Wednesday, October 9, 2024

290. බබාට නමක් . . . !

සුනිල් විවාහ වුයේ ලතා සමඟය. ඔවුන් විවාහ වී වසර දෙකකට පමණ පසු වැඩිහිටියන්ගේ උවමනාවට ලතා ගැබ් ගත්තීය. කාලය ගෙවී ගොස් ගැබ මෝරා දරු ප‍්‍රසුතිය එළඹි කල ඒ සඳහා ඇය තෝරා ගත්තේ කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලය.

"වැඩිම දරු උපත් හා අඩුම ළදරු මරණ අනුපාතය කාසල් එකෙනෙ” සුනිල් සෑම විටෙකම එය සාධරණීකරණය කලේ එලේසය! කෙසේ හෝ ඔහුගේ හා ඇයගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් ඇය පුතකු වැදුවාය.

සුනිල්ට ඇති වු සතුට නිමක් නැත. දරුවා ලැබෙන තුරු සුනිල් කාසල් රෝහල ඉදිරියේ එම රැයම නිදිවර්ජිතව සිටියේය. ඔහු රාත්‍රියේම ආරංචිය දැන ගත්තේ ලතාලාගේ අසල් වැසි රෝහලේ සේවය කරන  කාන්තාවක් මගිනි. කෙසේ හෝ කොළුපැටියාගේ මුහුණ එවෙලේම දැක බලා ගැනීමට තරම් හේ වාසනාවන්ත විය. ඌ අපූරු කොළුපැටියෙක් විය. දෙපයින් සිට උස පෙන්නන්නට නොහැකි දරුවා තුලින් දිගු ස්වාභාවයක් පෙන්නුම් කෙරිනි. සුනිල් සෑම විටකම බලාපොරොත්තු වුයේ පුතකුම විය. මෙම එක් වරු වියැති දරුවා තුළින් සුනිල් ආරෝහපරිනාහල ඍජුල දෘඪල කඩවසම් ගජ දන්ත වර්ණයෙන් හෙබි කඩවසම් තරුණයෙකු පිළිබඳ සිහින දිටීය.

කෙසේ වෙතත් පසුදින වනවිට ලතා හා දරුවා යන දෙදෙනාම රෝහලෙන් ගෙන යාමට හැකි බව වාට්ටුවේ හෙදියක් විසින් ලතා වෙත දන්වා තිබුනි. අප රටේ සෞඛ්‍ය සේවයේ හා රෝහල් තුල තිබුනු ඇඳන් සංඛ්‍යාවේ පිහිටෙන් දෙදෙනාටම සවස් වන විට ගෙදර යා හැකි බව වාට්ටුවෙන් නිළ වශයෙන් දැනුම් දී තිබුනේ දහවල් වන විටය.

රජයේ රෝහලක සිදුවන දරු උපතකින් පසු දරුවා රෝහලින් රැගෙන යාමට පෙර දරුවාගේ උප්පැන්නය ලියාපදිංචි කලයුතු බව  සුනිල් දැන ගත්තේ මෙවිටය. පාසැල් වියේ සිටම තමාට භාෂාව පිළිබඳ විශාල දැනීමක්ද එසේම නිර්මාණශිලි බවක්ද හිමි යැයි සුනිල් තනිවම සිතා සිටියේයග. එසේ සිතීම පවා ඔහුට මහත් ආශ්වාදයක් ගෙනදීය. විවාහයේ සිට මෙම දරු උපත තෙක් සිදුවු සෑම සියලූ කටයුත්තකදීම මූලිකව කටයුතු කල තම බිරිඳගේ පාර්ශවයෙන් අවම වශයෙන් තම දරුවාට නම් තැබෙන කාර්‍යයවත් තමා වෙත උදුරා ගත යුතු යැයි සුනිල් හට සිතිනි.

ලතාගේ මව හෙවත් තම නැන්දම්මා පැමිණ දරුවා දෙස බලා  "හරියට ලොකු පුතා පොඩිකාලේ වගේමයි . . . . . .” කියු අවස්ථාවේදී සුනිල්ට ඇති වු කේන්තිය මෙතකැයි කියන්නට බැරිය.

