Sunday, September 15, 2024

88/89 . . . !



88/89 කියන්නේ අදින් වසර 36 කට පෙර කථාවක්.

අදටත් ජවිපෙට ඇති දරුණු සහ එකම චෝදනාව මෙය වීම තුල අනියමෙන් කියැවෙන්නේ ගතවූ වසර 36 තුල අප කිසිදු අපරාධයකට හවුල්වී නැති බවම නේද? මෙරට අනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත්; එම පවිත්‍රතාවයට අලගු තැබීමටවත් නොහැකි බව මා කීමට අනවශ්‍ය බව ලියා තබමි.

1971 කැරැල්ලේ චූදිතයින් හට එල්ලවූ චෝදනාව වූයේ 'මහා බ්‍රිතාන්‍යයේ රැජිනට විරුද්ධව කටයුතු කිරීම' බව ඔබ නොදන්නවා විය හැක.

පැවති සමගි පෙරමුණු රජය පිළිබඳව කළකිරුණු ලාංකිකයින් ජේ ආර් ජයවර්ධන 1977 දී රටේ පාලනය ලබාදේ.

1978 අපරාධ යුක්ති කොමිශන් සභාව අහෝසි වීම සමගම පක්ෂයේ සැලකියයුතු  පිරිසක් සමාජයට පැමිනීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ජවිපේ එකතුවේ.

1978 වසරේ පැවති ආනමඩුව, හොරොව්පතාන ඇතුළු අතුරුමැතිවරණ හතරකට ජවිපෙ සටන් වදී. 

සිර ගෙවල්වල සිට නිදහස ලබා පැමිණීමෙන් පසු ජවිපෙ පළමු වරට 1978 දී මුහුණ දුන් කොළම මහ නගර සභා මැතිවරණයට උපතිස්ස ගමනායකගේ නායකතවයෙන් කණ්ඩායමක් ඉදිරිපත් වූහ. මෙහිදී සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ අභිබවා ඡන්ද ලබා ගැනීමට හැකිවිය.

1979 දෙසැම්බරයේදී ගාල්ල ආසනය සඳහා පැවැත්වූ අතුරු මැතිවරණයට අප තරඟ වැදුනෝය. 1980 අගෝස්තු මස ආනමඩුව අතුරු මැතිවරණයටද ජවිපෙ ඉදිරිපත් විය. මේ සියළු මැතිවරණ වලින් ඔවුන් තෙවැනි තැනට පත්වී තිබුනද ජනතාව සම්ප්‍රදායික වමට ඉහලින් අපව ඔසවා තබා තිබුනි.

1981 සැප්තැම්බරයේදී සම්මත කරණ ලද දිස්ත්‍රික් සංවර්ධන සභා පනත අනුව 1981 ජුනි මස දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්විණි. ජවිපෙ ඉතිහාසයේ ප්‍රථම වරට මහජන ඡන්දයකින් ජනතා නියෝජිතයින් 13 දෙනෙකු පත් වන්නේ මෙහිදීය. දිස්ත්‍රික්ක 8ක් සඳහා පමණක් අප තරග වැදුනු අතර අපට ඡන්ද 327,149 ක් ලබා දීමට ඡන්ද දායකයින් නොමසුරුවී තිබුනි. 

ජයවර්ධන ජනාධිපතිවරයා එතෙක් රට තුල පැවති මැතිවරණ සම්ප්‍රදාය මුළුමනින්ම විනාශ කර දැමීමේ ආරම්භ කරණ්නේ මේ සමගය. එතැන් පටන් 1989 තෙක්ම ආණ්ඩුව හැසුරුනේ මේ ආකාරයටය. උතුරේ ජනතාවගේ සිත් සතන් තුල දකුණේ ආණ්ඩුව පිළිබඳ වෛරයක් ඇති වන්නට හේතු වූ පළමු සිද්ධිය මේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයයි. 1981ජුනි 4 වෙනිදා ඡන්දය කොල්ල කෑමට;  රනිල් වික්‍රමසිංහ, ගාමිණී දිසානායක, සිරිල් මැතිව්, රනිල් වික්‍රමසිංහ, ෆෙස්ටස් පෙරේරා ඇතුළු එජාප මැරයෝ කුරුණෑගලින් දුම්රියක්  පුරවාගෙන මැයි30 ත් ජුනි 03 ත් අතර යාපනයට කඩා වැදුනහ!

