Friday, October 11, 2024

291. "මගේ පස්සෙන් එන්න" යැයි; ඈ ආරාධනා කරණ්නීය . . . !


වෙලාවකට ජීවිතයත් පොත් සාප්පුවක්ය!

පොත් විවිධාකාරය.

ගනං පොත්, සිංහල පොත්, ඉතිහාස පොත්, විද්‍යා පොත්, කෙටි කථා පොත්, නවකථා, කවි, චරිථ කතා, වීර කථා  . . . !

අප කුඩා කල තාත්තාගෙන් පොතක් පතක්, පැන්සලක් පෑනක් ඉල්ලූ විට ඔහු කියන්නේ "ලබන මාසේ මම හෙඩ්ඩොෆිස් ගියාම ඇම්. ඩී. ගුණසේණ එකෙන් අරං එන්නං!" කියාය. ඒ කියනා ආකාරයෙන්ම එය නොකෙරෙන වැඩක් යැයි අප හිත හදා ගත්තෝය.

අප අවිස්සාවේල්ලේ මුල් බැසගෙන සිටි කාලයේ ටවුමේ දිග්විජය කොට ගත් පොත් සාප්පුව වික්ටරියයි. එය පිහිටා තිබුනේ KNG සිල්ලර බඩු කඩේට තරමක් එපිටින් චීන දත් බඳින සාප්පුවට මෙහායින් ය. (KNG කඩේ 83දී අපගේ ජාති මාමකයෝ; පලමුව සුද්ද කොට දෙවනුව ගිනි දෙවියන්ට පිදූහ!)

මගේ ජීවිතයේ පළමු චීනා වූයේ එහි දත් බඳින ලී ක්වාන් යූ වැනි නමක් ඇති අයෙකි. ඔහු බොහෝ උදෑසනයන්හී සරමක් හා බැනියමක් ඇඳ අසල කඩේකින් කිරි තේ ජෝග්ගුවක් අරං එනවා මා දැක ඇත. ඔහුගේ පුතුන් දෙදෙනා අප සමග සෙන් මේරිස් කොලීජියේ ඉගෙන ගත්තත්; උදේ පාන්දර තාත්තා අල්ලපු කඩවලින් තේ ගෙන ඒමේ රහස අප අහන්නට නොගොයෝය. මාවෝ සේතුං ද චෞ එන් ලායිද හැඳින ගන්නේ ඊට බොහෝ කලකට පසුවය! (දැක්ක තැනක මා හට ඔවුන්ව හඳුනා ගැනීමට අද වුවද හැකියාවක් ඇතත් ඔවුන් මා නොදන්නා බව පවසන්නේ හද පිරි ශෝකයෙන් නොව පහන් සංවේගයෙනි!)

මා වෝලා චෞ එන් ලායි ලා සදාම් හුසේන්ලා ගඩාෆිලා දැන හැඳින ගන්නේ පුවත් පත් වලිනි. ඒ එකදාස් නවසිය හැත්තෑ හයේ නොබෙඳි ජාතීන්ගේ සමුළුව ලංකාවේ පැවැත්වීමත් සමගය. ඒ ඒකාලයේ දිනමිණ හා නවයුගය පත්තරවලට පිං සිදුවන්නටය!

මේ සියල්ල යටින් ජීවිතය සමග ගමන් කරණ්නේ පොත පතය!

නොබැඳි ජාතීන්ගේ සමුළුව පවත්වන කාලයේ මා අරක් ගෙන තිබුනේ යටියන්තොටය.

යටියන්තොටද අපූරු පොත් සාප්පුවක් තිබුනි. එහි නම සිරිවර්ධන පොත් සාප්පුවයි. එකළ එළවළු කඩ, කරෝල කඩ, මස් කඩ මාළු කඩ, රත්තරං බඩු කඩ අතර පොත් සාප්පු පැවතියේය. පොත් තිබුනේ කඩ වල නොව සාප්පුවලය! සිරිවර්ධන පොත් සාප්පුව පැවතියේත් අදත් පවතින්නේත් යටියන්තොට ටවුමේ හැටන් කොළඹ පරන පාරත් පැලැන්පිටිය, දේදුගල, බුලත්කොහුපිටිය පාරත් අතර මැදි උස් බිමකය!

මේ කඩේ ගැන පැවසෙන පුරා වෘථයක් මෙහිම ලිය තියන්නම්.

මෙම ඉඩම ඒ පලාතේ බොහෝ ඉඩ කඩම් වලට මෙන් ආරවුලකට මැදිව තිබූ එකක් වූවේලු. ඒ නිසාම එම ස්ථානයේ කිසිදු ගොඩ නැගිල්ලක් සෑදීමට; වැඩි කොටස් හිමි අයිතිකරුවනට සෙස්සෝ ඉඩ දී නැත. මීට පිළිතුරක් ලෙස; ඊට සැතපුමක් එකහමාරක් දුරින් ගරාගොඩ; දැවයෙන්; කුඩාවට සාදන ලද කඩය එක රැයෙන් කරපින්නාගෙන පැමිණ මෙම ස්ථානයේ ස්ථාපිත කලේලු!

ගං වතුර ගලනා කාලයට මෙම පොත් සාප්පුව වතුරෙන් යටවේ. ඊළඟට සාප්පුව ඇරුණු පසු දියට යටවූ නවකතා, කෙටි කථා, චරිත කථා ආදී එකී නොකී මෙකී පොත්  අඩු ගානට විකිණේ. එසේ මිළදී ගත් පොතක් තවමත් මාගේ පොත් ගුලේ ඇත!

මෙවන්ම වූ සිද්ධියක් එකළ කොළඹ හා තදාසන්න නගරවල පොත් සාප්පු වල කරගෙන ගියේය. එය පටන් ගත්තේ අසූව දශකයේ මුල් කාලයේදී යැයි මාහට සිතේ. ඒ කාලයකට පසුව ඔවුන්ගේ ගබඩා තුල පුස් කමින් තිබුනු පැරණි පොත් දෙක පහට විකිණීමයි. 

මෙහි ඇති වඩාත් සිත් ගන්නා සුළු කාරණය වූයේ එකදාස් නවසිය හැටේ දශකයේ රුපියල් 2.50 කට විකුණුනු බ්ලොක් ගල් තරමේ පොත් සීයට 50ක් මිල අඩු කොට 1.25 කට විකිණිමයි.

ඒ නිසාම ඒවායෙන් දෙක පහට ගත් පොත් වලින් බොහෝ අයගේ පොත් ගුල් පිරී ගිය අතර ඒවායෙන් අඩු මුදලට ලබා ගත් පොත් අපගේ පාසල් ගේට්ටු අසල පොඩි පොඩි ගණන් වලට විකුණුනි.

ඒ අතර මාගේ සහ බොහෝ අයගේ සිත් ගත් පොතක් වූයේ "සෙවිල්ල" සඟරාවයි! ඇත්තෙන්ම "සෙවිල්ල" වෙනත් රටක පලවූ සඟරාවක පරිවර්ථනයක් විය! එහි ඉතාමත් සුන්දර වෛවර්ණ රූප සහිත පිටු හා ඒවා අතර තිබුනු තීන්ත සුවඳ දැනුත් ඇස් වසා ගත් කල දැනේ.

එම "සෙවිල්ල" සඟරාවේ විවිධ විවිධ මාතෘකා අටෝරාසියක් පිළිබඳව සරළව ලියා බොහෝ චිත්‍ර සටහන් ඇතුලත් කොට ළමා සහ යොවුන් සිත ආකර්ශණය වන පරිදි සකස් කොට තිබුනේය.

පෙරකී අඩුකොට විකුණුනු ඇම්. ඩී. ගුණසේන පොත් සල් පිලකින් මා "සෙවිල්ල" පොත් රාශියක් මිළදී ගත්තෙමි. පසු කලෙක ඒවායෙන් වේයන් හට භෝජන සංග්‍රහයක් මා පැවැත්වීය! (අද මෙන් යකඩ නොකෑ වේයන් එකල කෑවේ රසවත් පොත් කඩදාසි ලෑලි ආදියයි!)

අදිකාරම් මහත්තයාගේ සංස්කරණයෙන් යුතුව පලවී තිබුනු "නවීන විද්‍යා" සඟරා පාසල් ගේට්ටු අසල විකිණී ගියේ රුපියලකටය. 

එකල නිවාඩු පාඩු ඇති කාලවල පොත් සාප්පුවල රස්තියාදු වීම අපගේ පුරුද්දක් විය. 

මරදානේ ගොඩගේ සාප්පුව එකළ කුඩා පොත් කඩයකි. ඊට ඈතින් ඉස්ටේසම පැත්තට වන්නට රත්න, හා තවත් බොහෝ සාප්පු තිබුනත් මාගේ සිත ගියේ ඇම් ඩී ගුණසේන සාප්පුවේ පොත් අතර කිමිදෙන්නටය!

එකළ සාප්පුවේ කළමණාකාරතුමා වූයේ සුරත් ද මැල්ගේ සීයා වූද සුන්දර නිහතමාණී ද මැල්ගේ ආදරණීය පියාවූද ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාය. (ඔහුත් මාත් අතර බැඳුණු රසවත් කථාවක් මා පසුව ලියා තබන්නම්.)

නෙක තුරු ලතා ගැවසි විවිධ වර්ණයන්ගෙන් යුත් පුෂ්පයන් සපිරි මල් උයනෙක ඇවිදිනවාත් වැනි හැඟීමක්;  ගුණසේණ සාප්පුවේ පොත් රාක්ක අතර ඇවිදින විට දැණුනි. එම පොත් සාප්පුවේ වූ විශාලත්වයද සැකැස්මද ඊට එක් හේතුවක් විය. එහෙත් ඊට හේතු භූතවූ ප්‍රධාන කාරණය එහිවූ විශාල පොත් එකතුව විය හැක!

පොත් රාක්ක වලට හේත්තුවී  පොත් පෙරළමින් රසවත් ඡෙද කියැවූ අප ඉහල මාලයේ ඉංග්‍රීසි පොත් පෙරළමින් රූප බැලුවෙමු. කුඩා කුඩා කථා පොත් එහිම සිට කියවා අවසන් කලෙමු!

මම මෙම කතාව ඇරඹූවේ ජීවිතය පොත් සාප්පුවක් වැනිය යැයි කියාය. එකල කුඩා එකෙකුව;  ගුණ සේන සාප්පුවේ වූ විවිධ පොත් පත් අතර ගැවසුණු විට දැනුණු හැඟීම ජීවිතයේ විවිධ පුද්ගලයින් චරිත අවස්ථා සිදුවීම් වලට මුහුණ දෙද්දී දැනේ!

වෛද්‍ය බෝධිනී සමරතුංග දොස්තර මහත්මියව මාහට මුණ ගැසෙන්නේ රන්දිකා රණවීර නගා හරහාය. රන්දිකා හමුවන්නේ රවි වීරසිංහගේ අත්වැල් ඇල්ලීමෙන්ය. හදිසියේ දිනෙක රන්දිකා නගාගේ ඇමතීමකින් අප තිදෙන ප්ලේන්ටියක් පානය කිරීමට නගරයේ කඩයකට කේන්ද්‍ර ගතවූයෙමු.

හමුවී පලමු තත්පරයේ පටන් වෛද්‍ය තුමිය ආදරණීය සොහොයුරියක වූ හැටි!

මම මේ ලියැවිල්ලේ පෙල ගැස්වූ ඇම් ඩී ගුණසේණ සාප්පුවේ පොත් රාක්ක අතර ගැවසුණු හෝරාවන් සිහි ගැන්වූ එම කුඩා කාලය මතකයට අළුත් මානයක් එක් කල එකක් විය.

බෝධිණී මා දුටුවේ එදා පොත් රාක්කයකට ගොඩ වැදුණු සුළු මුදලකට මා අතට පත්වූ වෛවර්ණ පිටු සහිත "සෙවිල්ල" සඟරාවක් ලෙසිනි! ඇය "සෙවිල්ල" සඟරාවක්සේම අදහසින් මෘදු මොළොක්ය. මිනිසත් බවින් සුවඳවත්ය. හිත්වත් කමින් වර්ණවත්ය. දැනුමෙන් සඟරාවක්ම විය. එවන් සඟරාවක් පිළිබඳව මාගේ සිත තුල මුළින්ම උපන් බිජුවට වන්නේ "සෙවිල්ල" ය!

මේ "සෙවිල්ල" සඟරාවල පිංතූර කිහිපයක් මෙන්න මෙතැනින් දැකිය හැක!

ඇ‍ය මා මුලින්ම දුටුවේ ඇයගේ "සායනික සටහන් . .." තුළිනි. 

එදිනෙදා තමන් ගත කරණ වෘත්තීය ජීවිතයේදී ඇහෙන දකින විඳින සහ එක්ව කටයුතු කරණ විවිධ වූ අත්දැකීම් දෙස වෛද්‍යවරියක ලෙස මවක සොහොයුරියක යෙහෙළියක සමාජ වගකීම් දරන්නියක ලෙසින් මානව දයාව පිරිපුන් පුරවැසියෙකුගේ ඇසින් දැක ඒ පිළිබඳව   සමාජයට වටිනා පණිවිඩයක් සිතන්නට තවත් මානයක් ගෙන ඒම එම පොතෙන් සිදුවී තිබුනි.

එදිනෙදා සිදුවන  හා අප මුහුණ දෙන අවස්ථා තුල; සමාජයට දකින්නට ලැබෙන දේට වඩා නොකියවෙන යටි පෙල සාකච්ඡාවට ගැනීමක් "අනිත් කොන" තුලින් සිදුවිය.

බෝධිනී තුල සිටින කිවිඳියගේ කල එළි මංගල්‍යය "මනුපුර සක්මනෙන්" මා දුටිමි.

මේ සියල්ල අතරේ ඇය පසු ගිය කාර්තුවේ අළුත්ම මුහූවරකින් අප ඉදිරියේ දිස් විය. ඒ නවකථා  කාරියක් ලෙසිනි.

අප වගේ රටක දුර බැහැරක යාමට බසයකට නැගීමෙන් පසු ආසනයක් ලැබීම බෝනස් එකකි. ඒ ලෙසම මා දකින අයුරින් හා මා සිතන අයුරින් නව කථාවක හෝ වෙන යම් කලා කෘථියක තිබිය යුත්තේ ගලා යෑම හා රසවත් බවයි. එය තනි වචනයකින් ලියනවා නම් සවත්ව ගලා යෑමයි. 

කලාකෘථියක රසවත් බව විවිධ ලෙස අර්ථ ගැන්විය හැකිවාක් සේම එය රස විඳින්නාගේ ස්වභාවය මත විවිධවූ අර්ථ කථනයන්ද දිය හැක. එහෙත් අවසානයේ සිදුවිය යුත්තේ මා කලින් පැවසූ ලෙසින් රසවත්ව ගලා යෑමයි. මේ නිසාම; මෙම පොත පිළිබඳව ගම්පහ්දී කෙරුණු කථිකාවකදී මා පැවසූවේ කලා කෘථියකින් සමාජ පණිවිඩයක් දීම අනිවාර්‍ය අංගයක් නොවන බවයි.

එය මා දකින්නේ බසයකට ගොඩවූ පසු එය ගමනාන්තය තෙක් අකණ්ඩව හා ආරක්ෂිතව  ගමන් කිරීම ලෙසින් ය.

බසයේදී ලැබෙන ආසනය ලෙසින් කලා කෘථියක් තුලින් ලැබෙන සමාජ විඥානය, සමාජයට ලැබෙන පණිවිඩය, සමාජය නියාමනය කිරීම දකිමි. 

බෝධිනී නව කතා කාරියක ලෙස දොරට වැඩි "මගේ පස්සෙන් එන්න" රෝමාන්තික කථන්දරයක් ලෙස බැලූ බැල්මට පෙනුනද එය කියවාගෙන යන විට විදාරණය වන්නේ සමාජයේ හරස් කඩකි. කොළඹ නාගරික අවම පහසුකම් සහිත පරිසරයක් තුල වඩාත් යහපත් හෙට දිනක් තැනීමට යන්ත දරණ තරුණයෙක් හා ඊට එක්වන කළු සුදු අළු චරිත වටා මේ කථාව ගෙතේ.

එහෙත් බෝධිගේ මෙම පොත නො එසේනම් කලා කෘථිය තුලින් පාඨකයා රසබරවත් අඛණ්ඩවත් ගෙන යන්නේ වඩාත් සුන්දර වූ ලොවකට වීම; කලාකෘථියක් ලෙසින් වඩාත් සාධණීය බවක්  පොතට එක් කිරීමට සමත්වී ඇත!

"මගේ පස්සෙන් එන්න " යැයි ඈ ආරාධනා කරණ්නේ ඒ ලොව තැනීමටය!

වරෙක මා දුටුවා සිනමා සඟරාවක ස්වර්ණා මල්ලවාරච්චි පිළිබඳව ලියැවුනු ලිපියක්. "නුදුරේදීම අපට ඇයව අමතකව යනු ඇත!" එම ලිපියේ හෙඩිමේ අර්ථයයි. මෙම මාතෘකාව ලිහිල් කරණ කතුවරයා පෙන්වා දී ඇත්තේ ස්වර්ණාගේ තාත්වික රංගණය කරන කොටගෙන; ඒ  ඒ චරිත මිස ස්වර්ණා යන පුද්ගල චරිතය  අපගේ මතකයෙන් ඉවත්වී යනු ඇතැයි කියාය.

බෝධිනී ඔබ කුමන විදියේ කලා කෘථියක් කලත් එතැනට පත් නොවෙනු ඇත. ඒ මන්ද ඒ සියළු කලා කෘථීන් තුල ඔබගේ මුද්‍රාව ඔබට ඉවත් කල නොහැකි වනවා මෙන්ම අපට සොයා ගැනීමටද හැකිවන නිසාය. 

ඒ ඔබගේ විශාල හදවත පිරි මානවීය ගුණයයි.

Wednesday, October 9, 2024

290. බබාට නමක් . . . !

සුනිල් විවාහ වුයේ ලතා සමඟය. ඔවුන් විවාහ වී වසර දෙකකට පමණ පසු වැඩිහිටියන්ගේ උවමනාවට ලතා ගැබ් ගත්තීය. කාලය ගෙවී ගොස් ගැබ මෝරා දරු ප‍්‍රසුතිය එළඹි කල ඒ සඳහා ඇය තෝරා ගත්තේ කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලය.

"වැඩිම දරු උපත් හා අඩුම ළදරු මරණ අනුපාතය කාසල් එකෙනෙ” සුනිල් සෑම විටෙකම එය සාධරණීකරණය කලේ එලේසය! කෙසේ හෝ ඔහුගේ හා ඇයගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් ඇය පුතකු වැදුවාය.

සුනිල්ට ඇති වු සතුට නිමක් නැත. දරුවා ලැබෙන තුරු සුනිල් කාසල් රෝහල ඉදිරියේ එම රැයම නිදිවර්ජිතව සිටියේය. ඔහු රාත්‍රියේම ආරංචිය දැන ගත්තේ ලතාලාගේ අසල් වැසි රෝහලේ සේවය කරන  කාන්තාවක් මගිනි. කෙසේ හෝ කොළුපැටියාගේ මුහුණ එවෙලේම දැක බලා ගැනීමට තරම් හේ වාසනාවන්ත විය. ඌ අපූරු කොළුපැටියෙක් විය. දෙපයින් සිට උස පෙන්නන්නට නොහැකි දරුවා තුලින් දිගු ස්වාභාවයක් පෙන්නුම් කෙරිනි. සුනිල් සෑම විටකම බලාපොරොත්තු වුයේ පුතකුම විය. මෙම එක් වරු වියැති දරුවා තුළින් සුනිල් ආරෝහපරිනාහල ඍජුල දෘඪල කඩවසම් ගජ දන්ත වර්ණයෙන් හෙබි කඩවසම් තරුණයෙකු පිළිබඳ සිහින දිටීය.

