Saturday, March 16, 2024

223. තිස් අවුරුදු රථ මතක . . . . (16)

ISUZU PANTHER

"ශනිදා දහයට" ලෙස අප පටන් ගත් බ්ලොග් ලිවීම මේ වන විටත් පන අදිමින් හෝ පැවතීම සතුටට කරුණකි. 
මෙම සංකල්පයට උර දීමක් ලෙස; කලින් සිට ලියාගෙන පැමිණි "පෝස්ටු වැල්" හෙවත් කොටස් අට දහයේ මෙගා නාට්ටි වැනි පෝස්ටු වෙනුවට: "සිත නිවන කථා" මොඩලයේ ඒකාංගික පෝස්ටු හත අටක් මා ලියාගෙන ආවේය.
මේ නිසාම කලක සිට ලියාගෙන පැමිණි;
"තිස් අවුරුදු රථ මතක!"
"ම පුතු වසික වෙත සෙනෙහසින්!"
වැනි සටහන් නිම කිරීමට නොහැකි විය. 
පසුගිය සතියේ මා මළගෙවල් දෙකකට සහභාගීවිය. ඉන් එකක් ලක්ෂිත වීරසිංහගේ වන අතර අනෙක අම්බලන්ගොඩ නිරෝෂන් ජයරත්නගේ විය. මේ දෙදෙනාම පාසලේ මා හා සම කාලීනයෝය.
කලක සිට; ලයිට් කනු වල අලවා තිබෙන මරණ දැන්වීම් වල "උපත" බැලීමට මා පුරුදුවී සිටියෙමි. දැන් දැන් එය මාගේ උපන් වසරට කිට්ටු වෙමින් පවතින බව ලක්ෂිතගේත් නිරෝෂන්ගේත් වියෝවන් මාහට හඬගා කීවේය.
එසේනම් ඒකාංගික "සිත නිවන කථා" වෙනුවට ලියාගෙන ආ ලිපි අවසන් කල යුතුව ඇත!
හදිසි වෙන්වීමකකට සැරසී සිටිය යුතුය! 
මේ නිසාම "බ්ලොග් පෝස්ටුවක්" ලෙස "අන්තිම කැමැත්තද" ලියා තබන්නට සිතා සිටින්නෙමි.
මේ "තිස් වසරක රථ මතක" ඉතිරි කොටස් කිහිපය!

මම පසුගිය පෝස්ට් එකක ලිව්වා වාගේම; සෑහෙන කාලයක්; නොලියාම ගෙවී යන විට පිටට තට්ටුවක් දාලා මතක කලේ තිලින ප්‍රියසාද් මල්ලී.
ඌත් අපූරු බුවෙක්! පහුගිය කාලේ සයිකල් පැදිල්ලක් කලා. රස්සාවට අමතරව මේ දවස් වල බුලත් වැවිල්ලක් කරනවා.
තව අන්නාසි වත්තකුත්!
මේ යකාත් ඒකාලේ බ්ලොග් එකක් කලා. වැඳලා කිව්වත් ගහලා කිව්වත් ආයේ ඒක පටන් ගන්න පාටක් නෑ. මුහුනු පොතේ නම් උදේට හවහට දවල්ට තුං වරුවෙම ලගින බව නං පේනවා.
වැඩේ හොඳම දේ තමයි මුන්දැ අපේ අර "සොබා රූ" බ්ලොග් එක කල නදීශ් මල්ලිගේ හොඳ මිත්තරයෙක් වීම. දෙන්නම කුප්ප කවි වලට  කාව්‍ය ශිරෝමණීලා!
ඒ කියන්නේ ශිරෝමණීලා දැක්කාම කවියෙන්ම තමයි විදින්නේ!

