Friday, May 15, 2020

173. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (පලමු වැනි එක)



පුතේ අද ඔයා මට කතා කරලා කිව්ව කතාව ගැන මම බොහෝ  දුරකට සිතුවෙමි.

ඔබ නරඹපු How I Met Your Mother නමැති රූපවාහිණී නාට්‍ය මාලාවේ එන එක් ජවණිකාවක; "මාෂල්"  තම පියා මිය යාමට පෙර; අවසන් වතාවට; තමාට කිසිවක්  නොකියාම නික්ම යාම පිළිබඳව කණස්සල්ලෙන් සිටියි.
පියා අවසන් ගමන් යන්නේ; අවසන් වශයෙන් කිසිවක් ඔහුට නොකියමින්ය.
පසුව තම පියාගෙන් තමන්ට ලැබුණු කථන පණිවිඩයක් හෙවත් වොයිස් මේල් එකක් මාෂල් හට හමුවේ.
"පුතා මම ඔයා ගැන හරි ආඩම්බරයි - මාෂල්!"
මාෂල් එය අසා සතුටු වෙයි.
ඔයා කියපු විදියට මට තේරුණු කථා සාරාංශය එයයි!

තාත්තා වෙලාවට බෙහෙත් බොනවද?
සයිකල් පදිනවා නේද?
ඔයා ඒවා ඇහුවේ බාගෙට අඬාගෙන!
ඔයා අහපු විදියට මටත් උත්තර දෙන්න ගිහින් උගුර පැටළුනා!!

ඔයාට බයයි නේද තාත්තා ඉක්මනට මැරෙයි කියලා.
මමත් ඉක්මනට මැරෙණ්න කැමති නෑ.
ඒත් මගේ ජීවිතයේ කිහිප වතාවක් මරණය කිට්ටුවටම ගිහින් ඇවිත් තියෙනවානේ.
ඒ එක වෙලාවක වත් මට මහා දුකක් නම් ඇති වුනේ නෑ.
මම ජීවිතය විඳපු මිනිහෙක්.
සැප දුක දෙකම!
මම තව දකින්න කැමති ඔයාගේත් නංගිගෙත් ජීවිතයේ විජයග්‍රහණ!
ඒක හැම තාත්තෙකුගේම හැටියක්.
ඔයා දැනටමත් මට වඩා බොහෝ දුර ගිහිල්ලා.
නමුත් එක දෙයකින් නම් ඔයා මට පරදියි  ඒකාන්තයෙන්ම.
ඒ මොකක්ද කියන්න පුළුවන්ද?
ඔයාට මට වගේ ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් ලැබෙයිද කියලා නම් සැක සහිතයි!
හහ් හහ් හා!
කොහොමද ඒක?

"තාත්තා මොනවද මං ගැන හිතන්නේ?
බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට නොදැම්මට කමක් නෑ!
ලියලා තියන්න!
මට දවසක බලන්න!" ඔබ මගෙන් ඉල්ලයි.
කොහොමත් මම ඔයා ගැන ලියන්නමයි හිටියේ.
මම ටිකක් ලිව්වත් එක්ක.
ඒ ටික කොහෙදෝ මන්දා!
මම ආයෙමත් ඔයා ගැන ලියන්න පටන් ගන්නම්!
මම කොහෙන් මේ කතාව පටන් ගන්නද?
මගේ මුළු ජීවිතයම ඔයාගෙන් පිරිලා!
ඒ නිසාම පටන් ගන්නට පොටක් හොයා ගන්නට බැරුව ඉන්නේ.
මේ කථාව මම ලියලා බ්ලොග් පෝස්ට් පෙලක් විදියට දාන්නම්.
ඒ මේ විදියටම.
ඔයා කැමති වෙන්නේ මීට වඩා මම විධිමත් විදියට ලියන දේවල් කියවන්න බව මම දනිමි.
ඒත් අද මේ ලියන්නේ හරිම අමු විදියට.
මට හිතෙන දේ; ඒ විදියටම.
දවසක ඔයාටම හිතෙයි ඒක හොඳයි කියලා!
ඔයා මේක බලපු දවසක හිතා ගන්න; ඔයා මොන තරම් මගේ ජීවිතයට බල පෑමක් ඇතිකලාද කියලා.
මම ඔයාගෙ ජීවිතයට මොන විදියේ බල පෑමක් ඇතිකලාද කියලා ඔයා දන්නවා ඇති.

