Thursday, April 30, 2020

171. චින්තන ජයසේන!



ඔහුට ඒ නම තිබ්බේ කවුරුන්ද මන්දා.
නමුත් නමටම ගැලපෙන වැඩ.
චින්තන!
චින්තන ජයසේන!

චින්තන අයියා ගැන මම මුලින්ම ඇසූවේ දැනට BBCයේ සංදේශය කරණා චන්දන කීර්ති බණ්ඩාරගෙන්.
ඒ අපි එකට වැටී ඉන්න කාලේ ගත්වුනු රසබර නිමේශයන් වලදී.
චින්තන අයියාහට බොහෝ සිංහල වචන ශබ්ධ නැගීමේ අපහසුවක් විය.
ඒ උත්පත්තියෙන් වූ ඔහුගේ මුඛයේ ඇතිව තිබූ විකෘථි තත්වයකි.
මේ නිසාම ඔහු විසින්  කියන ලද රස කථාවලට අපූරු  අර්ථකතන ඔහුගේ පත්තර මිතුරන්ගෙන්ම ලැබී තිබුනි.
චන්දන කීර්ති බණ්ඩාර වෙත මෙම කථා කීමට තිබුනේ නිසග හැකියාවකි, පලපුරුද්දකි.
එම  රසවත් කථා අනුසාරයෙන් මා දකින්නට පෙරදීම චින්තන අයියාව දැන හැඳින ගෙන තිබුනි.

"දවසක් චින්තන ජයසේන හම්බෙලා මට මරු කතාවක් කිව්වා." චන්දන අයියා ගල් අරක්කු වඩියක රස බලමින් කතාව පටන් ගනී.

"මශං දැන් මේ ප්‍රේමයා රට වටේම ගම් හදහදා යනවනේ!? තව ගම් දෙකක් අඩුයි! මොකක්ද දන්නවාද? එකක් අපෙ පංසල් නැති හාමුදුරුවන්ව එකතු කරලා හදන්න ඕනේ ගමක් "බුද්ධාගම" කියලා!අනික; දැන් මේ ඉන්නවානේ ගෙවල් දොරවල් නැතිව නන්නත්තාර වුනු සංගීත කාරයො. ආන්න උන්ට ඉන්න හදන්නොන ගමක් "සරි ගම" කියලා"

මේ සමාජ මාධ්‍යයකින් ලියා දැක්විය "හැකි" චින්තන අයියාගේ කතා  අතලොස්සෙන් එකෝම එකකි.
ඔහුගේ කටට වචන ආවේ ඉතාමත් නිර්මාණශීලීවය.
ඔහු කඩවත පෙරමුන මාවතේ ඉන්නා කාලේ යාබද හුරු බුහුටි ගෘහස්ථ කඩ පොඩ්ඩක් විය.
එය පවත්වාගෙන ගියේ මාරි නම් කාන්තාවක විසිනි.
කඩය පවත්වාගෙන යන විට සමහර විටෙක ඇය තම සැමියාගේ සහය ලබා ගත්තේය.
ඒ "විකී . . ! යනුවෙන් ඔහුට හඬගා ඇමතීමෙනි.
චින්තන අයියා එම දෙමහල්ලන් හට නමක් දමා තිබුනි.
"සුපිරි විකී - ටිකිරි මාරි"
සුපිරි විකී නිපදවූවේ සිද්ධාලේප නිවෙසිනි.
සිද්ධාලේප නමැති හුදෙක් බාම් ඩප්පිය "සෑම ගෙදරක සිටිය යුතු වෙද මහත්තයා - සිද්ධාලේප!" උනේද චින්තන අයියාගේ පෑනෙනි.

චින්තන අයියාගේ පත්තර ජීවිතය පටන් ගෙන තිබුනේ "උදය" පත්තර කන්තෝරුවෙන්.
මම ඒ ගැන වැඩියමක් ලියන්නැත්තේ ඒ ගැන නොදන්නා නිසාමයි.