මේ තිලිනයා මගේ අවසාන තිස් වසරක රථ මතක පෝස්ටුවට දාලා තිබ්බා "ඉන්ටර් නැෂනලය" ගැන කවි ගී ලියවුනා මදි බවක්!
මේ හින්දාම ඒ ගැන පොඩිත්තක් තව ලියන්න හිතුනා ඌට කරන අනුග්‍රහයක් විදියට!
IH vs VV
ඉන්ටර්නැශනලය ගෙනාවේ මොර සූරන වැසි දවසක හවස 6ට 7ට විතර ඇද ගෙන. මේකේ එන්ජිමක් ස්ටාර්ට් වෙන්නෙත් නෑ ඒ නිසාම බ්‍රේක් ඇත්තේම නෑ. මට හිතෙන විදියට ඒ වෙනකොටත් වසර දෙක තුනක් දුවපු නැති වාහනයක් ඒක. කොහොමත් මේ වාහනේ කපන්න "අලි මස් කන්න" ඕනෑය. (මේ අලිමස් කෑමේ ආප්තෝපදේශය ලොරි රියැදුරන් අතර ප්‍රචලිත කියමණකි!)
මේ වාහනේ ලයිට් තබා බැටරියක් වත් නොතිබුනි. 
වාහනේ ඇතුලත දූවිලි එකකි. මකුළු දැල් රටා මවාය!
අවුරුදු දෙක තුනක් පාරක් අයිනේ අතඇර දමා තිබුනු වාහනයක් පිළිබඳව ඔබම සිතා බලන්න.
මෙහි පැති වීදුරු ඉහලට එසවීමට බැරි ලෙස ගල් ගැසී තිබුනේය.
මේ සියළු බාධක මැද මා වාහනය රැගෙන එන්නට පිටත් වුනි.
වාහනය අදින්නේ මා පෙර පෝස්ටුවේ පැවසූ ෆෝ වීල් ඩ්‍රයිව් මෙන්ම ෆෝ වීල් ස්ටියරින් කුඩා කැබ් රතයකින් ය.
කලගෙඩි හේනෙන් පිටත් වී කිලෝමීටර කිහිපයක් ගන ගනිද්දී වම් පසින් ලයිසියම් ගෙවන පාසැලය.
එකල එය නොතිබුනි!
ඒ වංගුවේම තවත් මීටර කිහිපයකින් එම පසම මොන්ටිකාලෝ වයින් ස්ටෝරුවය.
අපගේ පඩංගුව ලියූ සජ්ජා බොහෝ විට මාහට හමුවන්නේ මේ ඒරියල් එකේදීය!
ඒ මොන්ටිකාලෝවට පැමිණ නොව ඔහුගේ දරුවන් රැගෙන පාසලට පැමිණ වටේ ඉන්න අනිත් තාත්තලාට තෙල බෙදමින් කථා බොන්සායි කරමින් ඉන්නා විටය!
හරියටම මොන්ටිකාලෝව පහු කරණවාත් සමග එහි සිට එළියට පැමිණි සුපින්වතෙක් ගේ පා පැදිය මාගේ ට්‍රක් රථයේ පසුපස හා ගැටිනි.
වාහනේ ගෙදරට ගේන්න කලින්ම නඩුවකි.
මේ යකා වාහනයේ වැදු තැන දැක්කාම; මේ තරම් දක්ෂ ලෙස හැප්පුවේ කොහොමදැයි කියා හිතා ගන්නට අපහසු විය. 
කොටින්ම යන වාහනේ පසු පස  වැදී තිබුනේ ඔහුගේ පා පැදියේ පසු පස රෝදයයි!
කුඩා සීරීමක් ඇරුණු විට ඒතරම් අවුලක් නොවීය.
බොහෝ වයින් ස්ටොරු වල මෙන් මෙය අවටද; කාලේ කුප්පිය කටට හලා ගන්නා උතුමන් දක්නට ලැබේ. මේ එවන් පාරිභෝගික බවතෙකි.
ඔහු සමග අනික් කුප්පියට වගකිව් මිතුරා එහි පැමිණ වැටුනු  එකාට අම්ම මෝ නැතිව බැන වැදී අපව මුදා හැරියේය.
ඒ කාලයේ හැටියට කුඩා මුදලක් ඔහුට දුන්නේ බෙහෙත් දමා ගන්නටය!
"මස් කනවාද මාළු කනවාද? කියමින් ඔහු බොහෝ වේලාවක් සිට; "කොහොම උනත් ටික දවසකින් ඉබේ සුව වන තුවාලයට බෙහෙත් දමන්නට සල්ලි නාස්ති නොකරණ්නට" බුද්ධිය පහල වන්නට ඇතැයි මා සිතමි!

