට විය. "බල්ලන් බලූ වැඩ කරති අප ඒ දෙස නොබලාම සිටියාම ප‍්‍රශ්නයක් නැත." ඒ ඔහුගේ යටිසිත පැවසු තම නිවැරදි ආකල්පයයි. එහෙත් උඩුසිත මීට ඉඳුරාම වෙනස් අදහසක් දැරීය! සහයකගේ අදහස ඇත්තකි. මා ඉදිරියේ තනි කකුලිනවත් නොසිට ගත්තා සීරුවෙන් සිට තමා අමතකවුත් ඉදිරියේ මේ කොහෙවත් යන බල්ලකුගේ මෙවන් පාදඩ වැඩක් නිසා; තවත් කලක් යන කල තමාද හෑල්ලූවට පත්වන බවය!

ඔහුට බැල්ල මරා දැමීමට සිතුනි! ඒ සමඟ ආයතනයේ අධ්‍යක්ෂකලාගේ පිළුනු මුහුණු හා විදේශික ආයෝජකයාගේ සුදු අත් මේස් පැළඳි දැවැන්ත හස්තයෙන් තම ගෙල සිර කරනා අයුරු දැනට තමාට ලැබී තිබෙන නවීන යාන වාහන දැසි දැස්සන්ගේ බලූ බල්ලන් වෙනකක් තබා තමා වාඩි වී කැරකෙන පුටුව පවා අහිමි වී යනු ඔහුට දැනුනි!

ඔහු වහාම තම ඇස් කණ්නාඩිය අතට ගෙන පුටුව අක්ෂය දෙස පසෙකින් නැමී බලමින්ම ඒ මේ අත දෙතුන් වරක් කැරකී බැලූවේය. එය තවමත් කැරකේ එහෙත් එය වෙනදා තරම් හොඳින් නොකැරකේ යැයි ඔහුට සිතුනි. වහාම තම මේසය මත වු සීනුව වීදුරු කුටියට ඔබ්බේන් වු යන්ත‍්‍ර යන්ත්‍ර කරවන ගැහැනියක කැඳවා ඇය මගින් කාර්මිකයෙකුද ඔහු මගින් ප‍්‍රධාන කාර්මිකයා ගෙන්වා ගෙන තම පුටුවට ලිහිසි තෙල් දමන ලෙස කියමින් නැගී ගියේය!

මේ බල්ලන්ගේ මධුසමය ඇරඹුනා පමණි! අධ්‍යක්ෂකවරුන් පැමිණි විටෙක ඔවුන් ඒ පිළිබඳව විමසුවහොත් යැයි සිතමින් ප‍්‍රධානියා ගමන් ගන්නට විය.

විෂය කෙරෙහි අති පණ්ඩිතයන් මෙන් මවා පෙන්වන ඔවුන් සමානව එදිනෙදා දේ ගැන කිසිදු අත් දැකීමක් නැත්තාවුන් සේ හැසිරෙයි. එයද ඔවුන්ගේ පන්තියට එක්තරා තත්ත්වයකි! ඔවුන් විටෙක හැසිරෙන්නේ රථය පදවන්නට දන්නවා විනා රථයේ  වතුර මට්ටම බැලීමටවත් තමාට නුහුරු නුපුරුදු නොඑසේ නම් තමන්ට තරම් නොවෙන බැවින් තමන්ට අත්දැකීමක් නැති කාර්‍යයක් ලෙසය. මෙවැනි අධ්‍යක්ෂකවරයකු මේ කිමෙක් දැයි විමසුවහොත් අඩු තරමින් මෙය පහදා දෙන්නට ඒ සඳහා අවැසි ඉංග‍්‍රීසි වචන පවා තමා නොදනී යැයි මතක්වූ  තැන; කළමණාකාරතුමා දාඩියෙන් තෙත් විය. උතුර දකුණ මාරු විය වේගයෙන් ගමන් කල ඔහුගේ සිරුර තුල ඔහුගේ ආත්මය තිබුනු නමුදු සිත නොතිබුනේය. ඔහු මහ දවල් කම්හලේ පිළිකනු වැසිකිලි ගබඩා කාමර භොජනාගාර මෙකී නොකී සෑම තැනකම ඇවිද අවසානයේදී නිල නිවාසයට පැමිනුනි.

