Friday, March 18, 2022

231. මව්බිම වටා සයිකලයෙන් . . . 1

2022/03/13
නිශාන් සමගින්!
මාගේ සයිකල් චාරිකා පිළිබඳව ලියන ලද පොස්ටු කාණ්ඩ දෙක ඔබ කියවා ඇත්නම්; මගේත් මධුෂාන්ගේත් සයිකල් අළුත්වැඩියා කරණ සජිත් සඳරුවන් පිළිබඳව නැවතත් ලිවීම අනවශ්‍ය කාරණයකි. ඔහු සේවය කලේ පිටකෝට්ටේ Bianchi ෂෝරූම් එකේය. මෑතකදී ඔහු ගැන හොයන විට ඔහු එමිරේට්ස් බලා පියාසර කොට ඇති වගක් දැන ගන්නට ලැබුනේය. වසර ගනනාවක් සේවය කල Bianchiයෙන් ඔහුට කුමක් වූවාදැයි නිශ්චිත වශයෙන් දැන ගැනීමට නොහැකි වූ බවද මෙහිලා මතක් කරමි. Bianchi තබා මොනවා විකුණුවත් ඔවුන් තවත් මුදළාලිලා පිරිසක් පමණි!

Drop Handle
පසු ගිය කාලයේදී මා හට ඩ්‍රොප් හැන්ඩ්ල් දොල දුකක් හට ගත්තේය! මා ළැඟ තිබුනු Shimano ඩ්‍රොප් හැන්ඩ්ල් ටුවර් සයිකලය මා විකුණුවේ මාගේ බ්ලොග් පාඨක මහේෂ්හටය! මහේෂ්ව සම්මුඛවීමද වෙනමම කථාවකි. මහෙෂ් සේවය කලේ මැද පෙරදිගය. වරක් ඔහු ලංකාවට පැමිණීමට ආසන්නයේ මාගෙන් කුලී පදනම මත සයිකලයක් සොයා දෙන මෙන්  ඉල්ලා සිටියේය.

"කුලී පදනං ගැන මම දන්නේ නෑ! ඔයාට ඕන නම් මගේ Trek (Hybrid)  සයිකලය අරං ගිහිං පදින්න!" මම කීවෙමි. මිතුරු බව ඇතිවූයේ එලෙසය. මේ අප්‍රේල් 12 ඔහු මෙරටට ඒමට නියමිතය!

මාගේ ඩ්‍රොප් හැන්ඩ්ලයෙන් මම වරක් පොළොන්නරු එනම් කිලෝ මීටර 200 ක චාරිකාවක් ගියෙමි. ඒ වසික 2018 ලංකාවට පැමිණි අවස්ථාවේදීය. එවර මාගේ විශ්වාසවන්ත ගමන් සගයා වන Scott P6 Sportster (Hybrid) සයිකලය වසිකත්; මධුශාන් තම සුපුරුදු Giant Escape (Hybrid) එකත් පැද්ද අතර මා පැද ගියේ Shimano ඩ්‍රොප් හැන්ඩ්ල් ටුවරින් සයිකලයයි. පලමුවර මධුශාන් හා මා පොළොන්නරු ගිය ගමන් මෙන් නොව ඩ්‍රොප් හැන්ඩලයෙන් මා එම චාරිකාව ඉතාමත් සාර්ථකව නිමා කලෙමි.

කෙසේ හෝ වේවා ඩ්‍රොප් හැන්ඩලය විකුණූ පසු නැවත සයිකලයක් ලබා ගැනීමට ආශාවක් ඇතිවූයේ වසර ගනනාවකට පසුවය. ඒ සමගම මාගේ Trek සයිකලය විකුණා දැමීමට මා යුහුසුළු විය. එය විකිණීමට පෙර සම්පූර්ණ අළුත්වැඩියාවක් කලේ දෙල්ගොඩ සමීර මල්ලීය! සයිකලයට  බෙල්ල තැබූයේ "කොළඹ ගමයාගේ" අතිජාත මිත්‍රයෙක් වන මාගේ පාසැල් මිතුරෙකුවූ ජනක ලක්මල් කුමාරපේලීය!

