Monday, March 23, 2026

301. තිස් අවුරුදු රථ මතක . . . . (17)

 තිස් අවුරුදු රථ මතක . . . .  (16) 


පෝස්ටුව එනම් මේ ලිපි පෙලේ අවසානයට ලියැවුනු ලිපියේ ඉසූසූ පැන්තරයක සාඩම්බර හිමිකාරයෙකුවූ ආකාරය හා සති ගණනක් ගෙවී ගිය තැන එය මට නොගැලපෙන බව පසක් වීම පිළිබඳව ලියා ඇත.

උප්පත්තියෙන්ම පසුපස රෝද මගින් (Rear Wheel Drive) පමණක් ධාවනය වන මෙම රථය තරමක විශාල එකක් වුවද එහි ඉදිරිපස රෝද සවිවී තිබුනේ ඉතා කුඩා ප්‍රමාණයේ Hub Bearing වලිනි. ඒවා කුඩා මෝටර් රථයකට සෑහෙන මුත් මෙවන් SUV රථයකට කෙලෙසවත් නොගැලපුනි.

මේ කාරණය කරණ කොටගෙන ඉදිරිපස Hub Bearing ඉතා කෙටි කාලයකින් නැවත නැවත් අළුතින් යෙදීමට සිදු විය.

මීට පෙර Toyota Landcruiser BJ40, Nissan Patrol 160, Toyota Hilux LN65 වැනි 4WD රථ පාවිච්චිකල මාහට මෙම පැන්තරය මගේ ජවාධික ගමනට තරම් නොවීය! 

සතොස ආයතනයෙන් මා වෙනුවෙන් මාගේ ආදරණීය මාමණ්ඩිය එම රථය රුපියල් දාසය ලක්ෂ පනස් දහසකට මිළදී ගත් අයුරුත් එය සති කිහිපයක් ඇවෑමෙන් රුපියල් දහ අට ලක්ෂයකට මිළවූ හැටිත් මම එම පෝස්ටුවේ ලියා ඇත.

අවසානයේ එය මවිසින් ඔහුගෙන් දහ අට ලක්ෂයකට මිළදී ගත් නමුදු එහි උපරිම වටිනාකම රුපියල් 17,50,000 ඉක්මවා නොයන බව මාහට ප්‍රථ්‍යක්ෂවී තිබුනි.

මාස කිහිපයක් මා එය පාවිච්චි කල අතර එක් බදදාවක පුවත් පත් දැණ්වීම් භාරගන්නා ස්ථානයකට ගොස් මා ලුහුඩු දැන්වීමක් පල කලේය.

"ඉසූසූ පැන්තර් රථය - ලක්ෂ 18යි" මේ එහි සැකවින් පලවූ ප්‍රවෘථියයි.

දිනය 2010 අප්‍රේල් 10 වනදාය.

ඉරිදා ලහි-පිටේ එය පලවිය. රථය තැබූයේ පන්නිපිටියේ මාගේ මාමණ්ඩියගේ නිවස ඉදිරියේය.

උදෑසන 7.00 පමණ වන විට පළමු ගැණුම් කරුවා ගේට්ටුවට තට්ටු කලේය.

සුදු කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසුණු තරුණයාගේ වමතේ කුඩා පුතෙකු එල්ලීගෙන පැමිණ සිටියේය. ඔහු සේවය කලේ පුද්ගලික බැංකුවක විය. වාහනය වටා ඇවිද පොඩි පරීක්ෂණ ධාවනයකද යෙදුනා වාගේ මට මතකය!

"17 කට දෙන්න" ඔහු එක වර පැවසීය. මා කලින් කීවාසේ මෙම වාහනයේ වටිනාකම 17.50 බව මා හොඳින් දනිමි. එහෙත්; මේවන විට මා මෙය වෙනුවෙන් ලක්ෂ 18ක් වියදම් කොට අවසානය.

"අන්තිම 17.50 කට දෙන්නම්. ඊට අඩුව බෑ!" මම පැවසූයෙමි.

"17 කට කරමු!" ඔහු තව දුරටත් දා හතේම  නැවතී සිටියේය. ඒ මොහොතේම තවත් ඇමතුමක් ආවේය. නිවස අසලට පැමිණි අයෙක් වාහනය ඇති තැන නිශ්චිතව දැන ගැනීමේ අරමුණින් එය ගෙන තිබුනි. වෑන් රථයකින් පැමිණි දෙවෙනියා; මමත් පළමු වැන්නාත් ඉදිරියේ පය තැබුවා පමණි; පළමු වැන්නා මා වෙත නැඹුරු විය.

"මේ අයියේ! හරි මම දාහත හමාරට ගන්නම්. මෙයාට දෙන්න එපා!"

මළ මගුලකි! මෙතනට පැමිණි අයව වාහනය විකුණුවා යැයි පැවසීමටද නොහැක.

"යමුද ට්‍රයල් එකක්!" දෙවැන්නා ඇසීය. යලිත් පළමු වැන්නා "අයියේ මම ගන්නවා කිව්වානේ! එයා එක්ක ට්‍රයල් යන්න වැඩක් නෑනේ!"

"හරි මම ඔයාට පොරොන්දු වෙන්නම්කො ඔයාට වාහනේ දෙනවා කියලා. ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්නකො!" මම ඔහුට පොරොන්දුවී දෙවැන්නා සමග වාහනයට නැග්ගේය. 

"කීයද අන්තිම?" දෙවැන්නා විමසීය.

"දහ අටයි!"

"දා හතයි හැත්තෑ පහට දෙන්න! දැන් ඇඩ්වාන්ස් එකක් දෙන්නම්!"

"බෑ දහ අටම තමයි" තවත් බොහෝ වාර ගානක් ඇවටිළි කලත් මම ලක්ෂ දහ අටේම හිටියේය. 

"ඔයා දා හතයි හැත්තෑ පහකට දෙන්න කැමති උනොත් මට කෝල් එකක් දෙන්නකෝ!" කියමින් ඔහු යන්නට ගියේය.

මම අත උඩ විසිපන් දහසක් පාඩුවට පෙරකී තරුණ තාත්තාටයි කුඩා පුතාටයි පැන්තරය ගෙනියන්නට දී බලා සිටියේය!

