Monday, December 5, 2022

244. මව්බිම වටා සයිකලයෙන් . . . 8

243. මව්බිම වටා සයිකලයෙන් . . . 7

2022/04/15


අද දිනයේ අපගේ ගමනාන්තය විය යුත්තේ මුලතිව් නගරයයි. ත්‍රිකුණාමලය සිට මුලතිව් නගරයට කිලෝමීටර 117 ක් පෙන්නුම් කරයි. මාගේ ජීවිත කාලය පුරාවටම මෙම මාර්ගයේ ගමන් කොට ඇති උපරිම දුර වන්නේ පුල්මුඩේ නගරය වෙත පමණි. මුලතිව් පිහිටා ඇත්තේ පුල්මුඩේ සිට තවත් කිලෝමීටර 63ක් ඔබ්බෙනි.  සාපේක්ෂව අද දින අපට පැදිය යුතු දුර ප්‍රමාණය අවමයකි. පසු ගිය දින කිහිපය පුරාවට දවස තිස්සේ සයිකල් පැද්ද අපට ඒ වන විට කිලෝමීටර 117 යනු අඩු ප්‍රමාණයකි. අවම වේගයෙන් ගමන් ගත්තද අපට අද ඇත්තේ පැය 5 1/2 ක ධාවන කාලයකි. 

එදින රාත්‍රිය බොහෝ දීර්ඝ එකක් විය. හොඳ මුසුවක් හෝ සාර්ථක කට ගැස්මක් නොමැතිව පෙරදින සවස් යාමයේ සිට රාත්‍රිය එළඹෙන තුරුත් මධුවිත තොල ගාමින් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොමින් සිට නින්දට ගියද; හිසරදය නින්දට හරස් කපමින් විය. විටෙක කොට්ටය මතද තවත් විටෙක කොට්ටය යට හිස සඟවා ගනිමින්ද මා හිසරදය මග ඇරීමට උත්සාහ ගත්තෙමි. එහෙත් ඒ සියළු උත්සාහයන් ව්‍යවර්ථ කරමින් මධ්‍යම රාත්‍රිය ඉක්ම යනතුරුත් මා ඉන් පෙළුනෙමි. අවසානයේ නින්දෙන්ම ඇවිද ගොස්  ප්‍රථමාධාර මල්ලේ පසෙක් තිබූ "ප්‍රොබෙටා එන්" බිංදු කිහිපයකට මාගේ නින්ද මා වෙතට ගෙන ඒමට හැකිවිය. 
පලමු දිනයේ මහා වැසි මැද කොග්ගල ගුවන් තොටුපොල පසු කරමින් සිටිනා විට මා හට ඇමතුමක් ලැබුනේය. ඒ කැන්ගරු දේශයේ වසික ගෙන්ය. සයිකල් පදින විට එන ඇමතුම් යනු "වහකි"! වැසි මැද සයිකලය පදින විට එන ඇමතුම වස කුප්පියකි!! මන්ද වැස්සෙන් මොබයිලය බේරා ගැනීමට; අත දරුවෙකු සිරී පාදයේ ගෙන යන විට සේ ආවරණය කොට තිබෙන විට එන කෙඳිරිය මහත් ඵල මහානිසංස ගෙන දෙන කටයුත්තකි. එදිනද එසේ පැමිණි දූරකථනයෙන් වසික කිලෝ මීටර 8000 කට ඈත සිට පැවසුවේ "තාත්ති මට බනින්න එපා මම හදිස්සියේම ගෙදර එනවා!" කියාය. එසේම ඔහු වැඩි දුරටත් පැවසූවේ ඔහු පැමිණෙන විට;  ලංකා දාරයේ මා සිටිනා ඉසව්වට ඔහු පැමිණෙන බවය!
"විසේ ඇති ඌරෝ රෑ දවල් දෙකේ හාරති!" "ගහේ කටු උල් කිරීමට අවශ්‍ය නැත!" "තාත්තා කලදේ පුතා නොකලොත් ඌ නොට් උගේ පුතාය!" මේ හැම දෙයින්ම කියන්නේ ඌටද මට මෙන්ම ජාන ගත චර්ම රෝගයක් හෙවත් නොසන්සිඳෙන කැසිල්ලකින් යුක්ත වන බවයි! ඔහු එන්නට නියමිත වන්නේ අදය! හෙට වන විට අප සිටිය යුත්තේ මුලතිව් නගරයේය. මේ වන විට දින දෙකේ නිවාඩුව පිළිබඳ අපේක්ෂාවන් අමතක කොට දමාය. ඔව් ඉක්මණින් ගෙදර යා යුතුය! 