Trek සයිකලය ඉක්මණින් විකුණා දැමීමට හේතු වූයේ මාහට Giant SCR 1 ඩ්‍රොප් හැන්ඩලය මිලදී ගැනීමට ලැබුනු හෙයින්ය. එය මිළදී ගත්තේ සයිකල් පකීර් කෙනෙක් වන පැලහැළ රාළහාමි ගෙනි. පැලහැළ රාළහාමි පිළිබඳවද වචන කිහිපයක් ලියා තැබිය යුතුය. ඇන්තනි සීමන්ස් ගේ සිට ඊයෙ පෙරේදා ගුවන් සවාරිය දිනූ  අවිශ්ක මැඩොන්සා පිළිබන්දවද ඔහු නොදන්නා මගුලක් නොමැත. සුමනෙ, සුගතෙ, බොනියා, හෙන්ඩලා, එස් එච්ලා; මේ සියල්ලගෙම වංහුං, ආගත නාගත, පැටළිලි දිග ඇරිළි, කියුම් කෙරුම්, කිලෝ ගනට කියන්නට ඔහු දනී. පැදපු සයිකල් වල බරේ සිට පැවැත්වූ වේගයෙ පමණක් නොව උදෙට කාපු පාන් පෙති දෙක මැද්දේ තිබුනු දේ පවා කියන්නට ඔහු දනී. අහම්බයෙන් මුණ ගැසුණු ඔහු සතුව   සයිකලයක් පිළිබඳව ඉව වැටී එය බලන්නට යනවිට  එයතිබුනේ උස් වහලයක බාල්කයක එල්වාය. 



එය මිළදී ගෙන පැලහැළ රාළහාමිගේ පෙරැත්තයට ඔහුත් සමග දවල්ට බත් ජුංඩක්ද; කෑමට පෙර ඔහුගේම නිශ්පාදන වඩියක්ද බඩට දාගෙන ගෙදර පැමිණ පසුදාම එය  අළුත්වැඩියාව සඳහා යක්කල පොලීසිය ළඟ මහින්ද අයියාට භාර දුන්නද ඔහුට එහි බොටම් බ්‍රැකට් බෙයාරිං සොයා ගැනීමට නොහැකිවීම නිසා එයද නැවත ගෙන ගොස් භාර දුන්නේ දෙල්ගොඩ සමීර මල්ලී වෙතටය. කටානෙන් බඩු එන තුරු සයිකලය සමීර මල්ලීගේ ගෙවන වාට්ටුවේ ඇඩ්මිට් කොට ඇත.





සයිකලය ඔහුට භාර දෙන්නට ගිය අවස්ථාවේදී එතැනට ගෙනැවිත් තිබුනු දිරාපත් සයිකලය හා එය ගෙන ආ පුද්ගලයා දෙස මා සානුකම්පිතව බලා සිටිනු දුටු ඔහු මා අමතා පැවසූවේ "දැං සයිකල් කට්ටක් වත් නොතිබුනොත් ජීවත් වනවා බොරුය!" කියාය. 

මෙම ප්‍රකාශයේ වටිනාකම වැඩිවන්නේ ඒ මීට සතියකට පමණ පෙර වීමයි. ඩීසල් හා පැට්රෝල් මිළ ඉහල ගියේ ඊට දින 5 කට පමණ පසුවය!

ඔහු සයිකලය භාරදී ඉවත්ව ගිය පසු සමීර මල්ලී පැවසුවේ සයිකල් අළුත්වැඩියා කිරීමට මේ දිනවල වැඩි නැඹුරුවක් මේ දිනවල් ඇති බවය!

මා සයිකලයෙන් රැකියාව බලා ගියේ දැනට සෑහෙන කලකට පෙරය. එහෙත් සයිකල් පැදීම  පසුගිය වකවාණුව තුල මහත් සේ ප්‍රචලිතව ගියේය. ඒ සමගම බොහෝ සයිකල් සමාජ බිහි විය. එහෙත් එම සමාජ තුල සයිකල් පදින ලද බොහොමයක්; ගමන් මග වෙත පැමිණියේ සයිකලය තම SUV රථයේ පසුපස එල්ලා ගෙනය. ඔවුන් බොහෝ විට පැද්දේ ද ලෝකය පුරා නමක් දිනාගත් සයිකල්ය. බොහොමයක වටිණාකම ඉලක්කම් 5 ක මිළක් විය!

මේ සමගම වාර්ශික ඉසව් කිහිපයක් බිහිවිය. එවායේ මුදුන් මල්කඩ වූයේ  Around the Perl  ලෙස නම් කල ලක්දිව වටා කිලෝමීටර 1400 කර ආසන්න ප්‍රමාණයක් ගෙවමින් පැවැත්වෙන  සයිකල් රැලියයි. 

සාමාන්‍යයෙන් මේ සඳහා දින දොලහක් වැය වන අතර දින 10 ක පැදීම හා දින දෙකක විවේක  මීට ඇතුලත්ය!