1981 වන විට යාපනය පුස්තකාලයේ වෙළුම් 97,000ක පොත් එකතුවට අමතරව 16 වන සියවසේ යටත් විජිත ලේඛන ඇතුළුව අති ලියන ලද අත් පිටපත් 10,000ද රැස් කර තිබුනේය. එහි ඉතා දුර්ලභ පොත් එකතුවේ 19වන සියවසේ මුල් භාගයේ ඇමරිකනු මිෂනාරිවරුන් විසින් ලියන ලද පොත් සියල්ලේම පිටපත් තිබුනි. 1971 පරණවිතාන මියගිය පසු;  පොත් සහ ඔහුගේ සටහන් අත්පිටපත් ඇතුළු පුස්තකාලය වෙන්දේසි කිරීමේදී එහි පැමිණියේ පේරාදෙනිය සරසවියේ නියෝජිතයින් හා දෙමළ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු පමනි.. සරසවි නියෝජිතයින් එම එකතුවට රුපියල් 12500 ක ලන්සුවක් තබද්දී දෙමළ ව්‍යාපාරිකයින් ඊට 25000 ක ලන්සුවක් තබා රැගෙන ගොස් යාපනය පුස්තකාලයට පරිත්‍යාග කලහ. "මධ්‍යම කාලීන සිංහල කලා" පිළිබඳව විශ්ෂ්ඨතම ග්‍රන්තය රචනා කල ආචාර්‍ය ආනන්ද කුමාරස්වාමි සටහන් අත් පිටපත් සියල්ලද එජාප නායකයින් ගිණිතබා විනාශ කලහ!

වසර 30කට ආසන් කාලයක් මුලුල්ලේ පැවති ඊලාම් යුද්ධයේ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 200ක් බව අස්තමේන්තු කොට ඇත. ඒසා විශාල හානියක් ඇතිකල ඊළම් යුද්ධයේ හැරවුම් ලක්ෂය වන්නේ යාපනය පුස්තකාලය ගිණි තැබීමයි!

යාපනයේ තරම් මැර ක්‍රියා දිවයිනේ සෙසු පලාත්වල ඇති නොවූවද; ශ්‍රිලනිපය වර්ජනය කල මෙම මැතිවරණයේ එජාපයේ එකම ප්‍රථිවාදියා වූයේ ජවිපෙයි. අප තිස්සමහාරාමය ආසනයේ සංවර්ධන සභා මැතිවරන ව්‍යාපාරයේ  යෙදී සිටියදී හම්බන්තොට පාර්ලිමේන්තු මංත්‍රී පී එම් බී සිරිල්ගේ මැරවරයෝ ජවිපෙ මැතිවරණ අපේක්ෂක බඳගිරියේ ජේ ආර් ඩී සිරිපාල හා තවත් පක්ෂ සාමාජිකයෙකුවූ කතරගම නන්දන ගමන් ගනිමින් සිටි ත්‍රී රෝද රථය ගිනි තබා ඔවුනට පහර දුන්හ.

මෙවැනි සිදුවීම් අප තරග කල අනෙකුත් දිස්ත්‍රික්ක වලින් ද බොහෝ විට වාර්ථා විය. ආණ්ඩුවේ මැර ප්‍රහාර වලට එරෙහිව ප්‍රතිප්‍රහාර නොකරණ්නට පක්ෂය ගෙන තිබූ දේශපාලන තීන්දුවක් හේතුවෙන් ප්‍රතිප්‍රහාර  කරණ්නට ගියේ නැත. ජවිපෙ සෑම විටෙකම කලේ නීතිමය මැදිහත් වීම්ය. පොලීසිය පැමිණිළි කිරීමෙන් ඵලක් නොවුනත් අප හැමදාමත්ම කලේ එවැනි ප්‍රශ්ණ හමුවේ පැමිණිල්ලක් කිරීමය!

නිති පතා සිදුවන මෙම අසාධාරණ මැර ක්‍රියා ඉවසා සිටිය නොහැකි අවස්ථා කිහිපයකදී ජවිපෙ පිරිස් එජාම මැරයන්ට ප්‍රථි ප්‍රහාර එල්ල කල අවස්ථාද නැතිවාම නොවේ.