පෙරදින රාත්‍රිය ගතකල Jungle Bay නවාතැන් පොලට හිරු උදාවී ඇත. අප ඉක්මණින් එයින් නික්මුනෙමු. ඊයේ රාත්‍රියේ අපට ආහාර ලැබුනේද ප්‍රභාත් මල්ලීගේ අනුග්‍රහයෙනි. ඔවුන් අප දෙදෙනාගේ බත් පාර්සල් දෙක ගෙනැවිත් නවාතැන් පොල අසල වූ නැගෙණහිර විශ්වවිද්‍යාල පාරිශ්‍රයේ මුර කුටියට භාරදී ගොස් තිබුනේය. ඊට හේතුව වූයේ ප්‍රභාත් හට කිසියම් හදිසි කටයුත්තක් යෙදී තිබුනු බැවිනි. හොඳ හැටි මධුවිතෙන් සප්පායම් වූ අප දෙදෙන ඒ මේ අතට වැනෙමින් කැලය මැදින් වූ ගුරු පාර ඔස්සේ කට්ට කරුවලේ කිලෝමීටර දෙකක් පමණ ආවෙමු. එම ගමනද මට කෙසේ වෙතත් නිශාන්හට ජීවිත කාලයටම අමතක නොවන ගමනක් වූවාට සැකයක් නැත. ඒ පිළිබඳව නිශාන්ගෙන්ම අසා දැන ගත යුතුය. ඒ අමු හීබෲ බසින් මා ප්‍රභාත් සහ ඔහුගේ නෑසියන් අමතමින් පාර පුරා පැමිණීම නිසා බව පසුව නිශාන් පැවසීය! බලාන්ටකෝ බීවාම වෙන දේවල්? සු දින අප නවාතැන් පොලෙන් පිටත් වී නැවතත් ගුරු පාර හා තැනින් තැන වූ මඩ කඩිති මග අරිමින් පැමිණෙන විට පෙරදින පැමිණි ගමන පිළිබඳව මා පුදුමයට පත් වුනෙමි. මේ පහතින් දැක්වෙන්නේ එම මාර්ගයයි.





ත්‍රිකුණාමලය - පුල්මුඩේ ප්‍රධාන පාරට පිවිසුනු අප නිලාවේලි පොලීසිය අසල අභිනවයෙන් විවෘථ කරණ ලද මුස්ලිම් ආපන ශාලාවකට ගොඩවී උදෑසන කිස නිමවීය. එතැන් පටන් අපගේ ගමන් මග වැටී තිබුනේ මා බොහෝ කාලයක් ආ ගිය මගක් ඔස්සේය. ගමන පිටත්වී කුඩා කාලයකින් අපට ඉරක්කණ්ඩි පාලම මුණගැසුනි. ඉරක්කණ්ඩි පාලම; කිමිදුම් කරුවන් අතර තරමක් ප්‍රචලිතය. මන්ද ඒ අසල ගිළුනු නෞකාවක් මීටර 10 ක පමණ මෑතක හෙවත් අඩු ගැඹුරකින් යුක්තව පිහිටි හෙයින් ය! කිමිදුම් කරුවන් අතර ගිළුණු නෞකා කිමිදුම හෙවත් Wreck Diving  ජනප්‍රිය ඉසව්වකි. ලංකාව වටා මුහුදේ ගිළුනු නෞකා බොහොමයක් ඇත. ඒ පිළිබඳව ආතර් සී ක්ලාක් විසින් ලියැවුනු Classic Diving in Ceylon පොතේ සඳහන් කොට ඇතැයි මා අසා ඇත්තෙමි. අහෝ දුකකි! ඉරකි!! තිතකි!!! එම පොත දැන් දකින්නටවත් නැත. වරෙක කොළඹ ගාමිණී හෝල් වට රවුම අසල පැරණි පොත් කඩ තුල මමද එය සොයා බැලූ මුත් ඒ ගැන අසා ඇති අයද දුලභ කාරණාවක් විය!
ලංකාව වටා ගිලී ඇති නෞකා කොපමණ දැයි සොයා බැලීමට මෙතැනින්  පිවිස බලන්න. මෙම ලැයිස්තුවේ පහලින් Irakandy Wreck  ලෙස දක්වා ඇත්තේ මා කලින් පැවසූ නෞකාව පිළිබඳවය. මෙම  SS Ava නෞකාව මෙහි ගිලී ඇත්තේ 1858 වසරේදීය!

7.22am


Irakkandi Bridge

7.53am






මෙම ගමන් මගේදී පසු කරණ ප්‍රසිද්ධ ස්ථාන දෙකක් ඇත. ඉන් එකක් වන්නේ Jungle Beach හෝටලයයි. අනෙක රයිගම් ලුනු ලේවායයි! රයිගම් ලුනු ලේවාය පිහිටුවා ඇති ස්ථානයේ මීට කලකට පෙර වැවක් තිබුනාලු. ගම් වාසී බොහෝ පිරිසක් එම වැවේ ධීවර කටයුතු වල නියැලී ඇත. මෙම ලුනු ලේවාය පිහිටුවා ලීම සඳහා වැව අත් පත් කර ගැනීමට පෙර කී සමාගම අහිංසක ධීවරයින් සමග සංධානයකට එළබුනේලු. ඒ ලේවායේ රැකියාව දීමේ පොරොන්දුව මත වැව සමාගමට පැවරීමයි. එතැනින් එහාට සිදුවූ දේ ලාංකික ඔබට පැවසීමට මා කාලය නාස්ති නොකරමි!

