Thursday, May 7, 2020

172. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? Diving VII


බයිස් කෝප් එකක් බලලාම .  . !

අප දිය යට සිට ක්‍රම ක්‍රමයෙන් උඩට පැමිණෙමින් සිටියෙමු.
මෙහිදී "අපි" යනු මමත් තෙශාන්තත් ෆිලීත් ය.
අප දිය යටට පැමිණියේ නැංගූරම කඹයේ එල්ලී "කණ වැල" අල්ලමින් උවද මේ වන විට එය අපට මග ඇරී තිබුනි.
එය සෙවීමට මහන්සි වීම කානිවල් එකකදී මග ඇරුණු පොඩි එකෙකු සොයනවාටත් වඩා අපහසු එකක් වනු ඇත.
මන්ද ඒවන විට එය පෙනෙන මානයේ නොපෙනීම හා එය කොයි ඉසව්වක වෙත්දැයි අප කිසිවෙකුට නිශ්චය කර ගැනීමට නොහැකි හෙයින්ය.
අනෙක් අතට එය සොයා ගැනීමට වඩා පහසුවෙන් දිය මතුපිටට පැමිණ පාවෙමින් පවතින බෝට්ටුව සොයා ගැනීමකල හැකි බැවින්ය.
"අප සෙමෙන් සෙමෙන් දිය මතු පිටට ආවෙමු!" කියා පවසනවාට වඩා "ෆිලී අපව සෙමෙන් සෙමෙන් දිය මතු පිටට ගෙනාවේය!' කියන ප්‍රකාශය වඩා සාධාරණවූත් සත්‍යවූත් ප්‍රකාශය වේ.
දිය යට සිටිමින්; Inflator Hose යේ කෙලවර ඇති  තැඹිළි පාට බොත්තම; කිසිදුන් පාලනයකින් තොරව ඔබා සිටීමෙන්; BCD යට ටැංකියේ රැඳි වාතය පිරවීමෙන් අපට මිනිත්තු කිහිපයකින් දිය මතු පිටට ඒමට හැකිවේ.
එහෙත් දිය යටට යෑමේදී ක්‍රම ක්‍රමයෙන් හැකිලී හා දිය මතුපිටදී මෙන් දෙතුන් ගුණයක වාත පරිමාවක් පිරී ඇති පෙනහළු ඊට ඔරොත්තු නොදී පිපිරී යාමට ඉඩ ඇත.
මේ නිසාම දිය යට සිට මතුපිටට පැමිණීම ඉතාම සීරු මාරුවකින් යුක්තව කලයුතු කාර්‍යයකි.
ඒ නිසාම ෆිලී අපව; සාගර පතුලේ මතු පිටට ගෙන ඒමේ කටයුත්ත අදියර කිහිපයක් යටතේ; විවිධ ගැඹුරු මට්ටම් වලදී නියමිත කාලයක් නැවතෙමින් රැගෙන ආවේය.
මෙහිදී ඔහු ඊට අවශ්‍ය දත්ත එනම් තමන් සිටින ගැඹුර, කාලය වැනිදේ ලබා ගත්තේ තම අත බැඳි ඩයිවින් කොම්පියුටරයෙනි.

දිය යට IT . . . . ?

අප කෙමෙන් දිය මතු පිටට පැමිණ බැලූ විට අප සිටියේ අපගේ බෝට්ටු දෙක ගාල් කර තිබූ ස්ථානයට මීටර 30 ක පමන දුරිණි. 
එවන් අවස්ථාවලදී බෝට්ටුව අප වෙතට ගෙන ඒමට වඩා සිදු වන්නේ අප සෙමෙන් සෙමෙන් "පසුපස ආර' හෙවත් Back Stroke  එකෙන් බෝට්ටුව වෙත ලඟා වීමය.

පිටි පස්සට රිවර්ස් කිරීම . . . !