මම ඔයා දන්නා  තැනකින්ම පටන් ගන්නම්.

ඔයා දන්නවා ඔයා ඇවිත් මගේ ජීවිතයට අහම්බයක් නොවන බව.
ඔයා මෙලොවට එන්නේ මගේත් අම්මාගේත් ආරාධනයෙන්.
ඒ; ඔයා ඉපදුනු අවුරුද්දට පෙර අවුරුද්දේ පොසොන් පෝය දවසෙ අපි ඒ ප්‍රාර්ථනය කරණ්නේ!
ඔයා ඉපදෙන්නේ ඔයාව අපිට අවශ්‍ය නිසාම.
ඒත් මට ලොකු විශ්වාසයක් තිබුනා මට ලබෙන පළමු දරුවා පුතෙක් වේවි කියලා.
ඒ නිසාමයි ඔයා අම්මගෙ කුසයට එන්නටත් මත්තෙන්; මම ඔයාව අපේ ඉස්කෝලෙට ඇතුලත් කරගන්න පලමු පස් පිඩැල්ල කපන්නේ.
ඔයාට මම කියලා තියෙනවා ඔයාට මතකද මන්දා; මම ඔයාට පොඩිකාලෙදි කියවන්න "බුද්ධගජ්ජය", "සකස්කඩය", "ගණදෙවි හෑල්ල" මගේ පොත් එකතුවේ එකතු කරලා තිබ්බා.
(උඹ ඒවා එකක් වත් නොකීව බව නම් මට හොඳටම මතකයි!)
"සකස්කඩ - නොකී කට
උගේ කට - හුඹස් කට"
කියන පැරණි කියමනට දිය හැකි වර්ථමාන පිරිපුන්       ජීවමාන නිදසුන තමයි පුතේ උඹ !

ඔයා ඉපැදුනු දවසෙ; පැය ගනනකින්ම ඔයාව  දැක බලාගන්න වාසනාව ලැබුනා.
ඒ කාසල් ආරෝග්‍යශාලාවේ වැඩකරපු හෙද සොහොයුරියකගේ උදව්වෙන්.
එදා රෑ මම ඔයාව බලලා එන කොට පමුණුවේදී නින්ද යනවා.
මට එක තත්පරෙන් ඇහැරිලා බලන කොට මම පදවාපු වෑන් රථය ලයිට් කණුවක ගැටෙන්නට ඔන්න මෙන්න.
අඩියක් වත් නෑ!
මම ක්ෂණිකවම වාහනය ඉවතට ගන්නවා.
වෙන්න තිබුණු අනතුර බේරෙණ්නේ කෙස් ගහකින්.

ඔයා පුංචි කාලේ ඒතරම්ම ලස්සන බබෙක් උනේ නෑ!
(දැනුත් නෑ තමයි!)
මම එහෙම කිව්වේ ඔයා නිකන් අර "ලැක්ටෝජන් බබා" වගේ බෝලයක් උනේ නෑ.
ඉපදෙන කොටම ඔයා හොඳ උපත් බරක්  තිබුනා.
නීරෝගී දරුවෙක්!
ඔයාගෙ  පලමු අමුත්තා වුනේ ශානක රාජකරුණා.
එයා කාසල් එකට ඇවිත් ඔයාව බලලා ගිහින් තිබුනා.