වාහනය මාගේ ගරාජයට ගෙන ආ වහාම බිරිඳට ඇමතුමක් ලබා දුනිමි!
ඇය වේගයෙන් පැමිණ වාහනය දෙස මොහොතක් බලා සිට වචනයකුදු නොදොඩා ආපසු හැරී මෝටර් රථයේ නැගී නොපෙනී ගියාය.
හොඳ ආරම්භයක් සනිටුහන් කරමින් දිනය නිමාවට පත් විය .
එතැන් සිට පටන් ගැනුනේ "ඉන්ටර්නැෂනල් හාවෙස්ටරයේ" උපත, පෑ විකුමන්, පෙලපත, කුලය, ධනය, ආදී එකී නොකී මෙකී දේ කියා පාමින්; රාත්‍රිය ගෙදර ගෙවූ කාලයකි.
වාහනය ගොඩ දා ගැනීමට වසරකට කිට්ටු කාලයක් ගතවිය.
ටින්කරිං වැඩ ටික කලේ ඇඹරළුවේ පොඩි කුමාරය! (මගේ වැඩෙන් පසුව ටික කාලයක් ඇතුලත ඔහුට ලක්ෂ  දහයක  ලොතරැයියක් ඇදුනු අතර ඒ ආනුභාවයෙන්ම තවත් මාස ගනාවකින් ඔහුගේ ජීවිතයටම ටිකට් එක ඇදී තිබුනි!)
පොඩි කුමාර බක පණ්ඩිතයෙක් වූවාට ඒ පණ්ඩිතකමටම ගැලපෙන හැකියාවක් ඔහු සතු විය!
"අනින ගොනා වැඩට දස්සය!" 
මෙය පැරණි කියමනකි. බොහෝ පණ්ඩිතයින්ට ගැලපෙන හැකියාවක් බොහෝවිට උපතින්ම ලැබෙන්නේය. මෝඩ පණ්ඩිතයින්ට මෙය අදාල නොවේ!
අප වැටෙන්නේ ඔය දෙවන කැටගරියට! දන්න බම්බුවක් නැති උනාට අපිත් අති පණ්ඩිතයින්සේ රඟ පාති!
ටින්කරින් අවසන් උනාට පසුව ඊළඟ වැඩේ තිබුනේ පින්තාරුවටය.
ටින්කර්ලා සහ පේන්ටරයන් යනු වඩුබාස් ලා සහ මේසන්ලා පන්නයේම "සත්‍යවාදී" මිනිසුන්ය!
සාමාන්‍යයෙන් ටින්කර් වැඩේ සහ පේන්ටින් වැඩේ භාරදුය යුත්තේ කුට්ටමකටය! මන්ද නො එසේ නම් ටින්කරයා; වැඩේ වැඩි කොටස පේන්ටරයින්ට  නිර්ලෝභීව ඉතිරි කරති.
"හරි හරි! පේන්ටර් ට කියන්න කැට්ලෝයි පාරක් හීනියට ඇදලා ගොඩ දාන්න කියන්න!" ඒ ටින්කර්ලාගේ අවසාන විනිශ්චයේදී පවසන දුක් වාක්‍යයය!
පේන්ටරයින්ගේ කතාව මීට ඉඳුරාම වෙනස්ය.
"මහත්තයා! XX ඇද අමුඩෙන් අරින්න බෑනේ!? මේක ටින්කර් කරලා තියෙන්නේ බාල්දි හදන එකෙක්ද කොහෙද!?"
මේ සියළු දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීමට නම් කුට්ටමකට එය භාර දිය යුතුවේ. එවිට ඒ ඒ අය ඒ ඒ දේවල් බෙදා හදා ගෙන කති බොති! අපිට ඉතුරුවක් වන්නේ නැත!
කොහෙන් කොහොමින් හරි ඉන්ටර්නැෂනලය පිංතාරු කරන්නේ තල්ස්තෑනි සුනිල්ය! සුනිල් බුලත් විට කන කොට කලිසම් අඳින රේස් දාන සයිකලේ වැඩට එන ආතල් බුවෙකි. ඔහුගේ වැඩේ තඩුවටම සුද්ධ කිරීමය.
කෙසේ හෝ මේ දෙන්නා වැඩේ ගොඩ දා දුන්නේය.
වාහනයට ගෑවේ කැටපිලර් යෙලෝ හෙවත් කැටපිලර් යන්ත්‍ර කර්මාන්ත ශාලාවෙන් එළියට එන විට ආලේප කරණ වර්නයය.

ඉන්ටර් නැෂනලයේ ට්‍රාන්සර් කේසය වෙනම පවතින බව ඔබට කීවා මතක ඇති. ඒ වාගේම තව එක් විශේෂත්වයක් තිබුනි. ඒ එහි නැවතුම් රෝධක  Parking Brake තිබුනේ අතින් අදින්නට නොව කකුලෙන් පෑගීමටය! එම පාදිකය ඇක්සලරේටරයට දකුණු පසින් සවිකොට තිබුනි. පෑගූ විට හිරවන පාදිකය සහ නැවතුම් තිරිංග යලි බුරුල් වන්නේ  ඩෑෂ් බෝඩයට යට දකුණු පස ඇති කුඩා නොබ් එක ඇදීමෙන් ය!
බැලූ බැල්මට වෙනත් වාහන වල පාදික හෙවත් පෙඩල් තුනක් පවතිනවා වෙනුවට මෙහි හතරක් තිබුනි.
මේ ගැන මා කාට හෝ විස්තර කරන විට ඔහු මාගෙන් විමසූවේ "මචං ඔය කියන්නේ මේකේ හෑන්ඩ් බ්‍රේක් තියෙන්නේ කකුලට කියලාද?' කියාය!

වාහනයේ සංජානීය ආභාදයක් ලෙස විඩ්ස්ක්‍රීනයේ ඉරිතැලීම සිදුවිය. එය යෝධ වින්ඩ්ස් ක්‍රීනයක් විය. මාගේ වාහනයේ වින්ඩ්ස්ක්‍රීනය හෙවත් ඉදිරිපස වාමුවාව එක් පසෙකින් ඉරි තලා තිබුනි. 
එකල වින්ඩ්ස්ක්‍රීන් සකසා තිබුනේ වීදුරු දෙකක් එකට අලවාය!
ඒ නිසාම එම ඉරි තැලීම වාහනයට අවුලක්ම නොවුනි!