ඔහු පසුපසින්ම සහයකතුමාද පැමිණ තිබුනි. ඒ පුරුද්දටය කොටින්ම සෙවනැල්ල මෙනි. ආපසු හැරී බැලූ කළමණාකරු නිහඬව ගොස් හාන්සි පුටුව මත පත බෑවේය. සහයක වතුර වීදුරුවක් ඔහුට පිළිගැන්නුවේය. පළමුව ඒ දෙස රවා බලා දෙවනුව එය ගෙන එක හුස්මට බී ගෙන ගොස් අඩිය පේන තෙක් මාන නැවතී සහයක ඇමතීය!

සහයක පැවසු දේ ඇති වැදගත් කම ගැන තමාට තේරුම් ගිය හැටිද; තවදුරටත් මේ සම්බන්ධයෙන් ක්‍රියා නොකොට සිටියොත් එමගින් තම ආයතනයටත් තමන්ටත් ඊටත් වඩා සහයක ඇතුළු අනෙකුත් අවශේෂ පාලක පන්තියේ අංකුරයන් හට මහත් අවැඩක් සිදුවිය හැකි බව තේරුම් කර දුන් කළමණාකාරතුමා මේ ගැන කුමක් හෝ පියවරක් ගන්නා ලෙස සහයකට නියෝග කොට නිල නිවාසයේ වැසිකිළියට රිංගා දොර වසා ගත්තේය!

සහයකගේ හිසට කඩන් වැටුනේ අහක යන කරදරයකි. වෙන අයෙකුට නම් තමාට කට පියා සිටිය නොහැකිව සිට කරගත් අවැඩක් ලෙස සිතන නමුදු සහයක ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ අයෙකි. මේ සම්බන්ධයෙන් කටයුතු කිරිමට තමන්ට ඉඩ ප‍්‍රස්ථාව අවශ්‍ය බලතල හා ඒ සම්බන්ධ වගකීම මෙකී නොකී දෑ ලැබීම තියා ඔහුට ඔහු තුල මහත් වු ආත්ම අභිමානයක් ඇති විය. ඔහුගේ ගමන පුරුදු වේගයෙන්ම වුවත් හිස සෙලවීම තරමක් වේගවත් විය. ඔහු හැකි ඉක්මනින් කර්මාන්ත ශාලාව තුලට පැමිණ ඔබ මොබ බැලූවේය. අධික තෙහෙට්ටුව නිසා හති අරිමින් නිදි කිරා වැටෙන බ්ලැකී කර්මාන්ත ශාලාව තුල විය. 

සිත තුල තිබුනු අදහස් කෙතරම් වේගවත් වුවත් ඔහු කිසිවිටෙක කලබල වන්නෙකු නම් නොවේ. තිත්ත කසාය මුලක් වුවද; ඔහු  අනුභව කරන්නේ පිඟානකට බෙදා ගෙන අත් පිස්නාව කමිස කරෙහි රුවා ගෙන හැන්ද සහ ගෑරප්පුව ගෙන ඉතාමත් ක‍්‍රමානුකූලව හා නිවුනු ගතියකින් යුක්තවය. තම යටත් වැසියකු හා උරණ වු විට පමණක් වට පිට බලා තමා වටේ සිටින අය හට ගැලපෙන පරිදි වචන ගලපමින් තතනමින් බහින්නට හේ දනී.

