Saturday, February 27, 2021

190. නොරත රථ . . . . ! (4)

 

Peugeot 504

7ශ්‍රී7053 රථය කෙතරම් අනර්ඝ රථයක් වුවද එයට සරිලන අමතර කොටස් කළුණික මෙන් විය. 

ෆියට් ලංකාවට ගෙනැවිත් බෙදා දුන් (මගේ මතකය නිවැරදිනම්) කොලෝනියල් මෝටර්ස් ආයතනයද දිවැවුනේ අපට ඕනෑවට මෙනි. ලංකාව තුල මෙතරම් පැරණි ලෑන්ඩ් රෝවර් තිබීමට හේතුව සොයා බැලීමට වටිනා කරුණකි. 

එකල ලංකාව හෙවත් සිලෝන් බ්‍රිතාන්‍යයට යටත් විජිතයක්ව පැවතීම හා එකල මුළු මහත් ජාත්‍යන්තරය පුරාවට තිබුනු එකම නම්දරාපු ෆෝ වීල් රථය ලෑන්ඩ් රෝවරය වූ නිසාත්; නො එසේනම් කොලෝනියල් මෝටර්ස් හි එකල පැවති මන්දගාමී ස්වභාවය තුල ලෑන්ඩ් රෝවර් රථ දහයක් හෝ මෙරට දක්නට නැතිවන්නට ඉඩ තිබුනි!

කොලෝනියල්ලාගේ කිරීටය ලෑන්ඩ් රෝවර් මිසක ෆියට් නොවේ. එම නිසාම ෆියට් බඩු සෙවීම බෙහෙවින් අසීරු කට යුත්තක් විය.

ෆියට් රථය මා ටික කාලයක් පාවිච්චි කලෙමි. එම කෙටි කාලය තුල මා කිලෝ මීටර  1000 -1500 ක් පමණ පදවන්නට ඇතැයි මා නිමාණය කරමි. කෙටි කලෙකින් වාහනයේ කුඩා මිස් කිරීමක් ඇති විය. එය සුවපත් කිරීම සඳහා ගරාජයකට ඇරළු වාහනයේ  ඩිස්ට්‍රිබියුටරයේ ලෙඩක් ඇතිබව ගරාජයේ බාස් විසින් සොයාගෙන තිබුනි. 

ඩිස්ට්‍රිබියුටරය හෙවත් ගරාජ් බාශාවෙන් පවසන ඩැල්කොව ගෙන මා කොලෝනියල් මෝටර්ස් සිට පංචිකාවත්තේ ෆියට් ඔස්තාද්ලා සොයා ගියෙමි. එක් අමතර කොටස් වෙළෙඳ සැලක ඉබ්බන්වල හංදිය අසල තිබුනු බවස්ද මට මතකය. ඒ කිසිදු තැනකින් රථයට ඇවැසි අමතර කොටස් සොයා ගැනීමට නොහැකිවිය!

ඊට ප්‍රධාන හේතුව වූයේ මෙම ෆියට රථ මොඩලය එනම් Fiat 132 2000 CC රථය යුරෝපයේ පවා තරමක් දුලබ රථයක් වීම විය යුතුය.

e bay වැනි මාධ‍යයන් නොමැති එකල කල හැකිවූ එකම කාර්‍යය වූයේ ඊට ගැලපෙන වෙනත් රථයක ඩිස්ට්‍රිබියුටරයක් විවාහ කර දීම පමණි.

බාසුන්නැහැගේ යෝජනාවට එකඟ වීම හැරුණුකොට මට කියන්නට තබා සිතන්නටවත් දෙයක් ඉතුරු නොවීය.

ගරාජයට මේ සඳහා තරමක කාලයක් ගත විය.

ඒ මාගේ විවාහය සිදුවූ කාලයයි.

වාහනයක අවශ්‍ය තාවය බරපතලව දැනුණු අතර එම අවශ්‍යතාවය පිරිමසා ගැනීමට ගරාජයෙන් මාහට එවන්ම වූ තවත්යුරෝපීය මෝටර් රථයක් සැපයිනි.

ඒ පර්ජෝ 504 GL රථයකි.

මා මේ ලිපි පෙල ලිවීමට පටන් ගැනීමට සිතේ පිඹුරු පත් සකස් කරණා පසු ගිය කාලයේදී එකවර සිත තුල පොපියා නැතිවී යන මතකයක් විය.

ඒ කළු පැහැති පර්ජෝ 504 රථයක සේයාවකි.

එම රථය ගැනද ලියා තැබීමට කථාන්දරයක් වේ. එය හුදෙක් මා යට කී පර්ජෝ රථය ගැන නොව පොදුවේ පර්ජෝ රථ පිළිබඳ සොඳුරු කථාබහකි.

මා කලක් ගැවසුනු මොරටුව කටුබැද්දේ සොයිසා පුර මහල් නිවාස වල O බ්ලොක් එකේ විසූ මිත්‍රයෙක් විය. ඔහු නමින් ශාන්ත කුමාර රණසිංහය. ශාන්තගේ වැඩිමහළු අක්කා විවාහ වී සිටියේ සෙනෙවි හෙවත් සෙනෙවිරත්න අයියා සමගය. සෙනෙවි අයියා පර්ජෝ වැඩ්ඩෙකි. ඔහු නොම්මර එකේ පර්ජෝ 504 බාස් කෙනෙකු විය. 

එකල බවර්ස් හා වෝකර්ස් සමාගම් සතු විදේශීය සංචාරකයින් සඳහා ලබා දෙන මෝටර් රථ සමූහ දෙකක් විය.මෙම වාහන සමූහ සමන්විත වූයේ පර්ජෝ 504 රථ වලිනි.

මෙම රථ වලින් බොහොමයක් අළුත්වැඩියාවන් සඳහා පැමිණියේ සෙනෙවි සොයාය.

කටුබැද්දේ ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය අසලින් දිවුනු පාරේ  විසූ සුනිල්; 504 රථ කිහිපයකට හිමිකම් කීවේය.