කෙසේ වෙතත් පසුදින වනවිට ලතා හා දරුවා යන දෙදෙනාම රෝහලෙන් ගෙන යාමට හැකි බව වාට්ටුවේ හෙදියක් විසින් ලතා වෙත දන්වා තිබුනි. අප රටේ සෞඛ්‍ය සේවයේ හා රෝහල් තුල තිබුනු ඇඳන් සංඛ්‍යාවේ පිහිටෙන් දෙදෙනාටම සවස් වන විට ගෙදර යා හැකි බව වාට්ටුවෙන් නිළ වශයෙන් දැනුම් දී තිබුනේ දහවල් වන විටය.

රජයේ රෝහලක සිදුවන දරු උපතකින් පසු දරුවා රෝහලින් රැගෙන යාමට පෙර දරුවාගේ උප්පැන්නය ලියාපදිංචි කලයුතු බව  සුනිල් දැන ගත්තේ මෙවිටය. පාසැල් වියේ සිටම තමාට භාෂාව පිළිබඳ විශාල දැනීමක්ද එසේම නිර්මාණශිලි බවක්ද හිමි යැයි සුනිල් තනිවම සිතා සිටියේයග. එසේ සිතීම පවා ඔහුට මහත් ආශ්වාදයක් ගෙනදීය. විවාහයේ සිට මෙම දරු උපත තෙක් සිදුවු සෑම සියලූ කටයුත්තකදීම මූලිකව කටයුතු කල තම බිරිඳගේ පාර්ශවයෙන් අවම වශයෙන් තම දරුවාට නම් තැබෙන කාර්‍යයවත් තමා වෙත උදුරා ගත යුතු යැයි සුනිල් හට සිතිනි.

ලතාගේ මව හෙවත් තම නැන්දම්මා පැමිණ දරුවා දෙස බලා  "හරියට ලොකු පුතා පොඩිකාලේ වගේමයි . . . . . .” කියු අවස්ථාවේදී සුනිල්ට ඇති වු කේන්තිය මෙතකැයි කියන්නට බැරිය.

ලතාගේ කුසයට නමෝ විත්තියෙන් දරුවා පැමිණි පසු සුනිල් තම රැකියා ස්ථානයේ මිතුරෙකුගෙන් අසා දැන ගත් වෛද්‍යවරයෙකු හට ලතාව පෙන්නීමට සිතා සිටිමුත් ඒ කවුද? අර මිසිස් රත්නායකගේ දුවව පෙන්නපු ඩොක්ටර් ෂෝක්ලූ යන වගන්තියෙන්ම ඒ අදහස වෙනස් කර ගැනීමට සිදුවු සැටි සුනිල්ට මතක් විය. ඔව් මමම තමයි පුතාට නම දාන්න  ඕන නැත්නම් ඒකටත් ලොකු මස්සිනාගේම නම මේ යක්කු දමාවි "ෂෝක්"  කියලා.

දැන් දරුවාට නමක් තැබිය යුතුයග සුනිල්ගේ ඉහමොළ රත්විය පුතාට නමක් . . . . . ? පුතාට නමක් . . . . . . . ? ඔහුගේ සිතට එන්නේම නැත. උදේ මෙන්ම හවසද ලතාගේ දෙමව්පියන් මව සහ ළදරුවා බැලීමට පැමිණියහොත් දරුවාට සිරිසේන කියා හෝ නම දී දෙදෙනාට ගෙදර රැගෙන යන බව මතක්වී සුනිල්ගේ ඇඳුම් තෙත් විය . . . !

උපන් දරුවාගේ වේල්පත්කඩය උදේ එන විට රැගෙන එන්නට තරම් හැකියාවක් ඇති ඔවුනට විනාඩි කිහිපයකදී දරුවාට නමක් දෙන්නට බැරි කමක් නැත. සුනිල්ට සිතා බලන්නට වෙලාවක් තවත් ඉතිරිවී නැත. 

මේ දහවල් රෝගීන් බලන වේලාවයි. ඔහු වහාම වාට්ටුවෙන් එලියට පැමිණ රෝහලේ කොරිඩෝරයක බිත්තියේ සවිකොට තිබු රුපියල් දෙකේ කාසි මගින් ක්‍රියා කරන දුරකථනය වෙත ගොස් එමගින් කටුබැද්දේ සොයිසා පුර මහල් සංකීර්ණයේ ජීවත් වන තම මිතුරකු ඇමතීය. ඒ එම නිවාස සංකීර්ණයේම නිවසක ජීවත් වු දරුවන්ට නම් තැබීමට ප‍්‍රසිද්ධ සිංහල භාෂා ප‍්‍රාඥ්ඥයෙකුගේ උපදෙස් ලබා ගැනීමටය. කොටින්ම දරුවාට නමක් අසා දැන ගැනීමටය. ම්හු . . . . ! වැඩේ පටන් ගත් තැනම අසාර්ථක විය! මිත‍්‍රයා නිවසේ නැත. එසේම ඔහුගේ බිරිඳ සිංහල ප‍්‍රාඥ්ඥයාගේ නම වත් අසා නොතිබුනේය. ඔහු දස අතේ කල්පනා කරන්නට විය ගතවු සෑම මොහොතක්ම පොදු දුරකථනය වෙතවු පෝලීම තවත් වැඩි කලේය. තව දුරටත් රිසිවරය අල්වගෙන සිටිමෙන් සිදුවන යහපතක් නොමැති බව වටහා ගත් සුනිල් ආපසු හැරුනේය.

සුනිල් කාසල් ගේට්ටුව අසලට පැමිණියේ හීනෙන් මෙනි. නමක් යන දෙය ගමේ කඩෙන් සාප්පුවෙන් ෆාමසියෙන් තියා හාර්ඩ්වෙයාර් එකකින් වත් ලබාගත නොහැකි දෙයක් වග ඔහුට මතක් විය. හාර්ඩ්වෙයාර් එකකින් හෝ මෝටර් ස්පෙයා පාට්ස් කඩයකින් ලබා ගත හැකි දෙයක් උනානම් ගල්වල පාරෙන් හෝ පංචිකාවත්තෙන් එය සොයා ගැනීම සුනිල් හට කජු කනවා වාගේ වැඩකි. එහෙත් නමක් යනු එවන් දෙයක්ද . . . ?

තමා කුඩාකල පියා සමඟ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ තම හිස අතගා නම පරිස්සම් කර ගන්න  ඕනෑ හොඳඳ? යනුවෙන් පැවසු සැටිත් පසුව ගෙදර පැමිණ ඒ පිළිබඳව ඇති වු කතා බහේදී තමන්ට "සුනිල්" යන නම දී ඇත්තේද ලොකු හාමුදුරුවන් විසින් යැයිද දැන ගත් පසු තමා තුල ඇති වු ආඩම්බරය නැවත සුනිල්ට දැනෙන්නට විය. ඇත්තටම නමක් මොන තරම් වටිනවාදැයි මේ තරම් හොඳින් ප‍්‍රත්‍යක්ෂ වු තවත් අවස්ථාවක් සුනිල්ගේ ජීවිතයේ නැති තරම්ය. තමාගේ තාත්තා බිම වැටී තිබුනු සතයේ කාසියක් වැනි අඩු වටිනාකමකින් යුතු යමක් ඇහිඳින විට නිතරම වාගේ කටපාඩමින් පැවසු යමක් සුනිල්හට මෙවෙලේ මතක් විය.

"ඕන දෙයක් නැති වෙන්න  ඕන ඒකෙ අගය තේරෙන්න . . . . . . . !”

ළමයින්ට යෙදෙන නම් සඳහන් පොත් පොත් සාප්පුවල ඇති බව සුනිල්ට මොහොතකින් මතක් විය. එහෙත් කොහොමද ඒක කරන්නත් පොතක් ගන්නටත් එළියට යන්න  ඕනෑය. දහවල් ලෙඩුන් බලන වේලාව දැන් ඉකුත්වී ඇති හෙයින් එළියට ගියහොත් මෙදාපොටේ හවස් වන තුරු ආයෙත් ඇතුළට ඒම ගැන සිතන්නටවත් බැරිය. මෙසේ දෙලොවක් අතර කල්පනා කරමින් සිටිනාතර තුර හදිසියෙන් දුටුවේ ගමේ; තමංගේ ඈතිං නෑදෑවෙන යෝතං මමා; ගේට්ටුව අසල සිට රෝහල දෙස බලා සිටින අයුරුය. ගේට්ටුව ආසන්නයට ගොස් මාමාට කතා කල සුනිල් කථා කිරීමට පෙර යෝතං මාමා ඉස්සර විය.

"ළමයෝ උඹ මෙහේද රස්සාව කරන්නේ . . . . . . . ?”

 "නෑ මාමේ මගේ වයිෆ්ට බබා හම්බවෙන්න එක්ක ගෙන ආවා . . . . . ”

"කාට . . . . . .?”

 "පවුලට . . . . . !”

 "ඔය ළමයා බැන්දද . . . . . . . ?” අපිට නිකංවත් මතක් කලේ නෑ මයේ හිතේ . . . . . ?”

යෝතං මාමා මුණ ගැසීම ඔහුගේ සුනිල්ගේ සිතට කිසියම් සැනසිල්ලක් ගෙන ආවේය. ඒ මාමාට කියා නමත් අසා දැන ගැනීමට නොව ඔහුව මරදානට යවා පොත් කඩයකින් නම් පොතක් ගෙන්වා ගැනීමටය.

 "හදිසියේ බැන්දෙ මාමෙ . . . . . . . . !”

 "ඒ මොකද බං ඒ . . . . ?” යෝතං මාමා ගේට්ටුව වෙත තවත් ළංවිය. එයට දීමට තරම් සාර්ථක පිළිතුරක් නොමැතිවු තැන සුනිල් නිහඬ වුවේය. තවත් විනාඩි ගණනක් නිකරුනේ ගෙවී යන්නට හැර බලා සිටි සුනිල් තමාගේ අවශ්‍යතාවය ඉදිරිපත් කලේයග යෝතං මාමාට කාරණාව පහදා දීමට වඩා වැඩි කාලයක් ගියේ මාමා විසින් යෝජිත  "පියදාස”  "රංජි”  "සාන්ත”  "කුමාර” වැනි නම් ප‍්‍රතික්ෂේප කිරීමට හේතූ සාධක සොයන්නටය.

 "පියදාස . . . හාපෝ පේනනේ නැද්ද බදුල්ලවල ඉන්න පියදාසගෙ හැටි”

 "රංජි . . . . ? අපේ මැරිච්ච බාප්පගෙ නමනෙ”

 "සාන්ත . . . ? සාන්ත කිව්වොත් ආයේ දෙපාරක් බලන්න දෙයක් නෑ එපා කරපු එකෙක් තමයි”

ඔය විදියට සුනිල් මහත් වැර වෑයමක් ගෙන තර්ක විතර්ක කිරීමෙන් පසු යෝතං මාමාට නම් පොතක් ගෙනෙන්නට මරදාන බලා යෑමට එකඟ කර ගත්තේය.

සුනිල් යෝතං මාමා රුපියල් දෙසීයක්ද දී මරදානේ පොත් සාප්පු තිබෙන ස්ථාන පිළිබඳ හොඳ විස්තරයක් සපයා නම් පොතක් ගෙන ඒමට පිටත් කර හැරියේය.

මාමාද  "සුනිල් ළමයා” ලියාදුන් පරිදිම 176 හෙට්ටියාවත්ත බසයකින් මරදානට ගොස් පොත සෙවීමට ඇරඹීයග ගොඩගේ සාප්පුව,  දයාවංශ සාප්පුව, සිට  සමයවර්ධන, පසුකොට මාමා තවමත් පොත සොයමින්ය. අවසානයේ  "තිසර” සාප්පුවෙන් දුන් හෝඩුවාවක් ඔස්සේ ගිය මාමාට  "රත්න” එකෙන් නම් පොත ලැබුනි.

එයද අළුත්ම එකක් නොවුනි. කවුරුන් විසින් හෝ කලින් පාවිච්චි කරන ලද පොතක්යග පොත දිග හැර වැසු සැනින් අළුත උපන් දරුවා වෙනුවෙන් කාවුන් කිහිපදෙනෙකු දිවි පිදීය. මාමා රුපියල් දෙසීයෙන් සෑහෙන මුදලක් ද ඉතිරි කරගෙන පැයකට පමණ පසු සුනිල් ළමයා ලියාදුන් පරිදි 176 කින් නැවත කාසල් ගේට්ටුව අසල මග බලා සිටි සුනිල්ගේ මුවග සිනහවක් ඇඳි ගියේය. නමුත් එම සංතෝෂය රැඳි පැවතියේ මාමා අතින් පොත ගේට්ටුවේ යකඩ කූරු අතරින් සුනිල්ගේ අතට පත් වෙන තුරු පමණි. පොත තුලින් දිස්වු කාවුන් කෑ පැරණි ස්වාභාවයම සුනිල්ගේ අසතුටට හේතු වියග ඔහු එය අතට ගනිත්ම පෙරලීය.

ඇම්බැක්කේ

ගඩලාදෙණිය

ලංකාතිලක විහාරය

 දෙගල්දොරුව

පිලිකුත්තුව

. . . . . . . . . . . . . .

. . . . . . . . . . . . . . 

එය මීට කලකට පෙර දහම් පාසැල් වල වණපොත් කිරීමට දුන් ලංකාවේ පැරණි සිද්ධස්ථාන නාමාවලියකි. සුනිල්ට  යකා නැග්ගේය. ඒ සමඟම වාට්ටුවේ ඇඳක වැතිර සිටින තම බිරිඳ සිහීවීමත් සමඟ යකා බිමට බැස පසු කොට පයින් ඇවිද ගියේය.

 "මම කිව්වේ නම් තියෙන පොතක්නෙ ඒ කියන්නේ නම් තියෙන පොතක්  නේ . . . . . . . . . .”

 "මම දන්න මගුලක් නෑ! මාත් සුද්ද සිංහලෙන් නම් පොතක් කියලා තමයි ඉල්ලූවේ උං දුන්නා මං ගෙනාවා එච්චරයි . . . .”

 "හරි . . .  හරි . . . .  මටයි වැරදුනේ . . . . . . .”

  "ඒක මිසක් . . .  මං කියලා ගොනෙක්යැ . . . . . . .”

 "අනේ මාමෙ තරහා නැතිව ආයෙත් මරදානට ගිහින් ළමයින්ට දාන නම් තියෙන එකක් අරන් එනවාද? . . . . .” සුනිල් මාමා ළඟ පිං සෙන්ඩු විය.

 "ඔය ළමයා කොහේද වැඩ කරනවා කිව්වේ . . . . . ?”

 "මේ . . . .   මේ . . . .  ගාමන්ට් එකකනේ . . . . . . ”

"අපේ ලොකු කෙල්ල බඳින්න එන එකාත් රස්සාවක් හොයනවා . . . . .   බැරිද . . . . . .” යෝතං මාමාට කතාව ඉවර කරන්නවත් සුනිල් ඉඩ නොදුනි.

"අයියෝ මාමෙ මොකද්ද කෙරෙන්න  ඕන . . . . . . ?” රස්සාවක්ද . . . . . . ?  එක්ක එන්නකෝ වෙලාවක”

යෝතං මාමාගෙ හීසේ මලක් නොව මල් පොකුරක්ම පිපුනා ලෙසය මල් පොකුරක් නොව මල් පඳුරක් කීවොත් වැරැද්දක් නැත ග

"මොකද්ද පුතේ දැන් මගෙන් කෙරෙන්න  ඕනෙ . . . . . . ?”

"අනේ මාමෙ තරහා නැතිව ආයෙත් මේ පොත ගත්තු කඬේටම ගිහින් මේක දීලා ගේනවද ළමයින්ට දාන නම් තියෙන පොතක්? මතක ඇතිව කියන්න ළමයින්ට දාන නම් තියෙන පොතක් කියලා . . . . . "

"මොකට තරහා වෙනවද ළමයො ? මොකද අපි පිට මිනිස්සුයැ . . . . ?" යෝතං මාමා මවාගත් කරුණාවකින් යුතුව පැවසීය!

මාමා පිටත් විය. පළමු වතාවට වඩා බොහෝ වේලාසනින් මාමා ආපසු පැමිණියේය. සුනිල් පොත ගත්තේ දෙගිඩියාවෙනි. එහෙත් පොතෙහි කවරය දුටු සැනින් සුනිල්ගේ සැකය හිරු දුටු පිණිසේ වාෂ්ප විය.

"දුවට පුතාට නිවසට ව්‍යාපාර ස්ථානයට ගැළපෙන නමක්"

පොතෙහි පිටකවරයේ ඉහලින්ම ලොකු අකුරින් ලියා තිබුනි. ඊළඟට "නාමකරණය" යන්නය. වෛද්‍ය ශිරෝමණි හෙට්ටිආරච්චි මුහන්දිරම් මහතා විසින් සම්පාදිතයි යනුවෙන් ඒ සියල්ලටම පහළින් ලියා තිබෙනු ඔහු නුදුටුවාසේය.

"තැන්කිව්" මාමෙ මේ මේ ළමයෝ මාමාට හිතන්නට යමක් ඉතිරි කල සුනිල් එතැනින් ඉගුලූනි.

කොරිඩෝරය ඉදිරියට පැමිණි ඇටෙන්ඩන් කෙනෙකුට මග හැරීමට ඔහුට පසෙක වු කුළුනකට මුවා වන්නට සිදු විය. ඉදිරියට ගිය රෝහල් කම්කරුවන් තිදෙනා නිසා ඔහුගේ වේගය සීමා කරන්නට සිදු විම ගැන සුනිල්ට කේන්ති ගියේය. "යන්න බැරි නම් යන්න පුළුවන් කෙනෙකුට යන්න දෙන්න  ඕනෑ . . !" ඔහු තනිවම සිතයි කෙසේ හෝ තවත් විනාඩි ගණනක ඇවෑමෙන් සුනිල් දරුවන් ලැබුනු මව්වරුන් රඳවා තැබෙන වාට්ටුව වෙත කිට්ටු කලේය.

ඉවෙන් මෙන් ලතාගේ ඇඳ වෙතට පැමිණි ඔහු කිසිඳු කථාවකින් තොරව පළමු පිටුව විවර කලේය.

"නමෝ බුද්ධාය" පළමු පිටුව පෙරලූ සැණින් දිස්විය රෝම ඉලක්කම් ගණනාවකින් නොම්මර යොදා තිබුනු සංඥ්ඥාපනයෙන් අනතුරුව අ යන්නට පැමිණියේයග මේ කිසිවක් තේරුම් ගත නොහැකි වු ලතා තම සැමියාගේ දකුණු අතේ දබරැඟිල්ල විටෙක මුවටත් තවත් වරෙක පොතේ පිටු අතරත් රැඳෙනු බලමින් සිටියේය. එම පිටුවේ ඉහළ කෙළවරේ තද කළු පැහැති අකුරින් "ශ‍්‍රී සුගතිඳු නමව් සර්‍ව කල්" යනුවෙන් අවධාරණය කොට තිබුණිග ඊළඟට නාමකරණය හෙවත් නම් තැබීම ඇරඹී තිබුනි.

අමිතෝදන

අමර කාන්ත

අනංගලාල්

අශ්වඝෝෂ

අලකේශ්වර

අග‍්‍රිම

අර්කබන්දු

සුනිල් ලතා දෙස බැලූවේවත් නැත කේන්ති ගිය විට ලතාගේ මුහුණේ සුන්දරත්වය සුනිල් හොඳින් දනී එය ගමේ පන්සලේ මකර තොරණටත් එහාය.

