ඉතාමත් ඇල් මැරුණු ස්වරූපයෙන් මේ අළුත් අවුරුද්දත් ගෙවී ගියේය. අවුරුදු කෑමේ ආදිනව විඳිමින්ය. රට පුරා නොව ලොව පුරා පවතින අර්භූධකාරී තත්වය මත හිතෙන්නේ "ඔයිං ගියා මදැයි!" කියාය.
අළුත අවුරුදු උදාව සමග සෑම සියළු දෙනාට නිතැතින්ම මතකයට එන්නේ තමන් කුඩා කල විඳි අවුරුදු අසිරිය ය.
මා හටද මතකයට ආවේ අපගේ දෙමව්පියන් සමග අළුත් අවුරුදු සිරිය විඳි ආකාරයයි.
මම "තාත්තා නොම්මර 1" කියා ලීවාට අම්මා පිළිබඳව ලියා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඒ මන්ද එය මෙසේ සතුටු සිතින් මෙනෙහි කිරීමට ඇති අපහසුතාවමය. මා බොහෝ තැන් වලදී ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශයක් ඇත. විවාදයට තුඩු දෙන එම වැකිය මා මෙතනත් ලියන්නම්. නමුත් ඊට හේතු නො විමසන්න; මන්ද "හොඳ" යන්නට වෙනත් නිර්වචනයන් නොමැති නිසාය. හොඳ යනු හොඳය! එතැනින් අවසානය.
"මට හිටියේ ලෝකයේ සිටි හොඳම අම්මායි!" මේ ඒ වැකියය! දිනෙක මම ලියන්නම් අවස්ථාවක් ලැබුනොත් අම්මා ගැනත්. ඒත් අදත් කියන්නට යන්නේ "තාත්තා නොම්මර 1" ගැනය.
අළුත් අවුරුද්ද ආසන්න බව මට එය පළමුව දැනෙන්නේ තාත්තා සමග කෙහෙල් කැන් වල දැමීම සමගය! වරෙක සිසිර කුමාර මාණික්ක ආරච්චි ලීවා සේ "ගහ කැන් වලදමා - ගිණි දෙවියන්ට පුදවා" අපේ තාත්තාද අවුරුද්ද; කට ලඟ බව අපට දන්වයි.
තාත්තා ගෙවත්තේ වවන ලද කෙහෙල් පඳුරක කෙහෙල් කැනක් අවුරුද්දට "ලයින්" කර ගැනීමේ කලාව තාත්තා දැන සිටියේය. එකල අළුත් අවුරුද්දට "ෆුඩ් සිටියෙන්" කෙසෙල් කීලෝවක් ගෙනැවිත් සැමරුවේ නැත. අනිවා හැම ගෙදරකම පාහේ කෙහෙල් කැනක් වල දමා ඉදවීම සාමාන්‍ය සිද්ධියක්ම විය. කුඩා වලක් කපා එය තුලට කෙසෙල් පරඬැල් දමා ගිනි තබන්නේ වල තැවීමටය. ඒ තුල තවත් කෙහෙල් පරඬැල් කිහිපයක් දමා ඒ මත; කැනෙන් කපා වෙන් කල ඇවරි ටික අඩුක් කර ලෑලි තබා එය පස් වලින් වසා දමන්නේ හිල් කරණ ලද පොල් කටුවක් වලේ එක් මුල්ලක තබාය. මුළු වල තුලටම ඇති එකම වා කවුලුව වන්නේ එම කුඩා සිදුරයි. පසුව එම පොල් කටුව තුලට පොල් මුඩු කිහිපයක් දමා ඒ මත හෙලන පොල් කටු අඟුරු මගින් දුම් වල ඇතිවීමට කුල්ලකින් හුලං ගැසීම කරණු ලබයි.
මා හට ඇති ප්‍රධාන රාජ කාරිය වන්නේ තාත්තා කුල්ලෙන් හුලං ගසද්දී වලේ හතර මුල්ලෙන් දුම් පිටවනවාදැයි නිරීක්ෂනය කිරීමය! එසේ දුම් පිටවන්නේ නම් පස් වලින් යලිත් මුද්‍රා තැබිය යුතුය.
දින කිහිපයකින් පසුව පරණ අවුරුද්දේ වල විවර කොට බලන විට කෙසෙල් ඇවරි සිනාමුසු මුහුණින් සිටිනු දකින්නට ලැබේ. ඒ සඳහා ගතවන කාලය දිනකට කීවරක් දුම් ගැසිය යුතුද වැනි කාරණා පිළිබඳව තාත්තා විශාරද දැනුමක් සහිත විය.
සෑම අවුරුද්දකම තාත්තා ගෙදර ඇති ලොකු හාන්සි පුටු දෙක සූරා පොලිෂ් ආලේප කරයි. "සින්ටෙක්ස්" චිමිණි ලාම්පු වලට චිමිණි දෙකක්ද, පෙට්‍රොල්මැක්ස් ලාම්පුවට මැන්ටලයක්ද ත්‍රී කොයින්ස් ස්ටවුට් දෙකක්, බීර බෝතල් දෙකක්, කලු පැහැති අරක්කු බෝතලයක් ගෙනත් කොහාට පෙර අපට අවුරුදු එන බව කියන්නේය. ඒවා තිබ්බේ කුඩා අල්මාරිය පිටුපසය!
චිමිනි ලම්පු දෙකද ගඩොල් කුඩු හා දෙහි ලෙලි වලින් මදියි.
අවුරුද්දට අම්මා සාදන කැවිළි අතර අංක එකට තියෙන කැමක් වන්නේ සූදුරු දමාපු අළුවාය. මේ අළුවා සඳහාත් හත්මාළුව සඳහාත් කජු සැපයීම තාත්තා දේව කාරියක් කොට සැලකුවේය.
බුලත් දී ආහර අනුභවයෙන් පසුව ඇරඹෙන්නේ අවුරුද්දේ සුභම සුභ කටයුත්තටය. ඒ අනෙකක් නොවේ ගනු දෙනු කිරීමය. මෙහිදී අම්මාත් තාත්තාත් බුලත් කොල වල ඔතා අපිට පොඩි සම්තින් එකක් දෙති. එය රැගත් සැණින් අපට මතක් වන්නේ කැට පොලය. හරක් අඟින් කල කැටයේ හය, දොළහ, දහ අට ආදී වශයෙන් තිස් හයට තෙක් ලකුණු යොදා තිබුණි. අප කරණ්නේ අඩු වැඩි ඇල්ලීමය. හය, දොළහ, දහ අට අඩු වන අතර ඉතිරි අංක වැඩි අංක ලෙස සලකණු ලබයි.
මේ සියළු සුන්දර කථා බහ පිළිමඳව ඇත්තේ නොමැකෙන මතකයන් පමණි.
අම්මාගේ මරණින් පසුව තාත්තා බොහෝ සෙයින් තනිවිය. එම තනිකම මැකී ගියේ මිතුරු ඇසුර හා මධු විතෙනි. බොහෝ කලක් තාත්තා තනිවම හක්බෙල්ලාවක නිවසේ විසීය.
මීට වසර ගනනාවකට පෙර රූපවාහිණියේ විකාශනය වූ රසාලිප්ත නාට්‍යයක් විය "දූ දරුවෝ" නමින්. එහි එක් අවස්ථාවක හෙන්රි ජයසේන තම මහළු වියේ සිටි බිරිඳ අමතා පවසන වැකියක් මාගේ හදවතේ රැඳී තිබුනි.
"දරුවන් අළුතින් ගෙවල් දොරවල් හදද්දී ඒවාට; වැඩකරන අයට ඉන්න කාමර, ස්ටෝරු කාමර, මුර කාමර වගේ හැම දෙයක්ම ඇතුලත් කරණ්න මතක් වෙනවා. ඒත් වයසක අම්මටයි තාත්තටයි ඉන්නට කාමරයක් හදන්නට එයාලට මතක් වෙන්නේ නෑ සුදු හාමිනේ!" සත්තකින්ම මෙය සැලකිය යුතු කාරණයකි.