මෙහිදී විශේෂයෙන් Back Stroke එක භාවිතයට ගන්නේ අන් කුමන ලෙසකින් පිහිනන්නට උත්සාහ කලද; තම පිටෙහි එල්ලා ගෙන ඇති වාත සිළින්ඩර වර බර තමාට දරාගැනීමට සිදුවන් හෙයිනි.
දිය මතුපිටට පැමිණි වහාම එතෙක් පන නළ රැක දුන් මවුත් පීසය ඉවත දමා මත්ස්‍ය ජීවිතයෙන් මිනිස් ජීවිතයට මාරු වුනෙමු.
ඒ සමගම එතෙක් දෑස් හා නාසය ආවරණය කරගෙන තිබුණු මාස්කය ද ගලවා එය ගෙලට දමා ගත්තෙමු.
මාස්කය දෙනෙත් හා නාසය ආවරණය වන අයුරින් නොපලඳින සෑම විටෙකම එය තිබිය යුත්තේ ගෙල වටා මිස නලළේ නොවේ. 
මෙය ෆිලීගෙන් උගත් නීතියකි!
මෙසේ මුඛයේ හා දෙනෙත් මත රැඳුණු අංගෝපාංගයන්ගෙන් මිදුනු අප   සෙමෙන් බෝට්ටු වෙතට පැමිණි අතර එතෙක් බෝට්ටුවේ රැඳී සිටි පදවන්නා අපව මුදා ගැනීමට සූදානම්වය.
බෝට්ටුවෙන් දියට දමා තිබුනු සුදු යකඩ ලැඩරයේ හෙවත් ඉනිමගේ එල්ලී සිටි අප ප්‍රථමයෙන් කලයුතු වන්නේ පා පැලඳි ෆින්ස් යුගලය ගලවා බෝට්ටුවට දැමීමය. 
දෙවනුව  බර පටිය ගලවා බෝට්ටුවට ලබා දීමය.
ඊලඟ පියවරේදී අපව එතෙක් ආවරණය කරගෙන ඇති BCD යේ ගාංචු වෙල්ක්‍රෝ පටි බුරුල් කරගත් සැනින් එහි කර පසු පස ඇති හැඬලයෙන් අල්ලා එය බෝට්ටුව තුලට ගැනීම සිදුවේ.
එහෙත් අන්තර් ජාලය පිරික්සීමේදී BCD හා සිලින්ඩර සමග බෝට්ටුවට ගොඩවන අවස්ථා මා දුටුවෙමි.


බෝට්ටු කෙළිය . . . . !

