Monday, February 24, 2020

162. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving III



 දිනය 2019 මාර්තු 30 වන දිනයි. මාගේ මතකය නිවැරදිනම් එදින සෙනසුරාදාවකි. 
පෙරදින කතා කරගත් පරිද්දෙන් තෙශා උදේ 6.10 ට පමණ පැමිණියේ සුපුරුදු උණෙනි. 
අප උදේ 7.00 වන විට මීගමුවට යා යුතුව ඇත.

 අප කිමිදුම් ශිල්පය හෙවත් Diving ඉගෙන ගැනීමට යා යුතු වන්නේ මීගමුවේ හෝටල් පාරේ Sri Lanka Diving Tours ආයතනය වෙතටය.

මා ජීවිතයේ මින් පෙර කිහිප වතාවක් කිමිදී ඇත්තෙමි. ඉන් එක් වරක් නැතහොත් ප්‍රථම වතාවට කිමිදුනේ මාගේ පළමු කිමිදුම් ගුරු වන ශානක රාජකරුණා සමගය.
ඒ මීට වසර 15 කට පමන පෙර කල්පිටියේදීය. අප කල්පිටිය තෙක් ගියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම පජේරෝව ලෙස බෞතීස්ම ලැබු; එවකට යුනයිටඩ් මෝටර්ස් ආයතනය සතුවූ 32ශ්‍රී0555 දරණ රථයේය. අප පවුල් දෙකෙහි පුතුන් කූට්ටම හා දූවරු කූට්ටම සමග අපි අට දෙනෙකු ගමනට සහභාගී විය. 

අප නවාතැන් ගත්තේ මාගේ පාසල් මිතුරකුවූ උපනන්ද සේවය කල නාරා ආයතනයට අයත්ව තිබුණු වෙරළ ආසන්නයේ වූ බංගලාවකය. 

අප එහි ළඟාවී ටික වේලාවකින් බෝට්ටුවක් කුලියට ගැනීමට ශානක සමත් විය. එම බෝට්ටුවෙන් වෙරළේ සිට කිලෝමීටර 35 ක් දුරිණ් පිහිටි  කොරළ් පරයක් වෙතට ළඟා වී ඒ වටා  ස්නෝක්ලින් කිරීමේ යෙදුනෙමු. ප්‍රථම වතාවට මා ෆින්ස් දැමූවේ එදාය. 

"මචං ෆින්ස් දාලා වෙරළේ ඇවිදිනවිට පස්සෙන් පස්සටයි යන්න ඕන! නැත්නම් වැටෙනවා !!" මා වරල් සමග සුපුරුදු ලෙස ගමන් ගැනීමට සූදානම් වූ විටෙක ඔහු කීවේය.

සාමාන්‍යයෙන් වරල් පැළඳ වැල්ලේ හෙවත් වෙරළේ ඇවිද යන්නට හේතුවක් නොමැත.

 Diving Site එකට හෙවත් කිමිදුම් ඉසව්වට බෝට්ටුවකින් ගමන් ගත් අයෙකු වරල්  පමනක් නොව වායු ටැංකි, BCD, ගොගල්ස් නැතහොත් මාස්ක් ආදී එකී මෙකී නොකී සියල්ල සිරුරට අමුනා ගන්නේ බෝට්ටුවේ සිටයි. එසේම කිමිදීමෙන් පසු කිමිදුම්කරු නැවත ගොඩ වදින්නේද පෙරකී බෝට්ටුවටමය. 

කිමිදුම්කරු බෝට්ටුවට පැමිණි විගස කරණ්නේ සියළුම ආම්පන්න වලින් නිදහස් වීමය. බෝට්ටුව තුලදී ඉනවටා පළඳින බර පටිය ගලවා බෝට්ටුව තුලට ලබා දෙන්නේ දිය මතුපිටට පැමිණි විගසමය.

ඒ කෙසේ වෙතත් කිපිදුම් වරල් හෙවත් ෆින්ස්  පැළඳ; මුහුදු වෙරළේ නම් ඉදිරියට ගමනක් නැත්තේමය. යනවා නම් ඒ පසුපසටමය! 

එදින අප වායු ටැංකි; කිමිදුමට ඇඳා නොගත්තෙමු. කොටින්ම එය SCUBA Diving එකක් නොවීය.

පසු කලෙක ත්‍රිකුණාමළයේ පරෙවි දූපත අසලද කිමිදී තිබුනි. 

මා ප්‍රථම වතාවට BCDයක් ඇඟලන්නේ; වායු ටැංකියක් පිටෙහි බැඳගන්නේ; ඔක්ටෝපසයක සෙකන්ඩ් ස්ටේජයක් තුලින් හුස්ම ගන්නේ ත්‍රීකුණාමළයේ නිලාවැළී හී දීය. ඒ තනිව නොව වසිකද සමගිනි.

ඒ; ඩයිවින්ග් සෙන්ටර් එකක සිටි සුපිරි ගනයේ ඩයිවින්ග් මාස්ටර් කෙනෙකු සමගය. එදින අප තිදෙන අඩි 25 ක පමණ ගැඹුරක කිමිදුනෙමු. එහිදී මාහට අමතක නොවන සිද්ධියක් සිදුවුණි. 

 මා දිය යට සිටි සෑම මොහොතකම මාගේ ආදරණීය පුතු වසික කොහිදැයි විමසිල්ලෙන් විය. මද වේලාවක් කිමිදීමෙන් පසු මා ගේ දෘෂ්ඨියෙන් හේ අතුරුදහන්වී සිටියේය.

 BDCය ඇඳ වායු ටැංකි පිටේ එල්ලාගෙන; සිලින්ඩරවලට සවි කෙරුණු රෙගියුලේටරයේ සිට ඇදුණු බට හතරක් ඇඟ වටේ ඔතාගත් පසු බෙල්ල; සාමාන්‍ය පරිදි එමේ අත; පොට යනතෙක් කරකැවීමට නොහැක.

මුහුණ වටා පැළඳි මාස්කයෙන්ද දැකීම සීමා කොට තිබුණි.

මම ඉදිරිය බලුවෙමි. වසික නොපෙනේ. වම් පසද දකුණු පසද බැලුවෙමි. ඔහු නැත. ඒවන විට අප සිටියේ අඩි 20ක පමන ගැඹුරකය. තවත් පහලින් මුහුදු පතුල පෙනේ. 

පතුල බැලුවෙමි - ඔහු මුහුදු පතුලට ගිලී ගොස් ද ? පෙනෙන්නට නොමැත. මා අසල ඩවින්ග් මාස්ටර් හෙවත් මග පෙන්වන්නා සිටී. ඔහුගෙන් මා කුමක් අසන්නද? කෙසේ අසන්නද?

කිමිදීමේදී අදහස් හුවමාරු කරගන්නා සංඛේත කිහිපයකි. ඒ සියල්ල හස්ත මුද්‍රාවෙනි. ඒවා ජාත්‍යන්තර සංඛේතයන්ය. එම නිසා ඒවා ත්‍රිකුණාමළයට පමණක් නොව මීගමුවටද එකසේ සාධාරනය.