පසුව ඔහු හැත්තෑව දශකයේදී හුළුගල්ල මහත්තයලගෙ මල්ටි ෆැක්ස් එකට සෙට මෝල් වෙනවා.
ඔහුගේ පත්තර ජීවිතයේ වෛවරණතම අවදිය ගෙවී යන්නේ මල්ටි ෆැක්ස් ආයතනයත් එක්ක.
"සිත්තර" ඔහුගේ වැඩක්.
හැත්තෑව දශකයේ මුල් කාලයේදී ලේක් හවුසියෙන් "සතුට" පටන් ගන්නේ ලක්දිව පළමු චිත්‍ර කතා පත්තරය ලෙසින්.
පසු කලකදී "මධුර" බවට පත්වන්නේ මේ සතුටයි.
"සතුට" පත්තරේ පටන් ගන්න කාලේ ජනක රත්නායක ඇන්ද "සුසීමා", "පාට පාට හීනයක්!", වගේ කතාවලින් ජය කෙහෙළි නැංවූ පරිසරයකයි "සිත්තර" එළියට එන්නේ.
එහි මුල් පිටපත එළියට එන්නේ 1977 .
ඒක මම දකින්නේ "ලෑන්ඩ් රෝවර්" මෙරට කැලෑ දිග් විජය කල කාලයක එතැනට එන "මිට්සුබිෂි"  4DR5 ජීප් එක වගෙයි.
පත්තරේ තියෙන්නේ බොහොම හුරු බුහුටි පෙනුමක්.
මිළ ශත 75 ක්.
මේ පත්තරේ සුපිරිම චරිත කිහිපයක් හිටියා.
ඒ "ඉතිං ඊට පස්සේ " හි කැළුම්, දේදුනු හා යුනිකෝ ය.
ඒ බළංගොඩ සරත්මධු ගේ නිර්මාණයන්ය.
පුවත් පත පටන් ගන්නා කාල්යේ රටේ එක් එක් පලාත් වලින් එක්වූ ශිල්පීන් ගෙන් "සිත්තර" ජීවය ලැබුවා.
මේ සියල්ල චින්තන අයියාගේ චින්තනයන්ය.
එහි නම ද ඉන් පසු මල්ටි පැක්ස් ආයතනයෙන් පටන් ගත් බොහෝ වෙනත් පුවත් පත්ද චින්ත්න අයියාගේ චින්තනය මත පිහිටා උපත ලද කෘතීන්ය.

එකල මල්ටිපැක්ස් නිවසින් කල එළිබැසගත් සිනෙමා කලා පුවත් පතක්ද විය. මේ නිසාම ඔහුට කලා ලොවේ මිතුරන් රැසකි.
එකල ඔහු ජෝතිලා මිල්ටන් ලා සමග ෂාලිමාර් එකේ දොඩමළු නොවෙන දාට සෙට මෝල් උනේ වික්ටර්ලා ප්‍රේම් ලා සමග "ෆයිෆ් පාර" අසල "රන්දෝලි" යේය.
එක් සැඳෑවක චින්තන අයියා එහි යනවිට වික්ටර් රත්නායක  ප්‍රේම් ලා ඇතුලු පිරිසක් පුළුල් කතිකාවක යෙදී සිටියේලු.
"මොකද ප්‍රේම්?" චින්තන අයියා ඇසුවේලු.
"නෑ චින්තන අපේ මේ රත්නෙ ඒක පුද්ගල ගී ප්‍රසංගයකට ලෑස්ති වෙනවානේ! ඒකට මේ නමක් දානවා! තාම එකක් වත් හරියට ගැලපිලා ගියේ නෑනේ!"
" ආ ඕකට ඔච්චර බල බලා ඉන්න දෙයක් නෑ "සා" කියලා දාන්නකො!"
ඒ චින්තන අයියා රටම දන්නා "ස" ප්‍රසංගයට නම දුන් හැටියි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ FM සේවයට CITY FM නම තැබුනේද ඔහු වෙතින් බව මා අසා ඇත.

