Tuesday, June 6, 2017

31. දවස් දෙකයි ! ළිං තිහයි !! තේ පනහක් හැටක් විතර!!!

ගං වතුර බැසගියද - හැමතැනම වතුර ඇත !

මගේ "මේ එන්නේ වතුරද?" පෝස්ටුව එල්ලුවේ මැයි 18 වෙනිදා. පෝස්ටුවට පාදක උනේ පෙර වසරේ එනම් 2016 මාර්තු 24 වෙනිදා මම ලියපු සතියේ සිතුවිල්ල සටහනක්.   ගං වතුරේ  අපි පොඩි කණ්ඩායමක් සෑදී  වැඩ ටිකක් කලා අත්දැකීම් වෙනම පොස්ටුවක් විදියට පලකරන්න සිතා සිටින්නෙමිකෙසේ හෝ වෙවා මා සිතූ පරිද්දෙන්ම මේ ආවේ වතුරම විය"!
මාගේ බිරිද වතුර ගලද්දී එදා ඇසුවා මෙන්ම මෙදාද එකම පැනයක් විමසීය. "ඔයාලා  මොනවත් කරණ්නේ නැද්ද?" මෙවර ගං වතුර ගියවරට වඩා බොහෝ සෙයින් දරුණු වුවද; එය අපට  (ඇත්තෙන්ම මා හට) එතරම් නොදැනුනේ කැළණි මිටියාවතට දැනුනු තර්ජනය ගියවරට සාපේක්ෂව මෙවර අවම මට්ටමක පැවතුනු හෙයින්ය. අනික වැඩේට දුවන්න කයාක් එක ලඟ නැති එකත් ලොකු හේතුවක් වුනා. කයාක් එක නැතිව ඔයවගේ තැනකට ගිහින් අනිත්වුන් වැඩ කරණවා බලාන නිකං ඉන්නවා කියන්නේ අතේ සතයක් නැතිව කානිවල් එකකට ගියටත් අන්තයිටීවී එකේ මේ සියලු වින්නැහි බලාන  අස්සයා මැරිච්ච කව්බොඅයි වගේ හිටියත්;   "ඔයාලා  මොනවත් කරණ්නේ නැද්ද?" කියලා  ඇසූ සැනින් "ඇත්තටම  අපි මොනවත් කලේ නෑ නේද කියා දැනෙන්නට විය. ඒත් මොනවා කියලා කරන්නද? කොහේ කියලා යන්නද කියමින් සිතමින් ඉඳිද්දිම තෙශන්ත වැඩ පටන් අරන් තිබුනි. පසුගිය සතිය පුරා මුලු රැය පුරාවට නිදි වර්ජිතව තෙශාන්ත තම ටොයෝටා 107 එකෙන් ලොරියක වැඩ අරන් තිබුනි.

යකෙක් සතු යකෙක්!

"මොනා කරන්නද මචං ෆෝ වීල් වැඩ කරන්නෙත් නෑ. චමියා (තෙශාන්තගේ ඔය කැබ් එකෙයි ලෑන්ඩ් රෝවර් 109 තඩියෙයි හැම රෙපයාර් එකක්ම කරණ මෙලෝ රහක් නැති කෙට්ටු කෙසඟ බාසා!) ගාවට දාන්න විදියකුත් නෑ. හැමදාම රෑට පාහියංගල අදිනවා සූස් ගාලා." තෙශාගේ වදන්.
පහුගිය බ්‍රහස්පතින්දා මම ඉන්න තැනට  කඩා පැන්න ඩෙමා (ඩේමියන්) "අයියේ මොකද කියන්නේ අපි සෙනසුරාදට කොහේ හරි යමුද ගං වතුර සීන් එකට?" කියල ඇහුවේ මේ අල්ල පනල්ලෙමයි.
"එළ! කට්ටිය සෙට් කරගමු අපි යමු ළිං ඉහින්න !"
ඊළඟ මොහොතේම මා  තෙශාව ඇමතුවෙමි; මේ මොහොතේ අප මැදිහත්විය යුත්තේ කොතැනටද? කෙලෙසද? කියලා පැහැදිලි කරගන්න. තෙශා පැයකට පමන පසු  මා දැනුවත් කලේය.
" මචං මම කතාකලා කඳන වොටර් බෝඩ් පියුරිෆිකේෂන් ප්ලාන්ට් එකේ ඉන්ජාට. සාගර කියලා බුවෙක්. කිව්ව එහේ එන්න කියලා. උඹලා උදේම ගිහින් හම්බවෙයන් එතන ඉන්නවා අලහකෝන් කියලා වයසක් ඩෑල් එකක්; මිනිහා පරණ  බෑන්ක් ඔෆිසර්  කෙනෙක්පොර උඹලාව ගමත් එක්ක කොඩිනේට් කරයි!"
වැඩේ හරිය! ඊළඟට අපිට රොබින් එන්ජිමෙන් වැඩකරණ වතුර පොම්පයක් සපයා ගත යුතුවේ. ගෙවල් පැත්තේ මල්වත්තක් කරණ දේවාව ඇමතුවෙමි.
"හරි මචං මම දන්න තැනක තියෙනවා. මම සෙට් කරලා දෙන්නම්.!"
"එළ!"
දැන් ඕන කරන්නේවැඩේට ෂුවර් ඇද නැති පොරවල් හය හත් දෙනෙක් සෙට් කරගන්න එකය. මගේ හැම වැඩේටම යන වෑල්ඩින් රුවනාට කතා කලෙමි.  “හරි අයියේවැඩපොලෙ වැඩක් නොතිබුනොත් මම එකෙන්ම එනවා!" ( රුවා කියන්නෙ එවරස්ට් කන්දට නගින්නවත් මරියානා ආගාදයට බහින්නවත් බය නැති ; පොඩ්ඩක්වත් කොන්ට්රොල් නැති ; පොඩ්ඩ නැත්නම් ගිනිකණ පනින ; අකීකරු ; තනියම ආසාවට වත් වැඩක් දීලා පැත්තකට වෙලා ඉන්න බැරි ; කන්න ඇතා නැතා උදේ ඉඳන් රෑවෙනතුරු වෑඩකරණ තුන් වේලටම අහාරය සඳහා සිගරට් කන හොඳ කොල්ලෙක් !) 
"එළ!"
ඊලඟට මේන්ටෙනන්ස් එකට අලුතින් ආපු ෆොර්මන් උස සම්පත්ට. (අලුතින් ආවාට මොකෝ ටිකක් මනුස්සයෙක් වගේ පෙනෙන්නෙ. අනික සිරා වැඩ්ඩා!) ඌත් එකෙන්ම වැඩේට සෙට් උනා!  
කතාකලා සුමියට."කවුරු නැතත් මං එනවා! "  උගේ කිරි ටොයියා දත් සැට් එක  පෙන්නලා කිව්වා
අන්තිමට පසිඳුට "අයියෙ මම ගෙදර . යාල ගියේ නෑ. මට උණ! දැන්නම් හොඳයි. මට පොඩි වැඩක් තියෙනවා. මම අද රෑ යාල ගිහින් සෙනසුරාද පාන්දරට මතුගම පැත්තෙන් එන්නම්!"
දැන් සියල්ල යහපත්යපසුදින මා වැඩට පැමිනියේ වරුවෙනි. උදේ 8.30 පමන දේවා ඇමතුවෙමි.
" හරි මචං මම එතනට ගිහින් කතාකරන්නම්. !"
අනේ අපරදේ කියන්න බෑ දේවා හිතුවාටත් වඩා ඉක්මනට කතා කලේය!
"අනේ මචෝ මාර වැඩේ හතරක් තිබුනලු. හතරම ඔය වැඩේටම ගෙනිහින්. කියනවා මේ දවස් වල මාර ඩිමාන්ඩ්ලු. සීයක් තිබුනත් දෙන්න පුලුවන්ලු!"
"මගුලයි!"
මම ඉක්මනින්ම  තව තැන් දැක තුනකට ඉව කර බැලුවෙමිම්හු! කොයි ලෝකෙ වත් නැත! ක්ෂණිකව මා තෙශා ඇමතුවෙමි.
"අම්මට සිරි! අව්ලක් නෑ කළුතර මම දන්න තැනක තිබුනා පොම්ප හතරක්. හිටහං මම චෙක් කරලා උඹට කෝල් බැක් කරන්නම්!"
පැය භාගයකින්  තෙශා මට කතා කලේය. අපරාදෙ කියන්න බැරිය. පැය කාලක් විතර කතාකල මුත්; අවසානයේ පොම්ප තියෙන බව වත්, නැති බව වත් වෙන මොනවාවත් මට පැහැදිලි කරගත් නොහැකි විය.
එකට වැඩකරණ ඉඩම්  හිමි වැවිලිකරු  විජේ සිංහට කතා කලෙමි.
"හොංහොං!!  හොං!!! උඹලා ළිං ඉහින්න ! මොන ළිං දන්නෙ නෑ!"
" අනේ උඹෙ ......................!
කතාව ඉවර කරණ්න කලින් මම කතාව ඉවර කර දුන්නෙමි.