සොයිසා පුර B9 බ්ලොක් එකේ විසූ රොහාන් අයියාද කලේ ටුවරිසම් මය. තවත් විදියකට කිවහොත් ටුවර් ගයිඩ් කෙනෙකි. ඔහු පැදවූයේ සුනිල්ගේ රථයකි.

ඊට කලකට පෙර ඔහුට සිදුවූ සුන්දර කථාවක් අප සමග වතාවක් පැවසීය. එය ඔහුගේම වචනයෙන් මා මෙහි ලියා තබන්නම්.

"මල්ලි ඒකාලේ මම පැද්දේ මගේ හොඳම යාළුවෙක්ගේ ෆයිව් ඕ ෆෝ එකක්. ඒක හදලා තිබ්බා ආයේ ෂෝ රූම් කන්ඩිශන් එකට! එයා හැම දාම මට වාහනේ අතට දෙනකොට කියන කථාවක් තියෙනවා.

 'මචං බය නැතුව එලෝපං. මෙකෙ  ස්පේසර් එක්ක ඇලොයි වීල්ස් වලට මිශෙලින් ටයර්ස් දාලා තියෙන්නේ. සීය පන්නලා ඕන කෝනර් එකක් ගනිං මුකුත් වෙන්නේ නෑ' කියලා. 

ඇත්තටම ෆයිව් ඕ ෆෝස් කවදාවත් පෙරලෙන වාහන නෙවෙයි. එයා මේකට ස්පේසර දාලා බ්‍රෝඩ් ඇලොයි දාලා මිශෙලින් හතරක් බස්සලා තිබුනු හින්දා; ඩ්‍රයිව් කරණ කොට පාරට තියලා පරාල ඇන ගහලා වගේ තමයි. ෆුල් බැලන්ස්! සුපර්බ් කන්ට්‍රොලින්!! ස්ටැබිලිටි එක මැක්ස්!!! 

ඉතින් එදා ගෙස්ට් ව ගන්න තිබුනේ හොලිඩේ ඉන් එකෙන්. ගෙස්ට්ව ගන්න තිබුනේ දායට. මම ඔන් ටයිම් එතනට යන කොටත් ගෙස්ට් එලියට ඇවිත්. ෆ්‍රෙන්ච් එකෙක්! එයා තනියම ඇවිත් තිබුනේ.  යූශුවලි ගෙස්ට් කෙනෙක් නගින්නේ පිටිපස්සෙ සීට් එකටනෙ. මම එයාගෙ බැගෙජස් බූට් එකට දාලා ඌට නගින්න පිටි පස්සෙ දොර ඇරියා. මිනිහ මගේ දිහා හොඳට බලලා ඉස්සරහ දොර ඇරගෙන ඉස්සරහින් වාඩි උනා.

එයා ව මට එක්කගෙන යන්න තිබුනේ කොළොඹින් අන්රාදපුර. එතැනින් පොලොන්නරුව සීගිරිය දඹුල්ල  ආපහු කොළොඹ! ඔක්කොම කිලෝ මීටර 450  පනිනවා.

මම හොලිඩේ එකෙන්  එළියට දානකොට උදේ 10.10 ට ඇති. මම එතැන ඉඳන් කෙලින්ම පෑලියගොඩට දාලා පුට්ලම් රෝඩ් එකේ යන්න ගත්තා. වත්තල , කඳාන, සීදූව පහුවෙලා ඇවරිවත්ත හංදියට එනකුලුත් මේ යකා ඉස්සරහ බලනවා මම ඩ්‍රයිව් කරණ හැටි බලනවා ගියර් ශිෆ්ට් කරණ හැටි බලනවා විතරයි. ගමන එන්ජොයි කරණ බවක් පේන්නෙම නෑ.

අන්තිමට මීගමුවට කිට්ටු කරද්දිම මම පොඩ්ඩක් කථා කරණ්න පටන් ගත්තා - ඒ නිගම්බො ගැන විස්තරේකුත් එක්ක. මේ මනුස්සයා ඒ කිසි දෙයකට ඇහුං කං දුන්නු බවක් පේන්න තිබ්බේ නෑ. මමත් පොඩ්ඩක් කියවලා කට වා ගත්තා මොකද මෙයා ඒකට කැමති නැද්ද දන්නේ නෑනේ.

මීගමුව පහු කරලා හලාවතට කිට්ටු කරද්දි මම  නයින්ටි හන්ඩ්‍රඩ් අතර වගේ එලෙව්වේ. අපි සාමාන්‍යෙන් ගෙස්ට් කෙනෙක් අරන් යද්දී එයිටි එක්සීඩ් කරණ්නේ නෑ. සික්ස්ටි සෙවෙන්ටි වගේ තමයි මේන් ටේන් කරණ්නේ. ගෙස්ට් දෙතුන් පාර එයාගෙ රිස්ට් වොච් එක දිහා බලන කොට මට හිතුනා පොඩ්ඩ ස්පීඩ් කරණ්න.

මට ටිකක් යන කොට තේරුණා මෙයට මගේ ඩ්රැයිව්ං ස්ටයිල් එකට ඒ තරම් ඇට්‍රැක්ශන් එකක් නැති බව! ඒ නිසාමයි මම් පොඩ්ඩක් ස්පීඩ් කලේ.

එතකොට යාන්තම් මිනිහට පොඩ්ඩක් හරිගියා වගේ.

මම ඊළඟට එයාගෙන් ඇහුවා 'උඹට මගේ ඩ්‍රයිවිං හරි නැද්ද ?' කියලා. මේ යකා මං දිහා බලන්නෙවත් නැතිව 'ටූ ස්ලෝ!' කියලා එළිය බලාගත්තා.

එතකොට මම හන්ඩ්‍රඩ් ටච් කරලා ඉවරයි.

චිලාව් ටවුන් එකත් අසූවට විතර පහු කරපු මම ආයෙමත් හන්ඩ්‍රඩ් වලට ඇවිත් දැන් හන්ඩ්‍රඩ් පහුවෙලත් යනවා. මේකෙ තිවුනු ටූ ලීටර් එන්ජිම ම්ම්ම්ම් ගාගෙන දුවනවා. කා එක පොඩ්ඩක් එහේ මෙහේ දුවන්නේ නැතිව පාරට තියලා ඇන ගහලා වගේ යනවා.