වරක් ඔහුත් මමත් ජනදාස පීරිස් මහතාව හමුවීමට ගිය ගමන පිළිබඳවද මා මෙතනම ලියා තබන්නම්.
ජනදාස පීරිස් මහතා එවකට ගුවන්විදුලි සංස්ථාවේ සභාපති විය.
චින්තන අයියාත් මමත් ගුවන් විදුලියේ ගේට්ටුව අසල මුර කුටියට වී බොහෝ කාලයක් රැඳී සිටියේ එහි සිටි ආරක්ෂක නිළධරයා "සභාපති තුමා කෑම කනවා!" කී හෙයින්ය.
කාලය පුරා පැයකට ආසන්නව ගෙවී ගියේය.
දෙතුන් විටක් අප විසින් ඒ පිළිබඳව විමසීමෙන් ආරක්ෂක නිළධරයාහට අපව ඒ වන විට සුපිරිම ඇනයක් වී තිබුනි.
අන්තිම වතාවේ චින්තන අයියා හිටි තැනින් නැගිට ආරක්ෂක නිළධරයා සිටි තැනට ගොස් ඇමතුවේය.
"ඕයි  කනවා කියලා ඒ යකා මේ ලෝකෙම කනවද? සභාපති උනා කියලා එයා කන්නෙත් මේ අපි වගේම වෙන්න ඇතිනේ. ඔය ටෙලිෆෝන් එකෙන් කියනවා චින්තන ජයසේන ඇවිත් ඉන්නවා කියලා. අහනවා මං ඉන්නද යන්නද කියලා?"
තවත් විනාඩි ගනනකික් අපට දොර ඇරුනි.
අප ජනදාස මහතා හමුවට  යන විට ඔහු රැස්වීමක් අවසන් කොට රැස්වීම් ශාලාවේම සිටියේය.
අප දුටු සැනින් ජනදාස මහතා ඉදිරියට විත් චින්තන අයියාව පිලිගත්තේය.
"කෝ ඉතින් චින්තනලා මේ පැත්තේ එන්නෙත් නෑ. අපිට ඔයාලවගේ අයගේ උදව් ඕනේ. අපිට අපේ සේවාවන් ප්‍රසිද්ධ කර ගන්න ඕනෙ ජනතාව අතර! ඒවා පිළිබඳව දන්නේ ඔයාලනෙ!" රැස්වීමට රැස්වූවන් ඒවන විටත් දහ පහලොස් දෙනෙකු සිටියේය.
"ප්‍රසිද්ධ වෙන්න ඕන නම් ඒකට ..... පොට් එකක් දැම්මත් හරිනෙ. නමුත් වෙන්න ඕනෙ ප්‍රසිද්ධ වෙන එක නෙවෙයි. හොඳ දෙයක් කරන එක!" චින්තන අයියාගේ පිළිතුර විය!

ඔහු තරම් මිනිසුන් ඇසුරු කල කෙනෙක් මා අසා නැත. ඕනෑම කලා කරුවෙකු දේශපාලකයෙකු ගැන ඔහුගෙන් ඇසූවිට එම පුද්ගලයා හා සම්බන්ධ කුප්‍රකට කථාවක් හේ දනී.

වරක් දේශපාලකයකු ඔහුට කථා කොට දේශපාලන පුවත් පතක් අරඹන ලෙස පැවසුවේය.
ඒ මුළු රටම දැඩි චන්ද උනුසුමෙන් ඇලළී ගිය කාල වක වානුවකි.
මෙකල මෙන් FB හා FM  මඩ නොතිබූ කාලයේ දේශපාලක තුමාට අවශ්‍යවූයේ විපක්ෂයේ රෙදි ගැලවෙන වැඩකි.
චින්තන අයියා වැඩේ අකුරටම කලේය.
එකල ලෙටර් ප්‍රෙස් මගින් පුවත් පත අච්චු ගසන කාලයේ අකුරු අමුනා එවන් කොලම් හා පිංතූර යනාදිය එක් කොට පිටුව බැඳ එය මුද්‍රණ යන්ත්‍රයට දමා පත්තර අච්චු ගැසීමට පෙර පෲෆ් බැලීම හෙවත් සේදූ පත් බැලීම කෙරුණි.
මේ සඳහා යොදා ගනු ලබන්නේ එකට එක් කල පිටුව හෙවත් මැටරය කුඩා අඩි 2 X 3 පමන යන්ත්‍රයකට ඇතුළු කොට එය මතින් පිටුවේ  ප්‍රමාණයේ කොලයක් තබා ඒ මතින් රෝලරයක් දිවැවීමය.
මෙය පත්තර කන්තෝරු භාෂාවෙන් හැඳින්වෙන්නේ පෲෆ් එකක් ඇදීම යනුවෙනි!
දේශපාලක තුමාගේ පුවත් පතේ එක් එක් පිටුවේ පෲෆ් හතරක් එනසේ; පෲෆ් ඇදගත් චින්තන අයියා; ඒවා ඔරිජිනල් පත්තර සේ පෙනෙන ලෙස නවා කියා ගෙන එයත් රැගෙන  තුමා  මුණගැසීමට ගියේය.
ඔහු පෲෆ් කොල සියල්ල වෙන වෙනම පත්තර හතරක් සේ  දැක්වූයේ; පත්තරය මුද්‍රණද්වාරයෙන් බිහිව රට පුරා ගලා ගොස් අවසාන බව පවසමිනි.

දේශපාලකයා වෙතින් එයට අය කල මුදල ගෙඩි රුපියල් ලක්ෂ හතරකි. 
චින්තන අයියා කාලයක් යනතුරු මේ ගැන කියා පෑවේ  "මම එක පත්තර කොපියක් ලක්ෂෙ ගානෙ කොපි හතර ලක්ෂ හතරකට විකුණපු එකෙක්!"කියාය!