8.05am

මෙම ගමන් මගේ 34 වෙනි කිලෝමීටර කනුව පසු කරණා විට කුච්චවේලි කුඩා නගරය හමුවේ. බෞද්ධයින් අතර ප්‍රසිද්ධ පැරණි පූජා භූමියක්වූ තිරියාය හා ගිරිහඩු සෑය බැලීමට ප්‍රධාන පාරෙන් හැරෙන්නේ කුච්චවේලි නගරයේ පොලීසිය අසලින්ය. ඒ අසල තවත් පුරා විද්‍යා ස්ථානයක්ද පවතී. මාගේ මතකය නිවැරදි නම් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බැසි ස්ථානය ඒ අසලම පවතී. අප එතැන් සිට තවත් ඉදිරියට ගමන් කරද්දී හමුවන්නේ 37 කනුව හා එතැනින් ඇරඹෙන කුඩා ගම් පියසය. 55. තට්ට තනිවම තට්ටයා නමැති මා විසින් මුල් කාලයේ ලියන ලද බ්ලොග් පෝස්ටුවක් වේ. එය ජීවිතයේ ගමන් මග වෙනස් කල ලියවිල්ලකි. එම ලිපියට අදාල ප්‍රදේශය ඇරඹෙන්නේ මෙම 37 කණුවෙනි. ඉහත සඳහන් බ්ලොග් පෝස්ටුවට මොහොතකට ගොඩ වැදී බලන්න. එහි සඳහන් මගේ අනුපමේය මිත්‍රයා අමීර් හමුවීම මාගේ ඊළඟ අරමුණ විය!
8.30am

අමීර් ගැන වෙනමම පෝස්ටුවක් ලියන්නට උවමණා අයෙකි. ඔහු පිළිබඳව පැවසීමට; මට ඒ තරම් මතක ඇත. සත්තකින්ම ඒවා ඉතාමත් රසවත් හා හෘද්යාංගම වූ මතකයන්ය. ඔහු ගැණ මා ලියා තැබිය යුතුමය. අමීර් හා ෆවුසියා අපට "බීම" ගෙනැවිත් දෙන්නට සැරසුන මුත් අප වතුර වීදුරු දෙකක් පමණක් බී ඉවත් උනෙමු. මෙහිදී මම "බීම" ලෙස දක්වා ඇත්තේ; ඔවුන් "සිසිල් බීම" හඳුන්වන පොදු වචනය එය බැවිනි.

8.43am
Pudawaikkattu Bridge













මෙම නැගෙණහිර පලාතේ; ලංකා දාරයේ හෙවත් ගැට්ටේ  දක්නට ලැබෙන බොහෝ පාලම් ස්ථාපිත කොට ඇත්තේ ගංගා හෝ ඇල දොළ මතින් නොව කලපු මතින්ය. එම කලපු ඈතින් ඈතට දිව ගොස් වටා බැඳි කඩොලාන පවුර අතර සැඟව යයි. ඒ නිසාම එම කලපුවට එක් වන වාරි මාර්ගයක් දක්නට නුපුළුවන්ය. මේ නිසාම මෙම පාලම් මත සිට දෙපසට ඇත්තේ අයස්කාන්ත දර්ශණයන්ය.  බොහෝ විට ඒවා බොහොමයක් සර්වසම නිවුන් සොයුරියන් සේය. ඒවා තමන්ගේ රූ සපුව වෙනුවෙන් තරග වදිති! 

9.08am


9.23am


අප නැගෙණහිර පලාත ඔස්සේ මේ ගමන් කරණ්නේ වැසි වැටී නැවතුනු අල්ල පනල්ලේමය! එහෙත් ත්‍රිකුණාමළයෙන් ඈතට යත්ම යත්ම; විශේෂයෙන් පුල්මුඩේ නගරයට කිට්ටු වෙත්දීම හා ඉන් ඔබ්බට ගමන් කරද්දී; අවට පරිසරයෙන් පෙනුම් කලේ තරමක කාෂ්ඨ ස්වභාවයකි. ගවයන් හා එළුවන් විසින් බිමටම සමතලා වේන තුරු උලා කෑ තණ බිම් මත තැනින් තැන අහසට දිගුවූ තල් ගස් තණිකඩව හා පවුල් ගතව සිටියහ. සමහරක් තැණ් වල තල් ගස් හතර පහ - දහය දොළහ එකට එක් වී දොඩ මළුව සිටිනු දක්නට ලැබුණි. 
9.40am
පුල්මුඩේ ඛණිජ වැලි නිධිය දෙසට හැරෙන මං සන්ධිය!