ලතාගේ කුසයට නමෝ විත්තියෙන් දරුවා පැමිණි පසු සුනිල් තම රැකියා ස්ථානයේ මිතුරෙකුගෙන් අසා දැන ගත් වෛද්‍යවරයෙකු හට ලතාව පෙන්නීමට සිතා සිටිමුත් ඒ කවුද? අර මිසිස් රත්නායකගේ දුවව පෙන්නපු ඩොක්ටර් ෂෝක්ලූ යන වගන්තියෙන්ම ඒ අදහස වෙනස් කර ගැනීමට සිදුවු සැටි සුනිල්ට මතක් විය. ඔව් මමම තමයි පුතාට නම දාන්න  ඕන නැත්නම් ඒකටත් ලොකු මස්සිනාගේම නම මේ යක්කු දමාවි "ෂෝක්"  කියලා.

දැන් දරුවාට නමක් තැබිය යුතුයග සුනිල්ගේ ඉහමොළ රත්විය පුතාට නමක් . . . . . ? පුතාට නමක් . . . . . . . ? ඔහුගේ සිතට එන්නේම නැත. උදේ මෙන්ම හවසද ලතාගේ දෙමව්පියන් මව සහ ළදරුවා බැලීමට පැමිණියහොත් දරුවාට සිරිසේන කියා හෝ නම දී දෙදෙනාට ගෙදර රැගෙන යන බව මතක්වී සුනිල්ගේ ඇඳුම් තෙත් විය . . . !

උපන් දරුවාගේ වේල්පත්කඩය උදේ එන විට රැගෙන එන්නට තරම් හැකියාවක් ඇති ඔවුනට විනාඩි කිහිපයකදී දරුවාට නමක් දෙන්නට බැරි කමක් නැත. සුනිල්ට සිතා බලන්නට වෙලාවක් තවත් ඉතිරිවී නැත. 

මේ දහවල් රෝගීන් බලන වේලාවයි. ඔහු වහාම වාට්ටුවෙන් එලියට පැමිණ රෝහලේ කොරිඩෝරයක බිත්තියේ සවිකොට තිබු රුපියල් දෙකේ කාසි මගින් ක්‍රියා කරන දුරකථනය වෙත ගොස් එමගින් කටුබැද්දේ සොයිසා පුර මහල් සංකීර්ණයේ ජීවත් වන තම මිතුරකු ඇමතීය. ඒ එම නිවාස සංකීර්ණයේම නිවසක ජීවත් වු දරුවන්ට නම් තැබීමට ප‍්‍රසිද්ධ සිංහල භාෂා ප‍්‍රාඥ්ඥයෙකුගේ උපදෙස් ලබා ගැනීමටය. කොටින්ම දරුවාට නමක් අසා දැන ගැනීමටය. ම්හු . . . . ! වැඩේ පටන් ගත් තැනම අසාර්ථක විය! මිත‍්‍රයා නිවසේ නැත. එසේම ඔහුගේ බිරිඳ සිංහල ප‍්‍රාඥ්ඥයාගේ නම වත් අසා නොතිබුනේය. ඔහු දස අතේ කල්පනා කරන්නට විය ගතවු සෑම මොහොතක්ම පොදු දුරකථනය වෙතවු පෝලීම තවත් වැඩි කලේය. තව දුරටත් රිසිවරය අල්වගෙන සිටිමෙන් සිදුවන යහපතක් නොමැති බව වටහා ගත් සුනිල් ආපසු හැරුනේය.

සුනිල් කාසල් ගේට්ටුව අසලට පැමිණියේ හීනෙන් මෙනි. නමක් යන දෙය ගමේ කඩෙන් සාප්පුවෙන් ෆාමසියෙන් තියා හාර්ඩ්වෙයාර් එකකින් වත් ලබාගත නොහැකි දෙයක් වග ඔහුට මතක් විය. හාර්ඩ්වෙයාර් එකකින් හෝ මෝටර් ස්පෙයා පාට්ස් කඩයකින් ලබා ගත හැකි දෙයක් උනානම් ගල්වල පාරෙන් හෝ පංචිකාවත්තෙන් එය සොයා ගැනීම සුනිල් හට කජු කනවා වාගේ වැඩකි. එහෙත් නමක් යනු එවන් දෙයක්ද . . . ?

