Sunday, July 4, 2021

203. තිස් අවුරුදු රථ මතක . . . . ! (11)


වසික - පොඩි බාස්!!

පසු ගිය සතියක පමණ කාලයක් ගතකලේ ඩේටා, සිග්නල් නොව හරිතකී, සුදන්තවත් නොමැති පිටිසර පරිසර පද්ධතියකවූ බැවින් ඔබගේ ආදරණීය කොමෙන්ටු වලට පිළිතුරු සැපයීමටත් අළුතින් පෝස්ටුවක් ලිවීමටත් කාලය ගත වූවා. 

මේ දිනවල දිගින් දිගට ලියන "නොරත රථ" ලිපි මාලාව තවත් දිගට ලියන්නට සිත් වූයේ එම පුවත් සමග පැටලී එන තවත් පොටවල් මගින් ජීවිතේ තව තවත් ඇතුලට ගමන් කරණ්නට පුළුවන් වූ නිසාමයි.

ඉතින් අදත් කියවන්නට පටන් ගනිමු "නොරත රථ"!

මම මෙම ලිපි පෙලේ 7 වන කොටසේ ලියන ලද පරිදිම ඔස්ටින් MINI යේ නික්ම යාම සිදුවූයේ කෲසරයේ පැමිණීමත් සමගයි.

ඒක උනේ හරිම අනපේක්ෂිත විදියට.

අපි පාසල් යන කාලේ මිත්‍රයෙක් හිටියා කීර්ති කියලා. එයාගේ නිවස තිබුනේ කළුබෝවිල රෝහල පසුපස. මුලු නම කීර්ති පෙරේරා. දිනක් අප නිවසට පැමිණි කීර්ති; කෲසරය අසල  නවතා තිබුණු MINI ය දැක එය ඉල්ලා මැරෙණ්නට විය.

ඔහුගේ අඬෝ වැඩියාව අවසන්  වූයේ "එහෙනං උඹ ගනිං!" කිව්වාට පසුවය.

"උඹ කීයටද ගත්තේ . . . . . ?"

" හතලිස් අටදාස් පන්සීයකට . . . !"

"ඒ ගානට අරං උඹ පාවිච්චිත් කලානේ කාලයක්! තිස් පහක් ඇතිනේ . . !!"

"තිස් පාක් . . .?"

"ඇති! ඇති!! බං . . . ! මට ඕක දියං . . !"

කථාව කෙළවර වූයේ MINI ය 35000/=  කට ඌ රැගෙන යාමත් සමගය!

කාලය ගෙවී ගියේය.

දිනක් මා පිලියන්දල; කීර්තිගේ නිවසට ගිය අවස්ථාවක මා දුටුවේ ගේ මිදුලේ වැල ගසක් යට අව්වට තෙමෙමින් වැස්සට වේලෙමින් වැලේ වැල් නැතිව සිටින MINIය ය. 

අපගේ වැඩිහිටියන් පැරණි වාහන ගලපවන ලද්දේ "ඉඩම් නඩුවකට" හෝ "ලෙඩ ගෑනියෙකුට" ය. ඒ; පැරණිවාහනයක් මිලදී ගැනීම ඉඩම් නඩුවක් පටලවා ගැනීම වැනි ජීවිත කාලයම දුක් විඳින්නට සිදුවන සීන් කෝන් එකක් වන නිසාය.

මේ කථාවේ ඇත්තක් නැත්තේ ම නැත. 

මන්ද පැරණි වාහනයක් ගන්නට ගිය අවස්ථාවේදී ඊට නියමිත මිළක් කියන්නට අපහසුය. උදාහරණයක් ලෙස අද ඩිමෝ එකෙන් මිළදී ගන්නා බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක මිල දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් කලයුත්තේ එහි අලෙවි අංශයට ගොස් මිල ගනන විමසීම හෙවත් තේරෙණ හිංගලෙන් කියනවා නම් කෝටේශන් එකක් ඉල්ලා ගැනීමය.

එහෙත් මීට වසර තිහ හතලිහකට පෙර ලංකාවට ගෙනඇවිත් ඇති බෙන්ස් රියක වර්ථමාන වටිනාකම නිවැරදිව කියන්නට සමත් කිසිවෙකු නැත.  සිටියද එම මිල රඳා පවතින සාධක ගනනාවක් වේ.  එයි වර්ථමාන තත්වයේ සිට එහි මුල් අයිතිකරුවන් හට සමාජය තුල පැවති හා / හෝ පවතින පිළිගැනීම වැනි අටෝරාසියක් කරුණු කාරණා  මත මෙම මිළ උච්චාවචනය වේ. මේ නිසාම අළුත් වාහනයක් මිළදී ගැනීමේදී මෙන් නොව පැරණි වාහනයක් මිළදී ගැනීමට යාමේදි; මිළදී ගන්නා රැවටෙන, ඇන්දෙන අවස්ථා බොහොමයකි!

එසේම එවන් වාහන අළුත්වැඩියා කරණ බාස්ලා හෙවත් මිකෑනික්ලා අධිගෘහිථ ගරාජ සොයා ගැනීමද කළුණික හොයනවා වැනි බැරි අමාරු කාරියකි. එසේම උන්ගෙන් කොයි එකා ළඟට ගියහොත් තමාගේ කලිසම කෙසේ වෙතත් පිරිවැස්සවත් බේරා ගැනීමට පුළුවන් වේදැයි කීමට අපිට තබා අංජනං දේවියට වත් නොහැක.

ඊළඟ සුපිරිම කෙළිය වන්නේ පැරණි වාහනයට බඩු හොයන්න ගිය විටය! බඩුම තමාය! බඩු යනු "බඩු" නොව බඩු ය. 

මෙවන් කරුණු බොහොමයක් නිසාම බොහෝ මහත්වරුන් අපමෙන් පැරණි දර හැවවල් වලට කර ගැසීමෙන් වැලකී; කැටයක් කඩා හෝ මරුටියක් වත් ගනී.

එහෙත් අපගේ හිත යන්නේම කෞතුක භාණ්ඩ කෙරෙහිමය!

කොයි කවුරු මොනවා කිව්වත් එකල තිබුණු බොහෝ යුරෝපීය වාහනයකින් කතරගම ගිහින් ආවොතින් පසුදා ගරාජයකට ඇණයක් හෝ තද කිරීමට දැමිමට සිදුවීම බොහෝ විට දක්නට ලැබෙන කරුණකි!

මෙය ඔස්ටින් මිනියේ සිට මහේශාක්‍ය ලෑන්ඩ් රෝවරය දක්වා පොදුවූ දහමකි!

මේ නිසාම මෙවන් වාහනයක් පදවන්නෙකු හෝ පාවිච්චි කරණ්නෙකු හට පොඩි පහේ රථ ගායක් සහ දැනීමක් තිබිය යුතුමය.

එසේම ගමනක් යෑමට පෙර වාහනයේ කිරිජ්ජපල්ල අතගා බැලිය යුතුය! ගමන යන විට පාර දෙපැත්තේ දකිණ විසිතුරු වලට, රා අතුර වල් වලට  හිත නොයවා රථය පැදවිය යුතුය.