මම දන්න කියන පංචිකාවත්තේ යකඩ බිස්නස් කරණ සරා මහත්තයට , කලකට පෙර අපෙන් විශ්‍රාම  ගිය ජයවර්ධන මහත්තයාටද කතා කලෙමි. වැඩේ අවුල්ය.
යලිත් ඇමතුමක් ලැබුනි. මීට බොහෝ කලකට පෙර විශ්රාමගිය රණසිංහ මහත්තයාගෙන්ය. අපෙ දිලිනි මිස් ගෙන් අපේ වැඩේ ගැන ආරංචියක් නිට්ටඹුවට ගොස් තිබුනි!
"අපිත් යන්න හිතාන ඉන්නේ. අපි ගාව පොම්පයක් තියෙනවා. මම බලලා කතා කරන්නම්!"
තවත් ටික වෙලාවකින් පිළිතුර ආවේය.
"අපි යන්න හිතාන ඉන්නේ ඉරිදට!"
මට දැන් බාගෙට ඇඬිලාය.
" තවත් එකෙක් මතක් විය. කිරිබත්ගොඩ අළුත් පාරෙ; ජපන් පරණබඩු විකුනන මිල්රොයි වය.
"මචං මිලී. උඹ ගාව ඇන්ජිමෙන් වැඩකරණ වතුර පොම්පයක් තියෙනවද?"
"තියෙනවා තිස්පහයි !'
"අඩෝ එහෙම කරණ්න එපා බං . මේක බිස්නස් එකක් නෙවෙයි. .............................................................................................."
"හරි විසි පහක් දියං.."
"අනේ මචං....!"
" හරි පහලොවක් දියං"
මම මොහුට කතාකලේ පාවිච්චිකොට ආපහු ගෙනෙන්න පොම්පයක් බලා පොරොත්තුවෙන් උනත් දැන් යන්නේ වෙනමම ලයින් එකකය. ඒක්ෂණ්යෙන් මා හට ඊළඟ මාසෙ පඩියට එකතු වෙන්න තියෙන මාස භාගෙ බෝනස් කෑල්ල මතක් විය.
" එහෙම නෙවෙයි දහයක් දෙන්නද...?"
" අනේ බෑ බං"
හරි පහලොව ලබන මාසෙ විසිපහ දෙන්නද?
" අනේ බෑ බං"
වැඩෙත් හබක්ය.! අපේ කංතොරුවේම සුමනයා ගාව පොම්පයක් ඇති බව එකෙක් මගේ කනේ තිබ්බේය.
"මල්ලි උඹ ගාව..............................?" කතන්දරේ කීවෙය.
" තියෙනවා අයියේ. හැබැයි ඒක තියෙන්නේ කෑගල්ලේ!"
මේ සියල්ල මෙසේ සිදු වෙනාතුර තවත් සතුටු  දායක නිවුස් එකක් කනට වැටුනේය. ඒ වෑල්ඩින් රුවාට මෙන්ම අලුත් සම්පතාටත් සෙනසුරාදා වැඩපොලේ වැඩ බවය!
තවත් දන්න කියන එවුන් දෙතුන් දෙනෙක් ගෙන් ඇන්ජිමෙන් ක්‍රියා කරණ වතුර පොම්ප ගැන විමසූවෙමි. මට වැඩිම කාලයක් ගියේ ඇන්ජිමෙන් වැඩකරණ වතුර පොම්ප  යනු මොනවාද? ඒවාම සොයන්නේ මන්ද? යන ගැටළු  දෙකට  පිළිතුරු  දෙන්නය. සද්දෙ වහගෙන කියවාගෙන ගියාට මේක බලන අපෙ මිතුරු තොමෝලගෙන් එක්කෙන්කුට හරි පොඩි හරි අවුලක් ඇති උනොත් වස වැරැද්දක් නිසා ඒ හේතුවත්  කියාගෙනම පල්ලම් බහින්නම්.
පලාතක් ගං වතුරෙන් යටවූ වහාම ඒ පලාතේ   විදුලිබල මණ්ඩලයේ උදවිය කරන්නේ හැකි ඉක්මනින් පලාතේ විදුලිය විසන්ධි  කරණ එකය. අනෙක් කාරණය විදුලි මෝටරයෙන් දිවෙන වතුර පොම්පයක් සඳහා බොහෝ දිග  වයර් හෙවත් විදුලි රැහැන් යොදා ගතයුතු වීම. සාපේක්ෂව විදුලි පොම්පයකට වඩා ඇන්ජින් පොම්ප ධාරිතාවෙන් ඉහලවේ.