හේ තම මේසය තෙක් පැමිණ හරි ගැසී වාඩි විය. දෙවනුව අත් වැසියකු හට කතා කොට ආයතනයේ මහජන සම්බන්ධතා නිළධාරියා වෙත පණිවිඩයක් යැවීය. ආයතනයේ මහජන සම්බන්ධතා නිළධාරී තැන තවත් පුදුමාකාර පුද්ගලයෙකි. ඔහු විශ‍්‍රාම ගිය හෝ විශ‍්‍රාම යැවුනු රජයේ නිළධාරිවරයෙකු විය. ඔහු සෑම විටෙකදීම තමා ඉදිරියෙන් සිටින අයගේ හිතවතකු ලෙස හැසුරුණු අයෙකි. ඕනෑම සුළු කාර්‍යයක් වුවද ඉතා බැරූරුම් ලෙස ගෙන එය හොඳින් අනා ගන්නා ඔහු; මොහොතකින් සහයක ඉදිරියේ විය.

ආයතනයේ දියුණුව සැමගේම දියුණුව බවද ආයතනයේ කීර්තිය සැමගේම කීර්තිය ලෙසද  ආයතනයේ විනය සැමගේ විනය ලෙසද කරුණු ගෙන හැර පෑ සහයක බ්ලැකී නමැති බැල්ල සම්බන්ධයෙන් කිසියම් විනයානූකූල පියවරක් නොගතහොත් කර්මාන්තශාලා කළමණාකාරතුමා උරණ වීමට ඉඩ ඇති බවද මේ ගැන තවම එතුමා හට දැන ගන්නට ලැබී නොමැති බවද පැයක පමණ කාලයක් කා දමමින් තමා ඉදිරියේ ඒ මේ අත ඇඹරෙන මහජන සම්බන්ධතා නිළධාරියා හට සහයක පැවසීය!

ස්වාභාවයෙන්ම නියමිත වැඩ කොටසකට හිමිකම් නොපෑ මහජන නිළධාරියා මෙය හොඳින් වවා ගෙන කෑමට හැකි කාර්‍යාවලියක ආරම්භය බව සැනකින් වටහා ගෙන කූඩුවක් හැදවීමට යෝජනා කලේය. යෝජනාව පසු දින වන විට කළමණාකාරතුමා තුලින් ස්ථිර විය. මහජන නිළධාරිතුමා උදෑසන කම්හලේ පොත අත්සන් කල සැනින්ම ආයතනයේ රියෙන්ම නගරය බලා පිටත් විය. ඔහු හොඳින් දන්නා හඳුනන වෑල්ඩින් වැඩ පලවල්  වඩු මඩු ඇතත් මෙයින් ඉතාමත් රහස්‍ය ලෙස ගොදුරක් ගැනීමට නම් ඒ සඳහා නගරයට තරමක් දුරින් පිහිටි වැඩ අඩු  ඕනෑම කාර්‍යයකට නම්මා ගත හැකි වැඩ පලක් ඉදිරියේ රථය නැවතු ඔහු මොහොතකින් වෑල්ඩින් බාස් හට තම අභිප‍්‍රාය ගෙන හැර පෑවේය.

බයාදු වෙල්ඩින් බාස්ව කර මුලින් අල්ලා ගත් හෙතෙම වැඩේට යන ගාන අසා; කිහිප වරක් හෙට්ටු කර වැඩේ පැවරුවේය.

"තමුසෙ ගාව ඇස්තමේන්තුව ලියන්න කොලයක් තියෙනවද?'

"කොහේද තිබුනා . . .!"

මද වේලාවකින් යකඩ වැඩ පොලේ ලාච්චුවක් තුලින් සොයා ගත් තෙල් කුණු ගෑවුනු පොතෙන් කොල දෙකක් ඉරා ගත් මහජන සම්බන්ධතා නිළ ධරයා "මමම ලියලා ගන්නංකො: තමුසෙටත් වැඩ වැඩියිනෙ!" කියමින් වෑන් රියේ නැගී ආපසු කර්මාන්ත ශාලාව බලා ඉගිලුනේය.