පැන්තරයෙන් මට; ගෙඩි රුපියල් පනස් දහසක් පාඩු සිදු විය. 

එහෙත් ඒ වාහනයට මා තුල වැඩෙමින් පැවති අකමැත්ත පනස් දහසකට වඩා බොහෝ විශාලය. ඒ නිසා එම පාඩුව මා කම්පණයට පත්කිරීමට සමත් වූයේ නැත.

එදින දහවල් මමත් ප්‍රභාත් මල්ලීත් එනම් බිරිඳගේ නංගීගේ ස්වාමිපුරුෂයාත් ගල්කිස්සට යන්නට පිටත් විය. ඒ නංගීට අළුත උපන් දරුවාට නමක් සමන්තීගේ තාත්තාගෙන් අසා දැනගෙන ලියාගෙන එන්නටය. 

සමන්තී යනු අරිසෙන් අහුබුදු පඬිතුමාගේ ආදරණීය දියනියයි. අනිත් එවුංට අපබ්‍රංස නම් දැම්මාට ඔහු සිය දියණියට යොදා තිබුනේ "සමන්ති" යන අන්තිම සර්ව සාධාරණ සාමාන්‍ය නමය.

ප්‍රභාත් අහුබුදුගේ නිවසට ගිය අල්ල පනල්ලේ මා ඉදිරිපස කනප්පුව මත තටු අකුලා  තිබුනු "සිළුමිණ" අරගෙන පෙරළා ලුහුඩු දඇන්වීම් තීරය බැළුවේය.

තදියමේ පැන්තරය විකුණුවා වගේ නොවේය. තව දවස් තුන හතරකින් සිංහල හිංදු අළුත් අවුරුද්දය. අවුරුද්දට නෑ ගම් හෝ ඕනෑ ගම් යන්නට හෝ වාහනයක් තිබිය යුතුම විය. එහෙයින් මේ දින දෙක තුන අතර අළුතින් වාහනයක් ගන්නටම ඕනෑය.

"ටොයෝටා හයිලක්ස් 106 කැබ් රථය. අනර්ඝ තත්වය. . . . . " මම එම තැන පහත දක්වා තිබුනු නොම්මරයට ඇමතුමක් ගත්තේය!

"ඔව් කැබ් එක තියෙනවා! 16 යි. ඇවිත් බලන්නකො . . . . . . " ඔහු වාහනය පිළිබඳව විස්තර නොකියාම දූරකථනය විසන්ධි කලේය. ප්‍රභාත්; තම අළුත උපන් දරුවාට නමක්ද රැගෙන  එළියට ආවේය. 

හැකි ඉක්මණින් පන්නිපිටියට ගිය මා; බිරිඳ සමග ගොතටුව කොහිළවත්ත පාර බලා පිටත් විය. එතැනට ගියේ ත්‍රී වීලරයකින් විය යුතුය. අප එතැනට යන විට නිවසේ ගේට්ටුව ඇර දමා තිබුනි. නිවස සහ එහි මිදුල පිහිටා තිබුනේ  ඉදිරි පස මාර්ගයට තරමක් උස් බිමකය. නිවස ඉදිරිපස මිදුල මුළුමණින්ම ඉන්ටර්ලොක් ගල් අල්ලා පිරිසිදුව තිබුනි.

පසෙකින් නිවස විය.

මිදුලේ කළු පැහැති ටොයෝටා 106 ඩබල් කැබ් රථයද ඊට පිටුපසින් නිසාන් D21 ඩබල් කැබ් රථයක්ද නවතා තිබුනි. 

මෙම  දෙකම නවතා තිබුනේ ගේට්ටුවෙන් ඇතුළු වෙන අයෙකුට ඒවායේ දකුණු පසබඳ සහ මූනත පෙනෙන්නට විකර්ණව නෝසේනම් ආනතව.

ටොයෝටා 106 රථයේ ඉදිරිපස ආර්මඩිල්ලො වින්ච් බෆර් එකක් සවිකොට එයට ගරු ගාම්භීර බවක් එක් කොට තිබුනි. D21 රථය දෙස බැලුවේම නැත. වාහනය නවතා තිබුනු ආකාරයෙන්ම එහි ත්‍රිමාන හැඩය හොඳින් කැපී පෙණුනි.

මම බිරිඳ දෙසට නැඹුරු විය.

"මම මේක ගන්නවා . . . !"

නිවසේ සීනුව නාද කලේය. දොර ඇර්‍අ අපව ගේතුලට කැඳවූයේ මට වඩා වයසින් වසර තුනක් පමණ වන අයෙකි. ඔහුගේ මුහුණ පුරා රැවුළක් වැවී තිබුනි. කොට කලිසමක් හා ටී ෂර්ටයක් ඇඳ සිටියේය. ඉතා කුළු පග සිනාවක් ඔහුගේ මුහුණේ ඇඳී තිබුනි.

"එන්න!"

"ස්තූතියි! මම වාහනේ ගන්නවා කීයද අන්තිම දෙන්නේ?" මම ගහෙන් ගෙඩි එන්නක් සේ ඔහුගෙන් ඇසීය.

"හරි! හරි ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම ගිහින් එන්නකෝ!" ඔහු සිනහ මුසු මුහුණෙන්ම පැවසීඅය!

"නෑ අයියේ වාහනේ චැසිය කැඩිලා නැත්නම්, චැසි නොම්මරේ හරිනම්, පොත් පත් ජෙනුයින් නම් මම වාහනේ ගන්නවා !" මම එකම් ස්ථාවරයේ සිටියේය.

"මෙකයි මම ඉන්නේ ජපානේ . . . " ආදී වශයෙන් ඔහු තම කථාව කියාගෙන යන්නට විය.

"ජපානෙ . . . ? එතකොට ජගත් රාමනායකව දන්නවාද ?" මම ඔහුගෙන් විමසීය.

"ඔව් මොකද නොදන්නේ අපේ ඉස්කෝලෙනේ . .!"

"අම්මට සිරි එයා මගේ ක්ලාස් මේට් . . !