ඔයාව කාසල් එකෙන් ටිකට් කපාගෙන එන්න ගියාමයි දැනගත්තේ; දරුවාට නමක් නැතිව ගෙදර එක්කරගෙන යන්න බැරි බව!
මොකද අපි මීට කලින් මෙහෙම දෙයක් කරලා නෑනේ!
ඉතින් දවල් ඔයාගෙයි අම්මගෙයි ටිකට් කපලා ගෙදර යන්න ගියාමයි ඔයාට තාම නමක් නෑ කියලා මතක් උනේ.

ඊට පස්සේ පොතක් ගෙනල්ලා ඒකෙන් නමක් තෝරලා මම ඒකත් අරං ඉස්පිරිතාලේ කොරිඩෝර දිගේ දුවගෙන ගිහින් නම දුන්නා රෙජිස්ටාර් ට.
මොකද පරක්කු උනොත් ඔයාව එදා ගෙදර ගෙනියන්න බැරි වෙනවා.
යන්තම් ඔයාවත් අරන්  දෙකට තුනට විතර පන්නිපිටියෙ යන්න පිටත් උනේ.

මට මතකයි මම ඔයාට නම දැම්ම හැටි.
බටහිර කොදෙව් ක්‍රීඩක විවියන් රිචඩ්ස්ට එයාගෙ මිත්‍රයින් කිව්වේ විවි නැත්නම් විව් කියලා.
මට ඕන උනා ඔයාටත් ඒ පෙට් නේම් එක එන විදියේ නමක් දාන්න.
අනෙක හොඳට රයිම් වන නමක්!
ඒකයි ඔයාට මම දැම්මේ වසික විභාවිත් කියලා.
ඒකෙ තේරුම ගෞරවාන්විත නුවණැති කියන එක.

ඔයාව ගෙදරට ගෙනෙන දවසෙ ආච්චිලගෙ ගෙදර පුදුම ලක ලෑස්තියක්.
ඔයානෙ ඒගොල්ලන්ගෙ පලමුවන මුණුබුරා.
ඔයාව වඩා ගන්න නලවන්න කවන්න පොවන්න හරියට කට්ටිය. - ඒ දවල්ට.
රෑට ඔයා නැගිටින නැගිටින වාරයක් වාරයක් පාසා මට ඇහැරුණා.
අම්මගෙන් උක්කු බීලා ඔයා එහෙමම දොයිය නොගත්තොත් මම ඔයාව කරේ තියාගෙන පරක් කරණවා නින්ද යනකල්.
කරේම තියාගන්න ඕන උනේ නෑ.
මගේ අතෙමත් නිදා ගත්තා.
මම ඔයාව නිදි කෙරෙව්වේ ලස්සන සිංදු කියලා.
ඔයාට මම කිව්වේ පාරම්පරික "ඔන්න බබෝ ඇතින්නියා . ." විතරක්ම නෙවෙයි.
"මුණි සිරිපා සිඹිමින්නේ", "මිහිකත නලවාලා", "මේ සිංහල අපගෙ රටයි", "මුහුදු පතුල යට ඉඳලා" වගේ අර්ථාන්විත ගීත.
ඔයා ඒවා අහගෙන ඉඳලා නිදා ගන්නවා.