මා වෙසෙන කඩවත නිවසේ නිර්මාණ ශිල්පියා වූයේ උදුල බණ්ඩාර අවුසදහාමි ය. ඔහු නිවස නිර්මාණය කරද්දී; මා තාත්තාට කාමරයක් නිවසට ඇතුලත් කරණ මෙන් දැන්වූයෙමි. නිවසේ මුළුතැන් ගෙයට, කෑම කාමරයට ලෙහෙසියෙන්ම ඇතුළු විය හැකි; නාන කාමරයක් හා වැසිකිළියක් වෙන වෙනම වූද නිවසේ ප්‍රවේශ මාර්ගයෙන් සෘජුව ඇතුළු වීමටත් එයට පිටවීමටත් හැකි වන පරිදි කුඩා කුටියක්; උදුල තම නිර්මාණයට ඇතුලත් කොට තිබුනි. එසේම නිවස සාදා නිමවන විට එය ඉතා සුන්දර වාසස්ථානයක්ව දිස් විය. එහෙත් තාත්තාට එහි නැවතීමට පැමිණීමට කිසිදු උවමනාවක් නොවීය. ඒ ඔහු; ස්වකීය නිදහස් දිවියට දැක්වූ පරමාදරයම විය. මාගේ සොහොයුරියගේ හෝ සොහොයුරාගේ නිවස්වල හෝ තම විශ්‍රාම දිවිය ගෙවා දමන්නට ඔහු තුල ඇල්මක් නොවීය.
ඔහු ජීවත් උනේ තනිව හක්බෙල්ලාවකය. අපගේ නිවෙස් වලට ඉඳ හිට හෝ මාසයකට වතාවක් පමණ පැමිනුනත් ඔහු ගෙට ගොඩ වූ සැනින් ආපසු පිටව යන දිනය මතක් කෙරුවේය.
හක්බෙල්ලාවක ඔහු ගතකල කාලයද පුරාවෘථයකි. නිවෙසට අවශ්‍ය සියළු දේ ලබා ගත්තේ අසල සිල්ලර කඩයෙන් ණයටය. කොටින්ම හොර පොට් එකෙන් අරක්කු ගෙන්වා ගත්තේද පොතටය! සියළුම ණය ඔහු මාසිකව සතයකුදු හිග නොතබා ගෙවා දැමීය.
උදේ පාන්දරින් අවදි වන හේ දිනයට අවශ්‍ය ආහාර පිස නිම කොට දීසි බන්දේසි ආදියට පිසගත් ආහාර දමා මේසයට යවයි. මිදුල උදළු ගෑම හෝ අතු ගෑම සිදු කරන්නේ ඉන් ඉක්බිතිවය. ඔහුගේ උදළු ගෑමද ක්‍රමාණූකූල විය. තාත්තා මිදුල උදලු ගෑවේ දිනයේ වැඩ නිම වන විට එය සෘජුකෝණාස්‍රාකාරව අවසන් කල හැකි වන ලෙසය. සියල්ල අවසානයේ රැවුල කපා මුහුණ සෝදා කමිසයකින් හා සරමකින් සැරසී ආහාර මේසයට පැමිණේ. කෑම මේසයේ සිට ආහාර ගනී. තනිව සිටියද කුස්සියේ ඇතිළි වලින් ආහාර බෙදා ගැනීමට ඔහු තුල පුරුද්දක් නොවීය.
තාතාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් නව දෙනෙකු සිටියත් ඔහු වඩාත්ම ඇල්ම බැල්ම හෙලුවේ සිරිල් සහ අශෝක යන දෙසොහොයුරණ් හටය. තමාගේ සියළුම ඕනෑ එපාකම් සොයා බැලුවේද ඒවා විසඳා දුන්නේද ඔවුන්ය.
එකට කාබී ඔවුන්ව තම ගෙදරින් "බැහැපං එළියට!' කියා එළවා දැමීමට තාත්තා අති දක්ෂය! බොහෝ විට සිරිල් බාප්පා සමග හවසට ගසන සුට්ටං "අඩිය" කෙළවර වූයේ ඉහත වැකිය සමගය!
"තමුසෙගෙ අරක්කු මට ඕනෙනෑ ඕයි!" කියමින් බාප්පා පිටව යයි.
පසුදා උදේම අවදිවන තාත්තා මිදුලට පැමිණ "සිරිල් මල්ලී!" කියා කෑගසයි.
"සිරිල් මල්ලී" ද ඊයේ දිනය අමතක කොට "ලොකු අයියේ!?" කියාගෙන ගෙදරට පැමිණේ.
"පත්තරේ ගෙනෙංකො!" තාත්තා පත්තරේට සල්ලි දෙයි. වලිය එතැනින් අවසානය!
මේවා මට ඇසුණු දුටුව කථා වලට වඩා අසෝක බාප්පා පන පිහිටුවා කියන කථාය! ඊට ප්‍රධාන හේතුව මා නිවසේ ඇති අවස්ථා වලදී අපේ තාත්තා කේස් දා නොගෙන "ක්‍රමේට" සිටිනා බැවිනි.
තාත්තාගේ පැන්ශන් එක අතට ගත් පසු නගරයට ගොස් මධුවිත සප්පායම් වී තවත් බෝතලයක් බෑගයේ දමාගෙන ගෙදරට අඩු වැඩිය රැගෙන පැමිණීම සිරිතකි. එකල ගෙදර සිටියේ ඔහු පමණි. අප සියල්ලන්ම විවාහ වී නිවසෙන් බැහැර වී සිටි අතර මව ඊට වසර ගනනාවකට පෙර මෙලොවින් සමුගෙනය. තාත්තා අවසන් වතාවට පෙන්ශන් පඩිය ලබා ගැනීමට නගරයට ගිය දිනයේ ත්‍රී වීලරයක ගැටී තිබුනි. ඉන් පසු ඔහු ගෙදර ආ බව දන්නා මුත් ඒ ආවේ කෙසේද? කවුරුන් සමගද? කොයි වෙලාවේද කියා මා දන්නේ නැත! කෙසේ වෙතත් තමා අනතුරට පත් කල හෝ තමා අනතුරට පත් කරගත් ත්‍රී විලරයේ නොම්මරයක් ඔහු හට මතක තබා ගැනීමට ඔහුට අවශ්‍යතාවයක් තිබූ බව නොපෙනුනි. දින කිහිපයක් ගත වෙද්දී කොහෙත්ම ඇවිදීමට නොහැකි තත්වයේ පසුවූ ඔහු රෝහල් ගතවී පරීක්ෂා කල පසු උකුල් ඇටය පුපුරා ගොස් ඇති බව එක්ස් කිරණ රූපය තහවුරු කලේය! එයින් පසුව ඔහු ටිකෙන් ටික අවරට ගමන් ඇරඹුවේය. ඔහු රෝහල් ගත කෙරුණු අතර ඒ සමග ඔහු ඇල්කොහොල් නොමැති කමින් පීඩා වින්දේය!
ඒ සමග ඔහුගේ මනස බොහෝ සෙයින් අවුල්ව ගියේය. මා ඔහුව මාගේ නිවසට ගෙන ආවෙමි. තාත්තා කෙටි කලක් අපගේ නිවසේ විසුවේය! දිනක් අපහට නිවසින් බැහැර දින දෙකක් ගත කිරීමට කුමක් හෝ අවශ්‍ය තාවයක් පැන් නැගුණි! එම දින කිහිපයට තාත්තාව රැඳවීමට මා මාගේ එකම සොහොයුරියට කථා කල මුත් ඇය එය ප්‍රථික්ෂේප කලේය! දෙවනුව මාගේ එකම සොහොයුරාට ඇමතුවද ඔහුද එයට සාර්ථක ප්‍රථිචාරයක් නොදැක්වීය!