"විකාර . . . ! ඔය කෙහෙල්මල් පොත් ඕන නෑ. අපි ඔය සාමාන්‍ය නමක් දාමු" කතාවේ නැවතීමේ තිත තබන්නටත් කලින් සුනිල් ගේට්ටුව වෙත එමින් ගමන් පොතේ සංඥාපනයට යොදා තිබුනු දාතම බැලූවේය. එය ලියා තිබුනේ ලංකාවට සුද්දා නිදහස දෙන්නට පෙර පමණක් නොව ජපානයෙන් කොළඹට බෝම්බ දමන්නටත් පෙරය!

නැවත ගේට්ටුව ළඟට පැමිණ ඔබ මොබ බැලූමුත් යෝතං මාමා ""පිඳුරු ගොඬේ වැටුනු ඉඳි කටුව බවට පත්වී තිබුනි.

සුනිල් වහාම පිටත් වියග බසයක් එනතුරු නොසිටි ඔහු බොරැල්ල දෙසට වේගයෙන් ඇවිද ගෙන ගියේය. සේනානායක හංදියේ වර්ණ සංඥා එළි අසල නවතා තිබුනු 103 නාරහේන්පිට-කොටුව බසයක එල්ලූනු ඔහු තවත් විනාඩි ගණනකින් මරදානේ විය.

බසයෙන් බැස මොහොතකින් ඔහු අසලවු පොත් කඩයක් වෙත රිංගීය. එහි කවුන්ටරය වෙතට ගොස් එහි සිටි තරුණිවක් වෙතට නැඹුරු විය. කථා බහෙන් ඉක්බිතිව ඇය අසල වු පොත් අල්මාරිවක් වෙතට ඇදුනි සුනිල් තම කමිසයේ උඩ සාක්කුවේ තිබුනු දරුවාගේ වේලාපත් කඩය රහසින් මෙන් මදක් ඉවතට ගෙන එහි සඳහන් අකුරු දෙක හොඳින් බලා ගත්තේය. "ව" යන්න "ක" යන්න "ග" යන්න! මොහොතකින් පොතක් වීදුරු ෂෝකේසය මතට පැමිනුණි.

"මේ වගේම තවත් එකක් තිබුනා . . !" තරුණිය දිගටම මොනවදෝ කියවාගෙන යනවා සුනිල්ට යාන්තමින් හීනෙන් මෙන් ඇසුනි ඔහු තම හිස නොඋස්සාගෙනම පොත පෙරලා ගෙන යයි.
 සිංහල හෝඩිය මතකයට එන්නේම නැත. "ග" ඔහුට යාන්තමින් හෝ මතකයට එන්නේ ස්වර කිහිපය හා ය ර ල ව අං අඃ කියන අකුරු කිහිපය පමණිග තවත් ස්වල්ප මොහොතකින් පොත ඒ මේ අත කිහිප වරක් පෙරලීමෙන් "ව" යන්න සොයා ගත හැකි විය. දරුවාට නම තැබීම සඳහා "ව" යන්න තෝරා ගත් සුනිල් "ග" යන්න සම්පූර්ණයෙන් අමතක කර දැම්මේය. ඔහුගේ දෑස් වේගයෙන් ඉහළ පහළ දුවමින් තිබී එකවරම එක් අකුරු තුනක් මත නැවතිනිග

කවුරුවත් කාටවත් යොදා නොමැති අර්ථාන්විත තේජාන්විත නිර්මාණශිලි නැවුම් නම:-  "වසික- ගෞරවය"

මම අනිත් කඩෙත් බලලම එන්නම් සුනිල් ලිස්සා ආව්ය.

සීමිත වැටුපකට සේවය කරන සේවිකාව එයට හා කියන්නවත් උනන්දු නොවීය. සුනිල් වහාම යාබද කඩයට රිංගුවේය. එහි අයකැමිගෙන්  බෝල් පොයින්ට් පෑනක් මිළදී ගත් හේ තම වම් අත හොඳින් කලිසමේ අතුල්ලාගෙන එහි ලියන්නට විය. "වසික-ගෞරවය" එකවරම ලියා ගන්නට නොහැකි වුවත් දෙතුන් වතාවක් ලිවීමෙන් දරුවාගේ අනාගතය අතේ සනිටුහන් කරගැනීමට සුනිල්ට යාන්තමින් හැකි විය.

සුනිල් වාට්ටුවට යන්නට පෙර ගේට්ටුවෙන් අසා දැන ගත් පරිදි ගොඩනැගිල්ලේ කෙලවරකවු උප්පැන්න සහතික කාර්යාලයට ගොඩ වැදුනි කාර්යාලයේ වැසෙන්නට ඔන්න මෙන්න වු කවුන්ටරයෙන් පෝරමයක් ලබා ගත්තේය. සිරිත් පරිදි  පෝරම කොලය සමග නූලකින් ගැටගසා තිබුනු පෑනක් කවුන්ටරයේ ඇතුලින් පිටතට ලැබුනි.

"පෑන එපා . . . !" සුනිල් ආඩම්බරයෙන් පැවසීය "පෑනක් තියෙනවා . . . . !"

පෝරමය පුරවා දුන් සුනිල් වාට්ටුවට ඉගිලූනි. සුනිල් වාට්ටුවට එන විට ලතාගේ දෙමාව්පියන් පැමිණ ඇය ගෙදර රැගෙන යාමට සියල්ල සූදානම් කර අවසානය. තවත් ඉතිරිව ඇත්තේ උප්පැන්න සහතිකය හා සම්බන්ධ කර්ථව්‍ය පමණි. සුනිල්ගේ පරක්කු වීම ගැන ලතා හා දෙමාපිය දෙපළ සිටියේ තරමක අමනාපයකිනි.

දැන්වත් යන්තං නමක් සොයා ගත්තද? ලතා මුහුණ අඳුරු කරගෙනම විමසීය.

"ඔව් වොව් නම දීලා ෆෝම් එකත් පුරෝල දීලයි ආවේ . . "

"පුදුමයි! මොකද්ද නම?

"වසික . . . . !"

"මොකක් . . . ?"

"ව සි ක . . . . !"

"වසික . . . . ?"

"ඔව් ඇයි . . . ? දන්නැද්ද තේරුම . . . . ?"  සුනිල් තමා එතෙක් දැන සිටි නමත් වචනයක් ලෙස සුපුරුදු බවක් පණ්ඩිත බවක් දැක්වීය.

'හරි හරි ඹ්න කෙහෙල්මලක් යමු යමු පරක්කු වෙනවා . . . !" ලතාගේ පියා සුපුරුදු ලෙස පැවසීය.

කාලය ගෙවී ගියේය. දරුවා බලන්නට සබන් පවුඩර් රැගෙන පැමිණුනු සෑම අයෙක්ම ආපසු ගියේ සිංහල භාෂාවේ අළුත්ම වචනයද රැගෙනය.  ඒ  "වසික" යන්නය!

"වසික- ගව්රවේලූ" ඔවුන් මුමුණමින් ගියහ.

තවත් මාසයක් දෙකක් ගෙවුනි. දිනක් සුනිල්ගේ නමට දිග ලියුම් කවරයක දමන ලද ලිපියක් ලැබුනි.

ලතාලාගේ ගෙදර උදවිය කවදත් දිග ලියුම් කවර වලට කිසියම් බය පක්ෂ බවක් දැක්වීය. සුනිල් එනතුරු ලතාවත් එය විවර කලේ නැත. දිනය ගෙවී සැන්දෑව එළඹුනි. සුනිල් ගෙදර වැට පනින විටම ලතා ලිපිය සුනිල් අත තැබීය. තමා විසින්ම ලියා දෙන ලද කවරයේ සඳහන් ලිපිනයේ අත් අකුරු පිළිබඳව සුනිල්ගේ අවධානය යොමු නොවුවත් ආපසු ලිපිනය ලෙස රබර් මුද්‍රා තබා ඇති උප්පැන්න රෙජිස්ටාර් යන්න දුටු සැනින් සුනිල්ගේ මුව විවර විය!

"පුතාගේ උප්පැන්නෙ . . . . . !"

සුනිල් ලිපියේ පොත්ත පලා මදය එලියට අදිමින් පැවසීය. ඔහු එය වේගයෙන් දිග හැරියේය. ඒ ලංකාවෙන්ම තම ආදරණීය පුතාට පමණක් ඇති නම බැලීමටය.

අභාග්‍යක මහත එහි වසික යනුවෙන් කිසිම තැනක සඳහන් වී නොතිබුනි.

"දරුවාගේ නම: සුනිල් පෙරේරා"

"පියාගේ නම: සුනිල් පෙරේරා" 

යනුවෙන් ඇද නැතිව එහි රවුම් අකුරෙන් ලියා එවා තිබුනි.

හදිස්සියක තරම . . . . . . . . ! ඒ; ඉස්පිරිතාලයේ උප්පැන්න කවුළුවට ලබා දුන් පොරමය සුනිල් පුරවා දී තිබූ ආකාරය ය!

මටත් දෙන්නකො බලන්න ලතා සුනිල් අත වු හිස් ලියුම් කවරය ඇල්ලීය.

මොකද? උප්පැන්න දැකලා නැද්ද ? සුනිල් එක් අතකට පමණක් නවා තිබුනු උප්පැන්නය අනෙක් අතටත් නවමින් ගේ තුළට ඇදී ගියේය.

Sunday, September 15, 2024

289. 88/89 . . . !



88/89 කියන්නේ අදින් වසර 36 කට පෙර කථාවක්.

අදටත් ජවිපෙට ඇති දරුණු සහ එකම චෝදනාව මෙය වීම තුල අනියමෙන් කියැවෙන්නේ ගතවූ වසර 36 තුල අප කිසිදු අපරාධයකට හවුල්වී නැති බවම නේද? මෙරට අනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත්; එම පවිත්‍රතාවයට අලගු තැබීමටවත් නොහැකි බව මා කීමට අනවශ්‍ය බව ලියා තබමි.

1971 කැරැල්ලේ චූදිතයින් හට එල්ලවූ චෝදනාව වූයේ 'මහා බ්‍රිතාන්‍යයේ රැජිනට විරුද්ධව කටයුතු කිරීම' බව ඔබ නොදන්නවා විය හැක.

පැවති සමගි පෙරමුණු රජය පිළිබඳව කළකිරුණු ලාංකිකයින් ජේ ආර් ජයවර්ධන 1977 දී රටේ පාලනය ලබාදේ.

1978 අපරාධ යුක්ති කොමිශන් සභාව අහෝසි වීම සමගම පක්ෂයේ සැලකියයුතු  පිරිසක් සමාජයට පැමිනීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ජවිපේ එකතුවේ.

1978 වසරේ පැවති ආනමඩුව, හොරොව්පතාන ඇතුළු අතුරුමැතිවරණ හතරකට ජවිපෙ සටන් වදී. 

සිර ගෙවල්වල සිට නිදහස ලබා පැමිණීමෙන් පසු ජවිපෙ පළමු වරට 1978 දී මුහුණ දුන් කොළම මහ නගර සභා මැතිවරණයට උපතිස්ස ගමනායකගේ නායකතවයෙන් කණ්ඩායමක් ඉදිරිපත් වූහ. මෙහිදී සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ අභිබවා ඡන්ද ලබා ගැනීමට හැකිවිය.

1979 දෙසැම්බරයේදී ගාල්ල ආසනය සඳහා පැවැත්වූ අතුරු මැතිවරණයට අප තරඟ වැදුනෝය. 1980 අගෝස්තු මස ආනමඩුව අතුරු මැතිවරණයටද ජවිපෙ ඉදිරිපත් විය. මේ සියළු මැතිවරණ වලින් ඔවුන් තෙවැනි තැනට පත්වී තිබුනද ජනතාව සම්ප්‍රදායික වමට ඉහලින් අපව ඔසවා තබා තිබුනි.

1981 සැප්තැම්බරයේදී සම්මත කරණ ලද දිස්ත්‍රික් සංවර්ධන සභා පනත අනුව 1981 ජුනි මස දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්විණි. ජවිපෙ ඉතිහාසයේ ප්‍රථම වරට මහජන ඡන්දයකින් ජනතා නියෝජිතයින් 13 දෙනෙකු පත් වන්නේ මෙහිදීය. දිස්ත්‍රික්ක 8ක් සඳහා පමණක් අප තරග වැදුනු අතර අපට ඡන්ද 327,149 ක් ලබා දීමට ඡන්ද දායකයින් නොමසුරුවී තිබුනි. 

ජයවර්ධන ජනාධිපතිවරයා එතෙක් රට තුල පැවති මැතිවරණ සම්ප්‍රදාය මුළුමනින්ම විනාශ කර දැමීමේ ආරම්භ කරණ්නේ මේ සමගය. එතැන් පටන් 1989 තෙක්ම ආණ්ඩුව හැසුරුනේ මේ ආකාරයටය. උතුරේ ජනතාවගේ සිත් සතන් තුල දකුණේ ආණ්ඩුව පිළිබඳ වෛරයක් ඇති වන්නට හේතු වූ පළමු සිද්ධිය මේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයයි. 1981ජුනි 4 වෙනිදා ඡන්දය කොල්ල කෑමට;  රනිල් වික්‍රමසිංහ, ගාමිණී දිසානායක, සිරිල් මැතිව්, රනිල් වික්‍රමසිංහ, ෆෙස්ටස් පෙරේරා ඇතුළු එජාප මැරයෝ කුරුණෑගලින් දුම්රියක්  පුරවාගෙන මැයි30 ත් ජුනි 03 ත් අතර යාපනයට කඩා වැදුනහ!

1981 වන විට යාපනය පුස්තකාලයේ වෙළුම් 97,000ක පොත් එකතුවට අමතරව 16 වන සියවසේ යටත් විජිත ලේඛන ඇතුළුව අති ලියන ලද අත් පිටපත් 10,000ද රැස් කර තිබුනේය. එහි ඉතා දුර්ලභ පොත් එකතුවේ 19වන සියවසේ මුල් භාගයේ ඇමරිකනු මිෂනාරිවරුන් විසින් ලියන ලද පොත් සියල්ලේම පිටපත් තිබුනි. 1971 පරණවිතාන මියගිය පසු;  පොත් සහ ඔහුගේ සටහන් අත්පිටපත් ඇතුළු පුස්තකාලය වෙන්දේසි කිරීමේදී එහි පැමිණියේ පේරාදෙනිය සරසවියේ නියෝජිතයින් හා දෙමළ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු පමනි.. සරසවි නියෝජිතයින් එම එකතුවට රුපියල් 12500 ක ලන්සුවක් තබද්දී දෙමළ ව්‍යාපාරිකයින් ඊට 25000 ක ලන්සුවක් තබා රැගෙන ගොස් යාපනය පුස්තකාලයට පරිත්‍යාග කලහ. "මධ්‍යම කාලීන සිංහල කලා" පිළිබඳව විශ්ෂ්ඨතම ග්‍රන්තය රචනා කල ආචාර්‍ය ආනන්ද කුමාරස්වාමි සටහන් අත් පිටපත් සියල්ලද එජාප නායකයින් ගිණිතබා විනාශ කලහ!

වසර 30කට ආසන් කාලයක් මුලුල්ලේ පැවති ඊලාම් යුද්ධයේ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 200ක් බව අස්තමේන්තු කොට ඇත. ඒසා විශාල හානියක් ඇතිකල ඊළම් යුද්ධයේ හැරවුම් ලක්ෂය වන්නේ යාපනය පුස්තකාලය ගිණි තැබීමයි!

යාපනයේ තරම් මැර ක්‍රියා දිවයිනේ සෙසු පලාත්වල ඇති නොවූවද; ශ්‍රිලනිපය වර්ජනය කල මෙම මැතිවරණයේ එජාපයේ එකම ප්‍රථිවාදියා වූයේ ජවිපෙයි. අප තිස්සමහාරාමය ආසනයේ සංවර්ධන සභා මැතිවරන ව්‍යාපාරයේ  යෙදී සිටියදී හම්බන්තොට පාර්ලිමේන්තු මංත්‍රී පී එම් බී සිරිල්ගේ මැරවරයෝ ජවිපෙ මැතිවරණ අපේක්ෂක බඳගිරියේ ජේ ආර් ඩී සිරිපාල හා තවත් පක්ෂ සාමාජිකයෙකුවූ කතරගම නන්දන ගමන් ගනිමින් සිටි ත්‍රී රෝද රථය ගිනි තබා ඔවුනට පහර දුන්හ.

මෙවැනි සිදුවීම් අප තරග කල අනෙකුත් දිස්ත්‍රික්ක වලින් ද බොහෝ විට වාර්ථා විය. ආණ්ඩුවේ මැර ප්‍රහාර වලට එරෙහිව ප්‍රතිප්‍රහාර නොකරණ්නට පක්ෂය ගෙන තිබූ දේශපාලන තීන්දුවක් හේතුවෙන් ප්‍රතිප්‍රහාර  කරණ්නට ගියේ නැත. ජවිපෙ සෑම විටෙකම කලේ නීතිමය මැදිහත් වීම්ය. පොලීසිය පැමිණිළි කිරීමෙන් ඵලක් නොවුනත් අප හැමදාමත්ම කලේ එවැනි ප්‍රශ්ණ හමුවේ පැමිණිල්ලක් කිරීමය!

නිති පතා සිදුවන මෙම අසාධාරණ මැර ක්‍රියා ඉවසා සිටිය නොහැකි අවස්ථා කිහිපයකදී ජවිපෙ පිරිස් එජාම මැරයන්ට ප්‍රථි ප්‍රහාර එල්ල කල අවස්ථාද නැතිවාම නොවේ.

කැකිරාවේදී මහින්දසෝම හා ඔහුගේ මැරයන්ට පහර දීම, 1982දී මහියංගනයේදී ඇමති සී පී ජේ සෙනෙවිරත්නගේ මැරයන් හට එළව එළවා පහර දීම, 1982 දෙල්ගොඩදී ගෝනවල සුනිල්ගේ  මැර කණ්ඩායමට ප්‍රථිප්‍රාහර එල්ල කිරීම වැනි සිද්ධීන් ඉතිහාසයේ ඇත. එහෙත් මෙම ක්‍රියා සම්බන්ධයෙන් පක්ෂය තුලින්ම ප්‍රතිවිරෝධතා පැන නැගුනෙන් නැවත එවන් අවස්ථාක් ඇති නොවන්නට ස්ථිර ලෙසම අදිටන් කොට තිබී ඇති අතර පක්ෂය තුලින් එල්ලවූ ප්‍රධානතම අදහස වූයේ මෙවන් ගැටුම් දඩමීමා කරගෙන රජය අපගේ මුළු මහත් දේශපාලන ව්‍යාපාරයම මර්ධනය කිරීමට අවසර පතක් ඔවුන් විසින්ම ලියා ගැනීමට ඇති හැකියාවය!

1977 දී බලයට පත්වන ජේ ආර්; 1978දී ඔහු විසින්ම ලියා ගන්නා ව්‍යවස්ථාවකින් ජනාධිපති තනතුර අත්පත් කර ගත්තේය. ජනාධිපති වරයෙකු තෝරා ගැනීම සන්නදහා පැවැත්වූ පළමු ජනාධිපතිවරණය පැවැත් වෙන්නේ 1982 දීය. 

ජේඅ ආර් ප්‍රසිද්ධියේ කියැවූ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඔහුගේ ක්‍රියාව තුල කිසි සේත්ම නොවීය. වරක් කැළණිය සිසුන්හට පහර දීමට පැමිණි එජාප මැර කණ්ඩායමක ක්‍රිටෝපර් නමැති මැරයා සිසුන්ගේ පහර කෑමට ලක්ව මිය ගියේය. ඔහුගේ මළ ගමට පැමිණි ජේ ආර් ඔහුව හඳුන්වා දුන්නේ ජාතික වීරයෙකු ලෙසය! 