අවසානයේ මා ඩෙමාට කතාකලෙමි. “මල්ලි වැඩේ සුපිරියටම අල වෙලා.”

අපගේ අල වූ දුක්බර පොම්ප කථාව සැකවින් ගෙන හැර දැක්විමි. පිරිසේ හැලීයාම ගැනද සැල කලෙමි .

“හරි ඒපැත්තෙන් මට පොඩි ජෙනියක් හොයා ගන්න පුළුවන්. රට ඉඳන්  ආපු අපේ පොරක් ගාව හයි ප්‍රෙශර් පොම්පයක් තියෙනවා. ඒ දෙක අරන් ගිහින් යට වුනු ගෙවල් හෝදලා දෙමු. ඌටත් හොඳට වැඩ කරන්න පුළුවන්. එයාවත් එක්කගෙන යමු .”
“හරි සුමියත් කවුරු නැතත් එනවා කිව්ව .හරි අපි හතර දෙනා හරි යමු. මම  උඹලගෙ ගෙදරට උඩේම  සුමියත් අරන් එන්නම්.” 
මම එහෙම කිව්වේ රෑ 9.30 ට විතර කන්තෝරුවේ  මාසික රැස්වීම ඉවර වෙලා එන්න පිටත් වෙන ගමන් .
පහුවෙනිදා ඒ කියන්නේ සෙනසුරාදා උදේ ගෙදර හදලා තිබුනු සුදු කව්පි ටිකකුත් පෙට්ටියකට දාගෙන; සුමියට කෝල් එකක් දීගෙනම පිටත් උනා. කවදත් සමාජ සේවා හා බෞද්ධ කටයුතුවලට අතහිත දෙන අපේ හාමිනේගෙන් ලැබුනු රුපියල් 3000 ක නොමසුරු ආධාරයෙන්  BJ 60යට  ඩීසල් ටිකකුත් ගහගෙන සුමියත් අරන් ඩෙමාලගෙ ගෙදර යනකන්  කලේ කෝල් කරපු එක. ම්හු! ඩෙමා නෙවෙයි ෆෝන්  එක ගත්තේ.  ගිහින් ඩෙමාව ඇහැඇරවගෙන ඊළඟට ගිය ජෙනිය බලන්න. ඩෙමා ලගෙ ගෙදර ලඟ වාත්තු වැඩපොලේ ජෙනිය ; ඒක අයිති ෆ්‍රැන්සිස් අන්කල් දුන්නෙ කිසිම ලෝභ කමක් නැතිව.
දැන් තියෙන්නේ හයිප්‍රෙශර් ගන් එක නැතහොත් කාචර් මැෂිම ගන්න. (මේකට කාචර් එක කියන්නේ සෙරෙප්පු වලට බාටා කියනවා වගේ තවත් අපේ නිශ්පාදනයක් ලෙස.) ඩෙමා  යාලුවෙක්ගේ ගේ ලඟින් බැහැලා ගිහින් ටික වෙලාවකට පස්සේ ආවා මූනත් ඇඹුල් කරගෙන.
"යාලුවාටත් එන්න බැරිලු!මැෂිමත් ගලවලාලු!! වෙන එකෙක් ඉන්නවා දාගම්මු!!!" 
ටික වේලාවකින් ඩෙමා ගෙයක් ඇතුලට ගොස් කොන්ඩය දම් පාට උනු අමුතුම ඩෑල් එකක් අරගෙන ආවේය. උගේ නම මනෝජ් හෙවත් ලීලසේනය. ඌට ලීලසේන කියන්නේ ඌ පොඩිකාලේ ලීලසේන වැනි “අයෝමය පුරුශයෙකු” නිසා වෙන්ලු! දැන් ඌට කියන්නෙ ලීලේ කියාය!
“අයියෙ හරි සේපාල කනත්ත ගාව මැෂින් කුලියට දෙන තැනක් තියෙනවා.යමු එතනට!”
“කවුද මළවුන්ද ?”
අදාල ස්ථානයට පැමිනියෙමු. මෙතනට පය ගහන කොටම හමුදුරුකෙනෙක් පිඬු සිඟා වඩිනවා රෝද පුටුවක! රෝද පුටුවක් කිව්වට ඒක නිකම්ම නිකන් රෝද පුටුවක් නොව; මෝටරයකින් දිවෙන එකක්! ගෙදරින් ගෙනාපු කව්පි ටික උන්නන්සෙට පූජාකලා අපේ වැඩේ සාර්ථක වෙන්න කියලා හිතාන. කාචර් මැෂිමක් හෝ එන්ජිමෙන් දුවන පොම්පයක් ගැනීමට හිතාන අපි කඩයට ඇතුල්  වනවාත් සමගමනෙත ගැටුනේ ඇතුලේ දිලිහි දිලිහි තිබුන පොම්පෙ! . පොම්පය මා හා සිනාසුනාය! 
කඩෙ අයිති මල්ලි (මල්ලි කිව්වාට ඌ “අයියා”කෙනෙක් වාගේය!) අපෙන් වැඩේ ඇසුවේය .
“ඔය වැඩේට හරියන්නේ ඕක  නෙවේ සබ්මර්සියක්!” මේ සබ්මර්සිය අරන් යන්න .
අපිටද වැඩේ  ඇත්ත බව තේරුනි . එසේනම් අප; අපට වාත්තු මඩුවෙන් ලැබුනු ජෙනියට ගැලපෙන සබ්මර්සියක් ගත යුතුය. මන්ද සබ්මර්සියේ ඔය හුලං අදින  අනං මනං ඒ “කැත වැඩ” නැත!