 ඉංදියන් සයුරට පමනක් නොව පැසිපික් සයුරට මරියානා ආගාධයට පවා ගැලපේ.


මෙහි කොතැනකවත් "මගේ පුතා කොහිද?" කියා තබා "මා එක්ක කිමිදුනු අනෙක් එකා කෝ?" කියලාවත් අසන්න ක්‍රමවේදයක් නොමැත.


මගේ කටේ කෙල සිඳිලාය.

 එදින මේ කරන කිමිදීම සම්බන්ධයෙන් මා සමග සිටි නෑ දෑ සමූහයාගෙන් එකෙකුවත් කැමැත්තක් පල නොකලේය.

 මාගේ "අතිබිහිසුණු කොණ්ඩා මෝස්තර" පිළිබඳව කිසියම් නිවැරදි වැටහීමකින් සිටි මාගේ පවුලේ උදවිය පමනක් දත කට පියාගෙන "කිව්වා නාහන ගුරු අභ්‍යවකාශ ගත උනත් එකයි! මහ මුහුදේ කිමිදුනත් එකයි!!" කියා සිතමින් මුවින් නොබැන සිටියෝය. 
එයිනුත් වසිකයා හෙවත් මාගේ ඕනෑම මැර ක්‍රියාවකදීම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සහභාගී වන සගයා මා සමග කිමිදීමට එකඟ විය. 

සෙසු සාමාජිකයින් දෙදෙනා මහ මුහුද මැද නැංගූරම් ලා තිබුනු බෝට්ටුවේය. බෝට්ටුව තිබුනේ වෙරළෙන් කිලෝමීටර 12 ක් ඔබ්බෙනි. මාගේ හිතුවක්කාරකම හා බැඳුනු දරුවාව සොය මින් මම මෙම බෝට්ටුව අසල මුහුදේ අඩි 20 ක් පමනගැඹුරේය.

මා නැවතත් වමත් දකුණත් පහලත් විපරම් කොට අවසානයේදී මහත් වැර වෑයමෙන් යුතුව ඉහල බැලීමි. දෙයියනේ වසිකයා; හරියටම මට ඉහලින්ය!

එදින මා ඉගෙන ගත් පාඩම් අතර තමාට සුදුසු හෙවත් තම මුනට ගැලපෙන මාස්කයක් තෝරා ගන්නා හැටි හා තවත් කුඩා අභ්‍යාස කිහිපයක් විය.


මාස්කය මුහුනට තබා; පිටුපස පටිය නොදමා; යන්තමින් ඉහලට හුස්මක් ගෙන නවතා ගත් පමණින් එය මුහුණට බද්ධව සිරවිය යුතුය. මන්ද පොල්බෑමූණාට හරියන්නට නිපදවූ මාස්කය ඉඳිකටු පැංචාට නොගැලපෙන නිසා ඔවුන් තම තමන්ගේ මුහුණට ගැලපෙන එක මෙසේ සොයා ගත යුතුය.

මේ සියල්ල සිදුවී වසර ගනනාවකි. සිංහල අපගේ මතකය ගැන නිවැරදි ප්‍රකාශනය කලේ ප්‍රභාකරණ් යයි කියනු ලැබේ. ඉතින්  වසර ගනනාවකට පෙර උගත් දේ ගැන කවරනම් කතාද?

මමත් තෙශාන්තත් පිම්මේය. ඔහුගේ Toyota LN 107  252-6565 4WD Double Cab රථය වයසට නොගැලපෙන වේගයක් අරාගෙන ඉගිලෙයි.

"මචං! උඹ උදෙට කෑවාද?" මා කට හඬ අවදි කලෙමි.

"පිස්සුද බං! වයිෆ්ට සහලෝල උන ! පොඩි එවුන් දෙන්නාත් අවුල්. අද මේ මගුලට ආවට ගෑනි මලේ ඉන්නේ. මොනවා කන්නද බං!? තව පොඩ්ඩෙන් ගෑනි  උදේ කෑමට මාව කනවා!"

"අම්මට සිරි! එහෙනං මීගමුවෙන් මොනවා හරි බඩ පැලෙන්න කාලා යං! උන් අපිට කන්න දෙන එකක් නෑනෙ . . . !? මම පොඩි යෝජනාවක් දැම්මේ බොක්කුවක් උඩින් පියාඹමින් සිටිනා විටදීය.

"යකො! ලයිට් ඩයට් එකක් දාන්න කිව්වේ . . .!"

"හරි එහෙනං හාඩ් වෙයාර් එකක් ගාවින් නවත්තහං! CFL දෙකක් ගමු යන ගමන් කන්න . . !"

මීගමුවට අප ගියේ මිනුවන්ගොඩින් කටුනායක හරහා  ගොස්ය. අපි ගිය යෑමට මීගමුව නගරය විනාඩි 5 කින් 10 කින් පහු කර දැමීය. අප හැරිය යුත්තේ හෝටල් පාරටය. 

එවිටම වාගේ තෙශාගේ දූරකථනය නාද විය!

"හරි මිසිස් ෆර්නෑන්ඩො! අපි ඉන්නේ මීගමුවේ. මේ හෝටල් පාරට හැරෙණ ගමන් !"

"කෝ බං හෝටල් පාර . . . ?"

"උඹ කට වහගෙන ඉඳිංකො . . ! මේ මාමෙ; හෝටල් පාර කොයි හරියෙද? අපිට පොඩි දෙයක් කන්නත් ඕනෙ!" තෙශාන්ත පාර අයිනේ හිටිය තළතුනා අයෙකුගෙන් විමසීය. (හරි හරි අපිත් තළතුනා තමයි! කවුද නෑ කිව්වේ!)

"මාත්තයලා හෝටල් පාර පහුකරලා හැතැප්ම දෙකක් විතර ඇවිල්ලානෙ. ආයෙ හරෝගෙන කොලොම් පැත්තට යන්න.".

මාමාට කථාව කියා පුල්ස්ටොප් එක තියන්නත් කලින් මහ පාර මැද තෙශාන්ත ඉංග්‍රීසි කැපිටල් යූ අකුරේ හැඩේට වාහනය නැව්වේය.

"හෝටල් පාරෙ කන්න තැන් එමට . . !" දූවිලි අස්සෙන් මාමා කෑගෑවේය.

"මගුලක් කියනවා!"

අපි ආපසු හැරී එනාතුර තිබූ තරු පහේ තෝසෙ කඩේකින් බිත්තර තෝසේ සමග වඩේ කා හෝටල් පාරට පැමිණියෙමු.

තවත් විනාඩි ගනනක් යන විට අප Sri Lanka Diving Tours අභියස විය!




මං එන තුරු ඉඳිකඩ ළඟ- ඉන්නවා . .වා . .වා . .වා . .ද . . හම්මේ . . ?




මැරෙන්නට ඇති ආසාව . . !

අප එන තුරු ප්‍රනාන්දු මහත්මිය දොර කඩ ලඟය!  ඉන්පසු ඇය අපට ඩයිවින්ග් ගැන  කුමාරෝදය කියවීම පටන් ගති.