එක පාරම මේ යකා මං දිහාට හැරිලා 'කැනයි ඩ්‍රයිව්?' කියලා අහපි.

මේ මනුස්සයා මගෙන් වාහනේ ඉල්ලනවා ඩ්‍රයිව් කරණ්න.

මගේ ටුවරිසම් හිස්ට්‍රි එකේ; ඔය ගෙස්ට් කෙනෙක් වීකල් එක ඉල්ලුවාමයි.

අපි කවදාවත් ගෙස්ට්ට කියන්නේ නෑ අපේ  කා එකක් උනත් අපේ කියලා. එතකොට උන්ගෙන් ලැබෙන ටිප් එක අඩුයි. අපි කියන්නෙම 'කම්පනි කා' කියලමයි.

මම ගෙස්ට්ට ශේප් එකේ කිව්වා ඔයාට වාහනේ දුන්නොත් මගේ ජොබ් එකත් නැතිවෙයි කියලා. ගෙස්ට් ආයේ ඉස්සරහ බලාගෙන යන්න ගියා.

පුට්ලම් වලට කිට්ටු කරණ කොට මම ගෙස්ට් ට කිව්වා අපි පුට්ලම් රෙස්ට් හවුස් එකේ බ්‍රේක් එකක් යන බව. රෙස්ට් හවුස් එකේ කා පෝච් එකෙන් සුද්දව දාලා මම කා එක හෙවනක නවත්තලා බැහැල එන කොටත් එයා ඇතුලට ගිහින් තිබුනේ නෑ. මම ෆ්‍රන්ට් ඔෆිස් එකට කතා කරණ්න නැවතුනාම ගෙස්ට් මටත් ඉන් වයිට් කලා එයාගෙ ටේබල් එකට.

'අපි ඊළඟට නවත්වන්නේ කොහේද?' මිනිහා ඇහුවා.

මං කිව්වා අන්රාදපුර කියලා!

'ඩිස්ටන්ස්....?'

මං කිව්වා කිලෝමීටර් 75 යි කියලා.

කොච්චර වෙලාවක් යයිද කියලා මිනිහා ඇහුවා.

'වන් අවර් ඇන්ඩ් ට්වෙන්ටි මිනිට්ස් සර්...!' කියලා මම කිව්වා.

මේ වෙන කොට අපේ ටෙබල් එක ලඟට වේටර් කෙනෙක් ඇවිත්

ගෙස්ට් ස්කොච් එකක් ඕර්ඩර් කලා.

වේටර් මගේ පැත්තට හැරෙන සුනංගුවට මේ යකා මට කියනවා උඹට ෆෝටි ෆයිව් මිනිට්ස් වලින් යන්න බැරි නං උඹ යූස් ලස් ඩ්‍රැයිවර් කෙනෙක් කියලා!

මගේ ඇස් දෙක දන්න පටන් ගත්තා. මට දැනෙනවා මගේ මූන ටිකින් ටික රතු වෙනවා. කන් දෙක පුපුරු ගහනවා.

මූ ඒ ගමන කියනවා ප්‍රශ්නයක් නෑ උඹට පුළුවන් විදියට උඹ ඩ්‍රයිව් කරපං! දැන් උඹ කැමති දෙකක් ඔර්ඩර් කරපං කියලා!!

මම ඔරෙන්ජ් ජූස් එකක් ඔර්ඩර් කරණ කොට ගෙස්ට් ඇහුවා ලිකර් ගන්නේ නැද්ද කියලා.

ගෙස්ට්ලත් එක්ක ඉන්න කොට මම ගන්නෙ නෑ කිව්වාම මූ හයියෙන් හිනා වෙලා 'ඒක වැඩක් නෑ!'  ගාලා කියලා මටත් ස්කොච් එකක් ඔර්ඩර් කලා

'මල්ලි එපා! ඕල්ඩ් ඇරැක් සීයක් ගෙනෙං ජින්ජර් ඒල් ටිකක් දාලා!' මම මගේ ඔර්ඩරෙත් ප්ලේස් කලා.

මට දැන් මූව කන්න කේන්තියි. මම ඒ ටික පෙන්නන්නේ නැතිව  ඌත් එක්කම ඩ්‍රින්ක් එක අරං ඉවර කලා.

මම කා එක ලඟට යන කොට මිනිහත් ඇවිත් නැග්ගා. මම එයාට දොර අරින්නවත් ගියේ නෑ එයාම ඉස්සරහ සීට් එකට නැග්ගා. පුත්තලම රෙස්ට් හවුස් එකේ ඉඳන් පාරට තියෙන පොඩි නැග්ම ගන්න කොට අරක්කු මගේ ඇඟේ දුවනවා. වාහනේ උඩට ගන්නකොටම මම ට්‍රිප් රෙකෝර්ඩර් රීසෙටින් නොබ් එකෙන් මීටරේ සීරෝ කලා.

මම දැක්කා සුද්දා හොරෙන් එක දිහා බලලා එයාගෙ රිස්ට් වොච් එක දිහා බලනවා. මමත් මගේ රිස්ට් වොච් එක දිහා බලලා 'ට්වෙල්ව් පාස්ට් ටෙන්!' කිව්වා.

එයත් ඒක තනි වචනෙන් අනුමත කලා.

මම සෙකන්ඩ් එකේ තර්ඩ් එකේම පුට්ලම් ටවුන් එකෙන් එලියට ආවා.

ඔය කාලේ පුට්ලම් අන්රාදපුර පාර එච්චරම හොඳ නෑ.

මම එතන ඉඳන් ආවා එකසිය දහය පන්නලා. 

තිබුනු වංගු එකකවත් වාහනේ වීල්ස් ස්කිඩ් කරණ්නෙ නැතිව ලෝ ගියර්ස් වල ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගෙන ආවා.