"මගුලයි! උබ දැන් මේක කීයටද ඉල්ලන්නේ ? ඉස්කෝලෙ එකෙකුට බිස්නස් කරණ්න බෑනේ . .!"

"14 කට දෙන්නකෝ අයියේ . . !"

"මේ බලහං කො! මම මේක ගත්තේ නෙල්නා ෆාර්ම් එකෙන්. මෙන්න ගත්තු රිසිට් එක 14 1/2 කට මම මේක මාස හතරකට ඉස්සෙල්ලා ගෙනාවේ. මx කොහොමද උඹට 16 ට දෙන්නේ . . ?"

"එහෙනං 14 1/2 ටම දෙන්න . . . !" මම සිනහ මුසුව පැවසීමි.

"හරි එහෙනං උඹ අරං පලයං . . ! කෝකටත් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහින්ම වරේං . . . !"

"ඔන්නෑ අයියේ. ඔයා වාහනේ හොඳයි කියනවා නං මට ඒ ඇති!"

"ඕකෙ පොඩි ඩීසල් බ්ලොක් එකක් තියෙනවා පැදලා බලහං කෝ!"

මුදල්ගෙවා කුවිතාන්සි අත්සන් කරගෙන වාහනය රැගෙන එළියට බහින්නට මට ඕනෑ උනත් ඔහුගේ පෙරැත්තයට පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකක යෙදුනෙමි.

වාහනය මීටර 500 ක් පමන යන විට නැවතුනි! ආයෙමත් පණ ගැන්වූ විට තවත් කිලෝ මීටරයක් පමණ ගොස් නැවතුනි. කෙසේ හෝ වාහනය තිබුණු තැනට ගෙනැවිත් මුදල් ගෙවා වාහනය අරගෙන පිටත් උනෙමු.

එදින රාත්‍රියේ අප සිටියේ පන්නිපිටියේ මහ ගෙදරය. පසුදින උදෑසන මාමණ්ඩිය සමග හෝමාගමට ඔහුගේ අවශ්‍යතාවයකට ගියෙමි. වාහනය බොහෝ විට මග හිටියි. ආපසු එන ගමනේදී ගලවිළවත්තේ හිමි එන්ටර්ප්‍රයිසස් එකට ගොඩ වැදුනෙමි.

එහි අයිති කරු මාගේ පාසල් මිත්‍රයෙකු වන වසන්ත පෙරේරායි. 

"මොකද මචං . . ?"

"පොඩි සීන් එකක් ! මට වැඩිඅය දුවල නැති ඩීසල් ෆිල්ටරේකුයි ෆිල්ටර් හෙඩ් එකකුයි දියං කො . . !"

විනාඩි ගණනකින් කොටස් ටික ලැබුණි. 

"කීයද මේකට . . ?"

"පිස්සුද බං . . ?"

වාහනය පන්නිපිටියේ දුම්රිය හරස් පාර පහුකොට කිලෝ මීටරයක් යන විට නැවතුනි. කෙතරම් උත්සාහ කලද එය නැවත පණ ගැන්වීමට නොහැකිවිය. මාමණ්ඩියව ත්‍රී වීලරයක ගෙදාට යවා මහ පාරේ සිටම ෆිල්ටරය;  ෆිල්ටර් හෙඩ් එකෙන්ම ගලවා වසන්තගේ කොටස සවි කලෙමි. 

"දහ දොලොස් වතාවක් අත් පොම්පය ක්‍රියාත්මක කොට එන්ජිම පණ ගැන්වීය! එකෙන්ම ස්ටර්ට් විය! එසේම එම රෝගය නිට්ටාවටම සුව විය!

එතැන් පටන් වසර ගණනාවක් 56 - 1086 අපට මහත්වූ සේවයක් සැලසීය. එය අතරමගක නැවතුනේ එකම එක් වරක් පමණි. ඒ එක් නත්තලක දෙද්දූව යන විටෙක කැස්බෑව - වාඩියමංකඩ අතරදීය. ඒ ඉදිරිපස නකල් රේසරයක් කැඩී යාම නිසාය. එදින නත්තල් දිනය වූවත් වාහනය නැවත්වුනු තැනට ඉහලින් කන්ද මුදුනක සිටි බාස් වරයෙකු නැතිනම් මිකැනික් මහත්තයෙකු වැඩේ නිවැරදි කර දුන්නේය. එහිදී පුදුම සහගත දේ වූයේ ඔහු අත එම සුවිශේෂී බෙයාරිං දෙකක් (30303) ඔහු වෙත තිබීම හා ඔහු කිසිදු මුදලක් බෙයාරිං වලට හෝ සේවාවට අය නොකිරීමය! බෙයාරිං එකේ නොම්මරේ කට පාඩම්ය - 30303!


1, 2 - නකල් රේසර් / නකල් බෙයාරිං (යට සහ උඩ )
3    - රිම් එක
4    - ඉදිරි පස ඇක්සලයේ  ජොයින්ට් එක
5    - ඉදිරිපස ඇක්සල් ටියුබය
6    - ඉදිරි හබ් එකට සම්බන්ධ වන ගෲ
7    - බ්‍රේක් ඩිස්ක් කැලිපරය


ඇක්සල් ටියුබය සහ නකල් රේසරය.

එම බෙයාරිං යුගලය ඔහු විසිනීට දින කිහිපයකට පෙර වෙනත් වාහනයකින් ගලවා ඉවත් කල එහෙත් මෙවැනි අවස්ථාවකදී පිළියමක් ලෙස යොදා ගත හැකි මට්ටමේ තිබුනු එකකි.

4WD වාහනයක ඉදිරි පස රෝද කැරකෙන්නේ උඩ යට බෝල් ජොයින්ට් මත හෝ මෙම නකල් රේසර මතය.

ඉදිරිපස ඇත්තේ  නම් ඒවා බෝල් ජොයින්ට් සමගද ඉදිරි පස ඇත්තේ දෘඨ ඇක්සල Rigid Axel)  නම් නකල් රේසර් මතද හැරවීම සිදුවේ.

ඉදිරිපසට රිජිඩ් ඇක්සල් සමග නිපදවුනු අවසාන ටොයෝටා ඩබල් කැබ් රථය වන්නේ LN106 රථයයි.

