කාලය සෙමෙන් ගෙවී ගියේය.
අප පාසල් සිසු භාවයෙන් ඉක්මෙන්නට ආසන්න කාලයේ යාන වාහන තිබෙන මිතුරන් වූයේ; ආනන්දයේ රන්ති රොහාන් ගමගේ සහ දැනට කැන්ගරු දේශයේ පසුවන එවකට මාතර කාලිදාස පාරේ විසූ එස් ඩී ලියනගේය.
රන්තිගේ පියා මොරටුවට පැමිණ තිබුනේ පියානෝ පොලිෂ් කරණ්නෙකු ලෙසය. පසුව ලී බඩු කඩයක් හෙවත් වඩාත් ගෞරවාන්විතයෙන් පවසනවානම් ගෘහ භාන්ඩ නිෂ්පාදනයට හා ලී වෙළෙඳාමට යොමුවූ අයෙකි.
රන්ති පාසලේ අටේ නමයේ පන්ති වල සිට ලී ලෝඩ් එකක් ගැසූ අශොක් ලේලන්ඩ් රථය පැදවීමට සමතෙක් විය.
පාසැල් ජීවිතයෙන් සමුගැනීමත් සමග කාර් සේල් එකක් පටන් ගත් ඔහුට වාහන වලින් අඩුවක් නොවීය.
එස් ඩී ලියනගේ යනු මාතර වයින් ස්ටෝරුව අයිති ඊබල් සිල්වාගේ දෙවන පුතාය. එකල ඔවුන් සතු ලොරි රථ තුනක් හා ලොකු කුඩා වාහන කිහිපයක් තිබුනු මුත් කිසිදු දිනෙක අප සමග වල බැසීම සඳහා ඒවා භාවිතයට නොගැනුනි!
රන්ති මීට හාත්පසින්ම වෙනස් මිතුරෙකි.
අපගේ ඕනෑම ලොකු කුඩා අවශ්‍යතාවයක් සඳහා ඔහුගේ රථ වාහන පෙල ගැසී තිබුනි.
ඔහු සතුව තිබුනු අනේක විධි රථාතර මාගේ සිත්ගත් එකම රථය වූයේ Fiat X 1/9 රථයය.
ඉහත දැක්වෙන Fiat X 1/9 ලින්කුවට ගොඩ වැදී මෙම රථය ගැන කරුණු කාරණා බලා කියා ගන්නට පුළුවන් උනද; "බහු ජන සුඛාය" වෙනුවෙන් පොඩිත්තක් ලියන්නම්.
මෙය දොර දෙකේ දෙදෙනෙකුට පමනක් ගමන් කල හැකි වාහනයකි.
අප සාමාන්යයෙන් දන්නා මයිනර් මොඩලයේ වාහන වල එන්ජිම ඇත්තේ ඉදිරිපස වන අතර එළවෙන්නේ පිටු පස රෝද දෙකෙනි.
ෆෝක්ස්වැගන් රථයේ එන්ජිම පිටු පස වන අතර එලවෙන්නේ පසු පස රෝද යුගලයෙනි. නවීන මෝටර රථ හැම එකක්ම පාහේ එන්ජිම ඉදිරියේ වන අතර දිවවෙන්නේ ඉදිරි පස රෝද යුගලයෙනි.
මෙම ෆියට් X 1/9 රථයේ එන්ජිම සවිකොට තිබුනේ රියැදුරු කුටියට පසුපසින් පිටුපස රෝද යුගලයට ඉදිරියෙන් රථයේ හරි මැද්දට වෙන්නටය. මේවාට කියන්නේ mid Engine කියාය. මෙම රථය Mid Engine Rear Wheel Drive හෙවත් පසුපස රෝද යුගලයෙන් ධාවනය වේ.
මේ නිසාම මෙහි පිටුපස ඩිකිය හෙවත් බූට් එකට අමතරව ඉදිරියේද බොනට්ටුවට යටින් විශාල ඉඩක් බඩු බාහිරාදිය ගෙන යාමට සකස් කොට තිබුනි. සාපේක්ෂව එය පසුපස ඩිකියට වඩා විශාල ඉඩකි.
මෙම රථය සැලසුම්කොට නිර්මානය කොට තිබුනේ Guruppo Bertone වෙනුවෙන් Marcello Gandini වන අතර රථයේ ඔහුගේ සලකුණද සවිකොට තිබුනි.
වහලය ඉවත් කල හැකි වන අතර එය ඉදිරි පස බොනට්ටුව හැර එය තුල තබා ගෙන යා හැකිය.
මෙම රථය කලක් ලඟ තබාගෙන සිටි රන්ති හදිසියේ විකුණා දමා ගෙන ආවේ නිසාන් පල්සර් රථයකි! එකල රිට්‍රැක්ටබල් හෙඩ් ලයිට් නො එසේනම් ගිලී තිබී දල්වන විට පමණක් ඉහලට එසවෙන ප්‍රධාන පහන් සහිත රථ වලට තිබුනේ එකසිය ගානට වූ පිලිගැනීමකි.
කාලය මෙසේ අන් සතු වාහන අතරේ ගෙවී යද්දී මටම කියා මෝටර් රථයක් ගැනීමේ උවමනාවක්, ආශාවක් හා අවශ්‍යතාවයක් පන නැගුනි. එදා සිටම ෆෝ වීල් උණ හිස මුදුනටම වැළඳී තිබුනු මා ෆෝ වීල් රථ දෙකක් මිළදී ගැනීමට ගියද එම රථ දෙකම ඉතාමත් කණගාටු දායක ලෙස ගිලිහී ගියේය. එම රථ පිළිබඳව පසුව කථා කරමු.
ඉන් පසු මා දිනෙන් දින වැඩෙන්නාවූ උනන්දුවෙන් යුතුව මෝටර් රථයක් සොයමින් වනාතර තුර; දෙහිවල කාර් සේල් එකක් තුල නිල් පැහැති සුපිරි මෝටර් රථයක් තිබී ඇහැ ගැටුනි.
එය මිළදී ගැනීමට ගියේ මමත් රන්ති රොහානුත් ය.
මුලින් ලොකු ලොකු ගනන් කීමෙන් අනතුරුව රන්තිගේ මැදිහත් වීමෙන් එය රුපියල් 37500/= කට මිළදී ගැනීමට හැකි විය.
දිනය 1992/01/16 ය. අදින් අවුරුදු 29 කට පෙර දිනයකි.
එය සුපිරි වාහනයක් විය.
එහි මුල් අයිතිකරු වූයේ කහවත්තේ ගුරුගේ මැණික් මහතාය! එය පාවිච්චි කොට තිබුනේ ඔහුගේ පයිලට් බෑනා බව කාර් සේල් එකෙන් වාහනය රෙකමදාරු කිරීමේදී පැවසුවේය.
Fiat 132 2000CC Twin Cam 16 Valve රථයකි.
මදි පාඩුවට A/C, Power Steering ය! වර්ණය සැට්‍රන් බ්ලූ යනුවෙන් පොතේ සඳහන්ව තිබුනි.
මෙම රථය මිළදී ගන්නා අවධිය වන විට මා කිසිදා වාහනයක් තනිව පදවා නොතිබුනි. අයියාගේ ෆියට් රතයේ එක් දිනක් තුල එක් වරක් හෝ දෙවරක් ගියර මාරු කර පදවා තිබුනි.
එකල මා නැවතී සිටි පිට කොට්ටේ නිවසට රතය ගෙන ගොස් දුන්නේ කවුරුන්දැයි මාහට නිවැරදිව මේ මොහොතේ මතකය නො ඒ!
කෙසේ හෝ රථයේ රේඩියේටරයේ තිබුනු කුඩා කාන්දුවීම සකසා ගැනීමට බාසෙක් ලඟට ගෙන ගියේ නම් පිට කොට්ටේ 585/B නිවසේ කුකූ විසින්ය.
සියල්ල අවසානයේ; කාරය මිලට ගෙන සතියක් ගත වෙන්නටත් මත්තෙන් මාහට රථය යටියන්තොට ගෙන යාමට අවශ්‍ය විය.
ඒ වන විට මෙම රථයේ එන්ජිම පන ගැන්වීම හා නිවා දැමීම හැරුණු කොට ගෙන මා කල කී දෙයක් නොමැති විය!
කුකූට කතා කලද ඔහු යටියන්තොට යෑමට එකඟ කර ගැනීමට නොහැකි විය.
පසුව මා නුගේගොඩ 168 බස් නැවතුම වෙත ගොස් එතැන වේලි වේලි සිටි රියැදුරෙකුට කථා කලෙමි.
කොටින්ම වැඳ වැටුනෙමි.
එහෙත් ඔහුව එකඟ කර ගැනීමට නොහැකි විය.
අවසානයේ ඔහු එකඟ කර ගත හැකිවූවේ මාගේ පන හා සමාන රථය පිට කොට්ටේ සිට නුගේගොඩ බෝ ගහ හංදියට හෙවත් හයිලෙවල් පාරට ගෙන ඒමට පමණය!
මාගේ බලාපොරොත්තුව එතැන් සිට සෙමෙන් සෙමෙන් යටියන්තොට වෙත රථය ගෙන යෑමයි!
ඔහු සමග මා පිට කෝට්ටේ සිට නුගේගොඩ වාහනය ගෙන එමින්ය!