මා හට අවසාන මොහොත වන තුරු කල යුත්තක් නොවීය. එකල කඩවත නගරයට අසන්නව වැඩිහිටි නිවාසයක් තිබුනි! මා දැඩි කණගාටුවෙන් යුතුව තාත්තාව එහි ගෙන ගියෙමි. එදින රාත්‍රියේ මා තාත්තාගේ අතින් අල්ලාගෙන එම වාසස්ථානයට දින දෙකක් සඳහා ඇරළුවෙමි. විශ්වාස කරණ්න! තාත්තාගේ අතින් අල්ලාගෙන යන විට දී මීට දශක ගනනාවකට පෙර ඔහු මාගේ අති අල්ලාගෙන කළුඅග්ගල නෙළුවත්තුඩුවේ පෙර පාසැලට ගෙන ගිය අයුරු මට මතක් වී පපුව කඩා හැළුනි! මා තාත්තාව එහි අඳුරු කිළුටු කාමරයක නවතා; මුදල් ගෙවා ඉක්මණින් එතැනින් පිටත් විය! තාත්තාගේ මනස මුළුමනින්ම අවුල්ව ගොස් තිබුනු බැවින් ඔහු සිටිනා ස්ථානය පිළිබඳව ඔහුට වැටහීමක් නොතිබුනි!
මා පසුදා උදෑසනම ගමනට පිටත් විය. දින දෙකකට පසු රාත්‍රී අටට පමණ මා නැවත පැමිණ තාත්තාව රැගෙන ඒම සඳහා නිවාසය කරා ගියෙමි!
තාත්තා නැවැත්වූ කාමරයට ගියෙමි! කාමරය හිස්ව ගොස්ය! මීට දින දෙකකට පෙර නැවැත්වූ තාත්තා එහි සිටියේ නැත! මා නිවසේ අයිති කරුගෙන් විමසූ විට; තාත්තා අසනීප වූ බවත් ඔහුව රාගම රෝහලේ නැවැත්වූ බවත් කිසිදු වගකීමකින් තොරව පැවසුවේය. ඒ පිළිබඳව අපට නොදැණ්වීම පිළිබඳවද මොන මොනවාදෝ වැල් වටාරම් වගයක් කියවද්දීම මා ගේට්ටුවෙන් එළියට ආවෙමි. ක්ෂණිකවම මා රාගම රෝහල වෙත පියාසර කලෙමි. ගේට්ටු අධිපතින් හට මොන මොනවාදෝ කියමින් මා රෝහලේ කොරිඩෝර දිගේ දිව්වෙමි! නිවෙස් හිමියා පැවසූ වාට්ටුව තුලට අනවසරයෙන් ගොඩ වැදුනු මා එහි වූ හෙදියකගෙන් තාත්තා පිළිබඳව විමසීමි.
"ඒ සීයා පෙරෙදා ගෙනත් නැවැත්තුවේ! ඊයේ රෑත් හිටියා! අද උදේ බලන කොට කොහේ ගිහින්ද මන්දා වාට්ටුවේ නෑ!"
මගේ ඉහ මොළ රත්විය!
එතැන් පටන් මා මධ්‍යම රාත්‍රිය පසුවන තුරු බස් ගාල, දුම්රිය ස්ථානය ඇතුලු පොදු හා පෞද්ගලික මෙකී නොකී සියළුම ස්ථාන අතොරක් නැතිව බැලුවෙමි. පොලිස් නිළධරයින්, කඩ හිමියන්, යාචකයින් ඇතුළු නගරයේ හමුවන හමුවන අයගෙන් තාත්තා පිලිබඳව විමසීමි! මා අතැති විදුලි පන්දම දල්වාගෙන නගරයේ කානු, කුඩා ඇල මාර්ග බෝක්කු සියල්ලම පාහේ තනිව හඬමින් සොයා බලා නිවසට පැමිණියෙමි.
එදින රාත්‍රියේ පොලීසියේ පැමිණිල්ලක් යෙදූවද මාන්සික වශයෙන් අවුල්වූ වයස් ගත පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලීසිය දැක්වූයේ ඇල්මැරුණු ප්‍රථිචාරයකි! මාගේ ආදරණීය තාත්තා පිළිබඳව කිසිදු සාක්කියක් සටහනක් නොමැතිව මා රාත්‍රිය පහන් කලෙමි. රාගම නගරයේ හොයනවා හැරුණුකොට ගෙන වෙන සොයා බැලීමට තැනක් නොමැත!
මා පසුදින උදෑසනම අවදිව හක්බෙල්ලාවක ගියෙමි. ආශ්චර්‍යයකි! මා එහි යන විට තාත්තා නිවසේය! තාත්තා රාගම සිට හක්බෙල්ලාවක පැමිණි ආකාරය පිළිබඳ ඔහුට මතකයක් නොමැති විය! තාත්තා අත සතයක හෝ මුදලක් නොමැතිව පැමිණියේ කෙසේද යන්න අදටත් නොවිසුඳුනු අභිරහසකි.
තාත්තා මාගේ වැඩි මහළු සොහොයුරාගේ නිවසට ගෙවදින්නේ ජීවිතයේ අවසාන භාගයේදී ය. තවත් මස ගනනක් ගෙවෙන විට තාත්තාගේ තත්වය අතිශයින් දුර්වල විය! මමද බිරිඳද රැකියාවට යන බැවින්ද ඒවන විට මාගේ දරුවන් ඉතා කුඩා වියේ සිටි බැවින්ද තාත්තාව මා ගේ නිවසේ තබා ගැනීම තරමක ගැටළු කාරී තත්වයක් විය ඒවන විට මාගේ වැඩි මහළු සොහොයුරා රැකියාවේ විරාමයක නිවසේ විසීය. ඔහු තාත්තාව රැගෙන යාමට කැමති විය! මාගේ මව අංශ භාග රෝගයෙන් ඔත්පලව වසර දෙකක්; මියෙන තෙක් බලාගත් බැවින් නිසා හෝ තාත්තගේ බරට කර ගැසීමට ඔහු ඉදිරිපත් වීම මාහට මහත්වූ ඇසිල්ලක් විය! තාත්තාව ගෙන ඒමට මාත් අයියාත් හක්බෙල්ලාවක් ගියුමු. තාත්තාව මාගෙ පැරණි රථයට නංවාගෙන අප පැමිණියේ සොහොයුරියගේ නිවසටය! ඇය තාත්තාව බැලීමට පවා ප්‍රථික්ෂේප කල අතර අප නැවත් පොළොන්නරුව බලා පිටත් උනෙමු.
අප කූඩා කල තාත්තා තමා සතුව එවකට පැවති එකම රථය වූ හම්බර් බයිසිකලයේ තබාගෙන අවිස්සාවේල්ලේ රෝහල අසල කන්ද පදින්නට හෝ සයිකලයෙන් මාව බිමට නොබස්වා කන්ද තල්ලු කරමින් ගිය හැටි මම අයියාට පැවසුවෙමි! අප දෙදෙනාම හඬමින්ද පරණ මතක දුක් කම් කටොළු ගැන වරෙක කම්පා වෙමින්ද වරෙක සිනහ වෙමින්ද ගියෙමු. තාත්තාට අපගේ කථා වගේ වගක් නොතිබුනි. ඔහුට අපේ කථා ඇසෙන බවක් හෝ නොපෙනුනි! එදින රාත්‍රියේ තාත්තාව පොළොන්නරුවට ඇරලවා මා තනිව පැමිණියෙමි.
අයියාගේ ආදරණීය බිරිඳ ප්‍රියන්ති අක්කා අපගේ තාත්තාව ආදරයෙන් පිලිගත්තීය. අප එහි යන විට තාත්තාට සියළු සැප පහසු කමින් පිරි කාමරයක් ඇය සකසා තිබුනි! ඇයගේත් අයියාගේත් ඇප උපස්ථානවල මහිමයෙන් තාත්තා ශාරීරික ලෙස බොහෝ සෙයින් බල ගැන්වුනි. නමුත් ඔහුගේ මනස යලි යතා තත්වයට නොපැමුනුණි! කාලය සෙමන් ගලා ගියේය. වසර ගනනාවකට පසු එක් උදෑසනක අයියා අඬමින් මාහට දූරකථන ඇමතුමක් ලබා දුනි!
මහළු වයස යනු එක් අයෙකුට මහත් සතුටක් සැනසුමක් ගෙන දෙන කාල පරිච්ඡෙදයක් වනාතර තවත් අයෙකුට එය මහත් වූ කටුක කාලපරිච්ඡෙදයක ආරම්භයක් වේ!