එයින් දුර ගමනක් ලෙස මා ගොස් ඇත්තේ යටියන්තොටට පමණි!
පාරට දැමූ මොහොතේ සිට දනන් සිත් වසඟ කල එය දැකීම මාගේ බිරිඳට එතරම් සුව දසුනක් නොවීය.
එය පාවිච්චියකින් තොරව බොහෝ කලක් පසෙක නවතා තිබුනු අතර එය අනවශ්‍ය "මුදල් හිරකිරීමක්" ලෙසම බිරිඳ දිටීය.
වාහනයට සවිකොට තිබුනේ එයට උපතින් ලැබුනු පෙට්‍රෝල් සිලින්ඩර හයේ එන්ජිම වෙනුවට 4DR5 එන්ජිමකි. ගියර් පෙට්ටියේ මහිමයෙන් එය දිවූවද එන්ජිම එයට තරම් නොවීය!
මේ සියළු කරුනු කාරණා සමග මාගේ ගරාජය වැසීයාමේ අවධානමකට ලක් විය.
එයට ප්‍රධාන හේතුව වූයේ මාගේ ප්‍රධාන කාරමික සුසන්ත නිවාඩු ලබාගෙන පිටස්තර වැඩ කිරීමට යාමය!

ඒ සමගම වාගේ යුනයිටඩ් මෝටර්ස් හි සේවය ලැබුනු මා ගරාජය වසා දැම්මේය.
ඊළඟ මාස කිහිපය ඇතුලත පුවත්පත් දැන්වීම් හෝ වෙනත් මාර්ගයකින් වාහනය ගැන සිත් පහලවී ඉතාලියේ වෙසෙන හෝමාගම තරුණයෙකු මේ පිළිබඳව විමසීය.
ඒ මේ පැත්තට දෙතුන් වතාවක් චලනය වීමෙන් පසුව එය පන්ලක්ෂ හැට දාහකට මිළ නියමවී ,ආ අතින් ඔහුවෙත්ට පත්විය!

වාහනය මමත් දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන චාමින්දත් හෝමාගමට හෙවත් ගෙදරටම ගොස් ඇරලූවෙමු.
දියණියක් සරණ පාවා දී වල්ලභයාගේ නිවසට ගෙන ගොස් ඇරලීම පැරණි සිරිතකි.
එයට නිසාන් TD42 එන්ජිමක් තබා නවීකරණය කිරීමට මිළදී ගත් තරුණයාට අවශ්‍යවිය. 
මා ඒ සඳහා යෝජනා කලේ අරංගල අවුට්ඩෝර්ස්මන් වැඩහල පවත්වාගෙන යන ෂෝන් හමීඩ්වය.
එහෙත් එය සිදුවී තිබුනේ ඉතා ලාභ හා බාල ලෙසටය!
එය නවීකරණය කිරීමට භාරගෙන තිබුනේ කැළණියේ චන්න විසින් ය! ඔවුන් එයට විකුණා තිබුනේ TD42 එන්ජිමක් සහ ඔටෝ ගියර් පෙට්ටියකි. එම වාහනයට ඔටෝ ගියර් පෙට්ටියක් සවි කිරීමට යන බව ආරංචිවූ සැණින් මා ඒ පිළිබඳව මාගේ අදහස කියා පෑවත් එයට බරක් නොලැබුනි.
එහි රිජිඩ් දුනු වෙනුවට කොයිල්ස්ප්‍රින්ග් කර තිබුනි. කොයිල් ස්ප්‍රින්ග් වලට අවශ්ය කන්ට්‍රෝල් ආර්ම් චැසියට සවි කොට තිබුනේ ඈන්ගල් අයන් යොදාචැසියට අමු අමුවේ වෙල්ඩිං කොටය!
කොටින්ම වාහනය අපේ භාෂාවෙන් කියනවා නම් කා දමා තිබුනි,
ඇනෙන් ඇනේට ඔරිජිනල් කොටස් යොදමින් මා හැදූ වැඩූ වාහනය එසේ විනාස කර තිබුනි.
මෙම හාවෙස්ටරය හදන කාලයේ ඊට ෆෙන්ඩර දෙකක් මා ගෙන ආවේ උඩුගම්පොලනි. සෑම කොටසක්ම ඊට වසර 50කට පෙර ආවාසේ එක්කොට තිබුනි!
පසු කලෙක එම වාහනය දකින්නට ලැබුනු දවසක මා එහි යටට එබී බැලූ විට මා කලින් කී ඇන්ගල් අයන් දුටු පමණින් මගේ සිත බොහෝ සෙයින් රිදී තැලී ගියේය.
මේවා අයකඩ ගොඩවල් වූවාට ඒවා ගොඩ නැංවූයේ දරුවන් හදන්නා මෙනි!
දීග දීමෙන් පසුව තම දියණිය එතෙක් ඇයව හැදූ වැඩූ ආකාරයෙන් වෙනස්ව සංකරවී ඇති අයුරු දුටු පියෙකුට දැනෙන වේදනාව මට එදින දැනුණි.
"වාහනේ කාලානේ . . .!" මට අනායාසයෙන් කියැවිනි. ඒ එක් පරිච්ඡෙදයක නිමාව විය!
මේ වෙන විට මාගේ ගරාජය වැසී ගොසිනි. රැකියාවක් නැති තැනට වැටීය. මේ අතර මාහට වාහනයක් නැති තැණට වැටෙමින් ය!
අස්සයා නැති කව් බෝයි සේ, නයා මැරුණු අහිකුන්ඨකයාසේ මාහට වැතිර සිටීමට නොහැක. හදන්න, හෝදන්න, පදවන්න මාහට වාහනයක් අවශ්‍යය.
මාහට අවශ්‍ය උනේ ඩබල් කැබ් රථයක් ගැනීමටය.
එයට මා ලක්ෂ 18ක් වියදම් කිරීමට සූදානම්ව මුදල් සොයා ගන්නට පටන්ගෙන තිබුනි.
මේ අතර අපගේ නිවසට යාබද නිවසක වෙසෙන; සතොස මෝටර්ස් හි සේවය කල අපගේ මිතුරියක් ඔත්තුවක් ගෙන ආවාය.
ඒ ඔවුන්ගේ කළමණාකාර අධ්‍යක්ෂක පාවිච්චිකල ISUZU Panther රථය විකිණිමට යන වගය.
වාහනය මා බැලීමට ගියෙමි.
නිල් පැහැති එය මනා පෙනුමකින් යුක්ත විය!