දිනක් ඔහුගේ පර්ජෝ 305 කාරය පදවාගෙන කොළඹ යෑමට මට සිදුවිය. 
එකල ප්‍රභාකරන්ගේ බෝම්බ නිසා සෑම තැනකම පාහේ පොලිස් හමුදා බැරියර තිබුනු යුගයක් විය.
එම රථයේ බ්‍රේක් තිබුනේ පාගා බැලීමට මිස වාහනය නැවැත්වීමට නොවේ.
මරදානේ ආනන්දය ඉදිරියේ පොලිස් නිළධරයෙකු විසින් රථවාහන පාලනය කරමින් සිටි අතර ඔහු අපගේ වාහන මං තීරුව නවතා ලීමට සන් කලද එය නවතා ගැනීමට නොහැකිව ඉදිරියට ගැනීමේදී වේගයෙන් පැමිනි මෝටර් සයිකලයක් රථයේ ගැටුනි.
මාගේ දකුණු පසින් පැමිණි  සයිකලයට මා ඉඩ දිය යුතුව තිබුණි.
 එහෙත් නියමිත මාත්‍රාවට බ්‍රේක් නොතිබීම එම අවස්ථාව මා වෙතින් පැහැර හැරුණි.
මෙහි වඩාත්ම සිත්ගන්නා සුළු සිද්ධිය වූවේ පාසැල ඇරී ඒ වන විට විසල් රථවාහන තද බදයක් නිර්මාණය වී තිබීමය.
පොලිස් නිළධරයා මාවෙත පැමිණි විගස ඔහු මා වෙත දොස් පැවසීමට ප්‍රථම මා පවසූවේ "මම දාන කොටමනේ  රාලහාමි නවත්වන්න සිග්නල් දුන්නේ. මෙයා පොඩ්ඩක් වත් බලන්නේ නැතිව ඇවිත් මගේ වාහනේ හැප්පුවානේ" කියාය.
කථාවේ පොඩි ඇත්තකුත් නොතිබුනාම නොවේ. සයිකල් කරු පොලිස් නිළධරයාගේ සංඥාව හිතේ තිබියදීම බයිසිකලය දමා තිබුනි!
පොලිස් නිළධරයා මා වෙත පැමිණ පැවසූවේ "ඔයා දකුණේ නීතිය දන්නවාද?" කියාය.
මාගේ වම්පස අසුනේ සිටියේ චින්තන අයියාය.
ක්ෂ්ණිකව ඔහු කට හඬ අවදි කලේය!
" දකුණේ නීතිය!?  රාළහාමි දන්නවා ද උතුරේ නීතිය!?  ඔයා අද මෙතන හිටගෙන ඉන්නේත් දකුණේ නීතිය හින්දා නෙවෙයි උතුරේ නීතිය නිසා! ඔයා ඒක හරියට දැනගෙන කතා කරණ්න!"
පොලිස් නිළධාරියාහට සිදුවූයේ මොකක්ද කියා තේරුම් ගන්නට නොහැකි විය.
"යනවා! යනවා! මෙතන අපේ කාලෙත් කන්නෙ නැතිව!"
මා එතෙක් වම් පාදයෙන් පාගාගෙන සිටිය ක්ලච් පැඩලය අත හරින ගමන්ම දකුණු පාදයෙන් ගෑස් පැඩලය පාගමින් එතැනින් මාරු උනෙමි.

චින්තන අයියගේ පුවත් පත් ජීවිතයේ තවත් විශාල කඩ ඉමක් ලෙස මා ඔහුගේ "කොලම" පුවත් පත දකිමි. 
එය මාගේ ලිවීමේ ශෛලිය වෙනස් වීමටද එක් කඩ ඉමක් විය.

එය ලංකාවේ ප්‍රථම ටැබ්ලොයිඩ් පුවත් පත යැයි මා අසා ඇත.
පහලින් දැක්වෙන්නේ මා ලඟ තවමත් සුරැකිව තිබෙන; කොලම පුවත් පත් කිහිපයෙන් දෙකක මුල් පිටුවේ ප්‍රධාන ඡායා රූපය හඳුන්වා දී ඇති තිබුනු ආකාරය කියා පෑ පිංතූර දෙකකි!