මම ඉස්කෝලේ දෙකේ තුනේ පන්තියේ සිට බස් එළවපු අයෙකි. ඒ එකල බස් රථවල රියැදුරු අසුනට පිටුපස හරහට සවිකල පොල්ලේ සිටය.  
වැඩිදුර පුහුණුව ලැබූවේ ගෙදරට සීනි තේ කොල ගෙනෙන්නට කඩේ යන ගමන්ය. එය මගේ පමනක් නොව කොල්ලන්ගේ සිරිතය.  
මනෝමයෙන් වසර ගනනාවක් බස් එළවපු මා තාත්වික ලෝකයේ වාහන එලෙව්වේ ඊට බොහෝ කලකට පසුවය!

ඩයිවින්ග් ද එසේමය. මා ඊට පෙර වසර ගනනාවක් ගං දියේ; දියවන්තෙක් සිට පසුව තෙවතාවක් මුහුදේ කිමිදී ඊටත් වඩා ඒ පිළිබඳව සොයාගත් පොත පත, වීඩියෝ පරිශීලණය කොට කුමාරෝදය කට පාඩම් විය.


තෙල බෙදමින් . . . 
(ෆෝන් එකට යටවී ඇත්තේ; අත්තිකාරම වශයෙන් ගෙවූ; දුක් මහන්සියෙන් උපයා සපයා ගත් ගෙඩි රුපියල් පනස් දහසය!)


කිමිදෙන්නත් ඕනෑ - හැබැයි මලාට වග නෑ . . !


ඉන් පසුව සිදුවූයේ අපගේ පෝරම කොල , ප්‍රකාශන, ආදිය පුරවා අවසන් කිරීමය. පෝරම කොල පුරවද්දීම වීඩියෝවක් දිවුනි. සියලු සැණකෙළි අවසන් ය!

"Good Morning! I'm Felician Fernando ! Are you ready? Shall we start?"

එතෙක් කුරුල්ලන්සේ සිටි කාලය අවසන් කරමින් Sri Lanka Diving Tours හි ප්‍රධාන උපදේශක ෆිලීශියන් ජේ ෆර්නැන්ඩු එතැනට කඩාපාත් විය.

එතැනින් ගබඩා කාමරයකට ගිය අප  කිමිදුම් මාස්කය, රෙගියුලේටරය, BCD ය වායු ටැංකිය පිළිඹඳව ප්‍රායෝගිකව උගත්තෙමු. කිමිදුම් ඇඳුම් වලින්  හැඩ උනෙමු.  BCD යක් ඇඳ ගත්තෙමු. වායු ටැංකියක් ද එල්ලා ගෙන තවත්  මොහොතකින්  අප ඔහුත් සමග ඉහල මාලයේ පිහිටි යෝධ වතුර ටැංකියක් අභියස විය.

ආතල් ඉවරයි -  හ්ම්! යමු යමු ඇති දැන් විහිළු කලා . . !

Monday, February 10, 2020

161. Teepee the Camp Site

Teepee කියන්නේ රතු ඉන්දියානුවන්ගෙ පාරම්පරික කූඩාරම.
 අපි ඒ නම ගත්තේ "සියැටෙල්"ව මතක් වෙන්න.

වෙනදා වාගේ එකසිය ගානට ලියන්නේ නැත්තේ කියලා දන්නා කියන උදවිය හැම වෙලාවකම අහනවා.

ඇත්තටම එකසිය ගානට මම බිසී වෙලා. ඒ ඇයිද දන්නවාද?

මමත් මගේ  මිත්‍රයා පසිඳුත් අපෙ Teepee the Camp Site එක අළුතෙන් නවීකරණයන් එක්ක පටන් ගන්නට මේ දවස් ටිකේ තදේට වෙහෙසෙනවා.

මේ වගේ සදා හරිත තුරු වදුලක් ඒක  . . 

වන මල් ගැවසි ගත් . . . 

 තවත් බොහෝ අය ජීවත්වන . . . !

අපේ කඳවුරු බිම තියෙන්නේ කොළඹ හැටන් මහ පාර අයිනෙමයි. 
මේ පාර අවිස්සාවේල්ලේ සිට නුවර එළිය දක්වා නම් කර තියෙන්නේ A7 මාර්ගය ලෙස. මේ පාරෙ 25 හා 26 කිලෝමීටර කණු අතර තියෙනවා පුංචි ගමක් හක්බෙල්ලවක කියලා. 
මේ ගමේ උප තැපැල් කන්තෝරුවට අල්ලපු ඉඩමෙ තමයි අපේ කඳවුරු බිම තියෙන්නේ.




මේ කඳවුරු බිම අනිත් පැත්තෙන් මායිම් වෙලා තියෙන්නේ මනස්කාන්ත කැළණි ගඟට. එතන ගැඹුරු නෑ. පරිස්සමෙන් නාන්න එහෙම පුළුවන්. 
කොහොමටත් මා ජීවිතාරක්ෂකයෙකු නිසාම; සැමගේ ආරක්ෂාව වෙනුවෙන් දියට බසින හැමට අඳින්න ජීවිතාරක්ෂක කබා ලැහැස්ති කරලයි තියෙන්නේ.




කඳවුරු බිමේ 10-12 ක වගේ පිරිසකට කඳවුරු පහසුකම් සලසන්නට පුළුවන්. ඒ Four Man ටෙන්ට්ස් තුනක ආධාරයෙන්. 
මේ කෑම්ප් බෙඩ් එක එහෙම නැත්නම් ටෙන්ට් ගැසීමට සූදානම් කල ගෙපල හදලා තියෙන්නෙත් ගඟට මුහුණලාම  මයි. ඒවගේම ගඟ අයිනෙ රෑට පොඩි ගිණි මැලයකුත් ලෑස්තිකරණවා.



තව ගඟේ අසිරිය නරඹමින් ගීතයක් මුමුනන්න, මීවිතක් තොල ගාන්න, සුන්දර කථාබහක යෙදෙන්න වැනි දේ සඳහාම සකස් සකස් කල 20"x 20" Club House එකක්  තියෙනවා. 
ඇත්තටම එතන හරිම ලස්සන තැනක්.

අසේලයි ඉමාෂියි ක්ලබ් හවුස් එකෙන් භාගෙකුයි . . !


BBQ Grill එක තියෙන්නෙත් එතනමයි.

හවසක ආවාම රාත්‍රිය ගත කරලා පහුවෙනිදා උදේම  මොනවා හරි බඩට දාගෙන අපිට යන්න පුළුවන් හවරියන් ගල පාමුලට. 

ඒ කිලෝමීටර 3 එක්කගෙන යන්නේ අපේ ලොරි පොඩ්ඩා. 

අපේ මිත්‍ර පසිඳු  එතන ඉඳන් පැය 4-5ක Hike එකක් එක්කගෙන යනවා. 
ඔහු ලංකාවෙ දැනට ඉන්න අංක එකේ මග පෙන්වන්නෙක්! ඔහු ඔබට පෙන්නාවි කුරුල්ලන් 25 ක් වත්.

දේශීය ආවේණික කුරුල්ලනුත් දැකිය හැකියි.
  