කැකිරාවේදී මහින්දසෝම හා ඔහුගේ මැරයන්ට පහර දීම, 1982දී මහියංගනයේදී ඇමති සී පී ජේ සෙනෙවිරත්නගේ මැරයන් හට එළව එළවා පහර දීම, 1982 දෙල්ගොඩදී ගෝනවල සුනිල්ගේ  මැර කණ්ඩායමට ප්‍රථිප්‍රාහර එල්ල කිරීම වැනි සිද්ධීන් ඉතිහාසයේ ඇත. එහෙත් මෙම ක්‍රියා සම්බන්ධයෙන් පක්ෂය තුලින්ම ප්‍රතිවිරෝධතා පැන නැගුනෙන් නැවත එවන් අවස්ථාක් ඇති නොවන්නට ස්ථිර ලෙසම අදිටන් කොට තිබී ඇති අතර පක්ෂය තුලින් එල්ලවූ ප්‍රධානතම අදහස වූයේ මෙවන් ගැටුම් දඩමීමා කරගෙන රජය අපගේ මුළු මහත් දේශපාලන ව්‍යාපාරයම මර්ධනය කිරීමට අවසර පතක් ඔවුන් විසින්ම ලියා ගැනීමට ඇති හැකියාවය!

1977 දී බලයට පත්වන ජේ ආර්; 1978දී ඔහු විසින්ම ලියා ගන්නා ව්‍යවස්ථාවකින් ජනාධිපති තනතුර අත්පත් කර ගත්තේය. ජනාධිපති වරයෙකු තෝරා ගැනීම සන්නදහා පැවැත්වූ පළමු ජනාධිපතිවරණය පැවැත් වෙන්නේ 1982 දීය. 

ජේඅ ආර් ප්‍රසිද්ධියේ කියැවූ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඔහුගේ ක්‍රියාව තුල කිසි සේත්ම නොවීය. වරක් කැළණිය සිසුන්හට පහර දීමට පැමිණි එජාප මැර කණ්ඩායමක ක්‍රිටෝපර් නමැති මැරයා සිසුන්ගේ පහර කෑමට ලක්ව මිය ගියේය. ඔහුගේ මළ ගමට පැමිණි ජේ ආර් ඔහුව හඳුන්වා දුන්නේ ජාතික වීරයෙකු ලෙසය! 

මේ වන විට ජේ ආර්ගේ ප්‍රධානතම ප්‍රථිවාදියා වූ සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබුනි! ජනාදිපති අපේක්ෂකයා ලෙස ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්වූයේ හෙක්ටර් කොබ්බෑකඩුවය. ජේ ආර් සමග; රෝහණ විජේවීර, කොල්වින්, වාසු, ජී ජී පොන්නම්බලම් මේ සඳහා ඉදිරිපත්වූහ. රෝහණ විජේවීර එවරද තුන් වැනි ස්ථානයේ තැබීමට ලාංකික ඡන්ද දායකයා කටයුතු කර තිබුනි. ලැබුනු ප්‍රථිශතය 4.19% කි. 

1977 වසරේදී බලයට පත්වන පාර්ලිමේන්තුවට නැවත්ත බලාත්මක වීමට 1982 වසරේදී මහ මැතිවරණයක් පැවැත්වීම අනිවාර්‍ය කාරණයක් විය.

1977 දී 5/6 ක බලයක් ලත් ජයවර්ධන හට එම පාර්ලිමේන්තු බලය තවත් වසර පහකට දීර්ඝ කර ගැනීමට ඇති අවශ්‍යතාවය කරණ කොටගෙන 1982 අවසාන කාර්තුවේදී ජනමත විචාරණයක් පවත්වන බවට ප්‍රකශයට පත් කලේය.

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය තුල ලාම්පු - කලගෙඩි මැතිවරණය ලෙස කුප්‍රකටව ඇත්තේ මෙයයි.

ඒ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රථිපාදන නොතිබූ අතර 1980 නොවැම්බර 4 වනදින; ව්‍යවස්ථාවට සිව් වැනි සංශෝදනයක් ලෙස 161 (ඉ )  ඡේදය ඉවත් කොට අලුත් ඡේදයක් එක් කලේය!