තාත්තා ජීවිතය හොඳින් විඳි කෙනෙකු වූවා සේම ඉතාමත් කටුක කාල පරිච්ඡදයන් හට හා කටුක අවස්ථාවන්ට මුහුණ දුන් අයෙකි. ඔහු ජීවිතය ඉතා සරළව ගෙනගිය අයෙක් ලෙස මා දකින අතර කිසිදු දෙයකින් කම්පා නොවුනු අයෙකි. තාත්තා බොහෝ සෙයින් ඔහුගේ නිදහස් සරළ ජීවිතයට ඇළුම් කලේය! ඔහු එයට කෙතරම් ත්දින් ග්‍රහණය වී සිටියේද කියනවා නම් තාත්තා ගිලී මිය ගියේ එම නිදහස් සරළ ජීවිතය තුලමය!
අප කෙතෙක් ඔහුට ආරාධනා කලද ඔහු අප සමග ජීවත් වීම ප්‍රථික්ෂෙප කලේය! එයට හේතුවූ කරුණු කිහිපයක් මා දකිමි. ගතානුගතිකත්වයෙන් ඔහු බැහැර වීමට ඔහු කැමති නොවීය! ඔහු ජීවත්වූ ඔහුටම සීමා වූ ජීවන රටාවෙන් ඔහු සංතෘප්ථ විය! ඒ නිසාම අපගේ සංකීර්ණ ජීවන රටාව සමග පෑහීමට ඔහුගේ කිසිම කැමැත්තක් නොවීය! ඔහු ආදරණීය සීයා කෙනෙකුගේ චරිතයට නොගැලපුනේය! වයසට යන තාත්තලාගෙන් පුත්තු බලා පොරොත්තුවන ආදරණීය රාජකාරියට ඔහු කිසි සේත්ම නොගැලපුනේය. එම රාජකාරිය අන් කිසිවක් නොව තම පුතාලා දුවාලාට හොඳ සීයා කෙනෙකු , ආරක්ෂකයෙකු වීමයි. තාත්තාට එම චරිතයට පණ පෙවීමට කිසිදූ අවශ්‍යතාවයක් හෝ නොවීය! ඒ නිසාම ඔහුට සිදු වූයේ ඩයිනෝසරයන්ට සිදුවූ දෙයමය! දරුවන් කුඩා කල පියවරුන්ගේ අඩි පාරේ යන්නාසේම විය පත් වන විට පියවරු; දරුවන්ගේ ගමන් මගට එක්විය යුතුය! ඒ රටාවට අනුගත විය යුතුය! එහිදී තම්න් අත්විඳින කුඩා දුෂ්කරතා විඳ දරා ගැනීමට පුරුදු පුහුණු විය යුතුය!
මෙය හොඳ පූර්වාදර්ශයකි! තාත්තාට සිරිල් බාප්පලාගෙන් අශෝක බාප්පලාගෙන් ලැබුනු සවිය සේම වූ පසු පෙලක්; මටද හක්බෙල්ලාවක සිටියි. ඒ අශෝක බාප්පාගේ වැඩි මහළු පුත් පාලින්ද ය! ඔහු මා හට සෙවනැල්ලක් සේ බොහෝ කාරණා කාරණා සඳහා ලඟින් සිටියි. මමද හක්බෙල්ලාවකට මෙන්ම එහි ජීවිතයට දැඩි ඇල්මක් ඇත්තේය! මා තනිව මගෙන්ම අසමි.
"උඹ තාත්තගේ චරිතයේ ෆොටෝ කොපිය වෙන්නද යන්නේ?"
සත්තකින්ම එයට මා බිය වෙමි.
මාගේ ජීවිතයේ අවසානය තාත්තාගේ අවසානයෙන් වියුත්පන්න විය යුතුය!
දුක හිතුන.. කියන්න දෙයක් නැහැ...
ReplyDeleteසමහර දේවල් ලිව්වම ඒක හොඳයි වගේ, නොලිව්ව නම් ඒක ඊටත් වඩා හොඳයි වගේ
ඔව් මගේ ජීවිතේ ඔවැනි දුක්බර කථා බොහොමයි! අම්මා ගැන නොලියන්නේ ඒක ඒතරම් දුක් බර කථාවක්!! තාත්තාගේ කථා මාලාව අවසන් කරණ්න ඕන නිසයි මෙක ලිව්වේ. මම උත්සාහ කලේ සතුටු දනවන දේ පමනක් ලියබ්බ තමයි ඒත්!? සැපතේදී මෙන්ම දුකේදීත් මා ලඟින් සිටියාට අනේක වාරයක් තුති!
Deleteඅම්මල තාත්තල ගැන මේම කතා කරල ඉවර කරන්ඩ බෑ බං.
ReplyDeleteඔව් මචං! මම කවදා හරි දවසක අම්ම ගැන උඹලට කිව්වොත් ඒක මීටත් වඩා දුක්ඛ දායක කථාවක් වේවි!~
Deleteපිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි....
ReplyDeleteඔව්! එයා අපිඅට එලිපිට ආදරෙයි කිව්ව කෙනෙක් නෙවෙයි! එයාගෙ ආදරෙත් අර කොන්දොස්තරගාව ඉතුරු වන රුපියල වගේ තමයි! හැබැයි මම ඊට හාත්පසින්ම වෙනස් තාත්තා කෙනෙක්!
Deleteඔබතුමාගේ ගේ තාත්තාට සහ අම්මාට නිවන් සුව!
ReplyDeleteඅපේ දෙමව්පියන්, ඔවුන්ගේ ජීවිතය සතුටෙන් ගතකලා/ගත කරනවා කියන සිතිවිල්ල අපිට තියනවානම්, ඔවුන්ගේ මරණය, ජීවිතයේ තවත් එක පරිච්ඡේදයක් මිසක් දුක් විය යුතු දෙයක් නොවෙයි.
පිටතින් බලන කෙනෙකුට දරුවන්ගේ නොසලකා හැරීමක්, එහෙම නැතිනම් "අර මනුස්සයා තනියම දුක් විඳිනවා" කියා පෙනුනත්, අපේ තාත්තාත් ඔය කියන විදියට, ජීවිතයේ අවසාන දශක දෙක තනියම, බොහොම අඩු පහසුකම් සහිත, ගෙදරින් සැතපුම් සීයක් ඈත නිවසක හුදකලාව ගත කළා. එහි දේශගුණයට ඇති අකමැත්ත නිසා අම්මා එහි ඉන්නේත් නැහැ. මේ අනතුරුදායක, හුදකලා දිවිය වැලක්වීමට අපි නොකළ දෙයක් නැහැ. නමුත්, ඒවා සාර්ථක උනේ නැහැ. ඒ අසාර්ථක වීම ගැන අපි සියලු දෙනාම දැන් (තාත්තාගේ මරණින් පසු) සතුටු වෙනවා.
ඔබතුමා වගේම, මාත් තාත්තාගේ ජීවිතයේ පොටෝ කොපියක් වෙන්න බලාපොරොත්තු වෙනවා.
"" තාත්තා කලදේ නොකරන පුතා නොට්ටිගේ පුතා ""
ස්තූතියි! සෑම් මහත්තයා! මම හැම විටම උත්සාහ කරණවා තාත්තාගේ අවසානයෙන්; මගේ ජීවිතයේ අවසානය වෙනස් කර ගන්න! ඒ නිසාම දරුවන්ගේ සිතුම් පැතුම් සමග සමපාත වන්නට බොහෝ සෙයින් උත්සාහ ගනිමින් ඉන්නේ!
Deleteඑක හුස්මට කියෙව්වා. අර දාලා තියෙන ලින්ක් වලට යන්න කොච්චර ආස වුනත්, මේක කියවලා ලැබිච්ච කම්පනය දැනට හොඳටම ඇති. අපි හැමෝටම කියන්න කතාවක් තියනවා...හ්ම්. අපේ රටේ වැඩිහිටි පරම්පරාවේ ඉරණම, සමාජයේ ආකල්ප/ සමාජ සම්මත ගැන දිගට කතා කලයුතු නමුත් දැන් බෑ, හිතට හරි නෑ. මේ අපූරු කතාවෙන් යමක් ඉගෙන ගත්තා වගේම අනුමාන කලදේ තහවුරු වුනා - පරම්පරාව ගාණක් ගියත් තාම සමාජෙ වෙනස් වෙලා නෑ. ස්තූතියි.