ෆයිව් ඕ ෆෝ එකේ මීටර් එක තියෙන්නේ හන්ඩ්‍රඩ් ඇන්ඩ් ටුවෙන්ටි වලට. හැබැයි එකසිය විස්ස කියන්නේ එකසිය විස්ස! ඒවගේමයි වෙන වාහනයක් හැටට ගන්න කොර්නර් එකක් කිසිම ගින්නක් නැතිව එයිටි පන්නලා ගන්න පුළුවන් ඇතුලෙ යන අයට නොතේරෙන්න.

කරුවලගස් වැව, කහටවැව, සාලිය වැව එහෙම පහු වෙනවා දැක්කෙ නැති ගානයි. පොඩි පොඩි කේස් එකක් දෙකක් හින්දා ඩ්‍රයිව් එක ස්ලෝ කලත් ආයෙමත් මම උපරිමයෙන් එලෙව්වා.

මිශෙලින් ටයර් සෙට් එක zzzzස් ගානවා.

එන්ජිම දුවනවා ම්ම්ම්ම්ම් ගාලා.

නොච්චියාගම පොලීසිය ලඟදි මම පොඩ්ඩක් ස්ලෝ කලා.

මම දැක්කා ගෙස්ට් ඔඩෝ මීටරේට එබෙනවා. මට බලන්න දෙයක් නෑ පුට්ලම් වල ඉඳලා නොච්චියාගමට හරියටම කිලෝමීටර් පනස්පායි!

මම සටස් ගලා මගේ රිස්ට් වොච් එක දිහා බැලුවා. දොලහයි විසි අටයි. තිහ වෙලාවත් නෑ. මම දැන ගත්තා මම ඉන්නේ ඔන් ටයිම් කියලා.

එතන ඉඳන් මට මාර ෆිට් එකක් ආවා. ස්පීඩෝ මීටරේ කට්ට කෙළවරටම යන්න මම දෙතුන් තැනකදි ආවා.

පොතානගමදි අන්රාදපුර බෝඩ් එක පහු කරණ ගමන් මම ගෙස්ට්ට ඒක පෙන්නුවා.

එයාට ඒක කියවාගන්නට බැරිවෙන්න ඇති.

මම ඇවිත් නැවැත්තුවේ  දහයියගම ජන්ශන් එකෙන් හැරිල ගිහින් ඩී එස් රවුන්ද බවුට් එකත් පහු කරලා. කියන්නේ ටවුම මැද!

ඒ නවත්තලා වෙලාව බලුවා.

වෙලාව තාම දොලහයි පනහට ඔන්න මෙන්න.

මගේ චැලේන්ජ් එකට විනාඩි 5 කට කලින් මම ඇචීව් කරලා තිබ්බා.

ඔඩෝ මීටරේ කිලෝමීටර 76 කුත් ගානක්!

ගෙස්ට් එයාගෙ අත මගේ පැත්තට දික් කලා.

එක්සලන්ට්!

එදා ඉඳන් කොළෙඹට එනකල් හැම මීල් එකක්ම ගත්තේ අපි එකට.

එදා ඩිනර් එකට ගෙස්ට් මට ඉන්වයිට් කලා.

එතකොට තමයි සිද්දිය හරියටම දැන ගත්තේ!

මේ මනුස්සයා වර්ල්ඩ් රැලී චැම්පියන් ශිප් ගහපු එකෙක්. එයා රැලීස් තුනක් වින් කරලා තියෙනවා ෆයිව් ඕ ෆෝ එකෙන්ම. 

එයාගෙ නම ජීන් පියරේ නිකලස්.

එදා රෑ එයා මට කිව්වා එයා දැකල තියෙන හොඳම ඩ්‍රයිවර්ස්ලගෙන් එක්කෙනෙක්ලු මම 

මම ආපහු එන ගමන් හබරණට එහායින් සීගිරියට හැරෙණ තැනින් හරවලා මෙයාට වාහනේ දුන්නා. 

ඒත් එයා ගත්තේ නෑ!

එයා කොළොඹට ආවාට පස්සෙ මට; මගේ ඩ්‍රයිවිං ගැන කියලා ලෙටර් එකක් දුන්නා එයාගෙ ලෙටර් හෙඩ් එකේ! තාම තියෙනවා මල්ලි මං ගාව වෙලාවක මම් ඔයාට පෙන්නන්නං!


Peugeot 504 en Rally Safari 1975

Peugeot 504 Coupe' Rally Car 1976

Peugeot 504 Queen of Africa Rally 40 years ago

යටියන්තොටට මා ගෙන ගිය මාගේ ෆියට් රියේ බොඩියේ තැනින් තැන කුඩා බුබුළු මතුවී තිබුනි. ඒ බුබුළු; යටින් දිරුමක් එන බව කියා පෑ මූලික ලක්ෂණයන්ය.

රථය අවුල් වීමට ප්‍රථම එය ටින්කරින් කර ගත යුතුය.

ටින්කර් කර ගැනීමට කොටස් ගලවා ගත යුතුය

ටින්කර් කල පසු තීන්ත ගෑ යුතුය.

තීන්ත ගෑ පසු වාහනයේ ගැලවූ කොටස් සියල්ල නැවත නියමා කාරයෙන් සවිකර ගත යුතුය.

මෙය නාගසේන වස්තුවේ එන; හිස කෙස් තිබීමේ කරදර ටික මෙනි.

කෙස් ඇති අය එය සේදිය යුතුය, සෝදා වියල ගත යුතුය, වියලා පීරා ගත යුතුය, පීරා පංති පංති කර ගත යුතුය, ඉන් පසු පින්ඩ පින්ඩ කර ගත යුතුය ! ආදී වශයෙනි.

වාහනයේ ටින්කර් වැඩේට මා හට හසු වූයේ නොම්මර එකේ චෞරයෙකි.

අදටත් යටියන්තොට නගරයේ වෙසෙන ඔහු වාහනයේ ටින්කර් වැඩේ නොම්මර එකට ඇනුවේය.