ඒ වනතුරු අපේ රථයේ පසුපස ලැග සිටි (පිං) පොම්පේ දෙස පිළුණු බැල්මක් දැමූ “අයියා” මල්ලී ;
 “ඕකනම් වැඩේට මදි! කිලෝ වොට් තුනක් වත් තියෙන්න ඕන! කීවේය .
පරණ පොම්පේ නේම් ප්ලේට් එක පිසදා බැලූ කල එය කිලෝ වොට් එකයි දශම පහක ජෙනි පැට්ටෙකු බව පසක් විය .

“හරි ඔයාගෙ සබ්මර්සිය දුවන්න පුලුවන් ජෙනියක් තියෙනවද ?”
“ඇයි නැත්තේ ඔය තියෙන්නේ. ඕක කිලෝ වොට් හය !”
කියා එතන විරාජමානව වැඩසිටි ජෙනි උත්තමයාව පෙන්වා වදාරණ සේක!
"මේක කීයද ?"
“දවසට මම දෙන්නේ හත්දාස් පන්සීයට .ඔයාලා දෙන්නකෝ මට හය දාහක් !” ඇඟට පතට නොදැනෙන්න කියා  දැම්මේය .

එතැන් සිට අපි හතර දෙනා අයියාගේ අතේ එල්ලී හොටු පෙරාගෙන මී හරකුන් සේ ඇඬුවෙමු. (ඇඬු ඇඬිල්ල ගැන වෙනමම පෝස්ටුවක් ලියන්නට බලා පොරොත්තු වෙමි!) අවසන ප්‍රථිඵලය වූයේ දවසකට තුන්දහසකට ජෙනිය අපට ලබා දීමයි .

"ඕක හරියන්නෑ මේක අරන්යන්න. මේක සුපිරියටම ප්‍රෙෂර්! 

ඉන් පසු ඔහු අපට ගැලපෙන එතැන තිබුනු සුපිරිම සබ්මර්සියද අප වෙත ලබා දුන්නේය. දිග වයර් කෝඩ් එක  ඇඩ්වටයිසිං කරණ බෝඩ් මංජු  ගෙන් ය.   දැන් සියල්ල හරිය. අප එතැනින් කඩුවෙල දොරටුවෙන් අධි වේගයට එන්ටර් වුනෙමු. එතැන් පටන් සුමියාට පැවරුණු වැඩය වූයේ තෙශාන්ත සම්බන්ධ කර ගැනීමය. අවසානයේ  වැඩේ හරිගියේය .

“මචං ගැලනිගමින් එලියට ගිහින් එතනින් හොරණට පලයං. හොරණින් දකුනු අත පැත්තට හැරිලා අඟුරුවාතොට පාර දිගේ ගිහින් බැල්ලපාන හන්දියෙන් වමට හැරිලා යනකොට කඳන වෝටර් පියුරිෆිකේශන් එක හම්බවෙනවා. එතන තියෙන බෝඩ් එක  ලඟට  එයි අලහකෝන් කියලා බුවෙක්. උඹ ගිහින් ඌව හම්බ වෙයං!” තෙශා  එක හුස්මට කියාගෙන ගියේය. “මම මේ නම්බර් එකට අලහකෝන්ගේ නම්බර් එක එවන්නම්. අද මට කොම්පැනියේ පඩි හදන්න තියෙනවා. මම අද රෑ කීයට හරි උඹව හම්බෙන්නම් . මේ නම්බර් එකත් මම පොරට යවන්නම්” වැඩිදුරටත් පවසා ෆෝන් එක විසන්දි කලේය . 