පුල්මුඩේ නගරයට මින් පෙර මා පැමිණ ඇත්තේ මීට වසර 10 කට පමණ පෙරය. ඒ ඉඩමක් බැලීමටය. ඉඩම විකුණන තැරැව් කරුවා වූයේ කුච්චවේලියේ තරුණයෙකි. මම කුච්චවේලියට පැමිණි පසු එතැන් පටන් පුල්මුඩේ දක්වා පැමිණියේ එම තැරැව්කරුවා හෙවත් නියාස්ගේ යතුරුපැදියේ පසු පස එල්ලීගෙනය. ඔහු විසින් පෙන්වූයේ මාළු බෝට්ටු තොටුපොළකි. හාත්පස නරක් වූ මාළු සුවඳින් ඔපවත් වී තිබුනි. ගිණි ගත් හිරු රැසින් සිනිඳු වැල්ල ගිණියම් වෙලාය. අවට ආසාවට ගහක් කොලක් ඇහැ ගැටෙන මානයේ දකින්නට නොතිබුනි. කොටින්ම සහරාවෙන් අක්කර භාගයක් වැනිවූ එම ඉඩම දුටු සැණින් මා හට එපා වී ගියේය. 

9.45am

ත්‍රිකුණාමළයේ සිට මුලතිව් දක්වා යන මාර්ගය වැටී ඇත්තේ පුල්මුඩේ හරහාය. ලංකාව වටා ගමන් ගන්නා අයෙකු හට සෑම විටෙකදීම වෙරළ අද්දරින් ගමන් ගන්නට නොළැබේ. උදාහරණයක් ලෙස කොළඹ සිට ගාල්ලට ගමන් ගන්නා අයෙකු හට යාන්තමින් හෝ මුහුද දකින්නට ලැබෙන්නේ කළුතර පාලම අසල දීය. එසේම වෙරළ ඉමෙන් දිව යන්නට ලැබෙන්නේ පයාගල රේල් ගේට්ටුව පසු කල පසුය. යලිත් ඉඳුරුවේදීය. ඉන් පෙර වෙරළ අද්දරින් මාර්ග නොමැති වීම හෝ වෙරළ අද්දර ඇති මාර්ග ප්‍රධාන මාර්ගයෙන් ඈත්ව පිහිටීම කරණ කොට ගෙන කරදිය සුවඳ විඳින්නට ලැබෙන්නේ දුරා වාරයේය. සිතියම්ක වෙරළ අද්දරින් මාර්ග පෙන්නුම් කලද සත්‍ය ලෝකය තුල වෙරළ කොහේවත්ය. මහ පාර කොහේවත්ය.

පුල්මුඩේ නගරයට ඉහලින් පිහිටන්නේ කෝකිලායි කලපුවයි. ඒ නිසාම මාරගය දිවෙන්නේ මෙම කෝකිලායි කලපුව වටාය. වටා කීවාට මුහුද නොපෙනෙන දුරකින්ය. පලමුව රට තුලට විහිදෙන; පුල්මුඩේ - බෝගහවැව B60 මර්ගයේ පැමිණ එක් ජනශූන්‍ය සංධිස්ථානයකින් හැරී වමට ගමන් කල යුතු වේ. මෙම මංසංධිය; කඩයක් සාප්පුවක් තබා මිනිස් පුළුටක් නොමැති තැනකි! අන්න කඩයක් දානවා නම් නියම තැනක්! පහත දැක්වෙන බෝඩ් ලෑල්ල නැති වූවානම් යන තැන හොයා ගන්නට වෙන්නේ පාර ඉව කිරීමෙන්ය. මෙහි වඩාත් සිත්ගන්නා සුළු කාරණාව වන්නේ මෙතැනින් හැරුණු පසු ඇත්තේ අබලන් කුඩා මාර්ගයක් වීමය. එය මුලතිව් දක්වා විහිදෙන පාරක් යැයි සිතීම උගහටය.
10.34am

මම පෙර සඳහන් කල ස්ථානයෙන් හැරුණු පසු ඇත්තේ ඉතාමත් ජන ශූන්‍ය ප්‍රදේශයකි. එය වඩාත් සිත කළබලයට පත් කල හේතුවකි. මන්ද මේ අප ගමන් කරණ්නේ නිවැරදි මාර්ගයේ දැයි සිතා ගත නොහැකි බැවිනි. සත්තකින්ම අප; පෙර සඳහන් කල පුවරුව හා මාර්ගය පසුකොට තරමක දුරක් පැද ගියෙමු. මන්ද; මුලතිව් දෙසට විහිදෙන පාරක් මෙතරම් අවම නඩත්තුවක් සහිතව තිබේයැයි අපටම සිතා ගත නොහැකිවූ හෙයින්ය. මෝටර් රථයක හෝ යතුරු පැදියක ගමන් ගන්නා අයෙකු මෙවන් කුතුහලයකට පත්වූ අවස්ථාවක කිසියම් දුරක් එනම් කිලෝමීටරයක් හමාරක් ඒ මේ අතට ගමන් කොට බලා නිවැරදි කර ගැනීමට අවස්ථාවක් හැකියාවක් ඇත. නමුත් පා පැදියකින් ගමන් ගන්නා අයෙකු වැඩිපුර, නිරපරාදේ, හේතු විරහිතව කිලෝ මීටරයක් තබා මීටර 100ක් වත් ගමන් කිරීමට පැකිළෙයි.  එසේම අප රටේ බෝඩ් ලෑලි හා දැන්වීම් පිළිබඳව ඇති සාධාරණ සැක සංකාව නිසාම හැකි හැම අවස්ථාවකදීම විමසා බලා තහවුරු කර ගැනීමටත් ගමන් කිරීමටත් අප උත්සුක වූයෙමු. මෙම පුවරුව සවිකොට ඇත්තේ මාරගයට හැරෙන්නට මීටර 500ක් පමණ මෙපිටින් යැයි මා හට සිතේ. ඒ කෙසේ වෙතත් හැරෙන මාරගය අඹිමුවෙහි කුඩා පුවරුවක් "මුලතිව්" යනුවෙන් දක්වනවා නම් වඩා වැදගත් වේ. අදාල මාර්ගයේ තිබූ අවශේෂ ස්වභාවය නිසාම සාමන්‍ය අයෙකුට සිතෙන්නේ නිවැරදි මාර්ගය ඇත්තේ මීට ඉදිරියෙන් විය යුතු බවයි. මන්ද ඇතුළු සිත; එම කුඩා මාර්ගය "මුලතිව් දෙසට ඇති මාර්ගය" ලෙස පිළිගැනීමට මැලි වීමය!