ඔබ දූර දක්නයක් ගෙනාවොත් මේ ගමන අමරණීය මතකයක් වේවි. අරඹෙ ගල උඩට මුළු පලාතම පේනවා. 
හවරියන් ගලට නැගලා බහින්නේ අරඹෙ ඔය දිගේ. 
පහලින් දැක්වෙන පිංතූර බලලා තේරුම් ගන්නකෝ ගමනේ ලාලිත්‍යය! එක ගැන ලියන්නට වදන් නෑ. 
ඒ තරම්ම සුන්දර ගහ කොල අතරිණ් ඔය දිගේ පහලටම ආවාම ගොඩවෙන්නේ අපෙ දෙවෙනි කඳවුරු බිමට. 
අපි ඒක නම් කරලා තියෙන්නේ Teepee Arambe oya කියලාමයි

Teepee Arambe oya Camp Site එකේ Operations පටන් ගෙන නෑ තවම. 
එහි එක ඉමක් වන සුරූපී අරඹෙ ඔය කොමළිය . . . . . !






එතන ඉඳන් දවල්ට කාලා ආපහු පල්ලම් බහිනවා හක්බෙල්ලාවකට. හවස පොඩි නින්දක් කාරිය දාලා හවස පැයක් Kayaking කරණවා. පැයක් කියන්නේ කිලෝමීටර 6 ක් විතර! 


 
මේ තුරුණු කොල්ලයි කෙල්ලයි ආවේ එයාලගෙ  Pre Shoot එකට.
 ඒවගේ ඒවටත් මෙතන ලස්සන ලොකේශන් එකක්. 
පොඩි පොඩි එකතුවීම් සාද වගේ ඒවටත් අපි මේ ඉඩ දෙනවා කෑම එක්ක හෝ නැතිව.

මේ සියල්ල කරණ්නේ ගොඩට වඩා වතුරේ හිටපු මමත් පසිඳුත් එක්ක. පීනන්න ඕනෙ කමක් නෑ. මාත් එක්ක කයාකින් කල බොහෝ අයට පීනන්න බෑනෙ!?
කයාක් ටික ගොඩට ගත්තු තැන ඉඳන් ආපහු හක්බෙල්ලවකට අපි එන්නේ නිසාන් පැට්රල් ලොරියේ. ඊට පස්සෙ හවසට ඉඟුරු ප්ලෙන්ටියක් කාරිය බීලා පිට වෙන්න පුළුවන්.
වයස් බේදයක් නෑ.

මගෙ හොඳම යාළුවෙක් - නිශාන් මතක් කලා මයි ලියන්න මතක් උනේ. අපේ තේමා පාඨය Camping, Kayaking, Cycling, Bird watching, කියන එක. සයික්ලින් කරණ්න පුළුවන් මාත් එක්ක ගිනිගත්හේනට හරි ඊටත් එහාට හරි. ගිනිගත්හේන කන්ද පැදීමම ජීවිතයේ අමතක නොවන මතකයක් වේවි! 

තව තියෙනවා උදේම ඇවිත් හවස ගෙදර යන වැඩ පිළිවෙලකුත්. ඉතින් මේක කියවන නොකියවන සියල්ලන් හටම ආරාධනා කරණවා සුන්දර සන්ධ්‍යාවක් අපි එක්ක ගත කරණ්න එන්න කියලා.



Hiking, Camping and Kayaking Packages
Teepee the Camp Site

One Night Two days Full Package - Day One
07.00 am Arrivel to Hakbellawaka Site / Welcome drink / Briefing
07.30 am “Hawariyangala” Hike 12.00pm Lunch and Stream Bath @ Arambe oya Site.
02.30 pm Back to Hakbellawaka Site.
08.00 pm BBQ Dinner, Bonfire
Day Two
07.00 am Kayaking
01.30 pm Back to Hakbellawaka Site for lunch.
03.30 pm Departure.

 One night Two days  Camping Package (All Inclusive) 
Camping Tents, Lanterns, Three meals including BBQ dinner, Club House
Phone Charging, Water, Stream Bath

One night Two days Camping Package 
Camping Tents, Lanterns,
Phone Charging, Water, Stream Bath

One Day Packages
Kayaking with Lunch
Hiking With Lunch 
Spend the day With Lunch


Location: Between 25th and 26th kilometer posts on Awissaavella – Nuwaraeliya A7 (Hatton Road).  
(Next to Hakbellawaka Sub Post Office)

https://www.facebook.com/TeepeeTheCampsite
Teepee the Camp Site
Hakbellawaka
Yatiyantota
Sri Lanka
teepeethecampsite@gmail.com


අපි දෙන්නා - එක්වීලා  -සහයෝගෙන් වැඩේ දෙන්නේ . . . . //

" ගං දෑල දෙපස සිසිලය
ගතු කියන සමනලුන් 
ඕසෙටය . . . . ;
මුණු මුණු කියන පෙන කැටිය,
ගලින් ගල පනින ගමන
හරි විසය . . . . . . . !
මල් පැනි වඩිය
තොල ගගා ඉන්ට . . ;
ඇහැකිය . . . . . ! 

- ඉතින් එන්ට . . . . . ! " 

 මෙහි දෙවන ලිපියට මෙතනින් යන්න!



ලබන සතියේ යලිත් කිමිදෙමු!
(මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි!)

Wednesday, January 22, 2020

160. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving II

 ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් . . . !

මීට පෙර ගඟක් දිගේ ලියන්නට පටන් ගැනීමේදී පැවසූ ලෙසින්ම කැළනි ගඟ මගේ ජලාශ්‍රිත ජීවිතයේ ආරම්භය සනිටුහන් කල බව නැවතත් මතක් කරමින්ම අද කථිකාව අරඹන්නම්.

මම මේ කියනා අවධිය අගනුවර බොහෝ සෙයින් බෝතල් පත්තර කඩ තිබුණු  කළු ජූලියට එහා කාලයයි.


දිනක් එවන්වූ බෝතල් පත්තර කඩයක් අසලින් යන අවස්ථාවෙක එහි ඉදිරිපස එල්වා තිබුණු අපූරු උපාංගයක් මගේ නෙත ගැටුනි. එය එදා නිවැරදිව හඳුනා නොගත්තද එය ස්නූක්ලින්ග් මාස්ක් එකකි.


බෝතල් පත්තර කඩය තුල පසෙක එල්ලා තිබුණු  මාස්ක් එක දුටු වනම එය කිමිදීම සඳහා යොදාගන්නා එකක් ලෙස හඳුනා ගත් මා එය කඩය අයිති දෙමළ "අයියා සමග "කේවල්"  කිරීමෙන් පසු "තුට්ටු දෙකකට" ගන්නට හැකි විය.



මා එන තුරු ඉඳිකඩ ලඟ . . . !


බෝතල්, පත්තර, පිත්තල, තඹ, යකඩ, ඇලුමිනියම් හැරුණු විට මෙම කඩවලට වටිනාකමක් දැනෙන අන් කිසිවක් නොමැත. පීවීසී වලින් සාදා තිබුණු මාස්ක් එක මෙම ස්ථානයට පැමිණි ආකාරය හිතාගන්නටවත් නොහැක.