Around the Perl

1. කොළඹ සිට මිරිස්ස                                       146.20

2. මිරිස්ස සිට කතරගම                                      136.40

3. කතරගම සිට පොතුවිල්                                  136.10

4. පොතුවිල් සිට පාසිකුඩා                                  147.80

5. පාසිකුඩා සිට ත්‍රිකුණාමළය                             126.51  

6. ත්‍රිකුණාමළය සිට මුලතිව්                                100.70

7. මුලතිව් සිට යාපනය                                       132.30

8. යාපනය සිට මරිච්චුකඩ්ඩි                                163.80  

9. මරිච්චුකඩ්ඩි සිට මීගමුව                                  164.00

10. මීගමුව සිට කොළඹ                                        54.00


මෙම රැලිය සංවිධානය කිරීම සඳහා එක් අයෙකුගෙන් 150,000 කට ආසන්න මුදලක් අය කරණ අතර එයට ආහාර නවාතැන් පහසුකම් ආදිය සියල්ල ඇතුලත්වේ!
මීට අමතරව ලක්දිව වටා සයිකලයෙන් ගමන් කල තවත් අය වේ. තවත් අය කීවාට එය අතලොස්සකි. 
සත්තකින්ම එය; මාගේ බකට් ලිස්ට් එකට දා ගැනීමට බැරි තරම් විශාල ඉලක්කයකි! ලක්දිව වටා යන්නට හැකියාවක් තිබුනද ඒ සඳහා විශාල මුදලක් වියදම් කිරීමටද මාහට අපහසු කරුණකි. ඒ සියල්ලටම වඩා සහයක රථ සමග ගමන් ගැනීම පිළිබඳවද ඇත්තේ උද්දච්ච අසතුටකි. එසේනම් මෙය කරණවානම් කලයුතු වන්නේ තනිවම හෝ කුඩා කණ්ඩායමක් ලෙස විනා මහා රැලියක් පරිදි නොවේ.  එය කාගේවත් නියමයක් නොව හුදෙක් අපගේ කුඩා කණ්ඩායමේ; එනම් මධුශාන්ගේත් නිශාන්ගේත් මගේත් අදහසක් විය!  මේ ගමන සඳහා හොඳ සයිකලයක් තිබිය යුතුය. මුල සිටම මාගේ අදහස වූයේ මේ සඳහා ඩ්‍රොප් හැන්ඩ්ල් ටුවර් සයිකලය වඩාත් ගැලපේ! යන්නය. එහෙත් පසුව ගමනේ ඇති අති දීර්ඝ බව සහ මාර්ග ස්වභාවයන් ගැන සැළකිල්ලට ගෙන සිතූ විට මේ ගමන සඳහා වඩාත් ගැලපෙන වාහනය වන්නේ හයිබ්‍රිඩ් සයිකලයක්ම වන බව මාහටද ප්‍රථ්‍යක්ෂ විය. දැනට මා සතුව ඇති එකම හයිබ්‍රිඩ් සයිකලය වන්නේ; මාගේ විශ්වාසවන්ත ගමන් සගයා වන Scott Sportster P6 සයිකලයය.  එය දැනට ධාවන තත්වයෙන් ඉවත්ව ඇත.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මම මේ ඉලක්කයට ඉව අල්ලමින් සිටියේය. ඒ සඳහා  දරාගැනීමේ ශක්තියක් සහිත නිරෝගී සිරුරක්, නොපසුබස්නා ධෛර්‍ය සම්පන්න දැඩි සිතක්, හොඳ යන්ත්‍රයක්, අත්‍යවශ්‍ය වේ. හොඳ කණ්ඩායමක් වෙත්නම්  අමතර වාසියකි! වසරකට ආසන්න කාලයක සිට හිත තුල මේරුණු අදහස ගිය මාසයේ අවසාන සතියේ නිශාන් හට කීවෙමි. මධුශාන් වෙතද පැවසුවේය. මධුශාන් හට රැකියාවේ නිවාඩු ලබා ගැනීම අවුලක් වූවද කෙසේ හෝ පැමිණෙන කථාවක් කීවේය. අවසාන වශයෙන් නිශාන් හට මා පැවසුවේ කවුරු ආවත් නැතත්; මෙවර මා වෙතින් මා වෙතට පිදෙන උපන්දින ත්‍යාගය ලෙස මෙම කාර්‍යය තෝරා ගෙන අවසන් බවයි. මන්ද පසුගිය වසරේ මා වෙතින් කිසිදු උපන් දින ත්‍යාගයක් මා වෙතට ලබා දීමට කොරෝණාව ඉඩක් නොතැබූ බැවිනි. ඒ වෙනුවට ගිය මස පෙබරවාරියේ කොරෝණා විසින් මාහට දින 14 ක නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාවක් ලබා දී තිබුනි.
"හරි! හරි!! ඔයා තනියම යන්න එපා!  මමත් එනවා අයියේ . . !" නිශාන් මල්ලී ස්ථිර සාරව පැවසීය. "ඔයාට ඔයාට ඔයාගෙ උපන් දිනයට කලින්නේ මේක කරණ්න ඕනෙ ? අපි අළුත් අවුරුදු නිවාඩුව අල්ලලා යමු. මොකද කියන්නේ අප්‍රේල් 10 ?" නිශාන් තවත් වැඩේ ස්ථිර කලේය.
"එළ . . !"
වැඩේ කථාකර ගන්නට තවත් දින කිහිපයකින් අප තිදෙන හමුවීමට යොදාගෙන තිබුනත් පෙබරවාරි 22 දින මධුශාන්ගේ පියා එනම් මාගේ එකම සොහොයුරා මෙලොවින් සමු ගත්තේය! මධූ ගේ පැමිණීම මේනිසාම අවනිශ්චිත විය!
පසුගිය කාලය පුරාවට Trek සයිකලයම පමණක් මා පාවිච්චි කල අතර එනිසාම Scott සයිකලය භාවිතාවෙන් ඉවතට විසිවී තිබුනි. වැඩේ කරණවානම් එය; ඒ සඳහා සුදුසුම සයිකලය විය. කොළොම්තොට සිට තල් අරණටද; දෙවරක් පුලතිසි පුරවරයටද තවත් වරක් දෙනියායටද එය ගමන් කොට තිබුනි. සත්තකින්ම එය විශ්වාසවන්ත ගමන් සගයෙකුම විය!  පසු ගියදා සයිකලය ලොරි පොඩ්ඩාගේ පටවාගෙන සමීර මල්ලි හමුවන්නට ගොස් එයට අළුතින්ම කොග් වීල් සෙට් එක, ෆ්‍රී වීල් සෙට් එකක් හා චේන් එක යොදා මුළුමණින්ම සර්විස් කර ගත්තෙමි.
මාස 4 කට පමණ පසු මා නැවත සයිකලයේ සැඩලයට ගොඩවිමි!
සුපුරුදු පරිදි කිලෝමීටර 40 පුහුණු සැසි සෑම දිනෙකම යෙදුනෙමි. ඒ අතර මේ සතියේ මුල කඩවතින් වැලිවේරිය මාලිගාතැන්න ඌරාපොල වතුපිටිවල හොරගොල්ල හරහා කිලෝමීටර 69 ක ගමන් චාරිකාවක් ගියෙමි. ඒ "මම; දැන ගන්න ඕන "මම" කවුද කියලා!" කියන අදහස ඇතිවය. ඒ සමගම මාගේ හදවත මාගේ ශක්තිය දුටුවේය! 
අප්‍රේල් 10 ට තව දින කිහිපයකි ඇත්තේ. 
ගමන ගැන අසන බොහෝ අය අසන පොදු පැනයකි!
 "බය නැද්ද!" 
වසික මගෙන් ඒ පිළිබඳව එවන් පැනයක් නොඇසුව මුත් ඔහුටත් කල්මිටත් මා කල ප්‍රකාශය මා එවිට ඔවුන් ඉදිරියේ තැබුවෙමි.
"මේ මට; මැරෙණවානම් මැරෙණ්න ලැබෙන හොඳම චාන්ස් එක! හැබැයි මෙහෙන් පිටත් වෙලා දෙහිවල හරියෙදි මලොත් නම් වැඩක් නෑ! අඩු ගානේ පොතුවිල් පහු කරලා ඔය ආරුගම්බේ පැත්තෙදි මැරෙන්න තියේ නම් එළනෙ! මල ගෙදරට එන එවුංට කතා කරණ්නවත් දෙයක් තියෙන්න එපායැ!? මොකද පාර පනින කොට කඩවත ටවුමෙ කහ ඉර උඩත් මැරෙන්න පුලුවං නෙ . . . . . . . . !?"