Off Road සඳහා බොහෝවිට භාවිතා කරණු ලබන්නේ ඉදිරිපස රිජිඩ් ඇක්සල් සහිත වාහනය.



106 රථයෙන් බොහෝ ගමන් බිමන් චාරිකා අප ගියෙමු. ඉන් අමතක නොවන ගමන වන්නේ කුච්චවේලි පොලීසිය පසුපස ඇති වෙරළේ කඳවුරු බැන්ද ගමනය. 
ඒවන විට වාහනයට Warn 8274 වින්ච් එකක් සවිකොට තිබුනි. Warn 8274 යනු වින්ච් ලොව රජ්ජුරුවෝ කීවොත් එය බොහෝ දෙනා පිළිගන්නවා ඇති.  
මෙහි 8 යන්නෙන් රාත්තල් 8000 ක් එනම් ටොන් 4ක් යන්නත් 2 ඉලක්කමෙන් දෙපසටම ධාවනය කල හැකි බවත් 74 යන්නෙන්; ප්‍රථමයෙන් නිපදවූ වසරත් සංකේතාත්මක කරයි. මෙම වින්චිය බරින් කිලෝ 50 කි!

WARN 8274


කුච්චවේලි පොලීසිය පිටුපස පුරාවිද්‍යා සංරක්ෂණ භූමියකි. එය තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන් පය ගැසූ ස්ථානය ලෙස සැලකේ.
ඒ අසල විශාල පළලකින් යුතුවූ වෙරළකි. එහි එක් පසක සයිප්‍රස් ගස් ය. පොදුවේ සයිප්‍රස් ගස් කීවාට ඒවායේ විවිධ විශේෂ දක්නට ලැබේ වන විද්‍යාවේ මෙම ගස හැඳින්වෙන්නේ කැෂුවරිනා යන නමිනි. ඒවා කැශුවරිනා ඩෙග්ලුප්ටා, කැෂුවරිනා කැමල්ඩියුලෙන්සිස් වැනි වෙනත් වෙනත් වර්ග වලින් යුක්තය. පොදු ව්‍යවහාරයේ මේවා නත්තල් ගස් හෝ කස ගස් වේ!
ලංකාවේ උතුරු, නැගෙණහිර හා ඊසාන දිග වෙරළේ තැනින් තැන කැෂුවරිනා ගස් දක්නට ලැබේ. ඒවා එම වෙරළේ සරුවට වැඩී ඇත. ඒවා මෙහි ව්‍යාප්ත කල කාලයක් හෝ පුද්ගලයෙකු ගැන මා බොහෝ විට සොයන්නට උත්සාහ කලද එය නිෂ්පල විය. උතුරේ මේ නමින්ම වෙරළක් වේ. එය නම් කැෂුවරිනා බීච් ය! 



ත්‍රිකුණාමළය නගරය

ගමන අතරමග දවල් කිස!

කුච්චවේලි පොලීසිය පිටුපස කඳවුරු බැඳ.



වෙරළේ දැඩි සුළං ප්‍රවාහයෙන් බේරීමට කූඩාරම ගැට ගසා තිබුනේ කැබ් රියේය.

ආපසු එන්නට හැරී!




21 comments:

  1. හොඳ පෝස්ට් එකක් මමත් කැමති වාහනයක්. මගේ ලඟ තිබ්බ 2018 YoM හයිලක්ස් රෙවෝ 3DF-GUN125 (2.4L Diesel 4WD).

    (Chassis Number: MR0BA3CD600093758
    Engine Type: 2GD-FTV (2.4L Diesel Turbo) ඒක විකුණලා දැන් අලුත්ම BYD Denza B8 එකක් ගත්තා

    ගන්නවානම් Hilux Revo එක කියන්නේ ඕනෑම රළු පාරක ගහන්න පුළුවන්, මගේ ළඟ තිබුණ 2.4 2GD ටර්බෝ එකටත් වඩා 1GD එක මරු ඒකේ 2.8L GD Turbo එන්ජිමෙන් 500Nm ක මාර ටෝක් එකක් දෙන, ලංකාවේ ඕනෑම තැනක රෙපයාර් කරගන්න පුළුවන් "වැඩකාර" පිකප් ට්‍රක් (කැබ්) එකක් ඒකෙ කල්පැවැත්ම ගැන ආයේ දෙපාරක් හිතන්න දෙයක් නැහැ. හැබැයි BYD Denza N8 (B8) එක ඊට වඩා හාත්පසින්ම වෙනස් අති සුඛෝපභෝගී හයිබ්‍රිඩ් SUV එකක්. ඒකේ 2.0L ටර්බෝ එන්ජිමයි ඉලෙක්ට්‍රික් මෝටර් දෙකයි එකතු වෙලා 570HP වගේ පිස්සු හැදෙන පවර් එකක් දෙනවා වගේම, DiSus-P හයිඩ්‍රොලික් සස්පෙන්ෂන් නිසා ඒකෙ යනකොට දැනෙන්නේ වලාකුළක යනවා වගෙයි. කෙටියෙන් කිව්වොත් උඹට ඕනෙ වැඩ ගන්න පුළුවන් රළු වාහනයක් නම් Revo එකට පලයන්, හැබැයි අනාගතේට ගැලපෙන සැප පහසු සුපිරි තාක්ෂණයක් ඕනේ නම් Denza එක තමයි සුපිරිම භාණ්ඩේ.
    ඔය දෙකෙන් උඹේ ප්‍රධාන අවශ්‍යතාවය වෙන්නේ බඩු ඇදීම වගේ රළු දේවල් නම් Hilux එක හරි BYD Shark 6 හරි ඒ වගේ වෙන එකක් අරගන්න පුළුවන්.