ReplyDeleteස්තූතියි බස්සා! ඒ ලින්ක් වලට යන්න! ඒවා හරි ආතල් කතා! මගේ තාත්තාගේත් අම්මාගේත් අවසානයන් බොහෝ සෙයින් බියකරු වූවා! මිනිහෙකුට "දරුවන්ගේ ගේ අවශ්‍යතාවය" හොඳින්ම දැනෙමිනුයි ඔවුන් ජීවිතයට සමු දුන්නේ! එයලට ඇප උපස්ථාන කලේ මමත් අපෙ අයියත්! අම්මා වෙනුවෙන් කල කී දේ නිසාම නොදන්නා ගඟකට බැස්සත්, මහ මුහුදේ කිමිදුනත් ඌන රැයක තට්ට තනිවම හිටියත් මහා ආත්ම ශක්තියක් හිතට එනවා. කවරදාකවත් මහ පාරේ නොමැරේවි යන විශ්වාසයක් හිතට එනවා! සමහර විට ඕවා සියල්ල කිසිදු හරයක් නැති විශ්වාස විය හැකියි! ඒත් ඕනෑම අම්මෙකු තාත්තෙකු දුටු විට "මගේ අම්මා තාත්තා උපමාකොට" සිතන්නට අදටත් හිත නැඹුරු වෙනවා!
Deleteලොකුම මෝඩ වැඩකිය දැන් ඉවර කළේ
ReplyDeleteකියා හිතුණි ඔබේ ලිපිය කියවු කලේ
දවස දුකෙන් පටන් ගැනුම හොඳද බොලේ
පපුවට තිබ්බ ගල හරියට බරයි මලේ!
ඔව් නිදි මහත්තයා! ඔබ සැමට දුක් බර හැඟීමක් ගෙන ආවාට සමා වෙන්න! ඒ කථා මාලාව අවසන් කිරීමටයි මාහට උවමනා උනේ ස්තූතියි දුක සැප බෙදා ගත්තාට!මේ කථව අපි හැමට පූර්වා දර්ශයක්!
Deleteජීවිතේ අන්තිම කාලෙ වෙනකොට ළමයින්ගෙ ළමයි පස්සෙන් යන එක ඇර නිදහසේ ඉන්න ඒ අයට ඉඩක්නැත්තෙ ඇයි කියල කල්පනා කලත් මට ඕකට හරි හමං තනි උත්තරයක් කවදාවත් නෑ.
ReplyDeleteඒ සමහරවිට තුන්වෙනිලෝකෙ රටක් විදිහට ලංකාව තියනවට වඩා තුංවෙනි පංතියෙ මිනිස්සු බහුතරයක් ඉන්න රටක් නිසා වෙන්න ඇති.
තට්ට තුමාාග තාත්ත ඒ පිළිවෙත පිට පැන්න නිසා තනිව කාලයක් හිටිය. හැබැයි මට හිතෙනව අනික් අයට වඩා ඒ කාලෙ ජීවිතේ විඳින්න ඇති කියල. මොකද සැහැල්ලුව සහ නිදහස උපරිමයට තිබුණ නිසා.
අර ඔබ කියන අනතුර සිදු නොවුන නම් මම හිතන්නෙ ඔහුගේ අවසානය වනතෙක් ඒ ජීවිතේ ගෙවමින් ඉන්න තිබුණ. (උපකල්පනයක් පමණයි සහ ඔබ අමනාප නොගනීවි කියල හිතනව)
ඔය කෙහෙල් වල හදද්දි වල තව් මරල කෙසෙල් කොල වෙනුවට අපි දාන්නෙ බිංලිං අතු. 😃
දැං නං කෙහෙල් බිං කරන්නෙම නැති තරං.
කඩෙං ගන්න අයමනේ ඉන්නෙ.
මේ දවස් වල කෙසෙල් ඉදවන මෙතඩ් එක තමා බිලිං කොල තව් මරල උණුහුම පිටිංම ලොකු වී තම්බන සයිස් මුට්ටියකට දාල කෙසෙල් කන ඇවරි කපල ඒකට බස්සන එක.ඒකට කලිං කෙසෙල් කන නාවල වතුර බහින්න තියල තමා ගන්නෙ 😃 ඒ කරල අතරිං පතර ආයෙ තව් මරපු බිලිං අතු දානව.
සමහර අය නංංකෙසෙල් පොත්තෙ හුණු චුට්ටක් ගාලත් දානව.
ඒක කරන්නත් කම්මැලි උං කාබයිට් කෙලිනව 😒😒😒
ඇත්තෙන්ම ඔය මහළු වයස එක්ක එල් එල් බී එහෙම නැත්නම් ළමයින්ගෙ ළමයි බැලිල්ලේත් පොඩි ලල් එකක් තියෙනවා! අපිට දැනෙනවා; අපි අපේ දරුවන් හදපු ක්‍රම වේධය අපේ දරුවන් යම්තාක් දුරකට අනුමත කරණවායැයි; ඔවුන්ගේ දරුවන් අප අතට පත් කිරීම තුල! (ලියපු මගුල තේරුණාද මංදා!) එතැනින් ගියාම ගෙයක් ඇතුලේ හිරවී ගත කරණ ජීවිතයට වඩා පොඩි සමාජ ගත වීමක් වෙනවා ඒ දේවල් එක්ක! අනෙක මුණුබුරු බුණිබිරියන් තුලින් අප; අපේ දරුවන්ගේ කුඩා විය දැකීමේත් පොඩි ආශ්වාදයක් ඇති! අනික නිකංම ඉන්නවාට වඩා එහි වැදගත් කමක් නැත්තේම නෑ! හැබැයි අපි අපේ සංඛ්‍යාතයන් ඔවුන්ගේ සංඛ්‍යාත සමග සින්ක් ක්‍ර ගැනීමට සුසර කර ගැනීමක් වෙන්න ඕන ! ඒක කර ගැනීමට බැරි නම් තනිව මියෙන එක සැපතක් වේවි!
Deleteඅනේ දැන් කොයිංද ඒ පාරම් පරික ස්වභාවික ක්‍රම! කාබයිඩ් කෙළවීමම තමයි!
පොඩිකාලෙ පුතාල දෙමාපියන්ගෙන් යැපෙනව. ලොකු වුණාම දෙමව්පියෝ පුතාලගෙන් යැපෙනව. ඒමද එතකොට. ඔය මුණුබුරු මිණිබිරී සීන් එකත් පැවැත්ම උඩ තීරණය වන්නක් කියල තමයි හිතෙන්නෙ . මොකද ළමයින්ට අම්මල ඕන වෙන්නෙ තමන්ගෙ ළමයි බලාගන්න වගේ සීන් එකක් මට තේරිල තියේ
Deleteඔව්! දෙමාපියන් දරුවන්ට සුවබර ජීවිතයක් දෙනවා වාගේම දරුවන් දෙමව්පියන්ට සුවබර මරණයක් උරුම කර දෙන්න ඕනේ! ඒක වගකීමක් සේම යුතුකමක්! ඒ යුතුකම ආදර්ණීය බැඳීමක් වීමයි වෙන්න ඕනේ! එය එම තැනට ගෙන ඒම දරුවන්ගේ සේම දෙමාපියන්ගේ කාර්‍යයක්!
Deleteමල්ලි උඹ එහෙම කිව්වාට ඔය සීයලා නැවත කාලෙකට "තාත්තලා" වෙනවා මුණුබුරු මිණිබිරියන් ඉදිරියේ! පිටින් බලන අපි ඒක සීයලාට ආච්චිලාට වාතයක් වගේ දුටුවාට එයාලා ඒක විඳිනවා! ඔය ආච්චිලා පුළුවන්නම් මුණුබුරාලට තනෙන් කිරිත් දෙයි!
අනෙකුත් සෑම දෙනෙකුම මෙන්ම අප දෙමව්පියන් ද හොඳ නරක, යහගුණ අවගුණ වල සම්මිශ්‍රණයකි. එහෙත් අප සිත්හී රඳවාගන්නේ අප කෙරේ ඔවුන්ගේ සිත් තුළ වූ අප්‍රමාණ සෙනෙහස හා ඔවුන්ට පෙරලා කෘතගුණ දැක්වීමට අප දැරූ උත්සාහයේ නොසෑහෙන බවයි.