52 comments:

  1. Subapathum,Jaywewaa,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ! සාර්ථකව නිමා කරණ්නට ලැබුනොත් ඒ ගැන ලියන්නම් ලිපි පෙලක්!

      Delete
    2. ආන්න, කරනව නං නියම වැඩේ. පිංතූරත් එක්කම දාන්න ඈ? 🙏👌😊

      Delete
    3. ඔව් යන්න ලැබුනොත් සහ ගිහින් එන්න ලැබුනොත් අනිවා ලියන්නම ඕනෑ!

      Delete
  2. මේ වගේ බ්ය්සිකල් ගැන මම දන්නා මගුලක් නැත. අපේ ගෙදර ෆිනික්ස් කියලා එකක් තිබුණා. ගමනට සුබ පැතුම්.
    මම විජෙබාහු

    ReplyDelete
    Replies
    1. මුල්ම කාලේ ආපු චීන බයිසිකලයක්. ෆීනික්ස් එකත් එක්ක ෆලයිං පිජන් කියලා මහා දරද්ඬු සයිකලේකුත් ආවා. ගම්වල උන්දැලා ඔය ෆීනික්ස් සයිකලේට කිව්වේ ෆොනෙක්ස් කියලා!! අර පර්ජෝ වලට පියුජුවෙට් කියලා කිව්වා වාගේ!