"දැන් මෙතන ඉඳන් වාහනේ ගෙනියන්නේ කවුද?" ඔහු විමසුවේය.
"මම!"
"ඔයාට ඩ්‍රැයිවිං පුළුවන්ද?"
"බෑ!"
"ඉතිං බැරි නම් ඔයා කොහොමද ගෙනියන්නේ? පිස්සු වැඩ කරණ්න එපා!"
වාහනය නුගේගොඩ බෝගහ හන්දියෙන් මහරගම පැත්තට මුහුණ ලා නෙලූ ඇඩ්වටයිසිං සමාගම පසු කර නැවැත් වුනි!
ඔහුට පොරොන්දු වූ ගනනට වඩා රුපියල් 50ක් ඔහුගේ අත තැබීමි.
"අනේ ඔයා යන්න එපා! එහෙම වාහන කියන ඒවා ගෙනියන්න පුළුවනෑ!? අඩු ගානේ මොටූ සයිකල් ලැයිසමක් වත් නෑ නේද?" ඔහුගේ මුහුනේ අනුකම්පාව දෝරේ ගලා ය!
"ප්‍රශ්නයක් නෑ! ඔයාට එන්නත් බෑ නේ! මම යන්නම්!!"
මා රථයට ගොඩ වැදී දොර වසාගෙන එන්ජිම පන ගන්වා පලමු ගියරයට ලීවරය මාරුකොට ගෙන ක්ලච්චය සෙමෙන් මුදා හැරියෙමි.
රථය මදක් ගැස්සී සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය.
මා අඩි දෙතුන් සීයක දුරක් යන ගමන් වින්ඩ්ස්ක්‍රීනයට ඉහලින් සවිකොට තිබුනු පසුපස බලන කණ්නාඩියට ඇස යොමු කලෙමි.
මාගේ ආදරණීය රියැදුරු මහතා ඉනට අත් දෙක තබාගෙන තවමත් බලා ගත් වනමය!
මා එක් වරක් දෙවරක් රථයේ වේගය අඩු කොට බැලුවෙමි. ගැටළුවක් නැත. වාහනය හොඳින් කීකරුය!
තවත් කෙටි දුරක් පදවාගෙන එද්දී හමුවන යමුනා ටුවර්ස් ආයතනය අසල වංගුව ඔස්සේ පදවමින්බලද්දීත් ඔහු එතනම නැවතී එසේම සිටිනු මා අවසන් වතාවට දුටුවෙමි.
වේලාව උදෑසන 10.00 ට පමන වන්නට ඇත!
දිනය සතියේ දිනයක් ද නො එසේ නම් සති අන්තයක් දැයි මා හට අද වන විට නිනව්වක් නැත.
මා සෙමෙන් සෙමෙන් මහරගම හෝමාගම ආදී නගර පසු කර ගියෙමි.
කිසිවෙකු හට මා පාර අවහිර නොකලෙමි.
මා අවිස්සාවේල්ල පසු කරණ විට රියෙදුරෙකු වී අවසානය.
යටියන්තොට පසු කොට යන විට මා කුඩා ගියර වලට ගියර පෙට්ටිය පසු බස්සමින් වාහනයේ වේගය හා පාලනය මාගේ අණසකට නතු කොට ගෙන අවසානය!
මා හොඳ රියෙදුරෙකු ලෙස පැය ගණනාවකින් හක්බෙලාවකට සේන්දු විය!
සත්තකින්ම මාහට එය අදත් ආශ්චර්‍යයකි.
ඒ සියල්ල පසු පස ඇත්තේ කුඩා කල සිට ලංගම බස් රථවල රියැදුරන්ගේ සුරු විරු කම් පිළිබඳව තිබුණු දැඩි ආශාව හා විමසිලිමත් කම මය.
අද වන විට අපේ ඩ්‍රැයිවිං දැක; "ඩ්‍රැයිවිං අප්ශැට්!" කීවද අපිට නම් අපි පොරවල් ය!
ඒ කාලෙ ඩ්‍රයිවින් බැරි යාලුවෙක් ගත්ත පරණ ෆෝක්ස්වාගන් බීට්ල් එකක් මට අරන් යන්න වුන එක මතක්වුනා. බ්‍රේක් බොහොම අඩුයි. ඒත් හිමින් යන්න බෑ ඔවර් හීට් වෙනවා.
ReplyDeleteඔය ප්‍රශ්ණ ෆෝක්ස් එකේ සංජාණීය ආබාධද මන්දා!
Deleteඇත්ත. හොද ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න නම් තමන්ම පදින්න ඕනෙ. අත හුරු වුණාට පස්සෙ හොද ඩ්‍රයිවර් කෙනෙක් පැසෙන්ජර් සීට් එකේ තියාගෙන වටයක් දෙකක් ගියාම වැරදි හදාගන්න පුළවන්. මාත් කළේ එහෙමයි, ලර්නර්ස් එකෙන් පස්සෙ.
ReplyDeleteකරුමෙ කියන්නේ මගේ පැසෙන්ජර් සීට් එකේ ඒ කාලේ යන්න කෙනෙක් හිටියේ නෑ. දැන් යන අයත් කියන්නේ "ඔයාගෙ ඩ්‍රැයිවිං හොඳ උනාටඔයා හොඳ ඩ්‍රැයිවර් කෙනෙක් නෙවෙයි!" කියලාමනේ!
Deleteඔයයිට කියන්න මමත් හා හා පුරා කියලා කිරි කිරි ටොයියා පළමු මෝටර් බයික් එක මිලදී ගත්තට මොකද ලයිසන් තිබුනේ නැ. හැබැයි අවුරුද්දක් විතර අගේට පාවිච්චි කරා. සතියේ දවස් 5ම වැලිවෙරියේ ඉදන් වත්තලට ගියා කිසි අවුලක් නැතුව. සති අන්තයේ ගෑන් ළමයා එක්ක ..... හැබැයි ලයිසන් අරන් ගිය පළමු පාරම පොලිසියෙන් ඇල්ලුවා කියන්නකෝ කඩුවෙල පාලම ලඟ තිබ්බ චෙක් පොයින්ට් එකේදී. හිනාවෙලා පන ගියා එදානම්.
ReplyDeleteපහු ගිය කාලෙම මගේ කෑම්පින් සගයා පසිඳු මල්ලි එයාගෙ නිසාන් පැට්‍රෝල් ලොරිය එලවද්දී ඇල්ලුවා හිටු කියලා - බර වාහන ලයිසන් නැතිව. දැන් ටික දවසකට ඉස්සෙල්ලා ලැයිසන් ගත්තා. අනේ දෙයියනේ කියලා එක පොලිස් රාළහාමි කෙනෙක් වත් ආසාවට අත අල්ලලා නෑ කියන්නකෝ!
Deleteඑහෙනම් මට උන එකේ අනිත් පැත්ත පසිදු ට වෙලා තියෙන්නේ. හැබැයි ඒ කාලේ කරපු මෝඩ කම් දැන් තමා තේරෙන්නේ. ලයිසන් නැතුව ගිහින් මොනවා හරි උනා නම් රක්ෂණයක් වත් හම්බ වෙන්නේ නෑ.
Deleteහැබැයි ඔයාගේ ක්‍රමය නම් හරියටම හරි. පීනන්න පුරුදු වෙන්න නම් වතුරට බහින්න ඕනේ වගේම වාහනයක් පුරුදු වෙන්න නම් අපිම පැදලා බලන්න ඕනේ. තනියෙන් තමා හොන්ද. කොහොමත් ඒ වෙලාවට අනිත් අය කියන දේවල් තේරෙන්නේ නෑ. ඔය වෙලාවට අත්, කකුල්, ඇස් එකී මෙකී නොකී ඔක්කොම පාලනය කරන්න මොලේ එයාගේ 100% ම යොදවලයි තියෙන්නේ. ඔය වෙලාවට ඉතින් ඉස්කෝලේ ගිය කාලේ CTB බස් රියදුරු මහතුන්ගේ වැඩ සහ කිඩ බලන් හිටපු එක රියදුරු පාසලකින් ඉගෙන ගත්තට වඩා ප්‍රයෝජන වෙනවා. හැබැයි එහෙම දක්ෂතයවක් පිහිටන්නේ බොහොම ටික දෙනෙක්ට විතරයි.
මයි කාර්, මයි පෙට්‍රල් කියලා තමන්ම තනියම එලවන එක තමයි හොඳ රියදුරෙක් වෙන්න තියන එකම ක්‍රමය.
ReplyDeleteකලාතුරකින් රිය පැදවීම කියන එක කොහොමවත් සාර්ථක නොවෙන රියදුරනුත් අපිට හමුවෙනවා. එහෙම මට හමු උන කෙනෙක්ව හාස්‍යයට ලක් කරලා (ඒක සත්‍ය කතාවක්) මම වෙනත් තැනකට ලියූ දිග ලිපියක් තියනවා, ඔබගේ අවසරය ලැබෙනවා නම් ඒක මෙහි පලකරන්නම්.
සෑම් මහත්තයා ලියන්නකෝ ඒ කථාව මෙතනම! ඔබගේ කොමෙන්ටු මාගේ පෝස්ටුවලට එක් කරණ්නේ විශාල වටිනාකමක්!