එන්ජිමේ හඬටත් නලාවේ හඬටත් වඩා වෙනස් හඬක් ඉන් නැගෙන්නේ දැයි කල්පණා කාරී විය යුතුය. වාහනය නිවසින් පිටට ගැනීමේදී අතට පයට හිතට දැනුනු තේරුණු ස්පර්ශයන් ඝර්ශනයන්; ගමනාවසාන වනතෙක් එලෙසින්ම දැනෙන්නේදැයි විමසිල්ලෙන් සිටිය යුතුය!

උදා හරණයක් ලෙස ගමන පිටත්වීමේදී ක්ලච් පාදිකය හෙවත් ක්ලච් පෙඩ්ල් එක පෑගීමේදී පයට දැනුනු ප්‍රථිරෝධය හෙවත් තද ගතිය දඹුල්ල පහු කරණා විට වැල මදුල වාගේ වන්නේ ආර්ථික මධ්‍යස්ථානය පසු කරද්දී රෝද හතරට බණ්ඩක්කා කරල් අසුවීමෙන් නොව ක්ල්ච් පද්ධතියේ උඩ පොම්පය හෙවත් මාස්ටර් පොම්පයේ හෝ යට පොම්පය හෙවත් ස්ලේව් සිලින්ඩරයේ රබර් වොෂර් වලට "බබා හම්බවෙමින්" පවතින බව තේරුම් ගත යුතුය. වාහනය යන ගමන නවතා ක්ල්ච් ෆ්ලුයිඩ් මට්ටම බැලීමෙන් මෙය පසක් කර ගත යුතුය. එහි අඩුවක් ඇත්නම් එය පුරවා ගැනීමට ක්ලච් ෆ්ලුයිඩ් ද වාහනයේ ඩිකියේ පැත්තකට වෙන්න තබා ඇති පෙට්ටියේ හෝ මල්ලේ තිබිය යුතුය. ඒ; ගමනේ මගදී කන්නට ගන්නා ඇඹුල් තියල්, සීනි සම්බෝල, බොන්න්ට ගන්නා ප්ලේන්ටි දමා ගත් උනුවතුර බෝතලයට අමතරවය!

කරුණු තවදුරටත් කියනවා නම් පොඩි ආයුධ මල්ලක් හෙවත් ටූල් කිට් එකක් හා එය පාවිච්චි කොට වාහනය ගොඩ දාගැනීමේ කිඩ්නිය මෙම වාහන භාවිතා කරණ්නන් සතු විය යුතුය! 

කීර්ති යනු වාහනයක බොනට්ටුව ඇර තෙල් වතුර බැලීමටවත් එකල දැනුමක් තිබුනු අයෙක් දැයි මා නොදනිමි. එය එසේදැයි අසා දැන ගැනීමට ඔහු දැන් මෙලොව නැත. නොබෝදා අප අතරින් වෙන්ව ගියේය! ඔහුට වාහනය දෙන විටදීද මා ඒ ගැන සුළුවෙන් පැවසූවද ඔහු එය මායිම් කලේ නැත.

අවසානයේ සිදුවූයේ නැවත මා වාහනය රැගෙන ඒමය.

ඊට කලකට පෙර මා මිනිය පාවිච්චි කරද්දී එය දුටු ග්‍රෑන්ඩ්පාස් හි; අශෝකා සිනමා හල අසල; නොම්මර 107 (මට මතක ලෙසට) රාජා බීඩි ෆැක්ටරිය තිබුනු ඉඩමේ සිටි විජයානන්ද මගේ වාහනය දැක එහි වූ පසුපස බලන කණ්නාඩි යුගලය ඉහලින්ම වර්ණනා කරමින් කෙල හැලුවේය!

මෙම රථයේ පසුපස බලන කණ්නාඩි යුගලය සවිවී තිබුනේ ෆෙන්ඩර (මඩ් ගාර්ඩ්) මත වන අතර එය ක්‍රෝමියම් ප්ලේට් කල ඔටිජිනල්ම ඒවා විය!

දෙවෙනි වර කීර්තිගෙන් මිනිය ගෙන ආ පසුව මා රථයේ පෙරකී සයිඩ් කණ්නාඩි දෙක  ගලවා තබා ගත්තෙමි. 

පසුව විජයානන්දම රැගෙන ආ ඔහුගේ මිතුරෙකු හට වාහනය විකුණා දමා කීර්ති වෙත මුදල් බේරා දැමුවෙමි. රථය මිලදී ගැනීමට පැමිණි විජයානන්ද පළමුවෙන්ම බැලුවේ සයිඩ් කණ්නාඩි යුගලය තිබේදැයි කියාය. මන්ද ඔහු තම මිතුරාට වාහනයක් සොයා දීමේ බ්‍රෝකර් ගාස්තුව ලෙස ලබා ගැනීමට සිතා සිට ඇත්තේ පෙර කී කණ්නාඩි යුගලයය!

තවමත් එම කණ්නාඩි යුගලය මා ළඟ!

මා 31 ශ්‍රී 5460 ලෑන්ඩ්කෲසරය පාවිච්චි කරණා සමයේ කඩවත නගරයේ සැරිසරූ තවත් කෲසරයක් විය. ඒ 31ශ්‍රී9111 රථයයි. එකල නව යොවුන් තරුණයෙකු විසින් පදවන ලද එය අළු පැහැයෙන් යුක්ත විය. මළගිය ඥාතීන් හට පිං පිණිස 5460 දන්දී පලමු මුදල් කොටස ලැබුනු වහාම මා කඩවත නගරයට ගොස් ඉහතකී රථය පිළිබඳව ඉව ඇල්ලුවෙමි.

රථය පිළිබඳ හෝඩුවාවක් ලැබුනි. වහාම ක්‍රියාත්මකවන පරිදි රාගම පාරේ අදාල නිවෙස වෙත ගොස් බලන විට වාහනය මාස ගනනාවකින් කිසිවෙකුගේ සොයා බැලීමකට ලක් නොවී; ගරාජයක මකුළු දැලින් වැසී තිබුනි. පෙර මා සඳහන් කල නව යොවුන් තරුණයා  වැඩිදුර අධ්‍යාපනය සඳහා රට අතහැර ගොසින්ය!

වාහනයේ ඇත්තේ එක් දෝශයක් පමනක් බව අයිතිකරුවන් පැවසූවේය.

"මේක ස්ටාර්ට් කල වෙලාවේ ඉඳන් රේස් වෙනවා. මක් කොරල වත් අඩු කරණ්න බෑ!"

"කමක් නෑ! මම ඒක හදා ගන්නම්!"

මම වාහනය රුපියල් එක්ලක්ෂ පනස්දහසකට මිලදී ගත්තෙමි.

හොර බොරු නෑ! සාක්ෂි ඇතුව!!

මෙම ලෑන්ඩ් කෲසර් රථ වලට ඇත්තේ නියුමැටික් ගවර්නරයකි.  ගවනරයක් යනු එන්ජිමක වේගය ඒකාකාරව තබා ගැනීමට සකසා ඇති යාන්ත්‍රනයයි.