 "මේක වෙන්න පුළුවන්ද මුලතිව් පාර ?"
10.37am
මෙම සළකුණ කුමක්දැයි කියන්නට සිතා ගත නොහැක. 
බිම් බෝම්බ ඉවත් කිරීමෙන් පසුව සිටවූ කනුවක් වත්ද?


මෙසේ වන රොද මැදින් පාළු හුදෙකලාව දිවුනු මාවත ඔස්සේ ටික දුරක් එනම් කිලෝ මීටර 3ක් පමණ ගමන් ගනිද්දී නැවතත් වම් පසට හැරෙන්නට තිබෙන බව කවුරුන් හෝ පවසා තිබුනි. මෙය ලියන මාස 7 කට පසු ඊ කවුරුන්දැයි මතක නැතිවා මෙන්ම ගූගල් සිතියම් පිළිබඳව මා හට ඒ වන විට එතරම් විශ්වාසයක් නොතිබුනි. මෙසේ අන්ධයන් සේ පැද යන විට ඉදිරිය්ට හමුවූ අයෙකු ගෙන් විමසූ විට ඔහු ඉදිරියෙන් වමට හැරෙන බව පැවසූ මුත් ඒ කොපමණ දුරකින්ද, ඊට ප්‍රථම හෝ එම ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට ඇති සළකුණු ආදිය පිළිබඳව කිසිවක් නිවැරදිව දැණ ගැනීමට අපගේ භාෂා ඥානය හරස් කැපීය! හමුවූ ප්‍රථම මාරගය ඉතා පටු, තැනින් තැන තාර ගැලවී ගිය පාරකි. බැලූ බැල්මට එය; වනරොදෙන් ඉක්බිතව ඇරඹි; ඉපනැල්ලෙන් සැරසී ගත් කුඹුරු යාය මැදට පිවිසෙන මාරගයක් හෝ කිසියම් කුඩා වාරි කර්මාන්තයකට එනම් ඇනිකට්ටුවකට විහිදුනු පාරක් ලෙසිනි. එතැනින් හැරෙන්නට දැයි සිතා බලමින් සිටිනාතුර එතැණ පසු කරමින් ගිය අයෙකුගෙන් අසා තේරුම් ගත් අයුරින් හැරෙන්නට ඇත්තේ ඊළඟ පාරෙනි. නැවතත් පැදීම ඇරඹීය. මීටර ගණනාවකින් දෙවන පාර මුලිච්චි විය. ඒ අසල ඉපැරණි මාරග ද්ක්වන පුවරුවක නටඹුන් විය! ඒ පස් කපන ලැබූ ගුරු පාරක්ය. "මගුලයි! මේ මුලතිව් වලට යන පාර වෙන්න පුළුවං ද?" අහන්නට කෙනෙක් නොමැත. "මියෙම්වා! රැකෙම්වා!!" සිතමින් අප ගුරු පාරට හැරුණෙමු.
"පුළුවං නං හොයා ගනිං!"
අන්දෝ සංසාරයක් හෙවත් තේරෙණ විදියට කියනවානං මෙලෝ මළ දානයක් නොපෙනෙන; "ඔබේ ආදරේ . . . . " වැනි පුවරුව!
(මෙය පෙර රජ දවස පරණවිතාන විද්වතාණන් වෙනුවෙන් සකසන එකක් බව පසුව කල විමසීමකදී හෙළිදරව් විය!)

"මියෙම්වා! රැකෙම්වා!!" සිතමින් . . . !