එහෙත් ඒ මොහොතේ ඉසූසූ පැණ්තර් රථය හා ISUZU Bighorn රථය මාගේ හිත තුල පැටලී තිබුනි. වාහනය බැලීමට ගියේ මමත් බිරිඳත් ඇයගේ පියාත්ය.
පැණ්තරය; බිග් හෝර්නය මෙන් ෆෝර් වීල් ඩ්‍රයිව් වාහනයක් නොවීය! එහෙත් මාගේ අවශ්‍ය තාවය; එම අඩුපාඩුව නොපෙනෙන සේ මාගේ ඇස් වසා දමමින් විය.
ඒ වන විට වාහනය මිළදී ගැනීමට මා අත මුදල් නොමැති වූ බැවින් එය රුපියල් 1650000/= කට ඔහු විසින් මිලදී මිළදී ගැනීමට බිරිඳගේ තාත්තා ඉදිරිපත්විය. ඒ; පසුව මුදල් දී හුවමාරු කරගැනීමේ පොරොන්දුවටය.
වාහනයේ වහලයේ වැහි පීල්ලක එක තැනක් අඟල් 4ක පමණ ස්ථානයක තීන්ත ඉවත්වී මලකඩ මතුවී තිබුනි.
මාමණ්ඩිය වාහනය ගෙනගොස් සම්පූර්ණ තීන්ත ගෑමට භාරදුන්නේ මාගෙන් නොවිමසාය.
ඒ සඳහා රුපියල් 95000/=ක් වැයවී තිබූ අතර වාහන්යේ මිල සති දෙකක් තුනක් ඇතුලත රුපියල් ලක්ෂයකින් ඉහල ගියේ බලා සිටියදීමය!
කිසිදු අවුලක් ආභාධයක් අතුරු ආන්තරාවක් නැතිව තිබුනු වාහනයේ ඉන්ජෙක්ටර් පොම්පය සර්විස් කිරීමට ගලවා තිබුනි. 
ඒවා මා දන්නේ ගලවා සවිකලාටත් පසුවය.
සාමාන්‍යයෙන් සත්‍යවශයෙන්ම ඉන්ජෙක්ටර් පොම්පය ගැලවීම හැර වෙනයම් විකල්පයක් නොමැති අවස්ථාවකදී විනා එය කෑලි කරණ්නේ නැත!
බොහෝ විට ඉන්ජෙක්ටර් පොම්පයක් ගැලවීම යනු කාන්තාවක් සීසර් කරණවා වැනිය. එය දෙතුන් විටක් කරණ දෙයක් නොවේ!
ඉහෙන් බහින රෝගයක් නොතිබූ වාහනයේ ඉන්ජෙක්ටර් පොම්පය ගැලවීමට හේතුව අදටත් ඔහු නොදන්නවා ඇත!
මේ සියල්ල සමග වාහනයේ මිල ලක්ෂ දාහත හමාරද පසු කොට තිබුනි.
මේ වන විට වාහනයක් ගැනීම සඳහා මා ගරාජය වසා දැමූ ඉඩම විකුණන්නට පිඹුරු පත් සකස් කරමින් ය. බිරිඳ;   බැංකු ණයක් යටතේ ඉඩම මගෙන් මිළදී ගෙන  මා හට ලක්ෂ 18ක් ලබා දුන්නේය!
මාර බිස්නස් නේ?
වහාම බිරිඳගේ පියාගේ මුදල් ගෙවා දමා මා වාහනය මා සතු කර ගත්තෙමි.
මන්ද ගෙවෙනා සෑම දිනෙකදීම වාහනයේ මිළ ඉහළ යෑමේ ප්‍රවණ තාවයක් තිබුනු බැවිනි.
මේ දින වල වසික මාගේ පුත්‍රයා ක්‍රිකට් ක්‍රීඩාවේ කිසියම් පසු බෑමකට ලක්වී තිබූ අවදියකි. ඊට පිළියමක්  ලෙස ඔහුව රාගම ක්‍රීඩා සමාජයේ පුහුණු කරු සංජීව වෙත යොමු කල අතර එදිනම වසිකට ඉංග්‍රීසි පංතියක් මහරගම පැවැත්වුනි.
මේ ගැන ලියැවිලා තියෙන්නේ මෙන්න මෙතන !
මහරගම පංතිය අවසන් වන වේලාව හා රාගම පුහුණුව පටන් ගැනීම අතර පැවතියේ විනාඩි 30ක පමණ කාලයකි.
මා වසික රැගෙන මහරගම සිට රාගමට විනාඩි 30කින් පැමිණිය යුතුය. ඒ දවසේම  වීම තවත් ගැටළුවක් විය.
ගූගල් මැප් නොතිබූ ඒ කාලයේ මා ඊට පිළියම සෙව්වේ කොළඹ අඟලේ සිතියමක් තුලිණි.
නූල් කැබැල්ලක් ගෙන සිතියමේ මාර්ග ජාලය මත අතුරා මා ආසන්නතම මාර්ගය සොයා ගත්තෙමි.
ඒ මහරගමින් පොල්වත්ත හන්දියට පැමිණ එතැනින් කොස්වත්ත පොලීසිය පසුකොට අංගොඩ හරහා කැළණියට පැමිණ එතැනින් ටයර් හංදියටත් වේවැල්දූව පංසල  ඔස්සේ රාගමට පැමිණීමය!
මා පළමු දිනයේ මේ ගමන ගියත් මා හට අවශ්‍ය වේගය පවත්වා ගැනීමට අසීරු විය. 
ඒ පැන්තර් රථ නිර්මාණයේ වූ දුර්වල බව නිසාමය. 
පැන්තර් රථයේ රෝද සවිකොට තිබුනේ ඇන 4ක් මගිනි. එසේම ඉදිරිපස රෝදවල වීල් බෙයාරිං ලෙස යොදා තිබුනේ ඉතා කුඩා ඒවාය!