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Delete
DeleteIt can't be published due to it's size, could you please e mail me your email address, so I'll e mail it to you tonight. 1samperera@gmail.com
ඕකම මටත් උනා. 1998 පලවෙනි ලෑන්ඩ් රෝවර් එක අරන් යාල යන්න අය්යාගේ ඩ්‍රයිවර් කතා කරගත්තා. පාන්දර මේකා වෙඩිමකට ගිහින් හතරගාතෙන් ආවේ. කාගේවත් ආඩම්බර බලන්නේ මොකටද කියලා තනියම ගියා. බණ්ඩාරගමින් දාලා පනදුරෙන් ගාලු පාරට දානකොට තම පලවෙනි ට්‍රැෆික් උත්තමයෙක් දැක්කේ. ලැයිසොන් නැ කකුල් ගැහෙනවා. ටිකක් දුර යනකොට ඔයා වගේම තමා. යකඩ ගොඩ පත්තියන් උනා... අදටත් දෙයියනේ කියලා පාඩුවේ හෙමින් එලවන්න පුළුවන් ඕන කබලක් ...
ReplyDeleteඔව් තමාම ඉගෙන ගැනීමේදී නිවැරදි දේ වාගේම වැරදි දේත් අඩු වැඩි වශයෙන් කරණා බැවින් ලැබෙන දැනුම පුළුල්!
Deleteමහත්තයා වෘත්තීමය රියදුරෙක්ද? සවුදි අරාබියාවේ ප්‍රධාන සංඝනායකධුරන්ධර තැන්පත් අක්කරෙයිපත්තුවේ චන්ද්‍රජෝති මහනායක ආධිපාද ස්ථිවරයන් වහන්සේගේ පෝඩ් ලේසර් (සින්ක්‍රෝ මැක්ස්, ලිමිටඩ් එඩිෂන්) එකේ රියදුරු ලෙස කොණ්ඩය කොටට කපා ඇති ලස්සන මල්ලි කෙනෙක්ට ආරාධනා. කැමති නං කතාකරන්න.
ReplyDelete0771229191
කොන්ඩය කොටට කපා ගත්තා නම් ඔබට බෙහෙවින්ම ඔහු කැමති වෙයි නොවැ!
Deleteලයිසොම නැතිවට
ReplyDeleteවාහන එළවන
එළවා දඩ කන
ඈයො කොච්චරද?
එළවන හැමෝම
ඩ්‍රයිවර්ලත් නොව
සමහරු එළවති
මරුමුසු විදිහට
පාර හැමෝගේ
දිවිත් අනුන්ගේ
හිතනා අයගේ
තමයි වැඩි අගේ!
ස්තූතියි නිදි මහත්තයා!
Deleteමේක ටික දවසකට පෙර මම වෙනත් බ්ලොග් අඩවියකට ලියාපු ලිපියක්. එය කිසියම් පුද්ගලයෙකුට අවමානයක් හෝ අපහාසයක් කිරීමේ අදහසින් නොව හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් ලියූවක් බවත් කිව යුතුයි.
ReplyDelete"වාහන හින්දා කාපු කටු" පළමුවැනි ත්‍රෙඩ් එක දැකපු දවසේ ඉඳලා මම කාපු කට්ටක් ගැන කියන්න හිටියට ඒක බොහොම දිග කතාවක් නිසාත්, ටයිප් කරන්න වෙලාවක් නැති කම නිසාත්, කියන්න උත්සාහ කලේ නැහැ. මේ වසරේ මගේ නත්තල් නිවාඩුව ඉවර වෙන්න ඉස්සෙල්ලා ඒක කොටස් වශයෙන් හරි ලියනවා කියලා හිතුවා.
මේක උනේ 1985 වසරේ විය යුතුයි. මේ කතාවේ පසුබිම සහ ඊට සම්බන්ධ දේවල් නොකිව්වොත් කතාවේ තේරුමක් නැහැ.
මේ කාලයේ මගේ තාත්තා විශ්‍රාම ගිහිල්ලා, අප සතුව නුවර එළියේ තිබුන කුඩා නිවස ටිකක් වැඩි දියුණු කර හදා ගැනීමේ යෙදී සිටියා. මමත් මට හැකි පමණින් එහි ගොස් ඒ කටයුතු වලට උදව් උනා. එහි, අපේ නිවසට ඉදිරි නිවසේ හිටියේ වල්පොල මහතා (සැබෑ නම නොවේ) නම්වූ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක්. මිනිහත් විශ්‍රාම දිවිය නුවර එළියේ ගත කරන කෙනෙක්. මට මේ මෑන්ව එච්චර දිරවන්නේ නැහැ. හේතුව එයාගේ ඉංගිරිස් කතාවයි. හැම මගුලම ඉංගිරිසියෙන් කියවනවා මිසක් සිංහලෙන් කිවිසුමක් වත් අරින්නේ නැහැ. මටත් යන්තම් යර්ස් නෝ කියලා ගැලවෙන්න පුළුවන් උනාට, මිනිහා එනකොට මම මග ඇරලා යනවා. එයාගේ ස්ථිර පදිංචියත් අපේ පදිංචියත් 174 (කොට්ටාව බොරැල්ල) පාරේ එකිනෙකට සැතපුම් එකහමාරක දෙකක දුරකිනුයි. මේ හේතුව නිසාත්, තාත්තාත්, එයාත් දෙන්නාම ආසන්නව එක වයසේ නිසාත්, මෑන් හැම වෙලාවෙම අපේ ගෙදරට ඇවිල්ලා තාත්තා එක්ක කඩු හරඹ කරනවා,
මට, තාත්තාට වාගේ නුවර එළියේ දිගටම නැවතී ඉන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. සති අන්තයත් සමග දිනක් දෙකක් එහි ගතකර ආපසු කොළඹ පැමිණ දිනක් දෙකක් රැකියාවට ගොස් ආපසු එහි යාමටයි මට සිදු වී තිබුනේ.
මේ කියන දිනයේදීත් මට අඟහරුවාදා රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ පැමිණ, බදාදා වැඩට ගොස් බදාදා රාත්‍රී දුම්රියෙන් නැවත නුවර එලි යාමට සිදු උනේ මට ඒ වනවිට ඉතිරි වී තිබුනේ අසනීප නිවාඩු පමණක් නිසායි (එකල අසනීප නිවාඩු දින දෙකකට වැඩිනම් රජයේ වෛද්‍ය සහතිකයක් දිය යුතු උනා). එදා වැඩට ගිහිල්ලාත්, ෂෝර්ට් ලීව් දාලා, ඊටත් කලින් පැනලා, ගෙදරට ආවේ හත විතර වෙනකම් නිදාගෙන එකල රැ 8.15 ට තිබුන නයිට් මේල් එකට යන්නයි.
මම ගෙදර එනකොට මම කලින් දැකලා නැති ජීප් එකක්, අපේ ගෙදර ගේට්ටුව සම්පුර්ණයෙන්ම හරස් කරලා, නවත්තලා තියනවා. මගේ බයික් එක කාණුවට දාලා තමයි මට වත්තට ඇතුල් වෙන්න උනේ. මම බයිසිකලේ කුස්සිය පැත්තෙන් ගෙට දාන ගමන් අම්මගෙන් ඇහුවා මොකාද අර ගේට්ටුව හරස් කරලා ජීප් එකක් නවත්තලා තියෙන්නේ? කියලා. එතකොට අම්මා කිව්වා, පුතා Mr වල්පොල අද නුවරඑළි යනවා කියලා, පුතාටත් එයා එක්ක යන්න පුළුවන් කියලා, පුතා එනකම් බලා ඉන්නවා , කියලා.
මට මේක අහපු ගමන් හිතට ආවේ බොහොම සැක සහිත සිතුවිල්ලක්. මේ මනුස්සයා ඊට කලින් දවසෙත් අපේ (නුවරඑළියේ) ගෙදර ඇවිත් තාත්තා එක්ක බයිලා කියා කියා ඉඳලා ගියා උනාට, එයා කොළඹ යන බවක් කොහොමවත්ම කිව්වේ නැහැ. නමුත් මට නිවාඩු නැති නිසා මම අඟහරුවාදා රෑ කොළඹ ගිහින් බදාදා රෑ ආපහු එනබව තාත්තා එයාට කිව්වා කියලා නම් මට මතකයි. මෙතන මොකක් හරි මට නොතේරෙන රහසක් තියනවා කියලා නම් මට ෂුවර්.
දැන් ඉතින් කරන්න දෙයක් නැති කමටම මම සාලෙට ගිහිල්ල මිනිහාට කතා කළා. කවදාවත්ම නැතිව මේ මනුස්සයා මට කට පුරාම "පුතා" කියලා කතා කළා (මම අංකල් කියලා කතා කලාට, මෑන් මට කතා කරන්නේ හරියට වැඩ කාරයෙකුට කතා කරනවා වගේ ආමන්ත්‍රණයක් නැතුවයි) විතරක් නොවෙයි, හොඳ සිංහලෙනුත් කතා කරලා විස්තර අහලා ඉක්මනට පිටත් උනොත් හොඳයි නේද කියලත් කිව්වා.කලින් දවසේ මුළු රෑම නයිට් මේල් එකේ හිටගෙන ආපු මට දැන් තත්පරයක්වත් ඇහැ පියාගන්න අවස්තාවක් නැති වෙන්නයි යන්නේ. අම්මා අපි තුන්දෙනාටම (තාත්තාටත් එක්කම) රෑට කන්න බත් මුල් තුනකුත් හදලා දුන්නා. මම ඇඳුම් මාරු කරන්නේවත්, නාන්නේවත් නැතුවම මෙයාත් එක්ක ගමන පිටත් උනා. පිටත් වෙන්න ඉස්සෙල්ලා අම්මා මට කිව්වේ ඔයා එලවන්න යන්න එපා, එයාගේ වාහනේ එයා එලවපුවාවේ කියලයි.