එම මාස්ක් එකෙහි පසෙකින් ස්නෝකලය හෙවත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට අවට වායු ගෝලයට විවෘථ නලය හෙවත් ටියුබය  සවිකිරීමට ස්ථානයක්; කුහරයක්  විය.


සම්පූර්ණයෙන්ම ඇස් දෙකත් නහයත් වැසෙන ආකාරයට නිපදවා තිබුනු එම මාස්කය පැලඳ දිය යට ගිය විට හෙවත් කිමිදුනු විට  එහි පසෙකින් වූ; පෙර කී කුහරයෙන් ජලය ඇතුලට පිරීම සිදුවේ.


මෙය; එය පැලඳ කිමිදීමට බාධාවක් විය.


 කඩදාසි කොල ගුලියක්  මුවින් හපා සාදාගත් පල්පයකින් එම සිදුර වසා ගැනීමෙන් පසු එම මාස්කය කිමිදීම සඳහා සුදුසු එකක් බවට මා පහසුවෙන්ම  හරවා ගත්තෙමි.


එතැන් සිට මා කැළණි ගඟේ කිමිදෙන්නට උනෙමි.


පියවි ඇසට වඩා බොහෝ සෙයින් පැහැදිලිව ගං පතුල බලා ගැනීමට එමගින් මාහට හැකිවිය.


දිය යට තරමක වේලාවක් සිටිය පසු මෙම මාස්කයේ ඇතුලත ජල වාශ්ප බැඳීම මහත්වූ බධාවක් විය. ඒ ප්‍රාශ්වාස වාතයේ අන්තර්ගත ජල වාෂ්පයි.


ඇස් දෙක නාසය යන සියළුම ඉන්ද්‍රියයන් ආවරණය වන පරිදි සකසා තිබුනු එම මුහුණු ආවරණයේ ඇතුලත බැඳෙන ජල වාෂ්ප වලින් මිදීමේ මාර්ගය කියා දුන්නේ දැනට බීබීසියේ ප්‍රවෘථි අංශයේ සේවය කරණ අවිස්සාවේල්ලේ ආරාධනා කන්ද පාරේ චන්දන කීර්ති බණ්ඩාරය.


එය අනෙකක් නොව මාස්කයේ විනිවිද පෙනෙන කණ්නාඩියේ ඇතුලත කේඨය හෙවත් කෙළ ආලේපනය කර ගැනීමය.


කඳුළු ගෑස් වලටද ප්‍රථිකර්මය මෙයම බව කියාදුන්නේද ඔහුම විය!



කෙළගෙන යන්නම් ටැංකිය පැත්තක දාලා . . . ආ ආ  . . .ආ . . !

උඩට ඇදගන්නා හුස්මකින් සන්නද්ධව දිය තුල නොපෙනී ගිලී යන මා නැවත හුස්ම ගැනීමට දැඩිසේ අවශ්‍ය වූවිට මතු පිටට පැමිණේ. 

මෙය කිමිදුම් විද්‍යාවේදී Free Diving ලෙස හඳුන්වයි. Snorkeling  වලට වඩා මෙය වෙනස් වන්නේ; ස්නෝක්ලින්ග් වලදී දිය පෘෂ්ඨයට යාන්තමින් ගිලී පිහිනමින් මතුපිට වායුගෝලය හා ස්නෝක්ලින්ග් බටයෙන් සම්බන්ධ වී කරීමය.


පිහිනීම උගෙන ගන්නා බොහෝ අය අතුරිණ් කිහිප දෙනෙකු ඉතා ඉක්මනින් එය ග්‍රහණය කර ගනී. තවත් සමහරුනට කෙසේවත් පීනනට ඉගෙන ගැනීමට නොහැක.

 මෙයට පැහැදිලි විද්‍යාත්මක හේතුවක් ඉදිරි පත් කිරීමට අද දිනයේ මා අපොහොසත් වූවද මා අනුමාන කරණ්නේ එයට ප්‍රධාන හේතුව වන්නේ සිරුරේ ඝනත්වය හා ඊට සෘජුවම සම්බන්ධ ඉපිලුම යන හේතුවය.


පොඩි කාලෙ මරඳ වැල්ලේ . . !


ඝනත්වය යනු ඒකක පරිමාවක ස්කන්ධය වේ.


එනම් ස්කන්ධය / පරිමාව යි.


යකඩ ඝන අඩියක ඝනකයක් හෙවත් කියුබික් අඩියක ස්කන්ධය; ඝන අඩියක ලී කුට්ටියකට වඩා වැඩි ස්කන්ධයට වඩා වැඩි වන්නේ ඒවා නිපදවීමේදි හෝ ඇති වීමේදී පරමාණු හෝ අණු ඇහිරුණ ආකාරය නිසාය.  වඩාත් ලඟින් හා තදින් ඇහිරුණු වස්තුව වඩාත් වැඩි ස්කන්ධයක් දරයි. මෙසේම සමහර පුද්ගලයින් ඒ හා සමාන උස මහතකින් යුත් තවත් අයෙකු හා සැසඳිමේදී වඩා සැහැල්ලු හෝ වැඩි ස්කන්ධයකින් යුක්ත වීමට හෝ පුළුවන. ඒ ඔවුන් දෙදෙනාගේ සිරුරු වල සෛල එකතුවී ඇති ආකාරය නිසා විය හැක.


ඉපිලුම රඳා පවතින එක් කාරණයක් වන්නේ ඝනත්වයයි.



යුරේකා . . .යුරේකා . . . . ආදර මල් පවනේ . . .!


ඉපිලුම ගැන සොයාගන්නට ගොස් රෙද්ද අතේ අරණ් දිව්වේ ආකිමිඩීස්ය.


කිසියම් වස්තුවක බර නිදහස් අවකාශයේ එනම් සාමාන්‍ය තත්ව යටතේ කිරා බැලූ විට ලැබෙන පාඨාංකයට වඩා අඩු අගයක් ජලය තුලදී කිරා බැලූ විට ලැබේ.


තවත් ලෙසකින් පවසනවා නම්  "ලොකු ගලක් දියේ ඉහලට ඔසවන විට දිය යට ගල තිබිය දී එය පහසුවෙන් එසැවිය හැකි බවත් දියෙන් ඉවතට ගත් විට එහි බර වැඩි වූවාක් සේ දැනෙන බවත් ඔබට ප්‍රථ්‍යක්ෂ වේ".- මූලික භෞතික විද්‍යාව; ඩබ්ලිව් එල් වයිට්ලි.

ආකිමිඩීස් නියමයෙන් කියැවෙන්නේ "වස්තුවක් ද්‍රවයක ගිල්ලූ විට එහි දෘෂ්‍ය බර අඩුවන ප්‍රමාණයත් වස්තුවෙන් විස්ථාපනය වූ ද්‍රව ප්‍රමාණයේ බරත් සමාන බවයි".



කෙසේ කියන්නද . . ඔබ මා  අතහැර ඉවත ගියා කියලා . . . !?