ReplyDeleteඔව් මීට කලකට පෙර හිටිය එක විද්වතෙක් කියා සිටිය "අප අපේ දරුවන් පුරුදු පුණු කල යුත්තේ හොඳ දරුවන් කිරීමට නොව හොඳ දෙමාපියන් කිරීමට!" කියා. එහිදී ඔහු පෙන්නුම් කරණවා සංකීර්ණ සමාජ ක්‍රමය තුල අප පසු ගිය වසර ගනනාව වෙහෙසී ඇත්තේ; දරුවන් ලෙස අපගේ දෙමාපියන් බලා කියා ගන්නට නොව දෙමාපියන් ලෙස අපගේ දරුවන්ට සුභ සාධනයන් සැලසීමට! කියා.
Deleteඇත්තෙන්ම ජීවිතේ කොයි මොහොතේ අපි ආපසු හැරී බැලුවත් දෙමාපියන් වෙනුවෙන් අප කල කී දේ අබය; ඔව්න් අප වෙනුවෙන් කල මහ මෙර ඉදිරියේ!
මේ පොස්ට් එකට කොමෙන්ට් එකක් ලියන්නේ කෙසේදැයි සිතමි. ඔබේ පියානන් සේම මාගේ සීයාත් ඔහුගේ ස්වාධීනත්වය තුල මිය යන තෙක්ම රැදුනා. මාගේ සැන්ටාක්ලොස් නමින් මා පලකල පොස්ටුවේ ඔහු ගැන ලියා ඇත්තේය.
ReplyDeleteඅපේ දෙමව්පියන් අප රැකබලාගෙන වෙහෙසුනු අයුරෙන් අපගේ දරුවන්ටත් අප සලකන්නෙමු. නමුත් රැකියාව ගෙදර දෙරේ වගකීම් ඇතුලු එකී මෙකී නොකි දාහක් දේ අතර අපගේ දෙමාපියන් අපගෙන් ගිලිහී යන්නේ අපටත් නොදැනීමය. අනාගතයේ දී අපටත් ඒදේ එසේම සිදුවන්නට නියමිත බව මා හොදින්ම දන්නා කරුනකි.
අසංග ඒ පෝස්ට් එකේ ලින්ක් එක මේකට යටින් දාන්න අපි කාගේත් පහසුව තකා!
Deleteඇත්තෙන්ම ඔබ කියන විදියේ "මහළු වියේ තනිකම" පිළිබඳ භීතිය මට දැණටමත් දැනෙමින්ය! අප මෙතනදී ඒ පිළිබඳව විස්සෝප වනවාට වඩා සැලකිළිමත් විය යුත්තේ ඊට ගැලපෙන ලෙස ජීවිතය සකස් කර ගත යුත්තේ කෙසේද කියාය! උදාහරනයක් ලෙස සෞඛ්‍ය පුරුදු, හැකි පමණ ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාම, දුවා දරුවන්ගේ කටයුතු වලට හැකි පමණින් සහය දැක්වීමට කුඩ කුඩා දෙවල් පිළිබඳව පරිචයක් ලභාගැනී ම වැනි දේවල් වැදගත් වේ! අප ඊට අනුගත වනවාට වඩා ඊට එරෙහි විය නොහැක! නමුත් ඊට නතු නොවී සිටිය හැක!
ඔය බොහෝ දේ හරි සකස් වීමට.. ඒත් හිත යම් විදිහකට හදා ගන්න ඕන අපි හැමෝම. තට්ටය මහත්තය. මන් දකින්නෙ එහෙම. මොකද ගොඩක් උදවිය හිතේ දේවල් නිසා වැඩිහිටි වයසෙ මාර විඳවිල්ලක් විඳවන්නෙ. ඔය ඉන්දියාවේ තිබ්බ ඉස්සර අර්ථ, ධර්ම, කාම.. තරුණ කාලේ කමය විඳිනව. මධ්‍යම කාලේ අර්ථය හොයමින් ගමනක් යනවා. අවසන් කාලෙට වෙන්න හොයාගත්ත දර්මයේ ඉන්නව. එක තමයි මොක්ෂයට මග කියල ඔවුන් විශ්වාස කලේ
Deleteඔව් අපි මහළු වියට පාතැබීමට ප්‍රථම එය සැලසුම් කර ගත යුතුයි! ඔබ පවසා ඇති අධ්‍යාත්මික පැත්ත පිළිබඳවත් අප සිත යොමු කරණ්නම වෙනවා! ස්තූතියි මෙහි පැමිණ දොඩමළුවීමට මදක් නැවතුනාට!
Deleteසුදට සුදේ සුදු රෙදි පොරවාගත්, සැදහැතියන් .....
Deleteසොපියගෙ කෙලී දැං පන්සලේමයි
කොච්චෝරවත් ආවාසෙ අස්සෙ රිංගන්නෙ
අනේ මයෙ කට, උන්දැගෙ සර්දාව
පොඩි හාමදුරුවොත් වටේ කැරකෙනව නෙව
ඔන්න , බොලවු ලොකු හාමදුරුවො එනවා
මේ උන්නාන්සෙටත් ඕන නැති කෙං ගෙඩියක් නෑ
ගනින්, ගනින් ඔය නවගුණ වැල මෙහාට
සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා
හා ගියාද ලොකු උන්නාන්සෙ
ඔය දැන් නාකි වෙලා
සිල්වත් වුනාට
තරුණ කාලෙ එයත්
හොඳ , හොඳ නැටුං නැටුවලු
පුළුවන්කමක් තියේ නං, රාවය ප්‍රකාශනයක් වෙන- වික්ටර් අයිවන් මහතා ලියූ 'ජීවිතයේ ප්‍රබෝධය මරණයේ අසිරිය' පොත හොයාගෙන කියවන්නකෝ.
Deleteතාත්තා.. කාලයේ වෙනස්වීමත් එක්ක මහප්‍රපාතයක් වගේ පෙනුනා ඔහු අද සමාජයේ ගල්ගෙඩියක් තරමට ඇවිත්. ගල් පිළිම, බෝල් පිළිම ළඟ දණින ඇද වැටෙන බුදුහාමුදුරුවෝ කියල ලියල තිබ්බ ප්‍රින්ස් සේනාධීර
ReplyDeleteමම පලකොට ඇති ලින්කු ඔස්සේ ඔහු ගැන කියවන්න! ඔහු දැඩි චරිතයක්! ස්තූතියි මෙහි ආවාට!
Deleteඉඩක් ලද හැටියේ කියවන්නම්!
DeleteThama yuthukam akuratama itu kalath ,daruwanta pawa barak nowee swadheenawa jeewathwannata wera daruwa abhimanawath piyekuge ha senehebara puthekuge kathawak.Mama harima asawen kiyewwa.Ewagema obage maw thumiyage kathawath kiyawannata asawen innawa.
ReplyDeleteසරත් මහත්තයා! අම්මාගේ කථාව ලියන්න බලමු! තාම මට ඊට හිත හැඇඇදුනේ නෑ! ස්තූතියි පැමිණියාට!
Deleteමිස්ටර් තට්ස්ගෙ පෝස්ට් අතරින් හොදම එකක් මේක
ReplyDeleteස්තූතියි! Pra Jay!
Deleteදැන් දැන් බ්ලොගින් ලුකින් බ්‍රයිට් නේද ජීඑම්?
ReplyDeleteමං මේක කියෙව්වෙ නෑ තාම. හෙට විතර කියවන්න එන්නං. අර ටැක්නිකල් ලිපිය ලියනව. පරක්කු ද මන්දා?
ReplyDeleteඑළ!
Deleteදැනුයි ඔක්කොම කියෙව්වෙ හුස්ම 3,4කින්...
ReplyDeleteසෑහෙන්න හිතට දැනුනා..😢
අම්මලා තාත්තලා ගැන කියනවා නම් කොච්ච්‍ර දේවල් නම් කිව හැකිද?
ඉන් වැදගත් යැයි මට හැඟෙණුයේ ඔවුන්ගේ ජීවිත ගොඩ නැගුණු ආකාර දෙස බලා අපිත් වඩාත් යහපත් ලෙසින් ගොඩ නැගීම නේද?