මේ වන විට ජේ ආර්ගේ ප්‍රධානතම ප්‍රථිවාදියා වූ සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබුනි! ජනාදිපති අපේක්ෂකයා ලෙස ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්වූයේ හෙක්ටර් කොබ්බෑකඩුවය. ජේ ආර් සමග; රෝහණ විජේවීර, කොල්වින්, වාසු, ජී ජී පොන්නම්බලම් මේ සඳහා ඉදිරිපත්වූහ. රෝහණ විජේවීර එවරද තුන් වැනි ස්ථානයේ තැබීමට ලාංකික ඡන්ද දායකයා කටයුතු කර තිබුනි. ලැබුනු ප්‍රථිශතය 4.19% කි. 

1977 වසරේදී බලයට පත්වන පාර්ලිමේන්තුවට නැවත්ත බලාත්මක වීමට 1982 වසරේදී මහ මැතිවරණයක් පැවැත්වීම අනිවාර්‍ය කාරණයක් විය.

1977 දී 5/6 ක බලයක් ලත් ජයවර්ධන හට එම පාර්ලිමේන්තු බලය තවත් වසර පහකට දීර්ඝ කර ගැනීමට ඇති අවශ්‍යතාවය කරණ කොටගෙන 1982 අවසාන කාර්තුවේදී ජනමත විචාරණයක් පවත්වන බවට ප්‍රකශයට පත් කලේය.

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය තුල ලාම්පු - කලගෙඩි මැතිවරණය ලෙස කුප්‍රකටව ඇත්තේ මෙයයි.

ඒ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රථිපාදන නොතිබූ අතර 1980 නොවැම්බර 4 වනදින; ව්‍යවස්ථාවට සිව් වැනි සංශෝදනයක් ලෙස 161 (ඉ )  ඡේදය ඉවත් කොට අලුත් ඡේදයක් එක් කලේය!

"ඇත්ත", "ජනදින", යාපනයේ "සුනන්දිරන්" යන පුවත් පත් වලට සීල් තැබුවේය. විපක්ෂයේ පෝස්ටර් , පත්‍රිකා මුද්‍රණය කල මුද්‍රණාල වලට සීල් තැබුවේය. මේ කුමන්ත්‍රණය සනාථ කිරීම සඳහා  නැක්සලයිට් චෝදනාව යටතේ නොවැම්බර් 19 වනදා විජය කුමාරණතුංගව සිර භාරයට පත් කරයි. එවකට ඔහු ශ්‍රිලනිපයේ උප ලේකම් විය.

අවිගත් මැරයෝ ඡන්ද පොල වලට පැන හොර ඡන්ද දැමූහ.

ඡන්ද ගනන් කිරීමට පෙට්ටි විවෘථ කරණා විට ඒවා තුල තිබී හමුවූයේ ඡන්ද පත්‍රිකා මිටි ය!

විපක්ෂ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ සහ පීටර් කේනමන් ඡන්දයද හොරට දමා තිබුනි. 1982 දෙසැම්බර් 22 දින ජේ ආර්ගේ මැතිවරණ සිතියම හැකිළීමේ යෝජනාවට ඊනියා ජයක් ලැබුනි.

ජනමත විචරණයට පෙර සියළුම මංත්‍රීවරුන්ගෙන් දින රහිත අස්වීමේ ලිපියක් ලබා ගැනීමට් ජේ ආර් කටයුතු කලේය.

කේවළ ඡන්ද ක්‍රමය යටතේ 1977 දී ජයගත් මන්ත්‍රී ආසන 168න් 48ක් එජාපය පරාදවී තිබුනි. මේසා විශාල භීෂණයක් මුදා හැරියද කළුතර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වන්නි, මඩකලපුව, ත්‍රීකුණාමළය  යන දිස්ත්‍රික්ක වලදී ආණ්ඩුව පරාජය වී තිබුනි. පරාජයට පත් උතුරු නැගෙනහිර ආසන 19 හැර ඉතිරි ආසන 29න් 18ක් සඳහා අතුරු මැතිවරණ පැවැත්වීමට 1983 මැයි 18 දාට යොදා ගැනිනි.

1983 මැයි මස පැවැත්වීමට යෙදුනු අතුරු මැතිවරණයට මුහුණ දීමට විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ඉදිරි පත් කිරීමට යෝජනාවක් තිබුනි. ජවිපෙද එයට එකඟ වූ අතර  ඉල්ලා සිටියේ ආසන 5ක් අපට ලබා දෙන ලෙස වන අතර අවසානයේ එය 2 කට පහත වැටුනි. නමුදු සාකච්ඡාව අවසන් වූයේ එකදු ආසනයක් හෝ අපට ලබා නොදීමට ඔවුන් තීරණය කිරීමෙනි! මෙම තත්වයට පොදු සන්ධානය මෙහෙය වූයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් වූ පීටර් කේනමන් හා කේ පී සිල්වාය. සෝවියට් ආධාර මත යෙහෙන් වැජඹුනු ඔවුන් එය වෙනතකට යාදෝ තිබූ බිය  මීට සෘජුවම හේතු විය.

1983 මැයි 18 දින ආසන 18ක් සඳහා පැවැත්වුනු අතුරු මැතිවරණය දැඩි දූෂිත එකක් විය. මහර ආසනය වෙනුවෙන් එජාපයේ කමළවර්ණ ජයකොඩිත් ශ්‍රිලනිපයෙන් විජය කුමාරණතුංගත් සටන් කලහ. විජයගේ රැස්වීම් වලට වෙඩි තැබුනු අතර මැතිවරණයෙන්  විජය; ඡන්ද තුන්සිය ගණනකින් දිනා තිබුනි. සිය නායකයා ඇමතූ කමළවර්ණට ජේ ආර්ගෙන් ලැබුනේ කදිම පිළිතුරකි. ඒ "දිනන කල් ගණින්ඩ, ලයිට් ඕෆ් කරලත් ගණින්ඩ පුළුවන්නේද?" 

කමළවර්නගේ විරෝධතාවයට ඉඩ දීමක් ලෙස නැවත් ඡන්ද ගණන් කිරීම ඇරඹුනි. එක වරම ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ විදුලිය ඇන හිටියේය. මද වේලාවක් අඳුරේ තැබුනු මධ්‍යස්ථානය විදුලිය පැමිණි පස නැවත ක්‍රියාත්මක විය. ඒ ගණන් කිරීමෙන් පසුඅ ප්‍රථිඵලය වෙනස් වී තිබුනි. කමළවර්න වැඩි ඡන්ද 45 කින් ආසනය ජයගෙන තිබුනි.

ජනමත විචරණය දූෂිත එකක් වූ නිසා රෝහණ විජේවීර නඩු මගට බැස්සේය. පැමිණිල්ල මෙහෙය වූයේ නීතීඥ ප්‍රින්ස් ගුණසේකරය.

ඒවකට මැතිවරණ කොමසාරිස්ව සිටි චන්දානන්ද ද සිල්වා පසුව ප්‍රකාශයක් කරමින් එතෙක් පැවති දූෂිතම ඡන්දය එය බව ප්‍රකාශ කලේය!

ඒවකට මැතිවරණ කොමසාරිස්ව සිටි චන්දානන්ද ද සිල්වා පසුව ප්‍රකාශයක් කරමින් "එතෙක් පැවති දූෂිතම ඡන්දයකට අවශ්‍ය වටාපිටාව සකස්වී තිබුනි" යනුවෙන් පවසා තිබුනි.

ජනමත විචාරණයේදී සිදුවූ ඡන්ද දූෂණය මත පිහිටා එය අවලංගු කරණ්නැයි ඉල්ලා ප්‍රින්ස් ගුණසේකර නඩුවක් ගොනු කරණ්නට සැලසුම් කලේය. දින ගනනාවක ඔහුගේත් ඔහුගේ කණිෂ්ඨ නීතීඥයින්ගේ වෙහෙස මහන්සියේ ප්‍රථිඵලයක් ලෙස නඩුව කෙටුම් පත් කෙරිණි. හොර ඡන්ද දැමීම් දස දහස් ගණනකි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්ද එලෙසමය. නඩුවට පෙනීසිටීමට ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් විය. දැන් සොයා ගත යුතුව ඇත්තේ පැමිණිළි පාර්ශ්වයයි. පලමුව යෝජනා වූයේ සිරිමා බණ්ඩාරනායකගේ නමයි. එහෙත් ඇය ඊට බිය විය. ඇය එය ප්‍රථික්ෂේප කලාය.

 දෙවනුව ප්‍රින්ස් ගුණසේකර විසින් තෝරා ගත්තේ ජවිපෙ පක්ෂ නායක රෝහණ විජේවීර වන අතර ඔහු එය නිර්භීතව භාර ගත්තේය.

නඩු තීන්දුවෙන් පසුව නැවත මහ මැතිවරණය කැඳවීමටද එය බොහෝ විට ජාත්‍යන්තර නිරීක්ශකයින් ඉදිරියේ පැවැත්වීමටද සිදුවීමට බොහෝ සෙයින් ඉඩ කඩක් ඇත!

කළු ගල හිසෙන් ගසා ගැනීමට නොව යකුළෙන් බිඳ දැමීමට රෝහණ විජේවීර සූදානම්ය. මෙරට වෙසෙන සියළු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරණ සියළු මිනිසුන් වෙනුවෙන් 1983 මැයි මාසයේදී  ඔහු ජේ ආර් ට විරුද්ධව සටනට බැස්සේය. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව විභාග කිරීමට ඉඩ දුන්නේය.

ඒ වන විට ඊළාම් යුද්ධයට සේනා රැස් කොට නොතිබුනු අතර ජවිපෙ සාමාජිකයින් තුවක්කුවක් තබා කැටපෝලයක් හෝ අතට ගෙන නොතිබූ වකවානුවක්ය.

ජේ ආර් දණ්ඩෙන් පහර ලත් පොළඟෙකු සේ කිපුනේය.

ජේ ආර් තම කූඨ බුද්ධිය මෙහෙය විය. නඩුවක් පැවතීමට පැමිණිල්ලක් තිබිය යුතුය. පැමිණිල්ලක් නොමැති තැන මෙවන් නඩුවක් පැවැත්විය නොහැක. එසේ නම් පැමිණිල්ල මෙරට දේශපාලන භූමිකාවෙන් ඉවත් කල යුතුය.

ඔහු ඊට ඉව අල්ලමින් විය!  ඔහු ඒ සඳහා තෝරා ගත්තේ මෙරට ඉතිහාසය තුල එතෙක් මෙතෙක් දෙශපාලකයෙකු විසින් ගනු ලැබූ තුච්ඡතම තීරණයයි.

1983 ජුලි 02 වන දින යාපනයේ මුර සංචාරයක යෙදී සිටි හමුදා සෙබළුන් 13 දෙනෙකු ළදරු එල් ටී ටී ඊ සංවිධානය මගින් ඝාතනය කෙරෙන්නේ මේ අතරය.

පිටිය  තමාගේ වාසියට හරවා ගැනීමට ජේ ආර් යුහුසුළු විය.

මීට පෙරද හමුදා සෙබළුන් මරණයට පත්වූ අවස්ථාවලදී එම දේහයන් ඔවුන්ගේ ගම් බිම් බලා ගෙන ගොස් අවසාන කටයුතු කල අතර මෙම 13 දෙනාගේ සිරුරු කොළඹ කනත්තේදී අවසන් ගෞරව දැක්වීමට ගෙන ආවේ කුමණ යටි අරමුණකින්දැයි ඔබට සිතා ගත හැක. 

ඒ දිනයේදී කොළඹ සිටි යූ ඇන් පී මැරයන් විසින් දෙමළ සංහාරය, දෙපල මංකොල්ලා කෑම හා ගිණි බත් කරණ්නට විය!

ඒ සමග ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් වාමාංශික පක්ෂ තුනක් තහනම් කලේය.

පසු කලෙක කළු ජූලිය ලෙස ප්‍රකට වූ මේ විනාශකාරී ජාතික අපරාධයෙන් දෙමළ ජාතිකයින් 3000ක් පමණ මරා දැමුණි. රුපියල් බිලියන ගනනක දේපල විනාශ විය. ලක්ෂ දෙකක පමණ දෙමළ ජනතාව අනාථයින් ලෙස ඉන්දියාවට පලා ගියෝය.

ජයවර්ධන ආණ්ඩුවේ දෙමළ ජනයාට එරෙහිව කරණු ලැබූ ත්‍රසතවාදී හැසිරීම අවසන් වන්නේ ඉන්දියානු අණ්ඩුව 1987 ජුලි මාසයේදී "ඉන්දු ලංකා ගිවිසුමට" අත්සන් කිරීමට බල කිරීමෙනි. ඊට අනුව ඉන්දීය හමුදාව ලක්ෂ දෙකක් මෙරටට එවීමට ඉන්දියාව ජේ ආර්ව එකඟ කර ගත්තේය. මෙයට විරුද්ධව නැගුණු ජනතා විරෝධයට ජේ ආර්; පොලීසිය හා හමුදාව යොදා වෙඩි තැබුවේය. මෙම වෙඩි තැබීම් වලින් මිය ගියවුන්ගේ සිරුරු මරණ පරීක්ෂණවලින් තොරව විනාශ කෙරුණේය. 

ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට විරුද්ධව පක්ෂයේ වෘත්ථීය සංගමය නඩුවක් ගොනු කල අතර එම වෘත්ථීය සමිතියද අණ්ඩුව විසින් තහනම් කරණු ලැබීය.

1984 වසර වනවිට පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙකු මාතර හා අනුරාධපුරයේදී ඝාතනය කරණු අතර ලාංකීය දේශපාලන භූමියෙන් ජවිපෙ අතුගා දැමීමට කල හැකි සියළු තක්කඩිකම් කිරීම ආණ්ඩුව විසින් අරඹා තිබුනි.

මෙම මර්ධනයට මුහුණ දීමටනම් පක්ෂයද සන්නද්ධ වියයුතු බවට තීන්දුවක් ගැනෙන්නේ ඉන්  ඉක්බිතිවය.

මේ වන විට තහනම් වූ ජනතා විමුක්ති පෙරමුණ "දෙශප්‍රේමී ජනතා ව්‍යාපරය" නමින් සන්නද්ධ ව්‍යාපාරයක් බවට පත්වී තිබුනි.

88/89 ඇරඹෙන්නේ මේ ආකාරයෙනුයි. ඉතිහාසය ලියන්නේ ජයග්‍රහකයින් විසින් මිසක පරාජිතයින් අතින් නොවේ. ජවිපෙ සන්නද්ධ කැරැල්ල මැඩ පැවැත්වීමට ආණ්ඩුව යොදා ගන්නේ භීෂණයයි. 

ඔවුන් විසින්ද "ප්‍රා", "කහ බළල්ලු" වැනි නීති විරෝධී සංවිධාන සකස් කොට ඔවුන් මෙහෙයවා රජයේ හමුදා හා පොලීසියේ පවුල්වල සාමාජිකයින් මරා දමා ජවිපෙ සාමාජිකයින් මත රජයේ හමුදා හා පොලීසියේ වෛරයටත් ද්වේෂයටත් පතුරවයි. එහි ප්‍රථිඵලය වූයේ තරුණයන් 60,000කට ජීවිත අහිමි වීමයි. ඒ අතර පෞද්ගලික පලිගැනීම් හා ජවිපෙ නොවන එජාපයේ දේශපාලන විරුද්ධවාදීන්ද ඝාතනයට ලක්විය. 

පෞද්ගලික අපෙක්ෂාවන් මත මරා දැමුණු ප්‍රේමකීර්ති වැනි කළා කරුවන් ගේ ඝාතනද ජවිපෙ ගිණුමට බැර විය.

නැවත ජවිපෙ ප්‍රසිද්ධ දේශපලනයට 1994 දී අවතීර්ණ වූ පසු ගතවූ කාලය තුල පැවති රජයයන් විසින් කිරුළපන්දී චම්මික සුදන්ත, මාතලේදී සිරිදේව, අම්බලන්ගොඩදී නයිනවාවුදු, ගම්පහදී නන්දන බාලගේ වැනි සහෝදරවරු ගණනාවකගේ ජීවිත පැහැර ගත්හ.

2000න් පසුව අනුරාධපුරයේදී තවත් දෙදෙනෙකු ඝාතනය වූ අතර නලින්ද ජයතිස්ස සහෝදරයා සම්බන්ධවූ රැස්වීමකට කටුවනදී වෙඩි තබා තවත් දෙදෙනෙකු ඝාතනය කලහ.

මේ කිසිදු අවස්ථාවකදී අප නැවත ආයුධ  වෙත විශ්වාසය තැබීමක් හෝ ප්‍රථි ප්‍රචන්ඩත්වයක් මුදා හැරියේ නැත.

දහස් ගණ්නනකගේ ඝාතන වලට සෘජුවම සම්බන්ධවූ හෝ අණ දුන් කරුණා අම්මාන්, පිල්ලෙයාන් වැනි එල් ටී ටී ඊ සාමාජිකයින් එජාප හා ශ්‍රිළනිපයේ සාමාජිකයින්, සංවිධායකයින්, පාර්ලිමේන්තු මංත්‍රී වරුන්ද විය!

එහෙත් තවමත් 88/89 පිළිබඳව අප වෙත ඔවුන් ඇඟිල්ල දිගු කරයි. 

2022 මැයි 9 වන දින; සාමකාමී විරෝධතා කරුවන් හට එල්ල කල තුච්ඡ ප්‍රහාරයේ සෙළුව ලෝකයට විවෘථ වන්නේ සමාජ මාධ්‍ය හා "ස්මාර්ට්" දූරකථන පිහිටෙනි. එසේ නොවුනානම් එයද ඉතිහාසයට යන්නේ 88/89 වැනිම ජයග්‍රාහකයා විසින් ලියා තැබෙන ඉතිහාසයක් ලෙසටය.

අරගලය හෝ විප්ලවය යනු රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවේ යැයි මාවෝ සේතුං පවසා ඇත. එහිදී සිදුවන්නේ ශිෂ්ඨ සමාජයක සිදු නොවියයුතු දෑමය. එහි වරද ජයග්‍රාහකයා විසින් පරජිතයාගේ කර මත පැටවූවද ශිෂ්ඨ සමාජය තේරුම් ගත යුත්තේ එම තත්වයට අරගල කරුවන්, විප්ලවකරුවන් ඇදදැමීමට හේතු භුතවූ කරුණුයි.

මේ වන විට ජතික වීරයින් ලෙස සළකන කැප්පෙටිපොලද, වීර පුරන් අප්පුද පවතින රජයට විරුද්ධව අවි එසවූ අය වෙති. පුරන් අප්පු තම සටන් ඇරඹුවේ රජයේ දේපලක් වූ; මාතලේ කච්චේරියට ගිණි තැබීමෙනි!
ජේ ආර්ට විරුද්ධව නඩුවේ පැමිණිල්ල විජේවීරගේ හිසට රුපියල් 50,000ක් ලංසුවක් තැබීය. කළු ජූලිය අතරම නඩුව ගොනුකල ප්‍රින්ස් ගුණසේකර හතරවැනි තට්ටුවේ හිර කෙරිණි. පසුව ඔහු එංගලන්තයට පලාගිය අතර මියෙන තෙක් ඔහු මෙරටට නොආවේය. පැමිණිල්ලේ නීතීඥ ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායකද දිවි බේරා ගැනීමට රටින් පැන ගියේය. ජේ ආර් සමග නොනිමි අරගලයක නිරත වූ රෝහණ විජේවීර වෙඩිකා වතුර ඉල්ලමින් පන යදිද්දී පන පිටින් බොරැල්ලේ ආදාහනා ගාරයට දැමුනි.