මෙම ගවනරය ක්‍රියා කරණ්නේ ඒ තුල ඇති ඩයප්‍රමය; ඉන්ලට් මැනිෆෝල්ඩයේ ඇතිවන රික්තකය හේතුකොටගෙන ඉදිරියට පසුපසට ක්‍රියා කිරීමෙනි.




ගවනරයක් යන්නට සිංහලෙන් දී ඇති වචනය "සංයාමකය" යන්නයි. ගවනරයකින් කෙරෙන්නේ එන්ජිමක වේගය නියත ප්‍රමාණයකට පවත්වා ගැනීමයි. ඉහත රූප සටහනේ ඉහල කොටසේ අඳුරුපැහැයෙන් දක්වා ඇත්තේ එයා ක්ලීනරය හා ඉන්ලට් මැනිෆෝල්ඩයයි. එන්ජිමක් ක්‍රියකිරීමේදී එන්ගිම තුලට වාතය ඇතුළුවන්නේ එයාක්ලීනරය හරහා පෙරහන් වී ඉන්ලට් මැනිෆෝල්ඩය හරහාය.

මෙසේ එන්ජිම තුලින් වේගෙයෙන් වාතය පරිභෝජනය කිරීම සමග වේගයෙන් වාතය ඉන්ලට් මැනිෆෝල්ඩය තුලින් ගමන් කරයි.

මෙම වාතය ඉන්ලට් මැනිෆෝල්ඩයට එයා ක්ලීනරයේ සිට ඇතුළුවන්නේ වෙන්චූරියක් හරහාය.

මෙම රූප සටහනේ දක්වා ඇත්තේ වෙන්චූරි නලයකි.  මේ තුලින් වාතය හෝ ද්‍රවයක් ගමන් කිරීමට නම්; ඇතුළු වන වේගයම පිටවීමේදීද පැවතිය යුතුය. මෙසේ සිදුවීමට නම්; නලය විශාල කොටසේදී ගමන් කරණ වේගයට වඩා වැඩි වේගයක් සිහින් ස්ථානයේදී; ඒ තුලින් ගමන් ගන්නා වාතයට හෝ ද්‍රවයට තිබිය යුතුය! මෙම අමතර වේගය සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ එම ද්‍රවයේ හෝ වාතය තුල ඇති පීඩනය වේගය බවට හැටීමෙන්ය. (ශක්ති සංස්ථිති නියමය.) එම නිසා එම ස්ථානයේ දී ද්‍රවය හෝ වාතය තුල ඇති පීඩනය අවම වේ. මෙය බ'නූල් සිද්ධාන්තය ලෙස හඳුන්වනු ලබයි.  (ගුවන් යානා අහසේ පියාසර කරණ්නේත් මෙම සිද්ධාන්තයට අනුගත වීමෙන්ය.)


ඉහත දක්වා ඇති රූපයේ වෙන්චූරිය සවිකර ඇති නලය තුල Vacuum tube   මෙම සිද්ධාන්තය කරණ කොට ගෙන රික්තයක් හට ගනී. මේ නිසාම රූපයේ පහල කොටසේ දක්වා ඇති ඉන්ජෙක්ටර පොම්පයේ පසු පස කොටස තුල ස්ථාපිත කොට ඇති ඩයප්‍රමය; දුන්න හකුළුවාගෙන දකුණු පස සිට වම් පසට ගමන් කරයි. (ඩයප්‍රමයක් යනු රබර් හෝ වේනත් එවන් සින්තටික් ද්‍රව්‍යයකින් සාදා ඇති පටලකි.)

ඒ සමගම එයට සම්බන්ධ කොට ඇති කන්ට්‍රොල් රැක් එක පසු පසට ගමන් කොට එන්ජිම වෙත සැපයෙන ඩීසල් ප්‍රමානය අවම කරයි.

ඇක්සලරේටරය පෑගීමේදී සිදුවන්නේ මෙම වෙන්චූරි නලය හරහා ගමන් කරණ වාත ප්‍රමානය පාලනය කිරීමෙන් ඩයප්‍රමය නියාමනය කිරීමය ය. ඩය ප්‍රමය සිදුරු වූ විට වෙන්චූරිය මගින් ඇති කරණ රික්තයට ඩයප්‍රමය අනුගත නොවීම නිසා දුන්න මගින් කොන්ට්‍රෝල් රැක් එක ඉදිරියට තල්ලු කරගෙන සිටීම නිසා එන්ජිමට උපරිම ඉන්ධන ලැබීමත් ඊට අදාලව එන්ජිම උපරිමයෙන් සැර වැටීමත් හේතුවේ.

9111 රථය මිළදී ගෙන නිවසට ගෙන ආවේ මහත්වූ වැර වැයමකිණි. මන්ද එහි එන්ජිම ඉතාමත් අකීකරු ලෙස සැරදමන්නට පටන් ගැනීමයි.

කෙසේ හෝ ගෙදරට ගෙනැවිත් පැයකින් පමණ; ඉඳිගහමුල ඩීසල් පොම්ප කඩේ ලාල් වෙතින් අළුත් ඩයප්‍රමයක් ඉන්ජෙක්ටර පොම්පයට සවිකරගෙන අවුල ලිහා ගත්තෙමි.

ඒකාලේ හැටියට එය රුපියල් 200 කටත් අඩු අළුත්වැඩියාවකි.

9111 වාහනයට පත්ලක් නොවීය. මුළු පතුලම දිරා පත්වී තිබුණු සේය.

ඊළඟට එම වාහනය මුළුමණින්ම ටින්කර කොට පින්තාරු කොට දවසක් වත් යන්නට මත්තෙන් ඊට ඔෆරයක් ලැබුනි.

ඒ නිසාන් පැට්රෝල් 160 යකිනි.

32 ශ්‍රී 0865!

අක්මීමන පොලිස් ස්ථානයේ භාවිතා කල මෙම රථය පොලිස් වෙන්දේසියේදී; පොලිස් ගරාජයේ ස්ථානාධිපති ගාමිණී ජයසුන්දර විසින් ලබා ගෙන තිබුනි. එහි එන්ජිම මුළුමණින්ම අළුත්වැඩියා කර තිබුණු අතර 9111 සමග හුවමාරු කලේ නිසානය එන්ජිම මුළුමණින්ම අළුත්වැඩියා කොට; ගරාජය තුල පදම් දිවුමේ තිබෙන අවධියේදීය. ඒ නිකම්ම නොව ගාමිණී අයියාගෙන් වාහනය සමග රුපියල් හැත්තෑපන්දහසක මුදලක්ද සමගිනි!

නිසාන් පැට් රෝල් ඔය කියන කාලේ විකුණුන හැටි හිතාගන්න පුළුවන්ද? ලක්ෂ එකහමාරට මිලදී ගත් ලෑන්ඩ්කෲසරය සමග නිසාන් පැට් රෝලය මාරු වූයේ අතට හැත්තෑපන්දහසක් සමගිනි!

මුල් කාලයේ නිසාන් පැට් රෝලයට මිනිසුන් බිය විය. ඒ එහි ඇති සිලින්ඩර 6 කින් සමන්විත ඝන සෙන්ටි මීටර 3300 ක ධාරිතාවයකින් යුත් SD33 එන්ජිම කරණ කොට ගෙනය.