අතර මග තිබුනු පිරවුම් හලකින් ජෙනිය පිරෙන්න රුපියල් 2000 පැට්‍රොල් ගැසීමට නොමසුරු ආධාරය කලේ සුමියාය. හොරණට පැමිනෙන විට අප සිටියේ අම්බානක බඩ්ගින්න පසුකොට බොහෝ දුරක් පැමිනය! අඟුරුවාතොට පාරේ “රියාරා ”හෝටලයෙන් බඩ පිරෙන්න රස ගුන සපිරි, මුදලට වටින බත් හතරක් සප්පයම්වී පිටත් වුනෙමු. ඇත්තටම නිකමට හරි හොරණ ගියොත් අඟුරුවාතොට පාරෙ "රියාරා" එකට ගිහින් බත් කටක් කන්න. මාළු කෑම ඒකට දෙන මාළු කෑල්ල මෙච්චර විතර ඇති!
තවත් කිලෝ මීටර් හයක පමන දුරක් ගමන් ගත් අපට ජල සම්පාදන බෝඩ් එක අසලදී විශ්‍රාම ලත් බැංකු නිළධරයකු වන අලහකෝන් මහතා හමුවිය. 
ඔහු පසු පසින් ගිය අපට ජල පවිත්‍රාගාරය තුලදී  සාගර ඉන්ජිනේරුවරයා මුනගැසින. එතැනින් වතුර ලීටරයේ බොතල් දෙසීයක්ද පටවා ගත්තෙමු. මේවන විට මෙම වතුර බෝතල් වලට අමතරව තවත් ලීටර විස්සේ වතුර කෑන් දෙකක්ද ජෙනි දෙකක්ද වතුර පොම්පයක්ද විය! ඉන් පසු අප අලහකෝන් මහතා පසුපස වැටී ගම ඇතුලට ගියෙමු. පාර දෙකට බෙදෙන ස්ථානයක් අසල තම කුඩා ටොයෝටා කැමී ෆෝවීල් රථය නවතා එහින් බැසගත් වයසක මහතෙක් අපට හඳුන්වා දුන්නේය. ඒ ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ආරක්ෂක නියාමක වරයාය. ඔහු ගමේම කෙනෙක්ය.
ඉන්පසු ඒ මහතා පෙන්වන ලද පළමු ළිඳ තිබුනු  ස්ථානයට  BJ 60 ය ගත්තෙමු. එතැනට අප ජෙනිය බාගත්තෙමු. ඒ ළිඳ අපසිතුවාටත් වඩා වේගයකින් ඉස නිම කිරීමට අපට හැකිවිය.

කිව්වා වාගේම අනේ ඇස්වහ්ක් කටවහක් නෑ පොම්පෙයි ජෙනියයි "සුප්පා සුපිරි තල් සූකිරි වගේ! වදිනවා හෙන ගහන්නැහැ! ළිඳට ඇපත් නෑ!! ඉක්මනට පොම්පෙ උඩට ගත්තෙ නැත්නම් ළිඳ කණපිට හැරෙන  ලයින් එකක්!

පළමු ළිඳ ඉසින්නට සියල්ලම සකස් කොට  
බඩ පුරා ආමී කියාගෙන ගහගෙන ඉන්නේ ඩෙමා ය!

ඊළඟට එතැනම තවත්   ළිඳක් යනාදී වශයෙන්  වැඩේ කරගෙන ගියෙමු. මුලින් අප අපගෙන ආ යෝධ ජෙනි රාජයා බිමට බෑව මුත් පසුව වඩාත් පහසුවෙන් රථය තුල තිබියදීම වැඩේ දෙන්නට අපට හැකි විය!

අපගේ ජංගම ජල පවිත්‍රාගාරය.

එදින  රාත්‍රී 11 වන විටත් අපි වැඩේය .

රෑ 10.30 ට විතර ! 
මෙතන  අපෙ රථය මෙහෙම තියලා වටේ ළිං 5 ක් ගැහුවා වයර් කෝඩ් එකයි පොම්පෙයි විතරක් එහා මෙහා කරලා !

රෑ 11.30 පහුවෙන කොට අප ළිං 19ක් ඉස අවසන් කොට තිබුනි. රාත්‍රියේ තෙශා උගේ මිතුරෙකු සමග අපට සෙට් විය. මට නින්ද ගියේ කීයටදැයි මා නොදනිමි. උන් පාන්දර 3.45ට ත් ඇහැරී සිට ඇත. අපට රාත්‍රිය එළඹෙත්ම ලබාදුන් උනු උනු ෆ්‍රයිඩ් රයිස් හය උදෑසන විට අලුත් කථාවක් මවා තිබුනි.

"නරක් වුනේ නැත්නම් ෂෝක් බත් එක !"

නැවත උදෑසන සිට එම ගමේ ඉතිරි ළිං කිහිපයද ඉවර කිරීමට අපට හැකිවිය.
අප කණ්ඩායම දින දෙකට ළිං 30 ක් මිනිසුන්ගේ පාවච්චියට සුදුසු ආකාරයට සකස් කොට අවසන් කිරීමට එම දින දෙක තුල හැකිවිය. (තිබුනේ එපමනි!)
ඒ අපගේ ජීවිතයේ සදා අනුස්මරණීය දින දෙකකි. ගම අපට දැක්වූ ගෞරවය ආදරය දයාද්‍ර භාවය ගැන ඔබම සිතා ගන්න. 
පලමු දිනය අවසන් වන විට අප එක් අයෙක් තේ වතුර 17 ක් බී තිබුනි!
කෑ පළතුරු නිමක් නැත !
 ඩෙමාගේ භෂාවෙන් කියනවානම් කෑ බික්කට් අපමනය!!!

මද විරාමයක්! සුමියා ,ඩෙමා ,  කෙළවරේම ලීලේ

රඹුටන් ගෙඩිය කන රිලවා සුමියාය..!

දවල් අහර කිස - බොනට්ටුවක් මත!

මේ බොන්නේ තේ නොවේ. (රෑ 12.00ට විතර)

මැද්දේ ඉන්න රැවුලා නම්    ඉන්ජාය! - සාගර
පසුපස දෙවෙනියට ඉන්නේ සමියාය !- සමිත

කලු යකා සහ සුදුපුතා - ගෙදර යන ගමන්!

පෝස්ටුව නිමාකරන්නට ගමේ අන්ත අසරණ දුගී දුප්පත් මිනිසෙකු හා මා අතර වූ දෙබසක් මා තෝරා ගතිමි.අන්තිම දිනයේ හවස 3.00 ට පමන මේ අහිංසක ගැමියා මා වෙතට පැමිනියේ අප කණ්ඩායම ළිඳක් ඉසිනා අතර තුරය.
" මේ මහත්තුරු දවල්ට කාලද දන්නෙ නෑ...?"
" අනේ ඔව් අයියේ අපි දවල්ට කාලා ඉන්නේ...!"
"මහත්තයා අපි බත් ටිකක් උයන්නම්. අපිට සහනාධාර ලැබුනු හාල් පරිප්පු එහෙම තියෙනවා.......!"


Thursday, June 1, 2017

30. ගඟක් දිගේ ගිය ගමනක් 4

මේ ගඟට මා මෙතරම් බැඳුනේ මන්ද යැයි.......! 