60,000ක් මරා දැමුනේ ජවිපෙ හා එජාප දේශපාලන හා පෞද්ගලික එදිරිවාදීන් ය. 88/89 න් පසුව කෙතරම් ආණ්ඩු පත්වූවද ජවිපෙ කිසිදු සාමාජිකයෙකු නීතිය ඉදිරියට පමුණුවීමට අපොහෙසත් විය. නැවත් නැවතත් 88/89 කරත්බා ගෙන යන්නට පටන් ගන්නේ ජවිපෙ හො ජවිපෙ සම්බන්ධ සංධානයක් අභියෝඑගයක්වූ අවස්ථාවලදීය.

මේ වන විට 88/89 යල් පැන ගිය තුරුම්පුවක් බව ප්‍රධානයැයි කියා ගන්නා කරකාදීන්ට තේරුම් ගොස් ඇති බවක් තවම නොපෙනේ.



Saturday, September 7, 2024

288. අලෙවි කිරීම . . !


හේ තිලකරත්න නම් විය.

වැඩ කල් දැමීම පිළිවෙලක් සැලැස්මක් නොමැති බව වගකීම් දැරිමට ඇති අකමැති බව යන කරුණු කාරණා අමතක කොට දැමු කල ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිනිසෙකි. දෙමාපිය විරෝධය මැද ඉතාමත් නිහඬ ලෙස විවාහ දිවියට පිළිපන් ඔහුට දරුවන් තිදෙනෙක් විය මැදි වියේ පසුවු ඔහුගේ බිරිඳ ඔහුගේ දුර්වලකම් මැනවින් වටහා ගනු අයෙකු විය.

කෙසේ වෙතත් ඔහු මනුෂ්‍යත්වයෙන් පිරුණු හදවතක් ඇති සෙනෙහෙබර සැමියෙකු හා පියෙකු විය ඔහුට නියමිත රැකියාවක් නොවීය මීට අවුරුදු දහ පහලොවකට පෙර අගනුවර හෝටලයක මුදල් අයකැමිවරයෙකු ලෙස කල රැකියාවට ආයුබෝවන් කී පසු තිලකරත්න කිසිඳු රැකියාවක් නොකලේය.

ඔහුගේ පාසැල් සමයේ මිතුරෙකු වු සිරිසේන ඔහුගේ අසල් වැසියෙකු විය. ඔහුගේ ගති ලක්ෂණ මෙයට ඉඳුරාම වෙනස් විය පාසැල් සමයේදී තිලකරත්න සිරිසේන හා පියතිලක යන තිදෙන එකම පාසලේ පමණක් නොව එකම පන්තියේ එකම බංකුවේ සිටි මිතුරන් වුවද සිරිසේන සෑම මොහොතකදීම දියුණු වී ඇති බොහෝ දෙනා පළමුව දිනන ලද්දේ තම තමන්ගේ චෛත්‍යසිකයන් බව ඔහු විශ්වාස කලේය. විශාල වෙළඳ ව්‍යාපාර වල නිරත වන්නා වු මුදලාලිවරුන් දේශපාලකයන් වැනි ප‍්‍රඥාවරුන් බොහෝ දෙනා පැහැපත් වීමට හෝ පැහැපත් නොවුවත් ඔවුන් කිසියම් ආකාරයක බැබලෙන ස්වාභාවයක් පෙන්නුම් කරන්නේ ඔවුන් කාටත් හොර රහසේ හෝ භාවනා ක‍්‍රම අනුගමනය කරන නිසා යැයි ඔහු තර්ක කලේය. එම කටයුතු හොර රහසේ කරන තරමට ප‍්‍රථිඵල උසස් වේ යැයි සිතුවේය.

සිරිසේන අට ශ්‍රේණිය සමත් වී පාසැලේ කබල් ගේට්ටු කණු දෙක අතරින් එළියට පැමිණි පසු නැවත එහි පැමිණියේ වසර 15 කට පසුවය ඒ තම දරුවකු පාසැලට ඇතුළත් කර ගැනීමටය ඔහු පාසැලෙන් ගිය පසු බයිසිකලයක බැඳි කාඩ්බෝඩ් පෙට්ටියක ඉඳි ආප්ප මුල් රැගෙන ගොස් තැන තැන විකිණිය. සිරිසේනලාගේ නිවස අසල පිහිටි රජයේ කර්මාන්ත ශාලාව හා පාසැල් කිහිපය ඔහුගේ ව්‍යාපාරික ස්ථානය විය.

ඉන් පසු ඉඳි ආප්ප වෙළඳාම සමගින් නිවස ඉදිරියේ කුඩා මැස්සක් අටවා ගෙන හේ කෙසෙල් ගස් ලබු නාරං වැනි දෑ සවස් වරුවේ විකිණීය කලක් ඇවෑමෙන් සිරිසේන එය එළවළු කඩයක් තෙක් දියුණු කර ගති. ඔහු කඩය විවෘත කරන්නේ උදෑසන දහයෙන් පසුවය ඒ උදෑසනින්ම පුරුදු පරිදි ඉඳි ආප්ප රැගෙන පාසැල් ගේට්ටුව අසල හා කුඩා වැඩපලවල් කම්හල් අසල වෙළෙඳාමෙන් පසුවය. එතෙක් එළවළු හා පළතුරු නිවසේ තමා පරිභෝජනය කල ඉදිරිපස කාමරයේ දමා යතුරු ලා තබයි. ඒ වැඩි පරිස්සමටය. ටික කලෙකින් ඔහු නිවසින් ආහාර ගැනීම සීමා කලේය. එළවළු වෙළඳාම ඇරඹිමත් සමගම ගෙදර සමග තිබුනු බොහෝ සබඳතා අවම කලේය.

ඒ වන විටද ඔහු ආහාර ලබා ගත්තේ රාත‍්‍රියට පමණි දැන් රාත‍්‍රි ආහාරය ලෙස ගත්තේ පාන් භාගයකුත් බිත්තරයකුත් පමණි. අදටත් අප රට තුළ වේලක් පිරිමසා ගැනීමට හැකි හොඳම එසේම වඩාත්ම ලාභදායික ක‍්‍රමය එය බව සිරිසේන විශ්වාස කලේය. ඒ සම්බන්ධයෙන් කිසිවෙකු ඔහු හා තර්ක නොකලේය ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව තමා හැර අන් කිසිවෙකු සමඟ එතරම් සම්බන්ධතාවයක් නොදැක්වීමය. රාත‍්‍රියට ඔහු තම නිවෙසින් ලබාගත්තේ උතුරන වතුර එකක් පමණි තම කාමරය තුළට වී එම උතුරන වතුර භාජනයට; සවස ගෙන ආ බිත්තරය දමා භාගයට තම්බා ගන්නා සිරිසේන ඒ සමඟ පාන් භාගය ගිල දමයි!

ඔහුගේ කාමරය තුල වුයේ ලෑලි දැමු පැරණි ඇඳක් බෝල කූඩුවක් කුඩා මේසයක් හා වැල් කැඩුනු පුටුවකි. වැල් කැඩුනු පුටුව උපයෝගි කරගත්තේ පැරණි ට‍්‍රංකා පෙට්ටියක් තැබීමටය. මුළු කාමරය තුලටම අලූත් දෙයකට යමක් වුවා නම් ඒ එදිනෙදා රාත‍්‍රියේ ස්වල්ප වේලාවක් මේසය මත තැබෙන පාන් භාගයත්, බිත්තරයත් පමණි.

බිත්තියක කලකට පෙර එක් වෙසක් දිනෙක දී දිනපතා පුවත් පතකින් නොමිලයේ බෙදා හැරියාවු බුදු රුවක් ඇන හතරක මාර්ගයෙන් රඳවා ඇත. එය අවුකන ප‍්‍රතිමාවේ ශෛලමය භාවය ඒ අයුරින්ම පෙනෙන සේ කලූ පැහැය පමණක් උපයෝගී කර එය අපූරුවට සිතුවම් කොට තිබුනේ ගෞතමදාසයන් විසිනි.

ව්‍යාපාරිකයන්ගෙන් බොහෝදෙනා කතරගම දෙවියන් අදහන බව සිරිසේනගේ කන වැකුණු පසු බුදුරුවට මදක් ඉහලින් එල්ලූනු දේවරූපයක්ද විය එය වීදුරුව වෙනුවට එක්ස්-රේ කොලයක් යොදා රාමු කොට ඇත්තකි මේ සියල්ලටම අමතරව ඇඳේ සිට එක එල්ලේ බැලූ විට පෙනෙන ස්ථානයක

" මම දියුණු වෙමි . . . . . . . !

මම තවත් දියුණු වෙමි . . . .. . . . !!

මම තව තවත් දියුණු වෙමි . . . . . . . . . !!!

මම දියුණුවෙන් දියුණුවට පත් වන්නෙමි . . !!!!! "

යනුවෙන් පොල් ගෙඩි අකුරින් ලියු කාඩ්බෝඩ් කැබැල්ලක් දැකිය හැක. මේස කබල මත ඇත්තේ යකඩ කපන කියත් තලයක් හා "දියුණුවට මග", "දියුණුවීමේ රහස් යතුර", "ඔබේ දියුණුව" වැනි පොත් කිහිපයකි.

කාලයක් ගතවිය සිරිසේන ඉඳිආප්ප මුල් වලටත් එළවළු තට්ටුවත් අතර රැඳි වාසනාව සොයමින් කාලය ගත කලේය. තවත් කාලයක් ගත විය. ඔහුගේ  නිවසට ඔබ්බෙන් නිවසකට අයත් සිමෙන්ති අදින තට්ටු ලොරියක් විය. මෑතක සිට එම රථය රාති‍්‍රයට නතර කොට තැබෙන්නේ සිරිසේනගේ නිවස අසලය. සිරිසේන රථ වාහන වලට මහත් ආශා කල අයෙකි වඩාත්ම ලොරි වලටය ඔහුගේ මේසය මත දමා ඇති පත්තර කඩදාසි පිටු දෙක මත විවිධ හැඩ තල වලට ඇඳ ඇති ලොරි වල රූප සටහන් ඒ බව සනාත කලේය. ලොරි වල ඉදිරි පස පෙනුම දැක්වෙන චිත‍්‍ර සටහන්හි ලොරියේ ඉදිරි පස ඉහල බෝඩ් පෙට්ටියේ "සිරිසේන" යනුවෙන්ද පැති පෙනුම දැක්වෙන චිත‍්‍රවල; "සිරිසේන ප‍්‍රවාහන සේවය", "සිරිසේන ප‍්‍රවාහකයෝ", "සිරිසේන සැරිසරුවෝ" වැනි වගන්ති ලියා තිබුනි.

පරිමාවකට නොමැතිව අපිළිවෙලට ඇඳි ලොරි රූප මත ඉතාමත් පැහැදිලිව ශෝබමාන අයුරින් එම වගන්ති ලියා එම වගන්ති මතුපිට පැන්සලකින් කිහිපවතාවක් ඇඳිමෙන් මිනිරන් පාටින් දිලිසිනි.

රාත්‍රියේ බොහෝ වේලාවක් යනතුරු අවදියෙන් සිටිනා සිරිසේන තම නිවස අභියස නවතා තැබෙන ලොරිය නැරඹිමෙනුත් එය අත පත ගෑමෙනුත් ඉමහත් ආශ්වාදයක් අත් වින්දේය. වරෙක ඔහු ලොරිය දෙස පසු පසින් සිට බලයි තවත් වරෙක පැත්තෙන් සිට බලයි තවත් වරෙක ලොරියේ ඉදිරි පසට පැමිණ බොහෝ වේලාවක් එදෙස බලා හිඳියි. ලොරියට සිනාසේ ඒ ලොරිය තමා දෙස බලා සිටිනවා යැයි සිතුනු වෙලාවයට එවිට ලොරියද තමාට පෙරලා සිනාසෙනු සිරිසේනට පෙනුනි. 

ඔහු කාමරය වෙත නැවත පැමිණ නින්දට යනවිට මධ්‍යම රාත‍්‍රිය පසුවේ ඒ සෑම විටෙකම ඔහුගේ අත් ලොරි තට්ටුව මතවු සිමෙන්ති වලින් හොඳ හැටි අපවිත‍්‍ර වෙලාය. අත්දෙක ගසා දමමින් පැමිණ ඇඳට වැටේ මෙසේ ඇඳට වැටි ඒ මේ අතට ඇඹරෙමින් තමා ලොරියක් මිලදී ගන්නා හැටි, එයට සහයකයකු නොගෙන තමාම රියැදුරුකමෙහි නියැලමින් වැඩ කරනා හැටි, මුදල් උපයා තව ලොරි කිහිපයක් මිලදී ගන්නා හැටි ඒවා පිරිසිදු කරනා හැටි හා කොස්සක සබන් ගා සෝදන හැටි යන මේ සිහින ලෝකයේ සැරිසරනා තුරු ඔහුගේ සිතට යස අදහසක් සිහියට ආවේය.

හේ ඇසිල්ලකින් නැගී සිටියේය. ඇඳ කබල බැගෑපත් හඬින් මුර ගෑවේය තමා ඇඳෙන් පැන්න වේගය බොහෝ සෙයින් වැඩි යැයි ඔහුට සිතිනි. එම හඬින් මුළු නිවසම අවදි වේදෝ අනිසි බියක් හට ගති තවත් ස්වල්ප වේලාවක් එම ඉරියව්වෙන් හිඳ කුප්පිලාම්පුව දල්වා තම කාමරය තුලට මද ආලෝකයක් එක්කල ඔහු ඉතා සෙමින් අඩි තබමින් ගොස් ගෙයි මුල්ලක තබා ඇති කොස්සද රැගෙන මිදුලට පැමිණියේය. ඉන් පසු ගෙමිදුලෙහිම අයිනක තිබුනු කුඩා කාඩ්බෝඩ් කැබැල්ලක්ද රැගෙන ඒ මේ අත බලා ලොරිය මතට නැග ගත්තේය. ඉක්බිතිව හේ සෙමෙන් හා පරීක්ෂාවෙන් යුතුව ලොරියේ පසු පස කොටස අමදින්නට විය. ලොරියේ සියළු අහුමුළු අතුගෑ පසු ලොරියේ එකතු වුයේ පොල් කටු දෙක - තුනකටත් ගත නොහැකි තරම් වු විශාල සිමෙන්ති ප‍්‍රමාණයකි. එදිනෙදා උදෑසන මුහුණ සේදීම ආහාර ගැනීම වැනිම වු තවත් අනිවාර්ය කාර්යයක් සිරිසේනගේ දිනචර්යාවට එක් විය. ඒ ලොරිය අතුගෑමයි දිනපතා මෙසේ එකතු කල සිමෙන්ති රාත්තල ගණනේ වෙන් කොට පොලීතින් මලූ වල බහා පාන් කැපීමට උපයෝගී කොට ගත් යකඩ කපන කියත් තලයේ උපකාරයෙන් මුද්‍රා තබන ඔහු එළවළු තට්ටුවට යටින් තබා විකිණීමට පටන් ගත්තේය.

ඔහුට එය මහත් ලාභදායි ව්‍යාපාරයක් වූවේය දින දෙකකදී ඔහුට සිමෙන්ති රාත්තලක් පමණ එකතු වේ අඩු පාඩුවට අළුහුණු ස්වල්පයක් එක්කොට රාත්තලක් සකසා ගන්නා සිරිසේන ඒවාද අළුත්ම සිමෙන්ති ලෙසින් විකුණයි. එළවළු විකිණිම සඳහා දැන්වීම් පුවරුවක් අනවශ්‍ය වුවත් සිමෙන්ති සඳහා එය එසේ නොවීය "සිමෙන්ති සහ අළුහුණු විකිණිමට තිබේ" යනුවෙන් බෝඩ් ලෑල්ලක් සවි කෙරුනේ එබැවිනි.

සිමෙන්තිද එයට කලවම් කිරීමට ගෙනා අළුහුණු විකිණිමෙන් සිරිසේන හට වෙනදාට සාපේක්ෂව ලොකු ලාභයක් ලැබීය ටිකදිනකින් ඔහුගේ පාරිභොගිකයකු හට සිමෙන්ති කොට්ටයක අවශ්‍යතාවයක් ඇති විය. ඔහු එය බයිසිකලයේ බැඳගෙන බොහෝ දුර බැහැර සිට ගෙනැවිත් දුනි. මෙසේ මාස හයක හතක කාලයක් ඉක්බිත්තෙන් ඔහුගේ එළවළු මැස්ස වෙනුවට සිමෙන්ති වෙළඳාම ඉදිරිපස කාමරය තුලට ගියේය. 

ඔහුගේ නිවස අසල විශාල පොල් වත්තක් කැබැලි කොට විකිණිම සිරිසේනගේ වාසනාවට ඉනිමං බැඳිමක් විය. තවත් වසරක පමණ කාලයක් ගෙවී යද්දි ඔහුට එකවර සිමෙන්ති ලෝඩ් කාලක් එනම් සිමෙන්ති කොට්ට 50 ක් එකවර මිලදී ගැනීමට තරම් ශක්තිමත් ස්ථාවරයකට පැමිණීමට සිරිසේනට හැකිවිය.

පළමුවෙන්ම තම නිවෙසටම ලොරියක් පැමිණ සිමෙන්ති කොට්ට 100 ක් බා දැමු දිනය සිරිසේනගේ ජිවිතයේ තම උපන් දිනයටත් වඩා හොඳින් මතකයේ සනිටුහන් වු දිනයකි එදින ඔහු සිමෙන්ති කොට්ට 100 දහස් වරකටත් වඩා ගණන් කර බලන්නට ඇත. එදින රාත‍්‍රියේ ඔහුට නින්දක් නම් නොවීය.

ගෙවී ගියේ දින කිහිපයක් පමණි හදිසියේම කිසිවෙකු නොසිතු පරිදි රට තුල දේශපාලන අර්බුදකාරී බවක් පැන නැගුනි. "මහා වැඩ වර්ජනයක්", "දේශපාලන කුමන්ත‍්‍රණයක්", "සිවිල් නීති කඩවීම්", "කඩාකප්පල් ක්‍රියා" ආදී මෙවැනි වගන්ති රට පුරා කථාබහට ලක් විය.

මේ සියළු දේ මෙසේ සිදුවෙද්දි සිරිසේනගේ නැහැයට අපූරු සුවඳක් දැනෙමින් විය. ඒ සිමෙන්ති හිඟයක ඉවය!

රට තුල පවතින අරාජික බව නිසාම නගරයේ සේවය කල මේසන්වරුන් තම තමන්ගේ සරොම් කැබැලි වහ වහා සිමෙන්ති කවර වල ඔතන්නට විය. වැඩ කරමින් සිටි; මේසන් හැඳි හෝදන්නට කාලය නොකල බාස්ලා ඒවා දෙතුන් විටක් වැල්ලේ ගසා; මට්ටං ලෑල්ල සමඟ එකට තබා ලඹ කැටේ නූලෙන්ම වෙලමින් විය. එහෙත් වැඩපොලවල් වල හාම්පුතුන් මහන්සි ගත්තේ රටේ තත්ත්වය කවදා සුව වෙතැයි සිතා ගත නොහැකි නිසාම තමන්ගේ වැඩ කටයුතු හැකි පමණ එකලාසයක් වනු දැකීමටය.

බල්ලා වලිගය සොලවනු විනා කිසිදු බල්ලෙකු වලිගය මගින් සොලවා නැතිවා මෙන්ම තම තමන් එතෙක් වැඩ කල ප‍්‍රමාණයට නියමිත ලැබෙන්නට ඇති හිඟ වැටුප නොලැබී යනු ඇත බිය නිසාම හාම්පුතාට එකඟ වන්නට බාස්ලාට සිදු විය. නගරයේ සිමෙන්ති මිල වැඩිකරන්නට පටන් ගත්තේ ඊට අනුලෝමව සමානුපාතික ලෙසය! මිල සීයට විස්සකින් ඉහළ දැමුවද සිමෙන්ති ගල් වූයේ නැත. පාරිභෝගිකයින් තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සිමෙන්ති ගෙන ගියෝය. වෙළෙන්ඳන් තමන්ගේ ගබඩා සුද්ද කර ගත්තේය. තව තවත් සිමෙන්ති තොග ගෙන ඒමට සොයා ඇවිද්දේය. සිරිසේනගේ කොට්ට 100 ඒවන විට විකුණන්නට පටන් ගෙන නොතිබුනි.