තමා කුඩාකල පියා සමඟ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ තම හිස අතගා නම පරිස්සම් කර ගන්න  ඕනෑ හොඳඳ? යනුවෙන් පැවසු සැටිත් පසුව ගෙදර පැමිණ ඒ පිළිබඳව ඇති වු කතා බහේදී තමන්ට "සුනිල්" යන නම දී ඇත්තේද ලොකු හාමුදුරුවන් විසින් යැයිද දැන ගත් පසු තමා තුල ඇති වු ආඩම්බරය නැවත සුනිල්ට දැනෙන්නට විය. ඇත්තටම නමක් මොන තරම් වටිනවාදැයි මේ තරම් හොඳින් ප‍්‍රත්‍යක්ෂ වු තවත් අවස්ථාවක් සුනිල්ගේ ජීවිතයේ නැති තරම්ය. තමාගේ තාත්තා බිම වැටී තිබුනු සතයේ කාසියක් වැනි අඩු වටිනාකමකින් යුතු යමක් ඇහිඳින විට නිතරම වාගේ කටපාඩමින් පැවසු යමක් සුනිල්හට මෙවෙලේ මතක් විය.

"ඕන දෙයක් නැති වෙන්න  ඕන ඒකෙ අගය තේරෙන්න . . . . . . . !”

ළමයින්ට යෙදෙන නම් සඳහන් පොත් පොත් සාප්පුවල ඇති බව සුනිල්ට මොහොතකින් මතක් විය. එහෙත් කොහොමද ඒක කරන්නත් පොතක් ගන්නටත් එළියට යන්න  ඕනෑය. දහවල් ලෙඩුන් බලන වේලාව දැන් ඉකුත්වී ඇති හෙයින් එළියට ගියහොත් මෙදාපොටේ හවස් වන තුරු ආයෙත් ඇතුළට ඒම ගැන සිතන්නටවත් බැරිය. මෙසේ දෙලොවක් අතර කල්පනා කරමින් සිටිනාතර තුර හදිසියෙන් දුටුවේ ගමේ; තමංගේ ඈතිං නෑදෑවෙන යෝතං මමා; ගේට්ටුව අසල සිට රෝහල දෙස බලා සිටින අයුරුය. ගේට්ටුව ආසන්නයට ගොස් මාමාට කතා කල සුනිල් කථා කිරීමට පෙර යෝතං මාමා ඉස්සර විය.

"ළමයෝ උඹ මෙහේද රස්සාව කරන්නේ . . . . . . . ?”

 "නෑ මාමේ මගේ වයිෆ්ට බබා හම්බවෙන්න එක්ක ගෙන ආවා . . . . . ”

"කාට . . . . . .?”

 "පවුලට . . . . . !”

 "ඔය ළමයා බැන්දද . . . . . . . ?” අපිට නිකංවත් මතක් කලේ නෑ මයේ හිතේ . . . . . ?”

යෝතං මාමා මුණ ගැසීම ඔහුගේ සුනිල්ගේ සිතට කිසියම් සැනසිල්ලක් ගෙන ආවේය. ඒ මාමාට කියා නමත් අසා දැන ගැනීමට නොව ඔහුව මරදානට යවා පොත් කඩයකින් නම් පොතක් ගෙන්වා ගැනීමටය.

 "හදිසියේ බැන්දෙ මාමෙ . . . . . . . . !”

 "ඒ මොකද බං ඒ . . . . ?” යෝතං මාමා ගේට්ටුව වෙත තවත් ළංවිය. එයට දීමට තරම් සාර්ථක පිළිතුරක් නොමැතිවු තැන සුනිල් නිහඬ වුවේය. තවත් විනාඩි ගණනක් නිකරුනේ ගෙවී යන්නට හැර බලා සිටි සුනිල් තමාගේ අවශ්‍යතාවය ඉදිරිපත් කලේයග යෝතං මාමාට කාරණාව පහදා දීමට වඩා වැඩි කාලයක් ගියේ මාමා විසින් යෝජිත  "පියදාස”  "රංජි”  "සාන්ත”  "කුමාර” වැනි නම් ප‍්‍රතික්ෂේප කිරීමට හේතූ සාධක සොයන්නටය.