ඉහත සිතියමේ දැක්වෙන පරිදි නැගෙණහිර පලාත සහ උතුරු පලාත වෙන් වෙන්නේ මා ඔයට නුදුරේ අප පදිමින් විය. පසුගිය කාලය පුරා වට වැස්සෙන් අපගේ ගමන් මග දෙපස හරිතපැහැයෙන් ඔපවත් වී තිබුනි. එසේම තරමක සිසිලසක් සහ මාර්ගයට සෙවන සැලසූ තුරු ලතා දළුලා සශ්‍රිකව පැවති බැවින් දැඩි හිරි රැසින් තරමක ඉස්පාසුවක් ගෙන ආවේය.





මා ඔය



11.51am






පාර වඩාත් යහපත් වන විට වනාන්තරය පාරෙන් බොහෝ ඈත්වී පාර මුළුමණින්ම නිරුවත් කර තිබුනි. එතෙක් පාරට සෙවන සැලසූ වියමන ඈත්වී ගොස්ය. ටික දුරක් එන විට තිබුනු කුඩා එසේම ප්‍රාථමික පන්නයේ අවන්හලකින් දොඩම් යුෂ පානය කලෙමු.එතැනින් පිටත්වී කුඩා දුරක් ගෙවී ගිය පසු අප මුලතිව් වනය මැදින් ඇදුනු පාරක විය.






එතෙක් ජනකපුර-වැළිඔය මාර්ගයේ පැමිණි අප මෙම ස්ථානයේදී මුලතිව්-කෝකිලායි B297  මාර්ගයට එක් උනෙමු. මෙම ස්ථානයේ හමුදා කඳවුරක් හා එමගින් පාලනය වූ; කන්නට බොන්නට කියා එහෙමට දෙයක් නොමැති අවන් හලක් තිබේ. එතැනින් මොන මොනවාදෝ සප්පායම් වී අප මුලතිව් දෙසට හැරුණෙමු.






PS ගෙස්ට් මිදුලේ



16.26pm


16.52pm





ගෙවුනු සෑම දිනෙක දීම මෙන් අප දිවා ආහාරය සහ රාත්‍රී භෝජනය එක්කොට ගත්තෙමු. වෙනදා මෙන් ආහාරයට ප්‍රථම මධුවිතක් තොල ගෑමට නොලැබුනි. අප ආහාර ගැනීමට ස්ථානයක් සොයා නගරයට ගියෙමු. බස් රථ ගාල අසල කුඩා කඩයක් තිබුනද එය මාගේ සිත් නොගත්තේය. අප සෙමෙන් සෙමෙන් මුලතිව් වෙරළ දෙසට ඇවිද ගියෙමු. ඒ අසල සිටි තරුණියන් තිදෙනෙක් හා තරුණයෙක් අපට ආහාර සොයා ගැනීමට බෙහෙවින් උපකාර කලෝය. වසර ගණනාවක සිට දැන උගත් මිතුරණ් දෙදෙනෙකුට මෙන් ඔවුන් ස්ව මිත්‍රත්වයේ හස්තය අප වෙත පෑවෝය. අප ආහාර ගත්තේ නාවික හමුදාව විසින් පවත්වා ගෙන ගිය අවන් හලෙකිනි. එහි ආහාර ප්‍රශස්ථ මට්ටමක පැවතුනි. අප ආහාර ගෙන ඉන් ඉවතට එන තුරු අපගේ දෙමළ මිතුරු කැළ අසල රැඳී සිටියහ. ඔවුනට අප සිසිල් බීම බීමට ආරාධනය කල අතර යුවතියන් තිදෙන පමණක් එය පිළිගෙන අවන් හල තුලට පැමිණියෝය. මුලතිව් වෙරළ ගැනද කිසිවක් නොකිව හොත් එය අඩුවකි. එහි ගස් කොළන් වලින් තොරවූ ස්ථානයකි. ස්න්ධ්‍යාවේ හිරු අවරට ඇදෙත්ම එහි ගැවසෙන්නට බොහෝ පිරිස් එක් වෙමින් සිටියහ. වෙරළ අද්දර නවතා තිබුනු කුඩා වඩේ කරත්තයකින් වඩේ මළු දෙකක් මිළදී ගත් එක් යුවතියක් ඉන් එකක් අප වෙත ප්‍රධානය කලෝය. අද 2022 වසරේ සිංහල දෙමළ අළුත් අවුරුදු දිනයයි. දෙමළුන් හා එක්ව මුලතිව් වෙරළේ වඩයක් කෑමට මේතර් සුන්දර හා ගැළපෙන දිනයක් තවත් වෙත්ද? (මා මෙහි දෙමළුන් යැයි ලියා තැබූයේ ඔවුන් වෙත දැක්වූ ඉතාමත් ආදරණීය හා ළෙංගතු බව නිසාමය!) සත්තකින්ම ඔවුන් එම කුඩා කාලයට හොඳ මිතුරන් වූවෝය. ඔවුන් සියළු දෙන ඒ අසල ස්ථාපිත ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන්ය. පසුව ඔවුන් අපව ත්‍රීවීලරයෙන් අපගේ නවතැන් පොළටද ඇරළවන්නට ඉදිරිපත් විය. ඒ සුන්දර මිනිසුන් පිළිබඳ මතකය අදද ඇස් කෙවෙණි තෙත් කරවණ දයාද්‍රවූ හැඟීමකි!