ආයතනයේ රථයෙන්ම අවශ්‍ය යකඩ ගෙනැවිත් දෙමින් වැඩේ ඇරඹුනි.  සෑම දිනකදීම උදෑසනින්ම කර්මාන්ත ශාලා ප‍්‍රධානියා හමුවන ඔහු තම බලූ කූඩු ව්‍යාපෘතිය සඳහා පිටත්ව යයි. ඔහු ඒ ගමනින්ම ගෙදර යයි නා ගනියි. දිවා ආහාරය ගෙදරින්ම ගනියි. දිවා ආහාරයෙන් පසු මදක් ඇලවෙයි.

ඉක්බිති හවස් වරුවේ වෑල්ඩින් වැඩ පොලට ගොස් වෑල්ඩින් බාස් හට වැඩය ඉක්මනින් අවසන් කරන ලෙස තරවටු කොට කර්මාන්ත ශාලාවට ගොස් එම දිනයේ බලූ කූඩුවේ ප‍්‍රගතිය දක්වා ගෙදර එයි. 

දින හයක් ඉක්බිති ලොරියක් හා කම්හල් කම්කරුවන් අට දෙනෙකුගේ මෙහෙය වීම යටතේ බලූ කූඩුව කර්මාන්ත ශාලාවට සම්ප‍්‍රාප්ත විය. කොන්ක‍්‍රීට් වලින් සාදන ලද වේදිකාවක් මත ඊට දින කිහිපයකට පසු කූඩුව සවි වුනි.

වටේට නූල්  2 1/2 කම්බි වලින් කිරිබත් කෑලි හැඩයට මෝස්තර දමාය. බිමට සිමෙන්තිය. වහලට ටකරංය. ගුරු පැහැති මල නොබඳින තීන්ත ආලේප කර තිබු මෙයට බ්ලැකීව පදිංචි කරවීමට ඊටත් දින කිහිපයක් ගත විය.

වරුවක පමණ මහන්සියෙන් කම්කරුවන් දෙදෙනෙකු විසින් අල්වා ගෙනෙන ලද බැල්ල කූඩු ගත කරන ලදී. බ්ලැකී හොල්මන් වෙලාය. ඌ ඒ අතටත් මේ අතටත් දැඟලීය. කෑගැසීය හවස් වන විට බොහෝ වෙහෙස මහන්සි වෙලාය. රාත්‍රිය එළඹෙත්ම; ඇගේ අනුග‍්‍රහක බල්ලන් කූඩුව වටේට උඩු බුරලන්නට පටන් ගත්තේය. එය  මැදියම තෙක් කර්මාන්ත ශාලාව අවට වාතලය සියාරා ඇසෙන්නට විය. කර්මාන්තශාලා නිල නිවාසයේ ගුණ ගරුක සහයක තෙමේට ටික වේලාවකින් නින්ද ගියමුත් ප‍්‍රධාන තෙමේ රාත‍්‍රිය මුලූල්ලේම නිදිවර්ජිතව සිටියේය. පසුදින උදෑසන මේ සම්බන්ධයෙන් කුමක් හෝ සිදු කිරීමට සහයකතුමා හට ප‍්‍රධාන නියෝග කලේය අවසානයේදී ඔවුන් තීරණාත්මක තීරණයකට අවතීර්ණ විය.