SD33 - සද්දන්ත යන්තරේ!

BJ ෆෝටියට පැමිණියේ 2997CC B එන්ජිම, 3200CC 2B එන්ජිමය. SD33 එන්ජිම 2B එන්ජිම හා සංසන්දනය කරණ විට විශාල වන්නේ ඝන සෙන්ටි මීටර 100 ක් පමනක් උවද සිලින්ඩර හයේ එන්ජිමට පසු පස හැරුණි. මම එය මිලදී ගත්තේම සිලින්ඩර හය නිසාමය!

"පණ්ඩිතයින් පය ගහන්නට බිය ස්ථානවල මෝඩයින් පිණුම් ගසති!"

මේ එවන් අවස්ථාවකි.

නිසාන් පැට්රල් 160 රිය දිගු හා කොට එනම් Long Wheel Base  සහ Short Wheel Base ලෙස නිපද වුනි. මින් පොලීසියට ලැබුනේ J160U... නමැති මොඩලයය! මෙහි පසුපස ෆයිබර් ආවරණය උස් වහලක් සහිතව නිපදවා තිබුනි!





පැට්රෝලයේ ඉදිරිපස දොරවල් බොහෝ සෙයින් අබලන්ව තිබූ හෙයින් අළුතින් දොරවල් දෙකක් සවිකලෙමි.
මේ වන විට මගේ හිත ගිය නිසාන් පැට්‍රෝලයක් විය. එය 32ශ්‍රී2084 රසිකගේ වාහනයය. එය ෆ්ලැට් රූෆ් වාහනයකි. මගේ හිත තිබුනේ ෆ්ලැට් රූෆ් එකකටය.
ෆ්ලැට් රූෆ් වහලයක් සොයා ගැනීමට නොහැකිවූ තැන මාගේ රථයේ වහලය ෆ්ලැට් රූෆ් කරණ්නට සිතා ගත්තෙමි.
සුසූකි සමුරායි සොෆ්ට් ටොප් වාහනයක පිංතූරයක් ප්‍රස්ථාර කොලයක් මත ඇඳ; එය නිසාන් පැට් රෝලයට ගැලපෙන සේ සමානුපාතිකව විශාලනය කර වැඩේට බැස්සෙමි. 
වැඩේ සෑහෙන්න සාර්ථකවිය මෙම පිංතූර කිහිපය බලා සාර්ථකත්වය ගනනය කරණ්න.

ගුරු ගෝල වෙනස!



32-0865 අප සමග බොහෝ කලක් වාසය කලේය. අළුත සෑදූ එන්ජිම එයට උපරීම ජවයක් ලබා දුනි. එහි තිබුනේ වේග පහේ ගියර පෙට්ටියකි.
එහි  වහලය වෙනස් කරනවාත් සමගම එහි පසුපස දොරද වෙනස් කලෙමි. දොරවල් වෙනුවට එයට ටේල් ගේට් එකක් එනම් ඩබල් කැබ් වල මෙන්ම මෙහි ෆ්ලැට් රූෆ් වාහනයට එන ආකාරයේ පහතට අරිණ දොරක් නිර්මානය කර ගත්තෙමි. දෙපස  දික් අතට සවිකොට ආසන පේලි  දෙක වෙනුවට හරස් අතට දෙදෙනෙකුට පහුවෙන් අසුන් ගත හැකි ආසනයක් සවි කලෙමි. පිටුපස ආසනයේ  සිට පසු පසට වන්නට තරමක කුඩා ශක්තිමත් රාක්කයක්  පසු කලෙක සවිකොට තිබුනි. දුර ගමන් වලදී වසිකට එයට නැග නිදා ගැනීමට හැකිවන සේ එය පාවිච්චි කිරීමටත් ගමන අතර මගදී ප්‍රයෝජනයට ගත හැකි දේ තබා ගැනීමටත් එය ඉවහල් විය.
ඉදිරියේ සවිකර තිබූ වින්චියෙන් (Winch)  රථයට ගෙන ආවේ මහා පෞර්ෂයකි!

විංචිය සවිකිරීමට මූලික වුනු කථාවද "කථාවකි"!