මේ ජාතියේම ජීප් එකක් මටත් (ඒක තාත්තාගේ උනාට මගේ වගේ තමයි) තියනවා. අපි ඒකෙන් නුවර එලි ගියාම මෙයා ඇවිත් එයාටත් ඒ වගේම එකක් තියන බවත්, ඒක හිටපු දිසාපති කෙනෙකුගේ නිල වාහනය බවත්, ඒ වගේ හොඳ කන්ඩිෂන් එකේ තියන ජීප් ලංකාවේ නැති බවත් වගේ නයි දුවවනවා. ඒ උනාට මම වාහනේ දැක්කේ එදාමයි. ඒක පිට පෙනුමෙන් නම් මගේ එකට වඩා හොඳට තිබුනා.
කොහොම උනත් හවස හතර, හතරහමාර වෙනකොට ගෙදරින් පිටත් වෙලා, අපි පරණ පාර දිගේ කොට්ටාව පැත්තට ආවා. ඒ කාලේ 174 පාර, මහා මාර්ගයක් නොවෙයි, වාරිමාර්ගයක්. එක රෝදයක් වලකින් බේරණ කොට අනික් තුනම වලවල් වල වැටෙනවා. මෙයා සෙකන්ඩ් ගියර් එකේ දාගෙන, වලක් කිට්ටු වෙනකොට ක්ලච් එක පාගනවා, ඊට පස්සේ හයියෙන් රේස් කරලා විකාර කරනවා. වලහා කේතලේ බදා ගත්තා වගේ ස්ටියරිං එක අත් දෙකෙන්ම තද කරලා අල්ලාගෙන මූන වින්ඩ්ස්ක්‍රින් එකට කිට්ටු කරගෙන හුස්ම ගන්නේවත් නැතුව බොහොම අපහසුවෙන් එලවන බවක් තමයි මට තේරුනේ.
ReplyDeleteමේ වාහනයේ ෂොක් ඇබ්සෝබර් නම් ඇත්තේම නැති තරමට වාහනේ උඩ විසිවෙනවා. හරියට අස්ස කරත්තයක් වගෙයි. කොට්ටාවෙන් හයි ලෙවල් එකට දාල දැන් අපි හෝමාගම පැත්තට යනවා. හැබැයි, මෙයා යන්නේ තර්ඩ් එකේ. අපරාදේ නිකං එන්ජිම රේස් වෙනවා, ඩිසල් පිච්චෙනවා, ඒ උනාට මං, මට නොවෙයි වාගේ ඔහේ ඉන්නවා. මම නිදි මරලා ඉන්න බව දන්නා නිසා, "පුතා පොඩ්ඩක් නිදා ගන්න" කියලා තුන් හතර වතාවක්ම කිව්වාට මේ අස්ස කරත්තේ නිදා ගන්නවා තියා ඉඳගෙන ඉන්නවත් බැහැ.
දැන් අපි වේගෙන් හයි ලෙවල් පාර දිගේ අවිස්සාවේල්ල පැත්තට යනවා. කොච්චර වේගෙන් යනවද කියනවානම් පුෂ් බයිසිකල් කාරයොත් අපිට ඉස්සර කරලා යනවා. බැරිම තැන මම කිව්වා ''අන්කල්, අපරාදෙනේ තර්ඩ් එකේ යන්නේ '' කියලා. එතකොට මෑන් කියාපි, පුතා ටොප් එකේ යනකොට මේක knock කරනවා, ඒකයි තර්ඩ් එකේ යන්නේ කියලා.
හැබෑ නේන්නම්. ටොප් එකේ 15kmph විතර යන්න බැහැනේ. මම ලංකාවේ ඉද්දී ආසාවෙන්ම වේගයෙන් එලවපු හයි ලෙවල් පාරේ දික් හැතක්මේ හරියත් මෙයා ෂෝක් එකට තර්ඩ් එකේම යනවා. ඒ අතරේදී මෙයා මේ වාහනේ වරුණේ කියවනවා. නුවරඑළි යන්න ඕනෑ නිසා එදා උදේ වාහනේ සර්විස් කරපු බවත්, හැම දෙයක්ම චෙක් කරලා ඩීසල් ෆුල් ටෑන්ක් ගහලා තියන බවත් කියලා කැබි හෝල් එකේ තියන සර්විස් ස්ටේෂන් එකෙන් දීපු කොලේ මට පෙන්නුවා. මමත් කරන්න දෙයක් නැති කමට ඒක අරන් බලපුවාම බ්‍රේක් ඔයිල් අවුන්ස තුනක්ද කොහෙදත් මේකට දැම්මා කියලා ලියලා තියනවා. මම ඒක කිව්වාම මෑන් කියනවා, ඔව්, පුතා මම හැම එකක්ම චෙක් කරන්න කියලා, අඩු පුරවා ගත්තා කියලා. එතකොට මම කිව්වා, අන්කල්, බ්‍රේක් ඔයිල් අවුන්ස තුනක් දාන්න උනා කියන්නේ කොහෙන් හරි ඔයිල් ලීක් වෙනවා ඇති නේ කියලා. එයාගේ හිතේ ඩිසල් ගහනවා වගේ , ඇන්ජින් ඔයිල් දානවා, වතුර දානවා, බ්‍රේක් ඔයිල් දානවා කියන්නේ හැම විටම කලයුතු දෙයක් කියලයි.
ඊට පස්සේ මම එයාට වාහන නඩත්තුව ගැන ටිකක් පැහැදිලි කළා. එතකොට මෑන් මට කිව්වා, එයා රස්සාව කරන කාලේ වාහන ගැන දැනගන්න අවශ්‍යතාවයක් තිබුනේ නැති බවත්, නිලවාහනයක්, රියදුරෙක් හිටපු නිසා ඩ්‍රයිවින් ඉගෙනගත්තෙත් පැන්ෂන් ගියාට පස්සේ බවත්, ලයිසන් එකත් එයා යටතේ ගුරුවරයෙක් හැටියට සේවය කල, පසුව RMV එකේ examiner කෙනෙක් වුන කෙනෙක් ගෙදරටම ගෙනත් දීලා ගියා මිසක් එයා හරියකට වාහන එලවන්න ඉගෙන ගත්තේ නැති බවත් කිව්වා.
තරුණ වයසින්ම මට වාහන එලවන්න ලැබීම මගේ වාසනාව බවත්, එයාට මගේ වයසේදී බයිසිකලයක්වත් පදින්න නොලැබුන බවත් කිව්වා. එයාට තනියෙන් එලවාගෙන නුවර එළි යන්න තරම් විශ්වාසයක් නැති බවත්, මම එදා රැ ආපහු යන බව දැනගත් නිසා මාත් සමග යාමට බලාපොරොත්තුවෙන් එයා කටයුතු සුදානම් කල බවත් කිව්වා. ඒ හැර, මේ වාහනයෙන් මාසයකට වරක් (විශ්‍රාම වැටුප ගැනීමට ගෙදර ආ පසු) ළඟ පාත කොහාට හරි යනවා මිස දුර ගමනක් ගොස් නැති බවත් කිව්වා.
අවිස්සාවේල්ල දෙහිඕවිට පහු වෙලා කරවනැල්ල හරියට එනකොට මට ඔලුව උස්සාගෙන ඉන්න බැරි තරම් නිදිමතයි. නින්ද යන්නේ නැති උනත් මම ඇස් පියාගෙන දොරේ කණුවට ඔලුව තියා ගත්තේ කරවනැල්ල roundabout එක පේන තෙක්මානේදීයි.
ඊළඟ මොහොතේ මාව උඩ විසිවෙලා ඇහැරුනේ අලි එලවන තරම් හෝන් සද්දෙකුයි, ඒත් එක්කම අම්මට xxxx ද මහත්තයා කියලා කියාපු මිහිරි කට හඬකුත් එක්කයි. ඒත් සමගම පාරේ අපේ දකුණු පැත්තේ වැටේ තිබුන ගස් අතු හූරාගෙන ලංගම බස් එකක් විරුද්ධ පැත්තට ගියා. මම මුලින්ම බැලුවේ මගේ ඇඟේ කෑලි බෑලි ඔක්කොම හොඳින් තියනවාද කියලයි. ඊළඟට අංකල් දිහා බලපුවාම මිනිහාත් ඇස් දෙක කරත්ත රෝද දෙකක් තරමට ලොකු කරගෙන බය වෙලා බලා ඉන්නවා. අපේ ඇන්ජිම නැවතිලා, වාහනයත් හරියටම පාර මැද්දේ තමයි නැවතිලා තිබුනේ. එතකොට මෑන් මට කියනවා ''බලන්න පුතා, නැහැදිච්ච මිනිස්සු, මම බස් එක දැකපු ගමන් වාහනේ නැවැත්තුවා, ඒ උනාට දැක්කද ඒ මිනිහා මට නරක වචනෙන් බැනපු හැටි" කියලා. මම ඉතින් කියන්න ගියේ නැහැ අංකල් නවත්තලා තියෙන්නේ පාර මැද්දේ කියලා.