කුඩා කල මා හට යාත්‍රාවක් විය . එය උණ ලී පහුරකි .මෙය මට සාදා දුන්නේ බී  ඇල් සිරිපාල නොහොත් “මහත්තයා” ය. ඔහු අද ලොරි රියැදුරෙකි! 
උණ ලී  පහුර  සාදාගන්නේ අනෙකුත් පහුරු සාදා ගන්නා ආකාරයට නොවන්නේය. 
එක හා සමාන දිගින් යුත් අඩි 10 පමන දිගැති උන ලී 8 ක්- 10 ක් ගෙන ඒවයේ එක් කෙලවරක් සිදුරු  කොට ඒ   හරහා  යවන ලද  ලී ඉන්නකට තබා උණ ලී එකින් එක බැඳ ගනු ලැබේ. අනෙක් කෙළවර උණලී සියල්ල එක පොදියකට තබා ගැටගසා ඒමත ඉඳ පොල් පිත්තෙන් හබල්  ගැට ගසනු  ලැබේ! 

එකල මමද තරමක යාත්‍රිකයකු  විය.

මාගේ ඥාතියකුවූ ලලිත් සුනිලාල් හෙවත් ශාන්ත බාප්පා ඕනෑම රාත්‍රියක වුවද ඉවට ඔරු පැදිය හැකි අයෙකි. ඒ  ඔහුගේ කුප්‍රකට චර්‍යාවන්ගේ මහිමයෙන් ඔහුට ලැබුනු නිසග දායාදයකි. 
එසේම මෙවැනි ආශ්වාදනීය කටයුත්තකට ඔහුව හවුල් කර ගැනීම  පහසු කටයුත්තකි. ඒ නිසාම මාගෙ Kayak Lunching එකට ඔහුවද සහභාගී කර ගත්තෙමි.
මමත් ශාන්ත බාප්පාත් මහත් වැර වෑයමෙන් යුතුව Kayakය; B J 60 යේ හුඩ්  රැක් එක  මතින් බිමට වඩමවා ඉන් ඉක්බිතිව සෙමෙන් සෙමෙන් ගස් අතරින් කැළණි ගඟ වෙතට ගෙන ගියෙමු .

බාප්පා දිසාපාමොක් ඇසුරේ . . . !
(පොතින් පතින්, ජංජාලෙන්, උගත් ටිකට  අතිනුත් දමා; පත අට එකට සිඳුවා !)

එතෙක් කිසිදු දිනෙක පියැවි ඇසින් Kayakය ක් දැක නොතිබූ ශාන්ත බාප්පාට මෙම යාත්‍රාව පිළිබඳ මා එතෙක් උගත් කරුණු කාරණා සියල්ල පැවසීමෙන් අනතුරුව අපගේ මංගල ගමන පිටත් වූයෙමු. 


මංගල ගමනට මොහොතකට පෙර මා බාප්පා වෙත අභිනවයෙන් හබල පිරිනැමීම....!

මේ හැරෙන්නේ අභිනවයෙන් මා  හබල  අතට ගැනීමටයි!

මට තනිව පුළුවන්ද?

පුළුවන්!

ජේෂ්ඨයා වූ ඔහු පසුපසින් හබල් ගෑ අතර මා ඉදිරියේ විය. කොල්ලෑව සහිත ඔරුවක් තරමටම ස්ථායි නොවූවද ඉතා කෙටි කලකින් එය පදවීමට අනුගත වීමට අපට හැකි විය. පසුව මම   පසුපස ගෙන පැදවූ අතර  ඔහුගේ කළ පුරුද්ද හා මාගේ පත පොතෙහි දැනුම එකට එක්කොට Kayakය පැදවීමට අප මනා පරිචයක් ලැබුවෙමු. 
එදින මා ආපසු පැමිනියේ ශාන්ත බාප්පාහට මාගේ කලක සිට තිබුනු අදහස ඉදිරිපත්කොට එයට ඔහුගේ සහභාගීත්වයද තහවුරු කරගෙනය. ඒ ඉදිරි මාස  කිහිපය තුල කැළණි ගඟ ඔස්සේ පහලට යාත්‍රා කිරීමටය. ශාන්ත බාප්පා වරක් නොව කිහිප වතාවක් හබෙල්ලාවක සිට මහ රෑ කට්ට කළුවරේ ලී කඳන්  බැඳි පහුරු ගඟ දිගේ ගෙනඇවිත් තිබුනු කල පුරුද්ද මට  කෙසේ වෙතත් මාගේ  බිරිඳට මහත් අස්වැසිල්ලක් විය.

එතැන් සිට මා ගමනට අවශ්‍ය දෑ පිළිබඳව ලැයිස්තු සකස් කරන්නට පටන් ගතිමි. අන්තර්ජාලය ඔස්සේ කරුණු එක් රැස් කලෙමි. මේ සියල්ල සමගින් මාගේ  තරුණ මිතුරන් දෙදෙනා හට මාගේ සැලැස්ම හෙලි කලෙමි. පළමුව පසිඳුටත් දෙවනුව අම්රාන්ටත් “මල්ලි මම කැළණි ගඟෙ පහලට යන්න හිතාන ඉන්නවා” කිව්වා පමනි. ඔවුනට අවශ්‍ය වූයේ දිනය පමනි .