 "පියදාස . . . හාපෝ පේනනේ නැද්ද බදුල්ලවල ඉන්න පියදාසගෙ හැටි”

 "රංජි . . . . ? අපේ මැරිච්ච බාප්පගෙ නමනෙ”

 "සාන්ත . . . ? සාන්ත කිව්වොත් ආයේ දෙපාරක් බලන්න දෙයක් නෑ එපා කරපු එකෙක් තමයි”

ඔය විදියට සුනිල් මහත් වැර වෑයමක් ගෙන තර්ක විතර්ක කිරීමෙන් පසු යෝතං මාමාට නම් පොතක් ගෙනෙන්නට මරදාන බලා යෑමට එකඟ කර ගත්තේය.

සුනිල් යෝතං මාමා රුපියල් දෙසීයක්ද දී මරදානේ පොත් සාප්පු තිබෙන ස්ථාන පිළිබඳ හොඳ විස්තරයක් සපයා නම් පොතක් ගෙන ඒමට පිටත් කර හැරියේය.

මාමාද  "සුනිල් ළමයා” ලියාදුන් පරිදිම 176 හෙට්ටියාවත්ත බසයකින් මරදානට ගොස් පොත සෙවීමට ඇරඹීයග ගොඩගේ සාප්පුව,  දයාවංශ සාප්පුව, සිට  සමයවර්ධන, පසුකොට මාමා තවමත් පොත සොයමින්ය. අවසානයේ  "තිසර” සාප්පුවෙන් දුන් හෝඩුවාවක් ඔස්සේ ගිය මාමාට  "රත්න” එකෙන් නම් පොත ලැබුනි.

එයද අළුත්ම එකක් නොවුනි. කවුරුන් විසින් හෝ කලින් පාවිච්චි කරන ලද පොතක්යග පොත දිග හැර වැසු සැනින් අළුත උපන් දරුවා වෙනුවෙන් කාවුන් කිහිපදෙනෙකු දිවි පිදීය. මාමා රුපියල් දෙසීයෙන් සෑහෙන මුදලක් ද ඉතිරි කරගෙන පැයකට පමණ පසු සුනිල් ළමයා ලියාදුන් පරිදි 176 කින් නැවත කාසල් ගේට්ටුව අසල මග බලා සිටි සුනිල්ගේ මුවග සිනහවක් ඇඳි ගියේය. නමුත් එම සංතෝෂය රැඳි පැවතියේ මාමා අතින් පොත ගේට්ටුවේ යකඩ කූරු අතරින් සුනිල්ගේ අතට පත් වෙන තුරු පමණි. පොත තුලින් දිස්වු කාවුන් කෑ පැරණි ස්වාභාවයම සුනිල්ගේ අසතුටට හේතු වියග ඔහු එය අතට ගනිත්ම පෙරලීය.

ඇම්බැක්කේ

ගඩලාදෙණිය

ලංකාතිලක විහාරය

 දෙගල්දොරුව

පිලිකුත්තුව

. . . . . . . . . . . . . .

. . . . . . . . . . . . . . 

එය මීට කලකට පෙර දහම් පාසැල් වල වණපොත් කිරීමට දුන් ලංකාවේ පැරණි සිද්ධස්ථාන නාමාවලියකි. සුනිල්ට  යකා නැග්ගේය. ඒ සමඟම වාට්ටුවේ ඇඳක වැතිර සිටින තම බිරිඳ සිහීවීමත් සමඟ යකා බිමට බැස පසු කොට පයින් ඇවිද ගියේය.

 "මම කිව්වේ නම් තියෙන පොතක්නෙ ඒ කියන්නේ නම් තියෙන පොතක්  නේ . . . . . . . . . .”

 "මම දන්න මගුලක් නෑ! මාත් සුද්ද සිංහලෙන් නම් පොතක් කියලා තමයි ඉල්ලූවේ උං දුන්නා මං ගෙනාවා එච්චරයි . . . .”

 "හරි . . .  හරි . . . .  මටයි වැරදුනේ . . . . . . .”

  "ඒක මිසක් . . .  මං කියලා ගොනෙක්යැ . . . . . . .”

 "අනේ මාමෙ තරහා නැතිව ආයෙත් මරදානට ගිහින් ළමයින්ට දාන නම් තියෙන එකක් අරන් එනවාද? . . . . .” සුනිල් මාමා ළඟ පිං සෙන්ඩු විය.