දවසක් මරු වැඩක් උනා.
මේ වැඩේ උනේ ආච්චිලාගෙ ගෙදර දි.
ඔයා අඳෙන් වැටෙයි කියලාත් රස්නෙ වඩි නිසාත් අපි සමහර දවසට නිදා ගත්තේ බිම.
ඇඳ උඩ නිදා ගත්තත් බිම නිදා ගත්තත් ඔයා බොහෝ විට නිදාගත්තේ මගේ ඇඟට තුරුල් වෙලා හේත්තු වෙලා.
මම ඔයාව අතෙන් ඇඟට හේත්තු කර ගන්නවා.
රෑට නිදාගෙන උදේට නැගිටින කොටත් ඔයා මගේ දකුණු අතත් ඇඟත් අතර.
මමත් එළිවෙන තුරු පෙරළෙන්නේ නැතුව එක ඉරියව්වෙන්ම.
ඉතිං එදා මම ඔය කියන කතාව වුනු දවසෙත් ඔයා මගෙ ඇඟට තුරුල් වෙලා නිදා ගත්තා.
එදා ටිකක රස්නෙ වැඩි නිසා මම ඔයාව මගේ ඇඟට හේත්තු කර ගත්තේ නෑ.
මටත් නින්ද ගියා.
ඔයාගෙ අම්මටත් නින්ද ගිහින්.
මට එකවරම රෑ ඇහැරුණා.
අනේ ඔයා නෑ.
මම ඔයාගෙ අම්මාට කතා කලා.
"දරුවා නෑ!"
ඔයා මේ  කියනදේ විශ්වාස කරණ්න.
අම්මයි මමයි පොලොව අතගගා "අනේ කෝ දරුවා" කිය කියා කරුවලේ හොයනවා අඬ අඬා!
එහෙම විනාඩි 5 ක් විතර හොයන කොටයි අපිට කාමරේ ලයිට් දාන්න මතක් උනේ.
ඒ දාලා බලන කොට ඔයා රෝල් වෙලා ගිහින් එතන තිබුනු මහන මැෂිමක්ද මොකක්ද එකක් යටට!

ටික දවසක් ආච්චිලගෙ ගෙදර ඉඳලා අපි තුන් දෙනා කඩවත ගෙදරට ආවා.

කඩවත ගෙදර ඒකාලෙ බිමට සවි කරලා තිබුනේ ටෙරා කොටා බිම් ගඩොල්.
ඒ බිම හරිම සිසිල්.
ඔයා ඒකෙ රෙද්දක් එළලා තිබ්බාම හොඳට නිදාගත්තා.

ඔයාට පලතුරු දෙන්න පටන් ගත්තු කාලෙම අපෙ ගෙයි ජනේලෙ ලඟ ගස් ලබු ගහක් හැදුනා ඒකෙ ගෙඩි වල ඇතුල රතුම රතුයි.
දොස්තරලා ඔයාට දෙන්න කිව්වේ මේස හැන්දෙන් දෙකක්ද කොහෙද.
ඔයා අඬු කෝප්ප භාගයක් ගේමක් නැතිව ඒකාලෙ බිව්වා.
මදි උනොත් බඩ උඩ දදා ඈඟිරි ගානවා.

ගෙදරට එන කොට ඔයාව බලාගන්න වෙන කවුරුත් නෑ.
ඒකාලෙ මම එක රස්සාවකින් අස්වෙලා තවත් තැනක් බලමින් උන්නු කාලෙ.
අම්මාට රස්සාවට යන්න විදියක් නෑ ඔයාව දාලා.
මම තමයි ඔයාගෙ කෑම බොහෝ දුරට හැදුවේ. මුං ඇට, හාල් මැස්සො, පීකුදු, මාමයිට්, බටර්, ගොටුකොල ඔය වගේ රටේ නැති පෝෂ්‍ය පදාරථයන් ගෙන් යුක්ත් පල්පයක් තමයි මම ඔයාට කැව්වේ.
ඔයාට කියන්න අර "ජීවයේ ආරම්භය" සිදු වුනා කියන සුපයටත් වඩා ගුණ වත් පල්පයක් තමයි ඒක!

කාලයත් එක්ක ඔයා දණ ගාන්න පටන් ගත්තා.
බිම දිගේ විතරක් නොවෙයි පඩි පෙළවල් වල පවා.
ඔයා පඩිය දිගේ ඉහළට දණ ගාලා පහලට එන හැටි බලන්න ලස්සනයි.
ඔයා එන්නේ පස්සෙන් පස්සට.
එක කකුලක් පහලට දාලා ඒක පල්ලෙහා පඩියේ ගෑවෙනවානම් විතරයි ඔයා පස්සට ආවේ.
කොහෙන් ඉගෙන ගත්තු දෙයක්ද මන්දා.