      Delete
    2. මාද, පාගන් යන ඕන එකක් බයිසිකලයකි කියන්ට හැර වෙන අලබෝලයක් දන්නෙ නැත..😄 පොඩි කාලේ ලොකු තාත්තා එහෙම.. මවුන්ටන් නැමැති වර්ගයක් ගැන කීව මතකයි.
      සුබපතනවා ගමනට. ජයවේවා තට්ටයතුමෝ...!!!

      Delete
    3. පර්ජෝ වලට අපි කිව්වෙ "පිජොට්" කියලයි. (ලෙස්ටර්) පිගොට් කියල, අපේ ගම්පලාතෙ ප්‍රසිද්ධ හාදයෙකුත් හිටියා.

      ඔය කියන කාලෙ, චීන්නු පට්ට නම් දැමිල්ලක් දැම්මා. හෙහ්, හෙහ් "ෆලයිං පිජන්" .ෆ්ලයින් නැතුව පිජන් පීනන්නයෑ? මමත් එකක් ගත්තා, ඒත් එච්චරම හොඳයි කියන්න බෑ කියල තමයි මතක.

      Delete
    4. නමියාට ස්තූතියි බයිසිකල් ගැන මොනවත් නොදැන උනත් අපි ලියන "ඔන්න කනෝ පිනුං" මොඩලයේ මේ මගුල් කියවන්න එනවාට!

      බස්සාට ~ ඔව් ඒක මහ බර පතල සයිකලයක්. ෆ්‍රී වීල් එක ආවේ දැති 20 ක එකක්!

      Delete
  3. මුලින්ම, ගමනට සුබ පැතුම්!

    මේ දවස් වල ඉන්ධන හිඟයක් තියන වෙලාවේ, බයිසිකල් ජනප්‍රිය කරවීමටත් මේ ගමන යම් දායකත්වයක් සපයාවි.

    මේ ගමන සහ එහි අදියර පිළිබඳව හිතා බැලුවාම, තුන්වෙනි අදියර (කතරගම පොතුවිල්) මෙහි දුෂ්කරම අදියර ලෙසට තමයි මට පෙනෙන්නේ. ඒ නිසා නිවාඩු දවසක් පොතුවිල් හි ගත කරනවාද?

    අදියර 8/9 පැය 8-10 තරම් වෙද්දී, අදියර 10 පැය දෙකක් විතර වෙන එක ගැන හිතෙන්නේ මොකක්ද? අඩුම ගානේ හලාවත(හෝ පුත්තලම) අන්තිම අදියරට පෙර දින නවාතැන කරලා, ඊට පෙර තියන 160Km+ අදියර දෙක ටික ටික කෙටි කරන්නේ නැත්තේ නවාතැන් සපයා ගන්න අපහසු නිසාද? (මේ ලියූ දේවල් ගැන වරදවා හිතන්න එපා. මගේ අදහසයි ලිව්වේ)

    මේ ගමන සාර්ථකව නිම කරපුවාම, ඒ කතාව අපිටත් කියවන්න ලැබේවි!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සෑම් මහත්තයා! ඔව් දැන් ඔය ගමන කොහොමත් යන්න ඩීසල් හොයා ගන්න බෑනේ. ඊයේ රුවන්වැල්ල ෂෙඩ් එකේ පැය 3 ක් පෝලිමේ ඉඳලත් අන්තිම "ඩීසල් ඉවරයි!" කියලා කිව්වා කියන්නකෝ! ඇත්තෙන්ම කතරගම පොතුවිල් strech එක තරමක් අමාරු වෙයි වගේ! ඔය දාලා තියෙන්නේ Around the Pearl event එකේ map එක. අපිට පුලුවන් ඒක අපිට ඕන විදියට සීරු මාරු කරගෙන ගලපගන්න! කොහොමත් නිශාන්ට ඕන මේක සංචාරයක් විදියට කරණ්න නැතිව ඉසව්වක් විදියට නෙවෙයි! ඔව් ඔබ තුමන්ලාගේ සුභා සිංශනය සමග ඒක සාර්ථකව නිම කලොත් ලියන්නය පුළුවන් වේවි! ස්තූතියි!

      Delete
  4. සුබපැතුම්.
    යාපනේ coast එක වටේට යන්නෙ නෑ වගේ. ඇයි ඒ?

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ අපි කොහොමත් PPD ගිහිනුයි එන්නේ! ස්තූතියි!

      Delete
  5. සුපතමි මිතුර ඔබගේ සංචාරයට
    අපහසු කඩුල්ලකි යන එක රටේ වට
    සැක නැත ගමන නම් රසවත් වෙනවාට
    බලා හිඳින්නම් විස්තර කියවන්ට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි මහත්තයා!