වරක් මමත් බිරිඳත් කුඩා දරුවාත් දැරියත්; අප සමග දටත් පුරා වසර 25 ක් පමන වසන; අපගේ දරුවන් ලොකු මහත් කල කරුණාවතී නැන්දාත් සමග දකුණු පලාතේ සංචාරයක යෙදුනෝය. ගමනේ එක් ඉලක්කයක් වූයේ කලමැටිය කලපුවයි. GPS නොතිබූ කාලයේ අප ගමන් බිමන් ගියේ; මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පලකල මාර්ග සිතියමක් හා ලංකා මැප් පබ්ලිෂර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමෙන් පලකල සංචරක සිතියමක් එකට තබා ලැමිනේටින් කරගත් සිතියම් ද්විත්වය බලා කියාගෙනය.  කුමන හෝ හේතුවක් කරණ කොට ගෙන එම සිතියම් ඩබල එම ගමනේදී මග හැරී හෝ වෙනයම් හේතුවක් නිසා කලමැටිය පිළිබඳව තංගල්ල පසුකොට මාර්ඝය අසල සිටියෙකුගෙන් විමසීය.
අප ප්‍රශ්ණය ඇසූ බාල විලාශය නිසාදෝ ඔහුගෙන්ද ලැබුනේ ලාභ පිළිතුරකි.
"අයියෙ කලමැටිය මූද අයිනට යන්නේ කොහොමද?"
"ආ! මහත්තයා අර වංගුව පහුකලාම  දකුණට තියෙන පාර දිගේම යන්න!"
කියපු ලෙසටම ඉතා පටු පාරක් විය.
පොල් වතුදෙකකට මැදිව වංගු කිහිපයක් සහිත  පාරේ මුහුද දකින සිහියෙන් කිලෝමීටරයක් එක හමාරක් පමන 32 ශ්‍රී0865 පැට් රෝල් 160 රිය පදවා ගෙන ගියෙමි.
මාර්ගය කෙළවර වූයේ අයස්කාන්ත වෙරළකිනි.
වෙරළෙන් ඔබ්බේ වූයේ නිල් වන් මහා සාගරයය.  වෙරළ මීටර 200 ක පමණ පළලකින් යුක්ත විය. වෙරල පිහිටියේ මුහුදට අඩි  ගනනාවක් උඩින්ය. එනිසාම රළ බිඳුම වෙරළට පිවිසුනු වහාම නොපෙනුනි. දකුණු පස වූයේ කිසියම් කුඩා නොගැඹුරු ගංගාවක් ගලා විත් මුහුදට එක්වන ඩෙල්ටාවකි.
දැන් වේලාව දහවල් 12.00 ට 12.30 ට වන්නට ඇත. වළාකුළින් තොර අහස; ඉරට සිත්සේ වෙරල සිප ගැනීමට ඉඩ සලසාය. වෙරළේ පිහිටි පොල් රුප්පාවේ අවසන් ඉමේ සෙවන යට; රථය තුල සිටි අපට කිසිදු මිනිසෙකු තබා බලු කපුටෙක් හෝ මැසි මදුරුවෙකු හෝ දකින්නට මුළු වෙරළේ කිසිදු තැනක දක්නට නොලැබුනි. 
මා රථයේ ගියර් සැකසුම ෆෝ වීල් හා පහල ගියර අනුපාතය  (4 Whee Drive Low Range) තෝරාගෙන වෙරල දෙසට වැලි තලාව ඔස්සේ පැද වූයෙමි. 
වාහනය දැඩි වැලි ප්‍රථිරෝධය මැඩගෙන මහත්වූ ආයාසයකින් යුක්තව ඉදිරියට ඇදේ. කෙමෙන් කෙමෙන් මුහුද අද්දරට සේන්දු වද්දී අප සිටින්නේ මුහුදට අඩි 6 ක පමණ ඉහලින් බව තේරුම් ගියේය. එක්ෂනයෙන් වාහනය තවත් මුහුද අද්දරට ගෙනයාම අතිශය භයානක බවද මට වැටහුනි.  වාහනය නැවත ගොඩබිම දෙසට ගන්නට උත්සාහ කරද්දීම එය වැලි තලාවේ එරෙණ්නට විය!
වාහනය වැල්ල තුල එරී ගිය හොත් එය මුදවා ගැනීමට රථය තුල සිටින කිසිවෙකු හට කලහැකි කිසිවක් නොමැත!
මම වාහනය නැවැත්වූයෙමි.
වාහනය නවතා ලීමට තිරිංග යෙදීමට අවශ්‍ය නොවීය!
ක්ලච් පාදිකය පෑගූ සැණින් එය පොල්ලෙන් ගැසුවා සේ නතර වේ.
වැල්ලේ ප්‍රථිරෝධය ඒතරම් විය!
අද මෙන් අත්දැකීම් නොපිරුණු මා දැඩි තිගැස්මකට පත් වූයෙමි.
ඒවන විට අප සිටියේ වැළි පරයෙ අවසනට අඩි 5-6 ක දුරකට සමීපවය. නිතැතින්ම මාගේ සිතට ආවේ වැලිපරය ඉහිල්වී වාහනය මුහුදට ඇද වැටේවිදෝ කියා අවනිශ්චිත බියකි. ඒ සමගම අප පාසැල් යන අවධියේ කැබ් රියක් සපත්තු පාලමකදී ගසා ගොස් මිය ගිය නුගේගොඩ එන් රිච් ඛේදවාචකය සිහියට ආවෙමි.
වාහනයට වින්චියක් තිබුනානම් අවධානම 75% කින් අවම වේ. "මෙතැනින් ගැලවී යාමට ලැබුනොත් ගෙදර ගිය ගමන් කලයුතු පලවෙනි වැඩේ වාහනයට වින්චියක් සොයා ගැනීමයි!" මා සිතමින්ය!
වාහනයේ කවුළුවෙන් වට පිට බැලූවද බැලූ මානයේ කිසිවෙකු පෙනෙනට නොමැත. එසේ වට පිට බලනා මගේ නෙත ගැටුනේ පොල් ගස් සීමාවේ සිට රථය නැවතුනු ස්ථානය තෙක් වැලි තලාව මත සළකුණිවී ඇති රථයෙ රෝද ගමන් කල මගය.
මාහට ඝන දෙවි නුවණ පහළ වූයේ කෙසේ දැයි මාහට අදද සිතා ගත නොහැක.
මා රිවස් ගියරය දමාගෙන ආ මග ඔස්සේ පසුපසට ධාවනය කිරීමට පටන් ගතිමි. පැහැදිලිව කියනවානම් මුහුද අද්දරට ආ ටයර් පාර දිගේම සීරුවට රිවර්ස් කලෙමි. 
වාහනය සෙමෙන් සෙමෙන් පොල් රුප්පාවට සේන්දු වූ පසු වාහනය එහි ගාල් කොට නිදහසේ, සිත්සේ එතැනින් නෑවෙමු.


වසිකගේ සතුටු මූන කළමැටියේ!

අද ෆෝ වීල් පැදවීම පිළිබඳ පොත් පත් බැලීමේදීද, වීඩියෝ නැරඹීමේදීද, විශාරදයන් හෙවත් අත්දැකීම් බහුල අය  සමග දොඩමළු වෙද්දී මා සිදු කොට ඇති ක්‍රියාව ඉතා නිවැරදි එකක් බව පසක් වේ.
ඊට අමතරව වැල්ලට පිවිසීමට ප්‍රථම ටයර වල හුළං පීඩනය 60%කින් අඩු කිරීම, වාහනය පැදවීමේදී ෆෝ වීල ලෝ රේන්ජ් සෙකන්ඩ් ගියරයේ (4 Wheel Drive Low Range Second Gear) පැදවීමද කලයුතු බව විශාරදයින්ගේ උපදෙසයි!
වාහනය එරීමට පටන් ගැනීමත් සමගම රෝද මගින් වැල්ල හෑරෙමින් වාහනය ගිලා බැසීමට පටන් ගනී.එහිදී අනුගමණය කල යුතු ස්වර්ණමය රීථිය වන්නේ චැසිය වැල්ලේ ගැටෙන්නට පෙර වාහනය මුදා ගැනීමේ වෙනත් ක්‍රමෝපායක් අනුගමනය කල යුතු බවයි.
මෙසේ කියන්නේ මා නොව මෙන්න මේ පහල තියෙන පොත ලියාපු මෙල්බෝර්නයේ රොබර්ට් පෙපර් මහතාය.

The golden rule is not to spin the wheels so much that chassis touches the ground. Start recovery before this happens. - Robert Pepper

ගෙදර පැමිණ තවත් කාලයක් යනවිට ජපානයෙන් අමතර කොටස් ආනයනය කරණ පරණ බඩු කඩයක තිබී වින්චියක් හමුවුනි. එයට රැම්සෙ REP 6000 වින්චියක්ය. රැම්සෙ 6000 යනු රාත්තල් 6000 ක් ඇදගැනීමට හැකි වින්චියකි. එනම් ටොන් 2.68 ක්ය! මිලදී ගත්තේ රුපියල් 12000 කටය. 