ඔයාට බත් කවන කාලෙ මම ඔයාට කථාන්දරයක් කියල දෙමින් තමයි කවන්නේ.
එහෙම කියන කථා අතුරිණ් ප්‍රසිද්ධම කථාව තමයි "විලියම් ටේල්" ගේ කථාව.
අර දක්ෂ දුනු වායෙක් වුනු විලියම් ටේල්ට රජ අණින් තමාගෙ එකම දරුවාගේ හිස මත තබන ලද ඇපල් ගෙඩියකට විදින්න වෙන්නේ.
ඒක තමයි කථාව.
ඉතින් මම කථාව කවන ගමන් කියව ගෙන ගිහින් "තාත්තා පුංචි දරුවාගේ හිස මත තැබුණු ඇපල් ගෙඩියට දුණු දිය ඇදලා ඊ තලය ඉලක්ක කරණ" අවස්ථාවට වෙන තැනට කථාව එන කොටත් ඔයා බත් එකෙන් භාගයක් වත් කාලා නෑ.
ඉතින් මම "දුන්න ඇදලා ඇදලා  . . .ඇදලා ඇදලා . . . . බලන කොට එයාට තමන්ගේ පුතාව පේනෙනවා. එයා කොහොමද දරුවාගේ මූන බලලා විදින්නේ. පොඩ්ඩක් එහේ මෙහේ වුනොත් තමා අතින් තමන්ගේම පුතාව පුතාට මොනවහරි කරදරයක් වෙයි කියලා මතක් උනාම එයා දුන්න පල්ලෙහාට දානවා!" කියලා තවත් එක හබුං කටක් ඔයාට කවනවා.
ආයෙත් "දුන්න අරණ් ඇදලා ඇදලා . . . . " කියලා තවත් කටක් කවයි.
ඔයා "අනේ ඉතිං කියන්නකෝ ඉක්මනට මොකද වුනේ කියලා  . .!" කියමින් ඇවිටිලි කරයි.
ඒත් අන්තිම කටත් කා අවසන් වනතුරු ඊතලය; දුනු දිය මත; මා සම්ම්‍යක් ප්‍රයෝගයක් ලෙස පමා කරයි!
ඒ මොනවා උනත් ඔයා හැම දාකම ඒ කථාව අහන්න ආස වුනා!
අනේ මන්දා!
මට තාමත් හිතා ගන්න බෑ ඒ ඇයි කියලා!?

තවත් කොටසක් ඉදිරියේ . . . . . . . . !

37 comments:

  1. මචන් වසික උඹ මම ආශ්‍රය කරපු යාලුවන්ගෙන් ඉන්න අමුතුම එකෙක්.ඒක නිසාම වෙන්න ඇති උඹ අද මගෙ දුකට සැපට ඉන්න එකම යාලුවා වෙලා ඉන්නෙ. ඉතින් මන් කල්පනා කලේ උඹ එහෙම අමුතු වෙන එකේ පුදුමයක් නැහැ මොකද උඹව හදල තියෙන්නෙ අමුතු තාත්තෙක්. මන් ඒක කියන්නේ මගේ තාත්තට අගව්රවයක් වෙන ව්දියකට නෙමෙයි. මගේ තාත්තත් මන් වෙනුවෙන් අප්‍රමාණ කැපවීම් කරල තියනවා බහුතරයක් තාත්තල වගේම. නමුත් මට මේ වගෙ Strong Bond එකක් මගෙ තාත්ත එක්ක තිබ්බෙ නැහැ.ඕන දෙයක් බය නැතුව කතා කරල විස්දුමක් ගන්න පුලුවන් විදියෙ සම්බන්ධයක් තිබ්බෙ නැහැ.මේක කියවද්දි මගෙ ඇස් දෙකට කදුලු ආවා. අන්කල් ඉස්සරහට ලියන ඒවට මමත් මුගෙ දන්න දේවල් වලින් හවුල් වෙන්නම් 😂😂

    ReplyDelete
    Replies
    1. කවදත් උඹලා සියළු දෙනාම මගේ දරුවන් තමයි බං!
      මම එහෙම; ඕනෑම දරුවෙකු මගේ දරුවෙකු ලෙස සිතන්නට උගෙන ගත් හැටි මේ ලිපි පෙලේ ඉදිරියේ ලියන්නම්.