ඒ අලුතින් "ඩියුටි පොයින්ට් එකක්" හෙවත් තාවකාලික මුර කුටියක් බලු කූඩුව අසල පිහිටුවීමය. එමගින් අවට බල්ලන් කූඩුව වෙත ළඟා වීම නැවතෙන අතර එවිට බැල්ලද නිශ්ශබ්දව නිදා ගනු ඇතැයි ඔවුන් සිතුවෝය. දවස පුරාම වැහිබර කාලගුණයක් ඉසිලීය ආරක්ෂක නියාමකයන් බැල්ල සිටි කූඩුව අසලට එන බල්ලන් පලවා හරිමින් කාලය ගත කලහ පෙරදින මුළු රාත‍්‍රියම නිදිවර්ජිතව සිටි නිසාදෝ බැල්ලද නිදිකිරමින් සිටියාය. බල්ලන්ද වැඩි කලබලයකින් තොරව තැන තැන ලැග සිටියහ. රාත‍්‍රිය එළඹුනි බැල්ලද බල්ලන්ද තම සුපුරුදු හඬ අවදි කලෝය ආරක්ෂක නියාමකයන් නිසා කූඩුව අසලට පැමිණිමට නොහැකි වු බල්ලන් කූඩුවට ඈතින් යනු නිළ නිවාසයට ආසන්නවය. කූඩුවට ඈත් වන්නට බල්ලන් නිල නිවාසය අසලට ලංවේ ඒ බල්ලන් සිතා මතා කල බලූ වැඩක් නොව එය සිදු වූයේ බලූ කූඩුවෙන් නිල නිවාසයෙත් පිහිටීම කරණ කොට ගෙනය.

පසුදින කර්මාන්ත ශාලා කළමණාකාර තෙමේ බොහෝ සෙයින් උරණව සිටියේය මහලූ වයසේ පසුවු ඔහුට නින්ද අත්‍යාවශ්‍ය අංගයක්ව පැවතියේය. එහෙත් දැනට පුරා දින දෙකක් නිදිවර්ජිතව සිටි ඔහුගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයන් තරඟාකාරී ලෙස පිරිහී ඇත.

මේ අතර රාත‍්‍රී වැඩ මුරය අවසන් කර තේ බොන්නට කර්මාන්ත ශාලාව අසල තේ කඩයට ගිය ආරක්ෂක නියාමකයින් හට ඒ අසල නිවැසි කිහිපදෙනෙකු තමන්ගේ නින්දට පසුගිය රාත‍්‍රීයේ සිදු වු බාධාවල් ගැන මතක් කලහ. එක් නිවෙසක මැලේරියාව සෑදී සිටි කූඩා දරුවෙකු නිසා තත්ත්වය බොහෝ සෙයින් අයහපත් අතට හැරෙමින් විය. කර්මාන්ත ශාලා කළමණාකාරතුමා මේ ගැන දැනගත් මොහොතේ සිට වල්ගය ගිනි ගත් හනුමා සේ තම දෛනික වැඩ කටයුතු සියල්ල කලවම් කර ගනිමින් සිරියේය.

මේ වන විට බලූ වැඩේ අලූත්ම තත්ත්වය ඔවුන් අතුරින් ගිලිහී ආයතනයේ සෑහෙන දෙනෙකු අතරට ගොස්ය. කර්මාන්තශාලා සහයක කළමණාකාරතුමා වහාම හදිසි කැඳවීමක් කලේය. එහෙත් එය නියමිත හේතුවක් අරභයාද යන්න ඍජු ලෙස දක්වා නොවේ. හදිසි අත්‍යාවශ්‍ය කටයුත්තක් වුනත් ඒ තරම්ම වුවමනාවක් නොමැති නිවි හැනහිල්ලේ කථා කල හැකි තරමට ඔහු සාකච්ඡුාව ඇල් කලේ අපි උණු උණු ප්ලේන්ටිය නිවා බොනවා සේය. මහජන සම්බන්ධතා නිළධාරී ආයතනයේ අධ්‍යක්ෂක නිළධාරී සහයකතුමා හා තවත් අවශේෂ කිහිපදෙනෙකු බ්ලැකී හැර කර්මාන්තශාලා කළමණාකාරතුමාගේ වීදුරු කුටියට රැස්වී සිටියෝය.