ඉහත රූපයේ දැක්වෙන රූපසටහනට අනුව සාමාන්‍ය අවකාශයේ කිලෝ 7 ක්  වන වස්තුවක් ජලයේ ගිල්වා කිරා බැලූ විට එහි බර දැක්වෙන්නේ කිලෝ 4 වශයෙනි. එම වස්තුව දියේ ගිලීමේදී විස්ථාපනය වන ජලය ප්‍රමාණය කිරා බැලුව හොත් එය වස්තුවේ දෘෂ්‍ය බර වෙනසට හෙවත් කිලෝ 3 කට සමාන වේ.

මෙම දෘෂ්‍ය බර වෙනසට සමාන උඩුකුරු තෙරපුමක් ජලයේ ගිවූ විට වස්තුව මත ඉහල දෙසට ක්‍රියා කරණා බව සැලකේ.


කිමිදුම් කරුවෙකු කිමිදිම ඇරඹීමට පෙර දිය මතුපිට පාවෙමින් සිටිය යුතු අතර කිමිදීම ඇරඹීමේදී දිය යටට ගිලීමට අවශ්‍ය වන අතර  කිමිදීමට අපේක්ෂිත නිසි ගැඹුරට පැමිණි පසු එම ගැඹුරේ  නිදහසේ පාවිය හැකි වියයුතුය.


දිය මතුපිට පාවීමට භාවිතා කරණ විද්‍යාත්මක නාමය වනුයේ "උත්පලාවකතාවය" Buoyancy (බයොන්සි)  යන්නය. 

මේ පහිණය පහිණ හලට හෙලන්න නොකියා "මචං මේ ලියුම කන්තෝරුවට දාපං!" කියන භාෂාමය වටා පිටාවක් තුල අප මෙතැන් පටන් උත්පලාවක තාවය පසෙකින් තබා බයොන්සි යන වදන භාවිතා කරමින් ඉදිරියට කියවාගෙන යමු.

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ . . . මිනිසාමයි ලොව තිරිසන් වන්නේ . . . . . !


දිය මතුපිට පාවීම යනු Positive Buoyancy පොසිටිව් බයොන්සි වන අතර දියෙහි ගැඹුර තුලට කිමිදීම Negative Buoyancy නෙගටිව් බයොන්සි වන අතර කිසියම් ගැඹුරක රැඳෙමින් සිටීම හෝ එම ගැඹුර තුල ඔබ මොබ ගමන් කිරීම Neutral Buoyancy  නියුට්‍රල් බයෝන්සි වේ.


සාමාන්‍ය පුද්ගලයෙකු දියට බට වහාම දියේ ගිලී යන්නේය.


මට ජීවිතයේදී හමුවී ඇතිඅති මහත් බහුතරය දියට බට වහාම දියයට ගියේය. එහෙත් උඩට ගත් හුස්ම ඉහලට ගෙන තබා ගනිමින්ම සිටින විට දිය මතුපිටට ඉපිලීමක් දක්නට ලැබේ.



බැර බර කරේ තියන් - දෙපයට වාරු අරණ් . . . . !


පෙනහළු පුරා වාතය තිබෙන විට ඇතිවන හා ඔක්සිජන් ටැංකි මගින් සිදුවන ඉපිළුම මග ඇර ගැනීමට; කිමිදීමේදී බර පටියක් භාවිතා කරනු ලබයි. මෙය සකසා ඇත්තේ බර ඊයම් කුට්ටි වලිනි.

කිමිදීම සඳහා  දියට බසින ක්‍රම කිහිපයක් පවතී. ඉන් එකක් වන්නේ ගැඹුරු මුහුදේ කිමිදුම් ඉසව්වට ගිය පසු ඇංගූරම් ලන බෝට්ටුවේ සිට පසුපසට කරණමකින්  Backward Roll දියට බැසීමය.


මං බඹර වගේ විසේ කාරයා . . . . !


මෙසේ පසුපසට බසින්නේ පිටෙහි එල්ලා ඇති අධික බර ආශ්වාසය සඳහා සුදුසු වාතය අඩංගු සිලින්ඩර මගින් සිරුරේ කශේරුකාවලට හෝ වෙනත් අවශේෂ ඉන්ද්‍රියනට විය හැකි හානිය අවම කර ගැනීමටය.


කිලෝ 50 ක ආසන්න හෝ සුළු වශයෙන් ඉක්මවා යන බරක් පිටෙහි ගැටගසා ගත් සාමාන්‍ය පුද්ගලයෙකු දියට බැස්ස විගසින් දිය  යටට ඇදී ගිය හොත් ඔහුට හෝ ඇයට කිමිදීම සඳහා හොඳ ඇරඹීමට සූදානමක් ගත නොහැකි වන නිසා විරාමයක් දිය මතුපිට රැඳීමට අවශ්‍ය වේ.

එසේම  දිය යට ගැඹුරේ කිමිදෙමින් සිට නැවත දිය මතුපිටට පැමිණීමටද ක්‍රම වේදයක් තිබිය යුතුය.

BCD
ඔබ සිතන්න මෙම BCDජැකට්ටුව පැළඳ ඇතැයි කියා. ඔබේ වම් පස උරහිසේ සිට ඉදිරියට ඇදෙන හොස් පයිප්පයක්  වන් බටයක් පෙනේද? පිටුපස මෙම ජැකට්ටුවේම එල්ලා ඇති (මෙහිදී ගලවා ඇති) ආශ්වාසය සඳහා සුදුසු වාතය අඩංගුටැංකියේ සිට ඉදිරියට දිවෙන නලයක් මෙම බටයට සමාන්තරව විත් ඉදිරි කෙළවරට පසෙකින් සවිවේ. මෙහි ඉදිරි කෙළවරේ ඇති බොත්තම් දෙකක් මගින් ටැංකියෙන් වාතය BCDටත් ඉන් අවකාශයට මුදාහැරීමත් කල හැක. එමගින් අවශ්‍ය විටෙක ජීවිතාරක්ෂක ජැකට්ටුවක් ලෙසටත් තවත් විටෙක බයොන්සිය පාලනය කරණ BCD එකක් ලෙසටත් ක්‍රියා කරයි.


මෙම කාර්‍යය සඳහා ඉවහල් වන උපාංගය වන්නෙ B.C.D හෙවත් Buoyancy Control Devise  යනුවෙන් හඳුන් වන ජැකට්ටුවයි.


මෙයට ලක්ෂ්මන් මුතුකුඩ මහතා තම "කිමිදුම් කලාවේ අත්පොත" නම් මහානර්ඝ ග්‍රන්තයේ දී ඇති සිංහල නාම පද පෙල වනුයේ "පාවීම පාලනය කිරීමේ මෙවලම" ලෙසයි.


අප "ආන්තර එකලස" නොකියා කාටත් තේරෙන පරිදි "ඩිෆරෙන්ශල්" කියාගෙනම  කිමිදෙමු!

මෙම BCD ය ට  ටැංකියේ සිට වාතය පිරවීමට නලයක් ඇත. එය අවශ්‍යය විටෙක් පිරවීමටත් අනවශ්‍යය විටෙක ඉවත් කිරීමටත්  කුඩා බොත්තමකින් ක්‍රියා කරණ වෑල්වයක් ඇත. මෙනිසා කිමිදීම ඇරඹීමට බෝට්ටුවේ සිට බැක්වර්ඩ් රෝල් කරණමකින් දියට පතිත වීමට පෙර BCD ය ට වාතය පුරවා  සකසා ගත යුතුය. 