      Delete
  6. ඔය බයිසිකල් වර්ගවල වෙනස්කම් ගැනත්, මිල හා ගන්නට ඇති තැන් ගැනත් පෝස්ට් එකක් දාමුද.මං වගේ අයට ගොඩක් වටී.

    ගමනට සුබපැතුම්. ඔහොම ගමනක් හීනයක් වගේ.

    ReplyDelete
    Replies
    1. මම කියලත් මහා විශාරද දැනුමක් නම් නෑ! ඒත් මේ ලිපි ලියන අතරේ මම දන්න තාක්ෂණික කරුණුත් පුළුවන් තරම් ලියනවා. ඇත්තටම හීන තියෙන්නේ දකින්න පමනක් නොව අත්විඳීමටත් එක්ක. දවසක මැරෙණ විට තිබිය යුත්තේ හීන ජය ගත් මතක. මගේ හැම චාරිකා සටහනකම කියලා තියෙන පොදු කරුණක් තියෙනවා. මේ කිසිවක් "සුපර් මෑන්" ලට සීමාවූ දේවල් නොවන බව! ඒ ඉලක්ක ජයගැනීම සඳහා ගත් සෑම කුඩා පියවරක් පිළිබඳවම ලියා ඇති. ඒ තවත් අයෙකුට කවදාහෝ අත් පොතක්, අත්වැලක් වීමට. මේ කරුණු පිළිබඳව අපේ රටේ ලිකිත සාහිත්‍යයක් නෑ! ස්තූතියි!

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
    trek එක නෙමෙයි. ඔබ දෙන්න හැදුවේ ඔබගේ ආදරණිය, සදාදරණිය, අමරණීය scott රාජයාවයි. එකේ සීට් එක උස වැඩි නිසාත් එක අඩු කරගන්න සුදුසු පොඩි ඇලංකි එකක් ඒ මොහොතේ සොයා ගැනීමට අපහසු නිසාත් තමයි ඔබ trek එක දුන්නේ. මට අද වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. අහා! එහෙම තමයි මිනිස්සු ක්‍රියාකරණ්නේ මිනිස්සුන්ව හමි උනාම! බොහොම ස්තූතියි! ජයවේවා!

      Delete
  9. ගමන ඔබේ සිතැගි පරිදි නිමාකරන බවට කිසිදු සැකයක් නෑ. අපේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මචං!

      Delete
  10. පොඩි යෝජනාවක්, අපිට බැරිද තට්ට මහතාගේ ගමනට පොඩි අරමුදලක් වගේ මෙව්වා එකක් දාන්න? මේක අමාරු කලයක්නේ. වැඩේ නැගල ගියොත් මම කව්ද කියන්නම් (ගුටි කන්න බැනේ)

    ReplyDelete
    Replies
    1. අනේ බොහොමත්ම ස්තූතියි! අපි පුළුවං විදියට ගොහිං එන්නම් අරමුදල්, මුට්ටි කාසි, හිඟා කෑම් එපා!

      Delete
  11. // සයිකලයට බෙල්ල තැබූයේ "කොළඹ ගමයාගේ" අතිජාත මිත්‍රයෙක් වන මාගේ පාසැල් මිතුරෙකුවූ ජනක ලක්මල් කුමාරපේලීය!// ඔව් , ඔව්. මේ ලිපියේ ඉන්නේ ඌ තමා. මම දන්නේ නැහැනේ. https://kolambagamaya.blogspot.com/2021/01/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. එක හුස්මට කියෙව්වා කියන්නකො! අම්මට සිරි මම දන්නේ නෑ ඔයා ලකාගේ ඔය තරම් හොඳ බොක්කක් කියලා! මා ගැනත් උගෙන් දැනගන්න පුළුවන්!

      Delete
  12. මාත් බයිසිකල් එක්ක ලඟ සම්බන්ධයක් තියනවා. තවම ඔපමණ ඈත ගිහින් නැහැ. මුලින්ම 1980 පමණ කොළඹ සිට කුරුණෑගලට සයිකලෙන් ගියා. බාලදක්ෂ බැජ් එකකට. ජර්මනියට ගියහම සයිකල් ටුවර් යනවා. කිලෝමීටර 40 විතර. දෙපැත්තටම අසූවක්. මෙහෙදී මමයි බිරිඳයි යනව ඉඳල හිටලා කිලෝමීටර් 25 විතර. මට mountain bike කියල එකක් තියෙන්නේ. වැඩේ කියන්නේ මෙහෙ ඒ බයික් වල ගහලතියෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියල. කොහෙද දන්නේ නැහැ හදන්නේ. බයික් නම් හොඳයි. ගමනට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ජය වේවා! මෙරට සයිකල් හදනවා. සුප්‍රසිද්ධ රැලේ සයිකලයත් ලංකාවේ හදනවා!