මේ සිද්දියෙන් පස්සේ මම හිතා ගත්තා කොච්චර නිදිමත උනත් මම ඇස් පියාගන්නේ නැහැයි කියලා.
ඊට පස්සේ මට නිකමට මතක් උනා අර ගිය බස් එක කෑගල්ල ඩිපෝවේ එකක් නේද කියලා. මම අන්කල් ගෙන් ඒක ඇහුවාම එයාත් කිව්වා ඔව්, ඒක කෑගල්ලේ ඩිපෝ එකේ තමයි කියලා. එතකොටම මට ආයෙමත් මතක් උනා, කෑගල්ලේ ඉඳලා (ඒ කාලේ) බස් යන්නේ අවිස්ස්සාවේල්ලට විතරක් නිසාත්, අපි කරවනැල්ල පහු කරපු නිසාත් අපිට කොහොමද කෑගල්ල ඩිපෝ එකේ බස් එකක් හම්බ උනේ කියලා. මේ මනුස්සයා එලවන්න දන්නේ නැති උනාට ලංකාව පුරාම සේවය කරලා රට තොට ගැන, පාරවල් ගැන හොඳ දැනුමක් තියන කෙනෙක් විය යුතු නිසා පාර වැරදුනා කියලා මම හිතුවේ නැහැ. ඒ මදිවාට මගේ වයස වගේ තුන් ගුණයක් විතර වයසක කෙනෙකු පාර නොදන්නවා වෙන්නත් බැහැනේ.
ReplyDeleteදැන් ඉර බැහැගෙන යන වෙලාව. නමුත් ඉර බහින්නේ අපේ ඉදිරියෙන් වගේ. ඒ කියන්නේ අපි යන්නේ බස්නාහිර පැත්තට බරවයි. පාරේ කඩේක බෝඩ් ලෑල්ලක් වත් දකින්න නැහැ. බැරිම තැන, මම ඇහුවා, "අංකල් අපි කරවනැල්ලෙන් හැරෙව්වා නේද ? කියලා. එතකොට මෑන් කියාපි, නැහැ පුතා මම හැරෙවේ නැහැ, අපි යන්න ඕනෑ ප්‍රධාන පාරේනේ, මම ආවේ කෙලින් කියලා. දැන් වැඩේ හරි. මම ඇහැ පියාගත්තු විනාඩියට මෙයා යටියන්තොට පැත්තට හරවන්නේ නැතිව දැන් යන්නේ කෑගල්ල පැත්තට බව ෂුවර්. ඊට පස්සේ පාරේ යන මිනිහෙක් ලඟින් නවත්තන්න කියලා මම පාර ඇහුවා. හොඳ වෙලාවට අපි වැඩි දුරක් ඒ පාරේ ගිහින් තිබුනේ නැහැ.
ඉතිං වාහනේ ආපහු හරවන්න තැනක් බලමින් යනකොට විසාල මිදුලක් තිබුන ගෙයක් තිබුනා. මම ඒ මිදුල පෙන්නලා එතනට හරවමු කිව්වාම, "අපෝ පුතා, අනුන්ගේ ඉඩම් වලට අපි වාහනේ දාන එක හරි නැහැ" කිව්වා.(එතකොට මට හිතුනේ, එහෙමනං අපේ ඉඩමක් හම්බ වෙනකං යං කියලයි, ඒ උනාට මම එහෙම කිව්වේ නැහැ) ඊට පස්සේ පොඩි ගුරු පාරක් පෙන්නුවාම, අපෝ ඒක හුඟක් පටුයි කියලා තවත් ඉස්සරහට ගියා. තවත් තැනක් පල්ලමක් කිව්වා.
එයාට නොකිව්වට මං හිතෙන් කිව්වා, ගලිගමුවට ගියා නම් හොඳ පළල පාරක්(නුවර පාර) තියනවා, එතනින් නං කරදරයක් නැතිව හරවා ගන්න පුළුවන්, එතෙන්ටම යමු කියලා. එහෙම හිතලා ඉවර වෙන්නත් කලින්, මෙන්න මේ මනුස්සයා, එක පාරටම වාහනේ පාරෙන් ඉවතට අරගෙන, කොල්ලෝ රංචුවක් වොලිබෝල් සෙල්ලම් කරමින් හිටපු වොලිබෝල් කෝට් එකක් වටේ, පින්න ගස්, මදුරුතලා ගස් වගේ පොඩි පොඩි ගස් සමතලා කරගෙන, නියම ජංගල් සෆාරි ටයිප් යූ ටර්න් එකක් ගැහුවා. ඒක නම් අනුන්ගේ ඉඩමක් වෙන්න බැහැ, අංකල්ට දෑවැද්දට හම්බවෙච්ච එකක් වෙන්න ඇති කියලා මට හිතුනා. (මේ කතාවේ අවසානයේදී මේ යූ ටර්න් ගැසීමේ හේතුව කියවේවි) මෙයාට පිස්සුද , නැත්තම් හැටිද කියලා මට හිතා ගන්න බැරි උනත්, අපි ආපහු ඇවිල්ලා කරවනැල්ලෙන් හරවලා යටියන්තොට පැත්තට යන්න පටන් ගත්තා.
දැන් අපි යටියන්තොට පහු කර ගෙන යනවා.මට ඉන්න බැරි තරම් මුත්‍රා බරක් තියනවා, ඒ උනාට මට මේක මිනිහට කියන්න ලැජ්ජයි වගේ. නමුත් අන්තිමට ඉන්න බැරිම තැන මම කිව්වා පාරේ අයිනේ ඉඩ තියන තැනක් පෙන්නලා අංකල්, ඔතනින් පොඩ්ඩක් නවත්තන්න, මට ටොයිලට් යන්න ඕනෑ යි කියලා. මේ වෙනකොට අඳුර වැටිලා ඒ මදිවට පොද වැස්සකුත් පටන් අරං තිබුනේ.
එයා වාහනේ නැවත්තුවාම මම එතනම තියන වැට අයිනට ගිහින් වැඩේ කරන කොට එයත් වාහනේ පිටිපස්ස පැත්තට ගිහිල්ලා බරෙන් නිදහස් වෙන්න යනවා කියලා මට තේරුනා. මේ අතරේ වාහනේ පාකින් ලයිට් දාලා තිබුන නිසා මට වැටේ හෙවනැල්ල පේනවා, ඒ විතරක් නොවෙයි හෙවනැල්ල ටික ටික පස්සට යනවාත් පේනවා . මේක දැකපු ගමන් මට කෑ ගැස්සුනා, අංකල් වාහනේ පල්ලමට යනවා, හෑන්ඩ් බ්‍රේක් ඇද්දේ නැද්ද කියලා.
මම හෑන්ඩ් බ්‍රේක් ඇද්දා පුතා, ඒ උනාට මේක ටික ටික පහලට යනවා කියලා මිනිහා බාගෙට ගලවපු කලිසම පිටින් වාහනේ අල්ලාගෙන ඉන්නවා. මමත් පුළුවන් ඉක්මනට වැඩේ ඉවර කරලා ඇවිත් ඉන්න අන්කල් මං ගලක් අඩේට තියන්නම් කියලා ගලක් හෙව්වා.
එයත් වැඩේ ඉවර කරලා ඇවිත්, පුතා, මට රෑට ඇස් පේනවා මදි, ඉතුරු ටික පුතාට එලවන්න පුලුවන්ද කියලා ඇහුවා. ඒ කාලේ මම වාහන එලවන්න හරිම ආසයි.(දැනටත් එහෙම තමයි) විශේෂයෙන් රෑට, මීදුම, වැස්ස අතරින් එලවන්න තවත් ආසයි. දැන් අපි පැය දෙකක් තිස්සේ ඇවිත් තියෙන්නේත් හැතැක්ම තිහක් තිස් පහක් විතර. තව ඒ වගේ දෙගුණයක් විතර යන්න තියනවා. මේ යන වේගෙන් ගියොත් එදා රෑටත් එළිවෙනකම මේ ගමන යන්න වෙන බව දන්නා නිසා මම කතාවක් නැතිවම ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා.
වාහනේ ස්ටාර්ට් කලාට මෝටරේ වදින්නේ නැහැ. එතකොට අංකල් කිව්වා එයාට නම් කවදාවත් මෙහෙම වෙලා නැහැ, නමුත් එයාගේ බෑනා ලංකාවට ආපු වෙලාවේ (මෙයාට ඉන්නේ දුවලා දෙන්නෙක්, දෙන්නාම ඉන්නේ එංගලන්තේ) එයා කොහෙද ගියාම ඇන්ජිම ස්ටාර්ට් නොවුන කතාවක් කිව්ව නමුත් ඊට පස්සේ ඒක ඉබේම හරිගිය බව.
අපි ඉන්නේ හොඳ පල්ලමක නිසා මම හිතා ගත්තා මේක පල්ලමට දාලා ස්ටාර්ට් කරගෙන නවත්තන්නේ නැතුව නුවරඑලියටම යනවා, කියලා. නමුත් ඒක කොච්චර වැරදි සිතුවිල්ලක්ද කියලා තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.