      Delete
    2. අනිවාරෙන් අන්කල්. අන්කල් මට කරල තියන උදව් උපකාල බොහොයි.වචනයකින් හරි

      Delete
  2. මේ අර වාසිතය බ්ලොගෙක ලියන මිතිල දියෝනිස් ප්‍රනාන්දු සිසුවා ගැනද ලියලා තියෙන්නේ? ඒ ඔබතුමාගේ පුතෙක් ලියලා අදයි දන්නේ. මිතිල නං ඇත්තටම දක්ෂ දරුවෙක්. පුවත්පත් වලට ඔහු ලියනා ලිපි බොහොමයක් මා කියවා තිබෙනවා. ඔබ ආඩම්බර විය යුතුය එවැනි දරුවෙක් සිටීම ගැන ඔබට.

    ReplyDelete
    Replies
    1. අනේ ඔබ තුමාට එකසිය ගානට වැරදිලා! මගේ පුතා ඒතරම් දක්ෂයෙක් නොවේ. ඒත් උණහපුළුවාට උගේ පැටියා මණිකක් කියනවානේ!? ඩියෝන් මිථිලගේ පියා සෑහෙන්න ආඩම්බර වනවා ඇති ඔබ කියා ඇති පරිදිම.

      Delete
    2. @ඇනෝ ස්තූතියි හොඳේ මම ලියන ඒවා කියවනවට...

      @තට්ටේ

      ආඩම්බර වෙනවද කියලනන් මම දන්නෑ.. මොකද වැඩිපුර වචන වලින් දේවල් එලියට දාන කෙනෙක් නෙමේ...මම ලියන ඒවා ගැනත් ලොකුවට අදහස් කියන්නෙ නෑ.. කියන්නෙම නැති තරන්.. හැබැයි මගෙ ආටිකල් එකක් පත්තරේක ගිය පලවෙනි දවසේ ඒ පත්තර පහකුත් අරන් ගමටම කෝල් කරල කියලා පත්තරේ අරගන්න අද අපෙ කොල්ලගෙ ආටිකල් එකක් තියෙනව කියල...

      Delete
    3. මිතිල ශිෂ්‍යාගේ පොස්ට් වලට දාන කොමෙන්ට් අයින් කරනවනි බොරු කුණුහරුප නම් වලින් පොත් දානවා කියලා. ඒක තමයි දුර්වල කම.

      Delete
  3. Replies
    1. දවසක පෙන්වන්නම්! ස්තූතියි ගොඩ වැදුනාට!

      Delete
  4. මං නොලද මගේ පුතුට ලබා දිය යුතුදේ මේ හරහා ඉගෙනීමට ලැබිමම භාග්‍යයක්..
    නැත්නම් මේ ප්‍රථම වසන්තයේම ඉදියි...
    ඊලග කොටස තවත් රසවත් වේවි..
    පිය පුතු දෙපලටම දිර්ඝායු...❤️❤️

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි උඹ දරුවාව "මේ ප්‍රථම වසන්තයයි . . ." කියලා නළවනවා කිව්වාම අපේ ගෙදර වුන්ට මැරෙණ්න හිනා!
      නෑ මා දන්නා හා දැනෙනා පරිදි ඔබත් හොඳ තාත්තා කෙනෙක්!

      Delete
  5. කොටන්න වචන එන්නේ නෑ. හමුවුන දවසක කතා කරමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබත් සෙනෙහෙබර පියෙක් නොවැ!?