කටුවෙන් හා මිටියෙන් ඇන ගලවන තහඩු කැපීම, නැවීම, දිග ඇරීම, හිල් විදීම හා අමතරව පෑස්සීම යන සකල විධි සියළු කාර්‍යයන් ලාම්පුවෙන් හෙවත්  ගෑස් වෙල්ඩින් ටෝර්ච් එකෙන් ඉෂ්ඨ සිද්ධ කරණ මෙම මක බාසුන්නැහේ; වාහනයේ සියළුම ඇතුලත කොටස් ගැලවූ නමුදු සවි කිරීමට යෑමේදී බොහෝ කොටස් සොයා ගැනීමට නොහැකි විය!

ඒ සියල්ලටම වඩා පින්තාරුව ගොම ගෑ සේය.

ඉන්පසු වාහනය තවත් ටික කලක් මා සෙවනේ සිට රුපියල් 22000 කට වෙනත් අයෙකු වෙත පා නැගීය. මාගේ ප්‍රථම වාහනය එසේ මගෙන් වෙන් වී ගියේ මා මා තුල හොඳ රියෙදුරෙක් ඉතිරි කොටය!

33 comments:

  1. Fiat ඒ කාලේ හොඳ කාර් එකක් ලංකාවේ. මගේ සහෝදරයෙක් වගේම හිටපු අයියා කෙනෙක් ට තිබුන Fiat 1100 එකකින් තමයි මම ඩ්‍රයිවින් ඉගෙන ගත්තේ. ඊ ලඟට එයා ගත්තා 124 එකක්. මම අදටත් එලවන්න ආසම කාර් එකක්. පාර බදාගෙන යන්නේ. ඊට පස්සේ එයා ගත්තා 131 Mirafiori එකක්. එකත් ඒ කාලේ සැප පහසු වාහනයක්. ඩාලි රෝඩ් එකේ තිබුන ෆිංකෝ මෝටර්ස් එකෙන් තමයි අමතර කොටස් ගත්තේ. ඔය කාර් තුන්යම පොදු ලෙඩක් තිබුන. ප්‍රොපෙලර් ෂාප්ට් එක ගියර් බොක්ස් එකට සම්බන්ධ වෙන Flexible joint එක කැඩෙන එක. ඒ නිසා හැම වෙලාවෙම අමතර එකක් සහ බෝල්ට් එයා වාහනයේ තියාගෙන හිටියා. අල්ලපු ගෙදර සාමය තිබුන Fiat 500 එක සහ ඊට පස්සේ එයි ගත්ත Fiat 127 එකත් මගේ වාහන අත්දැකීම් වලට ඇතුලත්. අදටත් 124 එකක් එලවන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. ඔයාට කියන්න මම මොලේ අතට අරං හිතුවා හිතුවා ඔය නම මතක් කර ගන්න. FINCO ඒක තමයි මම අර ලියලා තියෙන්නේ ඉබ්බංවල හංදියක් ගැන! ස්තූතියි මෙහි ආවාට. ලිව්වාට. පැරණි මතක අලුත් කර ගත්තාට!

      Delete
  2. දක්ෂ රියදුරන් වගේම වාහන විනාස කරන මකබාස්ලා ගැනත් අපූරුවට ලියැවිලා තියනවා. ඒවගේ මකබාස්ලා ඉන්නවා වගේම ලෝකයේ කිසිවෙකුටත් දෙවෙනි නොවන වැඩ කාරයොත් ලංකාවේ ඉන්නවා.

    මමත් පරණ සිද්ධියක් දෙකක් ලියන්නම්.
    මා සේවය කල තැන ලොක්කෙකුට නුවර එලියට යන්න හදිසියේ රියදුරෙක් හොයා ගන්න බැරි උනා. ඉතාම අහිංසක මිකැනික් කෙනෙක් මේ සඳහා බලෙන්ම වගේ යැව්වා. මේ සිද්ධියෙන් ටික දිනකට පසුව, අර කියූ 'ලොක්කා' මේ රියදුරාගේ "පරීක්ෂාකාරී රිය පැදවීම" අගය කළා. නමුත් අන්තිමට ඔලොක්කුවට වගේ කිව්වේ, හැබැයි මිනිහාගේ "ගමන හිමින්" කියලයි. මම මේක මේ (මිකැනික්) රියදුරාගෙන් ඇහුවාම ඔහු කීවේ, මම දන්නේ නැති ලොක්කෙක් හින්දා බොහොම පරිස්සමෙන් ගිහින් බැස්සුවා. හැබැයි, මම තනියම ආපහු එනකොට නම් සයිලන්සරෙන් ගින්දර එන්න පෑගුවා කියලයි. මේ වාහනේ ලොග් එක (පොත) බලපුවාම තමයි හිමින් ගමනේ හැටි තේරුනේ. (ප්‍රධාන කාර්යාලයේ ගේට්ටුවෙන් පිටවූ වේලාව, නුවර එළියේ කාර්යාලයට ඇතුළු වූ / පිටවූ වෙලාව, නැවත ප්‍ර.කා. ඇතළු වූ වේලාව මේ පොතේ ලියා ආරක්ෂක නිලධාරීන් අත්සන් කරනවා) යන්න පැය පහයි, එන්න පැය දෙකයි. 80 දශකයේ, රම්බොඩ පාරේ පර්ජෝ 204 එකකින් මේ වික්‍රමය කරපු රියදුරා ගෙන් ඇහුවාම කිව්වේ, පර්ජෝ එකක් තියනවනම්, පාර තියනවානම්, වෙන මොනවද ? කියලයි.

    පන්නිපිටියේ "පර්ජෝ පියා" කියලා මිකැනික් කෙනෙක් හිටියා. මම දැනගෙන හිටපු හොඳම පර්ජෝ මිකැනික් එයා තමයි.