බෝට්ටුවට ගොඩවී එහි වූ බංකු මත වාඩි වූ අප; අදහස් හුවමාරු කරගන්නට පෙර "පහක්" හුවමාරු කරගත්තෙමු
ගොඩ බිමෙන් දියත් වීමට මත්තෙන් මේතරම් වතුර බෝතල් තොගයක් ගෙන එන්නේ මුහුද පිරවීමටදැයි සිතමින් සිටි මා හට වතුර වල අගය බොහෝ සෙයින් දැනෙමින් විය.
ෆිලී විසින් සපයා තිබුණු ක්‍රීම් ක්‍රැකර් බිස්කට් හා වතුර අපගේ කුස පිරෙව්වේය.
සැබෙවින්ම දිය යටදී කිසිදු වෙහෙසක් මහන්සියක් නොදැනෙන මුත් ගොඩට පැමිණි විට තරමක වෙහෙසක් දැනීම සාමාන්‍ය දෙයක් බව බෝට්ටුකරු අප හා පැවසීය.
අප බෝට්ටුවට පැමිණි මුත් අප හා කිමිදීම ඇරඹූ විදේශිකයින් තිදෙනා හා ඩයිව් මාස්ටර් ඒ වන විටත් දිය යට ඇසට නොපෙනෙන ගැඹුරකය.
එහෙත් බෝට්ටු පදවන්නා විසින් ඔවුන් ගේ ගමන් මග බෝට්ටුවේ සිට අවබෝධ කර ගනිමින් විය.
ඒ ඔවුන්ගේ ප්‍රාශ්වාසයේදී මුදා හරිණ වායු බුබුළු දිය මතට එන අයුරු ඔහුගේ තියුණු නෙත විසින් ග්‍රහණය කර ගැනීමෙන්ය.
තවත් විනාඩි ගනනකින් ඔවුන්ද අපහා එක් විය.
සාමාන්‍යයෙන් වායු සිලින්ඩරයක් සකසා ඇත්තේ ලීටර 12 ක පරිමාවක් සහිතව වුවද එය තුල;  බාර් 200 ක පමණ පීඩනයකට යටත් කොට ගබඩා කොට ඇති වාත ප්‍රමාණය ටෙලිෆෝන් කුටියක් තුල පවතින වාත  ප්‍රමාණයට සමාන බව ලක්ෂ්මන් මුතුගල මහතා තමාගේ කිමිදුම් කලාවේ අත් පොත නමැති අනර්ඝ ග්‍රන්ථයේ සඳහන් කොට ඇත. 
මෙය සාමාන්‍යයෙන් මීටර 15-20 ක පමණ ගැඹුරක සිටින කිමිදුම් කරුවෙකු හට පැයක පමණ කාලයක් ආශ්වාස කිරීමට ඇවැසි වාත ප්‍රමාණය කි.
මෙහිදී ඔබ මුල සිට මාගේ මේ ලිපි පෙල පරීක්ෂාකාරීව කියවා ගෙන ආවේනම් ; මෙම ඉහත ප්‍රකාශය ගැටළුවක් නොවනු ඇත. 
එය එසේ නොවේ නම් ඉහත වගන්තියේ දැක් වෙන "මීටර 15-20 ක පමණ ගැඹුරක සිටින" යන කොටස පිළිබඳව මතබේදයක් ඇති වනු නොවනුමානය.
මා නැවතත් එහි සිද්ධාන්තය මෙහිදී පැහැදිලි කරණ්නම්.
දිය මතුපිටදී අපගේ පෙනහල්ලේ පරිමාව තුලට ඇතුළු කර ගත හැකි වායු ප්‍රමාණය මෙන් දෙගුණයක්; අඩි 33 ක් නැතහොත් මීටර 10ක ගැඹුරකදී ඇතුළු කිරීමට හැකිය.
අඩි 66 ක් එනම් මීටර 20 කදී එම ප්‍රමාණය තෙගුණයක් වේ.
එහිදී සිදුවන්නේ පෙනහල්ලේ ප්‍රමාණය විශාල වීම නොව දිය යටට  ගමන් කිරීමේදී වායු අංශු වඩාත් ලං-ලංව "පැක් වීම" හෙවත් ඇසිරීම නිසා සිදුවන භෞතික විද්‍යාත්මක සංසිද්ධියක ප්‍රථිඵලයකි.
තවත් ලෙසකින් පවසනවානම් මීටර 20 ක් දිය යටදී ඔබ විසින් පැයක කාලයක් පුරා ආශ්වාස කරණ්නාවූ වායු ප්‍රමාණයෙන්; දිය මතුපිටදී පැය තුනක් ජීවත් විය හැකි බවය.
මෙහි විලෝමය ලෙස මීටර 20 ක් දිය යට පැයක කාලයක් ගත කිරීමට ; දිය මතුපිට පැය 3 ක කාලයක් සඳහා ඔබ විසින් භාවිතා කරණු ලබන වාත ප්‍රමාණය ටැංකියක ගබඩා කරගෙන යායුතුය.

මාළුන්ට  සලකනවා මදි නේද?

මේ ව්න විට මධ්‍යහනය පසුවී බෝට්ටුව හා අවට පරිසරය මුලුමණින්ම ගිනියම් වී තිබුනි.
අප නැවතත් ගොඩ බිම බලා ඒමට පිටත් වුනෙමු.
දැඩි මුහුදු සුළඟ කරණකොට ගෙන දහදිය  නොපෙනුනද දැඩි තාපයකින් අප හෙම්බත් වී සිටියෙමු.
තවත් පැය භාගයකට පමණ පසු අප වෙරළට සේන්දු විය.
බෝට්ටුවේ සිට ගිනියම්වී තිබෙන වෙරල ඔස්සේ අප; අපගේ කිමිදුම් පාසලේ ගොඩ නැගිල්ල වෙත දුව ආවෙමු.
වෙරළේ සිට මීටර 50 ක පමණ දුරක් අප දුව ආ ආකාරය ගැන මා නොළියා ඉන්නම්; ඔබටම සිතා ගැනීමට!
අප එහි පැමිණි වාහාම සිසිල් බීම සංග්‍රහයක් එහි සකස් කොට තිබුණි.

"කොහොමද ඩයිව් එක?"

ඒ ෆිලීගේ බිරින්දෑය.

අප එළියේ වූ වතුර මල් වලින් හොඳින් ස්නානය කර ඇඳුම් මාරු කරගත්තෙමු.
තවත් ස්වල්ප වේලාවකින් අප දිවා අහාර ගත්තෙමු.