    හැබැයි මේ දවස්වල පෝලින් සහ නිතරම වගේ මිල අධික ලංකාවේ තෙල් ප්‍රශ්නයි වාහන මිලයි එක්ක බලද්දී දැන් චීන SUV සහ කැබ් තමයි සුපිරිම විකල්පය වෙන්නේ, මොකද ඒවායේ තියෙන අතිනවීන තාක්ෂණයයි පෙනුමයි build quality එකයි ඉතාම ඉහළම මට්ටමක තියෙන නිසා. SUV පැත්තෙන් බැලුවොත් BYD Atto 3 හෝ Sealion 6 (PHEV) වගේ ඒවයි, Denza N7/N8 වගේ සුඛෝපභෝගී මාදිලියි කරන්ට් එකෙන් විතරක් ලොකු රේන්ජ් එකක් දුවන්න පුළුවන් නිසා තෙල් පෝලිම් ගැන බයක් ඇත්තෙම නැහැ

    ඒ වගේම GWM Haval H6 Hybrid එකත් ලංකාවේ පාරවල් වලට මරු භාණ්ඩේ. කැබ් ගැන කියනවා නම්, BYD Shark 6 එකේ තියෙන PHEV තාක්ෂණයෙන් 100km විතර කරන්ට් එකෙන් දුවලා ඉතිරි හරිය ඩීසල්/පෙට්‍රල් වලින් යන්න පුළුවන් නිසා ඒක ගේම් චේන්ජර් එකක්, ඒ වගේම Riddara RD6 (Geely Radar) කියන ෆුල් ඉලෙක්ට්‍රික් පිකප් එකත් නගරබද වැඩ වලට වගේම ඉඳලා හිටලා off-road යනවා නං මරු. ඇතුළේ සැපපහසුව අතින් ගත්තොත් මේවයේ තියෙන දැවැන්ත ස්ක්‍රීන් සහ ADAS වගේ ආරක්ෂිත පද්ධති නිසා සාම්ප්‍රදායික ජපන් වාහන වලට වඩා සෑහෙන ලොකු වටිනාකමක් (Value for money) මේ චීන වාහන වලින් ලැබෙනවා සහතිකයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ ඔබගේ අතිශය දීර්ඝ, අතිශය වැදගත් සහ රසවත් පිළිතුරට!
      ඇත්තටම EV වාහන පිළිබඳව මා තුල ඇත්තේ ඇල්මැරුණු උනන්දුඅවක්.
      මීට කෙටි කලකට පෙර ඇමරිකාවේ කර තිබුනා පොඩි සමීක්ෂණයක්. "ඇයි EV වාහන වලට විශාල නැඹුරුවක් නැත්තේ?" කියලා. එකෙදි එයාලට තේරුණු දෙයක් තමයි; තවමත් මිනිස්සු "වාහනයක්" කියන්නේ තෙල් ගහන වතුර දාන එන්ජිමක් තියෙනෙ එකකට කියලා.
      මගේ තත්වයත් ඕකම තමයි.
      එතනදී අපි ක්‍රියා කරණ්නේ බොහෝ සෙයින් "හණ මිටි" කරගහගෙන කියලා ඕන කෙනෙකුට කියන්නට පුළුවන්.
      ඒත් මට "වාහනයක්" දැනෙන්නේ ඒක ඩීසල් 4WD එකක් උනාම තමයි. (දැන් මට ගහන්න එපා!) මට මගේ වාහනේට රෙසිපොකේටින් එන්ජිමක් තියෙන්නෝන. ගියර් පෙට්ටියක්, ට්‍රාන්සර් කේස් එකක්, ඩ්‍රයිව් ටෙරීන් එකක් තියෙන්නෝන.
      උපරිම වශයෙන් යාන්ත්‍රිකව මෙහෙය වෙන කොටස් තියෙන්නට ඕන!
      සෙන්සර්, අඩුවෙන්න ඕන! ඉලෙcට්‍රොනික් එන්ජින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් නැතිවෙන්න ඕන.
      ඔව් අපි තරමක් පරණ මිනිස්සුනේ. තාම පොසිල ඉන්ධන වලට තමයි Love!
      කොහොමත් අපි කැමති උනත් නැතත් ඉදිරියේ EV වලට අපිට හුරු වෙන්නම වෙනවා.
      කොහොමත් TOYOTA කියන්නෙම වාහනයක් තමයි!

      Delete
  2. +++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඔයත් ටොයෝටා ට්‍රක් එකක් ගත්ත කියලා උසාවියෙන් ආරංචියක් ආවා!

      Delete
    2. අයිතිය නෙමෙයි. පාවිච්චිය විතරයි

      Delete
  3. Hamadaama wage adath supiri.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මෙහි ඇවිත් කියවා බලා ඉන් නොනැවතී වචනයක් දෙකක් දොඩමළු වූවාට!

      Delete
  4. වාහන ගැනනං තට්ටය තරං අල බෝලයක් මම දන්නැති උනාට හයිලක්ස් කියන්නෙ මගේ අංක 1 තැන තියෙන වාහනයක්.

    ReplyDelete
    Replies
    1. මම ගාව දැන් තියෙන්නේ පල්ලෙබැද්දෙන් ගෙනාපු වාහනයක්.

      Delete
  5. මේක මරු. 106 Hilux එක මමත් ආසම වාහනයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ස්තූතියි!!

      Delete
  6. +++++++++++++++++++++👌
    ඔක්කොම කියෙව්වා. මගේ cuppa tea නූනත්, ලියල තියෙන විදිහ මසුරං.💐

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයා Truck ලෝලියෙක් නෙවේද? දෙයියනේ ජීවිතෙන් භාගයක් ඉවරයි!
      කොහොම උනත් ස්තූතියි මෙහි ගොඩ වැදුනාට!

      Delete
  7. තිලින ප්‍රියසාද්March 26, 2026 at 2:17 PM

    මෙවුවා තමයි මහත්තයො අපි කියවන්ඩ ආස පෝස්ට්... 4X4 එකක් ගන්ඩ ආස උනත් ගන්ඩ සල්ලි නැති අපිට ඉතින් මේවගේ පෝස්ට් කියන්නෙ හරියට හිරකාරයෙක්ගෙ හිරකුටියේ බිත්තියේ අලවලා තියන අඩ නිරුවත් ගෑනු රුවක් වගේ මිහිරක් දනවන දෙයක්...

    ඒක නෙමේ ලොකු අයියා මිට්ෂුබිසි 4DR5 එකක් පැද්දෙ නැත්තෙ මොකෝ.. ඒකකුත් පැදලා තිබුනානං මරු..