මෙම ඉසූසූ පැන්තර් රථය නිපදවා තිබුනේ ඉන්දුනීසියාවේ වන අතර ඊට සවිකොට තිබුනේ; 4WD ලෝලීන් අතර නමක් දිනා ගත්   2800CC ISUZU 4JB1 එන්ජිමක්ය. 
එය අන් සියළුම  ඉසූසූ එන්ජින් වාගේම ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් එන්ජිමකි. මේ නිසාම එන්ජිමේ පවතින "ටක - ටකය" අමතක කලවිට ඉතාම හොඳ යන්ත්‍රයකි!
දිග පළලින් එය ඉසූසූ බිග් හෝන් රථයකට ඉතා ආසන්න එකක් වුවද මෙහි රෝද සවිකොට තිබුනේ ඇන හතරකින්ය. එසේම ඉදිරිපස වීල් බෙයාරින් ඉතා කුඩා ඒවා විය.
වාහනයේ වීල් බෙයාරින් ඉතා අඩු කිලෝමීටර ගණනකදී විනාශවී මග හිටීම මෙම වාහනයේ සංජානීය දෝෂයක් බව මා දැන ගන්නා විට මා වෙනුමෙන් මාමණ්ඩිය රථය මිලට ගෙන හමාර විය!
පැන්තරය ගෙන ටික දවසකින්ම පුංචි බොරැල්ලේදී මාගේ ගමන හරහට දැමූ කෑලි හැලෙන ලොරි පොඩ්ඩෙක් පැන්තරයේ ඉදිරිපස බෆරය සුනු විසුනු කොට දැම්මේය.
එයට බෆරයක් මේ ලෝකේ සියා ගැණීමට අපහසු වස්තුවක් විය! ඊට පිළියමක් ලෙස අරංගල Armadillo වින්ච් බෆර් නිපදවා සපයන Outdoorsman හි ෂෝන් හමීඩ් වෙතින් මා කඩවසම් බෆරයක් සාදවා ඊට සවිකර ගත්තේය.
සත්තකින්ම මෙරට තිබුණු සුපිරිම පැන්තරය මාගේ පැන්තරය යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. බලන්න බොරුදැයි කියා! 