මුළු හදවතින්ම ස්වභාව ධර්මයට ආදරය කරණ; එසේම ඒ පිළිබඳව මනා වැටහීමක් හා කලපුරුද්දක් ඇති පසිඳුත් අම්රානුත් පැමිනීම මගේ ආත්ම විශ්වාසය වඩාත්  වැඩි කරණු ලැබීය. 
ඒ වන විටත් අර්ධ ශතවර්ෂයකට ආසන්නයේ උන් මා තුල ඇති ආත්මශක්තිය ශරීරයේද ඇති බවට තිබූ විශ්වාසයෙන් ඔබ්බට ගොසින් බැලීමට මාහට අවශ්‍ය විය. 
මේ පිළිබඳව ප්‍රථයක්ෂ කර ගැනීමට මා කලේ හක්බෙල්ලාවක සිට කඩවතට කිලෝ මීටර් 69 ක දුරක් පා පැදියකින් පැමිනීමයි.
 මෙයද රසබර කථාවකි. Kayakය හක්බෙල්ලාවකට ගෙන ගොස් ප්‍රථම වතාවට එය දියට දැමීමෙන් සති කිහිපයකට පසු යෙදුනු සිකුරාදාවක මම එහි ගියෙමි. ඒ හිත උපන් අදහස ක්‍රියාවට නැගීමට ප්‍රථම කරණු ලබන “ඉව ඇල්ලීමටය” ! සිකුරාදා රාත්‍රිය පහන් කරණ තෙක් කල්පනා කලේ; මේ ක්‍රියාව ප්‍රායෝගිකව ඉටු කිරීමට ඇති බාධක කවරේද පිළිබඳවයි. මෙහිදී මාහට දැනුනු ප්‍රධාන බාධකය වන්නේ ශරීර ශක්තිය, දරා ගැනීමේ හැකියාව  යන කාරණා දෙකයි. 
මේ ගැන සිතමින් සිටින මාහට එකවරම සිහියට නැගුනේ වසර ගනනාවකින් පැද නැති මාගේ පැරණි බයිසිකලයයි. “මේ බයිසිකලය මට ගෙදරට පැදගෙන යා හැකි නම් ; අනිවාර්‍යයෙන්ම මාහට Kayakය රැගෙන හක්බෙල්ලාවක සිට කැළණියට හෝ කඩුවෙලට හැක !” ඒ මා සිතට ආ අදහසයි. 

“මේ බයිසිකලය ඒතරම් දුරක් යන්නට තරම්   සෞඛ්‍ය සම්පන්නද ? ( වසර ගනනාවක් හුලං බැස තිබුනු) “ටයර් ටියුබ් වලට හුලං ගසා පැයක් තබමි! එම පැය තුල හුලං ටයර් ටියුබ් තුල රැදී පැවතුනහොත් මා මගේ ශක්තිය පිළිබඳ ශක්‍යතා අධ්‍යනයට මුහුණ දෙමි. නැතහොත් බයිසිකලය මෙහිම දමා ආ ලෙසටම බසයෙන් ගෙදර යමි.” 

පාරෙන් උඩ ගෙදර. ගෙට උඩින් නාහේන මූකලාන !

පාරෙන් පහල මේ අපේ ආච්චි අම්මලාගෙ පරණ ගේ තිබුනු ඉඩම. මේ ඉඩමට පහලින් කැළණි ගංග .

අපේ ගෙදරට එනම්  A7 මාර්ගයට  ඉහලින් ඇති  අපේ පැරණි නිවසට ඉදිරියෙන් ඇත්තේ රෑ කඩයකි. කුඩා නිවසක් ඉදිරියේ පවත්වාගෙන ගිය මෙම කඩය ලඟට ගෙනගිය මකුළු දැලින් පිරුණු බයිසිකලයට මා; එම කඩෙන්ම ඉල්ලාගත් පොම්පයෙන් හොඳින් නොව ඉතා හොඳින් හුලං ගැසුවෙමි. “ දෙකෙන්  එකක් වෙයං !” සිතා තදින් හුලං ගැසූ බයිසිකලය පසෙක තබා නැවත මා සුපුරුදු වැඩ කටයුතු වල නිරත වන්නට සැරසුනා පමනි; මහත් හඬින් ලමයින් පිරිසක් “හලෝ !? හලෝ !!??” යනුවෙන් කෑගසනු මට ඇසුනි.
 මා එකවර  මාර්ගයේ ඉහල පෙදෙස එනම් හැටන් දෙස බැලුවෙමි. විශාල බෑග් කිහිපයක් ඉදිරි පස හා පසුපස පටවාගත්;  අඩි 7 ක් පමන උසැති විදේශිකයකු තම පා පැදිය පදවාගෙන් එනු මට පෙනුනි . දසුනින් මා වික්ෂිප්ත විය. චාල්ස් ඩිකන්ස් ගේ පොත්වල නම් මෙවැනි අහම්බයන් සිදුවේ. එහෙත් සත්‍ය ලෝකයේ…? ඉතා පහසුවෙන්ම මා ඔහු නවතා ගතිමි. මා කොළඹ බයිසිකලයෙන්  යන බවත් සුළු මොහොතක් රැඳී සිටිය හොත් මාහටද ඔහු හා එක්විය හැකි බව ඔහුට පැවසූයෙමි . 