තම සිමෙන්ති තොගය විකිණීමට සිරිසේන හදිසි නොවීය. ඔහු සිමෙන්ති වෙළඳාම සම්පූර්ණයෙන්ම නවතා දැමූවේ මේ අතරය. සතියක් ගෙවුනි සිමෙන්ති නැත්තටම නැති වී ගියේය. කම්හල් මගින් සිමෙන්ති සැපයුනේ පිළිගත් නියෝජිතයින්ට පමණි තවත් දින කිහිපයකින් සිරිසේනගේ සිමෙන්ති එළිදකින්නට පටන් ගත්තේය. තොගයම එකවර මිලදී ගන්නට මුදලාලිලා පෙළ ගැසුනද සිරිසේන තමාට පුරුදු සිල්ලර වෙළඳාමම කරගෙන ගියේය. එයින් ඔහු අධික ලාභාංශයක් ඉපයුවේය. දින දෙක තුනකින් සිමෙන්ති තොගය අවසන් වුවේ සිරිසේන අත මහා මුදල් සම්භාරයක්  ලබා දෙමින්ය! ඔහු නෝට්ටු සියල්ල මෙට්ටය යටින් තබා හොඳින් දිග හැර ඒවා වර්ග කර වෙන වෙනම නවා ට‍්‍රංකා පෙට්ටිය තුළ සුන්දර ලෙස තැන්පත් කලේය.

රටේ තත්ත්වය තත් අයහපත් විය. ගුවන් විදුලියේ සවස ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය කල නිවේදකයා තම හඬ තවත් ගැඹුරු කරමින් ගරු ගාම්භීර ලෙස දිවයින පුරා ඇඳිරි නීතිය බල පැවැත්වෙන බව ප‍්‍රකාශ කලේය. එදින රාත‍්‍රියේද ඔහුගේ නිවෙස අසල සුපුරුදු පරිදි සිමෙන්ති ලොරිය නැවැත්විය. ඒ ධාරානිපාත වර්ෂාවක් මැද්දේය වැස්ස කුණාටුවක් විය. මේ විපත නොවුනි නම් ලොරියේ සිමෙන්ති අතුගා ගැනීමට තිබුනා නොවේදැයි සිතමින් සිරිසේන මහත් ශෝකයකින් යුතුව ඇඳේ නින්දට වැටුනි!

 පසු දිනට පහන් විය පාන්දරින්ම බැලූ විට වෙනදා මෙන් හිස් ලොරියක් නොව එහි තිබුනේ සිමෙන්ති වලින් පුරවන ලද ලොරියක්ය. බල පත‍්‍ර මත නිකුත් කල තොගයේ බරින් ලොරිය හෙම්බත් වෙලාය. එය තමා දෙස බලා සිටිනවා යැයි සිරිසේන හට සිතිනි රාත‍්‍රියේ වට මහා වැස්ස නිසා සිමෙන්ති වසා තිබුණු ඝන කැන්වසය සිසාරා ගමන් කල ජලයෙන් කොට්ට බොහොමයක් තෙමී ගොස්ය. උදෑසන ගුවන් විදුලියෙන් ඇඳිරි නීතිය දින නියමයක් නොමැතිව ඉදිරියට බල පැවැත්වෙන බව පැවසීය.

වැස්ස තවමත් හීන් පොදයක් සේ පැවතුනි තවත් පැය භාගයක් ගෙවී යත්ම හීන් පොදය ධාරානිපාතයක් විය ලොරිය තවත් පහත් වූවා සේය. ලොරියේ අයිතිකරු කූඩයක්ද රැගෙන ගෙවල්වල පිළිකණු අතරින් වැටවල් අතරින් රිංගමින් ලොරිය වෙත පැමිණිනු රියදුරු හා සහයක තෙමේ තම තමන්ගේ නිවෙස් වලය. ටොන් ගණනින් බරින් ලොරියට හානියක් වේ දෝයි ඔහු මහත්සේ කම්පා විය. වැස්සෙන් ටිකෙන් ටික තෙමෙන සිමෙන්ති තොගයෙන් විශාල පාඩුවක් සිදුවනු ඇතැයි සිතත්ම ඔහුගේ හිස ගිනිගෙන දැවෙන ස්වාභාවයකින් ඇරඹි වේදනාව කොඳු නාරටිය සීතල කරමින් යනු දැනුනි. බොහෝ වේලාවක් එක එල්ලේ ලොරිය දෙස බලාසිටි ඔහු අවසානයේ තීන්දුවකට එළඹුනි. ඒ; වියදම පවා අමතක කොට නියමිත තොග මිලට සිමෙන්ති තොගය සිරිසේනට ලබා දීමටය. සිරිසේන එකවරම කිසිවක් නොකියා බොහෝ වේලා කල්පනා කිරීමෙන් පසු අවසානයේදී තෙමුනු සිමෙන්ති කොට්ටය සඳහා තවත් සෑහෙන මිලක් අඩු කොට ගනුදෙනුවට එකඟ විය. එයද විකුනා අවසානයේ මුදල් දීමටය!

සියල්ල ඒ ආකාරයටම සිදුවිය ඔහුගේ ව්‍යාපාර ජිවිතයේ එය සංධිස්ථානයකි. ඒ ඔහු සේවකයකුගේ සේවය ලබා ගත් පළමු අවස්ථාවය. තම සොහොයුරකුටම එක් සිමෙන්ති කොට්ටයකට සත ගණනක් ගෙවීමේ පදනම මත දෙදෙනා සමඟින් මහ වැස්සේම ඉතාමත් පරිස්සමෙන් සිමෙන්ති තොගයම කාමරයට ඇද ගත්හ.

කමරයට සිමෙන්ති ගබඩා කිරීමට ඔහු තම ඇඳ කබල සහ අනෙකුත් අඩුම කුඩුම සියල්ල ඉස්තෝප්පුවට ගැනීමට සිදු විය.

සියළු සේසත සහිත ට්‍රංකා පෙට්ටිය බිත්තිය අයිනට වෙන්නට තැබූ ඔහු පැදුරු කඩමාල්ලක් එලාගෙන එයට පිට තද කරගෙන නින්දට යන්නට උත්සාහ කලේය!

ට්‍රංකා පෙට්ටියේ එල්ලා තිබෙන විශාල පිත්තල ඉබ්බා කොඳු ඇට පෙලට මහත් රිදුමක් ගෙන ආවද එය ඔහුට මිහිරි වේදනාවක්ම විය!

එදින රාත‍්‍රියේ එක් මොහොතක්වත් ඔහුට නිනදක් නොවීය. ගතවූයේ දින දෙකකි. රට බොහෝ සෙයින් සන්සුන් විය. එහෙත් සිමෙන්ති හිඟය ඒතරම් කඩිනමින් නොවිසිඳුනි. සිරිසේන ඊළඟ සතිය වන විට ලක්ෂපතියකු වී අවසානය. ඔහු නිවෙස ඉදිරියේ කඩ කාමරයක් තැනවීය! එය නිර්නාමික "ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නෝ" යනුවෙන් පින්තාරු කරවීය. තවත් කලකින් තවත් ලොරියක් දෙකක් ගැනීමට පළාතේ බැංකුව අත හිත දී තිබුනි. 

ඒ වන විට ඔහුට තිබුනු ප‍්‍රධාන ප‍්‍රශ්නය වූයේ තුන් වේලටම ලාභදායක ලෙස ආහාර ලබා ගැනීම හා ඔහු නොමැති විට මුදල් ලාච්චුව හා ට්‍රංකා පෙට්ටිය බලා කියා ගන්නට අයෙකු නොමැති වීමය. මේ සියලූ කරදර වැඩි වියදමකින් තොරව විසඳා ගැනීමට අවසානයේ සිරිසේනට හැකිවිය. ඒ විවාහයෙනි! ඔහු ඉක්මනින්ම විවාහ විය. දරුවන් දෙදෙනෙකි ඔවුන්ද ඉගෙන ගන්නේ තිලකරත්න සිරිසේන හා පියතිලක එකට ඉගෙන ගත් පාසලෙන්මය!

මේ සියලූ සංසිද්ධීන් සිදුවීම් වන අතර තුර තිලකරත්න තම ජයග‍්‍රාහී අටවන රැකියාව අරඹා තිබුනි. ඒ තම මිතුරකුගේ හිතවතෙකු පිට රටක සිට එවනු ලැබු පෑන් වර්ගයක් විකිණිමය. ඔහු සෑම උදෑසනකම පෑන් පුරවන ලද ඇඳුම් දමන බෑගයක්ද රැගෙන පිටකොටුවට පැමිණ පිටකොටුවේ සෑම හරස් වීදීයකම ඇවිද එතැන් සිට දෙහිවල තෙක් පයින්ම ඇවිදියි. අලූත් දෙයක් නොතතන ජාතිය ලොව නොනගියි යනුවෙන් කුමාරතුංග මුනිදාසයන් අතීතයේද ටයිටස් තොටවත්තයන් වර්තමානයේද කෙතරම් මුරගෑවද අලූත් දෙයක් ගැන සිතීමට අලූත් දෙයක් දැකීමට අලූත් දෙයක් ඇසීමට අලූත් දෙයක් කිරීමට පමණක් නොව එවැනි දෙයක් අනුන් කරනු බලා ඉවසා සිටීමටවත් කැමැත්තක් ඇත්තවුන් නොමැති අපරට තුල අලූත් නිෂ්පාදනයක් අලෙවි කිරීම යනු සිතීමට පවා අපහසු කරුණකි.

ව්‍යාපාරිකයින් එවැනි නව නිෂ්පාදනය පොඩි වැඩිය නොඑසේ නම් ලොකු වැඩිය. නමක් නැත!, බරය!, සැහැල්ලූය!, පෙනුමක් නැත!, තත්ත්වය බාලය!, මිල වැඩිය!, මිල අඩු නිසා බාල විය හැක! මේ එකක්වත් නොව් නම් තොගය කුඩා වැඩිය! ඒත් නොමැති නම් සැපයුම්කරු දිගටම සැපයුම නොකරාවි යැයි ඇති අස්ථාන බියය!

මේ මොනවා හෝ කියති අලුත් යමක් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයටම රැගෙනවිත් ඒ ගැන තොරතුරු දක්වා අනෙක් නිෂ්පාදනයන් හා සසඳා පහදා දෙන නිෂ්පාදන එලි දක්වන්නෙකු නොඑසේ නම් අලෙවිකරන්නෙකු කරදරකාරයකු ලෙස දකින්නට පුරුදු පුහුණු වූයේ ඇයි දැයි තිලකරත්නට සිතුනි! මේ තුන් ලෝකයේම තියෙන අමාරුම රස්සාව මෙය යැයි ඔහුට නොසිතුනා නොවේ. තමාට වඩා වයසින් අඩු තමාට තරම් කිසිදු ක්ෂේත‍්‍රයක අත්දැකීම් නැති තමාට තරම් විශාල දැනුමක් නැති කොටින්ම තමාට වඩා හැම අතින්ම බාලයකු ඉදිරියේ තමාට මේතරම් නිවටයකු වන්නට වීම මොන තරම් අභාග්‍යක්දැයි ඔහුට සිතුනු වාර අනන්තය අප‍්‍රමාණය! එවිට ඔහුගේ සිතට මතකයට එන්නේ පදික වේදිකාවෙන් ජිවිතය අරඹා තට්ටු පිට තට්ටු ගොඩ නැංවු දැවැන්ත මුදලාලි යෝදයන් ගැන තමා අසා සිටි කතන්දරය! "ඒකාලෙ එහෙම උනාට දැන් එහෙම නොවෙයි පේමන්ට් එකේ එකා පේමන්ට් එකේමයි!" යනුවෙන් තමාගේ යටි සිත තමාට කොඳුරනු තිලකරත්නට දැනේ නමුත් එම සිතුවිල්ල ඔහු සැනෙකින් ගිල දමයි. ඒ මන්ද යත් සත්‍යයේ නීරසට වඩා අසත්‍යයේ රසවත් බව තමා ගොඩනගන සිහින ලෝකයට අමුද්‍රව්‍ය සපයන බැවිනි! තමාට අහසේ මාලිගාවක් ගොඩනැංවීමට සිමෙන්ති වැලි ගඩොල් නොමිලයේම සපයන්නේ එම කතන්දර විසින් බව ඔහු හොඳින් දනී. තමාගේ ජීවිතයේ එකම සුන්දර අත්දැකීම කඩා ඉහිරවා දැමීමට තිලකරත්න කිසිවෙකුට ඉඩ නොදේ. කිසිවෙකුගේ ඉරණම වෙනස් කිරීමට කිසිවෙකුට නොහැක. තමාගේ ඉරණම කෙසේ විසඳේ දැයි කාට නම් කිව හැකිද? එය වෙනස් කල නොහැක තමාට විශාල නහයක් තිබේ. කන්පෙති මත රෝම පිරිලාය! තම කේන්දරයේ හැටියට ඉදිරි වසර තමාට කිරි ඉතිරිය යුතුය. දරුවන්ගේ බාලයා දුවකු වීමද වාසනාවන්ත ලක්ෂණයකි! එය පියාට සිරිකත කැන්දයි!! එසේම දියණියගේ උපන් වෙලාවේ හැටියට පියාට යස ඉසුරු පහළ විය යුතුය!!! මෙසේ සිතමින් ඔහු දිනපතා බොහෝ දුරක් පයින්ම ගමන්කොට රාත‍්‍රියේ නිවසට පැමිණේ.

තිලකරත්න දවසකින් දෙකකින් සතියකින් තබා අවුරුද්දකින්වත් යමක් ඉල්ලා අස්කර ගන්නා කෙනෙකු නොවේ හේ දිනපතා තම ජිවිතය හා හැපුනේය. දිනපතා පැරදුනේය අවාරෙට දෙල් වැටෙන්නාක් මෙන් එහෙන් මෙහෙන් දිනන්නේය. එය ජිවිතයට ආශිර්වාදයකි. ඔහු පසුවදාත් පිටත්ව යයි!

දිනක් ඔහු නිවසට පැමිණි විට දහවල් දවසේ ඔහු හමුවීමට පැමිණි පාසැල් සමයේ මිතුරකු ගැන බිරිඳ දන්වා සිටියේය බිරිඳට ඔහුගේ නම අමතකව ගොස්ය ඔහුගේ හැඩ හුරුකම් කථා කරන විලාශය කොතරම් පැහැදිලි කලද තිලකරත්නගේ සිතට ඔහු කවුරුන්දැයි තේරුම් නොගියේය කුඩා සිරුරකින් හෙබි අඳුරු පැහැගත් දින ගණනාවකින් රැවුල කපා නොමැති කහට ගැනුනු දත් දෙපලකින් සමන්විත මොහු කවුරුන්ද තිලකරත්න බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටිනා අතරතුර බිරිඳ ගේ තුළ සිට දිව ආවේ යමක් මතක් වෙලාය.

"සිරිතිලක"

සිරිතිලක!? ඒ කවුද ඒ???? එහෙම කවුරුවත් හිටියේ නෑනේ මගේ යාළුවෙක්!

"මන්දන්නේ නෑ එහෙමයි කීවේ . . . . "

"සිරිතිලක නෙවේ පියතිලක . . . . . . !?"

"ඔව් වොව් පියතිලකද මොකක්ද තමා . . . . !"

තිලකරත්නගේ මුහුණ හරහා සුන්දර සිනහවක් නිර්මාණය වී තිබුණි. නොඋස් ඔහුගේ හිසෙහි කොණ්ඩය තරමක් හැර ගොස්ය. එනිසා ඉදිරිපස නළලත වඩාත් පළලට පිහිටයි. බිම බලාගෙන සිටිනසේ ඔහුගේ නළල් තලය විදුලි පහනේ එළියෙන් දිලිසෙයි. ඉතිරි කොණ්ඩයද තරමක් සුදු වී ගොසිනි. නැහැය විශාලය. එහි කෙලවර බෝලයක් සේ ඉදිරියට නෙරා තිබේ. කුඩා කලසිට යටි තොල හැපීම කරණ කොට ගෙන තොල් විශාල වී ඇත දත් දෙපල යන්තමින් ඉදිරියට ඇවිත්ය. දත් අතර සිදුරු සිගරට් කහටින් දුඹුරු පැහැගැන් වී ඇත. තොල් කළු වී ගොස්ය. සෑම උදෑසනකම මුළු මුහුණෙහිම රැවුල බා දමන හෙයින් යාන්තමින් හිස එසවු රැවුල් ගස් මුහුණ පුරා සුදු තිත් දමමින් රටා මැවීය. තිලකරත්න සිගරට් ලෝලියකු නොව පෙරේතයෙකු විය. දැනටත් ඔහුගේ අතෙහි දබරඟිල්ලත් මැදඟිල්ලත් අතර සිගරුට්ටුවකි. හවසට ගෙදරට පැමිණ ළිඳෙන් නා ගැනීමට සැරසී ඇඳ ගත් තුවාය පිටින්ම හේ සිගරට්ටුව බොමින් පුටුවේ ඇලවී සිටියේය. 

සිරිසේනත් පියතිලකත් තමාත් පාසැලේ එකම පන්තියේ එකම බංකුවේ සිටි අයුරු ඔහුට මතක් විය. තවමත් එම ඩෙස් බංකු මත තමන්ගේ නම් සඳහන්ව ඇතැයි තිලකරත්නට සිතුනි. දැනට නටබුන්ව පොසිල බවට පත්ව ඇති ඔවුන්; තම ඩෙස් මත නම් කෙටු දිනය පිළිබඳ පැහැදිලි මතකයක් එවිට ඔහුගේ සිතට කාන්දු විය. රැවුල බෑමට ගන්නා බ්ලේඩ් තලයක් මගින් සූරා පිරිසිදු කරන ලද කොටුවක් තුල තිලකරත්න තිලක යනුවෙන් තීන්ත පෑනකින් ලීවේය.  දින කිහිපයක් වෙහෙස මහන්සි වී සිරිසේන තම සම්පූර්ණ නම ඩෙස්කුව මත බ්ලේඩ් තලයෙන් කෙටීය. පියතිලක පැන්සලයෙන් ලියන ලද පියතිලක යන අකුරු පහ මත කව කටුවෙන් කුඩා සිදුරු සාදා ඒවා තුලට ලියන තීන්ත දමා අලංකාර ලෙස නිම කලේය. දැනට නම ඉතිරි වී ඇත්තේ සිරිසේනගේ පමණක් විය යුතු යැයි ඔහු අනුමාන කලේය.

පියතිලක නිර්මාණශිලි අයෙකි ඔහු වරෙක උණ ගස් කැබැල්ලකින් සාදා ගත් කොපුවක් තුල තම පෑන පැන්සලය දමා ගෙන ආවේය. එම පන්තියේ සිටි ලස්සනම යුවතිය ලෙස නම් දරා සිටි ඉන්දුමතී එය ඉල්ලා ගත් සැටිත් තිලකරත්නගේ සිතට ගලා ආවේය. එම සිද්ධිය නිසාම පන්තියේ සැවොම සේ ඉන්දුමතීටත් පියතිලකටත් විහිළු කල හැටි මතක්වී මුවඟට සිනහවක් කාන්දුවී ආවේය.