 "ඔය ළමයා කොහේද වැඩ කරනවා කිව්වේ . . . . . ?”

 "මේ . . . .   මේ . . . .  ගාමන්ට් එකකනේ . . . . . . ”

"අපේ ලොකු කෙල්ල බඳින්න එන එකාත් රස්සාවක් හොයනවා . . . . .   බැරිද . . . . . .” යෝතං මාමාට කතාව ඉවර කරන්නවත් සුනිල් ඉඩ නොදුනි.

"අයියෝ මාමෙ මොකද්ද කෙරෙන්න  ඕන . . . . . . ?” රස්සාවක්ද . . . . . . ?  එක්ක එන්නකෝ වෙලාවක”

යෝතං මාමාගෙ හීසේ මලක් නොව මල් පොකුරක්ම පිපුනා ලෙසය මල් පොකුරක් නොව මල් පඳුරක් කීවොත් වැරැද්දක් නැත ග

"මොකද්ද පුතේ දැන් මගෙන් කෙරෙන්න  ඕනෙ . . . . . . ?”

"අනේ මාමෙ තරහා නැතිව ආයෙත් මේ පොත ගත්තු කඬේටම ගිහින් මේක දීලා ගේනවද ළමයින්ට දාන නම් තියෙන පොතක්? මතක ඇතිව කියන්න ළමයින්ට දාන නම් තියෙන පොතක් කියලා . . . . . "

"මොකට තරහා වෙනවද ළමයො ? මොකද අපි පිට මිනිස්සුයැ . . . . ?" යෝතං මාමා මවාගත් කරුණාවකින් යුතුව පැවසීය!

මාමා පිටත් විය. පළමු වතාවට වඩා බොහෝ වේලාසනින් මාමා ආපසු පැමිණියේය. සුනිල් පොත ගත්තේ දෙගිඩියාවෙනි. එහෙත් පොතෙහි කවරය දුටු සැනින් සුනිල්ගේ සැකය හිරු දුටු පිණිසේ වාෂ්ප විය.

"දුවට පුතාට නිවසට ව්‍යාපාර ස්ථානයට ගැළපෙන නමක්"

පොතෙහි පිටකවරයේ ඉහලින්ම ලොකු අකුරින් ලියා තිබුනි. ඊළඟට "නාමකරණය" යන්නය. වෛද්‍ය ශිරෝමණි හෙට්ටිආරච්චි මුහන්දිරම් මහතා විසින් සම්පාදිතයි යනුවෙන් ඒ සියල්ලටම පහළින් ලියා තිබෙනු ඔහු නුදුටුවාසේය.

"තැන්කිව්" මාමෙ මේ මේ ළමයෝ මාමාට හිතන්නට යමක් ඉතිරි කල සුනිල් එතැනින් ඉගුලූනි.

කොරිඩෝරය ඉදිරියට පැමිණි ඇටෙන්ඩන් කෙනෙකුට මග හැරීමට ඔහුට පසෙක වු කුළුනකට මුවා වන්නට සිදු විය. ඉදිරියට ගිය රෝහල් කම්කරුවන් තිදෙනා නිසා ඔහුගේ වේගය සීමා කරන්නට සිදු විම ගැන සුනිල්ට කේන්ති ගියේය. "යන්න බැරි නම් යන්න පුළුවන් කෙනෙකුට යන්න දෙන්න  ඕනෑ . . !" ඔහු තනිවම සිතයි කෙසේ හෝ තවත් විනාඩි ගණනක ඇවෑමෙන් සුනිල් දරුවන් ලැබුනු මව්වරුන් රඳවා තැබෙන වාට්ටුව වෙත කිට්ටු කලේය.

ඉවෙන් මෙන් ලතාගේ ඇඳ වෙතට පැමිණි ඔහු කිසිඳු කථාවකින් තොරව පළමු පිටුව විවර කලේය.