"ඇත්ත", "ජනදින", යාපනයේ "සුනන්දිරන්" යන පුවත් පත් වලට සීල් තැබුවේය. විපක්ෂයේ පෝස්ටර් , පත්‍රිකා මුද්‍රණය කල මුද්‍රණාල වලට සීල් තැබුවේය. මේ කුමන්ත්‍රණය සනාථ කිරීම සඳහා  නැක්සලයිට් චෝදනාව යටතේ නොවැම්බර් 19 වනදා විජය කුමාරණතුංගව සිර භාරයට පත් කරයි. එවකට ඔහු ශ්‍රිලනිපයේ උප ලේකම් විය.

අවිගත් මැරයෝ ඡන්ද පොල වලට පැන හොර ඡන්ද දැමූහ.

ඡන්ද ගනන් කිරීමට පෙට්ටි විවෘථ කරණා විට ඒවා තුල තිබී හමුවූයේ ඡන්ද පත්‍රිකා මිටි ය!

විපක්ෂ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ සහ පීටර් කේනමන් ඡන්දයද හොරට දමා තිබුනි. 1982 දෙසැම්බර් 22 දින ජේ ආර්ගේ මැතිවරණ සිතියම හැකිළීමේ යෝජනාවට ඊනියා ජයක් ලැබුනි.

ජනමත විචරණයට පෙර සියළුම මංත්‍රීවරුන්ගෙන් දින රහිත අස්වීමේ ලිපියක් ලබා ගැනීමට් ජේ ආර් කටයුතු කලේය.

කේවළ ඡන්ද ක්‍රමය යටතේ 1977 දී ජයගත් මන්ත්‍රී ආසන 168න් 48ක් එජාපය පරාදවී තිබුනි. මේසා විශාල භීෂණයක් මුදා හැරියද කළුතර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වන්නි, මඩකලපුව, ත්‍රීකුණාමළය  යන දිස්ත්‍රික්ක වලදී ආණ්ඩුව පරාජය වී තිබුනි. පරාජයට පත් උතුරු නැගෙනහිර ආසන 19 හැර ඉතිරි ආසන 29න් 18ක් සඳහා අතුරු මැතිවරණ පැවැත්වීමට 1983 මැයි 18 දාට යොදා ගැනිනි.

1983 මැයි මස පැවැත්වීමට යෙදුනු අතුරු මැතිවරණයට මුහුණ දීමට විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ඉදිරි පත් කිරීමට යෝජනාවක් තිබුනි. ජවිපෙද එයට එකඟ වූ අතර  ඉල්ලා සිටියේ ආසන 5ක් අපට ලබා දෙන ලෙස වන අතර අවසානයේ එය 2 කට පහත වැටුනි. නමුදු සාකච්ඡාව අවසන් වූයේ එකදු ආසනයක් හෝ අපට ලබා නොදීමට ඔවුන් තීරණය කිරීමෙනි! මෙම තත්වයට පොදු සන්ධානය මෙහෙය වූයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් වූ පීටර් කේනමන් හා කේ පී සිල්වාය. සෝවියට් ආධාර මත යෙහෙන් වැජඹුනු ඔවුන් එය වෙනතකට යාදෝ තිබූ බිය  මීට සෘජුවම හේතු විය.

1983 මැයි 18 දින ආසන 18ක් සඳහා පැවැත්වුනු අතුරු මැතිවරණය දැඩි දූෂිත එකක් විය. මහර ආසනය වෙනුවෙන් එජාපයේ කමළවර්ණ ජයකොඩිත් ශ්‍රිලනිපයෙන් විජය කුමාරණතුංගත් සටන් කලහ. විජයගේ රැස්වීම් වලට වෙඩි තැබුනු අතර මැතිවරණයෙන්  විජය; ඡන්ද තුන්සිය ගණනකින් දිනා තිබුනි. සිය නායකයා ඇමතූ කමළවර්ණට ජේ ආර්ගෙන් ලැබුනේ කදිම පිළිතුරකි. ඒ "දිනන කල් ගණින්ඩ, ලයිට් ඕෆ් කරලත් ගණින්ඩ පුළුවන්නේද?" 

කමළවර්නගේ විරෝධතාවයට ඉඩ දීමක් ලෙස නැවත් ඡන්ද ගණන් කිරීම ඇරඹුනි. එක වරම ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ විදුලිය ඇන හිටියේය. මද වේලාවක් අඳුරේ තැබුනු මධ්‍යස්ථානය විදුලිය පැමිණි පස නැවත ක්‍රියාත්මක විය. ඒ ගණන් කිරීමෙන් පසුඅ ප්‍රථිඵලය වෙනස් වී තිබුනි. කමළවර්න වැඩි ඡන්ද 45 කින් ආසනය ජයගෙන තිබුනි.