ආයතනයේ සේවය කරන සේවක සේවිකාවන් වැඩ හමාර වී ගෙදර යන අතරතුරේදී මාර්ගයේ නොමනා ක‍්‍රියා වලට පෙළඹෙන බව තමන්ට දැනෙන්නට ලැබුනු බවත් මේ ගැන තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලීමක් සාකච්ඡාව කර්මාන්ත ශාලා කළමණාකරු ඇරඹීය සහයක තැන හොල්මං වෙලාය. ඔහු එහෙන් මෙහෙන් තම තීක්ෂණ බුද්ධියෙන් යමක් තේරුම්ගෙන තිබුනි. තම ප‍්‍රධානියාගේ බුද්ධිය ගැන ඔහුට පුදුමය සේවිකාවුන් ගැන බොහෝම ලැඡ්ජා සහගත ලෙස තමන් වහන්සේ දෙසටම කරුණු කාරණා දැන ගන්නට ලැබුනු බවත් ඒවා නවතා දැමීමට උනන්දු නොවුන හොත් ආයතනයේ ව්‍යායාම තර්ජනයක් විය හැකි බවත් පවසමින් සහයක ඌණ පූර්ණය කලේ මහදැනමුත්තෙකු ලෙසය.

මහජන සම්බන්ධතා නිළධාරීතැන ලෙහෙසියෙන් පසු බසින්නෙකු නොවේ. ඔහුටද එදින උදෑසන ආරක්ෂක නියමකයන් හරහා දැන ගන්නට ලැබුනු බලූ නාදයේ කථාව මෙතැන ඇද බාන්නට පටන් ගත්තේ එවිටය. කළමණාකරු එතරම් උනන්දුවක් නොදක්වා ඒ ය කම්හල තුලින් පාලනය කල හැකි යමක් වෙතොත් අප එයට කිසිවක් කල යුතු යැයි රුකුල් දුන්නේය. කොලූ කෙලි සාකච්ඡාව බලූ-බැලි වුයේ එලෙසින්ය. ඉන්පසු සෙස්සන් මෙ තමන්ගේ බලූ අදහස් ගෙන හැර පෑවෝය.

රාත‍්‍රී කාලයේ දී පමණක් මේ බැල්ලව ලෙහා තැබීම හෝ කම්හලෙන් ඔබ්බෙහි වු ලදු කැලය තුල ගැට ගසා දැමීමද තව නොබෝ දිනකින් බැල්ලගේ දරුවන් ප‍්‍රසූත කල විට ප‍්‍රශ්නය දිග් ගැස්සෙන බැවින් අනාගතයේදී ඉදි වීහට හැකි බලූ ජනපද සංකල්පය අකා මකා දැමීමට බැල්ල ශල්‍ය කර්මයකට භාජනය කොට ඇගේ ගර්භාෂය ඉවත් කිරීමටද තීන්දු විය.

මොහොතකින් සියල්ලෝම විසිර ගියහ නිළධාරී තැන හා මහජන සම්බන්ධතා නිළධාරී තැන කළමණාකරුගේ අනුමැතියෙන් ආයතනයේ රථයෙන් නගරය බලා ඉගිලූනි මේ කුඩා නගරයේ බලූ දොස්තරලා හිඟය හිටියත් ඔවුන් මිනිසුන්ට ප‍්‍රතිකාර කිරීමට වෙහෙසුනේ නැත.  ඉන් ඉක්බිති නිළධාරී තැන; කම්හල පිහිටි නගරයට අයත් විශාලම නගරය වෙත ගොස් යාන්තමින් සත්ව චිකිත්සකවරයෙකු සොයා ගත්හ. ඔවුන් ආපසු පැමිණියහ. කම්කරුවන් හවස් වරුවේ බල්ලාව නාවා පිරිසිදු කලෝය. පසු දින උදෑසනින්ම කම්කරුවන් දෙදෙනෙකු, නිළධාරී තැන, වෑන්රිය, රියැදුරු හා බැල්ල මේ මහා පුන්‍යකර්මය සඳහා කම්හලින් පිටත්ව ගියහ!