එවිට කරණමින් දිය යට ගිලෙන මුත් කඩිනමින් දිය මතුපිටට පැමිණිමටත්; ඉන් පසු ඕනෑම කාලයක් දිය මතු පිට රැඳීමටත් හැකියාවක් ආධාරයක් ඉන් ලැබේ.

දිය මතුපිට රැඳී කිමිදීම ඇරඹීම අරඹන්නේ BCD එතෙක් පුරවා තිබුනු වාතය අවකාශයට මුදා හැරීමෙන් අනතුරුවය. 

ඉන්පසු තමා කිමිදීමට බලාපොරොත්තුවන ගැඹුරේදී නැවත ටැංකියෙන්  වාතය BCDයට යම් පමනකට පුරවා Nutral Buoncey  තත්වයකට පත්විය යුතුය. 
ආධුනිකයකු මෙම අවස්ථාවට පත්වන විට යම් පමණකට වාතය අපතේ ගොස් අවසානය. 
මන්ද BCDයට වැඩි පුර පිරවුනු වාතය නැවතත් ටැංකියට යැවීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති හෙයිනි!




ආශ්වාසය සඳහා සුදුසු වාතය අඩංගු ටැංකි වානේ වලින් හා ඇලුමීනියම් වලින් නිපදවා ඇත. අද වන විට භාවිතාවන බොහොමයක් ටැංකි ඇලුමීනියම් වලින් නිපදවා ඇති ඒවාය. මේවා නිසි පරිදි නිසි කලට නඩත්තු කල යුතුවේ.


ඔක්සිජන් ටැංකියක් තුල ලීටර 12 ක වායුප්‍රමාණයක් ගබඩා කොට ඇත. එය දූරකථන කුටියක ඇති වායු ප්‍රමාණයට ආසන්නය. මෙම වාතය ප්‍රමාණය; මීටර 15-20 ක ගැඹුරක සිටින සාමාන්‍ය මිනිසෙකුට පැයක කාල සීමාවක් ගත කිරීමට ඇවැසි වන වාත පරිමාවයි.


මෙය කියවාගෙන යන ඔබට; ඉහත වගන්තිය පලමුවෙන්ම ඇසුනු, ඇස ගැටුනු විට මාහට ඇතිවූ පැනයම හිතට නැගෙන්නට ඇත! 

එනම් මිනිසකු හෝ කවෙරකු; මීටර 15-20 ක ගැඹුරක සිටිනා විටදි හා ඊට වඩා වැඩි හෝ අඩු ගැඹුරකදී සිටින විට පරිභෝජනය කරණ වාත පරිමාවේ වෙනසක් වන්නේ කෙසේද කියා?

සත්තකින්ම එය එසේමය.


එය ගැන අප මෙසේ කියවාගෙන පැහැදිලි කර ගනිමු.


මේ වන විට ඔබට "කිමිදීම" මෙන්ම මේ ලියනා මාවද එපා වී ඇත.


මන්ද තවමත් කිමිදීම පටන් නොගත් නිසාත් වඩාත් විදුහුරු දේ කියමින් යන නිසාත්!


එහෙත් මා; මීට පෙර ලියන ලද "වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? 1" පෝස්ටුවට කළ්‍යාණ මිත්‍ර විසින් දක්වන ලද කොමෙන්ටුවට මා ලියන ලද පිළිතුරෙහි පරිදිම කිමිදීම යනු භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව මත පදනම්වූ කට යුත්තකි.


මෙය ජීවිතේ අප විසින් සිදුකරණා ඕනෑම ක්‍රියා කාරකමක් අරබයා සාධාරණ ප්‍රකාශයක් වුවද වෙනත් කාර්‍යයකදී මෙන් නොව කිමිදීමේ යෙදෙන්නා තුල ඒ පිළිබඳව පැහැදිළි; තේරුම් ගැනීමක් තිබීම අත්‍යාවශ්‍ය කරුණකි!


අනෙක් අතට මා වැනිම  නවකයෙකු කිමිදීම ඇරඹීමේදී මුහුණ දෙන්නට සිදුවිය හැකි හා සිදුවන ගැටළු වලට පිළිතුරු සොයාගන්නට අත්වැලක් සැපයීමද මා විසින් කල යුතු වගකීමක් ලෙස මා දකිනා බැවිනි.


අහස පොලොව වට පිටාව හරිම හිස් තැනක් . . . . !


මුහුදු මට්ටමේදී වායු පීඩනය වර්ග අඟලට රාත්තල් 14.7 ක් (14.7 psi) වේ. මෙයට වායුගෝල එකක් හෝ බාර් 1 (1 bar) යැයි කියනු ලැබේ.


මුහුදු මට්ටමේ සිට අඩි 18000 ක් ඉහලට නගින විට මෙම අගය මින් අඩකට එනම් 7.35psi අඩුවන අතර මුහුදු මට්ටමේ සිට ජලය තුල කිමිදීමේදී මෙම අගය සීග්‍රලෙස වැඩිවේ.


එනම් අඩි33 (මීටර10) ක් දිය යටදී මෙය දෙගුණයක් එනම් 29.4psi වන අතර අඩි 66 (මීටර 20) කදී මෙම අගය තෙගුණයක් එනම් 44.1psi බවට පත්වේ.




මෙය හොඳින් පැහැදිලිවීමට ඉහත රූපය දෙස බලමින් කියවාගෙන යන්න. 
උඩු යටිකුරු කල විවෘථ බඳුනක් දිය යටට ගෙන යාමේදී ක්‍රමක්‍රමයෙන් දියේ  උඩුකුරු තෙරපුම මගින් බඳුනේ තිබුණු වායු පරිමාව තෙරපාගෙන ඉහල ගමන් ගන්නා ආකාරය මෙසේ දැකිය හැක.

මේ පිළිබඳව ලක්ෂ්මන් මුතුකුඩ තම පොතේ දක්වා ඇත්තේ මෙසේය. 

"වටාපිටාවේ ඇති පීඩනයට සමානව බඳුන තුල ඇති වාතයේ අංශු කිට්ටු වීම නිසා මෙම පරිමාව පහත වැටීම සිදුවේ. දැන් අපි මෙම බඳුන මීටර 20 ගැඹුරු මට්ටමේ තබාගෙන අප වෙනම රැගෙන ගිය වාත සැපයුමක ආධාරයෙන් සම්පූර්ණයෙන් පුරවමු. 
 මතුපිටදී ලීටර 1 ක පරිමාවකින් පිරවීමට හැකි බඳුනක් මීටර 20 කදී පිරවීමට කොපමන වාතය උවමනා වේද? 
මතුපිටදී පාවිච්චි කරණ ලද ප්‍රමාණය මෙන් තවත් ලීටර 2 ක් තරම් වාතය මේ සඳහා උවමනා වේ. 
එහි තේරුම වන්නේ මතුපිටදී එක් හුස්මකට ගන්නා වාතය මෙන් තුන් ගුනයක ප්‍රමාණයක් මීටර 20 ක ගැඹුරක සිටින කිමිදුම්කරුවකුගේ ඒක හුස්මකට උවමනා කරණ බවයි."