ජනමත විචරණය දූෂිත එකක් වූ නිසා රෝහණ විජේවීර නඩු මගට බැස්සේය. පැමිණිල්ල මෙහෙය වූයේ නීතීඥ ප්‍රින්ස් ගුණසේකරය.

ඒවකට මැතිවරණ කොමසාරිස්ව සිටි චන්දානන්ද ද සිල්වා පසුව ප්‍රකාශයක් කරමින් එතෙක් පැවති දූෂිතම ඡන්දය එය බව ප්‍රකාශ කලේය!

ඒවකට මැතිවරණ කොමසාරිස්ව සිටි චන්දානන්ද ද සිල්වා පසුව ප්‍රකාශයක් කරමින් "එතෙක් පැවති දූෂිතම ඡන්දයකට අවශ්‍ය වටාපිටාව සකස්වී තිබුනි" යනුවෙන් පවසා තිබුනි.

ජනමත විචාරණයේදී සිදුවූ ඡන්ද දූෂණය මත පිහිටා එය අවලංගු කරණ්නැයි ඉල්ලා ප්‍රින්ස් ගුණසේකර නඩුවක් ගොනු කරණ්නට සැලසුම් කලේය. දින ගනනාවක ඔහුගේත් ඔහුගේ කණිෂ්ඨ නීතීඥයින්ගේ වෙහෙස මහන්සියේ ප්‍රථිඵලයක් ලෙස නඩුව කෙටුම් පත් කෙරිණි. හොර ඡන්ද දැමීම් දස දහස් ගණනකි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්ද එලෙසමය. නඩුවට පෙනීසිටීමට ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් විය. දැන් සොයා ගත යුතුව ඇත්තේ පැමිණිළි පාර්ශ්වයයි. පලමුව යෝජනා වූයේ සිරිමා බණ්ඩාරනායකගේ නමයි. එහෙත් ඇය ඊට බිය විය. ඇය එය ප්‍රථික්ෂේප කලාය.

 දෙවනුව ප්‍රින්ස් ගුණසේකර විසින් තෝරා ගත්තේ ජවිපෙ පක්ෂ නායක රෝහණ විජේවීර වන අතර ඔහු එය නිර්භීතව භාර ගත්තේය.

නඩු තීන්දුවෙන් පසුව නැවත මහ මැතිවරණය කැඳවීමටද එය බොහෝ විට ජාත්‍යන්තර නිරීක්ශකයින් ඉදිරියේ පැවැත්වීමටද සිදුවීමට බොහෝ සෙයින් ඉඩ කඩක් ඇත!

කළු ගල හිසෙන් ගසා ගැනීමට නොව යකුළෙන් බිඳ දැමීමට රෝහණ විජේවීර සූදානම්ය. මෙරට වෙසෙන සියළු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරණ සියළු මිනිසුන් වෙනුවෙන් 1983 මැයි මාසයේදී  ඔහු ජේ ආර් ට විරුද්ධව සටනට බැස්සේය. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව විභාග කිරීමට ඉඩ දුන්නේය.

ඒ වන විට ඊළාම් යුද්ධයට සේනා රැස් කොට නොතිබුනු අතර ජවිපෙ සාමාජිකයින් තුවක්කුවක් තබා කැටපෝලයක් හෝ අතට ගෙන නොතිබූ වකවානුවක්ය.

ජේ ආර් දණ්ඩෙන් පහර ලත් පොළඟෙකු සේ කිපුනේය.

ජේ ආර් තම කූඨ බුද්ධිය මෙහෙය විය. නඩුවක් පැවතීමට පැමිණිල්ලක් තිබිය යුතුය. පැමිණිල්ලක් නොමැති තැන මෙවන් නඩුවක් පැවැත්විය නොහැක. එසේ නම් පැමිණිල්ල මෙරට දේශපාලන භූමිකාවෙන් ඉවත් කල යුතුය.

ඔහු ඊට ඉව අල්ලමින් විය!  ඔහු ඒ සඳහා තෝරා ගත්තේ මෙරට ඉතිහාසය තුල එතෙක් මෙතෙක් දෙශපාලකයෙකු විසින් ගනු ලැබූ තුච්ඡතම තීරණයයි.