      Delete
  6. ඔබ මානවහිතවාදී යහපත් කෙනෙක්. බ්ලොගයකින් ඔබේ අදහස් මෙසේ බෙදා ගැනීම ගැන ස්තූතියි. අපේ රටේ තාත්තලට තිබිය යුතු පෞරැෂය යැයි කියා කියන අසන්වේදී stereotype එක වෙනුවට මෙම සන්වේදී භාවය මොනතරම් හොඳද. මගේ මිතුරියකගේ පියා වූ පෙරේදා සමුගත් තිස්ස විජේසුරේඳ්‍ර මහතාත් එවැනි යහපත් කෙනෙක්. ඔබලා වැනි හිත හොඳ, ජීවිතය විඳින මිනිසුන් දැකීමත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබගේ අගය කිරීමට! තිස්ස විජේසුරෙන්ද්‍රයාණන් හා මා එකම පාසලක! දිගටම කියවන්න එන්න!

      Delete
  7. මේකනන් දැනුනා...මට මහ වයසකුත් නෑ...මගෙ හැම අමාරු කාලෙකම මගෙ තාත්තත් මාත් එක්ක හිටියා... "උඹට ඕන දෙයක් මාත් එක්ක කියන්න පුලුවන්, මම ඉන්නවා උඹ එක්ක" කියල කියන්නෙ...ඒ බැඳිම හරිම වටිනවා..පුතෙක්ගෙ පැත්තෙන් හිතනකොට මම හිතනවා ඔයා වගේ තාත්තා කෙනෙක් ලබන්න ඔයාගෙ පුතා වාසනාවන්තයි කියල...

    ReplyDelete
    Replies
    1. ඔයා මල්ලි මීට කලිනුත් ඔයාගේ තාත්තා ගැන ලියලා තියෙනවා! මගේ කොල්ලා වගේම ඔබත් වාසනාවන්තයි ඔබ පවසා ඇතිදේවල් එක්ක බැලුවාම. හැම දෙමව්පියෙක්ම දරුවන් දෙස බලන්නේ එකම කරුණාවකින් ! නමුත් එක් එක් අය ගේ හැටියට ඒවා යම් යම් පමණකින් එහා මෙහා වෙනවා කියලයි මට හිතෙන්නේ නම්. කොහොම උනත් බොහොමත්ම ස්තූතියි ඔබ ගොඩ වැදුනාට!

      Delete
  8. උස් මහත් උනාට තාමත් වසිත කිව්වම මුලින්ම මතක් වෙන්නේ පඩිය දිගේ ඉහළට දණ ගාලා පහලට එන හැටි නේද .
    සෑර්ට කියන්ඩ මගේ කොල්ලා... ඌ පුංචිම කාලෙ උදේ නැගිට්ටම මම නැතත් කාර් එක පේන්ඩ තියෙන්න ඕනේ.
    තාත්තල පුතාල හැමෝටම ජයවේවා!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර්! සත්තකින්ම මතක තියෙන්නේ ඒ ළමා කාලෙ උංගේ ගති පැවතුම් තමයි. දරුවො කියන්නේ අපේ ජීවිතේ මතක පොත! තාත්තලා පුතාලා දූලා සියල්ලන්ටම ජයවේවා! ඉක්මණින් දකින්නට ලැබේවා!

      Delete
  9. Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete
  10. සේරම කියෙව්වෙමි වෙනදා වගෙම ඉතින්
    නොලියමි හැඟුම්- නිදන් වෙලා තිබුණාදෙන්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි මහත්තයා ගොඩ වැදිලා වචනයක් දෙකක් කථා කලාට! අපි ඔක්කොම තාත්තලා නොවැ!