විවේචනාත්මක, විචාරාත්මක හෝ විමර්ශනාත්මකව ලිවීම යනු එලෝ මෙලෝ නැතිව කුණු හරුප පැලීමට වඩා කෙතරම් සුන්දර දෙයක් දැයි සිතෙන්නේ නැවත මේ පුවත් පත් බලන කලටය.
එවන් ආභාෂයක් ලද අප; හිතෙන දැනෙන දේ ලිවීමට පෙර දහ දොලොස් වාරයක් සිතන්නෙමු.
බොහෝ විට එය බ්ලොග් ලියන බොහෝ දෙනා හට නොගැලපෙනු ඇත.
එහෙත් කියවන බොහෝ දනන් ගේ සිත සුව පිණිස වනු ඇත.

නොබෝදා මිය පරලොව ගිය  "ලක්බිම" පුවත් පතට මා යොමු උනේද චින්තන අයියා වෙතිනි.
මේ පිළිබඳව මා මීට පෙර ලියා අති බැවින් එය නොලියමි.

මාගේ බ්ලොගය; තට්ටයාගේ "කොලම" උනෙත් ඔහු නිසා වියයුතුය. 
ඔහු මට කිසිදා කිසිවක් ලිවිය යුත්තේ මෙලෙසින් යයි ගුරු හරු කම් නොදුන්නද මා ලියන සමහර ලිපි තුල ඔහුගේ ඡායාව මම දකිමි. 
එය ලබී ඇත්තේ ආභාශයෙන් වියයුතුය.

අපරටේ බොහෝකලා කරුවන් ලෙසින්ම මධුවිත ඔහුව අපෙන් ඈත් කලේය.
උදේ ඇඳෙන් බිමට බට මොහොතේ පටන් රෑ නින්දට යනතෙක් ඔහු ජීවත් වූවේ මධුවිත සමගිනි.
ඔහු ගැන ලියන්නට වඩා කියන්නට බොහෝ දේ ඇත.
මෙය කියවන අප කවදා හෝ දිනෙක එකට මුන ගැසුන හොත් ඒවා කියන්නම්; මැරෙණ කල් මතක හිටින්න!
ඔහුගේ භාෂණ මෙසේ ලඝු කොට ලිවීමට නොහැක!
ඒ ඒවා; කියන්නට නොව රඟ දැක්වීමට ඇති අති සුන්දර කථා හෙයින් ය!
හදවතට පිදෙන උපන්දින සංග්‍රහය!

14 comments:

  1. අමරණීයව හිතේ වැජඹෙන
    අමර මිනිහෙක් නේද චින්තන
    ගොඩක් චින්තන උපද්දවමින
    දිනේවා දිගු කලක් චින්තන!

    ReplyDelete
    Replies
    1. ඔහු මීට වසර දෙකකට පමන පෙර අප අතරින් සදහටම වෙන්වූවා!

      Delete
    2. අනේ මට කල්පනා වුනේ නැහැ! සමාවෙන්න.

      Delete
  2. Mr Thatta ahenam pattara karayekda?

    Randoly club and garage owner Nihal use to be my friend. Someone told me something bad happened to him?
    Wijebahu

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  3. කලක් මම free lance ලිව්වා. රන්දෝලිය එක්ක මගේ ලොකු සම්බන්ධයක් නෑ මහත්මයා!

    ReplyDelete
  4. චින්තන ජයසේන ලොව පිළිගත් යාන්ත්‍රික ඉංජිනේරුවරයා.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. මේ කියන්නේ අහිංසක පත්තර කාරයෙක් ගැන! කැලැන්ඩරයක් එල්ලන්න බිත්තියක ඇනයක් වත් ගහගන්න බැරි පොරක් මෙයා!

      Delete
  5. ඔව් කතාකරමු දවසක. හොන්ද මාතෘකාවක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔයාව නම් අනිවර්‍යෙන්ම හමුවෙයිනේ!

      Delete
  6. මන් කියවල තියන හොඳම appreciation එකක්.
    මිස්ට තට්ස් පත්තරවලට ලියනව/ලිව්ව ද?

    ReplyDelete
    Replies
    1. "මම් කියවල තියෙන හොඳමappreciation එකක්!" මේ වැකිය මට මහ්ත් ගෞරවයක් සේ සලකමි.
      ස්තූතියි!
      ඔව් මම කාලයක් පොඩි පොඩි Freelance අතේ වැඩ ටිකක් කලා.
      මගේ බලාපොරොත්තුව උනේ විශේෂාංග ලේඛකයෙකු වීම!
      ඒත් මා අද ඉන්නා තැන!?
      ඒත් මම මේ බ්ලොග් එක ලිවීමෙන් උත්සාහ කරණ්නේ ඒ මියැදුනු සිහිනයට යන්තමින් හෝ කිට්ටු වන්නට!

      Delete
  7. Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...