Ramsay REP 6000 
 "ඇදගෙන යන්නම් ගහකට කොක්කක් දාලා ආ . . . . .ආ . . . . //"

ටින්කරින්  පේන්ටින් කලද  ඇතුලත නිමාව රලු එකක් විය. එය ධාවනයේ යෙදුනු මුල් කාලයේ කුඩා කුඩා ආභාධ පෙන්නුම් කලද ඒවායින් බොහොමයක් මවිසින්ම අළුත්වැඩියා කොට හොඳ ධාවන තත්වයකට එය ගෙන එන්නට සමත්විය. ඕණෑම රාත්‍රියක ඕනෑම දුර ගමනක් පවුල කැටිව පිටත්වී යාමට තරම් එය විශ්වාසදායක ගමන් සගයෙකු විය. සෑහෙන කලක් මා පාවිච්චි කල පසු එය මහ මග නැවතුනේ එකම එක වතාවකි. ඒ ක්ලච් ප්ලේට් යාම හෙවත් ඝර්ෂනය නැතිවී යාම හේතුවෙන්ය. එයද රස බර කථාවකි. මෙම ලිපි පෙල හුදෙක් තැපැලෙන්  ඉගැන්වෙන මෝටර් කාර්මික පාඩම් මාලාවක්යැයි; අවාරෙට දෙල් වැටෙන්නාසේ මාගේ බ්ලොගයට ගොඩ වදින පාඨක පාඨිකාවන්ගේ දෝෂාරෝපනයන්ගේ බේරීම සඳහා එයද මෙහි ලියා තබන්නම්.
292403

47 comments:

  1. මේ ගනං මිනුම් කියවද්දි ඇඬෙනවා දොරේ. BJ40යක් එකයි පනහකට. නිසාන් පැට්‍රෝල් එකක් හැත්තෑපහකට. මහ කාලෙකට එහා නෙවෙයි. යාන්තං අවුරුදු විසිපහකට විතර ඉස්සර.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම! මම ඔය පුළුවන්තරම් පරණ ලියකියැවිළි දාන්නේ නැතිනම් විශ්වාස කරණ්නත් අමාරුයි. ජනගහනයට සපේක්ෂව වාහන ගහනය අම්බානක වැඩිවෙලත් වාහන වල මිල ඉහල යාම හිතා ගන්නවත් බෑ. ඉස්සරට වඩා දැන් ජීප් පාවිච්චිය වැඩිවෙලා. මිනිස්සු පැරණි වාහන පිළිබඳව වඩාත් සුභවාදීව බැලීමත් එක හේතුවක්. කොහොමත් වෙලඳපොල තුල වාහන මිල කෘථිමව වත් ඉහල ගිහින් තියෙනවා.
      ඔබ මේ ලිපි පෙලේ මුලට ගිහින් බැලුවොත් පෙනේවි ඔස්ටින් මිනිය ගත්තේ 48500/= ට. මේ අධික මිළ ඉහල යාම නිසාම බොහෝ අය තම තමන් සතු වාහන විකිණීම තමා විසින්ම තහනම් කර ගන්නවා. වාහන වෙලඳාමේ ද්‍රවශීල තාවයක් නෑ. ඒ නිසා වාහන තවත් ගනං ගිහිං. ස්තූතියි ගොඩ වැදිලා වචනයක් දෙකක් කථා කරණ්නට නැවතුනාට! ආයේ එන්න!

      Delete
  2. මම ඔබේ බ්ලොගයට ගියා. කියවන්නට නොනැවතී ආපසු ගිය පයිංම ආවා. අනේ දෙයියනේ ඇයි නොලියන්නේ? ලියමු ලියමු! ඔබට දැනෙනවාද මන්දා මටනම් දැනෙනවා බ්ලොග් වසන්ත සමයක පුසුඹ!

    ReplyDelete
    Replies
    1. //දැනෙනවා බ්ලොග් වසන්ත සමයක පුසුඹ!//

      ම්හු..දැනුනෙ නෑ, මට හෙම්බිරිසාවද මන්දා?

      බුරතීනෝ බ්ලොග් ලීව දාට, පුත්තලමේ ගෝවා පූදිනු ඇත.
      -පැරණි කියමනක්-

      Delete
    2. https://dailynews.lk/2016/12/27/local/102999


      //Cabbage is cultivated in nearly 1,000 acres in Kalpitiya while cabbage was also brought from up country areas.//

      Delete
    3. ආන්න ජන්ෂන්... :D

      Delete
    4. https://market.ideabeam.com/i/cabbage/puttalam

      Delete
    5. https://comicvine.gamespot.com/cabbage-comics/4010-3664/

      Delete
    6. අර කලින්පෝස්ට් එක "රා ත්‍රෙඩ්" එකක් උනා වාගේ මේක "රාබු ත්‍රෙඩ්" එකක් වෙයිද මංදා!?

      Delete
    7. රාබුද ඕනේ ?

      //The climate here is ideal for growing fruit and vegetables and there is water in abundance. Many in the area grow onions, cabbages, chillies and turnips to sell at markets. //
      https://groups.google.com/g/puttalamphotos/c/DW4iseyyyGI?pli=1

      Delete
  3. ඉස්සර වාහන කැඩුනාම හා හදවන්න වුන වදය මතක් වුනා. (පරණ වාහන ගත්තේ ඒවාට හෝ ඒවා හදන්න තිබුන ආසාවක් නිසා නෙමෙයි අලුත් ඒවා ගන්න සල්ලි නොතිබුන නිසා. ඒ කරදර ගැන මතක්වෙනකොට ඇන්ටීක් ගැන මට තියන ආසාවත් නැතිවෙනවා )

    වාහනයක් වැල්ලෙ එරුන අවස්තාවකුත් මතක්වුනා

    ReplyDelete
    Replies
    1. සල්ලි නොතිබූ වාහන දුවපු හැටි ගමන් ලියන්න තමයි මේ ලිපියේ අවසාන බාගයේ "ටින්කරින් පේන්ටින් කලද ඇතුලත නිමාව රලු එකක් විය!" යනුවෙන් ලියා තියෙන්නේ. ඉදිරියට ඒ ගැන කියවමු. වැල්ලේ එරුණු කථාව ලියන්න අපිටත් කියවන්න!

      Delete
  4. I am getting 4WD gaya by reading this post. I have to buy a 4WD in SL, can you still buy 4WD from police auctions? Wijebahu

    ReplyDelete
    Replies
    1. දැන් පොලීසියේ තියෙන්නේ ෆෝ වීල් නෙවෙයි විජේභාහු මහත්තයා ත්‍රී වීල්!

      පොලීසියේ නැතත් වෙනත් ආයතන වල වාහන විකිණෙනවා. දැණ් වෙන්දේසි නොවේ තියෙන්නේ ටෙන්ඩර්! අපි ගමු එකක්!~

      Delete
  5. මේ පේන හැටියට රාවනා රජ්ජුරුවන්ගේ දඬුමොනරේ එහෙමත් ලියකියවිලි ඇති මෙයා ගාව. අද නම් රථ තියෙනවා, හැබෑට කවුද අර පින්තුරේ ගත්තේ? ඒ කියන හැටියට ගොඩ ඉඳල තියෙනවා නේ ඒ කාලේ පින්තුරයක් ගන්න දැනුමක් තියෙන මනුස්සයෙක්. කවුරුත් පලාතෙවත් නෑ ..කිව්වට.......
    එක්කෝ ඕන නෑ

    ReplyDelete
    Replies
    1. මම කොහොමත් කාගේ කොල කෑලි හම්බුනත් ෆයිල් කරලා තමයි රිටර්න් කරණ්නේ. රාවනා නිකං හරි මට ෆොටෝ කොපියක් හරි දීලා තිබුනා නම් අනිවා ඒක ඇති මගේ පරන ෆයිල් එකක!
      ඇයි දෙයියනේ කථාව පටං ගන්න කොටම කිව්වේ "පවුල් පිටිං" ගිය ගමනක් කියලා. ඒ කාලේ රීල් දාලා ෆික්ස් ෆෝකස් කැමරාවකින් ගත්තු එකක්!
      ඔයාටනම් හරි යන්නේම "හරස් පරීක්ෂක දොරලොක් හෝල්ම්ස්" ගේ වැඩම තමයි. පේන්නෙම වැරදි!