මම අඩේට තියාපු ගල් කෑල්ල ඇදලා දාලා වාහනේ ටික ටික පහලට යන්න ඇරලා ස්ටාර්ට් වෙන්න තරම් වේගයක් ආපුවාම තර්ඩ් එකට දාලා, ක්ලච් එක අත හරියාම වාහනේ ස්ටාර්ට් වෙනවා වෙනුවට පස්ස රෝද දෙකම පොද වැස්සට තෙමිච්ච පාරේ ලිස්සලා වාහනේ පැත්තට ඇදිලා ගියා. නමුත් ඒත් එක්කම වාහනේ ස්ටාර්ට් උනා. කලබලේට බ්රේක් ගැහුවාම පැඩල් එක අඩියටම ගියා. වාහනේ පල්ලමට පෙරලා ගන්නේ නැතිව පාර මැදට අරං ආයිත් පාරක් බ්රේක් ගහලා බැලුවා, කියන්නත් සන්තෝසයි, බ්‍රේක් පැඩල් එකක් තිබුනාට මේකේ බ්රේක් නැහැ. ඊට පස්සේ එහෙමම තියෙද්දී හැන්ඩ් බ්රේක් ඇදලා බැලුවා, හෑන්ඩ් බ්‍රේක් ලිවර් එකක් තිබුනාට හෑන්ඩ් බ්රේක් කියන්නෙත් අතීත කාලයේ තිබුන දෙයක් මිසක් වර්තමානයේ තියන දෙයක් නොවෙයි. ඒකනේ මෑන් හෑන්ඩ් බ්‍රේක් ඇදලා තියෙද්දී වාහනේ ටික ටික පල්ලමට ගියේ!
ReplyDeleteඇයි පුතා, මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා මෑන් අහපුවාම මට හිතට ආවේ, ප්‍රශ්නයක් නොවෙයි අංකල් මේක ප්‍රශ්න පත්තරයක් කියලයි. ඒ උනාට මම එයාට කිව්වේ අංකල් මේකේ බ්‍රේක් වත්, හෑන්ඩ් බ්‍රේක් වත් නැහැනේ කියලයි. ''මට නම් එහෙම දෙයක් දැනුනේ නැහැ පුතා'' කියන එකයි එයාගේ උත්තරය උනේ.පැයට කිලෝමීටර් පහක දහයක් වේගෙන් එලවනකොට බ්‍රේක් ඕනෑ වෙන්නේ නැහැ කියලා මම කියන්න ගියේ නැහැ.
මෙච්චර අලකලංචියක් වෙලත්, බ්‍රේක් නැති වාහනයක් උනත්, යන්න තියෙන්නේ වැස්සේ, මීදුමේ, රාත්‍රී කාලයේ, ගිනිගත්හේන පාස් එක හරහා උනත් මම එතකොටත් ගණන් හැදුවේ කීයට නුවර එලියට යන්න පුළුවන් වේවිද කියලයි. මගේ එකල වයසේ (22/23 වගේ) හැටියට මම හොඳ රියදුරෙක් කියන විශ්වාසය (ඒක අධිතක්සේරුවක් කියලා තේරුනේ එදායි) මට තිබුනා. ඒ කාලේ වාහන දෙකක් මාරු වෙන්න බැරි තරම් පටු රදැල්ල ෂෝට් කට් එකෙන් යන එක අත හැරලා, ප්‍රධාන පාරෙන් ගියොත් පැය දෙකහමාරකින් විතර මාගස්තොටට(නුවරඑලියට කිව්වාට සැබවින්ම යා යුතු වූයේ ග්‍රෙගරි වැවෙන් එගොඩ තිබුන මාගස්තොට, බේකර්ස් ෆාම් ප්‍රදේශයටයි. ) යන්න පුළුවන් කියලා හිතෙන් ගණන් හැදුවේ මේ වාහනයේ තියන ලෙඩේ බ්‍රේක් නැති එක විතරයි කියලා හිතලයි.
වාහනය ස්ටාර්ට් කරගෙන, බ්‍රේක් නැති බවත් දැනගෙන ගමන පටන් ගන්නකොට මම හිතාගෙන හිටියේ මේ අංකල් ට වාහන එලවන්නේ මෙන්න මෙහෙමයි කියලා හිතෙන විදියට ටිකක් කලර්ස් පෙන්නලා එලවනවා කියලයි. මිනිහා ස්ටියරිං වීල් එක බදාගෙන එලෙව්වට මම බොහොම පහසුවට මේක එලවන්න පුළුවන් බව මිනිහාට පෙන්නන්න මට උවමනා උනා. නමුත් ඒ අදහස වෙනස් කරගන්න උනේ වාහනය ස්ටාර්ට් කර ගෙන පළමුවෙනි මීටර් කිහිපය එලවන කොටමයි. මේ අටමගලේ පාර පුරාම යනවා. පොද වැස්සට තෙමුණු පාරේ යාන්තම් 20kmph විතර වෙනකොටම කොන්ට්‍රෝල් නැති වෙනවා. ස්ටියරින් එක අත් දෙකෙන්ම බදලා අල්ලාගෙන වාහනේ පාරේ තියාගන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා.
මේ වෙනකොට මම මීටර් දෙසීයක්වත් දුර වාහනේ එළවලා නොතිබුනාට,මේ අංකල් එලවපු තරම්වත් වේගයකින් මට මේක එලවන්න බැරි බව හොඳින්ම තේරුනා. ටයර් ගෙවිලා වාහනය ලිස්සනවද, එහෙම නැත්නම් wheel alignment ප්‍රශ්නයක්ද එහෙම නැතිනම් මම (හිතෙන් )මේ අංකල් ව අවඥාවට ලක් කරපු එක පඩිසන් දීලා ඇතිවෙච්ච භූත දෝෂයක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්න අතරේ මම මේ වාහනේ කොහොම හරි පාරේ තියා ගන්න මුළු ඇඟේම තියන ජින්තු අත් දෙකට දීලා ෆුල් ට්‍රයි කරනවා.
වාහන ගැන අන්දෝ සංසාරයක් නොදන්නා මේ මනුස්සයාගෙන් මේවා ගැන අහලා වැඩක් නැති උනත්, වාහනේ ටයර් ගෙවිලාද කියලා මම අහපු ප්‍රශ්නෙට එයා දුන්න උත්තරේ උනේ "අපෝ නැහැ පුතා, ටයර් ගෙවිලා නැහැ, මම ටයර් වලට හුලං ගහන්නෙත් 'අහවල්' ටයර් කඩෙන්. වෙන එකක් තියා මේකේ ස්ටියරින් එක කපන්න අමාරුයි කියලා කිව්වමත් එතන බාස් උන්නැහේ මට මොනවා හරි කරලා ස්ටියරින් එක අතට පහසු වෙන විදියට හදලා දුන්නා'' කියලා කිව්වා. මොකක් හෝ පෙර වාසනාවකට මට නිකමට හිතුනේ ටයර් එකට පොඩ්ඩක් තට්ටු කරලා බලනවා කියලයි. කිතුල්ගල ටවුමට කිට්ටුව පාරේ ලයිට් කණුවක් යට නවත්තලා ටයර් එකට ගල් ගෙඩියකින් තට්ටු කරලා බැලුවාම රබානකින් එන සද්දේ එනවා. ටයර් එක පොලවේ වදින තැන bulging ගතියක් පෙන්විය යුතු උනත් මේ වාහනේ ටයර් හතරම බැලුං බෝල වගේ පේනවා මිසක් කිසිම bulging පෙනුමක් නැහැ.
මම එයාට කිව්වා අපි ඉස්සරහා හම්බවෙන පෙට්‍රල් ෂෙඩ් එකකට ගිහින් මේකේ ටයර් ප්‍රෙෂර් එක පොඩ්ඩක් බලමු කියලා. මිනිහා ඒකට වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ.ටයර් කඩේ බාස් උන්නැහේ මේක වෙන කාටවත් ඇඟිලි ගහන්න දෙන්න එපා, ඕනෑම දෙකට එයා ලඟට අරං එන්න කිව්වාලු.
මම පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිං බලනකොට ෂෙඩ් එක වහලා. ඒ මදිවට හුළං ගහන හෝස් එකත් ගලවලා. නමුත් එතනම තියන ටයර් කඩේ වහපු දොර ඇතුලෙන් එළියක් පේන නිසා මම ගිහිල්ලා දොරට තට්ටු කලාම ඒ මනුස්සයා දොර ඇරියා.
හුලං ගහන්න එයා ලඟත් එයාර් කොම්ප්‍රෙසර් එකක් නැහැලු , එයා පාවිච්චි කරන්නෙත් පෙට්‍රල් ෂෙඩ් එකේ පොම්පේ කියලයි කිව්වේ්. මට හුලං ගහන්න ඕනෑ නැහැ, හුලං වැඩිද කියලා බලාගන්නයි ඕනෑ කියලා, මෑන්ට කිව්වා මේ ටයර් එකට පොඩ්ඩක් තට්ටු කරලා බලන්න, හුලං වැඩියි වගේ නේද කියලා.