" හෙට නම්  පරක්කු නොවී එන්න. මොකද අනික් අය බලා ඉන්න වෙනවානේ "

"හෙට!? ඇයි අදින් කෝස් එක ඉවර වෙන්නේ නැද්ද?"

" . . . . . . . . . . . . . . . . . . . . . .!"

මා රැකියාව කරනා ස්ථානයේ මාහට බොහෝ සෙයින් නිදහසක් ඇත. 
ඒ ඕනෑම වෙලාවක කෑමට, බීමට, හුස්ම ගැනීමට, නෑමට හා සතියේ ඕනෑම දිනයක එක් නිවාඩුවක් ගැනීමටය. එහෙත් මා සෑම  සති අන්තයකම පෙනීසිටීම අනිවාර්‍ය 
 අංගයක් විය.
මේ සති අන්තයේ මා මාගේ උසස් නිළධරයාට ලොකුම ලොකු රස කථාවක් කියා තිබුණි.
සතියකට අපට ලබා ගත හකිව තිබුනේ එක් නිවාඩුවක් පමණි.
තෙශාගේ තත්වයද ඊට නොදෙවෙනි නොවීය.
නිවාඩු නිකිණි වාගේය!

"අපිට එහෙම නිවාඩු නෑ මිස්ට ෆර්නෑන්ඩු! අපි මේ දවස් දෙක ගත්තෙත් මාර අමාරුවකින්!"අප ඈඟිරි ගාන්නට විය.

" හරි එහෙනම් ඔයාලට පුළුවන් දවසක එන්න! හැබැයි මුහුද රෆ් වෙලා තිබුනොත් ඊළඟ ලෙසන්ස් ටික කරණ්න බැටිකලො එන්න!"

"අම්මට සිරි! එහේ යන්නෙ කොහොමද!?"

අපේ පිළිතුර ඇසීමටවත් නොනැවතුනු ෆිලී යෝධ බත් එකක් ඉදිරියේ අසුන් ගත්තේය!

අප එතැනින් නැගිට ප්‍රනාන්දු මහත්මිය වෙතට ඇදුනෙමු.
ඒ ඇයට අප පත්වී ඇති ගතුව කියා; ඇය ලවා ෆිලීහට බලපෑමක් ඇති කොට; මුහුද රළු වීම කල් දමා ගැනීමටය!!!
එහෙත් අප ඇයට කථා කිරීමට මත්තෙන් ඇය අපට කථා කලාය.

" ඔයාල මේ ලැප් එකෙන් PADI  එක ට ලොග් වෙලා මෙන්න මේ නොම්මරේ ගහලා සර්ච් කරණ්නකෝ?"

විධානය පරිදි අප කටයුතු කලෙමු.

සෙවිල්ල අරඹා තරමක හරඹයකින් පසු . . . . . . . . . .

උන්න හැටියට මළා මදෑ . . . . !?

"මේ . . . . . . . ?"

"ඔව් මේ ඔයාලව PADI එකේ රෙජිස්ටර කරගෙන තියෙන්නේ!"

"එළනෙ . . . . !

". . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  . . . . . . . ?"
". . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ."
". . . . . . . . . . . . . . . . . .  .  . . . . . . . . . . . . ! "
". . . . ! "

PADI  අවකාශය තුල අපගේ නම් දැකීමම අපට මහත් වූ දිරියක් විය. 
ඒ සිතුවිල්ල සමග එකට ගැටගැසී ආ සිතුවිල්ල වූයේ "රස්සාව නම් මොකක්ද . . !?" කියාය.
සිතට ආවේ එකසිය ගානක ගැම්මකි!
අප නැවත එකත් පසව ෆිලීට ලං කෙලෙමු!

"හරි මිස්ට ෆර්නෑන්ඩු! අපි හෙටත් එන්නම්"

"හ්ම් . . . . . . .!  හ්ම් . . . . . . . !

"හෙටත් අපට ඩයිවිං . . . . !" මම දූරකථනයේ කෙටුවෙමි!