අවන්හල අයිතිකරු සමග!

රාත්‍රිය එළඹෙත්ම අවන්හල විසින් අපට ලයන් ලාගර් දෙකක් සපයා දුන්නේය. අප එය සෙමෙන් සෙමෙන් සප්පායම් වුනෙමු. රාත්‍රිය සිසිල්ය. එය ගත නිවා දමමින්ය. තවත් දවසක් අවසානයේ ගතටත් සිතටත් මනසටත් හොඳ විවේකයක් අවශ්‍යය. දැණ් ඊට වේලාවයි. සුව පහසු යහන මත මා වැතිරී සිටින්නෙමි.
"මහන්සියි!? ඔව් ටිකා..ක්! නිදා ගන්න!" මා හදවත හා දොඩමළු වුනෙමු.
කුමණ මොහොතක මා නින්දට වැටුනේදැයි මා නොදනිමි.
තවත් සුන්දර දිනයක නිමාව; එසේ මතක පොතට එක්විය!


22 comments:

  1. ඔබගේ චාරිකා පෙලේ මා කියවන රසවත්ම ලිපිය මෙය. බොහොම ස්තුතියි මහත්මයා මෙය පල කිරීම ගැන. පින්තුර පෙළත් ඉතාම කදිමයි.

    මා සිතාගෙන සිටින්නේ උතුරේ ද්‍රවිඩ ජාතිකයන් අපව පෙන්නන්න බැරි අය බව කියා වුවත් ඔබතුමා වැනි අයගේ අත්දැකීම් කියවූ විට මා වැරදී බව වැටහෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මහත්මයාණෙනි! ඇත්තෙන්ම මේ ලිපියක් ලියන්නට සෑහෙන කාලයක් හා මහන්සියක් ගතකරණවා. මම මේ සංචාරය ඇරඹීමට ප්‍රථම හිතවතුන් කිහිප දෙනෙක් එක් කොට වට්සැප් සමූහයක් ඇටවූවා. එය ගුරු කොට ගෙනයි මෙම ලිපි පෙල ලියන්නේ. ඊට අමතරව ගමනේදී ගත් ඡායාරූප පෙලද ලිපි පෙලට තැනින් තැනින් එක් කරණවා සාක්ෂි විදියට. මේ හැමදේම සමග ගූගල් සිතියම් සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් හා සංචාරක සිතියම් දෙකක්, විකිපීඩියා වැනි මූලාශ්‍ර ගණනාවක් එක් කරගෙනයි ලියන්නේ. මේ කාරණා නිසාමයි පෝස්ටු ලියන්නට පමා වන්නේත්. ඒ සඳහා ගත කරණ වෙලාව සහ වෙහෙස නිවෙන්නේත් එයට සාධාරණයක් ඉටුවූවායැයි සිතෙන්නේත් ඔබ වැනි අයගේ මෙවන් කමෙන්ටු කියවන්නට ලැබෙද්දීය.

      Delete
    2. සත්තකින්ම ඔවුන් අපට සැලකූවේ වෙනත් රටකින් මෙරටට පැමිණි විදේශිකයන් හට මෙන් කල්පණාවෙන්, ආදරයෙන් හා දයාබරත්වයෙන් යුතුව. මේ ගමනේදී මා ලංකර ගත් ලොකුම වටිනාකම ඒ සහෘදයින්ගේ දයාබරත්වයයි!

      Delete
  2. තට්ට මහත්තැං දිග විරාමයකට පස්සෙ ඔය ලියල තියෙන්නෙ අගේ ඇති විස්තරයක්.

    ලංකාවෙ පාරවල් ගොඩක් කාපට් කරල තිබ්බත් සමහර වෙලාවට ප්‍රධාන පාරවල් තියෙනව ඒක ඒ පාරද කියල හොයාගන්නවත් බැරි තත්වෙන් තියෙන.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ප්‍රසන්න! අපි වසර ගනනාවකට පසුව හරි ලියන දේ කියවලා ඒකට කමෙන්ටුවක් ලියන ඔබට!
      ඇත්තෙන්ම ඒ පාර තව කාලෙකින් හදලා ඉවර කරලා තියේවි. එහෙත් ඒ මතකය නම් සැමදා අප තුල පවතීවි!
      ස්තූතියි! නැවතත්!!

      Delete
  3. Replies
    1. බොහෝම විස්කෝතුයි මේ පැත්තට ආවාට බොහෝ කලෙකින්.

      Delete
  4. මම පලවෙනිපාරට කෝකිලායි, පුල්මුඩේ ගියෙ මේ අවුරුද්දෙ.
    හිතට අල්ලල ගිය ප්‍රදේශයක්.
    ඒත් අරිසමලේ වෙරලට යන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ මම පුල්මුඩේ පිළිබඳව ලියද්දි අරිසමලේ ගැන ලියන්නටම හිටියා අමතක උනා! ඇත්තටම මටත් මග ඇරුනා! අරිස මලේ - සහල් වැල්ල

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. මේකෙ කමෙන්ට් කරන්න පුලුවන්ද මිස්ටර් තට්ස්?
    පේන්නෙනම් නෑ

    ReplyDelete
    Replies
    1. "පෙනේ නොපෙනේ!"
      දැන් මේ පෙනේද පෙනේ???