බැල්ලගේ මූලික විරෝධතා මැද මැද දෝස්තර වැඬේ තිතට කලේය ගාස්තුව ගෙවිනි ඊට රුපියල් 500ක්ද එක් කොට බිලක්ද ලියවා ගෙන ඔවුන් ආපසු හැරුනහ.

හවස් යාමයේ බැල්ල රථයෙන් පැමිණියෝය. බැල්ලට ඇවිද කන්නටවත් බැරිය. ඌ බොහෝ සෙයින් කෙඳිරි ගාමින් සිටියාය. කුඩුවට දැමුවහොත් දඟලා මැහුම් කඩා ගනීවී යැයි සිතු නිසා නිල නිවාසයේ ගරාජයේ බැල්ල බැඳ දැමුව කම්කරුවන් හා පිරිස විසිර ගියහ රාත‍්‍රියේ මහා වැස්සක් කඩා වැටුනේය. විදුලි කොටමින් මහා ගර්ජනා කරමින් වැස්ස මුළු රාත‍්‍රිය පුරා ඇද හැලෙන්නට විය බැල්ලගේ කෙඳරිලි හඬ වට වැස්සෙන් යටපත් විය. පසුදින උදෑසන ගරාජය තුලට එබිකම් කල කම්කරුවකුට දක්නට ලැබුනේ දම්වැල හා කර පටිය පමණකි. සති අන්තය මුළුල්ලේ නිල නිවාසය වටා බල්ලන් උඩු බුරලන්නට විය. අළුත් සතියේ සඳුදා හවස් වන නිල නිවාසයේ ඉන්න හිඳින්නට බැරි තරම් කුණු ගඳක් ඔබ්බේන් ලදු කැලයෙන් හමා ආවේය. බැල්ලගේ අවසන් කටයුතු රහසේ සිදු විය. කළමණාකාරතුමා මහජන නිළධාරියා හදිස්සියේ කැඳවූයේය. මහජන නිළධාරියා ආයතනයේ රථයෙන්ම පිටවිය. හේ කළු බැල්ලක් සොයමින් ගම වටා ගමන් ඇරඹීය.

පසු වදන;

මෙම කම්හල පසු කාලයකදී බුන්වත්වී වසා දැමුණි. ආයෝජක තුමාගේ කර්මාන්ත ජාලය වැසී ගියේය. කර්මාන්ත ශාලා කළමණා කරු වයස්ගතව මිය ගියේය. සහයක් තැන දැඩිසේ ගිලන්ව සිටියි.

තිළිණ තිළිණ පියසාද්; මාගේ මිතුරාට ගෞරවයෙන් මෙම සත්‍ය කථාව පිළි ගැන්වේ.


6 comments:

  1. මේ වගේ දේවල් උනා කියල මමත් අහල තියෙනවා. කතාව ඇත්ත නම්, නම් ගම එක්කම දාන්න තිබුණා (මොකටද බය වෙන්නේ, ඔහේලගේ ආණ්ඩුවනේ දැන්) මේවා මිනිස්සු දැනගන්න ඕන, අර හැමෝම යට ගහගෙන හිටි බටලන්ද වගේ.
    මම විජේබාහු

    ReplyDelete
  2. මම එක, එකත් පොඩි ජොලියක්

    ReplyDelete
  3. මේකෙ දිග! මං කියවපු දිග ම බලු කතාව.

    ReplyDelete
  4. මරු බලු කතාව , ...........ඔය වගේ කළමනාකරුවෝ ඉන්න කොට පාඩු වෙන එක අහන්නත් දෙයක්ය

    ReplyDelete
  5. පව්, අහිංසක සතා. බොහොම කලකට ඉස්සර වෙන්න ඕනෑ. දැන් නම් ඒක ඉතා කුඩා ශල්‍යකර්මයක්.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...