      Delete
  11. ලස්සනයි මල්ලි. මගේ ඩුවල් දෙන්නටම මම බ්ලොග් පොස්ට් දෙකක් දාල තියනව. උන් දෙන්නම් ඒවා බලල තියෙන්නේ. මේවගේ එකක්නම් ලිව්වේ නැහැ. ඒත් උන් දෙන්නට මම පොඩි කාලේ කියල දුන්න කතා මතකයි. එකියකට දැන් 18 අනික 16. ඒත් දෙන්නම හිටපු ගමන් කියනවා. ඩෑඩ් අර ඇන්ඩ්‍රුව් ගේ කතාව කියන්න කියල. උන්ට අන්දරේ ගේ නම මතක එහෙම. "අන්දරේ සීනි කාපු හැටි "

    ReplyDelete
    Replies
    1. හරිම සුන්දරයි අජිත් අයියේ! කාගේත් දරුවො ළමයි! ඒ පොඩි කාලෙදි විතරක් නොවෙයි හැම කලකම! ඒ හැමෝටම නොවෙයි. දෙමව්පියන්ට! ස්තූතියි බොහොමත්ම!

      Delete
  12. මචං මල්ලි,
    මට උඹ ගැන ඉරිසියයි. අම්බානක් ඉරිසියයි. ඒ මොකටවත් නෙවෙයි. උඹට ඉන්න තාත්තා හින්දා. ඔයිං සීයට එකක් හොඳ ගති තියෙන තාත්තෙක් මට හිටියා නං කියල හිතෙනවා. මං මේ සීරීස් එක මින් ඉස්සරහට කියවන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා අහල නැද්ද සුරංග කියමනක්. මේ ලෝකයේ කැත ගහැනුන් නැත. ඇත්තේ ලස්සන වන්නට නොදන්නා ගැහැනුන් පමණි කියලා කියමනක්. ආන්න ඒ විදියට නරක තාත්තලා නොවෙයි ඉන්නේ! තාත්තලාගේ හැඟීම් තෝරා බේරා ගන්න බැරි දරුවන්. මොනවා උනත් ස්තූතියි ඔබට!

      Delete
  13. ආදරණිය පියකු ගේ තම පුතුට ....

    ලියවිල්ලක් ජීවිතේ කොච්චර ලස්සණ කරනවාද . සමහර ලියවිලි ජීවිතේ ජීවත් කරන්න උදව් වෙනවා . ඒවගේ ලිපි බ්ලොග් ලෝකයේ හැරීම අල්පයි .

    අමුවෙන් ලියන වචන හරිම ආදරණීය යි .

    ඔබගේ වචන මගේ දෑස් කදුළෙන් තෙත් කරන්නට තරම් බලවත් උනා .

    අයියේ ....... ඔබට බොහොම ස්තුතී .....

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඔබත් ඔබේ පියා ගැන වීරාභිවාදනයෙන් යුතුව ලියපුවා මොනතරම් හැඟීම්බරද? ඒවාට මමත් ඒකාලේ බර සාර කොමෙන්ටුවක් ලීවා මතකයි. තාත්තලගේ ආදරය කොන්දොස්තරගේ ඉතුරු රුපියල වාගේ කියනවානේ. දෙන්නම දන්නවා. ඒත් ඒ ගැන කතා කරණ්නේ නෑ! බොහොමත්ම ස්තූතියි ගොඩ වැදුනාට!

      Delete
  14. Nice, valuable new idea, thought of doing something like this for my 2 sons as well. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි විජේ බාහු මහත්තයා!

      Delete
  15. වසිකයා උඹ පට්ට ලකී හොදේ

    ReplyDelete
    Replies
    1. අනේ ඒකනේ! අපේ කොල්ලා කියනවා ඉතිරිටික ලියා ඌට එවන්නලු බ්ලොග් එකේ නොදා!

      Delete
    2. ඒක වෙන්න පුලුවන් සමහර විට මම වසික උනානම් මාත් ඕකම කියයි

      Delete
  16. පුතෙක් ඉන්න තාත්තා කෙනෙකුට හොදට දැනෙනවා

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...