දරුවන් සමහර විට දෙමව්පියන්ට නොසැලකීම පිලිබඳ අපේ අම්මගේ අදහස
"උබලා අපේ දරුවෝ උනාට අපි උබලාගේ දරුවෝ නෙමෙයි නෙහ්"
ඒකෙන් ගම්‍ය වෙනවා හැමෝම මූලිකත්වය දෙන්නෙ තමන්ගෙ දරුවන්ට.
ළමයින්ගේ ආච්චිලා සීයලා ඔවුන්ව බලා කියා ගැනීම වර්තමාන මේ ගොඩක් දුරට න්‍යෂ්ටික පවුල් ආකෘතිය තුල ඔවුන්ගේ මානසික වර්ධනය බලපානු ඇති බව මගේ හැගීම.
මොකද ඔවුන්ගේ ආදර, කතන්දර තුලින් දරුවන්ට උගන්න දේවල්, මානව අන්තර් සම්බන්ධතා ගොඩ නැගෙන ආකාරය වගේ දේවල් ඒවා ගොඩක් වටිනවා.
වර්තමානයේ කුඩා දෑරුවෝ තනිවෙලා ගොඩක් වෙලාවට.. අම්මලා තාත්තලා රැකියාවලට ගිහින් අන්න ඒ වගේ වෙලාවක ගොඩක් වටීවි ඒක.
ගමක නිදහසේ සරල ව ජීවිතය ගෙවා දැමූ අයෙකුට ගමෙන් පිටට ගොස් මොන භෞතික සැප සම්පත්තියක් ලැබුවාටත් වඩා වටනේය.
දරුවන් පොඩි කාලේ ඩේකෙයා වලට දැමීම තුලින් දෙමව්පියන්ව වැඩිහිටි නිවාස තුල නතර කිරීම එතරම් නරකක් නොවන බව ඔවුන් ඉගෙන ගනිති.
මගේ තර්කය: අපි වයසට ගිහින් මහලු නිවාස වලට යනකොට ඇති වන ආතතියක් පොඩි ලමයි වේ කෙයා වලට දැමීමෙන් ඔවුන්ටද ඇති වන බව සහ එය ඔවුන්ගේ ඉදිරි ජීවිත කාලය පුරාවටම නලපාන බව.
වයසට යනකොට ආගම දහමටත් ගොඩක් අය නැඹුරු වෙනවා. ඒකත් හොඳයි නේද?
ළමයින්ට හොඳ දෙමව්පියන් වීමට ඉගැන්වීම අනිවාර්ය කල යුතු බව මගේ මතය.(මේ පිලිබ්ඳව ඉදිරියේදී ඔබතුමා පොස්ට්ටුවක් ලියනු ඇතැයි බලාපොරොත්තු වෙමි.)
තව ගොඩක් දේ ඇත. දැනට මෙච්චරයි...
ඔව් ඔඅය හැම දෙම ගැන විවිධවූ පැති ගණනාවකින් බලන්න පුළුවන්. දෙමව්පියන් (මමත් ඇතුළුව) මොන බයිලා කිව්වත් එයාලා බලාපොරොත්තු වෙනවා තමන්ගේ දරුවන් තමන්ව අවසාන කාලේ බලා ගනියි කියලා! මමනං අපේ කොල්ලටයි කෙල්ලටයි කියලා තියෙන්නේ උඹලා මාව හොඳට බලාගන්න ඕන කියලමයි! (නිකං බොරු ඕන නෑනේ!?) ඒ නිසාම මම එයාලට පැහැදිලි කරලා දෙනවා එයාලට තියෙන වගකීම! ඔබාට මට කියන්න තියෙන්නෙත් ඒක මයි! ඔබටත් විශාල වගකීමක් තියෙනවා එයාලට සුවදායක මරණයක් උරුම කර දෙන්නට; ඒ ඔවුන් ඔබට සුවදායක ජීවිතයක් ලබා දීම වෙනුවෙන්!
Deleteඅයිස් මෝල පිළිබඳව පලමුවෙන්ම මට පාර කිව්වේ සුදීක! අයිස් මෝලේ පලමු කමෙන්ටුව දාලා තියෙන්නෙත් මම! "බළලා කොටියාට ගස් යන්න කියා දුන්නාට ගහෙන් බහින්නට කියා දීලා නැත!" කියා පරණ කියමනක් පවතී! එසේම සුදීක අතුලයාට ලියන්නට ඉගැන්වූවාට කොමෙන්ටු කියවන්නට හෝ ඊට පිළිතුරු ලියන්නට උගන්වා නැති සේය! අදටත් මාගේ කමෙන්ටුව ඔහුගේ පළමු "කුළුඳුල" යට තනිව සිටියි!
ReplyDeleteපරක්කු වෙලා ආවෙ. මට නම් හිතෙන්නෙ තට්ටයා මහතා වගේ කෙනෙකුට කොහොම හිටියත් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා. තමන් කැමති විනෝදාංශ තියෙන, ඒවා enjoy කරමින් ජීවත්වෙන කෙනෙක්නෙ. Self actualization needs ඉටු කරගෙන තිබීම වැදගත්. ඒ වගේම ශාරිරීකව මානසිකව දුර්වල වුනොත් තවත් අයගේ උදව් ඇතිව ජීවත් වෙන්න සිදුවෙයි කියන යථාර්තය සතුටින් පිලිගැනීම (acceptance). (කියන්න ලේසියි නම් තමයි ඉතින්).
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ලෝටස් නෝනෙ! ඔබ තුමී ලියන බ්ලොග් එකකට එන්න අපිට පාර කිව්වානං!?
Deleteහෑ? එහෙමත් එකක්ද.... ඔන්න මාත් බලාගෙන ඉන්නේ... Lotus!
Deleteමං හිතන්නේ එහෙමයි කියලා!
Delete"දරුවන් කුඩා කල පියවරුන්ගේ අඩි පාරේ යන්නාසේම විය පත් වන විට පියවරු; දරුවන්ගේ ගමන් මගට එක්විය යුතුය!". සාධාරණ නෑ නේද. දරුවා පියාගේ අඩිපාරේ යන්නේ ස්වාභාවික පෙළඹවීම තුළින් මිසක් බලකිරීමෙන් නෙවෙයි . බහුතරයක් දරුවෝ පියාගේ අඩිපාරේ ගියත් එසේ නොවන දරුවනුත් එමටයි. දරුවන්ගේ ජීවන රටාවට හැඩගැසීම හෝ එසේ නොවීම පියෙකුගේ කැමැත්ත මත සිදුවිය යුතුයි.
ReplyDeleteමගේ ලොකුඅත්තත් එක්ක බැලුවම ඔයාගේ තාත්ත දාහෙන් සම්පතයි. දරුවන් 12කගේ පියා වුනු මගේ අත්තා කිසිම දරුවෙක් ලගට ගියේ නෑ. දරුවොන්ටත් එන්න එපා කියලා ගේ ඇතුලට ගිගින් දොරට ලීපටි තියලා ඇන ගහගත්තා.
ReplyDeleteමෙතැනදී මා අදහස් කරණ්නේ ඔබ හිතන තරම් සංකීර්ණ දෙයක් නොවේ! කුඩා කල දරුවන් හැඩ ගැහෙන්නේ දෙමාපියන්ගේ අභිමතය පරිදිය. මීට මා කුඩා උදාහරණයක් කියන්නම්. පොල් කට්ටකින් වතුර බීමට පුරුදු පුහුණුවූ පියෙකු තමාගේ දරුවාද පුරුදු වන්නේ එසේ කටයුතු කිරීමටය! නමුත් කාලය සමග ඩ්ඝෘවා ලොකු මහත් වූ පසු කෝප්පයක් පාවිච්චි කිරීමට ඉගෙන ගත් පසුව ඔහුගේ නිවෙස හෝ කුටුම්භය හැඩ ගැහෙන්නේ වතුර බීම සඳහා කෝප්පයක් භාවිතා කිරීමට මිස පොල් කට්ටක් භා විතා කිරීමට නොවේ! පියා මහළුව ගිය පසු දරුවාගේ නිවෙස තුල ජීවත් වීමට නම් ඔහු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද කෝප්පයෙන් දිය බීමට පුරුදු විය යුතුය!