1983 ජුලි 02 වන දින යාපනයේ මුර සංචාරයක යෙදී සිටි හමුදා සෙබළුන් 13 දෙනෙකු ළදරු එල් ටී ටී ඊ සංවිධානය මගින් ඝාතනය කෙරෙන්නේ මේ අතරය.

පිටිය  තමාගේ වාසියට හරවා ගැනීමට ජේ ආර් යුහුසුළු විය.

මීට පෙරද හමුදා සෙබළුන් මරණයට පත්වූ අවස්ථාවලදී එම දේහයන් ඔවුන්ගේ ගම් බිම් බලා ගෙන ගොස් අවසාන කටයුතු කල අතර මෙම 13 දෙනාගේ සිරුරු කොළඹ කනත්තේදී අවසන් ගෞරව දැක්වීමට ගෙන ආවේ කුමණ යටි අරමුණකින්දැයි ඔබට සිතා ගත හැක. 

ඒ දිනයේදී කොළඹ සිටි යූ ඇන් පී මැරයන් විසින් දෙමළ සංහාරය, දෙපල මංකොල්ලා කෑම හා ගිණි බත් කරණ්නට විය!

ඒ සමග ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් වාමාංශික පක්ෂ තුනක් තහනම් කලේය.

පසු කලෙක කළු ජූලිය ලෙස ප්‍රකට වූ මේ විනාශකාරී ජාතික අපරාධයෙන් දෙමළ ජාතිකයින් 3000ක් පමණ මරා දැමුණි. රුපියල් බිලියන ගනනක දේපල විනාශ විය. ලක්ෂ දෙකක පමණ දෙමළ ජනතාව අනාථයින් ලෙස ඉන්දියාවට පලා ගියෝය.

ජයවර්ධන ආණ්ඩුවේ දෙමළ ජනයාට එරෙහිව කරණු ලැබූ ත්‍රසතවාදී හැසිරීම අවසන් වන්නේ ඉන්දියානු අණ්ඩුව 1987 ජුලි මාසයේදී "ඉන්දු ලංකා ගිවිසුමට" අත්සන් කිරීමට බල කිරීමෙනි. ඊට අනුව ඉන්දීය හමුදාව ලක්ෂ දෙකක් මෙරටට එවීමට ඉන්දියාව ජේ ආර්ව එකඟ කර ගත්තේය. මෙයට විරුද්ධව නැගුණු ජනතා විරෝධයට ජේ ආර්; පොලීසිය හා හමුදාව යොදා වෙඩි තැබුවේය. මෙම වෙඩි තැබීම් වලින් මිය ගියවුන්ගේ සිරුරු මරණ පරීක්ෂණවලින් තොරව විනාශ කෙරුණේය. 

ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට විරුද්ධව පක්ෂයේ වෘත්ථීය සංගමය නඩුවක් ගොනු කල අතර එම වෘත්ථීය සමිතියද අණ්ඩුව විසින් තහනම් කරණු ලැබීය.

1984 වසර වනවිට පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙකු මාතර හා අනුරාධපුරයේදී ඝාතනය කරණු අතර ලාංකීය දේශපාලන භූමියෙන් ජවිපෙ අතුගා දැමීමට කල හැකි සියළු තක්කඩිකම් කිරීම ආණ්ඩුව විසින් අරඹා තිබුනි.

මෙම මර්ධනයට මුහුණ දීමටනම් පක්ෂයද සන්නද්ධ වියයුතු බවට තීන්දුවක් ගැනෙන්නේ ඉන්  ඉක්බිතිවය.

මේ වන විට තහනම් වූ ජනතා විමුක්ති පෙරමුණ "දෙශප්‍රේමී ජනතා ව්‍යාපරය" නමින් සන්නද්ධ ව්‍යාපාරයක් බවට පත්වී තිබුනි.

88/89 ඇරඹෙන්නේ මේ ආකාරයෙනුයි. ඉතිහාසය ලියන්නේ ජයග්‍රහකයින් විසින් මිසක පරාජිතයින් අතින් නොවේ. ජවිපෙ සන්නද්ධ කැරැල්ල මැඩ පැවැත්වීමට ආණ්ඩුව යොදා ගන්නේ භීෂණයයි. 