ටයර් එක්කම ජීවත් වෙන මේ මිනිහා ටයර් එකට තට්ටු කරපු ගමන් කිව්වා හුලං (ප්‍රෙෂර් එක) හොඳටම වැඩියි කියලා. එයා ළඟ කොම්ප්‍රෙෂර් එකක් නැති උනාට, ජෝජ් රජ්ජුරුවන්ගේ කාලේ ප්‍රෙෂර් ගේජ් එකක් තිබිලා ප්‍රෙෂර් එක චෙක් කළා. ඒකෙන් රාත්තල් අසූවකටත් වැඩිය පෙන්නුම් කළා. අර අන්කල් කියාපු ටයර් කඩ කාරයා මේ ටයර් වලට බැලුම් පුම්බනවා වාගේ හුලන් ගහලා තමයි ස්ටියරින් එක පහසු කරලා දීලා තියෙන්නේ. දැන් මට ටිකක් හිතට සහනයක්. මේ ටයර් හතරේ හුළං අඩු කරලා සාමාන්‍ය ගානට ( 32-35psi අතර වගේ) හදා ගත්තානං මේ පාර පුරා දුවන ලෙඩේ අඩු වෙයි කියන එක මට විශ්වාසයි. ඒක ඒ විදියටම උනා. ඊට පස්සේ පාර පුරා දුවන ගතිය නැතිවෙලා, ස්ටියරින් එක හොඳ බරට අතට දැනෙන ගතියක් (මේවා muscle power steering වාහන නේ) ආවා. දැන් ඉතිං ප්‍රශ්න ඉවරයි කියලා හිතුවාට ඒක සිතුවිල්ලක් විතරයි.
ReplyDeleteමේ අංකල් අර ටයර් කඩේ මනුස්සයාට ටිකක් ලොකු කම පෙන්නුවා. ඒ මිනිහා මුලින්ම කඩෙන් එලියට ආවාම කසිප්පු ගුදමක් ආවා වගේ ප්‍රණීත සුවඳක් තිබුනා. ඒක මටත් හොඳටම තේරුනා උනාට මම සද්ද නැතිව අපේ වැඩේ කරගන්න උත්සාහ කළා. ඒත් අංකල්, ඒ මිනිහා බීලා ඉන්නවා කියලත්, ඊට පස්සේ ටයර් ප්‍රෙෂර් එක මනින එක මට කරන්න කියලත් ඉංගිරිසියෙන් මට කිව්වා. නමුත් මම ඒ දෙකම ගණන් ගත්තේ නැතිව ඒ ටයර් කඩේ මිනිහත් එක්ක සුහදව කටයුතු කළා. ටයර් එකේ ප්‍රෙෂර් එක බලාපු ගමන් ඒ මිනිහා මගෙන් ඇහුවා මොන පxxද මහත්තයෝ මේකට හුලං ගැහුවේ කියලා. මේ දේවල් ඇහුනාම තමන් මහා ලොකුවට සලකන, අදහාගෙන ඉන්න මිකැනික්ලා තමන්ව අන්දවලා කියලා මේ අංකල්ට හිතෙන්න ඇති
අපි එතනින් පිටත් වෙලා යනකොට අංකල් මට කියාපු දේවල් වලින් (වාහනේ උඩ විසිවෙන එකත් අඩු උනා නේද පුතා? කියලා එයා කිව්වා) ඒ බව තහවුරු උනත්, මිනිහාගේ යශෝරාවය නම් අඩුවක් උනේ නැහැ. කඳුකරයට ආවේනික පොද වැස්සේ අපි ඉදිරියට යනකොට තමයි ඊළඟ ප්‍රශ්නය මතු උනේ. මේකේ Low beam වැඩ කලාට High beam වැඩ කරන්නේ නැහැ. ඒ දක්වා මම හිටපු තත්වේ හැටියට හයි බීම් ලෝ බීම් හොයන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. මම එතකොට මගේ මුළු ශක්තියත්, අවධානයත් යොමු කරගෙන හිටියේ කොහොම හරි මේ ලඩිය පාරේ තියාගෙන යන එකටයි. ඒ ප්‍රශ්නේ යම් තරමකට විසඳිලා හිත නිදහස් උනාම තමයි ලයිට් ප්‍රශ්නය දැක්කේ. හයි බීම් වැඩ කරන්නේ නැහැ කියලා කියාපු ගමන්, එයාගේ බෑනා කොහෙටද ගියාම ඒ බව දැනගෙන පහුවදාම අළුත්ම හෙඩ් ලයිට් දෙකක් දම්මවාපු බව අන්කල් කිව්වා. එයාගේ බෑණා සුද්දා වගේ වැඩ කරන කෙනෙක් බවත්, පොඩි කාලේ ඉඳලාම වාහන පාවිච්චි කරලා පුරුදු වෙච්ච, වාහන ගැන හොඳට දන්නා කෙනෙක් බවත් කිව්වා.
එතකොට මම කිව්වා, මේක ලයිට් වල ප්‍රශ්නයක් නොවෙයි, මේක ස්විච් එකේ ප්‍රශ්නයක්, High beam flash position එක වැඩ කරනවා, ඒ කියන්නේ ලයිට් වල වත්, රිලේ වල වත් ප්‍රශ්නයක් නොවෙයි, ඒ උනාට 'High beam on' position එක වැඩ කරන්නේ නැහැ. එතකොට මෑන් කියනවා, එයා කවදාවත් රෑට වාහනේ එළවලා නැති බවත්, අපි හිමිහිට පාර පේන හැටියට යමු කියලා.
දැන් අපි, බ්‍රේකුත් නැතුව, හෑන්ඩ් බ්‍රේකුත් නැතිව ලයිටුත් හරියට නැතිව ගිනිගත්හේනත් පහු කලාම, වැස්ස හොඳටම වැඩි උනා. වයිපර් එකෙන් වීදුරුව පිහ දැමෙන්නේ බොහොම යාන්තමටයි. ඒක ගැනත් එයා කිව්වේ සර්විස් එකේදී අලුත්ම වයිපර් බ්ලේඩ් දෙකකුත් දාපු බවයි. එතකොට මම කිව්වේ, එහෙම නම්, ඒකේ මොකක් හරි වරදක් තියනවා, එක්කෝ වැරදි බ්ලේඩ් දෙකක්, එහෙම නැති නම් හයි කරලා තියනවා වැරදියි කියලයි.
ඒ කොහොම උනත් වයිපර් එක උපරිම වේගෙට දාලා කොහොම හරි පාර හොයාගන්න උත්සාහ කරනකොට තමයි ලස්සනම වැඩේ උනේ. එක පාරටම වයිපර් ආර්ම් එක වීදුරුවේ ඇතිල්ලෙන සද්දේ එක්කම, දකුණු පැත්තේ වයිපර් බ්ලේඩ් එක අන්තරස්ධාන උනා. ඒක හරියට ක්ලිප් කරලා තිබිලා නැහැ. අඩුම තරමින් ඒක ගැලවිලා විසි උනේ කොයි පැත්තටද කියලාවත් අපි දෙන්නාම දැක්කේ නැහැ. වම් පැත්තේ එක නම් කලින්ටත් වඩා වේගෙන් කිසි කිසි ගාලා වැඩ. මට පාර පේනවා තියා හෙඩ් ලයිට් වල එලිය වත් හරියට පේන්නේ නැහැ.
මම අයින් කරලා නවත්තලා මෑන්ට කිව්වා මට නම් මෙහෙම යන්න බයයි, කොහේ යනවද කියලා පේන්නේ නැතුව යන්න බැහැ. වමේ බ්ලේඩ් එක හරි ගලවලා දකුණට දාගන්න තරමට වැස්ස පෑව්වොත් යමු, එහෙම නැතිනම් උදේ වෙනකං වාහනේට වෙලා ඉම්මු' කියලා. එයත් ඒකට කැමති උනා. ඊළඟ ප්‍රශ්නය මේක නවත්තන්නේ කොහෙද කියන එකයි. බැරි වෙලාවත් මේකේ ස්ටාර්ටර් මෝටරේ වැදුනේ නැත්නම් තල්ලුවක් හරි දාන්න පුළුවන් තැනක නවත්තන එක තමයි හොඳම දේ.
කොච්චර අවාසනාවන්ත දේවල් උනත්, හැම කළු වලාවකම රිදී රේඛාවක් තියනවා කියන කියමන අනුව, අපි වාහනේ නවත්තාගෙන ඉන්න කොට ඉදිරියෙන් ආපු වාහනයක එළියෙන්, හරස් පාරක (තේ වත්තක ගේට්ටුවෙන් ඇතුලේ ) තියන (Muster shed එකක් ) දළු මඩුවක් දැකපු ගමන් මට හිතුනේ ඒක ඇතුලට දා ගත්තා නම් වමේ වයිපර් බ්ලේඩ් එක දකුණට දාගන්න පුළුවන් නේද කියලයි. අංකලුත් ඒකට කැමති උනා. අනුන්ගේ ඉඩමකින් වාහනේ හරවන්නවත් අකමැති වෙච්ච අංකල් මේකට කැමති උනේ ඒ තේ වත්තත් එයාට දෑවැද්දට ලැබිච්ච එකක් නිසා වෙන්න ඇති කියලා මම හිතා ගත්තා.