    හොඳ ටින්කර් බාස්ලා/පේන්ට් බාස්ලා කියන්නේ බොහොම දුර්ලභ ජීවීන් කොට්ඨාශයක්. අසූවේ දශකයේ, ඉහල හමුදා නිලධාරියෙකු අතින් පෙරලී, වහලය සම්පුර්ණයෙන්ම තැලී විනාශ උන ඩබල් කැබ් එකක් (මේක පුද්ගලික අයිතිකරුවෙකුට අයිති , හමුදාවට කුලියට දී තිබූ වාහනයක්) නැවත යථා තත්වයට පත්කළ දක්ෂ ටින්කර් කෙනෙක් මම දන්නවා. වාහනය කන්ඩෙම් නිසා රක්ෂණය ගත හැකි උනත්, මේ වාහනය කන්ඩෙම් කල විට, ඊට පසුබිම් වූ සිද්ධිය හෙළිවීම වලක්වා ගැනීමට (මේ නිලධාරියා හොර කොටුවක් පනින්න ගිහිල්ලා මේ දේ උන බව හෙළි නොවීමට) කෙසේ හෝ මේ වාහනය අලුත්වැඩියා කල යුතු උනා. මෙහි වින්ඩ්ස්ක්‍රීන් එක හයි කරන දිනයේදී, මේ වාහන ආනයනය කරන ප්‍රසිද්ධ ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ සිටියේ, "මොනවා කලත් වින්ඩ්ස්ක්‍රීන් එක නම් හයි කරන්න බැරිවෙනවා" කියලා ඔවුන්ගේ ටින්කර්ලා දිවුරලා කියාපු නිසයි. නමුත්, සාමාන්‍ය වාහනයක විනඩ්ස්ක්‍රීන් එකක් අලුතෙන් දානවා වගේ පහසුවෙන් ඒ දේ කරන්න පුළුවන් උනේ, අලුතෙන්ම හදාපු එහි රාමුව හරියට ඔරිජිනල් එක වගේම තිබුන නිසයි.

    ReplyDelete
    Replies
    1. මට මතකයි මේ සිදුවීම. මාත් එතකොට වැඩ කරේ ගම්පොළ නගරයේ තිබුන ප්‍රධාන කාර්යාලයේ ලිපිකරුවෙක් ලෙස. සෙනෙවි හිටියේ ආරක්ෂක ලෙස අත්සන් තබා. රියදුරා මෝදර පදිංචි ජයේ වගේ මට මතක. ගමන යන්න පැය 5 ගතව තිබුනේ තානායමට ගොස් තිවුන නිසා මධුවිතක් පානයට

      Delete
    2. ආයුබෝවන් සෑම් මහත්තයා! ඇත්තටම ඔය කියන කාලෙ නෙවෙයි අද උනත් එකසිය ගානට යන එවුං ඉන්නවා ඒත් වාහනේටවත් ඇතුලේ යන අයටවත් මර බිය නොදැනෙන්න. අද වගේ "බුදු අම්මෝ ට්‍රාන්ස්පෝර්ට් සර්විස්" නොතිබුනු ඒකාලේ පැය තුන හමාරට කොළඹ ඉඳන් හැටන් වලට මර්සිඩීස් තඩි බස් ගෙන ගිය සුපිරි වැඩ්ඩෝ හිටියා.

      පර්ජෝ පියාව මම දන්නවා. එයා හිටියේ 174 පාරේ රෙල් පාර පැනපු ගමන්; පන්නිපිටියෙ හංදියේ ඉඳන් එනකොට දකුණු පැත්තේ නේද? මම දන්න තරමට එයා 203 වැඩ්ඩෙක්!

      ඔව් හැප්පුනු ඒවා ඇද අරින එළ පොරවල් ඉන්නවා. ඔය වාගේම සිද්ධියක් තියෙනවා මොන්ටෙරෝ එකක වහල දිග ඇරපු. මම ඒක පෙස්ටුවක් විදියටම ලියන්නම්! ස්තූතියි වෙනදා වාගේම ගෙවැදුනාට. විජයභාහු මහත්ත්යාට මොකද දන්නේ නෑ උනේ?

      Delete
    3. ඇනෝ තුමා බොහොම ස්තූතියි අපෙ සෑම් මහත්තයාගේ කථාවට සාක්කි සැපයූවට!

      Delete
  3. අය්යියේ ........... 504 ගැන ලියවුනු මේ සටහන හරිම අගෙයි . මම තවමත් ආසම මෝටර් කාර් රථයක් . මගේ දෙමව්පියන්ගේ විවාහයේ wedding carඑක වුයේ ද Peugeot 504 රථයක් . (ජයලත් කන්ස්ට්‍රක්ෂන් හිමිකරුගේ පුද්ගලික රථය) .

    තාත්තා කියනවා මතකයි අතීතයේ ලංකාවේ එක්තරා රාජ්‍ය සමුළුවක් වෙනුවෙන් Peugeot 504 රථ මොහොමයක් ගෙන්වූ බව .

    අද බොහොමයක් Peugeot 504 රථ diesel වලට පරිවර්තනය කර ටොයෝටා 1c / 2c එන්ජින් තබා තියනවානේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකාලේ පර්ජෝ 504 කියන්නේ ඉස්තරම්ම රථයක්. 1976 නොබෙඳි ජාතීන්ගේ සමුළුව ලංකාවේ තියපු වෙලාවේ තමයි 6 ශ්‍රී කාණ්ඩයේ 504 රථ මෙරටට ගෙනාවේ. මගේ මතකය නිවැරදිනම් හෝල්ඩන් ස්ටේට්මන්ට් රථ වගයකුත් ගෙනාවා වාගේ මතකයි. සෑම් මහත්තයාට නම් ඔය ඝන වැඩිපුර යමක් කියන්නට පුළුවන් ඇති. මේක දැක්කොත්නම් ලියයි යටින්.
      ඔව් මල්ලී බොහෝම රථ ඩීසල් වලට පරිවර්ථනය කරලා. 504 වැගන් ටික නම් මල් ශාලාවල අවමංගල රථ ලෙසට භාවිතා වෙනවා.