ඔවුන් විසින්ද "ප්‍රා", "කහ බළල්ලු" වැනි නීති විරෝධී සංවිධාන සකස් කොට ඔවුන් මෙහෙයවා රජයේ හමුදා හා පොලීසියේ පවුල්වල සාමාජිකයින් මරා දමා ජවිපෙ සාමාජිකයින් මත රජයේ හමුදා හා පොලීසියේ වෛරයටත් ද්වේෂයටත් පතුරවයි. එහි ප්‍රථිඵලය වූයේ තරුණයන් 60,000කට ජීවිත අහිමි වීමයි. ඒ අතර පෞද්ගලික පලිගැනීම් හා ජවිපෙ නොවන එජාපයේ දේශපාලන විරුද්ධවාදීන්ද ඝාතනයට ලක්විය. 

පෞද්ගලික අපෙක්ෂාවන් මත මරා දැමුණු ප්‍රේමකීර්ති වැනි කළා කරුවන් ගේ ඝාතනද ජවිපෙ ගිණුමට බැර විය.

නැවත ජවිපෙ ප්‍රසිද්ධ දේශපලනයට 1994 දී අවතීර්ණ වූ පසු ගතවූ කාලය තුල පැවති රජයයන් විසින් කිරුළපන්දී චම්මික සුදන්ත, මාතලේදී සිරිදේව, අම්බලන්ගොඩදී නයිනවාවුදු, ගම්පහදී නන්දන බාලගේ වැනි සහෝදරවරු ගණනාවකගේ ජීවිත පැහැර ගත්හ.

2000න් පසුව අනුරාධපුරයේදී තවත් දෙදෙනෙකු ඝාතනය වූ අතර නලින්ද ජයතිස්ස සහෝදරයා සම්බන්ධවූ රැස්වීමකට කටුවනදී වෙඩි තබා තවත් දෙදෙනෙකු ඝාතනය කලහ.

මේ කිසිදු අවස්ථාවකදී අප නැවත ආයුධ  වෙත විශ්වාසය තැබීමක් හෝ ප්‍රථි ප්‍රචන්ඩත්වයක් මුදා හැරියේ නැත.

දහස් ගණ්නනකගේ ඝාතන වලට සෘජුවම සම්බන්ධවූ හෝ අණ දුන් කරුණා අම්මාන්, පිල්ලෙයාන් වැනි එල් ටී ටී ඊ සාමාජිකයින් එජාප හා ශ්‍රිළනිපයේ සාමාජිකයින්, සංවිධායකයින්, පාර්ලිමේන්තු මංත්‍රී වරුන්ද විය!

එහෙත් තවමත් 88/89 පිළිබඳව අප වෙත ඔවුන් ඇඟිල්ල දිගු කරයි. 

2022 මැයි 9 වන දින; සාමකාමී විරෝධතා කරුවන් හට එල්ල කල තුච්ඡ ප්‍රහාරයේ සෙළුව ලෝකයට විවෘථ වන්නේ සමාජ මාධ්‍ය හා "ස්මාර්ට්" දූරකථන පිහිටෙනි. එසේ නොවුනානම් එයද ඉතිහාසයට යන්නේ 88/89 වැනිම ජයග්‍රාහකයා විසින් ලියා තැබෙන ඉතිහාසයක් ලෙසටය.

අරගලය හෝ විප්ලවය යනු රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවේ යැයි මාවෝ සේතුං පවසා ඇත. එහිදී සිදුවන්නේ ශිෂ්ඨ සමාජයක සිදු නොවියයුතු දෑමය. එහි වරද ජයග්‍රාහකයා විසින් පරජිතයාගේ කර මත පැටවූවද ශිෂ්ඨ සමාජය තේරුම් ගත යුත්තේ එම තත්වයට අරගල කරුවන්, විප්ලවකරුවන් ඇදදැමීමට හේතු භුතවූ කරුණුයි.