      Delete
  6. මට නම් ලෑන්ඩ් කෘසර් එකට වඩා පැට්‍රෝල් එක 4WD ගමන් වලට හොඳයි. ඒ වගේම, ඔය කියන කාලේ ටොයෝටා වාහන වලට අද තියන ඉහල පිළිගැනීම තිබුනෙත් නැහැ කියලයි මට හිතෙන්නේ.

    වාහනය වෙරළේ එරෙන කොට, ගිය පාර දිගේම ආපසු ඇවිත්, ගොඩ එන්න උත්සාහ කිරීමම හොඳ අත්දැකීමක්.

    මුහුදු වෙරළේ වාහන පැදවීමේදී ඕස්ට්‍රේලියාවේ උතුරු කොටසේ වඩ දිය බාදිය (high/low tide) ප්‍රශ්නය ලොකුවටම බල පානවා. low/high දෙකේ වෙනස මීටර් 10/11 විතර, ඒ කියන්නේ අඩි තිහක් තිස්පහක් විතර වෙන තැන් තියනවා. බා දිය වෙලාවක වාහනය වෙරළේ නවත්තලා ගියොත් හරි, වෙරළේ වාහනය එරුනොත් හරි සොරිම තමයි.

    4wd ගමන් කරන කොට හොඳ අත්දැකීමක් සහ විනාශයක් අතර බොහොම සුළු පරතරයක් තමයි තියෙන්නේ. කිසිවිටක තනි වාහනයකින් යන්න එපා කියන එක නම් මම හැකි සැම විටම පිළිපදිනවා.

    //කැබ් රියක් සපත්තු පාලමකදී ගසා ගොස් මිය ගිය නුගේගොඩ එන් රිච් ඛේදවාචකය//

    උඩවලවේ චන්ද්‍රිකා වැවේ පිටවානේ, ඩබල් කැබ් එක ගහගෙන ගියේ නුගේගොඩ Tally Ho restaurant එක කරපු කෙනාගේ නේද?

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයා! කොහොමත් ඒ කාලේ වාහන වලට මහා මිලක් තිබුනේ නෑ. නිසාන් පැට්‍රෝල් එක හොඳම වාහනයක්. ඒත් තරඟකාරී ලෙස එකම වකවානුව තුල නිපදවූ ලෑන්ඩ්කෲසර වඩාත් ශක්තිමත්ව හදලා තියෙනවා කියන එකයි මගේ අත්දැකීම නම්. ඒත් රෝඩ් හෝල්ඩින්, හැන්ඩ්ලින්, කම්ෆටබිලිටි වගේ දේවල් වලදී පැට්‍රෝල් එක ඉස්සරහ වෙන්න පුළුවන්. ඔව් කොහොමත් ඩයිවින් වලදී වගේම ඕෆ් රෝඩ් ගමන් වලදීනම් වාහන දෙකක් යන එක තමයි හොඳම! මට මතක එන්‍ රිච් කියලා සුපර මාර්කට් එක ලඟ වංගුවේ තිබුනු හෝටලේ අයිතිකරු හා බිරිඳත් දරු දෙදෙනාත් කියලයි. ඔව් තැනනම් හරියටම හරි. චන්ද්‍රිකා වැව ආශ්‍රිතව තමයි! ස්තූතියි දුර බලන්නැතිව ගොඩැවැදිලා යන්න ආ එකට!

      Delete
  7. ටැන්කිව්! ටැන්කිව්!!

    ReplyDelete
  8. බර්නොලුයි ද වෙන්චුරි ද ඝර්ෂනේ ද වැනි සම්භාව්‍ය භෞතික විද්‍යා න්‍යායයන් අතරේ අවාරෙට වැටෙන ලෙස හෝ දෙල්ගෙඩියක් ගැන සඳහන් කිරීම අපගේ සන්තුෂ්ථිය දනවයි.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අනේ හැට්ටර් මචං ලියල තියෙන ඒවා හරි නේද? වැරදි නං කියන්නෝන නෝන්ඩි නැතුව! ආවාට සංතෝෂයි! ජයවේවා!

      Delete
  9. ඇවිත් කියෙව්වට යමක් ලියන්නට
    දේවල් ඔළුවට ආවෙම නැතිවට
    මක් කරන්නදෝ, බලලා වටපිට
    ඇනගත්තා ලොකු ටොක්කක් ඔළුවට!

    ReplyDelete
    Replies
    1. නිදී මහත්තයා දැන්නම් සුපිරිම කවියෙක් වෙලා. බ්ලොග් එක පුරාවට කවි හත අටක්ම ලියපු මටවත් ඔඅය වගේ කවි හුටස් ගාලා එන්නේ නොවැ!? ස්තූතියි බොහොමත්ම!

      Delete
    2. මගේ බ්ලොගයේ 'ආදර පූජාසනේ' posts වලදී කිව්වා සුනන්ද මහත්තයාට සිරි සැප වෙන්නෝනි. උන්නැහේ තමයි මට කවිවලින් පෙම් කරන්න කියලා කිව්වේ!

      https://nidigepanchathanthare.blogspot.com/2020/08/blog-post.html
      ඊට පස්සේ ජපුරේ 'ජන සන්නිවේදන ඩිප්ලෝමාව' කරද්දී මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා ඉගැන්නුවා සතතාභ්‍යාසය ගැන. නිතර යමක යෙදීමෙන් ඇතිවන හසලතාව.... ඒක තමයි මේ. මං කියවන බ්ලොග් ලිපිවලට හැකි හැමවිටම දැන් කවියක් ලියන්නේ, අභ්‍යාසයක් විදිහට.

      ගොඩක් ස්තුතියි පැසසුමට... ආඩම්බරත් වෙයිද මන්දා...

      Delete
    3. මමත් පාසල් යන කාලේ කවි ලියන්න හිතිලා මරදානේ පොත් කඩේකින් ඇහුවාම "කවි ලියන්න පුරුදු වෙන්න් පොතක් එහෙම නැත්ද ?" කියලා කඩේ හිටපු වයසක පහේ ඩයල් දෙක තුන කිව්වා "විරිත් වැකිය" තමයි ඉතිං කියලා! මාත් ඉතිං මාස ගනනක් ට්‍රයි කරලා ගිහින් හොයලා හොයලා ගත්තා කුමරතුඟු මුනිදස් පඬිවරුණගේ "විරිත් වැකිය" පොත! ඒකෙ කතු වැකිය පටන් අරණ් තිබුනේම "විරිතකට නැති එකදු වැකියක් - විරිත් වැකියේ කිසි තැනක නැති!" කියලා. අනේ ඒකෙන් ඉගෙන ගන්න තියා කියවන්නවත් බැරි උනා.