      Delete
    2. ඔව් ඒ කතාව හරි. නොබැඳි සමුළුවට ආව රාජ්ය නායකයින්ට යන්න ගෙනාවේ Holden Statesman කාර්. පරිවාර රථ වලට ගෙනාවේ Peugeot 504. ඉස්සරහින් 504 දෙකක් , ඊ ලඟට හෝල්ඩන් එක ආයි තව 504 දෙකක් පිටිපස්සේ වශයෙන් ගියේ. අම්මා එක්ක ගිහින් ජාවත්ත පාරේ හෝ බුලරස් රෝඩ් එකේ ඉඳලා ඔය රාජ්ය නායකයින් සමුළුවට එනවා බලන් හිටියා. හොඳට දැක්ක මතක අය තමයි ගඩාෆි, ටිටෝ, සයිප්‍රස් වලින් ආව අගරදගුරු වරයා. ඒ කාලේ ටින්ටඩ් වීදුරු නෑ වගේම ආරක්ෂක තර්ජන නැති නිසා පාර දෙපැත්තේ මිනිසුන් එකතු වෙලා හිටිය.

      Delete
    3. ඔව් මටත් මතකයි ඒ කාලේ දිනමිණ පත්තරේ සමුළුවට එන රාජ්‍ය නායකයන්ගේ ඇ4 සයිස් පිංතූර එක දිගට පල කලා. ගඩාෆිගේ පිංතූරෙ සැහෙන කාලයක් අපේ අයියා ලඟ තිබ්බා. පහුකාලීනව ඔස්ට්‍රේලියානු ක්‍රීඩක රිකී පොන්ටිං ගේ රැවුලට පොන්ටිං කට්, ඩයනා කට් කීවාසේ ඒකාලේ කථාවක් තිබුනා "නිකං ගඩාපියා වගේ!" කියලා. ස්තූතියි පැරණිදේ මතක් කරමින් එක් වුනාට නැවතත්!

      Delete
    4. '@Thattayagekolama , බොහොම ස්තුතී අයියේ .

      Delete
    5. @kumara , බොහොම ඔබටත් වැඩිදුර විස්තරය කියලා දුන්නාට .

      Delete
  4. කියවා බැලුවත් සේරම සතුටින්
    මගේ චිත්තෙ නම් හොඳටම හොල්මන්
    යකඩයො එක්කල කරන හක්කලන්
    කරනා අයටනෙ මෙව්වා මසුරං!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නදී මහත්තයා! විටෙක මා ඔබ බලන්න එන්නම් පන්නිපිටියේ ආ වෙලාවක.

      Delete
    2. සාදරයෙන් පිලිගන්නවා, එන්න. ඊට කලින් කියන්නත් අමතක කරන්න එපා. උන් හිටි ගමන් අයාලේ යනවනේ. දැන් ගමන් වැඩියි- පහුගිය ටිකේ මිස් වෙච්ච් එව්වා...

      Delete
  5. ආස හිත‌ෙන ට‌ොපික් ඒකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම මේ ලියන්නේ මම වාහන නිසා කාපු කටු ටික මටම මතක් කර ගන්න! අලුත්ම එක හින්දා තමයි මේක ලියලා තියන්න ඕන කියලා හිතුනේ! මොකද ලියන්නේ නැද්ද?

      Delete
  6. පෝස්ටුව නම් එල ... ඒ උනාට , ඒ අස්සෙන් හීනියට කින්ඩියක් දාලා නේ කොන්ඩේ තියන ඈයන්ට ......" කෙස් ඇති අය එය සේදිය යුතුය, සෝදා වියල ගත යුතුය, වියලා පීරා ගත යුතුය, පීරා පංති පංති කර ගත යුතුය, ඉන් පසු පින්ඩ පින්ඩ කර ගත යුතුය "

    ReplyDelete
    Replies
    1. අනේ ඒක මම ලියපු කියපු එකක් නෙවේ. නාගසේන වස්තුවේ එන කථාවක්. ඉතිං සෑහෙන කාලෙකට පස්සේ! කොහෙද හිටියේ මෙච්චර කලක්?

      Delete
  7. අනුරාධපුරේට යන පාරෙ, චැලෙන්ජ් එකකුත් දීලා. ස්කොච් පොවන්නට අදහස් කරන්නේ ඉන්තේරුවෙම්ම පිස්සෙකි... නැත්තං 504 ගැන හොඳාකාරවම දන්නා වැඩ්ඩෙකි.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී මහත්තයා, මට පෙනෙන්නේ නම් දෙවෙනි එක කියලා. ඌ 504 කාපු එකෙක්! ස්තූතියි!

      Delete
    2. ෂෝං පියේර් නිකොලස් ගැන කියෙව්වෙමි. අර පිස්සු කතාව ඉල්ලා අස්කරගන්නෙමි.

      Delete
    3. ඔව් ඩ්‍රැකී මහත්තයා! ඌ එළ වැඩ්ඩෙක්!

      Delete
  8. පළමුවෙනි 8ශ්‍රී 504GR එක නිල රතේ දෙවැනි 12ශ්‍රී GR එක මගේ රතේ, පස්සේ 1C එකකින් 32- කළා.
    සමුළුවට ගෙනාපු තාලේ L මොඩල් එක සහ GR එක පිටිපස්සේ ලයිව් අක්සල් තියෙන්නේ, GL, SX, TI ඉන්ඩිපෙන්ඩන්ට්.
    පිටිපස්සේ ඇක්සල් එක උඩ බ්‍රේක් ලයින් එක යන්නේ පොඩි ගැජට් එකක් හරහා, බ්‍රේක් කොම්පන්සේටර් කියල ඒකට කියන්නේ. වංගු ගන්නකොට කෙන්ද්‍රාපසාරී (centripital) බලයට ඇතුල් පැත්තේ රෝදේ බ්‍රේක් වෙනවා. එම නිසා අනිත් වාහන වගේ නෙවේ මේකේ එන වේගෙන්ම වංගුව ගන්ඩ ඇහැක්. (කොම්පන්සේටරේ හොඳ තත්වයේ නම් පමණයි ඈ )
    එකෙන්ම, රොහාන් අයියල ෂෝන් පියා ල ම්ම්ම්ම්ම් ගාන්ඩ අරින්ඩ ඇති. ඕඕ යේස්.