"නමෝ බුද්ධාය" පළමු පිටුව පෙරලූ සැණින් දිස්විය රෝම ඉලක්කම් ගණනාවකින් නොම්මර යොදා තිබුනු සංඥ්ඥාපනයෙන් අනතුරුව අ යන්නට පැමිණියේයග මේ කිසිවක් තේරුම් ගත නොහැකි වු ලතා තම සැමියාගේ දකුණු අතේ දබරැඟිල්ල විටෙක මුවටත් තවත් වරෙක පොතේ පිටු අතරත් රැඳෙනු බලමින් සිටියේය. එම පිටුවේ ඉහළ කෙළවරේ තද කළු පැහැති අකුරින් "ශ‍්‍රී සුගතිඳු නමව් සර්‍ව කල්" යනුවෙන් අවධාරණය කොට තිබුණිග ඊළඟට නාමකරණය හෙවත් නම් තැබීම ඇරඹී තිබුනි.

අමිතෝදන

අමර කාන්ත

අනංගලාල්

අශ්වඝෝෂ

අලකේශ්වර

අග‍්‍රිම

අර්කබන්දු

සුනිල් ලතා දෙස බැලූවේවත් නැත කේන්ති ගිය විට ලතාගේ මුහුණේ සුන්දරත්වය සුනිල් හොඳින් දනී එය ගමේ පන්සලේ මකර තොරණටත් එහාය.

"විකාර . . . ! ඔය කෙහෙල්මල් පොත් ඕන නෑ. අපි ඔය සාමාන්‍ය නමක් දාමු" කතාවේ නැවතීමේ තිත තබන්නටත් කලින් සුනිල් ගේට්ටුව වෙත එමින් ගමන් පොතේ සංඥාපනයට යොදා තිබුනු දාතම බැලූවේය. එය ලියා තිබුනේ ලංකාවට සුද්දා නිදහස දෙන්නට පෙර පමණක් නොව ජපානයෙන් කොළඹට බෝම්බ දමන්නටත් පෙරය!

නැවත ගේට්ටුව ළඟට පැමිණ ඔබ මොබ බැලූමුත් යෝතං මාමා ""පිඳුරු ගොඬේ වැටුනු ඉඳි කටුව බවට පත්වී තිබුනි.

සුනිල් වහාම පිටත් වියග බසයක් එනතුරු නොසිටි ඔහු බොරැල්ල දෙසට වේගයෙන් ඇවිද ගෙන ගියේය. සේනානායක හංදියේ වර්ණ සංඥා එළි අසල නවතා තිබුනු 103 නාරහේන්පිට-කොටුව බසයක එල්ලූනු ඔහු තවත් විනාඩි ගණනකින් මරදානේ විය.

බසයෙන් බැස මොහොතකින් ඔහු අසලවු පොත් කඩයක් වෙත රිංගීය. එහි කවුන්ටරය වෙතට ගොස් එහි සිටි තරුණිවක් වෙතට නැඹුරු විය. කථා බහෙන් ඉක්බිතිව ඇය අසල වු පොත් අල්මාරිවක් වෙතට ඇදුනි සුනිල් තම කමිසයේ උඩ සාක්කුවේ තිබුනු දරුවාගේ වේලාපත් කඩය රහසින් මෙන් මදක් ඉවතට ගෙන එහි සඳහන් අකුරු දෙක හොඳින් බලා ගත්තේය. "ව" යන්න "ක" යන්න "ග" යන්න! මොහොතකින් පොතක් වීදුරු ෂෝකේසය මතට පැමිනුණි.

"මේ වගේම තවත් එකක් තිබුනා . . !" තරුණිය දිගටම මොනවදෝ කියවාගෙන යනවා සුනිල්ට යාන්තමින් හීනෙන් මෙන් ඇසුනි ඔහු තම හිස නොඋස්සාගෙනම පොත පෙරලා ගෙන යයි.
 සිංහල හෝඩිය මතකයට එන්නේම නැත. "ග" ඔහුට යාන්තමින් හෝ මතකයට එන්නේ ස්වර කිහිපය හා ය ර ල ව අං අඃ කියන අකුරු කිහිපය පමණිග තවත් ස්වල්ප මොහොතකින් පොත ඒ මේ අත කිහිප වරක් පෙරලීමෙන් "ව" යන්න සොයා ගත හැකි විය. දරුවාට නම තැබීම සඳහා "ව" යන්න තෝරා ගත් සුනිල් "ග" යන්න සම්පූර්ණයෙන් අමතක කර දැම්මේය. ඔහුගේ දෑස් වේගයෙන් ඉහළ පහළ දුවමින් තිබී එකවරම එක් අකුරු තුනක් මත නැවතිනිග

කවුරුවත් කාටවත් යොදා නොමැති අර්ථාන්විත තේජාන්විත නිර්මාණශිලි නැවුම් නම:-  "වසික- ගෞරවය"

මම අනිත් කඩෙත් බලලම එන්නම් සුනිල් ලිස්සා ආව්ය.