පාසැල් වේලාවෙන් පසු පියතිලක ගත කලේ තම පියාගේ බයිසිකල් වින්කලය තුලය. තිලකරත්න තම පියාගේ වියෝවෙන් පසු පාසැලෙන් ඉවත් වුවද පියතිලක තවත් බොහෝ කලක් ඉගැනීමේ කටයුතු වල නිරත විය. පාසැලෙන් අස්වූ පියතිලක රජයේ මුද්‍රණාලයේ අකුරු අමුනන්නෙකු ලෙස පුහුණු වනු පිණිස බොරැල්ලේ තම පුංචි අම්මා කෙනෙකුගේ ගෙදරක නවතින්නට ගියේය. පසුව රජයේ මුද්‍රණාලයේම රැකියාව ලද ඔහු තිලකරත්නට මුණ ගැසුනේ මෙයට වසර ගණනාවකට පෙර අලූත් අවුරුද්දට දින කිහිපයකට පෙර දිනයකදී පිටකොටුවේදීය. ඇඟට තද වෙනසේ මැසු කලිසමක් හා කමිසයක් හැඳ සිටි ඔහුගේ දකුණු අතෙහි ඉතා වටිනා ඔරලෝසුවක් දිලිසිනි. එකවර තිලකරත්නට ඔහුව හඳුනා ගැනීම අපහසු වුවත් පියතිලකට තිලකරත්නව හඳුනා ගැනීම එතරම් අපහසු නොවීය. පියතිලකගේ ඔරලෝසුව දෙස කිහිප වතාවක්ම තිලකරත්නගෙ ඇස යැවුනි පියතිලක එය දුටු නමුදු තිලකරත්න වෙත ඔරලෝසුවක් නොතිබුනු බැවින් එම ඔරලෝසුව ගැන කථා කිරීමට හේ මැලි විය. තිලකරත්නද ඒ ගැන කිසිවක් නොඇසු නමුදු එම ඔරලෝසුව පෙනුමේ තරම් හොඳ එකක් නොවේ යැයි තමාටම කියා ගත්තේය එය හුදු ආත්ම වංචාවක් නොව්දැයි පසුව සිතිනි!

ඒ වන විට තිලකරත්න දෙරු පියකු වු නමුදු පියතිලක අවිවාහකව සිටියේය. තම බිරිඳගේ බාල සොයුරිය පියතිලකට අවාහ කර දුන්නොත් හොඳ යැයි පියතිලක සමුගත් පසු තිලකරත්නට සිතුනි. එවිට තිලකරත්නට මතක් වුයේ පාසැල් සමයේ සිට පියතිලක ඇදුම රෝගයට බෙහෙත් ගත් ආකාරයයි. දැන් නම් ඔහුට එම රෝගය තබා ඉහෙන් බහින රෝගයක් ඇතැයි නොසිතෙන ආකාරයේ කඩවසම් පෙනුමකට උරුමකම් ඇතැයි සිතූ පියතිලකට එකවරම තමා මහලූ වැඩි යැයි තිලකරත්නට සිතුනි. හේ තම රැවුල කපා කණ්නාඩිය ළඟට ගොස් මුහුණ බැලූවේය. එය දැන් වයස්ගත වී ඇතැයි ඔහුට සිතුනි මධ්‍යහ්න අව්කස්ටයේ පිටකොටුවේ ඇවිදින ඇවිදිල්ලට තමා දිරා ගොස් ඇතැයි ඔහුට සිතුනි. කොණ්ඩයේ බොහෝ කෙස් සුදුවී අවුත්ය. රැවුල එහෙම්පිටින්ම සුදුව ඇත. ඇස් බැමි වල තවමත් බොහෝ කෙස් කලූව පවතී. ඔහු එහි අතරින් පතර ඇති සුදු කෙස් ගසක් වැරෙන් ඇද්දේය. එය මහත් රිදුමක් දෙමින් කැඞී ආවේය වේදනාවට ඔහුට මහත් හයියෙන් කිමුහුම් කිහිපයක් ගියේය!

"ඒයි! කිමුහුම් යනවා නම් නාන්න එපා!" යැයි බිරිඳ මුළුතැන්ගෙයි සිට කෑගසනවා ඔහුට ඈතින් ඇසුනි. ඔහු වතුර කිහිපයකින් ඇඟ සෝදා ගෙන නිවෙසට පැමිණෙන විට බිරිඳ තේ කොප්පයක් සකසා තිබුනි. ඇල් වෙන්නට ගිය තේ කොප්පය මදක් එක හුස්මට බී ඉස්තොප්පුවට යනවාත් සමඟ කිසිවෙකු නිවස දෙසට එනු ඔහු දීටීය. විවාදයක් නැත පියතිලක විය යුතුය. ඔහු සිනා මුසු මුහුණින් ඉදිරියට පැමිණියේය අමුත්තා හොඳින් ළඟා වු පසු තිලකරත්නගේ මුහුණේ වු සිනාව අතුරුදහන් විය. ඒ වෙනුවට මුහුණ අඳුරු විය විශ්මයාර්ථයක් නැගුණු මුහුණ තිගැස්සුනු ගති ලක්ෂණ පෙන්නුම් කලේය.

"උ- උඹ . . . !?" තිලකරත්න මිමුනුවේය.

"ඔව්- මම මම පියතිලක . . . . !"

මීට වසර කිහිපයකට පෙර දක්නට ලැබුණු කඩවසම් බව ඔහු කෙරෙන් මිදී නොපෙනන ඈතක ගොස්ය. කොණ්ඩය වැවී නළලත වසාගෙන ඇති මුහුණ ගිලා බැස හකු පාඩා කම්මුල් ඉරා ගෙන ඉදිරියට එන බවක් පෙනුනි. ඇස් දෙක කුඩා ගුලි දෙකක් සේ  මුහුණේ සෑහෙන ඇතුලින් පිහිටා තිබුනි. ඒවා ඊයම් ගුලි දෙකක් සේ දිලිසුනි. දැලි රැවුලින් මුහුණ තෙල්පාට විය. ඉදිරිපස දතක් අහිමි වී ගොස්ය. නහය සිහින් වී ඇත දෙපසින් වල ගැසී තිබුනි. උඩුරැවුලේ ගස් තොල පසුකොට කට ඇතුලටම ගොස්ය. දත් දෙපල කහ පැහැගැන්ව  තිබුනි. අළු පාට හෝ අඳුරු නිල් හෝ කොල පැහැති කමිසයක් හැඳ සිටියේය. එය දහ දියෙන් ඇඟට ඇලීගොස්ය. ඇතුලට ඇඳ තිබුනු කිලිටි බැනියමේ කරේ පළමු බොත්තම ගැලවුනු කමිස කර තුලින් පෙනෙයි. කරේ කිලිටි වී කලූ පාටට හුරුවු ඇප නූලක්ද එහි එල්ලූනු තැලූනු දුර්වල සුරයක්ද වේ. සුරයේ තැලූනු තැන් වල පල්මානික්කම් පිරී කොල පැහැති විය. අත් දෙක නවා ගෙනය කමිස සාක්කුවේ කොලකෑලි පිරී පවතී. ඒ අතරින් කුණු බැඳුනු පනාවක දැති කිහිපයක්ද දැක්වේ. කමිසයේ ඉදිරිප බොත්තම් පේලියේ බොත්තම් දෙකක් කමිසයේ පාටට නොගැලපුනි. කමිසයේ කොලරයේ නැවුම ළඟින් දිගටම ඉරීගොස් ඇතුලට යෙදු ඇතිලි රෙදි සුදු පාටින් පෙනේ. කොලරයේ තියුණු කොන මොට වී ඉහළට නැවී පැවතුනි. උඩින් දමා තිබුනු කමිසය; කලිසමේ සෑහෙන ප‍්‍රමාණයක් වසා දමාය. කලිසම් කකුල්වල උඩ කොටස නූල් ඇදී ඇත. එය බොහෝ සෙයින් කිලිටි වී ඇති වගක් පෙනුනි. එහි එක් තැනක සිගරැට්ටුවකට පිළිස්සුනේ යැයි සිතිය හැකි සිදුරකි කලිසම ඔහුට බොහෝසෙයින් විශාල බවක් ඉසිලීය. කලිසම් කකුල්ද කමිසයේ අත් මෙන් දෙතුන් වරක් නවා ගෙනය. සෙරෙප්පු දැමු කකුල් දූවිලි වැදී අඳුරු වෙලාය. නියපොතු දිගටම වැවී තිබුනි. ඇඟිලි ගැටෙන ස්ථානය සෙරෙප්පුවේ හෑරී ගොස්ය තිලකරත්න පියතිලකගේ ඔලූවේ සිට දෙපතුල තෙක් එක බැල්මකට හසු කර ගෙනය ඔහුට එකවරම ඔරලෝසුව මතක් විය!

"කෝ ඔරලෝසුව . . . . . ?'

"උගස් තියලා . . . . !"

"සින්න වෙලාද . . . . . !?"

"වෙන්න ඇති . . . . . . !

"අපරාදේ . . . . . . !"

තිලකරත්නට තමා ඇසු ගොන් ප‍්‍රශ්න වැලේම එල්ලී දිවි නසා ගන්නට සිතුනි. තමාට මීට වඩා අහන්න යමක් නැද්දයි ඔහුගේ සිතට ආවේය.

තවමත් පියතිලක දොර කඩය!

"වරෙං! වරෙං . . !!"

පියතිලක නිවස තුලම කැඳවූ ඔහුගේ වත ගොත විමසන්නට පටන්ගති. තම වෘත්තිය සමිතිය; පසු ගිය මහා වැඩ වර්ජනයේදී වර්ජනය කිරීමට ගත් තීරණය මත එයට සහභාගි වු පියතිලකගේ රැකියාව අහිමි වී ඇත! තම විවාහ මංගල්‍යයට දින ගණනක් තිබියදී සිදු වු මෙම අවාසනාවන්ත සිදුවීම නිසා විවාහ කල් දැමු ඔහු වෙතින් මෙවන විට සියලූ දේ අහිමිව ගොස්ය! සහකාරිය වෙනකෙකු සමඟ විවාහ වී ඇත! පියා හා මව ඔත්පලය.  නිවස ගරා වැටී ඇත. රැකියාවක් නැත. තම ඇදුම රෝගය උත්සන්න වී ඇත.

 මේ ඔහුගේ කථාවේ සාරාංශයයි.

තිලකරත්නගේ ඇස් තෙමී යනු ඔහුට දැනුනි. ඔහුට එය තම බිරිඳගෙන් සඟවා ගන්නටත් මිතුරාට දක්වන්නටත් වුවමනා විය. පියතිලකගේ කටහඬ දුබලවී ගොස්ය. පසුගිය වකවානුවේ තමා මෙන්ම රැකියා කිහිපයක් කලමුත් එසේ රැකියාව මඟහැරමින් දුව ඇවිදින්නට තරම් ශාරිරක හෝ මානසික ශක්තියක් පියතිලකට නැති බව තිලකරත්නට පැහැදිලිය. පාසැලේ අවසාන කාලපරිච්ඡේදයෙහි තම ඩෙස්කුවට සෙමෙන් තට්ටු කරමින් මොහොමඩ් රෆී ගායනාකල "සුහානි රාත්" ගීතය පියතිලක ලයාන්විත ස්වරයෙන් ගැයුවේ මොනතරම් මිහිරියාවකින්ද? ඒ ගීතය ඇසෙද්දී මහා මූසල බවකින් තම සිත වෙලාගත් අයුරු තිලකරත්නට නැවතත් දැනෙන්නට විය. අපි හැමෝම මහා අසරණයෝ ටිකක් යැයි තිලකරත්නට සිතුනි!

ඉතිං මොනවද මචං කෙරෙන්න  ඕන . . . . ?

තිලකරත්නට එසේ ඇසුනේ ඉබේටම වාගේය. ඇත්තෙන්ම තරාදියක දෙකෙලවර ඇති තරාදි තට්ටු දෙකක් සේ ඔවුන් ජිවිතයේ එල්ලී සිටී එක් තරාදි තට්ටුවක් පහළ බසින්නේ ජිවිතයේ ඇති අනේක විදි බර නිසාමය. අනෙක් තරාදි තට්ටුව ඉහළ යන්නේ එහි කිසිවක් නොමැති නිසාය. එය හිස්ව ගොස් ඇති නිසාය. තිලකරත්න තම දරුවන්ගේ අධ්‍යාපනය ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආහාර ඇඳුම් පැළඳුම් යන මේ අනේක විධි බර නිසා තෙරපී සිටීයි. පහළ බසින තරාදි තැටියට ඉහළ නගින තරාදි තැටියටවත් ඔවුනොවුන්ගේ ස්ථාවරයක් රඳවා ගැනීම සඳහා කල හැකි උපකාරයක් නොමැත. ඔවුන්ට කල හැක්කේ ඔවුනොවුන් වෙනුවෙන් දුක් වීමට පමණි.

පියතිලක ඔහුට ජිවත් වීමට මාර්ගයක් නොමැති බව නියමිත ඉලක්කයක් බලාපොරොත්තුවක් නොමැතිව අයාලේයන තම ජිවිතය තමා කුඩා කල සිට හදා වඩා දැන් මහළු වයසේ අසරණව සිටිනා දෙමව්පියන්ගේ අසරණ බව යන මේ කරණු කාරණා නිසා ජිවිතය පිළිබඳ හිස් බලාපොරොත්තු සමඟ බොල් අහසේ පය ගසන්නට තැනක් නොමැතිව කරකියා ගත නොහැකි තත්ත්වයකට වැටී ඇත.

තිලකරත්න තමාගෙන් අවශ්‍ය උදව්වක් ඉල්ලන මෙන් පැවසු වචන පියතිලකගේ දෙසවන තුල රැව්පිලිරැව් දුනි. ඒ වචන බොහෝ බර වැඩි යැයි ඔහුට සිතුනි. ඒවා තමාගේ හදවත් පතුලේ ඇහෙනු පියතිලකට දැනුනි. උගුර හිරවන ගතියක් දැනුනි තමා දවාලට තබා උදේටවත් හරියම් අහරක් නොගත් බව මතක් වෙත්ම මහත් ආත්මානුකම්පාවක්ද එකෙනෙහිම තියුණු කුස ගින්නක්ද ඔහුට දැනුනි. ඔහු වතුර වීදුරුවක් ඉල්ලා සිටියේය. වතුර වීදුරුවකුත් සීනි අඩු තේ කොප්පයකුත් ලද හේ තේ කොප්පය වේගයෙන් බී වතුර වීදුරුවෙන් සෙමෙන් තොල තෙමා ගත්තේය. ඔහුගේ දෙනෙත් ඔවුන් සිටිය කුඩා සාලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම දිව්වේය.

ඔහු ඉදිරියෙන්ම වු කිලිටි බිත්ති ඔරලෝසුවේ දුවිලි බැඳුනු වීදුරුව තුළින් වේලාව 2 කුත් ගණනක්. විය. පෙරවරුද පස්වරුද යැයි සිතිය නොහැක ඔරලෝසු මුහුණතේ වුයේ පැය කටුව පමණක් විය. එය 2 ඉලක්කම හා 3 ඉලක්කම අතර රැඳී පවතී ඔරලෝසුවේ බට්ටා භාවනායෝගීව සිටී එහි කිසියම් රූපයක් අලවා ඇතත් එය පැහැදිලි නැත. ඉතා ඉහළට නැගී බිත්ති මත සිංහල උලූ වහළ රැඳී තිබුනි එක් තැනක වීදුරු කැබැල්ලක් දමා තිබුනද එයින් ගලා ආ එළියක් නම් නොවීය. ඒ; එහි බැඳි දිය සෙවල නිසා නොව රාත්‍රියට හිරු රැස් නොමැති නිසාය. බිත්ති වටා පැන්සලකින් හා පාට කූරු වලින් ඇඳි හරඹ සටහන් විය. විකෘති රූප හා අකුරු එක උඩ එක ලියැවී තිබුනි. කාමරයේ එක කෙලවරක කැබිනට්ටුවක් විය. වීදුරු දොර පියන් නොමැති ඒ තුළ පැරණි අවර්ණ වී ගිය කඩදාසි හා ඉටිකොල මල් වගයක් විය. ඒ මත පැත්තක් මීයන් විසින් කා දැමුවා යැයි සැක කල හැකි පලූඳු කිහිපයක් සහිත පොල් ගෙඩියකින් සෑදු වඳුරෙකි. උගේ තනියට මැටි බල්ලෙකි බල්ලාගේ ඇහැ පුරා රතු කහ කොල නිල් වැනි වර්ණයන්ගෙන් පුල්ලි වැටීය. එක් අතක් කැඩී ඉරි තැලී ගොස්ය. පැරණි ත්‍රී රෝස් සිගරට් පෙට්ටි වලින් සැකසු නෙලූම් මලක් බිත්තියක එල්ලා ඇත. පුටු දෙකක් හා බංකු ලෑල්ලක් තැබුනු සාලයේ දොර අබියස දැමු ගොනි කැබැල්ල මත; කටුවන් කැලැල් ඇති බලූ මහල්ලෙක් ගුලිවී ඇත.

එකවරම ඌ නැගිට; සට සට ගා  කකුලෙන් පිට කසන්නට උත්සහ ගත්තේය. එය නොහැකි බව තේරුම් ගත් නිසාදෝ හොඳින් දෙකට නැවී රවුම්වී පිට විකාගෙන විකාගෙන ගොස් ඉන්පසු ගෝනිය ඉවත්කොට කිහිපවරක් වේගයෙන් පිඹ මිදුලට පැන නොපෙනී ගියේය. තිලකරත්න තමා ගැන මුලූ හදින්ම දුක්වන්නේ යැයි සිතුනු පියතිලකට තිලකරත්න ගැන දුක සිතුනි. එහෙත් තමා මීටත් වඩා අසරණනෙදෝයි සිතුනු විට සියුම් හීනමානයක හැඟිමක් සිතට ගලා ආවේය. එය සඟවා ගැනීමට හේ තමා විවාහ වන්නට ගිය කාන්තාව සතුවු දේපළ පිළිබඳ යමක් පැවසීය එය මෙතනට කිසිසේත්ම අදාළ නොවන නොගැළපෙන දෙයක් යැයි පියතිලකට මෙන්ම තිලකරත්නට සිතුනි!

මේ යකාට මේ තරම් දෙයක් වෙලත් තියෙන ආඩම්බරකම යැයි තිලකරත්නට සිතුනි සියුම් කේන්තියක්ද සිතට ආවේය. පියතිලක නිහඬවත්ම තිලකරත්නගේ සිතද සන්සුන් විය.

මචං තිලකේ මම පොඩි වැඩක් කරන්නයි හිතාගෙන ඉන්නේ.

පියතිලක නැවත කටහඬ අවදි කලේය

ඔහු නිවසේ සිට ආරම්භ කල හැකි කුඩා කර්මාන්තයක්වු කාඩ් බඩු ව්‍යාපාරයක් ගැන තිලකරත්නට පැහැදිලි කරන්නට විය. කාඩ් බඩු ව්‍යාපාරයක් යනු මිරිස් තුනපහ කහ නිල් කරදමුංගු කරාබුනැටි කොත්තමල්ලී වෙනිවැල් පස් පංගුව වැනි දේ කුඩා පොලිතීන් මලූවල බහා මුද්‍රා තබා තරමක් විශාල කාඩ් බෝඩ් එකක අලවා කඩවල් වලට විකිණීමයි එය ඉක්මනින් මුදල් උපයා ගත හැකි ව්‍යාපාරයකි.

එසේම එය ඉතාම සුළු මුල්‍ය ධනයකින් ආරම්භ කල හැකි ව්‍යාපාරයක්ද විය. එදිනෙදා ජිවනෝපාය සරිකර ගැනීමට කදිම ව්‍යාපාරයක් වුනු මෙය පියතිලකට බොහෝ සෙයින් ගැලපෙන්නක් විය. තම අභිනව ව්‍යාපාරික අදහස ගැන පියතිලක තිලකරත්නට සියලූ කාරණා පැහැදිලිය. අමුද්‍රව්‍ය ලබා ගන්නා ආකාරය ඒවා කුඩා ප‍්‍රමාණ වශයෙන් වෙන් කර ගෙන පොලිතීන් මලූ වල බහා කාඩ් බෝඩ් ලෑල්ල සකසා ගන්නා ආකාරය යනාදී සියලූම තොරතුරු ඒ අතරතුර විය.