    ජයවේවා!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි හැට්ටර් මහත්තයාත් 504 රසිකයෙක්! ඔබ තුමාට සැඇහෙන ගානක් යන්න ඇති ඒකාලේ ඔය වාහනේට නේද? ඔය කියන කම්පන්සේටරේ වගේ එකක් තියෙනවා පසු පස රෝද වලට සම්පීඩිත බ්‍රේක් ඔයිල් බෙදී යන තැන සවි කරලා Load-Sensing Proportioning Valve කියලා මගුලක්! ඒකෙන් වෙන්නේ හදිසියේ බ්‍රේක් ගැසීමකදී ඉදිරි පස රෝද මත වාහනයේ මුළු බරින් වැඩි ප්‍රථිශතයක් ක්‍රියා කිරීමේදී පසු පස රෝද මත ක්‍රියා කරණ රෝධක බලය අවම කිරී මයි. මේ ගැන මෝටර් කාර්මික වැඩ්ඩො දෙන්නෙක් එයාලගෙ පොතේ ලියා තියෙන්නේ මෙන්න මෙහෙමයි:- During hard braking, more vehicle weight transfers to the front wheels. As a result, less braking is needed at the rear wheels. The Proportioning Valve then reduces the amount of pressure increase to the rear drum brakes according to the certain ratio. - (William H. Crouse / Donald L. Anglin)

      Delete
    2. ඇනෝ කියලා තියෙන්නේ Proportional Valve එක ගැන වෙන්න ඇති. ඔය කාලේ Stability control තිබුනේ නැහැ දන්න තරමින්. ඔය පොත නම් තවමත් මගේ ළඟ තියෙනවා.

      Delete
  9. Kumara සර් මේක Proportional Valve එක නෙවේ. එක්තරා විධියක primitive Stability control කියල කියන්ඩ පුළුවන් හැබැයි බ්‍රේක් කරන්නේ පිටිපස්සේ රෝදයක් පමණයි කොම්පෙන්සේටර් වැල්ව් එකක් එක රෝදෙට ලෙසට. වීල් ස්පින් මැනිලි නෑ, just using centripital force. Thats all .
    Peugeot 4861.18 කියල search එකක් දාන්ඩ.
    මෙන්න මේකේ තියෙනවා කෑල්ල . https://i.servimg.com/u/f59/16/02/88/46/4861_110.png

    ජයවේවා!

    Myself Hattor

    ReplyDelete
  10. මෝටර් කාර්මික තාක්ශනය ගැන ලිපි පෙලක් සදහන් කරන ලෙස ඉල්ලා සිටිනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සෛද්ධාන්තමය දැනුමක් ඇති උනාට දැන් තිබෙන නවීන තාක්ෂණික වාහන ගැන තියෙන දැනුම; ඒවන් ලිපි පෙලක් ලියන්නට තරම් ප්‍රමානවත්දැයි සැක සහිතයි. බලමු මොනවා හරි හොඳ දෙයක් කරණ්නට! ස්තූතියි.

      Delete
    2. මග හිටින්නැති වෙන්න ලිපි දෙක කියවා ගත් දැනුම බොහොම වටිනවා පුද්ගලිකව. වාහන දිව්වාට රේඩියේටරයේ පරක් තෙරක් දැනගත්තේ එය කියවායි. මේ වගේ ලිපි කිහිපයක් මෝටර් කාර්මික තාක්ශනය ගැන යන්වානම් පාඨක අපට බොහොම වටිනවා. ස්තූතියි

      Delete
    3. ඔබ තුමාගේ අදහස මා හිතට ගත්තා. මේ ලිපි පෙල ලියැවෙන්නේ මා වාහන නිසා ලත් අත් දැකීම් හා කෑ කටු ලියා තබන්නට ඇවැසි නිසා. මා ඉතා ඉක්මණින් ලියන්නම්. අදටත් මොනවා හෝ අවුලක් ගිය තැන; මා තාක්ෂණික උපදෙස් ලබා ගන්නා නුවන් මල්ලී ලියන බ්ලොග් එකක් තියෙනවා. මම එහි ලින්කුව පහත දමන්නම්. ඔබට එයත් ප්‍රයෝජනවත් වේවි. ස්තූතියි බොහොමත්ම. මෙන්න ඒ ලින්කුව:- ඔබ තුමාගේ අදහස මා හිතට ගත්තා. මේ ලිපි පෙල ලියැවෙන්නේ මා වාහන නිසා ලත් අත් දැකීම් හා කෑ කටු ලියා තබන්නට ඇවැසි නිසා. මා ඉතා ඉක්මණින් ලියන්නම්. අදටත් මොනවා හෝ අවුලක් ගිය තැන; මා තාක්ෂණික උපදෙස් ලබා ගන්නා නුවන් මල්ලී ලියන බ්ලොග් එකක් තියෙනවා. මම එහි ලින්කුව පහත දමන්නම්. ඔබට එයත් ප්‍රයෝජනවත් වේවි. ස්තූතියි බොහොමත්ම. මෙන්න ඒ ලින්කුව:- http://autotop.blogspot.com/

      Delete
    4. ස්තූතීයි ලින්කුවට. වටිනා යමක් වේවි.ලිපි ලිවීමේදී ඔබතුමාගේ රසවින්දනාත්මක වචන හැසිරවීම අගය කලයුතුය. පාඨකයාට අලස නොවී 'ආතල් එකේ ලිපියක්' කියවා දැනුමත් කතාරසයත් ලබා දීම, වෙනත් බ්ලොග් වල සහ ඔබගේ බොල්ග්ගුවේ වෙනස එයයි. තාක්ශනිණ දැනුමත් දෙන්න ඕනේ මොලේට වදින ලෙස. ඔබ එය අපූරුවට කරන්නවා. වාහනයේ ගියර බොක්සය, ඇන්ජිම, AC පද්ධතිය, මේවා අපි දන්නවා නමුදු වැඩ කරන හැටි නොදනී. එහෙනම් ඔබ තුමාගේ ලිපි පෙලක් බලාපොරොත්තුවෙන් මම නවතිමි. ඔබට ජය

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...