ඔබ නිකමටවත් හිතුවාද එවන් සංසිද්ධියක්. දිය මතු පිටදී එක් ආශ්වාසයක් වෙනුවෙන් පෙනහළු තුලට ඇද ගන්නා වායු පරිමාව මෙන් තුන් ගුණයක් මීටර20 ක් දිය යටදී ඇදගන්නා බව සිතුවාද?

දැන් ඔබ තේරුම් ගත්තා නොවෙද නිවැරදිව කිමිදීම සඳහා භාවිතා කරණ වාතය අඩංගු ටැංකියක ඇති ධරිතාව පිළිබඳ මා විසින් සිදුකල ප්‍රකාශය?

 "මීටර 20 දියයට සිටින සාමාන්‍ය පුද්ගලයෙකු හට පැයක ප්‍රමාණයක් ආශ්වාස කිරීමට ඇවැසි තරම් වාතයටැංකියක අන්තර්ගත්වී ඇත!" යන ප්‍රකාශය ඔබට මේ වන විට තේරුම් ගෙන ඇතිවාට සැකයක් නොමැත.

මෙසේ දියයටදී පෙනහළු පිරෙණ්නට හුස්මක් ඇදගන්නා අයෙකු හදිසියේ දිය මතුපිටට පැමිණ හිස් අවකාශස්යට නිරාවරණය වුවහොත්; එතෙක් පෙනහළුව තුල පිරී පැවති වායු පරිමාව එකවර විශාල වීමෙන් එය පුපුරා යෑමේ අවධානමක් පවතී. 


මෙනිසා දිය යට යාමේදිට වඩා මතුපිටට ඒමේදී නිර්දේශිත කාලයක් ගත කිරීම අනිවාර්යයෙන්ම කලයුතු වේ. මෙය වඩා නිවැරදිව පවසනවා නම් අදාල ගැඹුරේදි නිර්දේශිත කාලය ගත කරමින් මතු පිටට පැමිණිය යුතුවේ.


දිය යට ඇති පෙර සඳහන් කල තෙරපීම ශරීරයේ දැනෙන්නේ; ඇතුළු කන, සයිනස් කුහරය හා පෙනහළු වලටය. ඔබ ජීවිතයේ එක් වරක් හෝ කඳුමුදුනකට ගොස් ඇත්නම් එයට ගොඩවී මේදීත් ආපසු බැසීමේදීත් කණ් අගුල් වැටෙනු අත්දැක ඇතිවාට සැකයක් නැත. 

එවිට අප කරණ්නේ නහයත් කටත් අතින් තදින් වසාගෙන කන් බෙරය පිටතට තෙරපා ඇතුළු කන ඇතුළු සිරුර තුලත් පිටතත් ඇති පීඩන වෙනස සම කිරීමය (Equalizing). 




වාතය අඩංගු සිලින්ඩරය මුදුනේ සවිකොට් ඇති වෑල්වය සහිත කොටස First Stage ලෙස හඳුන්වයි. මෙම වෑල්වය  ප්‍රධාන වශයෙන් වර්ග කිහිපයක් ලෙස නිපදවා ඇත. 1. K Valve   2.J Valve   3. DIN Valve


මෙම කුමන ආකාරයේ වෑල්වයක් හෝ සිලින්ඩරයට සවිකල පසු ඒතුලට වාතය ගලා ඒමට කර කැවීමට තරමක කරාමයක් හෙවත් නොබ් එකක් පවතී. 

මෙම කරාමය විවෘථ කිරීමෙන් පසු වෑල්වය හෙවත් රෙගියුලේටරයට ගලා එන වාතය එතැනින් පටන් ගන්නා නාල හෙවත් ටියුබ් හතරකට බෙදා හැරේ. 





ඉන් පලමු වැන්න Inflator Hoseපෙර සඳහන් කර ඇති ආකාරයට BCDයට සම්බන්ධ කොට ඇත.ඒ හදිසි අවස්ථාවකදී ජීවිත ආරක්ෂක කබායක් සේ ක්‍රියා කරණ BCDයට හුලං පිරවීමටය.


 BCD යට වායු ටැංකියේ සිට  එන නලය සවිකිරීම.

මෙම සුදු හා තැඹිලි බොත්තම් මගින් BCDය ට ටැංකියේ වාතය පිරවීමට හෝ අවට අවකාශයට මුදා හැරීමට හෝ පුළුවන. මෙහිදී අවට අවකාශයට මුදා හැරෙන්නේ BCD  යේ ඇති වාතය විනා ටැංකියේ ඇති වාතය නොවේ.


දෙවැන්න කෙලවරේ ඇත්තේ පීඩන මාපාංකයකි Manometer/Pressure Gauge. තේරෙණ හිංගලෙන් කියනවානම් ප්‍රෙශෞර් ගේජ් එකකි. 

සමහර විට ඩෙප්ත් ගේජ්  Depth Gauge එකක් හෙවත් කිමිදෙන ගැඹුර දැක්වෙන ගේජ් එකක් හෙවත් මීටරයක්/ මනුවක් ද එක පොදියට එක් ඒකකයක් සේ  සවිකොට ඇත.




තුන්වන ටියුබය සවිවී ඇත්තෙ සෙකන්ඩ් ස්ටේජ්/ මවුත් පීස්  Second Stage/ Primary Air හෙවත්  කොටසටය. කිමිදීමේදී ආශ්වාසකරණ්නේ මෙම කොටස මුඛයේ රඳවාගෙන එය තුළිනි. ප්‍රාශ්වාස හෙවත් හුස්ම පහතට හෙලන්නේද එය තුලින්මය. 

පහතට හෙලන හුස්ම හෙවත් ප්‍රාශ්වාස වාතය සෙකන්ඩ් ස්ටේජ්/ මවුත් පීස් කොටසෙන් ජලයට මුදාහැරේ.  කිමිදීමේදී ආස්වාස කරණ්නේද ප්‍රාශ්වාස කරණ්ණේද මුඛයෙන්ම හෙවත් කටින්ම පමණි.






හතරවන බටය හෙවත් ටියුබය සවිකොට ඇත්තේ හදිසි අවස්ථාවකදී තමන්ට හෝ වෙනත් අයෙකු හට භාවිතා කල හැකි අමතර අමතර වායු සැපයුමකට හෙවත් Second Stage/Alternate Air Source  එකකටය.

" සුදු පෙන කැටි - අහස උසට
නැගෙන වැටෙන දළ රළ පෙල
අතර දිවෙන සිහින් හඬෙක
රැඳුනු ඔබේ සිහින් ස්වරය
සියල් දනන් දියමත සිට
උකුසු දෙනෙත් යොමා සිටින
ඇසි පිය විලි වැහෙන ඇරෙන
මොහොත රැගෙන කිමිද යමුද
මුහුදු හතක දුර බැහැරක
කිසිදු විටෙක උකුසු නෙතට
සොයා ගන්න බැරි ඈතක "

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...