පියතිලක තම ව්‍යාපාරය ගැන කරුණු කාරණා කියනා තුරු තිලකරත්නගේ සිත බොහෝ කලබල ලෙස ඔබ මොබ දිව්වේය. පියතිලක තම ව්‍යාපාරය ආරම්භ කිරීමට මුදල් ආධාරයක් බලාපොරොත්තුව මේ ගැන පැමිණ ඇත්නම් තමා කුමක් කරන්නේ දැයි ඔහුගේ සිත ඔහුගෙන්ම විමසීය. මේ දිනවල තමා දිවා ආහාරය පවා අමතක කොට ඇත්තේ ආර්ථික වශයෙන් දැනට වැටී ඇති පතුලක් නොපෙනෙන ආගාධයකට බැවින් දරුවන්ගේ අධ්‍යාපනික වියදම් ගෙදර වියදම් හාල් පොල් සීනි තේ කොල බස් ගාස්තු ණය තුරුස් පොලී උකසට තබා තවම සින්න නොවී ඉතිරිව ඇති බිරිඳගේ අරුංගල් ජෝඩුව මේ සියල්ලම තිලකරත්නගේ හිස වටා භ‍්‍රමණය වන්නට විය.

මොකක්ද මේ ජිවිතේ යැයි ඔහුට සිතුනි උකස් තියන්නට විකුණන්ට තමාගේ යැයි තව ඉතිරිව ඇත්තේ අතපය හතර සහ ජීවිතය පමණි. ඒත් ඒවාත් තමාට සින්නක්කර හිමි නැත ඒවා පවා තමාට හිමි වන්නේ තමාගේ ප‍්‍රාණභූක්තියෙන් අනතුරුවය. මැරෙනතෙක් තම ජිවිතය තමාගේ බිරිඳගේ හා දරුමල්ලන්ගේය. තම ජිවිතය උගස් තියන්නටත් ගේ විකුනන්නටත් හිමිකාරත්වයත් ඇත්තේ ඔවුන්ටය. ඔවුන් වෙනුවෙන් තමා ජිවත් විය යුතුය. දහදිය හෙලිය යුතුය මුදල් ඉපයිය යුතුය. ඔවුන් ජිවත් කල යුතුය. තම ජිවිතයේ පවා අයිතිය තමා සතු වන්නේ තමා මිය ගියාට පසුවය!

පියතිලක බොහෝ උද්යෝගයෙන් යුතුව ව්‍යාපාරය ගැන අලෙවිය ගැන තොරතෝංචියක් නැතිව කියවයි තම මිතුරාගේ සිත එයින් බොහෝ දුර ගොස් ඇති බව පියතිලකට තේරුම් ගියේය. 

මචං මට දැන් උඹෙන් කෙරෙන්න  ඕනෑ උදව් දෙකක් තියෙනවා එකක් තමයි පලමු කාඩ් එක අලෙවි කරන්න හොඳ මනුස්සයෙක් හොයා ගන්න  ඕනෑ. අනෙක තමයි රුපියල් දෙසිය පනහක් විතර හොයලා දෙන එක මම මාසයකින් කොහොම හරි හොයලා දෙන්නම්.

තිලකරත්න නිරුත්තර විය ව්‍යාපාරය ආරම්භ කිරීමට වාසනාවන්ත පුද්ගලයෙකු සොයා ගැනීම හා රුපියල් දෙසිය පනහක් සොයා දීම ඔහුට දැනට ඇති අභියෝග දෙකය! තමාත් පියතිලකත් හැර මේ ලෝකයේ සිටින අනෙකුත් සියලූම මිනිසුන් වාසනාවන්ත යැයි ඔහුට සිතුනි එහෙත් මෙවැනි කටයුත්තකදි ඊට සහභාගි කර ගත යුත්තේ උත්සහවන්ත වාසනාවන්ත ත්‍යාගශිලි ධනවත් සමාජයේ පිළිගැනීමක් ඇති අයෙකි ඔහු තවත් ව්‍යාපාරිකයෙක් නම් වැඩේ අතිශයින්ම සාර්ථකය!

පියතිලක තිලකරත්න දෙස දෑස් දල්වා බලා සිටියි තිලකරත්න කල්පනාවේ නිමග්නවය ඔහු වාඩි වී සිටි පුටුවේම හිඳ තම වම් අතින් නළල් තලය හා හිස අත ගාමින් සිටී හිස අතට බර වෙලාය. දෑස් වැසී ඇත. එම අතෙහි වැල මිටට ඔහු හැඳ සිටි සරමේ ගැටය පහතට තෙරපී ඇත. දෙපා පුටුවේ ඉදිරිපස කකුල් දෙක අතරය ඒවායේ ඇඟිලි පමණක් පොළවේ ගෑවී පවතී. වම් පස නිසොල්මනේය දකුණු පස වේගයෙන් ඉහළ පහළ සෙලවේ එම පයෙහි කෙණ්ඩය පුටු කකුලට තෙරපීය. දකූණු විලූඹ හා ගැටෙන වම් පස සෙමෙන් සෙලවේ එක් එක් රිද්මයට අනෙක් අතෙහි ඇඟිලි වම් ඇලය මත රඟදේ. ඒ තිලකරත්න සිතන ආකාරයයි එකවරම ඔහුගේ සියලූ චලන නැවතිනි තත්ත්පර කිහිපයක් එසේම සිට පළමුව දෑස් විවෘත විය.  නිදහස් වුනු හිස දෙසට දිගවී නැවතී ඇත එයින් ශබ්ද එහි දබරැඟිල්ල මදක් ඉහළට එස වී ඇත අත පියතිලක දෙසටය.

"හරි ඉන්නවා වැඩෙට නියම කෙනෙක්! වැඩෙට හරියටම හරි!!" තිලකරත්නගේ ඇස් බැමි විදුලි කොටස් ඉහළට ගොස් පහළට වැටුනි දෑස් දිලිසිනි මුහුණේ ජයග‍්‍රාහී සිනාවකි කිසිවෙකු දවස පුරාම තිලකරත්න දෙස විමසිල්ලෙන් සිටියා නම් මේ තරම් සන්තෝෂයෙන් සිටි තවත් වේලාවක් නැහැයි ඔහුට සිතෙනු ඇත.

කවුද?

ඇයි බං අපේ සිරිපාලයා වමත එසවී තරමක් ඉහළට එසවී වමතටත් ඉදිරියත් අතර දිසාවක් දැක්වෙයි

සිරිපාලගේ නිවෙස හා ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සැල පිහිටියේ තිලකරත්න විසින් දැක්වුනු දිසාවටම අංශක අනුවක් දකුණු දෙසටය නමුදු එම දිසාවට අත එස වුවෙත් ඉබෙටම මෙනි.

"සිරිපාල . . . ?" මුහුණුට ප‍්‍රශ්නාර්ථයක් නගා ගත්වනම පියතිලක තිලකරත්න දෙස නළල රැලි කර ගත් වනම බැලූවේය නළලට වැටී තිබුනු කොන්ඩයෙන් නළල බොහෝ සේ වැසී ගියේය.

"ඔව් අපේ සිරිපාල ඩී ඩී . . . ?" ඩී ඩී යනු දෙවුන්දරගේ දොන් යන්නයි එම අකුරු දෙක පියතිලකගේ මතකය අවදි කරන්නට සෑහුනේය!

"ඔව් ඩී ඩී ඉතිං . . . ?" පියතිලකගේ ඇස් දිලිසුනි.

"ඇයි මචං උගෙනේ ඔය ඉස්සරහා තියෙන සිමෙන්ති බඩු කඩේ . . . !"

තිලකරත්න සිරිපාල ගැන හා ඔහුගේ ව්‍යාපාර නාමය ගැන සියලූ විස්තර පියතිලකට පැහැදිලි කලේ නොනවත්වා එක දිගටය!

පියතිලකට තමා පෙරටත් වඩා අසරණ යැයි සිතිනි ඒ තමා සමඟ එකට සිටි පාසැල් මිතුරා සිරිපාල හා තමා අතර ඇති කිසිඳු දිනෙක පෑහිය නොහැකි  පරතරය ගැන සිතුනු බැවිනි.

සිරිපාලගේ දියුණුවේ මුල් පියවර ගැන නිවැරදි වැටහීමක් තිලකරත්නටද නොතිබුනි. ඔහු කල කැපවීම ගැන දන්නේ සිරිපාල පමණක් බැවින් පියතිලක හා තිලකරත්න දෙදෙනාම සිතුවේ මේ සියලූ දේට ප‍්‍රධාන හේතුව වෙලාව කියාය ගුවන් විදුලියෙන් කියැවෙන වෙලාව නොව උපන් වෙලාවය!

"ඌ වැඬේ කරලා දෙයිද .  .  . ?"

"මොනවද මේ කථා . . . . ?" පියතිලකගේ ප‍්‍රශ්නය අසා ඉවර වන්නට ප‍්‍රථමයෙන් තිලකරත්න සිහින් හඬින් කෑ ගැසුවේය.

අනේ මචං ලොකු දෙයක් හෙටම කියපං මම එන්නම් හෙට නෙවේ අනිද්දට සිරිපාලට කථා කරන්න මෙහෙම හරි නැහැනෙ පියතිලක තමාගේ ඇඳුම් දෙසට අත දිගු කරමින්ම කීවේය

 "ඕන්නෑ මචං කවද්ද ඔය දවස . . . . . ?"

" . . . . විසි පහ . . . . !  සඳුදා දවසක් . . . . !"

"සඳුදා . . . . . . . ?"

සඳුදා ව්‍යාපාරයක් පටන් ගැනීමට එතරම් හොඳ දවසක් නොවන බව බොහෝ ව්‍යාපාරිකයින්ගේ අදහසය. ඔහු ඒ බව හොඳින් දන්නේ බොහෝ කඩ සාප්පු සඳුදා දින වල වසා තබන බැවිනි එහෙත් ඒ වගක් පියතිලකට පෙන්නුම් කිරීම ඒ තරම් හොඳ දෙයක් නොවන බව තිලකරත්නට සිතුනි.

" ඔව් සඳුදා . . ! එන සඳුදා නොවේ ඊළඟ සඳුදා . . . . !"

"උඹ එන්න  ඕන නෑ . . ! උඹ උඹේ වැඩක් කර ගනින්කෝ රස්තියාදු වෙන්නේ නැතුව! මම ඒ වැඞ් හරියටම කරලා කියන්නම්. . .  !" 

"මචං අනෙක් වැඩේ . . . . !"  පියතිලක ඒ විමසුවේ රුපියල් 250 ගැනය. මේ වේලාවේ ඒක නොවැසුවා නම් වඩා හොඳ යැයි පියතිලකට මෙන්ම තිලකරත්නට සිතුනි. එහෙත් එන 25 වන විට ගෙවන්නට ඇති ලයිට් බිල ගෙවිය යුතු අවසාන දිනය ලෙස දක්වා ඒවා ඇති ලිපිය පියතිලක තම කමිස සාක්කුවෙන් එළියට අදින විට තිලකරත්නගේ ව්‍යාකූල වු සිත තරමක් සංසුන් වෙලාය.

"250 නෙ ? උඹට දැන් මේ කාඩ් බඩු වැඩේ සිරිපාලට අලෙවි කලාට 250ට 300ක් උගෙන් ලැබෙවිනෙ මචං . . . . ! තිලකරත්න දැනමුත්තෙකු ලෙස පැවසීය. පියතිලක සිනාසෙමින් බිම බැලීය ඒ සිනාව තුල සන්තෝෂයක් මෙන්ම ලැජ්ජාවක්ද ඇති විය.

ඉක්බිති පියතිලක අඳුරේ නොපෙනී ගියේය. තවත් බොහෝ වෙලාවක් තිලකරත්න පැරණි පුටුවට බරදී සිට කුස්සිය දෙසට පැමිණියේය. තිලකරත්නට ඉන්පසු යෙදුනේ ඉතාමත් වැඩ බහුල දින කිහිපයකි. ඔහුට පෑන් වෙළඳාම අප‍්‍රසන්නය. ඒ අතරතුරේදී ඔහුට බයිසිකලයකින් තලගුලි විකුණන වෙළෙන්දෙකු හමුවිය. තිලකරත්නද තලගුලි විකුණීම පටන් ගනී. අනුන්ගේ බයිසිකලයක, අනුන්ගේ පෙට්ටියක, අනුන්ගේ තලගුලි රැගෙන ගොස් ඔහු විකුණයි. එය තරමක් ලාභදායි ව්‍යාපාරයකි. ඔහු දිනකට සැතපුම් 40-50 ක් දුරක් පදී. ගෙදර පැමිණි පසු ඔහුගේ බිරිඳ ගොරක තැම්බු වතුරින් ඔහුගේ දෙපා තවයි. ගොරකා වතුරින් නොව තම බිරිඳගේ සෙනෙහසින් ඔහුට ලැබෙන සුවය පසුදිනද බයිසිකලය පැදීමට සිතට දිරි දේ. දරුවන්ගේ සිනාමුසු මුහුනු ඇඟට ශක්තිය ලබාදේ දරු පෙම යනු මෙය විය යුතුය!

හදිස්සියේ 20 වනදා ඔහුට පියතිලක වෙනුවෙන් සිරිපාල හා එකතුව 25 වන දින උදයේ ඉටු කිරීමට ඇති වැදගත් දේ මතක් විය. ඔහු වහාම එදින හවස සිරිපාල හමුවීමට ගියේය. එදින ඔහු මුණ ගැසීමට නොහැකි විය පසු දින උදයේම ඔහු හමුවීමට ගිය තිලකරත්නට බලවත් උත්සහයෙන් සිනහ වන සිරිපාල දැක ගන්නට ලැබුනි. 100% ක් ව්‍යාජ වු ඒ සිනාහව මොන තරම් අප‍්‍රසන්න දැයි තිලකරත්නට සිතුනි

"මචං . . . . . මම මේ ආවේ . . . . . ?"

"ඈ . . . . . . . ?"

තිලකරත්න ආ කාරණාව පහදා දීමට පළමුව සිරිපාල ඈනුමක් ඇරමින්ම ඈ ගෑවේය!

තමා "මචං" කියපු එක මෙතනට නොගැලපේ යැයි ඔහුට සිතුනු නිසාදෝ දෙවන වර ඔහු සිරිපාල ඇමතුවේ මුදලාලි කියාය. ආ කාරණාව අකුරක් නෑරම විස්තර කොට ආ ගිය තොරතුරු කථා කිරීමට පැමිණි තිලකරත්නට සම්පූර්ණ කථාව් සංක්ෂිප්තයද යන්තමින් කියා ගන්නට හැකි වුයේ දෙතුන් වරක් පැටලීමෙන් අනතුරුවය.

"ඉතිං . . . . . . ?"  ඕනෑවට එපාවට සිරිපාල ඇසුවේය

අවසානයේ දී තිලකරත්න ලබන 25 වන දින පියතිලකගේ කාඩ් බෝඩ් ව්‍යාපාරය අලෙවි කරන මෙන් ඉල්ලා සිටිමින් කථාව නිම කරන්නටත් ප‍්‍රථම කපටි සිනාවක් පෑ සිනාවක් පෑ  සිරිපාල;

"අනේ දැන මම ඒ වැඩ කරන්නේ නෑනේ . . . . " කීවේ නිදිමත ගතියෙනි.

"එහෙම කරන්න එපා අපේ යාළුවානේ . . . . "

"කවුද ඔය මට හරියට මතකයක් නෑනේ . . . . ?" සිරිපාල නළලත රැලි ගන්වමින් විපිළිසර විය තිලකරත්නගේ ඇවටිල්ල නිසාම අකැමැත්තෙන් වුවද මේ කාරණාවට සිරිපාල අවසානයේ කැමති විය තවත් දින කිහිපයක් ගෙවී ගියේය. එළඹුනේ 24 වන දින සන්ධ්‍යාවයි සිරිපාලට මෙය නැවත මතක් කල යුතු නිසාම තිලකරත්න ඉක්මනින් ගෙදර පැමිණුනි ඇඟපත සෝදා තිලකරත්න සෙමෙන් සෙමෙන් සිරිපාලලාගේ ගෙදරට ගියේය සිරිපාල ගෙදර නොමැත සිරිපාලගේ බිරිඳ යැයි කිව හැකි යෝධ ගැහැනියක් ඉදිරියට ආවාය!

මුදලාලි මහත්තයා නෑනේ . . . .!" මූණ දියාරු කර ගෙන කී ඇය ගේ තුලට යාමට සැරසුනි

"අද  කීය වෙයිද දන්නේ නෑ එනකොට . . . . . . . ?"

"අද නෙවෙ හෙටවත් එයිද දන්නේ නෑ . . . . . !"

සිරිපාල දුර බැහැර ගමන් යන්නේ තම ලොරියකින් හෝ වෑන් රියෙනි. ඒ සියලූ වාහන දකින්නට ඇති බැවින් මෙම ප‍්‍රකාශය එතරම් පිළිගත හැකි එකක් නොවන බව තිලකරත්නට සිතුනි.

"වෑන් එක නම් තියෙනවා . . . . . !" තිලකරත්නට ඉබේටම වාගේ කියැවිනි. සිරිපාලගේ බිරිඳ තිලකරත්න දෙස රවා බැලූවාය. තමා පැවසුවේ අනවශ්‍ය දෙයක් යැයි ඔහුට සිතුනි.

"කමක් නැහැ හෙට උදේ එයි මහත්තයා හමුවෙන්න තව කෙනෙක් . . ! එයාට රුපියල් 250 ක් විතර දීලා ඒ මනුස්සයාගේ කාඩ් බඩු බිස්නස් එක අලෙවි කරන්නට පුළුවන්ද මේ නෝනට . . . . . ? තිලකරත්න ඉතාමත් අසරණ විදිහට විචාලේය.

"කොහේ තියෙන දෙසිය පනහක්ද . . . ?" ගැහැනිය කේන්තියෙන් මෙන් ඇසීය

"ආ . . ඒක මම ගෙනත් දෙන්නම් . . . !" තිලකරත්නට ඉබේටම වාගේ කියැවිනි

" . . බලමු . . ! ගේනවකො බලන්න . . . . !"

තිලකරත්න ආපසු හැරිනි "හොඳ වෙලාවට ගිය සතියේ තල කැරලි වල සල්ලි පියව්වේ නැත්තේ!" යැයි සිතමින් තිලකරත්න සෙමෙන් සෙමෙන් තම නිවෙස දෙසට පය එසවීය.

කවුරුන් විසින් හෝ ව්‍යාපාර අලෙවි කරනවාට වඩා මෙම අවස්ථාවේදී රුපියල් 250 වැදගත් බව තිලකරත්නට මතක් විය පියතිලකගේ අහිංසක මුහුණ ඔහුට මතක් විය මේ සම්බන්ධව කිසිදු සැකයකින් තොරව තමා පොරොන්දු වු ආකාරය හා ඔහු ලැඡ්ජාව මිශ‍්‍ර සංතෝෂයකින් සිනහ වු හැටි තිලකරත්නට මැවී පෙනෙන්ට විය.

සුපුරුදු අහිංසක සිනහවක් තිලකරත්නගේ මුහුණ එකළු කරමින් ඇඳී ගියේය.
බිම බලාගෙන ආපසු සිය නිවසට ගමන් ගන්නා ඔහු සිනා සුනේ මිහි කත සමගය!

"මොකද මංදා මේ මනුස්සයට වෙලා තියෙන්නේ? තනියම හිනා වෙවී!?"
තිලකරත්නගේ බිරිඳ "සිරී" තනිවම තමන්ටම කියා ගත්තීය!


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...