      Delete
    4. කවි ලියන හැටි පෙම්වතෙක් පෙම්වතියකට කියල දෙන විදිහට ලියැවුණු මුනිදසුන්ගේ පොතක් මං කියවලා තියෙනවා. නම මතකයට එන්නෙ නෑනෙ.... විරිත් වැකිය වෙන්නත් ඇති!

      Delete
  10. රසවත් පැරණි රසාංගයක් සමඟ ජීවිතාරක්ෂක උපදෙස් දෙකම ගන්න නං මෙතන්ටම එන්න ඕනෙ. ඊලඟ කොටසත් බලමු. හැමදාම ජීවිතයට එකතු කරගන්න යමක් දෙනවට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම ලොරි ටෝකස් නෙවෙයි! ඇත්තටම ලබපු අත්දැකීම්. කුප්පි ලාම්පු/ පට්‍රෝල් මැක්ස් එළියෙ වැඩ කරපු අන්තිම පරම්පරාවනේ බං!?

      Delete
  11. තට්ටය්යාගේ රථ ගාය මටත් දැන් හැදීගෙන එනවා වගේ ...

    ReplyDelete
    Replies
    1. හැදීගෙන එනවානම් ආයෙ දෙකක් නෑ! වාහන කටුවක් අරගෙනම ගොඩ යන්න බලමු!

      Delete
  12. 99 වසිකගේ සයිස් එකේ හැටියට බැලුවොත් මමත් ඔයාට තට්ට අයියා නෙමෙයි තට්ට මාමා කියන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්! හ්ම්ම්! උඹට කියන්නෙ මල්ලි අපේ කොල්ලා කට පුරා "අයියෙ" කියන එවුංට තමයි මම "මචං හුචං" ගාන්නේ. අනේ උන්ට පිං සිද්ද වෙන්න උනුත් වසිකට මල්ලි කියන ගමන් මට "අයියේ" කියනවා.

      Delete
  13. මේ කතා සීරීස් එකනං පට්ටයි.

    ඔයකාලෙ වාහන වල දාල ගියෙන ගණං ගැනනං පුදුමයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් මම දන්නවා ටික වෙන්න රථ ගාය තියෙන බව! ස්තූතියි ඇගයීමට!

      Delete
  14. මතක හැටියට ඔය කියන එන්ජින් එකේ තියෙන්නෙ කම්බයින් ගවනර් එකක්. අයිඩ්ල් ස්පීඩ් එක නියුමැටික් කොටසෙනුත් උපරිම වේගය මිකෑනිකල් ගවනර් එකකිනුත් පාලනය කරනවා. මතකද ලංගම තිබුන පරණ ඇල්බියන් සහ අලියා කොමට් කියල හඳුන්වන ලේලන්ඩ් බස්. ඒවයෙ තිබුනෙ නියුමැටික් ගවනර් එක විතරයි. ඒ එන්ජින් අයිඩ්ල් ස්පීඩ් එකේදී වේගය අඩු වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. මට ඒකනම් මතක නෑ කුමාර මහත්තයා. හැබැයි ඒකාලේ ඇල්බියන්, ලේලන්ඩ් බස් වල අයිඩ්ල් එකේදී ර් .රම් . . . . ර්.රම් . . . .ර්.රම් . . .ගගා හන්ට් කරනවා නම් මතකයි මම්` එන පෝස්ට් එකට කොයිලෝකෙන් හරි ලැන්ඩ්කෲසර් ඉන්ජෙක්ටර් පොම්පෙක හර්ස් කඩක් හරි දාන්නම් ඔබ තුමාට බලන්නම!

      Delete
  15. වාහන ගැන තියෙන මෙහෙම සීරිස් එකක් දැක්මයි.පරණ වාහනවලට ඇත්තටම නියම මිලක් නැනේ.ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. පරණ නඩුවලට පැටලෙන බවට සමාන කළාට මන් ගත්තේ මොරිස් මයිනර් එකක්. තාම දුවනවා.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් සඳරුවන් මහත්තයා!
      ඔව්! මම පාවිච්චි කල වාහනය පිළිබඳව හඳුන්වා දෙන ගමන් එය මගේ ජීවිතයට බලපෑ අයුරුතෙය පිළිබඳව පොඩි පහේ කාර්මික දැක්මකුත් එක්කයි මේ ලිපි පෙල ලියන්නේ. ඇත්තටම දැනට මා පාවිච්චි කරණ පැරණි රථය පිළිබඳව ලියන්නට කථාවක් තියෙනවා. ඒ නිසාමයි මේ ලිපි පෙල ලියන්නට පටන් ගත්තේ! බොහොමත්ම ස්තූතියි කියවලා කොමෙන්ටුවකුත් ලිව්වාට! මම ඔබේ බ්ලොගයට ගොඩ වැදුනා. එහි අන්තිම පෝස්ටුවටත් කමෙන්ටුවක් ලිව්වා. කියවන්නකෝ!
      ආ! තව පොඩ්ඩෙන් අමතක වෙනවා! මොරිස් මයිනරේ කියන්නේ මගේත් ප්‍රියතම වාහනයක්! මම දැක්කා පහු ගිය කාලේ ගාල්ලේ හබරාදූව පැත්තේ මයිනර් පාට්ස් හදන ආයතනයක් ගැන කථාවෙනවා!

      Delete
  16. කියන්න වචන නෑ අයියේ ...... රස වැඩි කමට දෙපාරක් කියෙව්වා . .

    කලමැටිය මූද අයිනට ගිය ගමනා .

    නිසාන් පැට් රෝල් එකක් තිබ්බා කියන්නේ වත්තේ තමන්ටම කියලා අලියෙක් හිටියා වගේ තමයි . අදටත් ඒ ගැම්මට මම පට්ට ආසයි .

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි ඇත්තම ඇත්තයි. ගෙදර ඇතෙක් ඉන්නවා වගේ තමයි ෆෝ වීල එකක් තියෙන කොට!

      Delete
  17. 4DR5 එකක් 35000/- කට ගත්තා 95/96 වගේ කාලේ.. මම නෙවෙයි සල්ලිකාර පවුලක අපේ යාලුවෙක්.. අපේ වගේ පැද්දා.. ඩිසල් ලීටරේ රුපියල් හත ද කොහෙද ඒ කාලේ. :)

    ReplyDelete
    Replies
    1. අනුංගෙ මගුල් ගැන කියව කියව ඉන්නකං අරං හදමුකෝ එකක් ~ ලෝකෙ වටේ යන්න පුළුවං විදියට!

      Delete
  18. අනේ තට්ට මහත්තයෝ, පරන මයිනරයක්, ලාන්සරයක් ගැන ඇහෙන කොටත් ආසාවේ බෑ. පරණ කාර් ඇම්ම කවදාවත් හොඳ කරන්න බෑ. සල්ලි නැතිකමත් පරන කාර් පස්සෙ යන්න හේතුවක් තමයි. ඒත් කොච්චර අලුත් වාහන ගත්තත් ගෙදර පරන වාහනයක් තියාගන්න එක නම් නවත්තාගන්න බැරිවෙයි. ඒක ඒ තරම්ම සුන්දරයි....

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...