ඔහු එක පයින්ම එයට කැමති විය. මා වහාම මාගේ Back pack එකට පෙර දින ගෙන ආ; අතට අහුවුනු රෙදි හා අනෙකුත් ලට පට සියල්ල ඔබා ගතිමි. කාමරයේ  දොර වසා ඉබ්බා තද කොට බයිසිකලය ගෙන ඔහු හා එක් විය. 
ඔහු නමින් Ulf ය. ජර්මන් ජාතික හේ ලොව පුරා රටවල් 25 ක බයිසිකලයෙන් ගමන් ගන්නා අයෙකි. සෑම වසරකදීම  එක් රටක් තෝරගෙන රටවටා ගොස් නැවත ගම රට බලා යෑම ඔහුගේ විනොදාංශයයි. 
කටුනායකින් ගොඩ බට ඔහු ගුවන් තොටුපලෙන් පිටට පැමින  ඇත්තේද බයිසිකලයෙනි. එතැනින් මීගමුව - හලාවත -පුත්තලම - යපනය -ත්‍රිකුණාමළය - මඩකලපුව -අරුගම් බේ - අම්පාර - නුවර එළිය  - තලවකැලේ - හැටන් -ගිනිගත්හෙන - කිතුල්ගල - හක්බෙල්ලාවක් - යටියන්තොට - අවිස්සවෙල්ල - රත්නපුර  -හම්බන්තොට - මාතර - ගාල්ල - අලුත්ගම - බේරුවල - දෙහිවල - කොළඹ -කටුනායක තෙක් කිලෝ මිටර් 1900 ක ගම්නක් අතර තුරේදී ඔහු මට හමු විය.
ඔහු සමග අවිස්සවෙල්ල තෙක් කිලෝ මීටර් 27 කදුරක් එකට ආ මා එතැනින් ඔහුගෙන් වෙන්වී කඩවතට එන්නට මහ දවල් පැද්දෙමි. අවිස්සාවෙල්ලෙන්  හංවැල්ලටත්; එතැනින් සමනබැද්ද හරහා ගිරිදරටත්; ගිරිදරින් දොම්පෙ හරහා දෙල්ගොඩටත්; එතැනින්  උඩුපිල හරහා කඩවතටත් පැමිනියෙමි.
 කඩවත නිවසට මා පැමිනියේ කැළණි ගඟ දිගේ එන ගමනට අවශ්‍ය ශක්තියද අතැතිවය. ඊට දින  ගනනාවකට පසු තම අසහාය පා පැදි චාරිකාව නිමකල උල්ෆ් කඩවත නගරයේ දී මාහට හමු වූයේ;  මාගේ ආරාධනාවකට අනුව රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වන්නට අප නිවසට පැමිනෙමින් සිටියදීය. එදින රාත්‍රියේ අප නිවසේ ගතකල උල්ෆ් පසුදින දහවල් මමත් මාගේ බිරිඳත්  ගුවන් තොටට ඇරළුවෙමි !

උල්ෆ් ගෙදර ගිහින්!

මේ සියළු  කරුණු සිදු වෙමින් පවතිද්දි මා Google Map අනුසාරයෙන් කැළණි ගඟේ සිතියමක් ගෙන එය මුද්‍රණය කොට ලැමිනේට් කර  ගත්තෙමි. යොදා ගත්තේ 2015 මැයි 23 නි සෙනසුරාදා දිනයයි. මේ දිනය තහවුරු කර ගැනීමත් සමග Lakdasun හි Trip Invitation එකක් නැතහොත් විවෘත ආරධනාවක් පල කලෙමි. මාහට ඒ සම්බන්ධයෙන් පිළිතුරු  පණිවිඩයක් හෝ ලැබුනේ Dhamz නමැති අනවර්ථ නාමයෙන් තමන් හදුන්වාදෙන ධම්මික මහෙන්ද්‍ර නමැති තරුණයාගෙන්  පමනි.



හක්බෙල්ලවක පිහිටියේ යටියන්තොටට සැතපුම් 4 ක් එනම් කිලෝ මීටර 6.4 දුරිණි. ඒ මාගේ පාරම්පරික නිවස තියෙන ස්තානය; අපේ ගමනේ ආරම්භක ස්ථානය ලෙස ඒ වන විට අප තෝරාගෙන තිබුනේය. 
අදාල සිකුරාදා හවස් වන විට පසිඳු; ඔහුගේත් අම්රාන්ගේත් solo Kayakය න් දෙක; ඩීමෝ බට්ටෙකුගේ පටවා ගෙන ඔරුගොඩවත්තේ පිහිටි මාගේ සේවා ස්ථානයට පැමිනියේය. එතැන් සිට මෙම  Kayakය න් හබෙල්ලාවකට ප්‍රවාහනය කිරීම භාරගෙන තිබුනේ මා ගේ මිතුරෙකු විසින්. ඔහුගෙ කැබ් රථය එන තුරු මද වේලාවක් රැදුනු අප සවස 6.30 පමන වන විට ඔරුගොඩවත්තෙන් නික්මින.  අම්රාන් අප සමග එකතු වනවිට රාත්‍රී 12 හේ කණිසමද පසුවී තිබුණි!
ඔහු පැමින තවත් ටික වේලාවක් දොඩමළුව සිටි අප නින්දට ගියේ පසුදින පාන්දරින් නැගිටින අදහසිනි. 
පසුදින උදෑසනින් අවදි වූ අප ගමනට අවශ්‍ය ආහාර ලෙස; බිත්තර  යොදන ලද සැන්විච් පෙති කිහිපයක් සකසා ගෙන තොටුපොල වෙත පිය නැගුවෙමු. 

අඩි 20 කන්ටේනරය !
 වම් පසින්  යාන්තමින් පෙනෙන්නේ ශාන්ත බාප්පාගේ නිවසයි.

එතෙක් තොටුපොල  පිහිටි ඉඩමේ ස්ථාපනය කොට තිබුනු අඩි 20 කන්ටේනරය තුල  දිගු විවේකයක් ගෙන තිබුනු මාගේ  Kayakය ද එලියට ගත්තෙමු. ඊළගට කලේ අල්ලපු වත්තේ සිටිනා ශාන්ත බාප්පා එකතු කර  ගැනීමට සැරසීමයි. අහෝ දුකකි ! ඉරකි ! තිතකි !! බාප්පාගෙ ඇඹේණිය පැමින  ඒ දුක්බර  කථාව අප ඉදිරියේ ගෙනහැර දැක්වීය. 
ඔහු ඒ සඳහා ; සෞඛ්‍ය ය  අතින් ගමනට සුදුසු මට්ටමකට නොසිටින බව දැන්වීය!! ඒ සමගම කවුරු නාවත් පටන් ගත් ගමන තනිව හෝ අවසන් කිරීමට අප සිතා ගත්තෙමු. මෙහිදී පොදුවේ අප තිදෙනාමත්; තනිව මමත් මුහුණ දිය යුතුව තිබුනු ගැටළුව වූයේ මාගේ ට්‍රයෑකය තනිව පැදගෙන එන්නට සිදුවීමය. එහෙත් කිසිවෙකුට කල හැකි දෙයක් නොමැත. අප  තිදෙනාට Kayakය යන් තුනක්  ගෙන එන්නට ඇත. අප අධිෂ්ඨානයෙන් ගමනට සූදානම් විය .


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...