ReplyDeleteඅපේ පියා අප සමග විසීමට නම් ඔහු ඔහුගේ චර්‍යා ධර්ම යම් ප්‍රමාණයකට වෙනස් කිරීමට සිදුවීමට ඉඩ තිබුනි. එහිදී වඩාත් ඔහුට තම සාමාන්‍ය චර්‍යා යම් තාක් දුරජ්කට හෝඅ පවත්වාගෙන යාමට හැකියාවක් තිබුනේ මා සෙවනේය! මාගේ සොහොයුරා ජීවිත කාලය තුල රා අරක්කු තබා පොල් විනාකිරි වත් නොබී අයෙකු පමණක් නොව එවන් ස්ථානයක රැඳෙන්නේවත් නැති අයෙකි! සොහොයුරියගේ පැත්ත ගත්තත් එය එලෙසමය! ඔය එක් උදාහරණයක් පමණි! ඔහුට යම්තාක් හෝ නිදහසේ ජීවත්වන්නට තිබූනේ මා සමගය! එහෙත් ඔහු ඔහුගේ නිදහසට තිබූ අප්‍රමාන රුචිකත්වය නිසා තනිව විසීම තෝරා ගන්නා ලදී!
කොහොමත් වවුලාගේ මගුල් ගෙදර යනවිට ටික වෙන්න එල්ලිලා ඉන්න පුරුදු පුහුණු විය යුතුය!
පැහැදිලියි. එකඟයි . දියවැඩියාවෙන් පෙළෙන තාත්තට බුල්ටො කන්න සල්ලිදෙන දොස්තතර පුතෙක් ගැන ලිපියක් ටික කාලෙකට කලින් දැක්කා.
Deleteඔව්! මල්ලී! වයසට යනකොට සතියකට සැරයක් වත් ඒවගේ "සැපක්" ඩරුවො දෙමව්පියන්ට ලබාදෙන්න ඕනෙනේ! නැත්නම් මොකද්ද මේ ජීවිතය!
Delete"මීට වසර ගනනාවකට පෙර රූපවාහිණියේ විකාශනය වූ රසාලිප්ත නාට්‍යයක් විය "දූ දරුවෝ" නමින්. එහි එක් අවස්ථාවක හෙන්රි ජයසේන තම මහළු වියේ සිටි බිරිඳ අමතා පවසන වැකියක් මාගේ හදවතේ රැඳී තිබුනි."
ReplyDeleteIn that show Henry Jayasena (Sudu Seeya) was not married. He lived with his elder sister (Irangani Serasinghe).
සමාවෙන්න! මා මතකයෙන් ලිව්වේ! නමුත් ඔවැනි දෙබසක් මට මතකයි! එය හදවතේ ගැඹුරුම තැනක සටහන් වී තිබුනා!
Deleteඔය වගේ වැරදි කා අතිනුත් වෙනවා, තට්ටයා මහත්තයා. දැන් වෙනස් - පරක්කුයි, ඒත් උත්තර දෙනවා. වැදගත්ම දේ - ලියන එක නම් ලෙසටම කරනවා.
ReplyDelete// මගෙ බ්ලොගයටත් කොමෙන්ටු දාන්න බැරිතැනකට සෙට් වෙලා! සමහර කමෙන්ට් පෙනෙන්නයි තවත් සමහර ඒවා නොපෙනෙන්නයි දාන එවුං කල කරුමය කිම!? බුරතීනෝ උන්නැහේවත් උප කාරයක් කලා නම්! //
ReplyDeleteබස්සාගෙ බ්ලොග් එකේ මේ කමෙන්ට් එක දැකලා මම හිතුවා මෙතන උත්තරයක් දුන්නානං හොඳයි කියලා. නැත්තං මිස්ට තට්ස්ට ඒක මගෑරෙන්න පුළුවන්.
තට්ස්ගෙ බ්ලොග් එකේ ඔය ප්‍රශ්නෙ ආවෙ පහුගිය පෝස්ට් එකේ නේ ද? එහෙම නං මම හිතන්නෙ ප්‍රශ්නෙ එන්න ඇත්තෙ කමෙන්ට්ස් වැඩිවෙලා. කමෙන්ට්ස් 200 පැන්නහම අලුතෙන් දාන කමෙන්ට්ස් එකපාර පෙන්නන්නෙ නෑ. යටින්ම තියෙනවා බට්න් එකක් Read More කියලා. ඒක ක්ලික් කලාම ඔක්කොම පෙන්නනවා. ඉතින් ඔය දේ නොදන්න කට්ටිය තමන්ගෙ කමෙන්ට් එක වැටුනෙ නෑ කියලා හිතලා ආයෙ ආයෙ කමෙන්ට් කරනවා. මම දැක්කා නිදි එහෙම හත්-අට වතාවක් එකම කමෙන්ට් එක දාලා තියෙනවා.
හරි! ඒක වෙන්න ඕනෑ! මම බලන්නම්! බොහොමත්ම ස්තූතියි!
Deleteඑල අපි උස්සලා ගනිමු!
ReplyDeleteදූ දරුවෝ එකේ සුදු සීයට බිරිඳක් නෑ නේද. මියගිය ප්රේමය වරකාගොඩ නෝනා නේද? හෙන්රි ජයසේන ඕක කියන්න ඇත්තේ අක්කට.අයිරාංගනී සේරසිංහ ට.
ReplyDeleteඔව් දෙයියනේ ඒක මගේ වරදක්!
Deleteහක්බෙල්ලාවක කෑම්පින් පටංගත්තද? ආශාවෙන් බලා ඉන්නේ.
ReplyDeleteමේ මාසේ අන්තිම වන විට පටන් ගන්නයි ඉන්නේ! එන්න කමු ! බොමු!! ප්‍රීති වෙමු!!!
ReplyDeleteකියන්න ගොඩක් දේ ඇත..වැදුනා බොක්කකට
ReplyDeleteඑල ද බ්‍රා
මම ඇත්තටම ඔය සිද්ධි මාලාව උඩින් කියාගෙන ගියා විතරයි! හැඟීම් දනවන්න ලීවා නොවේ! හැම වචනයක්ම පරම සත්‍යය! ස්තූතියි ආවාට! ඔයාගෙ fb එකේ තියෙන නොම්මරේ වැඩ නෑ නේද?
Deleteඅත්තලාට සහ අත්තම්මලාට ජවය සපයන පවර් ප්ලාන්ට් එක මුනුබුරු මිනිබිරියෝ කියලයි මට නම් හිතෙන්නේ. ඒත් කාලයත් සමගම ස්වභාවයෙන්ම ඒ සම්බන්ධතාවය දුර්වල වෙනවා. ඒ වෙලාවෙ ඒ ගොල්ල පාලුව මකා ගන්න ඒ ගොල්ල ගාව තියෙන සොඳුරු ආඥ්ඥාදායකත්වය (වචනේ ලිවා හරිද මන්දා) මුදා හරිනවා. පැංසොං එකකුත් තියෙනවා නම් තත්ත්වය තවත් නරක් වෙන්න පුළුවන්. මේවා ඉතින් හැමෝටම පොදුයි......
ReplyDeleteඔව් විශේෂයෙන් අපේ වගේ පෙරදිග රටවල් වල ආච්චිලා සීයලාගේ ඊළඟ දරුවො වෙන්නේ මුණුබුරු මිණිබිරියන්! මුණුබුරු මිණිබිරියන්ගෙ ආදරයට තමන්ගේ දරුවන්ගේ ආදරයට වඩා මිලක් ලැබෙනවා ආච්චිලා සීයලා ගෙන්!
Deleteසම්පූර්ණ ඇත්ත....
Deleteඔය කියන්නේ දූ දරුවෝ නෙමෙයි, යශෝරාවය. ඒකේ ඔය කතාව කියනවා ඇත්තේ ජී ඩබ්ලිව් සුරේන්ද්‍ර විසින් අයිරාංගනී සේරසිංහට. ඒකේ අයිරාංගනීට සුරේන්ද්‍ර අමතන්නේ සුදු හාමිනේ කියලා. සුරේන්ද්‍රට අයිරාංගනි අමතන්නේ රංජනිලැයේ තාත්තා කියලා
ReplyDeleteස්තූතියි බොහොමත්ම!
Delete