13 comments:

  1. ඔබතුමා නාවුක හමුදා කිමිදුම් කණ්ඩායමේද වැඩ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අනෝ තුමා! මේ ලිපි පෙල මුල සිට බැලුවානම් ඔබට තේරේවි මා සිවිල් වැසියෙකු බවත්;මාගේ ජීවිතයේ එක් බලාපොරොත්තුවක් වූ PADI බලපත්‍රය ගැනීමට කරණ්නාවූ වෙහෙසත් මේ විදියට ලියමින් සිටිනා වග!
      ස්තූතියි!
      (මෙය මා ලියන්නේ තවත් අයෙකුට එය ලඟා කර ගැනීමට ඉතාමත්නිවැරදි මග පෙන්වීමක් දැක්වෙන අයුරින්!)

      Delete
  2. කිම්දුනේ නැති වුනාට මට ඔබේ විස්තරාත්මක පොස්ටුව නිසා මා කියවා ඇති පොත් තුනක් හතරක් මතක් වුනා. ආතර් සී. ක්ලාක් මහතාගේ පොත්වල පරිවර්තන වූ ගැඹුරු මුහුද, චන්ද්‍ර සංචාරකයෝ, ඩොල්ෆින් දූපත හා රොඩ්නි ජොන්ක්ලාස් මහතාගේ වාලම්පුරි.

    ReplyDelete
    Replies
    1. ඔව් නිදි මහත්තයා! ඔතනින් ගඹුරු මුහුදයි වාලම්පූරියි දෙක මමත් කියවලා තියෙනවා. ඒ සියල්ලම හේතු වෙන්න ඇති මේ දේවල් වලට පෙලඹෙන්න හේතුව වෙන්න ඇත්තේ!

      Delete
  3. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න.සාමාන්‍යයෙන් දිය යටදි හුස්ම ගැනීමේ වේගය කොහොමද? ඔය කියන විදියට ගොඩබිම ඉන්නවට වඩා වැඩි වාත ප්‍රමාණයක් වැය වෙනවනම් පෙනහලූ වලට එන ඔක්සිජන් ප්‍රමාණයත් වැඩී නේද. ඒ කියන්නෙ හුස්ම ගැනීම සාපේක්ෂව ටිකක් හරි අඩු වෙන්න ඕන නේ.

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි එහෙම දෙයක් දැනෙන්නේ නෑ! සාමාන්‍ය වේගයෙන්ම තමයි ආස්වාස ප්‍රාශ්වාස කෙරෙණ්නේ! (මට දැනුනු ලෙසට) ඊළඟ පෝස්ටුවේදී මම අහන්නට සලස්වන්නම්.

      Delete
  4. මිස්ටර් තට්ස් කවදාවත් bends අවදානමකට මුහුණදීලා තියනවද?

    ReplyDelete
    Replies
    1. Bends යනුවෙන් කෙටියෙන් හඳුන්වන්නේ Decompression Sickness යන්නයි. මෙහිදී සිදුවන්නේ නයිට්‍රජන් පෙනහළු වලින් ශරීරයේ පඨක තුලට ඇතුළුවී තැන්පත් වීමයි. මෙහිදී එයට භාජනය වූ තැනැත්තාව Re ප්‍රථිපීඩන කුටියකට (compression Chamber) ඇතුළු කොට යතා තත්වයට පමුනුවනු ලැබේ.
      ආ අහපු ප්‍රශ්නෙ අමතක වුනා! අනේ තාම එහෙම අකරතැබ්බයකටනම් මුහුණ දුන්නේ නෑ.

      Delete
    2. Re-Compression Chamber (ප්‍රථිපීඩන කුටිය)

      Delete
  5. රස්සාව කොහොමත් තියෙන එකක් නිසා හෙටත් ඩයිවින් කරන්න ගත්ත තීරණය හොදයි .

    PADI එකේ රෙජිස්ටර කරගෙන තියෙනවා දැක්කා ම කොහොමත් එහෙම හිතෙන්න ඇති නේද .

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඒක මාර ගැම්මක් උනා! ඔයාට කියන්න PADI ගන්න එක මගේ අවුරුදු 15 -20 ක සිහිනයක්! ඉතින් ඒක දැක්කාම කියන්න ඕනෙ නෑනෙ!

      Delete
  6. රස්සාව නෙමෙයි පරස්තාව උනත් දාල එන්න බැරියැ ඔහොම කිමිදෙන්න තියෙනවනං

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව! කොහෙද අප්පා හිටියෙ?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...