      Delete
    2. ඒත් නාලන්ද ඉස්කෝලෙ ලග තිබ්බා රැලේ ෂොප් එකක්. හැබැයි ධමාර ගනං.

      Delete
  13. කලින් ගිය ගමන් වගේම මේ ගමනත් සාර්ථකව නිමා කරල අපිට රසවත් ගමන් විස්තරයක් මේ බ්ලොග්ගෙන් බලාගන්න පුලුවන් වෙන්න හැකිවේවා කියල සුබ පතනව.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මගේත් බලා පොරොත්තුව ප්‍රසන්න! බලමුකෝ තවම කියන්න අමාරුයි! උපරිම උත්සාහය!!

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. අඩේ අප්පා... සෑහෙන කාලෙකට පස්සේ එහනම් ලොමු දැහැගැන්වෙන කොණ්ඩා මෝස්‌තර බලන්ට හැකිවෙයි එහෙනම්... අපිව ඉතින් ඔව්වට ගන්න එකක් කියලය?? රට වටේටම යනකොට එක එක ජාතියේ අත්දැකීම් එක්ක මම හිතන්නේ ලිපි පෙලංකා කියවන්න බලාගෙන ඉන්නේ... [ ආයේ ඉතින් කිඹුල්ලු නැතුව ගඟේ ගියා වගේ තමයි... ]
    සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! වතුර එකක් වත් ගහන්න පාරකට එන්න බලන්න!!

      Delete
  16. දැන් මේ යන හැටියට පුස් සයිකල් තමා ඇඟට වගේම පොකට් එකටත් හොඳම වාහනෙ. එකම වැඩේ දුර යන්න බැරි එක තමයි කාලෙත් එක්ක බලද්දී.
    ටුවර් අදහස මරු. සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete
  17. ශුභ ගමන් මචෝ.වතුර පාරක් හරි ගහන්න අවසන් අදියරකදි බලන්නං.අවුරුද්දේ ගමේ යනව නෙව.

    ReplyDelete
  18. තට්ටයා මහත්තයා ලොකු වැඩකට අතගහලා වගෙයි. ඉස්සෙල්ලාම ගමනට සුභ පතනවා. කිලෝමීටර් 1400 ක් විතර යනකොට මගදී රෙපයාර් එකක් කරගන්න විධියක් එහෙම හොයාගත්තද? මන්නාරමේ ඉඳන් එළුවන්කුලමට එන අතරතුර විල්පත්තුව කැලේ මැදින් එන්න තියෙනවා. ඒ ටික අවදානම් කලාපයක් වෙයි කියලා හිතෙනවා. කොහොම වුනත් හමුදාවේ මහත්වරුන්ගෙන් උදව් ගන්න පුළුවන් වෙයි. Around the perl (Around the tear drop ?????) එකේදී නම් support services තියෙන නිසා ගැටලුවක් නැතුව ඇති.
    මේ වගේ ලොකු ගමනක් යන්න බැරි වුනත්, 1962 අවුරුද්දේ රුපියල් 240 කට මගේ අප්පච්චි යාපනේදී (ඒ කාලේ එයා රස්සාව කරලා තියෙන්නේ යාපනයේ) ගත්ත රැලේ බයිසිකලය තවම මගේ ගාව තියෙනවා. ෆ්රී වීල් එකයි චේන් එකයි මාරු කලා. කොහොම වුනත් බයිසිකලය අප්පච්චිගෙන් බේරාගන්න මට මාරම ගේමක් දෙන්න වුනා. එහෙම නොකළානම් එයා ඒක ගත්තා වගේම විකුනලා දානවා......