ReplyDeleteවැස්සේම බොහොම හෙමිහිට අපි ඒ වත්තේ ගේට්ටුවෙන් ඇතුල් වෙලා මඩුව ඇතුලට වාහනේ දාලා ඇන්ජිම දුවන්න ඇරලා, රෝද වලට අඩ තියලා කොහොම හරි වමේ වයිපර් බ්ලේඩ් එක දකුණට දැම්මා. අන්කල් ගාව හොඳ ටෝච් එකක්, විතරක් නොවෙයි, මම ඒ කාලේ සිහින මව මවා හිටපු, බ්‍රවුන්ස්ලා ඉම්පෝර්ට් කරන Neill ටූල් සෙට් එකකුත් (බෑනා ගෙනත් දීපු) තිබුනා. නමුත් ප්‍රශ්නය උනේ ආර්ම් එකට බ්ලේඩ් එක ලොක් වෙන්නේ නැති එකයි. සර්විස් එකේ එකා ආර්ම් ඒකේ ලොක් එක කඩලා තමයි පරණ බ්ලේඩ් එක ගලවලා තියෙන්නේ. ඊට පස්සේ අලුත් බ්ලේඩ් එක නිකම්ම රිංගවලා බාගෙට ගැලවිච්ච දතක් වගේ ඔහේ තියෙන්න ඇරලා.
ඊට පස්සේ වමේ ආර්ම් එකත් ගලවලා දකුණට දාලා බ්ලේඩ් එකත් හයිකරගෙන, එතනම ඉඳලා අන්කල් ගෙනාපු සැන්ඩ්විච් වගේකුත් කාලා පිටත් වෙන්න හදනකොට මෑන් මගෙන් අහනවා "සමන් දෙවියන්ට" බාරයක් වෙන්නද කියලා.
මිනිහා කොච්චර බය වෙලාද කියන එක මට තේරුනේ එතකොටයි.
අපි හිමිහිට රදැල්ල ෂෝට් කට් එකෙන්ම ගියා. පහු පහු වෙනකොට වැස්සත් අඩු උනා. රෑ 12 වගේ වෙනකොට ඒ කාපු කට්ට ඉවර කරගෙන නුවර එලියට ගියා.
මම මුලින්ම කිව්වානේ මේ අංකල්ට කරවනැල්ලේ දී පාර වැරදුනාම, මම කියාපු එක තැනකින්වත් හරවන්නේ නැතිව ඉස්සරහටම ගිහිල්ලා, කැලේ කඩාගෙන යූ ටර්න් එකක් ගහපු හේතුව අන්තිමට කියන්නම් කියලා.
එයාගේ ගෙදරට යන අතුරු පාරයි, ගේට්ටුවයි, ගරාජ් එකේ දොරයි, මල් පාත්තියි ඔක්කොම පිහිටලා තියෙන්නේ වාහනය වත්ත ඇතුලට දාලා, ගරාජ් එකට රිවස් කරන්න පුළුවන් වෙන විදියට මිසක්, වාහනය කෙලින්ම ගරාජ් එකට දාලා, ආපහු එලියට ගන්න කොට, පාරට රිවස් කරන්න පුළුවන් විදියට නොවෙයි. එහෙම කරන්න බැරි කමක් නැහැ, නමුත් පළපුරුදු කෙනෙකුට උනත් ඒක ටිකක් කරදර වැඩක්. ඉතින් මේ නිසා මේ කට්ට සම්පුර්ණයෙන්ම වළඳලා ඉවර වෙලා එයාගේ ගෙදරට ගියාම මම වාහනේ ගැරේජ් එකට රිවස් කරලා දාන්න පුළුවන් විදියට මිදුලේ මල් පාත්ති ලඟින්ම නැවැත්තුවා. ගැරේජ් එකේ දොර අරින්නත් හොඳට ඉඩ තියලා වාහනේ එතනම දාලා මම ගෙදර ආවේ ගැරේජ් එක අස් කරලා නැහැයි කියාපු නිසායි. මෑන් මට භාෂා දෙකෙන්ම ටොන් එකක් විතර ස්තුති කළා.
මම කොහොම හරි තාත්තවත් අවදි කරවාගෙන ගෙට ගිහිල්ලා නිදා ගත්තා. පහුවදා උදේ මට ඇහැරෙන කොට හොඳටම එලි වෙලා. මට ඇහැරුනේ වාහනයක් මහා හයියෙන් රේස් කරන සද්දෙටයි, මිනිස්සු තුන් හතර දෙනෙක් හයියෙන් හයියෙන් කතා කරන, කෑගහන සද්දෙටයි. කුස්සිය පැත්තට ගිහින් තාත්තා මට හදල තිබුන තේ එකත් අරන් කුස්සියෙන්ම එලියට බැස්සාම මේ සද්ද බද්ද එන්නේ ඉස්සරහ ගෙදරින් (අන්කල් ගේ ගෙදර) කියලත්, අපේ තාත්තාත්, ගෙදර වැඩ කරන මේසන් බාස් උන්නැහේත්, එයාට අත් උදව්වට ආපු දෙමල මනුස්සයාත් (එයා ඉස්සර නුවර එලිය municipal එකේ හිටපු උද්‍යාන කම්කරුවෙක්. විශ්‍රාම ගියාට පස්සේ, එයා මේ අහල පහල හැම ගෙදරකම මල් වවලා, සුළු වැඩ කරලා දීලා, ජීවත් වෙන්න මුදලක් හොයා ගන්නවා) වාහනයට වටවෙලා ඉන්න අතර අංකල් මාතලී ටයිප් එකට ඩ්‍රයිවින් සීට් එකේ.
අර දෙමළ මනුස්සයා දෙමලෙන් දෙයියන්ට යාඥා කරනවා වගේ ආඬවනේ, ශාමී, මුරුගා කියා කියා දෙමලෙන් ලතෝනි දෙනවා.මිනිහා ලස්සනට හදලා මල් පිපිලා තිබුන එවලාස්ට් මල්පාත්ති, අළුත හාපු කුඹුරක් වගේ හෑරිලා. මේසෙන් බාස් උන්නැහේත් සිංහලෙන් එක එක උපදෙස් දෙනවා. අපේ තාත්තාත් ඉංගිරිසියෙන් දීර්ඝ පැහැදිලි කිරීම් කරනවා. අන්තිමට හැමෝගෙම කතාව මොහොතකට නැවතුනාම තමයි මම මගේ ජීවිත කාලේදී රියදුරෙකුගෙන් අහපු හොඳම උදාන වාක්‍යය ඇහුවේ.
I am perfectly clear about what you are saying Mr Perera, but the issue here is,
I DONNO HOW TO REVERSE
ඉල ඇදුනා!
Deleteඅනේ සෑම් මහත්තයා මගේ කොම්පූටරේ මොකක්දෝ අවුලක්. මේ පෝං එකෙන් කොටන්නේ. කියල වැඩක් නෑ හිනාව ඉස්මොල්ලේ ගියා! ඔයා බ්ලොග් එකක් පටන් ගන්නකෝ. මේ ලියලා තියෙන්නේ පත අට එකට සිඳුවා සූකිරි එක්ක!
Deleteඅය්යා මේක ලියද්දි මට මතක්උනේ මට මුලින්ම වහනයක් එලවන්නේ දුන්න මගේ අදටත් හොදම යාලුවෙක් වෙච්ච මහේෂ් .
ReplyDeleteහත වසරේ දී මුලින්ම එලෙව්වේ එයාලගේ LH 30 ය .
අද පොඩි පොඩි උන්ට හීන වාහනයක් වෙච්චි KDH වගේ තමයි ඉස්සර අපිට LH 30 ය . අද මොන වාහන එලෙව්වත් LH 30 ය කවදාවත් අමතක වෙන්නේ නෑ ...
අය්යා අතීත මතක ලස්සනන්ට ගලපනවා ..... අපි දවසක පොතක් ලියමු......
මේක මෙහෙම පටන් ගත්තට කියවගෙන යමුකෝ. එක්තරා කටුක අතීතයක ආරම්භය මේ.
Deleteමරු , පස්සේ එන්නම් කොමෙන්ට් ටික කියවන්න. මම නම් හිතින් ප්‍රා ජේ ට වැඩිය හොඳට ඩ්‍රයිව් කරන කියල තමා කියන්න තියෙන්නේ හේ හේ
ReplyDeleteස්තූතියි! ප්‍රාජේ ඩ්‍රයිව් කරණවා මම දැකලා තියෙනවා. පෝස්ට් එක නෙවේ සෑම් මහත්තයාගේ කොමෙන්ටුව කියවන්නකෝ. ඉල ඇදෙනවා!
Deletehttps://warnet.ws/2021/01/22/samyy-peredovoy-avtomobil-v-mire-kotoryy-unichtozhili-v-rezultate-sgovora-bolshoy-troyki.html
ReplyDeleteඅප්පට සිරි මල්ලි ඒක මාර වාහනයක්නේ! ලැජ්ජා නෑ කියන්න උපන්තෙකට ඔය දැක්කාමයි. ස්තූතියි!
ReplyDeleteඒ අර කාරෙක 7 ශ්‍රී නෙවෙයි 9 ශ්‍රී නේ.. කොමෙන්ට් ටිකත් පරිස්සමෙන් කියෙව්වා කවුරුහරි මතක් කරලාද බලන්න නෑනේ. කණ්නාඩියක් අල්ලලා බලපන් ඒක 9 ශ්‍රී 7053 නෙවෙයිද කියලා :))))
ReplyDeleteඑකසිය ගානට සමාවෙන්න. ඒක 9ශ්‍රී7053 ලෙස නිවැරදි විය යුතුය!
Delete