      Delete
  6. අපිත් බයිසිකලෙන් ගියා වගේ දැනෙන විදිහට ලියල........

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මම ලියන පල් හෑලි බලලා නවතින්නේ නැතිව මෙහෙම කමෙන්ටුවකුත් කොටනවාට! ස්තූතියි නැවතත්!! නැවත නැවතත්!!!

      Delete
  7. කතාව කියෙවුවෙ ඊයෙ උනාට කමෙන්ට් එකක් දාන්නෙ අද... කාලය මට එතරම් නපුරුය...😁

    කතාව වෙනදා වගේම ලස්සනය. ඒත් වෙනදාට වඩා කලබලයෙන් ලියා ඇති බව කියවන අපිට වැටහේ.. කෙසේ නමුත් මේ ලිපි පෙල ලියන එකයි වටින්නේ.....

    බයිසිකලයෙන් දිග සවාරියක් යන්නට හිතා හිටින නමුත් කාලයේ නපුරුකම ඉවසා සිටින මට මේ ලියවිලි කියවීම ඒ යන්න නොලැබීමේ දුුක තුනී කරන්නෙකි. ජංගමයෙන් කියවන ලියන මට දිගු කමෙන්ටු ලිවීම අපහසුය. එයට සමාව අයදිමි. ඉතුරු කොටස් ටිකත් එකතු කරන්නට ඉඩ කඩ ලැබේවායි පතමි. තට්ටයා අයියාට ජය

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම තිලින මල්ලී එක දිගට දින දහයක් මෙවැනි දේකට යෙදවීම අපේ රටේ සහ අප වැනිම වූ තවත් අතලොස්සක් රටවල උන්ට නොහැකිවීම කණගාටුවකි.
      ජීවිතය ජීවත්කරවීමට වසරේ දින 365 ගුණාකාර ගනනවක් ගත කොට ඇති අපට ජීවිතය විඳින්නට නැත හොත් ජීවිතය තුල ජීවත් වීමට දින දහක් වෙන් කර ගැනීමට නොහැකි තරමට; කාලය කෙසේවෙතත් මේ රටවල් ටුල පවතින ක්‍රමය නපුරු වී ඇත.
      මගේ සමකාලීන මිතුරන් සමග කරණ අල්ලාප සල්ලාප වලදී ඔවුන් විනෝදාංශ තමන් කෙරෙන් ඈත්කොට ඇති සේයාවක් පෙනේ. "විනෝදාංශයක්" යනු පැඟිරන්හට වෙන්වූ දෙයක් මිස විවාහයෙන් පසු දරු මල්ලන් ලැබුනු පසු කිරීමට නුසුදුසු, කවි ලිවීම, ගීතයක් මිමිණීම, නවකථාවක් කියැවීම වැZනිම වූ "කුණුහරුපයක්" බවට පත්වී හෝ පත් කර ගෙන ඇත!
      ඒවා නහින දෙහින කාලයට නොහොබිනා වැඩය!
      එහෙත් මා ජීවිතයේ බොහෝ ආර්ථික හා සමාජීය ඉලක්ක අමතක කොට දින දහයක් මාගේ විනෝදාංශය වෙනුවෙන් වෙන් කර ගත්තෙමි.
      කොහොම උනත් ඒ දින දහය සත්තකින්ම මා ජීවත්වූ දින දහයකි.
      කලබලයෙන් ලිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ අර මංචි බෝඩ් එකේ රැවුලාය! හි! හි!!
      ඉතින් දැන් කියවාගෙන යමු. ලිවීම පරක්කු වූවාට කණගාටුයි!
      කොහොම උනත් ඔබට වත් පොත මත දුන් පොරොන්දුව මේ පෝස්ටුව මෙසේ වත් එළි දැක්වීමට හේතුවක් විය.
      බොහොමත්ම ස්තූතියි කියැවීමට පැමිණියාට.
      ඔබටත් සදා ජය!

      Delete
  8. 'වෙනදා මෙන් ආහාරයට ප්‍රථම මධුවිතක් තොල ගෑමට නොලැබුනි. '

    මුලතිව් වල වයින්ස්ටෝර්ස් නැද්ද මහත්මයා. ?

    ReplyDelete
    Replies
    1. එදා අලුත් අවුරුද්ද නොවැ? මම හිතන්නේ ඒ හින්දා වහලා තිබ්බා වෙන්නැති!

      Delete
  9. සංචාරයකි ජීවිතයත් රසවත්ය
    දුක සැප වෙහෙස විඳ සැරි සැරුමට වේය
    ඊයේ මතක හෙට තව තව සුන්දරය
    මතු පරපුරට මේවා රස සටහන්ය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි මහත්තයා!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...