මේ ඡායාරූපය යාපනයේ පුස්තකාලය ඉදිරිපිටදී ගත් එකකි. අප දින තුනක යාපනය සංචාරයේ යෙදුනේ පැන්තරයේය.
එකල ඕමන්තේ නවතා යාපනය සිට පැමිණෙන හමුදා මුර රථ පෙල සමග යා යුතුවිය. ඒ යාපනය හමුදාව යටතට ගත් මුල් කාලයේම  විය. යාපන අර්ධ්ද්වීපය පුරාද එතැනින් කයිට්ස් දූපතටද ගිය අප නැවත යාපනයෙන් පිටත් වන්නට එද්දී අර්ධද්වීපයේ අවසාන මුරපොලින් අපට පිටත් වන්නට අවසරය නොලැබුනේ එතැනට පැමිණීමට අවශ්‍ය අවසාන වේලාවට විනාඩි 10ක පමණ පරක්කුවක් හේතු කොට ගෙනය. අවසානයේ වැඩිපුර දිනයක්ද යාපනයේ ගත කොට අප ආවෙමු.
මොනදේ උනත් එම පැන්තරයේ ශක්තිමත් භාවය කෙරෙහි මා සෑහීමකට පත් නොවීමි.
ඔව් මේක හරියන්නේ නෑ!
මේක විකුණන්න ඔනෑය!
වසික ඉංග්‍රීසි පන්තියෙන් රැගෙන පැය භාගයකින් රාගමට ඇරලවන්නට නම් මීට වඩා ජවාධික වාහනයක් අවශ්‍ය වේ!
"ඔව් මම මේක කීයට හරි විකුණනවා" මම එක මතයකට ආවෙමි!

26 comments:

  1. හුම්. වෙනද වගෙම ලියපු රටාව මරැ.
    මේ කාලෙ ලඟ අයගෙ හිතවතුන්ගෙ මළගෙවල්වල වැඩියක්නං තියෙ තමා!

    ReplyDelete
  2. ඇත්තටම ඔය වාහන පිස්සු හැදුනා මේක හොඳ කරන්න බෙහෙතක් මං හිතන්නේ හොයාගෙනත් නෑ හොයාගන්න වෙන එකකුත් නෑ කවදාවත්

    ReplyDelete
    Replies
    1. මොනවා නැතත් ඉවාන් ලියන එකෙන් නම් ඕනම ලෙඩක් හොඳ වෙනවා!

      Delete
  3. මේ අංසය ගැන දැණුමක් නැති මම, වෙන කෙනෙක් මෙවැනි දිග ලිපියක් ලිව්වා නං කියවන්නෙ උඩින් පල්ලෙන්. ඔබගේ ලිවීමේ හැකියාව සහ පාඨකයා රඳවා ගැනීමේ හැකියාව අගය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ....
      ඒ හැකියාවට ජයවේවා !!!

      Delete
    2. ස්තූතියි බස්සා!

      Delete
    3. ස්තූතියි දුමී!

      Delete
  4. ආසාවෙන් කියෙව්වා . ආස දෙයක් ගැන ලියනකොට ඒකෙ අමුතු ගතියක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මේ ලිපි පෙල මම ලියන්නේ මතකාවර්ජනයක් ලෙස. එහෙම නැතුව ඒවායේ ගතයුත්තක් නෑ!

      Delete
  5. බස්සා කිව්වා වගේ අදාල මාතෘකාවක් නොවුනත් භාෂා ශෛලිය ආසාවෙන් කියවන්න පොළඹවනවා.

    ReplyDelete
  6. ‘ශනිදා දහයට‘ එහෙම එකක් නුවරඑළිය පැත්තෙ අල ගොයියෙක් පටං ගත්ත මතකයක් ලාවට වගේ තියෙනව. මං හිතන්නෙ ඌත් පැල වෙලාද කොහෙද අල පාත්තියක.

    වාහන ගැන කතාවනං ලස්සනයි. මාමණ්ඩිත් හොඳ බිස්නස් කාරයෙක් වගෙයි. හැක්..

    ReplyDelete
    Replies
    1. අලය ආගිය අතක් නෑ!
      ඔව් වොව් පොර සුපිරි බිස්නස් කාරයා!

      Delete
  7. ලංකාවත් වාහන ගැන බැලුවම කියුබාව වගේ අලුත් මොඩල් වෙනුවට අවුරුදු දහය පහලව පරණ ඒවා තමයි වැඩිය තියෙන්නේ... නන්දසේන රට බංකලොත් කරාට පස්සේ තවම වාහන ගෙන්වන්නේ නෑ නේද...