    ReplyDelete
  8. තිලින මල්ලි!
    ඔව් මගේ ජීවිතෙත් 4WD එකක් ගැනීම සිහිනයක්ව තමයි තිබුනේ. ඒත් ජීවිතේ කොහොමින් කොහොමින් හරි මෙතැනට තල්ලු උනා!

    ඔයාගේ උදහරණෙ නම් මරු!

    ඔයා මෙන්න මේ පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්නකො!

    මගේ ජීවිතේට මිට්සුබිෂි 4DR5 එක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා! https://thattayagekolama.blogspot.com/2021/01/188-2.html

    ReplyDelete
  9. @ තට්ට බ්රෝ

    ඔයා උඩ ඇනෝ කෙනෙක්ට උත්තර දෙන කොට ඇමරිකන් සමීක්ෂණ වාර්තාවක් ගැන කියනවානේ, නමුත් ඔතනදි මෙහෙම දෙයක් තියෙනව

    ඇමරිකා එක්සත් ජනපදය වගේ රටක විදුලි වාහන ජනප්‍රිය නොවෙන්න හේතු ගොඩක් තියෙනවා ඒ ඔය සමීක්ෂණේ කියන කාරණයට වඩා ඇමරිකන් විදුලි වාහන වල මීල ඉතාමත්ම අධිකයි අනෙක ටෙස්ලා සයිබර්ට්‍රක් වගේ ඒවායේ ඩිසයින් ප්‍රශ්න වගේම තීරු බදු ප්‍රශ්න සහ සම්බාධක නිසා චීන විදුලි වාහන ඇමරිකා එක්සත් ජනපදයට එන්නේ නෑ ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ හොඳ ලාබදායක කාර්යක්ෂම ලස්සනට ඩිසයින් කරපු විදුලි වාහන නැති වීමයි ප්‍රධානම හේතුව.

    හැබැයි චීනයේ විදුලි වාහන ඊට වඩා ගොඩක් සාර්ථකව නිෂ්පාදනය අලෙවිය පාවිච්චිය ඉතාමත්ම සාර්ථකව කෙරෙනවා. විදුලි මෝටර් වලට සාපේක්ෂව ICE එන්ජින් කියන්නේ හරිම අකාර්යක්ෂම නඩත්තු කරදර වගේම නඩත්තු වියදම් අධික අසාර්ථක දෙයක්, එකම ප්‍රශ්නය බැටරි වල ධාරිතා ප්‍රශ්නය, වාහනේ ලොකු සභ බර වෙනකොට බැටරි වල ප්‍රමාණය බර වගේම මිල ඉතාමත්ම අධික වෙන නීසා තමයි ප්‍රශ්නය වෙන්නේ බර වාහන සහ පීකප් ට්‍රක් වලට එහෙම මේක ලොකුවට බලපානවා.

    ReplyDelete
    Replies
    1. මේ වාහන තාක්ෂණයේ ඉදිරි පරිවර්තනය දිහා උපේක්ෂාසහගතව බලද්දී මටපේන දේ තමයි, ඇමරිකාව තාමත් "මෝටර් රථය" කියන සංකල්පය පරණ සම්ප්‍රදායික රාමුවක හිර කරගෙන ඉන්නකොට චීනය ඒක සම්පූර්ණයෙන්ම වෙනස්ම මානයකට අරන් ගිහින් තියෙනවා කියන එක.

      ​ඇමරිකානු වෙළඳපොළ තුළ විදුලි වාහන (EV) ප්‍රචලිත වීමට ඇති ප්‍රධානතම බාධකය වෙන්නේ සාමාන්‍ය පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ගැලපෙන (Affordable User friendly) සහ ප්‍රායෝගික practicality නිර්මාණවලින් යුත් වාහන හිඟකමයි. ඇමරිකාව පනවා ඇති දැඩි ආරක්ෂණවාදී බදු ප්‍රතිපත්ති සහ සම්බාධක නිසා BYD වගේ දක්ෂ චීන සමාගම් නිපදවන ඇමරිකානු ඩොලර් 12,000–25,000 වැනි අඩු මිල පරාසයක පවතින කාර්යක්ෂම චීන වාහන ඇමරිකන් වෙළඳපොළට ඇතුළු වන්නේ නැහැ. ඒ වෙනුවට ටෙස්ලා සයිබර්ට්‍රක් වැනි තාක්ෂණික අතින් සංකීර්ණ වුවත්, ප්‍රායෝගිකත්වයෙන් අඩු සහ මිල අධික වාහන හඳුන්වා දීම නිසා සාමාන්‍ය මිනිසුන් තවමත් ෆෝඩ් F-150 වැනි සාම්ප්‍රදායික ICE පිකප් රථවලටම ඇලීගෙන ඉන්නව විතරයි අනාගතය එක්ක අප්ඩේට් වෙන් නෑ, අනෙක ඕකට ඉතාමත්ම බලවත් ඇමරිකන් තෙල් සමාගම් බලපෑම් කරනවා, පොදු ප්‍රවාහන සේවා විදුලි දුම්රිය වගේම විදුලි වාහන එහේ ජනප්‍රිය කරන්න ලෝකයේම තෙල් වෙළඳාම පාලනය කරන ඇමරිකන් සමාගම් කීයට වත් ඉඩ දෙන්නෙත් නෑ

      ​තාක්ෂණිකව බැලුවොත්, Internal Combustion Engine (ICE) එකක තාප ගතික කාර්යක්ෂමතාව (Thermodynamic efficiency) පවතින්නේ 20% - 30% වැනි ඉතා අඩු මට්ටමක නිසා ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් තාපය සහ ශබ්දය ලෙස අපතේ යනවා. ඊට සාපේක්ෂව 85% - 95% ක ඉහළ කාර්යක්ෂමතාවක් සහ 50% කින් අඩු නඩත්තු පිරිවැයක් සහිත විදුලි මෝටරය ඉතා උසස් වුවත්, බැටරිවල පවතින අඩු ශක්ති ඝනත්වය (Energy Density) ලොකු අභියෝගයක්.