සීමිත වැටුපකට සේවය කරන සේවිකාව එයට හා කියන්නවත් උනන්දු නොවීය. සුනිල් වහාම යාබද කඩයට රිංගුවේය. එහි අයකැමිගෙන්  බෝල් පොයින්ට් පෑනක් මිළදී ගත් හේ තම වම් අත හොඳින් කලිසමේ අතුල්ලාගෙන එහි ලියන්නට විය. "වසික-ගෞරවය" එකවරම ලියා ගන්නට නොහැකි වුවත් දෙතුන් වතාවක් ලිවීමෙන් දරුවාගේ අනාගතය අතේ සනිටුහන් කරගැනීමට සුනිල්ට යාන්තමින් හැකි විය.

සුනිල් වාට්ටුවට යන්නට පෙර ගේට්ටුවෙන් අසා දැන ගත් පරිදි ගොඩනැගිල්ලේ කෙලවරකවු උප්පැන්න සහතික කාර්යාලයට ගොඩ වැදුනි කාර්යාලයේ වැසෙන්නට ඔන්න මෙන්න වු කවුන්ටරයෙන් පෝරමයක් ලබා ගත්තේය. සිරිත් පරිදි  පෝරම කොලය සමග නූලකින් ගැටගසා තිබුනු පෑනක් කවුන්ටරයේ ඇතුලින් පිටතට ලැබුනි.

"පෑන එපා . . . !" සුනිල් ආඩම්බරයෙන් පැවසීය "පෑනක් තියෙනවා . . . . !"

පෝරමය පුරවා දුන් සුනිල් වාට්ටුවට ඉගිලූනි. සුනිල් වාට්ටුවට එන විට ලතාගේ දෙමාව්පියන් පැමිණ ඇය ගෙදර රැගෙන යාමට සියල්ල සූදානම් කර අවසානය. තවත් ඉතිරිව ඇත්තේ උප්පැන්න සහතිකය හා සම්බන්ධ කර්ථව්‍ය පමණි. සුනිල්ගේ පරක්කු වීම ගැන ලතා හා දෙමාපිය දෙපළ සිටියේ තරමක අමනාපයකිනි.

දැන්වත් යන්තං නමක් සොයා ගත්තද? ලතා මුහුණ අඳුරු කරගෙනම විමසීය.

"ඔව් වොව් නම දීලා ෆෝම් එකත් පුරෝල දීලයි ආවේ . . "

"පුදුමයි! මොකද්ද නම?

"වසික . . . . !"

"මොකක් . . . ?"

"ව සි ක . . . . !"

"වසික . . . . ?"

"ඔව් ඇයි . . . ? දන්නැද්ද තේරුම . . . . ?"  සුනිල් තමා එතෙක් දැන සිටි නමත් වචනයක් ලෙස සුපුරුදු බවක් පණ්ඩිත බවක් දැක්වීය.

'හරි හරි ඹ්න කෙහෙල්මලක් යමු යමු පරක්කු වෙනවා . . . !" ලතාගේ පියා සුපුරුදු ලෙස පැවසීය.

කාලය ගෙවී ගියේය. දරුවා බලන්නට සබන් පවුඩර් රැගෙන පැමිණුනු සෑම අයෙක්ම ආපසු ගියේ සිංහල භාෂාවේ අළුත්ම වචනයද රැගෙනය.  ඒ  "වසික" යන්නය!

"වසික- ගව්රවේලූ" ඔවුන් මුමුණමින් ගියහ.

තවත් මාසයක් දෙකක් ගෙවුනි. දිනක් සුනිල්ගේ නමට දිග ලියුම් කවරයක දමන ලද ලිපියක් ලැබුනි.