මේ වන විට ජතික වීරයින් ලෙස සළකන කැප්පෙටිපොලද, වීර පුරන් අප්පුද පවතින රජයට විරුද්ධව අවි එසවූ අය වෙති. පුරන් අප්පු තම සටන් ඇරඹුවේ රජයේ දේපලක් වූ; මාතලේ කච්චේරියට ගිණි තැබීමෙනි!
ජේ ආර්ට විරුද්ධව නඩුවේ පැමිණිල්ල විජේවීරගේ හිසට රුපියල් 50,000ක් ලංසුවක් තැබීය. කළු ජූලිය අතරම නඩුව ගොනුකල ප්‍රින්ස් ගුණසේකර හතරවැනි තට්ටුවේ හිර කෙරිණි. පසුව ඔහු එංගලන්තයට පලාගිය අතර මියෙන තෙක් ඔහු මෙරටට නොආවේය. පැමිණිල්ලේ නීතීඥ ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායකද දිවි බේරා ගැනීමට රටින් පැන ගියේය. ජේ ආර් සමග නොනිමි අරගලයක නිරත වූ රෝහණ විජේවීර වෙඩිකා වතුර ඉල්ලමින් පන යදිද්දී පන පිටින් බොරැල්ලේ ආදාහනා ගාරයට දැමුනි.

60,000ක් මරා දැමුනේ ජවිපෙ හා එජාප දේශපාලන හා පෞද්ගලික එදිරිවාදීන් ය. 88/89 න් පසුව කෙතරම් ආණ්ඩු පත්වූවද ජවිපෙ කිසිදු සාමාජිකයෙකු නීතිය ඉදිරියට පමුණුවීමට අපොහෙසත් විය. නැවත් නැවතත් 88/89 කරත්බා ගෙන යන්නට පටන් ගන්නේ ජවිපෙ හො ජවිපෙ සම්බන්ධ සංධානයක් අභියෝඑගයක්වූ අවස්ථාවලදීය.

මේ වන විට 88/89 යල් පැන ගිය තුරුම්පුවක් බව ප්‍රධානයැයි කියා ගන්නා කරකාදීන්ට තේරුම් ගොස් ඇති බවක් තවම නොපෙනේ.



6 comments:

  1. Prevention of Terrorism Act 1979

    ReplyDelete
  2. මේක උපුටා ගැනීමක්ද, ලිව්වේ කව්ද? එදා තිබුණු රජය සිදුකල අසාදාරන මර්දන සහ ගාථන සියල්ල සත්‍යයි. නමුත් ජව්පේ සියඹලා ගෙනාවේම නැද්ද? ඒ ගැනත් ලිව්වනම් ලිපිය සම්පුර්ණයි.

    ගාථන රැල්ලේ පළමු එක කරේ ජව්පේ, 86 දෙසැම්බර් දයා පතිරණ ගෙන්, සෝමසිරිත් එදා මැරුණා නම් ජව්පේ එක කර බව කිසි කෙනෙක් දන්නේ නැ. දර්මසිරි ලා රජයේ මැර කල්ලි වලට සම්බන්ද උනේ ජව්පේන් බේරෙන්න බව අපි හොදින් දන්නා දෙයක්. අන්තිමට ජව්පේ දර්මසිරිවත් ගාථනය කරානේ.

    මම විජේබාහු

    ReplyDelete
  3. ලංකාවේ හිටිය නම් මමත් චන්දෙ දෙන්නේ මාලිමාවට... සජිය ගාවයි රනිල් ලගයි ඉන්නේ පරණ හොරු සෙට් එකම තමයි...

    ReplyDelete
  4. 88-89 යනු සිවිල් යුධ සමයක් අවිගත් දෙතුන් පැත්තම අපරාධ කළා.දේශපාලන වාසි වෙනුවෙන් ඒ භීෂණයේ ප්‍රථිපල ගැන අදටත් වැඩියෙන්ම කථා කරන්නේ ජවිපෙ පාර්ශ්වයයි.එවිට සිදුවෙන්නේ ඔවුන්ගෙන් අසාධාරණයට ලක්වූ අනෙක් පාර්ශ්වත් තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමයි

    ReplyDelete
  5. මට තවමත් හිතා ගන්න බැරි අච්චර 5/6 බලයක් තියාගෙන ජේ ආර් ර 82 ලාම්පු සෙල්ලම් ඊට පස්සේ අර වගේ මර්දනයකුයි අරන් ගියේ ඇයි කියන එක . තමන්ට තමන් ගැනම විශ්වාස නැතිවද

    ReplyDelete
  6. ජවිපෙට බලය ලැබිල නෑනේ කවදාවත් වෙන වැරදි කරන්න ... මාලිමාව රට හරි පාරේ ගෙනියන්න කලින් යටින් ඉන්න ජෙප්පෝ ටික හරි පාරට ගනියි කියල අපි හිතමු . .

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...