      විශේෂයෙන්ම බර වාහන සඳහා වැඩි දුරක් යෑමට විශාල බැටරි යෙදීමේදී, වාහනයේ බර වැඩි වීම නිසා ඒ බර ඇදගෙන යෑමට තවත් බැටරි අවශ්‍ය වන "විෂම චක්‍රයකට" නිෂ්පාදකයන් මැදි වෙනවා.
      ​මෙන්න මෙතැනදී තමයි චීනයේ BYD Seagull වැනි මාදිලි හරහා ඔවුන් ලබා දෙන පාඩම වැදගත් වෙන්නේ. ඔවුන් Vertical Integration හෙවත් සිරස් ඒකාබද්ධතාව හරහා බැටරි, මෝටර් සහ චිප්ස් යන සියල්ල තමන්ම නිෂ්පාදනය කරමින් "Supply Chain Profit" එක ඉතිරි කර ගන්නවා. ඒ වගේම මිල අධික කොබෝල්ට් වෙනුවට LFP (Lithium Iron Phosphate) සහ දැන් අලුතින් හඳුන්වා දෙන (NaFePO4 Sodium-ion වැනි ලාභදායී බැටරි තාක්ෂණයන් භාවිතා කරමින් බැටරි පිරිවැය තවත් 30% කින් පමණ අඩු කර ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. ඇමරිකාව දැවැන්ත "සුඛෝපභෝගී EV" පසුපස හඹා යන විට, චීනය Micro-EV සංකල්පය හරහා නගරබද ගමනාගමනයට සුදුසු කුඩා, සැහැල්ලු සහ අතිශය කාර්යක්ෂම වාහන මිලියන ගණනින් නිපදවමින් (Economies of Scale) පිරිවැය අවම කරගෙන තිබෙනවා.

      කොටින්ම කිව්වොත් , ඇමරිකාව තාමත් උත්සාහ කරන්නේ පරණ මෝටර් රථ සංස්කෘතියට විදුලි තාක්ෂණය බලෙන් ආරූඪ කරන්නයි. නමුත් චීනය "ප්‍රායෝගිකත්වය සහ මිල" කියන සාධක දෙක නිවැරදිව කළමනාකරණය කරමින් සැබෑ විදුලි වාහන විප්ලවය ජයගෙන අවසන්.

      අනාගතය තියෙන්නේ සංකීර්ණත්වයේ නෙවෙයි, මේ වගේ සරල, කාර්යක්ෂම සහ ඕනෑම අයෙකුට මිලදී ගත හැකි තාක්ෂණය මතයි.

      Delete
    2. අපි ඔය උඩදී ​අපි කතා කරපු BYD Seagull වගේ වාහනවල සාර්ථකත්වයට හේතු වුණ සෝඩියම්-අයන් (Sodium-ion) තාක්ෂණය ලංකාවට ආදේශ කරලා ලංකාවේ ඒවා නිෂ්පාදනය කරන්න පුළුවන්.

      විශේෂයෙන්ම Sodium Iron Phosphate (NaFePO4) බැටරි නිෂ්පාදනය ගැන කතා කරනකොට ලංකාවට අදාල කරුණු කිහිපයක් තියෙනවා:

      අමුද්‍රව්‍ය බහුලතාව සහ අඩු පිරිවැය

      ​සාමාන්‍යයෙන් ලෝකයේ EV වල භාවිතා කරන LiFePO4 (LFP) බැටරිවල ප්‍රධානතම අමුද්‍රව්‍යය ලිතියම් (Lithium). ලිතියම් කියන්නේ දුර්ලභ, ඒ වගේම මිල අධික මූලද්‍රව්‍යයක්. නමුත් NaFePO4 වලදී අපි භාවිතා කරන්නේ ලෝකයේ ඕනෑම තැනක, විශේෂයෙන්ම අපේ රට වටේම තියෙන මුහුදු ජලයෙන් ලබාගත හැකි සෝඩියම් (Sodium). අපේ ලුණු ලේවායන් හරහා ලංකාවේ නිකම්ම අපතේ යන හිරු එළිය යොදාගෙන සෝලා පැනල් වලින් ටිකක් බලගතු සෝලා බලාගාර සහ බැටරි පද්ධති යොදාගෙන ඉතාම අඩු පිරිවැයකට සෝඩියම් නිස්සාරණය කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රධාන අමුද්‍රව්‍යය වන යකඩ (Iron/Ferrite) සහ පොස්පේට් (Phosphate) සඳහා ලංකාවේ පවතින එප්පාවල පොස්පේට් නිධිය වැනි ස්වාභාවික සම්පත් ඍජුවම දායක කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉතාමත්ම උසස් තත්ත්වයේ ඇක්ටිව් කාබන් පොල්කටු අඟුරු වලින් හදලා ලංකාව අපනයනය කරන නිසා ඒවත් තියෙනවා

      තාක්ෂණික වාසි සහ ආරක්ෂාව පැත්තෙන්​NaFePO4 බැටරිවල තියෙන විශේෂත්වය තමයි ඒවායේ ඇති තාප ස්ථායීතාව (Thermal Stability). ලංකාව වගේ නිවර්තන රටක පවතින අධික උෂ්ණත්වය යටතේ ලිතියම් බැටරි ගිනි ගැනීමේ අවදානමක් (Thermal runaway) තිබුණත්, සෝඩියම්-අයන් බැටරිවල ඒ අවදානම ඉතාම අඩුයි. ඒ වගේම මේවා ආරක්ෂිතව ඉතාමත්ම වේගයෙන් ආරෝපණය (Fast charging) කිරීමේ හැකියාවත්, ඉතා අඩු උෂ්ණත්ව යටතේ වුවත් කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාවත් තියෙනවා.

      ඒ වගේම "Value Addition" සහ නිෂ්පාදන අවස්ථාව
      ​ලංකාවට අමුද්‍රව්‍ය පිටරට පටවන්නේ නැතිව, දේශීයව NaFePO4 කැතෝඩ (Cathode) නිෂ්පාදනය කරන්න පුළුවන් නම්, අපිට ඉතාම ලාභදායී ලෙස විදුලි ත්‍රීරෝද රථ සහ බයික් සහ LCVවාහන වලට බැටරි නිපදවන්න පුළුවන්.