ලතාලාගේ ගෙදර උදවිය කවදත් දිග ලියුම් කවර වලට කිසියම් බය පක්ෂ බවක් දැක්වීය. සුනිල් එනතුරු ලතාවත් එය විවර කලේ නැත. දිනය ගෙවී සැන්දෑව එළඹුනි. සුනිල් ගෙදර වැට පනින විටම ලතා ලිපිය සුනිල් අත තැබීය. තමා විසින්ම ලියා දෙන ලද කවරයේ සඳහන් ලිපිනයේ අත් අකුරු පිළිබඳව සුනිල්ගේ අවධානය යොමු නොවුවත් ආපසු ලිපිනය ලෙස රබර් මුද්‍රා තබා ඇති උප්පැන්න රෙජිස්ටාර් යන්න දුටු සැනින් සුනිල්ගේ මුව විවර විය!

"පුතාගේ උප්පැන්නෙ . . . . . !"

සුනිල් ලිපියේ පොත්ත පලා මදය එලියට අදිමින් පැවසීය. ඔහු එය වේගයෙන් දිග හැරියේය. ඒ ලංකාවෙන්ම තම ආදරණීය පුතාට පමණක් ඇති නම බැලීමටය.

අභාග්‍යක මහත එහි වසික යනුවෙන් කිසිම තැනක සඳහන් වී නොතිබුනි.

"දරුවාගේ නම: සුනිල් පෙරේරා"

"පියාගේ නම: සුනිල් පෙරේරා" 

යනුවෙන් ඇද නැතිව එහි රවුම් අකුරෙන් ලියා එවා තිබුනි.

හදිස්සියක තරම . . . . . . . . ! ඒ; ඉස්පිරිතාලයේ උප්පැන්න කවුළුවට ලබා දුන් පොරමය සුනිල් පුරවා දී තිබූ ආකාරය ය!

මටත් දෙන්නකො බලන්න ලතා සුනිල් අත වු හිස් ලියුම් කවරය ඇල්ලීය.

මොකද? උප්පැන්න දැකලා නැද්ද ? සුනිල් එක් අතකට පමණක් නවා තිබුනු උප්පැන්නය අනෙක් අතටත් නවමින් ගේ තුළට ඇදී ගියේය.

19 comments:

  1. මේක නම් ෂුවර් එකටම තට්ට ලොක්කාට වෙච්චි දෙයක්... සුනිල් පෙරේරා නම අයින්කරලා මංජුල පෙරේරා කියලා අපි දාගන්නම්..

    ReplyDelete
    Replies
    1. යකූ මේක ප්‍රභන්ධයක්!

      Delete
  2. අනුර කුමාර කියලා දාන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. ඒක මම උඹගෙ ඊළඟ මල්ලීට දාන්න කියලා මම හිතාන ඉන්නේ!

      Delete
  3. අපූරු කතාවක්. ලියන දෙයින් ලියන්නා කියවාගත හැකි ය.

    ReplyDelete
    Replies
    1. ඕකත් ඇතතම කථාවක්! අන්තිම විතරයි වෙනස් උනේ!

      Delete
  4. //වැඩිහිටියන්ගේ උවමනාවට ලතා ගැබ් ගත්තීය// ඈ යකෝ එතකොට සුනිල් පෙරේරා මොකුත් කරල නැද්ද හැබෑටම.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ එහෙම තමයි බං වෙන්නේ!
      බැන්ද දවසෙ ඉඳන් "කෝ තාම මුකුත් වෙනසක් නැද්ද?" කිය කියා ගෑනිට ඉන්න දෙන්නේ නෑනේ දෙපැත්තේ දෙමව්පියෝ.
      අන්තිමට වදෙං බේරෙන්න තමයි ළමයි හදන්නේ - කනක් ඇහිලා ඉන්න!

      Delete
  5. Obathumaage Kathaawa Wagee thamayi mata hithennee,
    Pahugiyatikee penna hitye naththe mokada?

    ReplyDelete
    Replies
    1. ටිකක් එහෙම තමයි. නමුත් මුළු කථාවම නම් නොවෙයි!
      වැඩ පොඩ්ඩක් අධික උනා!

      Delete
  6. මම නම් මගේ වැඩ වලට නැන්දම්මට අත දාන්න දුන්නේ නෑ, හැබැයි නම් පොතක් මමත් ගත්තා
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නම් ඒක සතුටක්! සම්පතක්!! මම මේ දවස් වල ඔහේලගෙ රටේ!

      Delete
    2. ඇත්තේයි

      Delete
  7. වසික කියන්නේ පුතාගේ නම නේද

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...