    ReplyDelete
    Replies
    1. පරණ වාහන වලට ආලය කිරීම තනිකරම පිස්සුවක්! ඒ කියන්නේ ඇත්තටම ඊට හේතුව කියාගන්න පැහැදිලි කරණ්න බෑ. ඒත් ලව්!

      Delete
  8. හැදින්වීම විතරයි අප්පා කියෙව්වෙ රථගාය නැති නිසා මෙව්ව කියවන්න කම්මැලී.මගේ ශනිදා දහයත් අල වෙලා .ආයෙ පටන් ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්! මේවා නොකිව්වත් කමක් නෑ හෙනහුරාදාට පෝස්ට් එකක් දාන එක නං නවත්වන්න එපා නගෝ!

      Delete
  9. මේ වගේ වාහන එක්ක හැප්පෙන්න හොද මැකනික් වැඩ්ඩෙක් හැම තිස්සෙම ලග ඉන්න ඕනේ.... මමත් කාලයක් පැද්ද අවුරුදු ගානක් පරන වෑන් එකක්...මීගමුවේ මගේ මෙකැනික් එක්ක තමයි මාසෙකට පාරක් සති අන්තය ගෙවෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. කරුමෙට මාත් යන්තං බාස් නොවැ!

      Delete
  10. තිලින ප්‍රියසාද්March 26, 2024 at 1:09 PM

    පහුගිය සඳුදා ඇවිත් පෝස්ටුව කියෙවුවෙ.. ඒත් ඔපිස් එකේ ඉන්න ගමන් ඔපීසියේම කම්පියුටරෙන් ලොග් වෙලා කියෝපු හින්දා ඒ වෙලාවෙ කමෙන්ටුවක් දමන්ට බැරිඋනාට සමාවෙන්ට ඕනි..

    අද හදිස්සි නිවාඩුවක් දාන්ඩ වෙලා නිවාඩුවේ ඉන්න ගමන් මේ සතියේ පෝස්ටුව කියවන්ටයි ගොඩ උනේ.. හුටා.. තාම පෝස්ට් එක දාලා නෑනෙ.. ඒ හින්දා මේ පෝස්ට් එක දෙවෙනි පාරටත් කියෝලා මේ කමෙන්ටුව එකතු කලේ.

    ඇත්තම කියනවානං තට්ටයා අයියෑ බ්ලොග් එක මං කියවන්නෙ ඉස්කෝලෙ අටේ න⁣මයෙ පන්තිවල ඉද්දි සීදේවි පත්තරේ කියවද්දි දැනුන ආතල් එක වගේ ආතල් එකක්..

    ඒ මොකද කියනවානං ඒ කාලෙ ඒ පත්තර වල තිබුනෙ අපි කරන්ඩ ආස ඒත් කරගන්ඩ විදියක් නැති වැඩ අපිට ආස හිතෙන විදියට ලියලා. දැන් තට්ටයා අයියත් කරන්නෙ අපිත් කරන්ඩ ආස, තට්ටයා අයියා කරපු වැඩ අපිට කරන්ඩ ආස විදියට ලියන එක.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හා!
      මාර ආතල් කථානේ උඹ කියන්නේ! අපිත් අඩු වැඩි වශයෙන් සීදේවි, මධුසර, මධුර කියෝපු සැට් එකක් තමයි!

      Delete
  11. සුපිරි මාමයි බෑනයි.... පරන වාහනයකට ඔට්ටු වෙනවා කියන්නේ පිස්සුවක් නෙවෙයි, කලාවක්. ඒක ඒ වාහනේ අලුතින්ම ගත්ත එකාටත් වැඩිය එහා ගිය බැඳීමක්. ⁣ටේල් ලයිට් බල්බ් එක දාලා ට්‍රයල් බලන්න හිතෙන තරමේ ආලවන්ත කමක්. කිරිටොයියො වගේ අලුත්ම අලුත් වාහන අතරින් රිංගනකොට අනිත් වාහන වල යන එවුං බලනවද කියලා හොරැහින් බලන එකයි, එහෙම බලනවා දැක්කොත් හිතට එන ගැම්මයි ගැන නම් කියලා වැඩක් නෑ තට්ටයා මහත්තයෝ..... මටත් ඔය ගැන ⁣පොඩි මෙව්වා එකක් තියෙනවා ම⁣ගෙ DX පලුව නිසා....

    ReplyDelete
    Replies
    1. - වීරසිරි බන්ඩාර -

      Delete
    2. පේන්ට් එක තහඩුවටම හීරුවහම , original anty corrosive paint එකත් අයින් වෙනවා නේද ? අලුත් anty corrosive paint එකෙන් original එ⁣කේ තත්ත්වය ගන්න පුලුවන්ද.......
      ඉතුරු ටිකත් ලියනකල් බලාගෙන ඉන්නවා...
      - වීරසිරි බන්ඩාර -

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...