      උදාහරණයක් විදිහට, දැන් පවතින මිල අධික ලිතියම් බැටරියක් වෙනුවට සෝඩියම් බැටරියක් යෙදීමෙන් වාහනයක මිල 30%-40% කින් පමණ අඩු කරගන්න පුළුවන් වේවි.

      මගේ අදහස අපේ රටේ තියෙන පොස්පේට් නිධියත්, වටේටම තියෙන මුහුදු ජලයත් භාවිතා කරලා NaFePO4 බැටරි තාක්ෂණය දියුණු කරන එක හුදෙක් හීනයක් නෙවෙයි. ඒක විද්‍යාත්මකව ඔප්පු කළ හැකි, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආර්ථික විසඳුමක්. චීනය සෝඩියම්-අයන් බැටරි හරහා ලෝකය ජය ගන්නා විට, ලංකාවටත් ඒ සැපයුම් දාමයේ (Supply Chain) ප්‍රධාන කොටස්කරුවෙක් වෙන්න මේ හරහා පුළුවන්.
      ​ඔයා හිතන්නේ ලංකාවේ මේ වගේ බැටරි කර්මාන්තශාලාවක් පටන් ගන්න යනවා නම් අපිට තියෙන ප්‍රධානම බාධකය මොකක් වෙයි කියලද? ඒ වගේම වෙන්න ඉඩ තියෙන අනෙත් ප්‍රශ්න මොනවා ද?

      Delete
    3. ඇනෝ තුමෝ ඔබගේ EV වාහන පිළිබඳව ඇති පෘථූල දැණුම මා විශ්මයට පත් කලේය.
      එවන් දැනුමක් කිසිදු ක්ෂේත්‍රයක් පිළිබඳව මා හට නම් නැත!

      අවසාන වශයෙන් ඔබ යෝජනා කරණු ලබන ආකාරයේ කිසියම් හෝ නිෂ්පාදන කාර්‍යයකට අප රට එළඹෙන්නේ නම් එය ඉතාමත් කාලෝචිත එකක් වනු ඇත.

      දැන් මා කියන්නට යන්නේ මාගේ ලිපිය හා ICE එන්ජින් සහිත වාහන පිළිබඳව ඉතා සරළ අදහසක් ය.

      ඔබ අසා ඇතිද නිවාඩුවක් ගත කිරීමට පැමිණි ධනවතා සහ දුප්පත් මාළු බාන්නාගේ කථාව.
      මොන විදියකින් හරි ඒ කථාව නොදන්නේ නම් කියා ඒ කථාව ඉතාමත් සැකවින් මම මෙතන ලියන්නම්.

      ධනවත් ව්‍යාපාරිකයෙකු සිටියේය.
      එක්තරා දිනක තමාගේ මානසික පීඩනය අවම කර ගැණීමට ඔහු ඈත ගම්බද, විලක් අසබඩ පිහිටි, කුඩා නිවාඩු නිකේතනයකට පැමිණියේය.
      පසුදින උදයේම ඔහු; ස්වකීය අති නවීන බිලී පිත්තද රැගෙන විල් තෙරට මාළු බාන්න්නට ගියේය.
      බොහෝ කාල වේලාවක් ගියද ඔහුට එකදු මාළුවෙක් හෝ බා ගැනීමට අසමත්වූ අතර තවත් මොහොතකදී එතැනට පැමිණි ගැමියෙකු තම නොදියුණු බිලී පිත්ත භාවිතා කොට විනාඩි කිහිපයකින් මාළුවෙකුද රැගෙන යන්නට ගියේය.
      පසුදාද, ඊට පසුදාද, ඊටත් පසුදාද සිදුවීම එකම විය.
      අන්තිම දිනයේ ගැමියා මාළුවා රැගෙන ආපසු යන්නට හැරෙණ විටදී සංචාරකයා ඔහු ඇමතීය.

      "ඇයි ඔහේ එක මාළුවෙක් අල්ලගෙන ආපහු යන්නෑඅ/ තව පොඩ්ඩක් වෙලා හිටියා නම් තව දෙතුන් දෙනෙක් අල්ල ගන්න තිබුනානේ?"

      "මොකටද මහත්තයෝ ටව?" ගැමියා පෙරළා විමසීය.

      "එත කොට එහෙම අල්ලපු ටික විකුණලා සල්ලි හොයා ගන්න පුළුවන්නේ?'

      "සල්ලි හොයාගෙන?"

      "හොන්නද බෝට්ටුවක් අරං තව කීප දෙනෙකුටත් රස්සාව දීලා තව වැඩිපුර තොග ගනං මාලු අල්ලලා විකුණන්න පුළුවන්නේ? ඒ කෙන් ලොකු උන්නැහැට ලොකු සල්ලියක් හොයාගෙන ලොකු සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්නේ?"

      "සල්ලි ගොඩාක් හොයාගෙන මම මොනවා කරණ්නද මහත්තයා?"

      "සල්ලි තියේනම් තමං කැමති ඕනෑම දෙයක් කරණ්ණ පුළුවන්නේ ලොකු උන්නැහැට?"

      "ඉතිං මම කැමති මාළු අල්ලන්න විතරයිනේ?"

      ඒ වගේ ඇනෝ තුමා මොන විදියට කරුණු කාරණා ඉදිරිපත් කලත්, සංක්‍යාලේඛණ පෙන්නුවත් මම කැමති ඩීසල් එන්ජින් වලින් සැදුම් ලත් 4WD රථයකට විතරයි නම් මොනවා කරණ්නද?

      අද කවුරු හරි මට නොමිලේ BYD එකක් දුන්නත් මම ඒක විකුණලා සිලින්ඩර හයේ (In Line Six) ඩීසල් වාහනයක් ගෙනේවි!
      (වරද්ද ගන්න එපා ඒක අද දවසේ මගේ තේරීම! හෙට වෙන කොට එය වෙනස් වීමට ඉඩ කඩ ඇත!)

      ඔබ සුජීව ප්‍රේමරත්නද?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...