    ReplyDelete
    Replies
    1. කතාවේ අගින් පටන් ගන්නම්! මා ලඟත් ඒ වාගේ පරණ රැලේ රෝයල් බයික් එකක් තියෙනවා. ඒක ස්පෝර්ට්ස් බයික් එකක්. ටයර් 26. ඒ උනාට ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයක් තරම්ම උසයි. ඒ කාලේ ඒවාට කියලා තියෙන්නේ හයිෆ්‍රේම් සයිකල් කියලා.
      ඇත්තෙන්ම අපි ගෙනියන්නේ ටූල් කිට් එකකුයි පැච් කිට් එකකුයි අමතර ටියුබ් දෙකකුයි. මට හිතෙන්නේ ඒ ඇති වෙයි කියලා. මේ අද දවසේත් මගේ සයිකලේ දෙල්ගොඩ සමීර මල්ලී හදනවා. බොහෝ කොටස් අළුතින්ම දැම්මා.
      මන්නාරමේ ඉඳන් කලාවැවේ සපත්තු පාලම උඩින් එන්න තමයි හිතාන ඉන්නේ. බොහෝ විට අපිට ඒ සඳහා හමුදාවෙන් උදව් ගන්න වෙයි. එහෙම අවුලක් උනෝතින් ඒ ටික රට මැද්දෙන් එනවා. මොකද යාල හරියේදීත් යන්න වෙන්නේ රට මැද්දෙන් නිසා!
      ඒ මොනවා උනත් ඔබගේ හෘදයාංගම සුභ පැතීම හදවත පුරාම ඇදිලා ගියා! බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. හැරෙන තැපෑලෙන් පිළිතුරු ලීවාට ස්තුතියි.
      ලංකාවේ රැලේ බයිසිකල් හදන බව
      ඉහත කමෙන්ටුවක කියා තිබුනා. අහන්නත් සතුටුයි අඩුමගානෙ එහෙමවත් දෙයක් කරන එක ගැන. මොකක්ද ආයතනය? ඉස්සෙල්ලාම ලංකාවේ කාර් එකක් එකලස් කරපු 1968 ඉඳලා මේ වෙනකල් හරියට ගියා නම් අද අපි අපේම කාර් හදනවා.....
      මගේ දැනීමෙ හැටියට නම් බයිසිකලේ වැඩියෙන්ම එන්නේ පැච් යන එකයි බල්ලා පනින එකයි (ෆ්රී වීල් එකේ) චේන් එක කඩල යන එකයි. බයිසිකල් තුනම සමාන නම් තුනටම හරියන ෆ්රී වීල් එකකුයි චේන් එකකුයි (පරන ඒවා උනත් කමක් නැහැ) අරන් ගියොත් නරකද?
      කොහොම වුනත් විල්පත්තුව මැද්දෑවෙන් එන එක තමයි ගමනේ උපරිමය. ඒක එහෙමම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මමත් වතාවක් පුත්තලමේ ඉඳන් ඔය පාරෙන් මන්නාරමට යන්න ගියා. ඒත් සපත්තු පාලම උතුරලා නිසා යන්න බැරි වුනා. පාලම ලඟටම ගිහින් පාලම උතුරනවා බලලා රට මැදින් මන්නාරමට ගියා. හරිම දුකයි වෙච්චි දේට. එවන් දුකක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා.
      ලඟ පාතකට එන්න බැරි වුනත් ගමනට සුභ පතනවා.......

      Delete
    3. ස්තූතියි බණ්ඩාර මහත්තයා! අපි වැඩිපුර ටියුබ් දෙකකුයි පැච් කිට් එකකුයි ටූල් කිට් එකකුයි විතරයි! ඔව් විල්පත්තුව හරහා එන එකත් වැඩක් තමයි. බලමු පුළුවන් උනොත්! ස්තූතියි සුභ පැතුමට!

      Delete
  19. දෙක තමයි මුලින් දැක්කේ.. එක කියවලාම යන්න ආවා මේ.. :))

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි "පමා වී ආ වසන්තේට"!

      Delete
  20. මගෙත් හීනයක්. හැබැයි මා ගාව ඔය සුකුරුත්තං බයිසිකල් නෑ නෙව. කොල්ලගෙ චීනහුටස් එක තමා. ඒකෙන් ටිකක් හරි දුර යන්නෝන... ඕ යෑස්

    ReplyDelete
    Replies
    1. කට කැඩෙනකං කිව්වා! කෝ ඇහුවද? අවුලක් නෑ! ඒකෙන් පටන් ගනිමු!

      Delete
  21. බයිසිකල්නම් තාමත් පදින්න පුලුවන්.මේ ලඟදිත් එකක් පැද්දා.අවුල බයිසිකලේ ඉඳගත්තාම පස්සපැත්ත රිදෙනවා අම්බානෙට.පැදපු බයිසිකලේ සීට් එකේ අවුලක්ද, බරවැඩිවීම නිසා සිද්දවෙන අවුලක්ද කියලා හිතාගන්න බෑ

    ReplyDelete
    Replies
    1. පාලං තුන ලඟ ඩිකැත්ලන් එකේ තියෙනවා ; ජෙල් සීට කවර! ඒන් එකක් සීට් එක උඩට දාගන්න - සැපේ යන්න!~

      Delete
  22. අනේ මංජුල දැන් තමයි ටිකක් හරි බලන්න වුණේ. ඒත් පිළිවෙලකට නෙවෙයි. මගේ මිතුරන් දෙදෙනෙක් ඉන්නවා බයිසිකිල් පදින. ඒ දෙන්නට පෙන්වන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙහි ගොඩ වැදුනට! දැන් කියවාගෙන යමු!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...